ඔබ අකලට කෙස් හැලී තට්ටය පෑදීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේ නැත්නම්, අකලට හිස කෙස් පැසීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේනම්, මෙන්න ඔබට තවත් නරක ආරංචියක්!
ඔබට හෘදයාබාධයක් හැදෙන්නටද සැලකිය යුතු අවදානමක් තිබේ.
හෘදයාබාධ හැදීමේ අවදානම හඳුනාගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා නිර්ණායක වන්නේ සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, තරබාරුකම, පවුලේ වෙනත් අයට හෘදයාබාධ හැදී තිබීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව, දුම්බොන්නෙකු වීම ආදී කරුණුය. එහෙත්, මේ කරුණු සියල්ලම මත වුවද හෘදයාබාධ හැදීමේ ඉඩකඩ එතරම්ම නිවැරදිව පුරෝකථනය කළ නොහැකිය. බොහෝ දෙනෙකුට මේ අවදානම් සාධක නොතිබියදී පවා හෘදයාබාධ වැළඳේ.
නවතම පර්යේෂණයකින් පෙනී ගොස් ඇති පරිදි "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම හා අකලට කෙස් පැසීමද ඉදිරියේදී හෘදයාබාධයක් හැදෙන්නට ඇති අවදානම පෙන්වන සාධකයි.
වයස අවුරුදු 40 නොඉක්මවූ ඉන්දියානු පිරිමි අතරින් හෘද රෝගීන් 790කුත්, සංසන්දනය කිරීම සඳහා පාලිත කණ්ඩායමක් ලෙස එම වයස් කාණ්ඩයේම නිරෝගී පිරිමින් 1,270කුත් යොදා ගනිමින් සිදු කළ මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් ඇත්තේ "පිරිමි මෝස්තරයට" අකලට තට්ටය පෑදීම හෘද රෝග වැළඳීමේ අවදානම 5.6 ගුණයකින් ඉහළ දමන බවයි. අකලට කෙස් පැසීම මේ අවදානම 5.3 ගුණයකින් ඉහළ දමන අතර තරබාරු වීම 4.1 ගුණයකින් හෘද රෝග අවදානම ඉහළ නංවයි. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව හෘද රෝග පුරෝකථනය කිරීමේ හැකියාව අනුව දියවැඩියාව, දුම්බීම ආදී අනෙක් කරුණු සියල්ල තිබෙන්නේ ඉහත කරුණු තුනට වඩා පිටුපසිනි.
මොකක්ද මේ "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම?
වයසත් සමඟ කෙස් යාම ක්‍රම දෙකකට සිදු වේ. මේ ක්‍රම දෙක හැඳින්වෙන්නේ "පිරිමි මෝස්තරයට" කෙස් යාම හා "ගැහැණු මෝස්තරයට" කෙස් යාම ලෙසිනි. පිරිමින්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම පිරිමි මෝස්තරයට සිදු වීමත්, ගැහැණුන්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම ගැහැණු මෝස්තරයට සිදු වීමත් මත මේ නම් කිරීම සිදු කර තිබේ.
ගැහැණු මෝස්තරයට කෙස් යාමේදී හිසේ සෑම තැනකම වාගේ කෙස් ඒකාකාරී ලෙස තුනී වන අතර පිරිමි මෝස්තරයට කෙස් යාම සුවිශේෂී රටාවකට සිදු වේ. මෙහිදී මුලින්ම හිසේ ඉදිරිපස හා හිස් මුදුනේ කෙස් හැලී හිස පිටුපස හා හිස දෙපස කෙස් ඉතිරි වේ. පිරිමි මෝස්තරයට කෙස් යාමට හේතුවන ඇතැම් ජානමය සාධක හා හෝමෝන හඳුනාගෙන ඇතත් ගැහැණු මෝස්තරයට කෙස් යාම ගැන එවැනි දැනුමක් තවමත් නැත.
පර්යේෂණ දත්ත අනුව පෙනී ගොස් ඇත්තේ පිරිමි මෝස්තරයට කෙස් යාම පුද්ගලයකුගේ සැබෑ වයස මත නොව "සනාල වයස (vascular age)" මත තීරණය වන්නක් බවයි. සනාල වයස යනු ඔබේ හෘදය වස්තුව කෙතරම් වයසට ගොස් ඇත්ද යන්නයි. හෘද ස්පන්දන තරංග ප්‍රවේගය හා හෘදයේ ධමනි වල ඝනකම මැනීමෙන් පුද්ගලයෙකුගේ සනාල වයස ඇස්තමේන්තු කළ හැකිය.
මේ ආකාරයේ වෛද්‍ය විද්‍යා පර්යේෂණ පදනම් වන්නේ සංයුක්ත නිරීක්ෂණ මත මිස න්‍යාය මත නොවේ. ඒ නිසා, මේ පර්යේෂණ ප්‍රතිඵලයෙන් කියන්නේ අකලට තට්ටය පෑදීම හා කෙස් පැසීම හෘද රෝග වැළඳීමේ අවදානම හඳුනාගත හැකි නිර්ණායක බව මිස හෘද රෝග වලට හේතු බව නොවේ. ඒ නිසා, තට්ටය පෑදීම වලක්වා ගැනීමෙන් හෘද රෝග අවදානම අඩු වේයැයි හරියටම කිව නොහැකිය.
ඉන්දියානු පිරිමින් යොදාගනිමින් සිදු කර ඇති පර්යේෂණයක් නිසා මේ නිරීක්ෂණ බටහිර රටක පුද්ගලයින් යොදාගනිමින් කරන මෙවැනි පර්යේෂණයකට වඩා ලංකාවට අදාළ විය හැකිය.