වෙබ් ලිපිනය:

Showing posts with label පෞද්ගලිකත්වය. Show all posts
Showing posts with label පෞද්ගලිකත්වය. Show all posts

Thursday, June 3, 2021

කළු හංසයින්, සුදු මොණරු හා සිංහ පැටවු


ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහව උපුටා දක්වමින් නිවුයෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇති පරිදි, පසුගිය වසරේ මාර්තු මාසයේදී කෝවිඩ් හේතුවෙන් අමුත්තන් සඳහා වසා දමනු ලැබ තිබුණු කාලය තුළ ලංකාවේ සත්ත්වෝද්‍යාන තුළ සිදුව ඇති උපත් ප්‍රමාණය 25%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මීට පෙර ලංකාවේ සත්ත්වෝද්‍යානයකදී පැටවු බිහි නොකළ සත්ත්ව වර්ගද සිටිනවා.


මෙසේ ලංකාවේදී පළමු වරට පැටවු බිහි කර තිබෙන සත්ත්ව වර්ග අතර කළු හංසයෙක්, සුදු මොණරෙක් සහ නිල්ගායෙකු (nilgai) සිටිනවා. මීට අමතරව කළු තාරාවෙකු, සීබ්‍රාවෙකු හා අරාබි ඔරික්සයෙකු (Arabian oryx) විසින්ද පැටවු බිහි කර තිබෙනවා. ඉෂිනි වික්‍රමසිංහව අනුව සතුන්ගේ ආතතිය අඩු වීම දරු උපත් ඉහළ යාමට හේතුවයි.

අමුත්තන් නැති වාතාවරණය තුළ සිංහයින් තමන්ගේ කූඩු තුළ නිදහසේ සැරිසරමින් සම්බන්ධතා ගොඩ නගා ගන්නා බව ඇය තව දුරටත් සඳහන් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිංහ පැටවු තිදෙනෙකු බිහි වී තිබෙන අතර දැන් ඔවුන්ගේ වයස මාස හයක්. 


මිනිස්සුන්ට වගේම බොහෝ සතුන්ටත් සංස්කෘතික ජිවිතයක් තිබෙනවා. සතුන් වුවත් පෞද්ගලිකත්වයට කැමතියි. මිනිස්සු සහ සතුන් අතර තිබෙන ප්‍රධානම වෙනසක් වන්නේ මිනිස්සුන්ට අනාගතය ගැන වියුක්ත ලෙස හිතා පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට හැකියාවක් තිබීමයි. ශිෂ්ඨාචාරය පිළිබඳ කතාව පෞද්ගලික ප්‍රාග්ධනය ගොඩ නැගීම පිළිබඳ කතාවක්.

Thursday, January 16, 2020

උඹ යකින්නක් වුනේ කොහොමද?


"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

සමන් ලෙනින් ඔහොම අහන්නේ මෝහිණීගෙන්. මෝහිණී ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඩන තුන්මං හන්දියේ ඈ බලා ගෙන ඉන්නේ අතේ ඉන්න දරුවාව දෙන්න කෙනෙක් එන තුරුයි. අතේ ඉන්න දරුවා ඇයට කරදරයක් වෙන්න ඇති. නමුත්, යකින්නක් වන ඇය මේ දරුවාව කුණු බක්කියකට දමන්නේ නැහැ. පණ පිටින් වලලන්නෙත් නැහැ.

ඒ අතින් බැලුවහම මෝහිණීගේ අතේ ඉන්න දරුවා නැත්නම් දැරිවිය වාසනාවන්තයි. සමහර දරුවෝ ඒ තරම් වාසනාවන්ත නැහැ.

"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

රජී වසන්ත වෙල්ගම සමන් ලෙනින් හරහා අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. අද උදේ වැඩට එද්දී කාර් එකේදී ඔය සිංදුව ඇහෙද්දී මතක් වුනේ රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බව කියන, උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට පැය පහක් තිස්සේ වළ දමනු ලැබ සිටීමෙන් පසුව අසල්වැසියකුගේ ඇස ගැටී පණ බේරා ගෙන තිබෙන බිළිඳියවයි.

මේ මව විසින් කරලා තිබෙන්නේ මෝහිණීවත් නොකරන දෙයක් වුණත් ඈ යකින්නක් කියා අපට එක වරම කියන්න බැහැ. බොහෝ විට ඇගේ පැත්තෙනුත් අපි නොදන්නා කතාවක් ඇති.

උපන් හැටියේම දරුවන්ව මරා දැමීම හෝ මැරෙන්නට අත හැර දැමීම ලෝකය පුරාම අතීතයේ සිටම සිදු වූ දෙයක්. රොබට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී "දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින්" මැරෙන්නට ඉඩ හළ බව ඔහු ලියා තිබෙනවා. මේ වගේ දේවල් අදටත් ලෝකයේ බොහෝ රටවල සිදු වෙනවා. ඇමරිකාවේ පවා.

ලෝකයේ බොහෝ සමාජ වල ඉතිහාසය පුරාම මේ විදිහට බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම කර තිබෙන්නේ ජනගහණ පාලන උපක්‍රමයක් විදිහටයි. මේක අර ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරීම වගේම වැඩක්. උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීමෙන් පසුව ජනගහණ පාලනය සඳහා වඩා "සදාචාර සම්පන්න" විකල්පයක් ලැබුණා. එහෙත්, අදටත් අනවශ්‍ය ගැබ් ගැනීම් සුලබව සිදු වෙනවා.

ලංකාවේ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමකින් පහසුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. එහෙත්, සෑම දිනකම නීති විරෝධී ගබ්සා විශාල ප්‍රමාණයක් රටේ සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුවක් වුවත් එය එක් හේතුවක් පමණයි. ලිංගික අධ්‍යාපනයක් තිබුණත් එතැනින් එහාට බොහෝ දේවල් තීරණය වෙන්නේ රටේ බහුතරය හිතන හා ක්‍රියා කරන ආකාරය මතයි.

හතේ අපේ පොත පසුගිය දවස් වල බොහෝ කතාබහට ලක් වුනා. ඔය පොත වසර කිහිපයකට කලින් ලබා දී තිබුණානම් කොස්ගල වත්තේ තරුණියට ඇගේ දරුවාව පණ පිටින් වළලන්න සිදු වෙන එකක් නැද්ද?

හතේ අපේ පොත සර්ව සම්පූර්ණ නැහැ. එහි පැහැදිලි අඩුපාඩු තිබෙනවා. නමුත්, එවැන්නක් එළිදැක්වීම හොඳ ආරම්භයක්. රන්ජන් හඬපට වලින් දරුවන් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නවාට වඩානම් එය අනිවාර්යයෙන්ම හොඳයි. දරුවන් ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එහෙත්, බටහිර රටවල ක්‍රමය ලංකාවට ඒ විදිහටම යොදා ගන්න අමාරුයි.

ඇත්තටම කියනවානම් හතේ පන්තිය කියන්නේත් මේ වැඩේට තරමක් වැඩි වයසක්. ලංකාවේ දරු දැරියන් බොහෝ දෙනෙක් විවිධ ආකාර වල ලිංගික අතවර වලට ලක් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වයස් වලදී.

ඇමරිකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ පෙර පාසැල් කාලයේ ඉඳලයි. හැබැයි මෙතැනදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ විවිධ ලිංගික ක්‍රියා ගැන කියා දෙන එක නෙමෙයි. මෙවැනි වයසකදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ දරුවෙකුට පුද්ගලිකත්වය ගැන කියා දීමයි. පුළුල් ලෙස කියනවානම් දරුවෙකුගේ අයිතිවාසිකම් ගැන හා පෞද්ගලිකත්වය කියන සංකල්පය ගැන ඔවුන්ව දැනුවත් කිරීමකුයි වෙන්නේ. අනෙක් අතට ලොකු පන්ති වලදී වුවත් වඩා බරපතල දේවල් කියා දෙන්නේ දෙමවුපියන් විසින් ලිඛිත අවසරයක් ලබා දී ඇත්නම් පමණයි. ඇමරිකාවේ කිවුවත් මම දන්නා පැති වල. මෙය හැම ප්‍රාන්තයකම වෙන ආකාරය ගැන මම හොයා බලලා නැහැ.

උපන් හැටියේම දරුවන් අතහැර දැමීමේ සිට දරුවන්ට සිදුවන ලිංගික අතවර දක්වා බොහෝ දේ පොදුවේ ගත් විට ළමයින්ට සිදුවන අතවර වල කොටසක්. කායික වධ හිංසා වලට නිතරම ලක් වෙන දරුවෙක් කොයි වෙලේ හෝ ලිංගික අතවරයකට ලක් වීමේ අවදානම වැඩියි. ඒ නිසා, වඩා සුදුසු වන්නේ වධ හිංසා වලට ලක් නොවීමට දරුවෙකුට තිබෙන අයිතිය ගැන පොදුවේ දැනුවත් කරන අතරම නිසි වයසේදී  ලිංගික අතවර ගැනත් යම් දැනුවත් කිරීමක් කරන එකයි. ලිංගිකත්වය හා අදාළ සෞඛ්‍යමය කරුණු ගැන වෙනම දැනුවත් කිරීමක් කළ හැකියි.

පසුගිය දවස් වල සංසරණය වූ දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව දරුවන්ට සිදු වන වධ හිංසා පිළිබඳ ඇස් අරවන්නක් වෙන්න පුළුවන්. එහෙත්, කොළඹ ගමයා විසින් පළ කර තිබුණු සුමීර ගුණසේකරගේ ලිපියේ ඇති පරිදි, මේ වගේ දේවල් ඉතාම සුලබ දේවල්. වධකයින් වන වැඩිහිටියන් අසල්වැසියන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැත්නම් බොහෝ විට ඔවුන් වින්දිතයින් වන දරුවන් වෙනුවෙන් පෙනී නොසිට ඇහැ කණ පියාගෙන ඉන්න එකයි කරන්නේ.

ලිංගික අතවර වේවා, වෙනත් වධ හිංසා වේවා, තමන්ගේ නිවසේදීම දරුවෙක් අතවර වලට ලක් වන විට දරුවා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. දරුවෙකු මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න පුරුදු වෙන්නේ මුළු ලෝකයම ඉන්නේ වධක වැඩිහිටියන්ගේ පැත්තේ මිසක් තමන්ගේ පැත්තේ නොවන බව තේරුම් ගැනීමෙන් පසුවයි. හැකි ඉක්මණින් ලොකු මහත් වී වැඩිහිටියන්ගෙන් නිදහස් වීම හැර දරුවා දකින වෙනත් විකල්පයක් නැහැ.

මේ විදිහට කුණු ගොඩවල් වල ළමා කාලයම ජීවත් වෙන්න සිදු වී ඇති දරුවන් කුඩා කාලයේම කුණු ගොඩකට වීසි කරනු ලැබ මිය යන දරුවන්ට වඩා අවාසනාවන්තයි. හැම විටම නොවූවත්, සොයා බැලුවොත් ඔවුන් බොහෝ විට තමන්ගේ ජීව විද්‍යාත්මක මවුපියන් දෙදෙනා සමඟ ජීවත් නොවන දරුවන්. අර වීඩියෝවේ සුළු මවගෙන් පහර කන දැරිය වගේ.

ඇමරිකාවේදීනම් මේ වගේ වෙලාවක පාසැලේ ගුරුවරයෙකුට දැනුම් දීමට දරුවන්ව දැනුවත් කරනවා. එසේ දරුවෙකු විසින් දැනුම් දීමක් කළ විට, එසේත් නැත්නම් දරුවෙකු නිවසේදී කිසියම් වධ බන්ධනයකට ලක් වන බව ගුරුවරයෙකුට සැක සිතුණු විට අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ගුරුවරයෙකුට ඒ ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙන්න බැහැ.

ලංකාවේනම් හැමෝම නැතත් බොහෝ දෙමවුපියන් වගේම ගුරුවරුනුත් වධකයින්. කණගාටුවට කරුණ එය වරදක් කියා බොහෝ දෙනෙක් නොසිතන එකයි. මෙය සංස්කෘතියේ කොටසක්නම් එය වෙනස් විය යුතු කොටසක්.

කුඩා කාලයේ ලිංගික අතවර වලට හෝ වෙනත් ශාරීරික හෝ මානසික වධ හිංසා වලට ලක්වන හැම දරුවෙක්ම වැඩිහිටියෙකු වූ විට සමාජ විරෝධියෙකු හෝ මානසික රෝගියෙකු වෙන්නේ නැතත් එවැනි වැඩිහිටියන් අතර කුඩා කාලයේ අතවර වලට ලක් වූ අය වැඩියි. කිසියම් සමාජයක් දරුවන්ට හා වෙනත් දුර්වල අයට සලකන ආකාරයෙන් අදාළ සමාජයේ නිරෝගී භාවය පිළිබිඹු වෙනවා. එසේ වුවත්, සමාජයක් සැබෑවටම නිරෝගී බව කිව හැක්කේ ආකල්පමය වෙනසකින් එය සිදු වී ඇත්නම් මිසක් දැඩි නීති රීති හරහා කෘතිමව එවැනි තත්ත්වයක් පෙනෙන්නට සලස්වා ඇති අවස්ථා වලදී නෙමෙයි.


Wednesday, July 17, 2019

ෆේස්ඇප්: ඔබත් මූණ දමා බැලුවාද?


අපේක්ෂිත ආයුකාලය ගැන දැන් ලිපි කිහිපයකින්ම කතා කළා. හැමෝම නොවුණත් අපි ගොඩක් දෙනෙක් තව ටික කලක් ජීවත් වෙන්න කැමතියි. තරුණ හා මැදි වයස් වල ඉන්න බොහෝ අය තව අවුරුදු විස්සක්වත් ජීවත් වෙන්න කැමතියි පමණක් නෙමෙයි, තව අවුරුදු විස්සකින් තමන්ගේ පෙනුම කොයි වගේද කියා දැන ගන්න හැකිනම් එයටත් කැමතියි.

මගේ ලංකාවේ ජීවත් වන දැනට මැදි වියේ ඉන්න මිතුරෙක් අද උදේ වත්පොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. පළමුවැන්නේ තිබුණේ ඔහුගේ දැන් පෙනුම හා වසර 20කට පසුව පෙනුමයි. තවත් මෙවැනි ඡායාරූප දෙක තුනක් තිබුණා. මේ මිතුරා ඔහුගේ වසර 20කට පසු පෙනුම මොන වගේද කියා දැන ගන්න භාවිතා කර තිබුණේ ෆේස්ඇප් කියන ඇප් එකයි.

ෆේස්ඇප් ඇප් එක ඇවිත් දැන් වසර කිහිපයක් වෙනවා. මේ වෙද්දී එය වෛරල් වී ඇති බව පෙනෙනවා. මේ වන විට මේ ඇප් එක ගූගල් ප්ලේ හරහා මිලියන 100ක් දෙනා බාගත කරගෙන ඇති බවත්, රටවල් 121කම ජනප්‍රියම ඇප් එක බවත් මාධ්‍ය වාර්තා වල කියැවෙනවා.

ෆේස්ඇප් ඇප් එක නිසා ආරක්ෂාවට ඇති වී තිබෙන තර්ජනය ගැන මේ වෙද්දී ඇමරිකානු මාධ්‍ය විසින් කතා කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි කතාබහක් ඇති වී තිබෙන්නේ අදාළ ඇප් එක බාගත කර ගන්නා අයෙකු විසින් කැමති විය යුතු කොන්දේසි වල සුවිශේෂී ස්වභාවය නිසයි. ඇප් එකක් බාගත කර ගැනීමට පෙර බොහෝ දෙනෙක් මේ කොන්දේසි නොකියවන බව අමුතුවෙන් කිව යුතු නැහැනේ.

"You grant FaceApp a perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide, fully-paid, transferable sub-licensable license to use, reproduce, modify, adapt, publish, translate, create derivative works from, distribute, publicly perform and display your User Content and any name, username or likeness provided in connection with your User Content in all media formats and channels now known or later developed, without compensation to you. When you post or otherwise share User Content on or through our Services, you understand that your User Content and any associated information (such as your [username], location or profile photo) will be visible to the public."

ෆේස්ඇප් ඇප් එක බාගත කර ගන්නා අයෙකු දැනුවත්ව හෝ නොසැලකිල්ල හේතුවෙන් එකඟ වන කොන්දේසි අනුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු එකතු කරගෙන එම තොරතුරු අදාළ සමාගමට අවශ්‍ය පරිදි මුදල් නොගෙවා භාවිතා කිරීමට, වෙනස් කිරීමට, බෙදා හැරීමට හා ප්‍රසිද්ධ කිරීමට සදාකාලික, අවලංගු කළ නොහැකි අවසරයක් ලබා දෙනවා. අදාළ සමාගමේ මවු සමාගම රුසියානු සමාගමක් වීමත්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව විසින් සමාජ මාධ්‍ය හරහා බලපෑමක් කළේය යන්නත් මේ හා අදාළ ඇමරිකානු කණස්සල්ල වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

(Image: https://www.indiatimes.com/technology/news/meet-faceapp-the-aging-app-that-s-taken-over-social-media-recently-371417.html)

Saturday, March 9, 2019

දෙකට බෙදෙන්නට යන ලොකුම සල්ලි කන්ද


දෙවසරකට පමණ පෙර ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමහර අය තවමත් දිගින් දිගටම උපුටා දක්වනවා. මේ ගැන මම මීට පෙරත් වරින් වර කතා කර තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි.

ඔය සංඛ්‍යාලේඛණය ප්‍රසිද්ධ කරන කාලයේ ලැයිස්තුවේ ඉහළින්ම හිටියේ බිල් ගේට්ස් වුවත්, දැන් ලෝකයේ ලොකුම ධනවතා ජෙෆ් බෙසෝස්. ඇමසන් සමාගමේ නිර්මාතෘ වන ජෙෆ්ට මේ වන විට එම සමාගමේ කොටස් මිලියන 78.8ක් පමණ අයිතියි. අද (මාර්තු 8) දිනය අවසන් වෙද්දී ඇමසන් කොටසක් විකිණුනේ ඩොලර් 1620.80 බැගිනුයි. මේ කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 127.7ක් පමණ වෙනවා. ඔහු සතු වෙනත් වත්කම්ද ඇතුළුව, අද දිනය අවසන් වන විට ජෙෆ් බෙසෝස් සතු වූ මුළු වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 134.4ක්.

ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිගණක විද්‍යා හා විදුලි ඉංජිනේරු උපාධිධරයෙකු සේ පිටවීමෙන් පසුව, 1994දී ඇමසන් සමාගම ආරම්භ කරන්නට පෙර, ජෙෆ් රැකියා කිහිපයක්ම කළා. 1993 වසරේදී මැකෙන්සි ටට්ල් සමඟ විවාහ වන විට ජෙෆ් වගේම මැකෙන්සිත් සේවය කරමින් හිටියේ නිවුයෝර්ක්හි ආයෝජන කළමණාකරණ සමාගමකයි. එම වසරේදී අන්තර්ජාල පරිශීලනයේ සිදුවූ ඇදහිය නොහැකි තරම් ඉහළ වර්ධන වේගය ජෙෆ්ට ඇමසන් වැනි ව්‍යාපාරයක් අරඹන්න පෙළඹුමක් ඇති කර තිබෙනවා.

ජෙෆ් මුලින්ම ඇමසන් සමාගම පටන් ගන්නේ ඔහුගේ නිවසේ ගරාජයේ සිටයි. තමන් ඉතිරි කරගත් ඩොලර් 10,000ක මුදල් යොදවමින් 1994 ජූලි 5 වෙනිදා ජෙෆ් ඔහුගේ බිරිඳ මැකෙන්සිවත් හවුල් කර ගනිමින් මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඇමසන් සමාගම කියා ලිවුවත් මුලින්ම මේ සමාගම හැඳින්වුණේ ඇමසන් නමින් නෙමෙයි. කඩබ්‍රා ලෙසයි. ඇමසන් ලෙස නම වෙනස් කරන්නේ 1995දී.

මුලින්ම මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිණිස මුදල් ආයෝජනය කළ පිරිස අතරින් ජෙෆ්ගේ දෙමවුපියන් දෙදෙනා කැපී පෙනෙනවා. ඔවුන් විසින් මෙසේ යොදවන්නේ ඔවුන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් එකතු කරගෙන තිබූ ඩොලර් 245,573ක මුදලකුයි. අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් නොදන්නා ජෙෆ්ගේ දෙමවුපියන් තමන් ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත් මුදල් ජෙෆ්ට දෙන්නේ තමන්ගේ පුතා ගැන තිබෙන විශ්වාසය මතයි. ඒ මුදල් නැති වෙන්න 70%ක පමණ ඉඩක් ඇති බව ජෙෆ් ඔවුන්ට පැවසූ බව සඳහන්.

වසරකට පෙර මිය ගිය මගේ පියා ජීවත්ව සිටියදී රජයේ රැකියාවක් කළ අයෙක්. මට මතක ඇති කාලයේ සිටම ඔහුගේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් වුනේ ඔය රස්සාව පරිස්සම් කර ගැනීමයි. ඔහු බොහෝ වර ඒ බව කෙළින්ම කියා තිබෙනවා. යම් හෙයකින් කරමින් හිටපු රස්සාව නැති වුනානම් රස්සාවෙන් ඉපැයූ පමණ ආදායම් ඉපැයිය හැකි වෙනත් දෙයක් කිරීමේ හැකියාවක් නොතිබුණු බව ඔහු විශ්වාස කරන්න ඇති. ඔහු අකුරටම නීතිය පිළිපැදපු කෙනෙක්. එහෙම කළේත් රස්සාව නැති කරගන්න තිබුණු බය නිසා මිසක් යුක්තිගරුක හෝ ප්‍රතිපත්තිගරුක වූ නිසාම නෙමෙයි. නීතියට වෙට්ටු දැමිය හැකි අවස්ථා වලදී ඔහු ඒ සඳහා පැකිළුනේ නැහැ.

කුඩා කාලයේ මා ඇසුරු කළ බොහෝ වැඩිහිටියන් විශ්‍රාම වැටුප් සහිත ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් දිහා බැලුවේ ජීවිතය ජයගත් කෙනෙක් විදිහටයි. ලංකාවේ වෙනත් ගොඩක් අය වගේම මුල් කාලයේදී මගේ ඉලක්කය වුණෙත් ඔය ආකාරයේ ස්ථිර රස්සාවක්. විශ්‍රාම වැටුප් වරප්‍රසාද රහිත රැකියාවක් කර ජීවිතයේ අවසන් කාලය ගෙවන්නේ කොහොමද කියන එක ඒ කාලයේ මට විශාල ප්‍රහේලිකාවක්.

ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සා කරන අය වැඩිපුර නැහැ. වෙනත් රැකියා කරන බොහෝ දෙනෙක් විශ්‍රාම දිවිය ගෙවීම සඳහා අවශ්‍ය පමණ මුදලක් රැකියා කරන කාලයේදී ඉතිරි කර ගත යුතුයි. නිදහසේ විශ්‍රාම ගත හැක්කේ මේ විදිහට ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගෙන ඇත්නම් පමණයි. රැකියා කරන කාලයේදී සමාජ සංරක්ෂණ බදු සේ අයකරගන්නා මුදල් වලින් විශ්‍රාම වැටුපක් ලැබුණත් එය ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් නෙමෙයි.

බොහෝ ඇමරිකානුවන් රැකියා කරන කාලයේදී කිසියම් මුදලක් විශ්‍රාම වැටුප් අරමුදලකට බැර කරනවා. මෙවැනි අරමුදල් කළමනාකරණය කරන සමාගම් ඒ මුදල් මුලදී කොටස් වෙළඳපොළේත්, විශ්‍රාම වයස ආසන්න වෙද්දී බැඳුම්කර වලත් ආයෝජනය කර අවදානම හා ගලපමින් හැකි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන්න උත්සාහ කරනවා. විශ්‍රාම යාමෙන් පසුව මේ විදිහට ඉතිරි කරගත් මුදල් වලින් කිසියම් මුදලක් මාස්පතා ආපසු ගැනීමෙන් රැකියා කරන කාලයේ පවත්වාගත් ජීවන තත්ත්වය ඒ විදිහටම හෝ ආසන්න මට්ටමක පවත්වා ගන්න පුළුවන්.

ඇමරිකානුවන්ගේ විශ්‍රාම ඉතිරි කිරීම් මුල් කාලයේදී කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ එහි ප්‍රතිලාභ බැඳුම්කර ප්‍රතිලාභ වලට වඩා කිහිප ගුණයකින්ම වැඩි නිසයි. නමුත්, විශ්‍රාම යන්න කිට්ටුව මේ අරමුදල් කොටස් වෙළඳපොළ ආයෝජන වලම රඳවා තැබීම අවදානම අධික කටයුත්තක්. කොටස් වෙළඳපොළ කඩා වැටුණොත් එය විශ්‍රාම ජීවිතයට විශාල සේ බලපානවා.

ජෙෆ් බෙසෝස්ගේ දෙමවුපියන් තමන්ගේ විශ්‍රාම දිවිය ගෙවන්න කාලයක් තිස්සේ එකතු කරගත් අරමුදල් ජෙෆ්ගේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදවීමෙන් විශාල අවදානමක් ගෙන තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ විශාල මුදල් ලාභයක් ලැබීමේ අරමුණින්ම නෙමෙයි. ජෙෆ් පටන්ගන්න යන ව්‍යාපාරයේ ස්වභාවය ගැන පමණක් නෙමෙයි අඩු වශයෙන් අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් ඔවුන් දැන සිට නැහැ. මේ අවදානම ඔවුන් විසින් ගන්නට ඇත්තේ තමන්ගේ පුතා පිළිබඳ වූ විශ්වාසය මත හෝ ඔහුගේ අභිවෘද්ධිය පිණිස දරුවා කෙරෙහි වූ ආදරය මත පදනම්ව විය යුතුයි. එසේ කිරීමෙන් අර අවදානම ඉක්මවන සතුටක් ඔවුන් ලබන්න ඇති.

වසර කිහිපයක් පුද්ගලික සමාගමක් සේ ක්‍රියාත්මක වූ ඇමසන් සමාගම 1997 මැයි 15 වෙනිදා පොදු සමාගමක් බවට පත් වෙනවා. කොටස් වෙළඳපොලේ අළෙවිකරන සමාගම් කොටස් මිලියන 3ක් එක් කොටසක් ඩොලර් 18 බැගින් අලෙවි වෙනවා.

මේ වෙද්දී ඇමසන් සමාගම විසින් කොටස් 23,858,702ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ජෙෆ් බෙසෝස් ඇතුළු මුල් අයිතිකරුවන් අතේ කොටස් 20,858,702ක් තිබෙනවා. ඇමසන් සමාගම (හෝ වෙනත් සමාගමක්) පොදු සමාගමක් වන විට ඒ මුල් කොටසක වෙළඳපොළ වටිනාකම කුමක්ද කියා නිශ්චිතව තීරණය වෙනවා. ඒ වගේම සමාගමේම වෙළඳපොළ වටිනාකමත් දැනගන්නට ලැබෙනවා. එක් කොටසක් ඩොලර් 18ක් සේ සැලකූ විට මේ වෙද්දී සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 430ක් පමණ වුණා.

මේ වන විට නිකුත් කර තිබෙන ඇමසන් කොටස් ප්‍රමාණය මිලියන 491.2ක්. ඒ සියළු කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 796ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 16%ක පමණ හිමිකම තවමත් තිබෙන්නේ ජෙෆ් බෙසෝස්ටයි.

ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන්නට පෙර සමාගමේ කොටස් වලින් 48.3%ක, එහෙමත් නැත්නම් කොටස් 9,885,000ක හිමිකරු වුනේ ජෙෆ් බෙසෝස්. පොදු සමාගමක් බවට පත් වීමෙන් පසුව මුල් වසර කිහිපය ඇතුළත ඇමසන් කොටසක් 1:2, 1:3 හා 1:2 ලෙස තෙවරක් විභේදනය කරනු ලැබ ඇති නිසා මේ කොටස් ප්‍රමාණය සමාන කළ හැක්කේ වත්මන් ඇමසන් කොටස් මිලියන 118.62කටයි. නමුත්, මේ වන විට ජෙෆ්ගේ ඇමසන් කොටස් හිමිකම කොටස් මිලියන 78.8කට සීමා වන නිසා ඔහු තමන් සතු වූ ඇමසන් කොටස් වලින් තුනෙන් එකක් පමණ වරින් වර විකුණා ඇති බව පැහැදිලියි.

දෙමවුපියන් කියා කිවුවත් ජෙෆ් බෙසෝස්ගේ නීත්‍යානුකූල පියා වන මිගෙල් (මයික්) බෙසෝස් ජෙෆ්ගේ ජීවවිද්‍යාත්මක පියා නෙමෙයි. ඔහුගේ ජීවවිද්‍යාත්මක පියා ටෙඩ් ජෝගන්සන්. ජෙෆ් ඉපදෙන කොට ටෙඩ් ජෝගන්සන් අවුරුදු දහනවයක ගැටවරයෙක්. ජෙෆ්ගේ මව ජැකලයින් (ජැකී) වසර 17ක පාසැල් සිසුවියක්. ජෙෆ් ඉපදෙන විට ඔවුන් විවාහ වී හිටියත් ඒ විවාහය මාස 17කට සීමා වෙනවා. කොහොම වුනත් ජෙෆ්ගේ මුල් නම ජෙෆ් ජෝගන්සන්.

ටෙඩ්ගෙන් දික්කසාද වන ජැකී ඉන්පසුව කියුබාවෙන් පැමිණි සංක්‍රමණිකයෙකු වූ මයික් බෙසෝස් සමඟ විවාහ වෙනවා. මයික් ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා බවට පත් වෙනවා. ඒ අනුව, ජෙෆ් ජෝගන්සන් ජෙෆ් බෙසෝස් වෙනවා. ටෙඩ් ජෝගන්සනුත් වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බයිසිකල් පාට් කඩයක් කරගෙන වෙනම පළාතක ජීවත් වෙනවා. ජෙෆ්ට අවුරුද්දක් පමණ කාලයේදී ජෙෆ්ගෙන් හා ජැකීගෙන් වෙන්වන ඔහුට මිය යන තුරුම අඩු වශයෙන් ජෙෆ්ව හමුවෙන්න හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් තමන්ගේ එකම දරුවා ලොකු තැනක ඉන්න බව අන්තිම කාලයේදී ඔහුට දැනගන්න ලැබී තිබෙනවා.

ජීව විද්‍යාත්මක පියා නොවුනත් ජෙෆ්ගේ සැබෑ පියා මයික් බෙසෝස්. මයික්ගේ පියා ලොකු උගත්කමක් නොතිබුණු, පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ධෛර්යවන්ත කියුබානුවෙක්. මයික් කුඩා කාලයේදී ඔහුත් පියාගේ මේ කඩේ වැඩ වලට හවුල් වී තිබෙනවා. බැටිස්ටා එළවා දමා පිදෙල් කස්ත්‍රෝ කියුබාවේ බලයට පත් වන්නේ මේ කාලයේදීයි.

බැටිස්ටා කියන්නේ කියුබානු විප්ලවය සිදු වන කාලයේ කියුබානුවන් ප්‍රිය කළ නායකයෙක් නෙමෙයි. මයික් බෙසෝස්ගේ පියාත් වෙනත් බොහෝ කියුබානුවන් වගේම බැටිස්ටා එළවා කස්ත්‍රෝට බලයට එන්න උදවු කළ කෙනෙක්. එහෙත්, කස්ත්‍රෝ බලයට පැමිණි පසු බොහෝ දේවල් වෙන්නේ ඔවුන් මුලින් හිතපු විදිහට නෙමෙයි.

මුලින් කස්ත්‍රෝ මාක්ස් ලෙනින්වාදියෙක් නොවුනත් බලයට පැමිණීමෙන් පසුව ඔහු මාක්ස්වාදය වෙත නැඹුරු වෙනවා. කියුබාවේ මැතිවරණ සිතියම අකුළා දමන ඔහු මුලින්ම විදෙස් සමාගම් ජනසතු කරනවා. ඉන්පසුව දේශීය ව්‍යවසාය සියල්ලත් ජනසතු කරනවා. කියුබානු හමුදාව පැමිණ බෙසෝස් පවුල විසින් කාලයක් තිස්සේ කරගෙන ආ පොඩි සිල්ලර කඩයත් ආණ්ඩුවට ගන්නවා.

කියුබාවේ පාසැල් සියල්ල තාවකාලිකව වසා දැමෙන අතර ඒවා නැවත විවෘත වන්නේ මාක්ස්වාදය උගන්වනු පිණිස විෂය නිර්දේශ සියල්ල වෙනස් කිරීමෙන් පසුවයි. එන පොට තේරුම් ගන්නා මයික් බෙසෝස්ගේ දෙමවුපියන් ඔහුව නැවත පාසැල් නොයවා සරණාගතයෙකු සේ ඇමරිකාවට යවන්න තීරණය කරනවා. කුඩා සූට්කේසයක් පමණක් රැගෙන මයික් බෙසෝස් ගැටවරයා ඇමරිකාවට එනවා.

ඇමරිකාවට පැමිණ මුලින්ම සරණාගත කඳවුරක ජීවිතය ගෙවන මයික් ඉන්පසුව කතෝලික පල්ලියෙන් නඩත්තු කරන ළමා නිවාසයක නැවතී පාසැල් අධ්‍යාපනය අවසන් කරනවා. ඉන්පසුව ඔහු කියුබානු සරණාගතයින් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්වයක් ලබාගෙන සරසවියකට ඇතුළු වෙනවා. මයික් ජෙෆ්ගේ මව හා විවාහ වන්නේ මේ කාලයේදී. ජෙෆ්ව දරුකමට හදාගන්නා ඔහුට මේ පවුල නඩත්තු කරන්න රැකියාවක් අවශ්‍ය වෙනවා. උපාධිය ලබා ගන්නා මයික් තෙල් සමාගමක රැකියාවක් ලබා ගන්නවා.

මේ තොරතුරු ඉදිරිපත් කළේ ජෙෆ්ගේ මව, ජීව විද්‍යාත්මක පියා හෝ නීත්‍යානුකූල පියා ලොකු ප්‍රාග්ධනයක් එක් රැස් කරගෙන සිටි ධනවතුන් නොවූ බව පෙන්වන්නයි. ජෙෆ්ට ඔහුගේ දෙමවුපියන්ගෙන් ලැබුණු කිසියම් ප්‍රාග්ධනයක් ඇත්නම් ඒ ඔවුන් ජීවිත කාලයක් රැකියා කර විශ්‍රාම දිවිය ගෙවනු පිණිස එකතු කරගත් මුදලින් කොටසක්. එය ඇමරිකානු සම්මත අනුව විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, දැනට ලෝකයේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ජෙෆ් බෙසෝස් බිංදුවෙන් පටන්ගත් අයෙක් කියා කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.

ජෙෆ් බෙසෝස් හා ඔහුගේ බිරිඳ මැකෙන්සි ඔවුන්ගේ සියවස් කාලක විවාහ ජීවිතය අවසන් කරමින් දික්කසාද වෙන්නට යන බව පසුගිය ජනවාරියේදී දැනුම් දුන්නා. ඇමරිකාවේදී විවාහයක් කියන්නේ නීතිමය ගිවිසුමක් මිසක් මානුෂික සම්බන්ධයක් නෙමෙයි. විවාහයට සමාන්තරව යන මානුෂික සම්බන්ධතාවයක් තිබීම (හෝ නොතිබීම) වෙනම කරුණක්. ගැහැණියක් හා පිරිමියෙකු අතර, එහෙමත් නැත්නම් සමලිංගික යුවලක් අතර අවශ්‍ය ආකාරයක ලිංගික හෝ වෙනත් මානුෂික සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා විවාහ වීම ඇමරිකාවේදී අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. විවාහය කියන්නේ බොහෝ දුරට දේපොළ අයිතිය හා අදාළ ගිවිසුමක්.

විවාහක යුවලක් දික්කසාද වූ පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙදෙනා සතුව ඇති මුළු වත්කම් දෙදෙනා අතර සමව බෙදී යාමයි. විවාහ වීමට පෙර එක් අයෙකු සතු වූ කිසියම් වත්කමක් ඇත්නම් එය මෙසේ බෙදී යන්නේ නැහැ. මෙහිදී විවාහයෙන් පසුව අත්පත් කරගත් වත්කම් තියෙන්නේ කාගේ නමටද කියන එක එතරම් වැදගත් වන්නේ නැහැ. සමලිංගිකයින්ගේ විවාහ වීමේ අයිතියේ පදනම වන්නේත් දේපොළ අයිතිය හා සම්බන්ධව එක්ව ජීවත්වන (ඇමරිකාවේ) ගැහැණියකට හා පිරිමියෙකුට තිබෙන නීතිමය වරප්‍රසාද සමලිංගික යුවලකටත් තිබිය යුතු වීමයි.

ඇමසන් සමාගම පටන්ගෙන තිබෙන්නේ ජෙෆ් හා මැකෙන්සි විවාහ වීමෙන් පසුවයි. ඒ නිසා, දික්කසාදයෙන් පසුව ජෙෆ් සතු ඇමසන් කොටස් බොහෝ විට ජෙෆ් හා මැකෙන්සි අතර සමසමව බෙදී යන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත්, මැකෙන්සි ලෝකයේ ධනවත්ම කාන්තාව බවට පත් වීමට නියමිතයි. ලෝකයේ ලොකුම ධනවතා ලෙස ජෙෆ්ට හිමි තැන අහිමි වනු ඇති නමුත් තවදුරටත් ලොකුම ධනවතුන් ලැයිස්තුවෙහි ඉහළ ස්ථානයක ඉන්න ඔහුට නොහැකි වන එකක් නැහැ.

(Image: https://www.eonline.com/news/1003894/inside-jeff-bezos-mysterious-private-world-a-dating-flow-chart-that-booming-laugh-and-more-billions-than-anyone-else)

Tuesday, November 10, 2015

අත්වැරදීම්, පෞද්ගලිකත්වය සහ සමාජ ජාල

සරසවියක් අසල බස් නැවතුමක පෙරේරා යුවල බසයක් එන තුරු රැඳීසිටිති. එහි සිටින, අතේ ඇති පොත් වලින් සරසවි සිසුවෙකු බව පෙනෙන, කෙට්ටු තරුණයෙකු පෙරේරා මහත්තයා වෙත ලංවේ.

"අංකල්, වෙලාව කීයද?"

පෙරේරා මහත්තයා කතාවක් නැතුව බුම්මාගෙන සිටී.

"අංකල්, වෙලාව කීයද දන්නෑ?"

තරුණයා නැවතත් අසන්නේ තමාගේ ප්‍රශ්නය හරියට නොඇසුණේ හෝ නොපැහැදිලි වූයේයැයි සිතමිනි. ඒත් පෙරේරා මහත්තයා තවමත් බුම්මාගෙනය. දුර්මුඛ වන තරුණයා පැත්තකට වෙයි.

"මහත්තය මොකැයි අර ඉලන්දාරියට වෙලාව නොකිවුවේ? ඒක හරි නෑ නේද?"

ගෙදර ගොස් ටික වෙලාවකින් පෙරේරා නෝනා අසයි.

"නෝනට මේ දේවල් තේරෙනව මදි!"

"ඒ කිවුවේ?"

"ඒ කිවුවේ, දැන් මම වෙලාව කිවුවනං ඔය ඉලන්දාරියා අපිත් එක්ක කතාවට වැටෙයි. හොඳයි නැද්ද?"

"ඔවු, එහෙම වෙන්න පුළුවන් තමයි!"

"සමහර විට අපේ ගෙවල් දොරවල් තියෙන තැන් ගැන විස්තර උනත් අහන්න බැරි නෑ."

"ඔවු, සමහර විට!"

"ඕව අහගෙන අපේ ගෙදර උනත් වෙලාවක එන්න බැරිකමක් නෑ."

"මමනං හිතන්නේ නෑ. හැබැයි ඉතින් බැරිකමක් නෑ!"

"දැන් අපේ චූටි මැණිකේ ඇහැට කණට පේන කෙලී. ඔය ඉලන්දාරියගේ ඇහැවැටුණාම දුර දිග යන සම්බන්ධයක් ඇතිවෙන්න බැරිද?"

"ඔවු ඉතිං ගින්දරයි පුළුනුයි එකට තියන්න බෑ තමයි. ඒත් ඉතිං දීග දෙන වයසෙ ඉන්න ඒ ළමයට එහෙම හරි යමක් කෙරෙනවනං මොකක්ද තියෙන වැරැද්ද? කැම්පස් ළමයෙක්නේ..."

"නෝනනං කියයි! මං කොහොමද අතේ වෙලාව බලන්න ඔරලෝසුවක්වත් නැති ඉලන්දාරියෙකුට හිත හදාගෙන අපේ කෙලීව දෙන්නේ? දැන්වත් තේරුණාද ඇයි මං ඒ වෙලාවේ වෙලාව නොකීවේ කියලා"

(කතාවනම් බොහොම පරණ එකක් තමයි!)

මටනම් දීග දෙන වයසේ දූවරු නැත. පහුගිය දවස්වල ගුරුවරුන්ගේ දඬුවම් දීම් ගැන ඇති වූ සංවාදයටත්, එයට අදාලව පසුව ඇති වූ සංවාද වලටත් සක්‍රියව සහභාගී විය නොහැකි වූයේ කාර්යබහුල වූ නිසාය.

මා නිවසේ සිටින විට සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිරුවත්ව ඉන්නේ නැත. එහෙත්, සරමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව සිටින විට දැනෙන සැහැල්ලුවට මම කැමතිය. ශීත රටක, ශීත සමයක නිවෙස් උණුසුම් කිරීමේ ඉහළ පිරිවැය හමුවේ වුවද මේ සැහැල්ලුවට මගේ ඇති කැමැත්ත සම්පූර්ණයෙන් මැඬ පැවැත්විය නොහැක. කෙසේ වුවද, මේ අයුරින් අමුත්තෙකු හමුවන්නට මා සූදානම් නැත.

බටහිර රටක අමුත්තෙකු නොදන්වා පැමිණීම සුලභ සිදුවීමක් නොවේ. එසේ පැමිණේනම්, බොහෝ විට ඒ පාර්සලයක් භාර දීමට පැමිණෙන ෆෙඩෙක්ස් වැනි සමාගමක සේවකයෙකු හෝ ආගම් ප්‍රචාරයට පැමිණෙන මිෂනාරියෙකි. මෙවැන්නෙකු අනපේක්ෂිත අවස්ථාවක දොර සීනුව නාද කළහොත් මට උඩුකය වසාගැනීමට අමතරව සරම වෙනුවට සුදුසු ඇඳුමක් ඇඳීමටත් සිදුවේ.

මට පෞද්ගලික ජීවිතයක් තිබේ. සමාජ ජීවිතයක්ද තිබේ. අතිපිහිතවීම් බහුල වුවද මේ දෙක දෙකකි. සමාජ ජීවිතය කියන්නේම එක්තරා රඟපෑමකි. මේ රඟපෑම හොඳින් කරන්නට මගෙන් බාහිර සමාජය මා තුලින් දැකීමට අපේක්ෂා කරන්නේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද යන්න දැන සිටිය යුතුය. එය දැනගෙන සමාජයට අවශ්‍ය පරිදි, වෙනස්ම පුද්ගලයෙකු ලෙස මා හැසිරෙන බව එයින් අදහස් නොකෙරේ. එහෙත්, සමාජය ඉදිරියේ හැසිරීමේදී යම් තරමකට නම්‍යශීලී වීමක් අනිවාර්යයෙන්ම සිදුවේ. මගේ අදහස පරිදි සෑම පුද්ගලයෙකුටම වාගේ 'ස්වභාවික' පෞද්ගලික ජීවිතයක් සහ තරමක් දුරට හෝ ස්වභාවිකත්වයෙන් දුරස්ථ සමාජ ජීවිතයක් තිබේ.

පුද්ගලයෙකු බාහිර සමාජය ඉදිරියේ නිරාවරණය කරන ශරීර කොටස් මෙන්ම එසේ නොකරන කොටස්ද තිබේ. මේවා යම් නිශ්චිත කාල-අවකාශයකට සාපේක්ෂ, තැනින් තැනට සහ කලින් කලට වෙනස්වන සම්මුතීන්ය. (බුරිය වසා ගැනීමේ අවශ්‍යතාවයක් මෙතෙක් කල් ලංකාවේ තිබුණේ නැත.) සමාජ සම්මුතියට යටත්ව කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය නිරාවරණය කරන ප්‍රමාණය ඒකීය පුද්ගල තෝරාගැනීමකි.

සමාජ ජීවිතය තුල, මේ ඒකීය පුද්ගලයින්ට වැරදීම් සිදුවේ. කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ අදාල පුද්ගලයාට සාපේක්ෂව සමාජයට නිරාවරණය නොකළ යුතු කොටසක් හදිසියේ නිරාවරණය වීම එවැනි වැරදීමකි. එසේ වූ විට, එවැන්නෙකු වහාම කරන්නේ අදාල කොටස නැවත ආවරණය කර ගැනීමයි. මේ සඳහා මුලින්ම වැරදීමක් වූ බව දැනගත යුතුය. ඇතැම්විට වෙනත් අයෙකු වැරැද්ද දකින්නට පෙර වැරදුනු බව තමන්ටම තේරේ. ඇතැම්විට වැරැද්ද අවබෝධ වන්නේ වෙනත් කෙනෙකු පෙන්වා දුන් විටය.

වෙනත් කෙනෙකුගේ වැරැද්දක් මා දකින්නේ මගේ හරි-වැරදි රාමුවට සාපේක්ෂවය. ඇතැම් විට, වෙනත් අයෙකුට අත්වැරදීමක් වී ඇති බව මට පෙනීයයි. එහෙත්, එය අත්වැරදීමක් නොවන්නටත් පුළුවන.

උදාහරණයක් ලෙස කොට සායක් ඇඳ සිටින කාන්තාවක් කකුල් තරමක් පළල් කරගෙන වාඩිවී සිටී. බොහෝ දෙනෙක් මේ විවරය දෙස කට ඇරගෙන බලා සිටිනු මට පෙනේ. මා කළ යුත්තේ කුමක්ද? (පිරිමියෙකුගේ කලිසමේ සිපරය විවර වී තිබීම වුවද සැලකිය හැකිය.)

-මේ ඉරියවුව ප්‍රසිද්ධියේ විවේචනය කළ හැකිය. මෙය හොඳ හෝ නරක විවේචනයක් විය හැකිය.
-මෙය හිමිහිට තට්ටුවක් දමා පෙන්වා දිය හැකිය.

මා සිතන පරිදි, හොඳම දෙය ඇයට හිමිහිට තට්ටුවක් දමා වී ඇති දෙය පෙන්වා දීමයි. සිදුවී ඇත්තේ අත්වැරදීමක්නම් එය නිවැරදි කර ගැනීමට එයින් ඉඩක් ලැබේ. එහෙත්, මෙහි පොඩි පරහක්ද තිබේ. ඇගේ මේ ක්‍රියාව අත්වැරදීමක් නොවේනම්? ඇයට අවශ්‍ය මේ ඉරියවුවෙන් සිටිමින් අවධානය ලබාගැනීමටනම්?

ඉහත කරුණ නිසා මා මෙලෙස තට්ටුවක් දමා කෙනෙක්ව දැනුවත් කිරීම සිදුවන්නේ අදාල පුද්ගලයා සහ මා අතර ඇති සම්බන්ධතාවයේ හෝ බැඳීමේ ප්‍රමාණයටය.

මා අතින් සිදුවන අත්වැරදීමක් යමෙක් මෙසේ පෙන්වා දෙනවානම් මා කැමතිය. එවිට, එය නිවැරදි කරගැනීමට හෝ එය වරදක් නොවේයැයි මා සිතන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමට මට අවස්ථාවක් ලැබේ. දෙවන මාදිලියේ ප්‍රතිචාරයක් අවංක එකක් නොවේනම් එය හත්පොලේ ගාගැනීමකින් කෙළවර වන්නටත් පුළුවන.



කෙසේවුවද, උඩින් ඇති වීඩියෝවේ ඇති පරිදි ප්‍රසිද්ධ වේදිකාවකදී රෙද්ද ගැලවුණු විට ලැජ්ජාවට පත්වී හෝ වෙනත් හේතුවකට එය වසා ගන්නට කෙනෙකු හදනවානම් එයින් අදහස් වන්නේ සිදුවී ඇත්තේ අත්වැරදීමක් බවයි.

යසනාත් ධම්මික බණ්ඩාර ඔහුගේ විවේචනයට පාත්‍ර වූ සටහන ඉවත් කරගෙන තිබේ. ඔහුට සිදුවී ඇති අත්වැරැද්ද ඔහුගේ පෞද්ගලිකත්වයේ සමාජයට නිරාවරණය කරන්නට අවශ්‍ය නැති කොටසක් හදිසියේ නිරාවරණය වී තිබීමයි. ඔහුගේ සටහන ඔහු සැබෑවටම සිතන ආකාරය වුවද ඒ හේතුවෙන් එය අත්වැරැද්දක් නොවන්නේ නැත.

ගැලවුණු රෙද්ද නැවත ඇඳගත් පසු ඒ ගැන නැවත නැවත කතා කිරීම (දැන් මා ඉහත වීඩියෝව කෙරෙහි නැවත අවධානය යොමු කරවන්නාක් මෙන්) ආචාර-ධාර්මිකව එතරම් සුදුසු නැතැයි මට සිතේ. එහෙත්, අනෙක් අතට මේ වීඩියෝව ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි එකක් නිසා එසේ කිරීමේ වරදක් නැතැයි මට තර්ක කරන්නටත් පුළුවන. ආචාර-ධාර්මික ගැලපීම කෙසේ වුවත් සමාජ ජාල වල කටුක යථාර්තය මෙයයි.

කලාකරුවන්, දේශපාලකයින් වැනි බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ සමාජ ජීවිතයෙන් පරිබාහිරව පෞද්ගලික ජීවිතයක් පවත්වා ගැනීම ඉතා අසීරුය. මෙහිදී ඔවුන් යම්තාක් දුරකට 'පොදු පුද්ගලයින්' බවට පත්වේ. යසනාත් නමැති දේශපාලන සත්ත්වයා හානියක් කරගත් විට යසනාත් නමැති ගේයපද රචකයාටත්, යසනාත් නමැති වෛද්‍යවරයාටත් තුවාල සිදුවේ. මේ තිදෙනා වෙන්කර ගැනීමට තරම් සමාජය පරිණත වී නැත.

ඉතා මැතක් වනතුරු සීමිත පිරිසකට පමණක් පැවති මේ ප්‍රශ්නය සමාජ ජාල මඟින් අප කාගේත් ප්‍රශ්නයක් බවට පත්කර තිබේ. සමාජ ජාල හා සම්බන්ධ වූ වහාම පුද්ගලයෙකු පොදු පුද්ගලයෙකු බවට පත්වේ.

බ්ලොග්කරුවෙකු හෝ කමෙන්ට් කරන්නෙකු විසින් සටහන් කළයුත්තේ ඒ පිටුපස සිටින රචකයා විසින් ප්‍රසිද්ධියේ කීමට සූදානම් දේවල් පමණක්යැයි මා සිතන්නේ නැත. මේ මාධ්‍යයේ ඇති විශේෂත්වයම ප්‍රසිද්ධියේ කිව නොහැකි අදහසක් වුවද ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම, ලේඛකයෙකු විසින් තමන්ගේ පෞද්ගලිකත්වයෙන් වෙනස් අනන්‍යතාවන් එකක් හෝ කිහිපයක් ජීවත් කරවීමද සියවස් ගණනක සිටම සිදුවන්නකි.

මට පෞද්ගලිකව ප්‍රශ්නයක් ඇති වී නැතත්, බ්ලොග් සටහනක ලියවෙන දේවල් ලේඛකයාගෙන් වෙන්කර නොදැකීම නිසා ප්‍රශ්න මතුවන අවස්ථා ඕනෑතරම් මා දැක තිබේ. දැන් අපට අපේ 'අත්වැරදීම්' වලින් ගැලවෙන්නට පහසු නැත. දැනට අපට කළ හැක්කේ මේ අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් සමාජය සකස්වන ආකාරය දෙස බලා සිටීමයි.

මා මේ සටහන ලිවුවේ ව්‍යංගයෙන් හෝ කිසිවකු ඉලක්ක කරගෙන නොවේ. මගේ කාර්ය බහුල කාලසටහන සමඟ මා බ්ලොග් සටහනක් ලියන්නේ ඉතා හදිසියෙනි. එය කිහිපවරක් කියවා නිවැරදි කිරීමට මට කාලය වැයකළ නොහැක. පසුගිය දිනවල සිදුවූ ඇතැම් සිදුවීම් මෙහි ඇති අවදානම ගැන සිතන්නට මාව පොළඹවා තිබේ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...