දෙසතියකට ආසන්න විරාමයකින් පසුව නැවතත් අපි "ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය" ලිපි මාලාව වෙත පැමිණෙමු. පසුගිය කොටසෙන් අපි 2021 වසර පමණ දක්වාම ලංකාවේ ආර්ථිකය තුළ සිදු වූ දේ ගැන කතා කළා. දැන් අපට වැදගත් ප්‍රධානම ප්‍රශ්නය "මේ යන විදිහට ගිහින් කොහෙන් කෙළවර වෙයිද?" කියන එකයි.
දුර අනාගතය අපි පැත්තකින් තියමු. මේ අවුරුද්ද හා ඉදිරි වසර ලංකාවට කොහොම වෙයිද?
විචල්‍ය ගණනක් මත තීරණය වන මෙවැනි දෙයක් ගැන අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ. එහෙත්, සිදු විය හැක්කේ පහත තත්ත්වයන් තුනෙන් එකක්.
පළමු වියහැකියාව- ආණ්ඩුව කොහෙන් හෝ ඩොලර් හොයා ගෙන මේ යන විදියට තව ටික කලක් ඇදගෙන යයි. වසංගත බිය දුරු වෙද්දී නැවත රට සංචාරකයින්ගෙන් පිරී යයි. ඒ සමඟ රටට ඩොලර් ගලා එද්දී නැවතත් හැම ප්‍රශ්නයක්ම විසඳී සෞභාග්‍යය උදා වෙයි.
දෙවන වියහැකියාව - ආණ්ඩුව පළමු ක්‍රමයට ඇදගෙන යන්න උත්සාහ කළත් එය කිසිසේත්ම කළ නොහැකි බව පෙනී යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තීරණය කරයි. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ විය හැකි ආකාරයේ ප්‍රතිසංස්කරණ සිදු කරයි.
තෙවන වියහැකියාව - පළමු ක්‍රමයට ඇදගෙන යාම කිසිසේත්ම කළ නොහැකි බව පෙනී යද්දීත් ආණ්ඩුව ඒ මාර්ගයේම ගොස් රට විශාල ව්‍යසනයකට ඇද දමයි.
පළමු වියහැකියාව ආණ්ඩුව විසින් පෙන්වන්නට හදන සුභවාදී තත්ත්වයයි. දෙවැන්න ඇතැම් එජාප/සජබ දේශපාලනඥයින් විසින් හා ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් විසින් යෝජනා කරන විකල්පයයි. තෙවැන්න විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් විසින් ඇඟිල්ල දික් කර පෙන්වන දිස්තෝපියානු අනාගතයයි. මගේ අදහස අනුව සිදු වීමට වැඩිම ඉඩක් ඇත්තේ දෙවැන්නයි.
මේ ආර්ථික අර්බුදය තනිකරම මේ ආණ්ඩුවේ වරදින් සිදු වූ දෙයක් නෙමෙයි. අප මේ වන විට ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය පිළිබඳව විස්තරාත්මක ලෙස කතා කර අවසන්. ඒ වගේම, වසංගත තත්ත්වය ආර්ථික අර්බුදයට හේතු වූ බවද බොරුවක් නෙමෙයි. කෙසේ වුවද, මේ ආණ්ඩුව විසින් අනුගමනය කළ ක්‍රියා මාර්ගද ආර්ථික අර්බුදයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව අපට බැහැර කළ නොහැකියි.
අපි පෙර කොටස් සමඟ පළ කළ පහත වගුව වෙත නැවත යමු. එවිට අපට ආර්ථික අර්බුදයට වසංගතය නිසා සිදු වූ බලපෑම නිශ්චිත ලෙස හඳුනා ගත හැකියි.
වසංගතයේ බලපෑමක් නොතිබුණු 2019 වසර සාමාන්‍ය වසරක් ලෙස අපට හඳුනා ගත හැකියි. එම වසර පාදක කරගෙන අපි 2020 වසර දෙස නැවත හැරී බලමු. පෙර වසරට සාපේක්ෂව, 2020 වසරේදී ලංකාවේ විදේශ අංශයේ හැසිරීම වෙනස් වූයේ කෙසේද? වසංගතය නොවන්නට තත්ත්වය පැවතිය හැකිව තිබුණේ කෙසේද?
පළමු ප්‍රශ්නයට අපට ඉහත වගුවේ ඇති සංඛ්‍යාලේඛණ ඇසුරෙන් නිශ්චිත පිළිතුරු සොයාගත හැකියි. එහෙත්, ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කළ නොහැකි බැවින්, දෙවන ප්‍රශ්නයට අපට එලෙස පිළිතුරු හොයා ගන්න බැහැ. එය කළ හැක්කේ උපකල්පන, අනුමාන හා විශ්ලේෂණ මත පදනම්ව පමණයි. ඒ නිසා, අපි පළමුව පහසු තැනින් පටන් ගනිමු.
පෙර වසරට සාපේක්ෂව 2019 වසරේදී අපනයන ආදායම් ඩොලර් මිලියන 1,893කින් පහළ ගියා. සේවා අපනයන ආදායම් ඩොලර් මිලියන 4,439කින් පහළ ගියා. ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් වැඩි වුනා. ඒ අනුව, සමස්තයක් ලෙස මේ ක්‍රම තුනෙන් රටට එන ඩොලර් ප්‍රමාණය මිලියන 5,945කින් අඩු වුනා.
කෙසේ වුවද, රටේ ආනයන වියදම්ද ඩොලර් මිලියන 3,882කින් අඩු වුනා. ඒ වගේම, සේවා ආනයන වියදම් ඩොලර් මිලියන 2,409කිනුත්, විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු වූ ප්‍රතිලාභ ඩොලර් මිලියන 416කිනුත් අඩු වූ නිසා ජංගම ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 761කින් අඩු වුනා. 2020 වසරේදී පැවති ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,083ක් පමණයි.
දැන් වඩා අසීරු දෙවන ප්‍රශ්නය. වසංගතය නොවන්නට පැවතිය හැකිව තිබුණු තත්ත්වය කුමක්ද?
රටේ අපනයන ආදායම් සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. වසංගතය හැර එය වැළකෙන වෙනත් විශේෂ දෙයක් වසර තුළ සිදු වුනේ නැහැ. 2020 අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව 2%කින් වැඩි වීනම් අපනයන ආදායම ඩොලර් මිලියන 12,178 දක්වා ඉහළ යනවා.
ලංකාවේ සේවා ආදායම් වලින් වැඩි කොටසක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. වසංගතය හේතුවෙන් රටේ විදේශ අංශයට වැඩිම බලපෑමක් සිදු වුනේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා. කෙසේ වුවද, 2019 වසරේදීද, පාස්කු බෝම්බ පිපිරීම් හේතුවෙන් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමක් සිදුව තිබුණා.
මේ ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට වැඩි බරක් දෙන බව අවම වශයෙන් ප්‍රදර්ශනාත්මක ලෙස හෝ පෙන්නුම් කර සිටියා. ඒ වගේම, 2019 වසර වන විට 2.3% මට්ටමට පහත වැටී තිබුණු ආර්ථික වර්ධන වේගය ඉහළ දමා ගැනීමේ ඉලක්කයක මේ ආණ්ඩුව සිටියා. එහිදී, සංචාරක කර්මාන්තය කෙරෙහි සැලකිය යුතු බරක් දමා තිබුණා. මේ කරුණු අනුව, වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය නැවත හිස ඔසොවා රටේ සේවා ආදායම් අවම වශයෙන් 2018 මට්ටමට පැමිණිය හැකිව තිබුණේයැයි සිතීම නරක උපකල්පනයක් කියා මා සිතන්නේ නැහැ. එම ආදායම ඩොලර් මිලියන 8,374ක්.
වසංගත කාලය තුළ, විශේෂයෙන්ම 2020 වසර තුළ, කලාපයේ බොහෝ රටවලට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඉහළ ගියා. ලංකාවටද මේ තත්ත්වය යම් තරමකින් හෝ එලෙසම බලපෑ බව අපට උපකල්පනය කළ හැකියි. එහෙත්, ඊට පෙර තෙවසර තුළ දැකිය හැකි වූයේ ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වසරින් වසර යම් තරමකින් අඩුවන ප්‍රවණතාවක්. අපේ ඇස්තමේන්තුව වන්නේ වසංගතය නොවන්නට ශ්‍රමික ප්‍රේෂණ 2018 මට්ටමේ සිට 2.5%කින් පමණ අඩුවිය හැකිව තිබුණු බවයි. ඒ අනුව, ඩොලර් මිලියන 6,529ක ශ්‍රමික ප්‍රේෂණ 2020 වසර තුළ ලැබිය හැකිව තිබුණා.
ඉහත කාණ්ඩ තුන යටතේ ලැබිය හැකිව තිබුණු සමස්ත ආදායම ඩොලර් මිලියන 27,102ක්. එහෙත්, ඇත්තටම ලැබුණේ ඩොලර් මිලියන 20,187ක් පමණයි. මේ අනුව, වසංගතයේ බලපෑම නිසා රටට පැමිණිය හැකිව තිබුණු ඩොලර් මිලියන 5,945ක් නොලැබී ගොස් ඇති බව ඇස්තමේන්තු කළ හැකියි.
දැන් අපි වියදම් පැත්ත බලමු. 2019 වසර කියන්නේ පෙර වසරට සාපේක්ෂව ආනයන වියදම් සැලකිය ලෙස යුතු අඩු වූ වසරක්. එම වසර තුළ ආනයන වියදම් ඩොලර් මිලියන 2,296කින් අඩු වුනා. එය අහම්බයෙන් සිදු වූ දෙයක් නොවෙයි. ඉතා දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති නිසා සිදු වූ දෙයක්. 2019 වසර තුළ සංචිත මුදල් සැපයුම 3.0%කින් පහළ ගියා. පටු මුදල් සැපයුම හා M2b පුළුල් මුදල් සැපයුම ඉහළ ගියේ පිළිවෙලින් 4.2%කින් හා 7.0%කින් පමණයි. ඒ වගේම පෙර වසර අවසාන වුනේ රුපියල 20%කින් පමණ අවප්‍රමාණය වීමට ඉඩ හරිමිනුයි. ආර්ථික වර්ධන වේගය 2.3% මට්ටම දක්වා අඩු වීමට මේ සියලු කරුණු බලපෑවා.
අලුත් ආණ්ඩුව පටන් ගත්තේ මෙවැනි තැනකින් නෙමෙයි. බදු විශාල ලෙස අඩු කරමින් වැය කළ හැකි (disposable) ආදායම සැලකිය යුතු ලෙස ඉහළ දමමින් ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා ලිහිල් මුදල් ප්‍රතිපත්ති හරහා මේ ආණ්ඩුව විසින් ඉලක්ක කරමින් සිටියේ ආර්ථික වර්ධනයයි. වසංගතය නොවන්නට 2020 ආර්ථික වර්ධනය 4.5-5% පමණ මට්ටමකට ඉහළ යා හැකිව තිබුණා. එවැනි තත්ත්වයක් තුළ ආනයන ඉල්ලුම අවම වශයෙන් 2018 මට්ටම දක්වා ඉහළ යා හැකිව තිබුණා. මීට අමතරව රජයේ ප්‍රාග්ධන වියදම් ඉහළ යාම නිසා ආනයන වියදම් තවත් ඩොලර් බිලියනයකින් ඉහළ යා හැකිව තිබුණේයැයි සැලකුවහොත් 2019 ආනයන වියදම ඩොලර් මිලියන 23,233ක් විය හැකිව තිබුණා.
වසංගතයට පෙර 2015-2019 කාලය තුළ සේවා ආනයන වියදම් වසරකට 4.5%කින් පමණ ඉහළ ගොස් ඇති බව සැලකු විට 2020 සේවා ආනයන වියදම ඩොලර් මිලියන 4,833ක් විය හැකිව තිබුණා. එලෙසම පෞද්ගලික ප්‍රේෂණද පැවති ප්‍රවණතාව අනුව ඩොලර් මිලියන 1,003 දක්වා 4.5%කින් ඉහළ යා හැකිව තිබුණේ යැයි සිතමු. අනෙකුත් ශුද්ධ ලැබීම් හා විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු වූ ප්‍රතිලාභ නොවෙනස්ව 2019 මට්ටමේම පැවතිය හැකිව තිබුණේයැයි සිතුවොත්, මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය විය හැකිව තිබුණේ ඩොලර් මිලියන 4,420ක ජංගම ගිණුම් හිඟයක්. එහෙත් ඇත්තමට පැවති ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,083ක් පමණයි.
මෙයින් කියැවෙන්නේ කුමක්ද? වසංගතය නොවන්නට ජංගම ගිණුම් හිඟය පියවීම සඳහා තවත් ඩොලර් මිලියන 3,337ක් හොයා ගන්නට සිදු වෙනවා කියන එකයි. ඒ කියන්නේ, 2020 ජංගම ගිණුම් ශේෂය සලකූ විට, සුනාමිය වගේම කෝවිඩ් වසංගතයද වෙස් වලාගත් ආශීර්වාදයක් වී ඇති බවයි.
ලංකාව මේ තරම් අර්බුදයකට ගියේ 2020 ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,083 මට්ටම දක්වා අඩු වී තිබියදී. වසංගතය නොවන්නට මේ හිඟය ඉතා පහසුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් පමණ විය හැකිව තිබුණා. කෙසේ වුවද, වසංගතයේ බලපෑම නොවන්නට සල්ලි හොයා ගැනීම මේ තරම්ම අපහසු නොවිය හැකිව තිබුණු බව අපේ අදහසයි.
ජංගම ගිණුමේ ඩොලර් බිලියන දෙකක පමණ හිඟයක් තිබීම ලංකාවට සාමාන්‍ය දෙයක්. එහෙත් මේ අඩුව ණය සුරැකුම්පත් විකුණා ලබා ගත හැකි නිසා ජංගම ගිණුමේ හිඟය සාමාන්‍යයෙන් කෙටිකාලීනව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2019 වසරේදීද ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,843ක හිඟයක් තිබුණත්, එම වසරේදී ණය සුරැකුම්පත් ආයෝජන ලෙස ඩොලර් මිලියන 2,313ක මුදලක් ලැබුණා. එහෙත්, 2020 වසරේදී වුනේ හැමදාම ණය සුරැකුම්පත් විකුණා අලුතෙන් ඩොලර් හොයනවා තබා ඒ වන විට සිදු කර තිබුණු ආයෝජන ටිකවත් රැක ගන්න බැරි වීමයි. 2020 වසර තුළ ණය සුරැකුම්පත් ආයෝජන වලින් ඩොලර් මිලියන 2,166ක් ආපසු ගියා. කොටස් වෙළඳපොළ ආයෝජන වලින්ද ඩොලර් මිලියන 217ක් ආපසු ගියා.
මේ විදිහට ආයෝජකයින් විසින් ලංකාවේ ආයෝජන ඉවත් කර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමයි. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හේතු වුනා. එහෙත්, එය එකම හේතුව කියා කියන්න බැහැ. වසංගතය නොපැවතී, රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක පැවතුණේනම්, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය බිඳ නොවැටුණේනම්, ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම මේ තරම් ඉක්මන් නොවිය හැකිව තිබුණු බව මගේ අදහසයි.
කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේදී ආණ්ඩුවට ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ඩොලර් බිලියන 4.5ක් පමණත් ණය ගෙවීමට තවත් ඩොලර් බිලියන 5ක් පමණත් සොයා ගන්නට සිදු වෙනවා. වසර තුළ ආණ්ඩුවට හොයා ගත හැකි වූයේ ඩොලර් බිලියන 4ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ තවත් ඩොලර් බිලියන 5.5ක් පමණ සොයා ගන්නට සිදු විය හැකිව තිබුණා කියන එකයි.
යහපාලන ආණ්ඩුව විසින් 2019 වසරේදී ඩොලර් බිලියන 4.4ක ස්වෛරිත්ව බැඳුම්කර විකිණීමට සමත් වුනා. ඒ අනුව බැලුවොත් ඩොලර් බිලියන 5.5ක් කියා කියන්නේ කිසිසේත්ම ලඟා කර ගත හැකිව නොතිබුණු ඉලක්කයක් නෙමෙයි. එහෙත්, යහපාලන ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට යහපත් රාජ්‍යමූල්‍ය විනයක් පෙන්විය හැකිව තිබුණේ නැහැ. ආණ්ඩුව පටන් ගත්තේම වැඩ වරද්දා ගෙනයි.
"The shock to Sri Lanka's economy from the coronavirus pandemic will exacerbate already-rising public and external debt sustainability challenges following tax cuts and an associated shift in fiscal policy late last year."
ෆිච් රේටිං ආයතනයේ තීරණයට ආණ්ඩුව විසින් බදු කපා හැරීම සෘජු ලෙසම බලපා තිබුණා. එහෙත්, වසංගතය නිසා ණය පැහැර හැරීමේ අවදානම ඉහළ යාමද ඔවුන් විසින් සැලකිල්ලට ගෙන තිබුණා. නොවැම්බර් මාසයේදී ෆිච් රේටිං ආයතනය විසින් ලංකාවේ ණය අවදානම C කාණ්ඩය දක්වාම පහත හෙලුවා.
මූඩීස් ආයතනය විසින් සැප්තැම්බර් මාසයේදී ලංකාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත හෙළුවා.
එම තීරණයටද රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලට අමතරව වසංගතය නිසා ඉහළ ගිය ණය පැහැර හැරීමේ අවදානම බලපෑවා.
"The decision to downgrade Sri Lanka's rating to Caa1 reflects Moody's assessment that the coronavirus-induced shock, which Moody's regards as a social risk, will significantly weaken Sri Lanka's already fragile funding and external positions."
දෙසැම්බර් මාසයේදී ලංකාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත හෙළමින්
S&P ආයතනය කිවුවේත් මීට සමාන දෙයක්.
"S&P Global Ratings downgraded Sri Lanka's long-term sovereign credit ratings to CCC+/C from B-/B, saying the country's fiscal position is expected to deteriorate over the next few years due to a lack of favorable economic and fiscal conditions.
The downgrade reflects the economic fallout from the coronavirus pandemic, which has narrowed the government's fiscal space and capacity to generate income through various sectors such as tourism and has exacerbated risks to debt servicing capacity."
ණය ශ්‍රේණිගත කිරීම් ආයතන වල විශ්ලේෂණ අනුව, වසංගතය ලංකාවේ ආර්ථිකයට, විශේෂයෙන්ම විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවට, බලපෑ හැකිව තිබුණු ප්‍රධාන ආකාර දෙක වූයේ සංචාරක කර්මාන්ත හරහා ලැබෙන ආදායම් අඩුවීම හා ඇඟලුම් අපනයන ආදායම් අඩු වීමයි. මේ දෙකෙන් ලොකුවටම බලපෑවේ පළමුවැන්නයි. එයට වසංගතය මුල් කාලයේදී කොරෝනා රටින් දුරු කර ලෝකයේ පළමුවැනියා වීමේ පිස්සුවෙන් දඟලා ආණ්ඩුව විසින් කරගත් විනාශයද විශාල ලෙස දායක වුනා.
කෙසේ වුවද, යම් හෙයකින් 2020දී රටේ ආර්ථිකය හැසිරවීමේ බලය තිබුණේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවකට වීනම්, වසංගතය නිසා ලංකාවේ ණය ආපසු ගෙවීමේ අවදානම ඉහළ යා නොහැකිව තිබුණේයැයි අපට කිව නොහැකියි. එමෙන්ම, මේ ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හමුවේ වුවද, වසංගතය නොවන්නට, මෙතරම් ඉක්මණින් ලංකාවේ ණය අවදානම මෙතරම්ම ඉහළ යා නොහැකිව තිබුණා. ප්‍රශ්නය මෙතරම් දරුණු වුනේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා වසංගතයේ බලපෑම එකට එකතු වූ නිසයි.
ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩයට වැටුණු පසු ජාත්‍යන්තර බැඳුම්කර විකිණීම ප්‍රායෝගිකව කළ නොහැකියි. වසංගතය නොවන්නට, මගේ තක්සේරුව අනුව, අඩු වශයෙන් 2020 වසර අවසන් වන තුරු ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩය දක්වා පහත වැටෙන්නේ නැහැ. එසේම, රටේ ආර්ථිකය 3.6%කින් හැකිළෙන්නේ හෝ සංචාරක කර්මාන්තය හරහා ලැබෙන ආදායම් අඩු වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ වසරේ මුල් මාස හය තුළ අඩු වශයෙන් ඩොලර් බිලියන 2.5ක ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණා ගැනීමේ හැකියාවක් ලංකාව සතුව තිබුණා. එසේ වුවද, පැවති දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හමුවේ ණය පැහැර හැරීමේ අවදානම යම් තරමකින් හෝ ඉහළ යන නිසා බොහෝ විට මේ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවන්නටද සිදු විය හැකිව තිබුණා.
මගේ තක්සේරුව අනුව වැඩි අපහසුවකින් තොරව ඩොලර් බිලියන 2.5ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර විකුණාගත හැකිව තිබුණත් 2020 වසර තුළ ඩොලර් බිලියන 5.5ක ස්වෛරිත්ව බැඳුම්කර විකිණීම කළ හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අනේවාසික ගිණුම් වලට ලැබෙන තැන්පතු ආදිය හරහා තවත් ඩොලර් බිලියනයක් හොයා ගත්තත් ඩොලර් බිලියන දෙකක පමණවත් සංචිත ප්‍රමාණයක් විකුණන්නම වෙනවා කියන එකයි. වසර තුළ ඇත්තටම විකිණූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,978ක්. ඒ කියන්නේ, වසංගතය නොවුනද 2020 වසර අවසන් විය හැකිව තිබුණේ සංචිත සැලකිය යුතු ලෙස පහත හෙළමින් කියන එකයි. එකම වෙනස ආනයන පාලනයක් සිදු නොවීමයි.
මූලික කරුණු අතින් රාජපක්ෂ කඳවුරේ ආර්ථික ප්‍රතිපත්ති වල සහ රනිල් වැනි අයෙකු පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නැහැ. පරිධියේ ඉන්න අය ගැලරියට මොනවා කිවුවත් මේ ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්නේ ධනවාදය මත පදනම්වයි. එහෙත්, මේ කණ්ඩායම් දෙකම තමන්ට අවශ්‍ය තැන් වලදී පැකිලීමක් නැතිව අඩු වැඩි වශයෙන් ධනවාදයෙන් බැහැර වෙනවා. විදේශ ණය ගැනීම පිළිබඳව කඳවුරු දෙකේම මූලික ප්‍රතිවිරෝධයක් නැහැ. කඳවුරු දෙක කැපී පෙනෙන ලෙස වෙනස් වන්නේ වර්ධනය හා ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමේදී.
රාජපක්ෂ කඳවුර විසින් බොහෝ විට කරන්නේ ස්ථාවරත්වය අවදානමේ හෙළමින් වර්ධනය හැකි තාක් වැඩි කර ගැනීමට උත්සාහ දරන එකයි. එය ජනප්‍රියවාදී ප්‍රවේශයක්. එයින් වෙනස්ව රනිල් කඳවුර ස්ථාවරත්වයට වැඩි බරක් දෙනවා. එහිදී නොවැලැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය මන්දගාමී වෙනවා.
වසංගතය නොතිබුණේනම් 2020 ආර්ථික වර්ධනය 4.5-5.0% මට්ටමටවත් ඉහළ යනවා. මෙය 2010-2012 වැනි කාල වකවානු එක්ක බලද්දී ලොකු වර්ධන වේගයක් නොවුනත්, යහපාලන කාලයට සාපේක්ෂව කැපී පෙනෙන ආර්ථික වර්ධනයක්. ආණ්ඩු මාරුවෙන් පසුව 2020දී මේ වගේ ආර්ථික වර්ධනයක් ලැබුණේනම් එයින් ආණ්ඩුව වගේම ආණ්ඩුව ඡන්දය දුන් හැටනව ලක්ෂයද යම් තරමකින් කුල්මත් වෙනවා. ඡන්දය නුදුන් අය අන්දමන්ද වෙනවා. ඒ එක්කම, මිනිස්සුන්ට ඔය ආර්ථික වර්ධනය තවත් වැඩි කරන්න අවශ්‍ය වෙනවා. ආණ්ඩුවට ඒ අවශ්‍යතාවය ඉටු නොකර ඉන්න බැරි වෙනවා. අඩු වශයෙන් ආර්ථික වර්ධනය 5-6% වැනි මට්ටමකටත් අරගෙන පවත්වා ගෙන යන්න ඕනෑ වෙනවා. ජනප්‍රිය නැති ආණ්ඩුවකට වඩා ජනප්‍රිය ආණ්ඩුවකට තීරණ ගන්න අමාරුයි. එවැනි ආණ්ඩුවකට නැති වෙන්න දෙයක් තිබෙනවා.
වසංගතය නොතිබුණානම් මේ ආණ්ඩුව සාර්ව-ආර්ථික උගුලක හිරවෙන්නේ 2021දී. 2020දී ආර්ථික වර්ධනය 4.5-5.0% මට්ටමට උස්සන්න පුලුවන්කම තිබුණත් ආනයන පාලනය, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය වගේ දේවල් ඒ පැකේජ් එකත් එක්ක යන්නේ නැහැ. ආර්ථික වර්ධනය එන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ හා ප්‍රසාරණාත්මක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියේ උදවුවෙන්. රට පුරා සෞභාග්‍යය පෙන්වන්න පුළුවන් වුනත්, එය කළ හැක්කේ ණයට ගන්නා ඩොලර් වල උදවුවෙන්. හැබැයි ඒ වැඩේට අවශ්‍ය තරම් ඩොලර් ණයට ගැනීමේ හැකියාවකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත කර ගන්නනම් ඩොලරයක මිල රුපියල් 240 මට්ටමටවත් යන්න අරින්න වෙනවා. එහෙම කළොත් නැවතත් සෞභාග්‍යය දියාරු වෙනවා. ඒ නිසා, ඔය තත්ත්වය යටතේ සංචිත වලින් ඩොලර් බිලියන දෙකක්වත් විකුණන්න වෙන එක කරන්නම සිදු වෙන දෙයක්.
සංචිත වලින් ඩොලර් බිලියන දෙකක් අඩුවුනා කියලා රටේ මිනිස්සුන්ට එය ලොකුවට දැනෙන්නේ නැහැ. විපක්ෂය කෑ ගැහුවා කියලා ඔය තත්ත්වයේ වෙනසක් වෙන්නෙත් නැහැ. ආණ්ඩුවට මිනිස්සුන්ට පෙන්විය හැකි ආර්ථික වර්ධනයක් තිබෙනවා. හැබැයි ඔය මට්ටමට විදේශ අංශයේ අවදානම් ඉහළ යද්දී ශ්‍රේණිගත කිරීමේ ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ, වසංගතය නොතිබුණත්, යන විදිහට ගියානම්, 2021 වසර තුළ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් C කාණ්ඩයට වැටෙනවා. ලංකාවට ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළට යන්න බැරි වෙනවා.
ඔය වගේ තත්ත්වයක් ඇති වුනානම් ආණ්ඩුව වැටෙන්නේ දැන් වැටී සිටිනවාට වඩා අමාරුවක. දැන්නම් පෙන්නන්න වසංගත බිල්ලෙක් ඉන්නවා. ඒ වගේ, "බාහිර හතුරෙක්" නැතුව ආනයන පාලනය කිරීම වගේ දෙයක් කරන එක ලේසි නැහැ. ඊටත් වඩා ප්‍රශ්නයක් වෙන්නේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවසාන වශයෙන් වර්ධන ඉලක්ක අත අරින්න වෙන එක. එය කළ ගමන්, දැන් වගේම, ආණ්ඩුවේ ජනප්‍රියත්වය බහිනවා. එක අතකින් මේ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ නළලේ කෙටී තිබුණු දෙයක්.
අනෙක් පැත්තෙන්, තනිකරම මනඃකල්පිත දෙයක් වුනත්, 2019දී ජනාධිපති වුනේ රනිල් වික්‍රමසිංහනම් මේ ප්‍රශ්න කිසිවක් ඇති වෙන්නේ නැද්ද? අපි හිතමු හැටනව ලක්ෂයක් රනිල්ගේ ප්‍රතිපත්ති අනුමත කරලා රනිල්ව ජනාධිපති කළා කියලා. රනිල් ජනාධිපති වෙලා වසංගතයත් ආවේ නැත්නම් අවුලක් වෙන්නේ නැහැ. දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වා ගත්තානම් කිසිදු ආනයන පාලනයක් නැතත් ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන දෙකකින් නවතිනවා. ඒ ගාන ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණලා ලේසියෙන්ම හොයාගත හැකිව තිබුණු මුදලක්.
රනිල් ජනාධිපතිව සිටිද්දී වසංගතය ආවානම් මොකක්ද වෙන්නේ?
රනිල් හිටියා කියලත් වසංගතය නිසා ආර්ථිකයට සිදුවන බලපෑම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ බොහෝ වෙලාවට ඔය තිබුණු මට්ටමේම තියෙයි. රනිල් හිටියානම් රට වහන්න ඔය තරම් හදිස්සි වෙන එකක් නැහැ. ඒ නිසා, සංචාරකයෝ ටිකක් වැඩිපුර එයි. හැබැයි වසංගතය නිසා සංචාරකයෝ එක එක කොහොමටත් විශාල ලෙස අඩු වෙනවා. ඕනෑනම් සේවා ගිණුමට තව ඩොලර් බිලියනයක් විතර එයි. අනෙක් පැත්තෙන් ආනයන පාලනයක් නැති නිසා ආනයන වියදම තව ඩොලර් බිලියනයකින්වත් වැඩි වෙයි. අන්තිමට ජංගම ගිණුමේ ශේෂය දැන් තිබෙන මට්ටමේම වගේ තියෙයි. හැබැයි එහෙම වුනානම් ස්වෛරිත්ව බැඳුම්කරයක් විකුණලා ජංගම ගිණුමේ හිඟය පියවා ගන්න එක අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා, දැන් වගේ අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නෙත් නැහැ. එවැනි අවදානමක් පෙනෙන්න තිබුණානම් රනිල්ගේ ආණ්ඩුව කලින්ම IMF ගිහින් ප්‍රශ්නය විසඳා ගනියි.
වසංගතය නොතිබුණානම් මේ ආණ්ඩුව කරගෙන ගිය වැඩ පිළිවෙළ අනුව 2020 අවසානයේදී තත්ත්වය අඩු වශයෙන් පෙනුමට හෝ තිබුණාට වඩා හොඳින් තියෙයි. හැබැයි වසංගතය නොතිබුණත් මේ වෙද්දී තත්ත්වය දැන් තරමටම හෝ ඒ කිට්ටුවටම නරක් වෙන එක වලක්වන්න බැහැ. ණය අරගෙන ආර්ථිකය පිම්බවීමේ සීමාවක් තියෙනවා. ඊට පස්සේ වෙන්නේ ගෙම්බට වෙච්ච දේ.
ඔය ඔක්කොම මේ වෙද්දී අතීතය. වඩා වැදගත් ඉදිරියට වෙන්නේ මොකක්ද කියන එකයි. මේ අවුරුද්දේ ඉදිරි මාස වල කුමක් වෙයිද?
අපි හිතමු අපනයන ආදායම 2021ට සාපේක්ෂව 2022දී 5%කින්ම ඉහළ ගියා කියලා. ඒ කියන්නේ ඩොලර් 13,127ක් ලැබෙනවා. මේ විදිහටම ආනයන වියදමත් 5%කින් ඉහළ ගියොත් අනෙක් පැත්තට ඩොලර් 21,669ක් යනවා. 5% ටිකක් වැඩි වගේ පෙනුනත් මේ ගණන ගත්තේ ඇමරිකාවේ මේ වන විට දැකිය හැකි ඉහළ උද්ධමනය සලකලා. යුක්‍රේනයේ තත්ත්වය දිග්ගැසුනොත් ආනයන වල යම් අඩුවීමක් විය හැකියි වගේම තෙල් මිල ඉහළ ගොස් අපනයන වියදම් ඉහළ යන්නත් පුළුවන්.
පසුගිය වසරේ අවසන් මාස හතර ඇතුළත ශ්‍රමික ප්‍රේෂණ සේ ලැබී තියෙන්නේ ඩොලර් මිලියන 1,267ක් පමණයි. ඒ අනුපාතයට බැලුවොත්, 2021දී ශ්‍රමික ප්‍රේෂණ සේ ලැබිය හැක්කේ ඩොලර් මිලියන 3,800ක් පමණයි. ඒ කියන්නේ වසර තුළ ආනයන, අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ එකතුවෙහි ඩොලර් මිලියන 4,742ක හිඟයක් හැදෙනවා. සංචාරක කර්මාන්තයේ යම් හිස එසැවීමක් සිදුවීම නිසා සේවා ගිණුමෙන් ඩොලර් මිලියන 1,496ක අතිරික්තයක් ලැබෙයි කියා හිතමු. මෙය 2020 තත්ත්වයේ සිට 2019 තත්වයෙන් තුනෙන් එකක් දක්වා ආපසු ගමන් කිරීමක්. තව ඩොලර් මිලියන 3,246ක් හිඟයි. ඕකට ණය පොලී ගෙවීම්, පෞද්ගලික ප්‍රේෂණ ආදිය එකතු කළ විට ජංගම 2022 ගිණුමේ හිඟය ඩොලර් බිලියන 5.5-6.0 මට්ටමකට ඉහළ යා හැකියි. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. දැඩි ආනයන සීමා දැම්මත් ඔය හිඟය මාසයකට ඩොලර් මිලියන 350ක පමණ මට්ටමකත් යන එක වලක්වන්න අමාරුයි.
මීට අමතරව පරණ ණය වල වාරිකත් ගෙවන්න වෙනවා. ඉදිරි මාස 11 තුළ ඩොලර් බිලියන 4.5ක පමණ ණය වාරික ගෙවන්න තිබෙනවා. ආසන්න වශයෙන් මාසයකට ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක්. ඒ කියන්නේ, අවම වශයෙන් මාසයකට ඩොලර් මිලියන 750ක පමණ මුදලක් අළුතෙන් ණයට ගන්න බැරිනම් සංචිත විකුණන්න වෙනවා කියන එකයි. සංචිත වලින් ඇදගන්න පුළුවන් වැඩිම වුනොත් මාස තුනයි. සංචිත වලින් සැලකිය යුතු කොටසක්ද චීන යුවාන් නිසා ඒ කොටසින් කළ හැක්කේ චීන ආනයන වෙනුවෙන් හා චීන ණය වෙනුවෙන් මුදල් ගෙවන එක පමණයි. ඒ කියන්නේ අලුත් ණය නොලැබුණොත් මාසයක් හෝ දෙකක් ඇතුළතම වුනත් හිරවෙන්න පුළුවන් කියන එකයි.
ඉන්දියාව වගේ රටකට ලංකාවට උදවු කරන්න පුළුවන්. හැබැයි ඉන්දියාව ඩොලර් බිලියනයක් ණයට දුන්නත් එයින් ප්‍රශ්නය කල් දමාගත හැක්කේ මාස එකහමාරක් වැනි කාලයකට පමණයි. බිලියන දෙකක් දුන්නොත් මාස තුනකට පමණ ප්‍රශ්නය කල් දාගන්න පුළුවන්. ඉන්දියාව කොයි තරම් දුරකට උදවු කරයිද?
මම හිතන විදිහට මේ වෙද්දී ආණ්ඩුව ලොකු ටෝක් ආපහු ගිලගන්න වෙන සීමාවට ඇවිත්.
ඉකොනොගේ අනාවැකි ගැන අහද්දි හිනා යනවා අපට.
ReplyDeleteපහුගිය ශ්‍රී ලංකා මැතිවරණ ගැන ඉකොනෝ කියපු කතා බලන්නකෝ අවශ්‍ය නම්. ඔක්කොම් වැරදි. ඉකොනෝමැට්ටා මේකේ කියන දේට හාත් පසින්ම වෙනස දේ සිදු වන්නේ.
මැට්ටා කියලා මිනිහම නම ගෙන ඇත්තේ ඒ නිසා වෙන්න ඇති ඉතීම්
වැරදි ඇතිනම් පිළිගැනීමට, ලොකු කතන්දර ගිල ගැනීමට
ReplyDeleteසුදුසු තැනදී නිහතමානී වෙමින් චුට්ටක් පසු බසින්නට
මොළය ඇති පාලකයො දන්නව තැනේ හැටියට ඇණ ගහන්නට
එහෙම නැත්තන් රට කරද්දී වෙන්නෙ මොනවද පෙනෙයි අද-හෙට
දැනට europeයේ තිබෙන තත්වය මත tourism වලටත් බලපෑමක් විය හැකීයි. කුමක් හෝ හේතුවක් නිසා ලංකාවට රුසියාව සහ Ukraine සංචාරකයන් ගොඩක් එන බව තමයි ගොඩක් news වල සදහන් වෙන්නේ. අනිත් අතට guide ලාට petrol නැතිනම්, යන යන තැන light නැත්නම්, ගොඩක් දෙනෙක් බොහොම නරක reviews තමයි දෙන්නේ.
ReplyDeleteඉකොනොමැට්ටා,
ReplyDeleteපොඩි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ආර්ථිකය ගැන නෙවෙයි ලංකාවටත් වඩා විශාල අර්බුදයක් තියෙන ආජන්ටිනාව ගත්තාම ආර්ජන්ටිනා මහ බැංකුව ගිය මාසේ සිය පදනම් පොලී අනුපාතය 42.5% දක්වා ඉහළ නංවා ඇති බවත් අයි එම් එෆ් ගිය ආජන්ටිනාව පොලි අනුපාත 42.5% ටත් වඩා 51% තෙක් වැඩි කරන්න කියලා අයි එම් එෆ් එකෙන් නියෝගයක් නිකුත් කරලා කොන්දේසියක් දාල තියෙනවා කියලත් දන්නවානේ, ඇත්තටම මේකෙන් වෙන්නේ මොකක්ද?
Link;
https://www.aljazeera.com/economy/2022/2/17/argentinas-central-bank-raises-key-rate-to-42-5-percent
පේන හැටියට අයි එම් එෆ් එකෙන් ආජන්ටිනාවේ 51%ක වාර්ෂික උද්ධමනය ඉක්මවන ලෙස පොලී අනුපාත ඉහල දමන ඉල්ලා ඇත්තේ රජයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 40ක හිඟ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආජන්ටිනියන් ආණ්ඩුවේ සාකච්ඡාවල දක්වා ඇති ඉලක්ක සමඟ පෙලගැසීම සඳහා මෙසේ මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි වී ආජන්ටිනියන් මහ බැංකුවේ ප්‍රකාශ අනුව මෙම වැඩිවීම මෙම 2022 වසරේ එහි දෙවන පොලී අනුපාත ඉහල යාම. හැබැයි ඒකට ලංකාවේ, හැම ලබ්බෙම මිල ඉහල ගිහින් ආහාර උද්ධමනය විතරක් 20% පැන්නත් සාමාන්‍ය බැංකු පොලිය තවම 5%-6% ගණනක්. ආර්ජන්ටිනාව වැනි රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුලට හිරවී දේශපාලන වශයෙන් අස්ථාවර වූ ආකාරයත් ආර්ථික වශයෙන් බංකොළොත් වූ ආකාරයත් බලද්දි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් තවත් ණය ලබා ගතහොත් ශ්‍රී ලංකාව ණය උගුලක හිරවී ආර්ථික පීඩනය තවදුරටත් උත්සන්න වන බව ජවිපෙ ජාතික ජන බලවේගයේ ආර්ථික විශේශඥයින් වගේම ආණ්ඩුවේ වීරවන්ස වාසුදේව වගේ කට්ටිය කියන කතාවේ ඇත්තක් තියෙනවා, සාමාන්‍ය ආර්ථික දැනුමට අනුව කල්පනා කළද පසුගිය කාලය පුරාවටම අපි ණය උගුලක සිරවී සිටි නිසාත් රටේ ජාතික ආදායමෙන් විශාල ප්‍රමාණයක් ණය හා පොලී ගෙවීමට යටකර ඇති නිසාත් විදේශ ණය ගෙවිය යුත්තේ අප ලබන විදේශ විනිමයෙන්. විදේශ විනිමය පරෙස්සමෙන් වියදම් කළ යුත්තේ රටට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ගණනාවක් ආනයනය කිරීමට එම මුදල් යොදාගත යුතු බැවින්, ඉන්ධන/ ඖෂධ නිදසුන්.
ඒ වගේම ඉතිහාසයේ ආර්ථික අතින් දුෂ්කර කාල පරිච්ඡේද ගණනාවකට අපි මුහුණ දී ඇත. ඉන් එක කාලයක් ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමය, එම යුද්ධය ජය ගැනීම සඳහා විශාල වශයෙන් මුදල් අවශ්‍ය නිසා එක අතෙකින් ආයුධ මිලට ගැනීමට විදේශ විනිමය අවශ්‍ය වෙද්දී තව අතෙකින් විශාල හමුදාවක් නඩත්තු කිරීම සඳහා ද යුද්ධය පවත්වා ගැනීම සඳහා ද විශාල වශයෙන් මුදල් අවශ්‍ය වුණා, බදු වැඩි කිරීම ආණ්ඩුවේ තව සැලසුමක් වුණත් ඊට එරෙහිව විපක්ෂය සහ බෝහෝ අය දැඩි ලෙස ආණ්ඩුවට බලපෑම් කරන බව පේනවා, මේ අතර සෝ කෝල්ස් "අධික ලාභ" ලබාගත් බව් කියමින් පුද්ගලික ව්‍යාපාරික ආයතන වෙතින් වැඩි බදු මුදල් ප්‍රමාණයක් අයකර ගැනීමට ද ආණ්ඩුව කටයුතු කරනවා, ඩයලොග් එකට විශාල ටැක්ස් එකක් ගැහුවා පහුගිය කාලේ, කොවිඩ් සමය තුළ රාජ්‍ය ආදායම් ශීඝ්‍ර ලෙස පහතට ගිය ද එය යථා තත්ත්වයට ගත යුතු බව කබ්‍රාල් කියනවා, ඒ සඳහා විවිධ ආර්ථික උපායමාර්ග ක්‍රියාත්මක නමුත් මේවා සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය ද ලැබිය යුතු වේවි, රජය ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීම කෙසේ වෙතත් අභියෝග ජයගෙන අනාගතය සුරක්ෂිත කිරීම සඳහා දේශපාලන වශයෙන් පාඩු සිදුවුණත් රටේ අභිවෘද්ධිය සලකා ජනප්‍රිය නොවන තීන්දු ගැනීම කළ යුතුයි, ඒවා කෙරෙහි අවබෝධයකින් ප්‍රතිචාර දැක්වීම මහජනයාගේ වගකීමක්, ජනතාවට ඇත්ත කිවයුතු බවත් ඇත්ත කියා නිවැරැදි තීන්දු ගත යුතු බවත් ජනතාවත් සමඟ අවබෝධයෙන් යුතු ගමනක් යෑමට රජය සූදානම් විය යුතුය. මේ මොහොතේ කළ යුත්තේ ආර්ථික අර්බුදයට සාමූහිකව මුහුණ දෙන එක, එහිදී එකිනෙකා වටහාගැනීම වඩාත් වැදගත් නොවේද?
පහත ලිපියෙන් පිළිතුර හොයා ගන්න පුළුවන් වෙයි. මූර්ත පොලී අනුපාතික ගැන මීට වඩා විස්තර කර ඇති පරණ ලිපිද තිබිය යුතුයි.
Deleteමහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම ප්‍රමාණවත්ද?
http://emgesathapaha.blogspot.com/2017/03/blog-post_2.html
යුද්දේ ගැන ලියන නිශ අමෙ පැත්තේ එන් බැරි වුනා. දැන්නම් සංචාරකයන් එන එක තවත් සිමා වෙන නිසා IMF ගිහින් නය ප්‍රතිව්‍යුහගතැහැ කරන්නේ නැතිව කරන්න අමාරුයි මේ ආණ්ඩුවට. ඒ එක විධිහක්. ඒකට එකඟයි. එහම නැත්නම් අංක හතර වශයෙන් - රට සිරිමාවෝ යුගයට ගෙනියාම . දැනටමත් එහෙම වෙනවා තමා. ඒකට ගිය ගමන් හැබැයි ඊළඟ චන්දෙදි ආසන 8 ට බහින නිසා එහෙම කරන එකක් නැහැ.
ReplyDeleteඔව්. මේ කරුණු වලට එකඟයි. රට සිරිමාවෝ යුගයට ගෙනියාම කියන්නේ ඉහත තෙවන විය හැකියාවම තමයි. මෙහිදී නාමිකව විණිමය අනුපාතය පහළින් තියා ගත්තත් ඇත්ත අනුපාතය ඉහළ මට්ටමකට යනවා. කළු කඩේ විණිමය හුවමාරු වන්නේ ඒ මිලට. යම් මොහොතක එම නාමික විණිමය අනුපාතය නිවැරදි කරන්න වෙනවා. ලංකාවේදී එය වුනේ හැත්තෑ හතේ ආණ්ඩු මාරුවෙන් පසුවයි. ඊට පෙර වෙන වෙනම විණිමය අනුපාත තුනක් තිබුණා. නිල අනුපාත දෙකක් සහ නිල නොවන අනුපාතයක්. මේ ආණ්ඩුව 2024 දක්වාම "සිරිමාවෝ ක්‍රමය" පවත්වා ගෙන යයි කියා මම හිතන්නේ නැහැ. ඔබ කියනවා වගේ එසේ කළොත් ඡන්ද පදනම හොඳටම පහළ බහිනවා.
Deleteඇත්තටම ඉකොනොමැට්ටා මේ දවස් වල ඉතාමත්ම බරපතල ලෙස බංකොලොත් වී ඇති ලංකාවේ ආර්ථිකය මෙහෙයවන මහ බැංකුවේ පවතින විදේශ සංචිත ඩොලර් හිගය ඇතුළු ආර්ථික තත්වය හමුවේ 2022 මාර්තු පස් වැනිදා ලංකාව නිල වශයෙන් සම්පූර්ණයෙන්ම බංකොලොත් රටක් බවට පත්වන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවත් සමගි ජන බලවේග 43 සේනාංක පාර්ශවයේ මතය බව එම 43 සේනාංක නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මේ වීඩියෝ එකේ මැනවින් පෙන්වා දෙනවා, මේ බලන්න වැඩි විස්තර මෙතනින්;
ReplyDeletehttps://youtu.be/Lfd0-3-MlvM
ලංකාවේ ආර්ථිකය අනිවාර්යයෙන්ම මෙම තත්වයට පත්වන බවද තමුන් 2020 වසර අග භාගයේ සිට ජනතාව දැනුවත් කරගෙන ගිය බව නැවත මතක් කරපු ඔහු මීට මාස ගණනාවකට කලින් සිට තමන් මෙතෙක් පවසන ලද සියළු දේ අද වන විට සත්‍ය වී ඇති බවත් ඒ ලෙසම මෙය අනිවාර්යයෙන්ම සිදු වනු ඇති බවත් දැඩි ලෙස අවධාරණය කළා. කෙසේ වෙතත් ජවිපෙ ජාතික ජන බලවේගයේ අදහස නම් ලංකාවේ ආර්ථිකය දැනටමත් බංකොලොත් බවත් දැනටමත් ලංකාවේ ආණ්ඩුව පරණ ණය ගෙවන්නේ අලුත් ණය අරගෙන කියලා කියන්නේ අනිවාර්යයෙන්ම බංකොලොත් නිසා බවයි.
ලංකාවේ නායකත්වයට රට සංවර්ධනය කිරීමට නම් මේ මොහොතේ පාඩු ලබන රාජ්‍ය ආයතන රැසක් මේ පුද්ගලීකරණය කල යුතු බවත් චම්පික රණවක පවසන නමුත් වත්මන් ආණ්ඩුවේ පෞද්ගලීකරණය ඔහුගේ දැඩි විවේචනයට ලක් වූ අතර මීට වඩා ගොඩාක් විනිවිද භාවයකින් ලංකාවේ රජයට උපරිම වශයෙන් වාසි සහගත වන පරිදි දැඩි කොන්දේසි යටතේ පුද්ගලීකරණය කිරීම සුදුසු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. ජවිපෙ ජාතික ජන බලවේගයේ අදහස නම් පෞද්ගලීකරණය හරහා ජනතාව සූරා කමින් ධනය ගොඩ ගසාගෙන සුර සැප විදින මුදලාලි කල්ලියක් බිහිකිරීමට අවශ්‍ය නොවන බවත් ඒ වෙනුවට රාජ්‍ය ආයතන වල ඉහළ තනතුරු වලට උගත් බුද්ධිමත් අවංක කාර්යශූර හොරකම් නොකරන වැදගත් විද්වතුන් පත් කිරීම් මගින් එම ආයතන ලාභ ලබන තත්ත්වයක් ඇති කරන එක කළ යුතු බවයි, නැතුව නිකරුණේ රජයේ වටිනා සම්පත් පෞද්ගලීකරණය කිරීම මගින් සියලුම ආයතන විනාශ වී බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වෙද්දී සිය ලාභ ප්‍රති ආයෝජනය කරමින් දිළිඳු ජනයාගේ මුදල් සූරා කෑම හරහා ධනවතුන් කීප දෙනෙක් තව තවත් ධනවත් කිරීමක් පමණක් බවයි.
තවත් දෙයක් තමයි ලංකාවේ ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨතම ජ්‍යොතිෂ ශාස්ත්‍රවේදී නාත්තණ්ඩියේ අසෝක පෙරේරා නිල වශයෙන් නිවේදනය කර ඇති පරිදි ලංකාවේ ආණ්ඩුව නිල වශයෙන් බංකොලොත් වෙන නැකත යෙදී තියෙන්නේ 2022 මාර්තු මාසේ 5 වෙනිදා උදේ 08:34ට බවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. නමුත් මට ඇති ගැටලුව හරියටම මේ වෙලාවේම බංකොලොත් වෙන්නේ කොහොමද කියලා ආර්ථික විද්‍යාව අනුව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
//නමුත් මට ඇති ගැටලුව හරියටම මේ වෙලාවේම බංකොලොත් වෙන්නේ කොහොමද කියලා ආර්ථික විද්‍යාව අනුව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?//
Deleteලංකාවේ ආර්ථික අර්බුදය දිහා ගොඩක් අය බලා ඉන්නේ ක්‍රිකට් මැච් එකක් බලන විදිහට. ඒ අයට ලංකාව බංකොලොත් වන නිශ්චිත දවසක් දැන ගන්න අවශ්‍යයි. තවත් අයට ප්‍රසිද්ධ කෙනෙක් (උදාහරණයක් ලෙස චම්පික වැනි) මේ වගේ දවසක් ගැන කියනවා අහන්න අවශ්‍යයි. මේ නිසා, කවුරු හෝ කෙනෙක් ආර්ථිකය බංකොලොත් වේයැයි කියන නිශ්චිත දවසක් දැන ගැනීම සඳහා රටේ ඉල්ලුමක් තිබෙනවා. එය නොසංසිඳුණු ඉල්ලුමක්. ආර්ථික විද්‍යාව අනුව නොසංසිඳුණු ඉල්ලුමක් කියා කියන්නේ ලාබ ලැබිය හැකි ව්‍යාපාරික අවස්ථාවක්. කිසියම් ව්‍යවසායකත්වයක් ඇති අය ඉල්ලුමට සරිලන සැපයුමක් කර එහි මිල අය කර ගන්නවා.