වෙබ් ලිපිනය:

Monday, March 21, 2022

අච්චු ගහන අච්චු නොගහන සල්ලි


මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී ගොඩක් අය සල්ලි අච්චු ගහනවා කියලා කෑ ගහනවා. නමුත්, මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා හැම විටෙකම සල්ලි අච්චු ගැසීමක් හෙවත් සංචිත මුදල් ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ බව කලින් ලිපියෙන් පැහැදිලි කළා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී කෙසේ වෙතත් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යද්දී සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වී, රුපියලේ සැබෑ අගය පහළ යනවා. බඩු මිල ඉහළ යාමේදී හා විණිමය අනුපාතය අවප්‍රමාණය වීමේදී වෙන්නේ එසේ පහළ ගිය රුපියලේ සැබෑ අගය බඩු වල හා ඩොලරයේ මිලෙන් නිවැරදිව නිරූපණය වීමයි.

පසුගිය මාර්තු 16 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක්. වසර ආරම්භයේදී මෙම ප්‍රමාණය රුපියල් බිලියන 1,305.8ක්. පෙර වසර ආරම්භයේදී රුපියල් බිලියන 964.4ක්.

ඉහත සංඛ්‍යා දෙස බැලූ විට 2021 වසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 35.4%කින් වැඩි වී තිබෙන බව පේනවා. පසුගිය මාස දෙක හමාරක කාලය තුළ සංචිත මුදල් ඉහළ ගොස් තිබෙන්නේ 5.0%කින් පමණයි.

කෙසේ වුවත්, මේ සංඛ්‍යාලේඛණ වලින් නොපෙනෙන දෙයක් තිබෙනවා. ඒ, මෙහි සඳහන්ව ඇති මුදල් ප්‍රමාණයට අමතරව තවත් විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු පද්ධතිය වෙත මුදා හරිමින් සිටින බවයි. මාර්තු 16 දින මෙසේ මුදා හළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 562.8ක්. 

මෙය කලක සිටම සිදුවන දෙයක්. එහෙත්, මෙම මුදල ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. පසුගිය දෙසැම්බර් 31 දින මෙසේ මුදා හළ මුදල රුපියල් බිලියන 366.2ක් පමණයි. මේ අයුරින් මහ බැංකුවට දෛනික පදනම මත රුපියල් මුදා හරින්න සිදු වී තිබෙන්නේ මේ වන විට බැංකු පද්ධතියේ විශාල රුපියල් හිඟයක් තිබෙන නිසයි.

පෙර වසර අවසානයේ තිබුණේ වෙනස් තත්ත්වයක්. ඒ වන විට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබුණා. 2020 දෙසැම්බර් 31 වන දින වාණිජ බැංකු විසින් දෛනික පදනම මත රුපියල් බිලියන 206.8ක් මහ බැංකුවේ තැන්පත් කළා. ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 964.4ක් වුවත්, ඇත්තටම සංසරණයට එකතු වුනේ එයින් රුපියල් බිලියන 757.6ක් පමණයි.

දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක් පමණක් වුවත්, ඊට අමතරව තවත් රුපියල් බිලියන 562.8ක් දෛනික පදනම මත සංසරණයට එකතු වීම සැලකූ විට මුළු ප්‍රමාණය රුපියල් බිලියන 1932.8ක්. මේ ආකාරයෙන්ම වසර මුල රුපියල් බිලියන 1,305.8ක් වූ සංචිත ප්‍රමාණයට රුපියල් බිලියන 366.2ක ද්‍රවශීලතා හිඟය එකතු කළ විට එකතුව රුපියල් බිලියන 1,672.0ක්.

බැංකු පද්ධතිය තුළ මෙපමණ විශාල ද්‍රවශීලතා හිඟයක් ඇති වීමට හේතුව මුදල් වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා රුපියල් සැපයුම අතර තිබෙන අසමතුලිතතාවයි. දැනට වඩා විශාල ප්‍රශ්නය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයට හැමෝගෙම අවධානය යොමු වී තිබෙන නිසා යටපත්ව තිබුණත් මෙයත් විශාල ප්‍රශ්නයක්. 

මේ අසමතුලිතතාවය දුරු කර ආර්ථික හා මිල ස්ථායීතාවය ඇති කිරීම මුදල් නීති පණත අනුව මහ බැංකුවේ නීතිමය වගකීමක්. පොලී අනුපාතික ඉහළ දැමීම මගින් එය කළ හැකි වුවත්, පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ නොදැමීම නිසා ප්‍රශ්නය ඔඩු දුවමින් තිබෙනවා. 

බැංකු වලට රුපියල් ලැබෙන්නේ කවුරු හෝ විසින් බැංකු වල මුදල් තැන්පත් කළ විටයි. එසේ නැත්නම් ගත් ණය ආපසු ගෙවන විටයි. තැන්පතුහිමියන් මුදල් ආපසු ගැනීමේදීත්, ණය ලබා ගැනීමේදීත් බැංකු වල තිබෙන රුපියල් එළියට යනවා. මේ විදිහට එළියට යන රුපියල් හා බැංකුවට එන රුපියල් ප්‍රමාණය සමතුලිත නොවුනහොත් බැංකුවට රුපියල් හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නැත්නම් රුපියල් අතිරික්තයක් ඇති වෙනවා. රුපියල් හිඟයක් ඇති වූ විට පොලී අනුපාතික ඉහළ දමා රුපියල් ආකර්ශනය කර ගන්න වෙනවා. එහිදී ණය ඉල්ලුමද අඩු වෙනවා. ඒ නිසා රුපියල් බැංකුවේ ඉතිරි වෙනවා.

මේ වෙලාවේ බැංකු වල විශාල රුපියල් හිඟයක් ඇති වීමට හේතුව රජය විසින් බැංකු වලට එකතු වන රුපියල් සියල්ලම මෙන් ණයට ගැනීමයි. බැංකු වල තිබෙන රුපියල් ප්‍රමාණයට අමතරව රජය විසින් බැංකු වල නැති රුපියල්ද ණයට ගෙන තිබෙනවා. එම නැති රුපියල් ප්‍රමාණය මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු වලට සපයමින් සිටිනවා. 

බැංකු වලට 7.5% පොලියට මහ බැංකුවෙන් "ඕනෑ තරම්" ණය ගත හැකියි. හවසට ගන්න සල්ලි පසුදා උදේ නැවත ආපසු ගෙවිය යුතුයි. ඉන් පසුව, පසුදා හවස නැවතත් ණය ගන්න පුළුවන්. මේ ණය වෙනුවෙන් වසරකට 7.5% පොලියෙන් දිනකට ගෙවිය යුතු කොටස මහ බැංකුවට ගෙවිය යුතුයි. 

වාණිජ බැංකු වලට ලාබෙට අරමුදල් සපයා ගැනීම සඳහා මේ විකල්පය තිබෙන නිසා ඔවුන් මීට වඩා වැඩි තැන්පතු පොලියක් ගෙවා රුපියල් එකතු කර ගන්න පෙළඹෙන්නේ නැහැ. දැන් ගෙවන පොලිය යටතේ මීට වඩා රුපියල් ප්‍රමාණයක් බැංකු වලට එකතු වෙන්නෙත් නැහැ. 

මහ බැංකුවෙන් 7.5% පොලියට ගන්න සල්ලි ඉතා පහසුවෙන් වැඩි පොලියකට ණයට දෙන්න පුළුවන්. මාර්තු 15 පැවති වෙන්දේසියේදී දින-91 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වුනේ 11.35%ක පොලියකට. ඒ කියන්නේ 11.35%ක පොලියකට රජයටම ණය දෙන්න පුළුවන්. එක පැත්තකින් 7.5%ක පොලියකට මහ බැංකුවෙන් ණය අරගෙන අනෙක් පැත්තෙන් 11.35%ක පොලියකට ඒ සල්ලි ටිකම ණයට දෙන්න පුළුවන්නම් කවුද ඔය වැඩේ නොකරන්නේ?

රුපියල් 562.8ක් වන වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ඇති වී තියෙන්නේ ඔය හේතුව නිසයි. මේ සල්ලි වලින් මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැති නිසා මෙම මුදල සංචිත මුදල් වලට එකතු වෙන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් මිල දී අරගෙන තියෙන්නේ වාණිජ බැංකු. ඔවුන්ට රජය විසින් 11.35%ක පොලියක් ගෙවනවා. 

හැබැයි මේ සල්ලි වාණිජ බැංකු විසින් තැන්පතුකරුවන්ගෙන් එකතු කරගත් සල්ලි නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන්ම ගන්න සල්ලි. ඒ වෙනුවෙන් වාණිජ බැංකු විසින් මහ බැංකුවට 7.5%ක පොලියක් ගෙවනවා. 3.85%ක පොලී වෙනස ලාබය. වක්‍ර විදිහට වෙන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමක්ම තමයි. දවල්ට මේ භාණ්ඩාගාර බිල්පත් එළියට ගිහින් රෑට ආපහු මහ බැංකුවට එනවා. සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගැහීමක් වෙලා නැහැ.

උද්ධමනය ඉහළ යද්දී මේ වගේ තත්ත්වයක් නඩත්තු කිරීම තවත් ප්‍රශ්න ගණනාවකට පාර කැපීමක්. වියදම් ඉහළ යද්දී මිනිස්සු බැංකු වල තිබෙන සල්ලි අදිනවා. ණය කාඩ්පත් වලින් එහෙමත් සල්ලි අදිනවා. එය වලක්වා ගත හැකි ක්‍රමය විශාල ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමයි. අවම වශයෙන් මේ විශාල ද්‍රවශීලතා හිඟය නැති වන තුරු මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමිය යුතුයි. 

අනෙක් පැත්තෙන් අද වන විට ඩොලරයක මිල රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. IMF යනවා කියලා කිවුවට ඩොලරය ඉහළ යන එක පාලනය වෙන්නේ නැහැ. IMF උපදෙස් යටතේ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය ගැන පැහැදිලිව කියන්න පොඩි ඉඩක් ලැබෙනවා පමණයි. ඒ ඉඩෙන් ප්‍රයෝජන නොගත්තොත් ආපහු හිටපු තැනටම වැටෙනවා.

විණිමය අනුපාතය කියන්නේ ඩොලරයේ හා රුපියලේ සාපේක්ෂ වටිනාකම් අතර අනුපාතය. මේ වෙලාවේ ඩොලරයේ නිරපේක්ෂ වටිනාකම ගොඩක් වැඩියි. ඒක අඩු කරන්න අමාරුයි. නමුත්, රුපියලේ වටිනාකමද වැඩි කිරීම මගින් ඩොලරයේ සාපේක්ෂ වටිනාකම අඩු කරලා මිල ස්ථාවර කර ගන්න පුළුවන්. එය කළ හැක්කේ බැංකු පද්ධතියේ දැන් තිබෙන රුපියල් හිඟය වෙනුවට රුපියල් අතිරික්තයක් ඇති කිරීමෙන්. 

රුපියල් අතේ තිබෙන අයට ඒ රුපියල් බැංකුවක තැන්පත් කර විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකි වූ විට රුපියල් වල වටිනාකම ඉහළ යනවා. මිල ඉහළ යාමේ වාසිය තකා ඩොලර් හොයන අයට පහසුවෙන් වැඩි ලාබයක් ලැබිය හැකි විකල්පයක් ලැබෙනවා. ඒ හරහා, ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම පහළ යනවා.

55 comments:

  1. //මහ බැංකුවෙන් 7.5% පොලියට ගන්න සල්ලි ඉතා පහසුවෙන් වැඩි පොලියකට ණයට දෙන්න පුළුවන්. මාර්තු 15 පැවති වෙන්දේසියේදී දින-91 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වුනේ 11.35%ක පොලියකට. ඒ කියන්නේ 11.35%ක පොලියකට රජයටම ණය දෙන්න පුළුවන්. එක පැත්තකින් 7.5%ක පොලියකට මහ බැංකුවෙන් ණය අරගෙන අනෙක් පැත්තෙන් 11.35%ක පොලියකට ඒ සල්ලි ටිකම ණයට දෙන්න පුළුවන්නම් කවුද ඔය වැඩේ නොකරන්නේ?//

    බැංකුවලට හැර වෙනත් පුද්ගලයන්ටත් මේ අවස්ථාව හිමිද? එහෙම කරන අය කවුද කියල අපට දැන ගන්නට ක්‍රමයක් තියෙනවද ඉකොනෝ?
    මේවා නීත්‍යානුකූල හොරකම් වගේනෙ.

    ReplyDelete
    Replies
    1. https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers

      Delete
    2. Primary dealer කෙනෙක් වෙන්නෙ කොහොමද?

      Delete
    3. මහ බැංකුව විසින් පත් කළ යුතුයි.

      Delete
    4. කිසිම විනිවිදබාවයක් නැති වැඩක්නෙ.

      Delete
    5. වාණිජ බැංකු වලට හා අනෙකුත් මූල්‍ය ආයතන වලට බලපත්‍ර දීමේදී මෙන්ම මෙහිදීත් මහ බැංකුව විසින් භාවිතා කරන නිර්ණායක තිබෙනවා. එහෙත් අවසන් තීරණය මහ බැංකුවේ. නියාමනයට යටත් ඕනෑම කර්මාන්තයක මෙය සාමාන්‍ය තත්ත්වයක්.

      Delete
    6. ඇමෙරිකාවෙ තත්වය කොහොමද? කොහොමද මේ කාර්‍යය වෙන්නෙ

      Delete
    7. ඇමරිකාවේ වුවත් ප්‍රාථමික ගැනුම්කරුවන් හා වාණිජ බැංකු නියාමනයට යටත්. කැමති කෙනෙකුට කැමති අවස්ථාවක කර්මාන්තයට පිවිසෙන්න බැහැ.

      Delete
    8. නමුත් මහජනයට ඩිරෙක්ට් ගන්න පුලුවන් නිසා මෙහෙ තත්වයට වඩා වෙනස් නේද? මහජනයත් ඒ කියන්නෙ ප්‍රමරි ඩීලර්ස් වගේ නේද?

      Delete
    9. ඔව්. කැමති ඕනෑම කෙනෙකුට මහා භාණ්ඩාගාරයේ ගිණුමක් හදාගෙන වෙන්දේසියට කෙළින්ම ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය අවම ලන්සු මුදල ඩොලර් 100ක් පමණයි. ඒ වගේම, එක් ප්‍රාථමික ගැනුම්කරුවෙකුට 35%ක උපරිම සීමාවකුත් තිබෙනවා.

      ලංකාවේ ක්‍රමයේ ඔබ දකින ප්‍රධාන ප්‍රශ්නය මේ විදිහට සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් ගන්න බැරි එකද?

      Delete
    10. ලංකාවේ රට තුල සිටින අය නෙවෙයි අඩුම තරමින් රටින් පිට ඉන්න විදේශ ශ්‍රමිකයන් වන පුරවැසියන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් NRSL නන් රෙසිඩන්ට් අයට ලංකාවේ මහ බැංකුවේ බොන්ඩ්ස් ගන්න අවසරයක් දෙන්න පුළුවන් නම් හොඳයි නේද? අඩුම තරමේ විදේශ ශ්‍රමිකයන්ගේ සංවිධාන වලට වත් එහෙම සාමූහිකත්වයෙන් ලොකු ගණන් වලට බොන්ඩ්ස් නිකුත් කරන එක ඉතාමත්ම වටිනවා කියලා මට හිතෙනවා. ඒ වගේම මට තේරෙන විදිහට ලංකාවේ රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් ඕන. වසරකට ඩොලර් බිලියන පහකට වඩා 2019 සිට 2030 විතර වෙනකම් වත්. ඒ ඩොලර් ගෙවන්න ලංකාව රටක් හැටියට භාණ්ඩ හා සේවා අපනයනයන් ලැබෙන ශුද්ධ ආදායම ලෙස උපයන ඩොලර් මදි නිසා තවත් විදෙස් ණය ගන්න වෙනවා නේද? නමුත් 2019- 22 කාලයේ ආණ්ඩුවේ බදු අඩු කරපු එක, රජයේ විශාලතම තීරු බදු ආදායම වූ ආනයනික වාහන ආනයන තහනම් කිරීම, මාස ගණන් රට වසා තැබීම සමග ආර්ථිකය සංකෝචනය වීම යන කාරණා නිසා රජයේ දේශීය ආදායම් බිලියන 600 ක් පමණ අඩු උනා. වාහන තීරු බදු රු. බිලියන 230-250 ක් විතර, අන්තනෝමතික ලෙස ඡන්ද ඉලක්ක කරගෙන බදු අඩු කරපු එකෙන් තව බිලියන 130 ක් පමණ සහ රට වසා තැබීම සමග තවත් බිලියන 200 ක් පමණ ආදී වශයෙන් මුලු ආදායම් අහිමි වීම බිලියන 600 ක් පමණ මේක තනිකරම වත්මන් ආණ්ඩුවේ වරද. එය රජයේ මූල්‍ය තත්වයට අහිතකරව බලපාල තියෙන්නෙ ඩිෆිසිට් එක වැඩි උන නිසා. එය වක්‍රව විදේශ මූල්‍ය ශ්‍රේනිගත කිරීම් වලට බලපාපු නිසා තව දුරටත් ණය පිරමීඩය සහ විදේශ ආයෝජකයන් හරහා ඩොලර් නොලැබෙන නිසා තමයි ඩොලර් හිඟය ඇවිල්ල තියෙන්නෙ. එහෙම නේද?

      ඇත්තටම රුපියල් වලට අඩු පොලියක් ගෙවන එක වෙනුවට ඩොලර් තියෙන ලංකාවේ විදේශ ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයට කෙලින්ම ඉහළ මට්ටමක පොලියක් ලැබෙන ලෙස ඩොලර් වලින් ආයෝජන අවස්ථා දෙන්න පුළුවන් වේවි නේද ඉකොනො? එහෙම නොකරන්නේ ඇයි?

      Delete
    11. ඔබ පුළුල් කරුණු ටිකක් ගැන අදහස් දක්වා තිබෙනවා. මම ප්‍රශ්නය ඇහුවේ ප්‍රස්තුත කරුණට අදාළව පමණයි. ප්‍රාථමික ගැණුම්කාර ක්‍රමය අදාළ වන්නේ රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලට පමණයි. ඔබ සඳහන් කරන රටින් පිට ඉන්න විදේශ ශ්‍රමිකයන් වන පුරවැසියන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් NRSL නන් රෙසිඩන්ට් අයට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගැනීමට කිසිම බාධාවක් නැහැ. මේ සඳහා වාණිජ බැංකුවක හෝ ප්‍රාථමික ගැණුම්කාර සමාගමක ගිණුමක් ආරම්භ කළ යුතුයි. එහෙත්, අවසාන වශයෙන් ස්වයංක්‍රීය ලෙසම මහ බැංකුවේත් ගිණුමක් විවෘත වෙනවා. අදාළ බැංකුවෙන් හෝ ප්‍රාථමික ගැණුම්කර සමාගමෙන් ඔබට ලැබෙන ගිණුම් ප්‍රකාශන වලට අමරතව සෘජුව මහ බැංකුවෙන්ද ඔබට ගිණුම් ප්‍රකාශන ලැබෙනවා. වාණිජ බැංකුව හෝ ප්‍රාථමික ගැණුම්කාර සමාගම විසින් අය කරන්නේ සාපේක්ෂව සුළු (ප්‍රතිශතයක් ලෙස) කොමිස් මුදලක්. ලොකු ආයෝජනයක් කරනවානම් හෙට්ටු කරලා එය පවා අඩු කර ගත හැකියි.

      Delete
    12. //ඇත්තටම රුපියල් වලට අඩු පොලියක් ගෙවන එක වෙනුවට ඩොලර් තියෙන ලංකාවේ විදේශ ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයට කෙලින්ම ඉහළ මට්ටමක පොලියක් ලැබෙන ලෙස ඩොලර් වලින් ආයෝජන අවස්ථා දෙන්න පුළුවන් වේවි නේද ඉකොනො? එහෙම නොකරන්නේ ඇයි?//

      රුපියල් (භාණ්ඩාගාර බැඳුම්කර) වලට මේ වෙලාවේ 16.5% පමණ දක්වා වන පොලියක් ලබා ගත හැකියි. ඔබ කියන්නේ ඩොලර් වලට මෙවැනි ඉහළ පොලියක් දෙන්න කියලද? ඩොලර් වලින් පොලී ගෙවන්න ඩොලර් රටට එන්නේ කොහොමද? ඔබ යෝජනා කරන දෙය තමයි මෙතෙක් කළේ. මේ ප්‍රශ්නයට හේතුවම එහෙම කරපු එකයි. මෙපමණ ඉහළ පොලියක් නුදුන්නත් සැලකිය යුතු ඉහළ පොලියක් දුන්නා. මෙතෙක් කළේ තව තව ණය අලුතෙන් අරගෙන පොලී ගෙවන එකයි. එය සක්විති පන්නයේ පොන්සි ක්‍රීඩාවක්.

      Delete
    13. මේ වෙන ඇනෝ කෙනෙක් මැදින් පැනල අල කරල.
      මගෙ ප්‍රශනෙ මම ව්ව්න තැනක අහන්නම්.

      Delete
    14. මේ මනුස්සය කියන්නෙ තව වැඩි පොලියට ISB නිකුත් කරන්න කියනව වගෙ වැඩක්නෙ.

      Delete
  2. Replies
    1. හිතවත් අජිත්,

      මේ කෙටි වීඩියෝ එකේ කියන දේ වල් වල ඇත්තක් තියෙනවා නේද?

      https://m.facebook.com/A5News.lk/videos/375118267569206/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&refsrc=deprecated&ref=sharing&_rdr

      විශේෂයෙන් මේකේ පැහැදිලි කරන ආකාරයට ලෝක වෙළඳ සංවිධානය WTO, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රීමූර්තිය මගින් ලෝකයේ වෙළඳාම, ගෝලීය වෙළඳ පොළ සහ රටවල් වල ආර්ථිකයන් පාලනය කිරීම හරහා ලංකාවේ ආර්ථිකයට ඇතිවන බලපෑම් සහ ලංකාවේ ආර්ථිකය දියුණුව කරා ගෙන යාමට නම් ලංකාවේ ආණ්ඩුව කුමන වැඩ පිළිවෙළක් ද අනුගමනය කළ යුතු කියා ඔබ හිතන්නේ කුමක්ද? විශේෂයෙන් සමාජවාදී/ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තියෙන ලංකාව වගේ රටක ආර්ථිකය දියුණුවට මේ ගෝලීය සංවිධාන තුන සහ එබඳු වෙනත් සංවිධාන, රුසියාව හා චීනය සමග ගනුදෙනු කිරීමේදී යොදා ගැනීමට සුදුසු ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      මේ ගැන ඔබේ බ්ලොග් එකේත් ඉදිරියට දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට යොදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

      Delete
    2. මේකේ සද්දේ නැහැ ඇනෝ . වෙන ලින්ක් එකක් නැත්ද ?

      Delete
  3. අර "නෙලුම් (අල) යාය පදනමට" primary dealer කෙනෙක් වෙන්න බැරිද? ඒ කාලෙ බ්ලොග් සම්මාන උලෙළ කියන්නෙත් deal ම තමයි.

    ReplyDelete
    Replies
    1. @ AnonymousMarch 21, 2022 at 10:00 PM

      සියල්ල මුදල් මත තීරණය වන සමාජයක හැමෝම විකිණෙනවා, ඒ කාලේ යහපාලන ආණ්ඩුව පැවති සමයේ එම රජයට සහාය දුන් විදෙස් තානාපති කාර්යාල හා සම්බන්ධ විවිධ නාමික චැරිටි සංවිධාන සහ අවස්ථාවාදී ජාවාරම්කරුවන් වෙලාවෙන් ප්‍රයෝජන ගත්තා, උදාහරණයක් විදිහට දැන් මේ ආණ්ඩුව රැක ගන්න නිස්සංක සේනාධිපති වගේ කෙනෙක් ෆන්ඩ් කරනවනම් ඔය වගේ කපටි හාදයෝ ඔය වගේම නැත්නම් මොන මගුලක් හරි වෙන විදිහකින් විගඩම් තවත් පවත්වලා ගාන කපා ගනීවි. ඒක ස්වාභාවිකයි. ඉඩම් අඟලට එක කුස උපන් එවුන් සමග වසර ගනන් නඩු කියන උන්, වයසට ගිය තම මාපියන් අනුන් ගේ පිල් කුණු වල රැඳෙන්නට හැර කොලඹට හෝ විදේශයට සංක්‍රමනය වූ හාදයන්, තමන් ගේ ගමේ පාසල ගැන ලැජ්ජාවෙමින් තම දරුවන් ගේ කොලෙජ් වල කොඩි තම කාර් වල අලවාගෙන උජාරුවට යන උන්, බොසාට කේලාම් කියා ලඟින් ඉන්න එකා ගේ බෙල්ල කපන පින්වතුන්, තමන් ගේ සේවාස්ථානයේ සමකාලීනයන් ට නිර්නාමික පෙස්සම් ගසනා උන්, තමන් ගේ බිරිඳව නිරුවත් දර්ශන වලට ගෙන චිත්තරපටි හදා ඇයට මුදල් නොගෙවා පසුව ගෙදරිනුත් පන්නා දමන උන්, අනුන් ලියූ පොත් තමන් ගේ මෙන් අච්චු ගසා ගානක් හොයා ගන්නා උන්, විභාග වලදී වංචා කර අසුවුනාම ඒක වීරකමක් ලෙස හුවාදක්වන මහාචාර්ය පට්ටම් ගහගත්ත උන්, හෙට අනිවාර්යයෙන්ම දෙන්නම් කියා මිතුරන් ගෙන් මුදල් ණයට ගෙන කිසිදා නොගෙවන එවුන්, කන බොන තැන් වලට ගිහින් කිසිදා සත පහක් වියදම් නොකර අනුන් ගෙන් ම කන බොන එවුන්, යහපාලනේට කඩේ ගිහින් හොරෙන් හොරෙන් වරදාන කොන්ත්‍රාත් හෝ වවුචර මගින් මුදල් හෙවූ උන් අනුන් ට ගෝත්‍රිකයා යැයි ඇමතීම උපහාසයෙන් යුතුව බලා සිටින ගමන් රාජපක්ෂ හොර පවුලට කඩේ ගිය උන් ගැනත් එහෙමම බලන්න පුරුදු විය යුතුයි.

      මම නම් ඔය කොයි හාදයාටත් තමන් තුල ගෝත්‍රිකයෙකු ඇති බවටත් මතක් කර දෙමි. පෙනන්න ලේසිම ක්‍රමය, ඔබ ගෝත්‍රිකයෙකු යැයි ඇඟිල්ල දික් කරන හාදයා ගේ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීනයට පොලු පහරක් එල්ල කරන්න... ගෝත්‍රිකයා එලියට පනී... අනෙක් කරුණ ලංකාවේත් පිටත් ඉන්න ලාංකිකයන් පොදුවේ ගත්තම ඔවුන්ගෙන් අති බහුතරයකට ඕන තමන් කැමති දේශපාලන පක්ෂයට හෝ නායකයාට අනෙක් අයත් කැමති වෙන එක විතරයි, එවැනි අය අතර තිබෙන පොදු ලක්ෂණයක් වෙන්නේ තමන් ඉතාමත්ම 100% නිවැරදි, ප්‍රබුද්ධ තේරීම කර ඇති නිසා තම දේශපාලන කඳවුරෙන් පිට අනෙක් සියලු දෙනා මුග්ධයන්, ද්‍රෝහීන් ලෙස පෙනීමයි. දේශපාලනය දෙස විවෘතව බැලීමේ හැකියාවක් නොමැතිකම ලංකාවේ පුරවැසි දේශපාලන සාක්ෂරතාවේ බරපතල ගැටලුවක් නිසාම එක් එක් වකවානුවලදී ආන්තික ලෙස එක් එක් නායකයන් පසුපස යනවා වෙනුවට සමස්තය දෙස විවෘතව බලා තෝරාගැනීම් සිදුකළ හැකි ගුණය ලාංකිකයින් ලෙස වර්ධනය කරගත යුතුයි.

      Delete
    2. මොකා ලිව්වත් මේ කමෙන්ට් එක ඇතුලේ අතිශය සාධනීය කරුණු බොහොමයක් තියෙනවා. ඇත්ත ලියපු ඇනෝ කෙනෙක්. හරිම ඕපන් කමෙන්ට් එකක්. වෙරි පොසිටිව් පාත්වේ එකක්.

      Delete
    3. @AnonymousMarch 21, 2022 at 10:00 PM- එංගලන්තේ ඉන්න චන්දිම ගෙන් හරි ලංකාවේ ඉන්න රාධිකා ගුණරත්න ගෙන් හරි ඇහැව්වොත් නෙලුම් පදනමට යන්න පුළුවන් වෙයි ඇනෝ . අනුර පෙරේරා වුනත් අන්දුරනව් අම්ම හිතන්නේ, නොම්මර තවම ඇති. 😏

      Delete
    4. අජිත් මගේ කමෙන්ට් එක 6.48 AMඇනෝට මිසක් 10.00PM ඇනෝට නොවේ. මට නෙළුම් මල් හෝ නෙළුම් අල . නෙළුම් පොකුනු, නෙළුම් කුළුනු, නෙළුම් යායවල් වගේ මඩ වලවල් වලින් කිසිම ඵලයක් නැහැ. කූල් එකේ කියවලා හිතෙන තැනක කමෙන්ට් එකක් දාල නිහඬ වීම තමයි මගේ වැඩේ.
      “As a lotus flower is born in water, grows in water and rises out of water to stand above it unsoiled, so I, born in the world, raised in the world having overcome the world, live unsoiled by the world.”

      - Buddha.

      Delete
    5. අනිත් එක තමයි අජිත් ඇන්ඩ් ඇනෝ...ඔය එලොව මෙලොව නැති නෙළුමකට වඩා වැදගත් නියඟලා මලක් ගැන කතා කරපල්ලා. අල වගේද මල්...
      //සොබා­ද­හමේ චම­ත්කා­ර­ජ­නක දායා­ද­යක් වන නිය­ඟලා පිළි­බඳ කතාබහේදී බොහෝ දෙන­කුගේ සිහි­යට නැඟෙ­නුයේ මාර­න්තික විෂකි. එයට හේතුව අතී­තයේ බොහෝ දෙනා දිවි තොර කර ගැනී­මට නිය­ඟලා කෑ බව අප අසා තිබී­මය.///
      "I know that I know nothing" is a saying derived from Plato's account of the Greek philosopher Socrates.

      Delete
    6. අජිත් කේන්ති ගන්න එපා, අනික ඔබ මෙතන අනුර පෙරේරාට අම්ම මතක් කරල බනින එක හරිම අසෝබනයි.

      ඔබේ පිළිතුරු හාස්‍යජනකයි අජිත්, මෙතනදී අපි ඇත්ත කතා කරමු. ඔබ ඒ කාලේ නෙලුම් යාය සමග සෙට් වී ඒ හරහා ස්ටර්ලින් පවුම් මිලියන් එකකට වඩා (රුපියල් මිලියන 250කට වැඩි මුදලක්) අයථා ලෙස උපයා ගත් බව ලංකාවේ බොහෝ දෙනෙක්ට රහසක් නෙවෙයි. එමෙන්ම එම මුදලින් කොටසක් වියදම් කර ඔබ අජිත් ධර්මකීර්ති යන නමට නුගේගොඩ ප්‍රදේශයේ රුපියල් මිලියන සීයක් විතර වටිනා විශාල ගොඩනැගිල්ලක් මිලට ගත් බවත් බොහෝ දෙනෙක් පැවසූවා.

      නමුත් ඊට වඩා මෙතන ඇති ප්‍රශ්නය වෙන්නේ ඔබ ඔබේම මෙහෙයවීමෙන් එක්තරා අයි ටී කම්පැනියක් හරහා 2014 අග භාගයේ එවකට ජනපති අපේක්ෂක මෛත්‍රී වෙනුවෙන් සහ 2015 අගෝ. මැතිවරණය වෙනුවෙන් කළ කැම්පේන් වලදී ඒ වෙනුවෙන් වැඩ කල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මීම් සෑදූ ග්‍රැෆික් ඩිසයින්වරුන් ආදීන්ට පොලු තැබීමයි. ඔවුන් පහුගිය කාලේ කියූ පරිදි ඇතැමුන්ට ලක්ෂ පහ හය වැනි ගණන් පොලු තබා තිබෙනවා නේද?

      අනිත් එක ඔබ මෙතන චන්දිම සහ රධිකා වැනි අය පාවා දීමත් වැරදියි. උදාහරණයක් විදිහට බැසිල් පීබී සහ කබරයා සමග ප්ලෑන් කර අයි එස් බී ගෙවද්දී ඒක හරහා ඩොලර් බිලියනක් පමන සොරා ගත්තා කියමු. එවිට මාධ්‍යවේදියකු හොර බැසිලාව ප්‍රශ්න කරමින්

      මාධ්‍ය: "ඔබ සම්බන්ධ අයි එස් බී ගණුදෙනුවේදී ඒ හරහා විශාල වංචාවක් වූ බව පැවසෙනවා මේ ගැන පැහැදිලි කළ හැකිද?"

      හොර බැසිලා: "අනේ මේ ඕක ගැන අහන්න ඕන පී බී සහ කබරරාල ගෙන්, මං ඔය මුකුත් දන්නේ නෑ මන් තොත්ත බබානේ අනේ...'

      ඒ නිසා මේ වගේ විහිලු කතා කියන එකෙන් රැවටෙන්නේ ඔබමයි අජිත්, ඔබමැ පමනයි, අපි නෙවෙයි.

      Delete
    7. 😁 😀, ඇනෝ පිළිතුර ඩබල් හාස්‍යජනකයි. මම ඒ කොමෙන්ට් එක දැම්මේ මොකක් හරි වැදගත් සාකච්චාවක් යනකොට කොහෙන් හරි එනවා පිස්සෙක් නෙළුම් යායක් ඇදගෙන . ඒක ඉවරයි. කපුත් , ෆිනිතෝ. ස්ටර්ලින් මිලියනයක් තිබ්බ නම් මෙතැන ඉන්නවද බං , ව්‍යාපාරයක් පටන් ගන්නවා මිසක් එකොන් ගේ ලිපි කියවල්දැන් භාගයකට වඩා කැපිටලිස්ට් . All the best

      Delete
  4. මම හිතන්නේ ඉකොනොමැට්ටා ලංකාවේ ආර්ථික අර්බුදය ගැන වැරදි වැටහීමක් ඇති බව පේනවා, මේ Oneindia.com කේ ඉතාම සරලව ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවූ අයුරු පැහැදිලි කර ඇති අතරම මම හිතන්නේ තමන් අවංකව නිවැරදියයි විශ්වාස කරන, එහෙත් අකාර්යක්ෂම හෝ විනාශකාරී ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් පෙනී සිටින අයට වඩා හොඳ දෙය පෙන්වා දී නිවැරදි කළ හැකියි. (උදා: ජනපති නන්දසේන) ඒත්, තමන් පෙනී සිටින මතවාදයේ හෝ ක්‍රියාමාර්ගයේ ඇති ඇති අඩුපාඩු දැන දැනම, ඒවා වසමින් තමන්ගේ වාසියට බොරුව වෙනුවෙන් පෙනී සිටින අයට ඇහැට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවත් දකින්නේ නැහැ. (උදා: කබරාල සහ ආණ්ඩුවේ ගජමිතුරු ලුම්පන් කෝපරේට් සෙක්ටර් එකේ සෙට් එක) ඒ අය කරන්නේ තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කිරීම හා නැවත අවශ්‍ය වූ විට තලගොයා කබරගොයා කිරීමයි.

    From Oneindia:

    "Sri Lankan government declared an economic emergency in 2021 in view of rising food prices, a depreciating currency, and rapidly depleting forex reserves. The situation reached to an extent where SL President called in the army to manage the crisis by rationing the supply of various essential goods.

    According to the World Bank estimates, 5 lakh people in Sri Lanka have fallen below the poverty line since the pandemic struck, which it described as a "huge setback equivalent to five years' worth of progress". Factors that Led to Economic Crisis: Explained in 5 Points The tourism industry, which accounts for 10 per cent of the country's GDP, is hit hard by the pandemic. Several countries including Canada recently warned its citizens over travelling to the Island country due to foreign exchange crisis and this is not going to help the industry. The UK, India and Russia are three major sources of inbound tourism for the Island country. India seeks early release of fishermen arrested by Sri Lanka The government's decision to ban chemical fertilizers to make agriculture 100 per cent organic had a negative impact on the economy. Agricultural production is being hit by the new law as organic farming reduces production by half, as per the experts. The price rice of essentials including rice and sugar allegedly due to hoarding of essentials by "food mafia" added to the woes. A major problem that the country is facing is a huge foreign debt burden as it owes over $5 billion in debt to China alone. It is paying an additional $1 billion loan to Beijing that it took in 2021. It also owes big money to India and Japan.

    Cont...

    ReplyDelete
    Replies
    1. "As of November, foreign currency reserves available with the country were just $1.58 billion, down from $7.5 billion when GR became the president in 2019. With forex reserves dropping from over $7.5 billion in 2019 to around $2.8 billion in July 2021, the supply of foreign exchange was hit while increasing the amount of money that Sri Lankans have had to shell out to purchase the foreign exchange necessary to import goods. As a result, the value of the Sri Lankan rupee depreciated.

      Sri Lanka's high dependence on imports for its essential items such as sugar, pulses, cereals and pharmaceuticals has only added to the troubles as the country is facing a shortage of foreign currency to pay the import bills."

      Read more at: https://www.oneindia.com/india/reason-for-sri-lanka-economic-crisis-explained-in-5-points-3385683.html

      ලංකාව දැන් අයි එම් එෆ් යන්න තීරණය කරල තියෙනවා ඒත් IMF එකේ සේවය කරන්නේත් ලංකාව වැනි එහි සාමාජික රට වලින් යන සාමාන්‍ය පුද්ගලයින්. ඔවුන් බොහෝ විට සාමාජික රටවල මහ බැංකු වැනි ආයතන වල සේවය කරන පුද්ගලයින් තරමට ආර්ථික විද්‍යා පුහුණුවක් ලබා ඇති, වැටුපක් වෙනුවෙන් රැකියාවක් කරන අය. ඔවුන්ගේ පුරෝකථන ඕනෑ තරම් වරදී. එමෙන්ම, ඔවුන්ගේ විශ්ලේෂණ වල යම් අරමුණක් තිබේ. එහිදී ඔවුන්ට එක්සත් ජනපදය බටහිර යුරෝපීය රටවල් වැනි සම්පත් දායකයන්ගේ න්‍යායපත්‍ර අනුව ලෝකයේ එක් රටක වෙනත් රටකට වඩා විශේෂ වැදගත්කමක් පවතින අතර එම න්‍යාය පත්‍රයේ සැලසුම් වලට අනුව ඔවුන්ට අවශ්‍ය කිසියම් රටක් දරුණු අර්බුදයකට (විශේෂයන්ම ගෙවුම් ශේෂ අර්බුදයකට) මුහුණ දෙන වැඩපිළිවෙල සකස් කිරීමයි. යම් රටක ආර්ථිකය මෙහෙයවන අයට තමන්ගේ රට විශේෂ විය යුතු මෙන්ම කෙටි හා මැදි කාලීන අර්බුද වලක්වා ගැනීමට වඩා පුළුල් දිගුකාලීන දැක්මක් තිබිය යුතුය. IMF යෝජනා ප්‍රතික්ෂේප කළ යුත්තේ වඩා හොඳ ක්‍රියාමාර්ග හේතු සහිතව පෙන්වා දෙමින්, නැතුව රැල්ලට IMF එක ප්‍රතික්ෂේප කිරීමෙන් ඇති වැඩක් නැහැ නේද?

      Delete
  5. රුපියල තවම හරියටම පා කර නොමැත. එක හරි සමතුලිත තාවට අවහම $$ හිගයක් ඇති විය නොහැක. නමුත් මෙමෙ සමතුලිත අගය ඉතා ඉහල විය හැකිය, මක් නිසාද යත් අසීමිත රුපියල් අච්චු ගැස්සීම නිසා සහ එම මුදල් පොහසතුන් ලග එකතු වීම. පොහොසතුන් රටේ අරතික තත්වය දන්නා බැවින් ඔව්න් එම මුදල් කියන ගානකට $$ කරගැනීමට උත්සහ කරයි. එම නිසා බොහෝ විට ලංකාව hyperinflation වෙත යා හැකිය.
    – මගේ අදහස

    ReplyDelete
  6. ස්ල්ලි අච්චු ගහනවා කියන්නෙ ඇත්තටම අලුත් නෝට්ටු නිකුත් කිරීමද? එහෙම නැත්නම් ඒ නමින් හඳුන්වන වෙනත් තාක්ෂනික ක්‍රියාදාමයක් ද? ඇත්තටම ලංකාවට අවශ්‍ය‍ය සල්ලි මුද්‍රණය කරන්නෙ ලංකාවෙම ද?

    ReplyDelete
  7. පොලී අනුපාතයත් මම හිතන්නේ වැඩි කරයි. (සුපුරුදු ලෙස හත්පොලේ ගාගත්තට පස්සේ)

    ReplyDelete
  8. අනේ මන්දා ඉකොනොමැට්ටා මතකයි නේද ලංකාවේ කාලයක් තිබුණා හැමෝම විවේක සුවයෙන් ගෙදරට වෙලා ඉන්න. අත්‍යවශ්‍ය ආහාර පාන ගෙදරට ගෙන්වාගෙන පවුලත් එක්ක සරලව ජීවත් වෙච්ච. පාරෙ රස්තියාදු නොවී ගෙදර ඉඳන් පහසුවෙන් වැඩ කරන. තරුණ තරුණියන් හාර්වර්ඩ් එකෙන් ඔන්ලයින් ඉගෙනගත්ත. කොයි වෙලාවේ මැරෙයිද කියලා නොදත් නිසා ෆේස්බුක් එකේ ජේවීපී හැර අනෙක් හැමෝම හැමෝටම කරුණාවෙන් කතා කළ. නිර්මාල් දේවසිරි වගේ අය ලයිව් දාර්ශනික සංවාද කළ. ඊට පස්සේ වසංගතය ඉවර වුණා...

    ඔබේ අවධානය යොමු කරන්න තව පැත්තක් තියෙනවා නේද? ලංකාවේ පවතින දැඩි ආර්ථික අවපාතය සමග විනිමය අනුපාතය නිදහසේ පා කිරීමේ අවාසි මේවා;

    1. මේ දිනවල ලංකාවේ දෛනිකව සිදුවන ඩොලරයේ ඉහල නැගීම හේතුවෙන්, විදේශ අධ්‍යාපනය ලැබීමට ඒ රටවලට යෑමේදී පෙන්විය යුතු මූල්‍ය තැන්පතු (show money) වලට සෘජුවම බලපානවා... මේ නිසා මටත් විශාල මුදලක් හිතවතුන් වෙනුවෙන් ලබා දීමට සිදු වුණා.

    2. ඇත්තටම මෙය ඉදිරියේදී තව දුරටත් වැඩිවේද?

    නැත්නම්,

    3. යම්කිසි පහත වැටීමක් සිදුවී ස්තාවර වෙයිද?

    4. යම්කිසි ස්තාවරය ක් වෙනවානම් ඒ කවද වගේද?

    තවත් ඇත. ඇතැම්විට මෙය ආර්ථිකය දියුණුවට වාසියක් ලෙසද කියයි. ඩොලරයේ අගය අඩු වීමට නම් ඩොලර් වැඩි වැඩියෙන් ලංකාවේ වෙළඳපොළට ආ යුතුයි. එයට සාපේක්ෂව අනුපාතය හැදෙනු ඇති. අඩුත් නැති වැඩිත් නැති සීමාවක අනුපාතය තියාගත යුත්තේ මේ නිසා. එවිට හැමෝටම ඉදිරිය ගැන සැලසුම් කිරීමට පහසුයි. නමුත් ලංකාවේ විදේශ ආදායම ප්‍රේෂණ මත සෑහෙන්න යැපෙන නිසා හොර පාරෙ යන ප්‍රේෂණ අඩු කරගන්නට කියා රුපියල පා වෙන්නට දුන් අතර එය බොහෝ දුරට සාර්ථක වෙන ලකුණු පෙනුණත් ඇතැම් පක්ෂ විසින් පිටරට ශ්‍රමිකයන් කුපිත කරවා ලංකාවට බැංකු හරහා මුදල් එවීම වළක්වමින් තිබේ. මා හිතන්නේ වසර අවසාන කාර්තුව පමණ වන විට කිසියම් ස්ථාවරත්වයක් ගනු ඇති බවයි. ජූලි මාසයෙන් පසුව අඩු වීමක් වෙන්න පුළුවන්. නමුත් මේ කිසිවක් ෂුවර් නොමැති බව මගේ නිරීක්ෂණයයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? මේ ගැන වඩාත් විශ්වාසනීය භාවයෙන් යුතු ඔබගේ අදහස් දැනගනු කැමැත්තෙමි. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. //මේ දිනවල ලංකාවේ දෛනිකව සිදුවන ඩොලරයේ ඉහල නැගීම හේතුවෙන්, විදේශ අධ්‍යාපනය ලැබීමට ඒ රටවලට යෑමේදී පෙන්විය යුතු මූල්‍ය තැන්පතු (show money) වලට සෘජුවම බලපානවා... මේ නිසා මටත් විශාල මුදලක් හිතවතුන් වෙනුවෙන් ලබා දීමට සිදු වුණා.//

      මෙය අදාළ අයගේ පැත්තෙන් බැලූ විට පැහැදිලි ප්‍රශ්නයක් වුවත් රටේ පැත්තෙන් බැලූ විට හොඳ දෙයක්. විදේශ අධ්‍යාපනය සඳහා රටින් පිටට වාර්ෂිකව විශාල මුදලක් යනවා වගේම එය එන්න එන්නම වැඩි වෙනවා. එම මුදල එළියට එක සීමා වීම රටේ පැත්තෙන් හොඳයි. ගොඩක්ම සල්ලි තියෙන අයට මෙය ප්‍රශ්නයක් වන එකක් නැහැ. අමාරුවෙන් දරුවන් පිටරට යවන ඉහළ ඉහළ මධ්‍යම පාංතිකයන්ට මෙය තවදුරටත් කරන්න බැරි වෙයි. ඒ හරහා විදේශ උපාධි සපයන පෞද්ගලික ආයතන වලට වැඩි ඉල්ලුමක් ඇති වෙයි. ඇතැම් විට උත්සාහ කළොත් ඔවුන්ට විදෙස් සිසුන් ආකර්ෂණය කර ගන්න වුනත් පුළුවන් වෙයි. මොකද ඩොලර් වලින් පාඨමාලා ගාස්තු පහළ යන නිසා.

      දෙවන කොටසට කෙටි පිළිතුර, ඩොලර් එක අඩු වෙයි කියලානම් බලාපොරොත්තු වෙන්න එපා. එකවර හෝ ටික ටික ඩොලරය තවත් ගොඩක් ඉහළට යයි. දැනට ස්ථාවර වුනත් ටිකෙන් ටික ඉහළ ගොස් රුපියල් 400 මට්ටම දක්වාවත් යනවා.

      Delete
    2. බොහොම ස්තූතියි ඇත්තටම මේ විදියට ලංකාවේ මූල්‍ය ඒකකය වන රුපියල් දිගින් දිගටම අවප්‍රමාණ වීම සමග අපනයන ආදායම් වැඩි කර ගැනීමට සහ ආනයන මිල වැඩි වීම නිසා ආනයනය අධෛර්යවත් වීම සෛද්ධාන්තික වශයෙන් විය යුතු යි නේද? නමුත් ප්‍රශ්නය ප්‍රායෝගික තලයේ එසේ නොවීමයි. කොතරම් මිල ගණන් වැඩි උනත් ආනයනය සීමා වන බවක් නොපෙනෙයි ඒ වගේම ආනයනික අමුද්‍රව්‍ය මිල අධික වීමත් සමග දේශීය නිෂ්පාදිත භාණ්ඩ හා සේවා වල මිල අධික වීමත් ඩොලර් හිඟය නිසා අමුද්‍රව්‍ය ආනයනය කරන එක මහ අවුලක් වෙලා තියෙනවා.

      ලංකාව IMF program එකකට යන නිසා ඒකෙන් මොන වගේ අවුලක් හැදේවිද රට තුළ? බොහෝ දෙනෙක් පවසන්නේ IMF ගියොත් රටේ දිළිඳු ජනයා කබලෙන් ලිපට දමන ලෙස සහනාධාර කප්පාදු කරමින් බදු බර අධික ලෙස වැඩි කිරීමෙන් ආර්ථිකය හැකිලී දිළිඳු ජනයා ප්‍රමාණය වැඩි වෙයි කියලා. තව දෙයක් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෝලීය නීති සමාගමක් පත් කර ගැනීමට නියමිත බව රොයිටර්වල තියෙන්නෙ මෙහෙමයි;

      https://www.reuters.com/world/asia-pacific/sri-lanka-hire-global-law-firm-aid-debt-restructuring-official-2022-03-22/

      ඇත්තටම මේ නීති උපදෙස් ඕන මොකට ද IMF program එකකට?

      තවත් ප්‍රශ්නයක් ලංකාවට 2022 මාර්තු 20 දක්වා වූ කාල සීමාව තුළ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 251,000 ක් ලෙස වාර්තා වෙලා නිසා ඒක ලංකාවට 2021 වසරේ පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 194,000 ට සැසඳීමේ දී සුවිශේෂී අගයක්. සංචාරක ව්‍යාපාරය හරහා ලංකාවට 2022 මුල් මාස දෙකේ විතරක් ඩොලර් මිලියන 600 ක් විතර ඇවිත් මේක වසර අවසන් වන විට අපේක්ෂිත ඩොලර් බිලියන හයක පමණ මට්ටමකට වැඩි කර ගැනීම ප්‍රායෝගික ද?

      මොකද යුක්රේන යුධ ගැටුම් ආරම්භ වීමට පෙර ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි මුල් රටවල් 5 අතර මෙම රටවල් දෙකම පැවති නමුත් මේ වන විට මෙරටට පැමිණෙන යුක්රේන සංචාරකයින් ගේ විශාල පහළ යාමක් දක්නට ලැබේ. නමුත් රුසියාව මේ වන විටත් ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන මුල් රටවල් තුන අතර තියෙනවා. ඒත් 2022 මාර්තු 20 දක්වා කාල සීමාව තුළ ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති රට ඉන්දියාවයි, සංඛ්‍යාව 16,000 ක් විතර. දෙවනුවට එක්සත් රාජධානියෙන් 7,500 ක් රුසියාවෙන් 7,500ක් ජර්මනියෙන් 7000 ක් සහ ප්‍රංශයෙන් 4000 ක් ලෙස සංචාරකයින් ලංකාවට ඇවිත් තියෙන්නේ. 2022 මාර්තු 01 සිට 20 දක්වා ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 72,000 ක් විතර වන අතර ඒ අතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණය වන 4,500ක් විතර පැමිණ ඇත්තේ මාර්තු 19 යි.

      ලංකාවේ ජාතික ආර්ථික සභාවට සහාය වීමට පත් කළ ආර්ථික වාණිජ්‍ය උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඊයේ ජනාධිපතිට ඉදිරිපත් කර තිබෙන අතර එහිදී මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම අවධාරණය කර තියෙන්නේ.

      උපදේශක කමිටුව ඉදිරිපත් කර තිබෙන යෝජනා 05 මේවා;

      ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.

      මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.

      ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.

      මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
      සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

      මේවා සාර්ථක වේවිද?

      Delete
  9. Theruwan Saranayi oyata

    ReplyDelete
  10. ඉකොනොමැට්ටා ලංකාවේ පහුගිය දවස් වල තිබ්බ තෙල් ගෑස් හිඟය දැන් ඉවරයි ද? තවම ඒ ප්‍රශ්න එහෙමම තියෙනවා නම් මේ වෙලාවේ මම විශ්වාස කරන ආර්ථික ක්‍රමවේදය අනුව රජයේ ආයතන (පාසල් සහ රෝහල්ද ඇතුලුව) සහ සේවා වලට අදාල සැපයුම් සියල්ල දෙවැනි තැනට දාලා තෙල් සහ ගෑස් මිලට ගැනීමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕන.

    රටේ තියෙන විදේශ මුදල් සංචිතය සිඳී ගිය නිසා තියෙන ඩොලර් ටික වියදම් කරන්න ප්‍රයෝරිටි දෙන්න ඕන තෙල් සහ ගෑස් ගන්න.

    ඒ වෙන කිසිඳු හේතුවක් නෙවෙයි මේ වෙලාවේ පීක් එකේ තියෙන සංචාරක ව්‍යාපාරය සහ අපනයන ආදායම් රැකගන්න කළ හැකි සියල්ලම කරන්න ඕන.

    සංචාරකයන්ගෙන් මේ වෙලාවේ ලෝකෙට ලංකාව ගැන යන්න ඕන පොසිටිව් රීවිව් එකක්. නැතුව තෙල් පෝලිං වල වීඩියො නෙවෙයි.

    සියලූම සංචාරක හොටෙල් වලට සහ අවන්හල් වලට ඇති තරම් සීමා රහිතව ගෑස් සපයන්න ඕන. සංචාරක හෝටල් වලට විදුලිය කප්පාදු නොකර ඉන්න ඕන. සංචාරකයන්ට තෙල් පොලීමේදි පෝලිම නොතකා ප්‍රමුඛතාවය ලැබෙන වැඩසටහනක් හදන්න ඕන.

    සංචාරකයන්ට මග පෙන්වන්න, පාරේ රස්තියාදු නොවී තෙල් ටික ගෙනත් දෙන්න ආරක්ෂක හමුදා වල යුනිට් හදලා පාරට දාන්න ඕන.

    රටේ අර්බුධය නොතකා රටට එන සංචාරකයන්ට උපරිම ආතල් එක දෙන්න වැඩ ටික කරන්න ඕන.

    රජයේ ආයතන වලට විදුලිය කපලා, AC ටික ගලවලා ගාමන්ට් ටිකට, තේ ෆැක්ට්‍රි ටිකට පොල් ඩීසී මෝල් රබර් ටයර් කම්හල් වගේ අපනයනය කරන කර්මාන්ත ශාලාවලට පැය 24ම විදුලිය දෙන්න ඕන.

    රටට ඩොලර් එන හැම මාර්ගයකටම උපරිම සැප පහසුව සලසන්න ඕන.

    රටේ සල්ලි වියදම් කරන ආයතන දෙවැනි තැනට දාන්න ඕන.

    මේ දේවල් අමානුෂිකයි කියලා පෙනෙයි. ඒත් මේක තමයි හරි විදිය කියලා මම හිතන්නේ.

    අපි කොරොනා වසංගතය වෙලාවේ කිව්වෙත් කොරොනා නිසා සිදුවෙන ජීවිත හානි කොහොමත් සිදුවෙනවා, ඒ නිසා රට විවෘත කරලා ආර්ථිකය දිව විය යුතුයි කියලා.

    පහුගිය කාලේ සමාජ ජාල වල රට වහන එකට විරුද්දව ලිව්වාම අපිට හොදටම බැන්නා ලංකාවේ මිනිස්සු. මිනිස් ජීවිත වලට වඩා ආර්ථිකය වටිනවද ඇහුවා.

    කොරොනා ගැනවත්, ලොක් ඩවුන් ආර්ථිකය ගැනවත් ස්ටඩි නොකර කොස් කාලා හරි මිනිස්සු ජීවිත ගැටගහගනියි වගේ හද්ද ඉමෝෂනල් කතා කිව්වා.

    අද ඒ මිනිස්සුම තෙල්, ගෑස් ඉල්ලනවා. කන්න නෑ කියනවා.

    කොරොනා වෛරසය නිසා දුර්වල අය දහසක් මිය යන්න පුලුවන්. හැබැයි රටක ආර්ථිකය වැටුනොත් ලක්ෂ ගානක් පීඩා විඳිනවා.

    බුදු දහමෙන් පෝෂණය වෙච්ච සංස්කෘතියක් ඇඟේ තියෙන මාද ඇතුලුව ලංකාවේ මිනිස්සු ජාතියක් විදියට දේවල් දිහා බලන්නේ මානූෂියව සහ හැඟීම්බරව.

    දෙයක මූල්‍යයමය වටිනාකම සහ නොම්මර බලන්නේ තමන්ගේ පොකට් එකෙන් යනවා නම් විතරයි.

    රට විදියට තීරණ ගනිද්දි ඉමෝෂනල්. ඒ රටේ සල්ලි වියදම් කරද්දි සල්ලි යන්නේ මගේ පොකට් එකෙන් නෙවෙයි කියන වැරදි සහගත සිතුවිල්ල තිබීමත් හේතුවක් වෙන්න ඇති.

    නිදහස ලබලා අවුරුදු 72ක් ගිහිල්ලත් අපිට තියෙන්නේ ඒ චින්තනය.

    ඔය සෝ කෝල්ඩ් බටහිර ජාතීන් ජාතියක් විදියට දේවල් දිහා බලන්නේ මූල්‍යයමය වටිනාකම එක්ක. ඔවුන් ඉමෝෂනල් නෑ. ගන්න ඕන දැඩි තීරණ පැකිලීමක් නැතුව මොළයෙන් ගන්නවා.

    රටක් වශයෙන් අපි සුද්දාගෙන් ගොඩක් දේවල් ගත්තත් සංවර්ධනයේ මූලික අඩිතාලම වෙච්ච මේ මයින්ඩ් සෙට් එක සුද්දාගෙන් ඉගෙන ගන්න බැරි වුනා.

    ඒ නිසා අපි රටක් විදියට සුබසාධන රාජ්‍යයක අන්තයට ගිහිල්ලා, අන්ත දුගී බවක ගිලිලා රාජ්‍යයෙන් වරප්‍රසාද ගන්න ගමන් අනිත් පැත්තට පාලකයන්ට චෝදනා කරමින් ඉන්නේ ඒකයි.

    ජාතියක් විදියට හදවත සහ හැඟීම් පැත්තකට කරලා මොළයෙන් සහ නොම්මර වලින් තීරණ ගන්න ඉගෙන ගන්න මේ කාලයේ හැමෝම ඉගෙන ගන්න අවශ්‍යයි. මේක මගේ පුද්ගලික අත්දැකීම් තුලින් මට හිතෙන දේ. දැන් මට බනින්න කමක් නැහැ ඒත් මම කියන දේවල් කළොත් රට තවත් බරපතල අනතුරකට නොයා ටික දවසක් හරි ඇදගෙන යන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  11. Economatta, I quote your answer provided above "කවර හෝ ටික ටික ඩොලරය තවත් ගොඩක් ඉහළට යයි. දැනට ස්ථාවර වුනත් ටිකෙන් ටික ඉහළ ගොස් රුපියල් 400 මට්ටම දක්වාවත් යනවා". I have few relate questions,
    1) Do you think the demand for dollar is so high or supply so short to make dollar rate around 400
    2) Do you think it is sustainable
    In my opinion dollar rate could go up due to current trend but it should stabilize around 280- 300
    3) Have you arrived at Rs.400 considering the wage-inflation (exchange rate) spiral?
    4) Can we control this through increasing the interest rate by greater magnitude

    ReplyDelete
    Replies
    1. 1) There is an accumulated shortage of goods in the country due to import controls. Most of the inventories have been used up and there is a one-off demand to fill up inventories with imports. The expected (relatively slower) increase in the price of a USD (even after it settles) also will increase import demand. For example, many in SL are waiting in a queue for 2 years to import a car. At the same time, there is no accumulated demand for Sri Lankan exports in rest of the world. A price around Rs 280-300 may reduce import demand substantially but will not close the gap. I do not expect the USD to reach Rs. 400 soon, simply because the government will not let it happen. I think, breaks will be applied when it reaches Rs. 300 (Already Rs. 290 today).
      2) Depends on what you mean by "sustainable". The rate may not automatically stabilize around 280-300, but the government/CB may make it happen. Dollar will go up until the disbursement of the first tranche of am IMF loan is announced. It makes a big difference whether this will happen before July 25th or not.
      3) The idea is close to that that but it is more than that.
      4) That is the most effective way I see at the moment. The strategy has its own costs but this is a matter of minimizing the damage.

      Delete
    2. ලංකාවේ වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවල එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටි අතර එහිදී මහ බැංකු අධිපතිවරයා කර ප‍්‍රකාශයකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් දැඩි ප්‍රතිචාරයක් දැක්වූ අතර ජනාධිපති කියා සිටියේ තමන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවයි.

      https://www.youtube.com/watch?v=bNoq_tfZE-U&t=12s

      මේකෙන්ම පේනවනේ කබ්බා කියන්නේ කොච්චර ලොකු මෝඩයෙක්ද කියලා. එහෙම මෝඩයෙක් අධිපති පුටුවෙන් එලවන්නේ නැතුව මේ රට ගොඩ දාන එක සිහිනයක්. රනිල් මේ අද අරම්භයම කල කතාව හැමෝටම රිදෙන්න දුන්න එක ගැන අගය කල යුතුමයි... බයිලා වැඩක් නෑ ඕන විසදුමක්.

      2018 USD 1 = Rs. 183 වෙච්ච වෙලාවේ රු 340 ට තිබ්බ කිරිපිටි 380 වෙනකොට රනිල්ට ළමයි නෑ කිව්වෙ ඒකයි එයාට තේරෙන්නෙ නෑ කියල. ඉන්පසු ඔවුන් දරුවන් සහ මුණුබුරන් සමඟ පවුල ගෙනාවා. දැන් කිරි මිල 800යි.

      බැසිල් අමු ගොබ්බයෙක් කියල මුළු රටම අද දැක්කා. රනිල් හීනියට ප්‍රශ්න දෙකයි ඇහුවේ, බැසිල් ගේ සරමයි යට කලිසම යි දෙකම බිම. මට දුක මේ ගොබ්බසෙන ට කඩේ යන පූට්ටු කුකුකෝ ගැන.

      Delete
  12. ඉකොනොමැට්ටා,

    ඇත්තටම ලංකාවේ රුපියල අධික ලෙස අවප්‍රමාණය වීමෙන් පසු කුකුළුමස්/බිත්තර කර්මාන්තයට රජය මැදිහත් නොවුණොත් නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කුකුළ් මස් සහ බිත්තර කර්මාන්තය අප්‍රේල් මාසයෙන් පසු කඩා වැටෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ (AIEPE) භාණ්ඩාගාරික විජය අල්විස් අනතුරු හඟවලා.

    https://www.dailymirror.lk/latest_news/If-govt-doesnt-intervene-entire-poultry-industry-will-collapse-by-April/342-233595

    ලංකාවේ කුකුළුමස් සහ බිත්තර කියන්නේ රටේ ප්‍රධාන ප්‍රෝටීන් සපයන කර්මාන්තය. මිනිස්සුන්ට ලුණුයි බතුයි හෝ බතුයි, පරිප්පුයි කාලා ලොකු බඩවල් එක්ක ඇඟේ හයිය හත්තිය නැති ජාතියක් වෙන්න වේවි හරියට ඒ සැපයුම් නැති වුණොත්.

    නමුත් මේ කුකුළ් ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අධික ලෙස මිල ඉහළයාමෙන් ඒවා ගැනීම දුෂ්කර වෙලා තියෙන බව තමයි විජය අල්විස් ඩේලි මිරර් පත්තරේට කියා තිබුණේ. දේශීය වෙළෙඳපොළේ රුපියල් 214ට තිබූ සෝයා කිලෝවක් මේ වනවිට රුපියල් 331 දක්වා ඉහළ ගිහිල්ලාලු. බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 93 සිට රුපියල් 169 දක්වා ඉහළ ගිහිල්ලාලු. ආනයනික මාළු ආහාර වෙළෙඳ පොළේ සොයා ගන්නත් නැති තරම්ලු. තිබ්බත් අධික ලෙස මිලයිලු.

    ලංකාවේ සත්ත්ව ආහාර නිපදවන්නන් සහල්, බඩඉරිඟු සහ සෝයා මික්ස් කරලාලු, ප්‍රෝටීන් සහිත සමබර කුකුළු ආහාරයක් හදා ගනනේ. මස් තියෙන කුකුළෙක් හෝ පෝෂ්‍යදායී බිත්තරයක් හැදෙන්නේ ඒ කෑම එක්ක. මේ වගෙ කෑම එකක් හදාගන්න විතරක් දැන් රුපියල් 178ක් විතර වැය වෙනවාලු. මේ නිසා ගොවිපලක බ්‍රොලියර් කුකුළන් සහ බිත්තර දමන කිකිළියන්ට කෑම දෙන්න යන පිරිවැය වැඩි වෙද්දී, ඒක දරාගන්න බැරි බව තමයි ඔවුන් කියන්නේ. දැනට ලන්කාවේ බිත්තර මිල රු. 18-19 ඉඳන් එකපාරටම රු. 32-35 දක්වා අධික ලෙස ඉහළ ගිහින්, නමුත් බිත්තරයක් විකුණන ගාණ රුපියල් 27 වගේ පැන්නොත්, මිනිස්සු බිත්තර ගන්න එක සම්පූර්ණයෙන්ම පාහේ අත්හැරලා දමාවි. කුකුළුමස් කිලෝවක් වුණත් 850-900 ගාණ ඉක්මවන්න වුණොත්, මිනිස්සු ගන්න එක ගොඩාක් අඩු වෙනවා. දැනුත් රුපියල් 500 ට අඩුවෙන් කලින් තිබ්බ කුකුල් මස් කිලෝ එකක් රු 1000 කට ආසන්නයි. ප්‍රවාහන වියදම් ඩබල් එකෙන් වැඩිවෙලා අධික තෙල් මිල එක්ක.

    මෙන්න මේ වගේ දේවල් නිසා එතකොට කුකුළ් කර්මාන්තයට මරු පහරක් එල්ල වෙනවා. අනෙක් පැත්තෙන් රටේ පෝෂණයට බලපානවා. මේකට සුදුසු විසඳුම කුමක් විය හැකිද?

    තව දෙයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අප්‍රේල් මාසයේ වොෂින්ටන් සංචාරයේදී ලංකාවට හොඳින්ම සහය ලබාදිය හැකි ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවා කියනවනේ, අයිඑම්එෆ් එකට ගිහින් ශ්‍රී ලංකා රජයේ වැඩසටන ඉදිරිපත් කරලා, අපේ පැත්තේ අපේක්ෂාවන් ඉදිරිපත් කරනවාලු. (කපුටාස් භාෂාවෙන් මුදල් ඇමති කියන කතාව හරියට වටහාගන්න අයිඑම්එෆ් කට්ටියට පුළුවන් වුණොත් හොඳයි.) මුදල් ඇමතිගේ බ්‍රීෆින්ග් එකට සාමාන්‍යයෙන් යන වෙලාව වගේ දෙගුණයක් වෙලාව කොහොමත් යයි, මැද නවත්තන්නයි, බෙහෙත් බොන්නයි, දාඩිය පිහදාන්නයි, කොළේ බලං කියවන්නයි, ගොත ගහන්නයි වෙන බයිල ගහන්නයි වරදින තැන් ආයේ හරි ගස්සන්නයි වැඩ කෝටියක් නේ. කොහොමහරි ඒ සාච්ඡාවෙන් පස්සේ අයිඑම්එෆ් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරනු ඇති.

    ලංකාවට ආපු අයිඑම්එෆ් ලොක්කා ගැරි රායිස් ලංකාවේ ගෙවුම් ශේෂ ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීමට ජනාධිපති නන්දසේන රාජපක්ෂ අපේක්ෂා කරන බව ජනාධිපති එක්ක තිබුණ සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරිපත් කරමින් කියා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනක් පිළිබඳව ලංකාව ක්‍රියාකාරීව සලකා බලමින් සිටින බව සාකච්ඡාවේදී තහවුරු වුණාලු.

    කියන හැටියට සාර්ව මූල්‍ය ධාරිතාව ගොඩනැගීම පිළිබඳ පුහුණුව සහ තාක්ෂණික සහාය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉල්ලලා තියෙන බවත්, ඒකට සහයෝගය දෙන බවත් එහිදී කියලා. ඒ වෙනුවෙන් පුහුණු වැඩසටහනකුත් කරනවාලු. ඒකට අයිඑම්එෆ් එකෙන් ලංකාව ගැන කරපු මූලික පුරෝකථන සහ ආර්ථික විශ්ලේෂණ මෙවලම් පාවිච්චි කරනවාලු. අයිඑම්එෆ් ඕන්නෑ, මට ඔක්කොම පුළුවන් කියල ඔලුව උදුම්මාගෙන ලංකා ජාතියේ ඔලුව කළුගලක හප්පපු අජිත් නිවාඩ් කබ්රාල් (රෙදිත් ඇඳගෙනද මන්දා) සන්ඩේ ටයිම්ස් පත්තරේට අදහස් දක්වමින් කියා තියෙනවා “ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දැන් ප්‍රකාශ කර ඇති හෙයින්, අකමැත්තෙන් වුණත් ආර්ථිකය මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සම්බන්ධීකරණ ඉදිරි ගමනක් සහතික කිරීම සඳහා මහ බැංකුව අනාගත රැස්වීම්වලට සහභාගී වෙනවා.” කියලා, කොහොමද වැඩේ?

    ReplyDelete
    Replies
    1. කබරයායි බසිලායි ගැන විස්වාසය තියාගෙන කරපු විගඩම් නිසා මේ වෙද්දී රජයේ සැලසුම් ගැන විශ්වාස නැති නිසා ජාත්‍යන්තර වෙළදපොළ සම්පූර්ණයෙන් වගේ ලංකාවට වැහිලා තියෙන බව ජනාධිපති කබර හිවලට කීවාලු. [‘ඔව් මහත්තයෝ! ලංකාව රීගෙන ඉන්නෙ.’ ලාංකිකයෙක්ට එහෙම හිතේවි. (භාෂාව ගැන සමාවෙන්න.)]

      ඊලඟට දෙවැනි කාරණය, රජය විසින් විනිමය අනුපාතිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා ලංකාවේ විදේශ මුදල් හිදිලා ගිහින් ලංකාවට ණය ගෙවන්න මුදල් නැති වූ බව ජනාධිපති කබර හිවලට පෙන්වා දීලා. ඊලඟට දැන් උද්ධමනය සීයට 25 දක්වා ඉහළ යෑමත්, ආහාර උද්ධමනය දරුණු විදියට වැඩිවෙද්දී ඒක පාලනය කරන්නට ආණ්ඩුවට තියෙන නොහැකියාව ගැන ඊළඟට ජනාධිපති කබර හිවලගෙන් කරුණු විමසලා. තව දෙයක් පහුගිය අවුරුදු දෙකේ තිබුණ දැවැන්ත අය වැය හිඟය ගැන ජනාධිපතිවරයා කරුණු විමසලා.

      මේ නිසා උසස් තත්ත්වයේ ආදායම් ක්‍රියාමාර්ග මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ අවශ්‍යතාවය සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමඟින් බදු නිදහස් කිරීම් අවම කරමින් ශ්‍රී ලංකාව ආදායම් බදු සහ වැට් බදු අනුපාතය දැනට පවතින සියයට 8 සිට සියයට 16 දක්වා වැඩි කළ යුතු බව අයිඑම්එෆ් ලොක්කා පෙන්වා දුන් බව ජනපති කබරයට කියලා දීල හොඳ සිංහලෙන් ඇමතුවා කියලත් ආරංචියි.

      අයිඑම්එෆ් කොන්දේසි සහ නියෝග වලට අනුව ලංකා ආර්ථිකය්යේ ප්‍රතිසංස්කරණ කිරීමට පෙර ශක්තිමත්, හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ දැලක් හදලා අවදානමට ලක් වෙන්න ඉඩ තියෙන කණ්ඩායම්, ඒ කියන්නෙ පොඩි මිනිස්සුන්ගෙ ජීවන තත්වය රැකගන්න ක්‍රමයක් හදලා සාර්ව ආර්ථික ස්ථාවරත්වයයි, ණය ගෙවීම ස්ථිරසාර කරන්නයි උපයමාර්ග ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕනෑ බව ආන්ඪුවේ අදහස බවයි පත්තර වල කියල තිබ්බේ මේක ප්‍රායෝගිකව නම් කරන්න බැරි වෙයි. පොඩි මිනිහා හිඟමනටම වැටෙයි තව මාස දෙකක් යද්දී.

      Delete
    2. හැබැයි දිගින් දිගටම ‘අයිඑම්එෆ් යන්න’ කියා විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල හර්ෂ ද සිල්වා ගේ සිට ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන දක්වා කට්ටිය කියනවා. ඒ හුදෙක් අයිඑම්එෆ් එක්ක සාකච්ඡා කරලා යම්කිසි සහනයක් ලබා ගැනීමක් නෙවෙයි. එයින් අදහස් කරන්නේ මෙවැනි අවස්ථාවක රටකට ලබාගත හැකි බේල්අවුට් පැකේජ් එක ලබා ගැනීම. කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී අභ්‍යන්තර මට්ටමෙන් බේල්අවුට් පැකේජ එක ලබාගැනීමට පක්ෂව අදහස් දැක්වු කෙනෙක් විදියට අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකටයි. “ලංකාව අතීත අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබෙනවා. අපි තවමත් එම විකල්පයට විවෘතයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟත් සාකච්ඡා කිරීමට විවෘතයි. අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා” යනුවෙන් කැබිනට් ප්‍රකාශක රමේෂ් කියා තිබුණා.

      නමුත් එහෙම කළොත් රජයේ විවිධාකාර සුභසාධන ව්‍යාපෘති සීමා කරන්නට සිදු වීම වගේ හේතු ගොඩක් පෙන්වා ඒ පැකේජ් එක නොගැනීමේ ඔවුන්ගේ පැත්තේ හේතු තොගයකුත් දීර්ඝ ලෙස මුදල් අමාත්‍යවරයා කතා කර තිබුණත් ඇත්තටම ඒවා තර්කානුකූල අදහස් නෙවෙයි. (අයිඑම්එෆ් ගියොත් ආණ්ඩුව පාරවල් කිමී ලක්ෂයක් හදන එක, අධිවේගී මාර්ග, ජල ව්‍යාපෘති, සමෘධි සහනාධාර වල සිට ඡන්දවලට බඩු බෙදන නාස්තිකාර වැඩ වගේම, දූෂණයටත් සීමා දාන්නට සිදු වනු ඇතැයි බියෙන් ඇති. ඒකයි හැබෑ හේතුව විය හැක්කේ, එහෙම නේද?)

      මේ නිසා වත්මන් කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය අයිඑම්එෆ් නොයෑම බව පැහැදිලියි. ඒ වෙනුවට අයිඑම්එෆ් ඇතුලු ජාත්‍යන්තර ආයතනවලිනුත්, ලෝකයේ රටවල්වලිනුත් පොඩි පොඩි ණය පහසුකම් ආදිය අරන් පැලැස්තර දමමින් ඉදිරියට යෑම බව පැහැදිලියි. ඒ වගෙම පීබී ජයසුන්දර කටයුතු කළ ආකාරය, ගත් තීන්දු තීරණ කැබිනට් ඇමතිවරුන් මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ පවා විවේචනයට පාත්‍ර වුණා. ප්‍රසිද්ධියේ මෙන්ම තිරය පසුපස ඒ විවේචන එල්ල වුණා.

      ඉස්සර 2005-14 කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ මුදල් ඇමති ලෙස කටයුතු කරද්දී මුදල් අමාත්‍යාංශ ලේකම් වුණ පීබී ජයසුන්දර ඇමෙරිකා එක්සත් ජනපදයේදී ආචාර්ය උපාධිය ලැබූ ශ්‍රී ලංකා මහබැංකුවේ සේවය කරමින් සිට මුදල් අමාත්‍යාංශයේ සේවයට යොමු වූවෙක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයක පාස්කරලිංගම් මහතා මුදල් අමාත්‍යාංශය භාරව සිටියදී කණිෂ්ඨ නිලධාරියෙක් ලෙස එතැනට ගිය ඔහු ඒ එජාප ආණ්ඩුව, ඉන්පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2003-04 එජාප ආණ්ඩුව සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යන සියලු ආණ්ඩුවල දේශපාලන නායකන්ගේ විශ්වාසය දිනූ අතරම යම් කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද ආර්ථික විෂේෂඥයෙක් ලෙස ඔහු සේවය කළා.

      නමුත් 2005-14 කාලේ ඔහු සම්බන්ධ වූ සැකසහිත රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීමේ ගනුදෙනුවකට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව නැවත කිසිදා රාජ්‍ය සේවයට එකතු නොවෙන ලෙස අගවිනිසුරුගේ නියෝගයකටත් ලක් වුණා. ඒත් පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් එම තීන්දුව වෙනස් කරවාගෙන නැවත රාජ්‍ය සේවයට එකතු වුණා.

      කොහොම වුණත් අයිඑම්එෆ් යෑම වගේම පොදුවෙඇ අයිඑම්එෆ් වැනි ආයතන පිළිගන්නා ආකාරයේ ආර්ථික විසඳුම් පවා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වගේම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ‘ගෙදර හදාගත් විසඳුම්’ හෙවත් ‘Homegrown හෝම්ග්‍රෝ(ව්)න්’ විසඳුම් තියෙන බව කබ්රාල් දිගටම කටමැත දෙඩෙව්වත් ඒ සියල්ල අසාර්ථක වී රට හොම්බෙන් යනතුරුම අයිඑම්එෆ් නොයා කල්මැරුවා. අයිඑම්එෆ් නොයනවා නම් කමක් නැහැ. එහෙනම් ලංකාවේ විසඳුමක් යෝජනා කරන්න තිබුණා.

      මේ නිසා කුපිත වී කබරයාට හොඳ සිංහලෙන් බැන වැදුන බව කියන ජනාධිපති නන්දසේන රාජපක්ෂ තම තනි මතයට අයිඑම්එෆ් සමඟ සම්බන්ධ වීමට රජය තීරණය කර ඇති බව බදාදා ජාතියට දැනුම් දුන්නේ “අපගේ වාර්ෂික ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර යනාදිය ගෙවීමට ක්‍රමයක් සොයා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවලින් අනතුරුව එහි වාසි සහ අවාසි පිළිබඳව සොයා බලා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මම තීරණය කළා” කියමින්. ජනපති කියන හැටියට ලංකාවට 2022 වසරේ ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. 2023 සහ 2026 අතර තවත් ඩොලර් බිලියන 25 ක් ගෙවන්න තියෙනවා. ඒත් ණය ගෙවන්න තියා එදිනෙදා ජීවත්වෙන්නත් බැරි තරම් සල්ලි හිඟයිලු. මේක ඇත්තද?

      තව දෙයක් අයිඑම්එෆ් අධ්‍යක්ෂ ජෙරී රයිස් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ලංකාවට සහයෝගය දීම ගැන කතා කළත් ලංකාවට සහයෝගය දෙන විදිය ගැන නිල වශයෙන් ප්‍රකාශ කළේ නෑ. එනිසා එය කෙසේ වේවිද කියා පෝස්ට් එකක් හරහා පැහැදිලි කළ හැකි නම් ඉතාම වැදගත්.

      Delete
  13. ඇමරිකාවේ මුදල් ඇමතිතුමා කවුද ඉකොනෝ? හොයාගන්න බැහැනේ?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ඇමතිවරු නැහැනේ, ඇනෝ. ඇමරිකාවේ මීට ආසන්න ධුරය භාණ්ඩාගාර ලේකම් ධුරයයි. ඇමරිකාවේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ දේශපාලකයන් නොව රාජ්‍ය නිලධාරීන්. මේ වන විට භාණ්ඩාගාර ලේකම් ධුරය දරන්නේ මහාචාර්ය ජැනට් යෙලන්. ඇය මීට පෙර ඇමරිකාවේ මහ බැංකු අධිපති (ෆෙඩරල් සංචිත බැංකු සභාපති) ධුරයද දැරූ, හාවඩ් සරසවිය ඇතුළු ප්‍රධාන පෙළේ සරසවි කිහිපයකම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කළ කෙනෙක්. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝජ් අකර්ලොෆ්ගේ බිරිඳ.

      ලංකාවේ මෙන් නොව ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය හා විධායකය අතර පැහැදිලි ඉරක් තිබෙනවා. නීති හදන එක කරන්නේ මහජන නියෝජිතයින් විසින්. නීති හැදුවාට පසුව ඔවුනුත් නීතියට යටත්. ඔවුන්ට මහජන කැමැත්ත අනුව නීති හදා පැත්තකට වෙනවා මිස නීති ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. නීති ක්‍රියාත්මක කරන්නේ විධායකය විසින්. විධායකයට තිබෙන නීතිය හරියට ක්‍රියාත්මක කරනවා මිස නීති හදන්න හෝ නීති නමන්න බැහැ. ජනාධිපති (හා උප ජනාධිපති) මහජන ඡන්දයෙන් පත් වීමෙන් පසුව විධායකයේ ප්‍රධාන තනතුරු සඳහා (මහජන නියෝජිතයින්ගේ අනුමැතියට යටත්ව) සුදුසු පුද්ගලයින්ව පත් කර ගන්නවා. රජය පාලනය කරන්නේ ඔවුන් විසින්.

      Delete
    2. ඒක මහා විකෘතියක්නේ? මිනිසුන් එරෙහි නැද්ද ඔය ක්‍රමයට?

      Delete
    3. මොකක්ද විකෘතිය? මේ ක්‍රමය නිසා තමයි කිසිවෙකුට තමන්ගේ හිතුමනාපෙට කටයුතු කරන්න බැරි.

      Delete
  14. මාමෙ, දැන්, සියේට හතාමාරට මහ බැංකුවෙන් පොලියට ගන්න සල්ලි, සියේට එකොළාට (අද දොළාට ) ආණ්ඩුවට ණයට දෙනව කියමු. දැන් මේ වැඩේ කරන්ට හැම බැංකුවටමයි ප්‍රාථමික වෙළෙන්ඳටමයි පුලාන්නෙ. එතෝට වෙන්දේසියේදි මේගොල්ලො අතරෙ තරඟෙ වැඩිවෙලා පොළිය (එකොළහේ/දොළහේ) හතාමාර ගාවට එන්ටෝන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේක නොවෙන හේතු කිහිපයක්ම තිබෙනවා. බැංකු හෝ ප්‍රාථමික වෙළෙන්දෝ භාණ්ඩාගාර බිල්පත් අරගෙන (සියල්ලම නොවුනත්) අනෙක් අතට මිනිස්සුන්ට විකුණනවා. මේ වෙලාවේ මිනිස්සුන්ට භාණ්ඩාගාර බිල්පත් විකිණිය හැක්කේ 11-12% පමණ පොලියකටයි. අඩු පොලියකට විකුණා අවශ්‍ය තරම් අරමුදල් රැස් කරන්න බැහැ. මහ බැංකුවෙන් දෛනික පදනම මත ණය ගන්න සිදු වී තිබෙන්නේ (එසේ කිරීම වාසිදායක වීම පැත්තකින් තිබ්බොත්) අරමුදල් අවශ්‍ය පමණ එකතු නොවන නිසා. මේ පොලිය 7.5% දක්වා අඩු කළොත්, අනෙක් පැත්තෙන් ස්ථිර තැන්පතු පොලී ආදියත්, ණය පොලියත් අඩු කරන්න වෙනවා. එවිට බැංකු වලට දැන් ලැබෙන තැන්පතු ප්‍රමාණයත් නොලැබී යනවා. ණය ඉල්ලුම තවත් ඉහළ යනවා. මේ සියල්ලටම වඩා මහ බැංකුව විසින් කොයි වෙලාවේ හෝ පොලී අනුපාතික වැඩි කිරීමේ ඉඩකඩක් තිබෙන බව බැංකු හා ප්‍රාථමික වෙළෙන්දෝ දන්නවා. අඩුවට ණය දුන්නොත් සල්ලි හිර වීම නිසා පාඩුවක් වෙනවා.

      Delete
    2. ඉස්තූතියි. පැහැදිළියි. එතෝට මේ වෙන්දේසි පොලිය ටික ටික උඩ යන එකෙන් පැහැදිළි වෙන්නෙ සමස්තයක් විදියට ගැනුම්කාරයො තම තමන්ගෙ තක්සේරුව අනුව එන්ට එන්ට වැඩි ලාබයක් බලාපොරොත්තු වෙනෝ කියන එකනෙ. ඒ කියන්නෙ එක්කො ඉස්සරාට පොලී අනුපාත තවත් වැඩිවෙයි කියල හිතනෝ, නැත්නම් අවදානම ටික ටික වැඩිවෙනෝ කියල හිතනෝ, එහෙමත් නැත්නම් ඒ දෙකම හිතනෝ.. මම හරිද මාමෙ?

      Delete
  15. ඉකොන් මුදල් හා රත්‍රන් අතර ඇති සම්බන්ධය (රත්රන් අගයක් දීම) හෝ ඩොලරය හා රත්රන් සංචිත තර සම්බන්ධය ගැන ඔබ ලිපියක් ලියා තිබෙනවද ? එසේ ඇත්නම් කරුණාකර යොමුව දමනවාද , ලියාගෙන යන ලිපියකට

    ReplyDelete
    Replies
    1. සල්ලි බාල්දු වීමේ කතාව
      http://economatta.blogspot.com/2021/04/blog-post_3.html


      රත්තරන් මංකොල්ලය
      http://economatta.blogspot.com/2021/04/blog-post_3.html

      Delete
  16. එකම ලින්ක් එක

    ReplyDelete
    Replies
    1. Sorry. This one.

      http://economatta.blogspot.com/2021/03/blog-post_3.html

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...