වෙබ් ලිපිනය:

Sunday, November 21, 2021

ශ්‍රමික ප්‍රේෂණ උල්පතත් හිඳෙන්නද යන්නේ?


වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා දැඩි විදේශ විණිමය අර්බුදයකට මුහුණ දී සිටින ලංකාව මේ තරමින් හෝ ඔළුව උස්සාගෙන ඉන්නේ දිගින් දිගටම ලැබෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණ නිසයි. විශාල විදේශ විණිමය අර්බුදයක සිර වී සිටි පසුගිය වසරේදීද ලංකාවට ඩොලර් මිලියන 7,103.9ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණා. මෙය සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 592ක්. අඩු වශයෙන් පසුගිය වසර හතක පමණ කාලය තුළ ලංකාවට සාමාන්‍ය වශයෙන් මාසිකව මීට ආසන්න ඩොලර් ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණා.

කෙසේ වුවද, පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 352.2ක් පමණයි. මෙම ප්‍රමාණය පසුගිය වසර 11ක කාලය තුළ ලංකාවට මසක් තුළ ලැබී ඇති අවම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වන අතර පෙර වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 702.7න් බාගයක පමණ ප්‍රමාණයක්. 

මහ බැංකුවේ විදේශ විණිමය උපයා ගැනීමේ උපාය මාර්ග අතරද ශ්‍රමික ප්‍රේෂණ වලට විශාල බරක් තබා තිබෙනවා පමණක් නොව අනාගතයේදී ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ ඇපයට තබා ණය ගැනීමේ සැලසුමක් පිළිබඳවද මහ බැංකුව මෑතකදී ප්‍රකාශයක් නිකුත් කළා. එහෙත්, මෙය කරන්න යන්නේ විණිමය අනුපාතය හිර කරගෙන තබා ගෙනයි. 

විණිමය අනුපාතය හිර කරගෙන ශ්‍රමික ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම, අපනයන වැඩි කිරීම, ආනයන ඉල්ලුම සීමා කිරීම ආදී කිසිවක් කළ නොහැකියි. සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් මෙය අධෝමුඛය මසා විරේක බේත් දෙනවා වගේ වැඩක්.

ශ්‍රමික ප්‍රේෂණ මේ තරම්ම අඩු වෙන්න පිළිගත හැකි බාහිර හේතුවක් නැහැ. මෙයින් පෙනෙන්නේ ලංකාවට සාමාන්‍යයෙන් ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් විශාල ප්‍රමාණයක් බැංකු පද්ධතිය මඟ හැර වෙනත් මාර්ග හරහා රටට පැමිණෙන බවයි. අනෙක් පැත්තෙන් එයින් අදහස් වන්නේ ඩොලර් අවශ්‍ය, එහෙත් විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමේ අවස්ථාව අහිමි කරනු ලැබ ඇති, ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් මොන විදිහකින් හෝ තමන්ට අවශ්‍ය ඩොලර් හොයා ගන්නා බවයි. කවර බාධා ක්‍රියාත්මක වුවත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම නොවැලැක්විය හැකියි.

මෙතෙක් ඉදිරිපත් කළ "මහදැනමුතු විසඳුම්" බොහොමයක්ම මේ වන විට රිවස් කර තිබෙන මේ ආණ්ඩුවට විදේශ විණිමය ප්‍රතිපත්තියද වැඩි කලක් නොයා රිවස් කරන්නට සිදු වනු නොඅනුමානයි. දැනටමත් එළුවාගේ බෙල්ල කපා අවසන් කර ඇති ආණ්ඩුව කොයි වෙලාවේ හෝ මුට්ටිය බිඳීමෙන් පසුව ඩොලරයේ මිල එකවර සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එවිට සිදු වනු ඇත්තේ දැනට විරේක බෙහෙත් බීමේ අපහසුතාවයෙන් පෙලෙන ජනතාවට අධෝමුඛය ඉරී යාමේ වේදනාවටද මුහුණ දෙන්නට සිදු වීමයි.

70 comments:

  1. හැබැයි මෙහෙම දෙයක් තියෙනව නේද.
    හිතන්නකො කාට හරි මොනව පිටරට කැම්පස් එකකට සල්ලි ගෙවන්න තියෙනව කියල.
    හරි විදියටනම් ලන්කාවට නීත්‍යානුකූලව එන ඩොලර් වෙලඳපොල මිලට මිලදීගෙන ආපහු රට යවන්න ඕනනෙ. නමුත් උන්ඩියල් ක්‍රමයට කිරීමෙන් එහෙම අවශ්‍යතාවයක් වෙන්නෙ නෑ. රට ඇතුලෙ ඩොලර් වලට තරඟෙකුත් නෑ. වෙලඳ ශේශයට එකතු වෙන්නෙත් නෑ. රජයටත් ඩොලර් එක උන්ට ඕන රේට් එකට තියාගෙන මිනිස්සුන්ව රවට්ටන්න පුලුවන්.
    ආර්තිකව ගත්තොත් ඉස්සරට වඩා මහලොකු වෙනසක් නෑ. ඕනෙනම් ණය ගැනීමේ හැකියාව අඩු වෙලා ඇති.
    මම හරිද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ.

      Delete
  2. ඇත්ත තමයි ලංකාවේ මේ දවස්වල තියෙන්නේ ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත අර්බුදයක. ආර්ථික අර්බුදය, විදේශීය විනිමය අර්බුදය, උද්ධමනය, විරැකියාව, ගෙවුම් ශේෂ හිඟය, අයවැය හිඟය මේ වගේ බරපතළ වචන වලින් කතා කළේ නැති වුණාට ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැති වුණාට ලංකාවේ ඉන්න දුප්පත්ම දුප්පත් පුද්ගලයාටත් මේ අර්බුදය ඇඟට දැනෙනවා කියලා කියන්න පුළුවන්. කුලියක් සොයාගන්න දවස පුරාම කම්මලක් කම්මලක් ගානේ ඇවිදලා, වත්තක් වත්තක් ගානේ ඇවිදලා රුපියල් සියයක්වත් හොයාගන්න බැරි වෙලා ඇඟ දාඩියෙන් තෙමිලා කකුල් කඩිත්තුව හැදිලා ගෙදර බඩගින්නෙ ඉන්න පුංචි දරුවෝ සිහිපත් කරමින් පපුව පිච්චි පිච්චි ගෙදර යන තාත්තා කෙනෙකුට මේ අර්බුදය ඇඟට දැනෙනවා. මල්ලක් අරගෙන කඩේට, පොළට ගිහිල්ලා බඩු මිල දැකලා අල්ලට බඩු අරගෙන එන්න සිද්ධ වෙන අම්මා කෙනෙකුට මේ අර්බුදය ඇඟට දැනෙනවා.

    ඒ නිසා මේ අර්බුදය ලංකාවේ ඉන්න අපේ සමීපතයන් වගේම වෙනත් හැමෝගෙම ඇඟට දැනෙමින් තියෙන්නෙ, ඒ නිසා මේ අර්බුදය විසඳා ගැනීමේ පළමු පියවර වන්නේ රජය සහ පොදුවේ රටම අපි මුහුණ දෙමින් සිටින්නේ දැවැන්ත අර්බුදයකට බව පිළිගැනීමයි. පළමු කොන්දේසිය අපි අර්බුදයක සිටින බව පිළිගැනීම කියන්නේ දුකත් තියෙන බව පිළිගන්නේ නැත්නම් දුකෙන් මිදීමේ මාර්ගය සෙවීම එතන සිද්ධ වෙන්නෙ නෑ. පැස්බරා වැල්ලේ ඔලුව ගහගෙන ඕන් දැන් මම හැංඟුනා කියලා හිතනවා වගේ, ඩොලර් අර්බුධයක් නෑ මුදල් අර්බුධයක් නෑ අපිට හොඳට සල්ලි තියෙනවා කියන මානසිකත්වයෙන් අපි හිටියොත් අපිට මේ අර්බුදයෙන් කවදාවත් ගොඩයන්න හම්බ වෙන්නේ නෑ. ආණ්ඩුවේ උදය ගම්මන්පිල ජූනි මාසයේ ලංකාව ආර්ථික අර්බුදයක ඉන්නේ, දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් පාමුල ඉන්නේ කියන කාරණය රටට ප්‍රකාශ කළා.

    ඒ වගේම බරපතළ ආර්ථික න්‍යායන් පැත්තකට දාලා ඉතාම සරලව අපි මේ ප්‍රශ්නය තේරුම්ගන්න උත්සාහ කළොත් අද තියෙන ප්‍රශ්නය තමයි ආණ්ඩුවට රුපියල් නෑ රටට ඩොලර් නෑ. කොහොමද මේ ප්‍රශ්නය ඇති උනේ කියලා බලද්දි ලංකාවේ ආණ්ඩු හරිම ජේත්තුකාර ජාතියක්, ආදායමට වඩා වියදම් කරන්න කැමති ජාතියක් බවට රටම පත් කළේ 1955 සිටම ඉදිරිපත් කළේ හිඟ අයවැය හරහා. (අයට වඩා වැය තියෙන අය වැය). අයවැය පියව ගන්න අපි රුපියල් වලින් ණය ගත්තා. එහෙනම් මේ ණය බර පිලිබද අර්බුදයට, අයවැය හිඟය පිළිබඳ අර්බුදයට, ආණ්ඩුවට රුපියල් නැති විම පිලිබද අර්බුදයට 1955 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. ඒ ආණ්ඩුව කොළ පාටද නිල් පාට ද රතු පාට ද කහ පාට ද දම් පාටද ගුරු පාට ද කියන එක අදාල නෑ මේ සියලු දෙනා මේ අර්බුදයට අඩු වැඩි වශයෙන් දායක වෙලා තියෙනවා.

    ඒ නිසා ආදායමට වඩා වියදම් කරනවා කියන්නෙත් ණය අරගෙන වියදම් කරනවා කියන්නෙත් අනාගත ආදායම දැන් වියදම් කරනවා කියන එකයි. අනාගත පරම්පරාව උගසට තබා ලංකාවට සැබැවින්ම අයිති නැති ජීවන මට්ටමක් ලංකාවේ රජය විසින් භුක්ති විදිමින් සිටිනවා කියන එකයි. ඒ වගේම 1955 සිට අපි දැක්කා ලංකාවට රුපියල් ණය ගත්තා. 1978 සිට මොකද කළේ බරපතළ ලෙස ඩොලර් ණය ගන්න ගත්තා. මේ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ධුර කාලය ගැන හිතලා වැඩ කළා මිසක් අනාගතය ගැන හිතුවේ නෑ. කියමනක් තියෙනවා නේද දේශපාලනඥයා ඊළඟ මැතිවරණය ඉලක්ක කර ගෙන තීන්දු ගන්නා අතර රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ගැන සිතා තීන්දු ගනී කියලා. එහෙම බලද්දී අපේ ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් (statesman) ඉඳලා තියෙන්නේ ඉතාම අතලොස්සක් කියන එක ඉතාම කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේ අර්බුදය කෝවිඩ් නිසා ඇති වූ අර්බුදයක්ම නෙමෙයි 1955 සිටම මෝරපු අර්බුදයක්. මේක 1978 සිට ත්‍රීව්‍ර්ර වුනු අර්බුදයක්. ඇත්තෙන්ම 2019 වන විට ආර්ථික වර්ධන වේගය 2%ට වැටිලා, ණය අනුපාතය 87% නැගලා. පෙන්නුම් කළේ මේ අර්බුදයේ රෝග ලක්ෂණ. උණ හැදෙනකොට දැනෙන්න ඕනේ ආ ලෙඩක් හැදෙන්න එනවා තමයි කියලා. මේ බෝම්බය කොහොමත් පුපුරන්න තිබ්බ බෝම්බයක්. කෝවිඩ් නිසා ටිකක් ඉක්මනට පුපුරලා ගියා. ආර්ථික අර්බුදය පුපුරා හැලෙන විට බලයේ සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුවක්. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවට සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළා නම් මේ අර්බුදය මතු වෙන්නෙ නැද්ද? 2019 වසරෙ ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය ඩොලර් බිලියන 8 ක්. ණය ගෙවන්න තිබුණු ණය වාරික සහ පොලී ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 13ක්. මේ ඩොලර් බිලියන 13 පරතරය පියව ගත්තෙ සංචාරක ව්‍යාපාරයෙන් විදේශ ගත ශ්‍රමිකයන් එවන ඩොලර්වලින් ආයෝජකයො රටට ගෙනාපු ඩොලර් වලින් ඉතුරු ටික ණයට අරගෙන. දැන් කොවිඩ් වසංගතය ආවහම 2020 – 2021 වර්ෂ වලදී මේ ආදායම් මාර්ග අපට අහිමි වුණා, දැන් සජිත් ජයග්‍රහණය කළා නම් කොවිඩ් වසංගතය එන්නේ නැද්ද?සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙන්නේ නැද්ද? විදේශ ගත ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීම, වසරකට එක්ලක්ෂ අසූ දාහක් විදේශ ගත වෙන රැකියා ලාබීන්ගෙ රැකියා අවස්ථා අහිමි වීම සිද්ධ වෙන්නෙ නැද්ද? මේ ලෝක අර්බුදය මගහරින්න ඔබට පුළුවන්ද? කවුරු බලයේ හිටියත් මේ අර්බුදයට මුහුණ දෙන්න ඕනේ කියන එක අපි පිළිගන්න ඕන, මේ විනාශ වෙන්නේ පොහොට්ටු සන්ධානයේ රට ද? නෑනේ. සමස්ත ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන බරපතල තත්වයක්.

      ලංකාවේ සංස්කෘතිය අනුව ජාතක කතා පොතේ පවා කියන්නේ අර්බුදයක් ඇති වුණාම සමගි වෙලා වටු කුරුළු රෑන දැල ඔසවාගෙන පියඹා ගිය අයුරින් තමයි අපි මෙවැනි අර්බුදයන්ට මුහුණ දෙන්න ඕනේ කියලා, නමුත් අද ලංකාවේ තත්ත්වය එහෙමද? ලංකාවේ මිනිස්සු ජාති වලට බෙදිලා ආගම් වලට බෙදිලා පක්ෂ වලට බෙදිලා ඒ මදිවට පක්ෂ ඇතුළෙත් පුංචි පුංචි කල්ලි වලටත් බෙදිලා, කරන්නේ මෙහෙම බෙදිලා ප්‍රශ්නයට උත්තරය හොයනවා වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා. What we are doing is the blame game, blaming each other. That is what we have been doing since the Independence, I would like to propose to establish the blame game as SL's national sport. Because it’s an inseparable part of our culture.

      මොකද මේ විනාශ වෙන්නේ අපේ රට. මේ විනාශ වෙන්නේ පොහොට්ටු සන්ධානයේ රට නෙමෙයි. සජබ, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානේ මේ අපි හැමෝගෙම රට.ඒ නිසා උන්ගේ රට විනාස වෙනවා ඔන්න ඔහෙ විනාශ වුන දෙන් ඒකට අපිත් පෝර ටිකක් දානවා කියලා අපි කාටවක්කත් බලාගෙන ඉන්න බෑ. මේ රට විනාශ වුනොත් අපි ඔක්කොම විනාශ වෙනවා. වසංගතය තුළ තමන්ගේ දේශපාලනයක් කරලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්නෙ කොහොමද කියන එක වෙනුවට අපි ඔක්කොම එකට එකතු වෙලා ලංකාව වසංගතයෙන් ගොඩ දමන්නේ කොහොමද කියන එකයි මේ මොහොතේ රටට ආදරය කරන දේශපාලකයාගේ වගකීම වෙන්නේ, අද ලෝකය පුරාම සිදු වෙන්නේ විපක්ෂය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කොරෝනා පරාජය කිරීම මිස කොරෝනත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පරාජය කිරීම නොවන බව අපි සිහිපත් කරන්න ඕන නැද්ද ඉකොනොමැට්ටා?

      Delete
    2. //What we are doing is the blame game, blaming each other. That is what we have been doing since the Independence//

      මෙතැන වක්‍ර ලෙස කරන්නෙත් ඔය වැඩේමනේ.

      //අයවැය හිඟය පිළිබඳ අර්බුදයට, ආණ්ඩුවට රුපියල් නැති විම පිලිබද අර්බුදයට 1955 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. ඒ ආණ්ඩුව කොළ පාටද නිල් පාට ද රතු පාට ද කහ පාට ද දම් පාටද ගුරු පාට ද කියන එක අදාල නෑ මේ සියලු දෙනා මේ අර්බුදයට අඩු වැඩි වශයෙන් දායක වෙලා තියෙනවා.//

      අඩු වැඩි වශයෙන් කියන එක නිවැරදි වුවත් මේ ප්‍රකාශය හරහා වැඩිම දායකත්වය කාගෙන්ද කියන කරුණ සැඟවීමකුයි වෙන්නේ. 1955න් පසුව, දිගටම අයවැය හිඟයක් පැවතුණත් 2017-2018 අතර ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනුණු බව මෙහිදී අමතක කෙරෙනවා. පරණ ණය වල පොලිය ගෙවන්න නොතිබුණානම් එම වසර වලදී අයවැය හිඟයක් නැහැ. ඒ වගේම, රාජ්‍ය වියදම් අඩු කර ගත නොහැකි වී තිබෙන්නේ රාජ්‍ය සේවය දරා ගත නොහැකි තරමට විශාල කර තිබෙන නිසා බවත්, එය ලොකුවටම සිදු වුනේ රාජපක්ෂ දශකය තුළ බවත් මෙහිදී කියා නැහැ. වැදගත්ම කරුණ වත්මන් ඩොලර් හිඟයට හේතු වී තිබෙන විදේශ ණය පිරමිඩය 2010දී ගොඩ නැගූ එකක් කියන එක. 1978 සිට විදේශ බැරකම් ඉහළ ගිය බව ඇත්තක් වුවත්, රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම නිසා අද පවතින ආකාරයේ අර්බුදයක් ඇති වුනේ නැහැ. විදේශ බැරකම් විශාල ලෙස ඉහළ ගියේ 2010දී ඇටවූ විදේශ ණය පිරමිඩය නිසයි. ඒ ගැන කතා නොකර වත්මන් අර්බුදය නිදහසේ සිට හැම ආණ්ඩුවකටම පැටවීම විහිළුවක්. රාජ්‍ය ණය අර්බුදයට හැම ආණ්ඩුවක්ම වග කිවයුතු බවත්, අර්බුදය තීව්‍ර කළේ 1977 ආණ්ඩුව කාලයේදී බවත් ඇත්ත. එහෙත් විදේශ ණය අර්බුදය 2010දී ඇති කළ අර්බුදයක්. 2019 වන විට ආර්ථික වර්ධන වේගය 2%ට වැටුනේ 2010 සිට පැවති අසමතුලිතතාවන්ගේ ප්‍රතිඵලයක් නිසා කියන එක මෙහි කියැවෙන්නේ නැහැ. මේ ප්‍රකාශයෙන් වැරැද්ද ප්‍රතිවිරුද්ධ පිලට පටවනවා වගේම ප්‍රතිවිරුද්ධ පිල ඒ දෙයම කරන එකත් දේශපාලනය ක්‍රියාත්මක වන සාමාන්‍ය ආකාරයයි. මේ ප්‍රකාශය කරන ගම්මන්පිල වැනි අය බලයට පැමිණීම සඳහා පසුගිය ආණ්ඩුවේ හොඳ ක්‍රියාමාර්ග පවා විවේචනය කළ අයුරින්ම දැන් විපක්ෂයද බලයට පැමිණීම සඳහා මේ ආණ්ඩුව ඉවක් බවක් නැතිව විවේචනය කරමින් රත් වී ඇති වෙලාවේ යකඩය තලනවා.

      Delete
    3. ඉකොනොමැට්ටා, මට නම් ඉතාමත් පැහැදිලි කාරණයක් තමයි ලංකාවේ රාජපක්ෂ පවුල හෝ ලංකාවේ සියලුම ආකාරයේ දේශපාලකයන් ඩොලර් බිලියන ගණනක් හොරකම් කිරීමට කිසිම ඉඩක් නෑ. ලංකාවේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 80 ගණන් වල තිබුණත් එයින් රාජ්‍ය ආයතන වල නිෂ්පාදිතය සහ රජයේ ප්‍රාග්ධන වියදම් ඉතා කුඩා කොටසක් බවත් වැඩිපුරම මුදල් ගැවසෙන්නේ පුද්ගලික අංශයේ බවත් ඔබ දන්නවා ඇතිනේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට සෑහෙන චෝදනා එල්ල වූ බැඳුම්කර සීන් එක ඩොලර් මිලියන 50ක පමණ කුඩා එකක්. ලංකාවේ සැබෑ ප්‍රශ්නය ඊට වඩා බෙහෙවින් වෙනස් එකක්.

      ලංකාවේ සමස්ත රාජපක්ෂ පවුලම අයථා ලෙස උපයා ගෙන ඇතී මුළු මුදල් ප්‍රමාණය උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් විතර වෙන බව තමයි ලංකාවේ සහ විදෙස් ප්‍රවීණ ගණකාධිකාරී, මූල්‍ය විශ්ලේෂකයන් වැනි වෘත්තීයවේදීන් විසින් පවසා තිබුණේ. මේ මුදල උපරිම වශයෙන් ඩොලර් මිලියන 500 කට අඩුයි කේ පී සහ එල් ටී ටී එකේ මුදල් ද ඔවුන් විසින් අත්පත් කරගෙන තියෙන බවත් සලකලා බැලුවම. අනෙක් අතට ඒ මුදලින් භාගයකට වඩා 2015 දී පමණ මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, රවී, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක, අනුර කුමාර සහ විජිත හේරත්, රංජන් රාමනායක ඇතුළු සෑහෙන පිරිසක් අතර බෙදා දීමට සිදු වුණා නඩු වලින් බේරීමට.

      තවත් විශාල මුදලක් වියදම් වුණා 2018, 2019 සහ 2020 මැතිවරණ කැම්පේන් වලට සහ දිලිත් ජයවීර වැනි අය විසින් මෙහෙයවූ අලෙවිකරණ ව්‍යාපෘතිවලට.

      අනෙක බැසිලිකා උන්නැහේට ඩොලර් බිලියන ගණනක් තියෙනවා නම් බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක් swap කරලා ලංකාවේ ගොන් හැත්තට චාටර් වෙන්නේ නෑ. බොන්ඩ් ඉෂූ කරලා වෙන කෙනෙක් ගේ නමට අරන් තත්ත්වය පාලනය කරනවා. බංග්ලාදේශය දකුණු ආසියාවේ වේගයෙන් දියුණු වෙන බලවත්ම රට, ආර්ථික සංවර්ධන මොඩලය ඉන්දියාවටත් වඩා සෑහෙන්න හොඳයි.

      ඒ වගේම ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න නම් ලංකාවට මේ වෙලාවේ විශාල රිස්ක් එකක් ගන්න වෙනවා, IMF හරි ඇමරිකන් එක්සත් ජනපදයේ ලෝන් එකකට ගියොත් කොන්දේසි අනුව බදු වැඩි කරලා රටේ ආර්ථිකය හැකිලීම වෙන නිසා නැවත ඒ අයගේ උපදෙස් මත වැඩ කරන්න ගිහින් 2016 - 18 කාලේ වුණා වගේ ආර්ථිකය හැකිලී, කඩා බිඳ වැටීම තවත් බරපතල ලෙස සිදු වෙනවා. මේ නිසා ආණ්ඩුව විකල්ප මාර්ග හොයන බව පේනවා, නමුත් තාම ඒ ගැන පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව කරන වැඩපිළිවෙළක් පේන්නේ නෑ. ඔබ ඒ ගැන හිතන්නේ මොකද? මට නම් ඔය බැසිලිකා උන්නැහේ, කබරරාල කබ්බා සහ පීබී මුත්තා වගේ අය ගැන ඒ හැටි පැහැදීමක් නෑ.

      Delete
    4. //මේ නිසා ආණ්ඩුව විකල්ප මාර්ග හොයන බව පේනවා, නමුත් තාම ඒ ගැන පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව කරන වැඩපිළිවෙළක් පේන්නේ නෑ. ඔබ ඒ ගැන හිතන්නේ මොකද?//

      ආණ්ඩුව හොයන බව පේන්නේ කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයා ගෙන තවත් කාලයක් විදේශ ණය පිරමිඩය නඩත්තු කිරීමට උදවු වන විකල්පයි. දැනට එවැනි විකල්පයක් හොයා ගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. හොයා ගත්තා කියලා ලංකාවේ ආර්ථිකය ගොඩ යන්නෙත් නැහැ. ආණ්ඩුව ආණ්ඩුවක කාර්යයයන් පමණක් කර ආර්ථිකයට ගොඩ යන්න ඉඩ හැරියොත් එය සිදු වෙයි.

      Delete
  3. ආණ්ඩුව tourism ගැනත් සැහෙන ලොකු බලාපොරත්තුවක් තිබෙන බවක් පෙනෙනවා. නමුත් Europe covid fourth wave එක සමග tourism වලිනුත් ලොකු අදායමක් ලැබීමට ඉඩ අඩුයි. එහෙම වුනොත් currency depreciation වීම තවත් ඉක්මන් වෙනෙවා.

    මේවගේ Artificially FX rate එක ඉහලින් තියාගෙන සිටින තවත් රටවල් ලෝකයේ තිබෙනවද? තිබුනද?

    ReplyDelete
    Replies
    1. ඔව්. කියුබාව, ලිබියාව, වෙනිසියුලාව, ටික කලකට පෙර සිම්බාබ්වේ.

      Delete
    2. ගොඩක් රටවල් ආර්ටිෆිශල් රේට් එකක් නේද තියාගෙන ඉන්නෙ.
      ඉන්දියාව, චීනෙ, බන්ගලියො,
      ජපානෙ පවා...

      Delete
    3. ඔබ එසේ සඳහන් කළේ මොන අර්ථයකින්ද?

      Delete
    4. ඔබගේ පිළිතුරට බොහොම ස්තුති. එන පොට හොද නැහැ වගේ. ලංකාවත් Lebanon වගේ වෙන්න පුළුවන්.

      මට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ වගේ ආර්ථිකය collapse වුනොත් රටේ මොනවගේ දේශපාලනයක් උදා වෙයිද කියන එක.
      මිනිස්සුන්ට ආණ්ඩුව ගැනත් සජිත් (SJB) ගැනත් ලොකු කැමැත්තක් නැහැ. JVP සහ පාටලී චම්පක ඉන්නේ හොරගල් අහුලන විදිහක් වගෙයි මට පෙනෙනෙනේ. මේක නිකන් කාට හරි civil unrest තත්වයකට වුනත් ගෙනියන්න පුළුවන්. hope එකක් නැති සමාජය බොහොම භයානක දෙයක් විදිහටයි මට හිතෙන්නේ. මේ මගේ පුද්ගලික අදහස, මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?

      Delete
    5. @ Anonymous November 21, 2021 at 11:09 PM

      මම හිතන්නේ මේ මොහොතේ ලංකාවේ ලොකුම ප්‍රශ්නය රට මේ අතිශය අර්බුදකාරී අවස්ථාවේ නිසි ලෙස කළමණාකරණය කර ආර්ථිකය ගොඩ ගැනීමට සමත් කිසිදු ආකාරයේ නායකයෙක් නොමැති වීමයි.

      මේ අවස්ථාවේ පළමු විසඳුම නම් පවතින රජය කෙසේ හෝ තම දැඩි මතධාරී අදහස් වෙනස් කොට යම් කිසි බලවත් විදේශ රටක/ ආයතනයක සහාය ඇතිව විශාල මිලක් ගෙවා (තිබෙන ජනතා ප්‍රසාදය පවා නැති කරගෙන) මහත් පරිශ්‍රමයකින් විශාල ප්‍රශ්න රැසකට මුහුණ් දෙමින් ලොකු සිස්ටම් චේන්ජ් එකක් කර රට ගොඩ දැමීම.

      (දැන් ඉතින් කොහොමත් නහය ළඟටම වතුර ආපු නිසා මියෙම්වා රැකෙම්වා කියා මේක කරන එක තමයි හොඳම දේ, තව මාස කීපයක් ඉඳල කළත් අද කළත් දෙකම එකයි, හැබැයි ආණ්ඩුව අවංකව සහ දැඩි මූල්‍ය විනයක් සහිතව වැඩේ කළොත් තව වසර කීපයකින් ඇතැම් විට නැතිවී ගිය ජන ප්‍රසාදය ඊළඟ අනුප්‍රාප්තිකයාට [බැසිල්/ නාමල් හෝ වෙනත් අයෙක්] නැවත ගොඩ දාගන්න බැරි වෙන එකක් නැහැ.)

      දෙවන විසඳුම නම් ආණ්ඩු මාරුවකින් අවශ්‍ය වෙනස් කම් කිරීමයි.

      කෙසේ නමුත් ලංකාවේ විපක්ෂයේ මෙවැනි වගකීමක් ගැනීමට යම් තරමකට හෝ කොන්දක් තියෙන්නේ (වගකීමක් ගෙන වැඩ කිරීමට බිය නැති එකම නායකයා) රනිල් වික්‍රමසිංහට පමණයි දැනට නම්. වෙන කිසිවෙකු නැහැ. පාඨලී චම්පික දාර්ශනික තලයේදී මේ ගැන විග්‍රහ කිරීමට හැකි අයෙක් වගේම ඔහුත් බය නැතුව වගකීම් ගැනීමට හැකි අයෙක්, කෙසේ නමුත් ඔහුගේ ඇතැම් සමාජවාදී නටඹුන් සහිත අදහස් නිසා පොඩි සැකයක් තිබෙනවා.

      ජවිපෙ කිසිසේත්ම වගකීමක් ගැනීමට කැමති නෑ, ඔවුන් ආණ්ඩුව මාරු කිරීමට ප්‍රචාරක කටයුතු/ මැතිවරණ වගේ දේවල් වලට සහභාගී වෙයි, නමුත් කිසිසේත්ම ප්‍රශ්න වල වගකීමක් ගන්නේ නෑ, ඔවුන් යම්කිසි සැලැස්මක් හදා එම ඔවුන්ගේ "රට හදන" සැලසුම මහත් ප්‍රචාරයක් සහිතව කරන කෙනෙක්ට භාර දේවි, හැබැයි ඒක ක්‍රියාත්මක කරද්දී ප්‍රශ්න එනකොට "ඔය අපි කියපු දේ නෙවෙයි, වෙන දේවල් කරන්නේ" කියල මග හරී. නමුත් වැඩේ සාර්ථ්ක නම් ඔවුන් අනිවාර්යයෙන්ම ලකුණු දාගන්න "ඔන්න ඕක නම් අපි කියපු දේ තමයි ඔය කරේ, ඒක තමයි හරි ගියේ" වගේ ලොකු ප්‍රචාරයක් දේවි.

      නමුත් මේ අවස්ථාවේ ඔවුන් වෙනත් පිරිසක් සමග සංධානගතවී වැඩ කරන්න කැමති වෙයි බලය ලැබීමෙන් පසු මොකක් හෝ හේතුවක් සොයාගෙන මග හැර යාමේ සැලසුමක්ද සහිතව පමණක්, මොකද යම් හෙයකින් බලය ලබා ගත්තොත් ඔවුන් තවත් ත්‍රීවීල් පක්ෂයක් තරමටම බරපතල ලෙස කඩා වැටෙන බව ඔවුනුත් හොඳින් දන්න බව පේනවා.

      මීට අමතරව නිසි දැනුමක්, කුසලතාවක් ඇති පිටස්තර පුද්ගලයන් ලෙස ධම්මික පෙරේරා වැනි අය සිටියත් ඔවුන් දේශපාලනයට ඇවිත් මඩ ගා ගැනීමට කැමති වෙන එකක් නෑ, නමුත් ධම්මික පෙරේරා මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය දැරීමට කැමති බව පැවසූවා මාස කීපයකට කලින්, මම හිතන්නේ ආණ්ඩුවට ඔවුවත් භාවිතා කර බලන්න පුළුවන් දැන් කොහොමත් කෙළවිලා තියෙන එකේ.

      ඉකොනොමැට්ටාට මීට වඩා හොඳ වැඩ පිළිවෙලක් හෝ පුද්ගල කණ්ඩායමක් යෝජන කළ හැකිද?

      Delete
    6. //ඔබ එසේ සඳහන් කළේ මොන අර්ථයකින්ද?//
      ජපානෙ එහෙම මහබැන්කුව ඩොලර් මිලට ගන්නවනෙ යෙන් එක ඩිප්‍රිශියෙට් කරන්න.
      සින්ගපූරුවෙත් රජය මැදිහත් වෙනවලු රේට් එක පාලනය කරන්න.
      ෆික්ස්ඩ් රේට් ගැන කිව්වොත් මැදපෙර්දිග රටවල 80 දශකයෙ ඉඳල ෆික්ස් කරපු රේට් එකක්ලු තියෙන්නෙ.

      Delete
    7. @ Ano 4.29,

      There are huge number of countries with fixed exchange rate which has been pegged to globally accepted foreign currency like USD, but a country need sufficient amount of foreign reserves and well disciplined & well planned/ controlled/ managed & monitored government expenditure to keep the rates fixed. Sri Lanka is no exception, doing the same expecting same results.

      Here are some list of countries just FYR;

      https://en.wikipedia.org/wiki/List_of_countries_by_exchange_rate_regime

      However, always a fixed exchange rate provides any currency much valuable stability. Therefore all the Investors always know what the currency is really worth. That makes the country's businesses perfectly attractive to foreign direct investors. They don't have to protect themselves from wild swings in the currency's value. They are hedging their currency risk.

      Further, any country can avoid unnecessary inflation if it fixes its currency to a popular one like the U.S. dollar or euro. It benefits from the strength of that country's economy. As the United States or European Union grows, its currency does as well. Without that fixed exchange rate, the smaller country's currency will slide. As a result, the imports from the large economy become more expensive. That imports inflation, as well as goods.

      If you don't get it, for example, the U.S. dollar's value is 3.75 Saudi riyals. If the dollar strengthens 20% against the euro, the value of the riyal, which is fixed to the dollar, has also risen 20% against the euro.

      In this scenario, to purchase French pastries, the Saudis pay less than they did before the dollar strengthened. For this reason, the Saudis didn't need to limit supply as oil prices fell to $50 a barrel in 2015/16.

      Actually the value of money is what it purchases for the buyer. If most of country's imports are to a single country, then a fixed exchange rate in that currency will stabilize prices.

      One country that is loosening its fixed exchange rate is China. It ties the value of its currency, the Renminbi (Yuan), to a basket of currencies that includes the dollar. In August 2015, it allowed the fixed rate to vary according to the prior day's closing rate. It keeps the Yuan in a tight 2% trading range around that value.

      China has to manually adjust the exchange rate of the RMB Yuan to the dollar. This is advantageous to China, but not for the U.S. That's why the U.S. government always pressuring the Chinese government to make RMB Yuan rise in value by spending their dollar reserves which is by far the largest in the world. If they do so, that action would effectively make U.S. exports cheaper in China, while Chinese exports would be more expensive in the U.S. In other words, it's an attempt by the U.S. to lower its trade deficit with China. But China never do this & keeping it fixes as much as possible.

      FYI

      https://www.thebalance.com/fixed-exchange-rate-definition-pros-cons-examples-3306257

      Countries like Hong Kong using Currency Board Concept having different method of dealing with currency exchange matter, FYI.

      Delete
    8. Further Ref:

      https://www.reuters.com/article/us-global-emerging-currencies-factbox-idUSKBN1XA297

      Delete
    9. //මිනිස්සුන්ට ආණ්ඩුව ගැනත් සජිත් (SJB) ගැනත් ලොකු කැමැත්තක් නැහැ. JVP සහ පාටලී චම්පක ඉන්නේ හොරගල් අහුලන විදිහක් වගෙයි මට පෙනෙනෙනේ. මේක නිකන් කාට හරි civil unrest තත්වයකට වුනත් ගෙනියන්න පුළුවන්. hope එකක් නැති සමාජය බොහොම භයානක දෙයක් විදිහටයි මට හිතෙන්නේ. මේ මගේ පුද්ගලික අදහස, මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?//

      මේකත් තනි පුද්ගලයෙක් ලෙස මගේ පෞද්ගලික අදහස පමණයි. ඔබ කියනවා වගේ තත්ත්වයක් තියෙනවා තමයි. එහෙත්, ඒ හේතුව නිසාම ලංකාවේ civil unrest තත්ත්වයක් ඇති වෙයිද? 1953 හර්තාලය කාලයේ මා ඉපදී නැහැ. 1971දී දැනුම් තේරුම් ඇති වයසක නොහිටියත් එම අරගලය පිළිබඳ යම් අදහසක් හා විග්‍රහයක් තිබෙනවා. එය සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීම පිණිස සිදු කළ තරුණයන්ගේ කැරැල්ලක්. විජේවීරගේ දක්ෂ නායකත්වය මේ කැරැල්ලට විශාල ලෙස දායක වුවත් ඒ සඳහා අවශ්‍ය තත්ත්වයන් මෝරා නොතිබුනානම් මේ වැඩේ මේ ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ කාලයේ මේ ආකාරයේ කැරලි ලෝකය පුරා ජනප්‍රිය, ලෝක සම්මතයක් වූ දෙයක්. විජේවීරට ලැබෙන්නේ එහි වාසියයි. දැන් එවැනි තත්ත්වයක් නැහැ. අඩු වශයෙන් 1988/89 වන විටද එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. ඉන්පසු 1983 කළු ජූලිය. මෙය එවක ආණ්ඩුවේ සෘජු හෝ වක්‍ර මැදිහත්වීමක් නිසා සිදු වූ දෙයක් මිසක් පුළුල් ලෙස රටේ ජනතා කොටසක් තුළින් පැන නැගුනු දෙයක් නෙමෙයි. දැන් තිබෙන තත්ත්වය 1983 ආකාරයේ දෙයක් නැවත ඇති විය හැකි තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම ඉන් පසු දිගින් දිගටම පැවතුනු සිවිල් යුද්ධයට මුල් වූ උතුරේ civil unrest තත්ත්වය අද තත්ත්වයට සම්බන්ධයක් නැති වෙනම දෙයක්. ඊට පස්සේ 1988/89. මෙහිදී පැවති තත්ත්වය 1971 තත්ත්වයම නෙමෙයි. මෙය ව්‍යාප්ත වන්නේ "දේශප්‍රේමී" අරගලයක් ලෙස. එහිදී 10-12 වසරක එජාප පාලනය විසින් අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කළා. 1985/86 වන විට ලංකාවේ දේශපාලනය තුළ තිබුණේ ඉතා දැඩි ඒකාධිපතිත්වයක්. සාමාන්‍ය මිනිහෙකුට ආණ්ඩුවට එරෙහිව කිසිදු හඬක් නැගිය හැකි වූයේ නැහැ. ජවිපෙ මතුවන්නේ එම අවකාශය තුළයි. අඩු වශයෙන් ආරම්භයේදී මෙය වැඩිහිටියන්ගේ අනුකම්පාව/ආශීර්වාදය ලැබූ තරුණ කැරැල්ලක්. 1988/89න් පසුව ලංකාවේ එවැනි තත්ත්වයක් නැවත ඇති වී නැහැ. දැන් civil unrest තත්ත්වයක් ඇති වෙන්නනම් ඒ සඳහා නායකත්වයක් දිය හැකි පුද්ගලයෙක් හා කණ්ඩායමක් අවශ්‍යයි. ඒ වගේම එම පුද්ගලයාට මෙහෙයවිය හැකි ජනතා කණ්ඩායමක් සිටිය යුතුයි. එවැනි තත්ත්වයක් මට පෙනෙන්නේ නැහැ. 1971දී හෝ 1988/89දී මෙන් වත්මන් තරුණ පරපුර ස්වභාවයෙන්ම (ඔවුන් ඉපදී හැදී වැඩී තිබෙන ලෝක තත්ත්වය අනුව) කැරලිකරුවන් නෙමෙයි. අදටත් වැඩිපුරම කැරලිකාර විභවයක් තිබෙන්නේ 40-60 වයස් කාණ්ඩයේ ඉන්න අයට. කාට හෝ පහසුවෙන් මෙහෙයවිය හැකි "වහල්ලු" වැඩිපුර ඉන්නේ මේ කණ්ඩායමේ.

      Delete
    10. ලංකාවේ සමාජය පැත්තෙන් බැලූ විට විශාල අසහනයක් මෝරා තිබෙනවා. එහෙත්, ඒ අයගේ පැත්තෙන් civil unrest එකක් සාධනීය විකල්පයක්ද? මොන අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුව තවමත් ජනතාවට ඉහළින් සිට ජනතාව නොසලකා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන්නේ නැහැ. මම මෙයින් අදහස් කළේ civil unrest එකක් ඇති නොකර බැරි තරමට කියන එක. මිනිස්සුන්ට ආණ්ඩුවට බණින්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. ඒ වගේම, ආණ්ඩුව වෙනස් කිරීමෙන් තත්ත්වය හොඳ අතට හරවා ගත හැකි බවට කිසිදු සහතිකයක් නැහැ. ජවිපෙ, සජබ (චම්පික, සජිත් ඇතුළු එහි සංරචක) හෝ එජාපෙ සතුව අසහනයෙන් සිටින බහුතර පිරිසකට පිළිගත හැකි කිසිදු විශ්වාසනීය විකල්ප වැඩ පිළිවෙලක් නැහැ. අසහනයෙන් ඉන්න බොහෝ දෙනෙක් හොයන්නේ විකල්ප වැඩපිළිවෙලක් මිසක් විකල්ප නායකත්වයක් නෙමෙයි. විකල්ප නායකත්වයකට මතු විය හැක්කේ විකල්ප වැඩපිළිවෙලක් ඇත්නම් පමණයි. මේ වගේ තත්ත්වයක් යටතේ civil unrest තත්ත්වයක් හරහා සිදු වන්නේ තමන් කාගේ හෝ අතකොළු වීම පමණක් බව ලංකාවේ බොහෝ දෙනෙකුට තේරෙනවා කියා මම හිතනවා. සාමාන්‍යයෙන් civil unrest තත්ත්වයක් ඇතිවෙන්න සාධක තුනක් සම්පූර්ණ විය යුතුයි. (1) පවතින තත්ත්වය තුළ කිසියම් අසහනකාරීත්වයක් වර්ධනය වීම (2) එම අසහනකාරීත්වය සමනය කර ගත හැකි විකල්ප තත්ත්වයක් පෙනෙන්නට තිබීම (3) පවතින තත්ත්වය එම විකල්ප තත්ත්වය කරා පරිවර්තනය වන බවක් නොපෙනීම. මෙහිදී civil unrest හරහා සිදුවන්නේ අවශ්‍ය පරිවර්තනය සිදු කිරීමට උත්තේජනයක් සැපයීමයි. දැන් තියෙන්නේ (1) සාධකය පමණයි. කාටවත් පෙනෙන්න (2)ක් නැහැ. යම් හෙයකින් කා විසින් හෝ (2)ක් යෝජනා කර ඒ සඳහා මහජන සහයෝගය ලැබුණොත් මේ ආණ්ඩුව විසින්ම බොහෝ විට නොපැකිළ අවශ්‍ය පරිවර්තනය සිදු කරනවා. ඒ බව මිනිස්සු දන්නවා. ඒ නිසා, දේශපාලන බලය අතට ගන්න මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. 2015දී යහපාලන ආණ්ඩුව විසින් හෝ 2019දී මේ ආණ්ඩුව විසින් මිනිස්සුන්ට පැහැදිලි විකල්පයක් ඉදිරිපත් කළේ හෝ යෝජනා කළේ නැහැ. මිනිස්සු ආණ්ඩු වෙනස් කළේ තමන්ට නොපෙනුණත් ආණ්ඩුව ගන්නා කණ්ඩායම සතුව මොකක් හෝ විසඳුමක් ඇති කියන විශ්වාසය පෙරදැරිව. 2015දී වගේම 2019දීත් ඉතා කෙටි කලකින් එම විශ්වාසය බිඳ වැටුනා. දැන් අපේක්ෂා භංගත්වයක් ශේෂව ඇතත් විකල්ප අපේක්ෂාවක් ශේෂව නැහැ. එවැනි රික්තකයක් තුළින් civil unrest තත්ත්වයක් පැන නැගිය හැක්කේ අපේක්ෂාවක් ප්‍රබල ලෙස ඇති වුවහොත් පමණයි.

      Delete
    11. //ඉකොනොමැට්ටාට මීට වඩා හොඳ වැඩ පිළිවෙලක් හෝ පුද්ගල කණ්ඩායමක් යෝජන කළ හැකිද?//

      වඩා හොඳ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ හැකි බවට විශ්වාසයක් තිබෙනවා. එහෙත්, මම පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. වැදගත් වන්නේ වැඩ පිළිවෙළ මිසක් එය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක නෙමෙයි. මා විශ්වාස කරන ආකාරයේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේදී වෙන්නේ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් සතු බලය ඔවුන්ගෙන් ගිලිහෙන එකයි. එවැනි වැඩ පිළිවෙලක් කිසියම් නායකයෙකු හෝ කණ්ඩායමක් හරහා ක්‍රියාත්මක කරගැනීම කියන එකේම යම් කිසි විසංවාදයක් තිබෙනවා.

      Delete
    12. //ජපානෙ එහෙම මහබැන්කුව ඩොලර් මිලට ගන්නවනෙ යෙන් එක ඩිප්‍රිශියෙට් කරන්න.
      සින්ගපූරුවෙත් රජය මැදිහත් වෙනවලු රේට් එක පාලනය කරන්න.
      ෆික්ස්ඩ් රේට් ගැන කිව්වොත් මැදපෙර්දිග රටවල 80 දශකයෙ ඉඳල ෆික්ස් කරපු රේට් එකක්ලු තියෙන්නෙ.//

      මම ප්‍රශ්නය ඇසුවේම මේ පිළිතුර බලාපොරොත්තුවෙන්. පහළ ඇනෝ කෙනෙක් ඉංග්‍රීසි භාෂාවෙන් විස්තරාත්මක පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඔය හැම උදාහරණයකදීම සිදුවන්නේ ලංකාවේ සිදුවන දෙයින් ප්‍රතිවිරුද්ධ දෙයයි. ඒ කියන්නේ, තමන්ට තබා ගත හැකි මට්ටමටත් වඩා අවප්‍රමාණය කර දේශීය මුදල් ඒකකය තබා ගැනීම. ලංකාව සඳහා මම යෝජනා කරන්නේත් මේ ක්‍රමයයි. අපනයන තරඟකාරිත්වය ඇති වන්නේත්, සංචිත එකතු වන්නේත්, අවදානම් නැති වන්නේත් එවිටයි. ලංකාව යන්නේ ලිබියාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව ගිය පාරේ මිසක් ජපානය, චීනය, සිංගප්පූරුව ගිය පාරේ නෙමෙයි.

      Delete
    13. ඒක හරි.
      නමුත් මට කියන්න ඕන උනෙ ඔය දනවාදී කියන රටවලත් වෙලඳපොල අනුව නෙමෙයි මිල තීරණය කරන්නෙ කියන එක. ලන්කාවෙ රුපියල උඩින් තියාගන්න දේශපාලනය බලපානව වගේ මේ රටවල ඒකෙ අනිත් පැත්ත.

      Delete
    14. සමස්තයක් ලෙස බටහිර රටවල් හැම එකකම වගේ විණිමය අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. වෙනත් මැදිහත්වීම් නැහැ. බටහිර රටවලට කරන ආනයන මත යැපෙන, පසුකාලීනව දියුණු වූ ඇතැම් ආසියානු රටවල් යම් සංචිත ප්‍රමාණයක් නඩත්තු කරමින් එම සංචිත වල උදවුවෙන් විණිමය අනුපාතය තරමක් පහළින් හෝ ස්ථාවරව තියාගෙන ඉන්නවා. නමුත් මේ රටවල ලංකාවේ මෙන් පිරමිඩයක් ගොඩනැගීමක් වෙන්නේ නැහැ. ඔවුන් විණිමය අනුපාතය පාලනය කරන්නේ තමන්ගේ ඉතිරි කිරීම් යොදාගෙන. ණය වලින් විණිමය අනුපාතය පාලනය කිරීම හා ඉතිරි කිරීම් යොදාගෙන විණිමය අනුපාතය පාලනය කිරීම වෙනස්ම ක්‍රම දෙකක්. පළමු ක්‍රමයේ තිබෙන අවදානම් දෙවන ක්‍රමයේ නැහැ.

      Delete
    15. //ලන්කාවෙ රුපියල උඩින් තියාගන්න දේශපාලනය බලපානව වගේ මේ රටවල ඒකෙ අනිත් පැත්ත.//
      ඔව්. මේක හරි. මේ දේවල් තීරණය වන්නේ අදාළ රටවල දේශපාලනය මත.

      Delete
    16. //විජේවීරගේ දක්ෂ නායකත්වය මේ කැරැල්ලට විශාල ලෙස දායක වුවත් ඒ සඳහා අවශ්‍ය තත්ත්වයන් මෝරා නොතිබුනානම් මේ වැඩේ මේ ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ කාලයේ මේ ආකාරයේ කැරලි ලෝකය පුරා ජනප්‍රිය, ලෝක සම්මතයක් වූ දෙයක්. විජේවීරට ලැබෙන්නේ එහි වාසියයි. දැන් එවැනි තත්ත්වයක් නැහැ.//

      මට පෙනෙන විදිහට ලෝකය පුරාම මහා විශාල ලෙස unrest තත්වයක් තිබෙනවා.

      1. ගිය සතියෙත් Europe පුරාම රටවල් ගණනාවකම protests කෙරුණා
      2. America තුල වසර ගණනක protest - මිනිසුන් නිතිය අතට ගැනීම ලොකු ගැටළුවක් (ගිය සතියේ නඩු තීන්දුව)
      3. Asia වල Thailand සහ Myanmar වල මාස ගානක් protests
      4. මෑතක african රටවල් ගණනාවක් protest කලා

      Delete
    17. මිනිස්සුන්ට මේ ආන්ඩුවට විකල්පයක් නෑ කිව්වට යහපාලන ආර්තික ප්‍රතිපත්ති ඉකොනො පෙනී සිටින ප්‍රතිපත්ති වලට සෑහෙන ආසන්නයි නේද?
      සහ, මම හිතන්නෙ දැන් චන්දයක් තිබ්බොත් මොන ප්‍රතිපලයක් ලැබෙයොද කියන එක පහුගිය මාසයක් වගේ ඇතුලත් සෑහෙන වෙනස් උනා. මම හිතන්නෙ කෝවිඩ් අඩු වුනාම ආණ්ඩුවට ඩ්ඃඅන් විලි වහගන්න ක්‍රමයක් නැතුව ගියා.

      Delete
    18. මම හිතන්නේ ඔබ මෙයින් අදහස් කළේ අයවැය පරතරය අඩු කර ගැනීම හා විණිමය අනුපාතය යම් තරමකින් අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම කියන කරුණු දෙක වෙන්න ඇති. යහපාලන ආර්ථික ප්‍රතිපත්තිය වුනේ මැදිකාලීන ස්ථාවරත්වය. IMF වැඩසටහනකදී ඉලක්ක කරන්නේත් මෙයයි. මෙහිදීත් කෙටිකාලීනව ආර්ථික වර්ධනය සීමා වෙනවා. එය හොඳ විකල්පයක් සේ දකින තැනක තවමත් රටේ මිනිස්සු නැහැ. අනතුර පිළිබඳව තව ටිකක් දැනුවත් වීමෙන් පසුව සමහර විට ඒ තැනට එයි. දැන් ඔය ජවිපෙ පවා මීට කිට්ටු තැනකට ඇවිත් තියෙන්නේ. හැබැයි රටේ ජනතාව වෙනස් වුනොත් ආණ්ඩුව වෙනස් වෙන්න කලින් මේ ආණ්ඩුව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර යූ-ටර්න් එකක් ගන්නවා. ලබන වසර මැද පමණ වෙද්දී මේ ආණ්ඩුව IMF ගියොත් ඒ ගැන පුදුම වෙන්න එපා. කොහොම වුනත්, මැදිකාලීන ස්ථාවරත්වය සමඟම රටට දිගුකාලීන සැලැස්මක් අවශ්‍යයි. යහපාලන ආණ්ඩුව එවැන්නක් ඉදිරිපත් කළේ නැහැ. තවමත් වෙනත් පාර්ශ්වයක් විසින් එවැන්නක් ඉදිරිපත් කරලත් නැහැ,

      Delete
    19. මම හිතන්නේ නම් ලෝක කපටියෙක් වෙන කබර රාල කම්බ හොරා ඔහොම තව ටික දවසක් හොර ගල් අහුල අහුල ඉඳලා ලබන අවුරුද්ද පළමු සහ දෙවෙනි කාර්තු වෙනකොට අයි එම් එෆ් වැඩ සටහනක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරයි, මොකද ලංකාවේ ලොකුම අයි.එම්.එෆ්. ප්‍රොග්‍රෑම් එක ඩොලර් බිලියන 2.5කින් ක්‍රියාත්මක කරපු කබරයට ඕව වැඩ නෙවෙයි, මම හිතන්නේ ආණ්ඩුව ජන අප්‍රසාදය නැති කර ගන්නේ හිතා මතාමයි, ඒ සමග ඔවුන්ට ලේසියෙන්ම ජනප්‍රිය නොවන බදු වැඩි කිරීම, මිල පාලනයෙන් ඉවත්වීම සහ තෙල් මිල ඉහළ නැංවීම වගේ දේවල් කරන්න පුළුවන්, ගෑස් මිල වැඩි නොකර පාලනය කරන් ඉඳලා හිඟයක් හදලා ශේප් එකේ වැඩි කරා, ඔය වගේ අනිත් ඒවත් මහ රට කපටි විදිහට කරන්නේ. ඡන්දයක් ආවොත් ඒකටත් ආණ්ඩුවෙන්ම වෙනම පිරිසක් දාලා විපක්ෂය අල කරන සැලසුමකුත් ඇති. කොහොමත් ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට ආණ්ඩුව වගේම විපක්ෂයත් එපා වෙලා තියෙන්නේ මේ නිසා විශාල පිරිසක් ඡන්දය නොදා මග අරීවි අලුත්ම පිරිසක් විශ්වාසනීය වැඩ පිළිවෙලක් සමග නොආවොත්. හැබැයි ආණ්ඩු වෙනස් කළත් මේකට ඉක්මනින් කළ හැකි පිළියම් මොකුත් නැහැ නේද?

      Delete
    20. //හැබැයි ආණ්ඩු වෙනස් කළත් මේකට ඉක්මනින් කළ හැකි පිළියම් මොකුත් නැහැ නේද?//
      නැහැ.

      Delete
  4. It seems all are hopeful about the recovery of tourism. However, the net earnings is low. Can it be around 50%

    ReplyDelete
    Replies
    1. ඕක වෙන්නෙ නෑ. ටුවරිස්ම් වලට ලන්කාව විතරක් ඕපන් කලාට වැඩක් නෑ. අනිත් රටවල රෙග්‍යුලේශන්ස් කොහිමද වැඩ කරන්නෙ කියන එකත් බලපානව. චීන්නු පිට ගිහින් එනකොට මාසයක් කොරන්ටින් වෙන්න ඕනලු. යුරෝප් රටවල් ලන්කාව වගෙ රටවලට ෆුල් ඕපන් කරල නෑ මහිතෙ.

      Delete
    2. Even if tourism fully recovers, the country will not be able to build the "foreign debt pyramid" further. I will collapse sooner or later.

      Delete
    3. ආණ්ඩුව දැන් නම් ආර්ථිකය රැකගැනිම නෙවෙයි දැන් මේක වෙන කාට හරි දිලා මාරුවෙන්න බලන්නේ, ඒත් ගන්න එකෙක් නැති නිසා නොකර බැරි කමට බාර ගත්තාට කරන් යනවා, ජනාධිපති කියුවේ අපි හොඳ නැත්තන් වෙන අලුත්ම අලුත් කණ්ඩායමක් පත් කර ගන්න කියලා.

      Delete
  5. අනුන් වැරදි අපි නිවැරදි කියන දනා
    තමන් වැරදි කිසි විටෙකදී නොදකින්නා
    බඩ මිස රට ගැනත් චුට්ටක් නොසිතන්නා-
    වුන් බලයට ගෙනා අපිලට මදිය වුණා

    ReplyDelete
  6. ඉකොන්ම කලින් කියපු විදියට ඩොලරය මේ මට්ටමින් තිය ගැනීම සදහා මහා බැංකුව මසකට නිකුත් කරන ඩොලර් ප්‍රමාණය මිලියන 150-170 විතර. එයත් ආනයන සීමා කරපු තත්වයක් මත. දැන් ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම මිලියන 300-350 විතර. ඒ කියන්නේ ආසන්න වශයෙන් මිලියන 500 පමණ අපි මාසෙකට නැතිකර ගන්නවා ඩොලරය 200 සිමාවේ තියාගෙන ඉන්න එකෙන්. ඊට අමතරව අපනයන කරුවන් අතට එන මුදල අඩුවීම නිසා ඔවුන්ට ලැබෙන මුදල් අඩු වෙනවා. ඔය ඔක්කොම කරුනු (තව ගොඩක් කරුණු තියෙනවා) සලකා බැලුවහම අපි ඩොලරය 200 සිමාවේ තියාගන්න මාසෙට ඩොලර් මිලියන 600-700ක පාඩුවක් කරගන්නවා.
    ඇත්තටම මෙහෙම අතින් කයිට් කරගෙන ඩොලරය 200 සිමාවේ තියාගන්න එකේ තියෙන වාසිය මොකක්ද ඉකොන්?

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම මෙහෙම අතින් කයිට් කරගෙන ඩොලරය 200 සිමාවේ තියාගන්න එකේ තියෙන වාසිය මොකක්ද ඉකොන්?//

      රාජපක්ෂලාගේ ආර්ථික උපාය මාර්ගය තනිකරම රඳා පවතින්නේ ඩොලරය කෙසේ හෝ පහළින් තියා ගැනීම මත. කොයි තරම් අසාර්ථක වුවත්, ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ. මෙය තමයි රාජපක්ෂලා සමඟ සිටින ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සිතීමේ සීමාව. යහපාලන ආණ්ඩුව මේ ආණ්ඩුවට සාපේක්ෂව දැඩි මූල්‍ය විනයක් සහිතව කටයුතු කළත්, ඩොලරය යම් තරමකින් අවප්‍රමාණය වෙන්න ඉඩ දීමේදී එහි කෙටිකාලීන ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වුනා. එතරම් දැඩි මූල්‍ය විනයක් නැති මේ ආණ්ඩුව ඒ දේම කළොත් කෙටිකාලීනව ඊට වඩා නරක තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා, කෙසේ හෝ අල්ලාගෙන ඉන්නවා හැර ඔවුන්ට වෙනත් දේශපාලනික විකල්පයක් නැහැ. "Do or die" තත්ත්වයක්. වෙනත් විදිහකින් විග්‍රහ කළොත් රාජපක්ෂ ක්‍රමයට තවමත් ලංකාවේ බහුතර මිනිස්සු කැමතියි. ඒ ක්‍රමය පිරමිඩයක් බව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවන අය නොදන්නවා නොවුනත් මිනිස්සු ඒ ගැන දැනුවත් නැහැ. ඒ නිසා, පිරමිඩය තවත් ගොඩ නැගීමේ අවදානම ගන්න එක ඔවුන්ට දේශපාලනිකව වාසියි. බොහෝ විට මේ ආණ්ඩුවේ ධුර කාලය අවසන් වෙන්න කලින් මේ පිරමිඩය කඩා වැටෙනවා වුවත් ඔවුන්ට එතෙක් කල් හෝ බලයේ ඉන්න පුළුවන්. නමුත් නිවැරදි කිරීමක් කරන්න ගියොත් ආණ්ඩුව ක්ෂණිකව කඩා වැටෙනවා. සමහර විට පිරමිඩය කඩා වැටෙන්න කලින් කවර හෝ අනපේක්ෂිත ප්‍රාතිහාර්යයක් සිදු වීම ගැන (තෙල් හමුවීම වැනි) පොඩි බලාපොරොත්තුවක් තිබෙනවා විය හැකියි.

      Delete
    2. පොඩි අවුලකට තියෙන්නෙ මෙලෝ යකෙක් මුන්ට දැන් ණය දෙන්නෙ නැති එක. යහපාලනේ කරපු හොඳ වැඩක් ඇවිත් නියම ත්ත්වෙ ලෝකෙට පෙන්නපු එක.

      Delete
    3. හිතන්නකො නිකමටවත් ඩොලර් එක රුපියල් 250ට ඔෆීශලි යන්න දුන්න කියල. ලන්කාවෙ ආර්තිකේ ඩොලර් බිලියන 80 ඉඳල 65ට කඩා වැටෙනව එක රැයෙන්.

      Delete
    4. //හිතන්නකො නිකමටවත් ඩොලර් එක රුපියල් 250ට ඔෆීශලි යන්න දුන්න කියල. ලන්කාවෙ ආර්තිකේ ඩොලර් බිලියන 80 ඉඳල 65ට කඩා වැටෙනව එක රැයෙන්.//

      ඔවු. ඒ එක්කම රාජ්‍ය ණය එක පාරටම 10%කින් ඉහළ යනවා. උද්ධමනය එක පාරටම 5%කින්වත් වැඩි වෙනවා.

      Delete
    5. පැහැදිලි කිරීමට ඉකොන්ට සහ ඇනෝ දෙන්නටම ස්තුතී. ඉලක්කම් හරඹ කෙසේ වෙතත් හත්දෙයියනේ අපිට කවදාහරි යථාර්තයට මුහුණ දෙන්න වෙනවා නේද? දැන දැන වැරදි කරනවට වඩා වැරැද්ද හදා ගන්න පුළුවන්නම් කොච්චර හොදයිද?
      එහෙම හිතන රටක් හැදුන දවසට අපි දියුණු වෙයි මම හිතන්නේ.

      Delete
    6. ඉකොනො,
      1.ලන්කාවෙ ආර්තිකේ ඩොලර් බිලියන 80 ඉඳල 65ට කඩා වැටෙනව එක රැයෙන්
      2.රාජ්‍ය ණය එක පාරටම 10%කින් ඉහළ යනවා.
      3.ද්ධමනය එක පාරටම 5%කින්වත් වැඩි වෙනවා.

      මෙතන 1 සහ 3 කරුණු එක්වරක් පමණක් වෙන දේවල් නේද? අනික 1 වන කරුණ රට ඇතුලෙ ඉන්න අයට ලොකුවට දැනෙන්නේ නැහැ නේද? 2 වන කරුණ වුනත් ඩොලර් ණය ඩොලර් වලින්ම ගෙවන නිසා එතනත් ලොකු ප්‍රශ්නයක් නැහැනේ. එහෙමනම් රුපියල පාකිරීම පෙන්වන තරම් ලොකු යකෙක් නෙමේනේ.

      Delete
    7. Anonymous November 23, 2021 at 2:18 AM

      රුපියල අවප්‍රමාණයවීමෙන් ලංකාවෙ භාණ්ඩ ලාභදායීවීම නිසා විදෙස් රටවලින් ලංකාවෙ භාණ්ඩවලට වැඩි ඉල්ලුමක් ඇතිවෙයි කියන කතාව න්‍යායාත්මක තලයෙදි පමණක් සත්‍ය වෙන දෙයක්. උදාහරණයක් විදිහට 2018/19 කාලේ රුපියල් 180ට තිබ්බ ඩොලර් එක අද බ්ලැක් මාකට් එකේ රුපියල් 240/250 විතර ලෙහෙසියෙන්ම ආනයනකරුවන්ට දෙන්න පුලුවන්, නිල තත්ත්වය ගත්තත් අද වෙද්දි රුපියල් 205 විත්‍ර දක්වා ඉහළ ගිහින් තියෙනව. ඔබ කියූ කාරණය ප්‍රායෝගිකව සිදුවුණා නම්, මේ වෙද්දි 2018/19 කාලයට සාපේක්ෂව පවා ලංකාවේ අපනයනයන්ගෙ විශාල ප්‍රවර්ධනයක් තියෙන්න ඕනනෙ. නමුත් එහෙම වෙලා නෑ. ඒ නිසා මතක තබාගත යුත්තෙ රුපියල පහළ හෙළීම නිසා අපේ අපනයන කිසිසේත්ම සැලකිය යුතු මට්ටමකින් දිගුකාලීනව වර්ධනය වෙන්නෙ නෑ කියන එක වගේම, අපේ අපනයන වර්ධනය කිරීමේ හැකියාවක් අපට නෑ කියන එක.

      සාමාන්‍යයෙන් ගත්තාම ලංකාව අපනයනය කරන භාණ්ඩ වන තේ, රබර්, පොල් වගේම ඇඟලුම් ගත්තත් කෙටිකාලීනව විනිමය අනුපාත වෙනස නිසා ඉල්ලුම ඉහළ ගියත් ඒකට ක්ෂණිකව සහ දැනෙන පරිදි ප්‍රතිචාර දැක්වීමට දේශීය නිෂ්පාදකයන්ට හැකියාවක් නෑ. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීම නිසා අපනයන ප්‍රවර්ධනයවේ යැයි කියන එක යථාර්ථවාදී දෙයක් නෙමේ. එහෙම වුණත් ඒක ඉතා කෙටිකාලීනව ලැබෙන තාවකාලික වාසියක් විතරයි.

      ඇත්තටම ආර්ථික විද්‍යාව අනුව රටක දේශීය ව්‍යවහාරයේ පවතින මුදල දිගින් දිගටම බාල්දුවීම ඒ රටේ ආර්ථිකය ගැන දෙන සංඥාව ඉතාමත්ම සෘණාත්මක එකක්. විදෙස් මුදලට ගෙවන්න ඕන දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යනව කියන්නෙ අපි ලෝක ආර්ථිකය තුළ උපයාගන්නා ප්‍රමාණය අඩුයි කියන එක. ඒ විදිහට උපයාගන්නා ප්‍රමාණය පහත යන්න ප්‍රධානම හේතුව තමයි තරගකාරී ලෙස ලෝක වෙළෙඳපොළට භාණ්ඩ සැපයීමට අපි දක්වන අසමත්කම.

      උදාහරණයක් ලෙස ඇයි ජපානයට දකුණු කොරියාවට, චීනයට වැඩිපුර භාණ්ඩ සැපයීමට හැකිවෙලා තියෙන්නෙ? ඔවුන් තරගකාරී නිසා. ඔවුන්ට නිතරම ඉනොවේශන්ස්/ නවෝත්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙන්න හැකිවීම නිසා. නිතරම කාර්යක්ෂමතාව හැකි පමණ ඉහළ නංවමින් පිරිවැය අඩු කරගෙන එමගින් මිල අඩු කිරීමත් නවෝත්පාදන සහ වැලියු ඉන්ජිනේරින් මගින් මිල අඩුවෙන් කොලිටි එක වැඩි කළ හැකි නිසා නමුත් ලංකාවෙ ඩොලර් ඉපැයීම් පහළ වැටෙන්න හේතුවෙලා තියෙන්නෙ ලංකාවෙ භාණ්ඩ පුළුල් විදිහට විදෙස් වෙළෙඳපොළට සැපයීමට නොහැකිවීම නිසයි. ඒනිසා ලංකාව ලෝක වෙළෙඳපොළේ විකුණන ප්‍රමාණය අඩුයි. මිලදී ගන්න ප්‍රමාණය වැඩියි.

      ඉතින් එම තත්වය යටතේ පසුගිය කාල සීමාවන්වලදි එවැනි අවාසිසහගත තත්ත්වයන් වහගත්තෙ විදේශිකයන්ට ශ්‍රමය විකුණල/ විදේශිකයන්ට සංචාරක සේවා සපයල සහ විදෙස් ණය අරගෙන. අද වෙද්දි ඒව අඩපණ වීම හරහා පේනව අපි ජාත්‍යන්තරව තරගකාරී නොවීමේ ප්‍රතිවිපාක. එහෙම නම් අත්‍යවශ්‍යයෙන්ම ආර්ථිකයෙ දුර්වලතාවක් තමයි මේ පිළිබිඹු වෙන්නෙ.

      ඒ වගේම අපි තේරුම් ගන්න ඕන වෙන කරුන තමයි ඒක හැබැයි අද ඇතිවුණ තත්ත්වයක් නම් නෙමේ. විශේෂයෙන්ම 77 විවෘත ආර්ථිකය හඳුන්වාදීමේ ඉඳලම අඛණ්ඩව පැවැතගෙන එන ව්‍යුහාත්මකව අපේ ආර්ථිකයේ පවතින දුර්වලතාවක්. මේකෙන් පෙන්නන්නෙ එන්න එන්නම අපි ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකාරී නොවන අපනයනකරුවෙක් බව. නැත්නම් තරගකාරී නොවන ආර්ථිකයක් බවට පත්වෙමින් තියෙන බව. තර්කයක් විදිහට කෙනෙක්ට ගේන්න පුළුවන් ජපානය වගෙ රටකුත් මේ වෙද්දි ඩොලර් එකට යෙන් 115 ක් විතර ගෙවනව, කොරියන් වොන් එකක් 1188 ක් විතර, නමුත් මෙතනදි වැදගත් වෙන්නෙ ඩොලරයට ගෙවන දේශීය මුදල් ප්‍රමාණය ඒකක 100ද, 200ද, 500ද 1500ද 75,000 ද කියන එක නෙමේ. ඒ ගෙවන්න වෙන ප්‍රමාණයම අඛණ්ඩවම වෙන්නෙ මොකක්ද කියන එක.

      ඒ නිසා රටක් ඇමරිකන් ඩොලරයකට ඒ රටේ මුදල් ඒකකයෙන් 1000ක් ගෙවන එකත් කිසිස්ම ප්‍රශ්නයක් නෙමේ. හැබැයි ඒ 1000 ගෙවීම කෙටිකාලකදි එක්වරම 1500, 2000, 3000 වෙනව නම් ඉන් කියැවෙන්නෙ ඒ රට ආර්ථික වශයෙන් දුර්වල බවයි. හැබැයි ගෙවන්න වන ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් නම් තමයි එරට තරගකාරී කියල ප්‍රදර්ශනය වෙන්නෙ. ඒ නිසා ඩොලරයට ගෙවන ඒකක ප්‍රමාණය නෙමේ වැදගත් වෙන්නෙ, ඒ ගෙවන ඒකක ප්‍රමාණය වැඩිවෙනවා හෝ අඩුවෙනවද කියන එක. ඓතිහාසිකව ඩොරලයකට ගෙවන්න තීන්දු කළ මුදල ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් අපි තරගකාරියි.

      Delete
    8. මේ පිළිබඳ මෑතකාලීන උදාහරණ ගත්තොත් විදෙස් ණය අරගෙන ඒවා ගෙවාගන්න බැරි තත්ත්වයට පත්වුණු කාම්බෝජය, වියට්නාමය වගේ රාජ්‍යයන් ඔවුන්ගේ දේශීය ගෙවීම් සඳහා ඩොලර් භාවිත කළා. කාම්බෝජය වැටුප් ගෙව්වෙත් ඩොලර්වලින්. ලංකාවේත් යම් යම් ගෙවීම් ඩොලර්වලින් කළ යුතු බවට යෝජනා එනව. එලෙස කිරීමෙන් මේ තත්ත්වයෙන් ගොඩඑන්න පුලුවන් කියල යෝජනා කරන අය කියන එක දෙයක් තමයි ලංකාවෙත් තේ වෙන්දේසිය වගේ දේවල් ඩොලර්වලින් කරන්න දෙන්න කියන එක, මේක කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. නමුත් රජය ඒ ඉල්ලීම්වලට දැක්වූ ප්‍රතිචාරයන් ධනාත්මක වුණෙ නෑ. ඒකට හේතුව විනිමය අනුපාතය උච්ඡාවචනය වෙන තත්ත්වයන් ව්‍යාපාරික කටයුතුවලදි හොඳ නැති තත්ත්වයන් බව සලකන නිසා.

      මේ වගේම තවත් ගොඩක් ව්‍යාපාරික කටයුතුවලදි ගනුදෙනු රුපියල්වලින් බැහැරව ඩොලර් කරන තත්ත්වයට යා හැකි නම් ඒක යහපත් වේ යැයි කල්පනා කරන පිරිසක් ඉන්නව. හැබැයි එතනදි ඇතිවිය හැකි තත්ත්වය තමයි රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේදී අර්ථිකයේ නිෂ්පාදන කටයුතුවලට රජයට සහ දේශපාලනඥයන්ට මැදිහත්වීම සඳහා තියෙන ඉඩප්‍රස්ථාව එමගින්අඩුවීම. එතකොට අවශ්‍ය පරිදි ඩොලර් සැපයුම අඩුවැඩි කරන්න ලංකාවේ මහ බැංකුවට බෑ. මේ නිසා රුපියල බාල්දුවීම නිසා ඩොලර්වලින් ගනුදෙනු කරන්න ඕන කියන එක යෝග්‍ය තත්ත්වයක් නෙමේ. අනෙක් කාරණය එවැනි ආකාරයේ අසරණ තත්ත්වයට තවමත් ලංකා ආර්ථිකය ගිහින් නෑ.

      ඔය කරුණු නිසා මේ තත්ත්වයෙන් ගොඩඑන්න නම් මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට කෙටිකාලීන විසඳුම් දෙන්න රජයට අසීරු බව තේරුම් අරන් (මේ වෙද්දි රජයට විදෙස් සංචිත තියෙන්නෙ ඩොලර් බිලියන 2.5ක් විතරයි, ඒක ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට තබාගත යුතුයි) මේ අවස්ථාවේදි රුපියලට එන බර යම් ආකාරයක මුදාහැරීමක් රජය විසින් සිදුකළ යුතුයි. ජලාශයක වතුර වැඩිවෙද්දි සොරොව් ඇරල වැඩි ජලය ඉවතට යවන වගේ දෙයක් ඒක. එහෙම වැඩි ජලය නොයැව්වොත් ජලාශයේ වේල්ල කඩාගෙන යනව. ඒ නිසා මේ පීඩනය ටික ටික මුදාහැරීමක් කළ යුතුයි. එහෙම නොකළොත් ආර්ථිකයම කඩා වැටෙන්න ලොකු රිස්ක් එකක් තියෙනවා.

      Delete
    9. ඔය නිසා මෙබඳු අර්බුදකාරේ රිස්කි සිටුවේශන් එකක් තියෙන වෙලාවක රජයේ පැත්තෙන් අවශ්‍ය වෙන්නෙ හැකිතාක් දුරට විනිමය උපයා ගැනීමට තියෙන ඉඩ ප්‍රස්ථා මොනවද කියන එක ගැන සොයාබැලීම. ඒ අතර මගේ යෝජනාව නම් එක්කෝ දේශීය විශේෂඥයන් සමග හොඳ වැඩසටහනක් හදල මිතුරු රට්වල් වලින් අත්මාරුවට ස්වැප් වගේ දේවල් වලින් ගේම ගහගෙන ආර්ථිකය ගොඩ දාගැනීමට කටයුතු කිරීම, නැත්නම් අයි. බී. ආර්.ඩී. (ලෝක) බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජපානය හා සමාන ණය දෙන ආයතන සමග කටයුතු කරල ඉතා ඉක්මනින් අපේ සංවර්ධන වැඩසටහන් සකස් කර පැහැදිලි සැලසුමක් යටතේ ඒ සඳහා ආධාර ලබාගැනීම.

      මෙවන් අවස්ථාවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ඓMF) රටක ගෙවුම් ශේෂයේ ඇතිවන යම් අපහසුතාවන් මගහරවා ගැනීමට ණය දෙනව. ඒ ආයතන පිහිටුවා තියෙන්නෙ ඒ වෙනුවෙන්. ලංකාව 17 වතාවක් මේ වෙද්දි ඓMF එකෙන් එම පහසුකම් අරගෙන තියෙනව. ඒක හින්දා මේ මොහොතේ ඓMF එකට යනව කියන එක අලුත් දෙයක් නෙමේ. වත්මන් රජයේ දේශපාලනයත් එක්ක රජය යම් හිරවීමක් ඉන්නව. නමුත් ගැලරියේ කරන දේශපාලනයට රජය මේ මොහොතේ ආමන්ත්‍රණය නොකළ යුතුයි. තියෙන අවස්ථාවන් උපරිමයෙන් පාවිච්චි කරල හැකි උපරිම උත්සාහය අරගෙන මේ තත්ත්වය කළමනාකරණය කරන්න රජය මැදිහත් විය යුතුයි. වසංගතය නිසා ඇති වුණු ගෝලීය ආර්ථික ආබාධයන් යම් කාල පමාවකින් පසුව නැවත සුව අතට හැරෙන්න ඉඩ තියෙන නිසා ඒ දක්වා වූ කාලසීමාව තුළ රුපියල ආරක්ෂා කර ගැනීමේ අටියෙන් ලංකාව ඓMF එකවෙත යෑම කාලෝචිතයි. එහෙම නැතිව මේ ආකාරයට රුපියල තව තවත් දැඩි ලෙස අවප්‍රමාණය වුණොත් ආර්ථිකය නරක තත්ත්වයට ඇද දැමීමට තියෙන ඉඩකඩ සෑහෙන වැඩියි.

      මොකද ඒ ගැන තවත් විස්තර කළොත් රුපියල අවප්‍රමාණයවීම ඩොලර් රුපියල් බවට පත්කිරීම පමා කරන්න හේතුවෙලා තියෙනව. මොකද එහෙම පමා කිරීමෙන් ඩොලරයට ගන්න පුළුවන් රුපියල් ප්‍රමාණය වැඩිවෙනව (ඒකට ආර්ථික විද්‍යාවෙදි කියන්නෙ සමපේක්ෂණ චේතනාව) මේක රජයට පාලනය කරන්න අමාරු තත්ත්වයක්. උදාහරණයකට විදෙස් ගත වුණු ශ්‍රමිකයන් වුණත් තමන්ගෙ ඉපැයීම් ලංකාවට එවීම පමා කරනව. ඒ වගේම රට තුළ ඩොලර් තියෙන පුද්ගලයන් ඒවා රුපියල් බවට පත්කිරීම ප්‍රමාද කරනව. පවතින තත්ත්වය සමපේක්ෂණ චේතනාවෙන් හැසිරෙන පිරිස උනන්දු කරවන තත්ත්වයක්. දැනටමත් එම තත්ත්වයට ගිහින් කට්ටිය එක්කෝ වෙන රටවල ආයෝජන කරනවා නැත්නම් ලංකාවට උණ්ඩියල් ක්‍රම වලට භාණ්ඩ ගෙන්වන ආනය කරුවන්ට එම මුදල් යන නිසා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම මම හිතන්නේ නරක දෙයක් නෙවෙයි, මොකද මෙම තත්ත්වය දෙසැම්බර් නත්තල් උත්සව සමයේ භාණ්ඩ මිල වැඩිවීම කෙරෙහි බලපෑමක් කරන්න පුළුවන්, උත්සව කාල සීමාවෙදි තෙල් මිල, ගෑස් මිල තව දුරටත් ඉහළ දැමීමක් වුණොත් භාණ්ඩ මිලට අහිතකර ලෙස බලපාන්න පුළුවන් රුපියල අවප්‍රමාණය වෙලා තියෙන තත්ත්වය. ඒ හැරෙන්න ඉදිරි උත්සව සමයෙදි භාණ්ඩ මිල ඉහළ යෑමට රුපියල අවප්‍රමාණය වීම බලපායි කියල හිතන්න අමාරු වුණත් රුපියල අවප්‍රමාණයවීම හරහා භාණ්ඩ මිල ඉහළයෑමට තියෙන්නෙ ඉතා පහළ සම්භාවිතාවක්. ඒ වෙනුවට වෙළෙන්දෝ උත්සාහ කරයි දැනට ස්ටොක් වල තියෙන ආනයනික භාණ්ඩ මිල ඉහළ දාන්න.

      Delete
    10. @ Ano 2.18

      //1. ලංකාවෙ ආර්ථිකය ඩොලර් බිලියන 80 ඉඳල 65ට කඩා වැටෙනව එක රැයෙන්//

      මේක න්‍යායාත්මක වුණාට ප්‍රායෝගික නැහැ, මොකද රුපියල අවප්‍රමාණය වීමත් සමග දේශීය භාණ්ඩ හා සේවා මිල වැටුප් ආදී සියල්ලම ඉහළ යායුතුයි, උදාහරණයක් ලෙස 2016- 2019 කලයේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම හරහා ලංකාවේ ආර්ථිකය සෘණ වුණේ නෑ ආර්ථික වර්ධනය 2% - 3% මට්ටමේ තිබුණා භාණ්ඩ හා සේවා මිල සහ පුද්ගලික අංශයේ වැටුප් මෙන්ම ජීවන වියදමත් අධික ලෙස ඉහළ ගියා. වාසනාවකට මෙන් 2015 - 2018 මුල දක්වා කාලයේ ලෝක වෙළඳ පොළේ තෙල් LP Gas මිල ඉතාමත්ම ලාභදායී ලෙස තෙල් බැරලය ඩොලර් 30 -35 පමණ දශක දෙකකදී පමණ පැවති පහළම අගය ලෙස පහළ ගොස් බොර තෙල් බැරලය ඩොලර් 35 පමණ අගය යම් කලකට ස්ථාවරව තිබුණ නිසා එම වාසිය ලංකාවට ලැබුණා, නමුත් 2018 සිට එය අහිමි වීමත් සග දැඩි දුශ්කරතා නිසා ආර්ථිකය අඩපණ වූ අතරම සංචාරක ව්යාපාරයෙන් ලැබුණු ඩොලර් බිලියන 4.2 නිසා යන්තම ගැට ගහ ගත්තා, නමුත් 2019 පාස්කු ප්‍රහාරය නිසා මෙයටත් දැඩි පහරක් එල්ල වූ අත්ර 2019 මැද ගත් ඩොලර් බිලියන් 4.4 ක අයි.එස්.බී බැඳුම්කර සහ 2015 - 19 කාලේ ඩොලර් බිලියන 12 ක් පමණ ගත් අයි.එස්.බී Bonds සහ වෙනත් විදෙස් ණය නිසා යන්තම් රෝල ගහ ගත්තා, දැන් 2020 සිට සංචාරක ව්යාපාරය නැත්තටම නැතිවෙලා, බොර තෙල් මිල (බ්‍රෙන්ට්) ඩොලර් 80 සීමාවේ, 2022 මෙය ඩොලර් 84 ක් ඉකමවන පව පුරෝකථනය කරනවා, මේ නිසා දැන් තත්වය භයානකයි.

      //2.රාජ්‍ය ණය එක පාරටම 10%කින් ඉහළ යනවා.//

      රාජ්‍ය ණය ඉහළ යාම නිසා රජයේ ආදායම මදි වෙනවා ණය ගෙවන්න, එනම් රජයේ බදු සහ වෙනත් රාජ්‍ය ආයතන වල ආදායම් වලින් ලැබෙන රුපියල් මහබැංකුවට දී ඩොලර් කර ගැනීමේදී පාඩුයි. උදාහරණයක් ලෙස තෙල් සංස්ථාව සහ අධිවේගී මාර්ග ඩොලර් බිලියනයක් බැගින් තෙල් ආනයනයට සහ ණය වාරික ගෙවීමට රජයට දිය යුතු යැයි සිතමු. එවිට තෙල් සංස්ථාව ඩොලර් එකක් රුපියල් 200 ට තියෙද්දී රු. බිලියන 200 ක් දී ඩොලර් බිලියනයක තෙල් අරන් එය විකුණා රුපියල් බිලියන 220 ක් උපයා එම ඩොලර් බිලියනය නැවත ගෙවීමට යන විට ඩොලර් එකක් රු. 250 නම් එතන පාඩුවක් වෙන බව පේනවා නේද? අධිවේගී මාර්ග ඇතුලු අනෙක් ඒවායෙත් වෙන්නේ මේක, නමුත් මෙය විදේශ අංශයට ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ, ප්‍රමාණවත් තරම ඩොලර් ආදායම් නොලැබුණොත් තමයි එතැනදී ප්‍රශ්නය වෙන්නේ.

      //3. උද්ධමනය එක පාරටම 5%කින්වත් වැඩි වෙනවා.//

      රුපියල අවප්‍රමාණය වෙමින් පවතින තත්වයක් මත ආනයන මත ගෙවන රුපියල් වටිනාකම ඉහළයාම අනිවාර්ය වේ. එනම් ආනයන වියදම ඉහල යයි. එය ආනයන භාණ්ඩවල දේශීය මිල ඉහල යාමටත් ආනයන මත ගෙවීමට රුපියල් ප්‍රමාණය ඉහල යාමටත් දැඩි ලෙස බලපායි. මේ නිසා අනිවාර්යයෙන්ම එය දේශීය වශයෙන් උද්ධමනයක් ඇතිවීම කෙරෙහි බලපෑමක් ඇති අතර විදෙස් ආනයනික භාණ්ඩ ඉහළ යාමත් සමග දේශීය භාණ්ඩද ඒ සමගම මිල ගණන් ඉහළ දැමීම සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳුන්ගේ චාරිත්‍රයක්, මේ නිසා මෙය ඩබල් එකෙන් බලපානවා.

      Delete
    11. @ Ano 6.02

      අපනයන වාසිදායක වන්නේ අපනයන සඳහා ලැබෙන රුපියල් වටිනාකම ඉහල යාමත් එම තත්වය නැවත රුපියල ස්ථාවර වීමට බලපෑමේ හැකියාවක් පවතින නිසාත්ය. උදාහරණයක් ලෙස ඩොලරය = රු. 200 අවස්ථාවක ඩොලර් 10ක් වටිනා තේ කිලෝවක් අපනයනය කලේ රුපියල් 2000කට නම් 1$= රු. 250 දක්වා ඩොලරයේ අගය වැඩිවී තිබෙන අවස්ථාවක දැන් එම කිලෝවම අපනයනය කර රුපියල් 2500ක් ලබාගත හැකි බව පොතේ හැටියට පේන කරුණක්, නමුත් ප්‍රයෝගිකව මෙවැනි තත්වයකදී ලංකාවේ අපනයන ධාරිතාව කොපමණද, කුමන ද්‍රව්‍ය අපනයනය කරන්නේද හා එවැනි අපනයන හැකියාවක් අපට පවතින්නේද යන්න පිලිබඳ ගැටළුවක් පවතී. කිසි සේත්ම විය හැකි දෙයක් නොවන බව පෙනුනත් කිසියම් අයුරකින් ලංකාවේ අපනයන ධාරිතාවය ඉහල ගියහොත් එය ආර්ථිකයට සුභදායි වනු ඇත.

      ලංකාවේ අති බහුතර අපනයන භාන්ඩ වලින් අති බහුතරය ප්‍රාථමික අපනයන හා ප්‍රති සැකසුම් අපනයන වේ. ප්‍රති සැකසුම් අපනයන යනු කිසියම් රටකින් අමුද්‍රව්‍ය ආනයනය කර ඒවා මගින් සුළු නිෂ්පාදනයක් කර නැවත පිටරට විකිණීම හෙවත් ප්‍රති-අපනයනයයි. ඇගලුම් වැනි අපනයන සඳහා අවශ්‍ය රෙදි, නූල් ආදිය පිටරටින් ගෙන්වා මෙරට තුල නිමි ඇදුම් බවට පත් කර යළි අපනයනය කිරීම උදාහරණයකි. මේ තත්වය මත ආනයනය කරන අමුද්‍රව්‍ය සඳහා වන වියදම ඉහල යයි. ඒ අනුව ආනයන වියදම් ඉහල යාම ආනයනික අමුද්‍රව්‍ය යොදා නිපදවන අපනයනය භාණ්ඩයේ මිල ඉහල යාමට බලපායි. එවිට ඒ තත්වය මත අපගේ භාණ්ඩවල ලෝක වෙළදපලේ මිල ඉහල යයි. එවැනි තත්වයක් තුල අපගේ අපනයන වල මිලට වඩා අනෙක් රටවල භාණ්ඩ මිල පැවතීමෙන් අපගේ අපනයන තරගකරිත්වය් අඩු වේ. එවිට අලෙවිය අඩුවේ.එනම් අපනයන මගින් අපේක්ෂිත ආදායම අඩුවේ. එය මුදල් අවප්‍රමානය වන අවස්තාවක අපනයනය වාසිදායක වීම යන්නට පටහැනි අවස්ථාවකි.

      මීට අමතරව ආනයන සඳහා ගෙවීමත්, විදේශ ණය වාරික හා ණයමත පොළී ගෙවීම සඳහාත් දැඩි පිරිවැයක් ඇති විය හැකිය. ඒ තුළ විශාල ආර්ථික හා සමාජ පිරිවැයක් ජනිත වීමේ අවධානමක් ඇත. රුපියල් අවප්‍රමාණය වීම ආයෝජන කෙරෙහි දැඩි අවදානම් බවක් ඇති කරයි. එනම් ආයෝජන අවිනිශ්චිත වේ. මුදල කෙරෙහි පවතින අවිනිශ්චිත බව නිසා ආයෝජකයන් ආයෝජනයට නොපෙළඹන අතර කොටස් වෙළදපල ආදියෙහි කඩාවැටීම තුල ආයෝජන අඩු වීමටත්, බැංකු පද්ධතිය හා පොළී අනුපාතය කෙරෙහි අශුභ දායි ලෙස බලපෑම් කිරීමටත් හේතු වේ.

      ඒ වගෙම මෙහිදී විශේෂයෙන්ම මෙවැනි තත්වයක් ඇතිවීමේ මුලිකම අවදානම හා පාඩුව වන්නේ ශ්‍රී ලංකා රුපියල කෙරෙහි පවතින ජාත්‍යන්තර හා ජාතික විශ්වාසය අඩු වීමයි. එය විදේශ ආයෝජන කෙරෙහි මෙන්ම අනෙකුත් මුල්‍ය ගනුදෙනු කෙරෙහි සුබදායක නොවේ. පවතින තත්වය තව දුරටත් වර්ධනය වුවහොත් ආර්ථිකයේ මුල්‍ය අස්ථායීතාවක් ඇති වීම කෙරෙහි බලපෑමේ අවදානමක් තිබේ.

      මේ නිසා දැනට දැඩි අර්බුදයක පවතින ආර්ථික තත්වය පාලනය කිරීමටනම් විදේශ සංචිත කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව මහා බැංකුවේ විදේශ සංචිත ඉහල දැමීමට හැකි උපරිම උත්සාහ දැරිය යුතුය, එහෙත් එය පවා තාවකාලික විසදුමකි. දේශීය මුදලේ අවප්‍රමාණය සඳහා විදේශ ආදායම් මත ලබන වත්කම්, විදේශ මුදල් හෝ ණය මත ලබා ගන්න මුදල් / වත්කම් යෙදවිය හැකිය. එහෙත් එය තිරසාර විසදුමක් නොවේ. නැවත නැවත් ආර්ථිකය අස්ථායී කිරීමට එය ඉඩකඩ සලසයි. මේ නිසා ඉදිරියේදී මේ සඳහා තිරසාර ශක්තිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි.

      මේ සඳහා තවදුරටත් අනවශ්‍ය ආනයන අවම කර, දේශීය වශයෙන් නිපදවිය හැකි දේ නිපදවමින්, අපනයන සඳහා දිරි ගැන්වීමත්, අපනයන සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම සඳහාත් රජයේ ආයෝජනය ඉහල නැංවීම, ආර්ථිකයේ ඵලදායි නොවන වියදම් හා ආයෝජන කපාහරිමින් නිවැරදි හා නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක්, විනිමය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියා අත්‍යාවශ්‍යයි.

      Delete
    12. //මෙතන 1 සහ 3 කරුණු එක්වරක් පමණක් වෙන දේවල් නේද?//
      3 එක්වරක් පමණක් වන දෙයක්. එහෙත් 1 බලපෑම දිගටම තියෙනවා.

      //අනික 1 වන කරුණ රට ඇතුලෙ ඉන්න අයට ලොකුවට දැනෙන්නේ නැහැ නේද?//
      3 සඳහන් බලපෑම හැර දැනෙන්නෙම නැහැ.

      //2 වන කරුණ වුනත් ඩොලර් ණය ඩොලර් වලින්ම ගෙවන නිසා එතනත් ලොකු ප්‍රශ්නයක් නැහැනේ.//
      ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඩොලර් ණය ගෙවන එක වඩා පහසු වෙනවා.

      //එහෙමනම් රුපියල පාකිරීම පෙන්වන තරම් ලොකු යකෙක් නෙමේනේ.//
      ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයිනේ. දේශපාලන ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව විසින් ඔවුන්ගේ පාක්ෂිකයන්ට රුපියල පාකිරීම හා එහි ප්‍රතිවිපාක ලොකු යකෙක් ලෙස පෙන්වලා තිබෙනවා. දැන් ආපසු හැරුනහම ඔවුන්ට ඉතිරි වන දේශපාලන අවකාශය කුමක්ද? 2019දී අපිට ලැබුණේ විනාශ කරලා ගන්න දෙයක් නොතිබුණු රටක් කියන තර්කයට මොකද වෙන්නේ? ජවිපෙනම් උපක්‍රමශීලීව හරි පැත්තට මාරු වෙමින් ඉන්න බව පේනවා.

      Delete
    13. //ඒ නිසා මතක තබාගත යුත්තෙ රුපියල පහළ හෙළීම නිසා අපේ අපනයන කිසිසේත්ම සැලකිය යුතු මට්ටමකින් දිගුකාලීනව වර්ධනය වෙන්නෙ නෑ කියන එක වගේම, අපේ අපනයන වර්ධනය කිරීමේ හැකියාවක් අපට නෑ කියන එක.//

      ඔය වැරදි තර්කයට ලිපි ගණනාවකින් සංඛ්‍යාලේඛණ සමඟ විස්තරාත්මකව පිළිතුරු දී තිබෙනවා. කරුණාකර පරණ ලිපි හොයාගෙන කියවන්න. පහළ ලියා තිබෙන හැම දෙයක් ගැනමත් කලින් පැහැදිලි කරලා තිබෙනවා. තවමත් මේ ආණ්ඩුවේ නිල මතය මේකනම් පාඩම ඉගෙන ගන්න වෙන්නේ තවත් සෑහෙන මිලක් ගෙවීමෙන් පසුවයි. ඔහොම යං!

      Delete
    14. ඉකොනො,

      රුපියල 200 සිට 275 හෝ 280 දක්වා එක්වරම අවප්‍රමාණය කරා කියමු. ඊට පසු එම අගයේ ස්ථාවරව තියේද? ඔනෙම නම් මාස යක් දෙකක් උපරිම මාස කීපයක් තියෙයි, ඊට පස්සෙ? ආයෙත් ඕක දිගටම අවප්‍රමාණය වෙනවා. මොකද ලංකාව දැන් 17 පාරක් ජා.මූ.අ. මෙත ගිහින් ඒ අයගේ ප්‍රෝග්‍රෑම් කීයක් නම් කරාද? කෝ ඒවායේ රිසල්ට්ස්? ඕක අද රුපියල් 300 කරල දැම්මත් දව මාස කීපයකින් ආයෙත් 320 - 350 ඔහොම දිගටම අවප්‍රමාණය වෙනවා විතරයි.

      ලංකාව 2000 / 01 කාලේ ඉඳන් දිගටම රුපියල පා කලා, පස්සේ ඉහළින් තියා ගන්නත් උත්සාහ කලා මේ දෙකෙන්ම හරි ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. දෙකෙන් ලේසිම වැඩේ ෆ්ලෝට් කරන එක නම් තමයි මොකද රජයටත් බරක් නෑ ඔන්න ඔහේ පා වෙන්න ඇරල දාල නික්ම්ම ඉන්න තියෙන්නේ, හැබැයි 2018 දි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පැවසූ පරිදි රජය මෙම අවප්‍රමාණය වීම පාලනය කළ යුතු බව ඔබට මතක ඇති, 2018 වසර තුළ පමණක් රුපියල 16% කින් පමණ අවප්‍රමාණයවී තිබේ. 2018 ආරම්භයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 154 ට ආසන්න අගයක් වූ අතර, 2018 දෙසැම්බර් 31 දින වන විට එය රුපියල් 183 ට ආසන්න අගයක් දක්වා අවප්‍රමාණය වී තිබුණි.

      //ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව දිගින් දිගටම සිදුවන ශ‍්‍රී ලංකා රුපියලේ අවප‍්‍රමාණයවීම පාලනය කිරීම සඳහා 2018 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වූ කාලයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත වලින් ඩොලර් මිලියන 184 ක් වැය කර තිබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

      රාජ්‍ය සුරැකුම්පත් මත විදේශිකයන් සිදුකර ඇති ආයෝජන අහිමිවීම හේතුවෙන් ජනවාරි සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 467ක් රටේ ආර්ථිකයෙන් පිටට ඇදී ගොස් ඇතැයි ද අධිපතිවරයා සඳහන් කළේය.//

      මූලාශ්‍රය: shorturl.at/ozY46

      ඇත්තටම ඔහොම රුපියල ශක්තිමත් කරන ඒත් ඒකෙන් වැඩක් වෙයිද?

      Delete
    15. //රුපියල 200 සිට 275 හෝ 280 දක්වා එක්වරම අවප්‍රමාණය කරා කියමු. ඊට පසු එම අගයේ ස්ථාවරව තියේද? ඔනෙම නම් මාස යක් දෙකක් උපරිම මාස කීපයක් තියෙයි, ඊට පස්සෙ? ආයෙත් ඕක දිගටම අවප්‍රමාණය වෙනවා.//

      විශාල වාර ගණනක් දිගින් දිගටම කියා තිබෙන මේ කතාව නැවතත් කියන්නම්. රුපියල අවප්‍රමාණය කළ යුත්තේ රුපියල අවප්‍රමාණය කිරීම හොඳ නිසා නෙමෙයි. ඉතා පැහැදිලිවම රුපියල දිගුකාලීනව ශක්තිමත්ව තබා ගත හැකිනම් එය හොඳයි. මෙහි තිබෙන ගැටළුව වන්නේ රුපියල ඇත්තටම විශාල ලෙස අවප්‍රමාණය වී තිබියදී කෘතිමව එය ශක්තිමත් බව පෙන්වන්න යාමයි. එයින් වෙන්නේ රුපියලේ සැබෑ ශක්තිය තව තවත් මොට වීමයි. ඔබ කියනවාක් මෙන් රුපියල 200 සිට 275 හෝ 280 දක්වා එක්වරම අවප්‍රමාණය කරා කියමු. ඊට පසුව වුවද එම අගයේ ස්ථාවරව නොතිබෙන්නේ ඇයි? දිගින් දිගටම සල්ලි අච්චු ගැසීම නිසා රුපියලේ සැබෑ අගය තවතවත් පහළට යන නිසා. රුපියල අවප්‍රමාණය කිරීම ක්ෂණිකව මුහුණ දිය යුතු ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක් පමණයි. දිගුකාලීනව රුපියලේ වටිනාකම ස්ථිරව තියා ගන්නනම් සල්ලි අච්චු ගහන එක සීමා කළ යුතුයි. ඒ සඳහා, බදු වැඩි කර වියදම් අඩු කළ යුතුයි. වෙන විකල්පයක් නැහැ. දිගින් දිගටම සල්ලි අච්චු ගහනවානම් එයට අනුරූපව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වෙන්නත් ඉඩ අරින්න වෙනවා. එය සිදු නොකරන තාක් ඩොලර් හිඟයට මුහුණ දෙන්න වෙනවා. මේ යන ක්‍රමයේ කෙළවර "free fall" එකක්. එහිදී රුපියල 275, 300 හෝ 500 වැනි අගයක නොනැවතී 2,000 හෝ 5,000 වැනි මට්ටමක් දක්වා වුවත් කඩා වැටෙන්න පුළුවන්. එසේ වූ අවස්ථා පිළිබඳ උදාහරණ තිබෙනවා.

      Delete
    16. ඉකොනො,

      ඔබ කියන දේ පැහැදිලියි, ඒ වගේම මේ අවස්ථාවේ ලංකාවේ ආණ්ඩුව රුපියල් යම් තරමකින් හෝ නිදහසේ පා කර රුපියල අවප්‍රමාණ කිරීම සුදුසු බව ආර්ථික විද්‍යාව නොදන්න මටත් පේනවා, නමුත් ඔබ තරහ ගන්නේ නැත්නම් පුංචි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද? මේ රුපියල් අවප්‍රමාණ කිරීමට විරුද්ධව කතා කරන අය පවසන ආකාරයට නම් හුදෙක් විනිමය අනුපාත වල ඉහළ පහළ යාම් වලින් අපනයන වැඩි කර ගන්නවත් ආනයන අඩු කර ගන්න වත් ප්‍රායෝගිකව පුළුවන් කමක් නැහැලු, එමගින් ඉතාමත් කෙටි කාලීනව යම් මිල ගණන් ඉහළ පහළ යැවීම මගින් අපනයන වලට ඉල්ලුම වැඩි කර ගැනීම හෝ ආනයන වලට ඉල්ලුම අඩු කර ගත හැකි වුවත් ඉතා ඉක්මණින් මිනිසුන් මෙම මිල වෙනසට පුරුදු වෙන බවත් ලංකාවේ ආනයන වලින් 80% ක් විතර ලංකාව තුල හදාගත නොහැකි දේවල් බවත් හදන ඒවාවලටත් අමුද්‍රව්‍ය ඉන්ධන සහ බලශක්ති ප්‍රභව ආනයන මත පදනම් වූ නිසා ඔබ ඔය කියන විදිහට වාසියක් නැති බවයි. ඒ කතාව ඇත්ත ද?

      ලංකාවේ මේ සඳහා සුලබ උදාහරණයක් විදියට ලංකාවේ තෙල්/ තිරිඟු/ පරිප්පු ගල් අගුරු හැර වෙනත් අත්‍යවශ්‍යම නොවන ආනයන විශාල ප්‍රමාණයක් ගෙන්වන චීනය හා භාරතය ගැන සලකා බැලීමේදී මේක බලන්න;

      https://www.xe.com/currencyconverter/convert/?Amount=1&From=CNY&To=LKR

      මේක මගින් පහුගිය වසර 15 කට පෙර රුපියල් 12 ක් විතර වූ චීන රෙන්මින්බි එක මේ වන විට රුපියල් 31.71 පමණ අගයක් කරා දිගින් දිගටම වැඩි වෙලා තියෙන්නෙ.

      නමුත් මේක බලන්න;

      https://tradingeconomics.com/sri-lanka/imports/china

      වසර පහළොවකට පමණ පෙර ඩොලර් මිලියන 700 ක් පමණ වූ වාර්ෂික චීන ආනයන ප්‍රමාණය දැන් ඩොලර් බිලියන 4.5 ක් විතර වෙලා තියෙන්නේ, දිගින් දිගටම ආනයන අපනයන අතර පරතරය චීනයට වාසි සහගත ලෙස ඉහළ යාමට හේතුව කුමක්ද විනිමය අනුපාතය මෙලෙස ලංකාවට වාසි සහගත ලෙස චීන රෙන්මින්බි එක ඉහළ යද්දී?

      මේ වගේම ලංකාව ඉන්දියාව සමග බොහෝ නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කර තිබියදී පවා පහුගිය වසර විස්සකට පමණ ඉහත ලංකාවේ රුපියලට ආසන්න වශයෙන් සමාන අගයක් වූ ඉන්දීය රුපියල් මේ වන විට රුපියල් 2.73 ක් පමණ දක්වා ඉහළ ගිහින් තිබුණාට ලංකාවේ අපනයන අගය වන ඩොලර් මිලියන 800 ක් විතර අගය වේගයෙන් විශාල පරතරයක් සහිතව අභිබවා යමින් ඉන්දීය ආනයන ඩොලර් බිලියන 4.8 ක් විතර දක්වා ඉහළ යාමට හේතුව කුමක්ද? හරි නම් වෙන්න ඕන මේකේ අනිත් පැත්ත නේද? එහෙම වෙන්නේ ඇයි?

      රුපියල් අවප්‍රමාණ වීම මගින් අපනයන ආදායම් වැඩි කර ගැනීම ප්‍රායෝගික නොවන බව බොහෝ දෙනෙක් පවසන්නේ මේ කියන කතාව ඇත්තක් වගේ පේන නිසා වෙන්න පුළුවන්. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඔබට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.

      Delete
    17. අනෙක් පැත්තෙන් ඉන්දියාව සහ චීනයත් තම මුදල් ඒකක යම් තරමකින් හෝ පාලනය කර ගෙන තියෙනවා නේද? ඔබ හිතන්නේ ලංකාවේ රුපියල් ඒ කාලේ පටන්ම මීට වඩා අවප්‍රමාණ කර තිබුණ නම් ඒ සමග ආනයන අඩු කරන්න සහ අපනයන ආදායම් වැඩි කර ගැනීම සමග ඉහත තත්ත්වය වෙනස් කිරීමට පුළුවන් කමක් තිබුණා කියලද? ඒ නිසා මේ වෙනකොට චීන රෙන්මීන්බී එකේ නිවැරදි අගය ලෙස රුපියල් 55 ක් විතර සහ ඉන්දීය රුපියලක් ලංකාවේ රුපියල් 3.25 ක් වගේ ගානකට ආවා නම් මේ තත්ත්වය ක්‍රමානුකූලව ටිකෙන් ටික රිවස් කරන්න පුළුවන් ද? එහෙම වෙන්නේ කොහොමද?

      Delete
    18. //මේ රුපියල් අවප්‍රමාණ කිරීමට විරුද්ධව කතා කරන අය පවසන ආකාරයට නම් හුදෙක් විනිමය අනුපාත වල ඉහළ පහළ යාම් වලින් අපනයන වැඩි කර ගන්නවත් ආනයන අඩු කර ගන්න වත් ප්‍රායෝගිකව පුළුවන් කමක් නැහැලු//

      න්‍යායාත්මක හෝ ප්‍රායෝගික පදනමක් නැති, බොහෝ විට හිතාමතාම පතුරවන වැරදි අදහසක්. මෙතෙක් කල් ණය පිරමිඩය නඩත්තු කළේ ඔය වගේ කතා ජනගත කිරීම මගින්. මෙය බොරුවක් බව මේ වෙද්දී බොහෝ දෙනෙකුට පැහැදිලිව පේනවා. ඔය කතාව කියන අයගෙන් මේ ප්‍රශ්නය අහන්න. රුපියල අවප්‍රමාණය වෙන්න නුදුන් කාල වකවානු වලදී ආනයන විශාල ලෙස වැඩි වී ආනයන අපනයන පරතරය විශාල ලෙස පුළුල් වුනාද නැද්ද? රුපියල අවප්‍රමාණය වෙන්න දුන් කාල වකවානු වලදී එවැන්නක් වුනාද?

      අවශ්‍යනම් වසර පහකටත් පෙර ලියූ පහත ලිපි සමඟ පළ කර තිබෙන රූප සටහන් දෙස බලන්න.

      ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)
      http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_20.html

      ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (තෙවන කොටස)
      http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_21.html

      //එමගින් ඉතාමත් කෙටි කාලීනව යම් මිල ගණන් ඉහළ පහළ යැවීම මගින් අපනයන වලට ඉල්ලුම වැඩි කර ගැනීම හෝ ආනයන වලට ඉල්ලුම අඩු කර ගත හැකි වුවත්...//

      දැන් මේ අනුව කෙටිකාලීන ප්‍රතිඵලයක් තිබෙන බව පිළි අරගෙනනේ.

      //ඉතා ඉක්මණින් මිනිසුන් මෙම මිල වෙනසට පුරුදු වෙන බවත් ලංකාවේ ආනයන වලින් 80% ක් විතර ලංකාව තුල හදාගත නොහැකි දේවල් බවත් හදන ඒවාවලටත් අමුද්‍රව්‍ය ඉන්ධන සහ බලශක්ති ප්‍රභව ආනයන මත පදනම් වූ නිසා ඔබ ඔය කියන විදිහට වාසියක් නැති බවයි. ඒ කතාව ඇත්ත ද?//

      වාහනයක් අද මිල මෙන් 10 ගුණයක් වුනොත් ඔබ වාහනයක් මිල දී ගන්නවාද? පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 2000ක් වුනොත් දැන් තරමටම පෙට්‍රෝල් ගහනවද? පරිප්පු කිලෝවක් රුපියල් 10000ක් පමණ වුනත් දැන් තරමටම පරිප්පු කනවද? මිනිස්සු එහෙම කරයි කියා ඔබ විශ්වාශ කරනවානම් තව ටික කලකින් ඒ විශ්වාසය පරීක්ෂා කරන්න අවස්ථාවක් ලැබෙයි. විණිමය අනුපාතය ඉහළ ගියා කියලා රටේ හදන්න බැරි දේවල් ක්ෂණිකව හැදිය නොහැකි වුවත් මිල වැඩි නිසා ඒ දේවල් වලට ඉල්ලුම විශාල ලෙස අඩු වෙනවා. මිනිස්සු මිල වෙනසට පුරුදු වෙන්නේ අතේ සල්ලි තිබෙනවානම් පමණයි. දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී මිනිස්සු මිල වෙනසට පුරුදු වෙනවා. සල්ලි අච්චු ගැසීම සීමා කළොත් එවැන්නක් වෙන්නේ නැහැ. කිලෝවක් රුපියල් 10000 බැගින් පරිප්පු ගන්න මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද? සල්ලි අච්චු ගැහුවත්, එයට සමානුපාතිකව ඩොලරයේ මිලත් වැඩි වෙන්න ඇරියොත් ඒත් මිනිස්සු මිල වෙනසට පුරුදු වෙන්නේ නැහැ. මොකද අතේ වැඩිපුර රුපියල් ගැවසුනත් පරිප්පුත් සමානුපාතිකව තවත් ගණන් ගිහින්. සල්ලි අච්චු ගහන අතර විණිමය අනුපාතය පහළින් තියා ගත් විට පමණක් මිනිස්සු මිල වෙනසට පුරුදු වෙනවා. ඒ නිසා, නැවතත් ආනයන ඉහළ ගොස් ප්‍රශ්නයේ මුලට එනවා.

      ඔබ කියන විදිහට චීනය හා ඉන්දියාව සමඟ වෙළඳ හිඟය එන්න එන්නම පුළුල් වී තිබෙනවා. මේ විදිහට දිගින් දිගටම වෙළඳ හිඟයක් පවතින්නේම දිගින් දිගටම ණය අරගෙන ආනයන වෙනුවෙන් නිදහස් කර තිබෙන නිසයි. එසේ නොකළානම් වැඩිපුර ආනයනය කරන්න ඩොලර් කොහෙන්ද? ණය අරගෙන ආනයන වෙනුවෙන් වැය කළ විට වෙළඳ හිඟය පුළුල් වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. මේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිඵලය ඕක තමයි. ණය වලින් ආනයන කරද්දී වෙළද හිඟය පුළුල් වෙනවා. ණය ගෙවන්න යද්දී අන්තිමට රුපියලේ අගයත් පහළ යනවා. එළුවාගේ බෙල්ල කපලා අන්තිමට මුට්ටියත් බින්දා වගේ. ඔබම පෙන්වන පරිදි වෙළඳ හිඟය මේ තරම් වැඩි වීමෙන් පසුවත් අන්තිමට රුපියල අවප්‍රමාණය වෙන එක වලක්වා ගන්න හැකි වී නැහැ. චීන, ඉන්දීය මුදල් ඒකක වලට සාපේක්ෂව රුපියල කොහොමටත් පිරිහිලා. දැන් වෙන්නෙත් ඒකම තමයි. රුපියල එක තැන තියා ගෙන ඉන්න නිසා වෙළඳ හිඟය පුළුල් වෙනවා. නමුත් අන්තිමට යම් කාල පමාවකින් පසුව රුපියලත් පිරිහෙනවා. එය වැළැක්විය නොහැකියි. දිගුකාලීනව ඉලක්ක දෙකෙන් එකක්වත් ලඟා කර ගත හැකි වන්නේ නැහැ. කලින්ම විණිමය අනුපාතය පිරිහෙන්න ඉඩ දුන් විට වෙළඳ හිඟයට සිදුවන හානිය වැළකෙනවා. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවට වැඩක් වෙන්නේ නැහැ.

      Delete
    19. //අනෙක් පැත්තෙන් ඉන්දියාව සහ චීනයත් තම මුදල් ඒකක යම් තරමකින් හෝ පාලනය කර ගෙන තියෙනවා නේද?//
      චීනය මෙය කරන්නේ අනෙක් පැත්තට. එනම් ඔවුන්ට වාසි පැත්තට.

      //ඔබ හිතන්නේ ලංකාවේ රුපියල් ඒ කාලේ පටන්ම මීට වඩා අවප්‍රමාණ කර තිබුණ නම් ඒ සමග ආනයන අඩු කරන්න සහ අපනයන ආදායම් වැඩි කර ගැනීම සමග ඉහත තත්ත්වය වෙනස් කිරීමට පුළුවන් කමක් තිබුණා කියලද?//
      පැහැදිලිවම. "ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)" කියවන්න.

      //ඒ නිසා මේ වෙනකොට චීන රෙන්මීන්බී එකේ නිවැරදි අගය ලෙස රුපියල් 55 ක් විතර සහ ඉන්දීය රුපියලක් ලංකාවේ රුපියල් 3.25 ක් වගේ ගානකට ආවා නම් මේ තත්ත්වය ක්‍රමානුකූලව ටිකෙන් ටික රිවස් කරන්න පුළුවන් ද? එහෙම වෙන්නේ කොහොමද?//

      රුපියල පිරිහෙන්න ඇරීම ක්ෂණික පිළියමක් පමණයි. ඉන් පසුව, රුපියල ස්ථාවර කර ගත යුතුනම්, සල්ලි අච්චු ගැසීම නැවැත්විය යුතුයි. ඒ සඳහා අයවැය හිඟය පාලනය කළ යුතුයි. දැනට තිබෙන ණය කන්දරාව එක්ක ක්‍රමානුකූලව ටිකෙන් ටික රිවස් කරන්නත් අඩු වශයෙන් අවුරුදු 15-20ක්වත් යනවා.

      Delete
    20. පැහැදිලි කිරීම ගැන බොහොම ස්තූතියි, නමුත් තවත් ප්‍රශ්නයක් තියෙනවා,

      ///වාහනයක් අද මිල මෙන් 10 ගුණයක් වුනොත් ඔබ වාහනයක් මිල දී ගන්නවාද? පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 2000ක් වුනොත් දැන් තරමටම පෙට්‍රෝල් ගහනවද? පරිප්පු කිලෝවක් රුපියල් 10000ක් පමණ වුනත් දැන් තරමටම පරිප්පු කනවද?///

      රුපියල් ෆ්ලෝට් කරද්දී මේ කියන තරම් විශාල වශයෙන් මිල ඉහළ යන්නේ නෑ, ඩොලර් එක රුපියල් 180 ට තිබී මාස දෙකකින් එය 200 වී තවත් මාස දෙකකින් 220 ක් විතර වෙනවා වගේ නේ සාමාන්‍යයෙන් ෆ්ලෝට් වෙනකොට මිල ඉහළ යන්නේ.

      එතකොට CIF අගය ඩොලර් 10,000 ක් වෙන වාහනේකට ටැක්ස් රුපියල් මිලියන තුනක් පමණ නම් එහි මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි;

      පළවෙනි මාසයේ රු මිලියන 4.8 ක්

      මාස දෙකකින් පස්සෙ රු මිලියන 5 ක්

      තවත් මාස දෙකකින් (මාස හතරකට පහකට පස්සේ) රු. මිලියන 5.2 ක්

      සාමාන්‍යයෙන් මෙහෙම ඩොලරය ඉහළ යන කොට විශාල වශයෙන් ස්ටොක් ආනයනය කරන ලද වාහන වල මිල ගණන් මීටත් වඩා හෙමින් සීරුවේ ඉහළ යන්නේ. නමුත් මිනිස්සු මේ මිල ගණන් වලට පුරුදු වෙනවා වෙන කරන්න දෙයක් නැති නිසා. නමුත් එතකොට අනිත් පැත්තෙන් විපක්ෂ කණ්ඩායම් මේක මහත් සේ විවේචනය කරමින් "දැන් සැප ද?/ "වැඩි කරන අපේ විරුවා " වගේ මඩ ප්‍රචාර ගෙන යමින් ආණ්ඩුවට ඉතා දැඩි විරෝධය සහ විශාල වශයෙන් පීඩනයකට ලක් කරනවා.

      ඉන්ධන මිල ගණන් සහ පරිප්පු වල මිල ගණන් ඔප පැවසූ අගයන් ප්‍රායෝගික නෑ, නමුත් පෙට්රල් ලීටරයක මිල රුපියල් 157 සිට මාස හතරක් විතර ඇතුලත රු 250 - 300 කට සහ පරිප්පු කිලෝ එකක් රුපියල් 200 ක් විතර ඉඳලා රුපියල් 500 - 600 වගේ ගණන් වලට යන්න පුළුවන්. එහෙම ගියොත් ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. ආණ්ඩුවට අමු තිත්ත කුණුහරුප වලින් බැන බැන වැඩි මිලට ගැනීමට පුරුදු වෙනවා. මොකද ගොඩක් අය පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදන, පරිප්පු, අල, ළූණු, ආනයනික ටින් මාලු, ගෑස් වගේ දේවල් කීය වුණත් ගන්නවා. තෙල් භාවිතයත් එහෙම තමයි. ලේසියෙන්ම බලන්න පුළුවන් දේ තමයි මත්පැන්, අරක්කු බෝතලයක් හදන්න යන්නේ රුපියල් දෙසීයක් විතර ඒත් බදු සමග රුපියල් 1600 ක් දීලා බොන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, කොච්චර වැඩි කරත් බීම අඩු වෙලා නෑ, සිගරට් රුපියල් 60. වුණත් ගන්නවා වගේ.

      ඔබ දන්නේ නැතුව ඇති ලංකාවේ 2015 රාජපක්ෂ රෙජීමය ගෙදර යවන්න මූලික කරුණ වුණේ අධික බඩු මිල. පෙට්රල් ලීටරයක් රු 150 යි, අඩු මිලට පුංචි කාර් ගන්න බදු අඩු කරනවා, ආනයනික ටින් මාලු, පරිප්පු, අල ළූණු, හාල්, පාන් පිටි, සීනි, කරවල, උම්බලකඩ වගේ හැම දෙයක්ම විශාල වශයෙන් බදු අය කිරීම නිසා ඉතා ඉහළ මිලකට අලෙවි වුණා ඒ කාලේ, නමුත් යහපාලන රජය ආපු ගමන් 2015 ජනවාරි වල ආනයනික ආහාර වර්ග වල බදු අඩු කරනවා ඒ සමගම ගම්බද ගොවීන්ගේ බඩට වදිනවා, ආනයනික වෙළඳ ප්‍රජාවට සහ නාගරික ජනතාවට විශාල වශයෙන් සහනයක් ලැබුණා. මේ නිසා රාජපක්ෂ කල්ලිය ගැමි ගොවි පදනමක් හදා ගත්තා එජාපය ප්‍රමුඛ යහපාලන රජය නාගරික සහ මහමදික ආගමික ප්‍රජාව තුල හොඳ ජන පදනමක් හදා ගත්තා. නමුත් මේ කිසිම දෙයකින් නිසි පරිදි Alternative දේශීය නිෂ්පාදිතයක් නිර්මාණය වුණේ නැහැ. ආනයනය තව දුරටත් වැඩි වීම විතරයි වුණේ. උදාහරණයක් විදියට 2018 වසර තුල ඩොලර් එක රුපියල් 155 ක් විතර තිබුණ එක 183 ක් විතර දක්වා ඉහළ ගියා ඒත් ඉතින් ආනයන අඩු වුණේ නැහැ, ජපන් කාර් මිල ගණන් වැඩි වෙනකොට මිනිස්සු ඒ වෙනුවට ඉන්දීය මාරුති සුසුකි, මහේන්ද්‍රා, ටාටා, නැත්නම් චීන Geely, DFSK, Greatwall, JAC වගේ මාදිලි වලින් එන සාපේක්ෂව අඩු මිල වාහන වලට යනවා. ආනයනික මයිසුර් පරිප්පු මිල ගණන් වැඩි වෙලා නම් ආනයනික ඒ හා සමාන (කඩල පරිප්පු වලට??) දේවල් වලට යනවා අන්න ඒ වගේ. ඒ නිසා ප්‍රායෝගික ලෙස ඔය දේ වෙන්නේ නෑ කියලා මට හිතෙනවා සමහර විට මම වැරදි වෙන්නත් පුළුවන්.

      Delete
    21. ලංකාවේ ආණ්ඩුවලට ප්‍රායෝගික තලයේ දැඩි ලෙස බලපෑම් එල්ල වෙනවා, ලංකාව කියලා කියන්නේ තරුණයන් රැකියා විරහිත නිසාම භයානක විදියට තරුණ කැරලි තුනක් (දකුණේ දෙකක් සහ උතුරේ එකක්) ඇතිවුණ හාල් සේරුවක් සත විසි පහෙන් සත හතළිහක් වුණා කියලා රට පුරා මහත් සේ හර්තාල් කරපු ගුරුවරු බරපතල විදිහට රට පුරා කොරෝනා වෛරස් එක පැතිරීම ගැන නොසලකා දැඩි අවදානමක් ගෙන මසකට රුපියල් හාර පන්දාහක් පඩි වැඩි කර ගැනීම සඳහා දැඩි ලෙස උද්ඝෝෂණ ව්‍යාපාර කරන, ගොවීන් පොහොර, ජල සම්පාදනය වගේ දේවල් වලට දැඩි විරෝධය සහිතව බරපතල විදිහට නැගී සිටින වෙනස් කම් වලට දැඩි ලෙස සංවේදී රටක්. ආණ්ඩුව ඒකාධිපති ලෙස කටයුතු කරන විට 1970 /80 දශක වල වගේ රට අමු සොහොනක් පවා විය හැකි රටක්. ඒ නිසා ආණ්ඩුවලට අපි පැත්තෙන් ඉඳලා හාන්සි පුටුවේ ඉඳගෙන කරන විවේචන උපදෙස් පිළිපදින එක අතිශය දුෂ්කර කරුණක්. ගෝඨාභය පසුපස හිටපු වියත් මග කණ්ඩායම් පවා ගොඩක් ආකර්ෂණීය ගතියක් සහිත ඉතාමත් සාධනීය යෝජනා ගෙනාවා, නමුත් ඒ අයට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ නැත්තේ ඇයි?

      උදාහරණයක් ලෙස වියත් මග කැඳවුම්කරු ගිනිගේගේ 2019 මැද භාගයේ දී ඉදිරිපත් කරන ලද මේ යෝජනා 35 දෙස බලන්න;

      http://ginige.com/first-100-days-action-plan-of-the-next-president-of-sri-lanka-v1-0/erandaginige/2019/10/?fbclid=IwAR3umj1NxHtJxNWJu8PK0ckvhbcj4DZmrSXokvAWwLGTETREVXLZtQjF7og

      ලංකාවේ කිසිම වගකීමක් නැතුව දැඩි විරෝධය සහ බාධා එල්ල කරන බොරු සමාජගත කරමින් ජනයා මුලා කර බිය කරන/ කුලප්පු කරවන විපක්ෂ කණ්ඩායම් 2015 - 19 කාලයේ වගේම අදටත් ක්‍රියාත්මක වන නිසා කොහොමත් මේ දේවල් කරන්න අමාරුයි ලංකාවේ ඕනම පත් වෙන රජයකට. මේ නිසා ඔවුනුත් එක්තරා ආකාරයක වින්දිතයන් පිරිසක් කියලත් හිතෙනවා වෙලාවකට මට නම්.

      Delete
    22. //රුපියල් ෆ්ලෝට් කරද්දී මේ කියන තරම් විශාල වශයෙන් මිල ඉහළ යන්නේ නෑ//

      මම යෝජනා කරන්නේ රුපියල් ෆ්ලෝට් කරන්න කියලා නෙමෙයි. එය එජාප උපාය මාර්ගය හෝ IMF යෝජනා ක්‍රමය විය හැකියි. මම යෝජනා කරන්නේ ඊටත් වඩා වැඩියෙන් අවප්‍රමාණය වෙන්න අරින්න කියලා. එසේ කරමින් යම් ස්ථාවර මට්ටමකට සංචිත ගොඩ නගා ගන්න කියලා. අවශ්‍ය පමණ සංචිත ගොඩ නගාගෙන රුපියල ඇත්තටම ශක්තිමත් කිරීමෙන් පසුව වැඩි මහන්සියක් නැතුව ඩොලර් රටට එන්න පටන් ගන්නවා. එසේ වන තුරු කාලය තුළ අපනයන අඩු වී ආනයන ඉහළ යනවා. මේ වැඩේට වසර 15-20ක් පමණ යයි. ඒ අතර කාලය තුළ ආනයන මිල විශාල ලෙස ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා. කොහොම වුනත් මම සඳහන් කළ මිල වැඩිවීම් ප්‍රායෝගික නැති බවනේ ඔබ කියන්නේ. සිදු විය හැකි ෆ්‍රී ෆෝල් එකකින් පසුව මීට වඩා වැඩි මිල ගණන් වුවත් ප්‍රායෝගික විය හැකියි. එය අමතක කරමු. වැදගත් කරුණ එය නෙමෙයි. මේ තරම් මිල ඉහළ ගියොත් මිනිස්සු ආනයන සීමා කරන බව ඔබ පිළිගන්නවා.

      දැන් ඔබ කියන්නේ ඩොලර් එක 180 සිට 220 දක්වා වැඩි වෙද්දී මිලියන 4.8 වූ වාහනයක් මිලියන 5.2ක් වන බවයි. මෙහි පදනම ආනයන මිල වැඩි වුනත් බදු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කියන උපකල්පනයයි. පළමුව ඔබේ ගණන් හැදීම් වැරදියි. වාහනයේ මිල වැඩි වෙද්දී සාමාන්‍යයෙන් බදුත් සමානුපාතිකව වැඩි වෙනවා. සාමාන්‍ය තත්ත්වය නොවුනත්, එය එසේ නොවන අවස්ථා තිබිය හැකියි. එසේනම් එය බදු ක්‍රමයේ ප්‍රශ්නයක්.

      අපි දැනට මිලියන 4.8 වූ වාහනයක් මිලියන 5.2ක් වන බව සලකමු. මෙහිදී විශාල ලෙස ඉල්ලුම අඩු නොවුනත් යම් තරමකින් හෝ ඉල්ලුම අඩු වෙනවා. කලින් ඉල්ලුම එලෙසම තියෙන්නේ නැහැ. ඊට වඩා මිල වැඩි වුනොත් ඉල්ලුම වඩා වැඩියෙන් අඩු වෙනවා. වසර කිහිපයකට පෙර ත්‍රිරෝද රථ ආනයන බදු ඉහළ දැමීමෙන් පසු ඉල්ලුම කොයි තරම් විශාල ලෙස අඩු වුනාද කියා පරික්ෂා කර බලන්න.

      ලංකාවේ වාහන වෙළඳපොළ ටිකක් වෙනස් එකක්. මිනිස්සු වාහන මිල දී ගන්නේ පරිභෝජන භාණ්ඩයක් ලෙස සලකා නෙමෙයි. ආයෝජනයක් ලෙසද සලකා. ඔබ කියන ආකාරයෙන් 180, 200, 220 ආදී ලෙස ටිකෙන් ටික ඩොලරය අවප්‍රමාණය කරද්දී වාහන ඉල්ලුම අඩු නොවෙන්න පුළුවන්. මොකද ඩොලරයේ මිල ඔය විදිහට ටිකෙන් ටික වැඩි වන බව පෙනෙද්දී වාහනයක් හොඳ ආයෝජනයක් බවටද පත් වෙනවා. ඒ නිසා, අනාගතයේදී වාහනයේ මිල වැඩිවීම ගැන හිතලාම වාහන මිල දී ගන්න පිරිසක් හැදෙනවා. ඒ නිසා, මිල වැඩි වීමෙන් ඉල්ලුමට සිදු වෙන බලපෑම යම් තරමකින් නිශේධනය විය හැකියි. එහෙත් ඩොලරය එකවර විශාල ලෙස අවප්‍රමාණය වෙන්න ඇරියොත් දිගින් දිගටම ඩොලරය ඒ ආකාරයෙන් විශාල ලෙස අවප්‍රමාණය නොවන බව කාට වුනත් තේරෙනවා. ඒ නිසා, මිල සමපේක්ෂණය කර ආයෝජනයක් සේ වාහන මිල දී ගැනීම සඳහා පෙළඹීමක් ඇති වන්නේ නැහැ.

      දැන් තිබෙන විණිමය ප්‍රතිපත්තිය නිසා රුපියලේ සැබෑ අගය පෙන්වන අගයට වඩා ගොඩක් අඩු බව කාට වුනත් තේරෙනවා. ඩොලරයේ මිල පොඩ්ඩක් වැඩි වුනා කියලා ඕක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ඩොලරය ටිකක් ඉහළ ගියත් ඒ වැඩි වූ මිලට වුවත් වාහනයක් මිල දී ගන්න එක හොඳ ආයෝජනයක්. එසේ නොවෙන්නනම් සැලකිය යුතු ලෙස ඩොලරය අවප්‍රමාණය විය යුතුයි. ඊට අමතරව ආණ්ඩුව දිගින් දිගටම සල්ලි අච්චු නොගහන බවට විශ්වාසයක් ඇති විය යුතුයි.

      මේ හේතු නිසා යම් ආකාරයකින් ඩොලරයේ මිල වැඩි වෙද්දී වාහන ඉල්ලුම අඩු නොවුනත් අතේ සල්ලි නැත්නම් මිනිස්සුන්ට වාහන මිල දී ගන්න බැහැ. ඒ නිසා සල්ලි අච්චු ගසා මුදල් සැපයුම වැඩි නොකළොත් අතේ තිබෙන රුපියල් වලින් මිල දී ගත හැකි ඩොලර් ප්‍රමාණය සීමා වන නිසා වාහන ඉල්ලුම අඩු වෙනවා. එසේ නොවන්නේ විශාල ලෙස සල්ලි අච්චු ගහන නිසයි.

      මේ කතාව ඉන්ධන, පරිප්පු ආදියටත් අදාළයි. ඩොලරයේ මිල 10%කින් වැඩි කර රටේ මුදල් සැපයුම 20%කින් වැඩි කළොත් ඉල්ලුම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. රාජපක්ෂ ආණ්ඩු වල ප්‍රතිපත්තිය වුනේ මේකයි. ඩොලරයේ මිල වැඩි වන වේගයට වඩා වැඩි වේගයකින් සල්ලි අච්චු ගහන කොට මිනිස්සුන්ගේ පරිභෝජන ඉල්ලුම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, ආනයන ඉල්ලුම වැඩි වෙනවා. එසේ නොවෙන්නනම් සල්ලි අච්චු ගහන වේගයට වඩා වේගයෙන් ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ දිය යුතුයි. එය නොකරන තුරු ආනයන අපනයන පරතරය පියවන්න බැහැ.

      Delete
    23. //නමුත් එතකොට අනිත් පැත්තෙන් විපක්ෂ කණ්ඩායම් මේක මහත් සේ විවේචනය කරමින් "දැන් සැප ද?/ "වැඩි කරන අපේ විරුවා " වගේ මඩ ප්‍රචාර ගෙන යමින් ආණ්ඩුවට ඉතා දැඩි විරෝධය සහ විශාල වශයෙන් පීඩනයකට ලක් කරනවා.//

      ඔව්. ඒක වෙන්න පුළුවන්. එය ආණ්ඩුව කරන කණ්ඩායමේ ප්‍රශ්නයක් මිසක් රටේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඔබේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ දිගටම බලයේ සිටීම සඳහා හරි දේ නොකර වැරදි දේ කරන්න වෙනවා කියන එකනේ. ආණ්ඩුව කරන කණ්ඩායමේ පෞද්ගලික අපේක්ෂාවන් බැලුවොත් පැත්තෙන් මෙය හරි. එහෙත් ඉතා පැහැදිලිවම මෙය රටට. ජනතාවට අහිතකර ප්‍රතිපත්තියක්.

      //ජපන් කාර් මිල ගණන් වැඩි වෙනකොට මිනිස්සු ඒ වෙනුවට ඉන්දීය මාරුති සුසුකි, මහේන්ද්‍රා, ටාටා, නැත්නම් චීන Geely, DFSK, Greatwall, JAC වගේ මාදිලි වලින් එන සාපේක්ෂව අඩු මිල වාහන වලට යනවා. ආනයනික මයිසුර් පරිප්පු මිල ගණන් වැඩි වෙලා නම් ආනයනික ඒ හා සමාන (කඩල පරිප්පු වලට??) දේවල් වලට යනවා//

      ඔව්, මේක හරි. නමුත් මෙහිදී වෙන්නෙත් ආනයන වියදම් අඩු වීම නේද? ඩොලරය වැඩි වුනා කියා ආනයන නවතින්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. දරාගත හැකි මට්ටමකට ආනයන වියදම් සීමා වීම ප්‍රමාණවත්.

      Delete
    24. //ලංකාවේ කිසිම වගකීමක් නැතුව දැඩි විරෝධය සහ බාධා එල්ල කරන බොරු සමාජගත කරමින් ජනයා මුලා කර බිය කරන/ කුලප්පු කරවන විපක්ෂ කණ්ඩායම් 2015 - 19 කාලයේ වගේම අදටත් ක්‍රියාත්මක වන නිසා කොහොමත් මේ දේවල් කරන්න අමාරුයි ලංකාවේ ඕනම පත් වෙන රජයකට. මේ නිසා ඔවුනුත් එක්තරා ආකාරයක වින්දිතයන් පිරිසක් කියලත් හිතෙනවා වෙලාවකට මට නම්.//

      ඔව්. ඒක ඇත්ත. ආණ්ඩුව වගේම විපක්ෂය ප්‍රශ්න කිරීමටත් මිනිස්සු පුරුදු විය යුතුයි. බලයට පත් වූ වහාම පොරවල් වුනත් ඉතා කෙටි කලකින් ආණ්ඩු වින්දිතයින් බවට පත් වෙනවා. ලංකාවේ මෑතකාලීන යථාර්තය එයයි. මගේ දේශපාලනය දිගටම තිබුණෙත්, තිබෙන්නේත් ආණ්ඩුව වගේම විපක්ෂයත් ප්‍රශ්න කිරීමටත් මිනිස්සු පුරුදු විය යුතුයි කියන තැනයි. එය සිදු වන තුරු ලංකාවට ගොඩ යෑමක් නැහැ.

      Delete
  7. ඇනෝ,

    //ගොඩක් රටවල් ආර්ටිෆිශල් රේට් එකක් නේද තියාගෙන ඉන්නෙ.
    ඉන්දියාව, චීනෙ, බන්ගලියො,
    ජපානෙ පවා...//

    ඇමරිකන් එක්සත් ජනපදය ඇතුලු ලොව බහුතරයක් රටවල් තම මුදල් ඒකකය අවශ්‍ය පරිදි හසුරවනවා, එය අධිප්‍රමාණය හෝ අවප්‍රමාණය වීම ඔවුන්ගේ සැලසුම් අනුව මුදල් සැපයුම හරහා අවශ්‍ය 'අගයේ' තබා ගන්නා අතර මෙය එම රට වල මධ්‍ය බැංකු/ සංචිත බැංකු නමැති ප්‍රධානතම බැංකුවේ විනිමය පාලක මණ්ඩලය මගින් තීරණය කරනවා. ලංකාවේ (සහ තවත් රටවල් යම් ප්‍රමාණයක්) එලෙස සැපයුම මගින් පාලනයට අමතරව පාලිත අගයක පවත්වා ගැනීම හරහා කෘත්‍රිමව අගය නියම කිරීම නිසයි මේ ගැටලු ඇති වන්නේ, අවශ්‍ය තරමට විදෙස් මුදල් සංචිත නැතිව මෙසේ පාලනය කිරීම භාණ්ඩ නැතුව මිල පාලනය කරනවා වගේ වැඩක් (කළුකඩ/ පෝලිම්/ හිඟවීම ආදිය).

    හැබැයි නමුත් සැබෑ ලෙස මෙම මුදලේ අගය ඇති කිරීමට නම් මහ බැංකුව වෙනුවට කරන්සි බෝඩ් (Currency Board) ක්‍රමයක් ඇති කළ යුතුයි, එබඳු රටවල බොහෝ දුරට මුදලේ අගය නිසි පරිදි පවත්වා ගැනීමටත් මනා මූල්‍ය විනයක් පවත්වා ගැනීමටත් පුළුවනි. සල්ලි අච්චු ගැසීමෙන් සිදුවන බලපෑම (ඉම්පැක්ට්) බොහෝදෙනාට අවබෝධ කරගන්න අපහසු වෙන්නේ රුපියල සහ පිටරට මුදල් ඒකක foreign currency/ exchange අතර ඇති swap one currency for another සම්බන්ධතාව අවබෝධ කර ගැනීම අසීරු නිසා.

    ඇත්තටම මෙය අවබෝධ කර ගැනීමට මුදල් බිහිවීමේ ඉතිහාසය හදාරන්න ඕන, අතීතයේ මුදල් තිබුණේ රත්තරන් රිදී වැනි කාසි (නෝට්ටු currency notes තිබ්බේ නෑ) නිසා අතීතයේ අලුතින් සල්ලි අච්චු ගහනවා/ කාසි හදනවා කියන්නේ වැඩි වැඩියෙන් රත්තරන් රිදී වැනි වටිනා ලෝහ තවත් භාවිතයට ගැනීම (සරලව සෑම කාසියකම වටිනාකමට ගැළපෙන රන්/ රිදී හෝ වටිනා ලෝහයක් ඒ කාසිය ඇතුළෙම ගැබ් වී ඇතිනිසා කො තරම් කාසි හැදුවට ගැටලුවක් නැතිවුණේ කාසියත් සමගම යම් කිසි නිෂ්පාදනයක් සහ ක්ෂය නොවන වටිනාකමක් එම කාසි‍යේ ගැබ්ව තිබීම.)

    අද්‍යතන යුගයේ භාවිත මුදල් නෝට්ටු කිසිදු වටිනාකමක් නැති කොළකැබැලිනිසා එයට වටිනාකමක් තියෙන්නේ අදාළ රජය දෙන නීතිමය වටිනාකම පමණයි. මේ නෝට්ටු යම්කිසි වටිනාකමක් ලබාගන්න කරන එක දෙයක් මේ නෝට්ටු සාමාන්‍යයෙන් මිල ඉහළ පහල නොවන රත්තරන් හෝ US$, GBP වැනි ස්ථාවර මුදල් ඒකකයක් හෝ ඒකක කිහිපයක් සමග ඇමිණීම (එය Peg කරනවා කියලා) ඇතැම් රටවල ඔවුන්ගේ රටේ මුදල් ඒකකය මෙවැනි ස්ථාවර මුදල් ඒකකත් සමග සෘජුවම, තදින්ම අමුණා ඇත. එම රටවල මූල්‍ය පද්ධතියේ ඇති සම්පූර්ණ භෞතික මුදල් ප්‍රමාණය (Money base) එම රටේ තිබෙන රත්‍රන්, US$, GBP වැනි ස්ථාවර මුදල් ප්‍රමාණයට සමාන හෝ අඩු කරගන්නවා. අලුතින් මුදල් අච්චු ගැසිය හැක්කේ ස්ථාවර මුදල් ඒකක වල වටිනාකමට පමණයි., හිතුමතේට මුදල් අච්චු ගැසිය නොහැකි නිසා මුදල් අච්චු ගහනවා නම්, ඒ අච්චු ගහන මුදල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් තමන්ගෙ සංචිත වැඩි කළ යුතු නිසා එය විනිමය පාලකමඬුල්ලක් (Currency Board) ලෙස හඳුන්වයි...

    කෙසේ නමුත් මෙවන් Currency Board එකක් කියන්නේ නීතිමය රාමුවක් මිස මිනිසුන් සිටින මඬුල්ලක් (සභාවක්) නොවේ. (මිනිස්සු දෛනික පරිපාලන කටයුතු පමණි.) ඒ වගේ රටවල් වලට මහ බැංකුවක් අවශ්‍ය නෑ මොකද නීතියෙන්ම මුදල් අච්චු ගැසිය හැක්කේ ‍රට සතුව තිබෙන සංචිත ප්‍රමාණයට පමණයි..

    ReplyDelete
    Replies
    1. උදා: විදිහට හොංකොං වැනි රාජ්‍යයවල ඇත්තේ Currency Board ක්‍රමය, IMF මූල්‍ය අරමුදලට අනුව දැනට රටවල් 48 ක් විතර Currency Board මඬුල්ලක් භාවිත කරයි. ඇතැම් රටවල් කෙළින්ම තම රටේ මුදල් ඒකකයක් නොමැතිව Internationally recognized ස්ථාවර මුදල් ඒකකයක්ම භාවිත කරයි.(For e.g. Dollarization) පැනමාව වැනි රටවල් පැනමා බැල්බෝ [Balboa] තිබුණට මූලිකව Dollarized ඇමරිකා ඩොලර භාවිත කරයි. මෙවැනි Currency Board ක්‍රමයක් පාවිච්චි කරන්න දැඩි මූල්‍ය විනයක් තියාගන්න ඕන, ඊට හේතුව යම් ගැටලුවක් ඇති වුවහොත් මැද්දට පැන මුදල් සැපයීමට කිසිවෙක්ම නොමැති වීම / එලෙස සැපයීමට ද නොහැක - උදාහරණයක් ලෙස ආණ්ඩුවේ වියදම ආදායමට වඩා වැඩි වූ විට මහ බැංකුවෙන් මුදල් ඉල්ලිය නොහැක. වැඩිපුරම මහ බැංකුව මුදල් අච්චු ගසනූයේ රජයේ වියදමට, රජයේ වියදම වැඩිවන විට ඉබේම ඩොලර් අඩු වේ. මාර්ගවල ඉන්ධන සහ නොයෙක් ව්‍යාපෘති වල වැඩිපුරම ඇත්තේ ආනයන, රජය වැඩිපුරම මුදල් විය‍දම් කරන්නෙ Ceypetco ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, CEB විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, RDA මහා මාර්ග වැනි දේ, ඒ සෑම දේම ආනයන, රාජ්‍ය සේවක වැටුප් සහ අනෙක් සුබසාධන වියදම් හැරුණු විට).

      මම නම් හිතන්නේ ලංකාවටත් අනිවාර්යයයෙන්ම Currency Board එකක් හෝ ඒ සමාන ආකෘතියක් ඉදිරිපත් කළ හැකි නම් මේ ප්‍රශ්නය අපිට යම් තාක් දුරකට සමනය කරගත හැකි බව, හැබැයි Currency Board ලංකාවේ කළ නොහැක්කේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි බැවින් මුදල් අඩුවෙන සෑම මොහොතකම මහ බැංකුවෙන් මුදල් ඉල්ලීම නිසා. බොහෝ අය රුපියල අවප්‍රමාණ වීම, ඩොලර් නොමැතිවීමට හේතුව විදිහට ආනයනය දැක්කට සත්‍ය ලෙසම රුපියල අවප්‍රමාණ වන්නේ වැඩිපුර මුදල් අච්චු ගහන නිසා, වැඩිපුර මුදල් අච්චු ගහන්න වෙන්නේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි නිසා, ලංකාවෙ minimum රුපියල් ට්‍රිලියන 1 ක් (බිලියන 1000) පමණ අය වැය පරතරයක් තියෙනව සෑම වර්ෂයකම. (2021 Budget 1,300) එනිසා ඩොලර් අඩුවෙන්න මුල්ම හේතුව මුදල් අච්චු ගැසීම සහ රජයේ වියදම වැඩිවීමයි. ලංකාවේ මේ ප්‍රශ්නය ගැන කතා කරන බහුතර දේශපාලුවන් වගේම ඇතැම් ආර්ථික විශේෂඥයන් පවා අලියා සම්පූර්ණයෙන් දකින්නැතුව කොටස් වලින් අල්ලා දෙන නිගමන වගේම තමයි, මේ ප්‍රශ්න සම්පූර්ණයෙන් නොදැක විසඳුම් යෝජනා කිරීම ප්‍රශ්නය තවත් වැඩි කරන බව පේනවා නේද මේවායෙන්?

      Delete
    2. AnonymousNovember 22, 2021 at 2:51 AM

      ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි! පොඩි එකතු කිරීමක් ලෙස 1950දී මහ බැංකුව පිහිටුවන තුරු ඔය ක්‍රමය ලංකාවේද සාර්ථකව ක්‍රියාත්මක වුනා. ඒ කාලයේ ආණ්ඩුව වියදම් කළේ උපයාගත් ආදායම හෝ එම ආදායමෙන් වියදම් නොකර කලින් ඉතිරි කරගත් දෙයක් පමණයි. සල්ලි අච්චු ගසා අයවැය හිඟයක් නඩත්තු කළේ නැහැ. එය පටන් ගත්තේ 1947දී ජේආර් මුදල් ඇමති වීමෙන් පසුවයි.

      Delete
    3. නමුත් ඔයකියන විදිහේ ක්‍රමයක් නේද 1970 ගණන්වල (මට මතක් විදිහට) ලෝකයේ ප්‍රදාන රටවල් අතහැර දැමුවේ. එනම් sterlin එක අතහැර fiat currency ක්‍රමය මොකද recession එකකදී money supply වැඩි කලයුතු නිසා.

      Delete
    4. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ ආර්ථික අවපාතයකදී සල්ලි අච්චු ගහන්න බැරි වෙන එක ඇත්ත. එහෙත්, බ්‍රෙටන්වුඩ්ස් සම්මුතිය බිඳ වැටුණේ ඒ ගැන එක් වරම මතක් වීම නිසා නෙමෙයි.

      Delete
  8. /සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් මෙය අධෝමුඛය මසා විරේක බේත් දෙනවා වගේ වැඩක්.// නියම උපහැරණය , ඕ ලෙවල් වැඩ හයක් එක පාර පාස් කරගන්න බැරි උදවිය ඇමතිකම් ගත්තම වෙන ප්‍රශ්න

    ReplyDelete
  9. ණය පිරමිඩයක අවසාන ප්‍රතිඵලය නියත බිඳ වැටීමක්. ණය මතින් ගොඩ නැගුණ ආර්ථිකය ඵලදායී නොවන ක්ෂේත්‍ර මත ආයෝජනය කිරීම මෙහි පදනම. අප එළඹෙමින් ඉන්නේ දරුණු ප්‍රපාතයකට. මේ බිඳවැටීම ඉක්මන් වන තරමට හොඳයි නේද? මන්ද සියල්ල පුපුරා ගිය විටෙක නව මානයන් හමුවන බැවින්. ඩොලරය හිරකරගෙන ඉන්න එකම රටක විනිමය අනුපාත ගැටළුවක් ජනිත කිරීමේ නිසැක සාධකයක්. මෙම අනිවාර්ය බිඳවැටීමෙන් පසු කුමන අය විසින් නෞකාව පදවනු ඇතිද යන්න අප හමුවේ ඇති අභියෝගයක් නේද? මෙම කාල සීමාව කොපමණ කලක් අල්ලාගෙන ඉන්න පුළුවන් වෙයිද තවදුරටත් කියන එක විතරයි දැනට තිබෙන එකම ගැටළුව. ණය ශ්‍රේණිගත කිරීම් හා විදේශ ආයෝජන අතරත් පවතින්නේ අන්‍යොව්‍ය සබඳතාවයක් නිසායෙන් ආයෝජන කෙරේ බලාපොරොත්තු සහගත වීමත් මට හිතෙන්නෙ විහිලුවක්. කෙසේ වෙතත් සිදුවිය හැකි බිඳවැටීමක් නැවත ප්‍රතිස්ථාපනය වීමට ඉකනො කොපමණ කලක් යයිද? ආචාර්ය සමන් කැලේගම ලියූ ආකාරයට 1960 - 80 දශකයන්ට අනුරූප සමාජයීය හා ආර්ථික වටපිටාවක් කෙටි කලකට හෝ මෙහි ස්ථාපනය වනු ඇතිද? ආර්ථික මොඩලයේ ව්‍යුහාත්මක වෙනස්කම් නොකරන තාක් මේ ලියවිලි මෙයාකාරම වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කරන බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය සමන් කැලේගම වැනි අයෙක් පවසන දෑ විශ්වාස කළ නොහැකියි, අනිත් එක ඔහු එට්කා, සිංගා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා වශයෙන් පත් කිරීම ගැනත් දැඩි ලෙස විවේචන එල්ල වුණා ඒ දවස්වල ලංකාවේ අපනයන කරුවන් සහ දේශීය නිශ්පාදකයන්ගෙන්.

      ඒ වගේම සමන් කැලේගම සමග සමීපව කටයුතු කළ නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකු වූ අතර එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරනු ලැබ තිබූ අතර මෙම පුද්ගලයා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කර තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීමද මොහුට පවරා තිබූ අතරම ඒ මඟින් ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරමින් ඔහු සේවය කරන වෙනත් රටවලට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකාවේ ආනයනය වර්ධනය කිරීමට අවස්ථාවක් ඔහුට නිර්මාණය කරදී තිබුණා.

      එම ඉහත සඳහන් ආචාර්ය රවී රත්නායක නමැති නවසීලන්ත පුරවැසියාට ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීමද භාරදීමට ක්‍රියා කිරීම සහ දේශීය ව්‍යාපාර වසා දමා ආනයන දිරිගන්වන ප්‍රතිපත්තියක් සකස් කරමින් ඔහු උපදේශකයෙකු ලෙස මුදල් ලබා ගන්නා ආයතනයන්ට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අනුබල දීම සහ එම ව්‍යාජ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ගරු ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම ගැන එවකට ජනප්ති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස විවේචනය කළා.

      මේ හා සමාන්වම සිංගප්පුරු වෙළඳ ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් කිහිපදෙනෙකු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයෙන් වෙතින් පුහුණුවක් ලබා ගැනීම සඳහා සිංගප්පුරුව වෙත යැවීම මගින් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ නොහැකියාව සහ අඩුපාඩු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායම වෙත නිරාවරණය කිරීම සහ ඒ මඟින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක ගිවිසුමක් සිංගප්පුරුව සමඟ ඇති කරගැනීමට කටයුතු සිදු කිරීමට ඔවුන් උර දුන් බවට විශාල වශයෙන් චෝදනා එල්ල වුණා.

      එක් උදාහරණයක් නම් සිංගප්පුරු වෙළඳ ගිවිසුම මඟින් ආනයන බදු මඟින් පමණක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමි වන මුදල රැපියල් මිලියන 1500ක් පමණ බව ලංකාවේ රේගු නිලධාරීන්ගේ ඇස්තමේන්තුවයි, මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකාව සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99% ක්ම මෙම ගිවිසුම නොපැවතියද, ශ්‍රී ලංකාව ඇතුලු ලොව ඕනෑම රටක් සඳහා සිංගප්පූරුවේදී ඒ වන විටත් ආනයන බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ වීමත් බොහෝ දෙනෙක් විමතියට ලක් කළ කරුණක්.

      මේ වගේම සිංගප්පූරු ගිවිසුම මඟින් වෙනත් රටවල නිපදවෙන භාණ්ඩද සිංගප්පූරුව හරහා ලංකාවට ඇතුලු වීමට විශාල ඉඩකඩක් නිර්මාණය කරදීමත් එසේම, වෘත්තිකයන් ලෙස සිංගප්පූරු පුරවැසියන්ට පමණක් නොව සිංගප්පූරුවේ ස්ථිර පදිංචි කරුවන්ටද සිංගප්පුරු වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ සලසා දීමත් වෘත්තීයවේදීන්ගේ දැඩි සැකයට ලක් වුණා, කෙසේ වෙතත් ලොව පිළිගත් නිර්දේශයන් නොතකා හරිමින් දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළඳ ගිවිසුමක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නොමැති වීම, පාර්ශව කරුවන්ගෙන් අදහස් විමසීමට අසමත් වීම, ඒ සඳහා කිසිදු විනිවිදභාවයක් පවත්වා ගැනීමට අපොහොසත්වීම යනාදි දුර්වලතාවයන් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපාන අතිශය සංවේදී ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් දුර්ධාන්ත ලෙස කටයුතු කිරීම සහ ඒ අනුව මෙම ආර්ථික ගිවිසුම් රට හිතකරද යන්න සොයා බැලීමට හිතාමතාම කටයුතු නොකිරීම මඟින්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනජීවිතය දැඩි අවදානමක හෙළුු බවට චෙදනා වැනි ඉහ්ළින් දැක්වූ කරුණු අනුව මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානිදායක අයුරින් ක්‍රියාකර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල ඒ කාලයේ තීරණය කර තිබුණා. මේ ගැන ඔබ හිතන්නේ මොකද?

      Delete
    2. ඇනෝ.. මම ආචාර්ය කැලේගම ගැන මේ දේවල් කිසිවක් දැනගෙන හිටියෙ නැහැ. නමුත් ඔහුගේ එක් පර්යේෂණ වාර්තාවක තිබුණ දෙයක් ගැනයි මතක් වුනේ. ඉහත කාලසීමාව තුළ ලාංකික සමාජය තුළ පැවති දරිද්‍රතාවයත් එහි බාහිර පිළිබිඹුව ගැනත් තමයි ඉන් කියවුණේ මට මතක විදියට. විදුලිය නැති ගෙවල්, උඩුකය නිරුවත් දරුවන්, පාවහන් නොපැළදි මිනිස්සු, පොල් අතු සෙවිලි කළ නිවාස ආදී දිළිදුකමේ භාහිර ස්වරූපය ගැනැයි ඉන් කියවුනේ. මා ඉහතින් විමසන්න උත්සාහ කලේ ඒ ආකාරයේම නොවුණත් යම් දරිද්‍රතාවයේ ඉහළයාමක් (භාහිරට කැපී පෙනෙන ආකාරයේ) ඇතිවිය හැකිද යන්නයි. ඔබේ දීර්ඝ විස්තරය කියවීමි. අපේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ එම උපදේශකයින්ගේ පෞද්ගලික අභිලාෂයන් සහ ඒවායෙහි දිළිදු බව ගැන ඉන් කියවීමි. ස්තූතියි.

      Delete
  10. ලංකාවේ රේගුවෙන් නිකුත් කල දත්ත වාර්තාවලට අනුව 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 35.9% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,160.62 දක්වා වැඩි වී ඇති බවත් මෙය 2021 වසරේ මාසයක් තුළ දී ඩොලර් බිලියනය ඉක්මවූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වූ පස්වැනි අවස්ථාව බව මාධ්‍ය මගින් පැවසූවා, මේක ඇත්තද?

    ඒ වගේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි මෙල් පැවසුවේ මෙය ඉතිහාසයේ ඕනෑම වසරක ඔක්තෝබර් මාසයක් තුළ දී වාර්තා වී තිබෙන වැඩිම වෙළෙඳ‌ භාණ්ඩ අපනයන ආදායම බවයි, මෙහි ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ.

    මෙය තව දුරටත් විග්‍රහ කර බැලීමේදේ ඇඟලුම් (43.4%), වියන ලද රෙදි (86.6%) සහ සාදන ලද රෙදිපිළි භාණ්ඩ (116.3%) අපනයනවල ශක්තිමත් කාර්ය සාධනයක් සමඟින් ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම 2021 ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 509 දක්වා 42.8% කින් ඉහළ ගොස් ඇති නමුත් කාර්මික සහ ශල්‍ය අත්වැසුම් (6.5%) සහ වායුමය සහ ලංකාවේ නිශ්පාදිත ෆොරෙන්ටිනෝ, ලෝඩ්ස්ටාර් ඇතුළු රබර් ටයර් සහ ටියුබ් (32.9%) අපනයනවල ශක්තිමත් කාර්ය සාධනයක් සමඟින් රබර් සහ රබර් නිමි නිෂ්පාදනවල අපනයන ආදායම 2021 ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 91.9 දක්වා 14.5% කින් වැඩි වී ඇති බවත් වාර්තා වල තියෙනවා.

    කෙසේ වෙතත් ආණ්ඩුව ප්‍රෙඩික්ට් කරපු විදිහට 2021 වසරේ අපනයන ආදායම් ඩොලර් බිලියන 16 ක් වෙන එකක් නෑ නේද? දැනටමත් ලැබිල තියෙන්නේ ඩොලර් බිලියන 12.6 ක් විතර, Thus උපරිම approx. ඩොලර් බිලියන 14ක් ලැබෙයි. දැන් තෙල් පිරිපහදුව වහල නිසා පෙට්‍රොලියම් ආශ්‍රිත අපනයන වලින් ලැබෙන ඩොලර් මිලියන 250 ක් විතර ගානෙන් දැනට ලැබුණු 180 ටම සීමා වේවි.

    ලංකාවට භාණ්ඩ අපනයනයෙන් ආණ්ඩුව කයිවාරු ගහපු තරම් කිසිම ආදායමක් ලැබී නැහැ. මීට පෙර 2016 - 19 කාලේ රුපියල අධික ලෙස අවප්‍රමාණය වීමේ වාසිය නිසා භාණ්ඩ අපනයනයෙන් රටේ ආදායම විශාල වශයෙන් වැඩි වූ බව ඉකොනොමැට්ටා කියුව නේද? දැනුත් ඩොලර් එක රුපියල් 300 දක්වා අවප්‍රමාණය කළොත් මේක 20 -25 billion USD කරන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. //මීට පෙර 2016 - 19 කාලේ රුපියල අධික ලෙස අවප්‍රමාණය වීමේ වාසිය නිසා භාණ්ඩ අපනයනයෙන් රටේ ආදායම විශාල වශයෙන් වැඩි වූ බව ඉකොනොමැට්ටා කියුව නේද?//

      කිසිම අවස්ථාවක මම එසේ කියා නැහැ. 2016-19 කාලයේ වුවද රුපියල අවශ්‍ය තරමට අවප්‍රමාණය වුනේ නැහැ. එම ආණ්ඩුව රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දුන්නේ කෙටිකාලීනව දරාගත හැකි මට්ටමකට පමණයි. ඒ වැඩේ දිගටම සිදු වුනානම් අපනයන ආදායම ඉහළ යනවා. විශේෂයෙන්ම සේවා අපනයන ආදායම.

      //දැනුත් ඩොලර් එක රුපියල් 300 දක්වා අවප්‍රමාණය කළොත් මේක 20 -25 billion USD කරන්න පුළුවන් වෙයි නේද?//

      කිසිසේත්ම බැහැ. දැන් තිබෙන තත්ත්වය අනුව ඩොලර් එක රුපියල් 300 කළත් ගොඩදාන්න බැහැ. දැන් ප්‍රමාද වැඩියි. වසර 15ක පමණ කාලයක් තිස්සේ සිදු කළ හානියකට එක රැයින් පිළියම් යෙදිය නොහැකියි. එහෙත්, තව වසර 15-20න් ගොඩ දැමිය හැකියි.

      Delete
  11. ඉකෝන්,

    ලංකාව චීනය සමග කරන වෙළඳාම වැඩි කර ගැනීම ගැන පහුගිය මාස කිහිපය පුරා විවිධ සාකච්ඡා සහ අදහස්/ යෝජනා ඉදිරිපත් වුණා වගේම චීන තානාපති ඇතුලු එරට රජය ලංකාවේ අපනයන වලට චීන දොරටු විවර කිරීමට හැකි උපරිම සහය දෙන බවත් ඒ කාල්යේ පැවසුණා, නමුත් මෙය හිතන තරමටම සාර්ථක වේවිද?

    බංගලාදේශය පකිස්ථාන් වැනි රටවල් ඉතා මැනවින් චීනයට අපනයනය කරන්වා, විශේෂයෙන් බංග්ලාදේශ් විශාල ලෙස ඇඟලුම් අපනයනය කරනවා චීනයට.

    මේ වගේ ලංකාවටත් ඇමරිකන් සහ යුරෝපා වෙළඳපොල මතම නොයැපී චීන සහ අග්නිදිග ආසියානු මෙන්ම වේගයෙන් නැගී එන අප්‍රිකානු වෙළඳ පොල හ්ඩෙස නෙත් යොමු කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වේවිද?

    මේ චීන තානාපති පවසන කරුණු සමග ඔබ එකඟද?

    https://island.lk/lankas-exports-to-china-up-by-111-2-so-far-this-year/

    මෙහි දත්ත දෙස බැලීමේදී පෙනෙන ලංකාවේ අපනයන අංශයේ දැනට ඇති අඩුපාඩු ලෙස ඔබ දකින්නේ මොනවාද?

    https://tradingeconomics.com/sri-lanka/exports

    https://economynext.com/sri-lanka-exports-hit-october-record-as-money-printing-drive-forex-shortages-88074/#modal-one

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...