වෙබ් ලිපිනය:

Wednesday, March 17, 2021

ශ්‍රී ලංකා ආර්ථිකය 3.6%කින් පල්ලම් බසී!

 

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව 2020 වසර තුළ ලංකාවේ ආර්ථිකය 3.6%කින් සංකෝචනය වී තිබෙනවා. නිදහසින් පසුව මීට පෙර මෙසේ ලංකාවේ ආර්ථිකය සංකෝචනය වී තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපොළට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ 2001 වසරේදී පමණයි. එම වසරේදී ලංකාවේ ආර්ථිකය 1.5%කින් හැකිළුනා. මෙවර ආර්ථිකය එමෙන් දෙගුණයකටත් වඩා වැඩියෙන් පල්ලම් බැස තිබෙනවා.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 වසරේ සිට ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුනා. 2019 වසරේදී ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනේ 2.2%කින් පමණයි. මේ අනුව, 2019 වර්ධනය වූ ප්‍රමාණයටත් වැඩියෙන් ආපස්සට ගොස් ලංකාවේ ආර්ථිකය නැවත 2018දී සිටි තැනට වැටී තිබෙනවා. 

වසරේ පළමු කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය 1.8කින් හැකිළුණු අතර දෙවන කාර්තුවේදී 16.4%කින් හැකිළුනා. අවසන් කාර්තු දෙක තුළදී 1.3% බැගින් වර්ධනය වී ඇතත් සමස්තයක් ලෙස වසර තුළදී ආර්ථිකය 3.6%කින් හැකිලී තිබෙනවා. මේ අනුව, 2020 වසරේදී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය රුපියල් බිලියන 14,973 දක්වා අඩු වී තිබෙනවා. නොවැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,818ක්. වසර අවසාන වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය හා දළ ජාතික නිෂ්පාදිතය ආසන්නව සමාන මට්ටමක තිබෙන්නට ඉඩ තිබෙනවා.

දෙවසරකට පෙර ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 මට්ටම ඉක්මවා සිටි ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙස නම් කෙරුණා. 2017 වසරේදී ඇමරිකන් ඩොලර් 4,077ක් වූ ලංකාවේ ඒක පුද්ගල ආදායම මේ වෙද්දී ඩොලර් 3,682 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මෙය 2014 සිටි තැනින්ද පහළට නැවත ආපසු යාමක්.

6 comments:

  1. ඉකොනෝලා එදා ඉදං කියනවා ලංකාවේ ආර්ථිකේ මෙච්චර පහල බැහැලය, තව ටික දොහකින් මෙහෙම වෙනවය, අරක මේක.

    ඒ උනාට එදා ඉදං අපි නං හැන්දෑවට අඩියක් ගහලා, කාන්තා ඇසුරේ යෙදිලා, විවේකයට රට රාජ්ජ වල ඇවිදලා කරලා ඉන්නවා විනෝදෙන්. ඉකොනොලා මේ කියන ආර්ථික ගැටළු කෝ? වසර 96/98 කාලේ වගේ කිව්වා 2000 වෙනකොට නියග එනවා, කන්න නැති වෙනවා අනං මනං බයිලා. ඒ කාලේ කිව්වා වසර 2020-2025 වෙනකොට බොරතෙල් ඉවර වෙනවා, බලශක්ති අර්බුධයක් එනවා, මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති වෙනවා, ඔක්සිජන් ටැංකි පිටේ බැදන් යන්න වෙනවා කතා.

    ඉකොනොලා ඉන්නේ මේ ලෝකේ නෙමෙයි. ඒකයි මෙහෙම ෆේල් වෙන්නේ බොරු මත කියලා. ආර්ථිකේ පහලට වැටුණු එකක් නැහැ. මිනිස්සුන්ගෙන් ඇහුවොත් නං කියයි මීට කලින් හොදට හිටියා, හැබැයි දැන් හරි නැහැ කියලා. ඒ හැටි. ගිය අවුරුද්දේ ෆුට් සයිකලේ ගිය ඩයල් එකත් මේ සැරේ ඇල්ටෝ එකක යද්දිත් කියන්නේ, ගිය පාර හොදයි දැන් සවුත්තුයි කියලා.

    ඉකොනොලා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. ඒක කිව්වට වටහා ගන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය ගොඩක් දේවල් මම කියල තියෙන දේවල් නෙමෙයි. කියල නැති දේවල් ගැන අදහස් පළ කිරීමේ හැකියාවක් නැහැ. අනෙක් එක මේ අවුරුද්ද වන තුරු (2001දී හැර) මීට පෙර කවදාවත් ආර්ථිකේ පහළට වැටුනේ නැහැ. මේ වැටුණු එකත් වසංගතය ඉවර වුනහම නැවත උඩට එයි. බොහෝ විට මේ අවුරුද්ද ඇතුළතම.

      Delete
  2. Care to elaborate 2015/2019 steady downhill without adverse global economic climate. (Yahapalana infighting)

    Global economy is expected to shrink by 4% due to covid in 2020, -3.6 is no surprise, however 2015-19 was big factor for -3.6 (Wijebahu)

    ReplyDelete
  3. //වසරේ පළමු කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය 1.8කින් හැකිළුණු අතර දෙවන කාර්තුවේදී 16.4%කින් හැකිළුනා. අවසන් කාර්තු දෙක තුළදී 1.3% බැගින් වර්ධනය වී ඇතත් සමස්තයක් ලෙස වසර තුළදී ආර්ථිකය 3.6%කින් හැකිලී තිබෙනවා.//
    මේ අගයයන් ගණනය කරන්නේ පසුගිය අවුරුද්දේ අදාළ කාර්තුවට අනුපාතිකවද? නැත්නම් එම අවුරුද්දෙම ඊට පෙර කාර්තුවට අනුපාතිකවද? ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මේ ගණනය කිරීම කරන්නේ පසුගිය අවුරුද්දේ අදාළ කාර්තුවට සාපේක්ෂවයි. දැන් මේ අවුරුද්දේ දෙවන කාර්තුවේදී 20%ක පමණ විශාල වර්ධනයක් එන බව කබ්රාල් විසින් විශ්වාසයෙන් යුතුව කියන්නේ ඒ නිසයි. 2020දී අඩු වුනු 16.4% නැවත 2019 මට්ටමට එන කොට ඒ හේතුව නිසා පමණක් 100/(100 - 16.4) = 19.6%ක වර්ධනයක් එනවා. නමුත් මේ 19.6%ක වර්ධනයෙන් කියන්නේ 2020 හා 2021 වසර වල කිසිම වර්ධනයක් නැහැ කියන එකයි. වර්ෂයකට 2.2% බැගින් වර්ධනය විය යුතුයි කියා හිතුවත් 2021 දෙවන කාර්තුවේදී 25%ක් එන්න ඕනෑ. (ඇමරිකාවේනම් පසුගිය කාර්තුවට සාපේක්ෂව ගණනය කර එය එය වාර්ෂික අනුපාතයක් බවට පරිවර්තනය කරනවා. ඒ නිසා මේ විශාල වර්ධනය 2020 තෙවන කාර්තුවේදීම ආවා.)

      Delete
  4. 'සංඛ්‍යා ලේඛන දත්ත නියායන් එක-එක විදිහට දැකිය හැකියි
    ඒව කියන අය හුඟක් වෙලාවට කියන්නෙ තමුන්ට ඕනි ටිකයි'
    බොරු ඇද බාන්න සක්විති උගතෙක් එක ඇත්තක් කිව්වා මතකයි
    තව මහැදුරෙකුත් දවසක් කිව්වා තවම රුපියලට සත සීයයි

    උගත්කම මිසක් විළිබිය නැති අය හිටු කියලා තනතුරුවලය
    මහජන මුදලින් වැටුප් වරදාන ගන්නෙ හිතක් නැති විලසින්ය
    ඒත් කමක් නැහැ, කාල ඉන්න බැරි පුරවැසි අප අන්දනකොටය
    මොනව කරන්නද අපි ඉපදීලා ඉන්නෙ සදා රැවටෙන්නටය

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...