ටික දවසකට කලින් සජිත් ගොටාගෝගම ගිය බවත්, එහිදී සජිත්ට ලැබුණු ප්‍රතිචාරත් කවුරුත් දන්නවා. ඊට සමගාමීව ගොටාගෝගම ගිය අනුර කුමාරට එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනේ නැහැ. මෙය විවිධ ආකාරයන්ගෙන් අර්ථකථනය වුනා. සජබ පැත්තෙන් කියවුනේ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූ බවයි. ඇත්තටම සිදු වුනේ එවැන්නක් වෙන්න පුළුවන්.
වඩා වැදගත් කරුණ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූවාද නැද්ද කියන එක නෙමෙයි. ඔවුන් එසේ කළේනම්, ඔවුන්ට අරගල භූමිය තුළ එසේ කළ හැකි වුනා කියන එකයි. මීට පෙර පාර්ලිමේන්තුව අසලදීත් මීට සමාන දෙයක් සිදු වුනා. මේ සිද්ධි හා අදාළව ජවිපෙට කරන විවේචන ඇත්ත සේ සැලකුවත්, එයින් පැහැදිලිව ගම්‍ය වන්නේ සජබට අරගලය තුළ කළ නොහැකි වූ දෙයක් ජවිපෙ විසින් අරගලය තුළ කර තිබෙන බවයි.
මේ සිද්ධිය හා අදාළව අනුර කුමාර විසින් පැහැදිලි කිරීමක් කළා. එහිදී ඔහු කිවුවේ සජිත් විසින් අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කළ සංස්කෘතිය නියෝජනය කරමින් එහි පැමිණීම හා තමන් එසේ නොකිරීම වෙනස් ප්‍රතිචාර වලට හේතු වූ බවයි. අදාළ සිද්ධිය පැත්තකින් තිබ්බත් අනුර කුමාර කියන මේ කතාව ඇත්තක්. සජිත් විසින් මෙන්ම බොහෝ දුරට සජබ විසින් නියෝජනය කරන්නේද අරගල බිමේ හා එයින් පිටත සිටින අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියයි.
ගෝටාගෝගම බිහිවද්දී ඒ තුළ, රටේ සුළුතරයක් වන, ලිබරල් අදහස් ඇති නාගරික නිරාගමිකයන් බලවත්ව සිටියා. ඔවුන්ගේ සටන් පාඨ වලින් කොටසක්, විශේෂයෙන්ම දූෂණ විරෝධය හා සමානාත්මතාව, ජවිපෙ/පෙසප සටන් පාඨ සමඟ අතිපිහිත වුවත්, ආර්ථික නිදහස හා සම්බන්ධ ජවිපෙ/පෙසප සම්ප්‍රදායික අදහස් අරගලය තුළ කැපී පෙනෙන ලෙස නියෝජනය වූයේ නැහැ. "225ම එපා" කියන ඉල්ලීම රාජපක්ෂලා විසින් ජනගත කළ බොරු ඉල්ලීමක් නෙමෙයි. ප්‍රධාන පක්ෂ වලට තරම් නොවුනත් ජවිපෙ කෙරෙහිද යම් විරෝධයක් හෝ කළකිරීමක් අරගලය තුළ තිබුණා.
කෙසේ වුවත්, මෙවැනි මහජන ව්‍යාපාරයක් හා බද්ධ විය හැකි ආකාරය ගැන ප්‍රධාන පක්ෂ වලට නොතිබුණු අත්දැකීම් ජවිපෙ/පෙසප පක්ෂ වලට තිබුණා. ඔවුන් තමන්ගේ එම දැනුම හා අත්දැකීම් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් අරගලය හා බද්ධ වී තමන්ගේ අදහස් ඒ තුළට පොම්ප කළා. අනුර කුමාර ගෝටාගෝගම යන්නේ අවශ්‍ය පමණ අරගලයේ අරමුණු හා ජවිපෙ අරමුණු සුසර වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට පෙර, ජවිපෙ/ජාජබ පාගමන ගෝටාගෝගම යාමේ උත්සාහය හරහා දමා බැලූ මුට්ටියට පොලු පාර වැදීමෙන් ජවිපෙ විසින් පසු එම උත්සාහය අතහැර දමනු ලැබුවා.
මා පෙර ලිපියක සඳහන් කළ පරිදි අරගලයේ දිශානතිය ගැන සෑහීමකට පත් නොවන කෙනෙකු විසින් කළ යුතු වූයේ අරගලය හා බද්ධ වීමයි. අරගලය තුළ ඒ සඳහා දොරටු විවරව තිබුණා. ජවිපෙ/පෙසප මුලින්ම එහි ප්‍රයෝජනය ගත්තා. එම පක්ෂ වලට තිබෙන අත්දැකීම් යම් පමණකින් තිබෙන චම්පිකගේ කණ්ඩායමද ඔවුන්ට හැකි පරිදි අරගලය තුළට රිංගා ගත්තා. අරගලයට බෞද්ධ සංස්කෘතිකාංග එකතු වුනේ ඉන් පසුවයි. එහෙත්, චම්පික විසින් සජිත් ගත් අවදානම ගන්න ගියේ නැහැ.
සජිත් ප්‍රධාන සජබ විසින් මුල සිටම කළේත්, දැන් කරන්නේත්, අරගලයෙන් ආත්මික ලෙස දුරස්ථව සිටිමින් සම්ප්‍රදායිකව ලංකාවේ දේශපාලනඥයින් විසින් කළ ලෙස අරගලයේ නියෝජනය තමන් අතට ගන්න උත්සාහ කරන එකයි. එය හරියන වැඩක් නෙමෙයි. අරගලය හා ආත්මික ලෙස සම්බන්ධ නොවී භෞතික ලෙස ඒ හා සම්බන්ධ විය නොහැකියි. ගෝටාගෝගමින් සජිත්ව හෝ සජබ නියෝජනය නොවනවාක් මෙන්ම ගෝටාගෝගම ගොඩ නැගෙන්නේ සජිත් විසින්ද නියෝජනය කරන දේශපාලන සංස්කෘතියට එරෙහිවයි.
මේ අතින් බැලූ විට රාජපක්ෂලා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන්. අරගලයේ ප්‍රධානම ඉල්ලීම රාජපක්ෂලා වී තිබීම තුළ පවා ඔවුන් අරගලය හා ඒකාත්මික වීමේ උත්සාහය අත ඇරියේ නැහැ. අරගලකරුවන්ගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වෙද්දී රාජපක්ෂලාගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වීම උදාහරණයක්.
රාජපක්ෂලාට තිබෙන්නේ ජලය වැනි, අඩංගු භාජනයේ හැඩය ගන්නා, ගඳක් සුවඳක් නැති අවර්ණ දේශපාලනයක්. ඔවුන් අවශ්‍ය පරිදි එයට ගඳ සුවඳ හා වර්ණ එකතු කර ගන්නවා. රාජපක්ෂලාගේ ජාතිකවාද, ආර්ථික ප්‍රතිපත්ති ආදී හැම දෙයක්ම මේ විදිහට පිටින් එකතු කරගත් වර්ණ, ගන්ධ හා හැඩතල පමණයි. අවශ්‍ය මොහොතේදී තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මේ ඕනෑම දෙයක් වෙනස් කර ගන්නවා. මම හිතන්නේ මේ ගැනනම් විපක්ෂයේ සියළු පක්ෂ වලට මෙන්ම බොහෝ අරගලකරුවන්ටද හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ අනෙක් හැම ඉල්ලීමකටම උඩින් රාජපක්ෂලා ගෙදර යා යුතු බවට වන ඉල්ලීම තියන්නේ ඒ නිසා.
තමන්ට බලයේ සිටිය හැකි තාක්, පීඩනය හමුවේ, රාජපක්ෂලා අනෙක් ඕනෑම ඉල්ලීමක් ඉටු කරනවා. මේ තත්ත්වය හමුවේ සජබ, ජාජබ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ වල උපක්‍රමය වී තිබෙන්නේ රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු සටන අත් නොහැරීමයි.
කොහොම වුනත්, රාජපක්ෂලා කියන්නේ අහම්බයක් නෙමෙයි. ඔවුන් තේරී පත්ව සිටින්නේ නීත්‍යනුකූල ලෙස මහජන කැමැත්තෙන්. නීතිය අනුව ඔවුන්ගේ ජනවරම නැති වී නැහැ. ඉල්ලා අස් වන සේ බල කිරීම හැර ගෝඨාභයව නීත්‍යානුකූල ලෙස ඉවත් කළ හැකි ක්‍රමයක් නැහැ. මේ කාරණයේදී පවතින නීති රාමුවට පිටින් යාමට ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ පැකිලෙන්නේ නැතත් එය කිසිසේත්ම බහුතර කැමැත්ත නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බිඳ වැටෙනවාට රටේ බහුතරය කැමති නැහැ. එවැනි අපේක්ෂාවන් ඇත්නම් ඒ ඉතා සුළු පිරිසකට පමණයි. අරගලය තුළ වුවද මෙවැනි අදහස් ඇති අයට සාපේක්ෂව වැඩි නියෝජනයක් මිස බහුතරය නියෝජනයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.
මේ අන්ත දෙක අතර රනිල්ගේ ප්‍රවේශය මධ්‍යස්ථ හා ප්‍රායෝගික එකක්. මෙහිදී රනිල් කරන්නේ අරගලය තුළ ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ විසින් කළ දෙයමයි.
අරගලය ආරම්භ වුනේ අඩු වැඩි වශයෙන් ජවිපෙටද එරෙහිවයි. එහෙත්, අරගලය හා සුසර වීම මගින් ජවිපෙ එහි බල කේන්ද්‍රය සැලකිය යුතු තරමින් තමන් දෙසට ආකර්ෂණය කර ගත්තා. මා ඒ දවස් වලම කියූ පරිදි, අරගලයේ දිශානතියට බලපෑම් කළ යුතු වූ අයෙකු විසින් කළ යුතු වූයේ අරගලයට සහයෝගය දෙමින් ඒ හා එක් වීමයි. දැන් ආණ්ඩුව සම්බන්ධවද මෙයම කළ හැකියි. රනිල් කරන්නේ එයයි.
රනිල් කරන දෙයම විපක්ෂයේ අනෙකුත් පක්ෂ විසින්ද කළේනම් ආණ්ඩුව තුළ රාජපක්ෂලා දුර්වල කර අවසාන වශයෙන් රාජපක්ෂලා ඉවත් කළ හැකිව තිබුණා. එහෙත්, රනිල්ට තනිව ඒ තරම් දුරක් යා නොහැකියි. එවැනි ඉලක්කයක්ද නොතිබිය හැකියි.
ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම නොවුනානම්, මේ වන විට රාජපක්ෂලාත් ගෝටාගෝගම ගිහින්. එහෙත්, ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම වීම තුළ ඔවුන්ට ඒ සඳහා වූ අවකාශය මුළුමනින්ම වාගේ ඇහිරී තිබෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව තුළ සිටි කොටස් එළියට යාමට ඉඩ සැලසුවත් එයින්ද අවශ්‍ය වැඩේ සිදු වුනේ නැහැ.
රාජපක්ෂලා කොහොම වුනත් රනිල් මේ වෙද්දී ගෝටාගෝගම පදිංචි වෙලා. රනිල් ඒ වැඩේ කර තිබෙන්නේ තනිකරම සජිත්ගේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ලෙසයි. සජිත් අරගලයෙන් අධ්‍යාත්මික ලෙස දුරස්ථව සිටිමින් භෞතිකව එහි යාමට උත්සාහ කර ඇන ගනිද්දී, රනිල් අරගල භූමිය පැත්ත පළාතක නොගොත් එහි අදෘශ්‍යමාන කූඩාරමක් අටවා ගන්නවා. අනුර කුමාරලා මුලින් කරපු දෙයමයි.
තමන් අරගලය පාවා නොදෙන බව සජබ කිවුවත්, සෛද්ධාන්තික ලෙසම මෙය කළ නොහැකියි. සජබ විසින් නියෝජනය කරන්නේද අරගලයට සක්‍රිය ලෙස සහභාගී වී සිටින්නන් විසින් ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියයි. අරගලය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම සජබ දේශපාලනයද අවසන් වීමයි.
කොහොම වුනත්, සජබටද අරගලය තුළ නියෝජනයක් තිබෙනවා. එහෙත් එය තිබෙන්නේ සක්‍රිය අරගල භූමිය තුළ නෙමෙයි. අරගලයට සහයෝගය දෙමින් අරගලයෙන් පිට සිටින වැඩිහිටි වයස් කාණ්ඩය තුළයි. ඒ අයට අරගලය තුළ සක්‍රියව සිටින "තමන්ගේ දරුවන්ට" සහයෝගය දෙන්නේ ආර්ථික හේතු මතයි. ඔවුන්ට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න ඇතත් එය ප්‍රමුඛ ප්‍රශ්නය නෙමෙයි. ඒ වගේම, අරගලයට සහයෝගය දුන්නත්, මේ කණ්ඩායම ප්‍රශ්නයේම කොටසක්.
තමන්ට නියෝජනය කළ හැකි, අරගලයට පිටින් සිටින අරගලකරුවන් ඉලක්ක කරනවානම් සජබ විසින් කළ යුතුව තිබුණේ ආණ්ඩුවට එකතු වී ආණ්ඩුව තුළ රාජපක්ෂ බලය දුර්වල කිරීමයි. එහෙත්, ඒ වෙනුවට සජබ විසින් සක්‍රිය අරගලකරුවන් නියෝජනය කරන්නට යාමෙන් කරගන්නේ යම් ආකාරයක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්. ඔවුන්ව නියෝජනය කරන්නට අවශ්‍යනම් සජබට තමන්ගේ දේශපාලන සංස්කෘතිය විප්ලවීය ලෙස වෙනස් කර ගන්න වෙනවා. කෙටියෙන් කිවුවොත් ජවිපෙ වගේ වෙන්න වෙනවා. එය ප්‍රායෝගිකව සජබට කළ නොහැකි දෙයක්. එවැනි තත්ත්වයක් යටතේ යම් ආකාරයකින් රාජපක්ෂලා ගෙදර යැවුවොත් එයින් පසුව අනිවාර්යයෙන්ම ඔය විරෝධයම සජබ පැත්තටත් හැරෙනවා.
මේ වන විට සජබට නියෝජනය කළ හැකිව තිබුණු, අරගලය තුළ සක්‍රියව නොසිටින, පැත්තකට වී අරගලයට සහයෝගය දෙන විශාල පිරිසකගේ වීරයා වී ඉන්නේ රනිල් වික්‍රමසිංහයි. ආර්ථික ස්ථායීකරණය සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීමට සජබට කිසිසේත්ම හැකි වන්නේ නැහැ. ඒ නිසා, එම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගෙන ජනමතයේ වාසිය කිසිසේත්ම සජබට ගත හැකි වන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එම ප්‍රතිසංස්කරණ නොකරම බැරි බව පිළිගන්නා පිරිසට නායකත්වය දීමේ හැකියාවද සජබ විසින් ප්‍රයෝජනයට අරගෙන නැහැ.
ජවිපෙට අනුව රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ "කුලී හේවායෙක්". නලින් ද සිල්වා වැනි අය නොකියා කියන්නෙත් ඒකයි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ සාර්ථක වුවහොත් රාජපක්ෂලා කියනු ඇත්තේ අවශ්‍ය පරිදි "කුලී හේවායින්" යොදාගෙන අවශ්‍ය දේ කර ගැනීමට තමන්ට හැකි බවයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ කුලී හේවායෙක්නම් දැන් ඒ කුලී හේවායා ගෝටාගෝගම කූඩාරමකුත් අටෝගෙන.
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.