වෙබ් ලිපිනය:

Thursday, March 3, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දහවන කොටස)


මෙය කොටස් දහයකින් අවසන් කෙරුණු ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය ලිපි මාලාවෙන් පසුව ලියැවුණු ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය ලිපි මාලාවේ දහවන හා අවසන් කොටසයි. මුලින් සැලසුම් කළ පරිදිම කොටස් දහයකින් මෙම දෙවන ලිපි මාලාවද අවසන් කිරීමෙන් පසුව අප විසඳුම් ගැනද කතා කරන්නට පටන් ගන්නවා.

දෙවන ලිපි මාලාව ආරම්භ කරන විට ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති බවත්, එය කවර ආකාරයේ එකක්ද යන්නත් බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබුණා. වසර හතකට පෙර අප මේ වියුණුව පටන් ගෙන මේ ගැන කලින් සිටම කියද්දී බොහෝ දෙනෙකු විසින් අනාගතයේ ඇති විය හැකිව තිබුණු මේ තත්ත්වය දැක්කේ රස කතාවක් ලෙස පමණයි. තවත් අයට එය කඩේ යාමක් ලෙස පෙනුනා. ඇතැම් අය ඉතා මෑතක් වන තුරුම මේ මුලාවේ සිටියා.

පහු වී හෝ ආර්ථික අර්බුදයක් ඇති බව තේරුම් ගත් බොහෝ අයටද එහි ගැඹුර හෝ සමීපත්වය පිළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නැහැ. දෙවන ලිපි මාලාවේ අරමුණ වුනේ එය පෙන්වා දීමයි. අර්බුදයේ අවසානය දැන් පෙනෙනවාට වඩා බොහෝ භයානක වුවත්, මේ වන විට බොහෝ දෙනෙකුට ගිණි දළු වල රස්නය දැනෙනවා. යන විදිහට දිගටම ගියේනම් මේ වසර මැද වන විට අනිවාර්යයෙන්ම ඇති වේයැයි අප විශ්වාස කළ තත්ත්වය මේ වන විටද ඇති වී තිබෙනවා. 

ඉන්ධන ආනයනය කළ නොහැකි තැනකට වැටීමත් එක්ක බොහෝ දේ වෙනස් වෙලා. මිනිස්සු ආණ්ඩුවට පස් පඩංගුවේ බණින්න පටන් අරන්. ආණ්ඩුවේ එල්ලී සිටි පරපෝෂිතයින් කුණුවෙන ගෙඩිය අතහැර හීමිට බැස යන්න උත්සාහ ගනිමින් සිටිනවා. මහ බැංකු අධිපතිගේ සයමාසික සූදු ක්‍රීඩාව විනාශය මේ තරම්ම ඉක්මන් වීමට ආසන්නම හේතුවයි. තුන් වන මොනාක් ප්‍රකාශනයේ "හරි මග" කියන්නේ වෙන කිසිවක් නොව ආණ්ඩුව මෙන්ම රටද විනාශ කළ මගයි. "හරි මගට" වචන දෙක කියවිය යුත්තේ එකට නොව වෙන වෙනමයි. හරි! මගට!! දැන් හරියටම හරි. ආණ්ඩුව වගේම රටත් මගට වැටිලා. 

ආණ්ඩුව විසින් මේ වෙද්දී ආණ්ඩුව හා රට පාරට වැට්ටවූ "හරි මග" ඇත්තටම අතහැරලානම් ඒ කියන්නේ ආණ්ඩුව නියම පාරට වැටිලා කියන එකයි. හැබැයි දැන් පරක්කු වැඩියි. පණුවෝ බටු ගෙඩිය අතාරින්නේ බට්ට විනාශ කිරීමෙන් පසුවයි. ආණ්ඩුවට තව දුරටත් ගොඩ යාමේ හැකියාවක් නැහැ.

බොහෝ විට ආණ්ඩුව විසින් ඉන්දියාවෙන් ණයක් අරගෙන දැන් තිබෙන ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගනියි. එහෙත්, එහෙම කළා කියලා ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. තවමත් මුලාවේ සිටින ටික දෙනෙකුට මෝඩ චූන් එකක් ගන්න මාසයක් දෙකක් ලැබෙනවා පමණයි. 

මේ අර්බුදය කාලයක් තිස්සේම පසුපසට තල්ලු වෙමින් යන අර්බුදයක්. 2015 ආණ්ඩු මාරුව නොවන්නට අද තිබෙන තත්ත්වය ඇති වෙන්නේ වසර පහකට පෙර 2017දී. එසේ වුනානම්, රටට වසර පහක් ඉතිරි වෙනවා. අවසාන වශයෙන් දිගුකාලීනව බැලුවොත්, යහපාලන ආණ්ඩුව විසින් කළ දේවල් වලින් කිසිම වැඩක් වී නැහැ. 2017දී මහින්ද රාජපක්ෂගේ තෙවන ධුර කාලය තුළ ආර්ථිකය කඩා වැටුනානම්, අද වන විට රටේ මිනිස්සු නිවැරදි තැනට ඇවිත්.

ඒ අතින් බැලුවොත් කබ්රාල්ගේ සයමාසික සැලැස්ම සාධනීය එකක්. කෝවිඩ් වසංගතයේ බලපෑම හා එය හමුවේ ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවත් එම වසරේදී සිදු වුනේ බිලියන දෙකකට අඩු සංචිත ප්‍රමාණයක් අහිමි වීම පමණයි. වසංගත අවස්ථාවකදී සංචිත වලින් බිලියන දෙකක් වැය කිරීම ගොඩක්ම නරක තත්ත්වයක් නෙමෙයි. පසුව 2021 වසරේදී අයිඑම්එෆ් එකෙන් ලැබුණු මුදල සැලකූ විට ශුද්ධ හානිය බිලියන 1.2ක් පමණයි. 

සීමාවක් නැතිව සල්ලි අච්චු ගැසීම ඇතුළු අනෙක් ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් 2020 වසර තුළ 2021 අවසානයට සාපේක්ෂව ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න උත්සාහ කිරීමක් සිදු වුනේ නැහැ. අධිපති මාරුවට ආසන්න කාලය වෙද්දී, අඩු වශයෙන් සති කිහිපයකට හෝ, ඩොලරයේ මිල වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නට ඉඩ දී ඉතිරිව තිබුණු සංචිත රැක ගැනීමේ  ස්ථාවරයකට මහ බැංකුව එළඹුණා. මිල තීරණය කිරීමේ නිදහස තිබුණානම් වාණිජ බැංකු විසින් කොහෙන් හෝ ඩොලර් හොයා ගන්නවා. ඒ අවස්ථාවේදී ඩොලරයේ මිල රුපියල් 250 පමණ මට්ටමක ස්ථාවර වී ප්‍රශ්නය විසඳී යා හැකිව තිබුණා.

සයමාසික සැලැස්ම තුළ සිදු වුනේ ඉතිරිව තිබූ සංචිත ඔට්ටුවට දමා සූදු කෙළීමක්. ග්‍රීක බැඳුම්කර, හෙජිං ගණුදෙනුව වගේ අවස්ථා වලදී වුනෙත් මේ විදිහේ අවදානම් සුදූ වලට සල්ලි දා පැරදීමක්. පහුගිය මාස හය තුළ සිදු ක්‍රියාත්මක වුනේ ඊට වඩා අවදානම් සහගත හා භයානක සූදුවක්. දැන් ඇස්පනාපිට පෙනෙන්නේ මේ සූදුවේ ප්‍රතිඵලය. 

ලංකාව ඇතුළු බොහෝ රටවල දැකිය හැකි ආර්ථික-දේශපාලන ක්‍රමය හැඳින්වීමට මම "රාජ්‍යතන්ත්‍රවාදය" යන අලුත් වචනය යොදා ගන්න කැමතියි. ඇමරිකානු සන්දර්භය අනුව යමින් මම බොහෝ විට "සමාජවාදය" යන වචනය යොදා ගත්තත් සමාජවාදය යන වචනය විවිධ, වෙනස් අර්ථ වලින් යොදා ගැනෙන නිසාත්, "රාජ්‍ය ධනවාදය" යන යෙදුම නොමග යවන සුළු එකක් නිසාත් මෙවැනි වෙනස් වචනයක් අවශ්‍යයැයි මම හිතනවා. 

මේ වචනයට කිට්ටුම ඉංග්‍රීසි වචනය "autocracy" වුවත්, "රාජ්‍යතන්ත්‍රවාදය" යන්නෙන් මා අදහස් කරන්නේ තනි පුද්ගලයෙකුගේ ඒකාධිකාරී පාලනයක් පමණක් නොවෙයි. රාජ්‍යතන්ත්‍රවාදයක් තුළ රාජ්‍ය බලය තනි පුද්ගලයෙක්, පවුලක් හෝ පක්ෂයක ඉහළ නිලධාරී කණ්ඩායමක් වඩා සංකේන්ද්‍රණය වී තිබිය හැකියි. ප්‍රායෝගිකව හැම සමාජවාදී රටකම තිබුණේත්, සිංගප්පූරුව වැනි සන්දර්භයන්හි කෞශල්‍යතන්ත්‍රවාදය ලෙස හැඳින්වෙන්නේත් රාජ්‍යතන්ත්‍රවාදයෙහි ව්‍යුත්පන්න තත්ත්වයන් දෙකක් . රජය වෙනුවෙන් රජය පවත්වාගෙන යන ක්‍රමයක් ලෙස මෙය අර්ථදැක්විය හැකියි. රටේ ජනතාවගේ පැත්තෙන් බැලූ විට, රාජ්‍යතන්ත්‍රවාදී පරීක්ෂණ ඇතැම් විට සාර්ථක වන නමුත් අසාර්ථකවීම් ඊට වඩා වැඩියි. එහෙත් රජයට සම්බන්ධ අයගේ පැත්තෙන්නම් හැම විටම සාර්ථකයි. 

රාජ්‍යතන්ත්‍රවාදය තුළ ධනවතුන් වෙන්නේ සූදුකරුවන් මිස ව්‍යවසායකයින් නෙමෙයි. ව්‍යවසායකයෙකු කියන්නෙත් එක්තරා ආකාරයක සුදූකරුවෙක් වුවත් මධ්‍යම මට්ටමේ අවදානම් ගන්නෙක් මිසක් ලැබෙන ප්‍රතිලාභයට සාපේක්ෂව අනවශ්‍ය අවදානමක් ගන්නෙකු නොවෙයි. මෙයට සාපේක්ෂව සූදුකරුවෙකු කියන්නේ අඩු වැඩි වශයෙන් වාසනාව මත විශ්වාසය තබමින් අවදානම් ගන්නා අයෙක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තමන්ගේ සල්ලි අවදානමේ හෙළද්දී හැකි තරම් සැලකිලිමත් වෙනවා. එහෙත්, පොදු අරමුදල් වලින් හිතුමතේ සුදූ කෙළින්න ඉඩ ලැබුණු විට තත්ත්වය වෙනස්. ආවොත් අලියෙක් ගියොත් වචනයක් වගේ තමයි. හරි ගියොත් ගෞරවය තමන්ට. පාඩුවක් වුනොත් පාඩුව රටට. 

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරය නැවත භාර ගන්නා අවස්ථාව වෙද්දී ඩොලරයක මිල රුපියල් 220 පමණ මට්ටමකට ගිහිල්ලයි තිබුණේ. ඔහු ධුරයේ වැඩ භාර ගත් ගමන්ම විණිමය අනුපාතය රුපියල් 200 මට්ටමට ගෙනත් ස්ථාවර කළා. ඔහුගේ සයමාසික වැඩ පිළිවෙළ වුනෙත් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඒ හරහා රටට ඩොලර් අද්දවා ගැනීමයි. 

මේ විදිහට අධිපති මාරුවෙන් පස්සේ මහ බැංකුව විසින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමට ගන්නවා කියලා ඇත්තටම කළේ ඉතිරිව තිබුණු සංචිත ටිකත් විකුණමින් "Do or die" සෙල්ලමක් පටන් ගන්න එකයි. මේ වැඩේ නිසා තිබුණු සංචිත ටික වඩා වේගයෙන් හිඳුනා පමණක් නොව, ලැබෙන්න තිබුණු ශ්‍රමික ප්‍රේෂණත් නැති වුනා. ප්‍රකාශිතවම, ඇමක් ලෙස තිබුණු ඩොලර් ටික වීසි කළාට මාළු අහු වුනේ නැහැ. අවුරුදු දහයකට කලින් පෙන්නපු ගෝනි එළුවා පෙන්නලා දෙවන පාරටත් සල්ලි හොයන්න බැහැ. මිනිහෙක් ගෝනි එළුවා බලන්න සල්ලි දෙන්නේ එක පාරයි. කොහොම වුනත් ආර්ථිකය කඩා වැටීම ඉක්මන් කිරීමේ ගෞරවය වත්මන් මහ බැංකු අධිපතිවරයාට යා යුතුයි. දෙවෙන්දොරා සං කිවුව වගේ ඉක්මණින් ගියොත් ඉක්මණින් ආපහු එන්න පුළුවන්නේ.

රට බංකොලොත් වෙන දවස කවදද කියන එක සමහර අයට ප්‍රශ්නයක්. තව ඕකේ වෙන්න දෙයක් නැහැ. තෙල් ටික ගෙන්න ගන්නවත් ගෙවන්න ඩොලර් නැහැ කියා කියන්නේ රට බංකොලොත් වෙලා ඉවරයි. ශ්‍රේණිගත කිරීමේ ආයතන බංකොලොත් ලෙස ප්‍රකාශ කරන්නේ ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළව පමණයි. මීළඟ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවන්න වෙන්නේ ජූලි 25. ඒ සඳහා ඩොලර් බිලියනයක් අවශ්‍යයි. යම් විදිහකින් ජූලි දක්වා ඇදගෙන ගියත් ඔය බිලියනය ගෙවන්න වෙන මොහොතේ ලංකාව හාන්සි. 

ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වෙනවා. දැන් තත්ත්වය අනුව වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ එක්කම විණිමය අනුපාතය පාවෙන්න අරින්න වෙනවා. එහිදී ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ට්මකටවත් යා හැකියි. ඒ එක්කම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිහින් උද්ධමනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය තවත් ඉහළ යනවා. අවසානයේදී ඩොලරයක මිල රුපියල් 300 පමණ මට්ටමකට යා හැකියි. එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන එකත් නොවැලැක්විය හැකියි. 

එසේ නොකර මේ විදිහට ඇදගෙන යනවා කියා කියන්නේ රටේ විශාල භාණ්ඩ හිඟයක් ඇති වෙන එක. ඉන්ධන, විදුලි බලය නැතිව රටේ හැම නිෂ්පාදන කටයුත්තක්ම නවතින එක. ඒ වැඩෙන් ආණ්ඩුවට ජනතා ප්‍රසාදය ලැබෙන්නේ නැහැ. තත්ත්වය වඩාත් නරක අතට හැරෙනවා පමණයි. දැන් ආණ්ඩුව වැඩේ අනාගෙන ඉවරයි. ආර්ථික අර්බුදය සමාජ-දේශපාලන අර්බුදයක් වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ආණ්ඩුව මහා පරිමාණයෙන් මර්ධනය ක්‍රියාත්මක නොකර බැණුම් අහගෙන පැත්තකට වී ඉන්නේ ඒ බව දන්නා නිසයි. ආණ්ඩුව අමාරුවේ දැමූ රාජපක්ෂ පරපෝෂිත එකමුතුව මේ බව කලින්ම අවබෝධ කරගෙන දැන් සිටම ඊළඟ පියවරට සූදානම් වෙමින් සිටිනවා.

විසඳුම් ගැන කතා කරන්න වෙන්නේ ඔය දැවැන්ත කඩා වැටීමෙන් පසුව ඇති වන තත්ත්වයේ සිටයි. ඒ වෙද්දී රටේ දේශපාලනය මොන විදිහට වෙනස් වී තියෙයිද කියන එක දැන්ම තීරණය කරන්න අමාරුයි. විසඳුම් ගැන තෙවන ලිපි මාලාවෙන් කතා කරමු. ඊට පෙර ඇති වන තත්ත්වයන් ගැන වෙනම කතා කරමු.

40 comments:

  1. //ඉක්මණින් ගියොත් ඉක්මණින් ආපහු එන්න පුළුවන්නේ//

    විහිළු කරනවද අප බිය කරනවද
    ගිහින් ආයෙ එන්නත් ඉඩ තියෙනවද
    කොරහත් බිඳ ගෙනයි යන්නේ දන්නවද
    ප්‍රශ්නය- පරපුරම රට හැර යයි නේද?

    ReplyDelete
  2. ඔබේ ලිපි පෙල පරිස්සමෙන් කියෙව්වා. හරිම වැදගත් තොරතුරු රැසක් තියෙනවා. විසදුම් ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා. ඒත් ප්‍රායෝගිකව රජය හෝ පාලකයින් ඒවායෙන් ප්‍රයෝජනයක් ගන්න තැනට පත් කරන්නේ කොහොමද ? මම බැංකු විභාග කරන කාලයේ පටන් හිටපු මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය විජේවර්ධන ගේ දැනුම ගැන අවබෝධයක් තියෙනවා. ඒත් කිසිදු රජයක් ඔහුගෙන් නිසි උපදෙස් ගත්තාද සැකයි. ඒ වගේම මැද පෙරදිග සේවය කරන අය වගේම ඔබ සදහන් කර තිබෙන හැම වර්ගයකම අය මේ වනවිට ලංකාවට සල්ලි නොයවා තියාගෙන ඉන්නවා. එකිනෙකාට දොස් පවරමින් ඉන්නේ නැතුව දැන්වත් යමක් කරනවා නම් තරමක හෝ සහනයක් ලැබේවි .

    ReplyDelete
  3. චන්දිම ගෝමස් ලියූ ලිපියකින් ඔබ කියූ සමහර කරුණු වෙනත් රටවල උදාහරණ එක්කම පෙන්වලා තියෙනවා. පිට රටවල ඉන්න උගතුන් ට හරි කන් දෙනවා නම් ........ ගොඩක් අංශවලින් වෙනත් රටවල සංවර්ධනයට දායක වන අය ලංකාවට උදව් කරාවි.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස SJB නායකතුමා ලංකාවේ මේ අර්බුදයට විසඳුමක් යෝජනා කළා, සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන්ට මේ වැටී ඇති රට ඉතාම කෙටි කලක් තුල ශක්තිමත්ව ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පැවසූ අතරම තමන්ට කෝල් කර දැනට රටේ ඇති තෙල් හිඟයට වසර දෙකකට සහනදායි පොලී රහිත ණය ක්‍රමයක් යටතේ තෙල් ලබා ගැනීම වෙනුවෙන් මැදපෙරදිග රටවල් තුනක් තමන් සමග සාකච්ඡා කළ බවත්, එම රටවල් තුනම ඊට එකඟව ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් වර්තමාන අන්ත දූශිත මුස්ලිම් ජනතාවට එරෙහිව උග්‍ර ජාතිවාදී මර්දනයක් ක්‍රියාත්මක කරන ජඩ පවුල් ආධිපත්‍ය පාලනය යටතේ එවන් සහයක් ලබාදීමට එම රටවල් අකමැති බව ද අවධාරනය කළා, රට වැටී තිබෙන බරපතළ අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් ජනතාව වෙනුවට දේශපාලුවන් විශාල කැපකිරීමක් කළ යුතු බව කී විපක්ෂ නායකතුමා, වත්මන් රජයේ පාතින වංචාව දූෂණ මර්දනය ආදියෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවද සමගි ජන බලවේගයට පහසුවෙන්ම එය කළ හැකි බවත් පැහැදිලිව ප්‍රකාෂ කළා.

    මහජන චීන සමූහාණ්ඩුවේ මූල්‍ය දායකත්වය යටතේ ප්‍රොජෙක්ට් ලෙපර්ඩ් වැඩසටහන යටතේ “ලෝක වනජීවී දිනය” නිමිත්තෙන් යාල සුභ සාධක හා අන්‍යෝධාර සමිතියට ජල පෙරණ යන්ත්‍ර 10ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සත්කාරමය මෙහෙවරට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස SJB නායකතුමා මේ ගැන විස්තර කළ අතර මම හිතන්නේ සමගි ජන බලවේගයේ සජිත් හර්ෂ එරාන් වැනි බුද්ධිමත් විද්වත් කණ්ඩායමකට බලය ලැබුණොත් මේ ප්‍රශ්න සියල්ල ඉතා ඉක්මණින් විසඳා ගත හැකි වනු ඇති බව, චීනය සමගි ජන බලවේගය රජයකට ඉතාම සහන පොළියට සුභසාධන කටයුතු වලට ඇති තරම් මූල්‍ය ආධාර ලබාදීමට දැනටමත් එකඟ වී ඇති නිසා මම හිතන්නේ ඔවුන්ට මේ අර්බුදයෙන් ලංකාව ගොඩ ගෙන වේගවත් සංවර්ධනයක් සහ පොදු ජනතා සුභසාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි.

    ReplyDelete
  5. //2017දී මහින්ද රාජපක්ෂගේ තෙවන ධුර කාලය තුළ ආර්ථිකය කඩා වැටුනානම්, අද වන විට රටේ මිනිස්සු නිවැරදි තැනට ඇවිත්.//
    යහපාලනය රට පස්සට ඇදලා දැම්මා කිව්වොත් නිවැරදියි. 2015 දී මිනිස්සුන්ට තිබුණු නොයෙකුත් ගායන් යාන්තම් යටපත් වෙලා එනකොටම බලය ගත්තු එකෙන් රට ඇත්තටම අවුරුදු හත අටක් පස්සට ගියා. මේ පාර උනත් මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙ ගායන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න ඉස්සෙල්ලා
    උපක්‍රමශීලී ලෙස බලය අත අරින්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් 2027-28 වෙනකොට මේ චක්‍රයම කැරකෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. //මේ පාර උනත් මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙ ගායන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න ඉස්සෙල්ලා උපක්‍රමශීලී ලෙස බලය අත අරින්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් 2027-28 වෙනකොට මේ චක්‍රයම කැරකෙන්න පුළුවන්.//

      එකඟයි. ඇත්තටම රට ගොඩ නැගීමට අවශ්‍ය පාර්ශවයක් විසින් මේ වෙලාවේ කළ යුත්තේ බලය ගැනීමට හදිස්සි වීම නොව පවතින තත්ත්වය ගැන හා බලය ගැනීමෙන් පසු කරන්නට සිදු වන දේ ගැන ජනතාව සවිඥානික කිරීමයි. එසේ නොකළොත්, හතරවන "දහ අටේ චක්‍රය" විශාල විනාශයකින් කෙළවර වීමට ඉහළ සම්භාවිතාවක් තිබෙනවා.

      1953, 1971, 1989, 2007, 2025

      Delete
  6. //පණුවෝ බටු ගෙඩිය අතාරින්නේ බට්ට විනාශ කිරීමෙන් පසුවයි. //
    මේ බට්ටේ විනාශයට පනුවෝ වගකියන්න ඕනි කියලා මටනම් හිතෙන්නේ නෑ. ජාන විකෘතියක් තියෙන බට්ටේ පණුවෝ වහලා හිටියා වගේ දෙයක් නේද ඇත්තටම සිදුවුණේ. පනුවෝ ටික දැන් වෙන බට්ටක් හොයාගෙන එළියට බැහැලා. කුනු උන බට්ට අතහැරියට පනුවෝ පනුවෝමයි කියලත් මතක් කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ පවුල ඇතුළේ ආර්ථික විද්‍යා විශේෂඥයින් හෝ ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් තිබෙන කවුරුවත් නැහැ. රාජපක්ෂ ණය පිරමිඩය රාජපක්ෂ දශකය තුළ හැදුනු එකක් වුවත් එය රාජපක්ෂ පවුලේ කිසිවකු විසින් සැලසුම් කළ දෙයක් නෙමෙයි. ඔවුන්ට එවැනි හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනේ රාජ්‍යතන්ත්‍රවාදී ආකෘතියේ ඉහළම තට්ටුව ලෙස වැජඹෙමින් තමන්ගේ පෞද්ගලික හා පවුලේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න පමණයි. රාජපක්ෂලාට තිබුණු දක්ෂතාවය ඒ කාර්යය සඳහා උදවු කළ හැකි පුද්ගලයින් තෝරාගෙන ඔවුන්ව කළමනාකරණය කර ගැනීමේ හැකියාවයි. මහින්දට තිබුණු හා බැසිල්ට තිබෙන මෙම හැකියාව ගෝඨාභයට ඇති බවක් පෙනෙන්නේ නැහැ. මහින්දට හා බැසිල්ට ලංකාවේ මිනිස්සු හිතන පතන විදිහ හොඳට තේරුණා වගේම ගැන වගේම රටේ ආර්ථිකය ගැනත් දැනුමක් කෙසේ වෙතත් යම් ඉවක් තිබුණා. ගෝඨාභයට ඔය දෙකම නැහැ. ඒ නිසා, මහින්ද හෝ බැසිල් විසින් කරන බව පෙන්නුවත් කවදාවත් නොකරන දේවල් ගෝඨාභය කරන්න ගියා. ගිහින් දැන් ඇනගෙන. පුද්ගලයින් කෙසේ වෙතත් මතවාදයක් ලෙස ගත්තොත් කැරළිකරුවන් විසින් නියෝජනය කරන්නේ ගෝඨාභයට අසාර්ථක වීමට හේතු වූ මතවාදයයි. රාජපක්ෂ පවුල වටා එකතු වෙන්නේ ඔවුන්ගේ ඇඟේ එල්ලී තමන්ට අවශ්‍ය දේ කර ගන්න උත්සාහ කරන, ඒ දේවල් තනිව කර ගැනීමේ ශක්තියක් නැති අය. සමහර අය සම්බන්ධව මේ දේවල් මුදල් වාසිම නොවෙන්නත් පුළුවන්. රාජ්‍යතන්ත්‍රවාදී ආකෘතියේ ඉහළම තට්ටුවේ සිටින රාජපක්ෂ පවුලේ පැවැත්මට අභියෝග නොවන තාක් කල් සහ එය ශක්තිමත් කෙරෙන තාක් කල් පරපෝෂිතයන්ට රාජපක්ෂලා සමඟ නිදහසේ වැඩ කර ගෙන යන්න පුළුවන්. ආර්ථිකය හා අදාළව රාජපක්ෂ පවුලේ කිසිවෙකුට දුර දැකීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉවෙන් පමණක් දුර දකින්න බැහැ. ඒ නිසා, පිරමිඩ් එකේ දිස්නයට රාජපක්ෂලාගේ ඇස් ගිණිකන වැටිලයි තිබුණේ. ගිණිකන වට්ටලා අන්දලා තිබුණා කිවුවත් වැරැද්දක් නැහැ. උදාහරණයක් විදිහට 2015දී මහින්ද රාජපක්ෂ තෙවන වරට දිනුවානම් වෙන්න තිබුණු දෙය මහින්ද හරියටම දැනගෙන හිටියා කියලා මම හිතන්නේ නැහැ. නමුත්, රාජපක්ෂලා වටේ ඉන්න අයට ඊට වඩා ටිකක් හෝ දුර පේනවා. ණය පිරමිඩය කඩා වැටෙන බවත්, ඒ එක්ක රාජ්‍යතන්ත්‍රවාදී ආකෘතියේ ඉහළම තට්ටුව ලෙස වැජඹෙන තමන්ගේ අහස් තොටිල්ලද කඩා වැටෙන බවත් රාජපක්ෂලාගේ ඉවට දැන් තේරෙනවා. ඒ නිසා, ඔවුන් දැන් විනාශය අවම කර ගත හැකි ක්‍රම ගැන සොයමින් සිටිනවා. ඒ ප්‍රවේශය තුළ, අමාරුවෙන් පවුල රැක ගන්නවා මිසක් වටේ ඉන්න අය ගැන හිතන්න ඉඩක් ඔවුන්ට නැහැ. පවුලත් රැක ගෙන, වටේ ඉන්න විශාල පිරිසගේ අපේක්ෂාවන්ද ඉටු කළ හැක්කේ පිරමිඩයේ උදවුවෙන් පමණයි. මේ කැරැල්ල රාජපක්ෂලා විසින් (විශේෂයෙන්ම බැසිල් විසින්) පිරමිඩය අත හැරීමට එරෙහිව ගහන කැරැල්ලක්. කැරලිකරුවන්ගේ උපක්‍රමය ලංකාවේ සමාජවාදීන් විසින් කාලයක් තිස්සේ අනුගමනය කළ සම්ප්‍රදායික උපක්‍රමයයි. හරියටම කියනවානම් රටේ නියම ධනවාදයක් නැති කම නිසා ඇති වූ, රාජ්‍යතන්ත්‍රවාදී සමාජවාදයේ ප්‍රශ්න කලාව, මාධ්‍ය, විධිමත් අධ්‍යාපනය හා දේශපාලනය හරහා ධනවාදයේ ප්‍රශ්න සේ මිනිස්සුන්ට පෙන්වන්නට සමාජවාදීන් සමත් වුනාක් මෙන් දැන් මේ කැරලිකරුවන් විසින් පෙන්වන්න හදන්නේ රට විනාශ වීමට හේතු වූ ආර්ථික වැඩ පිළිවෙළම දිගටම අනුගමනය කළ යුතුව තිබුණු වැඩ පිළිවෙළ සේ පෙන්වන්නයි. "හරි මග" ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ මේ වන විට ජවිපෙ/ජාජබ විසින්ද අත හැර දමා තිබෙන හෝ අත හැරීමට උත්සාහ කරමින් සිටින 1970-77 ජාතික සමාජවාදයයි. කණගාටුවට කරුණ වන්නේ මේ විනාශකාරී මතවාදයට ලංකාවේ ඉල්ලුමක් තිබීමයි. එම ඉල්ලුම අඩු වනු ඇත්තේ ආනයන පාලනය තවත් දැඩි කර දිගටම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් වුවත් (එනම් "හරි මග" දිගටම යාමෙන් පමණක් වුවත්) එහි අවසන් ප්‍රතිඵලය ලංකාවට ඔරොත්තු නොදෙන විශාල සමාජ පිපිරීමක් විය හැකියි. රාජපක්ෂලා "හරි මගෙන්" විතැන් වෙමින් උත්සාහ කරන්නේ මාකෝස් පවුල වැටුණු තැනට නොවැටී බේරෙන්නයි. ඒ එක්කම "හරිජන මගේ" ගිය "හරිජනයින්ට" ඔවුන්ගේ සම්ප්‍රදායික කසල ශෝධක රැකියාව කරගෙන ඉන්න අසීරු වී තිබෙනවා. ඔවුන්ගේ මේ මොහොතේ උත්සාහය රාජපක්ෂ කඳවුර හා ජාජබ කඳවුර අතර වෙන්දේසියේදී හැකි තරම් ඉහළ මිලක් ලබා ගැනීමයි.

      Delete
    2. ගම්මන්පිල්ලිය IMF යමු කියන්නේ ඇයි? පිරමීඩයට නඩත්තු කිරීම සඳහා ද?

      Delete
    3. මේ ප්‍රකාශනයෙහි IMF යා යුතු බව කියා තිබෙන තැන පෙන්වන්න පුළුවන්ද?

      https://drive.google.com/file/d/1EKd5-vV-oyoUy4kNEx40L24b7XeiPvsU/view?fbclid=IwAR3Yjle9AIG-IAW7xfW8tuYhTBpgKPbz2UMp488iGNPFwSVd9vI-Gup4m8w

      Delete
  7. //ඒ අතින් බැලුවොත් කබ්රාල්ගේ සයමාසික සැලැස්ම සාධනීය එකක්//
    //සීමාවක් නැතිව සල්ලි අච්චු ගැසීම ඇතුළු අනෙක් ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් 2020 වසර තුළ 2021 අවසානයට සාපේක්ෂව ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න උත්සාහ කිරීමක් සිදු වුනේ නැහැ//
    //සයමාසික සැලැස්ම තුළ සිදු වුනේ ඉතිරිව තිබූ සංචිත ඔට්ටුවට දමා සූදු කෙළීමක්//
    මේ ප්‍රකාශ තුන අතර පරස්පරතාවයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කකුලේ ලොකු සැරව ගෙඩියක් තිබෙන කෙනෙක් ඇඳ උඩට වී විවේක ගන්නේ නැතිව මෝඩකමට හෝ ලොකු කමට පාපන්දු ගහන්න යාම නිසා පාපන්දුව කකුලේ වැදී සැරව ගෙඩිය ඉක්මණින් පිපිරුවොත් අවසාන වශයෙන් එය සාධනීය නැද්ද?

      Delete
    2. ඉකොනොගෙ සාහිත්‍ය රසය තේරුන් ගන්න පුරුදු වෙන්න කියල තමයි ඇනෝට කියන්න තියෙන්නෙ. අකුරු විතර්ක් කිව්වට තේරෙන්නෙ නෑ.

      Delete
    3. දැන් නේ තේරුනේ

      Delete
  8. //ආණ්ඩුව අමාරුවේ දැමූ රාජපක්ෂ පරපෝෂිත එකමුතුව මේ බව කලින්ම අවබෝධ කරගෙන දැන් සිටම ඊළඟ පියවරට සූදානම් වෙමින් සිටිනවා//
    පරපෝෂිත සෙට් එකට ආණ්ඩුව ඇතුළේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලයක් තිබුන කියලා මටනම් හිතෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පුද්ගලයින් කෙසේ වෙතත් ගෝඨාභයගේ අසාර්ථකත්වයට හේතු වුනේ "හරි ජනයන්" විසින් නියෝජනය කරන ජාතික සමාජවාදී මතවාදය වෙනුවෙන් කටයුතු කිරීමයි.

      Delete
  9. //ඉක්මණින් ගියොත් ඉක්මණින් ආපහු එන්න පුළුවන්නේ//
    ඔබ මෙයින් අදහස් කළේ කුමක්ද? උපක්‍රමශීලී ලෙස බලය අතහැර, ජනතාව අනවශ්‍ය ලෙස කුලප්පු කර නැවත බලය ලබා ගැනීමේ සුපුරුදු සෙල්ලම ද?

    ReplyDelete
    Replies
    1. මම අදහස් කළේ පුද්ගලයින් නොව රටයි. එමෙන්ම දේශපාලනය නොව ආර්ථිකයයි. හැත්තෑ හතේදී යම් තරමකින් හෝ රටේ ආර්ථිකය විවෘත කිරීමට හැකි වූයේ 1970-77 කාලයේදී සිදු වූ විනාශයේ තීව්‍රතාව නිසයි. සමගි පෙරමුණු පරීක්ෂණය නොවන්නට 1977 සිට සිදු වූ සාධනීය ප්‍රතිසංස්කරණ තවත් ප්‍රමාද වෙනවා.

      Delete
  10. මෙපමන දවසක් වටෙන් කියපුව දැන් කෙලින්ම කියල තියෙනවා ඔව් ඇන් අපි බංකොලෙත් අපිට ගෑස් නැහැ විදුලිය නැහැ ඩීසල් ප්‍රැට්‍රල් නැහැ බෙහෙත් වර්ග බොහොමයක් නැහැ. හැබැයි ඇපල් මිදි නම් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ගෑස්, ඩීසල්, ප්‍රෙට්‍රල් අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්. ගෙදරට වී විශ්‍රාම වැටුපෙන් ජීවත් වන, හදිසියේ පන්සලට හෝ ළඟ කඩේට පයින් යනවා මිස වෙන ගමනක් නොයන, වත්තේ දර වලින් උයන අයෙකුට ගෑස්, ඩීසල්, ප්‍රෙට්‍රල් එතරම් අත්‍යාවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ වගේම ඇපල් හෝ මිදි අත්‍යාවශ්‍ය සේ සිතන අයත් ඉන්න පුළුවන්. මගේ පියාගේ දානය අවස්ථාවේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ආනයනික ඇපල්, මිදි, දොඩම් අඩංගු පළතුරු කූඩ අවශ්‍ය බව කෙළින්ම කිවුවා. කලින් සැලසුම් කරලා තිබුණේ කූඩ වලින් බාගයක් පමණ දේශීය පළතුරු වලින් පුරවන්න වුනත් පසුව දේශීය පළතුරු අඩු කර සංයුතිය වෙනස් කළා. එකිනෙකාගේ රුචිකත්වයන් වෙනස්. කෙනෙකුට කොණ්ඩයේ ගාන ආනයනික ජෙල් හා ඩයි හැම දෙයටම වඩා අත්‍යාවශ්‍ය වෙන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය, අත්‍යාවශ්‍ය හා අනවශ්‍ය දේවල් ඒ අයටම මිසක් රජයට හෝ වෙනත් අයෙකුට තීරණය කරන්න බැහැ. ඔබේ සහකරු/සහකාරියට එහෙමත් නැත්නම් පෙම්වතාට/පෙම්වතියට ඇඳුමක් තෝරන එක කොයි තරම් අමාරුද කියලවත් හිතන්න.

      Delete
  11. මම හිතන්නේ ඉකොනොමැට්ටා මේ ජනප්‍රියවාදී පරපෝෂිත සෙට් එක ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගම ආණ්ඩුවට එතරම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීම හරහා රජයේ වියදම් අඩු කර ගැනීමට සහ විනිමය අනුපාතය නිදහසේ ෆ්ලෝට් වෙන්න දීම සමග සියලුම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ නැංවීමට සහ ජනප්‍රිය නොවන පෞද්ගලීකරණ සහ විදේශ ආයෝජන වගේ දේවල් කරන්න පුළුවන් වෙයි. පේන විදියට මේ සෙට් එක එළියට දාපු එකෙන් මට නම් පේන්නේ ආණ්ඩුව උපක්‍රමශීලීව පසුබැසීමට තීරණය කරලා තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට IMF program එකකට ගිහින් බදු වැඩි කරලා විශාල වෙනසක් කරයි. ගෝඨාභයගේ නම සවුත්තු වෙලා ගියා නමුත් නාමෝල් රාජපක්ෂ ෂේප් එකේ ඉන්නවා. ඒ නිසා 2029 හෝ ඊට කලින් නාමෝල් ගෝතයාට බලයට පත් වෙන්න ලොකු තරගයක් නෑ මොකද වෙන කිසිම දේශපාලනික පක්ෂයක නායකත්ව ගුණාංග තියෙන ආකර්ෂණීය නායකයන් නෑ, චම්පික රණවක දක්ෂ බුද්ධිමත් කෙනෙක් ඒත් ඔහුට ලොකු ආකර්ෂණයක් ඇති වෙලා නෑ. මොනවා වුණත් 2024 ආණ්ඩුව මාරු කළත් ඒ අලුතෙන් එන ආණ්ඩුවත් මිනිස්සුන්ට ඉක්මනට එපා වෙයි. එතකොට මේ දවස් වල වෙන දේවල් එකක් වත් මිනිස්සුන්ට මතක නෑ එතකොට එන රැල්ල අනුව එකෙක් පත් කර ගන්න එක තමයි වෙන්නේ.

    තව දෙයක් ඉකොනොමැට්ටා මේ දවස් වල රුසියා යුක්රේන යුද්ධය නිසා ලෝක පුරාම සෑහෙන ඉහළ යෑමත් සමග තෙල් මිල ඉහළ, මැද පෙරදිග ඩුබායි වල දැන් පෙට්රල් ඩිරාම් 3.23 සුපර් එක (octane 98) ස්පෙෂල් එකත් ඩිරාම් 3.12 ක් (octane 95), කොමර්ෂල් ඩීසල් ලීටරයක් ඩිරාම් 3.19 ක්. ලංකාවේ මුදලින් රුපියල් දෙසීයකට වැඩියි සැබෑ රේට් එක අනුව (ලංකාවේ ආණ්ඩුවේ හොර රේට් එක ඩිරාම් එකක් රුපියල් 55 ක් විතර වුණාට ඇත්ත රේට් එක හවාළා සිස්ටම් (උණ්ඩියල්) එකෙන් ඩිරාම් එකකට රුපියල් 70 කට වඩා වැඩි ගානක් ලේසියෙන්ම ගන්න පුළුවන්.

    ඔය වගේම බොරතෙල් බැරලයක මිල 2021 මුල ඩොලර් 60 ගණන් වල තිබුණු නමුත් දැන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 ක් විතර ඒ නිසා 2021 මුලදී රූ. 137 ට තිබුණ පෙට්රල් දැන් රුපියල් 250 ක් විතරවත් වෙයි අනිවාර්යයෙන්ම ආණ්ඩුවට ඔය රට එක එක කෝලම් පිස්සු කර කර පාලනය කරගන්න බැරි වෙයි.

    කොටින්ම සති තුනකට ලංකාවේ නිවාඩුවට ආපු මමත් තෙල් පෝලිමේ හිටියා. උදේ පාන්දර 6.00 ට යනකොටත් ෂෙඩ් එක දෙපැත්තේම වාහන පෝලිම. ටිපර්, බස්, ලොරි වැනි ලොකු ඩීසල් වාහන තමයි වැඩිපුරම තිබුණේ. මිනිස්සු ලීටර් 20 ලොකු බූලි අරගෙන යනවා දැක්කා. නමුත් ටික වේලාවකින් පසුව තෙල් ඉවරයි කියලා පණිවිඩයක් ආවා. පසුව දැනගත්තා කලින් දවසේ රෑ නොගහා ඉතුරු වුණ තෙල් තමයි උදේ දීලා තියෙන්නේ කියා.

    උදේ නවය විතර වෙනකොට පාරෙන් අනෙක් පැත්තේ පළතුරු ජූස් ෂොප් එක විවෘත කළා. ගොඩවෙලා බැලුවම තරුණියක් සහ තරුණයෙක් තමයි ව්‍යාපාරය කරන්නේ. ඉතාම සුහදව කතා කළා. ඇය ආයතනයක සේවය කරන ගමන් සිය මිතුරා සමග මේ කුඩා ව්‍යාපාරය පටන් අරගෙන. තරුණයා සිය උපාධියට ඉගෙන ගන්නවා පුද්ගලික විශ්වවිද්‍යාලයක. මට ඉතින් හරිම සංතෝසයි මේ වගේ තරුණ ව්‍යවසායකයන් දැකලා. රසම රස අලිගැටපේර වීදුරුවක් බීලා ඔවුන්ට ප්‍රචාරණ අදහස් ටිකකුත් යෝජනා කරලා හදවතින්ම සුබ පතලා පිට වුණා. මගේ දුරකථනයත් ටිකක් වෙලා එතනින් චාර්ජ් කරදෙන්න තරම් ඔවුන් කාරුණික වුණා. ඒ හරියට විදුලිය කපන්නේ නැහැ. කොහොමත් නාගරික කාර්යාල සහිත ප්‍රදේශවලට රෝහල් ආශ්‍රිත ප්‍රදේශවලට විදුලිය කැපුවේම නැහැ. එහෙම සැලසුම් සහගතවලු මෙවර ලංකාවේ විදුලිය කැපීම කළේ.

    ReplyDelete
    Replies
    1. පාර පැනලා වාහනේ ලඟට යනකොට මහත්වරු දෙන්නෙක් හිටගෙන කතාවක්. මමත් ඉතින් කතාවට රුසියා නිසා එකතු වුණා. එක මහත්මයෙක් සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා. අනෙක් මහත්මයා බස් රථ රියදුරෙක්. තව ටිකකින් තවත් මහත්මයෙක් ආවා. ඔහු 70 ගණන්වල හමුදා නිලධාරියෙක්. අපි බොහෝ දේ ගැන කතා කළා. ඔවුන් කවුරුත් ඉතාම අවබෝධයෙන් ඉන්න බව මට තේරුණා. බට්ටේ වහපු පරපෝෂිත ගම්මන්පිල කරපු කඩාකප්පල්කාරී වැඩේ නිසයි මිනිස්සු ඕනවට වඩා තෙල් එකතු කරගන්නේ කියා ඔවුන් කීවා.

      ඒ වගේම යාපනය ගැනත් කතා වුණා. සංචාරකයන් හරියට එහෙ යනවලු. මට හරි සතුටුයි. යාපනේ මිනිස්සු මහන්සි වෙලා වැඩකරන හැටි ගැන අපි කතා වුණා. යාපනයේ මිනිස්සුන්ගේ සංස්කෘතිය ඔවුන් ආරක්ෂා කරගෙන සරලව සතුටින් ඉන්න හැටි ගැන අපි කතා කළා. ලංකාවේ වගේ කුඩා ආර්ථිකයක් ඇති තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක කොළඹ මිනිස්සුන්ගේ බොරු පුස් පාට් සහිත අධිපරිභෝජනවාදී කාමසුඛල්ලිකානු ජීවිතවලට ඔවුන් හිනා වුණා. 70 ගණන්වල යාපනයේ අත්දැකීම් විශ්‍රාමික හමුදා නිලධාරියා අපට බොහෝ දේවල් කීවා.

      ඔහොම ඉන්නකොට වෙලාවත් ගිහින්. ඔන්න 12 ට විතර ඩීසල් බවුසරයක් ආවා. පාරේ වාහන තදබදයක් ඇති වුණා. ඒකට හේතුව පාරේ එක පැත්තක බස් ලොරි වගේ ලොකු වාහන නවත්තලා නිසා පෙට්‍රල් ගහන්න එන වාහනත් පෝලිමේ එන්න වීමයි. ඔන්න එතකොටම වටපිට මිනිස්සු අලි පත බූලි කෑන් බෝතල් උස්සගෙන දුවපි ෂෙඩ් එකට. ඇත්තටම වාහනවලට තෙල් නැතිවෙන්නේ ඒ නිසා බව මට පැහැදිලි වුණා. මට හිතෙන්නේ ඒ මිනිස්සු තෙල් එකතුකරලා පස්සේ වැඩි ගාණට හොරෙන් විකුණනවා. සමහර ඩිමෝ බට්ටෝ ඇතුලේ අලිපත තෙල් බැරල් පිටින් ගෙනත් ඒවාට පුරවා ගන්නවා. ඉතින් වාහන පෝලිම ඇදෙන්නේ හෙමිහිට. එකයි පෝලිම් තියෙන්නේ.

      “තෙල් නැතිවෙනවෝ… තෙල් නැතිවෙනවෝ…” කියා කිය පහුගිය මාසය පුරාම මිනිහගේ ලොඹු කටින් ආණ්ඩුවේ ඛණිජ තෙල් ඇමති ගම්මන්පිල කළේ මේක තමයි. ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කරලා අවශ්‍ය ප්‍රමාණයට වඩා තෙල් ගහගන්න සැලැස්සුවා. ඉතින් එතකොට කොහොමත් හිඟයක් ඇති වෙනවනේ! යම් යම් ප්‍රමාණයකට අනුමැතිය ලබාගන්න කාලය ගියත් තෙල් සංස්ථාව ඉල්ලපු හැම වාරයකම ආණ්ඩුවෙන් මුදල් දුන්නා. ඇත්ත කතාව තමයි ඔවුන් හරි වෙලාවට ඉන්වොයිස් එවලා නැහැ. ඇමති කෝලමෙන් ඇහුවම කියන්නේ චම්පක රණවකගේ මිනිස්සු තාම ඉන්න නිසා කඩාකප්පල් කරන්න එහෙම කළා කියලයි. මම අහන්නේ ඉතින් යකෝ පහුගිය අවුරුදු දෙකක් තිස්සේ දැන දැන චම්පකගේ මිනිස්සු තියාගෙන හිටියේ කවුද?

      ඒ වෙලාවේම තවත් ඩීසල් බවුසරයක් ආවා. ඒ නිසා ඇතිවෙන්න ඩීසල් තිබුණා. අර බූලිවලටයි බැරල්වලටයි පුරවගත්තේ නැත්නම් වාහන ටිකට ඉක්මණට ගහලා පෝලිම ඉවර කරන්න තිබුණා. මේක නම් සැලසුම් කරලම කරපු මහා දුෂ්ට වැඩක්. මේක තමයි මම ඇස් දෙකෙන් දුටු යථාර්ථය.

      මාධ්‍යයෙන් පෙන්වන්නේ බනින ඒවා විතරයි. මොකද ඔය කුණු චැනල්කාරයන්ට ඕනා කොහොම හරි වෛරය විකුණලා සල්ලි හම්බ කරන්න. සිරස දෙරණ හිරු ඔක්කොම කරන්නේ තරගෙට වෛරය විකුණන එකයි. එක හොඳ දෙයක් කියනවද ඔය චතුර අල්විස් වගේ නරුමයන්. ඒ අස්සේ ඔය යූටියුබ් චැනල් එකක් අටවාගෙන ඉන්න උන්ට ඕනා වෛරය විකුණලා විව්ස් ගන්න විතරයි. ඉතින් මේ ෆේස්බුක් එකෙයි ටික්ටෝක් එකෙයි ඉන්න අයට පේන්නේ වෛරය විතරයි. ලංකාවේ වාමාංශික දේශපාලනික පක්ෂ නම් කොහොමත් ජීවත් වෙන්නෙම ධනපතියන් හෝ යමක් කමක් ඇති මිනිසුන්ට එරෙහිව දිළිඳු ජනතාව තුළ අධික ලෙස වෛරය නිෂ්පාදනය කරලා ඒවා අනුභව කරලනේ. දැනුත් ඒ වගේ මේ ප්‍රශ්න වවාගෙන කන්න පුරුදු වෙලයි තියෙන්නේ.

      Delete
    2. වාහන පිළිවෙලට ගිහිල්ලා මමත් තෙල් ගහගත්තා. බියකරු කොරෝනා වසංගතය කාලේ පෝලිමේ ගිහිල්ලා බඩු ගත්ත හැටි දැන් කාටවත් මතක නැහැ. එතකොට ඔය මාධ්‍ය කාරයෝ සහ විපක්ෂ කණ්ඩායම් වල ඔස්තාර්ලා කිව්වේ රට විනාශයි කියලයි. නමුත් ඒ සියලු අභියෝග ඉතාම ඉවසීමෙන් ජයගත්තා. සමාජ ජාල වල ගොන් මෝඩ ආතල් දෙප අර එක දොස්තර ගෝතයෙක් කිව්වා 2022 මැදදී තමයි ලංකාවට එන්නත් එන්නේ කියලා. දැන් රටේ තුන්වැනි එන්නත ගහගන්න කිව්වට ගහගන්න මිනිස්සු නැහැ. ඒ තරමට වසංගතයක් තිබුණද කියලවත් මතක නැහැ. මේ අර්බුදයත් ජයගන්න නම් යථාර්ථය තේරුම් ගන්න පුළුවන් මිනිස්සු කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා, ඒ නිසා මෙහෙම නොවෙන්න හැමෝම වගබලා ගන්න ඕනා. දැන් මමත් ගියා නම් බූලි අරගෙන ඒවටත් පුරවාගෙන ආවානම් කොහොමද? ඒක වැරදි බව තේරුම් ගන්න හැකියාවක් මිනිස්සුන්ට තියෙන්න ඕනනේ. පෝලිමේ හිටියා එහෙම අවබෝධයෙන් හිතන මිනිස්සු. සමාජය විසමයි. මිනිස්සු ලෝබයි. ඒවා ඔක්කොම එක මිනිහෙක්ට වෙනස් කරන්න කොහෙත්ම බැහැ. සාමූහික වගවීමක් තියෙන්න ඕන, මම එතන තත්ත්වය හොඳට නිරීක්ෂණය කළා. ඒ එන්නේ වටපිට මිනිස්සු. පයින් ඇවිදගෙන එන්නේ බොහෝ අය. එතන කලබලයට ඕවා කරන්න බැහැ. එහෙම කිව්වට අහන මිනිස්සු නෙවෙයි. කවුද ඕවා පාලනය කරන්නේ? පොලීසිය හිටියා. ඔවුන්ටත් බැහැ. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කළේ පරපෝෂිත ගමන්පිල්ලිය.

      අනිත් පැත්තෙන් ලංකාවේ නයකයන් නැති පට්ට ෆේල් අය 90-95% විතර ඉන්න දේශපාලන ක්ෂේත්‍රයේ පක්ෂ වල යම් තරමකින් හෝ නායකත්වයට හා පාලනයට හැකියාව ඇති බව පේන රාජපක්ෂ කල්ලියේ කළු වළාවේ රිදී රේඛාවක් වගේ එක හොඳක් තමයි ජනප්‍රියවාදී වැල යන අතට මැස්ස ගැසීම, මේ නිසා මම මේ අර්බුදය දකින්නේ පොසිටිව් විදියට, මේක නිසා ලංකාවේ බහුතර ජනතාව සාධනීය ආර්ථික පෙරළියකට හිත හදාගෙන මුහුණ දෙන්න කැමති වුණොත් ඒකට රාජපක්ෂලාත් සෙට් වෙලා ඒ බහුතර මතයට නායකත්වය දෙන්න උපරිම හැකියාව ඔවුනට තියෙනවා ඒ නිසා බලයේ මොන ගල් මුසලයා හිටියත් වෙනස් නොවන හොඳ program එකක් ලංකාවට අත්‍යවශ්‍ය කාරණයක් යැයි අපි හඟිමු. ඔබේ අදහස් මොනවා ද ඉකොනොමැට්ටෝ මේ ගැන?

      Delete
    3. ඔබේ දේශපාලන විශ්ලේෂණ සමඟ යම් තරමකින් එකඟයි.

      Delete
  12. මෙම පවතින අර්බුදයෙන් ගොඩ යන්න දෙන විසදුම් ටිකත් ලිපි පෙළකින් ලියන්වා නේද?

    ReplyDelete
    Replies
    1. දැනට පවතින ක්ෂණික ප්‍රශ්න එක්කෝ මේ ආණ්ඩුවටම විසඳා ගන්න වෙයි. නැත්නම් ඉබේ විසඳෙයි. ඒ වෙනුවෙන් මගේ කාලය නාස්ති කරන්න සූදානමක් නැහැ. එහෙත්, ඉන්පසුවද ඉතිරි වන දිගුකාලීන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. වසර 20-30ක පමණ කාලයක් තුළ එම දිගුකාලීන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ජාතික සැලසුමක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම අයෙකුට සලකා බැලීම සඳහා මගේ අදහස් මම ලියා තබන්න අපේක්ෂා කරනවා. අවශ්‍ය වන්නේ නැවත නැවත මෙවැනි අර්බුද ඇති නොවන විසඳුමක් මිස තාවකාලික විසඳුමක් නෙමෙයි. IMF ගොස් හෝ නොගොස් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවට IMF යාමේ අවශ්‍යතාවයක් ඇති නොකරන විසඳුමක්.

      Delete
  13. එස්බී ඇමතිකම බාරගන්නකොට මාධ්‍යවේදියෙක් අහනවා ඩොලර් හිඟය ගැන. එස්බී කියනවා ඕක විසඳන එක සුළු දෙයක් කියල. ඒක බොරු නෙමෙයි . ඩොලර් එක පාවෙන්න ඇරපු ගමන් ඩොලර් අර්බුදය විසදෙනවා. ආන්ඩුව ලිස්ට් දාගෙන ආනයන සීමා කරන්න ඕන නෑ. ඉබේටම ගෙවන්න සිද්ද වෙන රුපියල් ගාන වැඩිවෙනකොට රටින් ගේන බඩු අඩු වෙනවා. ලංකාවේ නිෂ්පාදන වලට හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙනවා. ඒත් ඉතිං එතකොට ඩොලර් කලුකඩ බිස්නස් එක පාඩු වෙනවනෙ නේද

    ReplyDelete
  14. සංස්ථාවේ මාළු කෑල්ලක් එක්ක බත්ටිකක් කමු.

    ReplyDelete
  15. චීනය ඇතුළු චීන හිතවාදී ධනවත් රටවල් පහක් ලංකාවට යළිත් කිසිම ආකාරයකින් ණය හෝ ආධාර ලබා නොදීමට තීරණයක් ගැනීමට යන බව ලංකාවේ සති අන්ත පුවත්පත් කීපයක් වාර්තා කර තිබුණා.

    මීට සමගාමීව ලංකාවට දැනට පැමිණ සිටින චීනයේ රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් විසින් ආණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලඥයන් කණ්ඩායමක් සමග පැවති සාකච්ඡාවකදී මේ බව දැඩි ලෙස අවධාරණය කර ඇති අතරම චීනයෙන් ආනයනය කරන ලංකාවේ එදිනෙදා ජීවිතයේ නිතර අවශ්‍ය වන දේවල් රැසක් වගේම ලංකාවේ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සහ චීන ආයෝජන ලංකාවට නොලැබී යාමට සිදුවන බවත් මේ හරහා පෙනෙන්නට තියෙනවා කියලා මාධ්‍ය වලින් ලංකාවේ කර්මාන්ත කරුවන් පෙන්වාදී තිබෙන අතර ලංකාවට කිසිම ආකාරයකින් චීනයේ හෝ වෙනත් චීන කඳවුරේ රටවල ණය හෝ ආධාර නොදීමට තීරණය කිරීමට ප්‍රධාන කරුණු කිහිපයක් පදනම කරගෙන බවද චීන රාජතාන්ත්‍රිකයන් විසින් ලංකාවේ ඉහළ රාජ්‍ය බලධාරීන්ට දන්වා ඇති අතර ලංකාවට චීනයේ සිට අපනයනය කරන ඩොලර් බිලියන හතරක් පමණ වන ලංකාවේ ආර්ථිකය සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් නොලැබෙන නිසා නැවතත් ලංකාවේ ආර්ථිකය අඩාල වීම නිසැක බවට බොහෝ දෙනෙක් පවසන්නේ මේ කියන කතාව ඇත්තක් තියෙනවා ද?

    කෙසේ වෙතත් ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළ ස්වාධීන පර්යේෂණාගාර වලින් සමත් වූ බව කියන චීනයෙන් ආනයනය කරන ලද පොහොර නැව ආපසු හරවා යැවීම ගැන පැන නැගී ඇති ගැටලුවද මේ සදහා බලපා ඇති අතර ලංකාව මේ වනවිට චීනයට ඩොලර් බිලියන 5 ක් ඉක්මවා ණය වී සිටී. මෙය ලංකාවේ සමස්ත විදේශ ණය වලින් 10 කට වඩා අධික මුදලක්, ඒ වගේම තමයි චීනය විසින් ලංකාවට සංවර්ධන සැලසුම් වලට අනුව ව්‍යාපෘති වලට ලබාදුන් මුදල් වලින් 100% ක් ම යොදවා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා නැති බවත් කර ඇත්තේ ලබා ගත් ණය වලින් කොටසක් අවභාවිත කරමින් වෙනත් පාර්ශවයකට ඇති ණය මුදල් ගෙවීම බවත් ඔවුන් පවසා ඇති අතර ලංකාවේ ආණ්ඩුව මේ දවස් වල දැඩි ලෙස ඉන්දියානු සහ ඇමරිකානු එක්සත් ජනපදයේ බලපෑම් වලට නතු වී ඇති පසුබිමක චීනයට ලංකාවෙන් වැඩක් නැති තත්ත්වයක් මත ඉදිරියේදී ලංකාවට ඉන්දියාවෙන් වඩා වැඩි පොළියට දැඩි කොන්දේසි වලට එකඟ වෙමින් පොලියට ණය ගැනීමට සිදුවනු ඇති බවද ලංකාවේ ආර්ථික දේශපාලනික විශේෂඥ විචාරකයන් මාධ්‍ය මගින් පෙන්වා දී තිබේ.

    ඒ වගේම තවත් බොහෝ දෙනෙක් පවසන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් නොකළ තරමේ අති විශාලතම විදෙස් ආයෝජනය සිදු කොට ඇත්තේ චීනය මිස වෙන රටක් නොවෙයි කියා. ඒ කොළඹ වරාය නගරය ඉදිකිරීමට කළ ආයෝජනයයි. මේ ගැන සෑහෙන පිරිසක් විශ්වාසය තබා ගෙන ඇති අතර ඔවුන්ගේ අදහස ඒ මහා නගරය ඉදිරියේදී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන උල්පතක් වේවි කියලාත් අද විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වෙහෙසෙන ලංකාවට තිබෙන එක මාවතක් තමයි කොළඹ වරාය නගරය කියලාත්. විදේශ ආයෝජකයන් හා සංචාරකයන් ඒ මගින් ප්‍රබල ලෙස ආකර්ෂණය කරගත හැකි වුණොත් තමයි කියලයි ගොඩක් අය මේ ගැන කියන්නේ, නමුත් මේ තත්ත්වය මත එම ව්‍යාපෘතිය ගැනත් එතරම්ම ෂුවර් කරන්න බෑනේ.

    වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන තුනක් විතර අපනයන ප්‍රමාණයක් සහ ඩොලර් ට්‍රිලියන එක හමාරක් විතර පමණක් ආනයනය කරන චීනය වගේ රටකට ලංකාවේ වෙළඳ පොළ නැති වුණත් ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි කියලා සමහරු කියන කතාව ඇත්ත ද?

    ReplyDelete
    Replies
    1. පාරිභෝගිකයින් සීයක් දෙසීයක් සිටින ව්‍යාපාරිකයෙක් එයින් එක පාරිභෝගිකයෙක් අඩු වුනා කියා කඩේ වහන්න වෙන්නේ නැති නිසා හේතුවක් නැතිව පාරිභෝගිකයින් එළව ගන්නවද?

      Delete
    2. හේතුවක් නැතුව නෙවෙයි හේතුවක් ඇතුවනේ මේක වෙන්නේ. ලංකාව චීනයේ අභිලාෂ වලට විරුද්ධව කටයුතු කරන නිසා ලංකාව සමග ඇති හිතවත්කම් ඉවත් කිරීමට සහ ලංකාවට අප්රේල් මාසේ නොමිලේ ලබා දීමට සිතා සිටි හාල් ටොන් මිලියනයක් පමණ අහිමි වෙනවා. ඒ වගේම අනවශ්‍ය පාරිභෝගිකයන් එළව ගැනීම ගැන කියනවනම් ඔවු එහෙම දේවල් ඕනතරම් දැකලා තියෙනවා ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත්, උදාහරණයක් විදියට කවුරුහරි පාරිභෝගිකයෙක් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේදී අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන බව පේනවා නම් ඒ අයට නැවත මුදල් දී ස්තුති කර පිට කර යවන එකෙන් අනිත් "හොඳ" පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් උපරිම කාර්යක්ෂමතාවයෙන් ලබා දීමට සහ අවස්ථාව ලැබෙන අතරම තවත් අලුත් පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට පුළුවන්. දක්ෂ ව්‍යවසායකයන් එහෙම තමයි කරන්නේ හොඳ කස්ටමර්ලා ආරක්ෂා කරගැනීම සහ අවුල් කස්ටමර්ලා වෙනුවෙන් කාලය නාස්ති නොකර ඒ අයගෙන් සුහදශීලීව ඉවත් වීම. තව උදාහරණයක් විදියට පන්තියක කඩාකප්පල්කාරී සිසුන් පිරිසක් ඉන්නවා නම් ඔවුන් පාලනය කරගන්න බැරි වුනා නම් ඔවුන් එලවා දමා අවශ්‍ය අය පමණක් තබාගෙන ඉගැන්වීම් කිරීම වඩාත් සුදුසුයි. චීනයේ අදහස ඒ වගේ එකක් කියලා හිතෙනවා නේද?

      රටවල් විදියට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර යුරෝපයේ රටවල් මේ වගේම ඉරානය සිරියාව උතුරු කොරියාව මියන්මාර් වගේ රටවල් වලට සහ මෑතකදී දේශපාලන හේතු සාධක මත රුසියාවට මේ වගේ වෙළඳ පොළ තහංචි කළා. මේ වන විට ජර්මනිය වැනි බටහිර යුරෝපයේ රටවල් ගෑස් මිල අහස උසට වැඩී වෙලා තියෙන්නේ මේ දේශපාලන තීන්දු තීරණ නිසා. ආදායම් අඩු ජර්මන් ජනයා දර භාවිතා කරන්න පටන් ගෙන දැන්.

      එංගලන්තයේත් මේ දවස් වල අධික ලෙස මිල ගණන් වැඩි වෙලා නිසා ගොඩක් ප්‍රශ්න;

      මූලාශ්‍ර:

      https://www.theguardian.com/business/2022/feb/12/uk-cost-of-living-protesters-demonstrate-peoples-assembly

      ඉතාලියේ විදුලි බිල වැඩි වීම දරාගන්න බැරිව අඳුරේ විරෝධතා

      මූලාශ්‍ර:

      https://www.wantedinrome.com/news/italy-blackout-protest-surge-energy-bills.html

      මීට අමතරව ලංකාවේ වගේම උතුරු අප්‍රිකා මැදපෙරදිග ඇතුළු රටවල් ගොඩක පාන් පිටි නිෂ්පාදන අධික ලෙස ඉහළ ගියා මේ වගේ තකතීරු මන්ද බුද්ධික කාලකන්නි දේශපාලනික ගේම් වල ප්‍රතිඵලයක් වශයෙන්, ගෝලීය තිරිඟු මිල මේ වනවිටත් ඉහළ යමින් පවතින අතර, රුසියාවේ ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයේ තිරිඟු නිෂ්පාදන ධාරිතාවය දැඩි ලෙස අඩාලවී ඇති අතර තවදුරටත් මිල ඉහළ යමින් තිබේ.

      Delete
    3. ගෝලීය ඇස්තමේන්තුවලට අනුව, යුක්රේන තිරිඟුවලින් 35%ක් පමණ වගා කරනු ලබන්නේ රටේ නැගෙනහිරින්, කියෙව් (අගනුවර) සහ රුසියානු දේශසීමාවේ බෙදුම්වාදී ප්‍රදේශ අතර භූමියේ, එය රුසියාවේ ආක්‍රමණයට වඩාත්ම අවදානමට ලක්වි ඇති ප්‍රදේශයක්.

      මීට අමතරව ලංකාවට බලශක්ති ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. අද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල දවස් කිහිපයක් ඇතුලත ඩොලර් 120 ඉක්මවමින් වර්ධනය වෙයි. ඉතිහාසයේ ඉහළම මිල දක්වා වර්ධනය වෙයි. මේ අනුව ලංකාවට සිද්ධ වෙනවා. විශාල විදේශ විනිමය ප්‍රමාණයක් බලශක්තිය මිලදී ගැනීම සඳහා වැය කරන්න. මාසිකව ඩොලර් මිලියන 300 වෙච්ච එක දැන් මිලියන 550 ක් පැනලා, විශේෂඥයින් පවසන්නේ මේ වන විට ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීමට අවශ්‍ය විදේශ සංචිත නොමැති නිසා මේ වන විට ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීමට ඩොලර් මිලියන 400ක ණයක් ලබාගෙන ඇති අතර එය මාස එකහමාරකට සෑහෙන තෙල් තොග ලබාගැනීමට බලාපොරොත්තු වූවත් මේ වන විට ලෝක වෙළඳපලේ මිල ඉහළ යෑම හේතුවෙන් එසේ බලාපොරොත්තු වූ තෙල් තොග ප්‍රමාණය ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව.මේක ලංකාවේ සමස්ථ ආර්ථික පද්ධතියට බලපෑමක් වෙන්න පුළුවන්. මේක ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය මැද තවත් වැඩිපුර ඩොලර් ගෙවන්න වුණාම මේක මහ බැංකුවට දරා ගන්න නොහැකි වෙන්න පුළුවන්.

      ඒ වගේම මේක ලංකාවේ ආදායම් තව තවත් අඩු වීමට බලපාන බව පේනවා මේ වෙනකොට ප්‍රධාන වශයෙන් ලංකාවට සංචාරකයන් පැමිණෙන රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ඔවුන් තවදුරටත් පැමිණෙන එකක් නැහැ. දැනටමත් යුක්‍රේනය ගුවන් අවකාශය වසා තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් සේවා අත්හිටුවල තියෙන්නේ, වසංගතයෙන් පස්සේ නැගී එන සංචාරක ව්‍යාපාරය තවත් බිඳ වැටෙනවා. ඒකම බලපානවා නැවැතත් විදේශ විනිමය අර්බුදයට. ඩොලර් අපිට එන්නේ නැහැ. රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් පමණක් නොවේ, යුරෝපයෙනුත් අපිට එන සංචාරකයින් අඩුවෙන්න පුළුවන්. මොකද මේක ලෝක යුදමය තත්ත්වයක් දක්වා ඇදී යන ප්‍රවණතාව නිසා ටික කාලයක් යනකන් ජාත්‍යන්තර දේශපාලනය අස්ථාවර වෙනවා. මෙන්න මේ නිසා සංචාරක කේෂත්‍රයට විශාල බලපෑමක් වෙනවා.

      ලංකාවේ තේ සඳහා ඉදිරි පෙළ ගැණුම්කරුවන් දෙදෙනෙකු වෙන රූසියාව සහ යුක්‍රේනය යුද්ධයක් පවතින වේලාවක ඔවුන් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා මිසක් තමන්ගේ පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙන්නැති වෙන්න පුළුවන්. මේකෙ දී අපිට විදේශ විනිමය ලැබෙන තවත් මාර්ගයක් කෙටිකාලීනව හා දිගුකාලීනව අහිමි වෙනවා. ලංකාවේ නිශ්පාදන අපනයන වෙළෙඳපොළවල් ලෙස, රුසියාව, යුක්‍රේනය වගේම යුරෝපයෙනුත් අපට මෙම ගැටලුවට මුහුණ දෙන්න වෙනවා, ජාත්‍යන්තර වෙළෙඳපොලේ රත්‍රන් මිල ද වසර එකහමාරකට පසු ඉහළම මිල වාර්තා කළේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්රන් සහ පැලේඩියම් වෙත යොමුවීම මීට හේතුවයි.

      තවත් ලංකාවේ ආණ්ඩුව දාගෙන ඉන්න ලෙඩක් තමයි ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා ඉහළ නැංවීමට දෙරටේ බලධාරීන් 2020 වර්ෂයේ දී එකඟතාවට පැමිණි එක ජනාධිපති නන්දසේන විසින් රුසියානු ඉහළ බලධාරීන් සමග මෙහෙම එකඟතාවයක් ඇති වුනේ (2018 වසරේ දී මේ වෙළෙඳ අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 390 ක් පමණයි) රුසියාව ලංකාවේ 15 වැනි අපනයන වෙළෙඳපොළ වන අතර 24 වැනි විශාලතම ආනයන වෙළෙඳපොළ සහ ලංකාව ප්‍රධාන වශයෙන් රුසියාවට තේ අපනයනය කරන අතර, රුසියාවෙන් ප්‍රධාන වශයෙන් ආනයන කරන්නේ තිරිඟු, බල දේශපාලනය පැත්තෙන් මේක භයානක ගැටුමක්... මේ වෙනකොට චීනය ප්‍රකාශ කරලා ඉවරයි යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවේ ක්‍රියාවන්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ චීනය සහයෝගය දක්වන බව. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය එක් පාර්ශවයක ඉන්නකොට අනෙක් පැත්තෙන් ලංකාවේ ආණ්ඩුව සහය දක්වන ඇමෙරිකා එක්සත් ජනපදය එංගලන්තය ඉන්දියාව ඇතුලු සෙසු පාර්ශවයන්, අන්න ඒ බල කඳවුරුවාදය ලංකාවටත් බලපාන්න පුළුවන්. බොහෝ වෙලාවට ලංකාවේ ප්‍රධාන අපනයන මාකට් එකක් නිසා අපට රුසියාවේ ක්‍රියාවලිය විවේචනය කරන්න බැහැ. මොකද අපේ ගොඩක් සබඳතාවයන් තියෙනවා රුසියාවත් එක්ක. ඉතින් මේ හින්ද ලංකාව රටක් විදිහට මේ බලතුලනයට මැදිහත් වෙන්න වෙනවා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒකේ ප්‍රතිඵල භූක්ති විඳින්න වෙනවා. මගේ උපකල්පනය අනුව ලංකාව ලොකු විවේචන කරන එකක් නැතත් 2007 එවකට ලංකාවේ ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනපති ඇමරිකානු එක්සත් ජනපදය සමග හොරට ආරක්ෂක ගිවිසුම් අත්සන් කල නිසා සහ රනිල් වික්‍රමසිංහ 2017 එය ජවිපෙ ඇතුළු විශාල පිරිසක විරෝධය නොතකා හරියට කියවන්නෙත් නැතුව ඇමරිකන් කාරයෝ විස්වාස කරලා බලෙන්ම අත්සන ගහල අලුත් කරපු නිසා අපි දැනට ඇමරිකානු කඳවුරට පක්ෂව ඉන්නේ, මේක අපට කොයි වෙලේක හරි පත්තු වෙනවා කියලා මට හිතෙනවා.

      Delete
  16. ඩොලර් එක පා කලාම ණය වැඩි වෙනව කියන එකට උත්තරයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඩොලර් එක පා කළාම ණය වැඩි වෙන්නෙ කොහොමද? එය කිවුවට පස්සේ උත්තරේ දෙන්නම්.

      Delete
    2. රුපියල් ගාන වැඩි වෙනවනෙ රජයේ සවරින් බොන්ඩ්ස් වල . එතකොට ඒ ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් මිලදී ගන්න රජයට වැඩිපුර රුපියල් හොයාගන්න වෙනව නේද?

      Delete
    3. මෙය තමයි මම ඔබෙන් බලාපොරොත්තු වූ පිළිතුර. ඔබේ ප්‍රශ්නය හා පිළිතුර මෙන්ම මගේ පැහැදිලි කිරීමත් අලුත් එකක් නෙමෙයි. මේ ප්‍රශ්නයටම හෝ සමාන ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස කලින් වාර ගණනක් කියා තිබෙන දෙයක්.

      ඔබේ තර්කය පදනම් වෙන්නේ ලංකාවේ රජය විසින් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ණය ගෙවනවා කියන එක මතයි. නමුත් නිදහසින් පසු ලංකාවේ කිසිම ආණ්ඩුවක් ශුද්ධ වශයෙන් එසේ කර නැහැ. ඩොලර් බිලියනයක් ණය ගෙවද්දී, ඩොලර් බිලියනයකට වඩා වැඩියෙන් අළුතෙන් විදේශ ණය ගන්නවා. ඩොලර් බිලියන 1.1ක් කියමු. දැන් ඩොලරය රුපියල් 20කින් වැඩි වුනොත් ඩොලර් බිලියනයක් මිල දී ගනිද්දී රුපියල් බිලියන 20ක් වැඩියෙන් යනවා. අනෙක් පැත්තෙන් ණයට ගත් ඩොලර් බිලියන 1.1 විකුණද්දී රුපියල් බිලියන 22ක් වැඩියෙන් ලැබෙනවා. අවසාන වශයෙන් රුපියල් බිලියන 2ක් වැඩියෙන් ලැබිලා.

      අවම වශයෙන් තව වසර 20ක්වත් යන තුරු, මොන ආණ්ඩුව ආවත්, ණය ගෙවන්න වෙන්නේ ණය අරගෙන. ඒ නිසා, ශුද්ධ වශයෙන් ණය ගෙවන අනාගතයේ කවර හෝ දවසක තත්ත්වය ගැන දැන්ම කතා කරන එකේ තේරුමක් නැහැ. ඔබට අතුරු ප්‍රශ්නයක් ලෙස අහන්න අවශ්‍යනම්, යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වන දවසක් කියන්නේ ලංකාවේ සමස්ත ඩොලර් ඉල්ලුමට හා ණය ගෙවන්නට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රටට ලැබෙන දවසක්. එවැනි දවසක බදු වැඩි කර රුපියල් හොයා ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම ඩොලර් හොයා ගැනීම සඳහා ඩොලරයේ මිල ඉහළ යවන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

      Delete
  17. අපි මේ ජීවත් වෙන කාලේ මසුරුකමේ අමු කුණු ලෝභ කමේ ඉදලා වැඩක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ නේද ඇයි එහෙම ඉන්නේ හොඳට කාල බීලා ඉන්න ඕන අද මැරුණත් හිතට සැපයි හෙට ජොලි කරලා

      Delete
  18. ඉකනො... අද බොර තෙල් බැරලය ඩොලර් 130 ඉක්මවා ගියා. යුක්රේන - රුසියා අර්බුදයත් දින 10 ඉක්මවාත් නිමා වී නැහැ.එවැනි අර්බුධයක් දීර්ඝ කාලීනව ඇදී යනවා මිස ගැටුම් නිමවූ දිනට පසු දිනම විසඳෙන්නෙ නැහැ.තේ අපනයනයෙන් 26% වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නෙ මේ රටවල් 2 ට. රුසියාවට එරෙහි මූල්‍ය පහසුකම් පරිවර්ථන පහසුකම්වලට ගෝලීයව පැනවෙමින් පවතින සීමා කිරීම් නිසා පවත්නා තත්වය වඩාත් උත්සන්න විය හැකිමයි.
    අපි කොහොමත් අර්බුධයේ සර්පිලාකාර ගමන ආරම්භ කරල ඉවරයි. එහි වේගය හා පරිමාව වඩ වඩාත් ගැඹුරු හා අපරිමිත කිරීම ඉහත හේතුව විසින් කරනු ඇති. ඩොලරය පාවීමට හැරීම තුළ වුවත් අති උද්ධමන කාරී තත්වය සමාජ පීඩනයක මූලය වීමට තියෙන ඉඩ වැඩියි. ඉන්ධන පිරවුම්හල් ලඟ දැනට සිංදු කියන තරුණයො හැමදාම එහෙමම ඉන්නවානම් එය වෙනමම කතා කළ යුතු අර්බුදයක්. (ඕනෑම දෙයක් නිහඬව දරාගැනීම)
    මොනවා වුනත් දැන් හොඳ පරිවර්ථනයකට හොඳ අවස්ථාවක්. අකාර්යක්ෂම රාජ්‍ය සේවය ඉතා වැඩි ප්‍රතිශතයකින් කපා හැරීම, අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය, සුභ සාධන සේවා නවතා දැමීම, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මිලක් අය කිරීම.... මේ ප්‍රමාණය හරි දිගයි.
    මේ ප්‍රතිසංස්කරණ සමගින් ඩොලරය නියමිත තැනක ස්ථාවර වන ලෙස පාවීමට ඉඩ දීම සාධනීය ප්‍රතිසංස්කරණයක් විය හැකියි.එසේ නොවන තෙක් මේ අර්බුධයට පිළියම් සෙවිය නොහැකියි. ආයෝජන හිතවාදී පරිසරයනම් අනිවිර්යයි. සැබවින්ම වෙළඳපල ආර්ථික ක්‍රමයක් සැබැවින්ම ස්ථාපිත කිරීම මේ සියල්ලෙහි අවසන් විසඳුම විය යුතුයි. එසේ නොකරන්න්නේනම් මේ සර්පිලාකාර ගමනට අප සූදානම් විය යුතුයි. මම හිතන්නෙනම් වඩාත් වාස්තවිකව ඉඩ තියෙන්නෙ මේ ගමන යන්න හිත හදා ගන්න එකට...

    ReplyDelete
    Replies
    1. //සැබවින්ම වෙළඳපල ආර්ථික ක්‍රමයක් සැබැවින්ම ස්ථාපිත කිරීම මේ සියල්ලෙහි අවසන් විසඳුම විය යුතුයි. එසේ නොකරන්න්නේනම් මේ සර්පිලාකාර ගමනට අප සූදානම් විය යුතුයි.//

      ඔබ යෝජනා කරන විසඳුම විසඳුමක් විය යුත්තේ රටේ බහුතර ජනතාව එය විසඳුමක් සේ පිළිගන්නා තත්ත්වයක් ඇති වීමෙන් පසුව පමණයි. නැත්නම් ඒත් වෙන්නේ රවුමේ යාමක්. මේ මොහොතේ වුවද එවැනි තත්ත්වයක් ඇතැයි මම හිතන්නේ නැහැ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...