වෙබ් ලිපිනය:

Tuesday, March 8, 2022

තිස් අටක් ගෙවා ඉල්ලං කයිද?


ලංකාවේ වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල මේ වන විට රුපියල් 230 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව විසින් දැනුම් දුන්නේ ඩොලරය නිදහස් කරන බව හා එසේ වුවද ඩොලරයක මිල රුපියල් 230 ඉක්මවනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. මහ බැංකුව විසින් සෘජුව වාණිජ බැංකු වලට කතා කර හෝ සංඥාත්මක ලෙස රුපියල් 230ක උපරිම මිලක් පනවා ඇති බව පැහැදිලියි. 

පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) යටතේ විණිමය අනුපාතය (ඩොලරයක මිල) තනිකරම තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මතයි. බටහිර රටවල තිබෙන්නේ මෙවැනි ක්‍රමයක්. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ කිසිදු විටෙක රටේ ඩොලර් හිඟයක් හෝ ඩොලර් අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ. නිල සංචිත විශාල ලෙස එකතු වීමක් වෙන්නෙත් නැහැ. එසේ සංචිත නොතිබීම ඒ හේතුව නිසාම රටේ ආර්ථිකයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එහෙත්, මෙවැනි ක්‍රමයක් යටතේ ලංකාව වැනි කුඩා හා පටු ආර්ථිකයක් ඇති රටක විණිමය අනුපාතය කෙටි කාලාන්තර තුළ රටට ඔරොත්තු නොදෙන සේ විචලනය විය හැකියි.

පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් ලංකාවේ කවදාවත්ම ක්‍රියාත්මක වී නැහැ. ඉතා කෙටි කාලාන්තර තුළ ලංකාවේ  විණිමය අනුපාතය තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වී ඇතත්, යම් සීමාවකින් ඔබ්බෙහිදී හැම විටම වගේ මහ බැංකුවේ මැදිහත්වීම් දැකිය හැකි වුනා. 

අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදීද (dirty float) විණිමය අනුපාතය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වුවත්, මහ බැංකුව විසින් විටෙක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම හා තවත් විටෙක එම සංචිත විකුණා වෙළඳපොළට ඩොලර් මුදා හැරීම හරහා වෙළඳපොළ සැපයුම පාලනය කරනවා. ඒ හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාව වෙනස් කර වක්‍ර ලෙස ඩොලරයක මිල පාලනය කරනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය පමණ දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූ විණිමය ප්‍රතිපත්තිය හැඳින්විය හැක්කේ අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් ලෙසයි. 

අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ සංචිත එකතු කර ගනිමින් රුපියල (හෝ වෙනත් රටකනම් එම රටේ ව්‍යවහාර මුදල) එහි නියම වටිනාකමට වඩා අඩු මට්ටමක පවත්වා ගත හැකියි. ජපානය, චීනය වැනි රටවල් කාලයක සිට කරන්නේ මෙයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපනයන ඉහළ ගොස් ආනයන අඩු වෙනවා. රට තුළ ඩොලර් (හා වෙනත් විදේශ විණිමය) ගොඩ ගැසෙනවා. ඒ වගේම, අවශ්‍ය අවස්ථා වලදී මේ සංචිත විකුණා මුදලේ අගය අධිප්‍රමාණය කළ හැකියි. 

සාමාන්‍යයෙන් අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් අනුගමනය කරන රටවල් එසේ කරන්නේ දිගුකාලීනව වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය තීරණය වීමට ඉඩ දෙන අතරම ඉතා කෙටි කාලාන්තර තුළ විණිමය අනුපාතයේ සිදු විය හැකි උච්ඡාවචනයන් පාලනය කිරීමටයි. 

උදාහරණයක් ලෙස ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවෙන් මාස තුනක කාලයකට  ඩොලර් බිලියනයක ණයක් අරගෙන ඒ ඩොලර් ප්‍රමාණය එක වර විකිණුවොත් ක්ෂණිකව රට ඇතුළේ ඩොලර් සැපයුම විශාල ලෙස ඉහළ යනවා. ඊට අනුරූපව ඉල්ලුම ඉහළ නොයන නිසා ඩොලරයේ මිල විශාල ලෙස පහත බසිනවා. ඉන් පසු, තෙමසකින් පසුව ණය ගෙවීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් බිලියනයක් මිල දී ගැනීමේදී මෙහි අනෙක් පැත්ත සිදු වී ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යනවා.

මහ බැංකුව මැදිහත් වී මුල් අවස්ථාවේදී ඩොලර් බිලියනය මිල දී ගෙන මාස තුනකට පසුව එම ඩොලර් ප්‍රමාණය නැවත විකිණීම මගින් විණිමය අනුපාතයෙහි ඉහත කී උච්ඡාවචනය වීම නවත්වා ගත හැකියි. එයින් දිගුකාලීන සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. මේ ක්‍රමය පාලිත විණිමය අනුපාත ක්‍රමය ලෙසද (managed float) හැඳින්වෙනවා. මා හිතන විදිහට එජාප/සජබ පෙනී සිටින්නේ මෙවැනි අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් වෙනුවෙන්. 43 බලකායද එවැනි ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටිනවා විය හැකියි. 

අපිරිසිදු විණිමය අනුපාතික ක්‍රමයක් අනුගමනය කිරීමේදී විණිමය පාලකයින් (මහ බැංකුව) විසින් වෙළඳපොළ සමතුලිතතාවය හා තාවකාලික උච්ඡාව්ඡාවචනයන් අතර වෙනස නිවැරදිව හඳුනා ගත යුතුයි. එහෙත්, බොහෝ විට ලංකාවේදී ප්‍රායෝගිකව දැකිය හැක්කේ උච්ඡාව්ඡාවචනයන් පාලනය කිරීමෙන් ඔබ්බට ගොස්, වෙළඳපොළට එරෙහිව, විණිමය අනුපාතය හිතුමනාපයට පාලනය කිරීම සඳහා සංචිත භාවිතා කිරීමේ උත්සාහයක්. මෙවැනි තත්ත්වයක් යටතේ ලංකාවේ ක්‍රමය අපිරිසිදු විණිමය අනුපාතික ක්‍රමයක් ලෙස නොපැවතී යම් තරමකින් ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් බවට පත් වෙනවා.

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මාර්ගෝපදේශන මූලධර්මය (guiding principle) වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම නෙමෙයි. මෙහිදී කිසියම් බලධාරියෙකු විසින් "තිබිය යුතු" විණිමය අනුපාතය තීරණය කරනවා. මෙය හරියටම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන විණිමය අනුපාතය වීම සිදු නොවිය හැකි තරමේ අහම්බයක් පමණක් නිසා, මෙහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස රට තුළ ඩොලර් අතිරික්තයක් හෝ හිඟයක් ඇති වෙනවා. 

ඩොලර් අතිරික්තයක් ඇති වූ විට එම ඩොලර් ප්‍රමාණය සංචිත වලට එකතු කරගෙන පහසුවෙන් ප්‍රශ්නය විසඳා ගත හැකියි. එහෙත්, ඩොලර් හිඟයක් ඇති වූ විට ප්‍රශ්නය පාලනය කර ගත හැක්කේ සංචිත තිබෙන සීමාව දක්වා පමණයි. ඉන් පසුව, ආනයන පාලනය වැනි දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. 

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ, විණිමය අනුපාතය විණිමය පාලකයින් විසින් සිතන පරිදි "තිබිය යුතු" මට්ටමේ පවත්වා ගැනීම සඳහා විශාල සංචිත ප්‍රමාණයක් නාස්ති කිරීමෙන් හා ආනයන සීමා ආදිය පැනවීමෙන්ද පසුව තව දුරටත් මේ කාර්යය අපහසු වෙද්දී ඔවුන්ට විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමට සිදු වෙනවා. මෙහිදී මා සිංහලෙන් අවප්‍රමාණය යන වචනය යොදා ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ devaluation යන අර්ථයෙන්.

මේ වන විට සිංහලෙන් අවප්‍රමාණය යන වචනය භාවිතා වෙන්නේ ඉංග්‍රීසියෙන් depreciate යන අර්ථයෙන්. එමෙන්ම, appreciate යන අර්ථය දීමට අධිප්‍රමාණය යන වචනය භාවිතා වෙනවා. විණිමය අනුපාතය appreciate හෝ depreciate විය හැක්කේ පාවෙන විණිමය අනුපාතික ක්‍රමයක් යටතේ පමණයි. ඒ නිසා, appreciate හෝ depreciate වීමක් මිස appreciate හෝ depreciate කිරීමක් කියා දෙයක් නැහැ. මේ අර්ථයෙන් සිංහල වචන යොදා ගත්තොත් අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය වීමක් මිසක් අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය කිරීමක් ගැන අපට කතා කළ නොහැකියි. එය වෙළඳපොළ අදිසි හස්තය විසින් තීරණය කරන දෙයක්.

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ පාලකයෙකු විසින් හිතා මතා විණිමය අනුපාතය වෙනස් කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් යොදා ගැනෙන්නේ devalue හා revalue යන වචනයි. මා හිතන හැටියට සිංහලෙන් අවප්‍රමාණය හා අධිප්‍රමාණය යන වචන මුලින්ම නිර්මාණය වී තිබෙන්නේ devalue හා revalue යන අර්ථ සැපයීමටයි. 2001 වසරේදී පාවෙන විණිමය අනුපාත ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව appreciate හා depreciate යන වචන සඳහා අලුතෙන් සිංහල වචන හදා නොගෙන අවප්‍රමාණය හා අධිප්‍රමාණය යන වචනම ඒ වෙනුවෙන්ද භාවිතා කළා විය හැකියි.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ලංකාවේ ක්‍රියාත්මකව තිබෙන්නේ අපිරිසිදු විණිමය අනුපාතික ක්‍රමයකට වඩා ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි ක්‍රමයක්. නිල හැඳින්වීම එලෙස නොවිය හැකියි. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ විණිමය අනුපාතය අවප්‍රමාණය (devalue) කරනවා මිස අවප්‍රමාණය වීමක් (depreciate) වෙන්නේ නැහැ. දැන් සිදුව තිබෙන්නේ ඩොලරයක මිල රුපියල් 200 සිට රුපියල් 230 දක්වා වෙනස් කිරීමක් මිස වෙනස් වීමක් නෙමෙයි. මේ 200 හා 230 යන මිල ගණන් දෙකම "තිබිය යුතු" මිල ලෙස පාලකයින් විසින් තීරණය කළ මිල ගණන් මිසක් වෙළඳපොළ ඉල්ලුම හා සැපයුමට සම්බන්ධ මිලක් නෙමෙයි.

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ මුදල් ඒකකයක් අවප්‍රමාණය (devalue) කර තිබීම හරහා කිසියම් රටක් විසින් ප්‍රදර්ශනය කරන්නේ වෙළඳපොළට එරෙහිව යාමට උත්සාහ කර, එය කර ගත නොහැකිව ඇණ ගැනීමෙන් පසුව, නොකර බැරි නිසා මුදලේ අගය අවප්‍රමාණය කිරීමට සිදු වී ඇති බව මිස ප්‍රතිපත්තියක් ලෙස වෙළඳපොළ පිළිගෙන ඇති බව නෙමෙයි. 

මම හිතන විදිහට ජවිපෙ/ජාජබ මෙන්ම "හරිමග" කණ්ඩායම විසින්ද ඩොලරයේ මිල ඉහළ දැමිය යුතු බව කියා සිටියේ මෙවැනි අර්ථයකින්. ඒ කියන්නේ, ඔවුන්ට අනුව ඩොලරයක මිල "තිබිය යුතු" තැන රුපියල් 200 නෙමෙයි. මේ මිල රුපියල් 200 වුවත්, රුපියල් 400 වුනත්, මේ ආර්ථික දෘෂ්ඨිවාදය එකක් මිස දෙකක් නෙමෙයි. මේ සියල්ලන්නම හිතන්නේ ඩොලරයක "හරි මිල" තමන්ට තීරණය කළ හැකි බවයි. ඔවුන් එකඟ නොවන්නේ ඒ "හරි මිල" කීයද කියන එකටයි.

ඇතැම් අය මේ ප්‍රශ්නයම අපෙන්ද අසනවා. 

"එහෙනම් ඉකොනෝ කියන්නේ ඩොලරයේ මිල කීයක් කරන්න කියලද?"

මේ ප්‍රශ්නයම වෙළඳපොළ විරෝධී, වැරදි ප්‍රශ්නයක්. ඩොලරයේ මිල කීයක් කළ යුතුද කියා මට හරියටම කියන්න පුළුවන්නම් මම ඉන්නේත් වෙළඳපොළ විරෝධී ගොඩේ. එවැනි හරි මිලක් ගැන කාටවත්ම කියන්න බැහැ. පාවෙන විනිමය අනුපාත ක්‍රමයේ මූලධර්මය වන්නේම කාටවත්ම හරියටම නිගමනය කළ නොහැකි ඩොලරයක නියම මිල වෙළඳපොල ඉල්ලුම හා සැපයුම මත පදනම්ව සොයා ගැනීමයි.

පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ විණිමය වෙළඳපොළක් ක්‍රියාත්මක වන්නේ වෙනත් ඕනෑම නිදහස් වෙළඳපොළක් ක්‍රියාත්මක වන ආකාරයටයි. වෙළඳපොලේ ඩොලර් හිඟයක් ඇත්නම් එයින් පෙනෙන්නේ මිල ඉහළ යා යුතු බවයි. මෙය නිරීක්ෂණය කරන සැපයුම්කරුවන් විසින් තමන් විකුණන ඩොලර් සඳහා ඉල්ලන මිල ඉහළ දමනවා. මිල ඉහළ යනවා. මිල ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම අඩු වී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. විකුණාගන්න බැරි තරම් ඩොලර් අතිරික්තයක් ඇත්නම් එහි අනෙක් පැත්ත වී මිල පහළ යනවා. 

හරි ප්‍රශ්නය "ඩොලරයක මිල කීයක් කළ යුතුද?" කියන එක නෙමෙයි. "ඩොලරයක මිල කීයක් වෙයිද?" කියන එකයි. ප්‍රශ්නයට හරිම පිළිතුර හොයා ගන්න පුළුවන් වෙන්නේ කිසිදු බාධාවකින් තොරව වෙළඳපොළ බලවේග වලට ඩොලරයේ මිල තීරණය කිරීමට ඉඩ හැරීමෙන් පසුව පමණයි.

එක දෙයක් පැහැදිලියි. මේ මිල රුපියල් 230ට වඩා වැඩි මිලක්! 

මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ උපරිම මිල වූ රුපියල් 200 මට්ටමේදී රටේ ඩොලර් හිඟයක් තිබුණා. එයින් අදහස් වුනේ රුපියල් 200 මට්ටමේදී ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවූ බවයි. සමතුලිත මිල රුපියල් 200ට වඩා වැඩි වූ බව මිස එය කොපමණද කියා අප දැන සිටියේ නැහැ. මිල පාලනය කළ විට වෙළඳපොළ සංඥාව නැතිව යනවා. 

මේ සමතුලිත මිල රුපියල් 200-230 අතර මිලක් වුනානම් මහ බැංකුව ඩොලරයට සාපේක්ෂ නිදහසක් දීමෙන් පසුව ඩොලරයේ මිල රුපියල් 230 දක්වා නොගොස් එහි නියම මිලෙහි නවතිනවා. එහෙත්, එසේ වුනේ නැහැ. මිල ක්ෂණිකව රුපියල් 230 දක්වා වැඩි වුනා. එයින් අදහස් වන්නේ නියම මිල රුපියල් 230ට වඩා වැඩි බවයි. එය කීයද කියා අපි හරියටම දන්නේ නැහැ. අපට කළ හැක්කේ පුරෝකථන හෝ අනුමාන කිරීම පමණයි.

මහ බැංකුව විසින් කළ යුතුව තිබුණේ හෝ කළ යුත්තේ වහාම ඩොලරය පා කිරීමද?

දිගුකාලීන ස්ථිර විසඳුම ඩොලරය පා කිරීමයි. එහෙත්, එය මේ වෙලාවේ ක්ෂණිකව කරන්නට යාම භයානක දෙයක්. දැන් එක වර ඩොලරය පා කළොත් එය කොහෙන් නවතීද කියා කියන්න බැහැ. 

වැරැද්ද සිදු වී අවසානයි. එහි හානියද සිදු වී අවසානයි. දැන් කළ හැක්කේ අනාගතයේ සිදු වීමට නියමිත හානි අවම කර ගැනීම පමණයි. ඩොලරය රුපියල් 230 සීමාව දක්වා ඉහළ යන්න ඉඩ දීම මහ බැංකුව පැත්තෙන් ගත් හොඳ තීරණයක්. මෙයින් කිසිසේත්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැති වුනත් මෙය නිවැරදි දිශාවට තැබූ පියවරක්.

ඒ එක්කම පසුගිය මාස හයක කාලය තුළ මහ බැංකුව සිටි ස්ථාවරය කොයි තරම් වැරදිද කියන එකත් මෙයින් තහවුරු වෙනවා. සාමාන්‍ය මිනිසුන් මහ බැංකුවට වඩා ගොඩක් ඉදිරියෙන් සිටියා. පසුගිය සතියේ කොහෙන් හෝ ඩොලර් ටිකක් මිල දී ගත් අයෙකුට දැන් දින දෙකක් ඇතුළත 15%ක ප්‍රතිලාභයක් ලැබිලා!

රුපියල 15%කින් එකවර අවප්‍රමාණය කිරීම සැලකිය යුතු වෙළඳපොළ කම්පනයක්. මෙවැනි තීරණයක් මා විසින් ගත යුතු වූවානම්, මම වුවත් උපරිම වශයෙන් ඩොලරයට ඉහළ යන්න දෙන්නේ රුපියල් 240 දක්වා පමණයි. එය 20%ක අවප්‍රමාණය වීමක්. 15%කින් අවප්‍රමාණය වීමට ඉඩ ඇරීම හොඳ තීරණයක්.

ඉදිරියේදී අනිවාර්යයයෙන්ම කරන්නට සිදුවන දෙයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සිදු වන තුරු රුපියලට උපරිම මිලෙහි පාලනයකින් තොරව පාවෙන්නට ඉඩ නොහැරිය යුතුයි. දැන් තත්ත්වය යටතේ රුපියල පා කිරීම කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සමාන්තරව පමණයි. එසේ නැත්නම් ඩොලරයේ මිල හිතාගත නොහැකි තරම් ඉහළ මට්ටමකට යා හැකියි. එය සිදු වන තුරු කළ යුත්තේ මේ අයුරින් ඩොලරයේ මිල වරින් වර ටිකෙන් ටික ඉහළ දැමීමයි. එසේ වරක් මිල ඉහළ යාමට ඉඩ දීමෙන් පසුව මාස හයක්වත් අල්ලාගෙන සිටීම ඉලක්කය විය යුතුයි. "crawling peg" ක්‍රමය මේ වෙලාවේ හොඳ විසඳුමක් විය හැකියි.

මේ හොඳ තීරණයත් එක්කම කැබිනට් මණ්ඩලය විසින් අඥාන තීරණයක්ද ගෙන තිබෙනවා. ඒ විදේශ ප්‍රේෂණ වෙනුවෙන් ගෙවන දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීමයි. කළ යුතුව තිබුණේ ඩොලරය රුපියල් 240 පමණ දක්වා යාමට ඉඩ හැර මේ දිරි දීමනාව ගෙවීම අහෝසි කිරීමයි. දිරි දීමනාව නිසා සිදු වන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එකයි. 

දිරි දීමනාවද සමඟ විදේශ ශ්‍රමිකයෙකුට ඩොලරයකට රුපියල් 268කට ආසන්න, ප්‍රායෝගිකව රුපියල් 265ක පමණ මුදලක් ලබා ගත හැකි වෙනවා. මා හිතන විට මේ වෙද්දී කළු කඩ මිල මීට ආසන්නයි. මෙහි අරමුණ කළු කඩ ඩොලර් නියම ක්‍රමයට ගෙන්වා ගැනීම බව පැහැදිලියි. ලිබියාව වැනි රටවල් විසින්ද අනුගමනය කළ මේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණ ඉටු වෙයිද?

මේ හරහා ලංකාවේ විණිමය පාලකයින් විසින් (ආණ්ඩුව, මහ බැංකුව හෝ දෙකම) ඉතා පැහැදිලි ලෙස වෙළඳපොළට සංඥා කර තිබෙන්නේ ඩොලරයක නියම මිල රුපියල් 268ක් බව ඔවුන් පිළිගන්නා බවයි. මේ සමඟම ඩොලර් රුපියල් කිරීම ගැන හිතන ඕනෑම කෙනෙකු ක්ෂණිකව එළැඹෙන නිගමනය වන්නේ ඩොලරයකට රුපියල් 268කට අඩු ඕනෑම මිලක් තමන්ට පාඩු ලබා දෙන අසාධාරණ මිලක් බවයි. ඒ නිසා, කිසිවෙකු රුපියල් 268කට අඩුවෙන් ඩොලර් විකිණීමට පෙළඹෙන්නේ නැහැ.  

ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයෙකුට, සෛද්ධාන්තික ලෙස, ශ්‍රමිකයෙකු හරහා වක්‍ර ලෙස මුදල් එවා ඩොලරයකට රුපියල් 268ක් ලබා ගත හැකියි. ඒ කියන්නේ, උන්ඩියල් ක්‍රම ක්‍රියාත්මක කරන අයට අඩුම වශයෙන් ඩොලරයකට රුපියල් 268ක් ගෙවන්න සිදු වෙනවා කියන එකයි. උන්ඩියල් ක්‍රමයේ අවදානම් සැලකූ විට මේ මිල රුපියල් 280-300 පමණ මිලක් විය හැකියි. 

ශ්‍රමිකයෙකුට ඩොලරයකට රුපියල් 268ක් ලැබුණත්, එයින් රුපියල් 38ක්ම ගෙවන්නේ මහ බැංකුව හෝ රජය විසින් නිසා වානිජ බැංකු වලට රුපියල් 230ක මුදලකට ඩොලර් විකිණීය හැකියි. මෙහිදී වක්‍ර ලෙස වෙන්නේ කුමක්ද? වැඩි මිලට මිල දී ගන්නා තෙල් අඩු මිලට විකුණනවාක් මෙන් ආණ්ඩුව විසින් රුපියල් 268 බැගින් වාණිජ බැංකු වලින් ඩොලර් මිල දී ගෙන එම ඩොලර් රුපියල් 230 බැගින් ආපසු විකිණීමයි. වෙනත් විදිහකින් කිවුවොත් ඩොලර් මිල දී ගන්නා අයට පොදු අරමුදල් වැය කර රුපියල් 38ක සහනාධාරයක් ලබා දීමයි.

ඕනෑම දෙයක් සහන මිලකට ලැබෙන විට සිදු වන්නේ ඉල්ලුම ඉහළ යාමයි. මේ වැඩේ නිසා වෙන්නේත්, ඩොලර් ඉල්ලුම ඉහළ යාමයි. රුපියල් 268ක් වටිනා දෙයක් රුපියල් 230කට නොගන්නේ කවුද? ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් මිල වැඩි වීමට ඉඩ ලැබීම නිසා සමතුලිත ලක්ෂ්‍යය සැපයුම් වක්‍රය දිගේ ඉහළට යනු මිස සැපයුම් වක්‍රය විතැන් නොවන නමුත් ඉල්ලුම් වක්‍රය විතැන් වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය තවත් වැඩි වී ඩොලර් හිඟය ඉහළ යාමයි. 

අනිවාර්යයෙන්ම දිගටම පවතින හා බොහෝ විට ඉහළ යා හැකි ඩොලර් හිඟය නිසා ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ ගියද ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ මිලට ඩොලර් මිල දී ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ ආණ්ඩුව විසින් ඒ අවස්ථාව ලබා දෙන අයට පමණයි. අනෙක් අයට තව දුරටත් කළු කඩෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් විකුණන අයට රුපියල් 268ක් ලැබෙන බව දන්නා නිසා තමන්ට ඩොලර් එකකට ඊට වඩා මිලක් ගෙවන්න වන බව ඒ අය දන්නවා. ඒ නිසා, මේ වැඩෙන් පස්සේ උන්ඩියල් ඩොලර් මිල දී ගන්නා අය ඒ වෙනුවෙන් රුපියල් 280-300ක් ගෙවන්න සූදානම් වෙයි. අවසාන ප්‍රතිඵලය වන්නේ කළු කඩ මිල රුපියල් 280-300 වැනි මට්ටමකට යන එකයි.

වෙළඳපොළ ගැන මූලික අවබෝධයක් නැති අය ආර්ථිකය මෙහෙයවන්න ගිය විට මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. කළු කඩ මිල කියන්නේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක් තමයි. එහෙත්, ඉල්ලුම් හා සැපයුම් සාධක වෙනස් වූ විට කළුකඩ මිලද වෙනස් වෙනවා. විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම හොඳ තීරණයක්. නමුත්, ඔය රුපියල් තිස් අට ගෙවීම ඉල්ලං කෑමක්!

17 comments:

  1. ඉකොනෝ මහත්තයා ආසා නැද්ද සෙක්ස් නැතුව ධාතු හිරකරන්, ධාතු කරඬුව කරේ තියන් යන අලියෙක් වෙන්න?

    ReplyDelete
  2. කුම්මැහි කුණු ලෝබ කමේ ඉදලා මොකද මාමේ.

    ReplyDelete
  3. කබ්රාල් දන්න දේවල් අත්හදා බලලා ඉවර වෙලා වගේ ද?

    ReplyDelete
  4. අලුත් තත්තෙ ගැන නෑ නොවැ news ඇවිත්
    තොරතුරු ලැබෙන්නේ ඉබි ගමනකින් ඇවිත්
    දවසෙන් කාලක්ම අපි අඳුරෙයි ඉන්නෙත්
    බොරුව වගෙයි දැන් රජ වීලා ඇත්තෙත්

    ReplyDelete
  5. ඩොරල් එක කීය උනත් අපට කමක් නෑ. අපි හම්බ කලොත් අපි කනවා.

    අනික ඕවා කල්පනා කරා කියලා මොනවා කරන්නද. හවසට සංස්ථා ගල් භාගයක් ගහල, බඩ පැලෙන්න රයිස් එකක් කොත්තුවක් කාලා සිකරට් එකක් බීලා නිදා ගන්නවා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. අන්න එත්නෝල් ගෙන්නන එකත් නවත්තනවලු!!

      Delete
    2. ඇතිපදං අරක්කු තියෙනවා හිඟ වෙන්නෙ නෑ…! සු.බදු.දෙ

      2022 මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යවල පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ ව්න බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා

      ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා එය මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවයි එම පුවතේ දැක්වුනේ.

      කෙසේ නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නෙ එසේ පළවී ඇති පුවත් සාවද්‍ය බවත් අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුළ ක්‍රියාත්මක වන අතර, ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවත් සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

      Delete
  6. නැදුන්ගමුවේ රාජා ගැන ඉකොනෝ මහත්තයා මොකද හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. @ 11.53 PM

      ඉකොනොමැට්ටා හැමදෙයක් දිහාම බලන්නේ ඇමරිකන් කාරයෙක් වගේ එනම් හැම දෙයක් දිහාම මූල්‍යමය ඇසකින් එහි වටිනාකම තක්සේරු කරමින්, හිරුඑළිය, ඝර්මකලාපීය උණුසුම් රටක ගසක් යට ඇති සිහිල් හෙවන, හමන හුළඟ, අහසින් වැටෙන වැස්ස, මේ වගේ තවම කවුරුත් අත්පත් කරගෙන අයිතිවාසිකම් කියන්නේ නැති හැම දෙයක්ම මොන ජාතියෙන් හරි හැකි ඉක්මනින් බලෙන් අල්ලගෙන ඒක අනිත් මිනිස්සුන්ට හැකි උපරිම මිලකට විකුණලා ගාන කපාගෙන සල්ලි ගොඩගහගෙන නැවත නැවත සල්ලි ලැබෙන පරිදි පමණක් වියදම් කරමින් වෙනත් අසරණ සතුන් මිනිසුන් වෙනුවෙන් වැඩිය වියදම් නොකර යාන්තම් පොඩි ගාන්ක ටොපියක් වගේ නමට චැරිටි කරමින් ඉන්න හිතන චරිතයක් වගේ තමයි මට නම් හිතෙන්නේ, කොහොමත් ටිපිකල් යැන්කීන් අන්න ඒ වගේ, හැබැයි සැබෑවට ටිපිකල් යැන්කීන් නම් මීට වඩා ගොඩක් පහත් තුච්ච ගති තියෙන අමු සක්කිලි පිරිසක්, ඉකොනොමැට්ටාගේ තාම ලාංකීය ගති වලින් යහපත් ගතිගුණ එහෙමටම නැතිවෙලා නෑ වගේ, දෘෂ්ටිවාදය විතරයි. මම දැක්කා ටික කලකට ඉහත එක ඇමරිකන් කාරයෙක් හඳේ ඉඩම් කවුරුත් අයිතිකරගෙන නෑ කියලා හොයාගෙන ඒවාට ඔප්පු හදලා ෆෙඩරල් රෙජිස්ට්‍රියේ ලියාපදිංචි කරලා නාසා එකට එහෙම ක්ලේම් එක දාලා තියෙනවා කියලා. යකාගේ හාදයෝ, ඔන්න ඔහොමයි ඇමරිකන් චින්තනය.

      @ Economatta,

      කොහොම හරි ලංකාවේ ප්‍රසිද්ධ දළ සහිත අලියෙක් වන නැදුන්ගමු රාජා නමැති සත්වයා මියගිය බව ඉකොනොමැට්ටා දන්නව ඇතිනේ. එම හස්තියා ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් නම් හොඳයි, ඌව තව හොඳට මාකට් කරලා කවි ගී ලියලා යූටියුබ් දාලා ලංකාවේ ගන් කබර ගොන් හැත්ත රවට්ටා උපරිම වශයෙන් ගානක් කපාගන්න ක්‍රමයක්. එම අලියා ගැන විස්තර කරලා බුකියේ එක එක ගෝත්‍රික අමු මැටි මීහරක් ලියලා තියෙන පල් හෑලි දැක්කම මට නම් පැලෙන්න හිනා, මම හිතන්නේ ප්‍රසිද්ධ සතෙක් හින්දා මරණය ගැන ලියද්දී සුභ ගමන් යනුවෙන් සාමාන්‍යෙන් සදහන් කරන්නේ ගෝත්‍රික නොවූ නිරාගමික ආස්ථානයෙන්.. පසුව හෝ ඇමරිකා ගිය ඉකොනොමැට්ටාත් එබඳු ගෝත්‍රික ලින් මැඩි මානසිකත්වයෙන් බොහෝ දුරට මිදී ඇතැයි සිතනවා. එහෙත් මෙම අලියාව තදබල ලෙස ලෙස තලාපෙලා මර්ධනය කරමින් දරුණු විදියට වහල් වැඩ ගනිමින් පෙරහැරේ ගෙනගිය යුගයේ ඉකොනොමැට්ටාත් ලංකාවේ පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී හින්ගල බහුද්ද හෙජමොනික විප්‍රකාර අන්ග ලක්ශන මහත් සේ වර්ණනා කල බවත් සදහන් කල යුතු වෙනවා. ලංකාවේ උග්‍ර ජාතිවාදී ජඩ දුෂ්ට හින්ගල බෞද්ධ ම්ලේච්ඡ ගෝත්‍ර වාදයට විරුද්ද සිරස මාධ්‍ය වේදීන් සහ වෙනත් නිදහස් මාධ්‍ය මෙන් පූර්ණ ස්වාදීන භාවයට ඔබත් ඉක්මනටම පත් වේවායි පතමි.

      Delete
    2. ඉකොනෝමැට්ටා කියන්නේ හරියට කන්නේ බොන්නේ නැති මසුරු ලෝභ මුස්පේන්තු ඩයල් එකක් කියලයි මට හිතෙන්නේ. මොන දේ කරන්න ගියත් එකෙන් කීයක් හම්බෙයිද කියලයි මිනිහා බලන්නේ. එහෙම සල්ලි හෙව්වට කමක් නැහැ වියදම් කරලා ශරීරයට පොඩි සැපක් වත් දෙනවා නං. ඒත් නෑනේ. මේ යකාගේ පවුලේ අය මේ මනුස්සයා එක්ක කොහොම ඉන්නවා ඇත්ද කියලා මම කල්පනා කරේ.

      Delete
  7. කොත්තුවේ පේටන්ට් අයිතිය ලංකාවට ගමු..! – පාර්ලිමේන්තුවට යෝජනාවක්

    දේශීයව මෙන්ම මෙරටට පැමිණෙන විදේශිකයන් අතරද අතිශයින් ජනප්‍රිය ආහාරයක් වන “කොත්තු රොටි” සඳහා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාව විසින් ලබාගත යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

    ඒ, අද (08) දින පාර්ලිමේන්තුව අමතමින්.

    බොහෝ දෙනෙකු ආහාරයට ගන්න පීසා වල අයිති ඇත්තේ ඉතාලිය සතුව බවත් එබැවින් කොත්තු රොටි සඳහා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් ඔහු පෙන්වා දෙනවා.

    පීසා මෙන්ම විවිධකරණය වූ කොත්තු මිලට ගැනීමට හැකියාවක් ඇති නමුත් අද වෙනතුරු කිසිවෙකුත් කොත්තු සඳහා පේටනට් අයිතිය ලබාගෙන නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

    මඩකලපුවෙන් පටන් ගත් කොත්තු රොටී අද වන විට අයිස්ක්‍රීම් කොත්තුව දක්වා වර්ධනය වී ඇති බවත් කොත්තුවේ පේටන්ට් අයිතිය අනිවාර්‍යයෙන්ම මෙරට සතු කරගත යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

    ඉකොනෝ,

    අපිට බැරිවෙයිද ඉතාලිය පීසා වලින් ගොඩ ගියා වගේ කොත්තු විකුනන්න සමාගමක් හදලා ලෝකේ පුරාම කොත්තු විකුනලා මේ තියෙන ඩොලර් හිගයට විසදුමක් දෙන්න.

    ReplyDelete
  8. ඉකොනෝ,

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.

    ඉකොනෝ, මේක ඉතාම හොද තීරණයක් නේද. මම නම් මේකට එකගයි. ඉකොනෝ මොකද හිතන්නේ.

    ReplyDelete
  9. අපි කතා කරන අතර තුරේ
    තිස්අට ගුණ අගුණ බලා
    ඒ තිස්අටට තව විස්සක්
    එකතු වෙලා!

    ReplyDelete
  10. 230න් නැවතිල නෑ නේද? කොමර්ශල් බෑන්ක් එකෙ රු250/260
    මොකක්ද ඇත්තටම සිද්ද වෙන්නෙ. කවෘහරි දන්න කෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. දවසකට පසුව 230 සීමාවත් අත ඇරලා. මෙය හොඳ තත්ත්වයක්. බොහෝ විට රුපියල් 260-275 පමණ මට්ටමකට ගිහින් නවතියි. සමහර විට ටිකක් වැඩි වෙලා නැවත රුපියල් 15-20ක් අඩු වෙලා ස්ථාවර වෙයි.

      Delete
  11. //කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.

    ඉකොනෝ, මේක ඉතාම හොද තීරණයක් නේද. මම නම් මේකට එකගයි. ඉකොනෝ මොකද හිතන්නේ.//

    ඇනෝ අහල තියෙන්නෙ මගෙන් නොවුණත් මට උත්තරයක් දෙන්න හිතුන. අපි දැන් ජීවත්වෙන්නෙ වඩා වේගයෙන් තොරතුරු හුවමාරු වන සීමාකම් ඉතාමත් අවම යුගයක. යුරෝපයේ, අප්‍රිකානු හෝ වෙනත් ඕනෑම කලාපයක නිෂ්පාදනයක් හෝ සේවාවක් අපිට ලබාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඇපල් ගත්තොත් අදින් අවුරුදු 30 විතර උඩදි ඇපල් කියන්නෙ බොහොම දුලබ හා ධනපති පංතික පලතුරක්. නමුත් අද අපිට දේශීය පළතුරකට වඩා සමීප හා සුලබ වූවක්. මම දකින්නෙ මේක වීවෘත ආර්ථිකයේ යහපතක් හැටියට මිසක් ව්‍යසනයක් ලෙස නොවෙයි. අපිට ඩොලර් හොයාගන්න ක්‍රම හදාගැනීම හෝ වෙළඳපල ඉල්ලුම සැපයුම අනුව විනිමය අනුපාතිකය තීරණය වීමට හැරීමෙන් මෙම භාණ්ඩවල මිල තීරණය කිරීමට ඉඩ සැලසුවානම් ක්‍රය ශක්තිය අනුව මිනිස්සු කනවද නැද්ද යන්න තීරණය කරනු ඇති. ඔබ හිතන්න ලංකාවෙ ඉඳන් ඩොලර් උපයන අපනයන කරුවන් ගොඩක් ඉන්නව. මේ ආකාරයට අත්‍යවශ්‍ය යැයි සලකා සීමාකරන දෑ එයාලටත් එක්කමයි නැතිවෙන්නෙ. එතන පොඩි සදාචාරාත්මක අවුලක් වගෙයි මට දැනෙන්නෙ. අනිත් එක මේ අත්‍යාවශ්‍ය නොවන යැයි සලකන භාණ්ඩ මහලොකු සුඛෝපභෝගී භාණ්ඩ නෙවෙයි. චීස්, බටර්, ජංගම දුරකථන, ඇපල් මිදි වගේ දේවල් වෙනත් අයෙක් කොහොමද තීරණය කරන්නෙ අනවශයයි කියල. ගෝලීයකරණය තුළ මේවගේ දේවල් හරිම සරළ අවශ්‍යතා නොවෙයිද?
    අපි හරි පව්.අපේ ආර්ථික මෙහෙයවීම තුළ තියෙන නෛසර්ගික අසමත්වීම මිසක් මේ තුළ තියෙන්නෙ දේශීය ආර්ථිකය නංවාලීම පිනිස ගන්න තීරණ නොවෙයි. සාමාන්‍ය මිනිහෙක් පවා භුක්ති විඳපු සරළ අවශ්‍යතා සීමා කරනවා කියන්නෙ අපි නිළ වශයෙන් ප්‍රකාශයට පත් නොවුනත් බංකොලොත් කියන දේම තමයි. අනිත් එක මේවට වැයවන ඩොලර් ප්‍රමාණයත් අති විශාල ප්‍රතිශතයක් නොවෙයි.
    මොනව වුනත් කිසිම දෙයක් නැතිවන තරමට කාල බීල ණයට ජෝලි කරපු මිනිහෙක්ට වෙන්නෙත් මේකමයි. අන්තිමට කන්නත් නැතිවෙනව. ඉතිං උගේ අසමත්කම නිසා ගෙදර උන්ටත් කෙල වෙලාම යනව. දැන් අපිට වෙලා තියෙන දේමයි. ඔන්න ඔහෙ කොහෙල්ල ලාවුලු ගෙඩියක්, සියඹලා කරලක් කාල ඉස්සර වගේ ඉමු.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...