වෙබ් ලිපිනය:

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Sunday, September 13, 2020

අපේ අලුත් ජීවිතය

බ්ලොග් එක පැත්තේ ආවේ සති දෙකකටත් පස්සේ. මම හිතන්නේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නොවැම්බර් මැද වන තුරු අවසන් වන එකක් නැහැ. ඒ නිසා, එතෙක් කල් බ්ලොග් එක පණ පිටින් තියා ගන්න ඉඳහිට මේ වගේ යමක් ලියනවා හැර වැඩි දෙයක් කරන්න ලැබෙන එකක් නැහැ. 

පසුගිය වසර පහක පමණ කාලය තුළ වසරකට ලියා තිබෙන සාමාන්‍ය ලිපි ප්‍රමාණය මේ වසරේ දැනටමත් ලියා අවසන් නිසා ඉතිරි මාස කිහිපයේ වැඩිපුර නොලිවුවා කියා අඩුවක් දැනෙන එකක් නැහැ. කියවන්න අවශ්‍ය අයට කියවන්න ලිපි විශාල ප්‍රමාණයක් බ්ලොග් එකේ තිබෙනවා වගේම තවමත් සැලකිය යුතු පිරිසක් දිනපතාම පරණ ලිපි කියවනවා.

සැප්තැම්බර් මාසය කාර්ය බහුල වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙහි පළ කර තිබෙන්නේ ලිපි තුනක් පමණයි. පෞද්ගලිකව ගත්තහම සැප්තැම්බර් මාසය බොහෝ දේ සැලසුම් කර ගත යුතු අවුරුද්දක ආරම්භය වැනි කාලයක්. මේ අවුරුද්දේ සුවිශේෂී ස්වභාවය නිසා තවත් අමාරුයි.

මේ වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් "දෙවන රැල්ල" මන්දගාමී වෙමින් යන නමුත් තවමත් දවසකට රෝගීන් හතළිස් දහසක් පමණ අලුතෙන් හඳුනා ගැනෙනවා. මරණ දහසකට කිට්ටුව සිදු වෙනවා. මා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් පසුගිය මාර්තු මාසයේ සිට තවමත් ඉන්නේ නිවස ඇතුළේ. මෙය ස්වේච්ඡාවෙන් සිරගත වීමක්. අපේ රැකියා වල ස්වභාවය නිසා අපට මේ අවස්ථාව හිමි වී තිබෙනවා.

පසුගිය මාසයේ ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවතත් පාසැල් වාරය ආරම්භ වුනා. පාසැල් වල වගේම සරසවි වලත් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ රුචිකත්වය පරිදි පන්ති කාමරයට පැමිණ හෝ ගෙදර සිට ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ සිසුන් 22,000ක් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ගේ තේරීම් අනුව සිසුන් 7,000ක් මෙම පාසැල් වාරය අවසන් වන තුරු නිවෙස් වල සිට අධ්‍යයන කටයුතු කරන්නට කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතිරි සිසුන් 15,000 පන්ති කාමරයේ සිට ඉගෙන ගන්නවාට ඔවුන්ගේ දෙමවුපියන් කැමතියි. දරුවන් ගෙවල් වල තබා ගැනීම නිසා ඇති වන අමතර ප්‍රශ්නත් මෙයට හේතුවක්. අප නිවසේ සිට රැකියාව කරන නිසා දරුවන්ද නිවසේ සිටීම අපට ප්‍රශ්නයක් නොවූවත්, රැකියා සඳහා නිවෙසින් බැහැර යා යුතු දෙමවුපියන්ට එය ප්‍රශ්නයක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි සේ සිදුවන බවට වග බලා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ වගේම, කොහොමටත් ගෙදරින් එළියට යන නිසා දරුවන් බැහැර ගියා කියා ඔවුන්ගේ අවදානම අමුතුවෙන් වැඩි වෙන්න දෙයකුත් නැහැ. 

පාසැල් සිසුන්ගේ (දෙමවුපියන්ගේ) වගේම සරසවි සිසුන්ගේ රුචිකත්වයන් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන එක් දෙයක් වන්නේ පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුල් වල, විශේෂයෙන්ම ආසියානු සම්භවයක් ඇති පවුල් වල, ජනප්‍රිය තේරීම නිවසේ සිට අධ්‍යාපනය ලැබීම බවයි. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. 

පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුලකට ඇමරිකාව ඇතුළේ ඥාති සම්බන්ධතා ජාලයක් නැහැ. එසේ තිබියදී, පවුලේ අයෙකුට කෝවිඩ් ආසාදනය වී ඉතිරි අයටද බෝ වුනොත් බලන්න කෙනෙක් නැති කමින් අසරණ වෙනවා. ඥාති සම්බන්ධතා ජාලයක් තිබෙන කෙනෙකුට මේ වගේ අවස්ථාවක උදවු ලබා ගත හැකි සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, සංක්‍රමණිකයන්ට බය වෙන්න හේතු වැඩියි. 

ඉන්දියාව, චීනය වැනි ආසියානු රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වී සිටින බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ඇමරිකාවට සංක්‍රමණය වී සිටින වෘත්තීය රැකියා කරන අයයි. ඒ අයට බොහෝ විට නිවසේ සිට තමන්ගේ රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා, දරුවන්ද නිවසේ තබා ගැනීමට තිබෙන නැඹුරුව වැඩියි.

අනෙක් අතට මෙවැනි සංක්‍රමණික පවුල් වල දෙමවුපියන් බොහෝ විට ඉලක්ක කරන්නේ තමන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කරන්නයි. ඒ වගේම ඇමරිකාවේ ඉපදුනු සංක්‍රමණික පවුල් වල දරුවන් අතර පවා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ විභාග ඉලක්ක කළ අධ්‍යාපනය කෙරෙහි යම් නැඹුරුවක් තිබෙනවා. ඉලක්කය විභාගය හෝ ලකුණු වූ විට ඉගෙන ගන්නේ කොහොමද කියන එක එතරම් වැදගත් නැහැ.

හැම විටම නොවූවත්, පරම්පරා ගණනක් ඇමරිකාවේ ජීවත් වන සුදු හෝ කළු ඇමරිකානු පවුල් වල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඉලක්කය අධ්‍යාපනය මිස විභාග හෝ ලකුණුම නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපනය පූර්ණ එකක් වන්නේ සිසුන්ට පංති කාමරය තුළ අනෙක් සිසුන් සමඟ ගැටෙන්නට අවස්ථාව ලැබේනම් පමණයි. 

ඇමරිකාව හැම තැනම තත්ත්වය මා දන්නේ නැතත්, අපේ ප්‍රදේශයේ පාසැල් හා සරසවි විවෘත කර තිබෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි. සිසුන් හැම විටම මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ සිටිය යුතු අතර අඩි හයක පරතරය පවත්වා ගත යුතුයි. මේ කොන්දේසි යටතේ පන්ති කාමරයක ඉඩ තිබෙන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි. ඒ නිසා, පාසැල් යාමට කැමති සිසුන් සියලු දෙනාටම ඒ අවස්ථාව ලබා දීමේ හැකියාවක් නැහැ.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පංති කාමරයේ සිට ඉගෙන ගැනීමට කැමති සිසුන්ට සතියේ දින පහෙන් දෙකක් එසේ පාසැල් යාමට අවස්ථාව ලැබෙනවා. ඉතිරි දින වල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. වාසගමේ මුල් අකුරු අනුව ගෙදර සිටින දවස් හා පාසැල් යන දවස් තීරණය වෙනවා. 

ගෙදර හතර දෙනෙක් තැන් තැන් වලට වී සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පන්ති කාමරයක හෝ රැකියා ස්ථානයක කරන කටයුතු කිරීමත් පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට එක ගාලගෝට්ටියක්! සංගීතය, සරඹ වගේ විෂයයනුත් තියෙනවනේ!!

(Image: https://www.reddit.com/r/funny/comments/fxgm1p/my_roommates_zoom_meeting_attire/)

Sunday, May 24, 2020

මුලින්ම වතුරට පනින්නේ කවුද?


විසි තුන් හැවිරිදි තරුණියක් පසුගිය 21 වෙනිදා සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පනිනවා. මේ බැව් දකින බොහෝ දෙනෙක් අතරින් එක් අයෙක් වන හමීඩ් රිස්වාන් තරුණියව බේරා ගැනීමේ අදහසින් ජලාශයට පනිනවා. තරුණියව බේරා ගැනීමට දරන උත්සාහය අතරතුරේදී හමීඩ් රිස්වාන් දියේ ගිලී මිය යනවා. ඒ අතර වෙනත් අයෙකු (තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු) වතුරට පැන තරුණියව බේරා ගන්නවා.

මාධ්‍ය වාර්තා අනුව, සියදිවි නසාගැනීමට තැත් කර තිබෙන්නේ දෙමළ හින්දු තරුණියක්. ඇගේ නම මාධ්‍ය වාර්තා වල ඇතත් නම වැදගත් නැති නිසා අපි ඇයව තරුණිය ලෙසම හඳුන්වමු. එහෙත්, ඇගේ දෙමළ හින්දු අනන්‍යතාවය මෙහි කතා කරන මුඛ්‍ය කරුණකට අදාළ නිසා මා ඒ කොටස ඉවත් කරන්නේ නැහැ.

තරුණිය සිය දිවි නසාගැනීමට පෙළැඹී තිබෙන්නේ ඇගේ පෙම් සබඳතාවයකට ගෙදරින් විරුද්ධ වී ඇයව වෙනත් අයෙකුට විවාහ කර දීමට උත්සාහ ගැනීම නිසයි. මේ හේතුව මත ඇගේ පෙම්වතාද සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබී ඇත්තේ ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ පසුගිය 21 දිනයි.

මේ පුවතට වැඩි අවධානයක් යොමු වුනේ හමීඩ් රිස්වාන් නම හා බැඳී තිබෙන මුස්ලිම් අනන්‍යතාවය නිසයි. පසුව අවධානයට ලක් වී ඇති තොරතුරු අනුව රිස්වාන්ගේ පියා මුස්ලිම් අයෙකු වුවත් මව සිංහල කාන්තාවක්. දෙමළ කතෝලික තරුණියක හා විවාහ වී සිට ඇති ඔහු තමන්ගේ දරුවන්ට ලබා දී තිබෙන්නේ සිංහල බෞද්ධ අධ්‍යාපනයක්.

මේ කරුණු අනුව පෙනෙන ආකාරයට රිස්වාන් කියා කියන්නේ ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් පවුල් පසුබිමකින් පැවත එන හා තමන් විසින්ද ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් අයෙක්. අනෙක් අතට සිය දිවි නසා ගන්න උත්සාහ කළ තරුණියගේ පෙම්වතා සමඟ විවාහ වීමට ඇගේ නිවසින් අනුමැතිය නොලැබෙන්න ඇත්තේ ජාති, ආගම්, කුල භේදයක් නිසා, සමාජ ආර්ථික හේතුවක් නිසා හෝ වෙනත් නොගැලපීමක් නිසා වෙන්න ඇති. හේතුව කුමක් වුවත් තරුණියගේ තේරීමට ඇගේ දෙමවුපියන් ඉඩ දී නැහැ.

දැන් අපි දින දෙකකට පෙර සාකච්ඡා කළ ජීවිතයක වටිනාකම කියන සංකල්පය වෙත නැවත යොමු වෙමු. එහිදී අපි කතා කළේ කිසියම් රටක පුද්ගලයෙකුගේ ජීවිතයක සාමාන්‍ය වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් හදාගන්නා සම්මත ක්‍රමවේද පිළිබඳවයි. නමුත්, රටේ සෑම කෙනෙකුගේම ජීවිත සමානව වටිනා බවක් එයින් අදහස් වන්නේ නැහැ. ඒ වගේම, කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම එක දිගටම ස්ථිර මට්ටමක තිබෙන දෙයක් කියා එයින් අදහස් වන්නේත් නැහැ. ජීවිතයක වටිනාකම මිල කළ නොහැකි තරම් අසීමිත නොවුනත්, එම වටිනාකම සංකල්පීය ලෙස හෝ අර්ථ දැක්විය හැක්කේ කිසියම් මොහොතකට හා කිසියම් නිශ්චිත පුද්ගල ජීවිතයකට අදාළවයි.

වඩාත්ම වැදගත් කරුණ මේ දෙකම නෙමෙයි. කිසියම් මොහොතක හා කිසියම් නිශ්චිත පුද්ගල ජීවිතයක වටිනාකම වුවත් වටිනාකම තක්සේරු කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මට මගේ ජීවිතයේ වටිනාකම වෙනත් අයෙකු මගේ ජීවිතයට දෙන වටිනාකමම නෙමෙයි.

ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය වෙනත් අයෙකුගේ ජීවිතයට වඩා වැඩියෙන් මිල කරනවා. ලෝකයේ හැම සමාජයක්ම වගේ කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය වෙනත් අයෙකුගේ ජීවිතයට වඩා වැඩියෙන් මිල කරන්න තිබෙන අයිතිය පිළිගන්නවා. තමන්ගේ ජීවිතය අවදානමට ලක් වී ඇති අවස්ථාවක තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා අනෙකෙකුගේ ජීවිතයට හානියක් කරන්න නීතියෙන් ඇතැම් විට ඉඩ ලැබෙන්නේ ඒ නිසයි. එහෙත්, මේ අයිතියට සීමාවන් තිබෙනවා. මුහුදේ බෝට්ටුවක අතරමං වී සිටින දෙදෙනෙකුගෙන් අයෙකුට ආහාර නැති කමින් මිය යාම වලක්වා ගන්න අනෙකාව මරාගෙන කන්න අයිතියක් නැහැ.

බොහෝ දෙනෙකු බොහෝ විට අනෙකාගේ ජීවිතයටත් සැලකිය යුතු වටිනාකමක් දෙනවා. තමාගේ හැර අනෙක් සියලු දෙනාගේම ජීවිත තේරුමක් නැති ජීවිත කියා හිතන අය දැකිය හැක්කේ ඉතාම කලාතුරකින් පමණයි. එහෙත්, එයින් අදහස් වන්නේ අනෙක් සියලු දෙනාගේම ජීවිත සමානව වටින බව බොහෝ දෙනෙකු විසින් පිළිගන්නවා කියන එක නෙමෙයි. බොහෝ දෙනෙකුට තමන්ගේ පවුලේ, නෑදෑයින්ගේ, යාළුවන්ගේ ජීවිත නොදන්නා අයගේ ජීවිත වලට වඩා වටිනවා. බොහෝ දෙනෙකු විසින් තමන් අයත් ජාතියට, ආගමට, කුලයට, දේශපාලන පක්ෂයට හෝ සමාජ පංතියට අයත් අයගේ ජීවිත වෙනත් අයගේ ජීවිත වලට වඩා වටිනා සේ සලකන එක දුලබ දෙයක් නෙමෙයි.

මේ අතර, තමන්ගේ ජීවිතයට වඩා වෙනත් අයෙකුගේ ජීවිතයක් වඩා වටිනා බව හිතන අයත් ඉන්නවා. විශේෂයින්ම කලාකරුවන්, දේශපාලනඥයින් වැනි අයගේ අනුගාමිකයින් අතර එසේ සිතන අය ඉන්නවා.

කිසියම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් ජීවිතය හානි කර ගැනීමට පෙළඹෙන්නේ තමන්ගේ ජීවිතය තමන්ටම නොවටිනා සේ හැඟී ගිය විටයි. කතානායිකා තරුණිය වෙනත් අයෙකු හා විවාහ වනු දැක දැක ජීවත් වන්නට සිදු වේනම් තමන්ගේ ජීවිතයේ කිසිදු වටිනාකමක් නැති බව ඇගේ පෙම්වතාට හිතෙන්න ඇති. පෙම්වතා මිය යාමෙන් පසුව වෙනත් අයෙකු හා විවාහ වී ගෙවන ජීවිතයක කිසිදු වටිනාකමක් නැති බව තරුණියට දැනෙන්න ඇති.

මේ විදිහට සිය දිවි හානි කර ගන්න උත්සාහ කරන අයෙකුව වලක්වන්න අනෙක් අය උත්සාහ කරන්නේ ඇයි? එය අනවශ්‍ය ලෙස පුද්ගල නිදහසට බාධා කිරීමක් නෙමෙයිද?

සියදිවි නසාගන්න උත්සාහ කරන කෙනෙක් ඒ මොහොතේ තමන්ගේ ජීවිතයේ වටිනාකම ශුන්‍ය සේ සැලකුවත් අනෙක් අය ඒ විදිහට හිතන්නේ නැහැ. ඔවුන්ට ඒ නැති වෙන්න යන ජීවිතයේ යම් වටිනාකමක් පෙනෙනවා. සිය දිවි හානි කර ගැනීමේ උත්සාහය වළක්වන්න වෙනත් අය ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

වෙනත් අය මැදිහත් වී සිය දිවි හානි කර ගැනීමේ උත්සාහයක් වැළැක්වීමෙන් පසුව නැවත ජීවිතය ලබන බොහෝ දෙනෙක් පසුව ඒ වෙලාවේ හදිසි වී ගත් තීරණය ගැන පසු තැවෙනවා. එසේ නොවන අවස්ථා තිබුණත්, බොහෝ විට එවැනි අයෙකු දිගින් දිගටම තමන්ට ජීවිතය හානි කර ගන්න ඉඩ නුදුන් අයට දොස් කියන්නේ නැහැ. ස්තුතිවන්ත වෙනවා. මේ පදනමින් සිය දිවි හානි කර ගැනීමට ක්ෂණිකව ඇති වන සිතුවිල්ලක් වෙනත් අයගේ උදවු අවශ්‍ය වන රෝගී තත්ත්වයක් සේ සැලකිය හැකියි. එහෙත්, හොඳින් හිතා මතා අනායාස මරණයක් (euthanasia) තෝරා ගන්නා අයෙකු සම්බන්ධවනම් තත්ත්වය වෙනස්.

පුද්ගලයෙක් හැම වෙලාවකම තමන්ගේ ජීවිතය කැමැත්තෙන් විනාශ කර ගන්නේ ජීවිතයේ වටිනාකම ශුන්‍ය සේ සලකන නිසාමද? එසේනම් දේශපාලනික අරමුණු වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද?

මෙවැනි ගොඩක් අය මරණයෙන් මතු ජීවිතයක් ගැන විශ්වාසය තබන අයයි. ඔවුන්ට මේ ජීවිතයේ වටිනාකමක් තිබුණත්, මරණයෙන් මතු අපේක්ෂිත ජීවිතයේ වටිනාකමට සාපේක්ෂව මේ ජීවිතය අත් හැර දැමීමේ ආවස්ථික පිරිවැය අඩුයි.

එසේනම් මතු භවයක් ගැන විශ්වාසයක් නැති නිරාගමික දේශපාලන ක්‍රියාකාරීන් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද? එවැනි අය බොහෝ විට කරන්නේ ජීවිතය අහිමි වීමේ අවදානමට මුහුණ දීම මිස සිය දිවි හානි කර ගැනීමක් නෙමෙයි. යුද හමුදා සාමාජිකයෙකු වුවත් එහෙමයි. ඔවුන් කැමැත්තෙන් ගන්නා ඉහළ අවදානම තුළ මිය යාමේ ඉඩකඩ ඉහළ යනවා මිස කිසි කෙනෙක් මිය යාමේ අරමුණින් යුද්ධ කරන්නේ නැහැ.

දියේ ගිලී මිය යන්න යන නාඳුනන තරුණියක් බේරා ගන්න දෙවරක් නොහිතා වතුරට පනින හමීඩ් රිස්වාන් වගේ තරුණයෙක් එසේ කරන්නේත් මැරෙන්න බලාගෙන නෙමෙයි. අනිවාර්යයෙන්ම මැරෙනවා කියා දන්නවානම් ඔහු වතුරට පනින්නේ නැහැ. ඔහු කරන්නේ මිය යාමට ඉඩ ඇති නාඳුනන තරුණියගේ ජීවිතයේ වටිනාකම වෙනුවෙන් අවදානමක් ගැනීමයි.

මේ ආකාරයෙන් වෙනත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට තමන්ගේ ජීවිතය අවදානමේ හෙළන කෙනෙක් තමන්ගේ ජීවිතයට සාපේක්ෂව අනෙකාගේ ජීවිතයට කොපමණ වටිනාකමක් දෙනවාද?

තමන්ගේ ජීවිතයට තමන් දෙන වටිනාකම A ලෙසත්, අනෙකාගේ ජීවිතයට තමන් දෙන වටිනාකම B ලෙසත් හිතමු. මේ වගේ ක්‍රියාවක් දෙස බලා A සහ B සසඳන්නනම් අපට තවත් කරුණු දෙකක් දැන ගන්න වෙනවා. පළමු කරුණ මේ විදිහට වතුරට පැන ජීවිතය බේරා ගන්න කිසියම් තිබෙන පුද්ගලයෙකුට තිබෙන හැකියාවයි. සම්භාවිතා අගයක් ලෙස අපි මෙය q ලෙස ගනිමු. දෙවැන්න, මේ කටයුත්තේදී ජීවිතය බේරාගන්න ඉදිරිපත් වන පුද්ගලයා සිතන ආකාරයට ඒ පුද්ගලයාගේ ජීවිතය හානි වෙන්න තිබෙන සම්භාවිතාවයි. අපි එම අගය p කියා කියමු.

දැන් යමෙක් දියේ ගිලී මිය යන්න යන කොට පැත්තකට වී සිටින කෙනෙකු ඉදිරිපත් වී එම ජීවිතය බේරා ගැනීමෙන් එසේ ජීවිතය බේරාගන්න ඉදිරිපත් වන පුද්ගලයා ලබන වාසිය B*q. එහි පිරිවැය A*p. ඒ අනුව, කිසියම් පුද්ගලයෙකු ජීවිතය බේරා ගන්න වතුරට පනිනාවද කියන එක තීරණය වෙන්නේ B*q - A*p අගය බිංදුවට වඩා වැඩිද නැද්ද කියන එක මතයි.

මෙයින් කියන්නේ ඔය වගේ වෙලාවක වතුරට පනින කෙනෙක් ඊට කලින් ඔය වගේ ගණනය කිරීමක් කරලා වතුරට පනිනවද නැද්ද යන්න තීරණය කරන බව නෙමෙයි. ඔයිට වඩා වෙනස් විවිධ තීන්දු ගනිද්දීත් මිනිස්සු බොහෝ විට ලාබ අලාබ ගණනය කර කර ඉන්නේ නැහැ. එහෙත්, එහෙම ක්ෂණිකව හිතා හෝ කාලයක් සැලසුම් කර ගන්නා තීරණ මේ වගේ ආකෘතියක් යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන්. ආකෘතියකින් කරන්නේ ඒකයි. හරියට කලින් ගණන් හදා වේගය සැලසුම් කර නොගෙන පොල් ගෙඩියක් බිම වැටෙන ආකාරය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇසුරෙන් පැහැදිලි කරනවා වගේ.

අපි හිතමු p = 0 යි කියා. ඒ කියන්නේ මෙහි කිසිම ජීවිත අවදානමක් නැහැ. ඔය පැත්තක සිට කඹයක් දැමීම, උදවු ඉල්ලා කෑ ගැසීම වගේ දෙයක් කියමු. නමුත්, q > 0.  මේ අවස්ථාවේදී  A*p = 0 නිසා B*q - A*p අගය බිංදුවට වඩා වැඩි නොවන්නේ B = 0 නම් පමණයි. ඔය වගේ දෙයක්වත් නොකර කවුරු හෝ අහක බලාගෙන යනවානම් ඒ පුද්ගලයාට අනෙකාගේ ජීවිතයේ කිසිම වටිනාකමක් නැහැ.

හැබැයි ඔය වගේ වෙලාවක කෙනෙක් වතුරට පනින්නේ නැහැ කියන එකෙන් එවැන්නෙක් අනෙකාගේ ජීවිතයේ වටිනාකම නොසලකා හරිනවා කියා අදහස් වෙන්නේ නැහැ. එය අනෙකා වෙනුවෙන් දැනෙන සහකම්පනය මත වගේම A, q සහ p කියන අගයයන් තුන මතත් තීරණය වන දෙයක්.

පීනන්න නොදන්නා කෙනෙකුගේ p අගය ගොඩක් වැඩියි. q අගයත් සාපේක්ෂව වැඩියි. p අගය එකට ආසන්නව තියද්දී, ඒ කියන්නේ මැරෙන බව ස්ථිරව දැනගෙනම, කෙනෙක් වතුරට පනිනවානම් එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකම තමන්ගේ ජීවිතයට දෙන වටිනාකමටත් වඩා වැඩියි කියන එකයි.

ගොඩක් වෙලාවට කිසියම් පුද්ගලයෙකු ඔය වගේ වෙලාවක වතුරට පනින හෝ නොපනින එක තීරණය වෙන්නේ අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකමට (B අගයට) වඩා තමන්ට සාපේක්ෂව එහි ඇති අවදානම (p අගය) හා ඵලදායීත්වය (q අගය) වෙනස් වන ආකාරය අනුවයි. අපි හිතමු තමන්ගේ ජීවිතයේ වටිනාකම (A අගය) මිලියන 100ක් කියලා. අනෙකාගේ ජීවිතයේ වටිනාකමත් (B අගය) මිලියන 100ක්. වතුරට පැනීමේ ජීවිත අවදානම 50%ක්. ඒ කියන්නේ p = 0.5යි. අවදානමක් ගෙන වතුරට පැනීමෙන් අනෙකාගේ ජීවිතය බේරගන්න හැකි වීමේ සම්භාවිතාව 25%ක්. ඒ කියන්නේ q = 0.25යි. මෙහිදී මේ පුද්ගලයා විසින් අනෙකාගේ ජීවිතයට තමන්ගේ ජීවිතයට දෙන වටිනාකමටම සමාන වටිනාකමක් දුන්නත් B*q - A*p = 100 x 0.25 - 100 x 0.5 = -25 < 0 නිසා ඔහු වතුරට පනින්නේ  නැහැ. ඒ නිසා, අනෙකාගේ ජීවිතය තමන්ගේ ජීවිතය තරමටම අගය කළ පමණින් පමණක් කෙනෙක් කවදාවත් ජීවිතයක් බේරා ගන්න වතුරට පනින්නේ නැහැ.

අනෙක් අතට අපි හිතමු පුද්ගලයෙක් අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකම මිලියන දෙකක් පමණයි කියා. තමන්ගේ ජීවිතයේ වටිනාකම මිලියන 100යි. ඒ කියන්නේ අනෙකාගේ ජීවිතයට දෙන්නේ සාපේක්ෂව ඉතාම අඩු වටිනාකමක්. නමුත්, මේ පුද්ගලයාට තමන්ගේ පිහිනීමේ දක්ෂතාවය පිළිබඳව විශාල විශ්වාසයක් තිබෙනවා. ඔහුට අනුව, මේ වැඩෙන් තමන්ගේ ජීවිතය හානි වෙන්න තිබෙන ඉඩකඩ 1%ක් පමණයි. අනෙක් ජීවිතය බේරාගන්න හැකි වීමේ ඉඩකඩ 75%ක් . ඒ කියන්නේ p = 0.01 සහ q = 0.75. දැන් B*q - A*p = 2*0.75 - 100 x 0.001 = 0.5 > 0. ඒ නිසා, මේ පුද්ගලයා වතුරට පනිනවා. නමුත්, අනෙකාගේ ජීවිතයට තමන්ගේ ජීවිතයට තරම්ම හෝ ඊටත් වැඩි වටිනාකමක් දෙන වෙනත් බොහෝ අය පාලම උඩට වී බලා ඉන්නවා.

මේ හේතුව නිසා කවුරු හෝ දියේ ගිලී මැරෙන්න යන කොට මුලින්ම වතුරට පනින්නේ අනුන්ගේ ජීවිත ගැන වැඩියෙන්ම සංවේදී, වැඩිම සහකම්පනයක් දැනෙන පුද්ගලයා කියා නිශ්චිතව කියන්න බැහැ. බොහෝ විට එසේ වතුරට පනින්නේ තමන් විසින් ගන්නා ජීවිත අවදානම පිළිබඳව අඩුම තක්සේරුවක් තිබෙන හා කරන්න යන වැඩේ සාර්ථකත්වය පිළිබඳ වැඩිම විශ්වාසයක් තිබෙන පුද්ගලයා. ඒ කියන්නේ තමන්ගේ පිහිනීමේ කුසලතාවය පිලිබඳව වැඩිම විශ්වාසයක් තිබෙන පුද්ගලයා.

ඒ නිසා, මේ වගේ වෙලාවක වතුරට පනින මිනිස්සු වැඩි වැඩියෙන් බිහි කරගන්න අවශ්‍යනම් එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සහකම්පනය වර්ධනය කරන්න උත්සාහ කරන එක නෙමෙයි. ඒ වැඩේට මහන්සි වුනා කියා බොහෝ විට අවශ්‍ය කටයුත්ත සිදු වෙන්නේ නැහැ. කළ යුත්තේ මේ වගේ කටයුත්තකට ඉදිරිපත් වීමේ ජීවිත අවදානම අඩු කෙරෙන හා ඵලදායීත්වය වැඩි කරන කුසලතා වර්ධනය දිරිගන්වන එකයි. එය වඩා පහසුවෙන් කළ හැකි දෙයක්.

Friday, May 22, 2020

ජීවිතයක වටිනාකම හරියටම කීයද?


ජීවිතයක වටිනාකම මිල කළ නොහැකියි වගේ කතා නිතර කියැවෙනවා. මේ කතාව ඇත්තද? ඕනෑම දෙයකට නියම මිලක් තියෙනවානම් ජීවිතයක වටිනාකමට මිලක් තියෙන්න විදිහක් නැද්ද?

වෙනත් හැම දේකටම වගේම ජීවිතයකටත් මිලක් තිබෙනවා. ටිකක් අමාරු වුනත් ඒ මිල ඇස්තමේන්තු කළ හැකි ක්‍රමවේදත් තිබෙනවා. ඒ ක්‍රමවේද අනුසාරයෙන් සිදු කළ ඇස්තමේන්තුත් තිබෙනවා. මහජන සෞඛ්‍යය, වෛද්‍ය ප්‍රතිකාර, නියාමන ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධ තීරණ ගන්නා අවස්ථා වලදී මෙවැනි ඇස්තමේන්තු ප්‍රයෝජනයට ගැනෙනවා.

කෝවිඩ්-19 හා අදාළව අනුගමනය කරන විවිධ ක්‍රියාමාර්ග වලදීද ජීවිතයක වටිනාකම සැලකිල්ලට ගන්න වෙනවා. රටක් ලොක් ඩවුන් කර තබා ගැනීමෙන් කෝවිඩ්-19 මරණ ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. එහෙත්, ඒ වෙනුවෙන් වෙනත් පාඩු රැසක් සිදු කර ගන්න වෙනවා. ඒ වෙනත් පාඩු මුදලින් මැනිය හැකියි කියා අපි හිතමු. එසේනම්, ඒ පාඩුව අඩුවන මරණ වල වාසිය සමඟ සැසඳිය හැක්කේ කෙසේද? මෙය කරන්නනම් රට ලොක්ඩවුන් කිරීම නිසා ඉතිරිවන ජීවිත වල වටිනාකම පිළිබඳ කිසියම් හෝ අදහසක් තිබිය යුතුයි.

ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකි ප්‍රධාන ක්‍රම දෙයක් තිබෙනවා. පළමුවැන්න පුද්ගලයෙකුගෙන් කෙළින්ම අසා දැන ගන්නා සෘජු ක්‍රමයයි. දෙවැනි ක්‍රමය පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර විශ්ලේෂණය කරන වක්‍ර ක්‍රමයයි.

මේ ක්‍රම දෙකේදීම පළමුව කරන්නේ කිසියම් පුද්ගලයෙකු තමන් මරණයට පත් වීමේ සම්භාවිතාව කිසියම් ප්‍රමාණයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්නට සූදානම්ව සිටින උපරිම මිල සොයා සොයා ගැනීමයි. ඉන් පසුව ඒ අනුසාරයෙන් ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකියි.

උදාහරණයක් විදිහට ඔබට කෝවිඩ්-19 හැදුනොත් මිය යන්න 1%ක ඉඩක් තිබෙනවා කියා හිතමු. ඒ ඉඩකඩ නැති කර ගැනීම වෙනුවෙන් ඔබ උපරිම වශයෙන් කොපමණ මුදලක් ගෙවන්න ලෑස්තිද? මේ මිල රුපියල් මිලියනයක්නම් එයින් අදහස් වන්නේ ජීවත් වීමේ ඉඩකඩ 1%කින් වැඩි කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියනයක් බවයි. ඒ අනුව, මිය යාමේ ඉඩකඩ 100%කින් අඩු කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 100ක් කියා කිව හැකියි. මේ විදිහට ඇස්තමේන්තු කරන අගය සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම (value of a statistical life) ලෙස හැඳින්වෙනවා.

සෘජු ක්‍රමයේදී කරන්නේ නියැදි සමීක්ෂණයක් මගින් එක් එක් පුද්ගලයා තමන්ගේ ජීවිත අවදානම යම් ප්‍රතිශතයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්න සූදානම් මුදල සෘජුවම අසා දැන ගැනීමයි.

වක්‍ර ක්‍රමය ඊට වඩා තරමක් සංකීර්ණයි. මෙහිදී කරන්නේ පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමයි. උදාහණයක් විදිහට කවුරු හෝ කෙනෙක් සල්ලි බෙදනවා. මේ සල්ලි ගන්න ගොස් පෑගී මැරෙන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. අපි හිතමු මේ සම්භාවිතාව 1/1000ක් කියා. රුපියල් 5000ක් වෙනුවෙන් මේ අවදානම ගන්නා කෙනෙක් තමන්ගේ ජීවිතයේ වටිනාකම ලෙස දකින්නේ රුපියල් 1000x5000 = රුපියල් මිලියන 5ක මුදලක්.

ඔය වගේ පෝලිමකට එකතු නොවන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ අවදානම් ගන්නා වෙනත්  අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෝටර් රථයක් පදවාගෙන ගමනක් යන කෙනෙක් අනතුරකට ලක් වී මිය යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ දෙනෙක් ඒ අවදානම ගන්නවා. මසුන් මරන්න මුහුදු යන අය අනතුරකට ලක් වීමේ අවදානමක් තිබෙනවා. එහෙත්, ලැබෙන ආදායම වෙනුවෙන් බොහෝ දෙනෙක් එම අවදානම ගන්නවා.

සාමාන්‍යයෙන් මුහුදු රස්සාව කරන කෙනෙක් මුහුද ගොඩක් රළු දවසක මුහුදු නොයා ගෙදර ඉන්නවා. ඒ වගේ කෙනෙක් මුහුදු යන හා නොයන දවස් නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන මාළු වෙනුවෙන් ගන්නා ජීවිත අවදානම ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඉන් පසු ඒ අනුසාරයෙන් සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්.

ඇමරිකාව වැනි බටහිර රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබඳව පර්යේෂකයින් බොහෝ දෙනෙකු විසින් ඇස්තමේන්තු හදා තිබෙනවා. ඒ නිසා, ඇමරිකානුවෙකුගේ ජීවිතයක වටිනාකම පිළිබඳව බොහෝ දෙනෙකු එකඟ වන අගය පරාසයක් තිබෙනවා. මේ අගය ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 9ක් පමණ වෙනවා.

ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබද පර්යේෂණ අධ්‍යයන සිදුව තිබෙන්නේ ඉතා අඩුවෙන්. එක් මෑතකාලීන ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇමරිකන් ඩොලර් 654,000ක් හෙවත් රුපියල් මිලියන 125ක් පමණ වෙනවා.

මේ ආකාරයට ඇස්තමේන්තු කරන සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම සාමාන්‍ය අගයක්. මෙවැනි ඇස්තමේන්තුවක් බොහෝ විට යොදා ගැනෙන්නේ රටටම බලපාන පොදු තීරණයක වාසි අවාසි සැසඳීම සඳහා බැවින් ජීවිතයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වී මේ ඇස්තමේන්තුවත් වෙනස් වෙන නිසා වරින් වර එය යාවත්කාලීන විය යුතුයි.

Reference 
Viscusi, W. K., & Masterman, C. J. (2017). Income elasticities and global values of a statistical life. Journal of Benefit-Cost Analysis, 8(2), 226-250.


Friday, January 25, 2019

ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට...


කලින් පෝස්ට් එක දැම්මේ යටි පෙළක් ඇතිව නෙමෙයි. මතක හැටියට පොඩි කාලේ අහපු කතාවයි ලිවුවේ. අන්තිම හරිය හරියටම මතක තිබුණේ නැහැ. මම අහපු කතාවෙත් අන්තිමට වුනේ කතා කතු විසින් සටහන් කර තිබුණ දේ හෝ GG විසින් සටහන් කර තිබුණ දේ වෙන්න පුළුවන්. බොහෝ විට කතාවේ වර්ෂන් කිහිපයක් තියෙන්න ඇති. ප්‍රතිචාර දමන්නට කාලය යෙදවූ සියල්ලන්ටම ස්තුති කරනවා වගේම ඒ ප්‍රතිචාර කියෙවුවහම අප උපයාගෙන තිබෙන ධනයක් වන මෙය කියවන පාඨකයින් ගැන සතුටක් හා ආඩම්බරයක් ඇති වෙනවා. කොහොම වුණත් කතාව සටහන් කළේ වෙන දෙයක් ගැන කතා කරන්න ප්‍රවේශයක් විදිහටයි.

තවත් ගොඩක් අය අහල තියෙන මේ කතාවේ හෝ මේ වගේ කතාවක හැටියට පුතා විසින් තමන්ගේ වයස්ගත අම්මව කැලේකට හෝ අමු සොහොනකට ගිහින් දාලා ඇගේ බරින් නිදහස් වෙන්න හදනවා. මේ සිද්ධිය කාගේ හරි හිතේ ඇඳුනු මනඃකල්පිත සිදුවීමක් පමණක්ද? නැත්නම් ඇත්ත සිදුවීමක් මත පදනම් වූ කතාවක්ද? ඒ වගේ ඇත්ත සිදුවීමක් වුණානම් එය එක් හුදෙකලා සිදුවීමක්ද? එසේ නැත්නම් නැන්දම්මා ලේලි ගැටුම් වගේ නිතර සිදුවුණු සාමාන්‍ය දෙයක්ද?

ජෝන් ෆර්ගසන් විසින් දහනවවන සියවසේ අග හරියේදී සටහන් කර තිබෙන පරිදි, ඒ සියවසේ මුල් කාලය වෙද්දීත්, ඒ කියන්නේ ඉංග්‍රීසින් ලංකාවට එන කාලය වෙද්දී, ලංකාවේ මේ වගේ දෙයක් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඔහු විසින් සටහන් කර තිබෙන පහත කරුණු මා අනුවර්තනය කර මෙහි පළ කරන්නේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම සඳහා නෙමෙයි. ඒ කාලයේ සමාජය මොන වගේ එකක්ද කියන එක පෙන්වා දෙන්නයි. ජෝන් ෆර්ගසන් අදහස් කළේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම වෙන්න පුළුවන්.

"සතුන් මැරීම මුළුමනින්ම තහනම් වූ බුද්ධාගමේ ආභාෂය ලබමින් දීර්ඝ කාලයක් හැදුණු මිනිස්සු වුවත් මේ අය ඇතැම් පොඩි සත්තුන්ට සලකන්න පුරුදු වී තියෙන්නේ ඉතිහාසයේ දැකිය හැකි කුරිරුම ආකාරයන්ටයි. කැස්බෑවන්ව පණ පිටින් පුච්චන පුරුද්ද නවත්තන්න අන්තිමට නීතියක් දාන්න පවා සිදු වුණා."

ඉබ්බන් වගේම කැස්බෑවනුත් පණ පිටින් පුච්චන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්ව තිබී ඇති බව තහවුරු කරන තවත් ජන කතාවක් වන්නේ අප හැමෝම වගේ අසා තිබෙන දස සිල් උපාසකගේ කතාවයි.

"මස් මෙළෙක් වෙනවායයි සිතා කළුකුමන් මරන්නට පෙර පණ පිටින් සිටියදී උන්ගේ දිව කපන එකත් මේ අයගේ පුරුද්දක්. ඔය වගේ දේවල් තව ලැයිස්තුවක් ලියන්න පුළුවන්."

ඔය විදිහටම ඌරෝ මරන්න කලින් මස් මෙළෙක් කර ගැනීමට උන්ට පොළු වලින් පහර දෙන එක වසර තිහ හතළිහකට පෙර කාලයේත් සිදු වූ බව මා අසා තිබෙනවා.

බෞද්ධයින්ගේ දෙබිඩිකම මසුන් මරණ බෞද්ධයින් කියන කතාව පහත කතාවෙන් පැහැදිළිව පේන බව ජෝන් ෆර්ගසන් සටහන් කරනවා (පිටුව 180).

"අපි මාලුන්ව මරන්නේ නැහැ. අපි කරන්නේ උන්ව වතුරෙන් ගොඩට ගන්න එක විතරයි. උන් මැරෙන්නේ ඉබේටයි."

මේ විදිහටම සත්තු මැරීමේ පවෙන් බේරිලා සත්තුන්ගෙන් නිදහස් වෙන්න බලු පැටවුන් හා පූස් පැටවුන් වාහනයකට අහුවෙන්න පාරක් මැදින් තබන බවත්, සර්පයින්ව වේවැල් කූඩයකට දමා ගඟ දිගේ මුහුදට පා කර අරින බවත් ඔහු කියනවා.

"මේ දේවල් වෙන්නේ හොඳම බෞද්ධයින් ඉන්න දකුණේ මාතර දිස්ත්‍රික්කයේ."

ඔන්න මාතර කට්ටියගේ ඉතිහාසය.

"මේ විදිහටම මහළු අසරණ මිනිස්සුන්ව ඔවුන්ගේ නෑදෑයින්ට කරදරයක් වීමෙන් බේරෙන්නට බත් මුලක් හා වතුර භාජනයක් අතට දී, වන සතුන්ට ගොදුරු වී මැරෙන්න ඉඩහැර මහ කැලේ තනිකර දමා එන එක මේ සියවසේ මුල දක්වාම තිබුණු පුරුද්දක්."

ඔය විදිහට අර ජනකතාවේ සිදුවීම මනඃකල්පිත හෝ කලාතුරකින් පමණක් සිදු වී තිබෙන සිදුවීමක් නෙමෙයි.



(Images: http://www.ips.lk/talkingeconomics/2016/06/15/world-elders-abuse-awareness-day-sri-lankas-greying-economy-an-impending-problem/)

Sunday, October 7, 2018

ඔබට සතුටුයිද දැන්?


ටික දවසකට කලින් ලියපු ලිපියකින් මම කියන්න උත්සාහ කළේ මිනිහෙකුගේ ආදායම, වත්කම් වගේ දේවල් හා ලබන සතුට අතර තිබෙන්නේ දුර්වල සම්බන්ධයක් බවයි. ධනය වැඩි අයෙකුගේ ධනය තවතවත් වැඩි වන විට සතුට වැඩි වෙන්නේ ඉතා සෙමින්. එයට හේතු ගණනාවක් තිබෙනවා. කොහොම වුනත් ඒ හේතු ගැන මේ වෙලාවේ කතා කරන්න අදහසක් නැහැ.

මිනිස්සු තමන්ට මුදලින් අවාසි වෙන තීරණ ගන්න අවස්ථා ඕනෑ තරම් තිබුණත්, ඒ වගේ වෙලාවල් වලදීත් තමන්ගේ සතුට අඩු වෙන තීරණ ගන්නේ නැහැ. මුදල් වලින් පාඩුවක් වෙන තීරණයක් ගැනීම නිසා වෙනත් ක්‍රමයකින් තමන්ගේ සතුට වැඩි වෙනවනම් මිනිහෙක් ගන්නේ සතුට වැඩිවන තීරණය මිසක් මුදල් වැඩිවන තීරණය නෙමෙයි. රැකියාව, විවාහය, සංක්‍රමණය වගේ ගොඩක් තීරණ වලදී මේ කරුණ පෙනෙන්න තිබෙනවා.

ඉහත කතාව ගැන කියවපු කිසි කෙනෙක් විරුධත්වයක් දැක්වූයේ නැහැ. නමුත්, ඇතැම් අය මම කියූ දෙයින් තවත් ගොඩක් ඉදිරියට ගිහින් මුදල් නිසා සතුට අඩු වෙනවා කියන අනිත් අන්තයටම ගිහින් ඉන්න බව පෙනුණා. අදාළ පර්යේෂණම නොවුනත් ඒ පර්යේෂණ උපුටා දක්වමින් පළ කළ පුවත්පත් ලිපි වලටත් අවධානය යොමු කරවලා තිබුණා.

ආදායම හා සතුට අතර තිබෙන සම්බන්ධය මම පෞද්ගලිකවත් අධ්‍යයනය කර තිබෙන කරුණක්. ඒ වගේම, මේ හා අදාළව පර්යේෂණ පත්‍රිකා පළ කරලා තිබෙන ඇතැම් අය මා හොඳින් දන්නා අය. තවත් අය එක්ක වරක් හෝ කතා කරල තිබෙනවා. මේ හා අදාළව ලියැවී තිබෙන ගොඩක් දේවල් කියවලත් තිබෙනවා. ඒ හැම දෙයකින්ම පසුව මගේ පෞද්ගලික නිගමනයනම් මේ කරුණ ගැන ඒ ලියා ඇති කිසිම දෙයකින් ලොකු නිගමන වලට එන්න නොහැකි බවයි. ඒ පර්යේෂණ ගැන තිබෙන විවේචන සිංහලෙන් ලියන බ්ලොග් එකක ලියන එකේ තේරුමක් නැති නිසා මෙහි ලියන්නේ නැහැ.

ධනය අතට ලැබෙද්දී සතුට අඩුවනවානම් එයින් අදහස් වෙන්නේ මිනිස්සුන්ට ධනවත් වෙන්න පහසුකම් සැලසීම වැරැද්දක් කියන එකයි. මිනිස්සුන්ට දුප්පතුන් විදිහටම ඉන්න දුන්නම සතුටු වෙනවනම් ඒ සතුට නැති කරන එක මොන තරම් අපරාදයක්ද?

නමුත්, මේ තර්කය නිවැරදි නැහැ. ධනය අතේ තිබෙන කෙනෙකුට ඒ ධනය නිසා තමන්ගේ සතුට අඩු වෙනවා කියා තේරෙනවනම් තමන්ගේ ධනය වෙන කාට හරි දීල නිදහස් වෙන එක හරිම පහසු දෙයක්. කතා වල ඒ වගේ දේවල් සුලභ වුවත් සැබෑ ලෝකයේ එවැනි දේ නිතර වෙන්නේ නැහැ. නමුත්, සිදුවන අවස්ථා තිබෙනවා. මේ විදිහට තමන් අතේ තිබෙන ධනයෙන් නිදහස් වෙන්න බලාගෙන ඉන්න, ධනය නිසා පීඩා විඳින මිනිස්සු ගණනට සාපේක්ෂව බැලුවහම ධනය නැති කමින් පීඩා විඳින මිනිසුන් ගණන ගොඩක් වැඩියි.

අපේ කට්ටකාඩුවේ ලොකු මල්ලී ලියා තිබෙන විදිහට, ලලිත් ගුණවර්ධන, බස්සා වගේ අය එකඟ වෙලා තිබෙන විදිහට "අපි බොහෝ දෙනෙක් අල්පේච්ඡ වන්නේ තේරීමක් (choice) ලෙස නොව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා". ධනය තිබෙන කෙනෙක්ට අල්පේච්ච ජීවිතයක් ගත කරන්න අවශ්‍යනම් ඒකට ලොකු බාධාවක් නැහැ. ඒ වගේම, එවැන්නෙකු සතුටු වෙන්නේ වඩා සුඛෝපභෝගී දිවි පැවැත්මකින්නම් ඒ සඳහා අවශ්‍ය ධනයත් ඔහු සතුව තිබෙනවා.

නමුත්, ධනය නැති කෙනෙකුට මේ තේරීම නැහැ. එවැනි කෙනෙක් ඇතැම් විට අර විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු සමග සංවාදයක යෙදුණු මාළුකාරයා වගේ තමන්ගේ දැන් ජීවිතයෙන් හොඳටම සතුටු වෙන කෙනෙක්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනෙක්ට ලොකු බිස්නස් එකකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

ඒ වුණත්, හැම මාළුකාරයාම හිතන්නේ ඔය සංවාදයේ පැටලුණු මාළුකාරයා වගේ නෙමෙයි. ගොඩක් අය තමන්ගේ දැන් ජීවිතයෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එහෙම අය බලාගෙන ඉන්නේ දැන් ඉන්න තැනින් අඩියක් ඉස්සරහට තියන්නේ කොහොමද කියලයි.

තවත් ගොඩක් අය සල්ලි හොයන්න වැඩිපුර මහන්සි නොවෙන්නේ සල්ලි වලට අකැමැති නිසා නෙමෙයි. සල්ලි හොයන්න සිදුවිය යුතු මහන්සියට අකැමැති නිසයි. එහෙම මහන්සි නොවී ධනය එක්රැස් කරගන්න ක්‍රමයක් තියෙනවනම් මේ ගොඩක් අය එපා කියන්නේ නැහැ.

මම පෞද්ගලිකව ගත්තොත් මට ජීවත් වෙන්න මහගොඩක් දේවල් අවශ්‍ය නැහැ. මම තරුණ කාලයේදීවත් බඩු මිල දී ගනිද්දී සන්නාම පස්සේ පන්නපු කෙනෙක් නෙමෙයි. මට අවශ්‍යනම් මීට වඩා ටිකක් වැඩි ආදායමක් ලැබිය හැකි රැකියාවක් හොයාගන්න අපහසු නැහැ. නමුත්, දැන් රැකියාව කරද්දී තිබෙන නිදහසට මම කැමතියි.

මේකම වෙනත් විදිහකට කියනවනම් වඩා වැඩි ආදායමක් හොයන්න දැන් මම සතුට ලබන වෙනත් දේවල් කැප කරන්න මම කැමති නැහැ. එහෙම නැතුව පහසුවෙන් මුදල් ලැබෙනවනම් සංචාරයේ යෙදීම වගේ දේවල් වෙනුවෙන් තවත් ඕනෑ තරම් මුදල් වැය කරන්න බැරිකමක් නැහැ.

මෙහෙම කිවුවත් මම මේ කියන අල්පේච්ඡ ජීවිතය කියන්නේ මොන වගේ එකක්ද? වැඩිය නෙමෙයි දැනට අවුරුදු දහයකට කලින් මම ගෙවපු ජීවිතයට ආපහු ගිහින් මට අද තරමටම සතුටින් ඉන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ නැහැ.

හැම දෙනාම නොවුනත් අල්පේච්ඡ දිවි පැවැත්මකින් සතුටු වෙන මම වගේ තවත් ගොඩක් අය තමන්ගේ ඒ අල්පේච්ඡ ජීවිතය අර්ථ දක්වාගන්නේ තමන් දැන් ඉන්න සමාජ තත්ත්වයට සාපේක්ෂවයි. මොන විදිහෙන් හෝ තමන් ඉන්න තැනින් උඩට යාමේ පිස්සුවක් (මා ඇතුළු) මේ අයට නැති වෙන්න පුළුවන්. නමුත්, තමන් ගතකරන ජීවිතය හිතාහිටි තරම්ම අල්පේච්ඡ එකක් නොවන බව හරියටම තේරෙන්නනම් මොකක් හෝ අවුලක් වෙලා දැන් ඉන්න තැනින් අඩියක් පහළට වැටෙන්න ඕනෑ.

ඒ වගේම, මේ වගේ අල්පේච්ඡ ජීවිත ගෙවන (නැවතත් මා ඇතුළු) ගොඩක් අයගේ වත්කම් හෝ ආදායම් මොන විදිහකින් හෝ පොඩ්ඩක් ඉහළ ගිය විට වෙන්නේ ඔය අල්පේච්ඡකම තවදුරටත් තිබුණත් එහි ලක්ෂණ වෙනස් වෙන එකයි. බයික් එකක් ගන්න පුළුවන් කෙනෙක් කැමැත්තෙන්ම බස් එකේ යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙද්දී ටොයෝටා ලෑන්ඩ් කෲෂර් එකක යන්න පුළුවන් කෙනෙක් ඩබල් කැබ් එකක යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙනවා වෙන්න පුළුවන්.

තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරගන්න තරම් වත්කම් හෝ ආදායම් නැති අයෙක් තමන් දැනට ගත කරන ජීවිතයෙන් සතුටු වෙන්නේම නැති බව කියන්න බැරි නමුත් එවැනි අයෙකුට කිසියම් මුදලක් ලැබුණු විට වැඩිවන සතුට ධනවතෙකුට මුදලක් ලැබුණු විට වැඩිවන සතුටට වඩා ගොඩක් වැඩියි. ආදායම් මට්ටම යම් තැනකට ආවට පස්සේ හැමෝටම නොවුනත් ගොඩක් අයට සල්ලි පස්සේ පැන්නීම ඇති වෙනවා. නමුත්, එයින් කියන්නේ සල්ලි එපා වන බව හෝ සල්ලි නිසා සතුට අඩුවන බව නෙමෙයි. වෙනත් ඇතැම් දේවල් වලින් ලැබෙන සතුට සල්ලි වලින් ලැබෙන සතුටට වඩා වැඩි බවයි.

මේ වගේ වෙලාවට මිනිස්සු දැනුම, සෞඛ්‍යය වගේ ඉලක්ක පස්සේ පන්නන්න ගන්නවා. බලය හා පිළිගැනීම වගේ ඉලක්ක පස්සේ පන්නන අයත් ඉන්නවා. එය එක් එක් පුද්ගලයා සතුටු වන ආකාරය මත තීරණය වන්නක්.

සාමාන්‍යයෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් සැලකෙන්නේ ආයෝජනයක් හැටියටයි. මේ අදහස අනුව යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හෝ කාලය යොදවන්නේ ඒ  හේතුවෙන් අනාගතයේදී තමන්ගේ ආදායම් ඉහළ යනු ඇතැයි විශ්වාස කරන නිසයි. නමුත්, එය එහෙම නොවන අවස්ථා තිබෙනවා. දශක ගණනක් රැකියාව කර විශ්‍රාම යාමෙන් පසුව සරසවි වල උපාධි පාඨමාලා හදාරන්න එන අය ඉන්නවා. ඒ එන්නේ අනාගතයේ තමන්ගේ ආදායම් වැඩි කරගන්න නෙමෙයි. ඒ වගේම, තමන්ගේ රැකියාවට අදාළ නැති වෙනත් දේ ඉගෙන ගන්න මුදල් හා කාලය යොදවන අය ඉන්නවා. (මේ දවස්වල අර්ධ ශතකය පහුකරපු අපේ මිත්‍රයෝ කිහිප දෙනෙක් මාර උනන්දුවෙන් සංගීතය හදාරනවා.)

කෙනෙක්ගේ රැකියාව ඔහුගේ හෝ ඇයගේ ආදායම් මාර්ගය වනවාක් මෙන්ම යම්තාක් දුරකට සතුට ලබන මාර්ගයක් එහෙමත් නැත්නම් විනෝදාංශයක්ද වන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. ඔයාකාරයටම අධ්‍යාපනය කියන්නෙත් ආයෝජන භාණ්ඩයක් වගේම යම් තරමකට පරිභෝජන භාණ්ඩයක්. ඇතැම් අය ඉගෙන ගන්නේ ඒ හේතුවෙන් තමන් ලබන සතුට නිසා.

සෞඛ්‍යය කියන එක ගත්තත් තත්ත්වය ඔය වගේම තමයි. අනාගත ආයෝජනයක් විදිහට හොඳ සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් ආයෝජනය කරන අය වගේම මෙවැනි ඇතැම් හොඳ සෞඛ්‍ය පුරුදු වලින් සතුටු වන අයත් ඉන්නවා. එවැනි අයට එවැනි කටයුතු සතුට ලබන මාර්ගයක්. පරිභෝජන භාණ්ඩයක්.

එක් එක් පුද්ගලයා සතුට ලබන ආකාරය වෙනස්. එය තීරණය වන්නේ කොහොමද කියන එක හරියටම පැහැදිලි කළ හැකි ආකාරයක් නැහැ. මෙවැනි ඇතැම් වෙනස්කම් කුඩා කාලයේදීම දකින්න පුළුවන්.

ඇතැම් ළමයි කුඩා කාලයේදී පාඩම් වැඩ වලට යොමු කරන්න දෙමවුපියන්ට සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. නමුත්, ක්‍රීඩා කිරීම හා අදාළව තනිකරම එහි අනිත් පැත්ත. ගොඩක් වෙලාවට සෙල්ලම් නවත්තලා පොත අතට ගන්නේ දෙමවුපියෙක් හොඳින් කතා කර කීමේ සීමාව පැන්නටත් පස්සෙයි. හැබැයි හැම ළමයාම ඔහොම නැහැ. මම හිටියේනම් තනිකරම අනිත් පැත්තේ. ඒ වර්ගයේ ළමයෙක්ට පොත් පත් කියවන්න කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත්, පොත පැත්තකින් තියා එළියට බහින්න කියා කියන්න වෙන්නේ ටිකක් සැර දාලයි.

දැන්නම් එන්න එන්නම මේ දෙවන කාණ්ඩයේ ළමයි වැඩියි. හැබැයි එළියට බහින්නේ නැත්තේ පොත්පත් නිසා නෙමෙයි.

යමෙක් තමන්ගේ රැකියාවෙන් සතුටු වන එකේ කිසියම් අවාසියකුත් තිබෙනවා. එවැනි අයෙකුට තරමක් අඩු වැටුපක් ගෙවා වුවත් රැකියාව තුළ රඳවා ගන්න අපහසුවක් නැහැ. ඒ වගේම, අධ්‍යාපනය නිසා සතුටු වන කෙනෙක් ලැබෙන ප්‍රතිලාභ ගැන නොහිතා හෝ ඊට වඩා වැඩියෙන් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන නිසා එහි ප්‍රතිලාභ වෙනත් අයට, ඇතැම් විට පොදුවේ සමාජයට ලැබෙන්න පුළුවන්. නමුත්, රැකියාවෙන් හෝ අධ්‍යාපනයෙන් සතුටු නොවන කෙනෙක් ඒ වෙනුවෙන් කාලය හා ශ්‍රමය යොදවන්නේ තමන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය තරමේ මූල්‍යමය වාසියක් සැලසෙනවානම් පමණයි.

ඇතැම් අය ශාරීරික ව්‍යායාම කිරීමෙන් සතුටු වෙනවා. නමුත්, පෞද්ගලිකව මම ශාරීරික ව්‍යායාම කරන්නේ එය ආයෝජනයක් ලෙස සලකලයි. එවිට වියදම වැඩියෙන් දැනෙනවා. මේ වැඩෙන් නිරායාසයෙන්ම සතුටක් ලැබෙනවානම් වඩා පහසුවෙන්, අඩු වියදමකින්, එය කරන්න තිබුණා. මේ වියදම කියන්නේ මුදල් නෙමෙයි.

අපට සතුටක් ලැබෙන දේවල් කිරීම අපේ තේරීමක් වුවත් අපට සතුටක් ලැබෙන්නේ මොන දේවල් වලින්ද කියන එක අපේ තේරීමක් කියා මම හිතන්නේ නැහැ. එය දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය හෝ අපට අහම්බෙන් ලැබුණු ජාන වෙන්න පුළුවන්.

(Image: https://partners4prosperity.com/money-and-happiness/)

Saturday, September 29, 2018

අවංක පෙම්වතාට සල්ලි නැත්තේ ඇයි?


පසුගිය ලිපිය පිළිබඳව කිහිප දෙනෙක්ම ප්‍රසාදය පළ කරල තිබුණා. විශේෂයෙන්ම එක් මානවිකාවක් ලෙස අදහස් දක්වන හිතවතිය (කෙටියෙන් එමා කියමු. මේ කෙටි කිරීමට අකැමැතිද දන්නේ නැහැ), පැතුම්, සෙන්නා හා උදය ඇතුළු තවත් අය, පළමු කී දෙන්නා දීර්ඝ ලෙස, ඔවුන්ගේ අදහස් එකතු කරලා තිබුණා. මේ අදහස් ඇතුළේ තවත් බෝල හදන්න අවශ්‍ය නූල් කෑලි සෑහෙන්න තියෙනවා. ප්‍රතිචාර දැමූ සියල්ලන්ටම ස්තුතියි!

ප්‍රතිචාර සේ ලියැවී තිබෙන ගොඩක් දේවල් ගැන අඩු වැඩි වශයෙන් එකඟ වෙන්න පුළුවන්. සමහර අයට මේ ප්‍රතිචාර වලින් කියා ඇති දේවල් හා ලිපියේ කරුණු අතර පරස්පර පෙනෙනවනම් ඒ මේ දේවල් අතර තිබෙන සම්බන්ධය පැහැදිලිව නොපෙනීම නිසා වෙන්න පුළුවන්.

ගොඩක් අය ප්‍රසාදය පළ කරපු ලිපියකින් පසුව ඒ හා අදාළවම තවත් ලිපි ලියා කරුණු එකතු කරන්න ගියාම වෙන්නේ මුලින් වූ ප්‍රසාදය දියාරු වෙලා ගිහින් අර කලින් ආපු කික් එක නැති වෙන එකයි. ඒ වුණත්, ඉතිං කමක් නෑ. අපි අපිමනේ! මම කිවුවේ දැන් මේක කියවන ගොඩක් අය නිතර මෙහි යන එන අය මිසක් ආගන්තුකයෝම නෙමෙයිනේ...

"ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලත් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා බිස්නස් ගැන විතරක් හොයන බිසී කෙනෙක් කරලා, එයාගේ බිරිඳ හා දරුවන් පාලුවෙන් කාන්සියෙන් ඉන්න අවස්ථා ගොඩනගනවා වැඩිපුර. අවංක පෙම්වතා ගොඩක් වෙලාවට දුප්පත්."

මෙහෙම කියන්නේ අපේ එමා. ඇත්ත නේද කතාව?

මට මෙතැන තිබෙන වැදගත් කරුණ මේක මේ විදිහට වෙන්නේ ඇයි කියන එකයි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි කියන්නෙත් මූලික වශයෙන් ආදායම් ඉපදවීම මුල් කරගත් කර්මාන්ත. මේවා වෙනුවෙන් ආයෝජනය කරන අයට මුදල් හෙවීමට අමතරව වෙනත් අරමුණුත් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත්, එයින් අදහස් වෙන්නේ නැහැ මුදල් හෙවීමේ අරමුණක් නැති බව. ඔය ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලට සම්බන්ධ වන හැම දෙනෙක්ම වාගේ මේ කටයුතු හරහා තමන්ට කිසියම් මුදල් වාසියක් ලැබෙනවාට කැමතියි.

ටෙලි නාට්‍ය, චිත්‍රපටි ආදියෙන් මුදල් ලාභ ලබන්නනම් මේවා ජනප්‍රිය වෙන්න ඕනෑ. වෙනත් විදිහකින් කියනවානම් මේවා නැරඹීම වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න කැමති විශාල පිරිසක් රටේ ඉන්න ඕනෑ.

ටෙලි නාට්‍ය හා අදාළව මේ මුදල් ප්‍රවාහය සිදුවෙන්නේ වක්‍රව. චිත්‍රපටයක් බලන වෙලාවකදී මෙන් ප්‍රේක්ෂකයෙක් ටෙලි නාට්‍යයක් බැලීම සඳහා සෘජුව මුදල් ගෙවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙන ටෙලි නාට්‍යයක් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න කැමති ආයතනික අනුග්‍රාහකයෙක් හොයා ගන්න අපහසු නැහැ.

මේ වගේ අනුග්‍රාහකයෝ ටෙලි නාට්‍යය වෙලාවේ ප්‍රචාරය කරන තමන්ගේ වෙළඳ දැන්වීම් හේතුවෙන් ඉහළ යන තමන්ගේ භාණ්ඩ හෝ සේවා ඉල්ලුම හරහා හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රේක්ෂකයින්ගෙන් වක්‍රව මිලක් අය කරගෙන එයින් කොටසක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයාට දෙනවා.

සමහර වෙලාවට ඔය වෙළඳ දැන්වීම තිබෙන්නේ ටෙලි නාට්‍යය ඇතුළේම වෙන්නත් පුළුවන්. තිර පිටපත් රචකයා කලින් හිතාගෙන පිටපත ලිවුවේ නැතත් ඒ ඇතුළේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් සොයමින් සිටින වෙළඳ දැන්වීම හමු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක එවැනි ටෙලි නාට්‍යයකට අනුග්‍රහය දක්වන්න අනුග්‍රාහකයා දෙවරක් හිතන්නේ නැහැ.

ටෙලි නාට්‍ය අනුග්‍රාහයකුගේ අවශ්‍යතාවය තමන්ගේ නිෂ්පාදනයක අළෙවිය ඉහළ දමා ගැනීම වගේ සරල එකක් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අනුග්‍රාහකයාගේ ආයෝජනයේ වාසිය ලැබෙන්නේ ටෙලි නාට්‍යය විසින් රටේ දේශපාලනයට සිදුකරන බලපෑමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන්.

හරි. ඔය කොහොම වුනත් වැදගත් කරුණ වන්නේ ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටිය ජනප්‍රිය වීමයි. ඔය කියන කරුණ හා අදාළව ගත්තහම එමාගේ ප්‍රතිචාරයේ සිටින දුප්පත් අවංක පෙම්වතාට ලංකාවේ මම දන්න කාලයේ ඉඳන්ම ලොකු ඉල්ලුමක් තිබෙනවා. පොදුවේ ඉන්දියානු සිනමාව ගත්තත් ඕක ඔහොමයි. මේ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැහැ.

ටික කලකට පෙර විකාශනය වූ බොහීමියානුවා ගොඩක් අය කැමති වූ ටෙලිනාට්‍යයක්. එහි සජිත අනුත්තර විසින් පණ දුන් බොහීමියානුවා (කල්ප) ඔය වර්ගයේ අවංක පෙම්වතෙක්. ඔහුට සල්ලි නෑ. නමුත් ඔහු ඒ හේතුව නිසා තමන්ගේ අරමුණ අතාරින්නෙත් නැහැ.

කල්පට අහම්බෙන් හමුවන ආදරය (උමාලි රඟපාන නූරිගේ චරිතය) ස්ථානගත වී තිබෙන්නේ කල්ප සිටින සමාජ ස්ථරයට වඩා ගොඩක් ඉහළින්. ඒ වගේම නූරි කල්පට ආදරය කරන්නේ ඇය ජීවත්වන මායාව ඇතුලෙ සිට තමන්ගේ අහිමි වූ පෙම්වතා මනසින් මවාගෙන මිසක් ඇත්තටම ඔහුව හඳුනාගෙන නෙමෙයි. ඇත්තක් නොවන බව දැනදැනත්, කල්ප නූරිගේ ඒ ආදරයට ආදරය කරනවා. ඒ වෙනුවෙන් අම්බානක කට්ටක් කනවා. මැරෙන්න පවා සූදානම්ව ඉන්නවා.

මෙතැන කල්පගේ දුෂ්ඨයා වන්නේ කවුද? ඒ වෙන පෙම්වතෙක් නෙමෙයි. නූරිට බොහෝ සේ ආදරය කරන නූරිගේ පියා (බුද්ධදාස විතානාරච්චි). ඔහු සමාජයේ පහළ ස්ථරයක ඉඳලා ඉතා අමාරුවෙන් උඩට ආ කෙනෙක්. ඔහු තමන්ගේ දුවට ගොඩක් ආදරෙයි. දුව දැන් සිටින සමාජ ස්ථරයෙන් පහළට වැටෙනවාට ඔහු කැමති නොවන්නේ ඒ නිසයි. සල්ලි නැති වන විට ආදරයට පමණක් පැවතෙන්න අමාරු බව ඔහු දන්නවා. කොහොම වුනත් ප්‍රේක්ෂකයින්ගේ වීරයා කල්ප මිසක් නූරිගේ පියා නෙමෙයි.

මට තිබෙන ප්‍රශ්න මේවායි. පළමුව, මේ දුප්පත් අවංක පෙම්වතාගේ චරිතයට ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබෙන්නේ ඇයි? එමා විසින් ලියා තිබෙනවාක් මෙන් මෙය කලාකරුවන් විසින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ මනසේ පින්තාරු කරපු චිත්‍රයක් කියා අපි හිතමු. එහෙමනම්, කලාකරුවන් විසින් එහෙම කරල තියෙන්නේ ඇයි? ආර්ථික විද්‍යා වාග්කෝෂයට ආවොත් මේ සමතුලිතතාවයට හේතු වන ඉල්ලුම් සාධක හා සැපයුම් සාධක මොනවාද?

ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලින් හැම විටම වෙන්නේ අදාළ සියළු පාර්ශ්වයන් වඩා සතුටට පත් වීමයි. එහෙම නොවෙන වෙලාවලුත් තියෙන්න බැරිද?

මහ රෑ මැද්දේ දරුවාට සහලෝලා උණ. තාත්තා මැරිලා. අම්මගේ අතේ පිච්චියක් නැහැ. කහට කෝප්පේ උගුරට හලාගනිද්දී ලෙවකන්න අල්ලට හලාගන්න සීනි හැන්දක්වත් ගෙදර නෑ. ඉතිං කොහොමද දොස්තරට කාසි දෙන්නේ? අම්මා වැඩිමල් ගෑණු දරුවා ගෙට වුනු වෙලාවේ කණට දාපු කරාබු ජෝඩුව ඈ නිදා සිටිද්දීම ගලෝගෙන චීත්ත කොණේ ඔතාගෙන, අකුණු ගහන අනෝරා වැස්සේ කුඩයක්වත් නැතුව තෙමි තෙමී පොලී මුදලාලිගේ දොරට තට්ටු කරනවා.

මුදලාලි අන්තිමට දොර අරිනවා. මුදලාලි හාමිනේ ගමේ ගිහින්. මුදලාලිත් තට්ට තනියම. දරුවාගේ අම්මට කාසි ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් ඇයට කරාබු ජෝඩුවට අමතරව තවත් දේවල් දෙන්න වෙනවා. මොනව කරන්නද? පොඩි එකාව බේරගන්නත් එපායැ.

පනස්‌ගණන් වල හැටගණන් වල හදපු චිත්‍රපට වල ඔය වගේ දර්ශනයක් බොහෝ විට වැරදුණේ නැහැනේ. දැන් ඔය තරම්ම අමුවෙන් කියන්නේ නැහැ. නමුත්, කියන්නේ ඔය ටිකම තමයි.

ඔය වගේ වෙලාවක අම්මට සතුටු වෙන්න පුලුවන්ද? මේක තීරණය කරන්න වෙන්නේ ඇයට තිබෙන අනෙක් විකල්පයට සාපේක්ෂවයි.  නරක සේ බැලූ බැල්මට පෙනෙන තේරීමකට කෙනෙක් යන්නේ අනෙක් තේරීම වඩාත් නරක එකක් නිසයි. වඩා නරක තේරීමට සාපේක්ෂව අඩු නරක තේරීම සතුටු විය හැකි එකක්.

සතුට කියන එක එක් එක් පුද්ගලයාට සාපේක්ෂව තීරණය වන දෙයක්. හැම දෙනෙක්ම සතුටු වෙන්නේ එකම දේවල් කිරීමෙන් නෙමෙයි. නමුත්, අපි බොහෝ වෙලාවට හිතන්නේ වෙනත් අය සතුටු වෙන්නෙත් අපි සතුටු වන දේවල් වලින්ම කියලයි. එහෙම හිතලා අපි වෙනත් දුක් විඳින මිනිස්සු ගැන දුක් වුණත් ඇතැම් විට ඒ මිනිස්සු අපට වඩා වෙනස් විදිහකට සතුටු වෙනවා වෙන්න පුළුවන්.

ධනපාල ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහුට ගොඩක් සල්ලි තිබෙනවා. ඔහු උදෙන්ම තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යනවා. සති අන්තයේ කියලත් වෙනසක් නැහැ. ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. ඔහු සිංදුවක් අහන්නේ බොහොම කලාතුරකින්. චිත්‍රපටයක් බලන්නේ නැති තරම්. තරුපහේ හෝටල් වල තිබෙන ව්‍යාපාරික හමු වලදී වෙනත් ව්‍යාපාරිකයින් සමඟ මධුවිත තොල ගානවා.

ජීවක විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු රජයේ රෝහලක සේවය කරනවා. රෝහලට යන්න කලින් උදෙන්ම තමන්ගේ පෞද්ගලික සායනයේ පැයක් ගත කරනවා. සේවය ඉවර වෙලා කෙළින්ම යන්නේත් පෞද්ගලික සායනයට. ගෙදර එන්නේ රෑ වෙලා. සෙනසුරාදා දවස ගත කරන්නෙත් පෞද්ගලික සායනයේ. ඉරිදාට තමන්ගේ තේවත්ත බලන්න නගරයෙන් බැහැර යනවා. සිංදු අහන්නේ මෝටර් රථය තුළදී පමණයි. චිත්‍රපටයක් බලන්නේ ඉතාම කලාතුරකින්. ඔහු මධුවිතෙන් ඈත්වයි ඉන්නේ. ධනපාල තරමටම නැතත් ජීවකත් සෑහෙන තරමක ධනවතෙක්.

සංගීත් කලාකරුවෙක්. ඔහුට ගීත ගායනයට මෙන්ම තනු නිර්මාණයටත් දක්ෂතා තිබෙනවා. සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කළ හැකියි. සංගීත සංදර්ශනයක් හෝ වෙනත් කලා කටයුත්තක් තිබෙන දවසට ගෙදර එන්නේ බොහෝ රෑ වෙලා. පහුවෙනිදාට නැගිටින්නේ හොඳටම දවල් වෙලා. එහෙම විශේෂ වැඩක් නැති දවසට කියලත් වැඩි වෙනසක් නැහැ. රෑ වෙනකම් සිංදු කියමින් හා වාදනය කරමින් කාලය ගෙවනවා. මධුවිතෙන් සප්පායම් වෙනවා. ගොඩක් දවසට තවත් යාලුවෝ එක්ක. ඒ අයත් කලාකරුවෝ. සමහර වෙලාවට මලකුත් ගහනවා. අතට සල්ලි ආවහම ලෝබ නැතුව වියදම් කරනවා. උපයන ආදායම කෙසේ වුවත්, ජීවක හා ධනපාලගේ මෙන් ධනයක් සංගීත්ගේ අතේ කවදාවත් රැඳී නැහැ.

දැන් මේ අයගෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? වැඩිපුරම ජීවිතය විඳින්නේ කවුද?

ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට අනුවනම් මේ තුන් දෙනාගෙන් සතුටෙන් ඉන්නේ සංගීත්. අනිත් දෙන්නා කරන්නේ සල්ලි හොයන්නම මැරෙන එකයි. ඔවුන්ට ජීවිතයක් නැහැ. ඔවුන් කියන විදිහට සල්ලි කියන්නේ ජීවිතය නෙමයි. සල්ලි හොයන්න මහන්සි වෙද්දී ජීවිතය මග හැරෙනවා.

ඇත්තටම කියනවානම් ධනපාල, ජීවක හා සංගීත් කියන තුන්දෙනාම ජීවිතය විඳිනවා. ඒ ඔවුන්ගේම ක්‍රම වලට.

ධනපාල උදේ ඉඳන් හවස් වෙනකම් ව්‍යාපාරික කටයුතු වල නිරතව ඉන්නේ සල්ලි හොයන්නම නෙමෙයි. ඒ ඔහු සතුටු වන විදිහ. සතුට එක්කම ඔහුට සල්ලිත් ගොඩක් ලැබෙනවා. ඒ සල්ලි නිසා ඔහුගේ සතුට තවත් වැඩි වෙනවා. ධනපාල සිංදු අහන්න, චිත්‍රපට බලන්න කාලය යොදවන්නේ නැත්තේ ඒ දේවල් වලින් ඔහුට සතුටක් නොලැබෙන නිසා. චිත්‍රපට ශාලාවක පැය දෙකක් හිර වී ඉන්න එක ඔහුට බිරිඳ එක්ක ෂොපින් යනවාටත් වඩා බෝරිං වැඩක්. ව්‍යාපාර ලෝකයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් ඔහු සතුටක් ලබනවා. තමන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන විට ඔහු සතුටු වෙනවා. ව්‍යාපාරික කටයුතු වලට විවිධ අභියෝග එල්ල වන විට ඒවාට උපායමාර්ගික ප්‍රතිචාර දක්වන ආකාරය ගැන හිතන එක ඔහුට ලොකු සතුටක්. ඔහුට ජීවිතය විඳීම වන්නේ මේ අභියෝග වල මුහුණ දීමයි.

ජීවක දිවා රෑ නොබලා පොල් කඩන්නේත් සල්ලි හොයන්නම නෙමෙයි. සල්ලි හෙවීමත් එක් අරමුණක් තමයි. නමුත්, ලෙඩ්ඩු එක්ක කතා කිරීමේ, ඔවුන්ගේ රෝග හඳුනා ගැනීමේ ආතල් එකකුත් තිබෙනවා. ඒ ආතල් එක මොකක්ද කියලා තේරෙන්නේ ඩොකෙක්ටම තමයි. දොස්තර මහත්තයා කලින් දුන්න බේත් ටිකෙන් දවස් දෙකට සනීප වුණා කියල ලෙඩෙක් කියන කොට ඔහුට දැනෙන්නේ මාර සතුටක්. ඒ සතුට එක්කම ලැබෙන සල්ලි නිසා සතුට තවත් වැඩි වෙනවා. ජීවක මත්පැනින් දුරස්ථව ඉන්නේ ඔහුට මත්පැන් බීම හිසරදයක් මිසක් සතුටට හේතුවන කරුණක් නොවන නිසා. ඔහු සිංදුවක් අහන්න, චිත්‍රපටයක් බලන්න අකැමැත්තක් නැතත් මේ වගේ දේවල් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය නාස්ති කිරීම තේරුමක් නැතැයි ඔහු සිතනවා. ලෙඩ්ඩු එක්ක කාලය ගත කිරීමේදී ලැබෙන සතුට හා ලැබෙන මුදල් නිසා එකතුවන සතුට එක ගොඩකට දැම්මහම චිත්‍රපටයකින් හෝ සිංදුවකින් ලැබෙන සතුට මොකක්ද?

සංගීත් ගෙදර ඉන්න දවසට කරන්නෙත් ගිටාරය වයමින් හෝ කී බෝර්ඩ් එක ඔබමින් සිංදු කියන එකයි. බැලුවහම කොයි වෙලාවෙත් සොමියෙන් ඉන්න එළ කොල්ලෙක්. හැබැයි මේ විදිහට ඔහු කරන්නේ ආතල් එකක් ගන්න එකම නෙමෙයි. තමන්ගේ වෘත්තීය දක්ෂතා පවත්වා ගැනීම පිණිස දිගින් දිගටම පුහුණු වෙන එකයි ඔහු කරන්නේ. වක්‍ර විදිහට මෙහිදී වෙන්නේ සංගීත් විසින් තමන්ගේ ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න එකයි.

සංගීත් හිතන්නේ තමන්ට සල්ලි නැතත් තමන් ධනපාලට හා ජීවකට වඩා සතුටින් ඉන්නා බවයි. රස්සාවටම හිර වුනු ජීවිත වල තිබෙන ප්‍රයෝජනේ මොකක්ද? නමුත්, ඔහුත් දවස තිස්සේම ඉන්නේ ඔහුගේ රස්සාව අස්සෙම හිර වෙලා. ඒ බව ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු හිතනවා ධනපාල හා ජීවකත් රස්සා වලම හිර වෙලා ඉන්නේ නැතුව චිත්‍රපටයක් බලලා, සිංදුවක් අහලා, අඩියක් ගහලා, දුමක් ඇදලා ජීවිතය විඳින්න යම් කාලයක් වෙන් කළ යුතුයි කියා. එහෙම නොකර සල්ලි පස්සෙම යන ජීවිතයක තේරුම මොකක්ද කියලා සංගීත්ට තේරෙන්නේ නැහැ.

ධනපාල හිතන්නේ වෙනත් විධිහකටයි. ඔහු හිතන විදිහට ඔහු ජීවිතය විඳින ගමන්ම සල්ලිත් උපයනවා. තවත් අයට රැකියා දී සල්ලි උපයන්න උදවු කරනවා. එහෙම නොකර හැමදාම සල්ලි නැතිකමින් දුක් විඳින සංගීත් වගේ අය ගැන ඔහුට තිබෙන්නේ අනුකම්පාවක්. ඔවුන් කලාව අතහැර "ප්‍රයෝජනවත්" වැඩක යෙදුනානම් මීට වඩා මීට වඩා සතුටින් ඉන්න තිබුණා කියා ධනපාල හිතනවා.

ජීවකට අනුව ධනපාල කියන්නේ සල්ලි පස්සෙම පන්නන මුදලාලි කෙනෙක්. නමුත්, තමන්නම් කරන්නේ සේවයක්. ඒ වගේම ඒ සේවය කරමින්ම තමන් තමන්ට සතුටු විය හැකි ජීවිතයකුත් ගෙවනවා කියලත් ඔහු හිතනවා. ඔහුට අනුව ඔහු ඉන්නේ සංගීත්ට වගේම ධනපාලටත් වඩා සතුටින්.

ඔය තුන් දෙනා අතරින් තමන් හිතන විදිහ සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසකට කියන්න ලැබෙන්නේ සංගීත් වගේ කලාකරුවන්ට පමණයි. ජීවකට හෝ ධනපාලට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සු දකින්නේ සංගීත් සතුටින් සිටින බව පමණයි. ධනපාලගේ හෝ ජීවකගේ ධනය මිනිස්සුන්ට දකින්නට ලැබුණත් ඔවුන්ගේ සතුට පිටට පෙනෙන්නේ නැහැ. සතුට පිටතට පෙන්වන සංගීත්ට ඔවුන්ට තරම් ධනයක් නැහැ. ඒ නිසා, ධනය විසින් සතුට පළවා හරින බවක් මිනිස්සුන්ට දැනෙනවා. නමුත්, එය ඇත්ත නෙමෙයි.

කොහොම වුණත්, සංගීත් ඔහුගේ වෘත්තිය අතහැර මුදලාලි කෙනෙක් වුණොත් ඔහු දැන් තරමට සතුටු වෙන එකක් නැහැ. ඒ ඔහු සතුටු වෙන්නේ ධනපාලගේ ක්‍රමයට නොවන නිසා. ඒ නිසා, ධනපාලට ආතල් එකක් ගන්න කියන එකේ වගේම සංගීත්ට සල්ලි හම්බවෙන වැඩකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

මේ තුන් දෙනාගෙන් අවංක පෙම්වතෙක්, හොඳ සැමියෙක් වෙන්න පුළුවන් කාටද? ඒක තීරණය වෙන්නේ යම්කිසි ගැහැණියක් හොයන සතුට මොකක්ද කියන එක මතයි. වෛද්‍ය වෘත්තියේ හෝ හෙද වෘත්තිය වැනි කිට්ටුවෙන් යන වෘත්තියක නිරතව සිටින ගැහැණියකගේ අපේක්ෂා සමඟ ජීවකගේ ජීවන විලාසිතාව ගැලපෙනවා. ධනපාලගේ බිරිඳත් ඔහුගේ ව්‍යාපාරයේම කොටස්කාරියක්නම් ඇයට ධනපාලගේ රටාවේ අවුලක් පෙනෙන එකක් නැහැ. කලා ක්ෂේත්‍රයේම සිටින ගැහැණියක් සංගීත් එක්ක ජීවිතය බෙදාගන්න කැමති වෙයි.

යම් විදිහකින් සංගීත් ගැන සිහින මවමින් හිටපු, ඒ විදිහේ ජීවිතයකින් සතුටු වන ගැහැණියකට ධනපාල හෝ ජීවක එක්ක අකමැත්තෙන් විවාහ වෙන්න සිදුවුනොත්නම් ඔන්න අවුලක් තිබෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ සල්ලි නිසා හෝ වෙනත් දේවල් නිසා ලබන සතුට මිසක් සල්ලි හෝ ඒ වෙනත් දේවල් නොවන නිසා. ඒ වගේම, සංගීත්ගේ ක්‍රමයට අකැමැති ගැහැණියක් ඔහු එක්ක වැඩි කලක් ජීවත් වන එකකුත් නැහැ.

සල්ලි නිසා සතුට නැති වෙනවා කියා කවුරු හෝ කියනවානම් එය පට්ට බොරුවක්. සල්ලි නිසා සතුට නැති වෙන්නේ නැහැ. නමුත්, සල්ලි පස්සේ පැන්නීම නිසා මග හැරෙන වෙනත් දේවල් හේතුවෙන් නැති වෙන සතුට, සල්ලි හොයා ගත්තට පස්සේ සල්ලි නිසා ලැබෙන සතුටට වඩා වැඩි නොවන අවස්ථා තිබෙන්න පුළුවන්. එය පුද්ගලයෙකුගේ රුචිකත්වය හා අවස්ථාව අනුව තීරණය වන දෙයක්.

මේ එක නූල් කෑල්ලක් විතරයි. තව නූල් කෑලි කීපයක්ම ලැබුණු ප්‍රතිචාර අතරේ තියෙනවා.

(Image: /arthamagazine.blogspot.com/2016/10/bohimiyanuwa.html)

Wednesday, March 7, 2018

පිය සමර


ඒ නමසිය අසූ දෙකේ අවුරුද්දේ අන්තිම සතියේ දවසකි. මගේ පියාගේ මුල් ගමේම ජීවත් වූ ඔහුගේ බාල සොයුරෙකුත්, ඔහුගේ තවත් ඥාති සොහොයුරෙකුත් හදිසියේම අපේ ගෙදර ආවේ තරමක කලබල ස්වභාවයක් පෙන්වමිනි.

"අක්කෙ, අයිය ගෙදරද?"

සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් වරුවේ මගේ පියා ගෙදර සිටින්නට ඉඩක් නොතිබුණු තරම්ය.

"ඇයි, මල්ලි? මොකුත් කරදරයක්ද?"

"පොඩි කරදරයක්නම් තමයි! අයිය ගෙදර නැද්ද?"

"අයියනම් ගෙදර නෑ..."

ජංගම දුරකථන භාවිතයක් නොතිබුණු මේ කාලයේ සාමාන්‍ය දුරකථනයක් සුඛෝපභෝගී භාණ්ඩයක් වූ අතර එවැන්නක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු අධික මිල ගෙවීමේ හැකියාව තිබුණු අයෙකුට වුවද ඒ සඳහා වසර ගණනාවක් පොරොත්තු ලේඛණයක රැඳී සිටින්නට සිදුව තිබුණේය. හදිසි පණිවිඩයක් යැවිය හැකිව තිබුණු වේගවත්ම ක්‍රමය වූයේ විදුලි පණිවුඩයක් යැවීමයි. බොහෝ විට විදුලි පණිවුඩයකට වඩා වේගයෙන් පණිවුඩකරුවෙකුට අවශ්‍ය තැනට ළඟා විය හැකිව තිබුණේය.

බාප්පා පැමිණ තිබුණේ නරක පණිවුඩයක්ද සමඟිනි. මේ නරක පණිවුඩය හැකි ඉක්මණින් මගේ පියා වෙත සන්නිවේදනය කළ යුතු විය.

වාසනාවට මගේ පියා එදින සිටියේ විශාල දුරක නොවේ. අපේ එවක නිවසේ සිට සැතපුම් තුන හතරකට නොවැඩි දුරක වූ රජයේ දෙපාර්තමේන්තුවකට අයත් පුහුණු මධ්‍යස්ථානයකය. පණිවුඩකරුවන් දෙදෙනා සමඟ එහි යන්නට මමද එක් වුනෙමි.

දේශන ශාලාවේ පණහක හෝ සියයක පමණ පිරිසක් රැඳී සිටි අතර මගේ පියා දේශනයක් පවත්වමින් සිටියේය. ශාලාවේ කොට බිත්ති වලට උඩින් අප පැමිණෙනු මගේ පියාට දර්ශනය වන්නට ඇත. අප දේශන ශාලාවේ කොට බිත්තිය අයිනේ රැඳී සිටියෙමු.

දේශනය මඳකට නැවැත්වූ මගේ පියා අප සිටින තැනට පැමිණියේය.

"ඇයි, මල්ලි?"

"අයියේ කියන්ඩ ආවේනම් නරක ආරංචියක්!"

"මොකක්ද?"

මගේ පියා ඇසුවේ ඉන් පසුව අසන්නට ලැබෙන දෙය ගැන අදහසක් ඇතුව විය යුතුය.

ඔහුට එය අසන්නට ලැබුණේය. ඒ ඔහුගේ පියාගේ මරණය පිළිබඳ පුවතයි. පසුගිය සියවසේ මුල් අවුරුද්දේ ඉපදී තිබුණු මගේ පියාගේ පියා ඒ වන විට සිය අසූ දෙවසරක දිවි සැරිය නිමා කර තිබුණේය.

"ඔහොම පොඩ්ඩක් ඔතැන ඉන්න!"

ආපසු වේදිකාව මතට ගිය මගේ පියා කිසිදු කලබලයක් නැතිව සිය දේශනය නැවතත් ආරම්භ කළේය. විනාඩි දහයකින් පමණ පසුව නියමිත වේලාවටම දේශනය අවසන් කළේය. දේශනය අවසානයේ තවත් කෙටි නිවේදනයක් කරමින් ඔහු වේදිකාවෙන් බැස්සේය.

"මීට මොහොතකට පෙර මට අසන්නට ලැබුණේ මගේ ආදරණීය පියාගේ මරණය පිළිබඳ ශෝකදායක ආරංචියයි. ඒ නිසා, මට මෙහි දිගටම රැඳී සිටින්න හැකියාවක් නැහැ. ඒ ගැන සමාවන්න. කරුණාකර රැස්වීමේ කටයුතු දිගටම කරගෙන යන්න."

මගේ පියා අප අසලට පැමිණියේය.

"යමු!"

එසේ වුවත්, රැස්වීමේ කටයුතු බාධාවකින් තොරව දිගටම පැවැත්වුණේ නැත.

එක් අයෙක් නැඟිට එළියට ආවේය. තවත් අයෙක් ආවේය. තවත් අය ආවේය. දැන් අප වටා මිනිස් වළල්ලකි.

"මහත්තය අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ?"

මගේ පියා කවර කලෙකවත් ධන සම්පත් ගොඩ ගසා තිබුණු අයෙකු නොවේ. කිසියම් මුදලක් අතට ලැබෙන පරක්කුවෙන් එය වියදම් කර දැමීමේ මනා කුසලතාවයක් ඔහු සතු විය. එහෙත්, පරිවාර සම්පත්තියෙන්නම් ඔහුට කිසිදු අඩුවක් නොවීය.

"ඕගොල්ලො කවුරුවත් කරදර වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ කරගෙන ගිය වැඩේ දිගටම කරගෙන යන්න."

මගේ පියාට එදා ඔහුගේ පියාගේ මරණය කවර ආකාරයකට දැනුණාදැයි මට අවබෝධයක් තිබුණේ නැත. ඉන් පසුව ගෙවුණු වසර තිස්හයක කාලය තුළ බොහෝ දේ වෙනස් වී තිබේ. විදුලි පණිවුඩ ක්‍රමය මියගොස් දැන් වසර ගණනාවකි. අද වන විට ජංගම දුරකථනයක් අතේ නැති කෙනෙක් නැත. මගේ පියාගේ පියා සිය දෙඅසූ වස් ජීවිත කාලය තුළ කිසිදා ඇසින් නොදුටු ජංගම දුරකථනය දෙඅසූ විය ආසන්නයේ සිටි මගේ පියාගේ හොඳම හිතමිතුරෙක් හා සේවකයෙක් වී සිටියේය. පියාගේ ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයටද වරින් වර නොයෙක් ආකාරයේ විද්‍යුත් පණිවුඩ පැමිනුණේය. මේවා බොහෝ විට කිසියම් විද්‍යුත් ලේඛණයක් සොයාදෙන මෙන් කෙරුණු ඉල්ලීම්ය. එහෙත්, දේශනයක්, හමුවක් හෝ රැස්වීමක් අතරතුර ජංගම දුරකථනය වෙත එබී බැලීම මගේ ක්‍රමය නොවේ. ඒ නිසා, දේශනයක් අතරතුර ලැබෙන පණිවුඩයක් මා දැනගන්නේ දේශනය අවසන් වීමෙන් පසුවය. ඉතිහාසය පුනරාවර්තනය වූවත් ඒ හරියටම එකම ආකාරයටම නොවේ.

සන්නිවේදන තාක්ෂනය වැනි දේ වසර තිස් හයක් තුළ ඇදහිය නොහැකි වේගයෙන් වෙනස් වී ඇත. තවත් බොහෝ දේවල්ද එසේ වෙනස් වී ඇත. එහෙත්, පිය පුතු සම්බන්ධතා වැනි මානුෂික සම්බන්ධතා වල ස්වභාවය පරම්පරා දෙක තුනක් තුළ එසේ වෙනස් වන්නේ නැත. ඒ නිසා වසර තිස් හයකට පෙර මගේ පියාගේ පියා මිය ගිය දින මගේ පියාට ඇති වුනු හැඟීම අනාගතයේ දිනෙක මගේ පුතුද ඊට බොහෝ සමාන අයුරකින් අත් විඳින්නට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...