වෙබ් ලිපිනය:

Showing posts with label ප්‍රවාහනය. Show all posts
Showing posts with label ප්‍රවාහනය. Show all posts

Saturday, September 3, 2022

පෞද්ගලීකරණය හා නියාමනය (දෙවන කොටස)


වෙළඳපොළ නියාමනය කරන එක නරක දෙයක් නෙමෙයි. වෙළඳපොළ නියාමනය කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. මේ ඇතැම් ක්‍රම වලින් වෙන්නේ වෙළඳපොළ විකෘති වී කාර්යක්ෂමතාවය අඩු වෙන එක. නමුත්, වෙළඳපොළ වඩා හොඳින් ක්‍රියාත්මක වී කාර්යක්ෂමතාවය වැඩි වන විදිහට නියාමනය ක්‍රියාත්මක කරන්නත් පුළුවන්.

වෙළඳපොළ කාර්යක්ෂමයි කියන එක මම නැවත විස්තර කරන්න යන්නේ නැහැ. කියවන ගොඩක් අය මේ බව දන්නා, පිළිගන්නා අය. හැබැයි මෙය දන්නා අය වෙළඳපොළ කාර්යක්ෂම වෙන්නේ කොහොමද කියන එකත් අමතක කළ යුතු නැහැ. 

වෙළඳපොළ කාර්යක්ෂමතාවය සඳහා ගනුදෙනු නිදහස්ව සිදු විය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ එක් පාර්ශ්වයකටවත් පාඩුවට ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාඩු බව පේනවානම් ගනුදෙනුව නොකර ඉන්න පුළුවන්. නමුත්, තොරතුරු අසමමිතියක් තියෙද්දී මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ.

සල්ලි දීලා ගම්මිරිස් ගනිද්දී ලැබෙන්නේ පැපොල් ඇටනම්, මිරිස් කුඩු ගනිද්දී ලැබෙන්නේ ගඩොල් කුඩුනම්, එතැන අවුලක් තියෙනවනේ. විකුණන කෙනාට පාඩුවක් නැහැ. නමුත්, ගන්න කෙනා මිල ගෙවන්නේ ගන්න බඩුව ගැන හරි අවබෝධයක් නැතිව. ඒ කියන්නේ ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර තොරතුරු සමමිතියක් නැහැ. 

ගමනක් යන්න බස් එකට නගිද්දීත් මේ වගේ ප්‍රශ්නයක් මතු වෙනවා. බස් එකට නැගලා ටිකට් එක ගත්තට පස්සේ ලැබෙන සේවය මගියා බලාපොරොත්තු වූ සේවය නොවෙන්න පුළුවන්. දුරකථන සේවා වගේ දේවල් ගනිද්දීත් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. මේ වගේ තත්ත්වයක් නියාමනය මගින් වලක්වන්න පුළුවන්. ඊට පස්සෙත් මගියා මිල ගෙවනවා. නමුත්, තමන්ට ලැබෙන සේවය ගැන හරි අවබෝධයක් ඇතිව. මේ වගේ අවස්ථාවකදී නියාමකයා විසින් කරන්නේ විකිණිය හැකි භාණ්ඩය කුමක්ද කියලා අර්ථ දක්වන එක. 

ලංකාවේ පෞද්ගලික බස් වලට අවසර ලැබුණු කාලය මට මතකයි. නමුත්, ඒ අවසරය ලැබෙද්දී නියාමනය මොන විදිහට සිදු වුනාද කියලා මම සොයා බලලා නැහැ. නියාමනය පිළිවෙලක් වෙන්න යම් කාලයක් යන්න ඇති. 

මම පාසැල් යද්දී ලංගම බස් එකේ සත විස්සක් ගෙවා ගිය දුර යන්න පෞද්ගලික බස් එකක සත විසිපහක් ගෙවන්න වුනා. සමහර විට ඔය මිල තීරණය වුනේ වෙළඳපොළ තුළම වෙන්න පුළුවන්. ඇතැම් විට පෞද්ගලික බස්රථ වලටත් උපරිම මිලක් තිබුණත් වැඩි මිලක් අය කරන්න ඉඩ සලසා තිබුණා වෙන්න පුළුවන්. මමනම් සතපහ වැඩියෙන් දීලා වුනත් පෞද්ගලික බස් එකක ගියේ ගොඩක් කැමැත්තෙන්. ඉරිච්ච සීට් වෙනුවට පුසුඹ ගහන අලුත් සීට්. තව ඔය වගේ දේවල්. 

පෞද්ගලික බස් ආවාට පස්සේ ලංගම බස් නොතිබුණු ගොඩක් පාරවල් වලට පෞද්ගලික බස් වැටුණා. මෙය මටනම් හොඳටම මතකයි. තවත් අයත් මේ ගැන ලියලා තියෙනවා. පාරකට අලුතෙන් ලංගම බස් එකක් වැටෙන්න සාමාන්‍යයෙන් දේශපාලනඥයෙක් මැදිහත් විය යුතු වුනා. ගොඩක් වෙලාවට බස් එකේ ගමනාන්තය වුනේ බලයේ සිටි දේශපාලන පක්ෂයේ ග්‍රාමීය බලවතෙකුගේ ගෙදර කිට්ටුව තැනක්. සමහර වෙලාවට කාල සටහන් හැදුනෙත් ඔය වගේ කෙනෙකුගේ අවශ්‍යතාවය මත. ලාබය වැදගත් සාධකයක් වුනේ නැහැ. නමුත්, එහි වාසිය හැම දෙනෙකුටම සමසේ බෙදී ගියේ නැහැ. ඒ දවස් වල නොතේරුණත්, දැන් තේරෙන විදිහට, ටික දෙනෙකු විසින් මේ වගේ වාසියක් ලැබුවේ තවත් බොහෝ දෙනෙකුගේ වියදමින්. 

පෞද්ගලික බස් වැටුනේ ලාබ තිබුණු පාරවල් වලට. ලංගම බස් නොතිබුණු ගොඩක් පාරවල් වලට පෞද්ගලික බස් වැටුනෙත් මේ හේතුව නිසා. බස් කිවුවට ගොඩක් වෙලාවට පොඩි වෑන්. 

සාමාන්‍යයෙන් ලාබ තියෙන පාරක් කියා කියන්නේ වැඩියෙන් සෙනඟ ඉන්න පාරක්. ඒ වගේ තැන් වලට බස් වැටෙනවා කියා කියන්නේ වැඩි දෙනෙකුගේ ශුභ සිද්ධිය සැලසෙන පරිදි වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳනවා කියන එකයි. හැබැයි මේ ක්‍රමයේදී  සෙනඟ අඩු පාරකට බස් එකක් නොවැටෙන්න පුළුවන්. සෙනඟ ඉන්න පාරකට වුනත් සෙනඟ අඩු වෙලාවකදී බස් එකක් නැති වෙන්න පුළුවන්. 

නියාමනයක් නොතිබුනානම් වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය බොහෝ දුරට විසඳනවා. නමුත්, රජය විසින් පෞද්ගලික බස් ධාවනයට අවසර දෙන්නේ "මගී සුබසිද්ධිය වෙනුවෙන්" මිල පාලනය කරලා. බස් සේවා සපයන්නෙකුට ඊට වඩා මිලක් අය කරන්න බැහැ. අනුමත උපරිම මිලට බස් එකක් දුවවලා වියදම ආවරණය කර ගන්නනම් අවම මගීන් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ප්‍රමාණය නැත්නම් කවුරුවත් බස් එකක් දමන්නේ නැහැ.

මිල පාලනයක් නොතිබුණානම් රෑට දැන් තියෙනවට වඩා බස් වැටෙනවා. හැබැයි බස් ගාස්තුව දවල් ගාණට වඩා වැඩි වෙනවා. සෙනඟ අඩු පාරවල් වලටත් බස් වැටෙනවා. ඒකේ වුනත් යම් සීමාවක් තියෙනවා තමයි. බස් ගාස්තුව දෙගුණයක් කළත් වියදම ආවරණය කර ගන්න යම් අවම මගීන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවනේ. 

ලංකාවට පෞද්ගලික බස් නැවත හඳුන්වා දී කර්මාන්තය නියාමනය කරද්දී පෞද්ගලීකරණය කරන භාණ්ඩය නිවැරදිව හඳුනා ගන්නේ නැහැ. වැඩේ වරද්ද ගන්නා තැන ඕකයි. නියාමකයා බැලිය යුතුව තිබුණේ පාරිභෝගිකයාගේ පැත්තෙන්. ඒ කියන්නේ මගියාගේ පැත්තෙන්. මොකද මේ වෙළඳපොළේ තොරතුරු අසමමිතියේ අවාසිය තියෙන්නේ මගියාටයි. වෙන ගොඩක් රටවල නියාමකයා බලන්නේ මගියාගේ පැත්තෙන්. 

මගියාට තියෙන්නේ යම් කිසි වෙලාවකදී යම් කිසි තැනක සිට තවත් තැනක් දක්වා යාමේ අවශ්‍යතාවය. එතකොට මගියාගේ පැත්තෙන් බැලුවහම ඔහුට හෝ ඇයට මිල දී ගැනීමට අවශ්‍ය දෙය (සේවාව) තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන සිට තවත් අවශ්‍ය තැනකට තමන්ව ප්‍රවාහනය කරන එක. ඒ සේවාවේ යම් ගුණාත්මක භාවයකුත් තිබිය යුතුයි. මේ වෙනුවෙන් මිලක් ගෙවන්න මගියා සූදානම්. 

නමුත් නියාමකයා මේ මගී අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා වෙළඳපොළක් හදන්නේ නැහැ. ඒ වෙනුවට, කිසියම් පාරකට බස් එකක් දැමීමේ අයිතිය විකුණනවා. වෙළඳ භාණ්ඩය වෙන්නේ ඒක. මේක වෙන්නේ බස් අයිතිකරුවන්ගේ පැත්තෙන් බලලා.

මෙහෙම වෙන එක අහම්බයක් නෙමෙයි. ආරම්භයේදී මගී ප්‍රවාහන බලපත්‍ර වෙන්දේසියේ විකිනුණේ නැහැ. ඒවා තමන්ට අවශ්‍ය අයට ලබා දෙන එකයි වුනේ. බාර් පර්මිට් වගේම තමයි. මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට රූට් පර්මිට් ලැබුණා. රූට් පර්මිට් ලබා ගත හැකි වූ සමහර අය ලොකු ගණන් වලට පර්මිට් එක වෙන අයට විකිණුවා. 

මේ විදිහට පර්මිට් එකක් ලබා ගන්න බස් අයිතිකරුවෙකුට ඊට පස්සේ තියෙන්නේ පුළුවන් තරම් සල්ලි හොයන එක. එකම සීමාව බස් ටිකට් එකේ මිල. බස් එකට පොල් පටවනවා වගේ සෙනඟ පටවන්න පුළුවන්. අනෙක් බස් එක්ක තරඟ කරලා සෙනග ගන්න රේස් යන්න පුළුවන්. සෙනඟ අඩු වෙලාවට කොටන්න පුළුවන්. ඔය ඔක්කොම වුණේ නියාමන ආකෘතිය අවුල් නිසා. 

විකුණන භාණ්ඩය වෙනස් විදිහකට අර්ථ දක්වා ගත්තානම් මිල නියාමනය දැන් විදිහටම තියෙද්දී වුනත් සේවයේ ගුණාත්මක භාවය වැඩි කර ගන්න තිබුණා. උදාහරණයක් විදිහට රූට් එක විකුණන්නේ නැතිව මගී අවශ්‍යතාවය අනුව මුලින්ම කාල සටහනක් හදලා ගමන් වාර වෙන්දේසි කළානම් ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. 

අපි 101 රූට් එක ගනිමු. මේවා සෙනග ඉන්න රූට්. බස් අංකයට නිශ්චිත කාල සටහනක් හදලා වැඩේ පටන් ගන්න පුළුවන්. මොරටුවෙන් පටන් ගන්න බස් එකක් කොටුව දක්වා නිශ්චිත තැන් වලින් පිටත් විය යුතු නිශ්චිත වෙලාවක් කාල සටහනේ තිබෙනවා. හරියටම ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අදාළ තැන සිටිය යුතුයි. මේ තැන් කියා කියමු. 

මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව

ඊළඟට දවසේ එක් එක් පැය තුළ මොරටුවෙන් බස් රථයක් පිටත් වන වෙලාවල් තීරණය කරන්න පුළුවන්. උදේ 7-8 අතර බස් දෙකක් අතර පරතරය අඩුයි. රෑ දහයේ සිට පාන්දර පහ දක්වා ගමන් පරතරය වැඩියි. ඔය විදිහට. ඊට පස්සේ රූට් එක වෙන්ද්සි නොකර ඔය ගමන් වාර වෙන්දේසි කරන්න පුළුවන්. 

මේ වගේ වෙන්දේසියක් විවෘත ක්‍රමයට කරන්න පුළුවන්. උදේ 7 බස් වාරයෙන් පටන් ගත්තා කියමු. කලින් ඇප මුදලක් තබා වෙන්දේසියට එන බස් හිමියන්ට ලන්සු ඉදිරිපත් කළ හැකියි. අවශ්‍යනම් නැවත නැවත ලන්සු ඉදිරිපත් කළ හැකියි. වැඩිම ලංසුව ඉදිරිපත් කළ බස් හිමියාට ගමන් වාරය හිමිවෙනවා. ඉන් පසුව, වසරක කාලයක් අදාළ සේවාව සැපයීම සඳහා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුයි. 

දැන් වෙන්දේසියෙන් මේ ගමන් වාරයේ අයිතිය ලබා ගන්නා බස් හිමියාට එම ගමන් වාරය සඳහා වසරක කාලයකට ඒකාධිකාරයක් හිමි වෙනවා. ඒකාධිකාරයක් හිමි වුනත් ඒකාධිකාරයක තිබෙන ලාබ නැහැ. වෙන්දේසියේදී එකඟ වූ මිල ගෙවුවට පස්සේ ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. ඒ ලාබය ලබා ගැනීම සඳහා එකඟ වූ කාල සටහනට බස් රථය ධාවනය කරන්න වෙනවා. කලිනුත් බැහැ. පසුවත් බැහැ. බස් එකට ගන්න වෙන්නේ ඒ වෙලාවට බස් නැවතුමේ ඉන්න සෙනඟ පමණයි. 

කාල සටහන අනුව උදේ හතෙන් පසු ඊළඟ බස් වාරය පටන් ගන්නේ 7:05ට කියමු. දැන් මුල් බස් හිමියා මේ සඳහා ලංසුවක් තියන්නේ නැහැ. බස් එකකට වැඩියෙන් තියෙනවානම් පමණක් ලංසුවක් තියයි. නැත්නම් ගමන් වාරය වෙනත් බස් හිමියෙකුට යයි. ඔය විදිහට 101 රූට් එකේ "ලාබ තියෙන" ගමන් වාර සියල්ලම වෙන්දේසි කරගෙන යන්න පුළුවන්. නමුත්, රෑ දහය වගේ වෙලාවක් එද්දී ලන්සු කිසිවක් නැති වෙන්න පුළුවන්.

ලන්සු කිසිවක් නැති ගමන් වාරයකදී නියමකයාට ලංසු තියන්න පුළුවන්. ගමන් වාරය තුළ සේවා සපයන බස් හිමියාට නියාමකයා විසින් යම් මුදලක් ගෙවනවා. ඔය මුදල වැඩි කරගෙන යද්දී කවුරු හෝ බස් හිමියෙක් වැඩේට කැමති වෙනවා. අඩුම මිලට සේවය සපයන බස් හිමියාට අවස්ථාව ලැබෙනවා.

මේ වගේ ක්‍රමයකට "විකුණන දෙය" අර්ථ දැක්වීමෙන් බස් හිමියන් අතර මහපාරේ තරඟය නැති කළ හැකියි. නමුත්, ඔවුන් අතර තරඟය නිසා ලැබෙන වාසි සියල්ලමත් ලැබිලා. හැබැයි වෙන්දේසිය ඉවර වන විටම ඒ තරඟය ඉවරයි. ඊට පස්සේ සෙනඟ ඉන්න වෙලාවක බස් එක ධාවනය කළත්, සෙනඟ නැති වෙලාවක ධාවනය කළත් ලැබෙන ලාබයේ වෙනසක් නැහැ. 

මේ ක්‍රමයේදී මගීන්ට සැපයිය යුතු සේවාව නියාමකයා විසින් තීරණය කරලා ඒ සේවාව ඒ විදිහටම සැපයීමේ අවස්ථාව තමයි තරඟකාරී ලෙස වෙන්දේසි කරන්නේ. දැන් වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. දැන් ඇත්තටම වෙන්නේ පාරක බස් සේවා සැපයීම නියාමනය කිරීමේ අයිතිය බස් හිමියන්ට විකුණන එක වගේ වැඩක්. 

මේ ක්‍රමයේත් අවුල් නැතුවා නෙමෙයි. නියාමකයා විසින් හදන කාල සටහන ප්‍රශස්තම කාල සටහන නොවෙන්න පුළුවන්. නමුත්, මගී දත්ත එකතු කරලා කාල සටහන සීරුමාරු කර ගන්න එක වැඩි කලක් නොයා කර ගන්න පුළුවන් දෙයක්. මගී දත්ත එකතු නොකළත් වෙන්දේසියේ මිල ගණන් වලින්ම ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. අවශ්‍යනම් ඒ අනුව, මිල ගණන් සංශෝධනය කරන්නත් පුළුවන්. 

උදාහරණයක් විදිහට රෑට සිදු වෙන පාඩුව අවම කර ගන්න රාත්‍රී ගමන් වාර වල බස් ගාස්තුව වැඩි කරන්න පුළුවන්. කාර්යාල වෙලාවල් වල තදබදය අඩු කර ගැනීම සඳහා ඒ ගමන් වාර වල ගාස්තුව වැඩි කරන්න පුළුවන්. නැත්නම් දැන් වගේම දිගටම එකම මිලක් අය කරන්නත් පුළුවන්.

මේ ක්‍රමයට දවල්ට බස් වල යන මගීන්ගේ වියදමෙන් රෑට බස් වල යන මගීන්ව සුබසාධනය කළ හැකියි. ඒ හැර, වෙනත් කිසිවෙකුට බරක් පටවන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔය කණ්ඩායම් දෙකම එකම පිරිසක් නිසා මෙහි ලොකු වැරැද්දක් නැහැ. දවල්ට බස් එකක යද්දී පොඩ්ඩක් වැඩියෙන් ගෙවන මිල හදිසියේ දවසක රෑ ගමනක් යද්දී බස් එකක් තිබෙන බවට වන රක්ෂණයේ මිලයි.

දැන් මේ කතා කළේ 101 වගේ සෙනඟ ඉන්න රූට් එකක් ගැන. සෙනග නැති, ලාබ නැති, රූට් එකක් පිළිබඳ තත්ත්වය කුමක්ද?

මේ වගේ රූට් එකකට ඔය ක්‍රමයටම සුබසාධනය කර බස් දමන්න පුළුවන් වුනත්, ඒ වියදම ඒ රූට් එකෙන්ම එකතු කර ගන්න බැහැ. වියදම එකතු කර ගන්න වෙන්නේ ලාබ තියෙන වෙන රූට් එකකින්. ගෝනමඩිත්තට බස් එකක් දමන එකේ පාඩුව මොරටුව මගීන්ගෙන් අය කර ගන්න එක සාධාරණද?

මේක දේශපාලනික ප්‍රශ්නයක්. අපිට දෙපැත්තකට තර්ක කරන්න පුළුවන්. තනි මගියෙක්ගේ පැත්තෙන් බැලුවොත්, මොරටුවේ සිට කිලෝමීටර් පහක් යන්න මිනිත්තු පහකට වරක් බස් එකක් එනවානම්, ඒ මිලම ගෙවා ගෝනමඩිත්තේ සිට කිලෝමීටර් පහක් යන්න මිනිත්තු පහකට වරක් බස් එකක් තිබීමේ වරප්‍රසාදය මගියෙකුට නොතිබිය යුතුද? මේ වගේ තර්කයකට යම් පදනමක් තිබෙනවා. මොකද තනි මගියෙක් ගත්තහම අදාළ ප්‍රදේශයේ වැඩිපුර සෙනග ඉන්නවද නැද්ද කියන එක බාහිර කරුණක්. තමන් ඉන්න පැත්තේ සෙනග නැත්තේ මගියාගේ වැරැද්දකින් නෙමෙයි.

මේ තර්කය නිවැරදි වෙන්නේ තමන් පදිංචි ස්ථානය තමන්ගේ තේරීමක් නොවන අහම්බයක්නම්. පාසැල් සිසුන් වැනි අය හා අදාළව මේ තර්කය හරි. නමුත්, තමන් පදිංචි ස්ථානය තමන්ගේ තේරීමක්නම් මේ තර්කය අදාළ නැහැ.

කොළඹ රැකියාවක් කරන කෙනෙක් බස් වැඩි පැත්තක බෝඩිමකට වැඩි මිලකුත්, බස් අඩු පැත්තක බෝඩිමකට අඩු මිලකුත් ගෙවන්නේ ඇයි? බස් වැඩි පැත්තක බෝඩිමකට වැඩි මිලක් ගෙවන්නේ බස් වැඩියෙන් තියෙන එක වෙනුවෙනුත් ගාණක් එකතු කරලා. ඔහොම තියෙද්දී ඔහුගෙන් සල්ලි අය කරලා ඒ වියදමෙන් බස් අඩු පැත්තට බස් එකක් දැම්මහම ඔහුට හෝ ඇයට වෙන්නේ අසාධාරණයක්. ඒ වගේම, බස් වැඩි පැත්තක ඉඩමක් අරන් ගෙයක් හදාගත් කෙනෙකුටත් මෙවැනිම අසාධාරණයක් වෙනවා.

කොහොම වුනත්, ලංකාවේ ඉඩම්, නිවාස වෙළඳපොළ සක්‍රිය නැති නිසා මුල් තර්කයට යම් වලංගු භාවයක් තිබෙනවා. අවසාන වශයෙන් සෙනග අඩු පැත්තේ මගීන් සෙනග වැඩි පැත්තේ අයගේ වියදමෙන් සුබසාධනය විය යුතුයිද, ඒ කොපමණකටද කියන එක දේශපාලනික ලෙස තීරණය විය යුතු දෙයක්. ඒ තීරණය අනුව වෙනස්ම පිරිසකගේ වියදමෙන් මේ මගීන්ව සුබසාධනය විය යුතුයි කියන තීරණය වුනත් එන්න පුළුවන්.

මට අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණ මේ දේශපාලනික තීරණය නෙමෙයි. අවසාන වශයෙන් ගෝනමඩිත්තට මිනිත්තු පහකට වරක් බස් එකක් දමන්න තීරණය වුනා කියා කියමු. දැන් ඔය වැඩේට ලංගම වැනි ආයතනයක් පාඩුවට නඩත්තු කළ යුතුද?

ඔය විදිහේ සුබසාධනයක් කරන්න අවශ්‍ය වුවත්, වෙළඳපොළ මූලධර්ම ඇතුළේම ඉඳගෙන ඔය වැඩේ වඩා කාර්යක්ෂම ලෙස කළ හැකියි. අර ගමන් වාර ටික වෙන්දේසි කරලා අඩුම ලංසු ඉදිරිපත් කරන බස් හිමියන්ට අවස්ථාව ලබා දෙන එකයි කරන්න තියෙන්නේ. ඔය වැඩේට පාඩු ලබමින් ලංගමක් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. 

අනෙක් අතට ඔය කියපු විදිහේ තරඟයක් ඇතුළේ ලංගමට පවතින්න පුළුවන්නම් ලංගම තිබුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි සුබසාධනය විය යුත්තේ මගීන්ව මිසක් ලංගම නෙමෙයි. ලංගම අනිවාර්යයෙන්ම ලාබ ලැබිය යුතුයි.

නැවත සෙනඟ අඩු රූට් එකකට ආවොත් ඔය වගේ පැත්තකට බස් එකක් දැමිය යුත්තේ ඇයි? අදාළ ප්‍රදේශයේ මිනිස්සුන්ට තියෙන්නේ යම් කිසි වෙලාවකදී යම් කිසි තැනක සිට තවත් තැනක් දක්වා යාමේ අවශ්‍යතාවය මිසක් ගමට බස් එකක් තිබීමේ අවශ්‍යතාවය නෙමෙයි. ඒ වැඩේ කෙරෙනවානම් බස් එකක්ම අවශ්‍ය නැහැ. 

කවදාවත්ම බස් එකක් පිරෙන්න සෙනඟ නැති පාරකට ලොකු බස් එකක් අවශ්‍ය නැහැ. වැඩේ කෙරෙන පොඩි වාහනයක් තිබුණහම හොඳටම ඇති. රාත්‍රී කාලයේ සෙනඟ නැති හිස් බස් ධාවනය කරවන එකත් තේරුමක් නැති වැඩක්. හොට්ලයින් එකකට සම්බන්ධ කරලා මොනවා හෝ පොඩි වාහන ටිකක් තැනින් තැන අංගන වල නවත්වා තබන එක ඊට වඩා ලාබයි. කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම කියා කියන්නේ දැනට සලසන සේවාවම ඊට වඩා අඩු වියදමකින් සලසන එක. සුබසාධනය කිරීම එක් දෙයක්. එය අකාර්යක්ෂම ලෙස කිරීම තවත් දෙයක්. 

සුබසාධනය කිරීමම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. නමුත්, එය වඩා කාර්යක්ෂම ලෙස කිරීමෙන් මේ අකාර්යක්ෂමතාවය අඩු කර ගන්න පුළුවන්.

Tuesday, July 26, 2022

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව


නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන වෙළඳපොළ අර්බුදයට විසඳුමක් විදිහට කළුකඩ පාලනය කරන්න උත්සාහ දරමින් සිටින බවක් පේනවා.

ඉතාම සංක්ෂිප්තව කිවුවොත් ලංකාවේ වත්මන් සමාජ හා දේශපාලන අර්බුදය ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ බිඳවැටීම (market failure) නිසා ඇති වී තිබෙන අර්බුදයක්. වෙළඳපොළ බිඳවැටීමට හේතු වූ ආර්ථික අර්බුදය ගැන කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඉන්ධන වෙළඳපොළ කියා කියන්නේ ලංකාවේ වෙළඳපොළ බිඳවැටීම පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයයි. මේ සංකේතාත්මක බිඳවැටීමේ පූර්වගාමී සංසිද්ධිය ගෘහස්ථ ගෑස් වෙළඳපොළ බිඳවැටීම වුවත් දැන් ඒ ගැන ඇහෙන්නේ අඩුවෙන්.

ලංකාවේ බොහොමයක් ක්ෂුද්‍ර වෙළඳපොළවල් මෙන්ම ඉන්ධන වෙළඳපොළත් රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන (මෙහෙම කියන්නේ IOC එක අමතක වෙලා නෙමෙයි) වෙළඳපොළක්. වෙළඳපොළක් කියා කිවුවත් මේ වචනය යොදාගැනීමම වුනත් වැරදියි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ලංකාවේ ඉන්ධන වෙළඳපොළක් කියා එකක් නැති තරම්. සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ රජය මගින් බොරතෙල් ආනයනය හා පිරිපහදු කිරීම, පිරිපහදු ඉන්ධන සෘජුවම ආනයනය කිරීම, රජය මගින් පත් කරන නියෝජිතයින් හරහා බෙදාහැරීම හා එසේ බෙදා හරින ඉන්ධන වෙනුවෙන් "ගාස්තුවක්" අය කිරීම තමයි කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ. මේ අය කරන "ගාස්තුව" ඉන්ධන මිල ලෙස හඳුන්වන එකම වුනත් වැරදියි.

දශක ගණනාවකට කලින් ලෝකය විසින් අත් හැර දමනු ලැබූ ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා නොවැලැක්විය හැකියි. ඒවා එම ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණ. එසේ වුවත්, සමාජවාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ඔලු සෝදා තිබෙන ලංකාවේ සමාජය තුළින් මේ සමාජවාදී ක්‍රමයට එරෙහිව යාන්තමට ඇහෙන තරමේ හෝ හඬක් ඇහෙන්න පටන් අරන් තියෙන්නේ ඉතා මෑතක සිටයි. අරගලයට සම්බන්ධ වූ ඇතැම් කොටස් විසින් ඒ හඬ නගනවා. 

එහෙත්, අරගලය තුළ වුවත්, ලොකුවටම දූෂණයට විරුද්ධව කතා කරන ඇතැම් කණ්ඩායම් පෙනී සිටින්නේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා තව දුරටත් ප්‍රවර්ධනය කරන සමාජවාදී මධ්‍යගත සැලසුමක් වෙනුවෙන්. ඒ අයගේ විසඳුම ක්‍රමය පවත්වා ගනිමින් ඔළුගෙඩි මාරු කිරීමයි. ඉතිහාසය පුරාම සමාජවාදීන් හැමදාම කිවුවේ කලින් ඔය වැඩේ හරියට සිදු නොවුනේ එය නියම සමාජවාදය නොවූ නිසා බව හා තමන් යෝජනා කරන හරි සමාජවාදය යටතේ වැඩේ ටක්කෙටම සිදුවන බවයි. නමුත් කවදාවත්ම ඔය කියන වැඩේ වුනේ නැහැ. විශාල ජීවිත හා දේපොළ හානි එක්ක ආර්ථිකයන් විනාශ මුඛයට යන එක තමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්. තෙල් සංස්ථාවෙන් පටන් ගත්තොත් එතැන හැම ආණ්ඩුවකම වගේ හෙංචයියන්ගෙන් පිරිලා. සමහර වෙලාවට තෙල් සංස්ථාවෙන් පඩි ලබමින් කරන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් වැඩ. සේවකයෝ පමණක් නෙමෙයි වාහන ආදිය පවා මෙවැනි කටයුතු වලට යොදාගත් අවස්ථා දුලබ නැහැ. සමහර අය තෙල් සංස්ථාවෙන් වැටුප් ගත්තත් කරන දෙයක් නැහැ. 

කාලයකට පෙර මා දන්නා අයෙක් දේශපාලන සම්බන්ධතා මත එහි වෘත්තීය මට්ටමේ තනතුරකට පත් කෙරුණේ එම ධුරයේම වැඩ කරන වෙනත් අයෙකු සිටියදී. ඔහුට මේසයක් පුටුවක් හොයා ගන්නත් කාලයක් ගත වුනා. අවශ්‍ය වැඩේ කරන්න වෙනත් අයෙකු ඉන්න නිසා වැටුප් ලබා ගනු මිස කරන්න දෙයක් තිබුණේ නැහැ. පහළ මට්ටමේ තනතුරු වලනම් ඔය වගේ අය ඕනෑ තරම් ඉන්න ඇති.

වැඩක් නොකළත් මේ වගේ තැන් වල වෘත්තීය සමිතිනම් හරිම ප්‍රබලයි. ඒ නිසා වැටුප්, වරප්‍රසාද ගොඩක් ඉහළයි. ආයතනයේ ලාබ හා සේවක වැටුප්, වරප්‍රසාද අතර සම්බන්ධයක් නැහැ. මේ එකක්වත් ආණ්ඩුවේ වැරදි නිසා හෝ ආයතන පාලනය කරන අයගේ වැරදි නිසා සිදුවන දේ නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක නෛසර්ගික ලක්ෂණ. එහෙම කියන එකෙන් මම කියන්නේ ආණ්ඩු වල කිසිම වැරැද්දක් නැහැ කියන එකවත්, ආයතන පාලනය කරන අය මාර අවංක, දක්ෂ පුද්ගලයෝ කියන එකවත් නෙමෙයි. ඒ අය හොරුනම්, ඒ අයට හොරකම් කරන්න අවස්ථාව සලසන්නේ මේ ක්‍රමයයි. ඒ අය හොරු නොවුනත් පසුව හෝ හොරුන් බවට පත් කරන්නේ මේ ක්‍රමයයි. ක්‍රමය තියාගෙන ඔළුගෙඩි මාරු කිරීම විසඳුමක් නොවන්නේ ඒ නිසා. 

තෙල් සංස්ථාව හැදෙන්නේ මධ්‍යගත සැලසුමක එක් කොටසක් විදිහට. ඒ විදිහට හදන ආයතනයක සේවකයෝ මූලික වශයෙන් රජයේ සේවකයෝ මිසක් එම ආයතනයේ සේවකයෝ නෙමෙයි. මධ්‍යගත සැලසුම හැදීම තුළත්, රජය මෙහෙයවීම තුළත් සිදු වෙන්නේ දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක වීම. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව ආදිය හරහා එම දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යගත සැලසුමේම කොටසක්. මේ සන්දර්භය ඇතුළේ තෙල් සංස්ථාවේ සේවකයෙක් තෙල් සංස්ථාවේ පඩි ලබන අතර එහි වාහනයක් අරගෙන ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ වැඩ සඳහා සහභාගී වීමේ වරදක් නැහැ. මොකද තෙල් සංස්ථාවේ වැඩ කළත් මේ අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ එහි සිට අර මධ්‍යගත සැලසුම ක්‍රියාත්මක කරන්න උදවු වෙන එකයි.

තෙල් සංස්ථාව මධ්‍යගත සැලසුමක එක කොටසක් මිසක් වෙනම ස්වාධීන ආයතනයක් නොවන නිසා එම ආයතනය පාඩු ලබනවද නැත්නම් ලාබ ලබනවද කියන එක හොයලා වැඩක් නැහැ. කොහොමටත් ඔය සමාජවාදී ක්‍රමයේදී ලාබය කියා කියන්නෙම පිටුදැකිය යුතු නරක දෙයක්නේ. වඩා වැදගත් වන්නේ සේවකයින්ට හොඳට සලකන එකයි. සේවක වැටුප් හා වරප්‍රසාද ඔවුන්ගේ ඵලදායීතාවය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි.

ලාබ අදාළ නොවන මධ්‍යගත සැලසුම ඇතුළේ වැදගත් දෙය ඉන්ධන නිපදවා බෙදා හැරීමයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් කෙරෙන්නේ මේ වැඩේ. පිරවුම්හල් කීයක් අවශ්‍යද, ඒවා තිබිය යුත්තේ මොන ස්ථාන වලද, ඒවා පාලනය කරන්නේ කවුද ආදී දේවල් සියල්ල තීරණය වන්නේ මධ්‍යගත සැලසුම තුළ මිස වෙළඳපොළ සාධක මත නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව මෙහෙයවන අයයි. ඒ තියා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය හා එසේ ලබා දීමේදී අය කරන "ගාස්තුව" තීරණය කරන්නෙත් ආණ්ඩුවයි. මේ ගාස්තුව ඉන්ධන නිපදවීමේ හා බෙදා හැරීමේ පිරිවැය හා ගැලපෙනවද නැද්ද කියනත් එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ ආණ්ඩුවේ අභිමතයයි. මධ්‍යගත සැලසුම් කියන ඒවා එහෙමයි. 

"ලෝක වෙළඳපොළේ මිල අනුව ඉන්ධන මිල තීරණය කරන්නනම් මොකටද ආණ්ඩුවක්?"

විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ආරක්ෂක හමුදා ආදියත් තෙල් සංස්ථාව වගේම එකම මධ්‍යගත සැලසුමක කොටස් පමණයි. ඒ නිසා, හදන තෙල් මේ අනෙකුත් රාජ්‍ය ආයතන වලට දෙන එක තෙල් සංස්ථාවේ වගකීමක් මිසක් ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව තීරණය වන්නේත් මධ්‍යගත සැලසුම ඇතුළේ. ලැබිය යුතු මුදල් කලට වෙලාවට නොලැබේනම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත් වන්නේ මධ්‍යගත සැලසුම අනුව විදුලිබල සැපයුම, ගුවන් සේවා ආදිය ක්‍රියාත්මක වීමයි.

ඔහොම කරගෙන යද්දී තෙල් ගේන්න සල්ලි නැතුව තෙල් සංස්ථාව හිර වුනොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රාජ්‍ය බැංකු තියෙන්නේ. ඒවාත් අර මධ්‍යගත සැලසුමේම කොටස් මිසක් ලාබ ලැබීම අරමුණු කර ස්ථාපිත කර තිබෙන ආයතන නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පුළුවන් තෙල් සංස්ථාවට, විදුලිබල මණ්ඩලයට ණය දෙන්න. ඒ ණය ආපහු ගෙවනවද කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. 

ඕක තමයි ලංකාවේ අදටත් තියෙන, සමාජවාදී රටවල තිබුණු, මධ්‍යගත සැලසුම් ආකෘතිය. මේක ඇතුළේ වෙළඳපොළ සංකල්ප වලට ඉඩක් නැහැ. මිල, ප්‍රමාණ, ලාබ පාඩු ආදී සියල්ල තීරණය කරන්නේ සැලසුම ක්‍රියාත්මක කරන පිරිස විසින්. හැබැයි මේ අය සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වාසිය දිහා මුලින්ම බලන එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොළ ක්‍රමයක් යටතේ බැරි වුනත්, මධ්‍යගත සැලසුම් ආකෘතියක් ඇතුළේ ඒ අයට පෞද්ගලික වාසි ලැබිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා.

-තමන්ට අවශ්‍ය අයව තෙල් සංස්ථාව වගේ ආයතන වල සේවයට දමන්න පුළුවන්. ඒ අය තමන්ගේ හිතවතුන් නෑදෑයන් වෙන්න පුළුවන්. නැත්නම් ගාණක් අත යටින් අරගෙන වැඩේ කරන්නත් පුළුවන්.

-තමන්ට අවශ්‍ය අයට උසස්වීම් දීම හරහා වැටුප්, වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. විදේශ චාරිකා වගේ වෙනත් වරප්‍රසාද දෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදල් අල්ලස්, ලිංගික අල්ලස් ආදියේ සිට ආයතනය තුළ තමන් වෙනුවෙන් වැඩ කිරීම දක්වා දේවල් ලබා ගන්න පුළුවන්.

-තමන්ට අවශ්‍ය පරිදි සේවක කණ්ඩායමකගේම වැටුප් වැඩි කරන්න පුළුවන්.

-ඉන්ධන බෙදා හැරීමේ අවස්ථාව තමන්ට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. වෙනත් අයට නිදහසේ ව්‍යාපාරයට පිවිසීමේ අවස්ථාවක් නැහැ.

-තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පමණට මිල අඩු වැඩි කරන්න පුළුවන්. එය පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතු නැහැ.

-මිල දී ගැනීම් ආදිය කිරීමේදී තමන්ට අභිමත අයගෙන් ගන්න පුළුවන්.

ඔය හැම බලයක්ම ක්‍රමය විසින්ම ලබා දෙද්දී හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒවා වලක්වන්න ක්‍රමවේද හදන්න පුළුවන් තමයි. හැබැයි ඒ ක්‍රමවේද හරියට පිළිපදිනවද කියලා බලන්න තවත් පිරිසක් අවශ්‍යයි. අවුල ඒ පිරිසටත් හොරකම්, වංචා, දූෂණ කරන්න පුළුවන් වීමයි. ඒ නිසා, ඒ අය ගැන බලන්න තවත් අය අවශ්‍යයි. ඕකේ කෙළවරක් නැහැ. මේ සියල්ල නිදහස් වෙළඳපොළට බාධා කරමින් සමාජවාදී මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයි. ධනවාදයක් නැති කමේ ප්‍රශ්නය.

කොහොම වුනත් ධනවාදී නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවික තත්ත්වයක්. මධ්‍යගත සැලසුමකට කවදාවත් කළ නොහැකි දේ නිදහස් වෙළඳපොළ අදිසි හස්තයට කළ හැකියි. එහි හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට ඉඩක් නැහැ. එවැනි අකාර්යක්ෂමතා සියල්ල තරඟය තුළ නැති වී යනවා. වෙළඳපොළ තරඟය ජයගත හැක්කේ වඩාත් කාර්යක්ෂම තරඟකරුවන්ට පමණයි.

කොයි තරම් සමාජවාදී රටක වුවත්, කොයි තරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන මධ්‍යගත සැලසුමක් යටතේ වුවත්, කවර ආකාරයකින් හෝ නිදහස් වෙළඳපොළක් බිහිවීම වළක්වන්න බැහැ. මොකද නිදහස් වෙළඳපොළක් හරහා සිදු වන්නේ මධ්‍යගත සැලසුමකට විසඳිය නොහැකි මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ස්වභාවික ලෙස විසඳන යාන්ත්‍රණයන් බිහිවීමක්. පැරණි සෝවියට් දේශයේ එකල ජීවත් වූ අය එහි එකල එහි වූ කළුකඩ පිළිබඳ සාක්ෂි දරනවා. මේවා බලය යොදා පාලනය කරන්න යාම එතරම් සාර්ථක නැහැ. යම් හෙයකින් සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් කළුකඩ නැති කරන්න අවශ්‍යනම්, පළමුව කළ යුත්තේ කළුකඩ බිහිවීම මධ්‍යගත සැලසුමේ අඩුපාඩුවක් පිළිබිඹු කරන බව තේරුම් ගෙන එය සොයා පිළියම් යොදන එකයි.

ඉන්ධන විකුණන ද්වීතියික වෙළඳපොළවල් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නාගරික නොවන ගොඩක් පැති වල බෝතල් වල දමා පැට්‍රෝල් විකුණන කඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. පැට්‍රෝල් බූලිය හා බෝතල් තියෙන්නේ කඩේ පිටුපස පැත්තේ හෝ මුදලාලිගේ ගෙදර වුවත්, මේ විදිහට පැට්‍රෝල් විකුණන එක ප්‍රසිද්ධ රහසක්. ළඟ පාතක පිරවුම්හලක් නැති ප්‍රදේශයකදී හදිසියේ මෝටර් සයිකලයේ තෙල් ඉවර වී නැවතුනොත් කාගෙන් හරි අහපු ගමන් බඩු තියෙන තැන කියනවා. බෝතලයක් අරගෙන ටැංකියට දාගත්තහම ළඟම තියෙන පිරවුම්හල දක්වා ඇද ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ වාහනේ දාලා, බූලියක් හොයාගෙන පාරෙ යන වාහනේකට අත දාලා, පිරවුම්හලක් තියෙන තැනකට යන්නයි.

ඔය වැඩේ නීති විරෝධී ඇති. හැබැයි පොලීසිය ඔය වගේ දේවල් නවත්තන්න යන්නේ නැහැ. හදිසියේ රථවාහන පොලීසියේ රාළහාමිගේ මෝටර් සයිකලයේ තෙල් නැතුව නැවතුනත් එන්න වෙන්නේ ඔය කඩේට. මේ ද්වීතියික වෙළඳපොළ හරහා සිදු වුනේ රජයේ මධ්‍යගත සැලසුමට විසඳිය නොහැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳන එකයි.

දැන් තත්ත්වය මීට වඩා වෙනස් තමයි. පවතින තත්ත්වයත් එක්ක ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වී සිටිනවා. කියන විදිහට මේ දවස්වල ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් විකුණන එක. පෝලිමේ ඉස්සරහට ගිහින් තෙල් ගහගෙන පෝලිමේ පිටුපසට එකතු වෙනවා කියලයි කතාවට කියන්නේ. නොම්මර තහඩුවේ අවසන් අංකය අනුව තෙල් බෙදීම, QR කෝඩ් ක්‍රමය ආදිය එක්ක වෙනසක් වෙලා වෙන්න පුළුවන්. ඒක ලිපියෙන් පෙන්වන්න යන කරුණට අදාළ නැහැ. 

ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක තියෙන වෛරය අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ උගත් මධ්‍යම පාන්තිකයින්ගෙන් කොටසකට ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. මේ ගොඩේ ගොඩක් ඉන්නේ වාමාංශික මතධාරීන් වුවත්, ඒක එහෙමමත් නැහැ.

ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය කියා කියන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළකට බොහෝ කිට්ටු වෙළඳපොළක්. එමගින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම සඳහා සැපයෙන දායකත්වය ඉතාම විශාලයි. මේ කර්මාන්තයේ නියැලෙන්න ලොකු උගත්කමක් අවශ්‍ය නැහැ. නමුත්, රජයේ රැකියා කරන අතර අතිරේක ආදායමක් ලබා ගන්න හයර් දුවන අයත් ඉන්නවා. කර්මාන්තයට ඇතුළු වෙන්න විශාල බාධාවක් නැහැ. කර්මාන්තයෙන් පිටවෙන්නත් කිසිම බාධාවක් නැහැ. මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැහැ. මිල නියාමනයක් නැහැ. මේවා තමයි තරඟකාරී නිදහස් වෙළඳපොළක ලක්ෂණ. තෙල් කර්මාන්තයේ අනෙක් අන්තය.

ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය නොතිබෙන්නට ඔය තරුණයින් ගොඩක් අය කරන්නේ බෝක්කු උඩ රස්තියාදු ගහන එක. ඔවුන්ට රැකියා දිය හැකි තරමේ ව්‍යවසායකයින් පිරිසක් ලංකාවේ නැහැ. එවැනි පිරිසකට හැදෙන්න ඉඩකුත් ලංකාවේ නැහැ. රජය ඒ සඳහා වන ඉඩ විවිධ ආකාර වලින් අහුරා දමා තිබෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය මේ තත්ත්වය තුළ ස්වභාවිකව පැන නැගුනු විකල්පයක්. හැබැයි මේ කර්මාන්තය රැකියා විරහිත තරුණයින් තමන්ගේ දේශපාලන අභිලාෂ වෙනුවෙන් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයටනම් ප්‍රශ්නයක්.

කොහොම වුනත් නිදහස් වෙළඳපොළ එක්ක ඇරියස් තියෙන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ වලට පමණක් නෙමෙයි. ලෝකයට මොනවා කිවුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉන්න ගොඩක් අයත් මොකක් හෝ හේතුවක් හදාගෙන නිදහස් වෙළඳපොළ පාලනය කරන්න යටිහිතින් හරි කැමතියි. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයකුත් නෙමෙයි. ඇමරිකාව වගේ රටක් ගත්තත් එහෙමයි. 

නිදහස් වෙළඳපොළ ප්‍රවර්ධනය වෙනවා කියන්නේ දේශපාලනඥයින් බලරහිත වෙනවා කියන එකයි. වෙළඳපොළ පාලනය කරන තරමට රජය බලවත් වෙනවා. ආණ්ඩුව බලවත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් බලවත් වෙනවා. හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පීඩනයක් එල්ල විය යුත්තේ රජයට සෘජුව සම්බන්ධ නැති මහජනතාව වෙතිනුයි. ලංකාවේනම් ඒ අයට දැනටත් දේශපාලන බලයක් නැහැ. අරගලය ඇතුළේ පෞද්ගලික අංශයේ සේවය කරන, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින, යම් පිරිසක් මුල් වරට දැකිය හැකි වුනා. නමුත්, ඒ පිරිස මේ වන විට අරගලය තුළ ප්‍රධාන කණ්ඩායම නෙමෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීත් ත්‍රිරෝද රථහිමියන්ට එරෙහි ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ ඇරියස් එක උඩට මතු වුනා. එහිදී මතු කෙරුණු තර්කය වූයේ ත්‍රිරෝද හිමියන් කාලය කනවා කියන එකයි. අදහස මතු කළේ වාමාංශිකයින් විසින්ම පමණක් නෙමෙයි. 

ඕනෑම සේවා කර්මාන්තයක කාලය නාස්ති වීම අවම කර ගැනීම පිළිබඳ ගැටළුවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනයක් මෙන් සේවා නිෂ්පාදන ගබඩා කර තබාගත නොහැකි වීමයි. සේවා නිෂ්පාදනයකදී නිෂ්පාදනය හා පරිභෝජනය සිදුවන්නේ එකවිටයි. ඒ නිසා, එක්කෝ නිෂ්පාදනය සිදුවන තුරු පාරිභෝගිකයින්ට බලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයෙකු එන තුරු නිෂ්පාදකයාට බලා ඉන්න වෙනවා. බොහෝ විට මේ දෙකම යම් පමණකින් සිදු වෙනවා.

සුපිරි වෙළඳසැලක මුදල් ගෙවීමේ කවුන්ටරයක් උදාහරණයකට ගන්න පුළුවන්. ඇතැම් විට පාරිභෝගිකයින්ට මුදල් ගෙවීම සඳහා අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ ඉන්න වෙනවා. තවත් අවස්ථා වල පාරිභෝගිකයෙකු එන තුරු මුදල් අයකැමිට බලා ඉන්න වෙනවා. මෙය තීරණය වන්නේ පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය හා කවුන්ටර ගණන මතයි. අනෙක් පැත්තෙන්, කවුන්ටරයක් නඩත්තු කිරීමේ පිරිවැය සහ පෝලිම දිග වැඩි වීමෙන් පාරිභෝගිකයින් අහිමි වී සිදුවන අලාභය අවම කෙරෙන ප්‍රශස්ත කවුන්ටර ගණන මතයි.

වෙනත් විදිහකින් කිවුවොත් මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේ හා සේවා සපයන්නාගේ කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය මතයි. සුපිරි වෙළඳසැල් උදාහරණයේදී සේවා සපයන්නාගේ මිනිත්තුවක  ආවස්ථික පිරිවැය සහ පාරිභෝගිකයාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය අතර විශාල වෙනසක් නැතත් වෙනත් ඇතැම් වෙළඳපොළවල මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා.

හොඳම උදාහරණය වෛද්‍ය චැනල් සේවා වෙළඳපොළයි. මෙහිදී සිදුවන රස්තියාදුව මා විස්තර කළ යුතු නැහැ. මේ වෙළදපොළ තුළ පාරිභෝගිකයා කොපමණ රස්තියාදු වුනත්, සේවා සපයන්නා රස්තියාදු වෙන්නේ නැහැ. එයට හේතුව පාරිභෝගිකයාගේ කාලයේ වටිනාකමට වඩා වෛද්‍යවරයාගේ කාලයේ වටිනාකම බොහෝ වැඩි වීමයි (එම වෙනසට හේතුව සෞඛ්‍ය සේවා හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයකට යටත්ව තිබීම නිසා සිදුවන විකෘතියයි). ඒ නිසා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කර ගැනීම පිණිස පාරිභෝගිකයින් රස්තියාදු කෙරෙනවා. මෙය පහළ ලින්ක් දමා තිබෙන පෙර ලිපි වල මීට වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. 

ත්‍රිරෝද රථ වෙළඳපොළ මෙහි අනෙක් අන්තයයි. එහිදී සිදුවන්නේ පාරිභෝගිකයින්ගේ කාලය ඉතිරි කිරීම වෙනුවෙන් සේවා සපයන්නා රස්තියාදු වීමයි. ත්‍රිරෝද රථ රියැදුරකු විසින් රථගාලක "කාලය කන" සෑම මිනිත්තුවක් නිසාම ත්‍රිරෝද රථ පාරිභෝගිකයින්ගේ කාලය යම් පමණෙකින් ඉතිරි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් විසින් කරන්නේ ප්‍රවාහන සේවා සපයන අතරම මුදල් අය කර තමන්ගේ කාලය තම පාරිභෝගිකයාගේ කාලය හා හුවමාරු කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රවාහන සේවාව සමඟ පැකේජ කර කාලය විකිණීමයි.

දැන් ඔවුන් කරන්නේත් හරියටම මේ දෙයයි. පෝලිමේ මුලින් අයින් වී අගට එකතු වන ත්‍රිරෝද රථ රියැදුරන් විසින් විකුණන්නේ ඉන්ධන නෙමෙයි. ඉන්ධන යම් ප්‍රමාණයක්ද සමඟ පැකේජ කර  ඔවුන් විකුණන්නේ කාලයයි.

වත්මන් සන්දර්භය තුළ පැට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන්නට වනවා කියන එකෙන් අදහස් වන්නේ එහි සැබෑ මිල එපමණක් වන බව නොවෙයි. පැට්‍රෝල් ලීටරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු කාලයේ ආවස්ථික පිරිවැයද මේ මිලට එකතු විය යුතුයි. එම මිල පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. ඇතැම් අයට මේ මිල රුපියල් 1500ක්, රුපියල් 2000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය හැකියි. එවැනි අයෙකු පෝලිමේ නොසිට මිල දී ගත හැකිනම්, වැඩි මිලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට පැකිලෙන්නේ නැහැ,

ත්‍රිරෝද රථ රියැදුරන් වැනි, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු අය මේ තත්ත්වය වෙළඳපොළ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එය ඉතා නිවැරදි වනවාක් මෙන්ම පවතින ප්‍රශ්නයට වෙළඳපොළ විසඳුමක්. මෙහිදී වක්‍ර ලෙස සිදු වන්නේ තෙල් පෝලිමේ කාලය නාස්ති කිරීම වඩා මිල අධික අයෙකු විසින් අඩු මිලට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් කාලය මිල දී ගැනීමයි. ඇතැම් විට කළුකඩ තවදුරටත් ව්‍යාප්ත වන්නට ඉඩ සැලසීම මේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකියි. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ආරක්‍ෂිත ගැලුම් හඳුන්වා දිය හැකියි. ඒ සමඟම නිල වශයෙන් හෝ නොනිල ලෙස මිල පාලනය ඉවත් කළහොත් ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා. 

මුලින්ම විශාල ප්‍රශ්නයක් වූ ගෑස් සිලින්ඩර වෙළඳපොළ හා සම්බන්ධව මේ වන විට යම් සමතුලිත තත්ත්වයක් දැකිය හැකියි. අවශ්‍ය අයෙකුට රුපියල් 8000ක් වැනි මිලක් ගෙවා "කළු කඩෙන්" ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ගෑස් අත්‍යාවශ්‍ය, එහෙත් කාලයේ ආවස්ථික පිරිවැය වැඩි, අය පෝලිමේ නොසිට ඒ මිල ගෙවා කළු කඩෙන් ගෑස් මිල දී ගන්නවා. අනෙක් අය දර, දහයියා වැනි වෙනත් විකල්ප වලට මාරු වී සිටිනවා.

පැට්‍රෝල් මිල විශාල ලෙස වැඩි කළොත් සහ කළු කඩ වලට බාධා නොකළහොත් පැට්‍රෝල් කොයි තරම් හිඟ වුවත් පෝලිම් නැති වී වෙළඳපොළ සමතුලිතාවයක් ඇති වෙයි. ඉන්ධන අත්‍යාවශ්‍ය අය මිල කොපමණ වුවත් ඉන්ධන ලබා ගනියි. අනෙක් අය වැඩේ අතහැර දමයි. මේ මිල වැඩි කිරීම නිල වශයෙන්ම කළහොත් ඒ හරහා රජයට ආදායම් වැඩි කර ගන්නත් පුළුවන්. අවශ්‍යනම් එසේ එකතු කර ගන්නා අමතර මුදල උද්ධමනයෙන් බැටකන සමාජයේ පහළ ස්ථර වල සුබසාධනය වෙනුවෙන් යොදවන්න වුවත් පුළුවන්.

අදාළ පැරණි ලිපි:

තෙසක්රියක ගමනක්...

https://econometta.blogspot.com/2016/05/blog-post_48.html#comment-form


ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?

https://econometta.blogspot.com/2016/06/blog-post_76.html


ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව

https://econometta.blogspot.com/2016/06/blog-post_83.html


සේවා ආර්ථිකය ගැන තවදුරටත්...

https://econometta.blogspot.com/2016/06/blog-post_42.html


ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?

https://econometta.blogspot.com/2017/01/blog-post_4.html


මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?

https://econometta.blogspot.com/2020/06/blog-post_56.html


ලංකාවට වාහන වැඩිද?

https://econometta.blogspot.com/2018/06/blog-post_50.html


#ඉකොනොමැට්ටා 

Friday, February 18, 2022

කපුටාස් වෝ ඇන්ඩ් බැසිල්ස් කඩු පයිට්

 

බයිබලයේ උත්පත්ති කතාව අනුව දෙවියන් වහන්සේ විසින් හතර වන දවසේදී “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා වදාරනවා. එය එසේම වෙනවා. ඉන් පසු ඔවුන්ට ආසිරි පතමින් “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියාත් පවසනවා. 

බයිබලයට අනුව අහසේ වගේම පොළොවේත් මුලින්ම දැකිය හැකි වන්නේ පක්ෂීන්. “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි කියා වදාරන්නෙත්, “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කරමින් මිනිසුන් මවන්නෙත් පස්වන දවසේ. 

බයිබලය අනුව පක්ෂීන්ට මිනිස්සුන්ගේ පාලනයෙන් බේරී ඉන්න ලැබුණේ එකම එක දවසක් පමණත් වුවත්, ඉතිහාසයේ බොහෝ කාලයක් තිස්සේම අහසේ අයිතිය තනිකරම වාගේ තිබුණේ ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට, වවුලන් වැනි ක්ෂීරපායී සතුන්ට හා කෘමීන්ටයි. පියාඹන්න නුපුළුවන් වූ මිනිස්සුන්ට අහසේ පියාඹන පක්ෂීන් ඇතුළු අනෙකුත් සතුන් පාලනය කරන්න හැකි වුනේ යම් සීමාවක් තුළ පමණයි. 

පසුගිය සියවසේ මුල සිට මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට අමතරව මිනිසුන් විසින් මවන ලද ඇලුමිනියම් පක්ෂීනුත් අහසේ පියාඹානවා. ඒ එක්කම, මේ ඇලුමිනියම් පක්ෂීන් හා ලේ, මස් වලින් හැදුනු පක්ෂීන් අතර ගැටුමක්ද නිර්මාණය වී තිබෙනවා. ඇතැම් විට මේ ගැටුම මරාගෙන මැරෙන සටනක් දක්වා දුර දිග යනවා.

ගුවන් යානා හා සතුන් අතර ගැටීම් හේතුවෙන් 1988-2020 කාලය තුළ ලෝකය පුරා ගුවන් යානා 271ක් විනාශ වී ඇති අතර ජීවිත 293ක් අහිමි වී තිබෙනවා. 1990-2021 අතර වසර 31ක කාලය තුළ ඇමරිකාවෙන් පමණක් මෙවැනි ගැටීම් 243,064ක් වාර්තා වී තිබෙනවා. කෝවිඩ් හේතුවෙන් ගුවන් ගමන් විශාල ලෙස සීමා වූ 2020 වසරේදී වාර්තා වී තිබෙන සිදුවීම් ගණන 11,605ක් පමණක් වුවත්, ඊට පෙර 2019 වසරේදී එවැනි ගැටුම් 17,358ක් වාර්තා වී තිබුණා.

ඉහත අවස්ථා වලදී විවිධ පක්ෂීන් වර්ග 608ක්, වවුල් වර්ග 38ක්, පියාඹන්නේ නැති ක්ෂීරපායී සතුන් වර්ග 52ක් හා උරග විශේෂ 27ක් ගුවන් යානා සමඟ ගැටෙනු හඳුනාගෙන තිබෙනවා. මෙවැනි ගැටුම් හේතුවෙන් ඇමරිකාවේ ගුවන් සේවා කර්මාන්තයට වසරකට අවම වශයෙන් පියාසර පැය 75,861ක් අහිමි වන බවත්, ඩොලර් මිලියන 124ක සෘජු අලාභයක් සිදු වන බවත් ඇස්තමේන්තු කර තිබෙනවා. 

වනසතුන්, විශේෂයෙන්ම පක්ෂීන්, හා ගුවන් යානා අතර ගැටුම් සිදුවීම් පිළිබඳව ගුවන් සේවා කර්මාන්තයෙහි නිරත සමාගම් ඉතාම සැලකිලිමත්. කිසියම් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ විසින් මේ ගැන කතා කරනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවන මේ සංවාදයේදී ඔහු කපුටා යන වචනය එලෙසම භාවිතා කරනවා. 

පෙනෙන්නට තිබෙන පරිදි මෙය අත්වැරදීමක් හෝ ඉංග්‍රීසි වචනය නොදැන සිටීම නිසා සිදුවන දෙයක් නෙමෙයි. සාකච්ඡාව ආරම්භයේදී ඔහු crow යන වචනය භාවිතා කරනවා. මේ විදිහට ඉංග්‍රීසි වාක්‍යයක් මැදට සිංහල වචනයක් එබීමේ කිසිම වැරැද්දක් මටනම් පේන්නේ නැහැ. අනෙක් අතට, ඉංග්‍රීසි වචනයක් නොදැන සිටීම වුනත් කිසිසේත්ම ගණන් ගත යුතු අඩුපාඩුවක් නෙමෙයි. 

සිංහලෙන් කතා කරන බොහෝ දෙනෙක් එසේ කතා කරද්දී බාගෙට බාගයක් ඉංග්‍රීසි වචන ඔබනවා. සිංහල වචනය නොදන්නා අවස්ථාවක හෝ හරි සිංහල වචනයක් නැති අවස්ථාවක එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. එහෙත්, ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ ඔය හේතු දෙකෙන් එකක් නිසා නෙමෙයි.

ලංකාවේදී සිංහලෙන් කතා කරද්දී හෝ ලියද්දී සිදුවන ලොකු වැරදි වුවත් බොහෝ විට එතරම් ගණන් ගැනෙන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසියෙන් වැඩ කරද්දීනම් පොඩි වැරැද්දක් වුවත් ලොකු ප්‍රශ්නයක්. පෞද්ගලිකව මගේ ඉංග්‍රීසි ගොඩක් හොඳ නැහැ. සිංහල කියලත් හොඳ නැහැ. මම විෂයයක් ලෙස සිංහල ඉගෙන ගෙන තියෙන්නෙත්, ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නෙත් දහයේ පන්තියට පමණයි. ඊට පස්සේ සරසවි ප්‍රවේශයට පෙර ලැබෙන සයමාසික ගෙල්ට් පුහුණුව ලැබුණා.

හැබැයි ඔය සීමිත දැනුම පමණක් තියාගෙන, දවසක හෝ පුහුණුවක්ද නොලබා, රජයේ ඉංග්‍රීසි උපගුරු තනතුරකත් කාලයක් වැඩ කළා. ලංකාවේ බොහෝ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබී තිබෙන්නේ මා රජයේ පාසැලක උගන්වද්දී මගෙන් උගත් දරුවන්ට ලැබුණු තරමේ අවස්ථාවන් පමණයි.

කෙසේ වුවත්, මම දන්න ඉංග්‍රීසි ටික ඇමරිකාවේදී හා ජාත්‍යන්තරව මගේ පෞද්ගලික හා වෘත්තීය කටයුතු කරගැනීම සඳහා මට හොඳටම ප්‍රමාණවත්. හැබැයි ලංකාවේ හිටියානම් මගේ ඉංග්‍රීසි දැනීම මට ප්‍රශ්නයක් වෙනවා. මම මේ කියන්නේ ඇමරිකාවට ආවාට පසුව මගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු වීම ගැන නෙමෙයි. දැන් ලංකාවට ආවත් මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී වැඩ කරන්න ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. බැසිල්ටත් ඇමරිකාවේදීනම් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නයක් තියෙන්න නැතුව ඇති.

ඉංග්‍රීසි කතා කරද්දී වගේම ලියද්දිත් ලංකාවේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් අසා නැති බර වචන පුළුවන් තරම් ඔබ්බන්නයි. එහෙත් මම අසා තිබෙන සාමාන්‍ය මූලධර්මය වන්නේ හොඳ ඉංග්‍රීසි කියන්නේ සරල ඉංග්‍රීසි බවයි. 

ඇමරිකාවේදී මේ වගේ දෙබස් මට නිතර ඇහෙනවා.

ඇමරිකාවට පැමිණ සිටින ජර්මානුවෙක්:  "සමාවෙන්න, මගේ ඉංග්‍රීසි දැනුම ඒ තරම් හොඳ නැහැ!"

ඇමරිකානුවා: "ඇත්තටම සමාව ඉල්ලිය යුත්තේ මමයි. මගේ ජර්මන් දැනුම ඔබේ ඉංග්‍රීසි දැනුමට කිට්ටුවෙන්වත් තියන්න බැහැ!"

ඇමරිකානුවෙක් ලංකාවට ගොස් සිංහල වචන කිහිපයක් හෝ දැන සිටියේනම් මා වැනි අයෙකු හා කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ වචන ඉංග්‍රීසි වාක්‍ය වල මැදට දමනවා. දැන්නම් ඇතැම් අවස්ථා වලදී ගූගල් කර වචන හොයා ගන්න අයත් ඉන්නවා. භාෂාව අවශ්‍ය වන්නේ සන්නිවේදනය සඳහා සහ සම්බන්ධතා ගොඩ නගා ගැනීම සඳහා. ඔය දෙකෙන් එකකටවත් පරිපූර්ණ භාෂා භාවිතයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ හැම කෙනෙක්ම හැම විටම ව්‍යාකරණ නොවරද්දා කතා කරන්නේ හෝ ලියන්නේ නැහැ. 

මමනම් හිතන්නේ බැසිල්ගේ ඉංග්‍රීසි භාවිතය ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයෙකුට උත්තේජනයක් විය යුතුයි කියලයි. භාෂාවක ප්‍රවීණත්වය ලබාගන්නනම් එය භාවිතයේ යෙදවිය යුතුයි. භාෂාවක් භාවිතා කිරීම සඳහා පළමුව ප්‍රවීණත්වය අවශ්‍යයැයි සිතන අයෙකුට කවදාවත් තමන්ගේ ඉලක්කයට යන්න බැහැ. භාෂාවක් හරියට නොදැන එය භාවිතා කිරීමෙහි යම් හානි ඇත්නම්, ආර්ථික විද්‍යාව හරියට නොදැන ආර්ථිකය කළමනාකරණය කරන්න යාමේ හානි ඊට වඩා සිය දහස් වාරයක් වැඩියි.

Sunday, September 19, 2021

ප්‍රයිවෙට් බස් ප්‍රයිවෙට්ද?


හැත්තෑ හතේදී ලංකාව තුළ සෝවියට් ක්‍රමයේ සමාජවාදය වෙනුවට චීන ක්‍රමයේ සමාජවාදයක් ආදේශ වීම ගොඩක් අය හඳුන්වන්නේ ලංකාවට විවෘත ආර්ථිකයක් පැමිණීමක් ලෙසයි. පරණ ක්‍රමයට සාපේක්ෂව ආර්ථිකය යම් තරමකින් බාහිර ලෝකයට විවෘත වූ නිසා මේ යෙදුමේ විශාල වැරැද්දක් නැහැ. එහෙත්, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය බාහිරට විවෘත වුනේ ඊට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව පමණයි.

හැත්තෑ හතේ ආ පැකේජ් එක ඇතුළේ එතෙක් රජය විසින් තනිවම කළ ඇතැම් ආර්ථික ක්‍රියාකාරකම් රජයට අවශ්‍ය ආකාරයට කරමින් පෞද්ගලිකව ලාබ ලැබීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ රජය විසින් තෝරාගත් පිරිසකට ලැබුණා. සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ චීනය අනුගමනය කළ ක්‍රමයත් මෙයයි. මේ ක්‍රමය පෙර ක්‍රමයට සාපේක්ෂව ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් කළා.

සෝවියට් සමාජවාදය තුළ නිෂ්පාදනය හා බෙදා හැරීම තනිකරම වාගේ රාජ්‍ය ඒකාධිකාරයක්ව පැවතුනා. හැම දෙයක්ම තීරණය වුනේ රජයේ පස් අවුරුදු සැලසුම් ඇතුළේ. සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේත් මේ ක්‍රමයයි. 

සෝවියට් සමාජවාදය, එහෙමත් නැත්නම් "නියම" සමාජවාදය, ඇතුළේ එයට වැඩිකල් යාමට නොහැකි වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන් ගණනාවක් තිබුණා. ප්‍රධානම ප්‍රශ්නය වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කිසිසේත්ම වෙළඳපොළ තරමට කාර්යක්ෂම වීමට නොහැකි වීමයි. අනුන්ගේ සම්පත් පාලනය කළ "මහජන සේවකයින්ට" තමන්ගේ ව්‍යාපාරයක් කරන අයෙකු මෙන් ලාබ උපයන්නට අවශ්‍ය නොවූ නිසාත්, තරඟයක් නොතිබුණු නිසාත්, න්‍යායාත්මකව සිදු විය හැකි පරිදිම රාජ්‍ය ව්‍යවසායයන් විසින් දිගින් දිගටම අකාර්යක්ෂමතාවය නඩත්තු කළා. ක්‍රමය තුළ සිදු විය යුතු පරිදිම හොරකම්, වංචා සිදු වුනා. ඒවා වළක්වන්නත් වියදමක් දරන්න සිදු වුනා. 

සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ ලංකාව ඇතුළු සෝවියට් පන්නයේ සමාජවාදය ක්‍රියාත්මක වූ හැම රටකටම වගේ වෙළඳපොල ආර්ථිකයක් තිබුණු අනෙකුත්  රටවල් වල කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ නොහැකි වූ නිසා රටවල් සංවෘතව තියා ගන්න සිදු වුනා. කාර්යක්ෂම විය හැකිව තිබුණේ තවත් සමාජවාදී රටක් සමඟම කරන ගනුදෙනු වලදී පමණයි. ඒ නිසා, සෝවියට් සමාජවාදය බොහෝ විට ක්‍රියාත්මක වුනේ එක්කෝ සංවෘත ජාතික සමාජවාදී රාමුවක් ඇතුළේ. නැත්නම් මේ ගොඩේ සිටි ලොකු අයියා වූ සෝවියට් දේශයේ සෙවණ යටතේ පරිවාර රාජ්‍යයක් විදිහට. ඒ හැර වෙනත් ස්වාධීන පැවැත්මක් සෝවියට් සමාජවාදය අනුගමනය කළ කිසිදු රටකට තිබුණේ නැහැ.

අන්තිමේදී සෝවියට් දේශය බිඳ වැටුනා. ඒ එක්කම ලෝක මට්ටමෙන් සෝවියට් පන්නයේ සමාජවාදයද බිඳ වැටුණා. 

චීන සමාජවාදය වෙත මාරු වීම තුළ සමාජවාදී ක්‍රමයට තව දුරටත් නොමැරී ජීවත් වීමේ හැකියාව ලැබුණා. මෙහිදී මේ රටවල් සමාජවාදී නොවන ලෝකයට විවෘත වුනා වගේම රජයේ පාලනය යටතේ වෙළඳපොළට යම් ඉඩක් විවෘත වුනා. රට ඇතුළේ යම් පිරිසකට ලාබ උපයන්න අවස්ථාව ලැබුණා. 

ආර්ථික වශයෙන් දියුණු රටකට තවත් දියුණු වෙන්න ව්‍යවසායකත්වය අවශ්‍යයි. ව්‍යවසායකත්වය ඉස්මතු වෙන්නේ සියල්ලන්ටම සමාන අවස්ථා ලැබෙන, තරඟය තුළ වඩා කාර්යක්ෂම ව්‍යවසායකයා ඉතිරි වන ක්‍රමයක් තුළයි. එහෙත්, ආර්ථික වශයෙන් නොදියුණු රටකට පහසුවෙන් දියුණු රටක් දිහා බලාගෙන දියුණු වෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් තරම් ලෝකයට විවෘත වීම පමණයි. ව්‍යවසායකත්වය බිහි කරන ධනවාදී ලෝකයක් බාහිරින් පවතින තුරු, චීන සමාජවාදයට සෝවියට් සමාජවාදය මෙන් කඩා නොවැටී පවතින්න පුළුවන්. ධනවාදී රටක කිට්ටුවට එන තුරු වේගයෙන් වර්ධනය වෙන්නත් පුළුවන්. 

කාර්යක්ෂම ධනවාදයක් පැවතිය හැක්කේ සියල්ලන්ටම සමාන අවස්ථා හිමි වේනම් පමණයි. ඒ සඳහා දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් එක රැයින් ගොඩ නැගෙන්නේ නැහැ. එය කාලයක් තිස්සේ සිදුවන පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. වැඩවසම් ක්‍රමයක හෝ සෝවියට් පන්නයේ සමාජවාදයක හිර වී සිටින රටකට එක පාරටම ධනවාදයක් කරා මාරු වෙන්න බැහැ. චීන සමාජවාදය එවැනි රටකට හොඳ අතරමැදි පියවරක්. හැත්තෑ හතේදී ලංකාව තැබුවේ මේ අතරමැදි පියවරයි. ධනවාදය මීට වඩා බොහෝ දුරින් තිබෙන දෙයක්. ළඟා කරගත යුතු ඉලක්කයක්.

බොහෝ දෙනෙක් "විවෘත ආර්ථිකය" ලෙස වැරදියට හඳුන්වන ජේආර්ගේ චීන සමාජවාදී ක්‍රමය තුළ ලංකාවේ ප්‍රයිවෙට් බස් පාරට ආවා. ලංකාවේ ඊනියා විවෘත ආර්ථිකයේ වැරදි දකින්න කැමති බොහෝ දෙනෙක් මේ ප්‍රයිවෙට් බස් උදාහරණයකට ගන්නවා. දැන්නම් ලංකාවේ ප්‍රයිවෙට් බස් ඒ තරම්ම නරක නැහැ. නමුත්, කොන්ද නමාගෙන යා යුතු පාන් බාග වෑන් වල සාඩින් පැක් කරන්නාක් මෙන් මිනිස්සු පැක් කළ කාලයක් තිබුණා. හැත්තෑ ගණන් වල අග හෝ අසූ ගණන් වල මුල සිත්තර පත්තරයක් හොයා ගෙන මැද පිටුවේ පහළ කැමිලස්ගේ ගජමෑන් කොටස් බලන්න.

කලක් යද්දී පාන් බාග තහනම් වුනා. හැබැයි පොල් පටවනවාක් සේ සෙනඟ පැටවීම, මහ පාරේ පදික ජීවිත හා මගී ජීවිත නොසලකමින් සිදු වූ මිනීමරු තරඟය, මගියා "කෑල්ලක්" වීම නැවතුනේ නැහැ. ඉතා පැහැදිලිවම ලංකාවේ ප්‍රයිවෙට් බස් ආකෘතිය හොඳ ආකෘතියක් නෙමෙයි. එහෙම වුනේ ඇයි? වැරැද්ද වෙළඳපොළ තරඟයේද? එහෙම නැත්නම් වෙළඳපොළ තරඟයක් නැතිකමේද? ලංකාවේ ප්‍රයිවෙට් බස් ඇත්තටම ප්‍රයිවෙට්ද?

ප්‍රයිවෙට් බස් කියා කියන්නේ ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප අතරින් එක් විකල්පයක් පමණයි. ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප පෞද්ගලික ප්‍රවාහනය හා පොදු ප්‍රවාහනය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. පෞද්ගලික ප්‍රවාහනය සේ සැලකෙන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් තමන්ගේ වාහනයකින් තමන්ට අවශ්‍ය තැනකට යාමයි. එසේ නැත්නම් පවුලේ අයෙකු හෝ වෙනත් අයෙකු තමන්ට අවශ්‍ය තැනකට ප්‍රවාහනය කිරීමයි. මෙහිදී මගියෙකුගෙන් අදාළ ගමන වෙනුවෙන් මුදල් අය කිරීමක් සිදු වන්නේ නැහැ.

මෙයින් වෙනස්ව පොදු ප්‍රවාහනයේදී කිසියම් මුදලක් අය කර වෙනත් අයෙකුව අවශ්‍ය තැනකට ප්‍රවාහනය කෙරෙනවා. බොහෝ විට සේවය සපයන්නා සහ මගියා එකිනෙකා හඳුනන අය නෙමෙයි. ඒ වගේම, එක වර එකිනෙකා නොහඳුනන පුද්ගලයින් ගණනාවක් ප්‍රවාහනය කෙරෙන්න පුළුවන්. මෙවැනි ගනුදෙනුවක් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්.

පෞද්ගලික ප්‍රවාහනයේදී වුවත් වාහන ගමන් කරන්නේ පෞද්ගලික පාරවල් වල නෙමෙයි. පාරවල් බොහෝ විට පොදු පාරවල්. ඒ නිසා, පෞද්ගලික ප්‍රවාහනය වුවත් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්. මේ හේතුව නිසා ප්‍රවාහනය යනු යම් ආකාරයක සමාජයීය එකඟතාවයන් අවශ්‍ය වන සංකීර්ණ ගනුදෙනුවක්. එය දෙදෙනෙකු අතර සිදු වන සරල ගනුදෙනුවක් නෙමෙයි. මෙවැනි ගනුදෙනුවක් හා අදාළ සමාජයීය එකඟතාවයන් තුළ තෙවන පාර්ශ්වයන්ට හානි සිදු නොවන බවට සහතිකයක් තිබිය යුතුයි. නියාමනය හරහා රජය මැදිහත්වීමක් කරන්නේනම් එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ එකිනෙකාගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව ඇති වන සමාජයීය සම්මුතියක් බලාත්මක කිරීමයි.

පෞද්ගලික හෝ රජයේ බස් සේවාවකින් කෙරෙන්නේ කිසියම් කාලයක් තුළ කිසියම් ස්ථාන දෙයක් අතර ගමන් කරන්නට අවශ්‍ය පිරිසකට එකවර එම අවස්ථාව ලබා දීමයි. මේ වෙනුවෙන් පිරිවැයක් දරන්නට සිදු වනවා. එම පිරිවැය මගීන්ගෙන් අය කෙරෙනවා. 

ලංකාවේ බස් සේවා කර්මාන්තය ඓන්ද්‍රීය ලෙස ගොඩ නැගුනු එකක්. 1940 පමණ වන තුරු කිසිදු නියාමනයක් සිදු වී නැහැ. සේවා සපයන සමාගම් විසින් පාරවල් "අයිති කර ගැනීමක්" සිදුව ඇති බව පේනවා. එක් එක් ප්‍රදේශ වල බස් සේවා සැපයීමේ ඒකාධිකාරය විවිධ පුද්ගලයින් සතුව තිබී ඇති බව පේනවා. කිසියම් ප්‍රදේශයක එක් සමාගමකට වඩා බස් සේවා සපයන්න ඉදිරිපත් වූ අවස්ථා වල ගැටුම් ඇති වී තිබෙනවා. බස් පෞද්ගලික වුවත් පාරවල් පෞද්ගලික නොවූ නිසා රජයට මෙම කර්මාන්තය පහසුවෙන් නියාමනය කළ හැකිව තිබුණා. 1940-1958 අතර කාලයේ එවැනි නියාමනයන් සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සේවාවන්ගේ ගුණාත්මක භාවයද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, රාත්‍රී කාලයේදී හෝ දුෂ්කර පාරවල් වල සේවා සැපයීමක් එතරම් දුරට සිදු වී නැහැ.

බස් ජනසතුව සිදු වුනේ ඔය වගේ පසුබිමක. බස් ජනසතු කරද්දී බස් සමාගම් 73ක් පමණ ලංකාව පුරා ක්‍රියාත්මකව තිබෙනවා. මේවා බස් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු තරමක් විශාල දේශීය සමාගම්. එකවරම මේ කර්මාන්තය බිඳ දමා බස් සේවා සැපයීමේ ඒකාධිකාරය රජය සතු කර ගන්නවා.

සමාගම් 73ක් විසින් වෙන වෙනම සැපයූ සේවාවන් ඒකාබද්ධ කිරීමේ යම් වාසිද තිබෙනවා. මධ්‍යගත සැලසුම් ක්‍රමය සමස්තයක් ලෙස අකාර්යක්ෂම වුවත්, එහි සාධනීය අංග තිබෙනවා. රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වලද වැඩි වශයෙන් බස් සේවා සපයන්නට හැකි වීම එවැනි එක් වාසියක්. එහෙත්, මේ සේවාවන් මධ්‍යගත පාලනයක් නැතිව වුවද සැපයිය හැකිව තිබුණා. කළ යුතුව තිබුණේ යම් කොන්දේසි යටතේ යම් ප්‍රදේශයක පාරවල් වල බස් සේවා සැපයීමේ අවස්ථාව වෙන්දේසි කිරීමයි. එසේ වෙන්දේසි කර සමාගම් එකක් හෝ කිහිපයක් තෝරා ගැනීමයි.  රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වල සේවාවන් සැපයීම වඩා වාසිදායක තත්ත්වයන් යටතේ සේවා සැපයීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා අනිවාර්ය කොන්දේසියක් කළානම් ප්‍රශ්නය ඉවරයි. 

ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භයේදී වේගයෙන් ව්‍යාප්ත වුවත් පාලකයින්ට සෘජු ලාබ නොලැබෙන තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සිදුවන පරිදි කාලයත් සමඟ අකාර්යක්ෂමතාවය ඉහවහ යනවා. ලංගම දිගින් දිගටම පාඩු ලබමින් මහජන මුදලින් නඩත්තු වෙනවා. අද වන විට කවුරුත් කතා කරන ලංකාවේ දැවැන්ත රාජ්‍ය ණය මල්ල තුළ ලංගම පාඩු වෙනුවෙන් රජය ගත් ණය හා එම ණය වල පොලිය කොපමණක්ද යන්න ගණන් හදා බැලිය යුතු දෙයක්. 

වැඩි කලක් නොගොස් ලංගම අකාර්යක්ෂමතාවයේ සංකේතයක් බවට පත් වෙනවා. දේශපාලන හෙන්චයියන්ගෙන් ලංගම පිරෙනවා. ඔවුන් කරන දෙයක් නැහැ. ලංගමින් පඩි ලබමින් කරන්නේ දේශපාලනය. යම් අවස්ථාවක එක බසයකට සේවක ප්‍රමාණය 17ක් හෝ වැඩි ගණනක් දක්වා ඉහළ ගොස් තිබුණු බව මට මතකයි. සමගි පෙරමුණු රජය කාලයේ මැයි පෙලපාලි වලට සෙනග අදින්නට ලංගම බස් විශාල සේ යොදාගත් බව මගේ මතකයේ ඇති දෙයක්. හැත්තේ හතේදී ලංගම බස් වල නිල් පාට පටිය කොළ පාට වූ පසුද මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වුනේ නැහැ. ඇතැම් බස් වල ගමනාන්ත වුනේ ඩිපෝ පරීක්ෂකගේ නිවෙස. එසේ නැත්නම් ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ හිතවතෙකුගේ නිවස. ඇතැම් විට බස් කාල සටහන් හැදුනේද ඇතැම් අයගේ පෞද්ගලික අවශ්‍යතා සමග ගැලපෙන පරිදියි. මේවා මම හොදින්ම දන්නා, මට හොඳින්ම මතක දේවල්.

පනස් අටේ බස් ජනසතුව හරහා ඊබට් සිල්වා සමාගම වැනි දේශීය සමාගම් ගණනාවක් මරා දමනු ලැබෙනවා. නැගී ගෙන එන දේශීය කර්මාන්තයක් උපන් ගෙයිම මරා දැමෙනවා. මේ කර්මාන්තය අවශ්‍ය පරිදි නියාමනය කර දියුණු වෙන්නට ඉඩ ඇරියානම් රජයේ බදු ආදායම්ද ඉහළ යා හැකිව තිබුණත් ඒ වෙනුවට වෙන්නේ සුදු අලියෙකුට පණ දීමයි. සමස්ත වියදමෙන් 40%ක් පමණ දක්වා ණයෙන් සුබසාධනය වන තැනට වැටෙන ලංගමට මුලින් තිබුණු බස් ටිකම කැඩෙන විට හද හදා දුවවනවා හෝ එම වර්ග වලම බස් අලුතින් ධාවනයට එකතු කරනවා මිස ගුණාත්මක භාවයෙන් ඉහළ හොඳ බස් ධාවනයට එකතු කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හැත්තෑ හත වෙනකොට ලංගම මැරිලා. 

හැත්තෑ හතෙන් පසුව, හැත්තෑ අටේදී, පෞද්ගලික බස් ධාවනයට නැවත ඉඩ සැලසෙනවා. ඒ වෙද්දී බස් ජනසතුව සිදු වී යාන්තම් අවුරුදු විස්සයි. ඒ අවුරුදු විස්ස වසර පහෙන් පහට එජාප-ශ්‍රීලනිප තට්ටුමාරුව සිදු වූ කාලයක්. හැත්තෑ හතෙන් පසුව අනූ තුන පමණ වන තුරු ශ්‍රීලනිපය සෝවියට් සමාජවාදය අත හැර තිබුණේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ පනස් අටට පෙර බස් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කළ සමාගම් වලට සිදු වූ දෙය දැක තිබුණු විශාල ආයෝජකයින් තමන්ගේ අත පුච්චා ගන්න හදිස්සි නොවන බව අමුතු දෙයක් නෙමෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ වුවත් හැත්තෑ අටේදී මුලින්ම පාරට බස් දැම්මේ ලොකු බස් විශාල ප්‍රමාණයක් පාරට දමන්න තරම් සල්ලි තිබුණු අයයි. උදාහරණයක් විදිහට රත්නපුර පැත්තේ මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් මුලින්ම මේ බස් වැඩේට අත ගැහුවා. ඒ බස් ලංගම බස් වලට වඩා අලුත්, සුවපහසු, ලොකු බස්. ලංකාව පුරා නගර වලට මේ බස් දිවුවා. ගාස්තුව තිබුණේ ලංගම ගාස්තුවට වඩා ටිකක් ඉහළින්. මම ජීවත්ව සිටි තැන සිට ලඟම නගරයට යන්න ලංගම බස් ගාස්තුව ශත 20ක් වුවත් පෞද්ගලික බස් එකක ශත 25ක් අය කළා. බස් සේවකයෝ මගීන්ට හොඳින් සැලකුවා. කෙටුවේ නැහැ වගේම රේස් ගියේත් නැහැ. අත දැම්මොත් බස් එක නැවැත්තුවා. ලංගම බස් වගේ අත දමද්දී මගීන් නොසලකා ගහගෙන ගියේ නැහැ. ලංගම බස් නම් සෙනග නැතත් සමහර වෙලාවට එහෙම කළා. මේ පෞද්ගලික බස් වල බොහෝ විට සීට් තිබුණා. හිටගෙන යන්න වුනේ නැහැ. පෞද්ගලික බස් පිළිබඳ මගේ මුල්ම පෞද්ගලික අත්දැකීම් ඉතා ප්‍රසන්න අත්දැකීම්. 

හැබැයි මේ තත්ත්වය වැඩි කාලයක් තිබුණේ නැහැ. 1979 අවසාන වන විට ලංකාවේ පෞද්ගලික බස් අයිතිකරුවන් ප්‍රමාණය 3,800 ඉක්මවලා. මේ ගොඩක් අය එක් බසයක් පමණක් තිබුණු අය. සමහර විට රියදුරු හෝ කොන්දොස්තර වුනේ අයිතිකරුමයි. ඉතා ඉක්මනින් මේ තත්ත්වය වෙනස් වෙලා බස් අයිතිකරුවන් හා මෙහෙයවන්නන් කණ්ඩායම් දෙකක් වුනා. වඩා වැදගත් කරුණ අර මුලින්ම පාරට බස් විශාල ප්‍රමාණයක් දමපු සමාගම් එකින් එක කර්මාන්තයෙන් ඉවත් වුනා. ඒ එක්කම සේවයේ ගුණාත්මක භාවය විශාල ලෙස පිරිහුණා.

දැන් බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වැඩේ වුනේ තරඟය නිසා බවයි. එහෙත් එය එහෙමද? 

පෞද්ගලික බස් වලට අවසර දී ඉතා කෙටි කලකින් හෝ ආරම්භයේදීම රජය මගින් මිල නියාමනය කරනු ලැබුවා. මේ මිල නියාමනය අදටත් එසේම තිබෙනවා. ඒ කියන්නේ බස් ප්‍රයිවෙට් වුනත් බස් ගාස්තුව තීරණය කරන්නේ රජයයි.

නිදහස් වෙළඳපොළක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. පහසුවට අපි ඉල්ලුම ස්ථිර, අනම්‍ය ඉල්ලුමක් සේ සලකමු. දැන් බස් සේවා සපයන්නන්ට එකිනෙකා සමඟ තරඟ කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් අඩු මිලකට සේවාවන් සැපයීම. අනෙක වැඩි ගුණාත්මක සේවයක් සැපයීම. හැබැයි අඩු මිලකට සේවාවන් සැපයීමේ දී සේවයේ ගුණාත්මක භාවයද අඩු වෙනවා. ඒ නිසා, ගුණාත්මක සේවයක් සැපයිය හැක්කේ වැඩි මිලක් අය කරන්නට ඉඩක් ලැබේනම් පමණයි. 

පෞද්ගලික බස් වලට අවසර දීමෙන් පසු මිල පාලනය නොකළේනම් විවිධ සැපයුම්කරුවන් විසින් විවිධ පැකේජ් ඉදිරිපත් කරනවා. ඇතැම් අය වැඩි මිලක් අය කර ගුණාත්මක සේවයක් සපයයි. ඇතැම් අය ගුණාත්මක භාවය අඩු කර අඩු මිලකට සේවය සපයයි. තෝරා ගැනීම එක් එක් පාරිභෝගිකයා සතු වෙයි. 

රජය මිල පාලනය කිරීම නිසා මේ වැඩේ මේ විදිහට සිදු වුනේ නැහැ. මිල තීරණය කර තිබුණේ ලංගම මිල මත පදනම්වයි. ඒ මිලට ලංගමට ගුණාත්මක සේවයක් සපයන්න හැකි වී තිබුණේ නැහැ. සපයපු අඩු ගුණාත්මක සේවය යටතේ වුවත් ලාබ ලබන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. 

පෞද්ගලික බස් හිමියන්ට ලංගම වගේ පාඩුවට බස් දුවවන්න බැහැ. ඔවුන්ව බදු සල්ලි වලින් හෝ උද්ධමන බද්දෙන් සුබසාධනය වෙන්නේ නැහැ. යාන්තමින් හෝ ලාබ ලබන්නනම් ඔවුන්ට ගුණාත්මක භාවය පහළ දමනවා මිස වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ වැඩේ ඒ විදිහටම සිදු වුනා. සේවය ගුණාත්මක බවින් අඩු වුනත් තරඟය හමුවේ වඩා කාර්යක්ෂම සේවා සපයන්නන් පමණක් ඉතිරි වීම නිසා ඔවුන් කෙසේ හෝ ලාබ ලැබුවා. එවැනිම ගුණාත්මක බවින් අඩු සේවයක් සැපයු ලංගම අකාර්යක්ෂමතාවය නඩත්තු කරමින් දිගින් දිගටම පාඩු ලැබුවා.

ඇත්තටම කියනවානම් මේ පෞද්ගලික බස් හිමියන්ද ලාබ ලැබුවේ නැහැ. ඔවුන් ලාබ සේ දැක්කේ තමන්ගේ ශ්‍රමයේ වියදම නොසැලකීමෙන් පසු සිදු වූ ඉතිරියයි. නමුත්, බස් ගණනාවක් අයිතිව සිටි අයට බස් ධාවනය කළ හැකි වූයේ රියදුරු හා කොන්දොස්තරවරුන් ලෙස වෙනත් අයව සේවයේ යෙදවීමෙන්. ඔවුන්ට වැටුප් ගෙවීමට සිදු වීමත්, ඔවුන් හොරකම් කිරීම වැළැක්වීම අසීරු වීමත් නිසා, විශාල බස් සමාගම් වලට තනි බස් අයිතිකරුවන් සමඟ තරඟ කරන්න බැරි වුනා. ඔවුන් වෙළඳපොළෙන් ඉවත්ව ගියා. තනි බස් අයිතිකරුවන් පමණක් ඉතිරි වුනා.

කොහොම වුනත් හැත්තෑ හතේ සිට අද දක්වාම කැමති කෙනෙකුට ප්‍රයිවෙට් බස් එකක් පාරට දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ අයිතිය හිමි වුනේ ආණ්ඩුව කැමති අයට පමණයි. රූට් පර්මිට් ලැබුණේ ආණ්ඩුවේ හෙන්චයියන්ටයි. මේ හේතුව නිසා ඉතිරි වූ තනි බස් අයිතිකරුවන් අතර ඉතිරි වුණෙත් ආණ්ඩුවට හිතවත් අය මිසක් වඩා කාර්යක්ෂම අය නෙමෙයි. ඒ කියන්නේ චීන සමාජවාදය මිසක් කිසිසේත්ම නිදහස් වෙළඳපොළක් හෝ ධනවාදයක් මෙතැන තිබුණේ නැහැ. 

මුලදී රූට් පර්මිට් ලැබුණේ දැන් බාර් පර්මිට් ලැබෙන විදිහට දේශපාලනඥයින් හරහා. දැන් වුනත් මේ වැඩේ මේ විදිහට නොවෙනවා කියා කියන්න බැහැ. රූට් පර්මිට් එකක් ගන්න දේශපාලනඥයකු වෙත යා යුතුයි. අත යටින් ගාණක් දෙන්න ඕනෑ වගේම දිගටම මැතිවරණ වලදී පෝස්ටර් මුද්‍රණය කර දීම වැනි උදවු කරන්නත් වෙනවා. මේ සියල්ල අය කර ගන්න වෙන්නේ ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් වුවත් එය රජයෙන් තීරණය කර අවසානයි. ඒ නිසා, ලාබ ලබන්න තිබෙන එකම ක්‍රමය ගුණාත්මක භාවය අඩු කිරීම. බොහෝ බටහිර රටවල මෙන් රාත්‍රී හෝ සති අන්ත සේවා සැපයුවා කියා වැඩි මිලක් අය කරන්න ඉඩ නොලැබුණු නිසා එවැනි සේවාවන් සපයන්න කිසිවකු නැඹුරු වුනේ නැහැ. 

ඕනෑම කෙනෙකුට රූට් පර්මිට් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා රූට් පර්මිට් ලබා ගත හැකි වූ අයට බස් පාරට නොදමාම රූට් පර්මිට් එක වෙනත් අයෙකුට දීමෙන් පමණක් ආදායමක් උපයන්න අවස්ථාවක් ලැබුණා. අවදානමක් හෝ මහන්සියක් නැතිව මාසෙ අන්තිමට අතට අවශ්‍ය ගාණ එනවානම් බස් දුවවන්න මහන්සි වෙන්නේ මොන මගුලකටද? 

දැන් පාරට බස් එකක් දමා ලාබ හොයන්න කැමති කෙනෙකුට මුදලක් ගෙවා වෙනත් අයෙකු සතු රූට් පර්මිට් එක පාවිච්චි කිරීමේ විකල්පය තිබෙනවා. මෙය තනිකරම අමතර වියදමක් වගේම නිදහස් වෙළඳපොළක් නැති කමේ, ලංකාවේ සමාජවාදී ක්‍රමයේ, ප්‍රතිඵලයක්. මේ වියදමත් ආවරණය කරගත යුතු වුවත් ප්‍රවේශ පත්‍ර මිල වැඩි කරන්න බැහැ. ආදායම් වැඩි කර ගත හැකි ක්‍රමය හැකි තරම් සෙනග පැටවීම හා සෙනග සිටින වෙලාවට වැඩි ටර්න් ගණනක් දුවන එකයි.

මේ තනි අයිතිකරුවෝ බොහෝ දෙනෙක් බස් අරන් තියෙන්නේ ලීස් කරලා. එක පැත්තකින් එහෙම වෙන්නත් ඕනෑනේ. අතේ සල්ලි දමලා කලින් පාර වගේ ජනසතුවක් වුනොත් කාට කියන්නද? ඔය ජනසතු කිරීම් වල ඔය ආකාරයේ දිගුකාලීන අවාසි තිබෙනවා. ජනසතු කිරීමේ ඉතිහාසයක් තිබෙන රටක මිනිස්සු තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න බයයි. ලීස් කරලා ගත්තහම අවුලක් නැහැ. අනෙක් අතට බස් එක තමන්ගේම නොවන නිසා බස් එක පරිස්සම් කරන්න මහන්සි වෙන්නත් අවශ්‍ය නැහැ. මාස්පතා ලීසිං එක ගෙවන්න ආදායමක් ලැබෙනවානම් එච්චරයි. තව තෙල් වියදම්, සේවක පඩිනඩි ගෙවන්නත්  අවශ්‍යයි.

මේ ක්‍රමයත් වැඩිකල් පැවතුණේ නැහැ. මොකද සැමන් වගේ පැක් කරපු බස් පට් පට් ගාලා ටර්න් ගහද්දී කොන්දොස්තර මාටියා ගහන එක අල්ලන්න බස් අයිතිකාරයාට පහසු නැහැ. අන්තිමට බස් අයිතිකාරයා අතින් කාලා හරක් බලනවා. බස් එක දවසේ කුලියට කොන්දොස්තරටම දෙන වත්මන් ක්‍රමය පරිණාමය වුනේ ඔය විදිහටයි. දැන් ලීසිං සමාගමට, රූට් පර්මිට් අයිතිකාරයාට හා බස් එකේ අයිතිකාරයට නිශ්චිත ගාණක් ලැබෙනවා. කොන්දොස්තර මොන විදිහට හරි ඔය වියදම් හෙවුවට පස්සේ තමයි ඔහුට ලාබයක් ලැබෙන්නේ. ඩ්‍රයිවර්ගේ ගාණත් දෙන්න ඕනෑ. ගුණාත්මක භාවය පවත්වාගෙන ඔය ඔක්කොම කරන්න බැහැ.

ලීසිං පොලී ගිණි ගණන් බව කවුරුත් දන්නවනේ. ඒ ඇයි? අවදානමක් නැතිව රජයට ණය දී (භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන) වැඩි පොලියක් ලබන්න පුළුවන්කම තියෙද්දී වැඩි අවදානමක් දරාගෙන ඊට වඩා අඩු පොලියකට වෙන අයට ණය දෙන්න බැහැනේ. අවදානමට සරිලන පොලියක් අය කරන්න වෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලිය වැඩි ඇයි? අයවැය හිඟය! කොයි පාරෙන් ගියත් මුල තියෙන්නේ විශාල රජයක් නඩත්තු කිරීමේ ප්‍රශ්නය. අනෙක් පැත්තෙන් බස් එකේ මිලෙන් වැඩි කොටසක් රජය අය කරන බදු. තෙල් මිලේ වුනත් එහෙමයි.

කාගෙනුත් බැනුම් අහන්නේ බස් එකේ කොන්දොස්තර කොලුවා තමයි. නමුත් මේ කොන්දොස්තර කොලුවා කරන්නේ කුමක්ද? දවස පුරා මාර කට්ටක් කා, මගීන් හැකි තරම් පීඩාවට පත් කර උපයන සල්ලි රජයට හා ආණ්ඩුවේ ගජමිතුරන්ට ලබා දෙන එකයි. ඕක ධනවාදයක්ද? ඕක තමයි චීන සමාජවාදය.

ප්‍රයිවෙට් බස් නමට ප්‍රයිවෙට් තමයි. හැබැයි නමට විතරයි. ලංකාවේ ප්‍රයිවෙට් බස් පාලනය කරන්නෙත් රජයම තමයි.

Sunday, March 21, 2021

මහපාරේ ධුරාවලිය


අවම වශයෙන් දහ හතර දෙනෙකුට මරු කැඳවා තිබෙන පස්සර බස් අනතුරේ වීඩියෝ දර්ශන මේ වෙද්දී බොහෝ දෙනෙක් විසින් දැක ඇතැයි සිතනවා. පළමුව, මිය ගිය හා තුවාල ලැබූ අයගේ පවුල් වල අයට අපගේ කණගාටුව. දෙවනුව, සිද්ධියෙන් පසු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ ගම් වැසියන්ට හා රාජකාරියට වඩා වැඩි දෙයක් කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට අපගේ උපහාරය.

පස්සර අනතුරෙන් මිය ගිය අයගේ ජීවිත වෙනුවෙන් වග කිව යුත්තේ කවුද? අදාළ බස් රථයේ රියැදුරා, ටිපර් රථයේ රියැදුරා හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සිට ගෝඨාභය රාජපක්ෂ හා ජේආර් ජයවර්ධන දක්වා විශාල පරාසයක පුද්ගලයින්ට විවිධ අය විසින් මේ අනතුරේ වගකීම පවරා තිබුණා. මේ හැම දෙනෙකුගේම තර්ක වලට කිසියම් පදනමක් තිබෙනවා. 

වීඩියෝව නොබැලූ අයෙකු ඇත්නම්, අනතුර සිදුවන්නේ වංගු සහිත කඳුකර මාර්ගයක. පාරට වැටුණු ගල් කුට්ටියක් නිසා පාරේ පැත්තක් අවහිර වෙලා. පාරේ අවහිර වූ පැත්තෙන් පැමිණෙන ටිපර් රථය අවහිරය පසු කර ඉදිරියට යාම සඳහා වාහනය පාරේ අනෙක් පසට ගන්නවා. ඒ පැත්තෙන් එන පෞද්ගලික බස් රථයට ටිපර් රථය මුහුණට මුහුණ හමු වුනත් බස් රථයේ රියැදුරා බසයේ වේගය අඩු නොකර පාරේ බෑවුම අද්දරින් බසය ධාවනය කරන්න උත්සාහ කරද්දී බසය ප්‍රපාතයට පෙරළෙනවා.

වීඩියෝවේ පැහැදිලිව නොපෙනුණත් ඇතැම් තැන් වල ලියැවී ඇති පරිදි ටිපරය වැලි අදින එකක්. වාහනය ධාවනය කරන ආකාරයෙන් පෙනෙන්නේ ටිපර් රථයේ රියැදුරාට මාර්ගයේ තිබෙන අවහිරය ගැන පූර්ව දැනුමක් ඇති බවයි. ඔහු වැඩිපුර නොහිතාම ටිපර් රථය පාරේ අනෙක් පැත්තට ගන්නවා. පාර වංගු සහිත එකක් වුවත්, එසේ ටිපර් රථය පාරේ අනෙක් පැත්තට ගනිද්දී ඉදිරියෙන් එන බස් රථය පැහැදිලිව පෙනෙනවා. මේ වගේ අවස්ථාවකට මා මුහුණ දුන්නානම් මම කරන්නේ බස් රථයට බාධකය පසු කර ඉදිරියට යන්නට හැර වාහනයේ වේගය අඩු කිරීම හෝ අවශ්‍යනම් වාහනය නවත්වා ගැනීමයි. 

බස් රථයේ රියැදුරාට පාරේ බාධකය ගැන පූර්ව දැනුමක් තිබුණාද යන්න පැහැදිලි නැහැ. එවැනි දැනුමක් තිබුණත් නැතත් තිරිංග තද කර බස් රථය නවත්වා ගත හැකි තරමේ දුරකදී ඔහුට පාරේ බාධකය වගේම ඉදිරියෙන් එන ටිපර් රථයද දර්ශනය වෙනවා. එහෙත් ඔහු අඩු වශයෙන් තිරිංග තද කරන බවක් හෝ පෙනෙන්නට නැහැ. ඔහු උත්සාහ කරන්නේ බෑවුම අයිනෙන් වාහනය ඉදිරියට ධාවනය කරන්නයි. අඟලක දෙකක වාසිය ගෙන වාහනයක් රිංගවීම ලංකාවේ බස් රථ රියැදුරන් හා තවත් රියැදුරන් විසින් කරන ඉතාම සාමාන්‍ය දෙයක්. 

මේ විදිහට අඟලේ වාසිය ගෙන ධාවනය කරන වාහන අනතුරකට ලක් වෙන්න ඔන්න මෙන්න තත්ත්වයටම ගියත් බොහෝ විට අනතුරකට ලක් වෙන්නේ නැහැ. හරියට ලංකාවේ ආර්ථිකය තවමත් කඩා වැටී නැතුවා වගේ. හැබැයි ඔය අඟලේ වාසියේ අවදානම ගැනීම හැමදාම හරියන්නේ නැහැ. කොයි වෙලාවක හෝ වරදිනවා. දැන් වෙලා තියෙන්නේ ඒකයි.

ලංකාවේ මිනිස්සුන්ගේ වගේම වාහන වලද ධුරාවලියක් තිබෙනවා. වාහනයක් එළවන රියැදුරෙක් මේ ධුරාවලියේ තමන්ගේ තැන නිවැරදිව හඳුනාගත යුතුයි. නැත්නම් ලංකාවේ වාහන එළවන්න බැහැ. මම මේ කියන්නේ මැති ඇමතිවරුන්ගේ වාහන ගැන නෙමෙයි. ඒ වාහන වලට කොහොමටත් ධුරාවලියේ ඉහළම තැන ලැබෙනවා. එහෙත් මේ වාහන හැම වෙලාවේම පාරේදී හමු නොවන නිසා විශාල ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

එකම ආකාරය නොවුනත් වාහන ධුරාවලිය බොහෝ දුරට සකස් වන්නේ රියැදුරෙකුට කොයි තරම් අවදානමක් ගන්න පුළුවන්ද කියන එකට සාපේක්ෂව. පෞද්ගලික බස් රථයක් හෝ ලොරියක් ධාවනය කරන රියැදුරෙක් බොහෝ විට කරන්නේ අනුන්ගේ වාහනයක් එළවන එකයි. අනතුරක් වුනොත් පාඩුව වාහනයේ අයිතිකාරයාටයි. මෙයට සාපේක්ෂව තමන්ගේම වාහනයක් එලවන කෙනෙක් වාහනයට සීරීමක් හෝ වෙනවාට කැමති නැහැ. අනෙක් අතට බස් එකක් හෝ ලොරියක් වගේ ලොකු වාහනයක් පොඩි වාහනයක හැපුනොත් වැඩි හානිය වෙන්නේ පොඩි වාහනයටයි. මේ හේතු නිසා ගොඩක් වෙලාවට පොඩි වාහන ලොකු වාහන වලට පාර ඉඩ දීලා පැත්තකට වෙනවා. පෞද්ගලික බස්, ලොරි ආදී ලොකු වාහන ධාවනය කරන රියැදුරන් මෙහි වාසිය ගන්නවා.

සමහර වෙලාවට පෞද්ගලික බස් ධාවනය කරන්නේම පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන්. එවිට හෙමින් යන වාහන කිහිපයක්ම එක වර පහු කරන්න පුළුවන්. ඔය වෙලාවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් එන පොඩි වාහනයක් පාරෙන් එළියට බැහැලා බස් එකට මැදින් රිංගන්න ඉඩ දිය යුතුයි. බස් රථ රියැදුරා විසින් කරන්නේ පොඩි වාහනය අන්තිම මොහොතේ හෝ ඉවත් කර ගැනීමට පොළඹවමින් වේගය අඩු නොකර කෙළින්ම මූණට එන එකයි. පොඩි වාහනයේ රියැදුරාට අන්තිම මොහොතේ හරි වාහනය කාණුවට දමා ගන්න වෙනවා. වාහන ධුරාවලියේ තමන්ගේ තැන පිළිගන්නා රියැදුරෙක්නම් කලින්ම වාහනේ කාණුවට දානවා.

මෙතැන අනතුරට හේතු වී තිබෙන්නේ ටිපර් රථ රියැදුරා වගේම බස් රථ රියැදුරාත් වාහන ධුරාවලියේ තමන් ඉන්නේ අනෙකාට පහළින් නොවන බව සිතීමයි. දෙන්නාම හැම වෙලේම පාරේ ඉන්න, බොහෝ විට අනුන්ගේ වාහන එළවන අය. වාහන දෙකෙන් එකක්වත් කිරි ටොයියෝ නෙමෙයි. ටිපර් රථයේ රියැදුරා බලාපොරොත්තු වෙන්නේ බස් එක වේගය අඩු කර ගනු ඇතැයි කියලා. බස් රථයේ රියැදුරා හදන්නේ ටිපර් රථයේ රියැදුරාට වාහන ධුරාවලියේ තමන්ගේ තැන පෙන්වන්න. ඔහු වේගය අඩු කරන්නේ නැහැ. මේ වැඩේ කරන්නේ අන්තිම මොහොත වන තුරු ටිපර් රථය මුහුණටම ආවොත් බෑවුම අයිනෙන් බස් එක ධාවනය කළ හැකි බවට වන විශ්වාසයෙන්. අන්තිමට කරන්නෙත් ඒකයි. මේ අවස්ථාවේදී වැඩේ ඛේදවාචකයකින් අවසන් වුනත් මෙය හැම දවසකම බොහෝ පෞද්ගලික රියැදුරන් විසින් නොයෙක් වර කරන දෙයක්.

ඇමරිකාවේ පාරකට මේ වගේ ගලක් හෝ පස් කන්දක් වැටුනානම් එය මුලින්ම දකින කෙනා හදිසි ඇමතුම් අංකයකට ඒ ගැන දැනුම් දෙනවා. ඉතා ඉක්මණින්ම පොලිස් නිලධාරීන් එහි පැමිණ බාධකය දෙපස සිට වාහන ධාවනය පාලනය කරන්න පටන් ගන්නවා. වරකට වාහන ධාවනය කරන්න ලැබෙන්නේ එක පැත්තකට පමණයි. ඒ අතර අදාළ අංශ වලින් පැමිණ බාධකය ඉවත් කරනවා. පොලීස් නිලධාරීන් ඉවත් වන්නේ බාධකය ඉවත් කිරීමෙන් පසුවයි. මේ වගේ දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ පොලීසියට හා මාර්ග සංවර්ධන අධිකාරියට සම්පත් හිඟයක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට තිබෙන්නේ ප්‍රමුඛතාවය දීම පිළිබඳ ප්‍රශ්නයක්. 

බාධකය ඉවත්ව තිබුණානම් හෝ පොලිස් නිලධාරියෙකු අදාළ ස්ථානයේ සේවයේ නිරතව  සිටියානම් මේ වෙලාවේ මේ අනතුර සිදුවන එකක් නැහැ. එහෙත්, ඔය බාධකය නොතිබී ටිපර් රථය ත්‍රිරෝද රථයක් ඉස්සර කරන්න යාමක් වැනි අවස්ථාවකදී වුවත් ඔය වගේ අනතුරක් සිදු විය හැකිව තිබුණා.

පෞද්ගලික බස් රථ රියැදුරන් මේ ආකාරයේ අවදානම් ගනිමින් වේගයෙන් බස් රථ ධාවනය කරන්නේ එසේ කිරීම බස් රථයේ ගමන් කරන මගීන් වැඩි දෙනෙකුගේ කැමැත්තද වන නිසයි. ඔය වගේ වෙලාවක මගියෙක් කතා කරන්න ගියොත් අනෙක් පැත්තට කතා කරන්න මගීන් හතර පස් දෙනෙක්ම ඉදිරිපත් වෙනවා. මේ දවස් වල සිදුවන ලංකාවේ සංවර්ධන කතිකාව තුළ ඇහෙන එක ප්‍රශ්නයක් වන්නේ අධිවේගී මාර්ග අවශ්‍ය කාටද කියන එකයි. ලංකාවේ ගොඩක් අයට පුළුවන් තරම් හයියෙන් යන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දුරගමන් බස් රථ වල යන මගීන්ට. ඒකටත් හේතු තියෙනවා.

Saturday, September 19, 2020

මහපාරේ විනය

පසුගිය දවස් වල ලංකාවේ පාරවල් වල වාහන මං තීරු ප්‍රතිපත්තිය සම්බන්ධ වෙනසක් කරන්න ගිහින් අවුලක් වෙලා තිබුණා. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත්, මේ වගේ වෙනසක් කරන්න පෙළඹෙන්න ඇත්තේ ලංකාවේ පාරවල් වල වාහන ධාවනය කරන ආකාරයේ අවුලක් තිබෙන නිසානේ. එවැනි අවුලක් තිබෙනවා කියන කාරණය සම්බන්ධව කියවන හැම දෙනෙක්ම වගේ එකඟ වෙයි කියා හිතනවා.

ඇමරිකාවේ හෝ යුරෝපයේ වාහනයක් එළවන තරම් පහසුවෙන් ලංකාවේ වාහනයක් එළවන්න බැහැ. ඒ සඳහා වෙනම කුසලතාවයක් අවශ්‍යයි. පුරුදු නැති කෙනෙකුට ලංකාවේ පාරක ගමන් කිරීම ඉතාම ත්‍රාසජනක අත්දැකීමක්. කොයි වෙලේ කොහෙන් වෙනත් වාහනයක ගෑවෙයිද කියා වාහනයක් එළවන කාටවත් විශ්වාසයක් නැහැ. මෙය වෙනස් විය යුතු තත්ත්වයක් කියන එක සම්බන්ධවත් විවිධ දේශපාලන මත දරන අයට එකඟ වෙන්න අමාරු නැහැ කියා මම හිතනවා.

බටහිර සංස්කෘතිය තිබෙන රටවල පිළිවෙලකට වාහන ධාවනය සිදු වෙද්දී ලංකාවේ එසේ නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් කියා අදහස් පළ වී තිබෙනු මම දැක තිබෙනවා. එහෙත්, මා එසේ සිතන්නේ නැහැ.

අපි අසූව දශකයට පමණ යමු. මම දැන් විස්තර කරන්න යන අත්දැකීම විඳ තිබෙන බොහෝ දෙනෙක් කියවන අය අතර ඇති. සමහර විට මේ කියන තත්ත්වය දැකිය හැකි ගම් තවමත් ලංකාවේ ඇති.

කලින් වාහනයක් ගමන් කළ හැකි පාරක් නොතිබුණු ගමකට යා හැකි පරිදි අළුතින් පාරක් සංවර්ධනය වෙනවා. ඉන් පසු, එම ගමට යන්න ලංගම බස් රථයක් වැටෙනවා. බස් රථය දවසකට හතර පස් පාරක් ගමට එනවා. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර සේ සේවය කරන දෙදෙනාව ගමේ කවුරුත් වගේ දන්නවා. 

බස් රථය හැරුණු විට ගමේ තවත් වාහන තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. මේ වාහන කිහිපය ගැන කාටත් පොදු දැනුමක් තිබෙනවා. පිට ගමකින් වෙනත් වාහනයක් ගමට එන්නේ කලාතුරකින්. 

පාරේ වාහන දෙකකට මාරු වෙන්න බැහැ. මාරු වෙන්න පුළුවන් නිශ්චිත තැන් කිහිපයකදී පමණයි. වෙනත් තැනකදී වාහන දෙකක් මුහුණට මුහුණ හමු වුනොත් එක වාහනයක් පසුපසට ගන්න වෙනවා. තවත් වාහනයක් එන බව ඈතදීම දැක්කොත් බොහෝ විට රියදුරා වාහනය කලින්ම පාරේ ඉඩ තිබෙන තැනක නවත්වා ගෙන අනෙක් වාහනය මාරු වන තුරු බලා ඉන්නවා. වාහන දෙක මාරු වෙන්නේ රියදුරන් දෙදෙනා නලා හඬවා එකිනෙකාට ආචාර කිරීමෙන් පසුවයි.

ඔය වගේ තත්ත්වයක් තිබෙන ගමක රියදුරන්ගේ වාහන ධාවනය පිළිබඳ ආචාර ධාර්මික ගැටළුවක් තිබෙන බවක් කාටවත් කියන්න බැහැ. මතක් කර ගත හැකි වයසක අයෙක්ගෙන් අසා දැනගත්තොත්, ලංකාවේ හැම පාරකම වගේ වාහන ධාවනය ආරම්භ වූ කාලයේ තත්ත්වය ඔය වගේ. ඔය තත්ත්වය වෙනස් වෙන්නේ වාහන ක්‍රමයෙන් වැඩි වෙද්දී. එහෙමනම්, ලංකාවේ වාහන ධාවනය කිරීමේ අක්‍රමික ස්වභාවය සංස්කෘතියේ වැරැද්දක් කියා කියන්න බැහැ. 

ලංකාවේ පාරවල් වල දැකිය හැකි පැහැදිලි අවුල සංස්කෘතියේ අවුලක් නොවෙයිනම් ඒ කුමක්ද? රටේ වාහන වැඩිකමද? එහෙම නැත්නම් තිබෙන වාහන ප්‍රමාණයට වාහන මදිකමද?

ලෝකයේ එක් එක් රටවලට ගැලපෙන අනන්‍ය සංවර්ධන ආකෘති තිබෙනවා. එක රටකට හරියන දෙයක් වෙනත් රටක ඒ ආකාරයෙන්ම යොදාගෙන සාර්ථක ප්‍රතිඵල ලබන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුනත්, මේ වගේ කාරණයකදී ලෝකයේ විවිධ රටවල් සංසන්දනය කිරීම ප්‍රශ්නය තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්.

පහත වගුවේ තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක ජනගහණය දහසකට හා මාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ප්‍රමාණයයි. දත්ත අලුත්ම ඒවා නොවුණත් කියන කාරණය පෙන්වා දෙන්න මේ දත්ත ප්‍රමාණවත් කියා මම හිතනවා.



ඉහත නිර්ණායක දෙකෙන් කොයි එක දිහා බැලුවත් ලංකාවේ වාහන වැඩියි කියා කියන්න බැහැ. එය ඉතා පැහැදිලියි. එහෙමනම්, ප්‍රශ්නය වාහන ප්‍රමාණය වැඩිවීම කියා කියන්න බැහැ. ලංකාවේ රියදුරුන් වාහන එළවන ආකාරයේ අවුලක් තිබෙනවා කියන එක අපට බැහැර කරන්න බැහැ. ඒ අවුල නිවැරදි විය යුතු අවුලක්.

මේ ආකාරයේ අවුල් ස්වභාවික ලෙසම නිවැරදි වෙන්නේ නැහැ. අපි හිතමු කවුරු හෝ "හොඳ රියැදුරෙක්" වාහනය පාරට දැම්මා කියලා. මළාට ගමන යන්න බැහැ. මේ අත්දැකීම මට පෞද්ගලිකවත් තිබෙනවා. ඇමරිකාවේ ක්‍රමයට ලංකාවේ වාහන එළවන්න බැහැ. ලංකාවට ඇවිත් දවසකින් දෙකකින් ලංකාවේ ක්‍රමයට ඔලුව හැදෙනවා. ඊට පස්සේ අවුලක් නැතුව වාහනේ එළවන්න පුළුවන්. මේ ආකාරයේ සමතුලිතතා තනි පුද්ගලයින්ට වෙනස් කරන්න අමාරුයි. එහෙම වෙනස් කරන්න හදන කෙනෙක් කලක් යද්දී පවතින ක්‍රමයට අනුගත වෙන එකයි සිද්ධ වෙන්නේ. මේ වගේ තත්ත්වයකදී රජයට මැදිහත්වීමක් කරන්න සිදු වෙනවා.

මම කලින් විස්තර කළ ආකාරයේ ලංකාවේ ගම් අද තිබෙන තත්ත්වයට වෙනස් වී තිබෙන්නේ සාපේක්ෂව කෙටි කාලයක් ඇතුළතයි. සරල තත්ත්වයක් ක්‍රමයෙන් වඩා සංකීර්ණ වෙද්දී පරණ ආචාර ධාර්මික රීති ප්‍රමාණවත් නොවන අවස්ථාවක් එනවා. ඒ වෙද්දී, ආචාර ධාර්මික රීති තවදුරටත් පවත්වා ගන්න නීති වලින් පිටිවහලක් ලැබිය යුතුයි. බටහිර රටවල් වල මාර්ග පද්ධති ටිකෙන් ටික දියුණු වෙද්දී හා වාහන වැඩි වෙද්දී මාර්ග භාවිතය හා අදාළ නීති හා එම නීති ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයන්ද  ක්‍රමයෙන් දියුණු වී තිබෙනවා. එහෙත්, ලංකාවේ එසේ සිදු වී නැහැ. එසේ සිදු වී නැති දෙය දැන් හෝ සිදු විය යුතුයි.

මාර්ග විනය හදන්නනම් එක දිගට කාලයක් දැඩි සේ නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. මුලදී මෙයට කැමති වනු ඇත්තේ සුළුතරයක් වන "හොඳ රියැදුරන්" හා හොඳ රියැදුරන් වෙන්න කැමති අය පමණයි. එහෙත්, එක දිගට කාලයක් නීති ක්‍රියාත්මක කරද්දී මේ ගොඩ වැඩි වෙයි. එවිට නීති එතරම්ම අවශ්‍ය වන එකකුත් නැහැ. 

විවිධ වාහන වර්ග සඳහා මංතීරු වෙන් කළ යුත්තේ කෙසේද කියා මම යෝජනා කරන්නේ නැහැ. එය අදාළ විශේෂඥයින්ගේ වැඩක්. මෙය කොයි ආකාරයෙන් කළත් මුලදී රථවාහන තදබදයක් ඇති වෙයි. එහෙත්, පසුව තත්ත්වය නිවැරදි වෙයි. 

මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ ලංකාවේ ජනප්‍රිය වී තිබීමට එක් මූලික හේතුවක් වන්නේ වාහන වලින් අයකරන ඉතා අධික තීරු බදු මුදල වුවත්, පාරේ පදික වේදිකා වලින් පවා දමා එහෙන් මෙහෙන් රිංගා යන්න හැකි වීමත් එක් හේතුවක්. මෙසේ රිංගා යාමේ අවස්ථාව නැති වුනොත්, ඒ විශේෂ වාසිය නැති වෙනවා. මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වලටත් අනෙක් වාහන වලට වගේම පාරේ රස්තියාදු වෙන්න සිදු වෙනවා. මේ වාහන වලට තිබෙන ඉල්ලුම අඩු කරන්න අවශ්‍යනම් මං තීරු සීමා කර ඒ විදිහට පාරේ රස්තියාදු වෙන්න ඉඩ හැරීමත් ඒ සඳහා එක් විකල්පයක්. 

Monday, June 15, 2020

මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?


ධනවාදය කියා කියන්නේ නිදහස් ගනුදෙනු. නිදහස් ගනුදෙනුවක් සිදු වෙන්නේ භාණ්ඩයකට හෝ සේවාවකට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එක් අයෙකුට රුපියල් සීයක් වටින දෙයක් වෙනත් අයෙකුට රුපියල් දෙසීයක් වටින්න පුළුවන්. භාණ්ඩයකට හෝ සේවාවකට රුපියල් සීයක වටිනාකමක් දෙන පුද්ගලයෙක් එයටම රුපියල් දෙසීයක වටිනාකමක් දෙන පුද්ගලයෙක්ට ඒ භාණ්ඩය හෝ සේවාව රුපියල් එකසිය පණහකට විකිණුවහම දෙන්නටම රුපියල් පණහ බැගින් වාසි වෙලා.

නිදහස් ගණුදෙනුවක් සිදු වෙන හැම වෙලාවකම භාණ්ඩයක් එයට අඩු වටිනාකමක් දෙන අයෙකුගේ අතේ ඉඳලා වැඩි වටිනාකමක් දෙන කෙනෙකුගේ අතට මාරු වෙනවා. ඒ නිසා, සමස්තයක් ලෙස අගය එකතු වීමක් සිදු වෙනවා.

රටක ආර්ථිකයට කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ වල රැකියා කරන අය විසින් අගය එකතු කරනවා. ලංකාවේ සේවා අංශය ඇතුළේ සිට රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන කණ්ඩායම් දෙකක් ලෙස ත්‍රිරෝද රථ සේවා සපයන්නන් හා කල්බදු පහසුකම් සේවා සපයන්නන් හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකයට ත්‍රිරෝද රථ සේවා සපයන්නන් විසින් සපයන දායකත්වය ගැන මා මීට පෙර වරින් වර පැහැදිලි කර තිබෙනවා.

ත්‍රිරෝද රථ සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න විශාල මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉහළ අධ්‍යාපන මට්ටමක් නැති කෙනෙකුට වුනත් මාස ගණනක පුහුණුවකින් පස්සේ රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්. අවශ්‍ය භෞතික ප්‍රාග්ධනයත් වෙනත් කර්මාන්තයක් පටන් ගැනීම හා සැසඳූ විට මහා විශාල මුදලක් නෙමෙයි. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙක්ට ඒ මුදල විශාල මුදලක්. ගොඩක් අය ත්‍රිරෝද රථයක් මිල දී ගන්න කල්බදු පහසුකම් යටතේ. ත්‍රිරෝද රථ වගේම ලංකාවේ බොහෝ දෙනෙක් බොහෝ විට වෙනත් ලොකු වාහනයක් මිල දී ගන්නේත් කල් බදු පහසුකම් යටතේ.

කල් බදු පහසුකම් යටතේ හෝ වාහන ණයක් අරගෙන වාහනයක් මිල දී ගන්න එක ඇමරිකාවේ වුවත් සාමාන්‍ය තත්ත්වයයි. අලුත් වාහනයක් මිල දී ගන්න අයගෙන් 85%ක් පමණම එය කරන්න මූල්‍ය පහසුකම් ලබා ගෙනයි. ඇමරිකාවේදී කල් බදු යන වචනය යෙදෙන්නේ ලංකාවේ අර්ථයෙන්ම නෙමෙයි. එය සමාන කළ හැක්කේ ලංකාවේදී වාහනයක් දිගුකාලීනව කුලියට ගැනීමටයි. ලංකාවේ කල් බදු පහසුකම් යටතේ වාහන මිල දී ගැනීම සමාන කළ හැක්කේ ඇමරිකාවේ වාහනය ඇපයට තබා වාහන ණයක් ලබා ගැනීමටයි. වැඩි දෙනෙක් වාහන මිල දී ගන්නේ දෙවන ක්‍රමයටයි.

ඇමරිකාවේදී වාහනයක් මිල දී ගන්නා කෙනෙකුට බොහෝ විට මූල්‍ය පහසුකම් සලසන්නේ අදාළ වාහන සමාගමෙන්මයි. ඔවුන් එය සෘජුවම හෝ වෙනත් මූල්‍ය සමාගමක් හා  සම්බන්ධව කරන්න පුළුවන්. එසේ කිරීමෙන් වාහන නිපදවන සමාගමකට වගේම පාරිභෝගිකයින්ටත් වාසි සැලසෙනවා.

වාහන නිපදවීමේ කර්මාන්තය විශාල ස්ථිර පිරිවැයක් අවශ්‍ය කර්මාන්තයක්. ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක වාහන හදන කර්මාන්තයක් ආරම්භ කරන්න බැහැ. ඒ සඳහා විශාල භෞතික ප්‍රාග්ධනයක්, මානව ප්‍රාග්ධනයක් වගේම තාක්ෂනය අවශ්‍යයි. ඒ නිසා, වාහන නිපදවීමේ කර්මාන්තය කතිපයාධිකාරී වෙළඳපොළක් වෙනවා මිස වී වගා කිරීමේ කර්මාන්තය වගේ තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. එය නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය හේතුවෙන් සිදු වන දෙයක් මිසක් වැරැද්දක් නෙමෙයි.

විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය කර්මාන්තයකට ආදායම් අඩු වුනා කියා ඊට සමානුපාතිකව වියදම් අඩු කරන්න බැහැ. ගෑස් ස්ටේෂන් එකක වගේනම් වෙළඳාම අඩු වෙන විට සේවකයින් අස් කරන්න පුළුවන්. නැවත අවශ්‍ය වෙන කොට බඳවා ගන්නත්  පුළුවන්. වාහන හදන කර්මාන්තයක සේවකයින්ව ඒ විදිහට අස් කළොත් නැවත අවශ්‍ය වෙලාවට සේවකයෝ හොයා ගන්න එක පහසු වැඩක් නෙමෙයි. සේවකයින් අලුතෙන්ම ගත්තොත් ඒ අයව පුහුණු කරන්න කාලයක් යනවා. ඒ නිසා මේ වගේ කර්මාන්තයක සේවකයින් එක්ක දිගුකාලීන ගිවිසුමක් ගහන එක දෙපැත්තටම වාසියි.

සේවකයින් විතරක් නෙමෙයි. අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන් එක්කත් ඔය විදිහට ගිවිසුම් ගහන එක වාසියි. අවදානම් අඩුයි.

මේ විදිහට වාහන හදන සමාගමක සේවකයින්ගේ පඩිනඩි කොහොමටත් ගෙවන්නත් වෙනවානම්, අමුද්‍රව්‍ය කොහොමටත් මිල දී ගන්නත් වෙනවානම් වාහන නොහදා හිටියත් වියදම ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත්, මොකක් හෝ තාවකාලික තත්ත්වයක් නිසා හදන වාහන විකුණන්න තරම් ඉල්ලුමක් නැත්නම් මොකද වෙන්නේ.

වාහන නොහදා ඉන්නවාට වඩා ලාබයි වාහන හදලා ගොඩ ගහ ගන්න එක. කොයි වෙලාවක හරි විකුණන්න පුළුවන්. හදපු වාහන ගොඩ ගහගෙන ඉන්නවාට වඩා ලාබයි පස්සේ සල්ලි ගන්න හරි කාට හරි දීලා දාන එක. ඒ නිසා, ඔය වාහන හදන සමාගම් සමහර වෙලාවට අවුරුදු පහ හයකින් ගෙවන්න පොලී රහිත ණය දෙනවා. නමුත්, ඉල්ලුම තිබෙනවානම් පොලී රහිත ණය දෙන්න අවශ්‍ය නැහැ. කිසියම් පොලියකුත් අය කර ගන්න පුළුවන්.

ඔය පොලී අනුපාතය එහා මෙහා කිරීමෙන් ඉල්ලුම වැඩි වෙලාවට හදන වාහන ටික වෙනුවෙන් වැඩි මිලක් අය කර ගන්නත්, ඉල්ලුම අඩු වෙලාවට වාහන ටික කොහොම හරි විකුණ ගන්නත් අවස්ථාව ලැබෙනවා. වාහන ඉල්ලුමේ විචල්‍යතාව නිසා සිදු වන අවාසිය අඩු වෙනවා. වාහන ණයක් හෝ කල්බදු පහසුකමක් දෙන එකෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ හදන වාහන ටික විකුණාගන්න එක නිසා පොලී අය කිරීමේදී පාරිභෝගිකයාගේ අන්තිම සතේ දක්වා හූරා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පොලී අනුපාතික වෙනත් මූල්‍ය ආයතනයක් විසින් ලබා දෙන වාහන ණය වල පොලී අනුපාතික වලට වඩා වැඩි වෙන්නේ නැහැ.

වාහනයක් ණයට දුන්නහම තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ ණය හරියට පියවයිද කියන එක. ක්‍රෙඩිට් ස්කෝර් එක පරික්ෂා කිරීමෙන් ණය ගන්න පුද්ගලයා විසින් ණය ආපසු නොගෙවන්න තිබෙන ඉඩකඩ ගැන අදහසක් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් ස්කෝර් එක ගොඩක් වැඩිනම් පොලියක් අය නොකළත් ප්‍රශ්නයක් නැහැ. ක්‍රෙඩිට් ස්කෝර් එක ගොඩක්ම අඩුනම් ණය දෙන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මැද හරියේනම් අවදානමට සරිලන පොලියක් අය කරන්න පුළුවන්. ක්‍රෙඩිට් ස්කෝර් එකට අමතරව රැකියාව, ආදායම් මට්ටම, අරන් තියෙන වෙනත් ණය වගේ දේවලුත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

අපි හිතමු වාහනයක විකිණුම් මිල ඩොලර් විසිපන්දාහක් කියලා. ඕකෙන් ඩොලර් පන්දාහක් වාහනය හදන සමාගමේ ලාබය කියමු. එතකොට වාහනය හදන්න ගිය වියදම ඩොලර් විසිදාහයි. දැන් ඔය වාහනේ මිල දී ගන්න වාහනය හදපු සමාගම විසින්ම කාට හරි ඩොලර් විසිපන්දාහක ණයක් දෙනවා. ණය මුදල ඩොලර් විසිපන්දාහක් වුනත් සමාගම ඇත්තටම ගන්නේ ඩොලර් විසිදාහක අවදානමක් පමණයි. ඒ මුදල ආපසු ලැබුණට පස්සේ ලැබෙන්න තිබෙන්නේ ලාබය. ඒ නිසා, වාහන ණය වෙනුවෙන් අඩු පොලියක් අය කළා කියා පාඩුවක් වෙන්නේ නැහැ. නමුත්, වෙනත් තෙවන පාර්ශ්වයක් විසින් ඩොලර් විසිපන්දාහක ණයක් දුන්නොත් එතැන ඩොලර් විසි පන්දාහකම අවදානමක් තිබෙනවා. ඒ නිසා, එයට සරිලන පොලියක් අය කරන්න වෙනවා. මේ වෙනස නිසා වාහනය හදන සමාගමට වාහන ණය වෙළඳපොළේ වෙනත් සමාගම් වලට නැති සාපේක්ෂව වාසියක් තියෙනවා.

මේ වසරේ පළමු කාර්තුවේදී (2020 Q1) අලුත් වාහනයක් මිල දී ගන්න ණය ලබා දීමේදී ඇමරිකාවේ විවිධ මූල්‍ය ආයතන විසින් අය කළ පොලී අනුපාතික වෙනස් වුනේ මේ විදිහටයි.

වාහන නිෂ්පාදකයින් - 2.76%
ණය සංගම් (credit union) - 3.22%
ජාතික බැංකු - 4.33%
ප්‍රාදේශීය බැංකු - 4.29%
ප්‍රජා බැංකු හා කුඩා බැංකු - 4.57%

අඩුම පොලියක් ලැබෙන්නේ වාහන නිෂ්පාදකයෙක්ගෙන් බව මෙයින් පැහැදිලි වෙනවා. බැංකුවකින් ණය ගන්නේ වාහන නිෂ්පාදකයෙක්ගෙන් ණය ලබා ගන්න බැරි වූ හෝ අඩු පොලියක් නොලැබුණු අය පමණයි. එහෙත්, පරණ වාහනයක් ගන්න කෙනෙකුට මේ විකල්පය නැහැ. ඔවුන්ට ණය ලබා ගන්න වෙන්නේ බැංකුවකින් හෝ ණය සංගමයකින්. වාහන නිෂ්පාදකයින් තරඟයේ නැති නිසාත්, වෙනත් හේතු නිසාත් පොලිය ටිකක් වැඩියෙන් ගෙවන්න වෙනවා.

මේ වසරේ පළමු කාර්තුවේදී (2020 Q1) පරණ වාහනයක් මිල දී ගන්න ණය ලබා දීමේදී ඇමරිකාවේ විවිධ මූල්‍ය ආයතන විසින් අය කළ පොලී අනුපාතික වෙනස් වුනේ මේ විදිහටයි.

ණය සංගම් (credit union) - 3.45%
ජාතික බැංකු - 5.02%
ප්‍රාදේශීය බැංකු - 5.10%
ප්‍රජා බැංකු හා කුඩා බැංකු - 5.50%

ලංකාවේ නිවාස ඒකක සීයකට වාහන තිබෙන්නේ විස්සක් පමණක් වුනත් ඇමරිකාවේ මේ ගණන 190ක් පමණ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් හැම ගෙදරකම වාහන දෙයක් වගේ. දැනටම හැම ගෙදරකම වගේ වාහන තිබෙන නිසා වාහන හදන සමාගම් අළුතෙන් හදන වාහන විකුණ ගන්නනම් අළුත් වාහන වල පරණ වාහන වල නැති මොනවා හෝ අමතර දේවල් ටිකක් තියෙන්න ඕනෑ. හැම අවුද්දකම අළුතින් හදන වාහන වලට අමතර පහසුකම් එකතු වෙනවා. ඒ නිසා, වාහනය වසර කිහිපයක් පරණ වෙන කොට ඇමරිකානුවෙක් බලන්නේ අළුත් වාහනයක් ගන්නයි. ඇමරිකාවේ පරණ වාහනයකට ලොකු ඉල්ලුමක් නැහැ. ඒ නිසා ලොකු වටිනාකමකුත් නැහැ.

වාහනයක් මිල දී ගන්නා ඇමරිකානුවෙකුට වාහනය කාලයක් පාවිච්චි කරලා වැඩි මිලකට විකුණන්න බැහැ. වාහනය පාවිච්චි නොකරම තියා ගත්තත් කාලයක් යද්දී මිල අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඇමරිකානුවෙක් හැම විටම වාගේ වාහනයක් ගන්නේ පාවිච්චි කරන්නයි. වාහනයේ මිල එන්න එන්නම අඩු වුනත් ඒ නිසා සිදුවන පාඩුවට වඩා වාහනය පාවිච්චි කිරීමේ වාසිය වැඩි නිසා එහි ප්‍රශ්නයක් නැහැ.

ඇමරිකාවේදී කල් බදු කියන වචනය පාවිච්චි වෙන්නේ ලංකාවේ වාහනයක් දිගුකාලීනව කුලියට ගැනීමේදී සිදු වන ක්‍රියාවලිය වන විටයි. මාස් පතා කල්බදු වාරිකය ගෙවාගෙන ගියත් වාහන අයිති වෙන්නේ නැහැ. ගිවිසුම අවසානයේදී වාහනය ආපසු දෙන්න ඕනෑ. මෙහිදී මාසික වාරිකය ලෙස ගෙවන මුදල අදාළ මාසය තුළ වාහනයේ වටිනාකම අඩුවෙන ප්‍රමාණය ලෙස දළ වශයෙන් සලකන්න පුළුවන්. අවුරුදු තුනකට කල්බදු ක්‍රමයට වාහනයක් ගන්න කෙනෙක්ට අදාළ කාලය ගෙවුනට පස්සේ වාහනේ ආපසු දෙන්න වෙනවා. ගනුදෙනුව එතැනින් ඉවරයි.

බොහෝ විට මේ ආකාරයේ කල්බදු පහසුකම් ලබා දෙන්නේ වාහන නිෂ්පාදකයින් විසින්. මෙහිදී අය කරන පොලී අනුපාතිකය වාහන ණයක් ලබා දීමේදී අය කරන පොලී අනුපාතිකයට වඩා වැඩියි. ණය ආපසු ලබා ගැනීමේ අවදානම වඩා ඉහළ මට්ටමක තිබීම එයට හේතුවයි.

Car Manufacturer Financing APR Q1 2020 Lease APR (inferred interest rate) Q1 2020
Honda 2.90% 8.04%
Toyota 0.90% 3.31%
Volkswagen 1.90% 3.87%
BMW 2.99% 7.23%
Nissan 0.00% 7.27%
Mazda 0.90% 3.10%
Acura 4.39% 7.36%
Audi 3.49% 6.23%
Infiniti 3.99% 5.91%
Subaru 2.99% 3.65%
Lexus 1.90% 5.31%
Mini 3.49% 7.03%
Mercedes 3.49% 9.79%
Ford 3.90% 3.66%
Volvo 2.99% 4.84%
Jaguar 3.99% 7.05%
Average 2.76% 5.85%

Source: https://wallethub.com/edu/cl/auto-financing-report/10131/

වාහන ණයක් ගන්න කෙනෙකුට ගෙවන්න වෙන්නේ අඩු පොලී අනුපාතිකයක් වුවත් (ඇමරිකාවේ ව්‍යවහාරය අනුව) කල් බදු ක්‍රමයට වාහනයක් ගන්න කෙනෙක් මාසයකට ගෙවන වාරිකයට වඩා වැඩි වාරික මුදලක් ගෙවන්න වෙනවා. එය අවාසියක්. එහෙත්, ණය ගෙවා අවසන් වූ පසු වාහනය තමන්ට අයිති වෙනවා. ලංකාවේ කල්බදු ක්‍රමයේදී වගේ. නමුත්, ඒ වෙද්දී වාහනයේ වටිනාකම ගොඩක් වෙලාවට මුල් වටිනාකමෙන් තුනෙන් එකක් පමණ දක්වා අඩු වෙලා තියෙන්න පුළුවන්.

ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට ගියත් ලොකු වාසියක් හෝ අවාසියක් නැහැ. හැමදාම අළුත් වාහන පාවිච්චි කරන්න කැමති කෙනෙකුට කල්බදු ක්‍රමය ගැලපෙනවා. ගන්න වාහනේ දිගටම පාවිච්චි කරන්න කැමති කෙනෙකුට දෙවන ක්‍රමය ගැලපෙනවා. කොයි විදිහට වාහනයක් ගත්තත් වාරික නිසි පරිදි නොගෙවුවොත් ලංකාවේදී වගේම වාහනය අහිමි වෙනවා. හැබැයි ලංකාවේදී වගේ බලහත්කාරයෙන් වාහනය ගෙනියන්න බැහැ. කල්බදු පහසුකම් හෝ වාහන ණය ලබා දුන් ආයතනයට වාහනය නැවත ලබා ගන්න වෙන්නේ "සාමය කඩ නොකරමින්".

වාහනය ගෙදර ගරාජ් එකේ හෝ වැටකින් තාප්පයකින් වට වූ වත්තේ කොටසක තිබේනම් ගෙනියන්න බැහැ. පාරේ හෝ නිවස ඉදිරිපිට නවත්වා තිබෙන වෙලාවක ගෙනියන්න පුළුවන්. එහෙත්, වාහනය ගෙනියන්න කලින් ඒ බව දැකලා ගෙනියන එකට විරුද්ධත්වය පළ කළොත් වාහනය ගෙනියන්න බැහැ. ගෙනියන්න වෙන්නේ හොරෙන්. එහෙම නැත්නම් උසාවි නියෝගයක් ලබා ගෙන. ලංකාවට සාපේක්ෂව වාහනයක් උස්සන එක නීතිය අනුව වගේම ප්‍රායෝගිකවත් අමාරු වැඩක්.

මෙයින් කියන්නේ ඇමරිකාවේ වාහන උස්සන අවස්ථා වලදී සාමය කඩවීම් සිදු නොවන බව නොවෙයි. එහෙත්, එසේ සිදුවන අවස්ථා වලදී නඩු පවරා වන්දි ලබා ගන්න පුළුවන්.

හැබැයි ක්‍රෙඩිට් ස්කෝර් එක පරීක්ෂා කරලා ක්‍රෙඩිට් හොඳ අයට පමණක් ණය දෙනවානම් මෙය කල්බදු පහසුකම් හෝ වාහන ණය ලබා දෙන ආයතනයකට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙහිදී අදාළ ණය හෝ පහසුකම දෙන්නේ මාසිකව වාරික මුදල් එකතු කර ගන්න මිසක් වාහනය නැවත ආපසු ගන්න බලාගෙන නෙමෙයි. එසේ කරන්න වෙන්නේ කලාතුරකින්.

කල්බදු පහසුකම් පුද්ගලයෙක්ගේ පැත්තෙන් ගත්තොත් ගෙවපු මුදලට හරියන්න වාහනය පාවිච්චි කරලා තියෙනවා. දිගටම ගෙවන්න බැරිනම් වාහනේ දීලා නිදහස් වෙන්නයි තියෙන්නේ. වාහන ණයක් ලබා ගත් පුද්ගලයෙක්ගේ පැත්තෙන් ගත්තොත් යම් මුදලක් වැඩියෙන් ගෙවලා තියෙනවා. බොහෝ විට ගෙවන්න තිබෙන මුදල වාහනයේ වටිනාකමට වඩා අඩුයි. ඔය වගේ වෙලාවක වාහනය විකුණලා ඉතිරි ණය මුදල ගෙවල දාන එක වාසියි.

මේ කියපු කතා බොහොමයක් අදාළ වෙන්නේ හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් ඇති අයට ණය ලබා දෙන්නේනම් පමණයි. බොහෝ විට අපහසුවක් නැතිව වාහන ණයක් හෝ කල්බදු පහසුකමක් ලබා ගත හැක්කේ හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් ඇති අයට පමණයි. ක්‍රෙඩිට් ස්කෝර් එක 300 හා 850 අතර අගයක්. ඉහත වගු වල තිබෙන පොලී අනුපාතික අදාළ වෙන්නේ 720 ඉක්මවන ක්‍රෙඩිට් ස්කෝර් එකක් තිබෙන අයටයි. ක්‍රෙඩිට් ස්කෝර් එක ඊට වඩා අඩු වෙද්දී එක පැත්තකින් ණයක් අනුමත කර ගැනීම එන්න එන්නම අමාරු වෙනවා. අනෙක් පැත්තෙන් කොහොම හරි ණයක් අනුමත කර ගත්තත් ගෙවන්න වෙන පොලී අනුපාතිකය එන්න එන්නම වැඩි වෙනවා.

Credit score category Average loan APR for new car Average loan APR for used car
Super Prime (781 to 850) 3.82% 4.43%
Prime (661 to 780) 4.75% 6.15%
Non-prime (601 to 660) 7.55% 10.85%
Subprime (501 to 600) 11.51% 16.88%
Deep Subprime (300 to 500)  14.25% 19.81%



ක්‍රෙඩිට් ස්කෝර් එක හොඳ කෙනෙකුට වාහන ණයක් දුන්නහම ණය වාරික කලට වෙලාවට නොලැබෙන්න තිබෙන ඉඩකඩ අඩු වුනත්, නරක ක්‍රෙඩිට් ස්කෝර් එකක් තිබෙන අය හා අදාළව ඒ අවදානම වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වුවත් සැලකිය යුතු වාහන ප්‍රමාණයක් සීස් කරන්න වෙනවා. මේ වැඩේ කරන සමාගම් අඩු වශයෙන් එකොළොස්දාහක් පමණ තිබෙනවා. එය තරඟකාරී කර්මාන්තයක්. ඒ අයට කරන්න වෙන්නේ එක විදිහක රහස් පරීක්ෂක රැකියාවක්. වාහනේ ගෙදරින් එළියට අරගෙන කොහේ හෝ නවත්වා රියදුරු ඉවත්ව ගිහින් සිටින වෙලාවක් බලලා වාහනේ උස්සන්න වෙනවා. මේ වැඩේ අමාරු වැඩක් නිසා, නිසි කලට වාරික නොගෙවූ අය සතුව තබා ගෙන සිටින වාහන වලින් සෑහෙන ප්‍රමාණයක් ලේසියෙන් උස්සන්න ලැබෙන්නේ නැහැ.

තාක්ෂනිකව වැරදි වෙන්න පුළුවන් වුනත් ප්‍රායෝගිකව ලංකාවේ වාහන හදන සමාගම් නැහැ. ඒ නිසා, වාහන මිල දී ගන්න කල්බදු පහසුකම් දෙන්න වෙන්නේ වෙනත් තෙවන පාර්ශ්වයකටයි. මෙහිදී එසේ ණය දෙන සමාගමට ලබා දෙන ණය මුදලේ අවදානමට සරිලන ඉහළ පොලියක් අය කරන්න වෙනවා. ණය ගන්න පුද්ගලයාට වාහනයේ මිලට සාපේක්ෂව දැවැන්ත පොලී මුදලක්ද ගෙවන්න වෙනවා.

එවැනි පොලියක් ගෙවන්න එකඟ වී ණය ගත්තත් ඒ ණය රුපියල් ණය. මිල දී ගන්නේ අළුත් වාහනයක් හෝ අළුතින් රටට ආනයනය කරන පරණ වාහනයක්නම් වාහනය මිල දී ගැනීම සඳහා ගෙවන්න වෙන්නේ ඩොලර් නිසා සෘජුව හෝ වක්‍රව රුපියල් ගෙවා ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ ඩොලර් කවුරු හෝ විසින් උපයා රට ඇතුළට ඇවිත් තියෙන්න ඕනෑ. නැත්නම් වාහනේ ගන්න වෙන්නේ නැහැ. එහෙත්, ලංකාවට ගෙන්වන වාහන සියල්ල එසේ ගෙන්වන්නේ කවුරු හෝ උපයන ඩොලර් යොදවමින් නෙමෙයි.

නිදහසින් පසු මුල් කාලයේදී ලංකාවේ ආණ්ඩු උත්සාහ කළේ අඩු ආදායම්ලාභීන් සුබසාධනය කරමින් සමාජ සාධාරණත්වය ඇති කරන්නයි. අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමේ වැරැද්දක් නැහැ. නමුත්, එහි වියදම රටේ කවුරු හෝ විසින් දරන්න වෙනවා. සුබසාධන වියදම් පියවා ගන්න රටේ ආදායම් උපදවන අයගේ ආදායමෙන් බදු අය කරන්න වෙනවා.

බදු ඕනෑවට වඩා ඉහළ දැමූ විට පෞද්ගලික අංශය සතු ආයෝජන කිරීමේ හැකියාව පහළ යනවා. ආයෝජන කියන එකට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ආයෝජනත් අයිතියි. ආයෝජන අඩු වන විට ආදායම් අඩු වෙනවා. බදු අය කර ගත හැකි පිරිස්ද අඩු වෙනවා. සුබසාධනය අවශ්‍ය පිරිස් තවත් වැඩි වෙනවා. ඒ නිසා, රජයට සුබසාධන පහසුකම් පවත්වා ගැනීමට වගේම ආයෝජනය වෙනුවෙනුත් අවධානය යොමු කරන්න වෙනවා.

ඔය දෙකම කරන්න මුදල් නැති වූ විට රජයට ණය ගන්න වෙනවා. ඕනෑවට වඩා දේශීය ණය ගත් විට එක පැත්තකින් සල්ලි තියෙන අය ආයෝජනය කරන්න ඉන්න මුදල් පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය වෙත විතැන් වී පෞද්ගලික ආයෝජන පහළ බහිනවා. අනිත් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ ගිහින් පෞද්ගලික අංශයේ ඉන්න ණය අරගෙන ආයෝජන කරන අය අධෛර්යමත් වෙනවා. ඒ හේතුව නිසාත් පෞද්ගලික ආයෝජන පහළ බහිනවා. පෞද්ගලික අංශයේ ආදායම් අඩු වෙනවා. රජයට සෘජු බදු අය කරන්න තිබෙන හැකියාව පහළ යනවා. ඒ වෙනුවට වක්‍ර බදු වැඩි වැඩියෙන් අය කරන්න වෙනවා. එහි බර වැටෙන්නේ මුලින් ඉලක්ක කළ සුබසාධනය අවශ්‍ය පිරිසටම නිසා අවසාන වශයෙන් කරන සුබසාධනයෙන් ඒ මිනිස්සුන්ටත් වැඩක් නැහැ. එක සාක්කුවකින් ගන්න සල්ලි අනික් සාක්කුවෙන් ඒ මිනිස්සුන්ටම දෙනවා. ඒ දෙන්නෙත් ගත්ත ගානට වඩා ටිකක් අඩුවෙන්.

දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී එක පැත්තකින් ආයෝජන අඩු වෙනවා. අනෙක් පැත්තෙන් රටේ ආදායම් අඩු වෙලා සුබසාධනය අවශ්‍ය මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ගන්න ණය වලින් කොයි තරම් ආයෝජන කළත්, සුබසාධනය කළත් රට එතැනමයි. මෙයට විසඳුමක් ලෙස ලංකාවේ ආණ්ඩු පෙලැඹී තියෙන්නේ විදේශ ණය ලබා ගන්නයි.

විදේශ ණය ලබාගත් විට රජයට අරමුදල් වගේම විදේශ විණිමයත් ලැබෙනවා. ඒ විදේශ විණිමය වැය කරලා රටේ අපනයන ආදායම ඇතුළු ස්වභාවික විදේශ විණිමය ප්‍රවාහ පමණක් වැය කරලා ආනයනය කරනවාට වඩා වැඩියෙන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒ නිසා, රට බඩු වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ණයට ගන්න ඩොලර් වලින් අවශ්‍ය බඩු පහසුවෙන් ආනයනය කරන්න පුළුවන් නිසා දේශීය කර්මාන්ත අධෛර්යමත් වෙනවා. වාහන වගේ දේවල් ආනයනය කරන්න වැඩි ඉල්ලුමක් හැදෙනවා. වාහන ආනයන ඉහළ යද්දී රජය ආනයන බදු ඉහළ දමනවා. ඒ නිසා, පාරිභෝගිකයින්ට වාහන රටේ නොහදා ආනයනය කිරීමෙන් වාසියක් වෙනවා වෙනුවට තවත් අමතර වියදමක් දරන්න වෙනවා.

විදේශ ණය ගත්තා වගේම ගෙවන්නත් වෙනවා. එවිට විදේශ විණිමය ප්‍රශ්නයක් එනවා. ඩොලර් එක ඉහළ යනවා. ණය ගෙවන්න තව ණය ගන්න වෙනවා. චක්‍රයක් වගේ ඔය වැඩේ වෙද්දී ඩොලරයේ මිල හැමදාම ඉහළ යනවා.

ඩොලරයේ මිල හැමදාම ඉහළ යන නිසා ආනයනික මිල ලොකුවට වෙනස් නොවුනත් ලංකාවේ අලුත් වාහනයක මිල රුපියල් වලින් එන්න එන්නම ඉහළ යනවා. අළුත් වාහන වල මිල ඉහළ යන වේගය අනුව කලින් ආනයනය කළ පරණ වාහන වලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් පරණ වාහන වල මිලත් ඉහළ යනවා. බොහෝ විට වාහනය පරණ වෙද්දී හෝ ක්ෂය වීම නිසා එහි මූර්ත වටිනාකම පහළ යනවාට වඩා වේගයෙන් ඩොලරයක මිල ඉහළ නිසා වාහනයක් මිල දී ගෙන කාලයක් තියා ගත්තට පස්සේ වැඩි මිලකට හෝ ගත් මිලටම විකුණන්න වුනත් පුළුවන්.

තිර සාර නැති, ණයෙන් දුවන ලංකාවේ සුබසාධිත ආර්ථිකය නිසා ලංකාවේ ඇති වී තිබෙන මේ තත්ත්වය ඇමරිකාව වැනි රටක දැකිය නොහැකි සුවිශේෂී තත්ත්වයක්. මේ තත්ත්වය නිසා තමන්ට ඇත්තටම වාහනයක් අවශ්‍ය නැතත් ආයෝජනයක් සේ සිතා වාහනයක් වෙනුවෙන් මුදල් වැය කරන එකේ පාඩුවක් නැහැ. වාහනයක් කියන එක පරිභෝජන භාණ්ඩයක් නොවී තමන්ගේ වත්කම් ගබඩා කරන තැනක් බවට පත් වෙද්දී එය තත්ත්ව සංකේතයක් බවටත් පත් වෙනවා. වැඩි පොලී ණයක් හෝ අරගෙන වාහනයක් ගන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙනවා. කල්බදු සමාගම් වලට ඉල්ලුමක් හැදෙනවා.

වාහනයක් ගන්න කල්බදු සමාගමකින් මූල්‍ය පහසුකම් ලබා ගන්න ගොඩක් අයට අපහසුවක් නැතිව කල්බදු වාරික ගෙවන්න තරම් ආදායමක් නැහැ. ඔය වාරිකය ගෙවන්නේ බොහොම අමාරුවෙන්. කල්බදු සමාගමත් ඒ බව දන්නවා. නමුත්, ඇමරිකාවේදී වගේ වාහනයේ වටිනාකම වේගයෙන් අඩු නොවන බවත් දන්නවා. ඒ නිසා, ලංකාවේ කල්බදු සමාගමක් මූල්‍ය පහසුකම් ලබා දෙන්නේම වාරික මුදල් කලට වෙලාවට නොලැබුණොත් වාහනේ උස්සන්න බලාගෙන. ඒක ඇමරිකාවේදී වගේ දිගින් දිගටම මුදල් ගෙවන්න අවස්ථා ලබා දීලා කරන්න කිසිම දෙයක් නැති වුනාට පස්සේ අවසාන අදියරකදී කරන දෙයක් නෙමෙයි.

අනික් පැත්තෙන් කල්බදු වාරික ගණන් හදන ක්‍රමය නිසාත්, ඉතා අධික පොලී අනුපාතිකය නිසාත් ලංකාවේ කල්බදු පහසුකමක් ලබා ගන්නා පාරිභෝගිකයෙක් විසින් මුල් කාලයේදී තනිකරම වගේ ගෙවන්නේ පොලිය. ණය මුදල එහෙම්මම වගේ තිබෙනවා. ඒ නිසා, අවුරුද්දක් දෙකක් වාරික මුදල් ගෙවුවට පස්සේ වාහනේ ඉස්සුවොත් අර ගෙවපු සල්ලි ඔක්කොම වතුරේ. බොහෝ විට ඒ කාලය ඇතුළත ගෙවපු වාරික වලට හරියන්න ආදායමක් උපයලා නැහැ. වාහනය ගත්ත එකේ සැබෑ ලාබය එන්නේ කල්බදු වාරික ගෙවා අවසන් කළාට පස්සේ. ඒ නිසා,  එතෙක් වාහනේ කොහොම හරි තියා ගන්න ඕනෑ. උස්සන්න දීලා බැහැ.

කල්බදු ක්‍රමයට වාහන ගන්න ලංකාවේ ගොඩක් අයට කලට වෙලාවට වාරික ගෙවන්න බැරි වෙනවා. මම මේ කතා කරන්නේ කෝවිඩ් වගේ විශේෂ අවස්ථා ගැන නෙමෙයි. ඒ ගැන කතා කරන්න ගියොත් ලිපිය තවත් දිග් ගැසෙනවා. සාමාන්‍ය කාලයක වුනත් තත්ත්වය ඔය වගෙයි.

හැබැයි ඇමරිකාවේ පාරිභෝගිකයෙක්ට වගේ වාරික නොගෙවුවා කියලා වාහනේ කල්බදු සමාගමට ආපහු දෙන්නත් බැහැ. එක පැත්තකින් කාලයක් තිස්සේ මුදල් යෙදවූ මුළු ආයෝජනයම වතුරේ. අනික් පැත්තෙන් වාහනේ කියන්නේ තමන්ගේ තත්ත්ව සංකේතය. වාහනේ නැතුව සමාජයට මුහුණ දෙන්න බැහැ.

ඇමරිකාවේ වාහන ණයක් ලබා දීමෙන් පසුව නිසි පරිදි වාරික මුදල් ලැබෙන්නේ නැත්නම් අදාළ සමාගම වාහනය උස්සන්න හදිස්සි වෙනවා වෙනුවට කරන්නේ පුළුවන් තරම් සහන දීලා ලැබෙන්න තිබෙන මුදලෙන් යම් ප්‍රමාණයක් හෝ ලබා ගන්නයි. මොකද ඒ වෙද්දී වාහනයේ වටිනාකම ගොඩක් අඩු වෙලා. ඒ වගේම නීතිය අනුව වාහනේ උස්සන එක අසීරු වැඩක්. නමුත්, ලංකාවේ වාහනයක වටිනාකම ඒ විදිහට අඩු නොවන නිසා අමරුවෙන් හරි වාහනේ ඉස්සුවොත් කල්බදු සමාගම ගොඩ. ලංකාවේ සීසර්ලා බිහි වන්නේ ඔය පසුබිමේ. ඒ අය බොහෝ විට මැරවරයින් හෝ මැරවර කණ්ඩායම්.

මහ බැංකුව විසින් මූල්‍ය සමාගම් නියාමනය කරද්දී නියාමනයේ පීඩනය පොලී අනුපාතික වලටත් බලපානවා. නියාමනයට යටත් නැති "හොර" මූල්‍ය සමාගමකට ඒ පීඩනය නැහැ. ඒ නිසා, නියාමනයට ලක්ව සිටින සමාගම් සමඟ පහසුවෙන් තරඟ කරමින් වැඩි අවදානමක් තිබෙන පාරිභෝගිකයින්ට කල්බදු පහසුකම් ලබා දෙන්න ඔවුන්ට පුළුවන්. බොහෝ දෙනෙක් මේ වගේ "හොර" සමාගම් වලට ආකර්ශනය වෙනවා. මේ වගේ සමාගමක් ණය ලබා දෙන්නේම බලය පාවිච්චි කරලා ණය නැවත අය කර ගන්න බලාගෙනයි. ඒ අයට සීසර්ලා ලෙස මැරවර කණ්ඩායම් නැතුවම බැහැ.

ඔය සීසර්ලා වාහන උස්සන්න යාමේදී "සාමය කඩවීම්" ඕනෑ තරම් සිදු වෙන්න පුළුවන්. ඒ සාමය කඩවීම් බරපතල ප්‍රතිඵල ලබා දෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවක මිනිහෙක් මැරුණොත් ඒ මරණයට ලංකාවේ කාලයක් තිස්සේ පවතින ණය මත දුවන සුබසාධිත ආර්ථික ආකෘතියත් වග කිව යුතුයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...