වෙබ් ලිපිනය:

Sunday, December 5, 2021

ප්‍රියන්ත කුමාර දියවඩන


පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදි විද්‍යාර්ථී ප්‍රියන්ත කුමාර දියවඩනව ඉස්ලාම් අන්තවාදීන් විසින් ඉතා සාහසික ලෙස මරා දමන ආකාරය දැඩි කම්පාවක් ඇති කරන සිදු වීමක්. ඔහුගේ සිරුරට ගිණි තියන්නේ මිය යාමෙන් පසුවද, පණ පිටින්මද යන්නත් සැක සහිතයි. ප්‍රියන්තට විඳින්නට සිදු වී ඇති වද වේදනා අනුව ඔය දෙකෙන් කොයි එක සිදු වී තිබුණත් වැඩි වෙනසක් නැහැ. එක් පාදයක අස්ථි හැර ඔහුගේ සිරුරේ හැම ඇටයක්ම බිඳී ඇති බවත්, කොඳු ඇට පේලිය තුන් පොළකින් කැඩී ඇති බවත්, සිරුරේ හැම වැදගත් අවයවයකටම හානි වී ඇති බවත්, සිරුරෙන් 99%ක්ම පිළිස්සී ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. එහෙත් මරණයට හේතුව සේ සඳහන්ව ඇත්තේ හිස්කබලට සිදුව ඇති හානි. 

ප්‍රියන්ත පකිස්ථානයේ වසර ගණනාවක් ජීවත්ව ඇති, විශාල පකිස්ථානුවන් පිරිසක් සේවය කරන සමාගම් වල ඉහළ මට්ටමේ කළමණාකරුවෙකු ලෙස සේවය කර ඇති අයෙක්. ඔහුට පකිස්ථානුවන් හිතන, ක්‍රියා කරන ආකාරය ගැන සැලකිය යුතු අවබෝධයක් නොතිබුණා විය නොහැකියි. වාර්තා අනුව ඔහු කර තිබෙන "වරද" ඉස්ලාම් ආගමික පාඨ අඩංගු වූ පෝස්ටරයක් ඉරා කුණු බක්කියට දැමීමයි. මෙවැන්නක් ඇත්තටම සිදු වුනා හෝ එවැනි කටකතාවක් පැතිරුණා විය හැකියි. 

ප්‍රියන්තව මරා දමන්නේ ඔහුගේ ආයතනයේම සේවකයින් විසින්. සේවකයින්ට ලොක්කා සමඟ තිබෙන තරහක් හෝ ලොක්කා විදේශිකයෙක් වීම නිසා තිබෙන තරහක් ආගමික අපහාසයක් එක්ක පැටලෙන එක පහසුවෙන් සිදු විය හැකි දෙයක්. මේ වැඩේට විශාල පිරිසක් හවුල් වෙනවා. ඒ අතරින් ප්‍රියන්තව බේරා ගන්න ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙක් පමණයි. එහෙත්, ගුටි කෑමේ අවදානම ගන්නා එවැනි අයද කිහිප දෙනෙක් හෝ ඉන්නවා. මේ වගේ පිරිසක් අතර රැල්ලට පිටින් යන බොහෝ දෙනෙක් සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

මේ වගේ අවස්ථා වල මිනිස්සු ක්‍රියා කරන්නේ සාමාන්‍ය බුද්ධියෙන් නෙමෙයි. ඇතැම් විට හැඟීම් අනුව වුවත් බොහෝ විට දැකිය හැක්කේ හැඟීම් වලින්ද තොරව රොබෝ වරුන් සේ ක්‍රියා කිරීමක්. මේ ආකාරයේ සිදුවීම් වෙන්නේ ඉස්ලාම් ආගමික පසුබිමක පමණක් නෙමෙයි. හැම ආගමකම වගේ ආගමික අන්තවාදීන් ඉන්නවා. ආගමික නොවන අන්තවාදීන්ද ඉන්නවා. එහෙත්, වත්මන් ලෝකයේ අනෙක් හැම ප්‍රධාන ආගමකටම සාපේක්ෂව ඉස්ලාම් ආගමික සන්දර්භයන් තුළ ආගමික අන්තවාදීන් පෝෂණය වීම වැඩියෙන් දැකිය හැකි දෙයක්. 

මේ ක්‍රියාව ඉස්ලාම් ආගම සමඟ එකඟ නැති, ඉස්ලාම් ඉගැන්වීම් වලට විරුද්ධ දෙයක් බව බොහෝ දෙනෙක් කියයි. එසේ කියන අයට සාපේක්ෂව මේ කරුණ ඇත්තක් විය හැකියි. එහෙත් ප්‍රශ්නය ආගම් මෙන්ම ආගමික ඉගැන්වීම්ද පුද්ගලයාට සාපේක්ෂ වීමයි. මෙවැන්නක් ඉස්ලාම් ආගමට එකඟ බව සිතන අයද සිටිනවා. ඒ පිරිස, ලෝකයේ හෝ පකිස්ථානයේ ඉස්ලාම් ආගම අදහන අයගෙන් බහුතරය නොවිය හැකි වුවත් සැලකිය යුතු පිරිසක්. 

ලෝකයේ බොහෝ ආගම් ව්‍යාප්ත වී තිබෙන්නේ යම් සාහසිකත්වයක් සමඟයි. හින්දු ආගම ඓතිහාසිකව අද තිබෙන ආකාරයේ අවිහිංසාවාදී ආගමක් නෙමෙයි. යුදෙවු ආගමික ඉගැන්වීම් මත පදනම්ව අද දැකිය හැකි යුදෙවු සංස්කෘතියට වඩා බොහෝ පසුගාමී යුදෙවු සංස්කෘතියක් නඩත්තු විය හැකිව තිබුණා. බොහෝ දෙනෙකු අදහන ජේසුස් සහ ඓතිහාසිකව ජීවත් වූ ජේසුස් එක් අයෙක් නෙමෙයි. මේ සියලුම ආගම් අද තිබෙන තැනට පරිණාමය වී තිබෙන්නේ කාලයත් සමඟ ප්‍රතිසංශෝධනය වීමෙන්. මෙය දිගින් දිගටම සිදු වෙනවා. ඉස්ලාම් ආගම හා අදාළවද මෙය සිදු වුනත්, ඒ අනෙක් ආගම් වලට සාපේක්ෂව අඩුවෙන්. 

කිසියම් සංස්කෘතියක් ඉදිරියට යන්නේ එම සංස්කෘතියෙහි පසුගාමී චර්යාවන් විවේචනය වන තරමටයි. විවේචනයට ඉඩ නැති සංස්කෘතියක් එක තැන පල් වෙනු මිස ඉදිරියට යන්නේ නැහැ. ආගමක් හා අදාළව කරන විවේචනයක් හා ආගමික අපහාසයක් අතර ඉරක් අඳින එක ඉතාම අපහසු වැඩක්. ඒ නිසා, ආගමක් හෝ ආගමකට සම්බන්ධ චර්යාවක් විවේචනය කරන අයෙකුට ආගමික අපහාස චෝදනා එල්ල වීමේ අවදානම තිබෙනවා. මෙයින් වැඩිපුරම පීඩා විඳින්න වෙන්නේ අදාළ සංස්කෘතිය තුළම ජීවත් වන අයටයි.

ප්‍රියන්ත දියවඩන ඝාතනය සිදු වන්නේ පකිස්ථානයේ නීති රාමුවෙන් පිටයි. එහෙත්, පකිස්ථානයේ නීති රාමුව තුළම, ඉස්ලාම් ආගමට අපහාස කිරීම මරණ දණ්ඩනය ලැබෙන වරදක්. ආගමික අපහාස චෝදනා එල්ල වූ අයෙකු වෙනුවෙන් කතා කරන්න නීතිඥයෙකු සොයා ගන්න එකත් පහසු වැඩක් නෙමෙයි. බොහෝ විට එසේ ඉදිරිපත් වල නීතිඥයින්ටත් මරණය තෝරා ගන්න සිදු වෙනවා. ඒ වගේම, චෝදනාවට අදාළ පාඨය ගැන නැවත උපුටා දක්වමින් කතා කිරීමේ හැකියාවක්ද නැහැ. එසේ කළොත් එය ආගමික අපහාසයක් වෙනවා. නීති රාමුව තුළම වුවත් ආගමික අපහාස එල්ල වූ අයෙකුට බේරෙන්න තිබෙන්නේ ඉතාම සීමිත ඉඩක්.

මේ හා අදාළ පකිස්ථානයේ තත්ත්වය තේරුම් ගන්න මා කලින් ලිපි කිහිපයකින් විස්තර කර තිබෙන ජුනයිඩ් හෆීස් සිදු වීම ඉවහල් වේයැයි මා සිතනවා. මුස්ලිම් බහුතර රටක සේවයට හෝ සංචාරයට යන අයෙකු ඒ රටවල් වල ආගමික අපහාස සේ සැලකෙන දේවල් කොයි තරම් භයානක ප්‍රතික්‍රියාවන්ට හේතු වේදැයි හොඳින් අවබෝධ කරගෙන එවැනි රටකට ඇතුළු විය යුතුයි.

ජුනයිඩ් හෆීස්

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (පළමු කොටස)

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (දෙවන කොටස)

20 comments:

  1. ///මේ ආකාරයේ සිදුවීම් වෙන්නේ ඉස්ලාම් ආගමික පසුබිමක පමණක් නෙමෙයි. හැම ආගමකම වගේ ආගමික අන්තවාදීන් ඉන්නවා. ///
    එකෙන්ම
    අර නානසාරගෙ ටැලිපෝන් කෝල් එක අහන්ට ඇති නෙව. ඒත් අන්තවාදියෙක් තමා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එයට හොඳම පිළිතුර ලැබී තිබෙනවා.

      Delete
  2. ඉහත ලිපිය මගින් උතුම් වූ ඉස්ලාම් දහමට හානි වන බව අපට පෙනී ගොස් තිබේ. මෙම ලිපිය වහාම ඉවත්කරන මෙන් දන්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. කරුණාකර අපහාස වන කොටස පෙන්වන්න.

      Delete
    2. ඉකෝන්,

      මම ඉහත ඇනෝ නෙවෙයි ඒත් මේ කියලා තියෙන දේවල් බලන්න

      //වත්මන් ලෝකයේ අනෙක් හැම ප්‍රධාන ආගමකටම සාපේක්ෂව ඉස්ලාම් ආගමික සන්දර්භයන් තුළ ආගමික අන්තවාදීන් පෝෂණය වීම වැඩියෙන් දැකිය හැකි දෙයක්.//

      මේක ඉතාම වැරදි අදහසක් සහ අපහාසයක් ලෙස හඳුනාගත හැකිය.

      ඊළඟට මේක;

      //මේ ක්‍රියාව ඉස්ලාම් ආගම සමඟ එකඟ නැති, ඉස්ලාම් ඉගැන්වීම් වලට විරුද්ධ දෙයක් බව බොහෝ දෙනෙක් කියයි. එසේ කියන අයට සාපේක්ෂව මේ කරුණ ඇත්තක් විය හැකියි. එහෙත් ප්‍රශ්නය ආගම් මෙන්ම ආගමික ඉගැන්වීම්ද පුද්ගලයාට සාපේක්ෂ වීමයි. මෙවැන්නක් ඉස්ලාම් ආගමට එකඟ බව සිතන අයද සිටිනවා. ඒ පිරිස, ලෝකයේ හෝ පකිස්ථානයේ ඉස්ලාම් ආගම අදහන අයගෙන් බහුතරය නොවිය හැකි වුවත් සැලකිය යුතු පිරිසක්.///

      තව දේවල්

      //ලෝකයේ බොහෝ ආගම් ව්‍යාප්ත වී තිබෙන්නේ යම් සාහසිකත්වයක් සමඟයි.///

      මෙය සියලුම ආකාරයේ ආගම් අදහන ආගමිකයන්ගේ ගෞරවයට හානි වෙන අදහසක් නේද?

      /// හින්දු ආගම ඓතිහාසිකව අද තිබෙන ආකාරයේ අවිහිංසාවාදී ආගමක් නෙමෙයි. යුදෙවු ආගමික ඉගැන්වීම් මත පදනම්ව අද දැකිය හැකි යුදෙවු සංස්කෘතියට වඩා බොහෝ පසුගාමී යුදෙවු සංස්කෘතියක් නඩත්තු විය හැකිව තිබුණා. බොහෝ දෙනෙකු අදහන ජේසුස් සහ ඓතිහාසිකව ජීවත් වූ ජේසුස් එක් අයෙක් නෙමෙයි. මේ සියලුම ආගම් අද තිබෙන තැනට පරිණාමය වී තිබෙන්නේ කාලයත් සමඟ ප්‍රතිසංශෝධනය වීමෙන්. මෙය දිගින් දිගටම සිදු වෙනවා. ඉස්ලාම් ආගම හා අදාළවද මෙය සිදු වුනත්, ඒ අනෙක් ආගම් වලට සාපේක්ෂව අඩුවෙන්. ඒ නිසා, *ඉස්ලාම් ආගමික පසුබිමක් බොහෝ විට සාපේක්ෂව වඩා පසුගාමීයි.*//

      මෙය ඉතා වේදනාකාරී හැඟීම් ඇතිවෙන දේවල් නේද එම ආගම් අදහන ජනතාවගේ?

      කෙසේ නමුත් මේ කාරණා ගැන බොහෝ දුරට එකඟ වෙන්න පුළුවන්

      //කිසියම් සංස්කෘතියක් ඉදිරියට යන්නේ එම සංස්කෘතියෙහි පසුගාමී චර්යාවන් විවේචනය වන තරමටයි. විවේචනයට ඉඩ නැති සංස්කෘතියක් එක තැන පල් වෙනු මිස ඉදිරියට යන්නේ නැහැ. ආගමක් හා අදාළව කරන විවේචනයක් හා ආගමික අපහාසයක් අතර ඉරක් අඳින එක ඉතාම අපහසු වැඩක්. ඒ නිසා, ආගමක් හෝ ආගමකට සම්බන්ධ චර්යාවක් විවේචනය කරන අයෙකුට ආගමික අපහාස චෝදනා එල්ල වීමේ අවදානම තිබෙනවා. මෙයින් වැඩිපුරම පීඩා විඳින්න වෙන්නේ අදාළ සංස්කෘතිය තුළම ජීවත් වන අයටයි//.

      Delete
    3. //වත්මන් ලෝකයේ අනෙක් හැම ප්‍රධාන ආගමකටම සාපේක්ෂව ඉස්ලාම් ආගමික සන්දර්භයන් තුළ ආගමික අන්තවාදීන් පෝෂණය වීම වැඩියෙන් දැකිය හැකි දෙයක්.//

      ප්‍රියන්තව මරා දමන්නේ නීති රාමුවෙන් පිටත. එවැනි දේවල් යම් තරමකින් හෝ හැම රටකම වගේ වෙනවා. එහෙත්, පකිස්ථානයේ නීති රාමුව තුළම ආගමික අපහාස කිරීමක් මත පුද්ගලයෙකු මරා දැමිය හැකියි. වෙනත් ඇතැම් මුස්ලිම් රටවලද එවැනි තත්ත්වයක් දැකිය හැකියි. මම දන්නා තරමින් වෙනත් කිසිදු ආගමකට අපහාස කිරීම මත රජයකට පුද්ගලයෙකු මරා දැමිය නොහැකියි. එය කළ හැක්කේ ඉස්ලාම් ආගමට අපහාස කළ විට පමණයි. ප්‍රියන්ත ඝාතනයට එරෙහි වන බොහෝ පකිස්ථානුවන් එසේ එරෙහි වන්නේ මෙය නීති රාමුවෙන් පිටත සිදු වූ නිසා. ආගමික අපහාස චෝදනා නගා, නඩු විභාගයක් කර රජය විසින් මරා දැම්මානම් ඔය බොහෝ දෙනෙක් විරුද්ධ වන්නේ නැහැ. (හැමෝම නෙමෙයි. විරුද්ධ අයත් ඉන්නවා).

      දැන් ටික දවසකට කලින් ලුනුවිලගේ වසන්ත නොහොත් ටින්කර් වසන්ත පොලිස් වෙඩි පහරින් මිය ගියානේ. ඔය ආයුධ පෙන්වීම කාටවත් රහසක් නෙමෙයිනේ. සංවිධානත්මක අපරාධකරුවෙකුයි කියන මොහුට විරුද්ධව නිසියාකාර නඩු විභාගයක් කරලා නීතිය අනුව එල්ලා මරන්න ඇතැම් විට පුළුවන් කමක් තිබුණා විය හැකියි. නමුත් සිදු වුනේ එය නෙමෙයිනේ. දැන් මේ ගැන ලංකාවේ කී දෙනෙක් කතා කළාද? එහෙම නොවන්නේ වැඩි දෙනෙක් මේ "දඬුවම" අනුමත කරන නිසා. ප්‍රියන්ත සේවය කළ ආයතනයේ බොහෝ දෙනෙක් විසින්ද ප්‍රියන්තට දුන් "දඬුවම" අනුමත කර තිබෙනවා. ඒක ටික දෙනෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි. පකිස්ථානයේ වෙන තැනක, වෙන කම්හලක වුවත් කොයි මොහොතක හෝ ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්.

      ටින්කර් වසන්තට චෝදනා ලැබී තිබුණු වැරදි ලෝකයේ බොහෝ රටවල දරුණු වැරදි සේ සැලකෙනවා. ආගමික අපහාසද ලෝකයේ බොහෝ රටවල වැරදි සේ සලකුණත්, ඉස්ලාම් ආගම මත පදනම් වූ සංස්කෘතියක් ඇති රටවල හැර අනෙක් රටවල ඒ වෙනුවෙන් මරණ දණ්ඩනය හිමි වෙන්නේ නැහැ. සුළු හෝ ආගමික අපහාසයක් සේ සැලකෙන දෙයක් වෙනුවෙන් මරණ දඬුවම හිමි විය හැකි පරිසරයක මිනිස්සු ආගමික අන්තවාද වලට එරෙහිව කතා කරන්නේ නැහැ. ඒ නිසා, වෙනත් රටවලට සාපේක්ෂව එවැනි රටවල ආගමික අන්තවාද හා ආගමික අන්තවාදීන් පෝෂණය වීම වැඩියෙන් දැකිය හැකි දෙයක්.

      ඉහත ප්‍රකාශයේ ඔබ දකින වැරැද්දක් තිබේනම් එය කුමක්දැයි කියන්න.

      Delete
    4. //එහෙත් ප්‍රශ්නය ආගම් මෙන්ම ආගමික ඉගැන්වීම්ද පුද්ගලයාට සාපේක්ෂ වීමයි.//

      ඉස්ලාම් ආගමම ගත්තත්, එහි විවිධ නිකාය ගණනාවක් තිබෙන්නේ ආගම් මෙන්ම ආගමික ඉගැන්වීම්ද පුද්ගලයාට සාපේක්ෂ නිසයි. මේ කරුණ වෙනත් ආගම් වලටද අදාළයි.

      //මෙවැන්නක් ඉස්ලාම් ආගමට එකඟ බව සිතන අයද සිටිනවා. ඒ පිරිස, ලෝකයේ හෝ පකිස්ථානයේ ඉස්ලාම් ආගම අදහන අයගෙන් බහුතරය නොවිය හැකි වුවත් සැලකිය යුතු පිරිසක්.//

      ආගමික අපහාස කරන අය මරා දැමිය යුතුයි කියන අදහස බොහෝ විට පකිස්ථානයේ බහුතර අදහස. එසේ නොවන්නේනම් එය නීතියක්ව පවතින්නේ නැහැ. ප්‍රංශ තානාපති ඉවත් කළ යුතු බවට TLP (Tehreek-e-Labaik Pakistan) ඉල්ලීම් කරද්දී එම සංවිධානය සමඟ ඩීල් එකක් දාන්න ඉම්රාන් ඛාන්ට සිදු වන්නේ මෙය බහුතර මතය නිසයි.

      //ලෝකයේ බොහෝ ආගම් ව්‍යාප්ත වී තිබෙන්නේ යම් සාහසිකත්වයක් සමඟයි.//
      මෙය නිවැරදි ඓතිහාසික කරුණක්. සාමකාමී ආගමකට ව්‍යාප්ත වෙන්න අසීරුයි. ජෛන ආගම ප්‍රධාන ආගමක් නොවන්නේත්, බුද්ධාගම ඉන්දියාවෙන් අතු ගෑවී ගොස් තියෙන්නේත් (වෙනත් හේතුද සමඟ) මේ හේතුව නිසයි. ආගමකට පවතින්න යම් තරමක හෝ ප්‍රචණ්ඩත්වයක් අවශ්‍යයි. මේ තත්ත්වය වෙනස් වෙන්නේ සමාජයක් දියුණු වන තරමටයි.

      //මෙය ඉතා වේදනාකාරී හැඟීම් ඇතිවෙන දේවල් නේද එම ආගම් අදහන ජනතාවගේ?//

      ඇත්ත ඇති සැටියෙන් දැකීම කාටවත් වේදනාවක් විය යුතු නැහැ. දේශපාලන පක්ෂ, මතවාද ආදිය විවේචනය කරද්දීත් ඔය ප්‍රශ්නයම ඇති වෙනවා.

      Delete
  3. ඉකොනොමැට්ටා,

    ඔබේ අදහස් සමග තරමක් දුරට එකඟයි නමුත් මෙහි එක්තරා ආගමක් සහ එය අදහන අය පසුගාමී බවට කරන චෝදනා නම් අපට කිසිසේත්ම පිළිගන්න බැහැ. එම අදහස් නිසා එම ආගම අදහන ජනතාවගේ සිත් රිදීමක් ඇති වන බව පැහැදිලියි. එමෙන්ම එම ආගමික ජන කණ්ඩායමෙන් මෙහි පාඨකයකු ලෙස මා මෙම බ්ලොග්කරු වෙනුවෙන් එම අයගෙන් සමාව ඉල්ලනවා ඉතාමත් කණගාටුවෙන්.

    කෙසේ නමුත් උපතින් බෞද්ධ සමාජයේ හැදුන වැඩුන කෙනෙක් වශයෙන් මා මෙහි මගේ පුද්ගලික ආගමික සංස්කෘතික හර පද්ධතිය ඇසුරින් යමක් උපුටා ගෙන පල කිරීමට කැමතියි.

    //කවුරුහරි ත්‍රිපිටකය කෑලි කෑලිවලට ඉරා ටොයිලට් එකට දැම්මොත් ඔබ මොකද කරන්නේ..??

    වරක් ඇමරිකානු නාවික හමුදාවෙ අයෙක් කුරානයක් ඉරා ටොයිලට් එකක දමා තිබුණු අතර මෙය ලොවපුරා පත්තරවල ප්‍රවෘත්තියක් වුණා. මම හිටියේ එතකොට ඔස්ට්‍රෙලියාවෙ. මෙහෙ මාධ්‍යවේදිනියක් අප රටේ සියලුම ආගමික නායකයින්ගෙන් අහලා තිබුණා....

    "ඔබේ ආගමේ ධර්ම පොතක්, කෙනෙක් ටොයිලට් එකක දැම්මොත් ඔබ මොකද කරන්නේ?" කියලා. ඔස්ට්‍රලියාවෙ හිටපු බෞද්ධ ජනතාවගේ ජ්‍යෙෂ්ඨතම නායකයා හැටියට මටත් ඇයගේ ප්‍රශ්නය යොමු වුණා.

    "බුදුදහම අඩංගු ධර්ම පොතක් කෙනෙක් ඉරා ඔබේ ටොයිලට් එකේ ෆ්ලශ් කර යැවුවොත් ඔබ මොකද කරන්නේ..??"

    මම ඇයට උත්තර දුන්නා.

    "කෙනෙක් එහෙම කරොත් මම කරන්නේ හැකි ඉක්මණින් හොඳ පයිප්ප බාස් කෙනෙක්ට කතාකරන එක. මොකද පොතක් හින්දා අනිවාර්යෙන් හිරවෙන්න පුළුවන්. ඊට පස්සේ මගේ අත්‍යාවශ්‍ය කටයුත්ත කරද්දි අතර මග හිර වෙන්න පුලුවන් හින්දා."

    ඇය හිනා වුණා. ඇයට ලැබුනු අමුතුම සහ හොඳම පිලිතුර එය බව ඇය කීවා.

    මා තවදුරටත් ඇයට පිලිතුර පැහැදිලි කරා.

    "ඔබට ඕනෙ තරම් බෞද්ධ පොත් ටොයිලට් එකකට දාන්න, බුදුපිලිම කඩන්න, පන්සල් ගිනි තියන්න, හාමුදුරුවරු මරන්න පුළුවන් !"

    "හැබැයි නුබේ ක්‍රියාව නිසා නුබට මා තුලින් බුදු රජාණන් වහන්සේගේ ධර්මය ෆ්ලශ් කර හරින්න මම ඉඩ තියන්නෙ නෑ. සමාවදීම, දයාව, අනුකම්පාව, මා තුල ඇති හිතේ සාමය කිසිවිටෙකත් මා ඔබට දියකර හරින්න ඉඩ තබන්නෙ නෑ !!"

    - අජාන් බ්‍රහ්මවන්සෝ හිමි///

    මෙහි ඉහත සඳහන් ආකාරයට මේ සිදුවීම දෙසත් බලන මෙන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමි. මෙය මා වැනි සියලුම ආකාරයේ හිංසා පීඩා කලහකාරී අමානුෂික ක්‍රියා වලට අකැමති අය සඳහා ඉතා වැදගත් වේවි. ඒ වගේම මගේ අදහස් වලින් ඉකොනොමැට්ටා මහතාගේ ද යම් කිසි සිත් රිදීමක් ඇති වූණා නම් ඔබෙන් ද ඒ සමගම සමාව ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. //නමුත් මෙහි එක්තරා ආගමක් සහ එය අදහන අය පසුගාමී බවට කරන චෝදනා නම් අපට කිසිසේත්ම පිළිගන්න බැහැ. එම අදහස් නිසා එම ආගම අදහන ජනතාවගේ සිත් රිදීමක් ඇති වන බව පැහැදිලියි.//

      එක්තරා ආගමක් සහ එය අදහන අය සමස්තයක් ලෙස පසුගාමී බවක් මා අදහස් කළේ නැහැ. එය කෙසේවත් එසේ නොවෙයි. මේ සිදුවීමේදී පවා ප්‍රියන්තව බේරා ගන්න ඉදිරිපත් වන අය ඉන්නවා. ඒ බව මා ලිපියේද සඳහන් කළා. එහෙත්, වත්මන් ලෝකය තුළ අදාළ ආගමික පසුබිම ඇති තැන් වල පසුගාමී චර්යාවන් වැඩියෙන් දැකිය හැකි බව පැහැදිලි නිරීක්ෂණයක්. ඒ වගේම එය වැඩිපුරම ප්‍රශ්නයක් වන්නේ එම ආගම අදහන අයටමයි. මේ කරුණ පැහැදිලි නැත්නම් ජුනයිඩ් හෆීස් හා අදාළව ලියා තිබෙන පෙර ලිපි කියවන්න. කිසිවකුට සිත් රිදවීමක් ඇති කිරීමට අවශ්‍ය නැති නිසා අදාළ වාක්‍යය ඉවත් කළා. එය ලිපියට අත්‍යාවශ්‍ය වාක්‍යයක් නොවන්නාක් මෙන්ම වැරදි අදහසක් ඇති කළ හැකි එකක්ද නිසා. ඔබ පාඨකයෙකු ලෙස ලියුම්කරු වෙනුවෙන් සමාව ඉල්ලන්නට ඉදිරිපත් වීම ගැන බොහොම ස්තුතියි!

      Delete
  4. කිසිම ජාතියක් කැමති නෑ තමන්ගෙ සන්ස්කෘතිය තුල තියෙන අගතීන් පිලිගන්න. ඒවගේ දෙයක් ඇස් පනාපිට උනාම ඒක බැහැර කරන්න කියන දදේ තමයි ඕක අපේ ආගමේ කියල නෑ කියන එක.
    නැතිනම් ශ්‍රවනාබාදිතයෙක් කියල ස්ටෝරි එකක් සමාජගතකරන එක.

    ReplyDelete
    Replies
    1. //කිසිම ජාතියක් කැමති නෑ තමන්ගෙ සන්ස්කෘතිය තුල තියෙන අගතීන් පිලිගන්න.//

      ඔව්. නමුත් විවිධ සංස්කෘතීන් අතර මේ ප්‍රවණතාවයේ අඩුවැඩිකම් තිබෙනවා. තමන්ගේ අගතීන් පිළිගන්න වැඩි හැකියාවක් තිබෙන සංස්කෘතීන් වේගයෙන් දියුණු වෙනවා. එසේ නැති සංස්කෘතීන්ද තමන්ගේ අතීතයට සාපේක්ෂව ඉදිරියට ගියත් අනෙක් සංස්කෘතීන්ට සාපේක්ෂව පසුපසට යනවා. මට කියන්න අවශ්‍ය වූ කරුණ මෙයයි.

      Delete
    2. ඔව්. ඔබ හරි.
      නමුත් ඒ දියුනු උන සන්ස්කෘතීන් උනත් එහෙම අගතීන් තිබුන කියල පිටස්තරයො ඉදිරියෙ පිලිගන්නෙ නෑ මහිතෙ. ජපානය තමයි මේකටත් මගෙ හොඳම උදාහරනය

      Delete
  5. .// වාර්තා අනුව ඔහු කර තිබෙන "වරද" ඉස්ලාම් ආගමික පාඨ අඩංගු වූ පෝස්ටරයක් ඉරා කුණු බක්කියට දැමීමයි. //මම දැක්ක කොහෙද ලියලතිබ්බ එයා පෝස්ටර් එක ගලවල තියෙන්නේ ඔෆිස් රූම් එක අලුත්වැඩියා කරන නිසා කියල. කොහොම වෙතත් පක්ස්ථානය ඔය blasphemy නීතිය අයින් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇතැම් වාර්තා අනුව ඔහු පාලකයෙක් ලෙස තරමක් තදින් කටයුතු කර ඇති අයෙක්. අවස්ථාව බලා එවැනි තරහක් පිරිමහ ගත්තා වෙන්නත් පුළුවන්. මෙතැන ප්‍රශ්නය පෝස්ටරයක් ඉරා කුණු බක්කියට දැමීම වැනි "වරදකට" කෙනෙක්ව මරා දමන්න පෙළඹෙන විශාල පිරිසක් සිටීම. ඔය වගේ දේවල් වෙනත් සමාජ වලත් වෙනවා. ලංකාවේ සරසවි වල පවා. නිශ්චිත අවස්ථාවක ඒ වගේ දේවල් වෙන්නේ අහම්බයෙන් වුවත් හැම විටම වගේ එවැනි අහම්බයන් සිදු වන්නේ එසේ විය හැකි පසුබිමක.

      //ඔය blasphemy නීතිය අයින් කරන්න ඕනේ.//

      මේක කරන්නේ කවුද, කොහොමද කියන එකයි ප්‍රශ්නය. මරණ දඬුවම් නීතිය එන්නේ ශරියා නීතියේ කොටසක් ලෙස. ඒ නිසා, මෙවැනි නීතියක් ඉවත් කරන්න කතා කරන එකම දේව වචනයට එරෙහි වීමක් ලෙස බොහෝ දෙනෙක් දකින්න පුළුවන්. දේශපාලනික නිරවද්‍යතාවය කුමක් වුවත් ඇත්ත තත්ත්වය ඕකයි. රටේ බොහෝ දෙනෙක් මේ නීතිය තිබිය යුතුයි කියා සිතද්දී රාජ්‍ය නීතිය වෙනස් කළොත්, මේ විදිහට කැලෑ නීති ක්‍රියාත්මක වන අවස්ථා විශාල ලෙස වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා, මේ වගේ දේවල් වෙනස් විය හැක්කේ අදාළ සමාජ ඇතුළෙන්ම සිදුවන විශාල පරිවර්තනයකින් පසුව පමණයි. නමුත්, මේ වගේ නීති නිසාම එවැනි පරිවර්තනයකට තිබෙන ඉඩ වැලකී විෂම චක්‍රයක් හැදෙනවා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඒ සමාජ ඇතුළේම සිට වෙනසක් වෙනුවෙන් හඬක් නගන අයට ශක්තියක් වීම පමණයි පිට ඉන්න අයෙකුට කළ හැක්කේ. ඒ හැර වැඩිපුර බාහිර බලපෑම් කරන්න ගිය විට වෙන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එකයි.

      Delete
    2. අනික ඇත්තට මොකක් උනාද කියන එකත් අදාල දෙයක් නෙමෙයි. මේ වගේ දේකින් පිරිස්ක් මොබිලයිස් කරන්න පුලුවන් කියන දේ තමයි වැදගත්.
      හරියට බැඳුම්කරේ වගෙ.

      Delete
    3. AnonymousDecember 5, 2021 at 9:34 PM

      ඔව්. ඇත්තම ප්‍රශ්නය තිබෙන්නේ එතැන.

      Delete
  6. ඕක ඉතිං ඔය මැරුණු කෙනාගේ කරුමේ තමයි. ඕක ගැන කොච්චර කතාකරත් අපිට ඕක වෙනස් කරන්න බැහැ. සසරේ ගෙනාපු දේවල් තමයි ඔය කවුරුත් අරගෙන යන්නේ.

    -චතුෂ කුමාර-

    ReplyDelete
  7. අපේ රටේ නිතර දැකිය හැකි දෙයක් තමයි යම් සාහසික හෝ ඛේදජනක සිදුවීමක් සිදු උනාම එහි ඡායාරූප වීඩියෝ නැවත නැවත හුවමාරු කරගෙන රසවිඳීම. එයින් අදාළ පව්ලේ සාමාජිකයන්ට ඇතිවෙන වේදනාව ගැන අප සංවේදී නැහැ. මේ වීඩියෝවත් ඉවත් කරන්න කියලා පවුලේ සාමාජිකයන් කරපු ඉල්ලීමක් මම පුවතක දැක්කා. එම නිසා වීඩියෝව නැතිව ඉදිරිපත් කරා නම් සුදුසු බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. සාධාරණ ඉල්ලීමක් හා යෝජනාවක්!

      Delete
  8. මොන වරදක් කළත් කෙනෙකුව මරා දමා
    පුච්චන ගතිය හරි කුරිරුයි වගේ තමා
    මතවාදයට මිස අදහන අයට සමා
    නැතිව පහර දෙන පුරුද්ද කරමු නිමා

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...