වෙබ් ලිපිනය:

Tuesday, May 19, 2020

වැරදුනේ කොතැනද?


සමගි පෙරමුණු ආණ්ඩුවේ 1972-76 පස් අවුරුදු සැලැස්ම ගැන පෙර ලිපියේ කෙටි සඳහනක් තිබෙනවා. ඇතැම් විට මේ පස් අවුරුදු සැලැස්මේ පසුබිම, අරමුණු, ඉලක්ක හා ප්‍රතිඵල ගැන සමාලෝචනයක් කරන්න මෙය සුදුසුම කාලයක්. සැලැස්ම සාර්ථක නොවූ බවට හොඳම සාක්ෂිය 1977දී ජේආර් ලැබූ හයෙන් පහේ මැතිවරණ ජයග්‍රහණයයි. ඒ සමඟම මධ්‍යගත සැලසුමක් මත පදනම් වූ සංවෘත මිශ්‍ර ආර්ථිකයක් පිළිබඳ අදහස නැවත දශක ගණනාවක් යන තුරු හිස එසැවිය නොහැකි ලෙස ලංකාවෙන් ප්‍රතික්ෂේප වුනා. මේ දැවැන්ත ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අවධානයෙන් ගිලිහී ගිය ඇතැම් සාධනීය කරුණුද ඉහත කී පස් අවුරුදු සැලැස්මේ තිබුණා.

බොහෝ දෙනෙක් සිතා සිටින පරිදි 1977දී ලංකාවේ ධනවාදී ආර්ථික ක්‍රමයක් තහවුරු වුනේ නැහැ. ආර්ථිකයේ යම් විවෘත වීමක් සිදු වුනා. රජය විසින් සිදු කළ ඇතැම් කටයුතු පෞද්ගලික අංශය වෙත විතැන් වුනා. සමගි පෙරමුණු යුගයට සාපේක්ෂව මේ වෙනස්කම් ධනවාදයේ දිශාවට සිදු වූ පරිවර්තන ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත්, මධ්‍යගත සැලසුම්, මිශ්‍ර ආර්ථිකයක් හා ආරක්ෂණවාදී ප්‍රවේශයක් කියන පැකේජ් එකේ බොහෝ කොටස් අද දක්වාම එලෙසම තිබෙනවා. මේ සීමාකාරී තත්ත්වයන් හා ධනවාදය අතර ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් දෝලනය වෙමින් තිබෙනවා.

නිදහසින් පසු ලංකාව මේ වන විට සෑහෙන දුරක් පැමිණ තිබෙනවා. රට තවම තිබෙන්නේ නමසිය හතළිස් අටේ කියා කිසිවෙකුට කියන්න බැහැ. එසේ වුවත්, මේ අවුරුදු 72 ඇතුළත රටවල් ගණනාවක් ලංකාව පසුකර ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ පදනමක ලංකාව පසුපසට ගිහින් තිබෙනවා. එහෙමනම්, ලංකාවට වැරදුනු මොනවා හෝ තැන් තිබිය යුතුයි. ඒ තැන් මොනවාද?

අතීතයේ සිදු වූ වැරදි අඩුපාඩු දැන් හඳුනා ගත්තා කියා අතීතය වෙනස් කරන්න බැහැ. නමුත්, අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය වෙනස් කර ගත හැකියි. අතීතයේ කළ වැරදි නැවත නැවතත් සිදු කළ යුතු නැහැ.

සංවර්ධනයේ ඉලක්කය මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමයි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. ආදායම් මට්ටම් ඉහළ ගිය පමණින්ම ජීවන තත්ත්වය උසස් වෙන්නේ නැහැ. ඒ සඳහා තවත් බොහෝ දේ සිදු විය යුතුයි. නමුත්, මේ තවත් බොහෝ දේ බොහෝ විට සිදු වන්නේ ආදායම් මට්ටම ප්‍රමාණවත් ලෙස ඉහළ ගොස් ඇත්නම් පමණයි. ඒ නිසා, පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් මට්ටම යනු ඒ පුද්ගලයින්ගේ හෝ පොදුවේ රටේ ජීවන තත්ත්වය පිළිබඳ සියයට සියයක සහසම්බන්ධයක් නැති වක්‍ර නිර්ණායකයක්ද වෙනවා.

මෙයින් වෙනස්ව පුද්ගලයෙකුගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ඔහුගේ හෝ ඇයගේ ජීවන තත්ත්වය පිළිබඳ සෘජු නිර්ණායකයක් සේ සලකන්න පුළුවන්. ඒ පදනම මත අධ්‍යාපනය හා සෞඛ්‍යය ආදායම් මට්ටමට වඩා වැදගත්. එහෙත්, කරුණු දෙකක් නිසා ආදායම් මට්ටම අතහැර අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන කතා කරන්න බැහැ. පළමුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගන්නනම් හොඳ ආදායම් මට්ටමක් අවශ්‍ය වෙනවා. දෙවනුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් ඇති විට වැඩි ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවයක් ඇති වෙනවා. මේ හේතු දෙක නිසා අධ්‍යාපනය හා සෞඛ්‍යය දියුණු විය යුත්තේ ආදායම් මට්ටම ඉහළ යාමට සමාන්තරවයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය නොසලකන ආදායම් ඉහළ යාමකට හෝ ආදායම් මට්ටම නොසලකා හරින අධ්‍යාපන හා සෞඛ්‍ය සංවර්ධනයකට දිගුකාලීන පැවැත්මක් නැහැ. එය අකාර්යක්ෂමයි.

ලෝකයේ හැම රටක්ම වාගේ කිසියම් තරමකින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කරනවා. එසේ කරන්නට හේතු තිබෙනවා.

දෙදෙනෙකු අතර සිදුවන අන්තර්ක්‍රියා බොහොමයක වාසිය හා අවාසිය තිබෙන්නේ ඒ දෙදෙනාටයි. එහෙත්, ඇතැම් විට පැත්තක සිටින තෙවන පාර්ශ්වයකටද බලපෑමක් වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ඔබේ මුදලින් දුම්වැටියක් මිල දී ගෙන උරනවා. එයින් ඔබට දිගුකාලීන සෞඛ්‍ය හානියක් සිදු වෙනවා. ඔබ ඒ බව දන්නවා. හානියේ ප්‍රමාණය ගැන නිසි තක්සේරුවක් ඔබට තිබෙනවා. ඒ බව දැන දැන ඔබ දුම්වැටිය උරනවානම් එය ඔබේ ස්වාධීන නිදහස් තීරණයක්. මට එයට මැදිහත් වෙන්න අයිතියක් නැහැ. එහෙත්, ඔබ පොදු ස්ථානයක වාතයට එකතු කරන සිගරැට් දුම මට ආශ්වාස වෙනවානම් එය මගේ ප්‍රශ්නයක්. ඔබ වත්තේ පුළුස්සන වියලි කොළ ගොඩක දුම මගේ වත්තට එනවානම් එය මගේ ප්‍රශ්නයක්.

මේ ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් කරන කටයුත්තකින් පැත්තක සිටින අයෙකුට බලපෑමක් සිදු වන අවස්ථා බාහිරත්ව ලෙස හඳුන්වනවා. මා මෙලෙස පරිවර්තනය කරන්නේ externalities කියන ඉංග්‍රීසි වචනයයි. ඇතැම් විට නිවැරදි සිංහල වචනය වෙනත් එකක් විය හැකියි.

තෙවන පාර්ශ්වයකට බාහිරත්වයක බලපෑම නරක බලපෑමක් වෙන්න පුළුවන් වගේම හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්. බලපෑම නරක එකක්නම් එය සෘණාත්මක බාහිරත්වයක් (negative externality) ලෙසත්, බලපෑම හොඳ එකක්නම් එය ධනාත්මක බාහිරත්වයක් ලෙසත් (positive externality) ලෙසත් හැඳින්වෙනවා. ඉහත කී දුම්වැටි උදාහරණය සෘණාත්මක බාහිරත්වයක්. ඔබේ තාප්පයේ ඔබේ වියදමින් ඔබ අඳින ආකර්ශනීය චිත්‍රයකින් ධනාත්මක බාහිරත්වයක් ඇති කරවන්න පුළුවන්.

බාහිරත්ව ඇති තත්ත්වයක් යටතේ කිසියම් පුද්ගලයෙකු විසින් අවස්ථාව අනුව ගන්නා හොඳම තීරණය පොදුවේ සමාජයක් ලෙස සැලකූ විට හොඳම තීරණය නොවෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක පොදු සමාජය පෞද්ගලික තීරණයකට බලපෑමක් කිරීම එසේ නොකිරීමට වඩා කාර්යක්ෂමයි. උදාහරණයක් විදිහට පොදු තැනක දුම්පානය කරන කෙනෙකුගෙන් දඩ මුදලක් අය කර ඒ මුදල අක්‍රිය දුම්පානය නිසා රෝගී වන අය වෙනුවෙන් යෙදවීම වඩා කාර්යක්ෂමයි වගේම වඩා සාධාරණයි. ඒ වගේම කෙනෙක් පෞද්ගලික ඉඩමක තිබෙන පාරට පෙනෙන තමන්ගේ තාප්පයේ තමන්ගේ වියදමෙන් අඳින චිත්‍රය නිසා සතුටු වන අයගෙන් ඒ සතුට වෙනුවෙන් මුදලක් අය කර චිත්‍රයේ පිරිවැය දැරූ පුද්ගලයාට දෙන එකේත් වැරැද්දක් නැහැ.

හැබැයි මේ වගේ මැදිහත්වීමක් කළ යුත්තේ ඉතාම පරිස්සමෙන්. මොකද කිසියම් කටයුත්තකින් පුද්ගලයෙකු ලබන සතුට හෝ අසතුට සෘජුව නිරීක්ෂණය කළ නොහැකි නිසා බාහිරත්ව ඇති බව පැහැදිලිව පෙනෙන විටෙක පවා එම බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගැනීම පහසු නැහැ. නිවැරදි කිරීමක් කාර්යක්ෂම වෙන්නනම් බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගන්න වෙනවා.

උදාහරණයක් විදිහට පොදු අරමුදල් යොදවා හදන පිට්ටනියක් ගැන හිතමු. දැන් මේ පිට්ටනිය හැදූ පසු ඕනෑම කෙනෙක්ට ගිහින් එහි ක්‍රීඩා කරන්න පුළුවන්. පිට්ටනියක් තිබෙනවානම් එහි ක්‍රීඩා කිරීම සඳහා මුදල් ගෙවන්න කැමති විශාල පිරිසක් ඉන්නවා. ක්‍රීඩා කිරීමේ සතුට ගෙවන මුදලට වඩා වැඩියි. නමුත්, පිට්ටනියක් නැති නිසා කිසිවෙකුට ඒ විකල්පය නැහැ. පිට්ටනියක් තිබුණානම් මුදල් ගෙවා එහි ක්‍රීඩා කිරීමට ඉඩ ඇති කිසිවෙකුට අලුතෙන් පිට්ටනියක් හැදීම වෙනුවෙන් ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. ඔය වගේ වෙලාවක පොදු අරමුදල් යොදවා පිට්ටනියක් හදන එක නරක දෙයක් නෙමෙයි. මුලදී සියල්ලන්ටම පාඩුවක් සිදු වුනත් පිට්ටනිය හැදුනු පසු මුදල් නොගෙවා ක්‍රීඩා කරන්න ලැබෙන නිසා ඒ පාඩුව සමනය වෙනවා.

සමහර විට ඔය පිට්ටනිය තමන්ට කවදාවත් යන්න නොලැබෙන පිට්ටනියක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. එහි ක්‍රීඩා කරන කණ්ඩායම් දිහා රූපවාහිනියෙන් හෝ බලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා, හැමෝටම යන්න නොලැබෙන පිට්ටනියක්, පාරක් හෝ ස්මාරකයක් වෙනුවෙන් වුවත් පොදු මුදල් යෙදෙවීම වරදක් කියා එකවරම කියන්න බැහැ. ක්ෂණික ගිලන් රථ සේවයක් වගේ දෙයක් වෙනුවෙන් යොදවන මහජන මුදල් වලින් ඕනෑම කෙනෙකුට කොයි වෙලාවක හරි වාසියක් වෙන්න පුළුවන්.

හැබැයි මේ වගේ කටයුත්තක් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම සාධාරණ හා කාර්යක්ෂම වන සීමාවක් තිබෙනවා. අපි හිතමු ඉකොනොමැට්ටා බ්ලොග් එකේ පස් වන සංවත්සරය සැමරීම සඳහා මහජන මුදල් යොදවා ගාලු මුවදොර පිටියේ ස්මාරකයක් හැදුවා කියා. ඕක දකින සමහර අයට සතුටක් ඇති වෙයි. තවත් සමහර අයට අසතුටක් ඇති වෙයි. අපි හිතමු වැඩි දෙනෙකුට ඇති වෙන්නේ සතුටක් කියලා. ඔබට මේ ස්මාරකය එහි තිබීමෙන් සතුටක් ඇති වෙනවානම් ඒ සතුට වෙනුවෙන් ඔබ වැය කරන්න කැමති නිශ්චිත උපරිම මුදලක්ද තිබෙනවා. ස්මාරකය නිසා රටේ සියල්ලන්ටම ලැබෙන සතුට මුදලින් ඇස්තමේන්තු කිරීමෙන් පසුව, ඒ වෙනුවෙන් වැය කළ මහජන මුදල් බදු ලෙස අය කර ගැනීමේදී ඔවුන්ට අහිමි වන සතුට ඉක්මවනවානම් මේ ස්මාරකය හැදීම මහජන යහපත සඳහා හේතු වෙනවා. ඒ නිසා එය කාර්යක්ෂමයි. එසේ නොවන්නේනම් එය මහජන මුදල් නාස්ති කිරීමක්.

අධ්‍යපනය පොදු අරමුදල් යොදවා සුබසාධනය කිරීමේ ආර්ථික විද්‍යා පදනම වන්නේත් එයින් සැලසෙන පෞද්ගලික යහපතට අමතරව පොදු යහපතක්ද සැලසෙනවා කියන එකයි. ඔබේ අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී ඔබේ ආදායම් ලැබීමේ හැකියාව ඉහළ යනවා. ඒ හරහා හා වෙනත් ආකාර වලින් ඔබට යහපතක් සැලසෙනවා. එයට අමතරව ඔබ දැනුම් තේරුම් ඇති අයෙකුව සිටීමෙන් ඔබ අවට සිටින අනෙකුත් අයටද යහපතක් සැලසෙනවා. ඔබට අකුරු කියවිය හැකිනම් එසේ කළ නොහැකි අයෙකුට පාරක් තොටක් හොයා ගන්න උදවු කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඔබ විදේශ භාෂාවක් ඉගෙනගෙන ඇත්නම් විදේශ සංචාරකයෙකුට වුවත් ඔබෙන් පාරක් තොටක් අහගන්න පුළුවන්. විශේෂයෙන්ම සාමූහික නිෂ්පාදන කටයුත්කදී සියළු දෙනාම එක සේ දැනුවත් වූ විට 2 + 2 = 5 තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.

අධ්‍යාපනය වෙනුවෙන් යමෙක් කළ යුතු ආයෝජනය තනිකරම පෞද්ගලික ආයෝජනයක්නම් ඔබ ආයෝජනය කරන්නේ ඔබට එයින් අනාගතයේදී ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභ දෙස බලාගෙනයි. ලැබෙන අනාගත වාසි අද කරන ආයෝජනයට වඩා වැඩිනම් ඔබ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා. එසේ නැත්නම් නැහැ. ඔබ ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් අද වැය කරන මුදල් නිසා පැත්තක ඉන්න වෙනත් අයටද වාසි ලැබෙනවා කියන කරුණට මෙහිදී ඔබේ අවධානය යොමු වන්නේ නැහැ. වෙනත් අයට වාසි ලැබෙන්න ඔබ ඔබේ මුදල් වැය කළ යුත්තේ ඇයි?

අපි හිතමු ඔබ මේ ආකාරයට නොසිතා අධ්‍යාපනය වෙනුවෙන් තරමක් වැඩි ආයෝජනයක් කළා කියා. මේ වැඩෙන් ඔබට අනාගතයේදී සිදු වන්නේ අවාසියක්. නමුත්, රටේ හැම කෙනෙක්ම ඔබ විදිහටම සිතා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත්? දැන් ඒ අනිත් අය විසින් සිදු කළ අමතර ආයෝජන වල වාසිය ඔබටත් එනවා. ඒ නිසා, අවසානයේදී ඔබට ශුද්ධ ලෙස වාසියක් මිසක් අවාසියක් වෙලා නැහැ. හැබැයි ඔය වාසිය ඔය විදිහට ලැබෙන්නේ හැමෝම අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත් පමණයි. එසේ නැත්නම් ඔබට වෙන්නේ අවාසියක්. අනිත් අය ගැන ඔබට සහතිකයක් නැති නිසා ඔබ වැඩේට අත ගහන්නේ නැහැ. අනිත් අය හිතන්නෙත් ඒ විදිහටමයි.

අධ්‍යාපන ආයෝජන සිදුවන්නේ තනිකරම පෞද්ගලික තීරණ මතනම් එම ආයෝජන සිදු වන්නේ ප්‍රසස්ථම මට්ටමට වඩා තරමක් අඩුවෙන්. අධ්‍යාපනය වෙනුවෙන් කිසියම් පොදු ආයෝජනයක් කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක්. නමුත්, එය ප්‍රසස්ථ වන නිශ්චිත සීමාවක් තිබෙනවා. එම මට්ටම ඉක්මවා ගියහොත් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන පොදු ආයෝජන වලින් එම ආයෝජන වලට සරිලන වාසියක් ලැබෙන්නේ නැහැ.

ලංකාව නිදහස ලබන කාලයේදී එසේ නිදහස ලැබූ වෙනත් රටවල වගේම ලංකාවේද අධිරාජ්‍ය විරෝධය උපරිම මට්ටමක තිබීම පහසුවෙන් තේරුම් ගත හැකි කරුණක්. ඒ කාලයේදී සමාජවාදී රටවල් අධිරාජ්‍ය විරෝධය හා ජාතීන්ගේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන්ද පෙනී සිටි නිසා ලංකාව වැනි රටවල අධිරාජ්‍ය විරෝධී හා ජාතිකවාදී අදහස් ව්‍යාප්ත වීමට සමාන්තරව සමාජවාදී අදහස්ද ව්‍යාප්ත වුනා. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම හරහා මානව සංවර්ධනයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න නිදහස් ලංකාව යොමු වීම කෙරෙහි මේ සමාජවාදී අදහස් වලින්ද සැලකිය යුතු බලපෑමක් සිදු වෙන්න ඇති.

ලංකාව දිගින් දිගටම වගේ මානව සංවර්ධනය අතින් සමාන ආදායම් මට්ටමක සිටි වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටියා. එයට අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම විශාල පිටිවහලක් වී ඇති බව කිසිදු සැකයක් නැති කරුණක්. එහෙත්, එයින් අදහස් වන්නේ මේ තත්ත්වය පැවතිය හැකිව තිබුණු හොඳම තත්ත්වය බව නෙමෙයි.

ඕනෑම දෙයක නියම මිලක් තිබෙනවා. ඒ මිලට වඩා මිලක් ගෙවන්න වෙනවානම් කොයි තරම් වටිනා දෙයක් වුවත් මිල දී ගන්න එකේ තේරුමක් නැහැ. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම වෙනුවෙන් ගෙවන මිලත් එවැන්නක්. මානව සංවර්ධනය වෙනුවෙන් ආයෝජන ඉහළ දමද්දී භෞතික සංවර්ධනය වෙනුවෙන් සිදු කළ හැකි ආයෝජන සීමා වෙනවා. ඒ නිසා, මේ දෙක අතර නිසි සමතුලිතතාවයක් පවත්වාගත යුතුයි. මානව සංවර්ධනය වෙනුවෙන් අඩුවෙන් ආයෝජනය කිරීම වගේම වැඩියෙන් ආයෝජනය කිරීමත් දිගුකාලීනව හානිකරයි.

මානව සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජනය නොකර භෞතික සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව භෞතික සම්පත් වැඩි වුනත්, ඒ භෞතික සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මානව සම්පත් ප්‍රමාණවත් තරම් නැති නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස භෞතික සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා.

මෙහි අනිත් පැත්තත් එහෙමයි. භෞතික සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජන සිදු නොකර මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව මානව සම්පත් සංචිත වැඩි වුනත්, ඒ වැඩි වූ මානව සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට අවශ්‍ය භෞතික සම්පත් හිඟ නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස මානව සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ආර්ථිකය අකාර්යක්ෂම වෙන්න මේ දෙවන හේතුව බොහෝ දුරට දායක වී තිබෙනවා.

සැබෑවක්ද ප්‍රබන්ධයක්ද කියා මා හරියටම නොදන්නා ජනප්‍රිය කතාවකට අනුව ගහකට යවා ගන්නවත් ගමක කොල්ලෙක් නැති වෙයි කියන පදනමින් ලංකාවේ ඇතැම් දේශපාලනඥයින් නිදහස් අධ්‍යාපනය සේ හඳුන්වන, සියල්ලන්ට පොදුවේ ලැබෙන සුබසාධිත අධ්‍යාපනයට එරෙහි වී තිබෙනවා. මේ කතාව මොන අදහසකින් කියපු එකක් වුනත් එහි ආර්ථික විද්‍යා අරුතක් තිබෙනවා. රටට අවශ්‍ය වන්නේ පොල් කඩන්න දන්න මිනිස්සුනම් රටේ සියල්ලන්ටම උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන එකේ තේරුමක් නැහැ. උපාධි මට්ටමේ අධ්‍යාපනයකින් වැඩක් වෙන්නනම් මානව සංවර්ධනයට සමාන්තර භෞතික සංවර්ධනයක්ද සිදු විය යුතුයි.

ඕනෑවට වඩා කලින් මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කරමින් සුබසාධිත ආර්ථිකයක් පවත්වා ගැනීම (premature welfarism) ලංකාවේ අනාගත සංවර්ධනයට හානිකර වී ඇති බව සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙකු විසින්ම පෙන්වා දී තිබෙන කරුණක්. මෙය දැන් සිදු වී අවසන් නිසා ඒ හානිය ආපසු හරවන්න බැහැ. ඒ නිසා දැන් කළයුත්තේ පවතින තත්ත්වය වාසියට හරවා ගන්න එකයි.

අවසාන ප්‍රතිඵලය කවරක් වුවත් සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්ම ඉහත අඩුපාඩුව නිවැරදිව හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා දැරූ අවංක උත්සාහයක්. විසඳුම් සෙවූ ක්‍රමවේදයේ වරදින් හා ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා වසර පහ අවසානයේ රටේ ආර්ථිකය කබලෙන් ලිපට වැට්ටවීම හැර වෙනත් දෙයක් සිදු නොකළත්, මේ සැලසුමේ ඉලක්කය වුනේ රටේ මානව සම්පත් සංවර්ධනයට ගැලපෙන පරිදි භෞතික සම්පත් සංචිත වැඩි කර ගැනීම හා එයට සමාන්තරව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි.

සමගි පෙරමුණු උපක්‍රමය අසාර්ථක වීමෙන් පසුව විදේශ ණය වලින් භෞතික සම්පත් හිඟය පුරවා ගැනීමේ විකල්පය වෙත ලංකාව මාරු වුනා. අද දක්වා වසර 43ක් ලංකාව විසින් මේ උපාය මාර්ගය අනුගමනය කරමින් සිටිනවා. එහෙත් මේ උපාය මාර්ගයේද පැහැදිලි නෛසර්ගික අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු කාලයක් තිස්සේ සමුච්ඡය වී දැන් ලංකාව නැවතත් මේ ක්‍රමයට තවත් ඉදිරියට යා නොහැකි සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.

(Image: https://www.agefotostock.com/age/en/Stock-Images/Rights-Managed/GBP-CPA0002087)

3 comments:

  1. සමගි පෙරමුණ ගැන කියනකොට
    ඇන්.ඇම්.ගෙ නම නැගේ සිහියට
    ප්‍රජා අයිතිය පවා නැතිකොට
    දිනාගත් දේ කිමද මගෙ රට

    ReplyDelete
  2. එක විදිහකට බලද්දී ඒ යුගයේ කොටසක් ආයේ ඇවිත්.

    දැන් හැමෝම වගේ ගෙවත්තේ, මල් පෝච්චිවල බටු, මිරිස්, බණ්ඩක්කා, නිවිති, රාබු, ගෝවා වවන්න පටන් අරන්. මේ උනන්දුව කී කාලයක් පවතියිද කියලයි හිතාගන්න බැරි.

    මට හිතෙන හැටියට අපට වෙච්චි හූනියම තමයි පාර්ලිමේන්තුවට නූගතුන් යැවීම. එයාලා යන්නේ 'රටට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම' සඳහා නෙවෙයිනේ. ඊළඟ ඡන්දය දිනාගැනීම සඳහා වැඩ කරන්න, දැන් කලබලේ 'හෝමාගම 40,000 ක් ආසන තියන ක්‍රිකට් ක්‍රීඩාංගනයක්' ඉදි කරන්න හදනවා වගේ වැඩ කෙරෙන්නේ පම්පෝරි ගහන්නයි, ජරාව කන්නයිනේ.

    එයාලා කොච්චර මිනිස්සුන්ගෙන් ඈතට වෙලාද ඉන්නේ කියන්න හොඳම උදාහරණය තමයි කොරෝනා. මා දන්නා තරමට ලංකාවේ කිසිදු මැති, ඇමති, ප්‍රාදේශීය, පළාත් දේශපාලන නියෝජිතයන් හෝ පවුලක කෙනෙකුට රෝගය ආසාදනය වුනාද? එච්චරට දුරින්- හැමදාම නිරෝධායනය වෙලයි එයාලා ඉන්නේ!

    ඡන්දදායක; පුරවැසි අපිත් ගොන්වස්සෝ වගේ වෙලා. මෝඩ ජනතාව වැඩි නිසා 225 නියෝජනය කරන්නෙත් එයාලටම ඔබින පිරිසක්. අපි දෙගොල්ලෝම හිතන්නේ එදා-එදා ගැන විතරයි. අනාගතය ගැන හිතන්නේ කවුද? ඉතින් මොකටද අතීතයෙන් ඉගෙන ගන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරය නීතිඥයන්, වෛද්‍යවරුන්,ගණකාධිකාරිවරු,හිටපු කළමනාකරුවන්,කලාකරුවන්,මාධ්‍යවේදීන්. එතකොට කොහොමද නූගතුන් කියා කියන්නේ? අනෙක් අතට මෙවැනි ඉහළ මට්ටමේ තීරණ ගන්නා අයට අවශ්‍ය වෙන්නේ ඊනියා උසස්පෙළ සාමාන්‍ය පෙළ නෙවෙයි මනෝභාවාත්මක කුසලතා(conceptual skills), ඒක උගත්කමින් එනවද? ඒ වගේම කැබිනට් සංදේශයක් පවා එන්නේ අමාත්‍යංශ ලේකම් මඟින්. එතකොට එයා නූගතෙක් වෙන්න බෑනේ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...