වෙබ් ලිපිනය:

Showing posts with label නාස්තිය. Show all posts
Showing posts with label නාස්තිය. Show all posts

Sunday, May 17, 2020

ආර්ථිකය සැලසුම් කළ හැක්කේ කාටද?


ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක් බව මම කලින් කිවුවනේ. මෙයින් බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක්. ආහාර පිණිස "වගා කරන" මාළු හා ඉස්සන් ආදියද ඇතුළත්ව  සත්ව ගොවිපොළ වල සේවය කරන ශ්‍රමිකයින් ප්‍රමාණය 762,000ක්. ධීවර කර්මාන්තයේ හා දඩයමේ නිරත ප්‍රමාණය 62,000ක්. වන වගාවේ හා දැව කැපීමේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 166,000ක්. ඉහත කී කර්මාන්ත හා අදාළ කිසියම් සහායක සේවාවක නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 174,000ක්.

ඇමරිකාවේ මුළු ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් ශ්‍රම බලකායට අයත් පිරිස 157,538,000ක්. මේ අනුව, ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි.

ඇමරිකාව ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන රටක්. පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් 5,618,060,868ක්. ඩොලර් බිලියන වලින් 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්).

ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

ඇමරිකාව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් විවිධ සුබසාධන වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පසුගිය වසරේදී අඩු ආදායම්ලාභී පවුල් 17,964,000කට ආහාර මුද්දර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 60.4ක්. අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන දරුවන් මිලියන 29.6කගේ දිවා ආහාර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 14.2ක්. පාසැල් දරුවන් මිලියන 14.8කගේ උදේ ආහාර වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4.6ක් වැය කර තිබෙනවා. අඩු ආදායම්ලාභී ගර්භණී හා කිරිදෙන මවුවරුන් මිලියන 6.4කට ආහාර ආධාර ලෙස තවත් ඩොලර් බිලියන 5.2ක් වැය කර තිබෙනවා. මීට අමතරව හදිසි ආපදා ආහාර ආධාර, ළමා නිවාස හා මහළු නිවාස සඳහා ආහාර ආධාර, රතු ඉන්දියානු ආහාර ආධාර වැඩ සටහන් ඇතුළු තවත් ආහාර ආධාර වැඩ සටහන් ගණනාවක් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙසේ ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කළ සුබසාධන වැඩ සටහන් වෙනුවෙන් පමණක් වැය කර තිබෙන මුදල අවම වශයෙන් ඩොලර් බිලියන 92.7ක්.

මේ ඇමරිකාවේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් හොඳින් තිබුණු 2019 වසරේ තත්ත්වයයි. පෙර වසර වල මේ වියදම් මීට වඩා ගොඩක් වැඩියි. මේ වසරේදී නැවත මේ වියදම් විශාල ලෙස ඉහළ යයි.

ඒ වගේම මේ රාජ්‍ය අංශයේ දායකත්වය ඇති ආහාර ආධාර වැඩ සටහන් පමණයි. ඇමරිකාවේ හැම ලොකු කුඩා නගරයකම වගේ රාජ්‍ය මැදිහත්වීමක් නැති ආහාර බැංකු ක්‍රියාත්මක වෙනවා. එවැනි තැනකට යන කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ආහාර බැංකු 200ක් හරහා ආහාර ආධාර බෙදන එක් රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් පසුගිය වසර තුළ මිලියන 40කට වැඩි පිරිසකට ආහාර වේල් බිලියන 4.2ක් බෙදා දී තිබෙනවා. මා පෞද්ගලිකව දන්නා පරිදි මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරන ආගමික හා ආගමික නොවන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ඇමරිකාවේ ආහාර නාස්තියට එක් හේතුවක් වන්නේත් මේ ආකාරයට විවිධ සුබසාධන වැඩ සටහන් යටතේ මුදලක් නොගෙවා ආහාර ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමිව තිබීමයි. තමන්ගේ අතින් මුදල් යන විට ආහාර නාස්තිය  වලක්වා ගන්න කෙනෙක් උනන්දු වුවත් නොමිලේ ආහාර ලැබෙන විට ඒ උනන්දුව අඩු වෙනවා. ආහාර නාස්තිය අනුමත නොකළත්, මෙවැනි සුබසාධන වැඩ සටහනක ප්‍රමුඛ ඉලක්කය වන්නේ ආහාර අවශ්‍ය අය වෙත ප්‍රමාණවත් හා සුදුසු ආහාර ලැබෙන බව සහතික කිරීම මිස ආහාර නාස්තිය අඩු කිරීම නෙමෙයි. එය ද්වීතියික ඉලක්කයක්.

මෙහි "සුදුසු" කියන වචනය ගැනත් යමක් කිව යුතුයි. ආහාර වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන කෙනෙක් තමන්ගේ ආහාර රුචියට වැඩි ප්‍රමුඛත්වයක් දෙනවා. එහෙත්, මුදල වැය කරන්නේ වෙනත් අයෙකු වූ විට යම් තරමකින් මුදල වැය කරන තැනැත්තාගේ රුචිකත්වය ඉස්මතු වීමක් වෙනවා. එහිදී වඩා රසවත් ආහාර වලට සාපේක්ෂව වඩා පෝෂ්‍යදායී ආහාර වලට වැඩි බරක් වැටෙනවා. මෙය යම් තරමකින් ආහාර නාස්තියට හේතු වෙනවා. විශේෂයෙන් එළවලු හා පළතුරු හා අදාළව.

ඇමරිකාවේ රජය, පාරිභෝගිකයින් හා ව්‍යාපාරික ආයතන විසින් ආහාර මිල දී ගැනීම වෙනුවෙන් 2018 වසරේදී වැය කර තිබෙන මුදල ඩොලර් බිලියන 1,710ක්. 2019 වියදමද මේ ආසන්න මුදලක් විය යුතුයි. මේ ආහාර මුළුමනින්ම වාගේ ඇමරිකාව ඇතුළත නිපදවුණු ආහාර කියා කියන්න පුළුවන්.

ඇමරිකාව විසින් 2019 දී ඩොලර් බිලියන 131.0ක ආහාර හා වෙනත් ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදිත ආනයනය කර ඇතත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අපනයන වලින් උපයා ඇති ආදායම ඊට වඩා වැඩියි. ඒ නිසා, ඇමරිකාව ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක නොසිටියත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. මෙය ආනයන තරඟයට බිය නොවී කාර්යක්ෂමතාවය තුළින් අත්පත් කරගත් තත්ත්වයක්. එසේ නැතිව ආණ්ඩුව විසින් ගොවියා ආනයන වලින් ආරක්ෂා කර, සහනාධාර දී, හෝ මධ්‍යගත සැලසුම් හරහා අත් කරගත් ජයග්‍රහණයක් නෙමෙයි. (ඇමරිකා චීන වෙළඳ යුද්ධය වැනි කරුණු පසුවට ඉතිරි කරමු.)

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළඳ ශේෂය ධන අගයක් වනවාක් මෙන්ම ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට සාපේක්ෂව ඉතා සුළු අගයක්. ඊට සාපේක්ෂව ආහාර සුබසාධන වැඩසටහන් වල හා ආහාර නාස්තියේ බලපෑම ගොඩක් වැඩියි.

ඇමරිකාවේ ජීවත් වන ආහාර මිල දී ගැනීමේ හැකියාවක් ඇති අයගේ මුළු ආහාර ඉල්ලුම සැපයීමට, එවැනි හැකියාවක් නැති අය වෙනුවෙන් තිබෙන ආධාර වැඩසටහන් හරහා ඇති කෙරෙන අමතර ඉල්ලුම සැපයීමට මෙන්ම, සැලකිය යුතු නාස්තියක් දරා ගැනීමටද ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඇමරිකාව තුළ සිදු වෙනවා. මේ වෙනුවෙන් දායක වෙන්නේ ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 1.5%ක පිරිසක් පමණයි. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකායෙන් 98.5%කටම කෘෂිකාර්මික අංශයේ රැකියා අහිමි වෙලා. ඒ අය පාරට වැටිලද?

රටේ ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණක් රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරද්දී අනෙක් පිරිස රැකියා නැතිව නිකම් ඉන්නවානම් අවසාන වශයෙන් රට හිටපු තැනමයි. අර ලබා ගත්තු කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායීතාවයෙන් ටික දෙනෙකුට යහපතක් වී ඇතත් (හෝ එසේ පෙනෙන්නට තිබුණත්) සමස්තයක් ලෙස රට හිටපු තැනමයි. අන්තිමට සිදු වෙලා තියෙන්නේ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙන එක පමණයි.

නමුත්, මෙය මේ විදිහට සිදු වෙන්න විධිහක් නැහැ. රටේ 98.5%ක් රැකියා නැතිව සිටියොත් ඉතිරි 1.5% විසින් හදන ආහාර මිල දී ගන්න ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා ආහාර වලට ඉල්ලුමක් නැහැ. ඉල්ලුමක් නැති නිසා ආහාර හදන අයට ඒ ආහාර විකුණගන්න බැහැ. ඒ නිසා ආදායමකුත් නැහැ. ඒ නිසා, මේ වගේ තත්ත්වයක් පවතින්නනම් අනිවාර්යයෙන්ම ඉතිරි 98.5% විසින් වෙන කවර හෝ රැකියාවක් කළ යුතුයි. නිෂ්පාදනයක් කළ යුතුයි. ආදායම් ඉපැයිය යුතුයි.

පසුගිය 2019 වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 21,427ක්. නමුත්, එයින් කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල නිෂ්පාදිතය ඩොලර් බිලියන 169.2ක් පමණයි. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රම බලකායෙන් 1.5%ක් වූ මිලියන 2.4ක පිරිස ඩොලර් බිලියන 169.2ක අගය එකතු කිරීමක් කරන අතරතුර මිලියන 155.1ක ඉතිරි ශ්‍රමිකයින් පිරිස විසින් ඩොලර් බිලියන 21,257ක අගය එකතු කිරීමක් කරලා තිබෙනවා. එහෙමනම් වඩා කාර්යක්ෂම කොයි කණ්ඩායමද?

ධනවාදී තරඟය හමුවේ ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වී සිටින්නේ ඒ වැඩේට වඩාත්ම කාර්යක්ෂම පිරිසනේ. ඒ කියන්නේ කෘෂිකර්මයෙන් ඉවත් වෙලා තියෙන්නේ සාපේක්ෂව අකාර්යක්ෂම පිරිසක්. මෙය හරියටම නිවැරදි නැතත් දැනට අපි පහසුවට එහෙම කියමුකෝ. නමුත්, එසේ එළියට ගිය ශ්‍රමිකයින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වූ පිරිස මෙන් දෙගුණයක දායකත්වයක් ආර්ථිකයට ලබා දෙන්න සමත් වී තිබෙනවා. සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශයේ එක් ශ්‍රමිකයෙන් ඩොලර් 70,000ක අගය එකතු කිරීමක් කරද්දී කෘෂිකාර්මික නොවන අංශයක ශ්‍රමිකයෙක් ඩොලර් 137,000ක අගය එකතු කිරීමක් කරනවා. මේක වුනේ කොහොමද?

මිනිස්සු එකිනෙකා වෙනස්. ඒ අයගේ කුසලතා වෙනස්. වෙළඳපොළ පුළුල් වෙනවා කියා කියන්නේ හැම දෙනෙක්ම හැම දෙයක්ම කරන තැන ඉඳලා එක් එක් පුද්ගලයා තමන් වඩා කැමතිම, වඩා දක්ෂම දේ කරන තැන දක්වා ආර්ථිකය පරිණාමය වීමක්. මිනිහෙක් එක වැඩකදී කාර්යක්ෂම නොවුනත් කවර හෝ වැඩකදී කාර්යක්ෂම වෙනවා.

මේ ශ්‍රම විභජනය සමාජවාදීන් පවා එකඟ වෙන දෙයක්. හැම දෙයක්ම තමන් තනිවම කර ගන්න යාම අකාර්යක්ෂම බව සමාජවාදීන් විසිනුත් බොහෝ දුරට අවිවාදිතව පිළිගන්නවා. සමාජවාදයේ ප්‍රශ්නය මෙය සැලසුම්සහගතව කළමණාකරණය කරන්න යාමයි. ඔවුන් අසාර්ථක වන්නේ එතැනදී. මේ කියන පරිණාමය ස්වභාවිකව සිදු වන තරම් ප්‍රශස්ත ලෙස සැලසුම් කරන්න ප්‍රායෝගිකව කිසිවෙකුට හැකියාවක් නැහැ. බාධාවක් නැත්නම් නිදහස් වෙළඳපොළ විසින් අපූරුවට ඒ කාර්යය කරනවා.

(Images: https://www.koreatimes.co.kr/www/common/printpreviews.asp?categoryCode=103&newsIdx=262692)

Thursday, May 14, 2020

නාස්තිය අඩු කිරීමේ දේශපාලනය කුමක්ද?


නාස්තිය අඩු කිරීම ගැන කතා කරන කෙනෙක් පළමුව තමන් විසින් නාස්තිය ලෙස හඳුන්වන සංකල්පය නිරවුල් කර ගත යුතුයි. දෙවනුව නාස්තිය අඩු කළ යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතුයි.

පුද්ගලයෙක්ට සාපේක්ෂව ගත්තොත් ඒ පුද්ගලයාගේ කිසියම් තීරණයක් හෝ පුරුද්දක් නිසා ඔහුටම (හෝ ඇයටම) අවාසියක් වෙනවානම් එය නාස්තියක්. මේ මූලධර්මය අනුව නිවසේ වතුර කරාමයක් හරියට නොවැසීම නිසා වතුර කාන්දු වෙනවානම් සහ ඒ හේතුව නිසා වතුර බිල ඉහළ යනවානම් එය නාස්තියක්. අනවශ්‍ය විදුලි බල්බයක් එක දිගටම දැල්වෙනවානම් එය නාස්තියක්. නමුත්, දිනපතා මිදුලේ මල් පැල වලට වතුර දමන එක හෝ වෙසක් පෝය දවසේ රෑ එළිවන තුරු විදුලි බුබුළු වැලක් දල්වා තිබීම නාස්තියක් නෙමෙයි. ඒ දේවල් වෙනුවෙන් මිලක් ගෙවන්න සිදු වුනත් ඒ හේතුව නිසා ලැබෙන සතුට මිල ගෙවන පුද්ගලයාට ඊට වඩා වටිනවා.

මට පාඩුවක් වෙන්නේ නැත්නම්, මගේ අසල්වැසියා වෙසක් දවසේ හෝ අවුරුද්ද පුරාම ඔහුගේ හෝ ඇයගේ නිවස වටේම විදුලි බුබුළු දැල්වීම නාස්තියක් කියා මට කියන්න බැහැ. එය අසල්වැසියාගේ තේරීමක්. නමුත්, රජය විසින් පවත්වන සැණකෙලියක විශාල විදුලි බුබුළු ප්‍රමාණයක් දැල්වෙනවානම් මට එය ප්‍රශ්න කළ හැකියි. ඒ එහි පිරිවැය සෘජුව හෝ වක්‍රව මටත් ගෙවන්න සිදු වෙන නිසයි.

සාමාන්‍යයෙන් සම්පත් නාස්තිය අඩු කරන විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. එහෙත්, සම්පත් නාස්තිය අඩු කළ හැකි ප්‍රසස්ථ සීමාවක් තිබෙනවා. නාස්තිය ශුන්‍ය කිරීම හැමවිටම ප්‍රසස්ථම දෙය නෙමෙයි.

නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වූ විට කාර්යක්ෂමතාවය ප්‍රශස්ත මට්ටමකට එනවා. එසේ නොවන තත්ත්වයක් හැම විටම අකාර්යක්ෂමයි. ලාබ සෙවීමේ තරඟයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වෙනවා. එයට විකල්පය වන්නේ කිසිවෙකු විසින් එය සැලසුම් කිරීමයි. එහි අවාසි දෙකක් තිබෙනවා. පළමුවැන්න මේ සැලසුම නිවැරදි වනු ඇති බවට සහතිකයක් නැහැ. දෙවැන්න සැලසුම්කරු වෙනුවෙන් අනෙක් අයට කිසියම් පිරිවැයක් දරන්න සිදු වීමයි. නිදහස් වෙළඳපොළ මේ ප්‍රශ්න දෙකම විසඳනවා.

සංවෘත ආර්ථිකයකට සාපේක්ෂව විවෘත ආර්ථිකයක් හැම විටම වඩා කාර්යක්ෂමයි. පසුගිය 2019 වසරේදී ලංකාව සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 201.2ක්ද, කිරි නිෂ්පාදිත වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 311.9ක්ද වැය කර තිබෙනවා. තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 1,346.4ක ආදායමක් උපයා තිබෙනවා.

අපි හිතමු මේ අපනයන වියදම අඩු කරගන්න අපි ඉඩම් කොටසක තේ ගලවලා තණකොල වවලා හරක් හැදුවා කියලා. තවත් ඉඩම් කොටසක උක් හා බීට් හිටවනවා. උඩරටනම් බීට්. පහතරටනම් උක්. ඊට පස්සේ ඔය උක් වලින් හා බීට් වලින් සීනි හදනවා. හරක්ගෙන් කිරි ගන්නවා. තේ වගාවේ ඉන්න කම්කරුවන් ටිකත් ඔය කර්මාන්ත දෙකට යොදවනවා. උසනම් උක් වවන්න. මිටිනම් බීට් වවන්න. උස මනින්න ආවේ නැත්නම් හරක් බලන්න. ඔහොම කරලා සමහර විට සීනි හා කිරි ආනයනය කරන්න යන වියදම අඩු කරගන්න පුළුවන් වෙයි. හැබැයි තේ අපනයන ආදායම අඩුවීම නිසා සිදුවෙන පාඩුව බොහෝ විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.

රටේ වගා කළ හැකි ඉඩම් හැම එකක්ම සමාන නැහැ. සමහර ඉඩම් උක් වලට යෝග්‍යයි. සමහර ඉඩම් බීට් වලට යෝග්‍යයි. සමහර ඉඩම් ඔය දෙකටම යෝග්‍යයි. දැන් අපිට මේ ඉඩම් වල උක් හෝ බීට් වවන්න අවශ්‍යනම් අපි ඉඩම් තෝරා ගන්නේ කොහොමද? හරියටම සැලසුම් කරන්න පුළුවන් කාටද? ඒ සැලසුම්කරුට ඒ වෙනුවෙන් කීයක් ගෙවන්න ඕනෑද?

ධනවාදය හරියට ක්‍රියාත්මක වෙනවානම් ඔය ප්‍රශ්නයට විසඳුම් හොයන්න අවශ්‍ය නැහැ. ඉඩමේ උක් වවලා අස්වැන්න අඩුකමින් පාඩු වෙන කොට මිනිස්සු උක් වෙනුවට බීට් දානවා. බීට් වලින් පාඩු වෙනකොට උක් දානවා. දෙකම වැවෙන ඉඩමක වඩා ලාබ ලැබිය හැකි දේ වවනවා. ඉඩම් ටික අන්තිමේදී ප්‍රසස්ථ ලෙස බෙදී ගිහින්.

ශ්‍රමය වුනත් එහෙමයි. බීට් වගාවට අත් ගුණයක් නැති, ආසාවකුත් නැති මනුස්සයා වගාවෙන් පාඩු වෙනකොට ඉඩම විකුණලා උක් වවන්න පුළුවන් ඉඩමක් ගන්නවා. උක් එක්ක ඔට්ටු අල්ලලා එපා වෙච්ච මනුස්සයා බීට් වවන්න යනවා. අන්තිමේදී කිසියම් වැඩක් කරන්න වඩා කැමති හා දක්ෂ පුද්ගලයා ඒ වැඩේට යොමු වෙනවා.

ප්‍රාග්ධනය තිබෙන මනුස්සයා උක් වලින් ලාබනම් උක් වලට ආයෝජනය කරනවා. වැඩේ පාඩුනම් බීට් වලට ආයෝජනය කරනවා. අන්තිමේදී ප්‍රාග්ධනය යොමු වෙන්නේ වඩාත්ම ප්‍රතිලාභ ලැබිය හැකි තැනටයි.

හැබැයි මේ හැම දෙයක්ම වෙන්නේ අසාර්ථක වන අයට තරඟයෙන් හැලෙන්න ඉඩ ඇරියොත් පමණයි. පාඩු වෙවී බීට් වවන ගොවියාව අනුන්ගේ වියදමෙන් ආරක්ෂා කරන්න ගියොත් ඒ ගොවියා කවදාවත් ඉඩම අත ඇරලා බීට් වලට වඩා ගැලපෙන ඉඩමකට යන්නේ නැහැ. බීට් වෙනුවට උක් වවන්නේ නැහැ.

නිදහස් වෙළඳපොළ තරඟය තුළ අසාර්ථක වෙන කෙනෙකුට තාවකාලිකව රැකියාවක් නැති, ආදායම් නැති නරක කාලයක් තියෙන්න පුළුවන්. ඒ වගේ කාලයක එවැන්නෙකු වෙනුවෙන් කෙටිකාලීනව කිසියම් සුබසාධනයක් කළාට කමක් නැහැ. නමුත්, එය එවැන්නෙකු විසින් වරක් අසාර්ථක වූ දෙයම දිගටම කරන්නට යොමු කරවන ආකාරයේ සුබසාධනයක් නොවිය යුතුයි. එසේ කිරීමෙන් ඔහුට හෝ ඇයට දිගුකාලීනව වෙන්නේ අයහපතක්.

ගොවියෙකු අක්කරයකින් වී කිලෝ දෙදාහක අස්වැන්නක් ලබා ගැනීමෙන් පසුව එයින් සීයක් මොන විදිහකින් හෝ නාස්ති වුනොත් ඒ නාස්තිය ගොඩක් අයට පේනවා. නමුත්, වැරදි ඉඩමක වැරදි ගොවියා වී වගා කිරීම නිසා අස්වැන්න කිලෝ සීයකින් අඩු වෙන එක ගොඩක් අයට පේන්නේ නැහැ. නිදහස් වෙළඳපොළකින් කරන්නේ කවදාවත්ම අස්වනු සේ නොනිපදවුණු, ඒ නිසා කිසිවෙකුට නොපෙනුණු, වී කිලෝ ගණනක් නාස්ති වී යාම නවත්වන එකයි.

නාස්තිය අඩු කිරීමේ දේශපාලනයක් කවදාවත් නිදහස් වෙළඳපොළට හෝ ජාත්‍යන්තර වෙළඳාමට එරෙහි දේශපාලනයක් වෙන්න බැහැ. නිදහස් වෙළඳපොළට එරෙහි වීම කියන්නේම අති විශාල සම්පත් නාස්තියක්.

Wednesday, May 13, 2020

ආහාර නාස්තිය නැති කරන්න බැරිද?


ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ සේවාවේ ඇස්තමේන්තු අනුව, 2010 වසරේදී ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණි ආහාර ප්‍රමාණය රාත්තල් බිලියන 430ක්. මේ ආහාර ප්‍රමාණයෙන් 31%ක් හෙවත් රාත්තල් බිලියන 133ක් පරිභෝජනයට නොගෙන නාස්ති වී තිබෙනවා. මේ ආහාර ප්‍රමාණය නාස්ති වී තිබෙන්නේ සිල්ලර අදියරට පැමිණීමට පෙර සිදුවන වගා හානි හා පසු අස්වනු හානි වලට අමතරවයි. ඒ හානි ගැන පසුව වෙනම කතා කරමු.

ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්. ඒ කියන්නේ මේ විදිහට නාස්ති වී තිබෙන්නේ එම වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් තුන් ගුණයකට ආසන්න වටිනාකමක් ඇති ආහාර ප්‍රමාණයක්. තවත් විදිහකට කියනවානම් කැලරි ට්‍රිලියන 141ක්. ඒ අනුව, එක් ඇමරිකානුවෙකු විසින් දවසකට කැලරි 1,249ක ශක්තියක් ජනනය කරන ආහාර නාස්ති කරනවා. ඒ කියන්නේ මුළු ලංකාවටම අවුරුදු 8කට පමණ කෑමට අවශ්‍ය ආහාර ප්‍රමාණය. එක් පුද්ගලයෙකු විසින් දවසකට ඩොලර් 1.40ක වටිනාකමක් ඇති ආහාර රාත්තල් 1.2ක් නාස්ති කිරීමක්.

මේ විදිහට නාස්ති කරන ආහාර වල වටිනාකමින් 30.0%ක් හෙවත් ඩොලර් බිලියන 48.5ක් කුකුළු මස්, මාළු හා වෙනත් මස් වර්ගයි. ලෝකයේ විශාල පිරිසකගේ සුඛෝපභෝගී ආහාර. 18.6%ක් එළවලු. 16.7%ක් කිරි නිෂ්පාදිත. 12,3%ක් පළතුරු. 8.3%ක් තෙල් හා මේද. 6.9%ක් ධාන්‍ය. 4.1%ක් සීනි හා රසකාරක. බර අනුව බැලුවොත් රාත්තල් බිලියන 25.4ක කිරි නිෂ්පාදිත. රාත්තල් බිලියන 25.2ක එළවළු. රාත්තල් බිලියන 18.5ක ධාන්‍ය. රාත්තල් බිලියන 18.4ක පළතුරු රාත්තල් බිලියන 3.9ක කුකුළු මස් හා රාත්තල් බිලියන 7.2ක වෙනත් මස් වර්ග. රාත්තල් බිලියන 1.5ක මාළු. බිලියන 25ක පමණ බිත්තර ප්‍රමාණයක්.

මේ ආහාර නාස්තිය මා හෝ ඇමරිකාවේ වෙනත් කිසිවෙකු විසින් උත්කර්ශයට නංවන දෙයක් නෙමෙයි. 2030 වන විට ආහාර නාස්තිය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ඉලක්කයක්. ඇමරිකාවේ ඔය වගේ ඉලක්ක බොහෝ විට ප්‍රායෝගික ඉලක්ක. "එක ආහාර රාත්තලක් නාස්ති නොකිරීමේ" හෝ "වසර තුනක කඩිනම් වැඩ පිළිවෙලකින්" මේ වැඩේ කිරීමේ ඉලක්කයක් ඇමරිකාවට නැත්තේ බොරු ඉලක්ක ඉදිරියට දැම්මා කියා ඒ ඉලක්ක කවදාවත් අත් පත් කර ගන්න බැරි නිසයි.

මම පෞද්ගලිකවත් ආහාර නාස්තියට සංවේදීයි. අපේ දරුවෙකු ආහාර නාස්ති කළ විට මට බොහෝ විට ඇති වන්නේ විශාල කණගාටුවක් හා කේන්තියක්. මේ ඇතැම් ආහාර වර්ග ගැන අප කොයි තරම් කෙළ හලා ඇත්ද කියන එකත් අදටත් ලෝකයේ කී දෙනෙක් ආහාර නැති කමින් කුසගින්නේ ඉන්නවාද කියන එකත් එවිට මතක් වෙනවා. ඇතැම් විට පිසූ ආහාරයක ඉතා සුළු ප්‍රමාණයක් ඉතිරි වී ඇති විට එය කුණු බක්කියට නොදා තනිකරම නාස්තිය වැළැක්වීමේ අරමුණින් ආහාරයට ගන්න පෙළඹුමක් ඇති වෙනවා. මේ පෙළඹුම ජාන වලින් එන දෙයක් වෙන්න ඇති. නමුත්, ඒ පුරුද්ද හැම අතින්ම නරක හා හානිදායක පුරුද්දක්.

මේ ටික මුලින්ම ලිවුවේ මේ ලිපියේ අරමුණ ආහාර නාස්තිය දිරිමත් කිරීම නොවන බව පැහැදිලිව කියන්නයි. එසේ වුවත්, ආහාර නාස්තිය අඩු කිරීම හැම විටම වඩාත්ම කාර්යක්ෂම දෙය නෙමෙයි. ඇතැම් විට ආහාර නාස්ති වෙන්න අරින එකයි වඩාත්ම කාර්යක්ෂම දෙය. මම උදාහරණ කිහිපයක්ම දෙන්නම්.

මේ ලිපියේ සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ සිල්ලර අදියරේදී හා පාරිභෝගික අදියරේදී නාස්ති වන ආහාර මතයි. එහෙත් ඊට පෙර ගොවිපලේදී හා පසු අස්වනු අවදියේදීත් ආහාර නාස්ති වෙනවා.

ගොවිපොළේදී ආහාර නාස්ති වන එක් ක්‍රමයක් වන්නේ අස්වනු නෙලාගන්නේ නැතිව ගොවිපොළේම විනාශ වෙන්න ඇරීමයි. මෙයට හේතු වෙන්නේ මිල ගොඩක් අඩු වීම හෝ අස්වනු අඩු වීම වෙන්න පුළුවන්. අස්වනු නෙලීමේ ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මිල එම අස්වනු විකුණා ලැබිය හැකි ආදායමට වඩා වැඩිනම් අස්වනු නෙලන්නේ නැතිව විනාශ වෙන්න අරින එක වඩා කාර්යක්ෂමයි. මෙහිදී විශාල ආහාර ප්‍රමාණයක් නාස්ති වනවා තමයි. නමුත්, විකල්පය වන්නේ ඊට වඩා වටිනාකමක මිනිස් හෝ යාන්ත්‍රික ශ්‍රමය නාස්ති කිරීමයි. ඒ නිසා එය නොකර ආහාර නාස්ති කිරීම වඩා කාර්යක්ෂමයි.

පසු අස්වනු අවදියේදීත් මෙවැනි තත්ත්වයන් තියෙන්න පුළුවන්. නෙලාගත් අස්වනු ගබඩා කර තබා ගැනීමට වියදමක් යනවා.  ඊළඟ කන්නයේ අස්වනු එන විට ඒ වෙලාවේ මිල දී ගන්න යන වියදමට වඩා පරණ අස්වනු එතෙක් ගබඩා කර තබා ගැනීමේ වියදම වැඩිනම් එම අස්වනු ගබඩා කර ආරක්ෂා කර ගැනීම කාර්යක්ෂම නොවන්න පුළුවන්. මේ අස්වනු වෙනුවෙන් දැනටමත් මිලක් ගෙවා තිබුණත් එය ගිලුණු පිරිවැයක්. ඒ මුදල දැනටම ගිහින් ඉවරයි. ආහාර තොගය තවත් කල් තියා ගැනීමෙන් වෙන්නේ පාඩුව තව තව වැඩි වෙන එකයි.

ඊළඟට සිල්ලර අදියරේදී කල් ඉකුත් වන ආහාර විනාශ කරන්න වෙනවා. මේ ආහාර වලින් වැඩි කොටසක් ඇත්තටම නරක් වෙලා නොතිබෙන්න පුළුවන්. එහෙත් භාවිතයට නුසුදුසු වෙන්න සැලකිය යුතු සම්භාවිතාවක් තිබෙනවා. නරක් වී තිබීමේ ඉඩක් ඇති ආහාර විකිණීමෙන් සිදු විය හැකි හානිය හා සැසඳූ විට එම ආහාර විනාශ කර දැමීමේ හානිය අඩුයි.

අවසාන වශයෙන් පාරිභෝගික අදියර. අපි අපට අවශ්‍ය තරමට වඩා ආහාර මිල දී ගන්නේ, ආහාර පිසින්නේ හා ආහාර පිඟානට බෙදා ගන්නේ ඇයි? ඇත්තටම ඉතා කලාතුරකින් හැර කෙනෙක් නාස්ති කිරීමේ අරමුණින් ආහාර පිඟානට බෙදා ගන්නේ නැහැ. බෙදාගන්නේ කන්න. ඒත් ගත්ත ආහාර ප්‍රමාණය කා ගන්න බැරි බව තේරෙන්නේ පසුවයි. මෙහිදී අවිඥානකව මිනිස්සු කරන්නේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න උත්සාහ කිරීමක්. ආහාර යම් ප්‍රමාණයක් නාස්ති වීමේ හානියට සාපේක්ෂව ආහාර මදි වී කුසගින්නේ ඉන්න වීමේ හානිය වැඩියි. බොහෝ විට ඇත්ත තත්ත්වය මෙවැන්නක් නොවුණත් අප පරිණාමය වී සිටින ආකාරය අනුව අපට හිතෙන්නේ මේ විදිහටයි.

යම් තරමක් වැඩියෙන් ආහාර පිසින එකෙන් පිසූ ආහාර ප්‍රමාණවත් නොවී නැවත ආහාර උයන්න සිදු වීමේ අවදානම අඩු වෙනවා. නැවත වරක් ආහාර පිසින්න සිදු වුවහොත් ඉන්ධන, ශ්‍රමය, කාලය ගොඩක් නාස්ති වෙනවා. ආහාර නාස්තිය ඉහළ ගියත්, ආහාර නැවත පිසීමේ අවදානම අඩු වන නිසා මේ වැඩේ කාර්යක්ෂමතාවය ඉහළ යවන්නක් වෙන්න පුළුවන්. මේ විදිහට වැඩියෙන් උයන හෝ වැඩියෙන් බෙදාගන්නා ආහාර වෙනුවෙන් වැය කරන මුදල කුසගින්නේ සිටීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මිල දී ගන්නා රක්ෂණයක වාරික මුදල වගේ දෙයක්.

මේ කියපු හැම අවස්ථාවකදීම ආහාර නාස්ති කිරීම අකාර්යක්ෂම දෙයක් නොවන්න තිබෙන ඉඩකඩ ඉහළ යන්නේ මිනිසුන්ගේ කාලයේ හා ශ්‍රමයේ වටිනාකමට සාපේක්ෂව ආහාර ඉතා සුලබ හා මිල අඩු වූ විටයි. එය සිදු වන්නේ ආහාර නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම කාර්යක්ෂම වූ පසුවයි.

ඇමරිකාවේ හැම පුද්ගලයෙක්ම නිවසේ සිදුවන ආහාර නාස්තිය මුළුමනින්ම අඩු කළා කියා ඒ ආහාර ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් කොනක සිටින කුසගින්නේ සිටින කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ ආහාර නිෂ්පාදනය වන්නේම මේ විදිහේ නාස්තියක් වන නිසා. මිනිස්සු තමන්ට කුසගින්නේ ඉන්න සිදුවීමේ අවදානම අඩු කර ගැනීම සඳහාත් ආහාර වෙනුවෙන් යම් මුදලක් වැය කරනවා. ඒ පරිභෝජනය සඳහා ඇත්තටම අවශ්‍ය ආහාර වලට ගෙවන මිලට අමතරවයි. මෙය කැමැත්තෙන් ගෙවන මිලක්.

මේ විදිහට බොහෝ දෙනෙක් ඇත්තටම ආහාරයට ගන්න ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් මිල දී ගන්න නිසා ආහාර ඉල්ලුම වැඩි වී මිලත් යම් තරමකින් ඉහළ යනවා. ඒ වෙළඳපොළ ඉල්ලුම සැපයීමේදී ආහාර සැපයුමද ඉහළ යනවා. යම් හෙයකින් මේ නාස්තිය නොතිබුණානම් එම අමතර ආහාර ප්‍රමාණය නිෂ්පාදනය වන්නේම නැහැ.

සමහර වෙලාවට අපේ කුණු බක්කියට යන්නේ ලංකාවෙන් ආනයනය කළ සහල් වලින් පිසූ බත්. මේ විදිහට කුණු බක්කියට යන බත් ටික වෙනුවෙනුත් ලංකාවට අපනයන ආදායමක් හා කිසියම් විදේශ විණිමය ප්‍රමාණයක් ලැබිලා. ඒ නාස්තියත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වෙනවා. ගෙවුම් ශේෂ හිඟයෙන් අඩු වෙනවා.

මේ ටික ලිවුවේ ආහාර නාස්තිය දිරිමත් කරන්න නෙමෙයි. එහෙත්, ඕනෑම දෙයක ප්‍රසස්ථ මට්ටමක් තිබෙනවා. අලියා සතියකට පාරක් එන්න ඉඩ තිබෙනවානම් නිදිමරාගෙන පැල් රකින එක කාර්යක්ෂම වෙන්න පුළුවන්. එහෙත්, අවුරුදු දහයකට වරක් කුඹුර පාලු කරන්න ඉඩ තිබෙන අලියෙක්ගෙන් අස්වනු රැකගන්න ඒ අවුරුදු දහයම පැල් රකින එක කාර්යක්ෂම දෙයක් නොවෙන්න පුළුවන්.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...