වෙබ් ලිපිනය:

Monday, August 10, 2015

අගෝස්තු 17 මොකක් වෙයිද?



ඡන්දයට තව ඇත්තේ සුමානයකි. එහෙත්, සාපේක්ෂව ඇත්තේ නිහඬතාවයකි. මේ නිහඬතාවයට යහපාලන ප්‍රතිපත්ති යම් තරමකට දායක වී ඇතත් ප්‍රතිඵලය පිළිබඳව ඇති අවිනිශ්චිතතාවද මෙයට හේතු වී ඇති බව මගේ අදහසයි. මෙවර රත්නපුර දිස්ත්‍රික්කයේ එජාපෙ අපේක්ෂකයෙකු වන සතර දිගන්තයේ කරුගේ වචන වලින් මේ තත්ත්වය ඇවිලී ඇති දහයියා ගොඩකි. දහයියා ගොඩක් ඇවිලුණු විට මතුපිටින් ගිණිදැල් නොපෙනේ. ඒ නිසා ඇතුලින් සිදුවන දෙය දැනගැනීම අපහසුය. එහෙත්, ඇවිලුණු දහයියා ගොඩක් ලේසියෙන් නිවෙන්නේ නැති අතර එහි රස්නයද සුළුපටු නැත.

ජනාධිපතිවරණය ආසන්නයේදීනම් මේ වන විට බොහෝ විශ්ලේෂණ කෙරී තිබුණේය. එහෙත් මෙවර තමන් කැමති ප්‍රතිඵල, සංඛ්‍යාත්මක නොවන විශ්ලේෂණ හා පැහැදිලි පදනමක් නොමැති සංඛ්‍යාත්මක විශ්ලේෂණ කිහිපයක් හැරුණු විට වැඩි දෙයක් පෙනෙන්නට නැත. මෙයට එක් හේතුවක්නම් අපේ වත්මන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වන සමානුපාතික නියෝජන ක්‍රමය ජනාධිපති මැතිවරණ ක්‍රමය මෙන් සරල එකක් නොවීමය. එක් එක් පක්ෂය ලබාගන්නා ඡන්ද ගණන හරියටම දැනගැනීමෙන් පසුව වුවද ඒ ඒ පක්ෂ වලට හිමිවන මන්ත්‍රී ධුර ගනන නිශ්චය කිරීම තරමක් අසීරු ගණිතමය කාර්යයකි.

සතියකින් ලිහන්නට ඇති මල්ල දැන් එබීමෙන් ලොකු වැඩක් නොවේ. එහෙත්, අගෝස්තු 17 ලැබිය හැකි ප්‍රතිඵලය ගැන යම් විශ්ලේෂණයක් කිරීමේ පොඩි ෆන් එකක් තිබේ.

අපේ සමානුපාතික ක්‍රමය සංකීර්ණ එකකි. මෙහිදී මන්ත්‍රී ධුර වෙන් කෙරෙන්නේ දිස්ත්‍රික්ක පදනමකිනි. දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර ගණනින් එකක් අදාළ දිස්ත්‍රික්කය තුළ ඉදිරියෙන්ම සිටින පක්ෂයට හිමිවන අතර ඉතිරි මන්ත්‍රීධුර ලබාගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව බෙදීයයි. කෙසේ වුවද, දිස්ත්‍රික්කයකින් 5%ක ඡන්ද ලබා සල්ලන් නොවන පක්ෂයකට හෝ කණ්ඩායමකට මන්ත්‍රීධුර හිමි නොවේ. මේ අතර මන්ත්‍රී ධුරයක් සඳහා අවශ්‍ය ඡන්ද ගණන නොමැතිව 'කොටෙන් ගොඩයාමේ' හැකියාවක්ද තිබේ. මේ ක්‍රමය අනුව දිස්ත්‍රික්කයක වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට සාපේක්ෂව වැඩි වාසියක් අත්වන අතර බොහෝ විට ඡන්ද ප්‍රතිශත සුළු වශයෙන් වෙනස් වුවත් දිස්ත්‍රික්කයක මන්ත්‍රී ධුර බෙදෙන ආකාරය වෙනස් නොවේ.

මෙය උදාහරණයකින් පැහැදිලි කිරීම පහසුය. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මන්ත්‍රීධුර ගණන 7කි. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන පක්ෂයට හිමිවන අතර ඉතිරි මන්ත්‍රීධුර හය එක් එක් පක්ෂය හෝ කණ්ඩායම ලබාගන්නා ඡන්ද ප්‍රමාණය අනුව තීරණය වේ. මේ අනුව, මන්ත්‍රීධුරයක් ලබාගැනීම සඳහා 'අදාල ඡන්ද සංඛ්‍යාවෙන්' 1/6ක් ලබා ගත යුතුය. අදාල ඡන්ද සංඛ්‍යාව වනුයේ 5% ඉක්මවන පක්ෂ හා කණ්ඩායම් විසින් ලබාගන්නා ඡන්ද වල එකතුවයි. මැතිවරණ කොමසාරිස් විසින් මේ ගණනය කිරීම ව්‍යවස්ථාවේ ඇති ආකාරයට ඡන්ද සංඛ්‍යාව අනුවම කළත් ඡන්ද ප්‍රතිශත යොදාගත් විටද ගණිතමය ලෙස සිදුවන්නේ මේ දෙයමය. ඒ නිසා පහසුව සඳහා අපි ඡන්ද ප්‍රතිශත යොදාගනිමු.

පසුගිය ජනවාරි සිට මේ දක්වා දේශපාලන පෙළගැස්මේ විශාල වෙනසක් සිදුවී නොමැත. ඒ නිසා ජනවාරි ප්‍රතිඵලය විශ්ලේෂණයක් සඳහා හොඳ ආරම්භක ප්‍රවේශයකැයි මම සිතමි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද බෙදුනේ පහත පරිදිය.
මහින්ද- 63.02%
මෛත්‍රී- 35.93%
වෙනත්- 1.05%

පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදුවී ඇති ප්‍රධානම වෙනස මෛත්‍රීට හිමි වූ 35.93% එජාපෙ සහ ජවිපෙ අතර බෙදී යාමයි. මෑතකාලීන මැතිවරණ සියල්ලේදීම හම්බන්තොටින් ජවිපෙ මෙන්ම එජාපයද 5%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ. ඒ අනුව මෙවරද මේ කණ්ඩායම් දෙකම සල්ලන් වනු ඇත. මේ අනුව 'අදාල ඡන්ද ප්‍රතිශතය' 98.95%ක් වේ. එමෙන්ම එජනිසය හම්බන්තොටින් දෙවන තැනට වැටීම සිදුවිය නොහැකි තරම්ය. ඒ අනුව බෝනස් මන්ත්‍රී ධුරය හිමිවන්නේ එජනිසයටය. ඉතිරි ආසන හයෙන් එකක් ලබාගැනීමටනම් 16.49%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වේ. එජනිසයට තවත් මන්ත්‍රී ධුර තුනක් වෙන් කිරීමෙන් පසුවද (63.03 - 16.49x3) තවත් 13.56%ක ඡන්ද ප්‍රතිශතයක් ඉතිරිවේ. එමෙන්ම එජාපෙ ප්‍රතිශතය 16.49% ඉක්මවන බව පැහැදිලි නිසා ඔවුන්ටද මන්ත්‍රී ධුරයක් වෙන් කළ පසු මෛත්‍රී ලැබූ ඡන්ද වලින් (35.93-16.49) 19.44%ක් ඉතිරි වේ. මේ 19.44% කුමන අයුරකින් එජාපෙ සහ ජවිපෙ අතර බෙදුනත් එජනිසයට ඉතිරිව ඇති 13.56%ට වඩා විශාල කොටස් දෙකක් නොසෑදෙන බැවින් එජනිසයේ 13.56%ට තවත් මන්ත්‍රී ධුරයක් හිමිවේ. දැන් එජනිසයට මන්ත්‍රීධුර 5කි. එජාපෙට 1කි. ඉතිරි මන්ත්‍රී ධුරයේ හිමිකම තීරණය වන්නේ ජවිපෙ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුවය. ප්‍රතිශතයක් වශයෙන් ජවිපෙ ඡන්ද ප්‍රමාණය (19.44/2) 9.72%ට වැඩිනම් ජවිපෙට මන්ත්‍රී ධුරයක් හිමිවන අතර එසේ නැතහොත් එජාපෙට තවත් මන්ත්‍රී ධුරයක් හිමිවී එජාපෙ මන්ත්‍රීධුර ගණන 2ක් වනු ඇත. පසුගිය මැතිවරණයේදේ ජවිපෙට හම්බන්තොටින් මේ ඡන්ද ප්‍රමාණය ලබාගත නොහැකි වූ අතර මෙවර ජවිපෙට ඇති රැල්ල සහ හම්බන්තොට ජවිපෙ අතීතය අනුව මෙවර හම්බන්තොටින් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට ජවිපෙට අවස්ථාවක් ඇතත් යම් අවිනිශ්චිතතාවක්ද පවතී.

වැදගත් කරුණනම් ජනවාරි ඡන්ද පදනම් එසේම පැවතුණහොත් එජනිස-එජාපෙ-ජවිපෙ කඳවුරු අතර හම්බන්තොට මන්ත්‍රී ධුර බෙදෙන්නේ 5-1-1 හෝ 5-2-0 ලෙස බවයි. ජනවාරි උපකල්පනය යටතේ එජාපෙ ජවිපෙ අතර බෙදීම අවිනිශ්චිත වුවත් එජනිසයට 5/7ක් ලැබීම ස්ථිරය.

කෙසේ වුවද, ජනවාරි ඡන්ද පදනම එජනිසයේ උපරිම සීමාවයි. රාජ්‍ය බලය උපරිම ලෙස යොදා ගනිමින් සහ ගම් පළාතේ කෙනෙකු වීම තුළ මහින්ද ලබාගත් මේ ඉහළ ඡන්ද ප්‍රතිශතය මෙවර ලබා ගැනීම අපහසු විය හැකිය. ප්‍රතිඵලය වෙනස් වීමටනම් එජනිස ඡන්ද ඉවත්වීම හෝ එජාපෙ-ජවිපෙ ඡන්ද ඉහළයාම සිදුවිය යුතුය. රාජ්‍ය බලයේ බලපෑම ඉවත් වූ විට බොහෝ විට සිදුවන්නේ පාක්ෂිකයින් ඡන්ද පොලට ආකර්ශනය වීම අඩුවීමයි. මේ අනුව මහින්දට ලැබුණු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් මෙවර භාවිතා නොවීමේ ඉඩකඩක් ඇති අතර එයින්යම් ප්‍රමාණයක් එජාපෙ සහ ජවිපෙ වෙත ආකර්ශනය විය හැකිය. මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට රැල්ල ඇති බව පෙනෙන්නේ ජවිපෙ දෙසටය. එහෙත්, ජවිපෙට රැස්වීම් වලට සෙනඟ එන තරමට ඡන්ද නැති බවද මතයකි. මේ නිසා ජවිපෙ විසින් තනිවම තරඟකර 'අරගෙන පෙන්වූ' හොඳම ප්‍රතිඵලය වන 2001 මැතිවරණයේදී ජවිපෙ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණයක් සඳහා හොඳ ආරම්භයකි. 2001දී ජවිපෙට හම්බන්තොටින් 21.33%ක් ලබා ගත හැකි විය.

ජවිපෙ දැනට තනිව ලඟා වී ඇති උපරිමය වන 21.33%ක් ලබා ගත්තද ඔවුන්ට හම්බන්තොටින් ලැබෙන්නේ එක් මන්ත්‍රීධුරයක් පමණි. මෙවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂිත ප්‍රතිඵලය වන 5-1-1 වෙනස් කිරීමටනම් කොපමණ එජනිස ඡන්ද ප්‍රමාණයක් (ප්‍රතිශතයක් ලෙස) එජාපෙ වෙත සම්ප්‍රේෂණය විය යුතුද?

හම්බන්තොටින් මහින්ද ලබාගත් එජනිස ඡන්ද වලින් 12%ක් එනම්, 7.56%ක් එජාපෙ වෙත මාරු වූයේයැයි සිතමු. දැන් එජනිස-එජාපෙ-ජවිපෙ ඡන්ද බෙදීම 55.46%-22.06%-21.33% ලෙසිනි. සමානුපාතික ක්‍රමය අනුව මේ තත්ත්වය යටතේ වුවද එජනිස-එජාපෙ-ජවිපෙ අතර මන්ත්‍රී ධුර බෙදෙන්නේ 5-1-1 වශයෙන්මය. ප්‍රතිඵලය 4-2-1 ලෙස වෙනස්වීමට එජනිස ජනවාරි ඡන්ද වලින් 15%ක් පමණ ඉවත් විය යුතු අතර එජනිසට මීටත් වඩා අඩු මන්ත්‍රී ධුර ගණනක් ලැබීමටනම් ඉතා විශාල පරිවර්තනයක් සිදුවිය යුතුය.

අනෙත් දිස්ත්‍රික්ක සඳහාද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිය. මෙහිදී යම් උපකල්පන කිරීමට සිදුවේ. උපකල්පන පදනම් වන්නේ නිරීක්ෂණ මතය. ඒවා මෙසේය.
1. ජනවාරි මාසයේදී මෛත්‍රීට ඡන්දය දුන් කොටස් පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට ඡන්දය දීමේ රැල්ලක් නැත. මහින්ද ලබාගත් ඡන්ද ලක්ෂ 58 එජනිසයට ලබා ගත හැකි උපරිම සීමාවකි. රාජ්‍ය බලය මැතිවරණය සඳහා යොදා ගැනීමේ අපහසුතාව නිසා මෙයින් කොටසක් ගිලිහෙනු ඇත. එහෙත්, යහපාලන ප්‍රතිපත්ති මත රාජ්‍යබලය අයුතු ලෙස යොදාගැනීමට එජාපෙටටද නොහැකි නිසා මේ ඡන්ද වැඩි ප්‍රමාණයක් එජාපෙට මාරු නොවී භාවිතා නොවූ ඡන්ද බවට පත් වනු ඇත.
2. මෛත්‍රීට ඡන්දය ලබා දුන් ඡන්ද ලක්ෂ 62 ප්‍රධාන වශයෙන්ම එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ කඳවුරු අතර බෙදී යනු ඇත. ලක්ෂ 62න් (දිස්ත්‍රික් පදනම මත) ජවිපෙ සහ ටීඑන්ඒ ඡන්ද ඉවත්කළ විට ඉතිරිවන ප්‍රමාණය එජාපෙට ලබා ගතහැකි ප්‍රමාණයයි. මෛත්‍රීට ලැබුණු ඡන්ද එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ ඡන්ද ලෙස විසංයෝජනය කිරීම තරමක් අසීරු කාර්යයයකි. ඒ සඳහා යම් උපකල්පන අවශ්‍ය වේ.
3. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් 5% සීමාවට ලඟා නොවනු ඇති අතර ලක්ෂ 62න් යම් ඡන්ද ප්‍රමාණයක් 'නාස්ති කරනු' ඇත. මේ ඡන්ද වලින් ජාතික ලැයිස්තුවේ කොටයක් ලැබීමේ ඉඩකඩක් පවතී. පහසුව තකා මේ සාධකය නොසලකා හැර ඇත.
4. ජවිපෙ දිශාවට රැල්ලක් පෙනෙන්නට තිබේ. එහෙත්, මේ ඡන්ද ජනවාරි මාසයේදී මෛත්‍රීට ලැබුණු ඡන්ද මිස මහින්දට ලැබුණු ඡන්ද නොවේ. ඒ නිසා හානිය ඇත්තේ මහින්දට නොව එජාපෙටය. එජනිසට මෙන්ම එජාපෙටද රාජ්‍ය සම්පත් යුතු ලෙස යොදා ගැනීමට සහ මැතිවරණ නීති උල්ලංඝනයට ඉඩ ඇහිරී තිබීමේ වාසියද සම්ප්‍රදායික සහ වෙනස් මාදිලියක ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරන ජවිපෙටය.
5. විනිශ්චය කිරීමට අපහසුම ජවිපෙ ඡන්ද පදනමයි. මා සිතන පරිදි පසුගිය මැතිවරණයේදී ප්‍රපෙ යටතේ ජවිපෙ ලැබූ ඡන්ද එහි අවම සීමාවයි. සන්ධානය යටතේ තරඟ කර ජවිපෙ ලැබූ මන්ත්‍රීධුර ගණන ජවිපෙට තනිව තරඟ කර ලඟා විය නොහැකි සීමාවකි. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිඵලය ජවිපෙට තනිව තරඟ කර ලඟා විය හැකි ඉලක්කයකි.
6. විනිශ්චය කිරීම වඩාත් පහසු ටීඑන්ඒ ඡන්ද පදනමයි. ප්‍රාදේශීය මැතිවරණයක් වූ උතුරු පළාත් සභා ඉලක්කයට ඔවුන් ලඟා නොවනු ඇත. එහෙත්, 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ සියල්ල එකතුව ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් ඔවුන් ඉක්මවනු ඇත.
7. හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු කණ්ඩායම්ද, ශ්‍රීලනිප මෛත්‍රී පිලේ ඡන්ද පදනමක් තිබුණු කිහිපදෙනාද ජනවාරියේද සිටියේ මෛත්‍රී සමඟ නිසාත් දැනට සිටින්නේ එජාපෙ සමඟ නිසාත් ඡන්ද වලට බලපෑමක් නැත. මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කරන මඩකලපුවේ ප්‍රතිඵලයද එජාපෙ යටතේම දක්වා තිබේ.
8. දුමින්ද දිසානායක මෛත්‍රී සමඟ සිටියදීද අනුරාධපුර ජයග්‍රහණය කළේ මහින්දයි. ඔහු එජනිසයේ සිටීමෙන් එජාපෙට විශේෂ අවාසියක් නොවන අතර ශ්‍රීලනිපයේ මෛත්‍රී පිලට වාසියක් වීම පමණක් සිදුවේ. මෛත්‍රී නිසා වෙනස් වූ පොලොන්නරුව ඡන්ද ප්‍රතිඵලය පමණක් එජනිසයට වාසිදායක ලෙස වෙනස් වනු ඇත. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් එජනිසට වාසිදායක ලෙස වෙනස් වේ. (මෛත්‍රී පොලොන්නරුවේදී එජාපෙට යටින් උදවු කරනවානම් මෙය එසේ නොවිය හැකිය.)
9. රිෂාඩ් බදුර්දීන් සාධකය නිසා මහින්දට ලැබුණු වන්නි ඡන්ද එජාපෙට මාරුවනු ඇත. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් එජාපෙට වාසිදායක ලෙස වෙනස් වනු ඇත.
10. කම්කරු කොන්ග්‍රසයේ ඡන්ද තවදුරටත් එජනිසය සමඟ රැඳෙනු ඇත. ඔවුන් තනිව තරඟ කරන දිස්ත්‍රික් තුනේදී මහින්දගේ ඡන්ද යම් ප්‍රමාණයක්ද, මෛත්‍රීට ලැබුණු ඉන්දියානු දෙමල ඡන්ද යම් ප්‍රමාණයක්ද 'නාස්ති කරනු' ඇත.
11. බොදුබලසේනාවද යම් ගිනිය හැකි ඡන්ද ප්‍රමාණයක් නාස්ති කරනු ඇති බව මගේ අදහසයි. මේ ප්‍රමාණය පෙසප ලබාගන්නා ඡන්ද ප්‍රමාණය ඉක්මවනු ඇති අතර ප්‍රධාන වශයෙන් මහින්දගේ ඡන්ද සහ සුළු ප්‍රමාණයක් මෛත්‍රීට ලැබුණු හෙළ උරුම ඡන්ද වනු ඇත. විශේලේෂණයේදී මේ සාධක නොසලකා හැර ඇත.

බොහෝ දෙනෙකුට ඇති ප්‍රධානම ප්‍රශ්නය මහින්ද නැවත අගමැති වේද යන්නයි. මහින්දගේ අපේක්ෂාව එජනිසයට ආසන 117කි. මේ අනුව, මගේ පළමු විශ්ලේෂණය කෙරෙන්නේ එජනිසයට වඩාත්ම වාසිදායක තත්ත්වයන් යටතේය. මෙහිදී, මහින්දගේ ජනවාරි ඡන්ද පදනම නොවෙනස්ව තබා මෛත්‍රීගේ ඡන්ද එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ අතර බෙදා තිබේ. එජනිසට වඩාත්ම වාසි සහ එජාපෙට වඩාත්ම අවාසි වන්නේ මෛත්‍රීගේ ඡන්ද වැඩිම ප්‍රමාණයක් ජවිපෙ විසින් කඩාගත් විටය. මේ අනුව ජවිපෙ මෙතෙක් තනිව ලබාගත් හොඳම ඡන්ද ප්‍රතිශත වන 2001 මැතිවරණයේදී ලබාගත් ප්‍රතිශත ඔවුන්ට වෙන්කර ඇත. ටීඑන්ඒ ඡන්ද වෙන්කිරීම ඉහත අංක 6 අනුවය. මෙයට අමතරව පොළොන්නරුවේ මෛත්‍රී සාධකය සහ වන්නියේ බදුර්දීන් සාධකය සලකා බලා තිබේ. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.



දෙවන විශ්ලේෂණය පිළියෙළ කර ඇත්තේ එජාපෙට වාසිදායක වන ලෙසින්ය. මෙහිදී මහින්දගේ ඡන්ද වලින් 15%ක් ඉවත් කර එයින් 1/3ක් එනම් 5% එජාපෙ ගොඩට එක් කර තිබේ. ජවිපෙ ඡන්දද 2001 උපරිමයෙන් 50%කට සීමා කර ඇති අතර මේ අනුව ඉතිරි 50% එජාපෙ ගොඩෙහි රැඳේ. අනෙතුත් සාධක සියල්ල නොවෙනස්ව තබා ඇත. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.


තෙවන විශ්ලේෂණය ඉහත තත්වයයන් දෙකට වඩා තරමක් ප්‍රායෝගිකයැයි මා සිතන අතරමැදි තත්ත්වයකි. මේ විශ්ලේෂණය දෙවන වගුව පිළියෙළ කිරීමට යොදාගත් විශ්ලේෂණයෙන් වෙනස් වන්නේ එක් කරුණකින් පමණි. දෙවන වගුව පිළියෙළ කිරීමේදී 2001 උපරිමයෙන් 50%කට සීමා කර ඇති ජවිපෙ ඡන්ද ප්‍රතිශත දෙවන වගුව පිළියෙළ කිරීමේදී එම උපරිමයෙන් 75% දක්වා ඉහළ නංවා තිබේ. අනෙතුත් සාධක සියල්ල නොවෙනස්ව තබා ඇත. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.


වඩා ප්‍රායෝගික තෙවන විශ්ලේෂණය අනුව පමණක් නොව දෙවන වගුවේ ඇති එජාපෙට වාසිදායක තත්ත්වය තුළ වුවද එජාපෙට බහුතරය ලබාගත නොහැකිය. එජාපෙට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටනම් මහින්ද ලබාගත් ඡන්ද පදනමේ ඉතා විශාල නායයාමක් සිදුවිය යුතුය. කෙසේ වුවද, එජනිසයේ මෛත්‍රී පිලේ සහයෝගය ලබා රජයක් පිහිටුවීමේ හැකියාව තෙවන වගුවේ ඇති ප්‍රතිඵලය යටතේද එජාපෙට තිබේ. වත්මන් පෙළගැස්ම අනුව දෙවන හා තෙවන ප්‍රතිඵල යටතේ එජනිසයට රජයක් පිහිටුවීම අසීරු කාර්යයකි.

අනෙක් අතට පළමු වගුවේ ඇති එජනිසට වාසිදායක තත්ත්වය යටතේ වුවද මහින්දගේ කණ්ඩායමට බහුතරයක් නොලැබේ. එජනිසට බහුතරය ලබාගැනීමටනම් ජනවාරි ඡන්ද පදනම ඉක්මවිය යුතුය. එහෙත් ජනවාරි ඡන්ද පදනම රැකගත හැකිනම් එජනිසට බහුතරයට ආසන්න විය හැකිය. එජනිස මන්ත්‍රී ධුර ගණන මේ තරමට වැඩිවනවිට මහින්ද විරෝධීන් සැලකිය යුතු පිරිසක්ද තෝරා පත් වීම නොවැලැක්විය හැකිය. රනිල්ට අගමැති වීමටනම් මේ අයගෙන් අඩුවශයෙන් 31 දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වේ. මහින්ද විරෝධීන් මෙපමණ ප්‍රමාණයක් එජනිස ලැයිස්තු වලින් තෝරා පත්වීම අවිනිශ්චිතය.

එජාපෙ කණ්ඩායම තුලින්ද මහින්ද විරෝධී ශ්‍රීලනිප, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය වැනි පසුගිය රජයේ පාර්ශ්වකරුවන් වූ මන්ත්‍රීවරු පත්වන නිසාත්, පිල් මාරුවට සුදානම් එජාපෙ මන්ත්‍රීවරුන්ද සිටින නිසාත් මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප රජයක් බිහිවීමේ වැඩි හැකියාවක් පවතී. විශේෂයෙන්ම මහින්ද නොවන වෙනත් ශ්‍රීලනිප සාමාජිකයෙකු අගමැති ධුරයට පත්කරගැනීම සඳහා එකඟතාවක් ඇතිවීමට පුළුල් ඉඩකඩක් තිබේ. මහින්ද අගමැති නොවන එවැනි ශ්‍රීලනිප රජයක් වුවද මහින්ද ප්‍රධාන කණ්ඩායමේ විශාල බලපෑමක් ඇති රජයක් වනු ඇත.

අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය තවමත් විවෘත බවයි. එජාපෙට රජයක් පිහිටුවීමට වැඩි ඉඩකඩක් ඇතත් එය නිශ්චිත ඉඩකඩක් නොවේ. වඩාත් ඉඩකඩ ඇත්තේ මේ පරාසය තුළ ප්‍රතිඵලයකට වුවත් දහයියා ගොඩ ඇතුලෙන් ඇවිලී ඇති ප්‍රමාණය නොපෙනෙන බැවින් මේ පරාසයෙන් පිටත විශාල ලෙස වෙනස් ප්‍රතිඵලයක් ලැබීමද සිදුවිය නොහැකි දෙයක් නොවේ.

30 comments:

  1. මට හිතෙන්නේ ඔය චාට් වල තියෙන දේ බැලුවම පැහැදිලි බහුතරයක් කාටවත් ලැබෙන එකක් නෑ..

    ReplyDelete
  2. ඉතාම හොද විග්‍රහයක්. මට හිතෙන්නෙ දෙවැනි හා තුන්වැනි ඒවා සිදුවිය හැකි ඉඩ වැඩියි කියල. එජනිසය කේන්දරකාර තක්කඩි පස්සෙ ගිහින් වැරදි කීපයක්ම කළා. ඌව පළාතෙ රතු එළිය දැල්වුනාට පස්සෙ ජනාධිපතිවරණයක් තැබීම මෝඩ කමක්.

    දැන් කළ යුත්තෙ මහින්ද අගමැති තරගයෙන් ඉවත්වී වෙන කෙනෙකුට අවස්ථාව දීම. එජනිසය බේරාගත හැකි එකම ක්‍රමය එයයි.එජාපය ඊලඟ රජය පිහිටවීමට අවශ්‍ය වාතාවරණය සැකසී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ඉතාම හොද විග්‍රහයක් යන්න පිළිබඳ විවාදයක් නෑ. ඒත්,

      'දැන් කළ යුත්තෙ මහින්ද අගමැති තරගයෙන් ඉවත්වී වෙන කෙනෙකුට අවස්ථාව දීම. එජනිසය බේරාගත හැකි එකම ක්‍රමය එයයි.' යන කතාව අපබ්‍රංශයක්. එ.ජ.නි.සං. බේරා ගැනීම මේ මැතිවරණයේ තේමා පාඨයක් වන්නේ නම් ඒ චෞර රැජිණට ම පමණයි.

      මධ්‍යස්ථ මතධාරියා ඒ ගැන වෙහෙසෙන්නේ ඇයි?

      Delete
    2. අළුත් කෙනෙකුට අළුත් ගමනක් යන්න ලේසියි. 1977 පැරදුන සිරිම වෙනුවට ආවෙ චන්ද්‍රිකා. දැන් පැරදුන මහින්දට එක එක චෝදනත් එක්ක ඉදිරිය අමාරුයි.මහින්ද වටේ හිටපු හොරු අයින් කරල වැදගත් මිනිස්සු ටිකක් දාල අළුත් කෙනෙක් එක්ක ( මහින්ද අනුශාසක ලෙස ඉදිමින් )පක්ෂය පනගැන්විය යුතුයි.
      එජාපයෙත් දැන් ඔක්කොම අළුත්නෙ. 2004 දි කෝප් චෝදනා එල්ලවුන හොරු මහින්ද ලගට අරන් පවු සමා කළානෙ. ඔවුන්ගෙ පවු කද උස්සගෙන යන්න බැරිවයි මහින්ද වැටුනෙත්.එතනෝල් කුඩු කතා අහන්න වුනේ ඒකනෙ.

      මම කිව්වෙ ප්‍රායෝගික පැත්ත. හැබැයි මගෙ කොමෙන්ට් එක පෝස්ට් එකට ගැලපෙන්නෙ නෑ කියල මටම හිතුන පස්සෙ

      Delete
    3. චාට් වල තියෙන දේ බැලුවම පැහැදිලි බහුතරයක් කාටවත් ලැබෙන එකක් නැති උනාට UNP ය ආසන 113 පන්නනවා බඩු ෂුවර්.

      Delete
  3. 18 දවල් වෙනකොට මේ සමීක්ෂණ වාර්තා අපට සසදන්න හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. මේවා සමීක්ෂණ වාර්තානම් නෙමෙයි, නලීන්. මා සඳහන් කර ඇති අයුරින් පරණ ප්‍රතිපල අනුව ගණනය කළ විට පෙනෙන චිත්‍රය පමණයි. මා කියන්නේ මෙයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබීමටනම් ඡන්දදායක චර්යාවේ විශාල වෙනසක් සිදුවිය යුතු බව මිසක් එසේ වීමට නොහැකි බව නොවෙයි. එවැනි විශාල වෙනස්කම් සිදුවූ අවස්ථාත් ඉතිහාසයේ තිබෙනවා.

      Delete
  4. ඉතාම හොඳ විග්‍රහයක්, ඉළඟ පාර්ලිමේන්තුවත් අම්බරුවන්ගේ රජදහනක් බව නම් හොඳටෝම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ගව හිංසනය පිටුදකිමුAugust 15, 2015 at 2:08 AM

      හිටපු මුදුනත් එක්ක පරණ පාර්ලිමේන්තුවේ අම්බරුවන් 30-40 කොක්කට යන බව නම් හොඳටෝම පැහැදිලියි.

      Delete
  5. ඔබගේ විශ්ලේෂණය වැරදියි. කළුතර එජාපයට ඉතාම අවාසි තත්වයේදි උවත් ආසන 4 එන එක වලක්වන්න බැහැ. එවැනි වැරදි තව ගොඩක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මගේ උපකල්පන වැරදි විය හැකිය. එහෙත්, මෙහි සඳහන් කර ඇති උපකල්පන යටතේ ගණනය කිරීම් නිවැරදිය. ජනවාරි ප්‍රතිඵලය අනුව, කළුතර ඡන්ද මහින්ද 52.65% සහ මෛත්‍රී 46.46% ලෙස බෙදුණේය. පළමු වගුව මා ගණනය කර ඇත්තේ මහින්දගේ ඡන්ද සියල්ල අගෝස්තුවේදීත් එජනිසටම ලැබෙන තත්ත්වය යටතේය. මෙහිදී මෛත්‍රී ලැබූ ඡන්ද වලින් ජවිපෙ විසින් අඩු වශයෙන් 6.56%ක් ලබාගතහොත් (එජාපෙ ඡන්ද ප්‍රතිශතය 39.9% දක්වා අඩුවුණොත්) සමානුපාතික ක්‍රමය අනුව මන්ත්‍රීධුර බෙදෙන්නේ 6-3-1 ලෙසිනි. මෙය කෙසේවත්ම සිදුවිය නොහැකි දෙයක් බව මට නොසිතේ. ඔබ සිතන පරිදි එජාපයට ඉතාම අවාසි තත්ත්වයකදී, එජනිස-එජාපෙ-ජවිපෙ අතර ඡන්ද බෙදී යනු ඇත්තේ (ප්‍රතිශත ලෙස) කෙසේද? වෙනත්, දිස්ත්‍රික්කයක් සම්බන්ධව වුවද ඡන්ද බෙදෙන ආකාරය ගැන මට වඩා පැහැදිලි අවබෝධයක් ඔබට තිබිය හැකිය. ඔබ සිතන අයුරු ඡන්ද ප්‍රතිශත ලෙස සංඛ්‍යාත්මකව දැක්විය හැකිනම් වඩා වටී.

      Delete
    2. ඔව්. ඒක තමයි මටත් කියන්න ඕන උනේ. උපකල්පන වැරදියි. එජාපයට ඉතාම අවාසිදායක තත්වෙකදී කළුතරින් මරා ගන්නේ 45% විතරයි.

      Delete
    3. ස්තුතියි, ඇනෝ! පසුගිය මාස කිහිපය තුල ඡන්දදායකයින් වෙනස්වී ඇති ආකාරය පිළිබඳව ප්‍රදේශයේ ජීවත්වන කෙනෙකු විය හැකි ඔබට ඇති අවබෝධය මට නැත. කළුතර එජනිස ප්‍රතිශතය 45%කට සීමා වේනම් එජාපෙට මුල්තැනට පැමිණ බෝනස් ආසනයද සමඟ මන්ත්‍රී ධුර 5ක් ලබා ගැනීමේ හැකියාවක් වුවද තිබේ. එවැනි රැල්ලක් එජාපෙ දෙසට ඇත්නම් අනෙක් දිස්ත්‍රික්ක වල ප්‍රතිඵලද (ඔබ සිතනවායැයි මා සිතන පරිදි) එජාපෙට වාසිදායක හා එජනිසට අවාසිදායක ලෙස වෙනස් විය හැකිය

      Delete
    4. නැත. එජාපෙට ඉතුරු ඔක්කොම යන්නේ නැහැනේ. ජේවීපී එකට කොච්චරක් යනවද කියන එක මත එජාපෙ ජය පරාජය තීරණය වෙයි.

      Delete
  6. සත්‍යය කටුකයි.

    මට නම් ඕනෑ ප්‍රධාන පක්‍ෂ දෙකින් එකකටවත් අති බහුතරය නොයන, ජවිපෙට සෑහෙන්න බලයක් එන සමතුලිත පාර්ලිමේන්තුවක්!

    ReplyDelete
    Replies
    1. සත්‍යය කටුකයි. ඒත් සත්‍යයට මුහුණදිය යුතුයි. සත්‍යය අවබෝධ කරගැනීම සත්‍යයට මුහුණදීමට පහසුවක්.

      ඔබ කැමති දෙය සිදුවීමට මහින්දගේ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ජවිපෙට මාරු විය යුතුය. එහෙත් ජවිපෙට ඡන්ද වැඩි වීමේදී බොහෝ දුරට සිදුවන්නේ මෛත්‍රීට ලැබුණු ඡන්ද වල සංයුතියේ වෙනසකි.

      Delete
  7. මේ වතාවෙනම් පැහැදිළි බහුතරයක් කාටවත් එන එකක් නම් නෑ.. අනිත් පැති වලින් කට්ටිය එකතු කරන් තමයි කරන සෙල්ලමක් දාන්න වෙන්නේ..

    ReplyDelete
  8. +++++ UNP ........UPFA..........JVP........ TNA.......... Other
    Colombo ...10 ............... 7 ............. 2
    Gampaha ... 8 ...............9 ...............1
    Kaluthara ... 4...............5 ............... 1
    Kandy ........ 7 ............. 5................ 0
    Nuwaraeliya.. 5.............. 3............. 0
    Mathale....... 2............ 3 ............ 0
    Galle......... 4.............. 6........... 0
    Mathara...... 3 ............. 5............. 0
    Hambantota..... 2............. 4............. 1
    Kurunegala... 5 ........... 9 ........... 1
    Puththalm ........ 5............. 3 .............. 0
    A'pura ........... 3............. 5.............. 1
    Polonnaruwa.... 2............. 3 ............... 0
    Badulla........... 5............... 3................ 0
    Monaragala.... 2............... 3 .............. 0
    Rathnapura.... 4 ............. 7............... 0
    Kegalle........ 4............. 5 .............. 0
    Jaffna ........... 1 .............. 1 .............. 0 ............... 5
    Vanni.......... 2............ 0............. 0 ............... 4
    Ampara........ 4 .............. 2 ............. 0 ............... 1
    Baticalor........ 1 ............... 1 .................... 0................ 2
    Trinco .............. 3 ............. 1 ............... 0................ 1

    National ....... 12 ............... 12 ................ 2 .............. 2 ................ 1


    UNP 98
    UPFA 102
    JVP 09
    TNA 15
    Other 01

    ReplyDelete
    Replies
    1. well said ++++++++++++++

      Delete
    2. Thanks, Ano! This is a good prediction. Since I wanted to keep things simple I did it as a sensitivity analysis instead of a point prediction by applying same criteria across districts under three possibilities. These factors may influence the outcome differently in each district.

      Delete
    3. To -
      em,
      Econo Bettings Room.
      -----------------------------------------------------------------------

      UNP 98 ------------------------> 114
      UPFA 102----------------------> 80
      JVP 09--------------------------> 13
      TNA 15--------------------------> 16
      Other 01 ------------------------> 02

      -----------------------------------------------------------------------
      Rs. 100,000.00 sure !!!!!!!!
      Oh yes.

      Delete
    4. I think the trend during the last week has been towards UNP from UPFA. (I hope someone will accept your offer and place a bet. My commission is only 1% because of good governance (Yahapaalanaya). :P)

      Delete
  9. පුලුවන්නම් රනිල්ගේ වොක්ස්වැගන් කතාව ගැන විග්‍රහයක් කරන්න. මටනම් හිතෙන්නේ ඕක රනිල්ගේ හපන්කමක් නෙමෙයි.

    ReplyDelete
  10. මේ විශ්ලේෂණය තාර්කිකයි . ඒත් අර දහයියා ගොඩ ඇතුළෙන් පිච්චෙන නිසා තත්ත්වය තේරුම් ගන්න බෑ කියන එක වඩාත් තාර්කිකයි

    ReplyDelete
    Replies
    1. අනාගතය හරියටම ලියැවී නැත. අවශ්‍යනම් එය වෙනස් කර ගැනීමේ හැකියාව තවමත් විවෘතව තිබේ.

      Delete
  11. matanam hitenne JVP prabala rallak tiyenawa.......... JVP 20 kata asana wei wage.... kaluthara bodu jana peramunata 1 hambei neda

    ReplyDelete
  12. ඔයාගේ 2 වගුවේ prediction එක හරි වගේ නේද ... ගොඩක් සංතොසයි ...

    ReplyDelete
  13. ado pattai bn ...... deweni eka harineeeee

    ReplyDelete
  14. මචං ඉකෝන් මාරයිනේ බං. දෙවෙනි එක හරියට හරි.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...