වෙබ් ලිපිනය:

Tuesday, March 1, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (නවවන කොටස)


පෙර කොටසින් විස්තරාත්මක ලෙස පැහැදිලි කළ පරිදි, ලංකාවේ ආර්ථිකය මේ වන විට පත් වී ඇති තත්ත්වයට වසංගතයේ දායකත්වය බැහැර කළ නොහැකි වුවත්, රටේ විදේශ අංශයට වසංගතය නිසා සිදු වූ යහපත් හා අයහපත් බලපෑම් සැලකිල්ලට ගැනීමෙන් පසුව නිගමනය කළ හැක්කේ වසංගතය නොපැවතියද මේ වන විට රටේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා යහපත් මට්ටමක නොතිබිය හැකි වූ බවයි. වසංගතය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් "පිනට" ලැබුණු ඩොලර් මිලියන 800ක මුදල වැනි සාධකද සැලකූ විට කිව හැක්කේ වසංගතය නොතිබුණානම් මේ වෙද්දී රටේ තත්ත්වය මීටත් වඩා දරුණු වන්නට වුවද ඉඩ තිබුණු බවයි.

ප්‍රශ්නයේ මුල් නිදහස ලැබූ කාලය තෙක්ම ඇදී යන නමුත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග නොවන්නට රටේ ආර්ථිකය මේ තරමටම කඩා වැටීමේ ඉඩක් තිබුණේ නැහැ. මේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග අතරින් බදු කැපිල්ලේ හානි මේ වන විට පුළුල් ලෙස සාකච්ඡා වී හා පිළිගැනීමට ලක් වී අවසන් වුවත් විණිමය අනුපාතය පාලනය කිරීමේ හානි ඒ තරමටම සාකච්ඡා වී නැහැ. 

ආනයන පාලනය කිරීමේ හානි යම් තරමකින් වැඩි අවධානයකට යොමු වී ඇතත් ආනයන පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙන්නේම විණිමය අනුපාතය පාලනය කිරීම නිසාය යන්න අවධාරණය වී තිබෙන්නේ අඩුවෙන්. මුලින් න්‍යාය මත පමණක් පදනම්ව සිදු විය හැකි බව පෙන්වා දුන් මේ කරුණ දැන් අපට සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පෙන්වා දිය හැකියි. 

වසංගතයට පෙර 2019 වසරේදී ආනයන පාලනයක් සිදු වූයේ නැහැ. වඩාත් නිවැරදිව කියනවානම් ආනයන පාලනය සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම අනුවයි. වෙළඳපොල විසින් ආනයන පාලනය කෙරෙන ස්වභාවික ක්‍රමය වන්නේ මිල ඉහළ යන්නට සැලැස්වීම මගින් ආනයන ඉල්ලුම අඩු කිරීමයි. මෙහිදී කිසිදු භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නැහැ. මෙයින් වෙනස්ව, මේ ආණ්ඩුවේ වත්මන් සාර්ව-ආර්ථික උපාය මාර්ගය වී තිබෙන්නේ මිල වැඩි නොකර සැපයුම පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵලය ඉල්ලුම තවතවත් ඉහළ යාමයි.

කෘතීම ආනයන පාලනයක් සිදු නොවූ 2019 වසරේදී ලංකාවේ ආනයන වියදම වූයේ ඩොලර් මිලියන 19,937ක් පමණයි. එහෙත්, වාහන, කිරිපිටි ආදී බොහෝ දේ ආනයනය කිරීම මුළුමනින්ම වලක්වා තවත් ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කර තිබියදී පවා 2021 වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී තිබෙන මුදල ඩොලර් මිලියන 20,637ක්. මෙය ඩොලර් මිලියන 700ක ඉහළ යාමක්. මීට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 562කින් පමණයි. මේ අනුව, කොපමණ ආනයන සීමා දැම්මත් 2019ට සාපේක්ෂව 2021දී වෙළඳ හිඟය සුළුවෙන් හෝ වැඩි වී මිස අඩු වී නැහැ.

විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී, ආනයනික භාණ්ඩ කෘතීම ලෙස ලාබ කර, තෝරාගත් කාණ්ඩ වල ආනයනික භාණ්ඩ ආනයනය වැළැක්වූ විට සිදු වන්නේ එසේ තහනම් නොකළ ආනයනික භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. ආනයනික භාණ්ඩ ආනයනය එකින් එක තහනම් කර ගෙන ගොස් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ භාණ්ඩ ආනයනය මුළුමනින්ම නැවැත්වීමෙන් පසුව පමණයි. ආනයනික භාණ්ඩ සඳහා වැය වන විදේශ විණිමය රට තුළ රඳවා ගත හැකි සරලම හා පහසුම ක්‍රමය විණිමය අනුපාතය ඉහළ යන්නට ඉඩ දීමයි. එය නොකරන තුරු ක්‍රමක්‍රමයෙන් රට තුළ ආනයනික භාණ්ඩ හිඟය ඉහළ යාම වැළැක්විය නොහැකියි. 

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක ආනයනික භාණ්ඩ සීමා වීම යන්නෙන් අදහස් වන්නේ දේශීය නිෂ්පාදනයද විශාල ලෙස බිඳ වැටෙනවා යන්නයි. ලංකාවේ දේශීය නිෂ්පාදන බොහොමයකට සැලකිය යුතු තරමක ආනයනික ආදාන අවශ්‍යයි. මේ වන විට මේ දේවල් ඇස් පනාපිට පෙනෙමින් තිබෙනවා. වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය ඇතුළු සේවා ආර්ථිකයටද විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුවන හානිය පැහැදිලි ලෙසම දැකගත හැකිව තිබුණා. මේ වසර මැද වන විට වසංගත බිය දුරු වී ලෝකය බොහෝ දුරට පෙර පැවති මට්ටමට පැමිණෙනු ඇති නමුත් පවතින විණිමය අනුපාතය එලෙසම තිබියදී සේවා ගිණුමේ අතිරික්තය 2019 මට්ටමට ඉහළ නංවා ගැනීම ගිම්හානයේ දකින සිහිනයක් පමණයි. 

කෙසේ වුවත්, විණිමය අනුපාතය පාලනය කිරීමේ හානිය වැඩි වශයෙන්ම දැනී තිබෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන ද්වීතියික ආදායම් ගිණුමටයි. මෙය අනිවාර්යයෙන්ම මහ බැංකුව ඇතුළු ලංකාවේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක්. ආර්ථික න්‍යාය දැන සිටියත් ඒවා පිළිබඳව විශ්වාසයක් නැති වූ විට මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. 

ළමයා ඉපදෙන්න කලින්ම හඳහන් බලනවා වගේ මහ බැංකුව විසින් අනාගතයේ ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ කලින්ම විකුණන්නට සැලසුම් හැදුවා. මෙහිදී මහ බැංකුවේ උපකල්පනය වුනේ ශ්‍රමික ප්‍රේෂණ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ නොසිඳෙන ඩොලර් උල්පතක් බවයි. කන්න නොදී කොයි තරම් පහර දුන්නත් කිරි සපයන කිරි එළදෙනක් බවයි. 2021 නොවැම්බර් තරම් මෑත කාලයකදී පවා මහ බැංකුව මේ විශ්වාසය තුළ සිටියා. වසරකට ඩොලර් මිලියන 7,000ක ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එක ගැන මහ බැංකුවට කිසිම සැකයක් තිබුණේ නැහැ.

පසුගිය වසර පහක හෝ ඊටත් වැඩි කාලය තුළ වසරකට ඩොලර් බිලියන 7ක පමණ ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබුණා කියන එක කවුරුත් දන්නා දෙයක්. ඇත්තටම මේ ශ්‍රමික ප්‍රේෂණ කියන අර්ථදක්වීමේත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුව කතා කරමු. කොහොම වුනත් පහුගිය අවුරුදු වල ලංකාවට සල්ලි එවන අයට ඩොලරයක් වෙනුවෙන් සාධාරණ රුපියල් ප්‍රමාණයක් ලැබුණා. අවුරුද්දකට ඩොලර් බිලියන හතක් සල්ලි ආවේ ඒ තත්ත්වය යටතේ.

දැන් වෙලා තියෙන්නේ කුමක්ද? 2021 ජනවාරි මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 675.3ක් ලැබුණා. ඔය ගණන දොළහෙන් වැඩි කළොත්, ඩොලර් මිලියන 8,103.6ක්. නමුත්, 2022 ජනවාරි මාසයේදී ලැබුණේ ඩොලර් මිලියන 259.2ක් පමණයි. දොළහෙන් වැඩි කළොත් ඩොලර් මිලියන 3,110.4ක් පමණයි. ඩොලර් බිලියන 5ක වෙනසක්. පේනවනේ යන්නේ කොහාටද කියලා.

ලංකාවේ ආණ්ඩුවට හා මහ බැංකුවට ආනයන පාලනය කරලා රටට එන ඩොලර් රටින් එළියට යන එක වලක්වා ගන්න උත්සාහ කරන්න පුළුවන්. අපනයනකරුවන් විසින් උපයන ඩොලර් රටට ගේන්න කියලා ඔවුන්ට බල කරන්නත් පුළුවන්. හැබැයි ඔය විදිහට තග දාලා රටින් පිට සිට ලංකාවට ඩොලර් ගෙන්න ගන්න බැහැ. රටින් පිට ජීවත් වන අය ලංකාවේ ආණ්ඩුව කියන දේවල් මායිම් කරන්නේ නැහැ. අනිත් එක සල්ලි එවද්දී "රට විරුවෝ" වුනත් ඔය මිනිස්සුන්ට කෝවිඩ් කාලේ ආණ්ඩුව සලකපු විදිහත් අමතක නැතුව ඇතිනේ. ඒ නිසා, නියම රුපියල් ගණන නොලැබෙද්දී ආණ්ඩුව ගැන අනුකම්පා කරලා සල්ලි එවයිද?

දැනටත් මහ බැංකුව හිතන බව පෙන්නේ කොහොම හරි සල්ලි උන්ඩියල් වෙන එක නවත්ත ගත්තොත් වැඩේ ගොඩ කියලා. උන්ඩියල් පාලනය කරන්න ගියොත් වෙන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එක පමණයි. උන්ඩියල් වෙන සල්ලි බැංකු පද්ධතිය හරහා නොආවත් වක්‍ර ලෙස හෝ රටට එනවා. වැඩිය සෙල්ලම් දාන්න යනවා කියන්නේ ඒ එන ටිකත් නැති වෙන එකයි.

ලංකාවේ ගොඩක් අයගේ අදහස දරු පවුල ලංකාවේ තියලා මැද පෙරදිග රැකියා වලට යන අය ලංකාවට ඩොලර් එවුවත් ස්ථිර පදිංචිය සඳහා බටහිර රටවලට යන අය සල්ලි එවන්නේ නැහැ කියන එක. සමහර අය කියන විදිහට ඒ අය ලංකාවේ තිබෙන ඉඩකඩමුත් විකුණලා ඩොලර් රටින් අරන් යන එකයි කරන්නේ. මේ කතාවේ ඇත්තක් තිබුණත් එය අර්ධ සත්‍යයක්. සංඛ්‍යාලේඛණ වල කොයි තරම් නිවැරදිව පිළිබිඹු වනවාද කියලා මම දන්නේ නැතත්, ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් විසින්ද ලංකාවට සැලකිය යුතු මුදලක් එවනවා. මම පෞද්ගලිකව දන්න ගොඩක් අය පවුල පිටින්ම රටින් පිටවෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් හැම අවුරුද්දකම විශාල මුදලක් ලංකාවට යවන අය.

පවුල ලංකාවේ සිටිද්දී, වෘත්තීය නොවන රැකියාවක් කරන්න මැද පෙරදිග රටකට ගොස් සිටින අයෙකුට මාස්පතා ලංකාවට සල්ලි නොඑවා ඉන්න බැහැ. බැංකු හරහා, උන්ඩියල් කරලා බැරිනම් පරෙයියෙක්ගේ කකුලේ බැඳලා හරි ඒ අයට ලංකාවට සල්ලි එවන්නම වෙනවා. එහෙම නොකළොත් ගෙවල් වල මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැහැ. බටහිර රටක ස්ථිර පදිංචිය සඳහා ගිහින් සිටින කෙනෙකුට ඒ ප්‍රශ්නය නැහැ. ඒ අය සල්ලි එවන තුරු බලා ඉන්න පවුලක් ලංකාවේ නැහැ.

මේ වගේ කෙනෙක් ලංකාවට සල්ලි එවන්නේ එක්කෝ තමන්ගේ විස්තෘත පවුලේ සාමාජිකයෙකුගේ කුමක් හෝ වියදමක් වෙනුවෙන්. වයස්ගත දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ විදිහට සල්ලි එවන්නේ මරණයක්, මගුලක්, දානයක්, උපන් දිනයක් වගේ විශේෂ අවස්ථාවකදී මිසක් මාස්පතා දීමනාවක් විදිහට නෙමෙයි. එහෙම නැත්නම් සමාජ කටයුත්තකට. පන්සලකට, ළමා නිවාසයකට හෝ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයට වගේ තැනකට වෙන්න පුළුවන්. තවත් අය සල්ලි එවන්නේ ලංකාවේ කුමක් හෝ දේපොළක් මිල දී ගන්න හෝ සංවර්ධනය කරන්න. එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා. මේවා හරිනම් සංඛ්‍යාලේඛණ වල ප්‍රාග්ධන ගිණුමේ සටහන් විය යුතු වුවත්, වෙන් කර හඳුනා ගන්න අමාරු නිසා ශ්‍රමික ප්‍රේෂණ ගොඩටම එකතු වෙනවා.

ඔය කවර හෝ හේතුවක් නිසා සල්ලි එවන අයට ඒ සල්ලි ලංකාවට එවන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, මේ ගොඩේ ඉන්න අය ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් පිරිසක්. ඩොලරයක මිල වැඩි කලක් ඔය විදිහට තියා ගන්න බැරි බව ඒ අයට තේරෙනවා. මේ සල්ලි උන්ඩියල් වෙන්නේ නැහැ. රටට එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා. 

මේ ගොඩට දැමිය හැක්කේ බටහිර රටවලට ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින අය එවන සල්ලි පමණක් නෙමෙයි. මැදපෙරදිග රටවල වෘත්තීය රැකියා කරන අයටත් මේ කතාව අදාළයි. අපි හිතමු මැදපෙරදිග රටක සේවය කරන ගණකාධිකාරීවරයෙක් ගැන. ඔහුගේ බිරිඳ හා දරුවන් ඉන්නේ ලංකාවේ. බිරිඳ වෘත්තීය රැකියාවක් කරන්නේ නැත්නම් අඩු ගානේ ගුරු රැකියාවක් හෝ කරනවා. මේ පවුලේ සාමාජිකයින් සතුව ලංකාවේ බැංකු වල ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක්ද තිබෙනවා. දැන් අර මැදපෙරදිග ඉන්න පියා මාස කිහිපයක් ඩොලර් නොඑවුවා කියලා ලංකාවේ ඉන්න පවුල කන්න නැතුව මැරෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි උන්ඩියල් කරන්න හදිස්සියක් නැහැ. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස මසකට ලැබුණු මුදලින් ඩොලර් මිලියන 400කටටත් වඩා අඩු වී තිබීමෙන් අදහස් වන්නේ ඔය මුදල උන්ඩියල් වෙනවා කියන එක නෙමෙයි. උන්ඩියල් වන මුදල වැඩිම වුනොත් මාසයකට ඩොලර් මිලියන 100ක් පමණ විය හැකියි. ඉතිරි කොටස අදූරදර්ශී විණිමය ප්‍රතිපත්තිය නිසා හිඳී ගොස් ඇති විදේශ විණිමය උල්පතක්. 

විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කියන්නේ ලංකාවට නොසලකා හැරිය හැකි පිරිසක් නෙමෙයි. හොඳට හෝ නරකට හෝ අනාගතයේදී ලංකාවේ කලාව, දේශපාලනය හා ආර්ථිකය මේ පිරිස විසින් තීරණය කරනු ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. දැනටත් ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සිංදු, පොත්, වෙබ්අඩවි, සමාජ මාධ්‍ය, සමාජ සේවා, ක්ෂුද්‍ර ව්‍යාපාර, සිංහල ජාතිකවාදය ඇතුළු මතවාද සංස්කරණය ආදිය තුළ ඩයස්පෝරාවේ බලපෑම ඉතාම විශාලයි. ඒ බව නොසලකා හරින අයට මෝඩ චූන් ගන්න පුළුවන්. අනෙක් කරුණු කෙසේ වුවත්, ජවිපෙ මේ කරුණ නිවැරදිව අවබෝධ කරගෙන සිටින බව පේනවා. රැස්වීම තංගල්ලේ වුනත්, ගම්පහ වුනත් ජවිපෙ කථිකයෝ කතා කරන්නේ ඩයස්පෝරා සාමාජිකයින්ටත් එක්කයි.

උන්ඩියල් වෙළඳපොළ කියන්නෙත් සමතුලිත වෙළඳපොළක්. උන්ඩියල් ක්‍රමයට රටට එන හැම ඩොලර් එකක්ම අනික් පැත්තට රටින් එළියට යනවා. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තා වී නැති ඩොලර් එකක් උන්ඩියල් ක්‍රමයට රටට ඇවිත්නම් රටින් එළියට ගිය ඩොලර් එකකුත් සංඛ්‍යාලේඛණ වල නැහැ කියන එකයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික ප්‍රේෂණ ලෙස වසරකට ඩොලර් බිලියනයක් පමණ ලංකාවෙන් එළියට යනවා. බැංකු වලින් ඩොලර් ගන්න අමාරු නිසා 2021 වසරේදී මේ ප්‍රමාණයෙන් ඩොලර් 600ක් පමණ නියම ක්‍රමයට එළියට ගිහින් නැහැ. එයින් කොටසක් උන්ඩියල් වෙන්න ඇති. ආනයන වෙනුවෙන්ද යම් ඩොලර් ප්‍රමාණයක් උන්ඩියල් ක්‍රමයට රටින් යන්න ඇති. ඔය සියල්ල එකතු කළත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වෙන්න බැහැ. උන්ඩියල් ක්‍රම වලට වැඩි වැඩියෙන් වැට බඳින තරමට වෙන්නේ කළු කඩේ ඩොලර් මිල තවත් ඉහළ ගොස් නිල විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යන එක පමණයි.

දැන් තත්ත්වය අනුව වඩා සුදුසු ජංගම ගිණුම දෙස මාසික පදනමකින් බලන එකයි. අවුරුද්දකට පස්සේ තත්ත්වය ගැන හිතන එකෙත් ලොකු තේරුමක් නැහැ. පවතින තත්ත්වය තුළ මාසයකට ඩොලර් මිලියන 1000ක් පමණ අපනයන වලින් ලැබෙද්දී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1700ක් වියදම් වෙනවා. ණය පොලී ගෙවන්න තවත් ඩොලර් 200ක් යනවා. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 900ක් පමණ හොයා ගත යුතුයි. සංචාරකයන්ගෙන් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. තවත් ඩොලර් මිලියන 400ක් අඩුයි. ඒ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමේ ප්‍රතිඵලය. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වූ ගමන්ම ඔය ඩොලර් මිලියන 400 නැවතත් රටට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොයාගන්න වෙන්නේ ණය ආපසු ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික පමණයි. නමුත් වැරදි විණිමය ප්‍රතිපත්තිය නිසා දැන් මාසයකට තවත් අමතර ඩොලර් මිලියන 400ක් හොයාගන්න වෙලා. සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. ඉන්දියාව තවත් කොයි තරම් කාලයක් ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කරයිද?

22 comments:

  1. ලගදි පොඩි වැඩකට තාත්තාට US$1000ක් යවන්න බැලුවා. නියම විදිහට යැව්වොත් හම්බුවෙන්නේ රුපියල් 200,000. ලංකාවෙන් ඩොලර් එවන්න බැරි නිසා පාඨමාලා ගාස්තු ගෙවාගන්න බැරුව ඉන්න ලමයෙකුට ඒ US$1000 දුන්නම, එයාගේ ගෙදර අය අපේ තාත්තාගේ ගිණුමට රුපියල් 230,000 දැම්මා.

    එහේම තමා දැන් වැඩේ වෙන්නේ

    ReplyDelete
  2. //රැස්වීම තංගල්ලේ වුනත්, ගම්පහ වුනත් ජවිපෙ කථිකයෝ කතා කරන්නේ ඩයස්පෝරා සාමාජිකයින්ටත් එක්කයි//
    Econo cash වලින් එවන්න චෙක් එපා

    ReplyDelete
  3. මම ලමයි දෙන්න වෙනුවෙන් මාසෙට usd 1000 ගානෙ usd 2000 විතර ලන්කාවෙ ලමා ඉතිරුම් (රුපියල් වලින්) 2018 ඉඳල සල්ලි යවමින් හිටියෙ.
    ගිය නොවැම්බර් කබ්බගෙ ආර්තික ප්‍රතිපත්ති කතාව ඇහිවට පස්සෙ සතයක්වත් දැන් යවන්නෙ නෑ. ඊට අමතරව ගෙවල් වලට යවන සල්ලිත් නැවැත්තුව. මම හිතන්නෙ මගන්ම විතරක් අවුරුද්දකට ඩොලර් 30000 විතර පාඩුයි ලන්කාවට. ඩොලර් වලින් කිව්වෙ පහසුවට. මේ රටේ ඩොලර් නෙමෙයි භාවිතා වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්ව නම් මොනාද මම හැම මාසෙම ඩොලර් මිලියන් එක හමාර බැගින් ලංකාවේ චැරිටි වලට යැව්වා 2015 සිට 2019 නොවැම්බර් දක්වා, දැන් බලු පාහර නන්දසේන පිස්සයි මොළ හතානෝ කියන ගල් මූසලයයි කමබහොර කබර කබ්බයි වගේ හොර හැත්ත රට කන නිසා ඒ සියලුම දේවල් නැවැත්තුවා, මගෙන් විතරක් ඩොලර් මිලියන් 18කට වඩා ආණ්ඩුවට පාඩුයි, මේ වගේ තව කීදෙනෙක් ඇත්ද? හැබැයි ජවිපෙ ජාතික ජන බලවේගය වගේ හොරු නැති අවංකව රටට ආදරේ කරන පක්ෂයක් බලේට ආවොත් අනිවාර්යයෙන්ම මම ණය වෙලා හරි ඩොලර් මිලියන පහ බැහින් රට හදන්න ලංකාවට එවනවා, එකම විසඳුම ජාතික ජන බලවේගය පමණයි.

      Delete
    2. සහතික ඇත්ත. ජවිපේට ගොඩදාන්න බැරි ගානට රට වැටිලා උනත්, අඩුගානේ තව වලපල්ලට යන එක හරි නවතී.

      Delete
  4. මෙව්වා කොහෙද කියවන්නේ බලවත්තු
    බොරුවට නිඳාගෙන ඉන්නේ ඒ සත්තු
    ගමෙන් ආපු පරපුරකින් ආ පුත්තු
    මෝඩ චූන් දෙනවනේ විලසට නොපැතූ

    ඉකොනෝ, දැක්කද එක්කෙනෙක් අහල තිබ්බ ප්‍රශ්නයක්. 'හාල් කිලෝ එකක් දෙන්නෙකුට සතියකට ඇතිද?'

    https://www.lankahotnews.net/2022/03/chamal-rajapaksa-contact.html

    ReplyDelete
  5. කොටි ත්‍රස්තවාදයට වඩා භයානක අර්බුදයක්..! – ඇපල්, මිදි සීමා කරමු

    ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    මේ සියල්ලට මුල ඩොලර් හිඟය බැවින් ණය පහසුකම් ගැනීම මෙන්ම අනවශ්‍ය ආනයනයන් සීමා කිරීම ද කළ යුතුයැයි කී ඇමතිවරයා පානීය ජලය, ඇපල් මිදි, ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කළ යුතුව ඇතැයි ද පවසනවා.

    ඉකොනෝ,

    ඇපල් මිදී ආනයනයට ලංකාව කොපමණ මුදලක් වැය කරනවද?

    ReplyDelete
    Replies
    1. 2019දී ඇපල් ඩොලර් මිලියන 23.9යි මිදි ඩොලර් මිලියන 19.5යි.

      Delete
  6. ඇපල් මිදි ආදී පළතුරු ආනයනට යන්නේ වාර්ෂිකව ඩොලර් මිලියන 175 - 250 ක් විතර මුදලක් විය යුතුයි, 2015 - 2019 වනවිට ලන්කාවට සියලුම වර්ගයේ ෆ්‍රෙශ් ෆෘට්ස් ආනයනයට වාර්ෂික සාමාන්‍ය වියදම (annual average) ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන් 71 ක් පමණයි. (Value of Sri Lankan fresh fruit imports has averaged US$71m over the five years of 2015 to 2019). Ref: http://www.fruitnet.com/asiafruit/article/181665/sri-lanka-ups-import-tariffs දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන් එක හමාරක් සල්ලි අච්චු ගලා මිනිස්සුන්ට පිනට බෙදපු එකෙන් ඩොලර් එක මස්ත බාල්දු වීමත් සමග හැම දේකම මිල ඉහල ගිහින්, ඒ නිසා මේ වියදම දැන් ඩොලර් මිලියන් 100 පැනල ඇති, අනෙක කාගෝ ගාස්තු වගේ හැම දෙයක්ම දැන් වැඩි වෙලා තියෙන්නේ, ඊට අමතරව තව කජු, රටකජු, එළවලු වර්ග ආදී සියලුම දේවල් ආනයනය නැවැත්තුවත් උපරිම ඩොලර් මිලියන් 700 - 900 ක් විතර ඉතුරු කර ගන්න පුලුවන් වෙයි, නමුත් ලංකාවේ අනිවාර්යයයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වන තිරිඟු පිටි, පරිප්පු, කඩල, උඳු, මුං ඇට සීනි ලුණු ආදී දේවල් වලට වාර්ෂිකව ඩොලර් බිල්යන් 2.0 - 2.5 ක් විතර තමයි යන්නේ, ඒ නිසා ඔය කියන ගොබ්බ මංගොන්පිලයා වගේ පොල් බූරුවන් ගහන බයිල වලින් රට ගොඩ ගන්න බෑ, කොහොම හරි මොන ජාතියෙන් හරි අපනයන ආදායම් වැඩිකර ගන්න අත්‍යවශ්‍යයි.

    මගේ පුද්ගලික අදහස සියලුම විදේශගත ලාංකිකයන්ට ඉන්දියාවේ එන් ආර් අයි කාඩ් එක වගේ ක්‍රමයක් සෙට් කරලා එවන විදේශ විනිමය වලට 25% ක් වැඩිපුර දෙන්න කියන එක, මොකද ලංකාවේ ඉන්න මෙලෝ රහක් නැති කාලකණ්ණි අපතයින්ටත් එක්ක සල්ලි අච්චු ගහල බෙදන එකේ අපි වගේ ලංකාවට අවුරුදු ගණනන්ක් තුල ඩොලර් ලක්ෂ ගනනින් සල්ලි එවල තියෙන අයට ඕක දුන්නම මුන්ට හෙණ ගහනවද? (ඩොලර් මිලියන් ගණන් එවන අයත් ඉන්නවා වයස අය, අපිත් ඉස්සරහට මිලියන් එක පනිනවානේ)

    ඉකොනොමැට්ටා මොකද කියන්නේ? ඩොලර් එකට රුපියල් කරන විට බැංකු පද්ධතිය හරහා අමතරව 25% දීල 200 වෙනුවට 250 කළානම් මහ බැංකුවත් අපිත් විදෙස් ශ්‍රමික ප්වුලුත් ඇතුලු හැමෝම සතුටින්, ඇයි මේක කරන්න බැරි? කබරයාගේ මොබයිල් නම්බර් එක තියෙනවා නම් එවන්න මම හොඳ උසස් තත්වයේ හෙළ බසේ තියෙන ශ්‍රේෂ්ඨතම කුණුහරුප එක්ක ජාතිය අමතලා තේරුම් කරල දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. වාහන ආනයනය සම්පූර්ණයෙන් නවත්තලාත් අඩු කරගන්න බැරි වුනු වෙළඳ හිඟය ඇපල් මිදි නවත්තලා අඩු කරන්න පුළුවන්ද? ඕක හරියට ගෙදර වියදමට මාසෙ පඩිය මදි කියන කෙනෙකුට ඉඳහිට දවසක පදික වේදිකාවෙන් මිල දී ගන්න මිදි ග්‍රෑම් සීය මිල දී නොගෙන වියදම අඩු කරගන්න කියනවා වගේ වැඩක්.

      ප්‍රශ්නය ඩොලරය රුපියල් 250 නොකරන්නේ ඇයි කියන එකයි. ඩොලරයට නිදහසේ ඉහළ යන්න ඉඩ දුන් වහාම ඩොලර් ප්‍රශ්නය විසඳෙනවා. ඊට පස්සේ රටේ බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න ඉවරයි. නමුත් එසේ නොකරන්නේ ඩොලරය ඉහළ ගිය වහාම ආණ්ඩුවේ සැබෑ ප්‍රශ්න තව දුරටත් මතු වන නිසා. දැනට ප්‍රශ්නය ඩොලර් වුවත්, ඩොලරයට නිදහසේ ඉහළ යන්න දුන්නොත් ඩොලර් මිල දී ගන්න රුපියල් නැති ප්‍රශ්නයක් ආණ්ඩුවට තියෙනවා. ඔය තරම් පාඩු වෙද්දී ඩොලරය අල්ල ගෙන ඉන්නේ ඒ නිසා. ආණ්ඩුවේ වියදම් විශාල ලෙස අඩු කරන්න සූදානම් නැත්නම්, මේ වෙද්දී බදු වැඩි කරන්න බැරි තරමට ආර්ථිකයත් වැටිලා තියෙද්දී, ඉතිරි එකම විකල්පය සල්ලි අච්චු ගහන එක. වේගයෙන් ඉහළ යන උද්ධමනයත් එක්ක ඒකත් කරන්න බැහැ. ඇත්ත ප්‍රශ්නය ඕකයි. ඒ නිසා, කොහෙන් හෝ ණයට ඩොලර් හොයා ගෙන පිරමිඩය පවත්වා ගෙන යන්නම වෙනවා. ආණ්ඩුවේ සාර්ව-ආර්ථික සැලසුම ඉදිරියට ගෙන යා හැකි වෙන කිසිම ක්‍රමයක් නැහැ.

      Delete
    2. අඩු තරමින් ලංකාවේ විදෙස් පුද්ගලයින්ට මැතිවරණයකදී තානාපති කාර්යාල හරහා චන්දය දීමටවත් අවසත්වක් නැති තත්වයක් යටතේ, ඒ මිනිස්සු ලංකා රජයට උදව් කරයිද ?

      Delete
    3. USD එක පාවෙන්න ඇරල, ඊට සමානුපාතිකව බඩු මිල තීරණය වෙන්න ඇරියොත් ොලර් ප්‍රශ්නේයි රුපියල් ප්‍රශ්නෙ යි එකවර විසද ගන්න බැරිද?

      Delete
    4. AnonymousMarch 2, 2022 at 11:46 PM

      පුළුවන්. මම කාලයක් තිස්සේ කිවුවේ මේක තමයි. එවැනි තත්ත්වයක් යටතේ සිදුවන "ආර්ථිකය කඩා වැටීම" වන්නේ මිල මට්ටම් (හා උද්ධමනය) එකවර විශාල ලෙස ඉහළ යාමයි. එහෙත් ඉන්පසුව දිගුකාලීනව තත්ත්වය ස්ථාවර වෙනවා. අඩු වශයෙන් මාස නවයකට පෙර මෙය කළානම් කිසියම් පාලනයක් ඇතිව විණිමය අනුපාතය හා මිල ඉහළ යාමට ඉඩ හැරිය හැකිව තිබුණු නමුත් දැන් එසේ පාලනය කිරීම ඉතාම අසීරුයි. ප්‍රශ්නය විසඳෙන්නේ ඩොලරයේ මිල හා බඩුමිල එක වර සැලකිය යුතු ලෙස වැඩි වෙලා. මෙය කිරීම කල් දමන තරමට, කවදා හෝ එකවර සිදු වන හානිය ඉහළ යනවා

      Delete
  7. ඉකොනොමැට්ටා,

    ලංකාවේ රේගු මාධ්‍ය නිවේදන අනුව 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා, 13% කින් වැඩි වී ඇති බවත් එය 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 5.7% ක වැඩිවීමක් බවත් කියනවා, (තව කලාපීය වශයෙන් සංසන්දනය කිරීමේදී 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසය තුළ සියලුම කලාප වෙත ශ්‍රි ලංකාවේ අපනයන වැඩි වි ඇත), සැබැවින්ම මේක ඇත්තද? එමෙන්ම මෙය ලංකාවට ප්‍රමාණවත්ද? මෙය ආණ්ඩුවේ ප්‍රෝඩාවක් විය නොහැකිද?

    මේ ගැන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් කියන්නේ 2022 ජනවාරි මාසයේදී භාණ්ඩ අපනයන කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර‍ සියල්ලම පාහේ දිරි ගන්වන සුලු ප්‍රවණතා පෙන්නුම් කර ඇති බවත් එසේම මෙම ප්‍රවණතාවය නොකඩවා පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර වසර අවසානයේ දී සැලකියයුතු ප්‍රගතියක් දැකගත හැකි බවයි, නමුත් මෙය විය හැකි දෙයක්ද?

    තවත් ඔහු මතුකළ කරුණක් තමයි එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කියන සාම්ප්‍රදායිකව දැනට ලංකාවේ ප්‍ර‍ධානතම වෙළඳපොලවල් ලෙස පෙන්වන ප්‍ර‍ගතිය අගය කරන අතරම වඩාත් විශාල ගෝලීය වෙළඳ පොළ වෙමින් තිබෙන මේගයෙන් ආසියානු කලාපය තුල ආසියාන් රටවල්, චීනය, දකුණු කොරියාව, ඉන්දියාව, බංග්ලාදේශ් වැනි වෙළඳපලවල් වල අවස්ථා අත්පත් කර ගනිමින් එම වෙළඳපොළවල් වෙත හැකි උපරිම මහන්සියෙන් ක්‍රියා කර එම වෙළඳපොළ වඩා පුළුල් කළ යුතු බව, මේක ඇත්තද සහ මෙම වැඩෙන් ලංකාවට ප්‍රයෝජනයක් තිබේද? ඇමරිකන් යුරෝපා වෙලඳපොළ මීට වඩා පුළුල් වන්නේ සෙමින් බවත් ඒ වෙනුවට ආසියානු වෙළඳපොළ හැකි මොන මගුලක් හරි කරමින් අපනයන විවිධාංගීකරණය කරමින් අලුත් දෑ පනයනය කරමින් එම මාකට් එක අල්ලගන්න ඕන කියලා කියන ලංකාවේ දැනට ජනප්‍රිය මතය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    මීට අමතරව 2022 ජනවාරි මාසය තුල සේවා අපනයනවල (අපනයන සංවර්ධන මණ්ඩලයෙන්) ඇස්තමේන්තුගත වටිනාකම රජයේ නිල වාර්තා අනුව ඇමරිකන් ඩොලර් මිලියන 313.22 ක් වූ අතර එය 2021 ජනවාරි මාසයට වඩා 42.2% කින් වැඩියි, අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ඇස්තමේන්තු ගතකර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණ සේවා/ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ සේවා (අයි සී ටී/බී පී එම්), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් වලින් සමන්විතයි, හැබැයි මේවා මෙහෙම වෙද්දි ලංකාවේ උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්ට්‍රැටජික් ඇනලයිස් හරහා ආයෝජකයන්/ ව්‍යවසායකයන්ට උපදෙස් ලබාදෙන ආර්ථික උපදේශක සමාගම් වල වෙබ් අඩවි වල දක්වා ඇති පරිදි ලංකාවේ දළ නිල සංචිත 2019 ජූනි මාසයේ සිට අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර 2022 ජනවාරි වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක් පමණ වන අතර, 2021 අවසානයේ මාස දොළහක ගෙවීම ඩොලර් මිලියන 6,904 ක් වන අතර එය දළ වශයෙන් 2022 ජනවාරි සංචිත ශේෂයෙන් 9 ගුණයක් ! (මෙම මාස දොළහක කෙටි කාලීන ගෙවීම් විදෙස් මුදල් වත්කම් මත කලින් තීරණය කළ ශුද්ධ ගෙවීම් වන අතර ඊට රජයේ සහ මහ බැංකුවේ විදේශ මුදල් වගකීම් ඇතුළත්) මෙතනදි 2021 දෙසැම්බර් සහ 2022 ජනවාරි මාසවල භාවිතා කළ හැකි සංචිතවලින් කබ්‍රාල් ලාගේ ගණනය කිරීම් වලට ඇතුලත් වූ චීන මහජන බැංකුව සමඟ රෙන්මින්බි (යුවාන්) බිලියන 10 ක හුවමාරුව (ඇමරිකන් ඩොලර් මිලියන 1,570) මෙම දළ නිල සංචිතවලින් බැහැර කර ඇති අතර එසේ කර ඇත්තේ එක්සත් ජනපද ඩොලරයේ නියම කරන ලද වගකීම් පියවීමට මෙම සංචිත භාවිතා කළ හැකි බව පැහැදිලි නැති නිසා විය හැකියි, මේ ගැන වැඩි දුරටත් විස්තර පැහැදිලි කළ හැකිද?

    ReplyDelete
  8. මට හිතෙන විදියට නම් ලංකාවේ ආර්ථිකයට මෑතකදී දෙනෙන වැඩිම බලපෑම එල්ල උනේ ශ්‍රමික ප්‍රේෂණ අතිවිශාල ලෙස අඩුවීම හරහා. දශක ගණනාවක් තිස්සේ මාසෙකට නිකම්ම ලැබුණු ඩොලර් මිලියන 400 ක් විතර මේ වගේ අති දුෂ්කර අවස්ථාවක නැතිවෙනවා කියන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නටත් වැඩිය අමාරු තත්වයක්. එය සමනය කිරීම සදහා ඩොලරයකට රුපියල් 10ක් වැඩිපුර දීම, ඩොලර් 100ක් මාසිකව එවන පොරොන්දුව මත රුපියල් මිලියන 2.5 ක ණයක් දීම වගේ දේවල් යෝජනා කිරීමත් මේ ආණ්ඩුව විසින්ම විතරක් ගන්න පුළුවන් අරුම පුදුම දේශීය විසදුම්. ආර්ථික විද්‍යා උගතුන් ටික පැත්තකින් තියලා අනුරපුරේ ඉන්න ....... අක්කගෙන්ද කොහෙද උපදෙස් ගන්නේ.

    ReplyDelete
  9. තෙල් ප්‍රශ්නයට විසඳුමක් ලෙස $ එක පා නොකර තෙල්වල ගාන වැඩි කරොත් මොකෝ වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. එසේ කිරීමෙන් රුපියල් ප්‍රශ්නය විසඳෙනවා. නමුත් ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැනේ.

      Delete
    2. ඩොලර් එක පා කරන්න කියන්නෙ එම්ගින් ආනයන ඉබේ පාලනය වෙන්න නේද? ‍
      ඉන්දන මිල වැඩි කලාමත් ඒකම වෙන නිසා ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමානය අඩුවී ඩොලර් ප්‍රශ්නය විසඳෙනව නේද? ඩොලර් එක පා කිරීමෙනුත් රුපියල් මිල වැඩිවීම හරහා නේද ආනයන පාලනය වෙන්නෙ අවසන් වශයෙන්?

      Delete
    3. සෛද්ධාන්තිකව මෙය කළ හැකි වුවත් ප්‍රායෝගිකව මෙය කළ නොහැකියි. හරියටම කියනවානම් ප්‍රායෝගිකවද මෙය කළ හැකි වුවත් ඒ සඳහා ඉන්ධන මිල ඉතාම විශාල ලෙස (උදාහරණයක් ලෙස දහ ගුණයකින් පමණ) ඉහළ දැමිය යුතුයි. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් ඉන්ධන වල මිල ප්‍රත්‍යස්ථතාවය අඩුයි. ඒ කියන්නේ, මිල 100%කින් වැඩි කළ විට ඉල්ලුම අඩුවන නමුත් ඉල්ලුම 100%කින් අඩු වෙන්නේ නැහැ. ඇමරිකාවේනම් ඉන්ධන මිල 100%කින් ඉහළ ගිය විට ඉල්ලුම අඩුවෙන්නේ 26%කින් පමණ. පෞද්ගලික ඉන්ධන භාවිතයට සාපේක්ෂව පොදු කටයුතු සඳහා ඉන්ධන වැඩියෙන් භාවිතා කරන එංගලන්තය වැනි යුරෝපීය රටවල මෙය 10% පමණ. විශාල රාජ්‍ය අංශයක් තිබෙන ලංකාවේ මෙය මීටත් අඩු විය යුතුයි. මෙය 5% පමණ විය හැකි වුවත්, අපි 10% ගනිමු. ඉන්ධන ආනයනය සඳහා මාසයකට ඩොලර් මිලියන 400ක් යනවා කියා හිතුවොත්, ඉන්ධන මිල දෙගුණ කිරීමෙන් වුවද මාසයකට ඉතිරි කර ගත හැක්කේ ඩොලර් මිලියන 40ක් පමණයි. ඒ එක්කම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා එළවලු, මාළු ආදී තවත් බොහෝ දේවල් වල මිල 40-50%කින් පමණ ඉහළ යා හැකියි. එවිට රටේ අනෙකුත් භාණ්ඩ වලට සාපේක්ෂව බැලූ විට ඉන්ධන නැවතත් ලාබ වෙන නිසා මුලින් අඩු වූ ඉල්ලුමෙන් යම් කොටසක් නැවත ඇති වෙනවා. මේ වැඩෙන් යම් ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වෙනවා තමයි. නමුත්, එය ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ප්‍රමාණවත් නැහැ. නමුත් ඩොලරය ඉහළ යද්දී හැම ආනයනික භාණ්ඩයකම මිල එකවර ඉහළ යන නිසා ඒ හැම එකෙන්ම කීය කීය හරි ඉතිරි වී අවසානයේදී ලොකු ගණනක් හැදෙනවා.

      Delete
    4. ඔව් . ඒ වගෙ අදහසකින් තමයි මමත් ඇහුවෙ මිල ඉහල දාල කරන්න පුකුවන් නේද කියල. රුපියල් පනහකින් සීයකින් නෙමෙයි. ලොකූඌඌ ගානකින්. මිල දැක්කම මිනිස්සු ඉන්දන දිහා පැත්තවත් නොබලන්න.

      Delete
    5. දැන් මිනිස්සු කියා කියන්නේ කවුද? ඉන්ධන මිල ඉහළ හතර පස් ගුණයකින් ඉහළ දාලා "මිනිස්සු" ඉන්ධන ගන්න එක සම්පූර්ණයෙන් නැවතුණා කියලා හිතමු. ඒ කියන්නේ පාරේ පෞද්ගලික වාහන දුවන්නේ නැහැ. ඇත්තටම ඕක වෙන්නෙත් නැහැ. ඉන්ධන කීය වුනත් වාහන වලට තෙල් ගහන පිරිසක් ඉතිරි වෙනවා. නමුත්, රජයේ වාහන වලට තෙල් ගහන එක නවතින්නේ නැහැ. සමාගම් වලට අයිති වාහන වලට තෙල් ගහන එක අඩු වුනත් නවතින්නේ නැහැ. එහි මිල භාණ්ඩ හා සේවා වලට එකතු වෙනවා. ඒ වගේම, තේ, ඇඟලුම් ආදිය ප්‍රවාහනය සඳහා ඉන්ධන අවශ්‍යයි. එම සැපයුම නැවතුනොත් ඩොලර් එන එක නවතිනවා. වැදගත්ම දේ විදුලි බලය. විදුලි බලය නැතිව කිසිවක් කළ නොහැකියි. උපරිම වශයෙන් ඉන්ධන පරිභෝජනය 50%කින් අඩු වුනා කියා කියමු. එයින් වසරකට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2කට අඩු මුදලක්. ඩොලර් බිලියන 2ක් ඉතිරි වුනත් මේ හෝදාපාළුව නවතින්නේ නැහැ. ඔය මට්ටමට එන්න කලින් ලංකාවේ දිගුකාලීනව ආයෝජන කර තියෙන අය (ඇඟලුම් කර්මාන්ත වැනි) තමන්ගේ ආයෝජන ගලවලා වෙන රටවලට ගෙනියන්න පටන් ගන්නවා. එවිට ඩොලර් ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. තෙල් මිල ඉහළ දැමීම කළ යුතු හා කරන්නම සිදු වෙන දෙයක්. එයින් ඩොලර් ප්‍රශ්නයට යම් සහනයක් ලැබෙනවා. නමුත්, දැන් තිබෙන ප්‍රශ්නය තෙල් මිල ඉහළ දැමීම, ඇපල් ආනයනය තහනම් කිරීම වගේ සිල්ලර වැඩ වලින් ගොඩ දාන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රශ්නය විසඳා ගැනීමේ ප්‍රවේශයක් ලෙස විණිමය අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යන්න ඉඩ දීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එයට අමතරව තෙල් මිල ඉහළ දැමීම වැනි දේවල්ද කරන්න වෙනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...