වෙබ් ලිපිනය:

Showing posts with label මිනිස්කම. Show all posts
Showing posts with label මිනිස්කම. Show all posts

Monday, October 2, 2017

දුලබ මිනිස්කම


උපත් පාලනය හා ගබ්සාව ගැන කතා කරන්නට පෙර උපත ගැන කතා කළ යුතුය. උපත ගැන කතා කරන්නටනම් ඉපදෙන පුද්ගලයෙක් සිටිය යුතුය. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කළ හැක්කේද පුද්ගලයා යනු කවුදැයි අර්ථදැක්වීමෙන් පසුවය. පුද්ගල අයිතිවාසිකම් ඇති පුද්ගලයෙකු යනු කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක් පමණක් බව අපි පෙර පැහැදිලි කරගත්තෙමු. මෙසේ පුද්ගලයකු බවට පත් වන තැනැත්තාගේ මූලික අවස්ථාවක් තිබේනම් එය කුමක්ද?

බොහෝ සමාජ වල සම්මතය අනුව හා නීතිය අනුව මේ මූලික අවස්ථාව දරුවෙකු මවුකුසෙන් එළියට පැමිණ ස්වාධීන ජීවියෙකු බවට පත් වන අවස්ථාවයි. එහෙත් මේ සඳහා වෙනස් සම්මත භාවිතා කරන සමාජ හා නීති ක්‍රමද තිබේ. ඒ වෙනස් සම්මත අමතක කර ප්‍රමුඛ සම්මතය අනුව ගියහොත්, යම් කිසිවෙකු මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකු මරා දැම්මොත් එය සැලකෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් වශයෙනි. එහෙත්, ඊට පෙර මවුකුස තුළදී ඒ දරුවා මරා දැම්මොත් එය හඳුන්වන්නේ ගබ්සාවක් වශයෙනි. ගබ්සාවක් ඇතැම් විට මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙන්නට පුළුවන.

ලංකාවේ නීතිය ගත්තත් මවුකුසේ සිටින දරුවෙකු හා මවුකුසෙන් එළියට පැමිණි දරුවෙකු අතර නීතිමය ලෙස විශාල වෙනසක් තිබේ. කිසියම් ගර්භණී කාන්තාවක් දරු උපතකට මොහොතකට පෙර විවාහ වුවහොත්, අදාළ කාන්තාව සමඟ විවාහ වන පුද්ගලයා ස්වයංක්‍රීය ලෙසම ඉපදෙන දරුවාගේ නීත්‍යානුකූල බවට පියා බවටද පත් වේ. එහෙත්, ඒ දරුවාව සිසේරියන් ශල්‍ය කර්මයක් මඟින් ටික වෙලාවකට පෙර එළියට ගත්තේනම් එය එසේ නොවේ.

අද මෙන් සිසේරියන් ශල්‍යකර්ම මඟින් නියමිත දිනට සැලකිය යුතු තරම් කලින් දරුවකු මවුකුසෙන් එළියට ගන්නට හැකියාවක් නොතිබුණු, දරු උපතක් සිදුවන මොහොත බොහෝ දුරට අහඹු දිනයක් හා වෙලාවක් වූ කාලයේදීද උපතක් සිදුවන අවස්ථාව කුමක්ද යන ගැටලුව තිබුණේය. ඇතැම් අය මේ අවස්ථාව පෙකණි වැල කපන අවස්ථාව ලෙසත්, තවත් අය දරුවාගේ හිස එළියට පැමිණි වෙලාව ලෙසත්, තවත් අය දරුවා මුලින්ම හුස්මගත් වෙලාව ලෙස හෝ මුලින්ම හඬන ලද මොහොත ලෙසත් සැලකුවේය. වෛද්‍යවිද්‍යාවේ දියුණුව සමඟ දරුවකු ඉපදෙන මොහොත හඳුනාගැනීම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ නිසා, ගබ්සාවක් හා මිනීමැරුමක් ඉරක් ගසා වෙන් කිරීමද සම්මතය මත මිස "නිවැරදි ලෙස" කිරීම අසීරු දෙයකි.

ගබ්සාව හා උපත් පාලනය වෙන් කරන ඉරද මේ ආකාරයේම අවිනිශ්චිත ඉරකි. ඒ ගැන කතා කිරීමට පෙර දරු උපත මෙන්ම අවිනිශ්චිත සංකල්පයක් වන දරුවකු පිළිසිඳගැනීම යනු කුමක්දැයි විමසිය යුතුය.

දරුවෙකු පිළිසිඳගැනීම සඳහා පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් හා ගැහැණියකගේ ඩිම්බයක් එකතු විය යුතුය. සරල ලෙස මෙසේ කිවුවත් මෙයද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.

වසර දෙතුන් දහසකට පෙර සිටම මිනිසුන්ට අහසේ ඇති විවිධ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම් ඒවා නොපෙනෙන දවල් කාලයේදී පවා හරියටම කියන්නට පුළුවන් වූ දැනුමක් තිබුණේය. එහෙත්, දරු උපතක් සිදුවන ආකාරය ගැන මිනිසුන් ඉතා මෑතක් වන තුරුම නිවැරදිව දැන සිටියේ නැත. මේ හා අදාළ දැනුම දැනටත් අලුත් වෙමින් පවතින දැනුමකි.

මිනිස් දරුවකු බිහි කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් හා එක් ශුක්‍රාණුවක් පමණි. එහෙත්, පිරිමියෙකු සිය ජීවිත කාලය තුළ ශුක්‍රාණු බිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවයි. මේ විශාල ශුක්‍රාණු ප්‍රමාණයෙන් අවසානයේදී ප්‍රයෝජනයට ගැනෙන්නේ සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණු දෙකකට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. පිරිමියෙකුගේ ජීවිත කාලය ඇතුළත ඔහුගේ සිරුරේ නිපදවෙන ශුක්‍රාණුවක් මිනිසෙකු බිහි කිරීමට දායක වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩු එකක් වන අතර ඉතිරි ශුක්‍රාණු සියල්ල කිසියම් හෝ පෙර අදියරකදී විනාශ වී යයි. කිසියම් කටයුත්තක් සඳහා පෘථිවිය මත ජීවත් වන මිනිසුන් සියලු දෙනා අතරින් අහඹු ලෙස එක් අයෙක් පමණක් ඉතිරිව අනෙක් සියලු දෙනා මරණයට පත් වන ව්‍යසනයකදී එසේ ඉතිරි වන පුද්ගලයා ඔබ වන්නට ඇති සම්භාවිතාව ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එකතු වීමට ඇති ඉඩකඩ මෙන් 30 ගුණයක් පමණ වේ.

පිරිමියෙකු ශුක්‍රාණු මුදා හරින එක අවස්ථාවකදී වුවත් ශුක්‍රාණු මිලියන 50ක පමණ සිට බිලියනයක් පමණ දක්වා ප්‍රමාණයක් මුදා හරී. ඒවා අතරින් එකකට වැඩි ප්‍රමාණයක් මිනිස් කළලයක් බිහිකරන්නට දායක වන්නේ ඉතාම කලාතුරකින් පමණි. මේ තරම් තරඟකාරී තේරීමක් සිදුවන්නේ වඩාත්ම හොඳ මිනිස් කළල බිහි කිරීම සඳහා සිදුවන ස්වභාව ධර්මයේ උපක්‍රමයක් වශයෙනි. පිරිමියෙකු එක් වර මුදාහරින ශුක්‍රාණු සෛල ගණන මෙතරම් විශාල ප්‍රමාණයක් වී ඇත්තේ පරිණාමය සිදුවන ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ගැහැණියකගේ යෝනි මාර්ගය, ගැබ් ගෙල හා ගර්භාෂය පසුකර පැලෝපීය නාලය කරා ගමන් කරන ශුක්‍රාණු වලින් විශාල ප්‍රමාණයක් මේ දුෂ්කර ගමනේදී ඩිම්බයක් හමුවන්නට පෙර විනාශ වී යයි. ඇතැම් ඒවා වැරදි පාරක ගොස් හෝ අතරමඟ හිරවී විනාශ වෙයි. පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වන තරමට ඒවායින් එකක් ඩිම්බයක් සමඟ එකතු වී කළලයක් බවට පත් වීමේ ඉඩකඩ වැඩිවේ. ඒ නිසා, කිසියම් හෝ  ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහරින පිරිමින්ට වැඩි දරුවන් ප්‍රමාණයක් බිහිකරන්නට හැකිවේ. ඔහුගෙන් මෙසේ බිහිවන පිරිමි දරුවන්ටද පියාගේ ජාන නිසා මේ හැකියාවම ලැබුණොත් ඔවුන්ටද වෙනත් අයට වඩා වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කරන්නට අවස්ථාව ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට ජනගහණයේ සිටින වැඩිපුර ශුක්‍රාණු මුදාහරින පිරිමින් වැඩි වී අවසානයේදී එය සාමාන්‍ය තත්ත්වය බවට පත් වේ.

තවත් කලක් යද්දී මේ අය අතරෙන් එක් පිරිමියෙකුට නැවතත් ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහැරීමේ හැකියාවක් ලැබේ. කලින් ක්‍රියාවලියම පුනරාවර්තනය වීම නිසා ජනගහණයේ පිරිමියෙකු විසින් මුදාහරින ශුක්‍රාණු ප්‍රමාණය තවත් වැඩි වේ.

මිනිස් පිරිමියෙකු දරුවෙකු බිහි කිරීමේ සම්භාවිතාව තනිකරම රඳා පවතින්නේ ඔහු විසින් වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය මතනම් පරිණාමයේ නීති අනුව සිදුවිය යුත්තේ කාලයක් යද්දී ඉතා විශාල වෘෂණ කෝෂ සහිත මිනිසුන් බිහි වීමයි. එහෙත්, මිනිස් පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ඔහුගේ ජාන සහිත ජනිතයෙකු බිහි වීමේ සම්භාවිතාව තීරණය කරන එකම සාධකය නොවේ. සංස්කෘතික සාධක ඇතුළු වෙනත් හේතු නිසා සෑම පිරිමියෙකුටම ගැහැණුන් සමඟ එකතු වීමට සමාන අවස්ථා නොලැබේ. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයකි.

ගෝරිල්ලන් රංචුවක ගැහැණු ගෝරිල්ලන් සියල්ලන්ම සමඟ වාගේ සංසර්ගය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රැළේ නායකයාට වන අතර අනෙක් බොහෝ ගෝරිල්ලන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබේ. ඒ නිසා, ගෝරිල්ලන් හා අදාළව ගත් විට ජනිතයන් බිහි කිරීමේදී වඩා වැදගත් වන්නේ වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය නොව රැළේ නායකයා වීමට ඇති ඉඩකඩයි. ඒ අවස්ථාව ඉහළ නංවන්නේ ශරීර ප්‍රමාණය වැනි දේ තීරණය කරන වෙනත් ජානයි.

එහෙත්, වඩා "සමාජවාදී" සංස්කෘතියක් ඇති චිම්පන්සින් අතර තත්ත්වය වෙනස්ය. බොහෝ පිරිමි චිම්පන්සින්ට ගැහැණු චිම්පන්සියක සමඟ එකතු වීමට අවස්ථාවන් ලැබෙන නිසා වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වඩා වැදගත් සාධකයක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චිම්පන්සින්ගේ වෘෂණ කෝෂ ශරීර ප්‍රමාණයට අනුපාතිකව ගෝරිල්ලන්ගේ මෙන් පහළොස් ගුණයක් විශාලය. මිනිසුන් සිටින්නේ චිම්පන්සින් හා ගෝරිල්ලන් අතර තැනකය.


කෙසේ වුවද වැදගත්ම කරුණ වන්නේ වැඩිහිටි මිනිස් පිරිමියෙකු ජීවිත කාලය තුළ නිරන්තරව නිපදවන ශුක්‍රාණු විශාල ප්‍රමාණයෙන් එකක් දරුවෙකු බිහි කිරීමට දායක වන විට තවත් ශුක්‍රාණු බිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වන බවයි. මිනිස් පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් ජනිතයෙකු බිහි කිරීමට දායක වීමේ සම්භාවිතාව එතරම්ම අඩුය.

උපන් අලුත මිනිස් පිරිමියෙකුගේ සිරුරේ ශුක්‍රාණු සෛල හැදෙන්නේ නැත. එය සිදුවන්නට පටන් ගන්නේ වයස අවුරුදු 10-12 පමණ වන විටය. එතැන් සිට මිය යන තුරුම වාගේ මිනිස් පිරිමියෙකුගේ සිරුර ශුක්‍රාණු සෛල නිපදවයි.

ශුක්‍රාණු සෛලයක් නිර්මාණය වීම හා පරිණත වීම (මෙහි විස්තර නොකරන) අදියර හතරකදී පමණ සිදුවන සංකීර්ණ කාර්යයක් වන අතර මේ සඳහා දින 63-75 ක පමණ කාලයක් ගත වේ. මේ කාලය ඇතුළත ඩිම්බයක් කරා යන අසීරු චාරිකාව අරඹන්නට ශුක්‍රාණු සෛල පුහුණු වෙයි. මෙසේ පරිණත වූ ශුක්‍රාණුවක් මුදා හරිනු ලැබුවහොත් ප්‍රසස්ත තත්ත්වයන් යටතේ එයට දින 5-6 ක පමණ දක්වා වන කාලයක් ජීවත් විය හැකිය. මුදාහරිනු නොලැබුවහොත් සති 2-3 කින් පමණ පසුව එය විනාශ වන අතර එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වේ. මේ අනුව ශුක්‍රාණුවක සම්පූර්ණ ජීවිත කාලය මාස තුනකට පමණ සීමා වේ. වැඩිහිටි මිනිස් පිරිමියෙකුගේ සිරුර තුළ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් අඛණ්ඩව සෑම මොහොතකම නිපදවීමට අවශ්‍ය වන්නේ ඒ නිසාය.

වැඩිහිටි පිරිමියෙකු එක වර මුදා හරින ශුක්‍රාණු එකතුවක ශුක්‍රාණු සෛල මිලියන 40-1500ක් පමණ තිබිය හැකි වුවත් බොහෝ විට මෙය මිලියන 100-300 අතර ප්‍රමාණයකි. මේ සියළු ශුක්‍රාණු සෛල සමාන නැත. එක් ශුක්‍රාණු සෛලයක තිබෙන්නේ පිරිමියෙකුගේ වර්ණදේහ යුගල 23න්, එනම් වර්ණදේහ 46න් 23ක් පමණි. ඒ නිසා එකම පිරිමියෙකුගේ ශුක්‍රාණු අතර ජානමය ලෙස වෙනස් ශුක්‍රාණු වර්ග අඩු වශයෙන් 8,388,608ක් තිබේ. මීට අමතරව විවිධ විකෘතීන් සහිත අසාමාන්‍ය ශුක්‍රාණු සෛල වර්ග විශාල ප්‍රමාණයක්ද තිබිය හැකිය. මේ සංඛ්‍යා සැසඳූ විට පෙනෙන පරිදි පිරිමියෙකු එක වරකදී මුදාහරින ශුක්‍රාණු අතර වුවද ජානමය ලෙස සමාන ශුක්‍රාණු 5-180 අතර ප්‍රමාණයක් තිබිය හැකිය.

කෙසේවුවද එකම වර්ණදේහ සංයුතියකින් යුතුව හැදෙන ශුක්‍රාණු වුවද භෞතික වශයෙන් එකිනෙකට සමාන නැත. ශුක්‍රාණු සෛල වලින් 90%ක් පමණම වලිගය නැති, හිස් දෙකක් සහිත, වලිග පැටලුණු ආදී විවිධ හේතු නිසා ඩිම්බයක් සොයා පිහිනිය හැකි තත්ත්වයක නොපවතී. ඒවා කෙටි කලකින් විනාශ වී යයි.

ශුක්‍රාණුවක දිගට සාපේක්ෂව එයට ඩිම්බයක් සොයා පීනන්නට ඇති දුර සමාන කළ හැක්කේ මිනිසෙකු සැතපුම් 3-4 ක පමණ දුරක් පිහිනීමටය. ශුක්‍රාණු සෛල අතර සිටින දක්ෂම පිහිනුම්කරුවෙකුට මිනිත්තු 45ක පමණ කාලයකදී මේ දුර පිහිනිය හැකි අතර එතරම් දක්ෂ නැති පිහිනුම්කරුවෙකුට මේ සඳහා පැය 12ක පමණ කාලයක් ගත වේ. එහෙත්, මේ ගමන සම්පූර්ණ කරන්නේම සීමිත පිහිනුම්කරුවන් පිරිසක් පමණි.

ශුක්‍රාණු සම්බන්ධ තත්ත්වය මෙසේනම් ඩිම්බ සම්බන්ධ තත්ත්වය කුමක්ද? සෑහෙන තරම් ප්‍රචලිත අදහසක් වන්නේ ශුක්‍රාණු අති විශාල ප්‍රමාණයක් ඩිම්බයක් අයිති කර ගන්නට තරඟ කර අවසානයේදී ඒ අතරින් එක් ශුක්‍රාණුවක් තරඟය ජය ගන්නා බවයි. කෙසේවුවද, මෙය ලොකු කතාවක එක් කොටසක් පමණි.

ශුක්‍රාණු හා ඩිම්බ අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබේ.

පළමුව, මිනිස් ගැහැණියකගේ ඩිම්බයක් නිපදවී පරිණත වීමට වසර 10-50 ක පමණ දීර්ඝ කාලයක් ගත වේ. ඩිම්බයක් පරිණත කර මුදාහැරීම සඳහා අවශ්‍ය වන මූල සෛල නිශ්චිත ප්‍රමාණයක් මිනිස් ගැහැණියකගේ සිරුරේ උපදින විටම පිහිටා තිබේ. මේ හැර මිනිස් පිරිමින්ගේ ශුක්‍රාණු සෛල මෙන් ඩිම්බ සෛල පසුව අලුතින්ම හැදෙන්නේ නැත. (වසර පණහක් පමණ තිස්සේ පිළිගැනෙන මේ ප්‍රවාදය ඇතැම් මෑතකාලීන පර්යේෂණ වලින් අභියෝගයට ලක්වී ඇතත් මා මේ ලිපියේදී ඒ කෙරෙහි  අවධානය යොමු කරන්නේ නැත.)

මිනිස් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ නොමේරූ ඩිම්බ (වඩා නිවැරදිව එහි මූල අවස්ථාවක්) මිලියන 1-2 ක් පමණ ප්‍රමාණයක් තිබුණත් මේ සෛල විශාල ප්‍රමාණයක් වැඩිවිය පැමිණෙන්නටද පෙර ස්වභාවික ලෙසම විනාශ වී යයි. මිනිස් ගැහැණියක වැඩි විය පැමිණෙන විට ඇගේ සිරුරේ තිබෙන්නේ මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල ආසන්න වශයෙන් ලක්ෂ 2-4 ක පමණ ප්‍රමාණයක් පමණි. වැඩිවිය පැමිණීමෙන් පසුවද මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල විශාල ප්‍රමාණයක් මේ අයුරින් සෑම මසකම දිගින් දිගටම විනාශ වෙයි. මේ කරුණට උපත් පාලනය, ගර්භණී වීම හෝ නොවීම, සංසර්ගයේ යෙදීම හෝ නොයෙදීම, මාස් ශුද්ධිය සිදුවීම හෝ නොවීම ආදියේ සම්බන්ධයක් නැත.

මිනිස් ගැහැණියකගේ වයස අවුරුදු පණහක පමණ වන විට ඇයට උපතින් හිමි වුනු ඩිම්බ මිලියන දෙකම, එසේ නැත්නම් වැඩිවිය පැමිණෙන විට ඉතිරිව තිබුණු ලක්ෂ තුනම, විනාශ වී අවසන්ය. මෙය සිදුවන නිශ්චිත වයස කාන්තාවකට උපතින් උරුම වූ ඩිම්බ ගණන මත තීරණය වන අතර ඒ අනුව වසර පහක් හෝ හයක් එහා මෙහා වන්නට පුළුවන. කෙසේවුවද, ආසන්න වශයෙන් වසර පණහකදී පමණ මිනිස් ගැහැණියකගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණය අවසන් වන අතර ඉන් පසුව ඇයට දරුවන් බිහිකිරීමට දායක විය නොහැකිය.

මිනිස් ගැහැණියක විසින් උපතින් උරුම කර ගන්නා මිලියන දෙකක් පමණ වන ඩිම්බ සෛල වලින් මේරූ ඩිම්බ බවට පත්ව මාස්පතා මුදා හරිනු ලැබ දරුවකු බිහි කිරීමට දායක වීමේ ඉඩක් ලබන්නේ ඩිම්බ 400-500 අතර ප්‍රමාණයක් පමණි.

මිනිස් පිරිමියෙකුට මෙන්ම මිනිස් ගැහැණියකටද ජානමය ලෙස එකිනෙකෙන් වෙනස් ඩිම්බ වර්ග 8,388,608ක් නිපදවිය හැකි වුවත් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණයද එයින් හතරෙන් එකක් පමණක් නිසා ජානමය ලෙස සමාන ඩිම්බ දෙකක් අහඹු ලෙස ඇති වීමට ඉඩක් නැති තරම්ය. මේ නිසා, එකම මවකගේ සම-නිවුන් නොවන දරු දෙදෙනෙකුට ඇයගෙන් සමාන වර්ණදේහ ලැබෙන්නට ඉඩක් නැති තරම්ය.

එක් මිනිස් පිරිමියෙකු හා එක් මිනිස් ගැහැණියක විසින් බිහි කළ හැකි ජානමය ලෙස වෙනස් දරුවන් වර්ග ගණන අඩුම වශයෙන් 70,368,744,177,664කි. එනම් බිලියන හැත්තෑ දහසකට අධික සංයෝජන ප්‍රමාණයකි. මෙයට සාමාන්‍ය නොවන විකෘති ජාන සැකසුම් විශාල ප්‍රමාණයක්ද එකතු විය යුතුය. පෘථිවිය මත කෙදිනක හෝ ජීවත්ව සිට ඇති මිනිසුන් ගණන බිලියන සීයකට මඳක් වැඩි ප්‍රමාණයකි. ඒ නිසා, එක මවකගේ දරුවන් ලෙස සම-නිවුන් දරුවන් තරමට සමාන දරුවන් දෙදෙනෙකු කිසිදු කලෙක බිහිව තිබෙන්නට ඉඩක් නැතැයි සැලකිය හැකිය.

මෑතකදී අසන්නට ලැබුණු කතාවකට අනුව ඇතැම් අය සිතා සිටින පරිදි සෑම මිනිසෙකුම එකිනෙකාගෙන් වෙනස් වුවත් අලින්ගේ එවැනි වෙනසක් නැති අතර කොයි අලියාත් සමානය. මෙය වැරදි අදහසකි. මිනිසුන්ගේ වර්ණදේහ යුගල 46ට සාපේක්ෂව අලින්ට වර්ණදේහ යුගල 56ක් ඇති අතර ඒ නිසා එකම අලි ජෝඩුවකගේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීමෙන් හැදෙන්නට ඉඩ ඇති ජානමය ලෙස වෙනස් අලි පැටවුන් ගණන පමණක් 72,057,594,037,927,936කි. මේ අනුව අලි ජෝඩුවකගේ පැටවුන්ට තිබිය හැකි ජාන විවිධත්වය මිනිස් යුවලකගේ දරුවන්ට තිබිය හැකි ජාන විවිධත්වය මෙන් දහස් ගුණයකි. සෑම අලියාම එක ලෙස පෙනීම අපේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සීමාවක් මිස අලින්ගේ විවිධත්වය අඩුකමේ ප්‍රශ්නයක් නොවේ. මේ වැරැද්ද පෙන්වා දුන්නත් ඒ හේතුව නිසා අලින්ට රට භාර දී මිනිසුන් ඉවත් විය යුතුයැයි අප යෝජනා කරන්නේ නැත.

ශුක්‍රාණු හා ඩිම්බ එකතු වී පිළිසිඳගැනීමක් සිදුවන ආකාරයත්, විවිධ උපත් පාලන උපක්‍රම මඟින් එයට බාධා පමුණුවන ආකාරයත් ගැන කතා කිරීම අපි පසු ලිපියකට ඉතිරි කරමු.

දැනට කියන්නට තිබෙන්නේ මිනිස් උපතක් යනු කෙතරම් දුර්ලභ දෙයක්ද යන්නයි. ඔබේ ජීව විද්‍යාත්මක මවගෙන් හා පියාගෙන් බිහිවිය හැකිව තිබුණු භෞතික ලක්ෂණ වලින් එකිනෙකාට වෙනස් දරුවන් ගණන බිලියන හැත්තෑ දහසකට අධිකය. මේ අතරින් එක් අයෙක්, හත් අට දෙනෙක් හෝ වැඩිම වුනොත් දහ පහළොස් දෙනෙක් මිනිස් දරුවන් ලෙස බිහිවන විට, ඔබේ මවට හා පියාට දාව ඉපදීමේ කිසියම් සම්භාවිතාවක් තිබුණු, ඔබේ පවුලේ සාමාජිකයින්ට වඩා වෙනස් භෞතික ශරීර සහිත ඔබේ සොහොයුරන් හෝ සොහොයුරියන් බිලියන හැත්තෑ දහසක් මෙලොවට බිහි වී නැත.

ස්වභාව ධර්මය අලුත් මිනිසෙකු බිහි කරන්නේ මේ තරම් විශාල තේරීමක් කරමිනි. ඔබව නිර්මාණය වීමට දායක වූ ඩිම්බය ඔබේ මව ඉපදෙන විට ඈ සතු වූ ඩිම්බ මිලියන දෙකකින් එකකි. ඔබව නිර්මාණය වීමට දායක වූ ශුක්‍රාණුව ඔබේ පියා ඔහුගේ ජීවිත කාලය තුළ නිපදවන ශුක්‍රාණු බිලියන 500කින් එකකි. ඔබට ඔවුන්ගෙන් ලැබුණු වර්ණදේහ යුගල 23, එසේ ලැබිය හැකිව තිබුණු විවිධ වර්ණදේහ යුගල ට්‍රිලියන 70කින් එකකි. ලෝකයේ ඕනෑම අහඹු පුද්ගලයෙක් ඇමරිකාවේ ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඔබේ භෞතික සිරුර ඔබට හිමිවන්නට තිබුණු ඉඩකඩට වඩා දසදහස් ගුණයකින් වැඩිය. සෑම මිනිසෙකුම සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ එබැවිනි.

(Image: http://www.soc.ucsb.edu/sexinfo/article/biological-steps-becoming-pregnant)

Tuesday, May 24, 2016

පටිභාග නිමිත්ත කුමක්ද?


බෞද්ධ භාවනා ප්‍රධාන වර්ග දෙකකට බෙදේ. සමථ භාවනා සහ විපස්සනා භාවනා වශයෙනි. මේ දෙවර්ගයෙන් වඩා උසස් ලෙස සැලකෙන්නේ විදර්ශනා භාවනාවන්ය. සමථ භාවනා ඇත්තටම බෞද්ධ භාවනා ලෙස දියුණු කරනු ලැබූ භාවනා නොවේ. සමථ භාවනා පිලිබඳ දැනුම බුද්ධ කාලයට බොහෝ කලකට පෙර සිටම වත්මන් ඉන්දියාවට අයත් පෙදෙස් වල පැවති දැනුමකි.

බුද්ධ කාලයට පෙර, බුද්ධ කාලයේ හා බුද්ධ කාලයෙන් පසුව සමථ භාවනා පුහුණු කළ විවිධ පුද්ගලයින් අතර බෞද්ධයෝ මෙන්ම අබෞද්ධයෝද සිටියහ. සමථ භාවනා යනු බෞද්ධ සම්ප්‍රදාය තුළට අවශෝෂණය කර ගැනුණු එවකට පැවති දැනුමකි. සිද්ධාර්ථ ගෞතමයන් විසින්  බුද්ධත්වයට පෙර ආලාර කාලාම, උද්දක රාමපුත්ත ආදී ගුරුවරුන්ගේ අධීක්ෂනය යටතේ මේ සමථ භාවනා හැදෑරීය.

මා දන්නා පරිදි, සමථ භාවනාවකදී කරන්නේ යම්කිසි බාහිර නිමිත්තක් (කර්මස්ථානයක්) අරමුණු කර ගනිමින් චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීම පුහුණු කිරීමයි. බෞද්ධ භාවනා පුහුණුවීම් වලදී භාවිතා කරන මෙවැනි කර්මස්ථාන හතළිහකි. ඒ අතරින් දහයක් දස කසිණ ලෙස හැඳින්වේ.  මේ දස කසිණ වලදී අරමුණු කරන්නේ ඉන්ද්‍රියයක් හරහා ලැබෙන නිශ්චිත සංඥාවකි. එම සංඥා අතරින් හතරක් ස්පර්ශය හා මුල්ව ලැබෙන සංඥා වන අතර ඉතිරි පහක් දෘෂ්ඨිය මුල් කර ගත් සංඥාවන්ය. මා සිතන පරිදි ආකාශ කසිණයේදී අරමුණු වන්නේ දෘශ්‍ය හෝ ස්පර්ශ සංඥාවක් නොලැබීමයි. ඒ නිසා එය මේ දෙකටම සම්බන්ධය.

දස කසිණ

1.  පඨවි කසිණය
2.  ආපෝ කසිණය
3.  තේජෝ කසිණය
4.  වායෝ  කසිණය
5.  නීල කසිණය
6.  පීත කසිණය
7.  ලෝහිත කසිණය
8.  ඕදාත කසිණය
9.   ආකාශ කසිණය
10. ආලෝක කසිණය

ඉහත ලැයිස්තුවේ ඇති අවසන් කසිණ භාවනා හය දෘෂ්ඨිය හා සම්බන්ධය.  මා පෞද්ගලිකව මේ භාවනා කිසිවක් සාර්ථකව පුහුණු කර නැති නිසා එම භාවනා පුහුණු කිරීමෙන් ලැබෙන අත්දැකීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් මට නැත. එහෙත්, මේ භාවනා ක්‍රම කලක් පුහුණු කළ අය දුලබ නැත. බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකුටද එවැනි පුහුණුවක් හා අත්දැකීම් ඇති බව සටහන් කර තිබෙනු මා දැක ඇත.

බුද්ධ කාලයේ, බුද්ධ කාලයට පෙර හා ඉන් පසුව වර්තමානය දක්වා කසිණ භාවනා පුහුණු කර ඇති බෞද්ධ හා අබෞද්ධ විවිධ පුද්ගලයින් විසින් වාර්තා කර ඇති ඔවුන් ලැබූ අත්දැකීම් වල වෙනස්කම් නැත. ඒ නිසා, මේ අත්දැකීම් ඔවුන්ගේ සැබෑ අත්දැකීම් බවත්, එම භාවනා පුහුණු කරන බෞද්ධ හෝ අබෞද්ධ වෙනත් අයෙකුට අවශ්‍යනම් ලබාගැනීමට බාධාවක් නැති අත්දැකීම් බවද පැහැදිලිය.


කසිණ භාවනාවකින් (සහ වෙනත් සමථ භාවනා දොළහකින්) ලැබෙන අත්දැකීමෙහි අදියර තුනකි.
1. පරිකම්ම නිමිත්ත,
2. උග්ගහ නිමිත්ත, හා
3. පටිභාග නිමිත්ත වශයෙනි.

උදාහරණයක් ලෙස නීල කසිණය ගතහොත් මේ භාවනාව වඩන්නේ නිල් රෙදිකඩක් භාවිතා කරගෙන එහි නිල් පැහැය අරමුණු කර ගනිමිනි. පරිකම්ම නිමිත්ත මේ නිල් පැහැති රෙදිකඩයි. පළමු අදියරේදී පුහුණු වන්නේ මේ රෙදිකඩෙහි ඇති නිල් පැහැය කෙරෙහිම අරමුණු පවත්වා ගැනීමටය. දෙවන අදියරේදී, මේ රෙදිකඩ තවදුරටත් අවශ්‍ය නොවේ. වෙනතක බැලුවද, දෑස් පියාගත්තද මේ රෙදිකඩම පෙනේ. කෙසේ වුවද, මේ දෙවන අදියරේදී පෙනෙන්නේද රෙදිකඩෙහි ඇති නිල් පැහැයමය.

තෙවන අදියරේදී, මෙසේ පෙනෙන රෙදිකඩ තුලින් ඉතා දීප්තිමත් පැහැදිලි නිල් පැහැයක් පෙනේ. එය පරිපූර්ණ නිල් පැහැයකි. රෙදිකඩෙහි පෙනුණු නිල් පැහැයෙහි ඇති අඩුපාඩු එහි නැත. මේ අවසන් අවස්ථාව දක්වා පැමිණි භාවනායෝගියාට නිල් පැහැය මනසින් පාලනය කළ හැකිය. එය අවකාශය පුරා පැතිරවිය හැකිය. වෙනත්, කසිණ හා අදාළවද ලැබෙන අත්දැකීම මෙයට සමානය. ලෝහිත කසිණය වැඩූ විට අත්දැකිය හැකි පටිභාග නිමිත්ත දීප්තිමත් රතු පැහැයකි.

එසේනම් මේ පටිභාග නිමිත්ත කුමක්ද? මේ ඒ ගැන මගේ අදහසයි.


[කියවන්න: තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)
තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)]


නිල් පැහැති රෙදිකඩකින් පරාවර්තනය කර එවන්නේ දෘශ්‍ය වර්ණාවලියේ එක් අන්තයක ඇති කෙටි තරංග ආයාමයි. නිල් පැහැති රෙදිකඩක් දෙස දිගින් දිගටම අවධානයෙන් බලා සිටින විට ඇසේ නිල් කේතු සෛල එහි උපරිමයටම ආරෝපණය වේ. එහෙත්, රතු හා කොළ  කේතු සෛල ආරෝපණය වන්නේම නැත. කෙසේ වුවද, රෙදිකඩෙහි නිල් පැහැය අංග සම්පූර්ණ නිල් පැහැයක් නොවන නිසා එයින් යම් තරමකට වෙනත් තරංග ආයාමද පරාවර්තනය විය හැකිය.

එකම පැහැයක් දෙස වැඩි වේලාවක් බලා සිටින විට එම පැහැයට සංවේදී වන කේතු සෛල විඩාවට පත් වේ. මෙවැනි අවස්ථාවක වෙනත් පැහැයකින් යුතු පසුබිමක් වෙත ඇස් යොමු කළද එම සෛල ක්ෂණිකව ක්‍රියාත්මක නොවේ. උදාහරණයක් ලෙස ඔබ රතු පැහැති පසුබිමක් දෙස සෑහෙන වෙලාවක් බලා සිටීමෙන් පසු සුදු ආලෝකය දෙස බැලුවොත් ඔබට පෙනෙන්නේ කොළ පැහැයකි. ඒ, වෙහෙසට පත් ඔබේ රතු කේතු සෛල ප්‍රතිචාර දැක්වීමට කල් ගන්නා අතරතුර ඔබ දකින සුදු ආලෝකයේ රතු පැහැය රතු පෙරනයක් යෙදූ අයුරින් පෙරෙන බැවිනි. මෙසේ කේතු සෛල විඩාවට පත් වන නිසා, නිල් රෙදිකඩක් දෙස එක දිගටම බලා සිටින විට
ම කාර්යය එන්න එන්නම අසීරු වේ.

මා සිතන පරිදි සමථ භාවනාවේ දෙවන අදියරේදී වෙන්නේ මෙසේ වෙහෙසට පත්ව කහ පැහැය සොයන, නිල් අන්තයේ ආරෝපණය වී ඇති කේතු සෛල පුහුණුව මඟින් තව දුරටත් එසේම රඳවා ගැනීමයි. වෙනත් අයුරකින් කිවහොත් ඇසට වැටෙන ආලෝක තරංග වල තරංග ආයාම වෙනස් වුවද කේතු සෛල ඒවාට ප්‍රතිචාර දැක්වීම පුහුණුව තුළින් පාලනය කිරීමයි. එවිට වෙනතක බැලුවද, මොළයට යන්නේ පෙර සංඥාවම බැවින් තවදුරටත් පෙර දුටු රෙදිකඩම පෙනේ.



පෙනීම සිදුවන භෞතික ක්‍රියාවලියේදී බාහිර වස්තුව, ඇසේ කේතු සෛල, මොළයට යන විද්‍යුත් සංඥාව හා මොළයේ සිදුවන දත්ත සැකසුම පිළිවෙලින් සිදුවේ. අවසානයේදී අප දකින රූපය මොළය විසින් සිදුකරන දත්ත සැකසුමේ ප්‍රතිඵලයකි. එහෙත්, අපට සිතෙන්නේ අප දකින්නේ අපෙන් පිටත ඇති බාහිර වස්තුව බවයි.

දෙවන අදියර දක්වා පැමිණෙන කෙනෙකු බාහිර වස්තුව සහ කේතු සෛල අතර සම්බන්ධය බිඳ දමා අවසන්ය. දැන් මේ පුද්ගලයාගේ දැකීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ ඇසේ කේතු සෛල වලිනි. එම ක්‍රියාවලියට අවධානය යොමු කළ විට නිල් කේතු සෛල වලින් ලබා දෙන සංඥාව පමණක් වෙන් කරගෙන කර්මස්ථානය ලෙස භාවිතා කළ නිල් රෙදිකඩ හරියටම නිල් නොවූ නිසා රතු හා කොළ සෛල වලින් අතරින් පතර එන වෙනත් සංඥා ඉවත් කර ගත හැකිය. එසේ කළ විට පෙනෙන්නේ ඉතා පිරිසිදු දීප්තිමත් නිල් පැහැයකි. එය කෙනෙකුට දැකිය හැකි හොඳම නිල් පැහැයයි. නීල කසිණය හා අදාළ පටිභාග නිමිත්ත මෙය මෙය විය යුතුය.

කෙසේ වුවද අවසානයේදී යම් පුද්ගලයෙකු විසින් දකින නිල් පැහැය හදන්නේ නිල් කේතු සෛල විසින්ද නොවේ. එය කරන්නේ නිල් කේතු සෛල වලින් පැමිණෙන සංඥාව අවබෝධ කරගන්නා මොළය විසිනි. එසේනම්, ඇත්තටම නිල් පැහැය දකින්නට මේ සංඥාවද අවශ්‍ය නැත. බාහිර වස්තුව, ඇසේ කේතු සෛල හෝ මොළයට ලැබෙන සංඥාව නැතත් කෙනෙකුට නිල් පැහැය දැකිය හැකිය. ඒ නිල් පැහැය දැන් තමන්ගේ පාලනය යටතේ තිබේ. ඒ නිසා තමන්ගේ මොළය විසින් දකින ලෝකය තුළ ඒ නිල් පැහැය තමන්ට කැමති පරිදි පතුරුවන්නට හා පාලනය කරන්නට පුළුවන.


දෘෂ්ඨිය හා සම්බන්ධ අනෙකුත් කසිණ භාවනා වලින් කෙරෙන්නේද මෙවැන්නක් විය යුතුය.

නීල කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ කෙටි අන්තයට අවධානය යොමු කර නිල් කේතු සෛල උපරිමයට ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ලෝහිත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ දිගු අන්තයට අවධානය යොමු කර රතු කේතු සෛල උපරිමයට ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


පීත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ මැදට අවධානය යොමු කර රතු හා කොළ කේතු සෛල එක සමානව ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ඕදාත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ සමස්ත පරාසය වෙත අවධානය යොමු කර නිල්, රතු හා කොළ කේතු සෛල තෙවර්ගයම එක සමානව ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ආලෝක කසිණය: කේතු සෛල අතහැර යෂ්ඨි සෛල වලින් එන ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


මේ අනුව, මේ භාවනා පුරුදු කරන කෙනකුට තමන්ගේ දැකීමේ මෙන්ම තමන් විසින් දකින ලෝකයේද සැබෑ ස්වභාවය පහසුවෙන් තේරුම් ගත හැකිය. ඒ අයුරින්ම, ස්පර්ශය හා අදාළ කසිණ භාවනා මඟින් තමන්ට දැනෙන ලෝකයේ සැබෑ ස්වභාවයද පහසුවෙන් තේරුම් ගත හැකිය. තවත් ඉන්ද්‍රියයන් ඇති නමුත් මිනිසුන් ලෝකය අවබෝධ කරගන්නේ ප්‍රධාන වශයෙන්ම දෘෂ්ඨිය හා ස්පර්ශය මඟිනි.  

(Image: www.fryba.cz)

Thursday, May 12, 2016

අලි මදිවට හරක් ප්‍රශ්න


ගව මස් කෑම හා ඒ නිසාම අනියමින් ගව ඝාතනයට අනුබල දෙන ඇතැම් අය දම්වැලින් කකුල් බැඳ පෙරහැරක ගෙන යන අලියෙකුගේ හෝ ඇතෙකුගේ 'මානව අයිතිවාසිකම්' ගැන කණගාටු වන්නේ ඇයිද යන්න ඇතැම් අයට ප්‍රශ්නයකි. ගව ඝාතනය වැළැක්වීමේ අරමුණින් ගිණි තබාගෙන සියදිවි නසාගැනීමට නොපැකිළෙන අයෙකු හෝ එවැනි ක්‍රියාවක් උත්කර්ෂයට නංවන අයෙකු කැලේ සිටින අලි පැටවෙකු මවගෙන් වෙන් කර රැගෙන විත්  'සමාජගත කිරීම' සඳහා 'නවක වදයට' ලක් කිරීම ප්‍රශ්නයක් ලෙස නොදකින්නේ ඇයිද යන්න තවත් අයට ප්‍රශ්නයකි. (සියදිවි නසාගැනීමක් නොකියා ජීවිත පූජාවක් කරන අයෙකු කියා වෙනස් අයුරකින් කිව හැකිය. කෙසේ හැඳින්වුවද, මා අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තම ජීවිතය අවසන් කර ගැනීමයි.)

මේ ආකාරයේ 'අලි මදිවට හරක්' ප්‍රශ්න වලට පිළිතුර ඇත්තේ ප්‍රශ්නය තුළමය. වෙනත්, අයුරකින් කිවහොත් ප්‍රශ්නය අසන සන්දර්භය තුළය. ඉහත ප්‍රශ්න මතුවන්නේම යම් නිශ්චිත ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂවය. ඒ නිසා, වෙනත් ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂව ඇතැම් විට මේ ප්‍රශ්නයට පිළිතුර අවිවාදිත එකක් විය හැකි අතර තවත් රාමුවකට සාපේක්ෂව මෙහි පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් නොතිබෙන්නට වුවත් පුළුවන.


ඉහත ප්‍රශ්න ඇසෙන්නේ අලියෙකුගේ ජීවිතය සහ හරකෙකුගේ ජීවිතය සමාන ලෙස සලකන රාමුවකට සාපේක්ෂවය. මෙය තවත් දිගු කළහොත් මේ රාමුව යනු පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුවයි. සංස්කෘතිකව ලංකාවේ බොහෝ දෙනෙකු කාලයක් ජීවත් වී ඇත්තේත්, දැනට ජීවත් වන්නේත් මෙවැනි සංස්කෘතික රාමුවක් ඇතුළේය. මේ රාමුවේ පදනම ප්‍රාග්-බෞද්ධ වෛදික මතවාදී රාමුවයි.

බුද්ධ කාලයට පෙර සිට වත්මන් ඉන්දියාවේ පැවති විශ්වාසයන්හි මෙන්ම අදටත් බොහෝ දෙනකු අදහන හින්දු හා ජෛන ආගම් වල භෞතික සිරුරට වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ භෞතික සිරුර තුළ ඇතැයි සැලකෙන අධ්‍යාත්මික සිරුරට නැත්නම් ආත්මයටය. මේ විශ්වාස අනුව, 'සැබෑ' පුද්ගලයා යනු මේ ආත්මයයි. භෞතික සිරුර යනු මේ 'සැබෑ' පුද්ගලයා තාවකාලිකව ජීවත් වන නිවෙසයි. මේ අතින් මේ අදහස ආබ්‍රහමික ආගම් වල දැනට පිළිගැනෙන ආත්මය පිළිබඳ සංකල්පය සමඟ ගැලපේ. (ඇතැම් දේවධර්මාචාර්යවරුන්ට අනුව ආත්මය යන අදහස ආබ්‍රහමික ආගම් වලට පසුව එකතු වූවකි. මුලදී තිබී ඇත්තේ ශුද්ධාත්ම සංකල්පය පමණි.) කෙසේවුවද, පැරණි ඉන්දියානු ආගම් ආබ්‍රහමික ආගම් සමඟ සම්පාත වන්නේ පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා පමණි.

සංසාර සංකල්පය බෞද්ධ සංකල්පයක් නොවේ. එය බුද්ධ කාලයට බොහෝ පෙර සිට පැවති සංකල්පයකි. මේ අනුව, 'සත්ත්වයා' ගිණිය නොහැකි වාර ගණනක් සංසාරයේ මැරි මැරී උපදී. මෙසේ මැරි මැරී නැවත නැවතත් උපදිද්දී විනාශ වන්නේ භෞතික සිරුර පමණි. මිය යන වාරයක් පාසා අළුත් 'නිවසක්' සොයා ගන්නා ආත්මය මරණය හේතුවෙන් විනාශ නොවේ. මරණින් මතු ලැබෙන අළුත් නිවස ගව සිරුරක් හෝ ඇත් සිරුරක් විය හැකිය. අවසානයේ විමුක්තිය ලබන්නේ මෙසේ අස්ථිර සිරුරු නිවෙස් කර ගනිමින් කාලාන්තරයක් සසර සැරි සරන ආත්මයයි.


ජීවිතය ස්වභාව ධර්මය සමඟ කරන නිරන්තර සටනක් වූ මැදපෙරදිග කාන්තාර දේශගුණයේ ජීවිතයට සාපේක්ෂව පැරණි ඉන්දියාවේ ජන ජීවිතය වඩා සුමට හා සාමකාමී එකක් විය. මේ පරිසරය තුළ ජීවත් වූ මිනිසුන්ට අලින් හා හරකුන් යනු තමන්ගේ ආහාරයක් ලෙස නොපෙනී තමන්ට දැනෙන හැඟීම් දැනීම් එලෙසින්ම දැනෙන තමන්ගේම අනෙකා ලෙස පෙනෙන්නට ඇත.

කිසියම් මතවාදී හෝ සංස්කෘතික රාමුවක් වෙනත් රාමුවකට සාපේක්ෂව ප්‍රශ්නකාරී වුවත්, අදාළ රාමුව තුළ එවැනි ප්‍රශ්නයක් නැත්නම් ඒ රාමුව කාලයක් ස්ථායීව පවතී. එවැන්නක් වෙනස් වන්නේ වෙනත් බාහිර  සංස්කෘතික රාමුවක් සමඟ ගැටුණු විටය. එහෙත්, යම් රාමුවක් එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන විට, අදාළ රාමුව ස්වාධීනවම පැවතුණේ වුවද එවැනි අභ්‍යන්තර විසංවාද ඉවත් කරගැනීම සඳහා, ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුව එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන්නකි. පළමු මූලික ගැටළුව වන්නේ පණ ඇති සත්ත්ව ජීවිතයක් යනු කුමක්ද යන්නයි. මෙහිදී ඕනෑම විශ්ලේෂණයක් ඇරඹෙන්නේ තමන්ට සාපේක්ෂවය. 'මම' යනු 'පණ ඇති ජීවියෙක්' වේනම් මා තරමට 'දියුණු' නැති මගේ අළුත උපන් දරුවාද පණ ඇති ජීවියෙක් විය යුතුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ 'මගේ ජීවිතය තරමටම වටිනා' ජීවිතය මගේ ජීවිතය තරමටම හෝ ඊට වඩා යහපත් කර ගැනීමට ලබාදෙන උදවුවක් වශයෙන් මා මගේ දරුවාව මා හොඳයයි සිතන ආකාරයට පුහුණු කළ යුතුය. මේ සංකල්පය ඉන්පසුව මගේ පවුලෙන් පිටතට හා මගේ කුලයෙන්, ජනවර්ගයෙන් පිටතට ආදී වශයෙන් පළල් කළ හැකිය. ඉන්පසු මගේ බල්ලා, පූසා, හරකා හෝ අලියා දක්වාත් මගේ නොවන වෙනත් බල්ලන්, පූසන්, හරකුන් හා අලින් දක්වාත් පුළුල් කළ හැකිය. ඇසට පෙනෙන සියළු සතුන් දක්වාත්, ඇසට නොපෙනෙන සතුන් දක්වාත් පුළුල් කළ හැකිය. සතුන් නොවන ගස්වැල් දක්වාත් පුළුල් කළ හැකිය. 



මෙසේ මා හඳුනාගන්නා මට මෙන්ම ආත්මයක් ඇති පණ ඇති සතුන් පරාසය පුළුල් කරගෙන යන විට තවත් බාධකයක් හමුවේ. ඒ මගේ ආහාර යනු මොනවාද යන්නයි.

මිනිසෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයෙකුව හෝ වෙනත් මිනිසෙකුව මරා මස් ආහාරයට ගන්නට බැරිකමක් නැත. එහෙත්, එවැනි දේ සිදුවන්නේ ඉතා කලාතුරකිනි. තමන්ගේම වර්ගයා (තමන් සමඟ සංසර්ගයෙන් සරු ජනිතයෙකු බිහි කිරීමට හැකි තරම් සමානත්වයක් ඇති ජාන දරන අය) විනාශ කරන සත්ත්ව වර්ගයකයට දීර්ඝකාලීනව වඳ වී නොසිටිය හැක්කේ කෙටි කලක් තුළ ඉතා විශාල ජනිතයන් සංඛ්‍යාවක් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාවක් ඇත්නම් පමණි. මෙවැනි හැකියාවක් ඇති සතුන් සුලභ නැත. ඒ නිසා තමන්ගේම වර්ගයාගේ මස් ආහාර ලෙස නොසැලකීමේ පදනම පැහැදිලි එකකි. එසේනම්, හෝමෝ සේපියන්ස්ලාට සංසර්ගයෙන් සරු ජනිතයින් බිහි කළ නොහැකි අනෙක් සතුන්ගේ මස්?



භෞතික සිරුර විනාශ වීමෙන් පසු තව දුරටත් ඉතිරි වන ස්ථිර ආත්මයක් ඒ තුළ තිබේයැයි සිතූ විට එවැනි ආත්මයක් සහිත ජීවියෙක් ආහාරය පිණිස හෝ වෙනත් හේතුවකට මරණයට පත් කිරීම ප්‍රශ්නයක් වේ. ඒ නිසා, ආත්මයක් සහිත "පණ ඇති" හා ආත්මයක් රහිත "පණ නැති" දේ වෙන් කර ගැනීමට නිර්ණායකයක් අවශ්‍ය වේ. ඒ සඳහා, කොතනින් හෝ ඉරක් අඳින්නට සිදු වේ. එහෙත්, මේ ඉර කාටත් එකඟ විය හැකි පැහැදිලි එකක් නොවේ.  


ආබ්‍රහමික ආගම් වල මේ ඉර ඇඳ ඇත්තේ මිනිසුන් අනෙකුත් සියළුම සතුන් හා ශාක වලින් වෙන් කරමිනි. මේ අනුව, එක්කෝ අනෙකුත් සතුන්ට මිනිසුන්ට මෙන් ආත්මයක් නැත. එසේ නැත්නම්, සතුන්ට ඇත්තේ මිනිසුන්ට ඇති ආත්මයට වඩා වෙනස් ආත්මයකි. මේ අනුව, ආහාරය පිණිස සතෙකු මැරීමේ හා තිරිඟු ගසක් කපා තිරිඟු ඇට සූරා ගැනීමේත් බිත්තරයක් තැම්බීමේ හා අර්තාපල් අලයක් තැම්බීමේත් ආකෘතිමය වෙනසක් නැත. බෞද්ධ ඉගැන්වීම් වලට වඩා පරම්පරාවකින් පරණ, පරම අවිහිංසාවාදී ධර්මයක් වන ජෛන ඉගැන්වීම් අනුව ආහාරය පිණිස සතෙකු මැරීම මෙන්ම ශාකයක් විනාශ කිරීමද වරදකි. මේ නිසා ජෛනාගමිකයෝ ආහාරයට ගන්නා කොටස ලබා ගැනීම සඳහා ජීවී ශාකයක් 'මරා දැමිය යුතු' අල වර්ග හා ළූණු වර්ග ආහාරයට නොගනිති. 

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඉගැන්වීම් අනෙකුත් සමකාලීන මෙන්ම පසුකාලීන ආගමික ඉගැන්වීම් වලින් මූලික වශයෙන්ම වෙනස් වන්නේ භෞතික සිරුර තුළ ඇති ස්ථිර හෝ සදාකාලික ආත්මයක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීම නිසාය. (ආත්මවාදය ප්‍රතික්ෂේප කළ වෙනත් ශාස්තෘවරුද බුද්ධ කාලයේ මෙන්ම ඊට පෙරත් සිටියහ.)

"කොයි සතාගේ පණත් සමානය" යන  වෛදික අදහස බෞද්ධ ඉගැන්වීම් සමඟ ගැලපෙන්නක්යයි මා සිතන්නේ නැත. බුද්ධ දේශනා වලින් බොහෝ විට ඉස්මතු වන්නේ වෙනත් සත්ත්ව ජීවිත වලට සාපේක්ෂව මිනිස් ජීවිතයක ඇති වැඩි වටිනාකම පිලිබඳ අදහසයි. සිද්ධාර්ථ ගෞතමයින් විසින් දකින මිනිසා බුද්ධිය අතින් අනෙක් සියළු සත්ත්ව වර්ග වලට වඩා ඉදිරියෙන් සිටින සතෙකි.

බෞද්ධ අවිහිංසාවාදයේ පදනම වනුයේ වැඩි බුද්ධි මට්ටමක් ඇති මිනිසුන් විසින් තමන්ට මෙන්ම හැඟීම් දැනීම් ඇති, මරණය හා දඬුවම් හේතුවෙන් බියට හා තැති ගැන්මට පත්වන තවත් සතෙකුව එසේ වේදනාවට පත් කිරීම නොතරම් දෙයක් බවයි. එය පුද්ගල නිදහස පිළිබඳ සංකල්පය හැඟීම් දැනීම් ඇති වෙනත් සත්ත්ව කොටස්ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමක් මිස හරකෙකුගේ හෝ අලියෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයක් සමඟ සමාන කිරීමක් නොවන බව මගේ අදහසයි.


ප.ලි. උඩ ඇති රූපයේ ඔබට පෙනෙන්නේ අලි ඔළුවක්ද නැත්නම් හරක් ඔළුවක්ද?

(Image: www.alamy.com)

Wednesday, April 6, 2016

මරණාසන්න අත්දැකීම්


ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ ජීවත් වූ හෝ ජීවත් වන පුද්ගලයින් විසින් වාර්තා කර ඇති මරණාසන්න අත්දැකීම් වල පුදුමාකාර සමානත්වයක් තිබේ. ඉතා දීප්තිමත් ආලෝකයක් දැකීම, සිරුරෙන් ඉවත්ව අහසේ පාවීම, කාලය පිලිබඳ හැඟීමක් නොමැති වීම, වේදනා රහිත සුවදායක හැඟීම් මෙන්ම 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ ගැන පූර්ණ අවබෝධයක් තිබීම බොහෝ දෙනෙකු විසින් වාර්තා කර ඇත.

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලකටම වාගේ පොදු මූලික විශ්වාසයක් වන්නේ ශරීරය තුළ පිහිටි, භෞතික නොවන, ස්ථිර පැවැත්මක් ඇති ආත්මයක් පිලිබඳ අදහසයි. එක් එක් ආගමේ අවසන් අරමුණ වෙනස් වුවද, සිරුර අතහැර මේ අවසන් අරමුණ කරා ලඟා වන්නේ ඉහත කී ආත්මයයි. මේ අදහස අනුව, මරණය යනු භෞතික සිරුරින් මේ ආත්මය ඉවත්ව යාමයි. ප්‍රධාන ආගම් අතරින් මෙවැනි ආත්මයක් නැති බව ප්‍රකාශ කෙරෙන්නේ බුද්ධ දර්ශනය තුළ පමණි. කෙසේවුවද, ප්‍රායෝගිකව බොහොමයක් බෞද්ධයින්ට මේ 'අනාත්ම' සංකල්පය පැහැදිලි නැති බැවින් බුද්ධාගම අදහන බොහොමයක් පිරිස්ද මේ කරුණ හා අදාළව බොහෝ විට අනෙකුත් ආගම් අදහන අයගෙන් වෙනස් නැත.

මරණාසන්න අත්දැකීම් පැහැදිලි කෙරෙන ප්‍රධාන ප්‍රවාද දෙකක් තිබේ. මෙයින් පළමුවැන්න අනුව, මේ අත්දැකීම් වලට හේතුව සිරුර තුළ පැවති ආත්මය සිරුරෙන් පිටව කිසියම් කාලයකට පසුව නැවත සිරුර තුළට පිවිසීමයි. එසේ සිරුරෙන් පිටව සිටින කාලය තුළද, මේ ආත්මයට බාහිර පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබේ. මේ ප්‍රවාදය බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාස සමඟ වඩා හොඳින් ගැලපේ.


දෙවන මතය අනුව, මරණාසන්න අත්දැකීම් යනු සැබෑවටම මොළය අක්‍රීයව පැවති කාලයේ ලැබූ අත්දැකීම් නොවේ. ඒවා, මොළය අක්‍රිය වීමට ආසන්නව හෝ නැවත ක්‍රියාකාරී වූ වහාම ලැබුණු අත්දැකීම් විය හැකිය. ඊට අමතරව, කිසියම් 'හිස්තැන් පිරවීමේ' ක්රියාවලියක්ද මෙහිදී සිදුවේ. මේ ප්‍රවාදය අනුව, අක්‍රීයව පැවති කාලය තුළ මොළය විසින් අළුත් තොරතුරු ලබා නොගනී. කෙසේවුවද, 'මියයාමට පෙර' අවස්ථාවේ සිට 'නැවත පණ ලැබුණු' අවස්ථාව දක්වා ජීවිතය සුමටව, අඛණ්ඩව ගලා නොයාම මොළය විසින් විසඳාගත යුතු ගැටළුවකි.

මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය. එහෙත්, මා ආපසු පැමිණෙන විට මගේ නිවසේ දොර විවෘතව ඇති අතර හා මගේ ලිපිගොනු යම් කිසිවෙකු විසින් අවුස්සා දමා තිබේ. මා නිවසේ නැති අතරේ සිදු වූ දේ මා නොදනිතත්, මා දන්නා දේ ඇසුරින් හැකි පරිදි මේ 'හිස්තැන පුරවා ගැනීමට' මගේ මොළය ක්‍රියා කරයි. දෙවන ප්‍රවාදය අනුව, මරණාසන්න අත්දැකීම් වලදී සිදුවන්නේද මෙවැන්නකි. වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයින් විසින් කරන්නට ඇතැයි මා මගේ පෙර අත්දැකීම් ඇසුරින් සිතන දේත්, මරණය ගැන මගේ ආගමික විශ්වාස මත මා හිතන දේත්, මා අසා ඇති වෙනත් මරණාසන්න අත්දැකීම් අනුවත් මගේ මොළය විසින් මේ හිස්තැන පුරවයි.

මරණාසන්න අත්දැකීම් මඟින් ඉහත මා ඉදිරිපත් කළ මත දෙකෙන් එකක්වත් වැරදි හෝ නිවැරදි බව තහවුරු නොවේ. එම මත දෙකෙන් කවර එකක් මඟින් වුවද මරණාසන්න අත්දැකීම් පැහැදිලි කළ හැකිය.

ස්ටනි බෘක්හි පිහිටි නිවු යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය සෑම් පාර්නියා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කළ, බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටි පර්යේෂණයේ අරමුණ වූයේ මේ ගැටළුව විසඳා ගැනීමයි. 2008 වසරේදී ඇරඹුණු මේ පර්යේෂණ අධ්‍යනය සඳහා ඇමරිකාවේ, එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ පිහිටි රෝහල් 15ක නේවාසිකව සිටි හදවත අකර්මන්‍ය වීමෙන් පසු 'නැවත පණ ලබා දීමට' උත්සාහ ගැනුණු රෝගීන් යොදා ගැනිණි. මෙහිදී පර්යේෂකයින් විසින් යොදාගත් උපාය මාර්ගය වූයේ රෝගියා සිටි කාමරයේ උස් රාක්කයක් මත ඉතා හොඳින් පෙනෙන (චිත්‍රයක් වැනි) කිසියම් භාණ්ඩයක් රැඳවීමයි. කෙසේවුවද, ඇඳ මත වැතිර සිටින විට මෙය නොපෙනෙන අතර කාමරයේ සිවිලිම මට්ටමේ සිට බිම බලන විට පමණක් මේ භාණ්ඩය ඉතා පැහැදිලිව දර්ශනය වේ. රෝගීන්ට මේ භාණ්ඩය පැහැදිලිව විස්තර කළ හැකිනම් එයින් අදහස් වන්නේ මරණාසන්න අත්දැකීම් යනු 'මියගොස් සිටි කාලයේ' සැබෑවටම සිදුවූ දේ බවයි.
 

රෝගීන් 2,060 දෙනෙකුව යොදා ගෙන සිදුකළ මේ දැවැන්ත පරීක්ෂණයේ ප්‍රතිඵල 2014 දෙසැම්බරයේදී 'රීසස්ටිකේෂන්' ජර්නලයේ පළවිය. මේ පර්යේෂණ ප්‍රතිඵලය විශාල මාධ්‍ය අවධානයක්ද දිනා ගත්තේය. කෙසේවුවද, අදාළ පර්යේෂකයින්ට ඔවුන් විසඳුම් සෙවූ මූලික ගැටළුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකිවී නැත. 

පර්යේෂණය සඳහා යොදාගත් රෝගීන් අතරින් 'ආපසු ඒමට' හැකි වුනේ 140 දෙනෙකුට පමණි. ඔවුන් අතරින්ද, විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීමට යෝග්‍ය තත්ත්වයක සිටියේ 101 දෙනෙකු පමණි. ඒ අතරින්, 9 දෙනෙකු කිසියම් ආකාරයක මරණාසන්න අත්දැකීම් ලබා තිබුණු අතර 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ මතක තිබුණේ දෙදෙනෙකුට පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට මේ කාලය තුළ සිදු වූ ඇතැම් දේ නිවැරදිව විස්තර කළ හැකි වී තිබේ. කෙසේවුවද, මේ දෙදෙනාම හදිසි තත්ත්වයක් යටතේ මේ අත්දැකීම් ලබන විට සිටියේ අර 'මල් පෝච්චිය තිබුණු' කාමරයේ නොවූ නිසා මුලින් සැලසුම් කළ පරීක්ෂණයනම් සිදුවී නැත.

නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ පරීක්ෂනයෙන්ද මරණාසන්න අත්දැකීම් පිලිබඳ ගැටළුව විසඳී නොමැත.


(Image: www.acts17.net)

Saturday, March 19, 2016

කවදාක කොහොම කොයි ලෙසකද මා බිහි වූයේ?



මේ ලිපිය කලින් "මරණය දුකක් වන්නේ කාටද?" මාතෘකාව යටතේ පළකළ ලිපියට සම්බන්ධය. එමෙන්ම, ඒ ලිපියේ මුලින් ඇති වියාචනය මේ ලිපියටද අදාළය. පෙර ලිපියෙන් මා කතා කළේ මරණය දුකක්ය යන කරුණ විශ්වාසය හෝ තර්කනය මත මිස ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගත නොහැකි බවයි. ඒ, අප කවුරුත් තවම මියගොස් නැති බැවිනි.

අප කිසිවෙකු තවම මියගොස් නැත්තේ වුවද ඉපදී සිටින්නෙමු. එසේනම්, අපට ඉපදීම දුකක්ය යන්න විශ්වාසය හෝ තර්කනය මත පිළි නොගෙන ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගැනීමේ හැකියාවක් තිබේද?

බුද්ධ දේශනා අනුව, ඉපදීමේ දුක ලෙස දක්වා ඇති කරුණු බොහොමයක් ඇත්තටම ඉපදීමෙන් පසුව ජීවත්වීමේදී ඇතිවන දුක්ය. මේ අර්ථයෙන්, ඉපදීම දුකක් වන්නේ ඉපදීම නිසා වෙනත් දුක් ඇතිවන බැවිනි. ඒ හැරුණු විට, ඉපදීම හා කෙළින්ම අදාළ වන කරුණු කිහිපයක්ද විස්තර වේ.

ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ- මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිදු වීම.
ගර්භ පරිහරණ මූලික දුක්ඛ - මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක.
වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ- අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වීම.


ඉපදීම හා සෘජුවම අදාළ වන මේ දෑ දුක්යැයි අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද? අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, ඒ දුක උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වන දුකට සමාන කරන්නට වන්නේ තර්කනයෙන් හෝ විශ්වාසයෙනි. අප කවරෙකුට හෝ මාස නවයක් නොව දවසක් වුවද අතපය හකුළුවා කුඩා අවකාශයක සිර වී සිටින්නට සිදුවුවහොත් විඳින්නට වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, අපට එය දුකක් වන්නේ අතපය දිගහැර ගෙවන නිදහස් ජීවිතයකට අප පුරුදු වී සිටින නිසාය. එවැනි අවකාශයක සිටීමට හුරු වී සිටින කෙනෙකු ඒ ගැන ඒ අයුරින්ම සිතනු ඇත්ද? ගර්භාෂයෙන් එළියට පැමිණ නිදහසේ වසර ගණනක් දිවි ගෙවා ඇති වැඩිහිටියෝද බොහෝ විට තමන් වටකර අදෘශ්‍යමාන කාල්පනික ගර්භාෂ බිත්තියක් මවාගෙන ඒ තුළ සිරවී සිටීමට කැමැත්තක් දක්වනු අපට බොහෝවිට නිරීක්ෂණය කළ හැකි දෙයකි.

අවාසනාවකට මේ අවස්ථා කිසිවක් අපට මතක නැත. ගර්භ කාලය හෝ ඉපදෙන අවස්ථාව තබා තමන්ගේ ජීවිතයේ මුල් වසර දෙක තුළ සිදුවූ සිදුවීමක්වත් හරිහැටි මතක ඇති කිසිවෙකු මේ ලිපිය කියවන්නන් අතර ඇතැයි මම නොසිතමි. පර්යේෂණ අනුව පෙනී යන්නේ වැඩිහිටියෙකුට විස්තරාත්මකව මතක ඇති මුල්ම සිද්ධිය වයස 2-4 අතර කාලයේදී සිදුවූවක් බවයි. මගේ වයස වසර 2 1/2 දී පමණ අපේ පවුලට අළුතින් සාමාජිකයෙකු එක්වීම මට කිසිසේත්ම මතක නැතත් වයස වසර 3 1/2 දී අළුත් සාමාජිකයෙකු එකතු වනු මට හොඳින් මතක තිබේ. එමෙන්ම, මේ සිදුවීම් දෙක අතර කිසියම් අවස්ථාවක සිදුවූ ගෙවල් මාරු කිරීමක්ද මට මතක තිබේ. මට දැනට මතක ඇති පැරණිම සිදුවීම මේ ගෙවල් මාරුවයි.


එසේනම් ඊට පෙර සිටියේ මා නොවේද?

මා නමැති පුද්ගලයා මා විසින් අර්ථ දක්වා ගන්නේ මගේ වර්තමාන මතකයට සාපේක්ෂවය. මෙය කාටත් පොදුය. මේ මොහොතේ ඔබ ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවයි. ඊයේ හෝ පෙර දිනකද ඔබ එය කියවූ බව ඔබට මතක තිබේ. ඒ අනුව, අද ජීවත්වන්නේ ඊයේ හෝ එදා ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවූ ඔබමයැයි ඔබට සිතේ.

දශක හතරකට පමණ පෙර තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පරකන්දෙණිය ගමේ කොල්ලෙක් බිම වැටී තිබූ රුපියල් දෙකේ කොළයක් දැක හිමිහිට සාක්කුවට දමාගනී. පසුව එම මුදල ඔහුගේ බැංකු ගිණුමේ තැන්පත් කරයි. තවත් දවසක් හෝ කිහිපයක් සිය නැන්දා විසින් දෙන කෑම කන්නට එන බල්ලන්ට ගල් වලින් ගසා උන් වේදනාවෙන් කෑගසමින් දුවනු දැක සතුටුවේ. මේ සිදුවීම් මතකයේ ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මැදිවිය ඉක්මවූ වැඩිහිටි පුද්ගලයෙකු දශක හතරකට පෙර මේ දේවල් කළ කොල්ලා තමායැයි සිතා අනුන්ගේ මුදලක් වැරදි ලෙස ගැනීම ගැනත්, අසරණ සතෙකුට හිරිහැර කිරීම ගැනත් වරදකාරී හැඟීමක් ඇති කරගනිමින් පසු තැවේ. මේ දෙදෙනා එක් අයෙකු වන්නේ වැඩිහිටියාගේ අඛණ්ඩ මතකය තුළය. එසේනම්, මම මා වන්නේ මගේ මතකය තුළද? මා විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යනු දුටු බව බොහෝ දෙනෙකුට මතක ඇතත් මට ඒ බව අමතකනම් ඇත්තටම මා එවැන්නක් කළෙම්ද? 


බොහෝ වැඩිහිටියන්ට තමාගේ වයස 2-4 පමණ කාලයට පෙර සිදුවීම් මතක නැතත් එය එසේ වන්නේ වයස 4-5දී හෝ ආසන්න කාලයකදී කුඩා කාලයේ මතක ක්ෂය වී යන බැවිනි (Childhood amnesia). කුඩා දරුවෙකුට වයස අවුරුදු 1-2 අතර කාලය පිලිබඳ යම් මතකයක් තිබේ. එහෙත්, ඊට පෙර කාලය පිලිබඳ එවැනි පැහැදිලි මතකයක් ඇති බවක් තහවුරු වී නැත. එසේනම් ඊට පෙර සිටියේ මමමද?

මමයැයි මා සිතන ජීවත්වන, මියයාමට නියමිත පුද්ගලයෙකු සිටීනම් ඔහු (හෝ ඇය) ඉපදුනු අවස්ථාවක්ද තිබිය යුතුය. මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන විට මම ඉපදී සිටියෙමි. එමෙන්ම, මගේ පියාගේ ශුක්‍රාණුවක් හා මවගේ ඩිම්බයක් එකට එකතුව යුක්තානුවක් ඇති වන තුරු මා ඉපදී සිටීමේ ඉඩකඩක් නැත. මා යනු මගේ සිරුර නොවුවද මගේ සිරුර නැත්නම් මා යනුවෙන් පුද්ගලයෙකු සිටීමේ ඉඩක් නැත. එසේනම්, පිළිසිඳගැනීම සිදුවූ තැන් සිට මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන අවස්ථාව අතරතුර යම් මොහොතක මගේ උපත සිදුව තිබිය යුතුය.

මේ මොහොත මා මවුකුසින් එළියට පැමිණි මොහොතද?

ඇත්තටම ඒ අවස්ථාවේ වෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක් පමණි. මගේ මව හා පැවති ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය බිඳ දමා ඇතැම් ජීව විද්‍යාත්මක කරුණු අතින් ස්වාධීන සිරුරකට හිමිකම් කීමට හැකිවීම මගේ උපතනම්, ඉපදීම යනු ජීව විද්‍යාත්මක හා භෞතික කරුණක් පමණි. එසේනම්, මා යනු මගේ සිරුර විය යුතුය. එය එසේ විය නොහැකි බව පෙර ලිපියක අපි කතා කළෙමු.

උපන් අළුත කුඩා දරුවෝ මෙන්ම ගර්භාෂයේ සිටින දරුවෝද බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, මතකයේ ආරම්භක සීමාවට පෙර මා නම් වූ පුද්ගලයෙකු නොපැවති බව කිවනොහැක. එමෙන්ම මොළයක් හා/හෝ ස්නායු පද්ධතියක් වර්ධනය වන තුරු මම නම් වූ පුද්ගලයෙකු සිටිය නොහැකිය. බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට මොළය පුහුණු වෙද්දී යම් කිසි අවස්ථාවක මමනම් වූ මැරෙන තුරු ජීවත්වන පුද්ගලයා උපදී.

එය සිදුවන නිශ්චිත මොහොතක් තිබේද?


(Image: www.themotherish.com)

Wednesday, September 2, 2015

එහෙනං මං මේක ඔන් කරන්නෙයි?

පසුගිය සතියේ පුවත් මැවූ සිදුවීමක් වූයේ මොහොමඩ් අබාඩ්ගේ අළුත් බයෝනික් පුරුෂ ලිංගයයි. අබාඩ්ට මොනවා හරි කරගන්නට හිතුණුවිට දැන් කරන්නට ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂයේ ඇති ස්විච්චයක් ඔන් කිරීමයි. ඒ සමඟම ඔහුගේ අඟල් අටක් දිග බයෝනික් පුරුෂ ලිංගයේ ඇති නාල දෙකක් තුළින් රුධිරය ගලා විත් මේ බයෝනික් අවයවය ප්‍රාණවත් වනු ඇත. වැඩේ කර අවසන් වූ පසු ස්විච්චය ඕෆ් කළ යුතුය. එවිට කොල්ලා නැවත නිදා ගනු ඇත.

තෙසාලිස් වියැති අබාඩ් ස්කොට්ලන්තයේ, එඩින්බරෝහි පදිංචි කරුවෙකි. කුඩා කාලයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුරුෂ ලිංගය අහිමි කරගත් අබාඩ් කසාදයක් කර ගන්නා විට මේ කතාව එළියට දැම්මේ නැත. මංගල රාත්‍රියේදී වැඩේ මාට්ටු විය.

පසුගිය වසර තුන තිස්සේ ශල්‍ය කර්ම 119කට මුහුණ දෙමින් අන්තිමේදී වැඩේ ගොඩදාගන්නා තුරු අබාඩ්ගේ බිරිඳ බලා සිටිනු ඇතැයි ඔහු සිතා සිටියත් ඇය පසුගිය වසරේ අබාඩ්ගෙන් දික්කසාද විය. දැන් මේ තනිකඩ ආරක්ෂක නිලධාරියා තමන්ගේ බ්‍රෑන්ඩ් නිවු අවයවය ටෙස්ට් රන් එකකට යැවීමට අවකාශයක් සොයමින් සිටී. ස්කොට්ලන්තයේ සීතල රාත්‍රියක මේ බයෝනික් අවයවයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්නට කැමති කෙනෙක් සිටීනම් දැන්මම අයදුම්පතක් යැවිය හැකිය.

බයෝනික් අත් සහ බයෝනික් ඇස් ගැන මා පෙරද කතා කර තිබේ. හෝමෝ සේපියන්ස්ලාට 'අමරණීයත්වය' කරා ලඟා වීම ගැන සිතිය හැකි එක් පාරක් වැටී ඇත්තේ මෙවැනි කෘතීම අවයව නිෂ්පාදනය හරහාය. මේ වන විටත් අපේ බොහෝ අවයව වෙනුවට මෙවැනි කඩෙන් ගත හැකි ස්පෙයා පාර්ට්ස් තිබේ. මේ ඇතැම් අවයව කාබනික නොවන ද්‍රව්‍ය උපකාරයෙන් නිෂ්පාදනය කෙරෙන අතර කෘතීම රුධිරය වැනි වෙනත් ස්පෙයා පාර්ට්ස් හදා ගන්නේ පියවි සෛල තාක්ෂණය (නොදැන සිටි මේ වචනය අල්ලාගත්තේ අපේ මධ්‍යස්ථ මතධාරියාගෙනි) උපයෝගී කර ගනිමිනි.

මා පෙර ලිපියක කතා කළ 'හරක් නැතුව හදන හරක් මස්' හදා ගන්නේද මේ පියවි සෛල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. මේ සම්බන්ධව මධ්‍යස්ථ මතධාරියාත් ලියා තිබේ.

කෙසේ වුවද මේ පියවි සෛල තාක්ෂණ පර්යේෂණ මේ වන විට ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙන්නේ මස් හැදීම අරමුණු කරගෙන නොව මිනිස් අවයව සැදීම අරමුණු කරගෙනය. මේ තාක්ෂනය තවදුරටත් දියුණු වූ විට පියවි සෛල උපයෝගී කරගනිමින් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකින් අවශ්‍ය කරන මිනිස් අවයව මුද්‍රණය කර ගැනීමට හැකි වනු ඇත. ටූකෑන් කුරුල්ලෙකුගේ කැඩුණු හොටක් වෙනුවට බද්ධ කෙරුණු මෙවැනි කෘතීම හොටක් ගැන පසුගිය සතියේ අරුණි ශපිරෝද ලියා තිබුණි.

කෘතීම අවයව නිෂ්පාදන තාක්ෂණයේ මේ සාර්ථකත්වය මඟින් පෙන්නුම් කරන්නේ අපි පරිණාමයේ වෙනස්ම අදියරක් කරා ලඟා වෙමින් සිටින බවයි. මේ අළුත් අදියරේදී කාබනික ජීවියාගේ පරිණාමය සිදුවුණු පසුගිය වසර බිලියන තුනහමාර තුළ පැවති මූලික නීති පවා වෙනස් විය හැකිය. ස්වභාවික පරිණාමය වෙනුවට පැමිණීමට නියමිතව ඇත්තේ සැලසුම් කළ පරිණාමයක් සිදුවන යුගයකි.

සිතුවිලි වලින් ක්‍රියා කරන කෘතීම අත් ඇති ජෙසී සුලිවන් සහ එවාන් රෙනෝල්ඩ්ස්, කෘතීම ඇසකින් ලෝකය දකින ෂෙරී රොබට්සන් මෙන්ම ඔන්-ඕෆ් කළ හැකි පුරුෂ ලිංගයක් ඇති මොහොමඩ් අබාඩ්ද අපි වැනිම සාමාන්‍ය මිනිසුන් ලෙස සලකන්නට අපට අපහසුතාවයක් නොමැත. අද වන විට තමන්ට උපතින් නොලැබුණු මෙවැනි කිසියම් අවයවයක් භාවිතා කරන හෝමෝ සේපියන්ස්ලා ගණන සුළු ප්‍රමාණයක් නොවේ.

දැනට වසර දෙකකට පමණ පෙර පැවති විද්‍යා ප්‍රර්ශනයක් සඳහා මෙසේ මිනිසුන් දැනටත් භාවිතා කරන කෘතීම අවයව එකතු කර 'ෆ්‍රෑන්කන්ස්ටයින්' මාදිලියේ  බයෝනික් මිනිසෙකු නිර්මාණය කෙරිණි. මේ 'නිර්මාණයේ' විශේෂත්වය වනුයේ 'ෆ්‍රෑන්ක්' ලෙස නම් කෙරුණු මේ බයෝනික් මිනිසාගේ හෘදය වස්තුව, රුධිරය ඇතුළු සියළුම කොටස් පාහේ යම් මිනිසෙකු විසින් භාවිතා කෙරෙන ආකාරයේ ඒවා වීමයි. අඩුවකට තිබුණේ සම, ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය වැනි අවයව කිහිපයක් පමණි.


'ෆ්‍රෑන්ක්' යනු මිනිසෙකුයැයි කිසිවකු නොසලකනු ඇත. එසේනම්, මිනිසාගේ මිනිස්කම ඇත්තේ කොහේද? මිනිස් මොළයේද?

මිනිස්කම ඇත්තේ මිනිස් මොළයේනම් මොළය ක්‍රියාකාරී නොවන කෙනෙක් මිනිසෙකු නොවේද? එතකොට මොළය පාවිච්චියට නොගෙන බ්‍රෑන්ඩ් නිවු ලෙසම තියාගෙන ඉන්න අය?

(මොහොමඩ් අබාඩ්ගේ ඡායාරූපය ගත්තේ: http://www.mirror.co.uk/news/uk-news/man-who-lost-penis-horrific-6330448 වෙබ් පිටුවෙනි. මගේ විෂය ක්ෂේත්‍රයට කෙළින්ම අදාළ දෙයක් නොවන නිසා මා මෙහි සියුම් විස්තර නොදන්නා නමුත් මගේ අදහස පරිදි මාධ්‍ය ප්‍රචාරයට සාපේක්ෂව අබාඩ්ගේ ශල්‍ය කර්මය තාක්ෂණයේ මහා ලොකු පිම්මක් නොවේ. මට අවශ්‍ය මෙහි හිතන්නට ඇති දේවලට අවධානය යොමු කරන්නටය.)

Sunday, June 7, 2015

අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


සිංහලුන්, දෙමළුන්, ඇමරිකානු පුරවැසියන්, සිංගප්පූරු පුරවැසියන්, ශ්‍රී ලාංකික හා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියන් මෙන්ම මොන පුරවැසිකමක්වත් නැති රෝහින්ගා මුස්ලිමුන් හා මැද පෙරදිග බිඩූන්ලා දක්වා අපි සියල්ලෝම හෝමෝ සේපියන්ස්ලා වෙමු. එසේ වෙන්නේ ජීව විද්‍යා වර්ගීකරණය අනුවය. හෝමෝ නැත්නම් 'මිනිස්' කියන්නේ අපේ 'ගණය' හෙවත් පවුලයි. සේපියන්ස් කියන්නේ මේ ගණයට අයත් අප සත්ත්ව කොට්ඨාශය අයත් වන විශේෂයයි. ජීවවිද්‍යාවේදී සතුන්ට නම් දාන්නේ මේ අයුරින් පවුලේ නම සහ සතාගේ නම එකතු කිරීමෙනි.



පූසන්ට කොටියන්, සිංහයන්, චීටාවන් වැනි බළල් පවුලේ නෑයෝ බොහෝ සිටිති. බල්ලන්ටද නරින්, වෘකයින් වැනි ළඟ නෑයෝ සිටිති. ඇමීබාවාගේ සිට ඔය කොයි සතාටත් දුර නෑකමක් අපට තිබේ. ඒත් හෝමෝ සේපියන්ලා වන අපට වෙන මිනිස් නෑයින් නැත. අපේ පවුලේ ළඟ නෑයන් නොමැති නිසා අපි අනිත් සතුන් සහ අප අතර ලොකු වැටක් ගහගෙන පොරවල් වී සිටිමු. අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


දැන් නැති වුවත් ඉතා මෑත කාලයක් දක්වා අපට ළඟ නෑයෝ සිටියහ. වසර මිලියන දෙකහමාරකට පෙර අප්‍රිකාවේ ජීවත් වූ ඔස්ට්‍රලෝපිතකස් හෙවත් දකුණේ වානරයාගෙන් පැවතුනු මිනිස් දරුවෝ ලොව පුරාම විසිරුනහ. ඔවුන් වෙනස් දේශගුණික තත්වයන්ට හැඩ ගැසෙද්දී මිනිස් වර්ග රැසක් බිහිවිය. පුරා විද්‍යා සාධක අනුව අපේ ඔස්ට්‍රලෝපිතකස් අප්පච්චී අඩුගානේ තවත් දරුවන් පස් දෙනෙක්වත්වත් ජාතක කර තිබේ. මේ අනිත් දරුවෝ වරින් වර මහ පොළොවෙන් තුරන් වී ගියහ. මානව ඉතිහාසය හා සසඳන කළ ඉතා කෙටි කලක් ලෙස සැලකිය හැකි වසර දොළොස් දහසකට පෙරත් අපේ නියන්ඩතාල් අයියා ජීවත් වී තිබේ.


හෝමෝ සේපියන්ලාට වඩා විශාල සිරුරකට මෙන්ම විශාල මොළයකටද හිමිකම් කියූ හෝමෝ නියන්ඩතාල්ලා දරුණු හිම යුගයද සාර්ථක ලෙස ජය ගනිමින් යුරෝපයේ සහ බටහිර යුරෝපයේ විශාල පෙදෙසක සිය ආධිපත්‍යය පතුරා සිටියදී හෝමෝ සේපියන්ලා අප්‍රිකාවේ කොටසකට සීමා වූ සාපේක්ෂව නොවැදගත් ජීවී කොට්ඨාශයක් විය.


වසර 150,000කට පෙර ඇරඹුණු හෝමෝ සේපියන්ලාගේ මුල් අවුරුදු අසූදහස මෙසේ පතෝල ලෙස නිකම්ම ගෙවී ගියත් වසර හැත්තෑ දහසකට පෙර හදිසියේම වෙනස් දෙයක් සිදු විය. වසර දහසක් වැනි ඉතා කෙටි කලක් තුල බොහෝ දේ ඉගෙන ගනිමින් 'දියුණු වූ' හෝමෝ සේපියන්ලා අරාබි මුහුද තරණය කරමින් මැද පෙරදිගටත් එතැනින් ආසියාව හරහා යුරෝපයටත් ව්‍යාප්ත වෙමින් ඇරඹු සම්ප්‍රදායික නියන්ඩතාල් නිජ භූමි ආක්‍රමණය සහ වර්ග සංහාරය අවසන් වූයේ නියන්ඩතාල්ලා සම්පූර්ණයෙන් මිහිපිටින් අතුගා දැමීමෙනි.


ශරීර ප්‍රමාණයන් මෙන්ම බුද්ධියෙන්ද සේපියන්ස්ලාට වඩා ඉදිරියෙන් සිටි නියන්ඩතාල්ලාව ඔවුන්ගේ වාස භූමි වලදීම පරාජය කිරීමට සේපියන්ලාට හැකි වූයේ කෙසේද? ජෙරුසලමේ හීබෘ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය යුවාල් නෝවා හරාරි මෙය සිදු වූයේ හෝමෝ සේපියන්ලා දෙවියන්ගෙන් දැනුම ලබා ගත් නිසායැයි කියන්නේ නැත. ඔහුගේ 'සේපියන්ස්: මිනිසුන් ගැන කෙටි ඉතිහාස කතාවක්' නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි මෙයට හේතුව අදාළ කාලයේදී සිදුවූ වාසිදායක ජාන විකෘතියකි.


චින්තන විප්ලවය ලෙස හරාරි විසින් හඳුන්වන මේ ජාන විකෘතිය මභින් පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන සැබෑ ලෝකයේ නැති දේවල් ගැන සිතීමේ හැකියාව හෝමෝ සේපියන්ලා සතු විය. ඒ අනුව, සිංහ ඔලුවක් ඇති මිනිසුන්, ලොව මැවූ දෙවියන්, මුදල්, ධනවාදය, සමාජවාදය, මානව හිමිකම්, ජාතිය, යහපාලනය වැනි සංකල්ප නිර්මාණය කර ගැනීමට සේපියන්ස්ලාට හැකිවිය. මේ මඟින් ඇතැම් ජීව විද්‍යා සීමාවන් අතික්‍රමණය කිරීමට සේපියන්ස්ලාට හැකි විය.


ස්වභාවික පරිසරයකදී කිසියම් සත්ත්ව කණ්ඩායමක විශාලත්වය 150කට වඩා වැඩිවන්නේ ඉතාම කලාතුරකිනි. සංඛ්‍යාව වැඩි වීමත් සමඟ කණ්ඩායම් හැඟීම ඇතිවීමට අවශ්‍ය අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැංවීම අපහසු වන බැවිනි. චින්තන විප්ලවය මඟින් මේ සීමාව අතික්‍රමණය කිරීමට හෝමෝ සේපියන්ලාට ඉඩ සැලසිනි. දෙවිකෙනෙකු වැනි සංකල්පයක් පොදුවේ පිළිගත් විශාල කණ්ඩායමක සාමාජිකයන් අතර විශ්වාසය තහවුරු විය. මේ නිසා ඔවුන්ට සාමුහිකව ක්‍රියා කළහැකි විය.


සේපියන් මිනිසෙකු බොහෝවිට නියන්ඩතාල් මිනිසෙකුට පරාජය විය. සේපියන්ලා සියයක් බොහෝවිට නියන්ඩතාල්ලා සියයකටද පරාජය විය. එහෙත් සේපියන්ලා දහසකට පහසුවෙන් නියන්ඩතාල්ලා දහසක් පරාජය කළ හැකිවිය.


හරාරි ඉදිරිපත් කරන තර්ක හිතළු නොවේ. ඉතිහාසය, පුරා විද්‍යාව, මානව ජීව විද්‍යාව, ජීව විද්‍යාව, පරිණාමික මනෝ විද්‍යාව ආදී ක්ෂේත්‍ර වල අලුත්ම පර්යේෂණ මත ඒ තර්ක පදනම් වී තිබේ. ඉතා සංකීර්ණ ප්‍රශ්න වලට සරල විද්‍යාත්මක විසඳුම් ඇති බව හරාරි අපට පෙන්වයි.


හරාරිට අනුව සේපියන්ස්ලාගේ අවසානය ඉතා නුදුරේය. එහෙත් සේපියන්ස්ලා වඳ වී යනු ඇත්තේ ඔබට එක් වරම සිතිය හැකි විනාශයක් නිසා නොවේ. ඔවුන් සිය සීමාවන් තව දුරටත් ඉක්මවමින් වඩාත් දියුණු ජීවී කොට්ඨාශයක් (ඔහුගේ වචන වලින් දෙවිවරුන්) බවට පරිණාමය වීමෙනි. ජීවතාක්ෂණික, පරිගණක වැනි ක්ෂේත්‍ර වල සිදුවන දියුණුව සමඟ මෙය දැනටම සිදු වෙමින් පවතී.


හීබෘ භාෂාවෙන් ලියා ඇති හරාරිගේ කෘතිය ඉංග්‍රීසි ඇතුළු භාෂා තිහකට පමණ දැනටම පරිවර්තනය වී ඇත. දන්නා තරමින්නම් සිංහල පරිවර්තනයක් තවම නැත.


(ඡායාරූප අන්තර්ජාලයෙනි)



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...