වෙබ් ලිපිනය:

Showing posts with label ඩොනල්ඩ් ට්‍රම්ප්. Show all posts
Showing posts with label ඩොනල්ඩ් ට්‍රම්ප්. Show all posts

Thursday, November 12, 2020

බයිඩන් දිනුවේ කොහොමද?



ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් බයිඩන් නිල වශයෙන් ජයග්‍රහණය කර නැතුවාක් මෙන්ම ට්‍රම්ප් පරාජය බාර අරගෙනත් නැහැ. නමුත්, සමස්තයක් විදිහට ඇමරිකානු ජනතාව වගේම ජාත්‍යන්තරයත් මේ වෙද්දී ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපති සේ පිළිගෙන අවසානයි.

වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.

මේ ක්‍රියාදාමයේ ආරම්භය මැතිවරණය නොවුණත් මැතිවරණ දිනය වැදගත්ම දිනයක්. එම දිනය වන්නේ නොවැම්බර් 2-8 අතර එළඹෙන අඟහරුවාදා දිනයයි. එය වෙනස් වන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 3 වෙනිදා. එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ආරම්භ වෙන්නේ ජනවාරි 20 වනදා. එය වෙනස් නොවන නිශ්චිත දිනයක්. මේ දින දෙක අතර දින 79-85 අතර කාලයක පරතරයක් තිබෙනවා. බල හුවමාරුව සඳහා එවැනි සාපේක්ෂව දිගු කාල පරාසයක් අවශ්‍ය ලෙස තීරණය කර තිබෙන්නේ යම් හෙයකින් ඇති විය හැකි අවුල් සියල්ල ලෙහාගෙන සුමට බල හුවමාරුවක් කර ගැනීමට ඉඩ සලසමිනුයි.

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මැතිවරණය දිනයට බොහෝ පෙරයි. මා පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේත් මහජන ඡන්දයෙන්. ප්‍රාථමික මැතිවරණ සේ හැඳින්වෙන මේ මැතිවරණ නොවැම්බර් මැතිවරණ දිනයට මාස ගණනකට පෙර සිට පැවැත්වෙනවා.

මැතිවරණ දිනයේදී බොහෝ විට ඡන්දය සලකුණු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි. ඒ නිසා, ඡන්දය ගණන් කරන්න අමුතු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක පද්ධතියෙන් පහසුවෙන් හා ඉක්මණින් වාර්තාවක් ගන්න පුළුවන්. එහෙත්, තැපැල් ඡන්ද එකින් එක පරීක්ෂා කර දත්ත පරිගණක පද්ධතියට ඇතුළු කළ යුතුයි. එය කාලය අවශ්‍ය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඕනෑම ඡන්දදායකයෙකුට තැපෑලෙන් ඡන්දය දමන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා, තැපැල් ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්.

බොහෝ ප්‍රාන්ත වල මැතිවරණ දිනයේදී තැපැල් කර මැතිවරණ දිනයෙන් පසුව ලැබෙන තැපැල් ඡන්දද වලංගු ඡන්ද සේ සැලකෙනවා. වොෂින්ටන් ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්තයක මැතිවරණ දිනයේ සිට 20 වන දින දක්වාම තැපෑලෙන් ලැබෙන, මැතිවරණ දින දින මුද්‍රාව සහිත, තැපැල් ඡන්ද ගණන් කරනු ලබනවා. ඒ නිසා, ලංකාව වැනි රටක සිටින ඇමරිකානු පුරවැසියෙකු විසින් මැතිවරණ දිනයේදී තැපැල් කර එවන ඡන්දයක් වුවත් අපතේ යන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 23 දින දක්වාම වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්ද ගොඩට අලුත් ඡන්ද එකතු වෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් හා සමාන කළ හැකි කිසියම් කවුන්ටියක හෝ එවැනි කවුන්ටි ගණනාවකින් සමන්විත ප්‍රාන්තයක අවසන් මැතිවරණ ප්‍රතිඵල නිසි බලධාරියෙකු විසින් නිශ්චිත දිනයකට පෙර සහතික කළ යුතුයි. එම දිනය අදාළ ප්‍රාන්තයේ නීතිය අනුව තීරණය වන්නක්. පෙර කතා කළ වොෂින්ටන් ප්‍රාන්තයේ කවුන්ටි හා අදාළව මේ දිනය මැතිවරණ දිනයේ සිට 21 වන දිනයයි. මේ අවුරුද්දේනම් නොවැම්බර් 24. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම දිනය මැතිවරණ දිනයේ සිට 31 වන දිනයයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 4.

කවුන්ටි වල මැතිවරණ කොමිසම් මගින් සහතික කළ ප්‍රතිඵල ප්‍රාන්ත ලේකම් වෙත ලැබුණු පසු ප්‍රාන්ත ලේකම් හෝ අදාළ වෙනත් නිසි බලධාරියෙකු විසින් එම ප්‍රතිඵල ලැයිස්තුගත කර සමස්ත ප්‍රතිඵලය පිළියෙල කර සහතික කළ යුතුයි. ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාන්තයේ ඡන්දදායකයින් වෙනුවෙන් ඡන්දය දෙන ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගත යුතුයි. මෙය කළ යුත්තේ මැතිවරණ දින සිට 38 වන දිනයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 11.

සෑම ප්‍රාන්තයක් විසින්ම අදාළ ප්‍රාන්තයේ ක්‍රමවේදය අනුව ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසුව එළැඹෙන සඳුදා දිනයේදීයි. දෙසැම්බර් 13-19 අතර යෙදෙන මේ දිනය මේ අවුරුද්දේ වැටෙන්නේ දෙසැම්බර් 14 දිනටයි. එයින් පසුව කොංග්‍රසය රැස්වී මේ ඡන්ද ගණන් කර ජනාධිපතිවරයාව තෝරා පත් කර ගන්නේ ජනවාරි 6 වන දිනයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරයාව ජනවාරි 6 දින නිල වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව දිවුරුම් දීම සිදුවන ජනවාරි 20 දක්වා දින 14ක කාලයක් තිබෙනවා. ඒ නිසා අලුතෙන් මුල් වරට පත් වෙන ජනාධිපතිවරයෙකුට වුවත්, පෙර සූදානම් වීම් සඳහා යම් අවම කාලයක් ලැබෙනවා. 

ප්‍රායෝගිකව මේ කාලය දින 14කට වඩා ගොඩක් වැඩියි. මැතිවරණයෙන් පසුව ඊළඟට පත් වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරයා කවුද කියන එක පැහැදිලි වූ වහාම බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව හා අදාළ රහස් තොරතුරු සම්බන්ධව ඔහුව (හෝ ඇයව) දැනුවත් කිරීම ඇරඹෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද නිශ්චිත ලෙස නීතියේ සඳහන්ව තිබෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිඵලයේ තිබෙන අවිනිශ්චිත ස්වභාවය  නිසා තවමත් මේ කටයුත්ත ඇරඹී නැහැ.

ඒ වගේම පත් වීමට නියමිත ජනාධිපතිවරයාටද කාර්යාල පහසුකම්, ප්‍රවාහන දීමනා ආදිය කලින් සිටම ලැබෙනවා. රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට නියමිත පුද්ගලයින්ගේ පසුබිම් තොරතුරු හැකි ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට අදාළ කාර්යාල වලට ගොස් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. ඒ නිසා, තමන්ගේ තනතුර නිල වශයෙන් භාර ගන්නා අවස්ථාව වන විට ඔවුන්ට මනා පෙර සූදානමක් තිබෙනවා. ඇමරිකාවේ සාපේක්ෂව පහළ මට්ටමේ තනතුරු හා සම්බන්ධවද මෙවැනි පෙර සූදානම් අවස්ථා තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.

මෙවර මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය බොහොමයක්ම එය කළේ ජෝ බයිඩන්ට ඇත්තටම තිබෙනවාට වඩා වාසිදායක තත්ත්වයක් ඇති බව පෙන්වමිනුයි. හොඳම උදාහරණය වන්නේ කළින්ම බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ජයග්‍රහණයයි. මෙය මුලින්ම කළේ ප්‍රංශ පුවත් සේවය විසින්. පසුව වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ඇරිසෝනා ප්‍රාන්තය රතු පාටින් පාට කළා. 

මේ මොහොත වන විට ඇරිසෝනා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 11,034 දක්වා අඩු වෙලා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 0.3%ක වෙනසක් පමණයි. ප්‍රංශ පුවත් සේවය අනුව යමින් ඇරිසෝනා ප්‍රාන්තය රතු පාට කළ සීඑන්එන් එක දැන් ඇරිසෝනා ප්‍රාන්තයේ රතු පාට අයින් කර නැවත අළු පාට කරලා. වැඩි ඡන්ද ප්‍රතිශතය 0.1% මට්ටමට අඩු වුවහොත් ඉල්ලීමක් නැතත් ඇරිසෝනා නීතිය අනුව අනිවාර්යයෙන්ම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.

දැනට ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 14,106ක් පමණයි. මෙයත් ප්‍රතිශතයක් ලෙස 0.3%ක් පමණයි. මෙම ප්‍රතිශතය 0.5%ට අඩුනම් ප්‍රාන්ත නීතිය අනුව නැවත ගණන් කරන සේ ඉල්ලීමක් කළ හැකියි. ජෝර්ජියා ඡන්ද නැවත ගණන් කෙරෙනු ඇති බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා.

විස්කොන්සින් ප්‍රාන්තය තුළ දැනට බයිඩන් ඉදිරියෙන් ඉන්නේ වැඩි ඡන්ද 20,546 කින් පමණයි. මෙය 0.6%ක ප්‍රතිශත වෙනසක්. මෙම වෙනස 1%ට අඩුනම් විස්කොන්සින් නීතිය අනුව ඡන්ද නැවත ගණන් කරන සේ ඉල්ලා සිටිය හැකියි. පළමු වටයේ අවසන් ප්‍රතිඵල ලැබුණු සැණින් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමට නියමිතයි.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් දිනාගෙන තිබෙන ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් ප්‍රාන්ත තුනම බයිඩන්ගේ ගොඩට දැමීමෙන් පසුව ඔහුගේ ප්‍රාන්ත නියෝජිතයින් ගණන 306 දක්වා ඉහළ යනවා. ට්‍රම්ප්ගේ ගොඩ 232 දක්වා පහළ බසිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුනේ මෙහි අනෙක් පැත්තයි. එවර ට්‍රම්ප් විසින් නියෝජිතයින් 322ක් දිනා ගනිද්දී හිලරි ක්ලින්ටන් විසින් නියෝජිතයින් 232ක් දිනා ගත්තා. 2016ට සාපේක්ෂව  මෙවර ප්‍රතිඵලය වෙනස් වන්නේ ට්‍රම්ප්ගේ ගොඩේ තිබුණු පෙනිසිල්වේනියා, මිචිගන්, ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්ත පහ සහ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ දෙවන දිස්ත්‍රික්කය බයිඩන්ගේ ගොඩට පැමිණීමෙනුයි.

ඇරිසෝනා (11), ජෝර්ජියා (16) හා විස්කොන්සින් (10) ප්‍රාන්ත තුනේ නියෝජිතයින් ගණන් වල එකතුව 37ක්. අලුතින් දිනාගත් නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ නියෝජිතයාවත් එකතු කළොත් 38ක්. මේ 38 දෙනා නොවන්නට බයිඩන්ට හිමි වන්නේ නියෝජිතයින් 268 දෙනෙකු පමණයි. එසේනම්, ට්‍රම්ප් විසින් නියෝජිතයින් 270 සම්පූර්ණ කර තරඟය ජය ගන්නවා. මේ අනුව, බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සේ බලපා තිබෙන්නේ ඉහත ප්‍රාන්ත තුනෙන් හා නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයි. එම ප්‍රමාණය, දැනට ගණන් කර අවසන් ඡන්ද මත පදනම්ව, නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 21,607ක්ද ඇතුළුව, 67,244ක් පමණයි. මෙම ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න වුනත් බැරිකමක් නැහැ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 150ක් පමණ වෙනවා. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගත්තේ මිලියන 12.5ක පමණ ඡන්ද ප්‍රමාණයක්. මේ අනුව, ඇමරිකාවේ ප්‍රතිඵලය සමාන කළ හැක්කේ ගෝඨාභය විසින් සජිත්ට වඩා ඡන්ද 5,650 ක් පමණක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමක් වැනි තත්ත්වයකටයි. එවැනි තත්ත්වයක් ඇති වුනානම් සජිත් එකවර පරාජය භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. 

ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන ප්‍රශ්නයට ප්‍රතිචාරයක් සේ මේ කරුණු ලිවුවේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලින් පෙන්වන පරිදි ඇමරිකාවේ මහා විශාල පෙරළියක් සිදු වුනේ හෝ බයිඩන් රැල්ලක් හමා ගියේ නැති බව පෙන්වන්නයි. අවසාන ප්‍රතිඵලය ලැබෙන විට නියෝජිතයින් ගණන අනුව බයිඩන් කොපමණ ඉදිරියෙන් සිටියේ වුවත්, ඔහුගේ දිනුම කෙස් ගහෙන් ලබන ජයක්. මේ කරුණ ඉතා වැදගත් කරුණක් වන්නේ කොංග්‍රසයේ බල තුලනය, එම බලතුලනය දෙවසරකට වරක් මාරු වීම හා කෝවිඩ්-19 වසංගතයේ බලපෑම අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තුරුවත් තිබිය හැකි වීම ආදී අවශේෂ කරුණුද සැලකිල්ලට ගත් විටයි.

ඒ වගේම, ඇමරිකාවේ මෙවැනි රැළි හමා යාම සාමාන්‍ය දෙයක් නොවන බවත් කිව යුතුයි. බොහෝ විට එවැනි තත්ත්වයන් මවා පෙන්වන්නේ මාධ්‍ය විසින්. දැන් බයිඩන් රැල්ලක් නැතුවාක් මෙන්ම, වසර හතරකට පෙර, 2016දී ට්‍රම්ප් රැල්ලක් තිබුණේත් නැහැ. එවර ට්‍රම්ප් ජයග්‍රහණය කළේත් මේ වගේම කෙස් ගහෙන්. ට්‍රම්ප් විසින් සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් ජයග්‍රහණය කළ හා මෙවර බයිඩන් විසින් ට්‍රම්ප්ගෙන් ආපසු ලබාගත්, මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ හිලරි ක්ලින්ටන්. එමෙන්ම ඇය සමස්තයක් ලෙස ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 2.8ක් ඉක්මවා ලබාගත්තා.


මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත තුනෙන් ට්‍රම්ප් විසින් ලබා ගත්තේ වැඩි ඡන්ද 77,744ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රාන්ත නියෝජිතයින් 46 දෙනෙකුගේ ඡන්ද ලැබුනා. එම ඡන්ද නොවන්නට සමස්තයක් ලෙස ට්‍රම්ප්ට ලැබිය හැකිව තිබුණේ නියෝජිතයින් 260 දෙනෙකුගේ ඡන්ද පමණයි. එසේ වූවානම් නියෝජිතයින් 278 දෙනෙකුගේ සහයෝගය ලැබූ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ 45වන ජනාධිපතිවරයා (ජනාධිපතිවරිය) වගේම එම ධුරයට පත් වූ පළමු කාන්තාව විය හැකිව තිබුණා. ඉතිහාසය වෙනස් කළේ ඉහත කී 77,744ක "සුළු" ඡන්ද ප්‍රමාණයයි. මේ අයුරින්ම මෙවර ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙන්නේ ඡන්ද 67,283ක් හෝ ආසන්න ප්‍රමාණයක්. 

මෙවර බයිඩන් දිනුවේ කෙස් ගහෙන් බව මා මුලින් පැහැදිලි කළා. දැන් මා පැහැදිලි කර තිබෙන පරිදි මේ විදිහට කෙස් ගහෙන් දිනා ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු පත් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ට්‍රම්ප් දිනුවේත් ඔය විදිහටමයි. ඡන්දදායකයින්ගේ හැසිරීමේ ඔය වගේ පොඩි වෙනසක් වෙන්න මහා ලොකු හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මීටත් වඩා ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකින්, කෙස් ගහකින් ඉරපු රීප්පයක් වැනි ඡන්ද 537ක ප්‍රමාණයකින්, ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී වුනු අවස්ථාද තිබෙනවා.

ලිපිය දිග වැඩි වන නිසා ඉතිරි කරුණු ඉදිරි ලිපියකින් කතා කරමු.


(Image: https://commons.wikimedia.org/wiki/File:Vice_President_Biden_visit_to_New_Zealand,_July_20-21,_2016_(27824840164).jpg)


Saturday, November 7, 2020

ජෝ බයිඩන්- ඇමරිකාවේ මීළඟ ජනාධිපති


මේ වෙද්දී සියළුම ප්‍රධාන මාධ්‍ය විසින් ඔවුන්ගේ පුරෝකථන අනුව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා. එක් එක් මාධ්‍ය ආයතනය විසින් ඔවුන්ගේ විශ්ලේෂණ අනුව මේ වන විට තහවුරු කර ඇති බයිඩන්ගේ නියෝජිතයින් ගණන 273, 279, 284, 290 ආදී ලෙස වෙනස් වුනත් එම ප්‍රමාණය 270 ඉක්මවන බවට පොදු එකඟත්වයක් ඇති වී අවසන්. රිපබ්ලිකන් පක්ෂය බලය හොබවන අපේ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ලොක්කන්නම් ඔවුන්ගේ ජය සැමරුම් සාදය ඊටත් කලින්ම සංවිධානය කළා. කෙසේ වුවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවමත් පරාජය භාර ගෙන නැහැ.

මාධ්‍ය ආයතන විසින් මේ වන තුරුත් උතුරු කැරොලයිනා, ජෝර්ජියා හා ඇලස්කා ප්‍රාන්ත කිසිදු අපේක්ෂයෙකුට ලියා දී නැහැ. ඇරිසෝනා හා නෙවාඩා වල තරඟය ඇතැම් මාධ්‍ය ආයතන වලට අනුව තීන්දු වී අවසන් වුවත් තවත් ඒවාට අනුව තවමත් විවෘතයි. අවසන් ප්‍රතිඵලය තීන්දු වීමට හේතු වූයේ පෙනිසිල්වේනියා ප්‍රතිඵලය පිළිබඳ විවිධ විශ්ලේෂකයින්ගේ පොදු අවසන් නිගමනයයි. එහෙත්, මා පෙර ලිපියේ විස්තර කළ පරිදි, මාධ්‍ය වල පෙන්වන්නේ අවසන් නිල ප්‍රතිඵල නෙමෙයි. කලින්ම අවසන් ප්‍රතිඵලය නිශ්චය කෙරුණු කැලිෆෝර්නියා ප්‍රාන්තයේත් තවමත් ගණන් කර අවසන්ව තිබෙන්නේ 82%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇමරිකාවේ මැකෝ කෙනෙක් නැද්ද? සෙන්නා සහ තවත් අයෙක් මේ ප්‍රශ්නය අසා තිබුණා. පෙර ලිපියේ ප්‍රතිචාර කොටසේ ලියූ පරිදි, තනි මැකෝ කෙනෙක් අවශ්‍ය වෙන්න ඇමරිකාව කියා කියන්නේ ලංකාව වැනි ඒකීය රටක් නෙමෙයි. ජාතික මැතිවරණයක් කියා කිවුවත් මේ පැවැත්වුනේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ විශාල ප්‍රමාණයක්. එම මැතිවරණ පැවැත්වෙන්නේ අදාළ ප්‍රාන්ත වල නීති අනුව. හැම ප්‍රාන්තයකම මැකෝ කෙනෙක් (තනතුරේ නම කුමක් වුවත් නිසි බලධාරියෙක්) ඉන්නවා. ඔවුන්ට නිල ප්‍රතිඵල ලබා දෙන්න යම් නිශ්චිත දිනයක් තිබෙනවා. එය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා.

උදාහරණයක් විදිහට දැනටත් ප්‍රතිඵල අවිනිශ්චිතව තිබෙන ජෝර්ජියා ප්‍රාන්තයේ නීතිය අනුව මැතිවරණ දිනට පසු දින සිට එළඹෙන දාහත්වන දින පස්වරු 5ට පෙර (මේ අවුරුද්දේනම් නොවැම්බර් 20) ප්‍රාන්ත ලේකම් විසින් මැතිවරණ ප්‍රතිඵල සහතික කර ප්‍රාන්ත අධිපති (ගවනර්) වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නෙවාඩා ප්‍රාන්තයේ නීතිය අනුව ප්‍රතිඵල ලබා දිය යුත්තේ ඡන්දය පැවැත්වූ දිනයෙන් පසු එළඹෙන සිවුවන අඟහරුවාදා. මේ අවුරුද්දේනම් දෙසැම්බර් පළමුවැනිදා.

ලංකාවේ මෙන් ඇමරිකාවේ මැතිවරණය පැවැත්වුණු වහාම බල හුවමාරුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඇත්තම ඡන්දය තිබෙන්නේ ජනවාරි 6 වෙනිදා. ජනාධිපති දිවුරුම් දෙන්නේ ජනවාරි 20 දවල් 12ට. මේ හැම දෙයක්ම සිදු වෙන නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙළ හදා තිබෙන්නේ අවශ්‍ය වැඩේ හරියට කරන්න අවශ්‍ය වන කාල පරතර සහිතවයි.

උදාහරණයක් විදිහට මැද පෙරදිග හමුදා කඳවුරක සේවය කරන සෙබලෙකුගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ඇමරිකාවේ අදාළ ප්‍රාන්තයට හා ප්‍රාන්තයේ නිශ්චිත කවුන්ටියට එන්න සති කිහිපයක් ගත වෙනවා. එවැනි ඡන්ද වල ප්‍රතිඵලය එකතු කරන තුරු නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. මා කියන්නේ මේ අවුරුද්ද ගැන පමණක් නෙමෙයි. ඕනෑම අවුරුද්දක තත්ත්වය එයයි.

නමුත්, මාධ්‍ය වලට හා මාධ්‍ය ප්‍රේක්ෂකයින්ට ඒ තරම් කල් බලා ඉන්න බැහැ. ඔවුන්ට මැතිවරණ ප්‍රතිඵල දැනගන්න විශාල හදිස්සියක් තිබෙනවා. ඒ නිසා, සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් වූ පසු ඔවුන් ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව ජයග්‍රාහකයින්ව නිවේදනය කරනවා. සාමාන්‍ය අවුරුද්දකදී පසු වී ලැබෙන ඡන්ද සුළු ප්‍රමාණයක් නිසා මේ ප්‍රතිඵලය සමස්තයක් ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, මාධ්‍ය ආයතනයකට ඔවුන්ගේ විශ්ලේෂන මත පදනම්ව අවසන් ප්‍රතිඵලය ඉතා ඉක්මණින් නිවේදනය කළ හැකියි. එහෙත්, 2000 වසරේදී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවුනාක් මෙන්, අවසන් මැතිවරණ ප්‍රතිඵලය අවසන් ඡන්දය ගණන් කරන තුරුම අවිනිශ්චිත වන අවස්ථා තියෙන්න පුළුවන්. මෙවර ප්‍රාන්ත ගණනාවකම එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම ජයග්‍රාහකයා කවුද කියා ඇස්තමේන්තු කර නිවේදනය කළ පසු මිනිස්සු එය පිළි ගන්නවා. අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බොහෝ විට පරාජය පිළිගන්නවා. එයින් පසුව ජයග්‍රහකයා තමන්ගේ ජයග්‍රහණයේ කතාව පවත්වනවා. නමුත්, මේ කිසිවක් සිදු වන්නේ නිල වශයෙන් නෙමෙයි. නිල වශයෙන් ජනාධිපතිවරයා තේරෙන්නේ ජනවාරි මාසයේදී.

දැනට ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් අවසන් ප්‍රතිඵලය නිගමනය කර නැති ප්‍රාන්ත අතරින් ඇලස්කා ප්‍රාන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජයගනු ඇති බව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවා පොදුවේ පිළිගන්නා දෙයක්. මගේ ඇස්තමේන්තුව අනුව 95%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලස්කා ප්‍රාන්තය ජය ගැනීමටයි. අවිනිශ්චිතතාවයක් තිබෙන්නේ ඉතා සුළු පරතරයක් තිබෙන ඉතිරි ප්‍රාන්ත පහ හා අදාළවයි.

ඇලස්කා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.elections.alaska.gov/results/20GENR/Map/

උතුරු කැරොලයිනා ප්‍රාන්තය තුළ මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 76,515කින් ඉදිරියෙන් සිටිනවා. ගණන් කරන්නට ඉතිරි වී තිබෙන ඡන්ද ප්‍රමාණය 99,000කට වඩා අඩු ප්‍රමාණයක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, සෛද්ධාන්තිකව ජෝ බයිඩන්ට උතුරු කැරොලයිනාව ජය ගැනීමට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත්, ප්‍රායෝගිකව එම ඉඩ ඉතාම කුඩා ඉඩක්. 

ඉහත කී ඉතිරිව ඇති ඡන්ද ප්‍රමාණය යනු මේ වන තුරු ආපසු ලැබී නැති තැපැල් ඡන්දයි. මේ ඇතැම් තැපැල් ඡන්ද ලබාගත් අය තැපැල් ඡන්දය භාවිතා නොකර ඡන්ද මධ්‍යස්ථානකදී තමන්ගේ ඡන්දය දමා තිබෙන්නට පුළුවන්. තවත් අය ඡන්දය දමා නොතිබෙන්න පුළුවන්. තවත් අය ඡන්ද පත්‍රිකාව මැතිවරණ දිනයෙන් පසුව තැපැල් කර තිබෙන්නට පුළුවන්. 

මැතිවරණ දිනයේදී හෝ ඊට පෙර තැපැල් කර තැපැල් කන්තෝරු දින මුද්‍රාව වැදී පසුව ලැබෙන ඡන්ද ගණන් කර අවසන් කිරීම සඳහා කවුන්ටි මැතිවරණ මණ්ඩල වලට නොවැම්බර් 13 දක්වා කාලය හිමි වෙනවා. මැතිවරණ දින තැපැල් කරනු ලැබ, නොවැම්බර් 12 දින පස්වරු 5 දක්වා ලැබෙන උතුරු කැරොලයිනා ඡන්ද පත්‍රිකා වලංගු ඡන්ද සේ සැලකෙනවා. 

මෙසේ තැපෑලෙන් එන ඡන්ද සඳහා බලා සිටිය යුතු සහන කාලය පෙර මැතිවරණ වලදී දින තුනක් වුවත් ප්‍රාන්තයේ මැතිවරණ කොමිසම විසින් කෝවිඩ් වසංගතය නිසා එම කාලය දින නවයක් දක්වා දිගු කළා. මේ තීරණයට එරෙහිව රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත තීරණය අනුමත කළා.  

මේ අනුව උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ අවසන් ප්‍රතිඵලය දැනගැනීම සඳහා ඉදිරි සතිය තුළ තැපෑලෙන් පැමිණීමට ඉඩ තිබෙන ඡන්ද පත්‍රිකා ගණන් කර අවසන් වන තුරු බලා ඉන්න වෙනවා. 

උතුරු කැරොලිනා මැතිවරණ මණ්ඩලය විසින් අවසන් වරට යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර තිබෙන නිල නොවන සමස්ත ප්‍රතිඵලය පහත සබැඳියෙන් බලා ගන්න පුළුවන්.

උතුරු කැරොලයිනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://er.ncsbe.gov/?election_dt=11/03/2020&county_id=0&office=FED&contest=1373

ඉහත කී ලැබෙන්නට ඉඩ තිබෙන ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත ආපසු නොලැබෙනු ඇති බව හා එසේ ලැබෙන ඡන්ද පත්‍රිකා වලින් යම් කොටසක් වලංගු ඡන්ද නොවිය හැකි බව පැහැදිලි කරුණක්. අලුතෙන් එකතු වන සමස්ත ඡන්ද ප්‍රමාණය 76,515 ඉක්මවූවේ නැත්නම් ජෝ බයිඩන්ට කෙසේවත් උතුරු කැරොලයිනා ප්‍රාන්තය ජයගන්න බැහැ. ඒ සඳහා ඊට වඩා වැඩි වලංගු ඡන්ද ප්‍රමාණයක් අලුතෙන් එකතු විය යුතුයි. එහෙත්, එසේ අලුතෙන් එකතු වන ඡන්ද සියල්ලම ජෝ බයිඩන් විසින් ලබා ගනු ඇතැයි හිතන්න බැහැ. ඒ නිසා, මගේ ඇස්තමේන්තුව අනුව 90%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කැරොලිනා ප්‍රාන්තය ජය ගැනීමටයි. 

දැනට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්ථිර ලෙස හිමි වී ඇති සේ සැලකෙන නියෝජිතයින් ගණන 214ක් පමණයි. එම ගණනට ඇලස්කා හා උතුරු කැරොලයිනා නියෝජිතයින් එකතු කළොත් ට්‍රම්ප්ගේ නියෝජිතයින් ගණන 232 දක්වා ඉහළ යනවා. එසේ වුවත්, ඔහුට 270 සීමාවට යාම සඳහා තවත් නියෝජිතයින් 38 දෙනෙකුගේ අඩුවක් තිබෙනවා.

මේ වන විට ජෝර්ජියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියත්, ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 7,248ක් පමණයි. තවමත් ගණන් කරන්නට ඉතිරි වී තිබෙන්නේ රටින් පිට සිට ඡන්දය භාවිතා කළ අයගේ හා හමුදා සේවයේ යෙදී සිටි 8,400 දෙනෙකුගේ ඡන්ද හා "ද්වීතියික ඡන්ද" 14,200ක් පමණයි. ද්වීතියික ඡන්ද සියල්ලම වලංගු ඡන්ද නෙමෙයි. හමුදා සාමාජිකයින්ගේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ට්‍රම්ප්ට ලැබෙන්නට ඉඩ තිබෙන නමුත් ද්වීතියික ඡන්ද අපේක්ෂකයින් දෙදෙනාගෙන් කාට වුනත් ලැබෙන්න පුළුවන්. පරතරය ඉතා අඩු වුවත්, මගේ ඇස්තමේන්තුව අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම පරතරය පියවා ගැනීමට මේ වන විට ඉතිරිව තිබෙන්නේ 20%කට වඩා අඩු ඉඩක්. 80%ක්ම ඉඩ තිබෙන්නේ ජෝර්ජියා ප්‍රාන්තය ජෝ බයිඩන්ට හිමි වීමටයි.

ජෝර්ජියා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.enr.clarityelections.com/GA/105369/web.264614/#/summary

ඇතැම් මාධ්‍ය ආයතන විසින් කළින්ම ජෝ බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ප්‍රාන්තයේ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය මේ වන විට 20,573 දක්වා ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර තවත් ඡන්ද 92,000 දක්වා ප්‍රමාණයක් ගණන් කිරීමට තිබෙනවා. මේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබී ඉහත පරතරය අඩු වෙන්නට ඉඩක් තිබුණත්, පරතරය පියැවී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රාහකයා වෙන්නනම් අවම වශයෙන් ඉතිරි ඡන්ද වලින් 60%කට වඩා ඔහුට ලැබිය යුතුයි. මේ ඡන්ද ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂය ඉදිරියෙන් සිටින කවුන්ටි වල නිසා එය සිදු විය නොහැක්කක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව අනුව තවමත් ඇරිසෝනා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමේ ඉඩක් ට්‍රම්ප්ට ඉතිරිව තිබෙනවා. අපි කියමු 20%ක පමණ ඉඩක් කියා. 

ඇරිසෝනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.arizona.vote/#/featured/18/0

නෙවාඩා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ වැඩි ඡන්ද 25,699කින් පමණක් වුවත්, මෙම පරතරය වැඩි වෙන්නට මිස අඩු වෙන්නට ඉඩක් මට පෙනෙන්නේ නැහැ. නෙවාඩා ප්‍රාන්තයේ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කරන්නට ඉතිරි වී ඇතත් එම ඡන්ද ගණන් කර අවසන් වෙද්දී ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද තවත් වැඩි වන්නට මිස අඩු වන්නට ඉඩක් නැහැ. මේ අනුව, සෛද්ධාන්තිකව ට්‍රම්ප්ට නෙවාඩා ප්‍රාන්තය ජයග්‍රහණය කළ හැකි වුවත් ප්‍රායෝගිකව ඒ සඳහා තිබෙන්නේ ඉතාම අඩු ඉඩක්. දැනට තිබෙන තොරතුරු මත පදනම්ව කෙරෙන මගේ ඇස්තමේන්තුව අනුව මේ ඉඩත් 20%කට වඩා අඩුයි.

නෙවාඩා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://silverstateelection.nv.gov/

ඇරිසෝනා, නෙවාඩා හා ජෝර්ජියා ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගැනීමට තිබෙන්නේ බොහෝ අඩු ඉඩක්. යම් හෙයකින් මේ ප්‍රාන්ත තුනම ඔහු ජය ගත්තත්, ඔහුගේ නියෝජිතයින් ගොඩට එකතු වන්නේ නියෝජිතයින් 33 දෙනෙකු පමණයි. එවිටද ඔහුගේ එකතුව 265ක් පමණයි. ජයග්‍රහණය සඳහා අවම වශයෙන් නියෝජිතයින් 270ක් අවශ්‍යයි.

නියෝජිතයින් 20 දෙනෙකු සිටින පෙනිසිල්වේනියාව දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ මේ හේතුව නිසයි. අවම වශයෙන් නියෝජිතයින් 253 දෙනෙකු හිමි කරගෙන සිටි බයිඩන්ගේ ගොඩට පෙනිසිල්වේනියා නියෝජිතයින් 20 එකතු වූ වහාම, ඉතිරි අවිනිශ්චිත ප්‍රාන්ත වල තත්ත්වය කෙසේ වුවත්, බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. ට්‍රම්ප්ට ජයග්‍රහණය සඳහා තිබෙන ඉඩකඩ ඇහිරෙනවා.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහකයා ජෝ බයිඩන් බව මේ වෙද්දී සියලුම ප්‍රධාන ජනමාධ්‍ය විසින් තහවුරු කර තිබෙන අතර ඒ සමඟම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ජයග්‍රහණය සමරමින් සිටිනවා. මේ වන විට පෙනිසිල්වේනියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 34,458 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ තවත් ඡන්ද 76,498ක් පමණයි. මේ ඡන්ද තැපැල් ඡන්ද. මෙතෙක් රටාව අනුව තැපැල් ඡන්ද වලින් 75%ක් පමණම ලැබුනේ ජෝ බයිඩන්ට නිසා ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මෙම වැඩි ඡන්ද ප්‍රමාණය 50,000 පමණ මට්ටමක් දක්වා තවත් ඉහළ යාමට ඉඩ තිබෙනවා. 

මේ වන විට පවතින තත්ත්වය අනුව, නීතිමය බාධාවක් ඇති නොවුනහොත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩන්ට හිමි වීමටත්, ඒ අනුව ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ජෝ බයිඩන් වීමටත් තිබෙන සම්භාවිතාව 100%ක් කියා සෛද්ධාන්තික හේතු මත කියන්න පුළුවන්කමක් නැතත් 99%කට වඩා වැඩි බව කියන්න පුළුවන්. එහෙත්, නඩු තීන්දු මත මේ තත්ත්වයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.electionreturns.pa.gov/

දැන් තත්ත්වය අනුව පෙනෙන්නේ 306: 232 ලෙස නියෝජිතයින් බෙදීයාමට වැඩි ඉඩක් තිබෙන බවයි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සමරන්න බලා සිටි අයට දැන් එය සැමරිය හැකියි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බලාගෙන සිටි අයට දැන් තිබෙන්නේ දුක සමරන්නයි. දෙගොල්ලන්ටම චියර්ස්!


Friday, November 6, 2020

ඇමරිකාවේ මොකද වෙන්නේ?


මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ ඇමරිකාව දිහා. ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයක් තවමත් නිකුත් වෙලා නැහැ. ඇමරිකාවේ මොකද වෙන්නේ?

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ පසුගිය නොවැම්බර් 3 වන දින හා ඊට පෙර පැවැත්වුණු, තවමත් පවත්වා ඉවර නැති, ඡන්ද වලින් ඇමරිකාවේ ජනාධිපතිවරයාව නිශ්චිත ලෙස තෝරා පත් කර ගැනෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වනදා. දෙසැම්බර් 14 දින ලබා දෙන ඡන්ද ගණන් කර ජයග්‍රාහකයා තීරණය කරන්නේ ජනවාරි 6 වනදා.

ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා 538 දෙනෙකු ඡන්දය භාවිතා කරනවා. එසේ ඡන්දය භාවිතා කරන්නේ එක් එක් ප්‍රාන්තයේ නියෝජිතයින් ලෙසයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන නියෝජිතයින් ප්‍රමාණය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තයට නියෝජිතයින් 55 දෙනෙකු හිමි වන නමුත් මොන්ටානා, වයෝමින්, උතුරු ඩකෝටා, දකුණු ඩකෝටා, ඇලස්කා, ඩෙලවෙයා වැනි ප්‍රාන්ත වලට හිමි වන්නේ නියෝජිතයින් 3 දෙනෙකු බැගින් පමණයි. වොෂින්ටන් ඩීසී අගනුවර නියෝජනය කරමින්ද නියෝජිතයින් 3 දෙනෙකුට ඡන්දය භාවිතා කළ හැකියි.

එක් එක් ප්‍රාන්තය නියෝජනය කරන නියෝජිතයින් විසින් ඡන්දය භාවිතා කළ යුතු ආකාරය තීරණය වෙන්නේ අදාළ ප්‍රාන්තයේ නීතිය අනුවයි. ප්‍රාන්ත දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත විසින් දැනට කරන්නේ තමන්ගේ ප්‍රාන්තයේ ඡන්දදායකයින් වැඩිම පිරිසකගේ සහයෝගය ලබන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රාන්තයට හිමි ඡන්ද සියල්ල ලබා දීමයි. ප්‍රාන්ත දෙකක් පමණක් මිශ්‍ර ක්‍රමයක් අනුගමනය කරනවා.

නොවැම්බර් 3 වන දින පැවැත්වුණේ තනි මැතිවරණයක් නෙමෙයි. වොෂින්ටන් ඩීසී අගනුවරද ඇතුළුව එක් එක් ප්‍රාන්තයේ මැතිවරණ නීතිය අනුව පැවැත්වුණු මැතිවරණ 51ක්. මේ මැතිවරණ වල ප්‍රතිඵල අනුව, එක් එක් ප්‍රාන්තයට තමන්ට හිමි නියෝජිතයින් ප්‍රමාණය තෝරා ගන්නා ආකාරය තීරණය කරන්නට දෙසැම්බර් 8 දක්වා කල් තිබෙනවා. මෙය කරන්නේ නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් ප්‍රාන්තයක නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ දිනයේ සිට සති දෙකක පමණ සිට මාසයක් පමණ දක්වා කාලයක් ගත වෙනවා. ලංකාවේ මෙන් මැතිවරණයට පසු දින නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් කරන්නේ නැහැ.

මේ වන විට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වන මැතිවරණ ප්‍රතිඵල කිසිවක් නිල ප්‍රතිඵල නෙමෙයි. අදාළ මාධ්‍ය වල විශ්ලේෂකයින් විසින් පිළියෙල කර තිබෙන අපේක්ෂිත ප්‍රතිඵල. මේ අපේක්ෂිත ප්‍රතිඵල වැරදෙන්න විශාල ඉඩක් නැතත් එවැන්නක් සිදු වෙන්න බැරිකමක් නැහැ.

විවිධ මාධ්‍ය ආයතන වලට සම්බන්ධ හා වෙනත් ස්වාධීන විශ්ලේෂකයින් විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කරන මැතිවරණ ප්‍රතිඵල බොහෝ විට සමාන වුවත් හැම විටම එසේ වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයේ විශ්ලේෂකයින් විසින් ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණය කලින්ම ජෝ බයිඩන්ට ලියා දී ඇති නමුත් අනෙක් විශ්ලේෂකයින් හැම දෙනෙකුම මෙන් තවමත් එම ප්‍රාන්තය සලකන්නේ අවසන් ප්‍රතිඵලය ස්ථිර ලෙස තීරණය නොවූ ප්‍රාන්තයක් ලෙසයි.

බොහෝ විශ්ලේෂලකයින්ට අනුව, මේ වන විට ප්‍රාන්ත හයක හැර අනෙකුත් ප්‍රාන්ත වල ප්‍රතිඵලය තීරණය වී අවසන්. ඒ අනුව, ඔවුන් එම ප්‍රාන්ත රතු, නිල් හෝ මිශ්‍ර පැහැයකින් පාට කර තිබෙනවා. එහෙත්, එසේ කර තිබෙන්නේ ඡන්ද ගණන් කර අවසන්ව ඇති නිසා නෙමෙයි. 

උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයට අනුබද්ධ විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු අනුව, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 77.6%ක්. එම ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණයෙන් 65.08%ක් ජෝ බයිඩන් විසිනුත්, 33.04%ක් ට්‍රම්ප් විසිනුත් ලබා ගෙන තිබෙනවා. ප්‍රංශ පුවත් සේවයේ වගේම අනෙකුත් විශ්ලේෂකයන්ගේ නිගමනය අනුව, ඉතිරි ඡන්ද ප්‍රමාණය ගණන් කිරීමෙන් පසුව කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු ඉඩක් ඉතිරි වී නැහැ. මේ අයුරින්ම මේරිලන්ඩ් ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය 74.28%ක් පමණක් වුවත්, එම ඡන්ද ප්‍රමාණයෙන් 62.47%ක්ම ලබා ගෙන තිබෙන්නේ ජෝ බයිඩන් විසින් නිසා ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු අවස්ථාවක් නැහැ. 

කැලිෆෝර්නියා හා මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත හා අදාළව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණෙන්න අසීරු නැහැ. එහෙත්, ඇරිසෝනා ප්‍රාන්තය වැනි ප්‍රාන්තයක් සම්බන්ධව එවැනි නිගමනයකට පැමිණෙන්න අමාරුයි. මේ වෙද්දී, ප්‍රංශ පුවත් සේවයේ ඇස්තමේන්තු අනුවම ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්ද වලින් ගණන් කර අවසන්ව ඇත්තේ 92.81%ක් පමණයි. එම ඡන්ද වලින් 50.07ක් බයිඩන් විසින් ලබා ගෙන ඇතත්, ට්‍රම්ප් විසින්ද 48.53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මක පරතරය ඡන්ද 47,052ක් පමණයි. ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මේ ප්‍රතිඵලයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, අනෙකුත් විශ්ලේෂකයින් විසින් තවමත් ඇරිසෝනා නියෝජනය කිසිදු අපේක්ෂකයෙකුට ලියා දී නැහැ.

හැම ප්‍රසිද්ධ මාධ්‍යයක්ම වාගේ බයිඩන් දිනන බව පැහැදිලිව පෙනෙන්නට ඇති ප්‍රාන්ත කළින්ම නිල් පාටින් ලකුණු කරන්න හදිස්සි වී ඇතත්, ට්‍රම්ප් දිනන බව පැහැදිලිව පෙනෙන ප්‍රාන්ත රතු පාටින් ලකුණු කරන්නට එසේ හදිසි වී නැහැ. උදාහරණයක් ලෙස මේ වන විට ට්‍රම්ප් විසින් 62.11%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබෙන ඇලස්කා ප්‍රාන්තය කිසිදු විශ්ලේෂකයෙකු විසින් තවමත් රතු පාටින් පාට කර නැහැ.

කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නැති තරම් කියා කියන්න පුළුවන්. අවිනිශ්චිත ප්‍රාන්ත සියල්ල අත හැරීමෙන් පසුව දැනට බයිඩන්ට 253ක නියෝජනයක් හිමිව තිබෙනවා. ජයග්‍රහණය සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ නියෝජිතයින් 17 දෙනෙකු පමණයි.

මේ සඳහා පහසුම මාර්ගය පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමයි. ඒ සමඟම, අනෙක් ප්‍රාන්ත වල තත්ත්වය කුමක් වුවත්, බයිඩන්ගේ නියෝජිතයින් ප්‍රමාණය 273 දක්වා ඉහළ ගොස් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. මේ වන විට තත්ත්වය අනුව පෙනිසිල්වේනියා ප්‍රාන්තයෙන් ජෝ බයිඩන් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 5,587ක් පමණක් වුවත්, එම ප්‍රාන්තයේ ගණන් කිරීමට ඉතිරිව තිබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක්ද ලැබෙන්නට ඉඩ තිබෙන්නේ ජෝ බයිඩන්ටයි. 

ඇලස්කා හා උතුරු කැරොලයිනා ප්‍රාන්ත ජයගන්නට ඉඩ තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව පෙනෙන්නට තිබෙන අතර බයිඩන් දැනට ඉදිරියෙන් සිටින ජෝර්ජියා, නෙවාඩා හා ඇරිසෝනා ප්‍රාන්ත හා අදාළවද තවමත් අවිනිශ්චිත බවක් තිබෙනවා. එහෙත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය නොකර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ අනුව, ට්‍රම්ප්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වෙන්නට ආසන්නයි.


Wednesday, November 4, 2020

මැතිවරණයෙන් පසු...


ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා කවුද කියන එක මේ මොහොත වන තුරුත් නිශ්චිත ලෙස තීරණය වී නැහැ. බොහෝ දුරට ජයග්‍රාහකයා වනු ඇත්තේ ජෝ බයිඩන්. ජනාධිපතිවරණය කියා කිවුවත් මෙහිදී වෙන්නේ ජනාධිපතිවරයාව තෝරා ගැනීමේ බලය තිබෙන නියෝජිතයින් 538 දෙනෙකු තෝරා පත් කර ගැනීමයි. ජයග්‍රාහකයා වෙන්නනම් එයින් නියෝජිතයින් 270 දෙනෙකුගේ ඡන්ද ලබාගත යුතුයි. 

විවිධ රූපවහිනී නාලිකා වලින් පෙන්වන්නේ එම නාලිකා වල ඇස්තමේන්තු මිස නිල ප්‍රතිඵල නෙමෙයි. ඒවා එකිනෙකින් වෙනස් වන්නේ ඒ නිසයි. දැනට ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණ අනුව මේ ප්‍රතිඵල නිවැරදි වෙන්න විශාල ඉඩක් තිබුණත් එසේ නොවෙන්නත් පුළුවන්. 

දැනට තිබෙන තත්ත්වය අනුව හා මා ඇස්තමේන්තු කරන ආකාරය අනුව වඩාත්ම ඉඩ තිබෙන්නේ බයිඩන්ට නියෝජිතයින් 270ක් හා ට්‍රම්ප්ට නියෝජිතයින් 268 ලෙස නියෝජිතයින් බෙදී යන්නයි. එසේ වුවහොත් එය කෙස් ගහෙන් කඩඉම පැන ලබන ජයග්‍රහණයක්. 

මේ ප්‍රතිඵලය මෙසේ නොවී වෙනස් වෙන්න ඕනෑ තරම් ඉඩ තිබෙනවා. බයිඩන්ගේ නියෝජිතයින් ගණන සැලකිය යුතු ලෙස වැඩි වීමේ සිට ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම දක්වා දේවල් සිදු වෙන්න තවමත් ඉඩ තිබෙනවා. ඒ වගේම, ජනවාරි දක්වා කාලය තුළ ජනාධිපතිවරණය හා අදාළ නඩු තීන්දු ඇතුළු තවත් බොහෝ දේවල් දෙස බලා ඉන්න වෙයි. කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට නැවත ජනාධිපති වීමට තිබෙන ඉඩකඩ බොහෝ දුරට ඇහිරී අවසන්.

ජනමත සමීක්ෂණ මත පදනම් වෙමින් ජෝ බයිඩන් දිනන බව බොහෝ තැන් වල පුරෝකථනය කෙරී තිබුණා. එහෙත්, ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. පසුගිය 2016 ජනාධිපතිවරණයේදී මේ ආකාරයෙන්ම සිදු කළ පුරෝකථන නිවැරදි නොවීම එයට හේතුවයි. 

මෙවර පුරෝකථන සිදු කළ අය 2016 සිදුවීමෙන් පාඩමක් උගෙන තමන්ගේ ආකෘති සීරුමාරු කර තිබුණත් දැන් දැකිය හැකි ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ එසේ සීරුමාරු කිරීමෙන් පසුවද එම ආකෘති එතරම් ඵලදායී වී නැති බවයි. දිනුවත් පැරදුනත් පුරෝකථන වලට සාපේක්ෂව ට්‍රම්ප් බොහෝ ඉදිරියෙන් ඉන්නවා.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපති මාරු වුනා කියා රට ඇතුළේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. බොහෝ ඇමරිකානුවන් ඡන්දය දමන්නවත් උනන්දු නොවෙන්නේ ඒ නිසයි. එහෙත්, මේ වෙද්දී ඇමරිකානුවන් පක්ෂ වශයෙන් ධ්‍රැවීකරණය වී තිබෙන තරම අනුව හා තවත් හේතු නිසා පෙර නිරීක්ෂණය අනාගතයට එලෙසම වලංගු නොවෙන්න පුළුවන්.

ඇමරිකානුවෙකුගේ දේශපාලන පක්ෂය බොහෝ විට රහසිගත, පෞද්ගලික කරුණක් නෙමෙයි. බොහෝ දෙනෙක් කිසියම් පක්ෂයක ලියාපදිංචි සාමාජිකයෙක්. මා ජීවත්වන ප්‍රදේශය බහුතර රිපබ්ලිකන් ප්‍රදේශයක්. එහෙත්, මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්.

මා මේ පක්ෂ දෙකෙන් එකකවත් සාමාජිකයෙකු නෙමෙයි. මගේ පෞද්ගලික අනන්‍යතාව සාමූහික අනන්‍යතාවයකට යටපත් කරගන්න මම පෞද්ගලිකව කැමති නැහැ. 

පෞද්ගලිකව මට ට්‍රම්ප් කියා කියන්නේ මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට මෙන් නම ඇහෙන කොට මළ පනින, පෙන්නන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ගත් විවිධ තීරණ නිසා රටක් ලෙස ඇමරිකාව කෙරෙහි හා ඇමරිකාවේ ආර්ථිකය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු වූ බව මගේ අදහසයි. එහෙත්, මා තීරණ ගන්නේ පළමුව මවුබිම යන පදනමින් හෝ පළමුව ආර්ථිකය කියන පදනමින් නෙමෙයි. 

පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙකු වන මා ඇමරිකාවේ ජීවත් වෙද්දී සංක්‍රමණිකයෙකුට හෝ පොදුවේ සුළුතර කණ්ඩායමක සාමාජිකයෙකුට හිමිවන සාමාජික අවකාශය පුළුල් වන සමාජ දේශපාලනික වටපිටාවක් පවතිනු දකින්න කැමතියි. ට්‍රම්ප් වැනි නායකයෙකු දිගටම බලයේ සිටීම ඒ අවකාශය පුළුල් කර ගැනීමට බාධාවක්.

සාමාන්‍යයෙන් මා හැම විටම වාගේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බල තුලනයක් දකින්න කැමති කෙනෙක්. එසේ වූ තරමට ආණ්ඩුවකට ලොකු දේවල් කරන්න තිබෙන ඉඩකඩ ඇහිරෙනවා. කවුරු දිනුවත්, මේ මැතිවරණයෙන් පසුව ඇමරිකාව තුළ එවැනි බල තුලනයක් දකින්නට ලැබෙන බවනම් පැහැදිලියි. 



Sunday, January 19, 2020

ට්‍රම්ප් චීනය දණ ගැස්සුවාද?



මේ සතියේ සිදු වූ සුවිශේෂී සිදු වීමක් වූයේ ඇමරිකාව හා චීනය අතර වෙළඳ ගිවිසුමේ පළමු අදියර අත්සන් තැබීමයි. පසුගිය බදාදා (ජනවාරි 15) ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන උප අගමැතිවරයෙකු වන ලියු හේ අතර ධවල මන්දිරයේදී අත්සන් තැබුණු මේ ගිවිසුම පෞද්ගලිකව ජනාධිපති ට්‍රම්ප් විසින් හා පොදුවේ ඇමරිකාව විසින් ලද විශාල ජයග්‍රහණයක් කියා කිව හැකියි.

ගිවිසුම අනුව චීනය විසින් ඉදිරි දෙවසර ඇතුළත චීනය වෙත ආනයනය කරන ඇමරිකානු නිෂ්පාදන ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් බිලියන 200කින් වැඩි කළ යුතුයි. එමෙන්ම, ඇමරිකානු සමාගම් චීන වෙළඳපොළට ඇතුළු වීම සඳහා සැපිරිය යුතු විවිධ කොන්දේසි, විශේෂයෙන්ම වෙළඳපොළට ඇතුළුවීමේ කොන්දේසියක් ලෙස තමන්ගේ තාක්ෂනය චීනයට අනිවාර්යයෙන් ලබා දිය යුතු වීම, මේ ගිවිසුමෙන් වැළැක්වෙන අතර ඇමරිකන් සමාගම් වලට පේටන්ට් අයිතිය ඇති දේවල් වල ව්‍යාජ අනුකරණ පාලනය කිරීමටද චීනය ක්‍රියා කළ යුතුයි.

ඇමරිකාව කියා කියන්නේ නාමික විණිමය අනුපාතය අනුව බැලුවොත් තවමත් ලෝකයේ විශාලතම ආර්ථිකය. අනෙක් අතට ක්‍රය ශක්ති සාම්‍යය අනුව බැලුවොත් ලෝකයේ විශාලතම ආර්ථිකය චීනයයි. කොයි විදිහට බැලුවත් ලෝකයේ  විශාලතම ආර්ථිකයන් දෙක වන්නේ ඇමරිකාව හා චීනයයි.

ලෝකයේ විශාලතම අපනයනකරුවා චීනයයි. එමෙන්ම ලෝකයේ විශාලතම ආනයනකරුවා ඇමරිකාවයි. මේ දෙරට එකිනෙකාගේ ලොකුම වෙළඳහවුල්කරුවාද වෙනවා.

වසර 35කට පෙර, 1985දී, චීනය හා ඇමරිකාව අතර සිදු වූ මුළු වෙළඳාම ඇමරිකන් ඩොලර් බිලියන 7.7ක් පමණයි. මේ ප්‍රමාණය දෙපාර්ශ්වය අතර ආසන්න වශයෙන් සමසමව බෙදී ගොස් තිබුණා. ඒ වෙද්දී චීනය හා ඇමරිකාව අතර ගිණිය හැකි තරමේ වෙළඳ ශේෂයක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ වෙද්දී චීනය ඇමරිකාවේ ප්‍රධානම වෙළඳ හවුල්කරුවෙකු වූයේද නැහැ. චීනය ලෝක ආර්ථික බලවතෙකු සේ සැලකුණේත් නැහැ. ඒ වෙද්දී ලංකාවේ ඒක පුද්ගල ආදායම චීනයේ ඒක පුද්ගල ආදායමට වඩා 25%කින් වැඩියි.

චීන ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විදේශ වෙළඳාම කරා යොමු වෙද්දී ඇමරිකාව වෙත කරන චීන අපනයන වසරින් වසර ඉහළ ගියා. චීනය වෙත කරන ඇමරිකන් අපනයනත් වසරින් වසර ඉහළ ගියත් එසේ ඉහළ ගියේ අඩු වේගයකින් නිසා ඇමරිකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමේ අසමතුලිතබවක් ඇති වුනා. ඇමරිකාවට අවාසිදායක ලෙස ඇති වුනු වෙළඳ ශේෂය ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙන්න පටන් ගත්තා.

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටක් සමඟ ඇමරිකාව විසින් කරන ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකාවට දිගින් දිගටම අවාසිදායක වුවත් එය ඇමරිකාවට දැනෙන තරමේ විශාල අවාසියක් නෙමෙයි. ඒ නිසා, එය ඇමරිකාව තුළ දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත්, චීන ආර්ථිකය වසරින් වසර වේගයෙන් ප්‍රසාරණය වී චීනය ලෝක ආර්ථික බලවතෙකු ලෙස ඇමරිකාව සමඟ කරට කර පැමිණීමෙන් පසුව ද්විපාර්ශ්වික වෙළඳ හිඟයේ බලපෑම ඇමරිකාවට දැනෙන්න ගන්නවා.

රටවල් දෙකක් අතර වෙළඳාම අසමතුලිත වූ විට, අවාසිදායක වෙළඳ ශේෂයක් තිබෙන රටේ ව්‍යවහාර මුදල අවප්‍රමාණය වී වාසිදායක වෙළඳ ශේෂයක් තිබෙන රටේ ව්‍යවහාර මුදල  ශක්තිමත් වෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාව හා කැනඩාව අතර වෙළඳ ශේෂය ඇමරිකාවට අවාසිදායක ලෙස පුළුල් වුවහොත් කැනඩාවට දිගින් දිගටම ඇමරිකන් ඩොලර් ගලා යාම නිසා කැනඩාවේ ඇමරිකන් ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරය ශක්තිමත් වෙනවා. එවිට, වෙළඳ ශේෂය නැවත ඇමරිකාවට වාසිදායක ලෙස වෙනස් වෙනවා.

ඉහතින් කියූ දේ එලෙසම වෙන්නේ කිසියම් රටක විණිමය අනුපාතිකය ඉල්ලුම හා සැපයුම මත තීරණය වනවානම් පමණයි. ඇමරිකාවේ, කැනඩාවේ හා වෙනත් බටහිර රටවල් බොහොමයක විණිමය අනුපාතිකය ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ සලසා ඇතත් චීනයේ එවැනි තත්ත්වයක් නැහැ. චීනය විසින් දිගින් දිගටම තමන්ගේ විණිමය අනුපාතිකය නියම මට්ටමට වඩා අවප්‍රමාණය වෙන්න ඉඩ හරිමින් ජාත්‍යන්තර වෙළඳාමේදී වාසියක් ලබා ගත්තා. ඇමරිකාව දකින ආකාරයට මෙය අනිසි වාසියක්.


යුවානය නියම මට්ටමට වඩා අවප්‍රමාණය කර තබා ගැනීම නිසා චීන නිෂ්පාදන වෙනත් රටවල පාරිභෝගිකයින්ට අඩු මිලකට ලබා ගත හැකි වුනා. වෙනත් රටවල නිෂ්පාදන චීනයට මිල අධික වුනා. 2018 වසරේදී ඇමරිකාව ඩොලර් බිලියන 659.8ක බඩු චීනයෙන් ආනයනය කරද්දී චීනය ඇමරිකාවෙන් ආනයනය කළේ ඩොලර් බිලියන 120.1ක බඩු විතරයි. දෙරට අතර මුළු වෙළඳාමෙන් 81.8%ක්ම සිදු වුනේ චීනයේ සිට ඇමරිකාව පැත්තටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2018 වන විට ඇමරිකාවේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඩොලර් බිලියන 419.5ක් දක්වා ඉහළ ගියා.

ජනාධිපති ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ යුද්ධයකට පැටළුනේ මේ අවාසිය අඩු කර ගන්නයි. ඇමරිකාව හා චීනය විසින් තමන්ගේ රට වලට ආනයනය කෙරෙන එකිනෙකාගේ නිෂ්පාදන සඳහා තරඟයට බදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස දෙරටටම අවාසියක් සිදු වුවත්, වෙළඳ යුද්ධය ආරම්භයේදී විශාල වාසිදායක තැනක සිටි චීනයට වැඩිපුර තුවාළ සිදු වුනා. ඇමරිකාවට චීනයට තරම් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ.

වෙළඳ යුද්ධය නිසා පසුගිය 2019 වසරේදී චීනය හා ඇමරිකාව අතර වෙළඳාම ඩොලර් බිලියන 143.5කින්, එනම් 2018 වසරට සාපේක්ෂව 21.7%කින් අඩු වුනා. මේ අඩුවීම ආසන්න වශයෙන් සමානුපාතිකව සිදු වුවත්, ද්විපාර්ශ්වික වෙළඳ පරිමාවෙන් පහෙන් හතරකටත් වඩා සිදු වුනේ චීනයේ සිට ඇමරිකාව දෙසට නිසා ඇමරිකාව චීනයට කරන අපනයන ඩොලරයකින් අඩු වන විට චීනය ඇමරිකාව වෙත කරන අපනයන ඩොලර් හතර පහකින් පමණ අඩු වුනා. හරියටම ගණන් කියනවානම් ඇමරිකාව චීනයට කරන අපනයන ඩොලර් බිලියන 22.4කින් අඩු වෙද්දී, චීනය ඇමරිකාවට කරන අපනයන ඩොලර් බිලියන 120.1කින් අඩු වුනා.

මේ වන විට චීන ආර්ථිකය සෑහෙන්න විශාල හා ශක්තිමත් ආර්ථිකයක්. පසුගිය දෙවසරක පමණ කාලය තුළ චීනයට ඇමරිකාව හමුවේ දණ නොනමින් එකට එක කරමින් සිටින්න හැකි වුණේ ඒ නිසයි. කොහොම වුනත් මේ වෙද්දී චීනය පියවරක් පසුපසට තබා තිබෙනවා.

එළැඹෙන ඇමරිකන් ජනාධිපතිවරණය හා මේ වෙද්දී පැවැත්වෙන දෝෂාභියෝග විභාගය හමුවේ අත්සන් තැබුණු ඇමරිකන් චීන වෙළඳ ගිවිසුම ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික ජයග්‍රහණයක්ද වෙනවා. චීනය සමඟ වෙළඳ යුද්ධයකට යමින් ඔහු විශාල අවදානමක් ගත්තා. වෙනත් බොහෝ දේශපාලනඥයින්ට සාපේක්ෂව බැලූ විට ජනාධිපති ට්‍රම්ප් මෙවැනි අවදානම් ගැනීමට පැකිලෙන්නේ නැහැ. දේශපාලනඥයෙකු වීමට පෙර ව්‍යාපාරිකයෙකු වීම ඊට හේතුවක් වෙන්න පුළුවන්.

දෙසතියකට පෙර කාසිම් සුලෙයිමානි ඝාතනය සඳහා අණ දෙමින්ද ජනාධිපති ට්‍රම්ප් විසින් විශාල අවදානමක් ගත්තා. එයත් මෙවැනිම ගණනය කළ අවදානමක් වෙන්න පුළුවන්. කලින් දැනුම් දීමෙන් අනතුරුව ඉරාකයේ කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කරමින් ඉරානය ප්‍රශ්නයෙන් ඉවත් වීම නිසා ජනාධිපති ට්‍රම්ප්ගේ අරමුණ ඉටු වුනා.

ඇමරිකානු නීතිය අනුව පුද්ගල ඝාතන නීති විරෝධීයි. එහෙත්, ජීවිත හා දේපොළ වලට හානියක් සිදු වීමේ අවදානමක් ඇති විටක ආත්මාරක්ෂාව සඳහා ප්‍රතික්‍රියා දැක්විය හැකියි. ට්‍රම්ප්ට අනුව කාසිම් සුලෙයිමානිව අවසන් කිරීම මෙවැනි ආත්මරාක්ෂක ප්‍රතික්‍රියාවක් මිස ප්‍රහාරයක් නෙමෙයි. ඔහුව ඝාතනය නොකළේනම් විශාල ජීවිත හා දේපොළ හානියක් සිදු විය හැකිව තිබුණා. ඝාතනය යන වචනයට ආසන්න අරුත් තිබෙන ඉංග්‍රීසි වචන ගණනාවක් තිබෙනවා. කාසිම් සුලෙයිමානිගේ මරණය හා අදාළව ඇමරිකානු නොවන හා ජාත්‍යන්තර මාධ්‍ය විවිධ වචන යොදාගත්තත් ට්‍රම්ප් විසින් යොදාගත්තේ "ටර්මිනේට්" යන වචනයයි.

ඇතැම් ට්‍රම්ප් හිතවාදී විශ්ලේෂකයින්ට අනුව ට්‍රම්ප් විසින් චීනය සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කළේ නැහැ. වෙළඳ යුද්ධය දශක ගණනක් තිස්සේම පැවතුණා. ඇමරිකාව කාලයකට පෙරම එයින් පැරදිලයි හිටියේ. මෙය ඒ තත්ත්වය හමුවේ ඇමරිකාව පැත්තෙන් දැක්වූ ප්‍රතික්‍රියාවක්.

මේ කතාවේ ඇත්තක් තිබෙනවා. චීන ඇමරිකන් ද්විපාර්ශ්වික වෙළඳාම දශක ගණනාවක් තිස්සේම සිදු වුනේ චීනයේ වාසියටයි. ඒ වාසියේ උදවුවද ලබමින් මේ වෙද්දී චීනය ඇමරිකාව සමඟ කරට කර සිටින ලෝක ආර්ථික බලවතෙකු වී තිබෙනවා. දිගින් දිගටම පැවතුනු චීනයට වාසිදායක වෙළඳ අතිරික්තය නිසා චීනයේ ඇමරිකන් ඩොලර් සංචිත ගොඩ ගැහුණා. ලෝකය පුරාම චීනය විසින් ආයෝජනය කළේත්, උපාය මාර්ගික වැදගත් කමක් තිබෙන ව්‍යාපෘති වෙනුවෙන් ණය ලෙස ලබා දුන්නේත් මේ විදිහට එකතු වුනු ඩොලර්.

වෙළඳ යුද්ධය නිසා ඇමරිකාව හා චීනය අතර 2018දී වූ ඩොලර් බිලියන 419.5ක වෙළඳ හිඟය 2019 වෙද්දී ඩොලර් බිලියන 320.8 දක්වා අඩු වී තිබෙනවා. බදාදා අත්සන් කළ ගිවිසුම අනුව 2021 අවසානය වන විට චීනය වෙත කෙරෙන ඇමරිකන් ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 200කින් ඉහළ යා යුතුයි. ඒ 2020දී ඩොලර් බිලියන 76.7කින් හා 2021දී ඩොලර් බිලියන 123.3කින් වශයෙන්. කෙසේ වුවත්, දැනට පවතින වෙළඳ හිඟය ඩොලර් බිලියන 320.8ක් බව සැලකූ විට එය ඩොලර් බිලියන 200කින් අඩු වුවත්, වාසිය තවදුරටත් තිබෙන්නේ චීනයටයි. එහෙම, බැලුවහම මේ ගිවිසුම හඳුන්වන්න පුළුවන් වන්නේත් ඇමරිකාව විසින් ගත් ආත්මාරක්ෂක ක්‍රියා මාර්ගයක් විදිහටයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...