වෙබ් ලිපිනය:

Friday, March 18, 2022

බලු පූට්ටුවෙන් මිදිය යුතු ඇයි?


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කටයුතු කරමින් සිටින බව නිවේදනය කිරීමෙන් පසුව විණිමය අනුපාතයේ යම් ස්ථාවර වීමක් පෙනෙන්නට තිබෙනවා. සතිය අවසන් වෙද්දී, සම්පත් බැංකුවේ හා DFCC බැංකුවේ ඩොලරයක විකිණුම් මිල රුපියල් 280යි. සෙලාන් බැංකුවේ 277.50යි. NDB බැංකුවේ හා HSBCහි රුපියල් 276යි. රාජ්‍ය බැංකු දෙකේ සහ තවත් බැංකු ගණනාවක මෙම මිල තවමත් රුපියල් 275 සීමාවේ රැඳී තිබෙනවා. 

මා ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යා යුතු බවත්, එසේ නොකරන තාක් කල් ලංකාව විසින් කරන්නේ වැටී සිටින වල තව තවත් හාරා ගැනීමක් බවත් දිගින් දිගටම කියූ අයෙක්. පසුගිය කාලයට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වුනා. එම වකවානු වලදී ඩොලරයේ මිල ඉහළ යාම ගැන ආණ්ඩුවට චෝදනා කළ අය ඕනෑ තරම් හිටියත්, ඩොලරයක මිල තවදුරටත් ඉහළ යා යුතු බව කරුණු සහිතව පෙන්වා දෙමින්, සෘජුව ප්‍රකාශ කළ අය නොසිටි තරම්. 

මා පහත සබැඳි මෙහි පළ කරන්නේ "ඔන්න බලන්න. අපි මේ ටික කලින්ම කිවුවා!" කියා පෙන්වන්න නෙමෙයි. ඩොලරයක මිල ඉහළ යා යුත්තේ ඇයි කියා පැහැදිලි කරමින් එම ලිපි වල ලියා තිබෙන කරුණු හැමදාටම වලංගු බැවින් එම කරුණු නැවත නැවත ලියා ලිපි දිග් ගැස්සිය නොහැකි නිසා. 


2016 මාර්තු 

එකසිය පණහයි! ලාබයි!!


2018 අප්‍රේල් 

එකසිය හැටයි! ලාබයි!!


2018 සැප්තැම්බර් 

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?


"ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වියුණුවේ (bojunhala.economatta.com හෝ economatta. blogspot.com) විශාල ලිපි ප්‍රමාණයක් ඇතත්, එම ලිපි වලට යා හැකි සබැඳි වත්පොතේ පළ කළ නොහැකියි. වත්පොතේ සබැඳි පළ කළ හැක්කේ සතපහ වියුණුවේ (sathapaha.economatta.com හෝ emgesathapaha.blogspot.com) පළ කර තිබෙන ලිපි වලට යාමට  පමණයි. එහෙත් අවශ්‍යනම් බොජුන්හල වියුණුවේ පළ කර තිබෙන පැරණි ලිපි වල පිටපත් වරින් වර යාවත්කාලීන කෙරෙන ඡායා වියුණුවකට (2.economatta.com හෝ econometta.blogspot.com) වත්පොතේ සිට යා හැකියි.  

මෙය වත්පොතෙන් කියවන අයට මතු විය හැකි අතුරු ප්‍රශ්න බොහොමයකට විස්තරාත්මක පිළිතුරු සහිත ලිපි විශාල ප්‍රමාණයක් බොජුන්හල වියුණුවේ තිබෙනවා. එම ලිපි වලට සබැඳි වත්පොතේ පළ කළ නොහැකියි. 

කෙසේ වුවද, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ හිර කර තියා ගනිමින් පසුගිය වසර තුළ ආණ්ඩුව නා ගත්තා. පැවති තත්ත්වය 2021 දෙසැම්බර් 10 දින පළ කළ "ඩොලරයක මිලෙන් නොවැසෙන ආර්ථිකයේ හෙළුව" ලිපිය අවසානයේදී ඉකොනොමැට්ටා විසින් විග්‍රහ කර තිබුණේ මේ විදිහටයි.

"දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ... ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!"

ඒ අවලස්සන දේවල් දැන්නම් කාටත් පේනවා. කොණ්ඩ රැවුල් පාට කරලා, හමේ රැළි වහලා ලස්සනට ඉන්න කෙනෙකුගේ වකුගඩු කොයි තරම් නරක් වෙලාද කියලා ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් දැන ගන්නේ ශරීරය විවෘත කරන්න ගොඩක් කලින්. කපලා බලලා ඒ තීරණය ගන්නේ නැහැ. දැනටම වෙලා තියෙන නමුත් බොහෝ දෙනෙකුට නොපෙනෙන දේවල් වගේම වෙන්න තිබෙන දේවලුත් දැන ගන්න ඒ දේවල් ඇස් දෙකට පේන තුරු ඉන්න අවශ්‍ය නැහැ. ආර්ථික විද්‍යාව කියා නිශ්චිත විද්‍යාවක් තියෙන්නේ ඒකට. 

නිශ්චිත කියා කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම් විග්‍රහ කරන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා කියන එක මිසක් නිශ්චිත සංඛ්‍යාත්මක පිළිතුරු හොයා ගන්නවා කියන එක නෙමෙයි. ආර්ථිකයක් ක්‍රියා කරන සංකීර්ණ ආකාරය උසස් පෙළට භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී වගේ තනි සමීකරණයකට ඌණනය කරලා තේරුම් ගන්න බැහැ. සාධක විශාල ගණනක අන්තර්ක්‍රියාව සමස්තයක් ලෙස තේරුම් ගන්න ඕනෑ. එය පුහුණුවක් අවශ්‍ය වැඩක්. 

කාලයක් තිස්සේම ප්‍රශ්නයට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම වන්නේද ඩොලරය අවප්‍රමාණය වන්නට ඉඩ හැරීම බව පුන පුනා කියපු ඉකොනොමැට්ටා පසුගිය මාර්තු 8 වනදා ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ යාමෙන් පසුව කිවුවේ මෙවැන්නක් බවත් අමතක කරන්න එපා.

"දිගුකාලීන ස්ථිර විසඳුම ඩොලරය පා කිරීමයි. එහෙත්, එය මේ වෙලාවේ ක්ෂණිකව කරන්නට යාම භයානක දෙයක්. ... දැන් තත්ත්වය යටතේ රුපියල පා කිරීම කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සමාන්තරව පමණයි."

දියවැඩියාව තියෙන කෙනෙක් මාසයක් බෙහෙත් නොබී ඉඳලා දිනපතා ගත යුතු වූ මෙට්ෆෝමින් පෙති තිහම එක දවසේ බිව්වොත් වෙන්නේ මොකක්ද කියලා මම කියන්න අවශ්‍ය නැහැ. කොහොම වුවත් දැන් ඩොලරය රුපියල් 275-280 මට්ටමට ගිහින් අවසන් නිසා කරපු මෝඩකම් ගැන කතා කරලා වැඩක් නැහැ.

ඩොලරයේ මිල අවශ්‍ය පරිදි ටිකෙන් ටික ඉහළ යන්න දුන්නානම් මේ වගේ විශාල ආනයන අපනයන පරතරයක් හැදෙන්නේ නැහැ. දැන් ඩොලරය ඉහළ ගියා කියලා එක පාරටම ඒ පරතරය නැති වෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ ඇස්තමේන්තුව අනුව, ඩොලරය ඉහළ යාමෙන් ඩොලර් බිලියන හතක වාසියක් ලැබෙනවා. මගේ ඇස්තමේන්තුව ඊට වඩා ටිකක් අඩුයි. කොහොම වුනත් ඔය වාසිය ලැබෙන්නේ අවුරුද්දක පමණ කාලයක් ඇතුළතයි. ඒ කාලය ඇතුළතත් තත්ත්වය කළමනාකරණය කර ගත යුතුයි. එය කළ හැක්කේ මොන විදිහකින් හෝ රටේ විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමෙන්ම පමණයි. 

ඩොලරයේ "සැබෑ" මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම මතයි. මේ වෙලාවේ සැපයුමට වඩා ඉල්ලුම ගොඩක් වැඩියි. ඩොලර් හිඟ වී තිබෙන්නේ ඒ නිසා. ඩොලර් සැපයුම බොහෝ දුරට බාහිර සාධක මත තීරණය වන නිසා ලංකාවට ඩොලර් සැපයුම කෙරෙහි විශාල බලපෑමක් කරන්න බැහැ. ඊට සාපේක්ෂව ඩොලර් ඉල්ලුම කෙරෙහි වැඩි බලපෑමක් කළ හැකියි. 

ඩොලර් මිල පහළින් තියාගෙන ආනයන සීමා කළා කියලා ආනයන ඉල්ලුම අඩු වෙන්නේ නැහැ  ඒ නිසා, මේ ක්‍රමය කිසිසේත්ම  ස්ථිරසාර ක්‍රමයක් නෙමෙයි. නමුත්, ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයන ඉල්ලුම පහළ යනවා. එය ස්ථිරසාර ක්‍රමයක්. ඒ වගේම යම් තරමකින් හෝ අපනයන ඉල්ලුමද ඉහළ යනවා. ඒ නිසා, ඩොලරයේ මිල ඉහළ යද්දී රට ඇතුළේ තිබෙන ඉල්ලුම් සැපයුම් පරතරය යම් ප්‍රමාණයකින් පහළ යනවා.

ඉල්ලුම් සැපයුම් පරතරයට හේතු වී තිබෙන්නේ කෘතීම ලෙස පහළින් තබා ගත් ඩොලරයේ මිල වුවත් මේ වන විට මිල ඉහළ දැමීමෙන් පමණක් විසඳිය නොහැකි තරමට ප්‍රශ්නය ඔඩු දුවලා ඉවරයි. දැන් තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. ඒ ලංකාවෙන් ඩොලර් ආපසු ගෙන යාමේ හැකියාව පිළිබඳ විශ්වාසය පලුළු වීමේ ප්‍රශ්නය. මේ හේතුව නිසා මෙතෙක් පසුව මුදල් ගෙවීමේ පදනම මත බඩු විකිණූ අයෙකු වුවත් අත්පිට ඩොලර් ඉල්ලන්න පෙළඹෙනවා. එවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු විසින් සාමාන්‍යයෙන් ගහගෙන යන රෝල ගහගෙන යන්නත් බැරි වෙනවා. ඒ නිසා, දැන් කළ යුත්තේ වහාම මේ විශ්වාසය නැවත ඇති කිරීමයි. 

සියළුම තැන්පත්කරුවන් විසින් තමන්ගේ තැන්පතු මුදල් එකවර ආපසු ඉල්ලා සිටියොත් ලෝකයේ කිසිම බැංකුවකට එම මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ. එහෙමයි කියලා බැංකු බංකොලොත් වෙන්නේ නැහැ. බැංකුවක් විසින් නිරන්තරයෙන් තැන්පතු ආපසු ගැනීම සඳහා වන ඉල්ලුම පුරෝකථනය කර ඒ සඳහා අවශ්‍ය වන මුදල අතේ තියා ගැනීමට සැලකිලිමත් වෙනවා. මුදල් ආපසු ගැනීම් ඉහළ යද්දී පොලී අනුපාතික ඉහළ දමා එය සීමා කර ගන්නවා. පොලී අනුපාතික වෙනස් වීමට ඉඩ හැරීම මගින් බැංකුවට එන හා බැංකුවෙන් යන මුදල් පාලනය කරනවා. 

එසේ නොකර පොලී අනුපාතික වැඩි නොකර එක තැන තියාගෙන හිටියොත් බැංකුවෙන් එළියට යන තරමට මුදල් බැංකුවට ආපසු නොඑන නිසා බැංකුවේ තිබෙන මුදල් සංචිත ටිකෙන් ටික හිඳෙන්න පටන් ගන්නවා. මෙයට පිළියමක් ලෙස බැංකුවෙන් මුදල් ආපසු ගැනීම සීමා කළොත් වෙන්නේ එම බැංකුව ගැන විශ්වාසය බිඳ වැටී කවුරුවත් සල්ලි දාන්නේ නැති වීමයි. මොකද සල්ලි දාන්න පුළුවන් වුනත් ගන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් නැහැ. අර ඉස්සර කතාවක් තිබුණේ ලංකා බැංකුවේ ලාංඡනය සඳහා සුදුසු සංකේතය බලු පූට්ටුව කියලා. පෞද්ගලික බැංකු ව්‍යාප්ත වෙන්න පෙර කාලයේ කතාවක්!

මේ විශ්වාසය නැති වුනාට පස්සේ පොලී අනුපාතික වැඩි කළා කියලත් ප්‍රශ්නය එකවර විසඳෙන්නේ නැහැ. ඒ සඳහා, මුලින්ම බැංකුවේ දාන සල්ලි අවශ්‍ය වෙලාවක ආපසු ලබා ගත හැකි බවට වන විශ්වාසය නැවත තහවුරු කළ යුතු වෙනවා. 

ලංකාවේ ඩොලර් ප්‍රශ්නයත් දැන් තියෙන්නේ මේ වගේ තැනකයි. රටේ විදේශ ණය දිහා බැලුවොත්නම් ඩොලර් බිලියන පණහක් හැටක් තියෙනවා. ඔය ණය ඔක්කොමනම් කොහොමටත් ආපහු ගන්න බැහැනේ. ඒ වුනාට, එහෙම ඔය ණය ඔක්කොම එකවර ආපසු ගෙවන්න අවශ්‍යත් නැහැ. නමුත්, එයින් යම් කොටසක් හැම වසරකම ආපසු ගෙවිය යුතුයි. ගෙවන ප්‍රමාණයට හරියන තරමට ණය දෙන්න අය ඉන්න තුරු වැඩේ අවුලක් නැතුව ඇදගෙන යන්න පුළුවන්. බැංකු කරන්නෙත් ඔය වැඩේමනේ. 

හැබැයි මේක බලු පූට්ටුවක් වෙලා දාන ලේසියට ගන්න බෑ කියලා තේරුණාට පස්සේ කවුරුවත් රටට ඩොලර් ණයට දෙන්න බය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකේ තියෙන වාසිය ණයට ලැබෙන ඩොලර් බිලියන හතර පහ පමණක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණයක් දෙන්නේ දෙන ණය ආපසු ලැබෙන බවට සහතිකයක් ඇත්නම් පමණයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය ගමන්ම අනෙක් අයගේත් බය ඇරෙනවා. වෙන තැනකින් ඔය මුදලම ගත්තා කියලා ඒ විදිහට බය ඇරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් වරදින වෙලාවල් තිබුණත් ගොඩක් වෙලාවට වරදින්නේ නැහැ. මොකද ඔවුන් ණය දෙන්නේ වසර හතර පහක් දිව යන ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙලකට අදාළ රට එකඟ වීමෙන් පසුවයි. එවැනි වැඩ පිළිවෙලක් හදාගන්න මාස පහක් හයක් යනවා. මොකද මේක විචල්‍ය සිය ගණනක් තිබෙන සමීකරණ සිය ගණනක් එකවර විසඳා සොයා ගත යුතු පිළිතුරක්. උසස් පෙළ බහුවරණ ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී උඩ දාපු ගලක් බිම වැටෙන වෙලාව හොයා ගන්නවා වගේ සරල දෙයක් නෙමෙයි.

භෞතික විද්‍යාවෙන් ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරු නොලැබෙන බව ඉංජිනේරු විද්‍යාව හදාරපු අය දන්නවා. එහෙම නිශ්චිත පිළිතුරු ලැබෙනවානම් සේෆ්ටි මාජින් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කොයි තරම් සංකීර්ණ ආකෘතියක් හදන්න පුළුවන් වුනත්, හැම වෙලාවෙම සැබෑ ලෝකයේ සිදුවන ක්‍රියාවලිය ආකෘතියකට වඩා සංකීර්ණයි. කොයි තරම් සංකීර්ණ ආකෘතියකට වුවත් මග හැරෙන දේවල් ගණනාවක් තිබෙනවා. ඒකට විසඳුම ආකෘති අත හැරලා සරල කණාපල්ලං විසඳුමකට යන එක නෙමෙයි.

ඉකොනොමැට්ටාගේ ලිපි සාමාන්‍යයෙන් දිගයි. කාලය වැය කරලා මේ ලිපි ලියන්නේ තමන්ගේ කාලය ආයෝජනය කරලා කියවන්න කැමති අය වෙනුවෙන්. වත්පොතේ ඉන්න ගොඩක් අය එවැනි අය නොවන බව මම දන්නවා. ඒ අය කැමැති වොයිස්කට් විග්‍රහ වලට. එහෙම අයට ඉකොනොමැට්ටාගේ ලිපි නොගැලපෙන්න පුළුවන්. සමහර දේවල් බාගෙට දැන ගන්නවාට වඩා නොදැන ඉන්න එක හොඳයි.

31 comments:

  1. ඔබගේ ලිපී කොපමන දිග උනත් ඒවා ඉතාමත් සරලව සාමාන්‍ය මිනිස්සුන්ටත් තේරුම් ගන්න පුලුවන් විදියට ලියලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ ගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා කියවන්න ආසාවක් නෑ. එයාලට අවශ්‍ය විනාඩි 2-3 න් හදන්න පුලුවන් ක්ශනික නූඩ්ල්ස් වගේ දේවල්. රටේ ආර්ථිකය එහෙම පපඩම් බදිනවා වගේ කරන්න ගිහින් තමා රටට මේ හෙනේ වැදිලා තියෙන්නෙ.
    ඉකොන් කියන්නෙ IMF එකට ගියාට පස්සෙ මේ ප්‍රශ්නය ගොඩක් දුරට ගොඩදාන්න පුලුවන් වෙයි කියලද? ( මම කිව්වෙ 2019 වත් ආපසු යන්න පුලුවන් වෙයිද කියලා. ඊට වැඩිය දෙයක් නම් මේ ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. //එයාලට අවශ්‍ය විනාඩි 2-3 න් හදන්න පුලුවන් ක්ශනික නූඩ්ල්ස් වගේ දේවල්. රටේ ආර්ථිකය එහෙම පපඩම් බදිනවා වගේ කරන්න ගිහින් තමා රටට මේ හෙනේ වැදිලා තියෙන්නෙ.//

      ඇත්තටම ඒක තමයි ප්‍රශ්නය. ආර්ථිකය හැර අනෙක් දේවල් ගැන කටයුතු සිදු වුනෙත් ඒ විදිහටනේ.

      //ඉකොන් කියන්නෙ IMF එකට ගියාට පස්සෙ මේ ප්‍රශ්නය ගොඩක් දුරට ගොඩදාන්න පුලුවන් වෙයි කියලද?//

      ඔවු පුළුවන්. වසරක් ඇතුළත ප්‍රශ්නයෙන් විශාල කොටසක් විසඳා ගත හැකියි. ඒ වසර තුළ උද්ධමනය, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යයි. වසර 4-5ක් ඇතුළත IMF එකෙන් ගන්න ණයත් ආපසු ගෙවා 2019ට ආපසු යා හැකියි.

      Delete
    2. ඒක කරන්න බෑ මට නම් හිතෙන විදියට ම්වෙ ආන්ඩුවට. ආන්ඩුවේ මූලෝපායන් සම්පූර්නෙන්ම වෙනස් තැනක තියෙන්නෙ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

  3. 'ඒකෝ සුනඛ සංසර්ගෝ' ලාංඡනේ
    බැංකුවට අහිමි වී කල් ගිහිල්ලනේ
    සුනඛයො වැඩිම තැනටය එය fit වෙන්නේ
    ලාංඡන වෙනස කවදද සිදු වන්නේ?

    ReplyDelete
  4. ආන්ඩුව imf යනව කියල පෙන්නල විශ්වාසය ගන්න හදන්නෙ දැනට පේන විදියටනම්.

    ReplyDelete
    Replies
    1. මේ මොහොතේ එසේ කිරීමේ වරදක් නැහැ.

      Delete
    2. නමුත් යනව කියල බොරුවට පෙන්නල නොයා ඉන්නව කියන්නෙ ඊලඟට කිසිම විශ්වාසයක් නැතුව යන එක නේද?

      Delete
    3. එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. යනවා කියන එකෙන් වෙන්නේ කෙටිකාලීනව විශ්වාසය ගොඩ නැගෙන එක පමණයි.

      Delete
  5. ඩොලර්ය ස්ථාවර අගය කීයක් විතර වෙයි ද?

    ReplyDelete
    Replies
    1. මම හිතනවා රුපියල් 275-300 අතර ස්ථාවර කර ගත හැකි වෙයි කියලා. එහෙත් ස්ථාවර වෙනවා කියන්නේ ස්ථිර වෙනවා කියන එක නෙමෙයි. එතැන් ටික හෙමිහිට දිගටම අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න වෙනවා.

      Delete
  6. කක්කි වෙලා ඉන්නේ දැන් මල්ලි අපට

    ReplyDelete
  7. would IMF give a solution to the government-sponsored Ponzi scheme? What will happen after the IMF? We need solutions to the core problems as well right? Otherwise, the economy will get better during the IMF program period. But after that, We will face the same situation but worse than this.

    ReplyDelete
    Replies
    1. //would IMF give a solution to the government-sponsored Ponzi scheme?//

      No solution would be needed if it automatically collapses. The Ponzi part, I think, is mostly collapsed, and being collapsed. However, the usual debt crisis will still prevail.



      //What will happen after the IMF? We need solutions to the core problems as well right? Otherwise, the economy will get better during the IMF program period. But after that, We will face the same situation but worse than this.//

      The economy will heal during the IMF program but not necessarily will get better. What will happen after the program is left to the politics.

      Delete
  8. ඉකොනො මේ කෙටි වීඩියෝ එකේ හිටපු අගමැති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ආර්ථිකය ඉතා නිවැරදි ලෙස මෙම අර්බුදයෙන් ගොඩ ගන්න ආකාරය කෙටියෙන් පවසන අතරම ලංකාවේ ආර්ථිකය ඉන් පසුව ගෙන යා යුතු ආකාරය කෙටියෙන් පවසනවා.

    https://fb.watch/bRvHjXDchv/

    මේක බලන්න. රනිල්ට අනුව ලංකාව අවට ඇති රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කර නිදහස් වෙළඳාම දියුණු කළ යුතුයි. විදේශ ප්‍රේෂණ, සංචාරක ව්‍යාපාරය හා ඇඟලුම් වගේ දේවල් තව වැඩි කලක් තියෙන එකක් නෑ සහ ඒවායින් ලැබෙන ආදායම මදි ඒ නිසා ලංකාවේ ආර්ථිකය මැදපෙරදිග ඩුබායි සහ සිංගප්පූරුව අතර මැද ඒ හා සමාන සර්විස් හබ් එකක් බවට පත්කර රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඉන්දීය සහ වෙනත් රටවල ආයෝජකයන්ට ලංකාවේ වරාය ගුවන් තොටුපල හා අධිවේගී මාර්ග ආදිය අවශ්‍ය පරිදි විකුණා දැමීමත් ඉන්දීය සහ ආසියාවේ අනෙක් රටවල වෘත්තීකයන් සහ ශ්‍රමිකයන්ට ලංකාවට ඇවිත් එම ආයතන වල රැකියා අවස්ථා ලබා ගැනීමට පුළුවන් තත්වයක් ඇති කරන එක ඉතාමත්ම සාර්ථකව ආර්ථිකය ගොඩ දාගන්න පුලුවන් ක්‍රමයක් කියලා තමයි ඔහු කියන්නේ.

    ඒ වගේම මේකට ෆේස් බූක් එකේ කමෙන්ට් දාල තියෙන ඒවා වලත් ඉතා වැදගත් අදහස් තියෙනවා හැකි නම් ඉක්මනට ඒවත් චුට්ටක් බලන්න.

    මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ දැන් මේ මොහොතේ අගමැති ලෙස පත් කරොත් ලංකාවේ ආර්ථිකය ක්ෂණිකව උපරිම මාස හයක් වත් යන්න කලින් ලේසියෙන්ම මේ අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔහුගේ ආර්ථික සංවර්ධන අමාත්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි.

    ReplyDelete
  9. ඉකොනොමැට්ටා මේ දවස් වල ලංකාවේ සහ විදෙස් රටවල අය අතර විශාල වශයෙන් ෂෙයාර් වෙන මේ වට්ස් ඇප් මැසේජ් එක ගැන හිතන්නේ මොකද? මේ කියන ආකාරයට සමාජවාදී socialist solutions වලින් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වෙයි ද?

    //

    Forwarded;


    Sri Lanka's pro-US & Pro-Indian unpopular Rajapakse regime headed by couple of US citizens has destroyed the country's economy and people struggle to live despite skyrocketing living costs. Country's profitable government assets & public sector enterprises has been extensively acquired by Indian & American business tycoons while locals suffer with shortage of food and other essential commodities. People's islandwide protests to transfer power very soon to socialist parties like SJB and JVP to solve this issues with socialist solutions.

    https://fb.watch/bRD8TwVPwG/

    - South China Morning Post


    //

    ඉකොනොමැට්ටාගේ වට්ස් ඇප් නම්බර් එකක් තියෙනවා නම් එකට දාන්නම් මේ වගේ කාරණා රාශියක් තිබෙනවා වට්ස් ඇප් හරහා ලංකාවේ ආර්ථිකය ගැන විස්තර සහිතව ෂෙයාර් වෙන. මේ වෙලාවේ සමාජවාදී ආර්ථිකයක් තිබුණා නම් මේ ප්‍රශ්න ගොඩක් වලක්වා ගන්න පුළුවන් බව ලංකාවේ සමාජවාදී දේශපාලනික චින්තකයන් සමාජ ජාල වල පවසන්නේ. ඒත් මට ඒක ෂුවර් නෑ හැබැයි. ඔබ හිතන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සමාජවාදෙන් කරයි ලබ්බක්. අර හඳුන්නෙත්තියා තිරිකුණාමලෙන් විතරක් රට ගොඩදාන හැටි කිව්ව නේද? ඒක බලල හිනා කාල මැරුන්නැති ටික විතරයි .

      Delete
    2. හඳුන් සහෝදරයාට තේරුමක් නැතිව බොරු බයිලා ගහල බනින්න කලින් අඩුම තරමින් මේක බලලා හිටපන්

      https://www.facebook.com/100044431986343/posts/509692673855128/?app=fbl

      තොපිට හොරෙන් තොපි විකුණන අමුතු රටක් ඕක, කාලකන්නි රට වනසන හොර පවුලට කඹුරපු ඇට නම ලක්ෂයක් මී හරක් වගේම තොපේ මොංගල් පුතාණෝ බුරු බබාගේ වහල් රට හරක් ටිකත් එක වගේම මී හරක් රැලක්... දෙකම එකයි...

      Delete
  10. ඔබ මේ ලිපි වෙනුවෙන් යොදවන කාලය හා ශ්‍රමය අපි ඉතා හොදින් තේරුම්ගෙනෙ ඇත්තෙමු. මා ඔබෙන් ඉගෙනෙගත් දේ බොහෝයි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. @ Chaminda,

      ඔබේ දැනුමට මේ කෙටි වීඩියෝ එකේ කියන දේවල් වලින් ගොඩක් දේවල් තවත් එකතු කර ගන්න පුළුවන් වේවි. මේක බලන්න

      https://m.facebook.com/A5News.lk/videos/375118267569206/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&refsrc=deprecated&ref=sharing&_rdr

      Delete
    2. චමින්ද, මේ කොටස ලිවුවේ වත්පොතෙන් කියවන අයට. බ්ලොග් එකට එන අය බොහෝ විට ලිපි මුළුමනින්ම කියවනවා වගේම නැවත ඇවිත් ප්‍රතිචාරත් කියවා යනවා. මම බ්ලොග් එක පටන් ගත් කාලයේ ගොඩක් අය ලිපි කෙටි කරන මෙන් යෝජනා කළා. එය යහපත් සිතින් කළ හොඳ උපදේශනයක්. එහෙත් මට වඩා ප්‍රචලිත ආකෘතිය ඇතුළේ හිර වෙන්න අවශ්‍ය වුනේ නැහැ. කෙටි ලිපියක් වැඩි පිරිසක් වෙත ගෙන යනවාට වඩා දිගු ලිපියක් කියවන්න කැමති පිරිස වෙත අවශ්‍ය කරුණු පැහැදිලිව ගෙන යන්නයි මට අවශ්‍ය වුනේ. මොකද මම මේ බ්ලොග් එකෙන් සල්ලි හොයන්නේ නැහැනේ. ඒ නිසා කියවන පිරිස වැඩි කර ගැනීමට වඩා කියවන කෙනෙකුට කියවීම පිණිස මට අවශ්‍ය දේ සටහන් කර තියන එකයි මගේ ඉලක්කය. බ්ලොග් වලට සාපේක්ෂව වත්පොතේ කොහොමටත් ඉන්නේ දිග ලිපි කියවන්න අකැමැති අය. දැන් මම උත්සාහ කරන්නේ ඒ තත්ත්වය වෙනස් කර ගැනීමටයි.

      Delete
    3. ඔබ හරියටම හරි. වත්පොත පරිශීලනය කරන අයගෙන් බහුතරය වින්දනය උදෙසා පමනක් කියවන අයබව මගේ හැගීමයි. ඔබේ ලිපි දිගවැඩි බවක් මටනම් පේන්නේ නෑ.

      Delete
  11. එකොන් ඔබගේ ලිපි මම වෙලා තිබෙන විට සම්පුර්නයෙන්ම වගේ කියවනවා. ෆේස්බුක් එකේ හැටි එහෙම තමයි. ධනවාදී අර්ථ ක්‍රමය පිලිබන්දව මමත් ගොඩක් දේ මේ බ්ලොගෙන් ඉගෙන ගත්ත කියා කිව හැකියි. ඒවා ගණන් ගන්න එපා. මම ලිපි මාලාවක් ලියනවා බටහිර සහ රුසියානු මාධ්‍ය විකෘති කරන දේවල් ගැන ලියන්නේ. උඩින් පල්ලෙන් බලන් ෆේස්බුක් එකේ අය එක වෙලාවකට මව පුටින් පැත්තට දාල බනිනවා. පූටින් පැත්තේ අය අනිත් පැත්තට දාල බනිනව. හැබැයි කෙලින්ම බ්ලොග් එක කියවන්න එන අය එහම් නැහැ. ඒ ගොල්ලෝ අවශ්යේ දේ උකහාගෙන අනවශ්‍ය දේ අත හැරලා යනවා කියල පෙන්වා. මේක ෆේස්බුක් එකේ හැටි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මේක ලිපි වල අන්තර්ගතය පිළිබඳව නොවන, reach එක පිළිබඳ කරුණක්. මෙතෙක් කල් මම බ්ලොග් එකේ මිස වත්පොතේ ලිපි පළ කරන්න උනන්දුවක් හෝ විශාල කැමැත්තක් දැක්වුවේ නැහැ. එයට හේතුව, සංක්ෂිප්තව කිවුවොත්, ඔබ මෙහි කියන කරුණ. වත්පොතේ යමක් පළ කළ විට එයට කැමති අය එය විශාල ලෙස ශෙයා කරනවා. මේ වැඩෙන් කවුරුවත් හිතන්න පෙළඹෙන්නේ නැහැ. මොකද, අදහස කුමක් වුවත්, හැම විටම එය කියවන්නේ එම අදහස සමඟ එකඟ වන අය. පෞද්ගලිකව මම බොහෝ විට කරන්නේ මට මූලධාර්මික ලෙස එකඟ විය නොහැකි අය ලියන දේ වැඩිපුර කියවන එකයි. එයින් මට මගේ අදහස් පරීක්ෂාවට ලක් කර ගන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම අවධානය යොමු නොකළ පැති වලට අවධානය යොමු කරන්න ඉඩ ලැබෙනවා. මම ලියන දේ වුවත්, ඒ ලියන දේ පිළි නොගන්නා අය වෙත යන එකටයි මම වඩා කැමති.

      මගේ ලිපි දිගයි. එහෙත් ඒ එක් ලිපියකින් වුවත් හැම පැත්තක්ම ආවරණය කරන්න බැහැ. මම ලියන්නේ කියවන අයට කලින් ලියා පළ කළ ලිපිද කියවන්න අවස්ථාවක් ලැබී තිබෙනවා කියන පදනමින්. වෙනත් විදිහකින් කිවුවොත් මම ඉලක්ක කරන්නේ දිගටම ලිපි කියවන පිරිසක්. එම ප්‍රමාණය 2015-2018 කාලයේ ටිකෙන් ටික ඉහළ ගියත් ඉන් පසුව පොදුවේ සිංහල බ්ලොග් කියවන එක අඩු වීම නිසා අඩු වුනා. දැනට ස්ථාවර පාඨක පිරිසක් හිටියත් එය වර්ධනය වන්නේ නැහැ.

      මම වත්පොත යොදා ගත්තේ ස්ථාවර පාඨකයින් එකතු කර ගත හැකි "ඇමක්" ලෙසයි. ලිපි පළ කිරීම තහනම් කරන්න කලින් කවදාවත් ලින්ක් එකක් මිසක් මුළු ලිපියම වත්පොතේ පළ කළේ නැහැ. දෙසතියකට පෙර, ලින්ක් දමන්න බැරි නිසා, නිකමට වගේ මුළු ලිපියම ලිපියම දමලා බැලුවා. ඇත්තටම මේ අවස්ථාවේ තත්ත්වය අනුව එම ලිපි විශාල පිරිසක් වෙත යනවා. මේ නිසා වත්පොත පිළිබඳව තිබුණු ස්ථාවරය ගැන මම නැවත සිතමිනුයි ඉන්නේ. හැබැයි දැන් තියෙන්නේ සුවිශේෂී අවස්ථාවක්. විවිධ පැති වල සිටි අයට මේ වෙලාවේ තමන්ගේ කඳවුර ඇතුළේ විකල්පයක් නැහැ කියන එක පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා ලියන දේ කියවනවා. ප්‍රශ්නය වන්නේ මැතිවරණයක් කිට්ටු වූ ගමන්ම ඔය පිරිස කඳවුරු වලට බෙදෙන එකයි. ඊට පස්සේ නැවතත් තමන් කැමති දේ පමණක් කියවන්න පටන් ගන්නවා.

      Delete
    2. මම හිතන්නෙ මේ අර්බුදයට හේතුව ගැන ලියවුන පරන ලිපි පලකරන එක වටිනව බුකියෙ.
      පුලුවන්නම් කරල බලන්න. බයියො ඊට පස්සෙ ලිපි කියවන එක නවත්තනව. යහපාලනේ isbඋස්සන් රටවටේ දුවනව මේ දවස් වල බුවාල.

      Delete
  12. යම් වසරක උද්දමනය බලාගන්න මහබැන්කු වාර්තාවෙ කොතනද බලන්න ඕන?
    යම්කිසි කාලසීමාවක සාමාන්‍ය උද්දමනය, සහ සාමන්‍ය වර්ධනය ගනනය කරන සූත්‍රය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. වාර්ෂික වාර්තාවේ හතරවන පරිච්ඡේදය මිල ගණන් හා උද්ධමනය ගැන.

      Delete
    2. උදාහරනයක් විදියට ඔබේ පෙර ලිපියක තිබ්බ මහින්දගෙ දශකයෙ සාමන්‍ය උද්දමනය 11% වගෙ ගානක් කියල මට මතක විදියට. මේක ගනනය කලේ කොහොමද?

      Delete
    3. ලිපිය හා අදාළ තැන පෙන්නුවොත් හරියටම කියන්න පුළුවන්.

      Delete
    4. පොඩ්ඩක් හොයන්න ඕන. පරන ලිපියක්

      Delete
    5. විවිධ සන්දර්භ වල ලියා තිබෙන ලිපි වල මම මෙය වෙනස් ආකාර වලින් ගණනය කර තිබිය හැකියි. ඒ නිසයි ඇහුවේ. ඔබට මෙය ගණනය කිරීමට අවශ්‍ය ඇයි කියා කිවුවත් ගැලපෙන පිළිතුරක් දෙන්න පුළුවන්.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...