වෙබ් ලිපිනය:

Friday, April 8, 2022

මහ බැංකුව නැවතත් තමන්ගේ රස්සාවට!


නන්දලාල් වීරසිංහ විසින් අධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් හා මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව මහ බැංකුව විසින් යුහුසුළුව ආර්ථිකයට ප්‍රථමාධාර දීමේ කටයුත්තට අත ගසා තිබෙනවා. මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5-7.5% මට්ටමේ සිට 13.5-14.5% මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මෙය මහ බැංකු ඉතිහාසය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතික එකවර වැඩියෙන්ම ඉහළ දමා ඇති අවස්ථාවයි. මෙය නහයෙන් උඩට අඩි ගාණක් යටවී තිබෙන ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මහ බැංකුව පැත්තෙන් අරගෙන තිබෙන ඉතාම නිවැරදි තීරණයක්.

මේ වන විට ප්‍රාථමික වෙළඳපොළේ දින-91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය 14.12% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තත්ත්වය යටතේ මහ බැංකුවෙන් වාණිජ බැංකු වලට හා ප්‍රාථමික ගැනුම්කරුවන්ට 7.5% පොලියට ණය දීම විශාල වැරැද්දක්. එම අනුපාතය 14.5% දක්වා ඉහළ යාමත් සමඟ මේ වැරැද්ද නිවැරදි වෙනවා.

රටේ උද්ධමනය මේ වන විට 17.5% දක්වා ඉහළ ගොස් ඇති අතර මහ බැංකු අධිපතිවරයාට අනුවම උද්ධමනය 25% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකියි. මෙය නිවැරදි පුරෝකථනයක්යැයි මා සිතනවා. ඒ අනුව ඉදිරි කාලයේදී පොලී අනුපාතික මීටත් වඩා ඉහළ යාමට ඉඩ දෙන්න සිදු විය හැකියි.

මහ බැංකුවක් සාමාන්‍යයෙන් පොලී අනුපාතික ඉහළ දමන්නේ අනුක්‍රමික ලෙසයි. මෙසේ එකවර විශාල ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමට අවශ්‍ය වුනේ කාලයක් තිස්සේ එය සිදු නොවුණු නිසයි. මේ තීරණය මට ගැනීමට සිදු වුනානම් මම බොහෝ විට 7.5%කින් පමණ පොලී අනුපාතික ඉහළ දමනවා. මහ බැංකුව විසින් එවැනි විශාල ඉහළ දැමීමක් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ නැහැ. එහෙත් නන්දලාල් වීරසිංහ බය නැතිව මේ අවශ්‍ය තීරණය අරගෙන තිබෙනවා. 

පොලී අනුපාතික ඉහළ යාමත් සමඟ බැංකු වල තැන්පතු තිබෙන අයට එම තැන්පතු ආපසු ගැනීම ගැන දෙවරක් හිතන්න වෙනවා. ණය ගන්න බලාගෙන හිටපු අයටත් දෙවරක් හිතන්න වෙනවා. මේ හරහා රුපියලට වටිනාකමක් ලැබී රුපියල ශක්තිමත් වීමක් සිදු වෙනවා.

අධිපති වීරසිංහ ඇත්ත කතා කිරීම හා ඇත්ත කතා කිරීම වෙනුවෙන් පෙනී සිටීමත් වැදගත්. තොරතුරු සැඟවීමෙන් හා බොරු කීමෙන් වෙන්නේ පවතින තත්ත්වයටත් වඩා නරක තත්ත්වයක් පිළිබිඹු කරන වැරදි තොරතුරු ප්‍රචාරය වීමයි. මෙය කියවන බව දන්නා මහ බැංකුවේ වගකිවයුතු අයට මගේ යෝජනාව වනුයේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය දෛනිකවත්, නිල සංචිත පිළිබඳ තොරතුරු, අඩු වශයෙන් සතිපතාත් ප්‍රසිද්ධ කළ යුතු බවයි. පහසුවෙන් මහ බැංකුවේ ගිණුම් වලින් ලබා ගත හැකි මෙම තොරතුරු කොහොමටත් ප්‍රසිද්ධ කරන දෛනික වාර්තාවකට එකතු කිරීම සරල කටයුත්තක්. එසේ කිරීමෙන් වැරදි තොරතුරු ප්‍රචාරය වීම පාලනය කළ හැකියි.

මහ බැංකුව විසින් පළමු ගල ගැසීමෙන් පසුව ඊළඟ පියවර ගත යුතුව තිබෙන්නේ රජයයි. මේ වෙලාවේ භාණ්ඩාගාර අධිපති ධුරයට පත්ව සිටින මහින්ද සිරිවර්ධනද මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද කාලයක් තිස්සේ වැඩ කර තිබෙන, එමෙන්ම නන්දලාල් වීරසිංහ සමඟ දිගු කාලයක් එකට වැඩි කර තිබෙන අයෙකු වීම තීරණ සම්බන්ධීකරණය කර ගැනීමේදී තිබෙන වාසියක්. 

ඇත්තටම කියනවානම් මහින්ද සිරිවර්ධන හමුවේ තිබෙන අභියෝගය නන්දලාල් වීරසිංහ හමුවේ තිබෙන අභියෝගයට වඩා ගොඩක් වැඩි එකක්. මහබැංකු අධිපතිට නීතිය අනුවම ස්වාධීනව කටයුතු කළ හැකියි. එහෙත් භාණ්ඩාගාර ලේකම්ට එසේ ස්වාධීනව කටයුතු කිරීමේ නීතිමය බලයක් නැහැ. ඔහුට ක්‍රියාත්මක කරන්න වෙන්නේ රජයේ අභිමතයයි. ඒ නිසා, මේ වෙලාවේ මහජන මතය නිවැරදි තැන තිබීම වැදගත්.

පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම් ඉහළ යනවා. එයට අනුරූපව වෙනත් වියදම් කැපීමට හා ආදායම් වැඩි කර ගැනීමට සිදු වනවා. මේවා දේශපාලනික තීරණ. මම හිතන්නේ බොහෝ විට කෙටිකාලීනව ප්‍රාග්ධන වියදම් මුළුමනින්ම වගේ කපා හරින්න සිදු වෙයි. පඩි වැඩිකිරීම් වැනි දේ ගැන කාලයකට හිතන්න වෙන එකක් නැහැ. 

හැම දෙයක්ම හරියකට වෙන්නනම් දේශපාලන ස්ථාවරත්වයද අවශ්‍ය වෙනවා. ඒ සඳහා, යම් ප්‍රායෝගික සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. සංජීව වීරවරණ හා වසන්ත දේශප්‍රිය විසින් එවැනි සාකච්ඡාවක් සඳහා ප්‍රවේශයක් සපයා තිබෙනවා. මෙවැනි වෙනත් ප්‍රවේශයන්ද තිබිය හැකියි. වැදගත් වන්නේ අවුල ලෙහන්නට කොහෙන් හෝ පටන් ගැනීමයි. 

38 comments:

  1. දැන් එතකොට කබ්රාල් කරපු අහිතකර දේවල් නිසා අර්බුධය උග්‍ර උනා නේද?

    ඒ හානියට වග කියන්න ඕනි නැද්ද ඔහු?

    ReplyDelete
    Replies
    1. කබ්රාල් අධිපති ධුරයට හොර පාරෙන් ආවේ නැහැ. ඔහුව පත් කළේ ජනාධිපතිවරයා විසින්. ජනාධිපතිවරයාට ඒ බලය ලබා දුන්නේ රටේ ජනතාව. තමන්ගේ ධුරයේ කටයුතු කරද්දී සද්භාවයෙන් කරන දෙයකින් හානියක් වුනානම් එම හානියට පුද්ගලයෙක් වගකිව යුතු වන්නේ නැහැ. එහෙත්, හිතාමතා හානියක් කළානම් හෝ වෘත්තීය නොසැලකිල්ල නිසා හානියක් වුනානම් වගකිව යුතුයි.

      Delete
    2. එහෙම බැලුවම මේ වෙනකොට ශ්‍රී ලංකාව මුණ දෙන ආර්ථික ගැටළු වලට වග කියන්න ඕනි ජනාධිපතිතුමාට බලය දුන් රටේ ජනතාව නේද?

      Delete
    3. මෙය වත්මන් ජනාධිපතිවරයාට එසේ බලය දීමේ වැරැද්දකටත් වඩා පුළුල් ජනාධිපතිවරයා සතුව එවැනි විශාල බලයක් කේන්ද්‍රගත වී තිබීමේ වැරැද්දක් නේද? ඒ කියන්නේ රටේ ජනතාව ජනාධිපති ධුරයට අසීමිත බලතල ලබා දීමේ වැරැද්දක් නේද?

      Delete
  2. අලුතෙන් තනතුරු දීම අපූරුයි - නිවැරදි තීරණයක් පාටයි
    වැඩියෙන් වැදගත් දැනුමැත්තන්හට - තීන්දු ගන්නට ඉඩ දීමයි
    සෙතක් කෙරෙනකොට ඒකේ නම්බුව - අයිති පත් කරපු අයට තමයි
    ටිකක් කරනකොට - හුස්ම වැටෙනකොට මුල අමතක නූනොතින් හොඳයි

    ReplyDelete
  3. නව මහ බැංකු අධිපති Dr. Nandalal Weerasinhe මහතා මහ බැංකුවේ තිබුනු මාධ්ය සාකච්ඡාවෙදී කරපු සම්පූර්ණ කතාවම ඇහුවා. ඔහු ඉතා අවංක, දක්ෂ, බුද්ධිමත් කෙලින් තීරණ ගන්න නිලධාරියෙක් බව පේනවා.ඔහු ඉන්දියාවටත් ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න උපදෙස් දීපු IMF එකෙත් නිලතල හොබවපු කෙනෙක්. ඔහුට මේ ආර්ථික අර්බුධයෙන් අපේ මවු රට ලංකාව ගොඩ දාන්න පුලුවන් අනිවාර්යෙන්. නමුත් ඊට හැමෝම සහය දෙන්න ඕන සාමූහිකව එකතු වෙලා මුලින් මේ ආර්ථිකයේ තියෙන බරපතල ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීමට තව ටිකක් රට ස්ටේබල් වුණාම පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. එම සාකච්ඡාවේදී අපේ වියුණුවේ පාඨකයින් විසින් අපෙන් අසා අප වරින් වර පිළිතුරු දී තිබෙන බොහෝ ප්‍රශ්න වල ඔහු සිංහලෙන්ම සෘජු හා පැහැදිලි පිළිතුරු දෙනවා. ඒ වගේම මහින්ද සිරිවර්ධනත්. ඒ අයගේ පැත්තෙන් එය සිදුවෙනවානම් අපට ඇඟිල්ලෙන් ඇන පෙන්නන්න දෙයක් නැහැ. අනෙකුත් දේශපාලන ප්‍රශ්න සම්බන්ධවත් මෙවැනි ප්‍රවේශයක් අවශ්‍යයි.

      Delete
  4. මම දකින විදිහට නම් නව මහබැංකු අධිපති නන්දලාල් ඇතුලු විද්වත් වෘත්තීය සභාවක් ඉතාමත් සාධනීය තාක්ෂණික විග්‍රහයක් ඊයේ කලබව දැනුනා... එම සංවාදයේදී මෙන්න මේ තාක්ෂණික ප්‍රශ්න ටික අහන්න මොළයක් හෝ කොන්දක් තියන මාධ්‍ය වේදියෙකු එතන නොසිටීම නම් කණගාටුවක්;

    1. මේ රටේ විශ්වාසනීය දේශපාලන ස්ථාවරයක් හදන්න පුලුවන් තාක්ෂණික ඥාණයක් තියන විශ්වාසවන්ත දේශපාලකයෝ කීදෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද?

    2. එම විද්වත් කණ්ඩායම ඉතා මහන්සියෙන් වෘත්තිමය දැනුමෙන් ගේන කෙටිකාලීන, මධ්‍ය කාලීන, දිගුකාලීන ණය නිවැරදිව හා කාර්‍ය්ක්ෂමව යොදවන රාජ්‍ය ආයතන ප්‍රධානීන් මහබැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හැරුනු කොට ඉන්නවා ද? (වෙනස්කම් වී). උදා : නීතිපති දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහාමාර්ග අමාත්‍යාංශය, UDA, defense ministry and so forth...

    3. ඊළඟට මහබැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙද්දි ඊට අවශ්‍ය නීතිමය ආවරණය ලබාදෙන මූල්‍ය මණ්ඩලය විව්‍යස්ථාදායකය, විධායකය ශක්තිමත් කිරීමට එම විද්වත් කණ්ඩායම බලාපොරොත්තු වන ආකාරයට ක්‍රියාත්මක කරන්න නම් දැනට කළ යුතුයි කියා ඔවුන්ට කළ හැකි යෝජනා මොනවාද?

    4. එම කණ්ඩායමේ යෝජනා, ඔවුන්ගේ අභිමතයන් සිතැඟි පරිදි ඉටුකල නොහැකි උනොත් සහ නැවත ඉවත්වීමට උවහොත් ඔවුන්ට එසේ කිරීමට නොහැකි වූ හේතු සහ ඒ සදහා බලපෑමක් කල සියලු දෙනාගේ නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවට ඔවුන් විසින් මහජනතාවට පොරොන්දු වෙනවාද?

    5. එම කණ්ඩායම ඔවුන් ගේ නිවැරදි ගමන යාමට අවශ්‍ය නව නීති මොනවාද? එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට ඔවුන් බලාපොරොත්තු වන්නේද?

    6. ඊළඟට එතරම් වැදගත් නැතත් පසුකාලීනව කළ යුතු දෙයක් තමයි මෙතෙක් සිදුවූ මූල්‍ය වංචා හා මූල්‍ය හානීන් සම්බන්ධව ඔය කණ්ඩායමට යෝජනා කළ හැකි ඉදිරි පියවර මොනවාද?

    මෙසේ දැනට පල්ලමට යන ආර්ථිකය සහිත රට මුලින්ම බ්‍රේක් ගහලා වලට යන එක නවත්වා ඊට පස්සේ කෙමෙන් කෙමෙන් හරි පාරට ගැනීම සඳහා අවශ්‍ය වන නිවැරදි කිරීමට ඉදිරිපත් වන දක්ෂ රාජ්‍ය සේවකයින් 20-30 දෙනා හදුනාගෙන ඔවුන් ආරක්ෂා කරන සහ ඔවුන්ට එඩිතරව සහ ස්වාධීනව අවශ්‍ය වටපිටාව සදාදෙන ජන අරගලය වීමට අපි සියලුදෙනා එකතුවෙමු.....

    නැතිනම් මෙය තවත් අතීසාරයට අමුඩ ගැසීමක් පමණි.......

    ReplyDelete
    Replies
    1. ඉහත (1)-(2) ප්‍රශ්න ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න කියා මම හිතන්නේ නැහැ. ඔවුන් යම් නිශ්චිත කාර්යයක් සඳහා පත් කර තිබෙන නිලධාරීන් පමණයි. ඔය ප්‍රශ්න ඔවුන්ගෙන් ඇහුවත් බොහෝ විට පිළිතුරු දෙන එක ප්‍රතික්ෂේප කරයි. මේ ප්‍රශ්න වලට ඔවුන්ට පිළිතුරු දිය හැක්කේ පුද්ගලයින් ලෙස පමණයි. හිටපු මහ බැංකු අධිපති විසින් කළ වැරැද්ද තමන්ගේ රාජකාරිය හරියට නොකර ඔය වගේ දේවල් ගැන කතා කරන්න යාමයි. (3) ප්‍රශ්නයට නන්දලාල් වීරසිංහ පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා. ඔය සාකච්ඡාවේදීද කියා මතක නැහැ. (4)නම් මේ අවස්ථාවේ තිබෙන සන්දර්භය අනුව සාධාරණ ප්‍රශ්නයක්. (5)ටත් පැහැදිලි පිළිතුරක් දී තිබෙනවා. මේ සාකච්ඡාවේ එය නැහැ. (6) මහජනයාගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නය නිශ්චිත ලෙස ඇසිය යුතුයි.

      Delete
  5. ප්‍රතිපත්ති පොලී අනුපාතික කියන්නෙ මොනාද කියල කියන්න පුලුවන් ද

    ReplyDelete
    Replies
    1. වානිජ බැන්කු වලට ඉතාකෙටි කාලින ද්‍රවශිල අවශ්‍යතා සදහා නය ලබාගැනීම/ අතිරේක මුදල් තැන්පත් කිරීමට මහ බැන්කුවෙ පහසුකමක් තියනවා. ඒ පහසුකම් සදහා අය කරන/ ගෙවන පොලී අනුපාත තමයි මෙ වැඩි කලෙ. මේවා එක්දින පහසුකම් නිසා ආර්තිකයක පොලී අනුපාත තීරනය වෙන්නෙ මේ පොලී අනුපාත දෙක මතයි. ඉදිරියේදී මෙ අනුපාත වලට සාපේක්ෂව සියලුම පොලී අනුපාතවැඩි වේවී. මහබැන්කුවේ මුදල් මන්ඩලය හැම මාසෙම රැස් වෙලා තිරනය කරනවා මේ පොලී අනුපාත වෙනස් කරනවද නැද්ද කියන තියනය ගන්නවා.

      Delete
    2. පැහැදිලි කිරීම ගැන ස්තුතියි, Rashitha!

      Delete
  6. 'මෙය කියවන බව දන්නා මහ බැංකුවේ වගකිවයුතු අයට මගේ යෝජනාව වනුයේ'

    නිකංම නිකං පේරා උපාධිකාරයෙක් කියන ඒවා අහන්න මහ බැංකුවේ ඉන්න ඔක්කොම කබ්රාල් ලද?

    ReplyDelete
    Replies
    1. අපේ පාඨකයින් අතර ලොකු ලොකු පොරවල් සමඟ හවසට සෙට් වෙන ඔබ වගේ සිරා ඩයල් ඉන්න නිසා අවුලක් නැහැනේ, ඇනෝ! පුලුවන්නම් හවසට මේ ලියල තියෙන දේවල් ගැන අදාළ අයට පොඩ්ඩක් මතක් කරන්න.

      Delete
  7. අපිට බැරිද අපේ රටෙන් අපනයනය කරන දේවල් වලට රුපියල් වලින් ගෙවන්න කියලා ගැනුම්කරුවන්ට කියන්න.

    ඒ අය ලග රුපියල් නැති නිසා අපි කරන්නේ රුපියල් අච්චු ගහලා ඒ අයට විකුනනවා ඩොලර් වලට. ඊට පස්සේ අපේ ලග ඩොලර් ගොඩ ගැහෙනවා. එතකොට ඩොලර් නැති අර්බුදේ ඉවරයි.

    ReplyDelete
    Replies
    1. Perfect, what a genius innovative thinking? Bravo.... hats off mate, cheers !

      Delete
    2. පසුගිය වසර දෙකේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ ඔබේ උපදේශයම තමයි ඇනෝ! ඒකනේ ඩොලර් ගොඩ ගැහිලා තියෙන්නේ.

      Delete
    3. ඉකොනෝ,

      දැන් එහෙනම් රුසියාව කියලා තියෙන්නේ ඒ රටේ අපනයන මිලට ගන්නා රටවල් රුබල් වලින් ගෙවීම් කරන්න කියලා. අපිට බැරි ඇයි එහෙනං රුපියල් වලින් අපේ අපනයන වලට ගෙවීම් ඉල්ලන්න?

      Delete
    4. මේ ගැන අජිත් ධර්මා ටිකක් විස්තරාත්මක ලෙස කතා කරලා තිබුණා. ඒ වගේ දේවල් කරන්න ශක්තිමත් ආර්ථිකයක් තියෙන්න ඕනෑ. අපිට එතරම් දෙයක් ආනයනය කරන්න අවශ්‍ය නැත්නම්, අනෙක් අයට අපි අපනයනය කරන දේවල් නැතිවම බැරිනම් ඔය වගේ ඉල්ලීමක් කරන්න පුළුවන්. කෑමබීම, ඉන්ධන ටික ගන්නවත් විදිහක් නැතිව ඉන්න වෙලාවක පර්යන්තයේ සිටින දුර්වල කුඩා ආර්ථිකයක් තිබෙන රටකට ඔය වගේ දේවල් කරන්න බැහැ. රුසියාව කියන්නේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක්. රට ඇතුළේ අවශ්‍ය ගොඩක් දේවල් නිෂ්පාදනය කරනවා. ආනයනය කරන්නේ අඩුවෙන්. අපනයන ඊට වඩා වැඩියි. වෙනත් ඇතැම් රටවලට රුසියාවේ ඉන්ධන නැතුව බැහැ. මේ කොන්දේසි දමන්නේ එම රටවලට. එහි අරමුණ වෙන එකක්. රට හිඟමනට වැටිලා ඉන්න නිසා කරන දෙයක් නෙමෙයි.

      අපි නිකමට හිතමු ඔය ඉල්ලීම ලංකාවෙන් ආනයන කරන රටවල් පිළිගත්තා කියලා. ලංකාවෙන් ගන්න ඇඟලුම් වෙනුවෙන් ඇමරිකාවට ඉතා පහසුවෙන් රුපියල් වලින් ගෙවන්න පුළුවන්. ඩොලර් දීලා එම රුපියල් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගනියි. එතකොට ඇඟලුම් විකුණා ලැබෙන ඩොලර් ප්‍රමාණයේ වටිනාකමට සමාන රුපියල් ප්‍රමාණයක් ලැබෙනවා. ඩොලර් ටික නැති වෙනවා. නමුත් ඒ ඩොලර් ටිකම වෙන විදිහකට ලැබෙනවා. ඊට අමතරව වෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

      Delete
  8. මේව ඕකොම කරද්දිත් සල්ලි අක්චු ගැහුවොත් මොකෝ වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මේවා ඔක්කොම කරන්නේම සල්ලි අච්චු ගැසීම පාලනය කරන්නනේ ඇනෝ. සල්ලි අච්චු ගැසීම පාලනය කිරීම නිකම්ම ස්විච් එකක් ඕෆ් කරලා කරන්න බැහැ. ඕනෑම මහ බැංකුවක් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. පොලී අනුපාතික ඉහළ දැමීම පළමු පියවරයි. එවිට මිනිස්සු ණය ගැනීම අඩු වෙනවා. බැංකු වල සල්ලි තැන්පත් කිරීම් ඉහළ යනවා. සංසරණයේ තියෙන සල්ලි බැංකු වල එකතු වෙනවා. බැංකු වලට මහ බැංකුවෙන් අලුත් සල්ලි නිකුත් නොකර සිටීමට හැකි වෙනවා. මිනිස්සු බැංකු වලින් වැඩි වැඩියෙන් සල්ලි ඉල්ලන තරමට බැංකු වලට වැඩි වැඩියෙන් සල්ලි අවශ්‍ය වෙනවා. බැංකු වලට වැඩි වැඩියෙන් සල්ලි අවශ්‍ය වන තරමට මහ බැංකුව වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහන්න වෙනවා. මහ බැංකුවට මෙය පාලනය කළ හැකි ක්‍රමය පොලී අනුපාතික වැඩි කිරීමයි.

      Delete
  9. “එවිට මිනිස්සු ණය ගැනීම අඩු වෙනවා. බැංකු වල තැන්පත් කිරීම් ඉහළ යනවා. “

    1. මිනිස්සු නය ගන්නෙ නෑත්නම් බෑන්කු වල එකතුවෙන සල්ලි වලින් බෑන්කු මුදල් මවන්නේ කුමන ක්‍රම වලින්ද?
    2. මිනිස්සු නය ගන්නේ නෑතිනම් deposit ස්දහා වෑඩි පොලියක් ගෙවීමට බෑන්කු වලට ආදායම් ලබා ගත හෑකි ආකාර මොනවාද?

    ReplyDelete
    Replies
    1. 1. මෙහි අරමුණ වන්නේම බැංකු විසින් මුදල් මැවීම පාලනය කිරීමයි.
      2. මෙතෙක් වුනේ මහ බැංකුවෙන් 7.5% පොලියට ගන්න මුදල් අනෙක් අතට රජයට 14% පොලියට දී බැංකු විසින් විශාල ලාබයක් ලැබීමයි. මෙහි අරමුණ වන්නේම එය නැති කර බැංකු වල අධික හා අසාධාරණ ලාබ අඩු කිරීමයි. මිනිස්සු කවුරුවත්ම ණය නොගත්තත් රජය විසින් බැංකු වල තිබෙන මුදල් ණයට ගැනීමට සූදානම්ව සිටිනවා. රජයේ අයවැය හිඟය ඒ තරම්ම විශාලයි. සල්ලි අච්චු ගහන්න සිදු වී තිබෙන්නේ බැංකු වල තියෙන සල්ලිත් මදි නිසා. ඒ නිසා, මේ වැඩෙන් බැංකු වලට පාඩුවක් වෙන්නේ නැහැ. ලාබය ටිකක් අඩු වෙනවා පමණයි.

      Delete
  10. 3. දෑන් මිනිසුන් නය ගෑනීම අඩුවී , බෑන්කු වල ආදායම් අඩුවීම නිසා , තෑන්පතු සදහා වෑඩි පොලී ගෙවීමට නොහෑකි බෑන්කු වලට ජනතාවගේ තෑන්පතු ප්‍රතික්ශෙප කිරීමට හෑකිද? කුමන හේතු දකවා එසේ ප්‍රතික්ශෙප කල හෑකිද.
    4. මින්සුන් කොටස් ආදිය විකුනා/ආයොජනය නොකර බෑන්කු වල තෑන්පත් කිරීමට යන නිසා කොටස් වෙලදපොල කඩා වෑටේද?

    ReplyDelete
    Replies
    1. 3. කිසිසේත්ම එය වෙන්නේ නැහැ. රජයට කීයක් හෝ දී ණය ගන්න ඕනෑ. ඒ නිසා බැංකු වලටත් කීයක් හෝ දී ණය ගන්න වෙනවා. මෙතෙක් එය සිදු නොවුනේ මහ බැංකුව විසින් පොලී අනුපාතික පාලනය කරගෙන සිටි නිසයි.

      4. පොලී අනුපාතික වැඩි නොකළත් මෙවැනි ආර්ථික අවපාතයක් හමුවේ කොහොමටත් කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා. ඒ හැර මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීම නිසා දැනට වෙනත් බලපෑමක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලංකාවේ කොටස් වෙළඳපොළ ආයෝජකයින් කියන්නේ සුවිශේෂී හා සීමිත පිරිසක්. ඒ අය කොටස් විකුණා ස්ථිර තැන්පතු දාන වර්ගයේ අය නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් වෙත යම් විතැන්වීමක් වෙයි. භාණ්ඩාගාර බිල්පත් පොලිය කොහොමටත් වැඩි වෙලයි තිබුණේ.

      Delete
  11. 5. මිනිසුන් අවම මට්ටමේ ආදායම් උපදන ව්යාපාර් ( උදා: පෞද්ගලික බස් ව්යාපාරය) විකුනා හෝ ආයෝජනය නොකිරීම නිසා එවෑනි ව්යාපාර කඩා වෑටෙය්ද?
    6. එවෑනි වියාපාර පවත්වා ගෑනීම සදහා ටිකට් ගාස්තු වෑඩිකිරීම වෑනි දේවල් කිරීමට සිදුවේද?

    ReplyDelete
    Replies
    1. 5. මම හිතන්නේ දැනට රටේ පෞද්ගලික බස් හිඟයක් නැහැ. ඒ නිසා බස් රථ මිල දී ගැනීමට පොලී අනුපාතික බාධාවක් වූ පමණින් කර්මාන්තය කඩා වැටෙන එකක් නැහැ. එහෙත් ඉන්ධන හිඟය වැනි වෙනත් හේතු කර්මාන්තයට බලපාන්න පුළුවන්. තෙල් නැති වුනොත් කොහොමත් බස් දුවවන්න වෙන්නේ නැහැ.

      6. තීරණය රජය සතුයි. මගේ පෞද්ගලික අදහසනම් බස් ගාස්තු වැඩි කිරීමට මීට වඩා නිදහස දිය යුතු බවයි.

      Delete
  12. මේ දවස් වල ලංකාවේ පවතින ඉමක් කොනක් නොපෙනෙන දිගු කාලීන උග්‍ර ආර්ථික අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට යාම යාම සඳහා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම තවදුරටත් ඉහළ යමින් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මාධ්‍ය මගින් පවසා තිබෙනවා ඉකොනොමැට්ටා දකින්න ඇති.

    කෙසේ නමුත් මෙම වසර මුල සිට එසේ පැමිණෙන තරැණ පිරිස්වල සංඛ්‍යාව 43% කින් පමණ ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි එම මාධ්‍ය වාර්තා වල සදහන්.

    ඒ වගේම තමයි 2022 මුල කාර්තුවේ සහ ඊට පොඩ්ඩක් විතර කලින් කාල සිමාවේ රටපුරා නිවාස හා වාහන විකිණීම ඉතාමත්ම විශාල වශයෙන් ද වැඩිවී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ ඉතා විශාල පිරිසක් මහා පරිමාණයෙන් විශාල වශයෙන් ඉඩම් හා ගෙවල් දොරවල් හා ව්‍යාපාර, වත්කම් සහ වෙනත් සියලුම ආකාරයේ දේපොළ විකුණා විදේශගතවීම සඳහා අධික මිලට කළු කඩේ විදේශ මුදල් සොයා ගැනීමයි.

    මීට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයන් වල විශාල වශයෙන් නීති විරෝධී ක්‍රම මගින් ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවකට විදේශීයන්ට පලා යන පිරිස වැඩි වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබේ. මේ නිසා ලංකාවේ ආර්ථිකයට කෙසේ බලපාවි ද කියලා සොයා බැලීම කාගේ වගකීමක් ද? මහ බැංකුව සහ භාණ්ඩාගාරය මේ පිළිබඳව අධ්‍යනය කරලා බලන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය තරම්ම පිරිසක් විදේශගත වෙනවාද කියන එක පිළිබඳව මටනම් තියෙන්නේ සැකයක්. මොකද ශ්‍රී ලාංකිකයෙකුට විදේශගත වෙනවා කියන එක හදිසියේ කළ හැකි දෙයක් නෙමෙයි. හැබැයි එහෙම වෙනවානම් මේ වෙලාවේ එයින් රටට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. හරියකට ආදායම් උපදවන්න ඉඩක් නැතිව රටේ ඉන්න අය රටට බරක් (කිසිසේත්ම ඒ අයගේ වැරැද්දක් නොවුනත්). මෙවැනි අය රටින් ගිය විට රටට අනාගතයේ ලැබෙන විදේශ විණිමය යම් තරමකින් හෝ ඉහළ යනවා. ඒ වගේම ඒ අය රටින් යාම නිසා පුරප්පාඩු වන රැකියා වෙනත් අයට ලැබී ඒ අයගේ ආදායම් ඉහළ යනවා. එවැනි අය විකුණන ඉඩකඩම් ආදිය ඵලදායී ලෙස යොදාගත හැකි වෙනත් අය අතට යනවා. ආනයන ඉල්ලුම ටිකකින් හරි අඩු වෙනවා. මේ කිසිවක් නරක දේවල් නෙමෙයි.

      Delete
    2. ඉකොනොමැට්ටා ඔහොම කිව්වට ලංකාවෙ මධ්‍යම පන්තිය සහ රජයේ සේවකයන්ට කෙළවිලා තියෙනවා. රජයේ සේවකයන්ට ළඟදී පඩි වැඩි කරලා අවුරුද්දට බෝනස් එහෙම ගෙවපු නිසා සද්ද නැතුව හිටියාට රජයේ සේවකයො සේරම ඒකාබද්ධ වෙලා වැඩ වර්ජනය කළොත් ඔය මොන රජා හිටියත් ආණ්ඩුව එක දවසෙන් වට්ටන්න පුළුවන් ඒ නිසා මේ උද්ඝෝෂණ පිටුපස සිටින නායකයන් රජයේ ආයතන වල සේවකයන් වහාම මේ උද්ඝෝෂණ රැල්ලට එක් කර ගෙන රජයේ ආයතන සහ මුළු රටම සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කරන්න වහ වහා ක්‍රියාත්මක වියයුතුයි කියලා මේ දවස්වල ජවිපෙ ජාතික බලවේගයේ කණ්ඩායමක් පැවසුවා.

      මම හිතන්නේ මේ ඒ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත මොකද අපි ඇත්තටම හොයලා බැලුවාම සමාජ මාධ්‍ය පෙන්වන තරම් රටේ ලොකු අවුලක් නැති විශාල පිරිසක් ඉන්න බවත් අමතක නොකළ යුතුයි. උදාහරණයක් විදියට මේ දවස්වල ලංකාවේ ඉන්න අපිට අද ටෙක්ස්ටයිල් ෂොප් එකේ වාහනය එලියට ගන්න බැරුව පැය බාගයකට වඩා හිටියා, කඩවල් වල පට්ට විදියට සෙනග විශාල වශයෙන් රෙදි ගන්න ඇවිත්, උද්ඝෝෂණ වලට වඩා විශාල පිරිසක් අවුරුදු සමරන්නට ලැහැස්ති වෙලා බව පේනවා.

      ලංකාවේ නාගරික සහ මධ්‍යම පාන්තික ජනතාව මේ දවස්වල බඩු මිල ඉහල යාම සහ ලංකාවේ ඉන්ධන ගෑස් සහ විදුලි කප්පාදුව නිසා දැඩි පීඩාවට පත් වෙලා, ගම්බද ජනතාව පොහොර හිඟය සමග විදුලි කප්පාදු කිරීම සහ ඩීසල් හිඟය නිසා යම් තරමකින් අමාරුවේ වැටිලා තියෙන්නේ. හැබැයි ඉතින් බහුතර ජනතාව ගැන මගේ නිරීක්ෂණ වලින් පේන්නේ මිනිස්සුන්ට අඩුපාඩු තියෙනවා වුණත් එහෙමයි කියල මිනිස්සු ලෝකල් අලුත් අවුරුද්ද සමරන්නෙ නැතුව ඉන්නෙ නෑ.... මම ලංකාවට නිවාඩු ඇවිත් මේ දවස්වල ඉන්නේ අපේ තාත්තලාගේ මහ ගෙදර, ඒ කියන්නේ හද්ද ගමක... මම හිතන්නේ මේ කියන විදිහට ඒ මිනිස්සුන්ට මේ ප්‍රශ්න වලින් 25% වත් දැනෙන්නෙ නෑ.... බඩු ගනන් තමයි ඒ උනාට රුපියල් 100 ට ගත්තු තේ දලු කිලෝ එක දැන් 145 න් උඩ.... (මම ඉන්නේ මතුගම ආසන්න ගමක... මේ අවට තේ ෆැක්ටරි වල හැම එකේම 145-148 අතර ගෙවනවා) ගිය අවුරුද්දෙ රු. 2,800/= ට ගිය කුරුදු කිලෝ එක...දැන් රු. 3,600/= අවුරුදු දෙක හමාරක් විතර කලින් 2019 විතර මම ආපු කාලෙ පාස්කු නානා වියට්නාම් වලින් ගෙනත් ලංකාවේ කියලා ප්‍රති අපනයන කරපු එකෙන් රු. 300/= ට බැස්ස ගම්මිරිස් කිලෝව දැන් 1,400/= කලින් කුලී කාරයෙක් රු. 1,000 - 1,500/= ගත්තා දවසට... දැන් නුපුහුණු සාමාන්‍ය කුලීකාරයෙක් රු. 2500 /= ගන්නවා... කෑම නැතුව නම් 3,000/= පුහුණු විශේෂ දක්ෂතා ඇති අය රූ. 6,000 - 7,000 ගන්නවා. ඕව කවුරුත් කියන්නෙ නෑ.... හැබැයි ප්‍රශ්න නෑ කියන්න බෑ.... ඒත් අවුරුද්ද සමරනවා ඒ මිනිස්සු...

      හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා තේ වලට පොහොර ෆැක්ටරි එකෙන් දෙන්නෙ... කලින් අපි අක්කරේකට පොහොර මිටි (කොට්ට/ බෑග්) 6 දැම්මා..... දැන් ගණන් නිසා කොට්ට තුනක් දානවා, කොම්පෝස්ට් එක්ක කලවම කරල.... but slmost same result.. ඒ හින්ද ලොකු අවුලක් නෑ....ඒත් මහ හෙල් වල කඳුකර ගල් පසේ වවන තේ වලට නම් අස්වැන්නේ අඩුවක් තියෙනවා... ඒවායේ කලින් අක්කරේකට කිලෝ 600 - 610 වගේ කැඩුවා... දැන් ඒක 450 - 520 ට වගේ බැහැලා....

      පොහොර යෙදීම ගැන කියනවනම් ආණ්ඩුවේ සේලස් රෙප් තොල්බරියා මිටියක් 12,000 ට දෙන්න සෙට් කරනවා කියලා පහුගිය කාලේ පුරාම පොර ටෝක්ස් දුන්නා ඒත් දැන් රු. 13,500 ක්, ඒ ගානට ගන්නත් කට්ටිය ඉන්නවා ඒත් බඩු හිඟයි, ඩොලර් කේස් එක ඉක්මනට විසඳා ගන්න පුළුවන් නම් හොඳයි නැත්නම් පොහොර වැඩේ තවත් අමාරු වෙයි.

      Delete
    3. කෙටියෙන් කිවුවොත් ඔබ කියන්නේ (1) බඩු ගණන් ගියත් මිනිස්සු අතේ සල්ලි තියෙනවා, (2) මිනිස්සුන්ගේ පඩිත් වැඩි වෙලා, කියන කාරණා දෙකනේ. විශාල වශයෙන් සල්ලි අච්චු ගැහුවහම ඔය දෙකම වෙනවා. මිනිස්සු අතේ සල්ලි තියෙනවා වගේම ගණන් වැඩි වුනත් තවම ඒ බඩු මිල දී ගන්න මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නයම ඕක තමයි. මොකද අතේ ඒ විදිහට සල්ලි තියෙන මිනිස්සුන්ට ගන්න අවශ්‍ය තරම් භාණ්ඩ සැපයුමක් නැහැ. ඒ භාණ්ඩ සැපයුම දෙන්නනම් ආනයන කරන්න වෙනවා. ආනයන කරන්න ඩොලර් නැහැ. ඒ නිසා එන්න එන්නම මිල ඉහළ යනවා. මෙය නවත්වන්නනම් එක්කෝ බඩු මිල තවත් හොඳටම ඉහළ ගිහින් මිනිස්සුන්ට ඔය අච්චු ගහලා එළියට දමපු සල්ලි වලින් බඩු ගන්න බැරි වෙන මට්ටමක් දක්වා යන්න අරින්න වෙනවා. එහෙම නැත්නම් මොන විදිහෙන් හෝ මිනිස්සු අතේ තියෙන සල්ලි ආපහු අරගෙන මිනිස්සුන්ට බඩු ගන්න බැරි වෙන මට්ටමක් සකස් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔබේ වචන වලින් කිවුවොත් කෙළවිලා ඉන්න ලංකාවෙ මධ්‍යම පන්තියට සහ රජයේ සේවකයන්ට තවත් කෙළවෙන්න ඉඩ අරින්න වෙනවා. (මම මෙය කිසිසේත්ම ද්වේෂයකින් කියන දෙයක් නෙමෙයි.) මොකද ප්‍රශ්නයම ඔවුන් (පුද්ගලයින් ලෙස ඔවුන්ගේ වැරැද්දක් නොවුනත්). ඔවුන්ට අනිවාර්යයෙන්ම කෙළවීමට නියමිත (දැනට කෙලවිලා තියෙන තරම මොකක්ද කියා හිතෙන තරමට) මේ අවස්ථාවේ ඇති වන දේශපාලන ප්‍රතිරෝධය සමනය කර ගන්න අවශ්‍යනම් දේශපාලකයින්ටත් තමන්ගේ වරප්‍රසාද අතහැර සඳළුතල වලින් බිමට බහින්න වෙනවා. එයින් රජයට කොයි තරම් මුදලක් ඉතිරි වෙනවාද වැනි තර්ක වලින් මේ වෙලාවේ වැඩක් නැහැ. මේ හිර වෙලා ඉන්න වෙලාවේ ළූණු බිකත් යන්නේ බඩට. මම හිතන්නේ මෙය තීරුබදු රහිත වාහන, විශ්‍රාම වැටුප්, පෞද්ගලික කාර්ය මණ්ඩල, වාහන සංචිත, පෞද්ගලික ආරක්ෂාව ආදිය අත හැරීමට කාලයයි. මහජන නියෝජිතයින් නඩත්තු කිරීම අදාළ පක්ෂ වල සාමාජිකයින්ට භාර දී ඒ වෙනුවෙන් වැය වන මහජන මුදල් හැකිතාක් ඉතිරි කළ යුතුයි. උඩ තට්ටුව එවැනි කැප කිරීමක් නොකර අනෙක් අයට පටි තද කරගන්න කියන එකේ සදාචාරාත්මක වලංගු භාවයක් නැහැ. ඒ වගේම ඔය රටට ආදරේ බව කියන අයට රජයට මුදල් පරිත්‍යාග කිරීම සඳහා අරමුදලක් හැදිය යුතුයි. ඩොලර් ප්‍රශ්නය විසඳන්න යද්දී ඇති වන රුපියල් ප්‍රශ්නයට එවැන්නක් උදවුවක්. එයින් අයවැය හිඟයට යම් සහනයක් ලැබෙයි. ඒ වගේම රටට ආදරේ බව කියන අය කියන්නේ ඇත්තද කියලා බලාගන්න පුළුවන් වෙයි. යම් සීමාවකින් ඉහළ පඩි ලබන රජයේ සේවකයින්ටත් ප්‍රශ්නයෙන් ගොඩ යන තුරු තමන්ගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් ලබා නොගෙන ඉන්න පුළුවන්.

      Delete
  13. මේ පොලී ඉහල දැමීමෙන් අලුත් බිස්නස් ඇතිවෙන එක අඩු වෙලා ආර්තිකේ තවත් කඩන් වැටෙනව නේද?
    මහබැන්කුවයි ආන්ඩුවයි මේව කොන්ට්‍රෝල් නොකර ඉබේ ඈර්තිකේට හැදෙන්න දුන්නනම් මේ ප්‍රශ්නෙ ඉවර වෙලා ආර්තිකෙත් දියුනු වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. 1. ඔව්. එය මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම හරහා ආර්ථිකය පිළිසකර කිරීමේ යාන්ත්‍රණයේ කොටසක්.
      2. ඒ සඳහා වැඩි කාලයක් යනවා වගේම හානියද වැඩියි. ඒ වගේම මෙය ස්වභාවික හානියක්ම නෙමෙයි. මහ බැංකුව හා රජය විසින් කළ ආර්ථිකයට කළ බලපෑම ඔවුන් විසින්ම ඉවත් කළ යුතුයි.

      Delete
    2. රජය කල වැරදි යනුවෙන් ඔබ අදහස් කරන්නෙ කුමක්ද?බදු අඩු කිරීම වගෙ ඒවද?

      Delete
  14. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා වෙනස් කිරීම හොඳ තීරණයක්වේ. මම හිතන්නේ මේ තීරණ ගත්තේ IMF බලපෑම කියලයි. මොකද සාකච්ඡා ආරම්භ කිරීමට IMF එකට ඒ අයට විශ්වාශය තියන්න පුළුවන් අය ලංකාව පෑත්තෙන් අවශ්‍යයි. අනෙක් කාරණය මේ පත්වීම් විසඳුමේ කුඩා කොටසක් පමණයි. විදේශීය අදායම් සහ ආයෝජන වෑඩිකරන්න නම් විශ්වාශය තෑබිය හෑකි ආණ්ඩුවක් අවශ්‍යයි.

    ReplyDelete
  15. මහා බැංකුවට, මුදල් ඇමතිට, ලේකම්ට අයිඑම්එෆ් එකත් එක්ක කතා කරලා එකගතාවයකට එන්න පුලුවන්ද? රටේ දේශපාලනය අස්ථාවර නිසා ඔවුන් අහක බලයිද?

    ReplyDelete
    Replies
    1. මේ සාකච්ඡා බොහෝ දුරට නිලධාරී මට්ටමේ තාක්ෂණික සාකච්ඡා. ඒ සාකච්ඡා ඉදිරියට ගෙනයාම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් අවසාන වශයෙන් දේශපාලන අධිකාරියේ එකඟතාවය අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාවේදී දේශපාලන ස්ථාවරත්වයද අවශ්‍ය වෙනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...