වෙබ් ලිපිනය:

Monday, May 22, 2017

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට ඉන්දියානු බලපෑම්!

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සුබසාධන පහසුකම් පුළුල් කිරීම සඳහා ඉන්දියාවෙන් සිදු කර ඇති බලපෑම් ගැන විශ්වාසනීය තොරතුරු අපට අශෝක සෙල්ලිපි වලින් හමුවේ. මුඛ පරම්පරාවෙන් එන තොරතුරු හෝ වරින් වර අතින් පිටපත් කෙරුණු පොත් වල ඇති තොරතුරු මෙන් කාලයත් සමඟ වෙනස් නොවන නිසා සෙල්ලිපි වල ඇති තොරතුරු ඉතිහාසය පිළිබඳ වඩාත්ම විශ්වාසනීය මූලාශ්‍ර ලෙස සැලකිය හැකිය.

පැරණි අශෝක අධිරාජ්‍යයට අයත් බිම් පෙදෙස් පුළුල් ලෙස ආවරණය කරමින් පිහිටුවා ඇති අශෝක සෙල්ලිපි හා ටැම්ලිපි වලින් ඒ කාලයේ කලාපීය භූ දේශපාලනය හා සමාජ ජීවිතය ගැන තොරතුරු රැසක් දැනගත හැකිය. මේ සෙල්ලිපි හා ටැම්ලිපි වල සරල භාෂා විලාශය අනුව ඒවා අශෝක රජු විසින් පෞද්ගලිකවම ලියා දී ඇති ලෙස සැලකේ.

මේ සෙල්ලිපි හා ටැම්ලිපි සඳහා යොදාගෙන ඇති නැගෙනහිර ඉන්දියාවේ එවකට භාවිතා වී ඇති ප්‍රාකෘත භාෂාව බුද්ධ ධර්මය දේශනා කළ නියම භාෂාව වන්නටත්, සිංහල භාෂාවේ නියම මූල භාෂාව වන්නටත් බොහෝ දුරට ඉඩ තිබේ. දැනට භාවිතයේ ඇති ත්‍රිපිටකයේ භාෂාව (පාලි) වඩා ආසන්න වන්නේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ භාවිතා වී ඇති ප්‍රාකෘත භාෂාවටය. මිහිඳු හිමි හා සංඝමිත්තාවන් කුඩා කාලයේදී කතා කරන්නට ඇතැයි සිතිය හැක්කේ ඔවුන්ගේ මව ජීවත් වූ මධ්‍ය ප්‍රදේශයේ (විදිශා නගරයේ) භාෂාවයි. බින්දුසාර රජුගේ රාජ්‍ය කාලයේදී අශෝක රජු මුලින්ම යුව රජු ලෙස කටයුතු කළේද මධ්‍ය ප්‍රදේශයේ අවන්ති රාජ්‍යයේය. ඔවුන් ඒ භාෂාව මෙන්ම නැගෙනහිර ඉන්දියාවේ පාඨලීපුත්‍ර නගරයේ භාෂාවද හොඳින් දැන සිටින්නට ඇත. මේ භාෂා අතර මෙන්ම ඒ කාලයේ ලංකාවේ භාවිතා වී ඇති භාෂාවේත් කොහොමටත් ලොකු වෙනසක් නැත. පසුව බුද්ධඝෝෂ හිමියන් කතා කරන්නට ඇත්තේද මධ්‍ය ප්‍රදේශයේ භාෂාවයි.

නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීම පිළිබඳ අශෝක ප්‍රතිපත්ති ඔහුගේ දෙවන ප්‍රධාන සෙල්ලිපියේ පහත අයුරින් ලියා තබා තිබේ.

"සර්වත විජිතම්හි දෙවානංප්‍රියස පියදසිනො රාඤො එවමපි ප්‍රචංතෙසු යථා චොඩා පාඩා සතියපුතො කෙතලපුතො ආ තංබපංණී අංතියකො යොනරාජා යෙ වා පි තස අංතියකස සාමීපා රාජානො සර්වත්‍ර දෙවානංප්‍රියස ප්‍රියදසිනො රාඤො ද්වෙ චිකීඡ කතා මනුස චිකීඡා ච පසු චිකීඡා ච."

දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජුගේ සියළු විජිතයන්හිද, ප්‍රත්‍යන්තයන්හි ඇති චෝල, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර, කේරලපුත්‍ර හා තම්බපණ්ණි, අන්තියක යවන රජුගේ හා අන්තියකගේ රාජ්‍යයට සමීප රටවල් යන සියළු තැන් වල දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු විසින් මනුෂ්‍ය චිකිත්සා හා පශු චිකිත්සා යන දෙආකාරයේ චිකිත්සා සිදු කිරීමට කටයුතු සලස්වා තිබේ. (මෙහි සඳහන් අන්තියක යවන රජු ක්‍රිස්තු පූර්ව 261-246 අතර සිරියාව පාලනය කළ අන්තියෝකස් තියොස්ය.)

"ඔසුධානි ච යානි මනුසොපගානි ච පසුපගානි ච යත යත නාස්ති සර්වත්‍ර හාරාපිතානි ච රොපාපිතානි ච."

මිනිසුන්ට හා සතුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග නැති සියළු තැන් වලට ඒවා රැගෙන ඒමත් රෝපණය කිරීමත් කෙරේ.

"මූලානි ච ඵලානි ච යත යත්‍ර නාස්ති සර්වත හාරාපිතානි ච රොපාපිතානි ච."

(ඖෂධ පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය) මුල් හා ඵල නැති සියළු තැන් වලට ඒවා රැගෙන ඒමත් රෝපණය කිරීමත් කෙරේ.

"පංතෙසූ කූපා ච ඛානාපිතා ව්‍රචා ච රොපාපිතා පරිභොගාය පසුමනුසානං."

මාර්ග දෙපස සතුන්ගේ හා මිනිසුන්ගේ පරිභෝජනය පිණිස ලිං කැණීමද ආහාර සඳහා ගත හැකි (පළතුරු) ගස් සිටවීමද කරනු ලැබේ.

අශෝක රජුව නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට පෙළඹවූ හේතුව මහා වංශයේ පස්වන පරිච්ඡේදයේ විස්තර වෙයි.

"පූර්වයෙහි පැළලුප් නුවරින් නික්ම වනයෙහි හැසිරෙන්නා වූ වනචර පුරුෂයෙක් තෙම කුන්න කින්නරියක් සමඟ සංවාසය කළේය. ඕ තොමෝ උහු හා සංවාසයට පැමිණ පුතුන් දෙදෙනෙක් ඉපදවීය. දෙටු තෙමේ තිස්ස නම් ඇති විය. කණිටු තෙමේ සුමිත්ත නම් විය."


මේ සොහොයුරන් දෙදෙනාම සුදුසු කාලයෙහි මහා වරුණ නම් ස්ථවිරයන් සමීපයෙහි පැවිදි වී පසුව අර්හත් භාවයට පැමිණෙති. එසේ සිටියදී දිනක් වැඩිමල් තිස්ස ස්ථවිරයන්ව ගෝනුස්සෙකු විසින් දෂ්ඨ කරනු ලබයි. මෙයට ප්‍රතිකාර ලෙස ගිතෙල් අවශ්‍ය වුවත් ඒ ස්ථවිරයෝ මෙය රජුට දැන්වීමට හෝ සවස් කාලයේ ගිතෙල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිඬු සිඟා යාමට කැමති නොවෙති.

"ඉදින් තෙපි පිඬු පිණිස හැසිරෙමින් ගිතෙල් ලබන්නාහු නම් එ ගෙණව යි තිස්ස නම් ස්ථවිර තෙම සුමිත්තනම් උතුම් ස්ථවිරයන් වහන්සේට කී සේක. පිඬු පිණිස හැසිරෙන්නා වූ උන් වහන්සේ විසින් ගිතෙල් පතක් නොලද්දේය."

නිසි ප්‍රතිකාරයක් නොලබන තිස්ස ස්ථවිරයන්ගේ ජීවිතය කෙළවර වේ. මේ ගැන දැන ගැනීමට ලැබීමෙන් පසුව අශෝක රජු මහත් කම්පාවට පත් වේ.

"ඒ අසා හටගත් සංවේග ඇත්තේ නුවර (සතර) දොර සුණුවමින් කරන ලද පොකුණු බෙහොදින් පුරවා භික්ෂු සංඝයාට බෙහෙත් දුර්ලභ නො වේවා යි දවසක් දවසක් පාසා භික්ෂු සංඝයාට බෙහෙත් පැමිණ වූයේය. "

සිය අධිරාජ්‍යය තුළ පමණක් නොව ඉන් පිටත වූ තම්බපණ්ණිය හෙවත් ලංකාව ඇතුළු ප්‍රත්‍යන්ත ජනපද දක්වාම නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට අශෝක රජු පෙළඹුණේ මේ සිද්ධියෙන් පසුව වන්නට පුළුවන.කෙසේ වුවත්, මේ පසුපස ඇති අශෝක රජුගේ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයන්ද ඉතා පැහැදිලිය. එයට හොඳම සාක්ෂිය වනුයේ  රාජ්‍ය බලය ලබා ගැනීමට නියමිත තිබුණු දේවානම්පියතිස්ස රජු සමඟ කලින්ම සම්බන්ධතා හදා ගැනීම හා මහින්දාගමන මෙහෙයුම සඳහා මුටසීව රජුගෙන් දේවානම්පියතිස්ස රජු අතට රාජ්‍ය බලය ලැබෙන තුරු කල් යල් බැලීමයි.

මහා වංශය ඇතුළු ඓතිහාසික ලේඛණ පිරික්සන විට පැහැදිලිව පෙනෙන්නේ අශෝක සමයේ ලංකාවට ඉන්දියාවෙන් ලැබී ඇත්තේ බුද්ධ ධර්මය පමණක් නොවන බවයි. එය තවත් බොහෝ දේ අඩංගු සම්පූර්ණ පැකේජයකි.

(Image: http://imgur.com)

21 comments:

  1. එක තමයි ලංකාවට අම්බුලන්ස් දුන්නේ.. එකොනෝ මෙහෙ ඇවිල්ල බලන්න එපැය 1990 නිතර කොළඹ එහෙමෙහෙ යනවා..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්දියන් ගිලන් රථ නවත්වා තියෙන්නේ රෝහල්වල නෙමේ පොලිස් ස්ථානවල.එහෙම වෙලා තියෙන්නේ මේ ගිලන් රථ සඳහා වෛද්‍යවරු දක්වන අනිසි විරෝධයයි.

      Delete
    2. මොන තත්ත්වයන් යටතේ වුවත් හදිසි ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීම ඉතාම හොඳ දෙයක් ලෙසයි මම දකින්නේ. දැන් තිබෙන අභියෝගය එය පවත්වා ගෙන යාමයි. ඉන්දියාවේදීත් හදිසි ගිලන් රථ සේවාව දිගටම නඩත්තු කිරීම අසීරු කරුණක් වී තිබෙනවා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. එහෙනම් ඔන්නොහෙ දැන් එට්කා පැකේජයත් දෙන්න කියල නිකම් ඉම්මු

    ReplyDelete
    Replies
    1. ධර්මාශෝක පැකේජය හා සසඳන විට එට්කා එකේ ඇති දෙයක් නැත. ඒ වගේම ලංකාව වඩා විවෘත වීමෙන් හා ලංකාවේ සේවා ආර්ථිකය වඩා තරඟකාරී වීමෙන් ලංකාවට දීර්ඝකාලීනව සිදුවන්නේ යහපතකි. ලංකාව සැලකිලිමත් විය යුත්තේ ගිවිසුම් ඒකපාර්ශ්වික වීමට ඇති ඉඩ වලක්වා ගැනීමට පමණි. දරුවා සමඟ කොරහ විසි කළ යුතු නැත.

      Delete
  4. ගල් ලිපි ලියල තියෙන්නෙත් ට්විටර් ෆොර්මැට් එකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් භාවිතා වන SMS ෆෝමැට් එකත් සෙල්ලිපි ෆොර්මැට් එක වගේ තමයි!

      Delete
  5. පැකේජය = පොට්ටනිය

    (ඕල්වේස් බ්‍රේක්ඩවුන්)

    ReplyDelete
  6. දෙවියන්යට ප්‍රිය වූ ප්‍රියදර්ශී කියන්නේ දේවානම් පියතිස්ස නෙමේද ?

    ReplyDelete
    Replies
    1. අශෝක රජු ඔහුගේ නම ලෙස භාවිතා කර තිබෙන්නේ ප්‍රියදර්ශී යන්න. දේවානම්ප්‍රිය කියන කොටස ටයිටල් එකක් ලෙස භාවිතා කර තිබෙනවා. මේ ටයිටල් එකම තිස්ස කියන නමට ඉදිරියෙන් දේවානම්ප්‍රිය තිස්ස කියාත් භාවිතා කර තිබෙනවා. මෙය තිස්ස රජුට ඉන්දියාවෙන් ලැබුණු නයිට් නාමයක් හෝ සම්මාන ආචාර්ය උපාධියක් වැනි දෙයක් ලෙස සැලකිය හැකියි.

      Delete
  7. ඉකොනොමැට්ටා දෛවඥයතුමනි, ආසියා-පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස ද බෑන්කර් සඟරාවේ තෙරිම්වූ රවී කරුණානායක මහතාට සිය ධුරය අහිමිවීමට හේතුවුයේ ඔහුගේ උපන් නැකතේ අඩුපාඩුවක් නිසාද?

    ReplyDelete
    Replies
    1. :D
      ඒ වුනාට කේන්දරේ එච්චරම නරක නැතුව ඇති.ඒකනේ මුදල් අමත්‍යංශය යටතේ තියෙන්න ඕන ආයතන ගණනාවක් දිගටම රවී යටතේම තියනවායි කියන්නේ.

      Delete
    2. ග්‍රහචාරය අනුව මැයි මාසයේ මැද රවී මේසයෙන් මාරුවිය!

      Delete
  8. අතීතය තුලින් වර්ථමානය දැකීම....!

    ReplyDelete
    Replies
    1. වර්තමානයේ සිදුවන බොහෝ දේවල් වලට කිට්ටු දේවල් අතීතයෙන් හොයා ගත හැකියි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...