වෙබ් ලිපිනය:

Wednesday, March 23, 2022

දෙසිය අනූවේ සිට...


සල්ලි කියන්නේ මොනවාද කියලා විස්තර කරලා ලිපියක් ලියන්න හිටියත් එය පොඩ්ඩක් කල් දැම්මා. එය පසුව ලියන්නම්. අද වන විට ප්‍රධාන පෞද්ගලික බැංකු වල ඩොලරයක මිල රුපියල් 290 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙකුත් බැංකු බොහොමයකත් රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. මෙය කොතැනින් නවතියිද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා.

මහ බැංකුව හා රජය විසින් ඩොලරයක මිල රුපියල් 300 මට්ටම ඉක්මවන්න නොදී නවත්වාගන්න විශාල ඉඩක් තිබෙන නමුත් ඒ මට්ටමේදී රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන එකනම් සිදු වෙන එකක් නැහැ. මෙයට ප්‍රධානම හේතුව රට තුළ දැවැන්ත සමුච්ඡිත ආනයන ඉල්ලුමක් (accumulated import demand) තිබීමයි.

මේ වන විට දෙවසරක පමණ කාලයක් තිස්සේ රටේ ආනයන පාලනය කෙරෙමින් තිබෙනවා. ආනයන පාලනය නිසා, ආනයනය කිරීම් අඩු වුනත් ආනයන ඉල්ලුම අඩු වන්නේ නැහැ. ආරම්භයේදී මේ ඉල්ලුම සැපිරෙන්නේ සමුච්ඡිත තොග (accumulated inventories) වලින්. ගමේ සිල්ලර වෙළඳසැලෙන් පාරිභෝගිකයා වෙත ආනයන භාණ්ඩ ලැබෙන්නට පෙර සිදුවන ක්‍රියාවලියක් තිබෙනවා. ඒ ක්‍රියාවලිය තුළ අදියර ගණනාවකදී තොග පවත්වා ගැනීමක් සිදු වෙනවා. අවසානයේදී පාරිභෝගිකයාගේ මට්ටමේදීත් තොග නඩත්තු වෙනවා. මගුල් ගෙදරක යන්න තියෙන කෙනෙක් හැම විටම සපත්තු දෙකක් ගන්න කලින් දවස දක්වා ඉන්නේ නැහැ. හැමදාම ගන්න බෙහෙත් ටික මාසයකටවත් කලින් ගන්නවා.

පාරිභෝගිකයාගේ සිට ඉහළට යද්දී, ගමේ සිල්ලර වෙළෙන්දා, ආසන්න නගරයේ තොග වෙළෙන්දා, පිටකොටුවේ තොග වෙළෙන්දා, වරායේ බහලුම් තිබෙන ආනයනකරු, නැවේ ආනයනය කෙරෙමින් තිබෙන බඩු, ඇණවුම් කර ලැබෙන්නට නියමිත බඩු ආදී වශයෙන් තොග එකතු වන ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ නිසා, ආනයන තහනම් කිරීමෙන් පසුව පාරිභෝගිකයාට එකවර භාණ්ඩ හිඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මේ දාමයේ ඉහළ සිට පහළ දක්වා තිබෙන තොග ක්‍රමයෙන් හිස් වෙද්දී අවශ්‍ය පාරිභෝගික ඉල්ලුම සැපිරෙනවා. හැබැයි අවුරුදු දෙකක් යද්දී ඔය සමස්ත දාමයේම තොග අවසන් වෙලා. 

දැන් නැවත ආනයන සඳහා නිදහසේ ඩොලර් නිකුත් කළොත් පාරිභෝගිකයාගේ සාමාන්‍ය ආනයන ඉල්ලුම පමණක් සම්පූර්ණ වෙලා වැඩේ නවතින්නේ නැහැ. කාලයක් තිස්සේ හිස් වූ තොග එකතු නැවත පිරෙන්න ඕනෑ. මිල ඉහළ යාම නිසා පාරිභෝගික මට්ටමේදී ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන නමුත් තොග එකතු පිරෙන තුරු (backlog) එක වර ඇති වන (one-off) විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. නමුත්, අනෙක් පැත්තෙන් එවැනි තත්ත්වයක් නැහැ. ලංකාවේ අපනයන වෙනුවෙන් එසේ සමුච්ඡිත ඉල්ලුමක් ගොඩ නැගී නැහැ. ශ්‍රමික ප්‍රේෂණ වලින් පමණක් එසේ සමුච්ඡනය වූ ඩොලර් ප්‍රමාණයක් එකවර රටට ලැබෙයි. 

ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් යම් මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයි. ඒක කොහොමටත් වෙන දෙයක්. හැබැයි ඒ මිල කීයටවත් රුපියල් 300 වැනි පහළ මට්ටමක් නෙමෙයි. 

ඩොලරය රුපියල් 300 වැනි මට්ටමක ස්ථාවර කර ගැනීම අසීරු වෙන්න තවත් නිශ්චිත හා පැහැදිලි හේතුවක් තිබෙනවා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය මුළු සංචිත මුදල් ප්‍රමාණයට සමාන වන තුරු ඩොලරයේ මිල ඉහළ යනවා. එහෙම නැතුව අවුරුද්දක් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ රුපියලේ දිගුකාලීන ස්ථායීතාවය තීරණය වෙන්නේ ඔය මූලධර්මය අනුවයි. 

මේ වෙද්දී (මාර්තු 16) සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370ක්. ඔය ගණන 300න් බෙදුවොත්, ඩොලර් බිලියන 4.5ක් පමණ. ඒ කියන්නේ, දිගුකාලීනව ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5ක මට්ටමට යා යුතුයි. නමුත් දැන් කලක සිටම ලංකාවේ මහ බැංකුව බංකොලොත්. මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය බිලියන 2ක පමණ හිඟයක්. 

පහත තිබෙන්නේ පසුගිය වසර මැද පළ කළ ලිපියක්. 

මහ බැංකුව බංකොලොත්ද?

ඒ කියන්නේ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 6.5ක් පමණ එකතු කර ගන්න වෙනවා කියන එකයි. ඩොලරය රුපියල් 400 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා වුවත් මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 5.4ක් පමණ එකතු කර ගත යුතුයි. දැනට තිබෙන තත්ත්වය අනුව, මේ වගේ දෙයක් හදිසියේ සිදු විය හැකි එකම ක්‍රමය IMF එකෙන් ඩොලර් බිලියන 5ක පමණ ණයක් ලැබෙන එක පමණයි. 

පොලී අනුපාතික අනිවාර්යයයෙන්ම ඉහළ දැමිය යුතුයි වගේම එයින් සැලකිය යුතු වාසියක් ලැබෙයි. එහෙත්, පොලී අනුපාතික 30-40% මට්ටමකට ඉහළ දමන එක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙමෙයිනේ. එසේ කිරීමෙන් සිදුවන අතුරු ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තියක් මේ වෙලාවේ ආණ්ඩුවට නැහැ. පොලී අනුපාතික යම් තරමකින් හෝ වැඩි කිරීමෙන් (15% පමණ මට්ටමකට) කිසියම් සහනයක් ලැබෙනු ඇති නමුත් එවැනි වැඩි කිරීමකින් ඩොලරය ස්ථාවර වෙන එකනම් සිදුවන එකක් නැහැ. එසේ වුවත්, මෙය අනිවාර්යයෙන්ම කරන්න සිදු වන දෙයක් නිසා එකවර වෙළඳපොළ කම්පනය නොකර දැන්ම වැඩේ පටන් ගන්න එකයි කළ යුත්තේ. 

දැන් ඩොලරය ස්ථාවර කළ හැකි එකම දෙය IMF එකෙන් ලැබෙන මුදල, ලැබෙන දිනය හා අදාළ වැඩපිළිවෙළ පිළිබඳ නිශ්චිත නිවේදනයක් පමණයි. එය IMF එක පැත්තෙන් හෝ එකවර දෙපැත්තෙන්ම පැමිණිය යුතුයි. එය සිදු වන තුරු ඩොලරය ඉහළ යන එක නැවැත්තුවොත් මිසක් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී නවතින්නේ නැහැ. ඩොලරයේ මිල ස්ථාවර වීම කෙසේ වුවත් ස්ථාවර කිරීමක් මේ සතිය අවසාන වෙද්දී වෙයි කියා මට හිතෙනවා. ඇතැම් විට ලබන සතියේ. 

42 comments:

  1. බලෙන් ස්තාවර කලාම ආපහු ප්‍රශ්නයේ මුලට යන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. රුපියල් 200 මට්ටමේ හිර කර ගෙන සිටීම සහ ඉතා ඉක්මණින් IMF වැඩ පිළිවෙළ එළියට දමන තුරු තාවකාලිකව රුපියල් 300 මට්ටමේ තියා ගැනීම එකක්ම නෙමෙයි. ඩොලරයට රුපියල් 200 ක්‍රය ශක්ති සාම්‍යය සැලකූ විට නියම මිලට වඩා අතිශයින් අඩු මිලක් වුවත් රුපියල් 300 බොහෝ විට ඊට වඩා වැඩි මිලක්. එමෙන්ම එකවර 50%කින් මිල ඉහළ යාමක්. එවැනි විශාල වෙනසකට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙළඳපොළට යම් ඉඩක් සැපයීම නරක දෙයක් නෙමෙයි. දවසකට රුපියල් 5 බැගින් ඩොලරයේ මිල වැඩි වෙද්දී ඩොලර් එවන අය මිල දෙස බලමින් ඩොලර් එවන එක ප්‍රමාද කරනවා. මෙය සතියකට දෙකකට නැවතුනොත් එකවර යම් ඩොලර් ප්‍රමාණයක් රටට එනවා. IMF එකෙන් දැනටමත් යෝජනා කෙටුම්පතක් එවලයි තියෙන්නේ. ආණ්ඩුව ඉතා ඉක්මණින් IMF එක සමඟ එකඟත්වයකට එන්න ඉඩ තිබෙනවා. ඩොලරයේ මිල ඉතා ඉක්මණින් රුපියල් 400 වීමෙන්, එය රුපියල් 300 මට්ටමේ තිබීමට සාපේක්ෂව විශාල වාසියක් වෙන්නේ නැහැ. නමුත්, රුපියල් 200 සිට රුපියල් 300 දක්වා මිල ඉහළ යාමේ විශාල වාසියක් තිබෙනවා.

      Delete
    2. නමුත් මම හිතන්නේ මේ කියන විදිහට ලංකාවේ ආණ්ඩුවට ඕක පාලනය කිරීමට බැහැ ඩොලර් එක මේ මාසය තුල රුපියල් 500 ඉක්මවා යන බව ලංකාවේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා ඒ වගේම පිටරට ඉන්න ලංකාවේ අය ඩොලර් එවන්නේ නෑ තව දුරටත් ඩොලර් තියාගෙන ඉන්නවා එතකොට වැඩේ තවත් කෙළවෙනවා මම නම් හිතන්නේ ඩොලර් එක රුපියල් 2000 ට ගිහින් කෙළවීලා අකුලෝලම පලයන් කියලා එතකොට ඡන්ද දීපු හැට නම ලක්ෂයේ මී හරක් බයියෝ හැත්තට තියෙන ලෙඩ ටික ටික සනීප වෙලා හොර පවුලම රටින් ගහල පන්නන්න පටන් ගත්තාම වැඩේ හරි. ඊළඟ ආණ්ඩුවට උනත් එතකොට තියෙන පීඩනය ගොඩක් අඩුයි හරියට 1977න් පස්සේ වගේ. අයි එම් එෆ් එක එකපාරටම සල්ලි දෙන්නේ නැහැ කාලයක් තිස්සේ කල් අරගෙන මාස හයක් පමණ ගිහින් යන්තම් ඩොලර් බිලියන එකක් විතර දුන්නොත් කොහොම ද කෙළවිලා යයි නේද?

      Delete
    3. ඔය වෙන ඇනෝ කාරයෙක්.
      ඉකොනො ආපහු ෆේස් බුක් බ්ලොක් උනාද?

      Delete
    4. //අයි එම් එෆ් එක එකපාරටම සල්ලි දෙන්නේ නැහැ කාලයක් තිස්සේ කල් අරගෙන මාස හයක් පමණ ගිහින් යන්තම් ඩොලර් බිලියන එකක් විතර දුන්නොත් කොහොම ද කෙළවිලා යයි නේද?//

      අයි එම් එෆ් එක කල් ගන්නේ නැහැ. යන්තම් ඩොලර් බිලියන එකක් විතර දී අත පිහ දාගන්නේත් නැහැ. ප්‍රමාදයක් සිදු විය හැක්කේ ආණ්ඩුවේ පැත්තෙන් පමණයි. දැන් තත්ත්වය අනුව ආණ්ඩුව එතරම් කල් ගන්න එකක් නැහැ.

      Delete
    5. //ඉකොනො ආපහු ෆේස් බුක් බ්ලොක් උනාද?//

      ෆේස් බුක් එකේ ලින්ක් දමන්න බැහැ. එය වෙනස් වුනේ නැහැ. නමුත්, මුළු ලිපියම කොපි කරලා දමන්න පුළුවන්.

      Delete
    6. ඒ උනාට දැන් ආපහු ලිපි පේන්නෙ නෑ වගෙ.

      Delete
    7. හොඳයි නමුත් මම හිතන්නේ මේ දේවල් ගැන සාකච්ඡා කිරීමට හොඳම දේ මේ බ්ලොග් එකේ කියලා ෆේස්බුකිය එච්චරම සෙට් නෑ මේ වගේ හරබර සාකච්ඡාවක් පවත්වා යම් යම් කාරණා ගැන ගැඹුරින් කල්පනා කරලා ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට සහ අවුල් සහගත තැන් නිරවුල් කර ගැනීමට. එහෙම නේද?

      Delete
    8. කොහොමත් ෆේස්බුක් එකේ දමන්නේ මෙහි දමන ලිපි. හොඳ සාකච්ඡාවක් පවත්වා ගත හැකි පිරිසක් එහිත් සිටිනවා. මගේ වැඩි මනාපය බ්ලොග් එකටයි.

      Delete
    9. //අයි එම් එෆ් එක කල් ගන්නේ නැහැ. යන්තම් ඩොලර් බිලියන එකක් විතර දී අත පිහ දාගන්නේත් නැහැ. ප්‍රමාදයක් සිදු විය හැක්කේ ආණ්ඩුවේ පැත්තෙන් පමණයි. දැන් තත්ත්වය අනුව ආණ්ඩුව එතරම් කල් ගන්න එකක් නැහැ.//

      Debt sustainability ප්‍රශ්න තියනවා නම් IMF එකට එක පාර නයක් දෙන්න අමාරුයි කියලා සමහරු කියනවා නෙද? එහෙම වුනොත් debt restructure කරලා ඉන්න ඔනි ලු නෙද? එකට ටිකක් කල් යනවලු නෙද? එ නිසා එකට ඉක්මනින් ම ඩොලර් බිලියන 5ක් දෙන්න අමාරු වෙයි නෙද?

      Delete
    10. IMF එක draft එකක් එවලා කියලා බැසිල් කිවුවනේ. ලිහන්න තියෙන මල්ල ඔබන්නේ නැතුව ඒක එළියට එනකම් ඉම්මුකෝ.

      Delete
  2. ප්‍රයිමරි ඩීලර්ස් ප්‍රශ්නය මම මෙතන අහන්නම්.
    ලන්කාවෙ ප්‍රයිමරි ඩීලර්ස්ල ගාන කොහොමට ඇමෙරිකාවෙ වගෙ විශාල ප්‍රමානයක් නැති නිසා මහජනයාට විවෘත කරන එක නෙමෙයිද හොඳම දේ?
    නැතිනම් කාර්ටෙල් විදියට ක්‍රියාත්මක වෙනව කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම සෙකන්ඩරි ඩීලර්ස්ලා ලෙස තව තවත් මේවා අතින් අතට හුවමාරු කරගන්න පුලුවන් ද? පර්පෙචූවල් එක වගේ ඔය ඩීලර්ස්ලා මහ බැංකුවේ අධිපති සහ භ ඊටත් වඩා එහි නිලධාරීන් සමග හිතවත්ව තම වාසියට එම ප්‍රතිපත්ති වෙනස් කිරීමට පුළුවන් නේද? ඒ වගේම ඔබ දකින්නට ඇති ලංකාවේ වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවල තිබෙන බව, ඒකෙදි එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටි අතර එහිදී මහ බැංකු අධිපති කබර හොරා කරපු ප‍්‍රකාශයකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් දැඩි ප්‍රතිචාරයක් දැක්වූ අතර ඉන් දැඩි අපහසුතාවයට පත්වී ජනාධිපති කියා සිටියේ තමන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවයි. මේ බලන්න මේක... හහ් හහ් හා

      https://www.youtube.com/watch?v=bNoq_tfZE-U&t=12s

      මේකෙන්ම පේනවනේ කබ්බා කියන්නේ කොච්චර ලොකු මෝඩයෙක්ද කියලා. එහෙම මෝඩයෙක් අධිපති පුටුවෙන් එලවන්නේ නැතුව මේ රට ගොඩ දාන එක සිහිනයක්. රනිල් මේ අද අරම්භයම කල කතාව හැමෝටම රිදෙන්න දුන්න එක ගැන අගය කල යුතුමයි... බයිලා වැඩක් නෑ ඕන විසදුමක්.

      2018 USD 1 = Rs. 183 වෙච්ච වෙලාවේ රු 340 ට තිබ්බ කිරිපිටි 380 වෙනකොට රනිල්ට ළමයි නෑ කිව්වෙ ඒකයි එයාට තේරෙන්නෙ නෑ කියල. ඉන්පසු ඔවුන් දරුවන් සහ මුණුබුරන් සමඟ මේ හොර පවුල ගෙනාවා. දැන් කිරි පිටි මිල රු. 900යි. දේශීය කියන ඒවාත් ඊට ආසන්න ගණනක්.

      බැසිල් අමු ගොබ්බයෙක් කියල මුළු රටම අද දැක්කා. රනිල් හීනියට ප්‍රශ්න දෙකයි ඇහුවේ, බැසිල් ගේ සරමයි යට කලිසම යි දෙකම බිම. මට දුක මේ ගොබ්බසෙනලට කඩේ යන පූට්ටු කුකුකෝ ගැන. රෙදි ඉල්ලෛ නේද?

      Delete
    2. //ලන්කාවෙ ප්‍රයිමරි ඩීලර්ස්ල ගාන කොහොමට ඇමෙරිකාවෙ වගෙ විශාල ප්‍රමානයක් නැති නිසා මහජනයාට විවෘත කරන එක නෙමෙයිද හොඳම දේ?//

      ඇමරිකාවේ විශාල ප්‍රමාණයක් නැහැ. 24ක් පමණයි. ලංකාවේ වෙන්දේසියට කෙළින්ම යාමේ ඉඩක් තිබෙන අයෙකුට බොහෝ විට එසේ ගොස් ලැබෙන මිලම මෙන් ලබා ගත හැකි තරමේ තරඟයක් ප්‍රාථමික වෙළඳුන් අතර තිබෙනවා. ඒ නිසා එසේ කළා කියලා කවුරුවත් රජයට අඩුවට සල්ලි දෙන්න ඉදිරිපත් වීමේ ඉඩක් නැහැ. කාටල් තිබුණත් එම කාටල් වල භූමිකාව ටිකක් වෙනස් එකක්. වෙන්දේසිය මහජනයාට විවෘත කලා කියලා ඒ කාටල් නැති වෙන්නේ නැහැ. (රාජ්‍ය බැංකු හා EPF එක පෞද්ගලීකරණය කළොත් පමණක් එවැන්නක් සිදු වෙයි. )

      Delete
    3. මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන් වන ප්‍රයිමරි ඩීලර්ස්ලා වන ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු ආයතන වලටත් මේ සම්බන්ධයෙන් බලපෑම් එල්ල කර පොලි අනුපාත අඩු කරලා රජයට වාසි සහගත ලෙස තත්ත්වය වෙනස් කිරීමට පුළුවන් නේද? ලංකාවේ ඔය කියන 13 දෙනා අතර තරගයක්ම නෑ මම හිතන්නේ මේ දහ තුන් දෙනාම එකිනෙකා කතා බහ කරලා සහයෝගයෙන් වඩේ දෙන්නේ එහෙම නේද?

      Delete
    4. //මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන් වන ප්‍රයිමරි ඩීලර්ස්ලා වන ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු ආයතන වලටත් මේ සම්බන්ධයෙන් බලපෑම් එල්ල කර පොලි අනුපාත අඩු කරලා රජයට වාසි සහගත ලෙස තත්ත්වය වෙනස් කිරීමට පුළුවන් නේද?//

      ඔව්.

      //ලංකාවේ ඔය කියන 13 දෙනා අතර තරගයක්ම නෑ මම හිතන්නේ මේ දහ තුන් දෙනාම එකිනෙකා කතා බහ කරලා සහයෝගයෙන් වඩේ දෙන්නේ එහෙම නේද?//

      යම් තරමකින් එවැන්නක් සිදුවනවා වුවත් තරඟයක් තිබෙනවා. බොහෝ සේ සාකච්ඡා වී තිබෙන 2015 පෙබරවාරි වෙන්දේසියේදී ලංකා බැංකුව රුපියල් 119.3342ට ලන්සු තියද්දී සෙලාන් බැංකුවේ ලංසුව රුපියල් 62.6216ක් වුනේ තරඟයක් තිබෙන නිසා නේද?

      Delete
    5. ලන්කා බැන්කුව රජයේ නිසා රජයට වාසි වනලෙස ලන්සු ඉදිරිපත් කලා කියල හිතුවත්?

      Delete
    6. AnonymousMarch 24, 2022 at 4:53 AM

      ඔව්. එහෙම කරන එක තමයි වැරැද්ද.

      Delete
  3. //ඩොලරයේ මිල ස්ථාවර වීම කෙසේ වුවත් ස්ථාවර කිරීමක් මේ සතිය අවසාන වෙද්දී වෙයි කියා මට හිතෙනවා. ඇතැම් විට ලබන සතියේ. //

    මේ කියන්නේ අර පහුගිය දවස් වල වගේ බලහත්කාරයෙන් ඩොලර් එක රුපියල් 200 මට්ටමක තියන් හිටියා වගේ මේ සැරේ රු. 300 කරලා බලෙන් තියාගෙන ඉන්න හදනවා කියලා ද ඔය කියන්නේ?

    මම හිතන්නේ ඒක කරන්න බෑ මොකද ඩොලර් එක පාලනය කර ගත හැකි තරම් සංචිත මුදල් ලංකාවේ මහ බැංකුවේ නෑ නේද? ආණ්ඩුවට ඔහේ උඩ බලාගෙන ඉන්න විතරයි පුළුවන් ඩොලර් එක රුපියල් 500 සහ 600 විදිහට මේ මාසේ වැඩී වෙලා අප්රේල් වලින් පස්සේ ආපහු තව වේගයෙන් වැඩි වෙයි, ගොඩක් වෙලාවට ලබන ජූලි මාසයේ වගේ වෙද්දී ඩොලර් එකක් රුපියල් 1,200 ඉක්මවා යන බව මට නම් හොඳටම ෂුවර්.

    අනෙක් කාරණය කවමදාවත් අයි එම් එකෙන් ලංකාවේ ආණ්ඩුවට ඩොලර් බිලියන පහක් නම් මළාට දෙන්නේ නෑ මම අභියෝග කරනවා අඩු තරමින් ඩොලර් බිලියන තුනක් වත් දෙන එකක් නෑ මොකද උපරිම වශයෙන් ලංකාවට ඇමරිකා ඩොලර් බිලියන 2.8 ක් විතර දක්වා දේවි ඉතුරු මුදල වෙනමම හොයා ගන්න වෙනවා.

    අයි එම් එෆ් එකටත් වැඩිපුරම මුදල් ලබා දෙන රට වන චීනය මැදිහත් වීමෙන් ලෝකේ ලොකුම බැංකුව වන බෑන්ක් ඔෆ් චයිනා වගේ එකක් හරහා තව ඩොලර් බිලියන දෙක හමාරක් විතර ගන්න පුළුවන් වේවි අර චීන ලංකා නිදහස් වෙළද ගිවිසුම අත්සන් කරොත් අනේ මන්දා ඒකෙන් රටට මොන වගේ බරපතල අර්බුද ඇති වේවිද දන්නේ නෑ චීනයේ සිට ආනයනික භාණ්ඩ වලට අධික ලෙස බදු සහන දීම නිසා ඩොලර හිඟය තව දුරටත් වැඩි වීම රජයේ තීරු බදු ආදායම තවත් අඩු වීම දේශීය නිෂ්පාදන කර්මාන්ත තව දුරටත් විනාශ වීම සහ තව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවන බව පේනවා. ඇත්තටම ලංකාවේ මේ වනවිට ඇති ආර්ථික අර්බුදයට කාටවත් කිසිම ආකාරයකින් විසඳුමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. //මම හිතන්නේ ඒක කරන්න බෑ මොකද ඩොලර් එක පාලනය කර ගත හැකි තරම් සංචිත මුදල් ලංකාවේ මහ බැංකුවේ නෑ නේද?//

      රුපියල් 200 මට්ටමේ තියා ගත්තෙත් සංචිත තිබිලා නෙමෙයි. ආනයන සීමා කරලා. එම ආනයන සීමා තවමත් ඉවත් වී නැහැ.

      //ඇත්තටම ලංකාවේ මේ වනවිට ඇති ආර්ථික අර්බුදයට කාටවත් කිසිම ආකාරයකින් විසඳුමක් නෑ නේද?//

      විසඳුම ගැන දැන ගන්න වැඩි කාලයක් ගතවෙයි කියා මම හිතන්නේ නැහැ. දැනටමත් IMF එක කෙටුම්පතක් එවා තිබෙනවා.

      Delete
  4. ආර්ජන්ටිනාව වගෙ රටවල් imf ගියත් නැවත නැවතත් බන්කොලොත් නේද? එහෙම වෙන්නෙ ආර්ජන්ටිනාව රෝඩ් මැප් එකෙන් පිට පනින නිසාද?

    ReplyDelete
    Replies
    1. වඩා වැදගත් දේ කතා කළ යුතුව තිබියදී මේක කතා කරන්න ගියොත් අනවශ්‍ය ආයාසයක් යොදවන්න වෙනවා. කෙටි පිළිතුර IMF යන එක කෝකටත් තෛලයක් නෙමෙයි. දැන් ලංකාව වැටී ඉන්න මට්ටමට වැටුනට පස්සේ IMF විසඳුමකින් පසුව වුවත් හරි පාරට දමාගන්න අමාරු වෙන්න පුළුවන්. මේ ගැන අවබෝධයක් තියෙන අය IMF යා යුතු බව කලින්ම යෝජනා කළේ ඒ නිසා.

      Delete
  5. ඉකොනොමැට්ටා මෙතනදි අමතක කරපු කාරණයක් තියෙනවා. 1974 දී එවක අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාන ලදි. ඒ ලංකාවට මේ වෙලාවේ වගේම ආනයනය සඳහා විදේශ විනිමය ප්‍රමාණවත්ව නොලැබීමයි.

    ඒ වෙලාවට එවකට ලංකාවේ විසූ අති විශිෂ්ඨ මැණික් ව්‍යාපාරයේ විශිෂ්ටයෙකු වූ එම්. අයි. එම්. නලීම් හාජියාර් මැතිතුමා රජයේ අර්බුදකාරී තත්වය තේරුම් ගෙන සිය මුදලින් ඩොලර් මිලියන එකහමාරක් (1,500,000) විදේශ විනිමය සඳහා පරිත්‍යාග කළා.

    මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ, සාමාන්‍ය පුරවැසියෙකු විසින් විදේශ විනිමය සඳහා රජයට පරිත්‍යාග කළ පළමු අවස්ථාව ලෙස සනිටුහන් වේ. මෙම සුවිශේෂ සිදුවීම නලීම් හාජියාර් හට ද සමස්ත මුස්ලිම් ප්‍රජාවට ගෞරවයක් ගෙන දුන්නා.

    මෙම ‌‌‌‌ඓතිහාසික වැදගත් සිදුවීම 1974 අගෝස්තු 14 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

    මෙම අවස්ථාවට එවක මුදල් ඇමති ආචාර්ය එන්.එම්. පෙරේරා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය අල්හාජ් බදියුදින් මහමුද්, නියෝජ්‍ය කථානායක සහ බෙරුවල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අල්හාජ් නව්ෆල්, අමාත්‍යවරු වූ එස්. ජාබීර්, මුහමමද් කාසිම්, ඒ එම් එම් ඉක්බාල් යනාදි මහත්වරුන් සහභාගි වු අතර මෙම සුවිශේෂ සිදුවීම සිදු වී වසර 48ක් සපිරෙන මේ වසරේදී දිවියෙන් සමුගත් එම්. අයි. එම්. නලීම් හාජියාර් වැනි උදාර පුද්ගලයින් විසින් ලංකාවට සිදුකළ අති විශාල විශිෂ්ට දායකත්වයන් ඉතිහාසයෙන් සදා නොමැකෙන පරිදි අලුත් පරම්පරාවට දැන ගැනීමට ඔබත් මෙහි පාඨකයන් සියලු දෙනාමත් ජනගත කර හැමෝම දැනුවත් කරන්න උනන්දු විය යුතු යි නේද?

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා දන්නවා ඇති නේද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා න්යූලන්ඩ් (Victoria Nuland) අද මාර්තු 23 හවස ලංකාවේ ජනපතිවරයා හමු වුණ බව?

    කොහොම හරි අද පාන්දරම පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ උතුරේ දමිළ ජාතික සන්ධානය සමග සිකුරාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ප්‍රෝග්රස් එක ජනාධිපති න්යූලන්ඩ්ට වාර්තා කරලා තියෙන්නේ. මෙතනදි එක්සත් ජනපදයේ රූකඩයක් වූ ලංකාවේ ජනපතිවරයාගේ ටාගට් ඇචීව් සහ පෆෝමන්ස් පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩා, එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින දමිළ ජනයා වෙනුවෙන් එම ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් අතර දමිළ ඩයස්පෝරා සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදා දීමට දේශපාලනික විසඳුමක් ලබා දෙමින් එම උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරීමට උතුරේ දමිළ ජනයා වෙනුවෙන් ඔවුන්ට ඇරයුම් කරන බවද අවධාරණය කර තිබෙනවා.

    ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරිත බලශක්ති වැඩපිළිවෙලේ ෆෑන් කෙනෙක් වන ලංකාවේ ජනපතිවරයා එක්සත් ජනපදයේ පවතින නූතන හරිත තාක්ෂණය ලංකාවට හඳුන්වා දීමටත් එක්සත් ජනපදයේ සහය ඇතුව ලංකාවේ සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට උපරිම වශයෙන් සහාය ලබාදීමටත් පියවර ගන්නා බව න්යූලන්ඩ් සහකාර ලේකම් සඳහන් කළා.

    මේ අතරම ලංකාවේ උසස් අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් එක්සත් ජනපදයේ සරසවි වලට අනුයුක්ත කර ලංකාවේ පෞද්ගලික සරසවි හරහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන් අතර කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව ලංකාවේ ජනපති පැවසූ විට එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර ගැන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් විමර්ශනය කළ අතර ඊට පස්සෙ එය න්යූලන්ඩ් ලේකම්තුමීගේ දැඩි ඉහළ ඇගයීමකට ලක් වුණා.

    ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රට පුරා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපති දූත පිරිසෙන් ආයාචනා කළ අතර එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩොන් ලු (Don Lu), ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි (Amanda Dory), දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් (Geoff Chanin) වැනි අයද මේ ගැන උපදෙස් ලබා දී සාකච්ඡාව දිගටම කරගෙන ගියා කියලා කියන්නේ.

    ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත සහ විජිත හේරත් මේ ගැන මාධ්‍ය මගින් පවසන්නේ මෙම වත්මන් දූෂිත ආණ්ඩුව එම් සී සී ගිවිසුම වෙනත් නමකින් රහසිගතව උතුරු නැගෙනහිර ආයෝජනය කරන්න උතුරේ ඩයස්පෝරාව එන බව පවසමින් ජනයා රවටා කෙසේ හෝ පහුගිය කාලේ ලංකාවට ගේන්න හදපු ජවිපෙ ජාතික ජන බලවේගයේ මූලිකත්වයෙන් එසේ කිරීමට ඉඩ නොදී බේරා ගත් රටට ඉතාමත්ම භයානක හානිකර දෙයක් වන කුප්‍රකට එම් සී සී ගිවිසුමේ පැවති ඇමරිකානු අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන අයුරු මෙයින් ගම්‍ය වන බව. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  7. සංස්ථාවේ මාළු
    සංස්ථාවේ අරක්කු
    සංස්ථාවේ පොල්
    සංස්ථාවේ යකඩ
    සංස්ථාවේ සිමෙන්ති
    සංස්ථාවේ දැව
    සංස්ථාවේ තෙල්
    සංස්ථාවේ ලුණු
    සංස්ථාවේ බෙහෙත්
    සංස්ථාවේ කජු
    සංස්ථාවේ තල්
    සංස්ථාවේ රක්ෂණය
    සංස්ථාවේ රුපවාහිනීය
    සංස්ථාවේ සිනමාව
    සංස්ථාවේ නැව්
    සංස්ථාවේ පිගන්


    අපි සංස්ථාවේ කොල්ලෝ.

    කුකුළුමස් එක්ක බත් කන්න සංස්ථාවක් නැත්තේ ඇයි ඉකොනෝ? ලංකා කුකුළු ,මස් සංස්ථාව පිහිටුවා දෙන මෙන් අප මෙයින් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  8. //ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං...
    නිවාඩු නැත්තන් මෙඩිකල් දාපු එකා මං...//

    ReplyDelete
  9. සර්ව පාක්ෂික සමුළුව
    හරියට
    හොරු රෑනක්
    සිල් ගත්තා වාගෙයි!

    ReplyDelete
  10. Imf මිනිස්සු හදාගත් සම්මුතියක් විතරයි..ඒ සම්මුතිය හදුවේ යුදෙව්වෝ imf 1944 න් පස්සේ..1947 imf හදලා ණය දුන්නේ ලෝකය යුදෙව් තනි පාලනයකට ගන්න..ලෝකය imf එකට ණය ඩොලර් ට්‍රිලියන 236 යි..ලොකේ මුලු රට වල මුලු ආදායම ඩොලර් ට්‍රිලියන 90 යි..මොකක්ද වෙන්නේ හිතන්න.. ඇයි හිට්ලර් යුදෙව්වන්ව මැරුවේ ..ඒවන විටත් මූලු ලෝකයේ ආර්ථික බලය යුදෙව්වෝ පාලනය කරපු නිසා..හිට්ලර් කියන්නේ තව අවුරුදු 100 විතර යනකොට ලෝකය දැනගනිවි ඇයි මම යුදෙව්වන්ව මැරුවේ ..එදාට මා ගැන තියෙන ඉතිහාසය නිවැරදි වෙවි.. ඒක පටන් ගතතා 2020 ඉදලා ලෝක ණය කරගෙන ඇවිත් ජනගහනය අඩුකරන සැලැස්ම පටන් ගත්තෙ 2020 ඉදලා කොරෝනා වලින්,,මිනිසුන්ගේ ප්‍රතිශක්තිය අඩුකරන එන්නත් ගැහුවා,ආර්ථිකය වට්ටනවා,සහ ලෝක යුද්ධය ඇති කරනවා..2030 යුදෙව් ලෝක රාජ්‍යය හදන සැලසුම සම්පුර්ණ කරගන්න...දැන් තෙල් පොලිම්,ඩීසල් පොලින් එන්නේ ඒකය....ජනගහවය මරා දැමිමේ සැලැස්මට..ඒක සරල දෙයක් ඔවුන්ට...මිනිස්සු ලොකුවට ලොකය ගැන හිතන් හිටියට වැඩක් නෑ..මිනිසුන්ට ඕන දේ වෙන්නේ නෑ..තනිකර යුදෙව් /imf අධ්‍යාපන ක්‍රමයෙන් හා මාධ්‍ය වලින් ඔබගේ හා ලෝකයේම මිනිසුන්ගේ මනස අන්ධ කරලා තියෙන්නේ..මේ ඇත්ත තේරුම් ගන්න බැරිවෙන්න.. 2022-3-24

    ReplyDelete
    Replies
    1. //ලෝකය imf එකට ණය ඩොලර් ට්‍රිලියන 236 යි//

      මම හිතුවේ ලංකාවේ හැම දේම ගණන් ගිහින් කියලා. තණමල්විල වගේ පැති වල එහෙම වෙලා නෑ වගේ. ඕකේ බිංදු තුනක් කපලා දෙකෙන් බෙදලා ගන්න.

      Delete
  11. ඉකොනොමැට්ටා ලංකාවෙ පාර්ලිමේන්තුවේ පැවති අලුත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට ආණ්ඩුව අත්සන් නොතැබුවත් එම එම්.සී.සී. ගිවිසුම ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ගිය ඉඩම් මූල්‍යකරණ වැඩසටහනට අවශ්‍ය සියලුම නීති සංශෝධන වත්මන් දූෂිත ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හෙළිදරව් කළා.

    පාර්ලිමේන්තු විවාදයේ කෙටි විඩියෝවක්

    https://www.youtube.com/watch?v=_zcI6_Q4Mwg

    ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ පැහැදිලි කිරීම:

    “මේකෙ හැටියට ලංකාවේ ගොවීන්ට මේ ඉඩම් උකස් කරන්න වෙනවා, ඒ අයිතිය දැනටමත් මේ පනතේ තියෙනවා. හැබැයි දැනට උකස් කරන්න පුළුවන් වෙන්නෙ රාජ්‍ය බැංකු ආයතනයක විතරයි, ඒකත් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය සහ අධීක්ෂණය යටතේ. දැන් අලුත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි සිද්ධ වෙන්නෙ ඕනෑම බැංකුවක් යටතේ මේක උකස් කරන්න පුළුවන්. දැන් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවලටත් එනවා නම් ඔවුන්ට ඉඩම් උකස් කිරීමේ බලය මේක අතිශයින්ම භයානකයි. ඉඩම් මූල්‍යකරණයට යන මාවත තමා මේ සංශෝධන තුළින් සකස් කරන්නෙ. මේක ඉඩම ප්‍රාග්ධනයක් බවට පත්වෙන්නෙ මහා පරිමාණයේ ව්‍යාපාරිකයින්ට සහ මූල්‍ය ආයතනවලට. MCC එක ආවෙ නැතත් MCC එකට අවශ්‍ය වෙන දේ මේ සංශෝධන හරහා සිද්ධ වෙනවා”

    මේ කියන පණත හරහා ලංකාවේ ගොවීන්ට සහ කෘෂි ආර්ථිකයට විශාල විනාශයක් වෙන බවයි පැවසෙන්නේ, මේ ගැන වැඩි විස්තර සහිතව පැහැදිලි කරමින් පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. //මේ කියන පණත හරහා ලංකාවේ ගොවීන්ට සහ කෘෂි ආර්ථිකයට විශාල විනාශයක් වෙන බවයි පැවසෙන්නේ///

      මෙය කිරීමෙන් දැන් තිබෙන සමාජවාදී ක්‍රමයට ගොවියාගේ පුතාත් ගොවියෙකු ලෙසම ගමේ හිර කර තියාගෙන නගරයට පැමිණ වඩා ඵලදායී කටයුත්තක යෙදෙන එක යම් කාලයකට හෝ වලක්වන්න බැරි වෙනවා. ලංකාවේ කෘෂිකර්මය කාර්මීකරණය වීම ප්‍රමාද කරන්න බැරි වෙනවා. වෙළඳපොළ දියුණු කිරීම හා නිෂ්පාදනය ඉහළ දැමීම හරහා රටේ දැන් තිබෙන ඩොලර් ප්‍රශ්නයත් විසඳාගෙන මැදි ආදායම් උගුලෙන් ගැලවෙන එක වලක්වා ගන්න බැරි වෙනවා. ලංකාව නැවතත් ග්‍රාමීය කෘෂිකර්මය මත යැපෙන ප්‍රාථමික ආර්ථිකයක් බවට පත් කිරීමේ ඉලක්ක කණපිට ගැහෙනවා. උතුරු කොරියාව වැනි ජාතික සමාජවාදී රාජ්‍යයක් බවට ලංකාව පත් කිරීමේ බලාපොරොත්තුව බිඳ වැටෙනවා. රජය දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන, කියන රස්සාවක් කරගෙන, කට වහගෙන සිටීමේ නිදහස මිනිස්සුන්ට නැති වෙනවා.

      Delete
  12. මෙ අවුරුද්දෙ ණය ගෙවන්න ඩොල්‍රර් බිලියන අච්චරක් ඕනෙ මෙච්චරක් ඕනෙ කියන්නෙ ලන්කාවෙ රාජ්‍ය ණය ගැනද? නැතිනම් රටේ විදේශ ණය ගෙවන්න ඕනෙ ගානද?

    ReplyDelete
    Replies
    1. රටේ විදේශ ණය වලින් මහ බැංකුවට පහසුවෙන් ඇස්තමේන්තු කළ හැකි කොටස. බොහෝ දුරට රජයේ හා මහ බැංකුවේ ණය.

      Delete
    2. එහෙම නොවෙන විදේශ ණය මොනවාද? එහෙම ඇස්තමේන්තු නැති විදේශ ණය external debt වලට කව්න්ට් වෙනවද?

      Delete
    3. සංඛ්‍යාලේඛණ වලට අහු නොවෙන කොටස් තියෙන්න පුළුවන්. සංඛ්‍යාලේඛණ වල තිබෙන කොටස මිසක් නැති කොටස ගැන කියන්න බැහැනේ. එහෙම පහසු පිළිතුරක් තිබේනම් මහ බැංකුව එම කොටසද සංඛ්‍යාලේඛණ වලට එකතු කර ගන්නවනේ. කොහොම වුනත් මේ ඇස්තමේන්තු බොහෝ දුරට නිවැරදි ඇති කියා මම හිතනවා. 43 බලකාය විසින් ණය හා පොලී ගෙවීම් වල breakdown එකක් දමලා තිබුණා. ඒ දත්ත ගත්තේ කොහෙන්ද කියලා මම දන්නේ නැහැ. මහ බැංකුව මේ ගණන් ඉදිරිපත් කරන්නේ predetermined outflows ලෙසයි. predetermined නැති outflows ගැන හරියටම කියන්න විදිහක් නැහැ.

      Delete
    4. මහ බැංකුවට අනුව ඉදිරි මාස 11 තුළ ගෙවිය යුතු ඩොලර් මිලියන 8,650ක් පමණ තිබෙනවා. නමුත් එයින් යම් කොටසක් (ඩොලර් බිලියන 2කට ආසන්න කොටසක්) rollover කර ගත හැකි බවට විශ්වාසයක් තිබෙනවා.

      Delete
    5. මගෙ ප්‍රශ්නය හරියට වැටහුනේ නැතිද දන්නෙ නෑ.
      මහබැන්කු වාර්තාවල තියෙන්නෙ ලන්කාවෙ external debt බිලියන 50ගානක් වගෙ කියලනෙ. බිලියන 5ක් ඕන වෙන්නෙ ඔය බිලියන 50ගානට හරියන්න ගනන් හැදුවම මේ අවුරුද්ද්ට ගෙවන්න වෙන ප්‍රමාණයද?

      Delete
    6. ප්‍රශ්නය පැහැදිලියි. ඔබට මගේ පිළිතුර පැහැදිලි නැත්තේ "බිලියන 50ගානට හරියන්න ගනන් හැදුවම" කියන කතාව තුළ හිර වී හිතන නිසයි. බිලියන 50 හරියට ගණන් හැදුවත් එයින් හා ඒ වෙනුවෙන් මේ වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය හරියටම ගණන් හදන්න අමාරුයි. ගොඩක් ණය rollover වෙනවා. පොලී අනුපාතික වෙනස් වෙනවා. මේ වෙනස්වීම් ගැන කලින් හරියටම කියන්න බැහැ. ඒ නිසා "බිලියන 50ගානට හරියන ගාන" කියලා පහසුවෙන් හොයා ගත හැකි නිශ්චිත ගණනක් නැහැ. මම කිවුවේ ඒකයි. ණය ප්‍රමාණය ඇස්තමේන්තු කරන තරම් පහසුවෙන් වසර තුළ ගෙවිය යුතු මුදල ඇස්තමේන්තු කරන්න බැහැ. මීට වඩා නිශ්චිත පිළිතුරක් දෙන්න ගොඩක් කාලය යොදවන්න වෙනවා. මහ බැංකුවේ ඇස්තමේන්තු තියෙද්දී ඒ වගේ වැඩකට මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. ඔබට සරල පිළිතුරක් අවශ්‍යනම් "බිලියන 50ගානට හරියන ගාණ" කියලා සැලකුවාට ප්‍රශ්නයක් නැහැ.

      Delete
  13. Steve Hanke - Today, I measure inflation in #SriLanka at a roaring 49%/yr. Sri Lanka's currency crisis and recent fuel price hikes are sinking LKA. The only way to save LKA’s economy is to dump the rupee and install a #CurrencyBoard.

    මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? ඔබ currency board ගැන ඉස්සර ලිපියක කියල තිබුන බව මතකයි

    ReplyDelete
    Replies
    1. මේක කෙටි පිළිතුරක් දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයිනේ, සහන්. පළමුව ඔහු උද්ධමනය ගණන් හදන ක්‍රමය ගැන විස්තර දන්නේ නැතුව ඒ ගැන යමක් කියන්න බැහැ. ඔහුට යම් පදනමක් ඇති කියා හිතනවා. දෙවනුව, ඔය කියන currency board වැඩේ කළ හැකි තත්ත්වයක් දැන් නැහැ. එහෙම කරන්නනම් අවම වශයෙන් මහ බැංකුව විසින් ඩොලර් බිලියන 6.5ක් හොයා ගත යුතුයි. (අනෙක් ගෙවන්න තියෙන ණය වලට අමතරව). ඩොලර් එක රුපියල් 400 කර currency board එකක් හදන්නත් ඩොලර් බිලියන 5.4ක් හොයා ගත යුතුයි.

      Delete
    2. පසුගිය ජූලි මාසයේදී පහත ලිපිය පළ කරන අවස්ථාව වන විට ඩොලරයක මිල රුපියල් 265.87ක් කරලා මේ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. රට මෙන්ම මහ බැංකුවද බංකොලොත් වූ පසුව එය කළ නොහැකියි.

      මහ බැංකුව බංකොලොත්ද?
      http://economatta.blogspot.com/2021/07/blog-post.html

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...