මම දෙවෙනි ඉනිම නොවරදවා හෝ එක දිගට බලන කෙනෙක් නෙමෙයි. නමුත් ඉඳහිට බැලෙනවා. කොහොමත් ඉතිං මාසෙකට පාරක් බැලුවත් අල්ලගන්න අමාරුවක් නැති ටෙලි නාට්‍යයක්නේ. ඕකේ අනුහස්, ලිහිණි හා ආක්ෂා අතර තිබුණු තුන් කොන් ප්‍රේමය ආක්ෂාගේ වාසියට විසඳුනු බව කතාව බලන අයට රහසක් නෙමෙයිනේ. හැබැයි අනුහස්ගේ අම්මා උදේනිගේ වැඩි කැමැත්ත තිබුණේ ලිහිණිටයි.
දැන් උදේනිගේ හිත වෙනස් වෙලා. ඒක වෙන්නේ ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දුන්නට පස්සේ. ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දෙන්නේ ආක්ෂාට කාර් එකක් තිබුණු නිසා. ලිහිණිට කාර් එකක් තිබුණානම් ලිහිණිත් ඔය දෙයම කරයි. නමුත් ලිහිණිට කාර් එකක් නොතිබුණු නිසා ලිහිණිට ආක්ෂාට තිබුණු විකල්පය තෝරා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
සතුට කියන්නේ සල්ලි වලට නෙමෙයි. නමුත් සල්ලි තියෙනවානම් සතුට ලැබෙන දේවල් කරන්න වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. ඒ වගේම වෙනත් අය සතුටු කළ හැකි දේවල් කරන්නත් වැඩි වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. වැඩිපුර සල්ලි තිබීම හොඳ දෙයක් වන්නේ ඒ නිසයි.
රටක් ගත්තත් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකම ඉලක්කය විය යුත්තේ භෞතික සංවර්ධනය නෙමෙයි. එහෙත්, භෞතික සංවර්ධනය නොවන, දියුණුව ලෙස හැඳින්විය හැකි අනෙක් දේවල් කරන්නත් භෞතික සංවර්ධනය අවශ්‍යයි.
සමාජයේ පහළ ස්ථර වල සිටින අය ගැන සානුකම්පික වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එවැනි අයට උදවු කළ හැක්කේ කවුරු හෝ පිරිසක් විසින් ඒ අය වෙනුවෙනුත් සම්පත් ජනනය කිරීමක් කරනවානම් පමණයි.
රටක ආර්ථිකය සමස්තයක් ලෙස ප්‍රසාරණය වන විට ඒ රටේ පහළ ස්ථර වල සිටින අයගේ ජිවන තත්ත්වයත් වඩා යහපත් වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න වැඩි දායකත්වය දෙන සීමිත පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ නොදුන් විට වෙන්නේ සමස්තයක් ලෙස ආර්ථිකය එක තැන පල් වෙන එකයි. එයින් දිගුකාලීනව වෙන්නේ ඒ සීමිත පිරිසගේ වගේම පහළ ස්ථර වල සිටින අයගේත් ජිවන තත්ත්වය අයහපත් වෙන එකයි.
ධනවාදය පෙනී සිටින්නේ වෙරළු ගෙඩිය හරි හතකට බෙදා ගෙන කෑම වෙනුවෙන් නෙමෙයි. වෙරළු ගෙඩිය පුළුවන් තරම් ලොකු කර ගැනීම වෙනුවෙන්. ගොඩක් අයට ඒ ලොකු වෙරළු ගෙඩියෙන් හතෙන් කොටසක් ලැබෙන්නේ නැති වුනත් ලැබෙන කොටස පොඩි වෙරළු ගෙඩියකින් හතෙන් එකකට වඩා ලොකුයි.