වෙබ් ලිපිනය:

Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

Friday, February 18, 2022

කපුටාස් වෝ ඇන්ඩ් බැසිල්ස් කඩු පයිට්

 

බයිබලයේ උත්පත්ති කතාව අනුව දෙවියන් වහන්සේ විසින් හතර වන දවසේදී “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා වදාරනවා. එය එසේම වෙනවා. ඉන් පසු ඔවුන්ට ආසිරි පතමින් “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියාත් පවසනවා. 

බයිබලයට අනුව අහසේ වගේම පොළොවේත් මුලින්ම දැකිය හැකි වන්නේ පක්ෂීන්. “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි කියා වදාරන්නෙත්, “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කරමින් මිනිසුන් මවන්නෙත් පස්වන දවසේ. 

බයිබලය අනුව පක්ෂීන්ට මිනිස්සුන්ගේ පාලනයෙන් බේරී ඉන්න ලැබුණේ එකම එක දවසක් පමණත් වුවත්, ඉතිහාසයේ බොහෝ කාලයක් තිස්සේම අහසේ අයිතිය තනිකරම වාගේ තිබුණේ ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට, වවුලන් වැනි ක්ෂීරපායී සතුන්ට හා කෘමීන්ටයි. පියාඹන්න නුපුළුවන් වූ මිනිස්සුන්ට අහසේ පියාඹන පක්ෂීන් ඇතුළු අනෙකුත් සතුන් පාලනය කරන්න හැකි වුනේ යම් සීමාවක් තුළ පමණයි. 

පසුගිය සියවසේ මුල සිට මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට අමතරව මිනිසුන් විසින් මවන ලද ඇලුමිනියම් පක්ෂීනුත් අහසේ පියාඹානවා. ඒ එක්කම, මේ ඇලුමිනියම් පක්ෂීන් හා ලේ, මස් වලින් හැදුනු පක්ෂීන් අතර ගැටුමක්ද නිර්මාණය වී තිබෙනවා. ඇතැම් විට මේ ගැටුම මරාගෙන මැරෙන සටනක් දක්වා දුර දිග යනවා.

ගුවන් යානා හා සතුන් අතර ගැටීම් හේතුවෙන් 1988-2020 කාලය තුළ ලෝකය පුරා ගුවන් යානා 271ක් විනාශ වී ඇති අතර ජීවිත 293ක් අහිමි වී තිබෙනවා. 1990-2021 අතර වසර 31ක කාලය තුළ ඇමරිකාවෙන් පමණක් මෙවැනි ගැටීම් 243,064ක් වාර්තා වී තිබෙනවා. කෝවිඩ් හේතුවෙන් ගුවන් ගමන් විශාල ලෙස සීමා වූ 2020 වසරේදී වාර්තා වී තිබෙන සිදුවීම් ගණන 11,605ක් පමණක් වුවත්, ඊට පෙර 2019 වසරේදී එවැනි ගැටුම් 17,358ක් වාර්තා වී තිබුණා.

ඉහත අවස්ථා වලදී විවිධ පක්ෂීන් වර්ග 608ක්, වවුල් වර්ග 38ක්, පියාඹන්නේ නැති ක්ෂීරපායී සතුන් වර්ග 52ක් හා උරග විශේෂ 27ක් ගුවන් යානා සමඟ ගැටෙනු හඳුනාගෙන තිබෙනවා. මෙවැනි ගැටුම් හේතුවෙන් ඇමරිකාවේ ගුවන් සේවා කර්මාන්තයට වසරකට අවම වශයෙන් පියාසර පැය 75,861ක් අහිමි වන බවත්, ඩොලර් මිලියන 124ක සෘජු අලාභයක් සිදු වන බවත් ඇස්තමේන්තු කර තිබෙනවා. 

වනසතුන්, විශේෂයෙන්ම පක්ෂීන්, හා ගුවන් යානා අතර ගැටුම් සිදුවීම් පිළිබඳව ගුවන් සේවා කර්මාන්තයෙහි නිරත සමාගම් ඉතාම සැලකිලිමත්. කිසියම් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ විසින් මේ ගැන කතා කරනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවන මේ සංවාදයේදී ඔහු කපුටා යන වචනය එලෙසම භාවිතා කරනවා. 

පෙනෙන්නට තිබෙන පරිදි මෙය අත්වැරදීමක් හෝ ඉංග්‍රීසි වචනය නොදැන සිටීම නිසා සිදුවන දෙයක් නෙමෙයි. සාකච්ඡාව ආරම්භයේදී ඔහු crow යන වචනය භාවිතා කරනවා. මේ විදිහට ඉංග්‍රීසි වාක්‍යයක් මැදට සිංහල වචනයක් එබීමේ කිසිම වැරැද්දක් මටනම් පේන්නේ නැහැ. අනෙක් අතට, ඉංග්‍රීසි වචනයක් නොදැන සිටීම වුනත් කිසිසේත්ම ගණන් ගත යුතු අඩුපාඩුවක් නෙමෙයි. 

සිංහලෙන් කතා කරන බොහෝ දෙනෙක් එසේ කතා කරද්දී බාගෙට බාගයක් ඉංග්‍රීසි වචන ඔබනවා. සිංහල වචනය නොදන්නා අවස්ථාවක හෝ හරි සිංහල වචනයක් නැති අවස්ථාවක එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. එහෙත්, ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ ඔය හේතු දෙකෙන් එකක් නිසා නෙමෙයි.

ලංකාවේදී සිංහලෙන් කතා කරද්දී හෝ ලියද්දී සිදුවන ලොකු වැරදි වුවත් බොහෝ විට එතරම් ගණන් ගැනෙන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසියෙන් වැඩ කරද්දීනම් පොඩි වැරැද්දක් වුවත් ලොකු ප්‍රශ්නයක්. පෞද්ගලිකව මගේ ඉංග්‍රීසි ගොඩක් හොඳ නැහැ. සිංහල කියලත් හොඳ නැහැ. මම විෂයයක් ලෙස සිංහල ඉගෙන ගෙන තියෙන්නෙත්, ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නෙත් දහයේ පන්තියට පමණයි. ඊට පස්සේ සරසවි ප්‍රවේශයට පෙර ලැබෙන සයමාසික ගෙල්ට් පුහුණුව ලැබුණා.

හැබැයි ඔය සීමිත දැනුම පමණක් තියාගෙන, දවසක හෝ පුහුණුවක්ද නොලබා, රජයේ ඉංග්‍රීසි උපගුරු තනතුරකත් කාලයක් වැඩ කළා. ලංකාවේ බොහෝ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබී තිබෙන්නේ මා රජයේ පාසැලක උගන්වද්දී මගෙන් උගත් දරුවන්ට ලැබුණු තරමේ අවස්ථාවන් පමණයි.

කෙසේ වුවත්, මම දන්න ඉංග්‍රීසි ටික ඇමරිකාවේදී හා ජාත්‍යන්තරව මගේ පෞද්ගලික හා වෘත්තීය කටයුතු කරගැනීම සඳහා මට හොඳටම ප්‍රමාණවත්. හැබැයි ලංකාවේ හිටියානම් මගේ ඉංග්‍රීසි දැනීම මට ප්‍රශ්නයක් වෙනවා. මම මේ කියන්නේ ඇමරිකාවට ආවාට පසුව මගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු වීම ගැන නෙමෙයි. දැන් ලංකාවට ආවත් මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී වැඩ කරන්න ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. බැසිල්ටත් ඇමරිකාවේදීනම් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නයක් තියෙන්න නැතුව ඇති.

ඉංග්‍රීසි කතා කරද්දී වගේම ලියද්දිත් ලංකාවේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් අසා නැති බර වචන පුළුවන් තරම් ඔබ්බන්නයි. එහෙත් මම අසා තිබෙන සාමාන්‍ය මූලධර්මය වන්නේ හොඳ ඉංග්‍රීසි කියන්නේ සරල ඉංග්‍රීසි බවයි. 

ඇමරිකාවේදී මේ වගේ දෙබස් මට නිතර ඇහෙනවා.

ඇමරිකාවට පැමිණ සිටින ජර්මානුවෙක්:  "සමාවෙන්න, මගේ ඉංග්‍රීසි දැනුම ඒ තරම් හොඳ නැහැ!"

ඇමරිකානුවා: "ඇත්තටම සමාව ඉල්ලිය යුත්තේ මමයි. මගේ ජර්මන් දැනුම ඔබේ ඉංග්‍රීසි දැනුමට කිට්ටුවෙන්වත් තියන්න බැහැ!"

ඇමරිකානුවෙක් ලංකාවට ගොස් සිංහල වචන කිහිපයක් හෝ දැන සිටියේනම් මා වැනි අයෙකු හා කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ වචන ඉංග්‍රීසි වාක්‍ය වල මැදට දමනවා. දැන්නම් ඇතැම් අවස්ථා වලදී ගූගල් කර වචන හොයා ගන්න අයත් ඉන්නවා. භාෂාව අවශ්‍ය වන්නේ සන්නිවේදනය සඳහා සහ සම්බන්ධතා ගොඩ නගා ගැනීම සඳහා. ඔය දෙකෙන් එකකටවත් පරිපූර්ණ භාෂා භාවිතයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ හැම කෙනෙක්ම හැම විටම ව්‍යාකරණ නොවරද්දා කතා කරන්නේ හෝ ලියන්නේ නැහැ. 

මමනම් හිතන්නේ බැසිල්ගේ ඉංග්‍රීසි භාවිතය ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයෙකුට උත්තේජනයක් විය යුතුයි කියලයි. භාෂාවක ප්‍රවීණත්වය ලබාගන්නනම් එය භාවිතයේ යෙදවිය යුතුයි. භාෂාවක් භාවිතා කිරීම සඳහා පළමුව ප්‍රවීණත්වය අවශ්‍යයැයි සිතන අයෙකුට කවදාවත් තමන්ගේ ඉලක්කයට යන්න බැහැ. භාෂාවක් හරියට නොදැන එය භාවිතා කිරීමෙහි යම් හානි ඇත්නම්, ආර්ථික විද්‍යාව හරියට නොදැන ආර්ථිකය කළමනාකරණය කරන්න යාමේ හානි ඊට වඩා සිය දහස් වාරයක් වැඩියි.

Wednesday, February 10, 2021

පුරවැසි සමනල්ලු හා සාමණේර ගස්


නවසීලන්ත පාර්ලිමේන්තුව තුළ 2017 මාර්තු මාසයේදී සම්මත කළ පනතකින් එරට තෙවන විශාලතම ගංගාව වන වන්ගානුයී ගංගාව නෛතික පුද්ගලයෙක් බවට පත් වුනා. මෙය මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාවයි. ඒ එක්කම වාගේ ඉන්දියාවේ උත්තරඛාන්ද් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් ගංගා හා යමුනා ගංගාවන් නෛතික පුද්ගලයින් සේ ප්‍රකාශයට පත් කරමින් තීන්දුවක් දුන්නා. පසුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ තීන්දුව ආපසු හැරෙවුවා. ඉන් පසුව, 2019 වසරේදී කොස්ටරිකාවේ කරිදාබත් නගරය වවුලන්, සමනලයින්, මී මැස්සන්, පැණි කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ ගණනාවකට හා ශාඛ ගණනාවකට එම නගරයේ පුරවැසිකම ලබා දෙන බව ප්‍රකාශ කළා. 

දැන් ලංකාවේ බෞද්ධ භික්ෂූන් පිරිසක් විසින් ලංකාවේ තිබෙන දුලබ ශාඛයකට සාමණේර භාවය ලබා දී තිබෙනවා. මෙය සංකේතාත්මක හා ප්‍රදර්ශනාත්මක කරුණක් පමණක් විය හැකියි. කෙසේ වුවත්, ලංකාවේ සමාජය තුළ සාමණේර තත්ත්වය නෛතික පුද්ගල තත්ත්වයට හා පුරවැසි තත්ත්වයටත් වඩා ඉහළ ගෞරවනීය තත්ත්වයක්. 

හැම ජීවයක්ම පැවැත්ම සඳහා නිරන්තර සටනක් කරනවා. එහිදී සමහර වෙලාවට වෙනත් වර්ග වල ජීවීන් එක්ක ගැටුමක් තිබෙනවා. තවත් සමහර වෙලාවට සහජීවනයක් තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ වර්ගයා එක්කම ගැටුමක් හෝ සහජීවනයක් තිබෙනවා. මේ සටන හෝ සහජීවනය හිතාමතා කරන කටයුත්තක් වෙන්න අවශ්‍ය නැහැ. හිතුවත්, නැතත් පරිණාමයේ නීති අනුව එය කොහොමටත් සිදු වෙනවා. අවසාන වශයෙන් සිදුවෙන්නේ පැවැත්ම සඳහා වඩාත්ම හිතකර දෙයයි. පැවැත්මට බාධා කරන ලක්ෂණයක් හෝ චර්යාවක් දිගුකාලීනව පවතින්නේ නැහැ.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හැම එකකම වගේ අවසාන අරමුණ පැවැත්ම තහවුරු කර ගැනීම. මිනිස්සුන්ගේ ප්‍රශ්න කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න. පාරිසරික ප්‍රශ්න කියා කියන්නෙත් මිනිස්සුන්ගේ වෙනත් ප්‍රශ්න වගේම මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට මිනිස්සුන්ගේ විසඳුම් කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කරන විසඳුම් වලටම මිසක් වෙන කෙහෙල්මලකට නෙමෙයි. වන්ගානුයී ගංගාව නෛතික පුද්ගලයෙක් වෙන්නේත් කෘඩියා සෙලනිකා ගහ සාමණේර කෙනෙක් වෙන්නේත් මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කරන සටන ඇතුළේ. අධිවේගී මාර්ග හදන එක සිදු වෙන්නේත් මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කරන සටන ඇතුළේ.

කවුරු හරි කෙනෙක් "මම" කියලා වෙන් කර ගන්න කොටස ඇරුනහම ඉතුරු සියල්ල පරිසරය. වඩු කුරුළු කූඩුවක් වගේම නෙළුම් කුළුනත් පරිසරයේම කොටස්. පරිසරය කියන්නේ හැම මොහොතකම ගතික ලෙස වෙනස් වෙන දෙයක්. මේ වෙනස් වීම ඇතුළේ සමහර ශාඛ හා සත්ත්ව විශේෂ වඳ වෙලා යනවා. තව ඒවා අළුතින් බිහි වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වය.

සමහර ශාඛ හා සත්ත්ව විශේෂ පෘථිවියෙන් වඳ වී ගොස් තියෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්. මිනිස්සු කියන්නේත් පරිසරයේම කොටසක් නිසා කිසියම් ශාඛ හෝ සත්ත්ව විශේෂයක් පෘථිවියෙන් වඳ වී යාමට හේතු වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්ද නැත්නම් වෙනත් කරුණක්ද කියන එක වැදගත් වෙන්නේත් එය මිනිසුන්ගේ පැවැත්ම කෙරෙහි බලපෑමක් කරනවානම් පමණයි. දැන් ලෝකයේ ගොඩක් දේවල් සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑමක් සහිතවයි. මිනිස් ක්‍රියාකාරකම් කියන්නේත් පරිසරයේම කොටසක්. මිනිස් ක්‍රියාකාරකම් නිසාම ලෝකයට අලුතෙන් ශාඛ හා සත්ත්ව විශේෂ කොයි තරම් බිහි වෙලා තියෙනවද?

මොන විදිහේ තර්ක ඉදිරිපත් කළත් වෙනත් ශාඛ හෝ සත්ත්ව විශේෂ වඳ නොවී පැවතිය යුතු පරම වූ හේතුවක් මිනිස්සුන්ට තිබෙනවානම් ඒ මිනිස්සුන්ගේ පැවැත්මට එයින් කවර හෝ උදවුවක් ලැබීමයි. තමන්ගේ පැවැත්මට බාධා වන ශාඛ හෝ සත්ත්ව විශේෂයක් මිහිමතින් වඳ කර දැමීමට මිනිස්සු පැකිලෙන්නේ නැතුවාක් වගේම එහි වැරැද්දකුත් නැහැ.

ඕනෑම දෙයකට මිලක් තිබෙනවා. කෘඩියා සෙලනිකා ශාඛයට වගේම ශ්‍රී මහා බෝධියටත් මේ කතාව වලංගුයි. ශ්‍රී මහා බෝධියට තිබෙන්නේ ඓතිහාසික, ආගමික හා සංස්කෘතික වටිනාකමක්. ඒ වටිනාකම දෙන්නේ මිනිස්සු. එහෙම නැතුව ශ්‍රී මහා බෝධියට වාස්තවික වටිනාකමක් නැහැ. ඓතිහාසික, ආගමික හා සංස්කෘතික ලෙස කවුරුවත් ශ්‍රී මහා බෝධිය වටිනා සේ නොසලකන පසුබිමක ශ්‍රී මහා බෝධියට වටිනාකමක් නැතුව යනවා. එවැනි වටිනාකමක් තිබෙන පසුබිමක වුවත් එම වටිනාකාම අසීමිත නැහැ. 

මනඃකල්පිත උදාහරණයක් විදිහට අපි හිතමු තවුතිසා දිව්‍ය ලෝකයෙන් දේව කණ්ඩායමක් ඇවිත් ශ්‍රී මහා බෝධිය අරගෙන යන්න හදනවා කියලා. ඔය වගේ කතා බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ. දැන් ශ්‍රී මහා බෝධිය බේරගන්න එයට වටිනාකමක් දෙන හැම කෙනෙක්ම දේව කණ්ඩායම එක්ක මරාගෙන මැරෙන සටනක් කරලා ශ්‍රී මහා බෝධියට වටිනාකමක් ලබා දෙන සංස්කෘතිය පෘථිවියෙන් වඳ වී යාමේ අවදානම ගන්නවද? ශ්‍රී මහා බෝධියට වටිනාකමක් ලබා දෙන සංස්කෘතිය නැති වුනොත් ශ්‍රී මහා බෝධියට වටිනාකමක් තියෙනවද?

වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙන ගහක් හේතුවක් නැතුව වඳ වෙන්න අරින්න අවශ්‍ය නැහැ. නමුත්, එම ගහ වඳ වෙන්න නොදී පරිස්සම් කර ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යයි. ගහ වෙනුවෙන් කොයි තරම් මිලක් ගෙවිය යුතුද? මේ මිල කොපමණ වුවත් මිලට කවර හෝ සීමාවක් තිබෙනවා. එය අසීමිත නැහැ. ගෙවිය යුතු මිල වැඩිනම් ගහ විනාශ වෙන්න අරින්න වෙනවා.

එහෙමනම් පාරිසරික ප්‍රශ්න කියා දේවල් නැද්ද? තියෙනවා. පරිසර ප්‍රශ්න කියන ඒවායේ මූලික ලක්ෂණයක් වන්නේ කිසියම් මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් අනාගතයේදී මිනිසාගේ පැවැත්මට සිදු විය හැකි හානි පිළිබඳව බොහෝ මිනිස්සුන්ට අවබෝධයක් නැතිකම හේතුවෙන් මේ ප්‍රශ්න ඇති වී තිබීමයි. වෙනත් අයුරකින් කිවුවොත් මේ ප්‍රශ්න තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්න. තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්න වලට විසඳුම දැනුවත්භාවය වැඩි කර මිනිස් ක්‍රියාකාරකම් වෙනස් කිරීමයි.

පරිසර ප්‍රශ්නයකට විසඳුමක් දෙන හැම වෙලාවකම එය කළ යුත්තේ එයින් මිනිසුන්ගේ පැවැත්මට ලැබෙන වාසි හා අවාසි සැලකිල්ලට අරගෙනයි. එවිට විසඳුම සරලයි. දුලබ ගහක් වඳ වී යාම වැළැක්වීමේ වාසිය කුමක්ද? මේ වගේ දෙයක් ඇස්තමේන්තු කළ හැකි වාස්තවික ආකාරයක් නැහැ. වාසිය විෂයමූලිකයි. මිනිසුන්ගේ විෂයමූලික වටිනාකම් සමීක්ෂණයක් හරහා හොයා ගෙන දුලබ ගහක් වඳ වී යාම වැළැක්වීමේ වාසිය ඇස්තමේන්තු කළ හැකියි.

කෘඩියා සෙලනිකා ගහ බේරා ගන්න අවශ්‍යයි කියන කෙනෙක් ඒ වෙනුවෙන් උපරිම වශයෙන් කොපමණ මුදලක් ගෙවන්න කැමතිද? එසේ මුදලක් ගෙවන්න කැමති හැම කෙනෙක්ම එකතු වී ගෙවන්න කැමති උපරිම මුදල කීයද? අධිවේගී මාර්ගයේ සැලසුම වෙනස් කළොත් යන අමතර වියදම ඊට වඩා අඩුද වැඩිද?

Friday, August 14, 2020

සැපේ ඉඳිමු අපි මල්ලී!

"මට නං ලොකු ආර්ථික විද්‍යා තේරෙන්නේ නෑ ඉකොනෝ. ඒ උනාට මම නං හිතන්නේ අපි මේ ජීවත් වෙන කාලේ රට සංවර්ධනය කරන්න ඕනි වගේ කතා කියලා පටි තද කරන් ඉන්නවට වඩා ණයට අරං හරි කාලා බිලා සැපේ ඉදිමු කියලයි. මොකද අහම්බක් විදියට ඉපදුනා. ජිවත් උනා. මැරුණා. මොකද ආයේ ඉපදෙනවා කියලා එකක් ඇයි. ඉතිං ඒ නිසා මේ වගේ ආර්ථිකය ගැන උනත් ඕනිවට වඩා හිතලා වැඩක් නැහැ. චීනෙන් දෙන තරමක් ණය ගත්තා. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරා. ගානක් හොයා ගත්තා. කෑවා, බීවා, කාන්තා ඇසුරේ නිරත උනා, විනෝද උනා. වෙන මොනවද? ඇත්තටම ඉකොනෝ මේ කියන දේවල් මට නං තේරෙන්නේ නැහැ. ඇයි අපි මෙව්වා ගැන මෙච්චර හිතන්නේ? අපිට පස්සේ මෙහෙට එන මිනිස්සුත් මොකක් හරි කරලා ඉදි. ඒ ගැන අපි කල්පනා කරලා වැඩක් නැහැ. අපේ විනෝදය අපි ගන්නවා මිසක් ඉකොනෝ."

මෙය මගේ බ්ලොග් එකේ මේ විදිහේ ප්‍රතිචාරයක් දකින්නට ලැබුණු දෙවන අවස්ථාවයි. මේ ප්‍රතිචාරය මම ටිකක් සීරියස් ගන්න කැමතියි. "බුදාම්මෝ! මෙහෙම හිතන එවුන්නේ මේ රටේ ඉන්නේ!" වගේ අර්ථයකින් නෙමෙයි. මේ විදිහට හිතන අය ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා කියන එක අපි කවුරුත් දන්නවා. ප්‍රසිද්ධියේ කියන අයයි අඩු. වෙන රටක් ගත්තත් එහි වෙනසක් නැහැ.

මේ ප්‍රතිචාරය දමපු පුද්ගලයා කවුද කියලා මම දන්නේ නැහැ. මට එහි වැදගත්කමකුත් නැහැ. අපි අපේ පහසුවට මේ අදහස දරන පුද්ගලයා නිමල් ලෙස හඳුන්වමු. 

දැන් මම මෙහි නිමල් ලෙස හඳුන්වන්න සංකේතාත්මක චරිතය මේ විදිහට හිතන්න ඉඩ තිබෙන යම් කිසි අහඹු පුද්ගලයෙක්. මගේ අදහස අනුව, මේ ප්‍රතිචාරය දමපු භෞතික පුද්ගලයා නිමල් කියන සංකේතාත්මක චරිතය වෙන්න විදිහක් නැහැ. මොකද ඔහු නිමල්නම් බොහෝ විට ඔහු (හෝ ඇය) මේ බ්ලොග් එක නිතිපතා කියවන පාඨකයෙක් වෙන්න විදිහක් නැහැ. ප්‍රතිචාරය දමපු පුද්ගලයා විසින් ඒ හරහා කරන්නේ සැබෑ නිමල්ලාව ප්‍රශ්න කිරීම වෙන්න පුළුවන්. ඒ හරහා ධනවාදය හෝ නිරාගමිකත්වය වැනි තමන් අකැමැති මතවාදයක් ප්‍රශ්න කිරීම වෙන්නත් පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්. මට එය වැදගත් නැහැ. මට වැදගත් මේ ප්‍රතිචාරයේ සාරය පමණයි.

සරලවම කියනවානම් නිමල් හිතන විදිහ සම්බන්ධව මට මූලධාර්මික ගැටළුවක් නැහැ. මම එසේ කියනවානම් මම මේ බ්ලොග් එක හරහා කතා කරන ආර්ථික විද්‍යාව, මම මෙහි කතා කරන ධනවාදය ගොන්පාර්ට් එකක් වෙනවා. ආර්ථික විද්‍යාවේ මූලික පදනම වන්නේම මිනිස්සු සතුට හඹා යනවා කියන එකයි. ධනවාදය කියන්නේ මිනිස්සුන්ගේ ඒ සතුට හඹා යෑමට හැකිතාක් දුරට ඉඩ දිය යුතුයි කියන එකයි. එහෙමනම්, ධනවාදය විසින් යෝජනා කරන පරමාදර්ශී පුද්ගලයා නිමල් වගේ කෙනෙක්ද? 

මම මේ බ්ලොග් එකේ ණයෙන් දුවන ලංකාවේ ආර්ථිකය ගැන බොහෝ විට කතා කරනවා. මම එසේ කරන්නේ ඒ කතා කිරීම තුළ මගේ සතුට තිබෙන නිසා. එහෙම නැතුව සමාජය දැනුවත් කිරීම, ලෝකයට සේවය කිරීම, මානව දයාව වගේ වෙන මගුලක් නිසා නෙමෙයි. මගේ සතුට වෙනුවෙන් මම කරන මේ කාර්යයේදී සමහර විට සමාජය දැනුවත් වීමක් වෙනවා ඇති. ලෝකයට සේවයක් වෙනවා ඇති. ඒ ගැනත් මම සතුටුයි. 

ඒ වගේම මෙහි චක්‍රීය ස්වභාවයකුත් තිබෙනවා. මගේ සතුට වෙනුවෙන් මම ලියනවා. කියවන අය එයින් සතුටු වෙනවා. කියවන අය සතුටු වනු දැකීමෙන් හෝ සතුටු වන්නේයැයි සිතීමෙන් මම සතුටු වෙනවා. ඒ නිසා මම ලියනවා. මම ලියන නිසා කියවන අය සතුටු වෙනවා. පටන් ගැන්මක් තිබුණත් දැන් මේ චක්‍රයේ අගක් මුලක් නැහැ. එසේ වුවත් යම් දවසක කිසියම් අවසානයක් තියෙයි.

නිමල් කෙනෙක් මේ බ්ලොග් එක කියවනවානම් එසේ කරන්නේ ඔහු එයින් සතුටක් ලබන නිසා. එහෙත්, ණය ගැන ඕනෑවට වඩා වද වීම අනවශ්‍යයයි ඔහු සිතනවා. එසේ වද වීමෙන් ඔහුට සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මට කෙටි පිළිතුරක් දී ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්.

"ඔබට රටේ ණය ගැන හිතන එකෙන් විනෝදයක් නොලැබෙනවානම් ඔබ ගාණක් හොයා ගෙන කාලා, බීලා, කාන්තා ඇසුරේ කාලය ගෙවලා ඔබ කැමති ආකාරයකින් සතුටු වෙන්න. ඔබ රටේ ණය ගැන හිතන්න අවශ්‍ය නැහැ!"

අවාසනාවට නිමල්ට මේ වගේ පිළිතුරක් දීලා මට සතුටු වෙන්න බැහැ. මට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ නිමල් විසින්ද මා මෙන්ම රටේ ණය ගැන සිතිය යුතුයි කියන එක ඔහුට ඒත්තු ගන්වන්න පුළුවන් වුනොත් පමණයි. එය කරන එක මා ඉදිරියේ තිබෙන අභියෝගයක්.

මෙහිදී මට නිමල්ට ආගමික හෝ සදාචාරාත්මක පිළිතුරු යෝජනා කරන්න බැහැ. මා විසින් ඉදිරිපත් කරන ආගමික හෝ සදාචාරාත්මක ආකෘති රාමුව පිළිගන්න කියා ඔහුට බල කිරීමේ හැකියාවක් මට නැහැ. "මොකද ආයේ ඉපදෙනවා කියලා එකක්යැ?" කියලා ඔහු කියන කොට නෑ එහෙම නෙමෙයි කියලා මැරුණට පස්සේ ඔහුව පිළිගන්න බලාගෙන ඉන්න ස්පැගටි මොන්ස්ටර් කෙනෙක්ව ඇඟිල්ල දික් කරලා ඔහුට පෙන්වන්න මට බැහැ.

ආගම හා සදාචාරය පැත්තකට දැම්මට පස්සේ රටේ නීතිය ඉතිරි වෙනවා. නමුත්, රටේ නීතිය පිළිගන්න කියලා මට ඔහුට බල කරන්නත් බැහැ. රටේ නීතිය පිළිගත යුත්තේ ඇයි කියන එක ඔහුට ඒත්තු ගන්වන්න මට සිද්ධ වෙනවා. නීති නොවන සම්මත පිළිබඳව කොහොමටත් තත්ත්වය ඒකයි. ඒ නිසා ඒ වැඩෙත් හරියන එකක් නෙමෙයි.

රටේ ණය ගැන නිමල් හිතිය යුත්තේ ඇයි කියන එක නිමල්ට පෙන්වා දෙන්න ධනවාදී ආර්ථික විද්‍යාඥයෙක්ට ඉතිරි වෙලා තියෙන්නේ එකම එක ආකාරයක් පමණයි. ඒ, ඔබ අද රටේ ණය ගැන නොහිතුවොත් ඔබේ විනෝදය ඔබට නැති වෙනවා කියන එක. ඒ බව පෙන්වා දුන්නොත් නිමල්ට තමන්ගේ ස්ථාවරය වෙනස් කර ගන්න වෙනවා. මොකද නිමල්ගේ තර්කයේ පදනම වන්නේම විනෝදය. ඔහු ණය ගැන නොහිතන්නේ එසේ සිතීමෙන් ඔහුට විනෝදයක් නොලැබෙන නිසා. වෙනත් ආකාරයකින් කිවුවොත් ණය ගැන හිතන්න යොදවන කාලය තුළ ලැබිය හැකි විකල්ප විනෝදය ඔහුට අහිමි වන නිසා. නමුත්, ණය ගැන නොහිතීම ඔහුගේ විනෝදයට බාධාවක් කියා තේරුම් ගියොත් ඔහුට තමන්ගේ අදහස වෙනස් කර ගන්න සිදු වෙනවා.

නිමල් විනෝද වෙන්නේ කොහොමද?

"කෑවා, බීවා, කාන්තා ඇසුරේ නිරත උනා, විනෝද උනා. වෙන මොනවද?"

කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ටික කළාම හොඳටම ඇති. මෝසාර්ට්ගේ වාදනයක් අහන්න කියල හරි, සැබෑ මිනිසෙකුගේ කතාවක් කියවන්න කියලා හරි, පරිමිතත්වයෙන් පසු කියවන්න කියලා හරි, නෙට්ෆ්ලික්ස් ගිහින් ඩාර්ක් සීරීස් එක බලන්න කියල හරි, ඇවිලෙන සුළුයි බලන්න කියල හරි, පෝය දවසට පන්සල් යන්න කියල හරි, ඉරිදට පල්ලි යන්න කියල හරි, දවසකට පැය බාගයක් භාවනා කරන්න කියලා හරි, ඊළඟට එන මැතිවරණයේදී තමන් කැමති පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ඡන්දය දමන්න කියලා හරි මම මේ වෙලාවේ නිමල්ට යෝජනා කරන්නේ නැහැ. නිමල්ට විනෝදයක් ලැබෙනවානම් ඔය ඕනෑම දෙයක් කරන්න ඔහුට පුළුවන්. නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. එය ඔහුගේ නිදහස.

නිමල් සතුටු වන දේවල් කරන්නනම් ඔහුට යම් කැප කිරීමක්ද කරන්න වෙනවා.

"මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරා. ගානක් හොයා ගත්තා."

නිමල් ඔය මොකක් හරි ප්‍රොජෙක්ට් එක කරන්නේ කන, බොන, කාන්තා ඇසුර සොයන හේතුවටම නෙමෙයි. කන, බොන, කාන්තා ඇසුර සොයන එකේ විනෝදය තිබෙනවා. එහෙත්, ප්‍රොජෙක්ට් එක කරන්නේ ගාණක් හොයා ගන්න. එහි විනෝදය නැහැ. එහි තිබෙන්නේ ප්‍රති-විනෝදයක්. නමුත්, ප්‍රොජෙක්ට් එක කිරීම ඔහු කැමති ආකාර වලින් විනෝදය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන පූර්ව කොන්දේසියක්. 

පුද්ගලයෙකුට කන, බොන, කාන්තා ඇසුර සොයන එකෙන් හරි, සිංදුවක් අහන එකෙන් හරි, දේශපාලනය කතා කරන එකෙන් හරි, බ්ලොග් එකක ලිපියක ලියා පළ කරන එකෙන් හරි, වෙන මොන විදියකින් හරි විනෝදයක් ලබා ගන්න පුළුවන් වුනත් ඒ විනෝදය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු පූර්ව කොන්දේසි එක්ක බොහෝ විට කිසියම් ආකාරයක ප්‍රති-විනෝදයක් ගැබ්ව තිබෙනවා. මේ ප්‍රති-විනෝදය විසින් පුද්ගලයෙකුට ලැබිය හැකි විනෝදයේ උපරිම සීමාවන් ලකුණු කරනවා. ඒ නිසා නිමල්ට බොහෝ විට කවදාවත් ඔහු කැමති තරමට කන්න, බොන්න, කාන්තා ඇසුර ලබන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

මෙහි කාන්තා ඇසුරු කියන වචනය ඇතුළේම තියෙන්නේ පුරුෂ කේන්ද්‍රීය සිතීමක්. ඒ ගැන අපි මෙහිදී වැඩිය වද නොවී ඉඳිමු. කොහොමටත් ගොඩක් පිරිමි වගේම ඇතැම් ගැහැණුන් පවා හිතන්නේ පුරුෂ මූලිකවනේ. අනිත් එක මෙය හරි වැරැද්ද හෝ සදාචාරය මත පදනම් ව කෙරෙන සාකච්ඡාවක් නෙමෙයිනේ.

කාන්තා ඇසුරෙන් විනෝදය ලබන පිරිමියෙක්ට ඒ විනෝදය කොයි තරම් දුරකට ලැබිය හැකිද? වැඩි ගැහැණු පිරිසක් ඇසුරු කරන තරමට නිමල්ට වැඩි විනෝදයක් ලැබෙනවා වෙන්න පුළුවන්. මෙහිදී නිමල් විසින් ලබන විනෝදය අනෙක් පාර්ශ්වයේ සිටින ගැහැණුන් විසිනුත් ලබනවද? 

"අනෙක් පාර්ශ්වයට විනෝදයක් ලැබෙනවද නැද්ද කියන එක මට අදාළ කරුණක් නෙමෙයි" කියලා නිමල්ට කියන්න පුළුවන්. ඔහු සිතන ආකාරය අනුව වලංගු තර්කයක්. මේ තර්කය අනුව, අසල්වැසි නිවසක වැඩිහිටියන් නැති අතරේ එහි වසන බාලවයස්කාර දැරියක්ව අපයෝජනය කරලා නිමල්ට සතුටු වෙන්න පුළුවන්. නිමල් විනෝදය සොයා යද්දී ඒ වගේ දෙයක් සිදු නොවන බවට සහතිකයක් ලැබෙන්නේ කොහොමද?

ඕකම අනෙක් පැත්තට වෙන්නත් පුළුවන්නේ. අල්ලපු ගෙදර ඉන්න සුනිල් නිමල්ගේ දරුවෙකුව හෝ සොහොයුරියකව අපයෝජනය කරනවා. මෙයින් නිමල්ගේ විනෝදය නැති වෙනවා. නමුත්, තමනුත් ඒ වැඩේම කරන අතර නිමල්ට සුනිල් කරපු වැඩේට මූලධාර්මික ලෙස විරුද්ධ වෙන්න බැහැ. තමන්ගේ දරුවන් හෝ සොහොයුරිය සුනිල් අතින් අපයෝජනය වීම වලක්වා ගැනීමේ පූර්ව කොන්දේසියක් විදිහට නිමල්ටත් සුනිල්ගේ දරුවන් හෝ සොහොයුරිය අපයෝජනය කර විනෝදය ලැබීමේ අදහස අත හැර ගන්න වෙනවා. 

කාන්තා ඇසුර පැත්තකින් තියලා කන බොන එකම ගනිමුකෝ. සුනිල්ගේ වත්තේ රඹුටන් ටික හොරෙන් කඩා ගැනීමෙන් නිමල්ට සතුටක් ලබන්න පුළුවන්. නමුත්, සුනිල් විසින් නිමල්ගේ වත්තේ කෙසෙල්කැන කපා ගත් දවසට ඔහුගේ විනෝදය නැති වෙනවා. ඒ නිසා, විනෝදය ලබා ගැනීමේ පූර්ව කොන්දේසියක් විදිහටම නිමල්ට අනෙකාගේ දේපොළ අයිතිවාසිකම් ඇතුළු අයිතිවාසිකම් පිළිගන්න වෙනවා. 

නීති හා සම්මත හැදෙන්නේ මේ විදිහටයි. නීති හා සම්මත කඩා යම් විනෝදයක් යම් අයෙකුට යම් අවස්ථාවක ලබා ගන්න පුළුවන්. එහෙත්, බොහෝ දෙනෙක් බොහෝ අවස්ථා වල නීති කඩන්න ගියොත් හැමෝගෙම විනෝදය නැති වෙනවා. ඒ නිසා විනෝදය ලබා ගැනීම වෙනුවෙන්ම වුවත් යම් නීති හා සම්මත වලට එකඟ වෙන්න නිමල්ට සිදු වෙනවා.

නිමල්ට ඇතැම් විට තමන්ගේ කියා කිව හැකි දරු මල්ලෙක් හෝ සහෝදර සහෝදරියන් නැති වෙන්න පුළුවන්. තමන්ට කියලා මහ ලොකු පෞද්ගලික දේපොළක් නැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සම්මතය රැකීමට සුනිල්ට තිබෙන අවශ්‍යතාවය නිමල්ට නැති වෙන්න පුළුවන්. ඒ නිසා, නිමල් විසින් සුනිල්ගේ වැට පැනලා සුනිල්ගේ දරුවෙක් අපයෝජනය කරන්න පුළුවන්. රඹුටන් ටික හොරෙන් කඩා ගන්න පුළුවන්. නමුත්, නිමල්ලාට වඩා සුනිල්ලා වැඩිනම් හෝ බලවත්නම් නිමල්ට පෞද්ගලිකව අවශ්‍ය නැති වුනත් සම්මතය හැදෙනවා. සම්මතය සමඟ එකඟ නැති නිසා නිමල්ට එය කඩන්න හැකි වුනත් ඒ එක්කම ඔහුට ඒ සඳහා දඬුවම් ලැබෙනවා. එහි ප්‍රතිඵලය ප්‍රති-විනෝදයයි. ඒ නිසා, නිමල්ට සම්මතය කැඩීම පිළිබඳව දෙවරක් හිතන්න වෙනවා.

නිමල්ට හැකිතාක් ණය අරගෙන කාලා, බීලා, කාන්තා ඇසුර ලබලා සතුටු වී මිය යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත්, ණය දෙන්නත් කෙනෙක් සිටිය යුතුයි. සුනිල් විසින් නිමල්ට ණය දිය යුත්තේ ඇයි?

සුනිල් විසින් නිමල්ට ණය දෙනවා කියා කියන්නේ සුනිල්ගේ විනෝදය අහිමි වෙනවා කියන එකයි. සුනිල් කැමැත්තෙන්ම තමන්ගේ විනෝදය අහිමි කර ගන්නේ වෙනත් ආකාරයකින් ඒ අහිමි වූ විනෝදය ලබා ගත හැකි ක්‍රමයක් තිබේනම් පමණයි. මෙහිදී ඒ විනෝදය සුනිල්ට ආපසු ලැබෙන්නේ නිමල්ගෙන් ලැබෙන පොලී ආදායම නිසයි. සුනිල් විසින් අය කරන පොලිය තීරණය වෙන්නේ සුනිල්ට ගණුදෙනුවෙන් අවාසියක් නොවන ආකාරයටයි. එසේ නැත්නම් නිදහස් ගනුදෙනුවක් සිදුවෙන්න හේතුවක් නැහැ. ඒ නිසා, නිමල්ට සුනිල්ගෙන් ලබා ගන්නා ණය මුදලේ උදවුවෙන් කාලා, බීලා, කාන්තාවන් සමඟ විනෝද වෙලා, පාඩුවේ මැරිලා යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ණය සමඟ ලැබෙන අමතර විනෝදය එක්කම පැකේජ් වෙලා අමතර ප්‍රති-විනෝදයකුත් එනවා.

මේ කතාව පොඩ්ඩක් වෙනස් වන තැනක් තිබෙනවා. අපි හිතමු නිමල් විසින් ලබන විනෝදය වෙනුවෙන් මිල ගෙවන්න වෙන්නේ නිමල්ගේ දරුවන්ට කියලා. මෙය සුනිල්ට ප්‍රශ්නයක් නෙමෙයි. ලබා දුන් ණය නිසා අහිමි වූ විනෝදය ඔහුට කෙසේ හෝ ආපසු ලැබෙනවා. නිමල් විසින් විනෝදය ලබා, එහි මිල නොගෙවා මැරිල යනවා. නිමල්ගේ දරුවන්ට ඔවුන් නොලැබූ විනෝදයක් වෙනුවෙන් සුනිල්ට ගෙවන්න වෙනවා. ලංකාවේ ණය අර්බුදය ඔය වගේ එකක්.

මේ වගේ එකක් පවතින්න පුළුවන්. මොකද නිමල්ගේ දරුවන්ට ඔවුන්ගේ පියා විසින් ඔවුන් ඉපදෙන්න පෙර හෝ කුඩා කාලයේ කළ දේ වෙනුවෙන් මැදිහත් වෙන්න අවස්ථාවක් කොහොමටවත්ම නැහැ. ගොඩක් පාරිසරික ප්‍රශ්න වල ස්වභාවයත් ඔය වගේ. දැන් මේ තත්ත්වය වෙනස් කෙරෙන මොකක් හරි ස්වභාවික යාන්ත්‍රණයක් තිබෙනවාද?

මේ කටයුත්තේදී මරණයෙන් පසු පැවැත්මක් ගැන හිතන මිනිසුන්ගේ ආගමික විශ්වාස විසින් සිදු කෙරෙන නිශ්චිත සාධනීය කාර්යයක් තිබෙනවා. නමුත්, නිමල්ට එවැනි විශ්වාසයක් නැහැ. කෑවා, බිව්වා. විනෝද වුනා. මැරිල ගියා. ඔයිට වැඩිය තව මොනවාද?

උපත, මරණය හා ඔය දෙක අතර තිබෙන පැවැත්ම කියන දෙය වැනි අපට පහසුවෙන් තේරුම් ගන්න අමාරු බරපතල කාරණා සම්බන්ධව මම හිතන දේවල් ලියන්න ගියොත් ලිපි මාලාවක්ම ලියන්න වෙනවා. දැනට අපි බොහෝ දෙනෙක් මරණය ලෙස සලකන දෙය එලෙසම ගනිමු.

මේ ලේඛකයා ගත්තොත්, ඔහු මරණයෙන් පසු පැවැත්මක් ගැන විශ්වාස කරනවා වගේම ඒ පැවැත්මට ආදරය කරනවා. මේ පැවැත්ම ගැන විස්තර කරන්න ආගම් වලින් යෝජනා කරන බරපතල දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. සරලව විස්තර කරන්න පුළුවන්.

ඔබ මේ ලිපිය කියවන විට සම්මත අර්ථයෙන් මා ජීවතුන් අතර නොසිටින්න පුළුවන්. අඩු වශයෙන් ඔබ ඒ බව දන්නෙවත් නැති වෙන්න පුළුවන්. නමුත්, ඔබ කියවන මේ ලිපිය තුළ මගේ පැවැත්ම ඉතිරි වී තිබෙනවා. මගේ ඒ අපේක්ෂිත අනාගත පැවැත්ම විසින් මේ මොහොතේ මට විනෝදයක් සපයනවා. ඒ විනෝදයට මම කැමතියි. ඒ වගේම අනාගතයේ කිසියම් දවසක මා සම්මත අර්ථයෙන් ජීවත්ව සිටියත් නැතත්, මේ ලිපිය කියවන කෙනෙක් ඒ පිළිබඳව සතුටු වනු ඇතැයි යන අදහසින් මා මේ මොහොතේ සතුටු වෙනවා.

මගේ දරුවන් නිසා මා ලබන විනෝදයත් ඒ වගේ දෙයක්. මගේ සම්මත මරණයෙන් පසුවත් මගේ දරුවන් කාලයක් ජීවත් වීමට නියමිතයි. මගේ මේ මොහොතේ විනෝදය ගැන වගේම මගේ දරුවන්ගේ අනාගත විනෝදය ගැනත් මම මේ මොහොතේ හිතනවා. ඒ නිසා, මම මේ මොහොතේ තීරණ ගන්නේ මගේ සම්මත ජීවිතයේ ඉතිරි වී තිබෙන කාලය ගැන වගේම, අවම වශයෙන්, එයින් පසුවත් ජීවත්වන මගේ දරුවන් ගැනත් හිතලයි. මගේ දරුවන්ද මා ලෙසම හිතුවොත් ඔවුන් අනාගතයේදී තීරණ ගනු ඇත්තේත් මා දැන් ඔවුන් ගැන හිතා තීරණ ගන්නා ආකාරයටයි. ඒ කියන්නේ මා මේ මොහොතේ තීරණ ගන්න විට මගේ දරුවන්ගේ දරුවන් ගැනත් හිතනවා. ඔවුන් මේ වන විට ඉපදිලාද, කවදා හෝ ඉපදෙයිද වැනි කරුණු මෙහිදී අදාළ නැහැ.

මගේ සම්මත මරණයෙන් පසුව මේ බ්ලොග් එක තිබුණොත් ඒ හරහා මගේ පැවැත්මක් ඉතිරි වෙනවා. ඒ ආකාරයෙන්ම මා හිටවූ ගස්, මා විසින් ලියා පළ කළ පොත් හෝ නිමවූ කලාකෘති, ජයග්‍රහණය කළ යුද්ධ, මගේ නම ගහපු පාරවල් හා ක්‍රිකට් ක්‍රීඩාංගන ආදිය හරහාත් මගේ පැවැත්ම ඉතිරි වෙනවා. මේ සියල්ලටමත් වඩා මගේ දරුවන් තුළින් මගේ පැවැත්ම දිගටම පවතිනවා. මගේ දරුවන්, ඔවුන්ගේ දරුවන් ආදී ලෙස මෙය සන්තතික දිගුකාලීන පැවැත්මක්. ඒ අඛණ්ඩ පැවැත්මේ කොටසක් වන මට අද චීන ණය වගේ දේවල් ගැන අමතක කරලා පැත්තකට වෙන්න බැහැ.

මම මෙහෙම හිතුවත් නිමල් මම හිතන විදිහටම හිතන්න අවශ්‍ය නැහැනේ. නිමල් හිතන්නේ වෙනත් ආකාරයකට වෙන්න පුළුවන්.

"ඉතිං මට පාන්ද? මම අහම්බක් විදියට ඉපදුනා. දැන් ජිවත් වෙනවා. කවදා හරි මැරෙයි. මට විවාහ වෙලා ළමයි හදන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මගේ මරණයෙන් පස්සේ ලෝකය මොන වගේ එකක්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි!"

නිමල්ගේ තර්කයේ කිසි වැරැද්දක් නැහැ. ඔය විදිහට හිතන අය ඉන්නවා. හැබැයි නිමල් වගේ අයට පරිණාමික පැවැත්මක් නැහැ. මනුෂ්‍ය සංහතිය පවතින්නේ ගොඩක් අය නිමල් හිතන විදිහට නොහිතන නිසා. නිමල් විසින් මේ මොහොතේ තේරුම් නොගත්තත් බොහෝ දෙනෙක් දැන හෝ නොදැන තමන්ගේ සම්මත මරණයෙන් ඔබ්බට යන අඛණ්ඩ පරිණාමික පැවැත්මක් ඉතිරි කරනවා.

පවතින තත්ත්වය එහෙමයි කියලා ඒ තත්ත්වය එලෙසම පවතින්න පරම වූ හේතුවක් නැහැ. ඒ නිසා, නිමල් වගේ හිතන අය ලෝකයේ බහුතරය වුනොත් එහිත් කිසිදු වැරැද්දක් නැහැ. තමන්ගේ මේ මොහොතේ විනෝදයෙන් කොටසක් කැප කරලා මනුෂ්‍ය සංහතියේ පැවැත්ම ගැන හිතන්න කියලා මට නිමල්ට බලකරන්න පුළුවන්කමක් නැහැ. මට එහෙම කරන්න පදනමක් නැහැ.

යම් කිසි මොහොතක නිමල් වගේ හිතන යම් පිරිසක් සමාජයේ ඉන්නවා. නමුත්, බොහෝ දෙනෙකුට නිමල් වගේ නොහිතන්න ජීව විද්‍යාත්මක පෙළඹුමක් ජාන වලින්ම එනවා. නිමල් කියා කියන්නේ ඒ ජීව විද්‍යාත්මක තෙරපුම පාලනය කර ගන්න සමත් වූ සුළුතරයක එක් අයෙක්. 

හැබැයි තමන්ගේ සම්මත මරණයෙන් පසු පැවැත්ම ගැන කිසිදු බරක් නොතබන බව කියන  නිමල්ට තමන් දරන මතවාදය තමන්ගේ මරණයෙන් ඔබ්බට ඉතිරි කරන්නත් කිසිදු තර්කානුකූල හේතුවක් නැහැ. ඔහු එහෙම කරනවානම් එයින් අදහස් වෙන්නේ ඔහු තමන්ගේ මරණින් පසු පැවැත්ම සම්බන්ධව බරක් තබන කෙනෙක් බවයි. එය විසංවාදයක්.

නිමල් තමන්ගේ මරණයෙන් පසු පැවැත්ම ගැන කිසිදු බරක් තියන්නේ නැත්නම්, ඔහුට දරුවන් හදන්න, රට ජාතිය ගැන හිතන්න හෝ චීන ණය ගැන හිතන්න කිසිදු හේතුවක් නැහැ. ඒ එක්කම ඔහුට තමන්ගේ මේ මතවාදය ව්‍යාප්ත කරන්නත් කිසිම හේතුවක් නැහැ. අනික් අයගේ පැවැත්ම ගැන ඔහු වද වෙන්නේ මොන කෙහෙම්මලකටද? ඒ නිසා, නිමල්ගේ ජාන වගේම නිමල්ගේ මතවාදයත් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. 

ඊළඟ පරම්පරාව බිහි කරන්නේ තමන්ගේ මරණයෙන් මතුවට ඉතිරි වන ලෝකය කෙරෙහි බලපෑමක් තිබෙන චීන ණය ගැන, රට ජාතිය ගැන, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හෝ වෙන මොන කෙහෙල්මලක් ගැන හෝ හිතන අයයි. ඒ අය අතරිනුත් අලුත් නිමල්ලා කොටසක් බිහි වුනත් ඒ පිරිස හැමදාමත් අහඹු ලෙස බිහිවන සුළුතරයක් පමණයි.

මේ සිද්ධි දාමය මේ ආකාරයට වෙන්නේ හිතීමේ හැකියාවක් තිබෙන මිනිස්සු හා අදාළව පමණක් නෙමෙයි. වෙනත් සතෙක් ගත්තත්, ගහක් වැලක් ගත්තත් ඒ ඕනෑම ආකාරයක ජීවයකට වියහැකියාවක් ලෙස මරණයෙන් අවසන් නොවන පැවැත්මක් තිබෙනවා. ශ්‍රී මහා බෝධියට, රොබින් හුඩ්ගේ ඕක් ගහට වගේම නිමල්ගේ වත්තේ කෙසෙල් ගහටත්. මේ පැවැත්ම පිළිබඳව ඕනෑම ජීවයක් සංවේදීයි. එහෙත්, යම් ආකාරයකින් ඒ සංවේදීකම පාලනය කරගෙන මේ මොහොතේ පමණක් ජීවත් වන මිනිස්සු කලාතුරකින් ඉන්න බැරිකමක් නැහැ.

නිමල් වගේ හිතන වැඩි දෙනෙක් ඒ විදිහට හිතන්නේ තමන්ගේ දැනුමේ හෝ විශ්ලේෂණ හැකියාවේ අඩුවක් නිසා මිසක් සැබෑවටම මේ මොහොතේ ජීවත් වන නිසා නෙමෙයි. නිමල් මොන තර්ක ගෙනාවත් ඔහුගේ පැවැත්ම අවසන් වෙලා නැහැ. නිමල් වැනි අය බොහෝ විට පසුකාලීනව තමන් අතීතයේ කළ මෝඩකම් ගැන පසුතැවිලි වෙනවා. ගොඩක් කලාකාරයින්ට ජීවිතයේ අවසාන කාලයේ වෙන අවුල ඕකයි.

මරණයෙන් පසු ලෝකය ගැන තමන් වද නොවන බව නිමල් කිවුවත්, මරණය දක්වා ගෙවන ජීවිතයේ විනෝදය නිමල්ට අවශ්‍යයි. ඔහුට ජීවිතය දුකක් හෝ කවර හෝ පරම වූ අර්ථයක් නැති දෙයක් කියලා ඒ හේතුව මත ජීවිතය අවසන් කර ගන්න අවශ්‍ය නැහැ. මැරෙන තුරු ජීවත් වෙන්න නිමල්ට අවශ්‍යයි.

නිමල්ට මැරෙන තුරු ජීවත් වෙන්න අවශ්‍ය වුවත් මැරෙන දවසක් ගැන නිමල් දන්නේ නැහැ. ඒ නිසා, මරණයෙන් එහා පැත්ත ගැන නොසිතුවත් මරණය තෙක් අනාගතය ගැන ඔහුට හිතන්න වෙනවා. මේ කාලය තුල තමන්ගේ විනෝදය සොයා යාමේදී අනාගත විනෝදය වෙනුවෙන් මේ මොහොතේ විනෝදය කැප කරන්න වන අවස්ථා නිමල්ට හමු වෙනවා. සමහර විට සිදු වන්නේ එහි අනෙක් පැත්ත, එනම් අනාගත විනෝදය පරදුවට තබා මේ මොහොතේ විනෝද වීම, වෙන්නත් පුළුවන්. 

ඔය චින්තන ධාරාව දිගේ යන ගොඩක් අය යම් මොහොතක පසු තැවෙනවා. මෙසේ කියන එකෙන් මම කරන්නේ අනුභූතික කරුණක් ඉදිරිපත් කිරීමක් මිස සදාචාරාත්මක හෝ වෙනත් අවවාදයක් දෙන එක නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා.

මේ මොහොතේ විනෝදයට වැඩි බර තබන ගොඩක් අය පිළිබඳ ඇත්ත මෙයයි. ඒ ගොඩක් අයට මරණයට පෙරම තමන්ගේ මේ මොහොතේ විනෝදය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවන්න වෙනවා. එවිට ආපසු හැරෙන්න ප්‍රමාද වැඩියි. මෙය අවබෝධ කර ගැනීම සඳහා කර්මය, දෙවියන්ගේ කැමැත්ත වගේ දේවල් වල සම්බන්ධයක් අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍යනම් සම්බන්ධ කරගත්තා කියලා ප්‍රශ්නයකුත් නැහැ.

එසේ නැති, සැබෑවටම මේ මොහොතේ ජීවත් වන කෙනෙක් ඉන්න බැහැ කියලා මම කියන්නේ නැහැ. එවැනි කෙනෙක්ට පසුව පසු තැවෙන්න වෙන්නේ නැහැ. ඒ මේ මොහොතේ ජීවත් වනු හැර වෙනත් බලාපොරොත්තු එවැන්නෙකුට නැති නිසයි. හැබැයි එවැනි සුවිශේෂී පුද්ගලයෙකුට කාලා, බීලා, ගැහැණුන් සමඟ සතුටු වෙලා ලැබිය හැකි විශේෂ විනෝදයක් තියෙන්න විදිහක් නැහැ. ඒ මොනවා නැතත් ඒ මොහොතේ ජීවත්වීම තුළම විනෝදය තිබෙනවා. එය තිබෙන්නේ තමන් තුළමයි. 

නිමල් ඒ මට්ටටම ගිය කෙනෙක් නොවන බව ඉතා පැහැදිලියි. ඔහු මරණය තෙක් ජීවිතයේ විනෝදය සොයන්නේ තමන්ගෙන් බාහිර ලෝකය තුළයි. එම බාහිර ලෝකය සමඟ ගැටී නිමල්ට විනෝද විය හැක්කේ ඒ සඳහා අවශ්‍ය වන පූර්ව කොන්දේසි ලෝකය තුළ අවශ්‍ය ආකාරයෙන් සකස් වී ඇත්නම් පමණයි. එය නිකම්ම සිදු වන්නේ නැහැ. ඒ වෙනුවෙන් නිමල් විසින් කළ යුතු කාර්ය භාරයක්ද තිබෙනවා.

සම්මත මරණයෙන් ඔබ්බට බලාපොරොත්තු නැතත් අඩු වශයෙන් නොදන්නා දිනක සිදු වන සම්මත මරණය දක්වා නිමල්ට සන්තතික පැවැත්මක් තිබෙනවා. ඒ පැවැත්ම තුළ ඔහුට විනෝදය අවශ්‍යයි. මේ විනෝදය සෙවීම තුළ ඔහුට තමන්ගේ වර්තමානය සහ අනාගතය අතර නිරන්තර ගනුදෙනුවක යෙදෙන්න වෙනවා. ඒ ගනුදෙනුව නැතුව ඔහුට විනෝදය සොයන්න බැහැ. කොරෝනා ආසාදනය වී ඇති බව දන්නා රූමත් කාන්තාවක් සමඟ යහන්ගත වෙන්න අවස්ථාවක් ලැබුණොත් නිමල් එය භාර ගන්නවාද? වස බව දැන දැනම ඉතා රසවත් ආහාරයක් බුදිනවාද? මේවා අන්තයේ තිබෙන උදාහරණ වෙන්න පුළුවන්. වැදගත් කරුණ නිමල්ට අනාගතය ගැන කිසිදු බරක් නොතබා මේ මොහොතේ විනෝදය සොයන්න බැහැ කියන එකයි.

නිමල්ට මේ විදිහට ගනුදෙනුවක් තිබෙන්නේ ඔහුගේම අනාගතය එක්ක පමණක් නෙමෙයි. අසල්වැසි සුනිල්ගේ වර්තමානය හා අනාගතය එක්කත් ඔහුට ගනුදෙනුවක් තිබෙනවා. ඒ ගනුදෙනුව විනෝදය සොයා යෑමේ අත්‍යාවශ්‍ය කොන්දේසියක්. නිමල්ට තමන්ගේ විනෝදය වෙනුවෙන් සුනිල් සමග ගනුදෙනුවක යෙදෙද්දී සුනිල්ගේ විනෝදය අමතක කරන්න බැහැ. ඔහුට තමන්ගේ විනෝදය සොයන අතරම අනෙකාගේ විනෝදය ගැනත් හිතන්න වෙනවා. මේ ආකාරයට නිමල්ගේ වර්තමානය හා අනාගතය වගේම ඔහුගේ අසල්වැසියන්, මිතුරන්, නෑදෑයින්, සුරතල් සතුන් ආදී සංරචක ගණනාවක් නිමල්ගේ සතුට සොයා යාමේ සමීකරණය ඇතුළේ තිබෙනවා. 

නිමල්ට මරණයෙන් ඔබ්බට යන පැවැත්මක් හෝ තමන්ගේම කියා දරු පවුලක් නැති වෙන්න පුළුවන්. ඔහුගේ එකම අරමුණ විනෝදය සොයායාම වෙන්න පුළුවන්. නමුත්, ඒ ආකාරයට තමන්ගේම විනෝදය සොයා යාමේදී වුවත් නිමල්ට තමන්ගේම අනාගත විනෝදය හා අනුන්ගේ විනෝදය ගැන සිතා තමන්ගේ වර්තමාන විනෝදය කැප කරන්න සිදුවෙන අවස්ථා එළැඹෙනවා. එය විනෝදය සොයා යාම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක්. 

ධනවාදය අනුව ඒකීය පුද්ගලයෙක් කියන්නේ තමන්ගේ විනෝදය හොයන පුද්ගලයෙක්. එහෙත්, මේ පුද්ගලයා ජීවත් වන ලෝකයක් තිබෙනවා. ඔහුට විනෝදය හමු වෙන්නේ ඒ ලෝකය ඇතුළේ. ඒ නිසා, තමන්ගේ විනෝදය වෙනුවෙන් ඒ ලෝකය වඩා යහපත් අයුරින් පවත්වා ගන්නත් ඔහුට සිදු වෙනවා. 

නිමල්ට තමන්ගේ මරණයෙන් පසු පැවැත්ම වැදගත් නැහැ. නමුත්, සුනිල්ට එය වැදගත්. නිමල්ට තමන්ගේ මරණයෙන් පසු පැවැත්ම වැදගත් නැතත් එතෙක් සුනිල් සමඟ කරන ගනුදෙනු වැදගත්. සුනිල් නිමල් සමඟ ගනුදෙනු වල යෙදෙද්දී තමන්ගේ මරණයෙන් පසු පැවැත්මටත් බරක් තබනවා. ඒ නිසා, නිමල් සුනිල් සමඟ කරන ගනුදෙනු හරහා නිමල්ද නිමල්ගේ මරණයෙන් පසු පැවැත්මක කොටස්කරුවෙක් වෙනවා. නිමල්ට ඔහුගේ මරණයෙන් පසු පැවැත්ම නොවැදගත් වුනා කියා මෙය වෙනස් වෙන්නේ නැහැ.

අපි මේ වගේ උදාහරණයක් ගනිමු. සුනිල් වැට පැන නිමල්ගේ කෙසෙල්කැන කපනවා. නිමල් එය දැක සුනිල්ට පිහියෙන් අනිනවා. සුනිල් මැරෙනවා. නිමල් හිරේ යනවා. නිමල්ට එය ප්‍රශ්නයක් නෙමෙයි. පසුව හිරේ යන්න සිදු වුනත් ඒ මොහොතේ කළ දෙය ගැන නිමල් සතුටු වෙනවා. ඔහුට පසුතැවිල්ලකුත් නැහැ කියා කියමු. 

නිමල් සුනිල්ට පිහියෙන් අනිද්දී සුනිල් සිටියේ විනීතා සමඟ විවාහ වෙන්න සූදානමින්. දැන් ඒ විවාහය වැළකෙනවා. විවාහය සිදු වුනානම් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. නමුත්, දැන් ඒ දරුවන් උපදින්නේම නැහැ. නිමල් තමන්ගේ විනෝදය සොයා යාමේ ක්‍රියාවලිය ඇතුළේ සුනිල්ගේ අනාගත පැවැත්ම හොඳටම වෙනස් වෙලා.

මේ විදිහට සුනිල්ගේ අනාගත පැවැත්ම වෙනස් වුනේ නිමල්ගේ වත්තේ කෙසෙල් ගහක කෙසෙල් කැනක් වැටුණු නිසා. කෙසෙල් කැන නොතිබුණානම් සුනිල් තවම ජීවත් වෙනවා. විනීතා සුනිල්ට දාව දරුවන් වදනවා. 

නිමල්ගේ වත්තේ කෙසෙල් පඳුර හැදුණේ එහි වූ වලක කෙසෙල් පැලයක් සිටවූ නිසයි. ඒ වල හැදුණේ එහි වූ ලොකු කළු ගලක් කඩා ඉවත් කරනු ලැබීමෙන් පසුවයි. කළු ගල ඒ විදිහටම තිබුණානම් එතැන කෙසෙල් පැලයක් හිටවන්න වෙන්නේ නැහැ. කෙසෙල් පැලය නොතිබුණානම් කෙසෙල් කැනක් නැහැ. එසේ වූවානම් විනීතා සුනිල්ට දාව දරුවන් වදනවා. එහෙමනම් එම දරුවන් ලෝකයට බිහි නොවුනේ නිමල්ගේ වත්තේ වූ කළුගල කඩා ඉවත් කළ නිසාද? ගැඹුරින් හිතා බැලුවොත් කැකිල්ලේ රජ තුමාගේ නඩු තීන්දුවටත් දාර්ශනික පදනමක් තිබෙනවා. එය එක්තරා ආකාරයක ප්‍රතිපරිසිද්ධික විශ්ලේෂණයක්.

නිමල් වගේ අයටත් වෙනත් අයටත් තමන් විනෝද වන ක්‍රමයට තමන්ගේ සතුට සොයා යන්න තිබෙන අයිතිය ධනවාදය විසින් පිළිගැනෙනවා. එසේ සතුට සොයා යාමේ පූර්ව කොන්දේසියක් ලෙසම අනෙකාගේ සතුට ගැන වගේම, ගස් වැල් ඇතුළු ජීවී ලෝකය හා අජීවී ලෝකය ඇතුළු සමස්ත පරිසරය ගැනත් හිතන්න ධනවාදය විසින් ධනවාදීන්ට වගේම ධනවාදී ලෝකයක ජීවත් වන ධනවාදීන් නොවන අයටත් බල කර සිටිනවා. තම තමන්ගේ විශ්ලේෂණ හැකියාවන්ගේ හා දැනුමේ අඩුපාඩු නිසා මේ පූර්ව කොන්දේසි නොසලකන අයෙකුට කාල පමාවකින් පසුව හෝ තමන්ගේ අතීත අත්වැරැද්ද වෙනුවෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා. නිමල් කන, බොන, කාන්තාවන් සමග විනෝද වෙන අතරම චීන ණය ගැන හිතන්නත් කාලය යෙදවිය යුත්තේ ඒ නිසයි. 


Friday, February 14, 2020

දේවානි ජයතිලක, ආණ්ඩුව සහ නිහඬ බහුතරයේ හඬ


මාධ්‍ය වාර්තා අනුව පෙනෙන්නේ ආණ්ඩුව දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටින්නට තීරණය කර තිබෙන බවයි. කාට හරි අවශ්‍යනම් එතකොට සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටි අය ආණ්ඩුවට අයිති නැද්ද කියා අහන්න පුළුවන්. ඒ වගේම, මේ පෙනී සිටීම කොයි තරම් අවංකද කියන එක ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත්, වැදගත් වන්නේ පොදු වශයෙන් ආණ්ඩුවේ ඉහළ ස්ථරය ඉතා පැහැදිලි ලෙසම දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටීම කියන කරුණයි.

දේවානි ජයතිලක වෙනුවෙන් ආණ්ඩු විපක්ෂ භේදයක් නැතිව හැම දේශපාලන පක්ෂයකම අය පෙනී සිටියා. ආණ්ඩුවට හිතවත් යම් පිරිසක් සනත් නිශාන්ත වෙනුවෙනුත් පෙනී සිටියා. ඔවුන් දේවානි ජයතිලකගේ කවර හෝ වැරැද්දක් හොයා ගන්න උත්සාහ කළා. නමුත්, ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ.

දේවානි ජයතිලක සනත් නිශාන්ත හමුවේ නීතිය වෙනුවෙන් පෙනී සිටින්නේ ඇය ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂයකට හිතවත් නිසා නොවන බව පැහැදිලියි. ඇයට යම් හෙයකින් එවැනි හිතවත්කමක් තිබුණානම් ඒ හේතුව නිසා ඒ වෙලාවේ ඇය ක්‍රියා කළ ආකාරය අගය කළ නො යුත්තේද නැහැ.

මේ සිද්ධියෙන් පසුව, ඇතැම් ආණ්ඩු හිතවාදීන් විසින් ක්ෂණිකවම ඇගේ අතීතය ගැන හොයා බලා තිබෙන බව පේනවා. එසේ කරන්න ඇත්තේ ඇගේ කුමක් හෝ දේශපාලන සම්බන්ධයක් හරි, වෙනස් ආකාරයකින් කටයුතු කළ අවස්ථාවක් හරි හොයා ගන්න වෙන්න පුළුවන්. නමුත්, එවැනි සොයා බැලීම් කළ අයට හෙළිදරවු වෙන්න ඇත්තේ මේ සිදු වීම අහම්බයක් නොවන බවයි. ඇය මීට පෙරත් කියන්න තිබෙන දෙය මේ විදිහටම කාට වුනත් බය නැතිව කියා තිබෙනවා. මෙවර සිදු වුනු එකම වෙනස අදාළ සාකච්ඡාව සමාජ මාධ්‍ය වල හිට් වීමයි.

සමහර වෙලාවට හදිසියේ සිදු වන අහඹු සිදු වීම් සමාජ මාධ්‍ය වල හිට් වෙනවා. නමුත්, අහඹු සිදු වීම් කියන ඒවා සිදු වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. කිසියම් අහඹු සිදු වීමක් සිදු වන්නේ එවැන්නක් සිදු වීමට ඉඩ තිබෙන පසුබිමකයි. මෙහිදී වී තිබෙන්නේත් එවැන්නක්. වීඩියෝ නොකළ හා ඒ නිසා වැඩි දෙනෙක් නොදන්නා දේවානි ජයතිලක හා සම්බන්ධ මෙවැනි සිදු වීම් තවත් සිදු වී තිබෙනවා විය හැකියි. ඒ වගේම, දේවානි ජයතිලක හැර තවත් මෙවැනි රාජ්‍ය නිලධාරීන්ද ඕනෑ තරම් ඇති.

අනෙක් පැත්තෙන් ගත් විට මේ සිද්ධිය සනත් නිශාන්ත හා සම්බන්ධ මෙවැනි එකම සිද්ධිය වෙන්න විදිහක් නැහැ. ඔහු රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි බලපෑම් කිරීම බොහෝ විට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පක්ෂ විපක්ෂ භේදයක් නැතිව මහජන නියෝජිතයින් බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මේ වෙලාවේ සනත් නිශාන්ත කටයුතු කර තිබෙන ආකාරයටයි. ඔවුන්ට දේවානි ජයතිලක වැනි කෙනෙක් සම්මුඛ වෙන්නේ කලාතුරකින්. වෙනස් විය යුත්තේ ඒ තත්ත්වයයි.

දේවානි ජයතිලක වෙනුවෙන් මේ වෙලාවේ බොහෝ දෙනෙක් පෙනී සිටියේ ඇයි? බොහෝ දෙනෙක් කියා කිවුවේ ආණ්ඩුව ගැන නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු ගැන. ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රතික්‍රියාවක් පමණයි.

විවිධ හේතු මත මිනිස්සු දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටියා. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් එසේ කළේ ඈ පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම අගය කරමිනුයි. පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම හා පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ නීති වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ වෙනස් කරුණු දෙකක්. මෙහිදී සනත් නිශාන්ත විසින් කරන වැරැද්ද පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී නො සිටීම නෙමෙයි. ඔහු එසේ කළ යුතුම නැහැ. ඔහු කරන වැරැද්ද පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ නීති වෙනුවෙන් පෙනී නො සිටීමයි. (ක්‍රියාවෙන් මෙසේ වුවත්, සනත් නිශාන්ත පාර්ලිමේන්තුවේදී හා මැතිවරණ ප්‍රචාරණයේදී පෙනී සිටින්නේ පරිසරය රැක ගැනීම වෙනුවෙනුයි.)

දේවානි ජයතිලකට කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ අනන්‍ය වූ මතවාදයක් නැතුව ඇති. එවැන්නක් තිබුණත් මෙහිදී ඇය එය තමන්ගේ රාජකාරිය සමඟ පටලවාගෙන නැහැ. එහෙත්, ඇයට පරිසරය හා සංවර්ධනය සම්බන්ධ තමන්ගේම වූ මතවාදයක් තිබෙන බව පෙනෙනවා. රාජ්‍ය නිලධාරිනියක එවැනි තමන්ගේ පෞද්ගලික මතවාදත් රාජකාරිය සමඟ පටලවා ගත යුතු නැහැ. මේ වෙලාවේ ඇගේ රාජකාරිය ඇගේ පෞද්ගලික මතවාදය සමඟ හොඳින් පෑහෙනවා. ඒ නිසා ඇය බොක්කෙන්ම තමන්ගේ රාජකාරිය කරනවා.

කඩොලාන රැක ගැනීම ලංකාවේ නීතිය අනුව දේවානි ජයතිලක විසින් කළ යුතු දෙයක්. එහෙත්, මතවාදයක් ලෙස සැලකූ විට එය තවත් එක් මතවාදයක් පමණයි. වෙනත් අයට මේ හා අදාළ වෙනත් මතවාද දැරීමේ අයිතියක් තිබෙනවා. කඩොලාන වලට වඩා පිට්ටනිය වටින මිනිස්සු ඕනෑ තරම් ඉන්න පුළුවන්. සනත් නිශාන්ත විසින් නීතිය නැවීමට බලපෑම් කිරීම වැරැද්දක් වුවත් ඔක්සිජන් අවශ්‍ය නැතැයි සිතන මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමේ වැරැද්දක් නැහැ.

ඔහුට අවශ්‍යනම් ඒ මිනිසුන් වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කඩොලාන කපා පිට්ටනියක් ඉදි කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. එය හරිද වැරදිද කියා තීරණය කිරීම ඔහුට ඡන්දය දෙන හෝ නොදෙන ඡන්දදායකයින්ගේ වැඩක්. යම් හෙයකින් එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, කවර මහජන විරෝධතා තිබුණත්, රාජ්‍ය නිලධාරිනියක පෙනී සිටිය යුත්තේ කඩොලාන කැපීම වෙනුවෙනුයි. ඒ වගේ වෙලාවක, දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරිනියකගේ පෞද්ගලික මතවාද හා රුචි අරුචිකම් ඇගේ රාජකාරිය සමඟ ගැටෙන්න පුළුවන්.

මේ වෙලාවේ සනත් නිශාන්ත නියැලී සිටියේ ජනප්‍රියවාදී දේශපාලනයකයි. ආණ්ඩුව සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී නොසිට දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටින්නේත් ජනප්‍රියවාදී පදනමක සිටයි. මහින්ද රාජපක්ෂ විසින් අවුරුදු දහයක් තිස්සේ ආණ්ඩු කළේත් ජනප්‍රියවාදය මත පදනම්වයි. ජවිපෙ වැනි පක්ෂත්, සජිත් වැනි අයත් කරන්නේ එයමයි. රනිල් අසාර්ථක වුනේ ඔහු ජනප්‍රියවාදියෙකු නොවූ නිසා. දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු ජනප්‍රියවාදියෙකු වීමේ වැරැද්දක් නැහැ. එය මහජන මතය සමඟ අනුගත වීමක්.

රාජපක්ෂ දශකය ඇතුළත රාජපක්ෂලාගේ ජනප්‍රියවාදය තුළ බොහෝ විට සිදු වුනේ සනත් නිශාන්තලා වැනි මහින්ද රාජපක්ෂ වටා සිටි පිරිසක් මහින්ද රාජපක්ෂ විසින් සතුටු කිරීම සහ සනත් නිශාන්තලා වැනි අය විසින් ඔවුන් වටා සිටි තවත් පිරිසක් සතුටු කිරීමයි. අර ඔක්සිජන් අවශ්‍ය නැති පිරිස ඒ පිරිසයි. මේ පිරිසගේ හඬ වැඩි නිසා ඔවුන්ගේ මතය රටේ බහුතර මතය මෙන් පෙනෙන්නට තිබුණත්, ඇත්තටම ඔවුන් සුළුතරයක්. ඔවුන්ට ජනප්‍රියවාදී දේශපාලනය තුළ බලපෑමක් කිරීමට ශක්තිය ලැබී තිබුණේ රටේ නිහඬ බහුතරයකගේ නිහඬකම විසිනුයි. මේ නිහඬ බහුතරය තමන්ගේ හඬ අවදි කළේ වසර කිහිපයකට වරක් එන මැතිවරණයකදී පමණයි.

දේවානි ජයතිලක සිද්ධියේදී වුනේ සමාජ ජාලා හරහා නිහඬ බහුතරයේ හඬ මතු වීමයි. ජනප්‍රියවාදී ආණ්ඩුවකට බහුතරයේ හඬ නොසලකා ඉන්න බැහැ.

ගෝඨාභයට කොහොම වුනත් මහින්දට සනත් නිශාන්ත කටයුතු කළ ආකාරය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියා හිතන්න අමාරුයි. සනත් නිශාන්ත සමඟ ඉන්න මිනිස්සු ටික සතුටු කිරීමට මහින්ද, ගෝඨාභය හෝ වෙනත් ඕනෑම ජනප්‍රියවාදී දේශපාලනඥයෙකු පැකිලෙන එකක් නැහැ. හැබැයි එසේ කිරීමෙන් තමන් වඩා විශාල පිරිසක් අතර අප්‍රසාදයට පත් වීමට නියමිත බව පෙනේනම් කවුරුවත් එවැනි දෙයක් කරන්නේ නැහැ.

මේ වෙලාවේ වුනේ ඒකයි. සමාජ ජාලා හරහා නිහඬ බහුතරයේ හඬ මතු වීම නිසා ඔක්සිජන් අවශ්‍ය නැති කණ්ඩායමේ හඬ යටපත් වී ගියා. මිනිස්සු හරි තැන ඉන්නවානම් ඕනෑම ආණ්ඩුවකට හරි තැනට එන්න වෙනවා.

Monday, February 3, 2020

මූණ වසාගත් චීනය Facemasked China


මේ දවස් වල චීන්නු බොහෝ දෙනෙක් මුහුණු වැසුම් දමාගෙන ඉන්න බව මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් දන්නවා. එයට හේතුවත් දන්නවා. කොහොමටත් චීනය කියන රටත් මුහුණු වැස්මක් දමාගෙන සිටින රටක්. පිටතට පේන්නේ ඒ මුහුණු වැස්ම නිරාවරණය කර පිටතට පෙන්වන්න චීන රජයට අවශ්‍ය ප්‍රමාණය පමණයි.

චීන්නු හා මුහුණු වැසුම් අතර සම්බන්ධය කොරෝනා වෛරසය විසින් ඇති කරපු එකක් නෙමෙයි. මුහුණු වැසුම් පැළඳීම බොහෝ නගර වල ජීවත් වන චීන්නු විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. ඒ වෛරස් පැතිරීම වලක්වන්න හෝ වෛරස් වලින් බේරෙන්න නෙමෙයි. චීනයේ වායුගෝලය ඒ තරමටම අපවිත්‍ර නිසයි. උඩ රූපයේ දැකිය හැකි චීන්නු මුහුණු වැසුම් දමාගෙන ඉන්නේත් කොරෝනා වලට හෝ වෙනත් වෛරසයකට බයේ නෙමෙයි. හැබැයි පහුගිය අවුරුදු පහ ඇතුළතනම් මේ තත්ත්වය හොඳ අතට වෙනස් වෙලා තිබෙනවා.

චීනයේ වේගවත් කාර්මීකරණයේ හා නාගරීකරණයේ එක් නරක අතුරු පලයක් වුනේ චීන අහස වසාගත් කළු මීදුමයි. කළු මීදුම ලෙස මා සිංහලට පරිවර්තනය කරන්නේ smog කියන ඉංග්‍රීසි වචනයයි. මේ වචනය දුම යන තේරුම ඇති smoke යන්න හා මීදුම යන තේරුම ඇති fog යන්න එකතු වී හැදුනු වචනයක්. සිංහලෙන්නම් මීදුම කියන වචනය ඇතුළේම දුම කියන කොටස තිබෙන නිසා smog කියන එකට කළු මීදුම වැනි වචනයක් ගැලපෙනවා.

චීනයේ කළු මීදුමට හේතුව වුනේ ගල් අඟුරු බලාගාර වලින්, රථ වාහන වලින් හා කර්මාන්ත ශාලා වලින් පිටවන දුම් නිසි නියාමනයකින් තොරව වායු ගෝලයට මුදා හැරීමයි. වායු දූෂණය මැනීමේදී යොදා ගන්නා නිර්ණායකයක් වන්නේ PM 2.5 සාන්ද්‍රණයයි. මෙහි PM ලෙස හැඳින්වෙන්නේ අංශු පදාර්ථ (particulate matter) යන්නයි. PM 2.5 ලෙස වර්ග කරන්නේ මයික්‍රෝමීටර 2.5කට වඩා කුඩා, එනම් කෙස් ගහක ගණකමින් 3%කට වඩා අඩු ගණකමක් ඇති අංශු පදාර්ථයි. මීට වඩා තරමක් විශාල අංශු පදාර්ථ PM 10 ලෙස හැඳින්වෙනවා.

වායුගෝලයේ තිබෙන PM 10  අංශු පදාර්ථ පෙනහළු වලට ඇතුළු වී පෙනහළු වල ගැඹුරේ තැන්පත් වෙනවා. ඊටත් වඩා භයානක PM 2.5 අංශු පෙනහළු සිසාරා රුධිරයටම එකතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දවසක් ඇතුළත හා වසරක් ඇතුළත සාමාන්‍ය වශයෙන් ආශ්වාස වාතයේ ඝන මීටරයක් තුළ තිබිය යුතු උපරිම PM 10 හා PM 2.5 අංශු පදාර්ථ ප්‍රමාණ පිළිබඳව පහත තිබෙන නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

Fine particulate matter (PM2.5)
10 μg/m3 annual mean
25 μg/m3 24-hour mean

Coarse particulate matter (PM10)
20 μg/m3 annual mean
50 μg/m3 24-hour mean

ඇමරිකාවේ පරිසර ආරක්ෂක ඒජන්සියේ නිර්දේශ මීටත් වඩා දැඩියි.


චීනය දීර්ඝ කාලයක් තිස්සේ මේ නිර්දේශ සත පහකටවත් මායිම් කළේ නැහැ. මේ වෙද්දී ලෝකයේ අපවිත්‍රම වායු ගෝල සහිත නගර තිබෙන්නේ ඉන්දියාවේ වුනත් කාලයක් තිස්සේම ඒ වාර්තාව දැරුවේ චීනයයි. 2013 වසරේදී බෙයිජිං නගරයේ PM 2.5 සාන්ද්‍රණය චීන රජයේ නිල වාර්තා අනුව 400 μg/m3 මට්ටමට දක්වාත්, බෙයිජිංහි ඇමරිකානු තානාපති කාර්යාලයේ දර්ශක අනුව 800 μg/m3 මට්ටමට දක්වාත් ඉහළ ගියා. PM 2.5 සාන්ද්‍රණය 300 μg/m3 මට්ටම ඉක්මවීම සැලකෙන්නේ ඉතාම අන්තරායදායක මට්ටමක් ලෙසයි. වාතය එපමණ දූෂණය වී ඇති විට නිවෙස් වලින් එළියට නොබැස සිටීමටයි නිර්දේශ කෙරෙන්නේ. චීනයේ වායු දූෂණය හේතුවෙන් වසරකට සිදු වන මරණ ගණන මිලියන 1.6ක් බව 2015දී ප්‍රකාශිත අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර තිබුණා.

බෙයිජිං නගරයේදී ජාත්‍යන්තර ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුණු 2008 වසරේදී චීන රජය තාවකාලිකව කර්මාන්ත ශාලා වලින් වායු ගෝලයට අපද්‍රව්‍ය මුදා හැරීම නියාමනය කළා. එහි ප්‍රතිපලයක් ලෙස කළු දුමාරයෙන් වසර ගණනාවක් වැහී තිබුණු බෙයිජිං අහස නිල් පැහැ ගැන්වුනා. ඔලිම්පික් නිල ලෙස හැඳින්වුණු මේ තත්ත්වය නිසා එම වසරේදී චීනයේ මරණ ගණන සැලකිය යුතු ලෙස අඩු වුනා. එහෙත්, ඔලිම්පික් තරඟ අවසන් වීමෙන් පසුව චීන රජය විසින් නැවතත් නියාමන රෙගුලාසි ලිහිල් කළා. චීන අහස නැවතත් කළු මීදුමෙන් වැසී ගියා. ඉන් පසුව, නැවත චීන රජය මේ වැඩේට අත ගැහුවේ පසුගිය වසර කිහිපය ඇතුළතයි.

මේ වන විට කොරෝනා මරණ ගණන 362 දක්වාත්, ආසාදිතයින් ගණන 17,387 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා මරණ වලට එකම හේතුව කොරෝනා වෛරසයද? එසේ නැත්නම්, කාලයක් තිස්සේ චීන නගර වල දූෂිත වාතය ආශ්වාස කර ශ්වසන පද්ධතිය දුර්වල වී සිටි අයට කොරෝනා වෛරසය අන්තිම මාරාන්තික පහර එල්ල කළාද?

කොළඹ අහසත් ඒ තරම්ම පිරිසිදු නැහැ. මේ තියෙන්නේ දැන් මොහොතකට පෙර තත්ත්වය.


(Image: https://www.zdnet.com/article/chinas-smog-hits-new-highs-and-lows/)

Tuesday, January 21, 2020

කැලේ මාරු වන විට පුල්ලිත් මාරු වේ!

කළු කොටි ගැන නැවතත් වාර්තා වී තිබෙනවා. දශකයකට පමණ පෙරනම් කළු කොටි කියන නම ඇහෙන විට මතක් වුනේ එම නමින් හැඳින්වුණු එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන හමුදාවයි. එහෙත්, මේ වාර්තාව උතුරේ කළු කොටි ගැන නෙමෙයි. කලකට පසු නැවත ලංකාවෙන් වාර්තා වී ඇති කළු පැහැ හම සහිත ශ්‍රී ලාංකික කොටි පවුලක් ගැනයි.

කොටි වර්ග ලෝකය පුරාම විසිරී සිටියත් ලංකාවේ සිටින කොටින් ලංකාවටම ආවේණිකයි. සත්ත්ව වර්ගීකරණය අනුව පැන්තෙරා ගණයට අයත් පැන්තෙරා පාර්ඩස් විශේෂයට අයත් උප විශේෂ නවයක් අතරින් එක් උප විශේෂයක් වන ශ්‍රී ලාංකික කොටියා "පැන්තෙරා පාර්ඩස් කොටියා" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇටවූ කැමරා උගුල් හරහා ඡායාරූපගත කරගෙන තිබෙන කළු කොටි පවුලද මේ ශ්‍රී ලාංකික කොටි පවුලේම සාමාජිකයින් මිස වෙනස් හෝ අලුත් සත්ත්ව විශේෂයක් නෙමෙයි. ඔවුන්ට හම කළු පැහැ ගන්වන ජාන සැකසුමක් තිබෙනවා පමණයි.

අප අසා තිබෙන පරණ කියමනක් වන්නේ කැලේ මාරු වන විට කොටියාගේ පුල්ලි මාරු නොවන බවයි. සාමාන්‍යයෙන් කොටින් ලෙස හඳුන්වන්නේ හමේ පුල්ලි සහිත සතුන්. හමේ ඉරි සහිත සතුන් ව්‍යාඝ්‍රයන් ලෙස හඳුන්වනවා. ජගුවරයින්ගේ හමේද පුල්ලි තිබුණත් කොටින්ගේ හා ජගුවරයින්ගේ පුල්ලි පැහැදිලිව හඳුනාගත හැකි තරම් වෙනස්. ජගුවරයින්ගේ පුල්ලි වල මැද තිත් තිබෙනවා. කොටින්ගේ පුල්ලි වල එවැනි තිත් නැහැ. කොටි, සිංහයින්, ජගුවරයින්, ව්‍යාඝ්‍රයින් හා හිම කොටි යන සත්ත්ව විශේෂ පහම අයත් වන්නේ පැන්තෙරා ගණයටයි.

පැන්තෙරා ගණයට අයත් බොහෝ සතුන්ට පුල්ලි සහිත හමක් තිබුණත් මේ සතුන් අතර කළු පැහැ සම ඇති සතුන්ද සිටිනවා.  මේ විදිහට ජාන විකෘති සිදු වී කළු පැහැ සතුන් බිහිවීම කැලේ මාරු වන විට කොටින්ගේ පුල්ලි මාරු වීමක් කියා කියන්නත් පුළුවන්. අඳුරු තෙත් කලාපීය වනාන්තර වල වාසය කරන කොටි අතර මේ කළු පැහැ ජාන විකෘතිය වඩා සුලභයි.

දහනවවන සියවසේ මැද භාගයේදී (1846-1850) ලංකාවේ යටත් විජිත මහ ලේකම් ලෙස කටයුතු කළ ජේම්ස් එමර්සන් ටෙනන්ට් විසින් වාර්තා කර ඇති පරිදි කළු කොටි දුලබ වුවත් ඒ කාලයේදී රටේ විවිධ ප්‍රදේශ වලින් හමු වී තිබෙනවා. ලංකාවේ කළු කොටි අඩ සියවසකට පෙර තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටයකටද තේමා වුනා. එහෙත්, මෑතකදී ලංකාවෙන් කළු කොටි පණ පිටින් හමු වී නැහැ. අවසන් වරට 2009දී හමු වී තිබෙන්නේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසුව මියගොස් සිටි කළු කොටියෙක්. එම කළු කොටියාගේ සම සංරක්ෂණය කර හැදූ අනුරුවක්  ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

කොටියෙකුගේ හම කළු පැහැ වෙන්නේ නිලීන ජානයක් හේතුවෙන්. නිලීන ජානයකට අදාළ ලක්ෂණ මතු වන්නේ මවගෙන් හා පියාගෙන් එම ලක්ෂණ රැගෙන යන ජාන දෙකක්ම ලැබුණොත් පමණයි. කළු කොටියෙකුගේ ජාන දෙකේම මේ ලක්ෂණය තිබෙන නිසා කළු කොටි ජෝඩුවකට ලැබෙන සියළුම පැටවුන්ටද කළු හමක් උරුම වෙනවා.

කළු කොටියෙකු සහ සාමාන්‍ය කොටියෙකු අතර සංසර්ගයෙන් බිහිවන පැටවුන්ට අනිවාර්යයයෙන්ම එක් කළු ජානයක් හිමි වුවත්, එවැනි පැටියෙකු කළු කොටියෙකු වන්නේ සාමාන්‍ය කොටියාගෙන්ද කළු ජානයක් උරුම වුවහොත් පමණයි. කළු ජානයක් හා සාමාන්‍ය ජානයක් හිමි සාමාන්‍ය කොටින් දෙදෙනෙකුගේ පැටවෙකුද කළු කොටියෙකු විය හැකියි. ඒ නිසා, කළු කොටින් සම්පූර්ණයෙන්ම වඳ වී ගියත් නැවත සාමාන්‍ය කොටින්ට දාව කළු කොටි බිහි විය හැකියි. කෙසේ වුවත්, කළු කොටි ඇති වන ජානය වඳ වී ගියොත් නැවත කළු කොටි බිහි වීමේ ඉඩකඩද ඇහිරෙනවා.

Thursday, August 8, 2019

අලි දමනය හා නවක වදය


අලියෙක්ගේ රූපයක් එක්ක රට පුරා ගහපු පෝස්ටරයක් පහුගිය දවස්වල ආන්දෝලනයක් ඇති කරලා තිබුණා. ඒ එක්කම වගේ රජයේ සරසවි වල නවක වදය ගැන කතාබහත් ආපහු ඇදිලා ආවා. ඔය දෙක අතර බැලූ බැල්මටම පේන සම්බන්ධයක් නැහැ. වඩා විමසිල්ලෙන් බැලුවත් එහෙම සම්බන්ධයක් පෙනෙන්න නැහැ.

පෝස්ටරේ පැත්තකින් තියමුකෝ. ලංකාවේ අලි මිනිස් ගැටුම හා ලංකාවේ රජයේ සරසවි වල නවක වදය අතර කුමක් හෝ සමානත්වයක් තියෙනවද?

ඔය දෙකම හිටපු ගමන් නැගලා යන මාතෘකා. හැබැයි නැගල යනවා වගේම බැහැලත් යනවා. එක්කෝ නවක වදය හේතුවෙන් අගතියට පත් සිසුවෙකු හෝ සිසුවියක ගැන ප්‍රසිද්ධ වුනාම, එහෙමත් නැත්නම් කුමක් හෝ කටයුත්තකට සරසවි ප්‍රජාවෙන් ලොකු විරෝධයක් මතු වෙන වෙලාවට නවක වදය ගැන කතාබහ නැගලා යනවා. ඊට පස්සේ කතාව කාලෙකට අමතක වෙනවා. ඔය විදිහටම අලියෙක් ගහලා මිනිහෙක් මැරුණහම, එහෙමත් නැත්නම් මිනිස්සු එකතු වෙලා අලියෙක් මරල දැම්මහම අලි මිනිස් ගැටුම ගැන කතාබහ නැගලා යනවා. බැහැලත් යනවා. හිතලා බැලුවොත් අර පෝස්ටරේ පිටිපස්සේ තියෙන කතාවත් ටිකක් ඔය වගේ එකක්!

කොයි තරම් කතා කළත්, විවිධ විසඳුම් යෝජනා වී තිබුණත් රජයේ සරසවි වල නවක වද ප්‍රශ්නය වගේම අලි මිනිස් ගැටුමත් තවම ඒ විදිහටම තියෙනවා. සරසවි නවක වදය තිබෙන්නේ ලංකාවේ රජයේ සරසවි වල පමණක් නෙමෙයි. නමුත්, ලංකාවේ රජයේ සරසවි වල තරම් දරුණු නවක වදයක් වෙනත් කිසිදු රටක පවතිනවා කියා මා හිතන්නේ නැහැ. මෙය යම් තරමකට ලංකාවටම සුවිශේෂී ප්‍රශ්නයක්.

අලි මිනිස් ගැටුම සරසවි නවක වදය තරමට ලංකාවටම ආවේණික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නයට මුහුණ දෙන තවත් ආසියානු හා අප්‍රිකානු රටවල් ගණනාවක් තිබෙනවා. ඒ රටවල් විසිනුත් මේ ප්‍රශ්නයට විවිධාකාරයේ විසඳුම් ලබා දෙන්න උත්සාහ දරා තිබෙනවා.

අලි වැළැක්වීම සඳහා මී මැසි වැටක් යොදා ගැනීම අප්‍රිකානු රටවල් ගණනාවකදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙන ක්‍රමයක්. මෙහිදී කරන්නේ මීටර දහයක පමණ පරතරයක් ඇතිව ලණුවක් හෝ කම්බියක් මඟින් එකිනෙකට සම්බන්ධ කර මී මැසි ජනපද සහිත හෝ රහිත මී මැසි පෙට්ටි එල්ලීමයි. අලියෙක් මේ ලණුවේ හෝ කම්බියේ වැදුණු වහාම මී මැසි පෙට්ටි සියල්ලම හෙල්ලී මී මැස්සන් එළියට ඇවිත් අනින්න පටන් ගන්නවා. මේ අත්දැකීමට මුහුණ දෙන අලියෙක් ආයේ පැත්ත පළාතේ එන්නේ නැහැ. බොරු මී මැසි පෙට්ටි වලටත් බය වෙනවා.

මී මැසි වැට ක්‍රමය මේ වෙද්දී ලංකාවේත් අත් හදා බැලෙමින් තිබෙනවා. මෙවැනි වැටක් නිසි පරිදි හදා ගන්නා ආකාරය පිළිබඳ අත් පොතක් (ඉංග්‍රීසි බසින්) මෙහි තිබෙනවා.

අලි පාලනයට මීට පෙර යොදාගත් විදුලි වැට ක්‍රමයට සාපේක්ෂව මී මැසි වැට ක්‍රමයේ වාසි ගණනාවක් තිබෙනවා. විදුලි වැට වෙනුවෙන් වියදමක් දරන්න අවශ්‍ය වෙද්දී මී මැසි වැටකින් අමතර ආදායමක්ද ලැබෙනවා. ඒ වගේම කෘෂිකාර්මික බෝග හොඳින් පරාගනය වීම නිසා අස්වනු වැඩි වීමේ වාසියත් තිබෙනවා. අලින්ට ලී කොට දමා විදුලි වැට පහත් කර වැට පනින්න හැකි වුවත් මී මැසි වැටත් එක්ක ඒ වැඩේ කරන්න බැහැ. මෙය පාරිසරික ප්‍රශ්නයකට පාරිසරික විසඳුමක්.

සරසවි වල නවක වද ප්‍රශ්නයටත් බොහෝ විට යෝජනා වී තිබෙන්නේ විදුලි වැට විසඳුම්. නමුත්, වැටට කොට ගෙනත් තියලා අලි වැට පනිනවා. අවශ්‍ය වන්නේ විදුලි වැටක් වෙනුවට මී මැසි වැටක්.

(Image: http://www.readthehook.com/88743/elephant-can-they-avoid-bees-all-costs)

Friday, November 2, 2018

හේමන්තය මැද...


මේ දවස්වල මේ පැත්තේ පරිසරය හරිම ලස්සනයි කියා මා කිවුවනේ. රතු, කහ, තැඹිලි පාට වුණු ගස් නිසා පුදුම ලස්සනක් තියෙන්නේ. හැබැයි ඔය ලස්සන තව වැඩි දවසක් තියෙන එකක් නැහැ. සතියක් විතර යන කොට ඔය ගස් වල කොළ හැලිලා කෝටු විතරයි ඉතිරි වෙන්නේ.

ලංකාව වගේ සමකය කිට්ටු රටවල් වල නම් කවදා බැලුවත් එක වගේනේ. වෙනසක් කියලා දෙයක් පේන්නෙම නැහැ. නමුත්, සමකයෙන් ඈත රටවල් වල ජීවත් වෙද්දී තමන් ජීවත් වන වටාපිටාව වෙනස් වෙනවා කියන එක ඇඟට දැනෙනවා.

පහේ හයේ පන්ති වලදී මුලින්ම නිවර්තන සදාහරිත වනාන්තර ගැන ඉගෙන ගනිද්දී තිබිච්ච ලොකුම ප්‍රශ්නය වුණේ වනාන්තරනම් සදාහරිත නොවෙන්නේ කොහොමද කියන එකයි. සමකය කිට්ටු රටකින් එළියට නොගිය කෙනෙක්ට එහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ.

ඒ දවස් වල ක්‍රෝටන් වගේ කොළ පාට නැති කොළ තිබෙන ගස් ගෙවල් වල වවා තිබෙනවා දැක තිබුණත් ලංකාවේ කැලෑවල් වලනම් තිබුණේම කොළ පාට කොළ තියෙන ගස් විතරයි. කොළනම් ඉතිං කොළපාට වෙන්න එපායැ. කොට්ටම්බා වගේ ගස් වල කොළනම් හැලෙන්න කිට්ටුව තැඹිලි පාට වෙනවා. ඒත් මුළු ගහම එක පාර පාට වෙන්නේ නැහැ.

උත්තරාර්ධ ගෝලයේ රටවලට හේමන්තය පටන් අරන් දැන් සති පහක් පමණ ගිහින්. ඉංග්‍රීසි භාෂාවෙන් අනෙක් සෘතු වලට කියන්නේ එකම නම වුවත් හේමන්ත සෘතුවට Fall හා Autumn කියන නම් දෙකම භාවිතා වෙනවා. උතුරු ඇමරිකාවේ වචනය Fall. එංගලන්තයේ Autumn. ඇමරිකාව හා එංගලන්තය අතර හේමන්ත සෘතුවට කියන නමට අමතරව තවත් ගොඩක් වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් වලට සංවේදී වෙන්න රටවල් දෙකම ගැන සැලකිය යුතු අවබෝධයක් තියෙන්න ඕනෑ.

ඇමරිකානු වචනය වන Fall කියන එකේ තියෙන්නේ වැටෙනවා කියන අරුත. ඔය සෘතුවේදී ගස් වල කොළ ලස්සනට පාට වෙන්නේ ඉක්මණින්ම වැටිලා යනවා කියන එක සංඥා කරන්නනේ. කොළ පාට කොළ හේමන්තයේදී කහ, තැඹිලි, රතු වෙනවා කියන්නේ ඔය කොළ වලින් පරාවර්තනය කරන ආලෝකයේ සංඛ්‍යාතය අඩු වෙලා තරංග ආයාමය වැඩි වෙනවා කියන එකයි. මිනිස්සු පරිණාමය වෙලා තිබෙන්නේ මේ වෙනසට විශාල සේ සංවේදී වන ආකාරයටයි. ඒ නිසා, කොළ, කහ, රතු පාට සෑහෙන්න වෙනස් පාට වගේ අපට පේනවා.

මේ විදිහට පාට වෙලා කොළ හැලිලා ගියාට පස්සේ ඔය ගස් වල ආයේ දළු දාන්නේ වසන්තයේදී. එතකම් ඉතිං පල නැති රුක් තමයි. ඇමරිකාවට මේ දවස් වල හේමන්තය වුනත් ඇමරිකාවට අනිත් පැත්තේ තියෙන රටවල් වලටනම් වසන්තය. ඒ පැත්තේ දැන් ගස් වල දළු දාගෙන එනවා ඇති.

ඊයේ වැස්ස අධික දවසක්. ලස්සනට පාට වෙලා තිබුණු ගස් වල කොළ වැස්සත් එක්ක එක පාරට හැලෙන කොට ටිකක් කණගාටුවක් දැනෙනවා. හැබැයි තවමත් කොළ වලින් ටිකයි හැලිලා තියෙන්නේ.

(Image: https://www.yoga-healing-nature.com/blog/2015/10/23/attuning-to-the-fall-season)

Thursday, October 25, 2018

සැමන් මාළු, වලස්සු හා කණාමැදිරියෝ...


අභිජනනය පිණිස සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු ගැන කලින් ලිපියක ලිවුවනේ. එහි මා සඳහන් කළ පරිදි, මේ ගැන ලියන්න මාව උනන්දු කරමින් විශාල තොරතුරු ප්‍රමාණයක් විද්‍යුත් තැපෑලෙන් එවුවේ කැනඩාවේ ජීවත් වන පාඨකයෙක්. මම හිතන විදිහට මේ වගේ ගඟ ඉහළට පීනන සැමන් මාළු දැකලා ඔහුට ඇති වුනු සංවේදී හැඟීම එයට හේතු වෙන්න ඇති. පහළින් තිබෙන්නේ ඒ ගැන විස්තර කරමින් ඔහු වසරකට පමණ පෙර එවපු විද්‍යුත් ලිපියෙන් කොටසක්.

"වෙහෙසකර ගමනක නිරතවන මෙම සතුන් දුටු, අප සියලු දෙනා තුළම ඇතිවූයේ වචනයෙන් විස්තර කළ නොහැකි කිසියම් පාලු ගුප්ත භාවයකින් යුත් ඉතාමත්ම තද කණගාටුදායක කනස්සල්ලක් වන් තත්ත්වයකි. පිහිනන බොහොමයක් මාළුවන් තුළ දකින්න ලැබුනේ ඉතා දුර්වල වෙහෙසකර භාවයක්. සමහර සැමන් මාළු අඩි කිහිපයක් පිහිනා ගොස් පැත්ත පෙරැළී ටික වෙලාවක් හුස්ම ඇද ඇද සිටී..... තවත් තැනක ගල් මත පතිත වී සහ ගල් අතර සිරවී මියගොස් සිටින මසුන්..... හරිම හිත් කම්පා කරවන දර්ශනයක්. තවත් තැනක (අවසර දී ඇති ස්ථාන වල) බිලී පිති අමෝරාගෙන අහිංසක ගැබ්බර මාළුන් ඩැහැගන්න බලා සිටින පුද්ගලයෝ.....මේ අතර දකින්න ලැබුණ කුඩා ළමුන් සමග බිලි බෑමේ නිරතවන පවුල්..... අනේ සංසාරේ කියලා හිතෙනවා...  :(    ඊටත් වඩා..... දුක තවත් තීව්‍ර වන්නේ අනේ මේ මාළු යන්නේ තමාගේ අවසන් ගමන නේද කියලා හිතෙනකොට දැනෙන විස්තර කරන්න අමාරු කණගාටුව......"

මම හිතන්නේ මේ හැඟීම විස්තර කළ හැකි වචනය සහකම්පනය. අපේ පාඨක හිතවතා මේ අවස්ථාවේදී හදවතින් සැමන් මාළු එක්ක එක් වෙලා සැමන් මාළුන්ගේ වෙහෙසට, දුකට, කණගාටුවට සම්මාදම් වෙනවා. හැබැයි ඉතිං සැමන් මාළුවාට දැනෙන හැඟීම මේ දිහා බලා සිටින අපේ පාඨකයාට දැනෙන හැඟීමම කියා කියන්න බැහැ. ඇත්තටම ඔහු සම්මාදම් වෙන්නේ තමන්ගේම හිතේ ඉන්න සැමන් මාළු අහිනකගේ දුකටයි.

දැන් මේ විස්තරයේ තියෙන විදිහටම අමාරුවෙන් උඩු ගං පීනන මාළුන්ව වලසුන්ගේ වගේම මිනිස්සුන්ගේ පහසු ගොදුරු බවට පත් වෙනවා. ඒ වුනත්, සැමන් මාළු ගැන පමණක්ම නොහිතා පරිසර පද්ධතියක් සේ හිතුවොත් මෙහි ඇති "වැරැද්දක්" නැහැ. සැමන් මාළුන්ව ගඟ අයිනේ ජීවත්වන, ආහාර දාමයේ සැමන්ලාට වඩා උඩින් ඉන්න, වලස්සු වගේ සතුන්ට ගොදුරු වෙන එක ඒ සතුන්ගේ පැවැත්මට වගේම සැමන් මසුන්ගේ පැවැත්මටත් වැදගත් කරුණක්.

මේ විදිහට වලසුන්ට හා මිනිස්සුන්ට ගොදුරු වෙන්නේ සැමන් අහිනේ ඉන්න දුර්වලම සත්තු. බේරිලා යන්නේ ශක්තිමත්ම සත්තු. ඒ නිසා, අභිජනනය කර අළුත් සැමන් පරම්පරාවක් බිහි කරන්න දායක වෙන්නේ මාළු අහිනේ ඉන්න හොඳම මාළු ටික. හැම අළුත් සැමන් පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා ඉදිරියෙන්.

ඔහොම කාලයක් යද්දී සැමන්ලා ගොඩක් "ස්මාර්ට්" වෙලා මිනිසුන්ගෙන් හා වලස්සුන්ගෙන් බේරිලා යාමේ කුසලතාවය ඉහළ ගියොත් මොකද වෙන්නේ?

එවිට වෙන්නේ ගඟ අද්දර ඉන්න මිනිස්සුන්ගෙන් හා වලස්සුන්ගෙන් කොටසක් කන්න මාළු නැතුව මැරෙන එකයි. මේ විදිහට මැරෙන්නේ මාළුවෙක්වත් අල්ලගන්න බැරි දුර්වල මිනිස්සු හා වලස්සු. වඩා ශක්තිමත් මිනිස්සු හා වලස්සු කොහොම හරි මාළුවෙක් අල්ලගනියි.

ඔය කිවුවට මිනිස්සු හා වලස්සු කන්න මාළු නැතුව මැරෙන එකක්ම නැහැ. නමුත්, මාළුවෙක් අල්ලගන්නවත් බැරි පිරිමි මිනිහෙක්ට හෝ වලහෙක්ට ගැහැණු සතෙක්ව හොයා ගැනීම වඩා වඩා අමාරු වීම නිසා වර්ගයා බෝ කරන්න අවස්ථාව නැති වෙයි. එහි ප්‍රතිඵලයත් කලින් එකමයි. ඒ එක්කම, අළුත් පරම්පරාවේ වලස්සු හා මිනිස්සු පෙර පරම්පරාවට වඩා "ස්මාර්ට්" වීම නිසා මාළුන්ට ලැබුණු ඉන්ටවල් එක වැඩි කාලයක් පවතින්නේ නැහැ.

ස්වභාව ධර්මය පරිසර පද්ධති වල සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය විදිහටයි. හැබැයි ස්වභාව ධර්මයට වුනත් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. වලස්සු ඉන්නේ මේ සීමාව ඇතුළේ වුනත් මිනිස්සු ඉන්නේ ඒ සීමාවෙන් පිට වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයට ප්‍රතිචාර දක්වන්න කාලයක් නොදී ඉතා කෙටි කාලයක් තුළ පරිසර පද්ධතියකට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් මිනිස්සුන්ට තිබෙනවා. නමුත්, ඒ විදිහට මිනිස්සුන්ට දිගින් දිගටම ස්වභාව ධර්මය අභිබවා යාමේ හැකියාවක් තියෙනවද?

මේ දවස් වල පෙන්වන කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ මේ අදහස සාකච්ඡාවට බඳුන් කරනවා.

ස්වභාව ධර්මය හා මිනිසා අතර ගැටුම පිළිබඳ අදහස් විශාල පරාසයක පැතිරිලයි තියෙන්නේ. එක අන්තයක ඉන්න අය මිනිස්සු සහ මිනිස් නිර්මාණ අයින් කරලා ඉතිරි වෙන කොටස ස්වභාව ධර්මය ලෙස සලකමින් මිනිස්සු විසින් ස්වභාව ධර්මය විනාශ කිරීම ගැන කතා කරනවා. එතකොට මතුවන ප්‍රශ්නය ඇයි මිනිස්සු සහ මිනිස් නිර්මාණ පමණක් ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කියන එකයි. වඩු කුරුළු කූඩුවක් ස්වභාව ධර්මයේ කොටසක් වෙද්දී, නෙලුම් කුළුන ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කොහොමද? ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් විසින් මවපු ලෝකයේ මුලින්ම තිබුණු දේවල් ටිකද?

කණාමැදිරියෝ බලන්න ගත්තේනම් ඒක ඇතුලෙ තියෙන දාර්ශනික සංවාද නිසා නෙමෙයි. කුතුහලය තරමක් දුරට හෝ පවත්වා ගන්න පුළුවන් විදිහට කතාව ගෙනියන නිසයි. ඒ අතින් කූඹියෝ තිර රචනයට ටිකක් කිට්ටුයි.

කූඹියෝ ටෙලිනාට්‍යය වටා පෙළගැහිච්ච රසිකයෝ කොටස් දෙකක් හිටියනේ. කට්ටියක් කැමති වුණේ ඒකෙ තිබුණා කියා හිතාගෙන හිටපු දේශපාලනයට. කතාවේ තියෙන්නෙ තමන් හිතාගෙන හිටපු දේශපාලනය නෙමෙයි කියා තේරෙන කොට ඒ කට්ටිය හිමිහිට අයින් වුනා.

දෙවන කණ්ඩායම කූඹියෝ බැලුවේ එහි වේගවත් ගලා යාම හා ත්‍රිලර් ගතියට. අන්න ඒ ගතිය ටිකක් කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේත් තියෙනවා. නමුත්, කණාමැදිරියෝ බලන්න ලොකු රැල්ලක් හැදිලා නැති එකෙන් පේන්නේ කූඹියෝ වටේ වැඩිපුර ඉඳල තියෙන්නේ පළමු කණ්ඩායමේ අය බව. කූඹියෝ සහ ඒ එක්කම වාගේ විකාශනය වූ සහෝදරයා අතර සමානකම් දැක්කේ ඒ අයයි.

වේගවත් ගලා යාම කියා කියද්දී මිණිගංදෑළ මතක් වෙන එක නවත්තන්න බැහැ. අර කතාවක් තියෙනවනේ එකම ගඟ දෙවරක් දකින්න බැහැ කියලා. මුලින් උනන්දුවෙන් බලන්න පටන්ගත්ත මිණිගංදෑළ බලන එක ඒ දවස වලම නවත්තල නොදැම්මනම් ඔය කතාව පට්ට බොරුවක් බව ඔප්පු කරන්න තිබුණා. කොහොම වුනත් ඒ කාලය කණාමැදිරියෝ බලන්න ඉතිරි වුණා.

කණාමැදිරියෝ ගලාගෙන යන්නේ තාත්ත්වික සීමාවෙන් එපිට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් මැදින්. මුලින්ම හිතුනේ තිර රචකයා ප්‍රොෆෙසර් මහේන්ද්‍රගේ පැත්තේ කියලයි. කතාව තවම ඉවර නැතත්, යන විදිහට පේන්නේ මුලින් වෙන්න බැරි දේවල් වගේ පෙනුණු දේවල් වලට "විද්‍යාත්මක" පැහැදිලි කිරීම් එකින් එක එමින් තියෙන බවයි.

(Image: https://pgcpsmess.wordpress.com/tag/spawning-salmon-and-bears/)

Tuesday, February 6, 2018

කොටු පනින කයෝටි හා අවජාතක කෝයිවෘකයෝ


අපේ ගෙවල් ඉසවුවේ කරක් ගසමින් සිටි කයෝටියෙක් ගැන අසල්වැසියෙක් විසින් මාස කිහිපයකට පෙර අපේ නිවාස හිමියන්ගේ සංගමයේ වත්පොත් පිටුවේ පළ කර තිබුණු නිවේදනයක් ගැන කලින් ලිපියකින් මම කිවුවෙමි. මේ නිවේදනය පළවීමෙන් පසු ගත වූ මාස කිහිපය තුළ තවත් අය විසින්ද එවැනිම නිවේදන මේ වත්පොත් පිටුවේ පළ කළේය. මේ අනුව, රෑ ජාමයේ අපේ ගෙවල් පැත්තේ කයෝටියන් කැරකෙන බව ඉතා පැහැදිලිය.

කොහොම වුනත්, කයෝටියන් නේවාසික පෙදෙස් වල ගැවසෙන එකේ විශාල අවදානමක් නැත. කයෝටියන් මිනිසුන්ට පහර දෙන්නේ නැත. එහෙත්, කයෝටියෙකු විසින් කොයි වෙලාවක හෝ නිවසක ඇති කරන සුරතල් සතෙකුටනම් වැඩේ දෙන්නට ඉඩක් තිබේ. අනෙක් අතට, මේ කයෝටීන් යම් හෙයකින් ගෙවල් වල කුණු බක්කි වලට පුරුදු වුවහොත් එය දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් වෙයි.

ඉවත ලූ මාංශමය ආහාර කොටස් නොඅඩුව ඇති, ගෘහස්ථ කුණු දමන බක්කි සාමාන්‍යයෙන් එළියේ තියන්නේ සතියේ කුණු එකතු කරන දවසේ පමණක් වුවත් උදේ පාන්දර කුණු බක්කිය පාර අයිනට තල්ලු කරනවා වෙනුවට රෑ නින්දට යාමට පෙර එය ඒවා පාර අයිනේ ස්ථානගත කිරීම අපද ඇතුළු බොහෝ දෙනෙක් කරන දෙයකි. මෙවැනි දවසක අහම්බෙන් අපේ ගෙවල් පැත්තට එන කයෝටියෙකුට මේ කුණු බක්කි වල ඇති ආහාර ගැන ඉව වැටෙන්නටත්, පසුව එය පුරුද්දට යන්නටත් බැරිකමක් නැත. එහෙම වුනොත්, දිගුකාලීනව එය ප්‍රශ්නයකි. වත්පොත් පිටුව හරහා අපේ ඇතැම් අසල්වැසියන් මේ කරුණ ගැන අවධානය යොමු කර තිබුණේය.

පසුගිය සතියේ දිනෙකත් ඉහත වත්පොත් පිටුවේ අපේ අසල්වැසියෙකු විසින් පාන්දර ජාමයේ දුටු කයෝටියෙකු ගැන විස්තරයක් තිබුණේය. මේ නිවේදනය පළකළ තැනැත්තියට අනුව ඇය විසින් දැක තිබුණේ ශරීර ප්‍රමාණයෙන් සාමාන්‍ය කයෝටියෙකුට වඩා බොහෝ විශාල තරමක් අසාමාන්‍ය කයෝටියෙකි. මේ නිවේදනය වත්පොත් පිටුවේ පළවී දිනකට හෝ දෙකකට පසු, වෙනත් අසල්වැසියෙකු විසින් එයට ප්‍රතිචාරයක් ලෙස අපේ නගරයේ ප්‍රාදේශීය පුවත්පතක පළවූ ලිපියක සබැඳියක් පළ කර තිබුණේය.

ඉහත පුවත්පත් වාර්තාවට අනුව, අපේ නගරයේ කෝයිවෘකයින් සිටින බවට සැක පහළව තිබේ.

කෝයිවෘකයෙකු යනු කොටළුවෙකු මෙන් දෙමුහුන් සතෙකි. අශ්වයින් හා බූරුවන් අතර සංසර්ගයෙන් කොටලුවන් හැදෙන අයුරින්, වෘකයින් හා කයෝටියන් අතර සංසර්ගයෙන් කෝයිවෘකයින් බිහි වේ. කෝයිවෘකයෙකු ශරීර ප්‍රමාණයෙන් රාත්තල් සීයක් පමණ විශාල විය හැකි අතර ඔවුහු මිනිසෙකු දුටු විට කයෝටින් මෙන් සැඟව පලා නොයති. එකම පූර්වජයෙකුගෙන් පැවත එන වෘකයින් හා කයෝටියන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් ලෙස වෙන් වී වැඩි කලක් නැති නිසා තවමත් ඔවුන්ට එක්ව දරුවන් බිහිකළ හැකිය.

සාමාන්‍යයෙන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් අතර සිදුවන සංසර්ගයකින් පසු බිහිවන කොටළුවන් වැනි සතුන්ට සරු ජනිතයින් බිහි කළ නොහැකිය. එසේ වුවත්, කෝයිවෘකයින්ට ඒ හැකියාවද තිබේ.

මුල් නිවේදනයට ප්‍රතිචාරයක් ලෙස ඉහත පුවත්පත් වාර්තාව අවධානයට ලක් කිරීමෙන් පසුව මුල් සටහන දැමූ තැනැත්තිය විසින් මෙසේ ලියා තිබුණේය.

"මම දැක්කේ කෝයිවෘකයෙක් වෙන්න පුළුවන්. අපේ ප්‍රදේශයේදී වෘකයෙකු හමුවිය හැකි බව දැන නොසිටි නිසා මම හිතුවේ මා දුටුවේ ලොකු කයෝටියෙක් කියලයි!"

දින දෙක තුනකට පෙර ප්‍රාන්ත රජයේ වනජීවී නිලධාරීන් විසින් නිවේදනය කර තිබුණේ අපේ ප්‍රාන්තයේ කෝයිවෘකයින් සිටින බව තහවුරු වී නැති බවත්, එය සහතික කළ හැක්කේ ඩීඑන්ඒ පරීක්ෂණයකින් පසුව පමණක් බවත්ය. ආණ්ඩු වලින් කොහොමත් කියන්නේ ඔය වගේ කතාය.

අපේ ගෙවල් පැත්තේ කයෝටින් ගැවසෙන බව ස්ථිර වුවත්, කෝයිවෘකයින් සිටින්නේද යන්න ස්ථිර නැත. එසේ සිටින්නේනම්, මාස කිහිපයකට පෙර මා අපේ ගෙවල් ආසන්නයේ ඇති ස්වභාවික රක්ෂිතයේ දරුවකු සමඟ ඇවිදිද්දී හමු වූ අඩිසලකුණු අතර වුවද කෝයිවෘකයෙකුගේ අඩි සලකුණු තිබුණා වන්නට වුවත් බැරිකමක් නැත.

අප බොහෝ විට දකින්නේ යම් මොහොතක, යම් තැනක තිබිය හැකියැයි අප විශ්වාස කරන දේවල් පමණි. අපේ ගෙවල් පැත්තේ කෝයිවෘකයින් සිටිය හැකි බව දැන නොසිටි අසල්වැසියා ලොකු කයෝටියෙකු දැක්කේ එබැවිනි. ඒ  ඇත්තටම ලොකු කයෝටියෙකු වන්නට මෙන්ම කෝයිවෘකයෙකු වන්නටද පුළුවන.

ස්වභාවික රක්ෂිතයේ ඇවිදිද්දී හමු වූ අඩි සලකුණු කයෝටියෙකුගේ බව මගේ දරුවා විසින් හඳුනා ගත්තේ ඒ ප්‍රදේශයේ කයෝටියන් ගැවසෙන බව ඔහු දැන සිටි නිසාය. ඔහු නැතිව මා තනියම එහි ඇවිදින්නට ගියේනම් මා ඒවා හඳුනා ගන්නේ බල්ලෙකුගේ අඩි සලකුණු ලෙසිනි. එසේ වූවානම්, මේ සටහන් දෙක තුන ලියවෙන්නේ නැත.

(Image: https://www.smithsonianmag.com/smart-news/coywolves-are-taking-over-eastern-north-america-180957141/)

Saturday, August 19, 2017

ඩෙංගු ඉවරද?


පසුගිය මාස කිහිපය ලංකාවට කරදර රැසක් පැමිණි කාලයකි. සිංහල අවුරුද්ද ඉවර වෙද්දී කුණු කන්දක් කඩා වැටී විශාල පිරිසක් මිය ගියේය. ඉන් පසුව, ගං වතුර ආවේය. ගං වතුර බැස යද්දී ඩෙංගු ආවේය.

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමත් සමඟ ඩෙංගු වලට තිබුණු මාධ්‍ය අවධානය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි ඩෙංගු තර්ජනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබුණත් තවමත් උවදුර පහවී නැත.


දත්ත අනුව පෙනෙන්නේ පසුගිය වසර කිහිපය තුළම වසර මැද (ජූලි) හා වසර අග (දෙසැම්බර්) අනෙක් මාස වලදීට වඩා වැඩියෙන් ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි. එයට හේතුවක් තිබේද නැත්නම් අහම්බයක්ද යන්න ගැන මට අදහසක් නැත.

පසුගිය ජූලි මාසය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 39,822ක් වාර්තා වී ඇති අතර මෙය 2010 වසරේ සිට මසක් තුළ වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් ගණනයි. සංඛ්‍යාලේඛණ අනුව අගෝස්තු මාසය වන විට රෝගය කිසියම් දුරකට පාලනය වී තිබුණත් අගෝස්තු 11 දක්වා කාලය තුළ පමණක් තවත් ඩෙංගු රෝගීන් 10,511ක් වාර්තා වී තිබේ. ඒ නිසා, තවමත් තිබෙන්නේ ඩෙංගු ගැන අමතක කර සිටිය හැකි තත්ත්වයක් නොවේ.

පහතින් ඇත්තේ ඩෙංගු රෝගය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට හදා ඇති වත්පොත් පිටුවකි. මේ වන විට මේ පිටුව සමඟ සාමාජිකයින් තුන්දහසක් පමණ එකතු වී සිටිති.

Fight Against Dengue (ඩෙංගු පරදවමු)

සමාජ ජාලා වල අදහස් පළ කරන අය එසේ කතා කරන තරමටම මහ පොළොවේ ක්‍රියාකාරකම් සිදු නොවන බවට පොදු විවේචනයක් ඇතත්, ඩෙංගු වැළැක්වීම වෙනුවෙන් සමාජ ජාලා තුළ පෙනී සිටින අයෙකු ඒ වෙනුවෙන් මහ පොළොවේදීද කිසියම් කාර්ය භාරයක් කිරීමට වැඩි ඉඩක් තිබේ. 

මේ වත්පොත් පිටුව අදාළ අරමුණ වෙනුවෙන් පමණක් යොදාගැනීමට එහි පරිපාලකයින් සැලකිලිමත් වන බව පෙනේ. මෙවැනි කණ්ඩායමකට එකතු වීම ඉතා අඩු මහන්සියකින් කිසියම් හෝ සාධනීය දෙයකට හවුල් විය හැකි ක්‍රමයකි.

ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව වසරින් වසර එහි හානිය ඉහළ යන්නට ඉඩකඩක් තිබේ. (මේ හා අදාළ තාක්ෂණික පැහැදිලි කිරීමක් කිරීම පසුවට තබමු.) ඒ නිසා ඩෙංගු වැළැක්වීම කෙරෙහි මහජන අවධානය නිරන්තරව පවත්වාගත යුතුය. ඒ සඳහා, වසංගත තත්ත්වයක් ඇති වන තුරුම බලා සිටිය යුතු නැත.

Thursday, January 5, 2017

ඇමරිකාවේ කුරුල්ලෝ

පුළුල් පරාසයක පැතිරුණු භූ විෂමතාවන් හා කාලගුණ විෂමතාවන් සහිත විශාල රටක් වන ඇමරිකාවේ නිදැල්ලේ වෙසෙන ආවේණික හා සංක්‍රමණික කුරුල්ලන් මෙන්ම වෙනත් රටවලින් රැගෙන විත් ඇති කරන කුරුළු විශේෂ විශාල ගණනක් වාසය කරති. මේ අතරින් විවිධ පාත්තයින් වර්ග ප්‍රාන්ත බොහොමයක සුලභව දැකිය හැකිය. මේ පාත්තයින් රංචු පැද්දි පැද්දී පාර මාරුවීම ඇතැම් දිනවල දැකිය හැකි මනහර දසුනකි. පාත්තයින් කණ්ඩායම් මෙසේ පාර මාරුවී අවසන් වන තුරු රියදුරෝ සිය වාහන නවතාගෙන බලා සිටිති.

ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල නිවාස පිහිටි ප්‍රදේශ වල (residential areas) කෘතිමව සකස් කළ කුඩා පොකුණු දක්නට හැකිය. මේ පොකුණු වල බොහෝ විට පාත්තයින් හා හංසයින් පීනමින් සිටිනු දැකිය හැකිය. ඇමරිකාවේ උතුරෙන් පිහිටි ප්‍රාන්ත වල මේ දිනවල ඇත්තේ සෘණ උෂ්ණත්වයකි. මේ වෙලාවේ මගේ නිවස පිහිටි ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 12ක් හෙවත් සෙල්සියස් අංශක සෘණ 11කි. මේ කාලයට පෙර කී පොකුණු මතුපිට අයිස් තට්ටුවක් මිදී ඇති නිසා පීනන පාත්තයින් වෙනුවට දකින්නට ලැබෙන්නේ ඇවිදින පාත්තයින්ය.

පාත්තයින් වර්ග මෙන්ම ගේ කුරුළු වර්ග හා පරෙවි වර්ගද බොහෝ ප්‍රදේශ වල සිටිති. ඔවුන් බොහෝ විට දකින්නට ලැබෙන්නේ ශීත කාලය අවසන් වේගෙන එද්දීය. එමෙන්ම, උකුසු වර්ගද බොහෝ විට දැකිය හැකිය.ලෝකයේ සිටින 9800ක් පමණ වන කුරුළු විශේෂ අතරින් 12%ක් පමණම ඉදිරි සියවසක කාලය තුළ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිති.

අද (ජනවාරි 5) ඇමරිකාවේ ජාතික කුරුළු දිනයයි. සති තුනක කාලයක් පුරා පැවැත්වෙන ඇමරිකාවේ වර්ෂාවසාන කුරුළු සංගණනයේ මස්තකප්‍රාප්තිය වන්නේද මේ දිනයයි. ජනතා සහභාගිත්වයෙන් ස්වේච්ඡාවෙන් කෙරෙන මේ සංගණනය ඇමරිකාවේ මෙන්ම කැනඩාවේ හා තවත් ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවල් ගණනාවක පැවැත්වේ. පසුගිය වසරේදී ඇමරිකාවේ පමණක් ස්වේච්ඡා නිරීක්ෂකයින් 76,669ක් මේ කටයුත්තට දායක වූ අතර කුරුල්ලන් 54,531,408ක් ගණන් ගැනිණි. මේ අවුරුද්දේ සංඛ්‍යාලේඛණ තවමත් සාදා අවසන් කර නැත.

ඇමරිකාවේ කුරුල්ලන් හා කුරුළු සංගණනය ගැන:

http://www.audubon.org/

ජාතික කුරුළු දිනය ගැන:

http://www.nationalbirdday.com/

Tuesday, December 1, 2015

රත්නපුරේදී කූඩු සදන්ටා...

ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වෙනත් දිස්ත්‍රික්ක වැඩිම ගණනකට මායිම් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයයි. එය කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට මායිම් වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ සිට මේ දිස්ත්‍රික්ක බොහොමයකටම වැට පනින්නට ප්‍රධාන පාරවල් තිබුණත් නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්ක වලට වැට පැනීම ඒ තරම්ම පහසු නැත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට යා හැකි එක් ක්‍රමයක් වන්නේ කුඩවෙන් සිංහරාජයට රිංගා නෙළුව කිට්ටුවෙන් මතුවීමයි. මේ ආකාරයෙන්ම එරත්න හෝ පලාබද්දල පාරෙන් සිරීපාදය නැඟ මළුවට ගොඩ වී හෝ නොවී (මහගිරිදඹේට පහළින් හරස් මඟ හරහා) හැටන් පාරට පැන නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුල් විය හැකිය. එසේ නැත්නම්, බෙලිහුල්ඔය සිට නන්පිරියල්, නග්රැක් හරහා 'මහඑළියට' හෙවත් හෝර්ටන් තැන්නට ගොඩවූ විටද නුවරඑළිය දිස්ත්‍රික්කයේය.

යුනෙස්කෝව මඟින් ලෝක උරුමයන් ලෙස නම් කළ තැන් අටක් ලංකාවේ තිබේ. මේ අතරින් තැන් හයක් සංස්කෘතික උරුමයන්ය. අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, මහනුවර හා ගාලු කොටුව මේ තැන්ය. ඉතිරි තැන් දෙක ස්වභාවික උරුමයන්ය. ඒ හෝර්ටන්තැන්න හා නකල්ස් ප්‍රදේශය ඇතුළත් මධ්‍යම කඳුකර ප්‍රදේශය සහ සිංහරාජයයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දෙකොනක පිහිටි මේ ලෝක උරුම දෙක නොඉඳුල් වනාන්තර නැත්නම් 'වර්ජින් ෆොරස්ට්' ලෙස සැලකේ. එහෙත්, කන්‍යාවන්යයි කියන මේ දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් දිගටම කන්‍යාභාවය රැකගෙන සිටීමට ඉඩ ලැබුණේ නැත. අපේ පැරණි සභාග ආණ්ඩු වලින් මේ දෙන්නාගේම කන්‍යාභාවයන්ට කලකට ඉහතදී වැඩේ දී තිබේ.

සිරිමාවෝ බණ්ඩාරනායකගේ පළමු වාමාංශික සභාග රජයට ඉක්මණින් සමාජවාදයට යාමට හෝර්ටන් තැන්න සුද්ද කර අල වවන්නට ඕනෑ විය. ඩඩ්ලිගේ හත්හවුල් ආණ්ඩුවේ සිටි සීපීට සහ පිලිප්ට කොස්ගම තුනී ලෑලි කම්හල දුවවන්නට සිංහරාජයේ ගස් ඕනෑ විය. ඉතා ඉක්මණින්ම සුදු අලියෙකු වී පසුව වසා දැමූ මේ කම්හල විවෘත කළේ ආසියාවේ ලොකුම කම්හල ලෙස පාරම්බාමිනි. මේ වගේ වැඩ වල ඉතිහාසය අළුත් එකක් නොවේ.

ළදරු සෝවියට් දේශයේ මුල් පස් අවුරුදු සැලසුම්වල ප්‍රධාන අංගයක් වුණේ රටේ තිබුණු ස්වභාවික සම්පත් විශාල ලෙස ප්‍රයෝජනයට ගැනීමයි. ලංකාවේ ඇතැම් අය ගෙඩි පිටින් කොපි කළේ ස්වභාවික සම්පත් වලින් පිරුණු, ලෝකයේ ගොඩබිම් වලින් හයෙන් එකක් පුරා පැතිරුණු රටක් කළ දෙයකි.

සිංහරාජයේ ගස් කැපීම වසර ගණනකට පසු නවත්වන විට එහි සෑහෙන කොටසක් විනාශ වී අවසන්ය. මේ තැන් තවමත් මුල් තත්ත්වයට පත්වී නැත. පරිසර පද්ධතියක සමතුලිතතාව බිඳ දැමූ පසු එය නැවත යථා තත්ත්වයට පත්කිරීම කන්‍යාභාවය නැවත ප්‍රතිස්ථාපනය කරන තරම් පහසු නැත.

හෝර්ටන් තැන්නේ ඇත්තේ ලඳු කැලෑ සහ තණබිම් සංකලනයකි. අල වැවීම අරඹන්නට පෙර කාලයක් තිස්සේ මේ සීමාවේ සිටි දිවියන් සහ ගෝන්නුන් අතර ස්වභාවික සමතුලිතතාවයක් තිබුණේය. ගෝන්නු තණ කති. දිවියෝ ගෝන්නු කති. මේ ගහණ දෙකම සමතුලිතව පවතී.

අල වැවීම නවත්වා දැමූ පසු එළි කළ තණබිම් වල නැවත වැවුණේ එහි කලක සිට පැවති උස් තණකොළ නොවේ. ආසන්නව පිහිටි අඹේවෙල නවසීලන්ත ගොවිපලේ වවා තිබුණු 'රට තණකොළ'ය. වැඩි දියුණු කළ මේ තණකොළ වලට පැරණි තණකොළ සමඟ තරඟ කර ජයගැනීම අපහසු නැත. මේ 'අළුත්' තණකොළ වර්ගය කන විට කට සහ දිව කැපී දැනෙන මස් රසට හෝ වෙනත් හේතුවක් නිසා දැන් ගෝන්නුන්ගේ අළුත් තේරීම රට තණකොලය.

අළුත් රට තණකොළ පැරණි තණකොළ තරම් උස නොයයි. ඒ නිසා දිවියන්ට හීන් සීරුවේ ගෝනෙකුට ලංවීම පෙර මෙන් පහසු නැත. වගා සංග්‍රාමයට පින් සිදුවන්නට දැන් ගෝනුන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වී, ජීවන තත්ත්වය උසස් වී තිබේ. දිවියෝනම් වැඩිපුර බඩගින්නේය. මේ නිසා වසරක් පාසා ගෝන්ගහණය වැඩිවේ. දිවිගහණය අඩු වේ.

ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ විසි එකක් ඇතුළු පක්ෂීන් ගණනාවක් හෝර්ටන් තැන්නේ කලක සිට සිටියත් එහි කපුටන් දකින්නට හිටියේ නැත. එහෙත්, මේ පරිසර පද්ධතියට නරඹන්නන්ගෙන් ලැබෙන අනවශ්‍ය 'දායකත්වයන්' නිසා දැන් එහි කපුටෝද අඩු නැත.

කපුටා කොහොමත් අපිට හුරුපුරුදු සතෙකි. කපුටෝ නැති තැන්, නැති වෙලාවල් නැත. එහෙත්, කොහානම් එහෙම නැත. ඌ එන්නේ අවුරුදු කාලයටය. අවුරුදු ළඟ බව දන්වන්නට එන කොහා ආපහු යන්නේ කපුටාගේ කූඩුවේ ෂේප් එකේ බිත්තර දෙක තුනක්ද දමා බව ඉගෙන ගත්තේ පොඩි කාලේය. ඉන්පසු දරුපවුල නඩත්තු කිරීම කපුටාට පවරා කොහා මාරු වේ. කොහාගේ සද්දේ ආයෙමත් ඇහෙන්නේ එරබදු මල් පිපෙන කාලයටය.

ඒ දවස් වල කොළඹ 'කොළඹ කාක්කෝ' සිටියහ. එහෙත්, 'කොළඹ කොහා'ලා නොසිටියහ. වසරකට දෙකකට පෙර මා නිරීක්ෂණය කලේ අවුරුදු පසු වී මාස තුන හතරක් ගිහින් තිබුණත් ගෙන්දගම් පොළව කිට්ටුව පාත 'කොහෝ කොහෝ' අඩුවක් නැති බවයි.

එක් අතකින් සතුටුය. අනෙක් අතින් දුකය. දැන් කොහාලාත් 'දේසේ හැටියට බාසේ' ඉගෙනගෙන කපුටන් සමඟ තරඟයට කුණු හොයති.

කපුටාත් කළුය. කොහාත් කළුය. එසේනම් කපුටාගේත්, කොහාගේත් වෙනස කුමක්ද?

පළමු හිම වැටී සති කිහිපයක්ම අවසන්ය. එහෙත්, ශීත සෘතුව නිල වශයෙන් ඇරඹෙන්නට තව සති තුන හතරක් තිබේ. වසන්ත කාලය බොහෝ දුරය.

(Photo credit: http://www.deserttrails.org/birds-gallery.htm)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...