වෙබ් ලිපිනය:

Tuesday, May 5, 2020

ඇති සේ දකින නැති ලාබ

ලෝකයේ ලොකුම සහල් නිෂ්පාදකයා චීනය වුවත්, ලෝකයේ ලොකුම සහල් අපනයනකරු ඉන්දියාවයි. ඉන්දියාවේ නිපදවන සහල් සමඟ ලංකාවට මෙන්ම ඇමරිකාවටත් තරඟ කරන්න වෙනවා. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් දෙදාහක් පමණයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම එමෙන් දෙගුණයක්. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ මෙන් තිස් ගුණයක්.

ඇමරිකාවට වගේම ලංකාවට සාපේක්ෂවත් ඉන්දියාවේ ශ්‍රමය ලාබයි. වී ගොවිතැන සඳහා අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාවේදී ගෙවිය යුත්තේ ලංකාවේදී ගෙවන්නට අවශ්‍ය මිලට වඩා අඩු මිලක්. ඇමරිකාවේදීනම් මිනිස් ශ්‍රමය වෙනුවෙන් විශාල මිලක් ගෙවිය යුතුයි.

ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාව මෙන් දෙගුණයක මිලක් ගෙවන ලංකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න බැරි වෙන්නත්, ඉන්දියාව මෙන් තිස් ගුණයක මිලක් ගෙවන ඇමරිකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න පුළුවන් වෙන්නත් හේතුව කුමක්ද?

පහත වගුවේ තිබෙන්නේ ඉන්දියාවේ හා ඇමරිකාවේ අක්කරයක වී වවන්න යන වියදමයි. ඇමරිකාවට ඩොලර් දාහක් වියදම් වුනත්, ඉන්දියාවට වියදම් වෙන්නේ ඩොලර් හාර සීයක් පමණයි. ඉන්දියාවේ වී ගොවියෙක් මේ වියදම ආවරණය කර ගන්න අක්කරයකින් ලබා ගත යුත්තේ වී කිලෝ ග්‍රෑම් 1330ක් පමණයි. එතැනින් උඩ ලාභ. එහෙත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට ලාබ ලබන්න හැකි වෙන්නේ අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3300කට වඩා වැඩියෙන් ලබා ගත්තොත් පමණයි.


ඇමරිකාවේ ගොවියෙක් අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3400ක් පමණ ලබා ගන්නවා. ඒ නිසා, සුළු වුවත් ලාබයක් තිබෙනවා. ඉන්දියාවේ කුඹුරු ඉඩම් අක්කරයකින් ලැබෙන්නේ වී කිලෝ ග්‍රෑම් 1080ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඉන්දියාවේ ගොවියෙකුට වී වගාවෙන් ඇත්තටම ලාබයක් නැහැ. එහෙමනම්, ඉන්දියාවේ ගොවීන් වී වගා කරන්නේ ඇයි?

ඉන්දියාවේ ගොවියෙකු අක්කරයක වී වවන්න යන වියදමෙන් අවම වශයෙන් 40%ක් මුදල් ලෙස වැය වන වියදම් නෙමෙයි. මේ ප්‍රමාණය 50% පමණ දක්වා කොටසක් වෙන්න පුළුවන්. ගොවි පවුලේ සාමාජිකයින් විසින් යොදවන ශ්‍රමය ඇත්තටම වියදමක් වුවත් ඒ වෙනුවෙන් පවුලේ අය වැටුප් ලබා ගන්නේ නැහැ. තමන්ට අයත් ඉඩම වී ගොවිතැන වෙනුවෙන් යොදා ගැනීමේ  ආවස්ථික පිරිවැයත් එවැනිම නොපෙනෙන වියදමක්. බොහෝ විට ගොවිතැන් වැඩ වලට යොදා ගන්න හරක් තමන්ගේම හරක්.

ඉන්දියාවේ බොහෝ ගොවීන්ට මෙන්ම ලංකාවේ බොහෝ ගොවීන්ටත් ඉහත කී වියදම් වියදම් සේ දැකිය හැකි අවබෝධයක් නැහැ. ඔවුන් වියදම් සේ දකින්නේ අතින් වියදම් වන මුදල් පමණයි. අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 900ක් ලැබෙන විට ඒ වියදම් ආවරණය වෙනවා. ගොඩක් ගොවීන් හිතන්නේ ඉතිරි මුදල ලාබයක් කියලයි. එහෙත්, නොපෙනෙන වියදම් සැලකූ විට ඒ ලාබය පාඩුවක් බවට පත් වෙනවා.

References

McBride, W. D. et al. (2018). US Rice Production in the New Millennium: Changes in Structure, Practices, and Costs. Economic Research Service, Economic Research Bulletin, (202).

Show, S. (2018). Cost of Cultivation and Profitability of Agriculture in West Bengal: A Study with Special Reference to Backward Region of West Bengal. Economic Affairs63(4), 1067-1075.

27 comments:

  1. ඉකොනෝ හැම දේම මුදලින් මනින මිනිහෙක් හින්දා හිතනවා ඇති ලංකාවේ ගොවියන් වී වගා කරලා පාඩු විදිනවා කියලා. අනික ඉකනෝ කියනවා වගේ පවුලේ අයත් එක්ක වැඩ කරලා අස්වද්දන්න ලියදි කුඹුරු තියෙන්නේ උඩරට පළාත් වල. පහත රට, නැගෙනහිර පළාත්වල තියෙන විශාල තැනිතලා කුඹුරු අස්වදන්නේ කම්කරු ශ්‍රමය මුදලට අරං. යන්ත්‍ර සුත්‍ර යොදාගෙන. ඒවා පාඩුයි නං නැගෙනහිර ගොවියෝ කුඹුරු කරන්නේ නැහැනි. මොකද කුඹුරෙන් පාඩුයි කියලා තේරෙන්න ගොවියා ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන්න ඕනි නෑනි. ඉකොනොට තේරන දේ එහෙනම් ගොවියටත් තේරෙන්න ඕන.

    උඩරට බදුල්ල වගේ පළාත් වල නං තියෙන කුඩා කුඹුරු පවුලේ අය, අහල පහල කුඹුරු වල අය එක්ක එක්කසුව වපුර ගන්නේ. වසරකට එක පාරයි වී වපුරන්නෙත්. ඒ එන වී ටික අවුරුද්දේම ආහාරයට ඇති. ඉතිරි මාස වල ඒ කුඹුරු වල අර්තාපල්, ගෝවා, තක්කාලි, බෝංචි, කැරට් වගේ ව්විද බෝග මාරුවෙන් මාරුවට දානවා. ඒවායින් සැලකිය යුතු මුදලක් ඒ ගොවින් හම්බ කරගන්නවා. අනික තමයි මෙහෙම වී, අනෙකුත් බෝග මාරුවෙන් මාරුවට දැම්මම පස සරු වෙනවා. අනික වී ගොවිතැන කරද්දී වී සිටුවන කාලයේ, අස්වැන්න නෙලන කාලයේ තමයි ශ්‍රමය ඕනා. අනෙකුත් දවස් වල එතරම් ශ්‍රමයක් ඕනි නැහැ. ඒ දවස් වල වතුර ලබා දුන්නා නම් හරි. නැතුව මුළු දවසෙම කුඹුරේ ලැගන් ඒක දිහා බලං ඉන්න ඕනි නැහැ ඉකොනෝ ඔහේ ඉදන් ලංකාව දිහා බලං ඉන්නවා වගේ. ඉතිං ඒ අතරමැදි දවස් වල ගොවින් කරන්නේ ගොඩ ඉඩම් වල බෝග වගා කරන එක. හැම දේම ආර්ථික විද්‍යාව අතින් බලන්න ගියාම තමයි ඉකොනෝට වැරදෙන්නේ. පොඩ්ඩක් බලන්න මිනිස්සු ප්‍රායෝගිකව වැඩ කරන විදිය.

    ReplyDelete
    Replies
    1. ඒ කථාවෙ ඇත්තක් තියෙනවා, ඒත් ලංකාවේ ගම්මානවල කුඹුරු පුරන් වෙන්නත් හේතුවක් තමයි පාඩු ලබන එක.මොකද ශ්‍රමය හොයා ගන්න අමාරුයි. ඔය නැගෙනහිර පැත්තේ ඉන්දියානු කම්කරුවෝ හොරට වැඩ කරන කතාවකුත් තියෙනවා නේද

      Delete
    2. උඩරට ගම්මාන වල තියෙන කුඹුරු වලින් වී වගා කරලා එන අස්වැන්න කුඹුරු හිමියන්ගේ කෑමට විතරයි ගන්නේ. එව්වා වෙළඳපොළට දාන්නේ නැහැ විකුනන්න. එයාලා ඒ කුඹුරු වල දමන අනෙකුත් බෝග වලින් තමයි ලාබයක් ගන්නේ විකුනලා. අනික තමයි කුඹුරු වැඩ වගේම අනෙකුත් බෝග දමද්දීත් කම්කරු ශ්‍රමය විදියට ලබා ගන්නේ අහල පහල කුඹුරු වල අය, ගමේම අය තමයි. ඒ අයත් කෑම දෙනආ වැඩ කරන දවසට. ඒ කෑම වලටත් ගන්නේ කුඹුරේම හාල් සහ ඒවායෙම හැදෙන එළවලු. වතුර නැතිකම නිසා තමයි ගොඩක් වෙලාවට කුඹුරු අස්වද්දන එක නතර වෙන්නේ. වතුර එනවා නං වැඩ කරනවා. කුඹුරු වැඩ කරන්න මිනිස්සුත් ඉන්නවා. අපි වැඩ කරන්නේ නැතිනම් බදු ගන්න උනත් අය ඉන්නවා. මොකද අවුරුද්දේ කෑමට හාල් ටික, එළවලු ටික, අර්තාපල්, කැරට්, බොන්චු වගේ එව්වා විකුණලා අතට මුදල් ගන්න පුළුවන් නිසා. මේ කුඹුරු වල වැඩ කරන්න මිනිස්සු 4-5 ක් ඇති. මුලින් පැල හිටවද්දී, බිජ හිටවද්දී, ඊළගට අස්වැන්න නෙලද්දී තමයි එහෙම මිනිස්සු ඔනාත්. අනෙකුත් දිනවලට වතුර දමන්න, බෙහෙත් ගහන්න කුඹුරු හිමියාට හෝ පවුලේ අයටම පුළුවන්.

      විකුනන්න බලං වී වගා කරන්නේ නැගෙනහිර, අම්පාර වගේ පළාත් වල. ඒ විශාල කුඹුරු වලට ශ්‍රමය කම්කරුවන්ගෙන් ගන්නවා. තැනිතලා විශාල ඉඩම් නිසා යන්ත්‍ර සුත්‍ර දාලාත් කුඹුරු වැඩ කරනවා. උඩරට කුඹුරු වලට මැෂින් දාන්න බැහැ. කුඹුරු පොඩියි, ලියදි වැඩියි නිසා.

      Delete
    3. //ඉකොනෝ හැම දේම මුදලින් මනින මිනිහෙක් හින්දා//

      සමහර දේශපාලන මතවාද වල පදනම මිනිස්සු දිගින් දිගටම දුප්පත්කමේම ගැලී සිටීම ස්වභාවික තත්ත්වය කියන එකයි. ඒ මතවාද ආගමක් සේ ඇදහීම පදනම වූ දේශපාලන පක්ෂ වලට පැවැත්මක් තියෙන්නේ මිනිස්සු දිගින් දිගටම දුප්පත්කමේම ගැලී සිටිනවානම් පමණයි. නමුත්, මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ දුප්පත් කමෙන් ගොඩ එන්නයි.

      මිනිස්සු ඒ සඳහා තනි තනිව උත්සාහ කර දුප්පත් කමෙන් ගොඩ එන කොට පෙර කී ආකාරයේ දේශපාලන පක්ෂ වලට පැවැත්මක් නැති වෙනවා. හැම දෙයක්ම මුදලින් මනින්න බැහැ කියන එක එවැනි දේශපාලන පක්ෂ විසින් තමන්ගේ පැවැත්ම සඳහා දිගින් දිගටම සමාජගත කර තිබෙන හා තවමත් සමාජගත කරමින් සිටින අදහසක්.

      මිනිස්සු දුප්පත්කමේම දිගටම ගැලී ඉන්නවද නැත්නම් ටිකෙන් ටික ගොඩ යනවද කියන එක පැහැදිලිව පේන්නේ මුදලින් මැනීමක් කළ විටයි. හැමදේම මුදලින් මනින එක නරක දෙයක් කියන කතාව ජනගත කරමින් මේ වැඩේ අධෛර්යමත් කර පෙර කී ආකාරයේ දේශපාලන පක්ෂ විසින් වාසි දෙකක් ලබා ගන්නවා.

      පළමුව, මිනිස්සු ඇත්තමට දුප්පත් කමේ දිගින් දිගටම ගැලී සිටිනවා නොවූවත් එසේ සිටින බව ඔවුන්ට ඒත්තු ගන්වා මේ අයගේ දේශපාලන මතය කෙරෙහි ආකර්ෂණය කර ගන්න පොඩි අවකාශයක් හදා ගන්නවා. නිදහසින් පසු රට තවම හිටපු තැනමයි වගේ බොරු කතා පතුරුවන්නේ ඒ සඳහායි.

      දෙවනුව, නිසි මැනීමක් නොකෙරෙන විට මිනිස්සුන්ට වඩා සාර්ථක දේ හා අසාර්ථක දේ වෙන් කර හඳුනා ගන්න අමාරුයි. ඒ නිසා, අසාර්ථක දේවල් දිගටම කරමින් දිගින් දිගටම දුප්පත්ව සිටීමේ සම්භාවිතාව ඉහළ යනවා. එයද පෙර කී මතවාද පතුරන අයට වාසියි.

      මේ විදිහට දුප්පත්කමේ ගැලී ඉන්න හෝ එසේ සිටින බව හිතන අයගෙන් යම් කොටසකගේ ශ්‍රමය සූරාකමින් පෙර කී දේශපාලන පක්ෂ වලට සම්බන්ධ ටික දෙනෙක් පරපෝෂිතයින් ලෙස ජීවත් වෙනවා. බොහෝ විට මෙය වෙන්නේ මේ ආගමික වී ඇති දේශපාලන මතවාදයට රැවටුණු අවංක මෝඩයින්ගෙන් නොමිලේ වැඩ ගැනීම හරහා. ඒ අයගෙන් ඇතැම් අය තමන් සමාජයට යහපතක් කරනවා කියා හිතාගෙන බිරින්දෑ වරුන්ගෙන් හා පවුලේ අයගෙන් පිනට කකා සමාජ ප්‍රගතිය වලක්වන මතවාද ප්‍රචාරය කරනවා. සමහර අය තමන් සැපවත් ජීවිතයක් ගත කරන ගමන් කුහක කමට මේ වැඩේ කරනවා. හැබැයි මේ මොනවා කළත් මිනිස්සුන්ව දිගින් දිගටම රවට්ටන්න බැහැ. මිනිස්සුන්ට පමා වී හෝ ඇත්ත තේරෙනවා.

      Delete
    4. //මොකද කුඹුරෙන් පාඩුයි කියලා තේරෙන්න ගොවියා ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන්න ඕනි නෑනි. //
      පැහැදිලිවම ඕනෑ නැහැ. හැබැයි ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන ගොවියෙක්ට ඒ බව අනිත් අයට වඩා කලින් තේරෙනවා. කෝවිඩ්-19 හැදුන ඇතැම් අයට අන්තිම වෙනකම් තමන්ගේ සැබෑ තත්ත්වය තේරෙන්නේ නැහැ. නමුත්, පපුවේ එක්ස්-රේ එකක් දකින පුහුණුවක් ඇති අයෙකුට වෙන්න යන දේ කලින්ම තේරෙනවා. ඒ වගේම, තමන්ට පාඩුයි කියා කෙනෙක්ට තේරුණත් වෙනත් විකල්පයක් නැත්නම් ඒත් කරන්න දෙයක් නැහැ. ඇතැම් දේශපාලන මතවාද වලින් කෙරෙන්නේ මෙවැනි වඩා හොඳ විකල්ප ඇති වීමට බාධා කරන එකයි. එය ඔවුන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන දෙයක්.

      Delete
    5. //උඩරට බදුල්ල වගේ පළාත් වල නං තියෙන කුඩා කුඹුරු පවුලේ අය, අහල පහල කුඹුරු වල අය එක්ක එක්කසුව වපුර ගන්නේ.//
      පවුලේ අයගේ, අහල පහල කුඹුරු වල අයගේ ශ්‍රමය යොදා ගෙන වැඩ කරනවා කියන්නේ වියදම් අඩු වී කාර්යක්ෂම වෙනවා කියන එක නෙමෙයි. අපිට කෑම ඕනෑ වුනහම හිතවතෙක් කෑම දෙනවා, කමිසයක් ඕනෑ වුනාම හිතවතෙක් කමිසයක් අරන් දෙනවා කියන අයටත් කාගේ හෝ ශ්‍රමය අවශ්‍යයි. කෑම, කමිස නිකම් පහළ වෙන්නේ නැහැ.

      //හැම දේම ආර්ථික විද්‍යාව අතින් බලන්න ගියාම තමයි ඉකොනෝට වැරදෙන්නේ. පොඩ්ඩක් බලන්න මිනිස්සු ප්‍රායෝගිකව වැඩ කරන විදිය.//
      ආර්ථික විද්‍යාව කියා කියන්නෙම මිනිස්සු ප්‍රායෝගිකව වැඩ කරන විදිහ පැහැදිලි කරන විද්‍යාවක්.

      Delete
    6. ඉකොනෝ පොස්ටුවෙන් කියන දේ එහෙම නෙමෙයි කියලා මම පැහැදිලි කරාම ඉකොනෝ ආයේ මුලින්ම කියපු දේ වෙන විදියකට දීර්ඝව කියලා තියෙන එකනි කරලා තියෙන්නේ. මම ප්‍රයෝගිකව දන්නා දේ තමයි කිව්වේ. ඒක ගැන ආර්ථික විශ්ලේෂණ කරනා ඉකොනොට ඕනි දෙයක් කියන්න පුළුවන්, ඊට පස්සේ ඉකොනෝ හරි කියලා සතුටු වෙන්නත් පුළුවන්.

      මට පොඩි කතාවක් මතක් උනා. දවසක් ගුවන් යානා නිර්මාණය කරනා ඉංජිනේරුවන් දෙදෙනෙක් පියාඹ යන කුරුමිනියෙක්ගේ බර, පිහාටු වලට ප්‍රමාණය තව අනෙකුත් සාධක එහෙම බලලා පරීක්ෂණය කරලා බැලුවාලු. ආපු ප්‍රතිපල අනුව ඒ කුරුමිණියාට කොහොමත් පියාඹන්න බෑලු. ඉකොනොගේ සංක්‍යාලේකනත් ඒ වගේ තමයි. ඕකෙන් මේ දක්වා කියපු බොහෝ ප්‍රතිපල වැරදි. මේ බ්ලොග් එකේම පරණ පොස්ට් බැලුවම ඒක පේනවා. ජන්දේ ගැන කියපු කතා වැරදි. ලංකාවේ කොරෝනා ගැන කියපුවා වැරදි. ගොවිතැන ගැනත් කියපුව වැරදි. වැරදි කිව්වම ඉකොනොට හිතට අමාරු නං හරි කියලා හිතං සතුටු වෙන්න.

      Delete
    7. කරුණාකර මේ පෝස්ට් එකේ තිබෙන වැරදි දේවල් නිශ්චිතව කියන්න. එවිට පිළිතුරු දෙන්නම්. පරණ පෝස්ට් සියල්ලටමත් මෙය අදාළයි. නමුත්, දැන් මේ පෝස්ට් එකේ තියෙන වැරදි දේවල් එකක් හෝ ඔබට පෙනේනම් අදාළ කොටස උපුටා දක්වා වැරැද්ද පෙන්වා දෙන්න.

      අනිත් කරුණ මෙහි තිබෙන්නේ මගේ සංඛ්‍යාලේඛණ නෙමෙයි. සංඛ්‍යාලේඛණ ඇතුළත් මූලාශ්‍ර පෝස්ටුවේ පහළ තිබෙනවා. එසේ නැත්නම් ලින්ක් කර තිබෙනවා. ඇමරිකාවේ සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ ඇමරිකාවේ වී ගොවීන්ගේ වියදම් පිළිබඳ සැබෑ දත්ත මත. ඉන්දියාවේ සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ එරට වැඩිපුරම වී වගා කරන බෙංගාලයේ වී ගොවීන්ගේ සැලකිය යුතු තරම් විශාල නියැදියක් මත. ඒවා විෂය ප්‍රවීණයන් විසින් පිළියෙල කළ සංඛ්‍යලේඛණ. මම මෙහි පළ කරන්නේ මට සොයාගත හැකි අළුත්ම, වඩා නිවැරදිම සහ සංසන්දනාත්මක සංඛ්‍යාලේඛණ නිසා. එහෙම නැතුව මේ වගේ සංඛ්‍යාලේඛණ මට අධ්‍යාත්මික බලයෙන් හෝ වෙන විදිහකින් හොයා ගන්න බැහැ. ඔය තියෙන්නේ මහ පොළොවේ තිබෙන ප්‍රයෝගික තත්ත්වය මත පදනම් වූ සංඛ්‍යාලේඛණ.

      ඔබ එහෙම නෙමෙයි කියා කියනවානම් කරුණාකර ඔබ දකින මහ පොළොවේ තිබෙන ප්‍රයෝගික තත්ත්වය මත පදනම් වූ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න. සංඛ්‍යාලේඛණ නැතුව හැමදේම මුදලින් මනින්න බැහැ කියා ගැලවෙන්න හදන්න එපා. එහෙම බැරිනම්, මෙහි තිබෙන සංඛ්‍යාලේඛණ වලින් ඔබට පිළිගන්න අමාරු සංඛ්‍යාලේඛණය ගැන නිශ්චිතව කියන්න. මට ඔබේ ඇදහිලි වලට අභියෝග කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, ඔබ සමග තර්ක කර ජයගන්නත් අවශ්‍ය නැහැ. ඔබට යමක් පැහැදිලි කර ගන්න අවශ්‍යනම් පමණක් අහන්න. එවිට ඔබට අනවබෝධයක් ඇත්නම් එය දුරු කරගන්න පුළුවන් වෙයි. ඔබට හෝ වෙනත් අයෙකුට මෙහි හෝ මගේ වෙනත් පෝස්ටුවක තිබෙන වැරැද්දක් නිශ්චිතව පෙන්වා දිය හැකිනම් මටනම් එය පිළිගන්න බැරි කමක් නැහැ. මොකද මෙහි තිබෙන්නේ මම දකින නිවැරදිම දේ මිස මම අදහන දේවල් නෙමෙයි.

      Delete
    8. රෑට පාරෙ යන කොට බල්ලෝ බුරනවා.. අපි නැවතිලා ගල් ගහන්න ගියොත් මොකෝ වෙන්ේන කිසිම තේරුමක් නැතුව අපේ ගමන පරක්කු වෙනවා.. මේ බ්ලොක් එකේ පොෝස්ටුවක් බලන සිහ දාස් ගානෙන් එක් අයකෙුගේ අදහසක් වෙනුවෙන් මෙච්චර හැලි ලියන එක තේරුමක් නැහැය කියලා මට හිතුනේ..

      Delete
  2. ජපානයේ වී වගාව සඳහා ලංකාවටත් වඩා වැඩි අතිශය විශාල සහන රජයෙන් ලබා දී ඇත. ඒ වගේම ආනයනික සහල් වලට අධික ලෙස බදු අයකිරීම් කරන නිසා සහල් මිල ඉතා අධිකය. මේ ක්‍රමය අනුව ජපන් ක්‍රමවේද ආර්ථික වශයෙන් අසාර්ථක ද?

    ReplyDelete
  3. අපි සියනෑ කෝරලේ. අපේ පැත්තේ අඳ ක්‍රමයට කුඹුරු කරන්න සමාගමක් තිබුනනම් හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හමුදාපති තුමා සහ සමාගම කීවේ ඒයාල බාර ගන්නවා කියල, දෙන්නකෝ.

      Delete
  4. ලංකාවේ කුඹුරු ගොවිතැන් කරන බොහෝ දෙනා වෙනත් රැකියාවකින් පඩි ලබන අයනේ, දැනට වසර 8කට පෙර අනුරාධපුරයේ මහවැලි ජලයෙන් පෝෂිත ප්‍රදේශ වල ගොවි පවුල් 80කට වැඩි ගණනක ස්ථිර මාසික වැටුප් හිමි රැතියාවකින් ආදායම් ලබන අය හිටියා. ඒ අයට ඉඩම් බදු/ උකස් ගැනීමද ඇතුළු අනෙකුත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා පහසුවෙන් සපුරා ගත හැකි නිසා වියලි කලාපයේ වී වගා කරන භූමි වලින් අති විශාල ප්‍රමාණයක් වගාකරනුයේ ඹවන් විය හැකියි. මේ පිළිබඳ දත්ත කිසිදු රජයේ මූලාශ්‍රයකින් ලබාගත හැකි නොවෙන්නේ, ඉඩම් අයිතිය, බදු / උගස් ඉඩම් පිළිබඳ හෙළි නොකිරීම, රජයේ නීති මඟ හැරවීමට එකම පවුල් ආර්ථික ඒකකයක් / නිවසක් තුල දෙමාපියන් සමඟ ජීවත්වන තරුණ පවුල් බහුතරය වෙනම පවුල් ඒතත ලෙස ලියා පදිංචි වී තාබීම ආදී කරුණු නිසයි.

    ReplyDelete
    Replies
    1. .....ගොවි පවුල් 80% කට වැඩි ගණනක....

      Delete
    2. මට අයිති කුඹුරක් තියෙනවා කුඹල්ඔළුවේ. දයා සඳගිරි මහත්තයගේ වලව්ව කිට්ටුව.
      ඒක අඳේට දුන්නා

      Delete
    3. //ඉඩම් අයිතිය, බදු / උගස් ඉඩම් පිළිබඳ හෙළි නොකිරීම//
      මෙන්න මේක මට කතා කරන්න අවශ්‍ය වැදගත් කරුණක්. විශේෂයෙන්ම එහෙම බදු / උගස් ඉඩම් පිළිබඳ තොරතුරු සැඟවීමේ පසුබිම.

      Delete
  5. ලාබ පාඩු මන්දා මාසෙට ලස්සේ හමාරේ පඩි ගන්න අපේ සමහර ෆොර්මන් ල සුපවයිසර්ලා එහෙමත් සති දෙක තුන no pay දාල ගිහින් කුඹුරු වැඩ කරලා එනවා.. :))

    ReplyDelete
    Replies
    1. මහත්තයා නාඋක හමුදාවේ නේද? කොරෝනා හැදුනේ නැද්ද?

      Delete
    2. හැදුනා නේ මෙයා.. මේ රෝග ලක්ෂණ පේන්නේ නැද්ද? මේ.. මේ.. :)))

      Delete
    3. කමීව කාලෙකින් දැක්කේ.

      Delete
  6. හැම දේම ගණනක් මීම්මක් ඇතිව කෙරනවා නම් හොඳයි කියලයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ, පුංචි කාලේ ඉඳලම. 'ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතිව දමාපන්, පුතේ' එහෙමයි අපේ ආච්චී ඉගැන්නුවේ.

    ReplyDelete
    Replies
    1. ලියන ඒවාත් සමහර වෙලාවට ගඟට කපල දාන ඒවා වගේ තමා. කමක් නෑ ගාණක් මිම්මක් හරි තියෙනවනේ, නිදී. :)

      Delete
    2. //ලියන ඒවාත් සමහර වෙලාවට ගඟට කපල දාන ඒවා වගේ තමා.//

      එහෙම හිතන්න එපා ඉකොනො මේ බ්ලොග් එක හොඳ සංවාද මණ්ඩපයක්. විවේචන වලට විවෘතව අදහස් දක්වමු. දිගටම ලියන්න අපිත් දිගටම බලනව සහ බලල සතුටු වෙනවා කියලා හිතන්න පුළුවන්.

      Delete
    3. මිතුර, එහෙම කියන්න එපා.මේ ඔබ ලියන දේවල්වලින් තම දැනුමට යම් ආලෝකයක් ලබන අය ඉන්නවා. මම ඉන් එක් අයෙක්. අනික ඔබටම වැටහෙන්න ඕනේ සමහරු ඔබට බැන බැන හරි මේවා කියවන්නේ මේ ලියන ඒවායේ වැඩක් තියෙන නිසානේ කියලා. (mind blowing) ඒ වාගේම මම හිතන්නේ නැහැ , කට කැඩිච්චච කතා සමහරු මෙහි ලිව්වත්, කිසිවකුත් ඔබ සමඟ ද්වේශයක් නැති බව මට සහතිකයි.හැරත් මෙහි comment දාන සමහරු ඔබෙන් ගේමක් ඉල්ලන්නනේ සමහර විට ඔබට සමච්චලයට නොවෙි;හුදු විනෝදාස්වාදය පිණිසයි කියලා මට හිතෙන්නේ .නිදසුනක් ලෙසට මහත්තයා වැඩ කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙිද, ඉන්නේ අයිස්ලන්තයේද වාගේ ප්‍රශ්න අහනකොට ඔබට වුනත් කටේ හිනාවක් යන්නේ නැද්ද මං අහන්නේ.


      ඒ වාගේම ඔබ ලියන දේවල්වල ගණිතය සහ විද්‍යාව - නිදසුනක් ලෙසට corona වෛරසයේ diagnostic test එක ගැන rna මට්ටමටම ලියපු එක, exponential functions පැහැදිලි කරපු එක, සමකාලීනව කිසිම සිංහල බ්ලොග්කරුවෙක් නොකල දෙයක්, ඔබ (සහ අජිත් ධම්ම) හැර.

      ඉතින් ඔබට සතුටු වීමට දෙයක් ඇත, මෙි ලියන දේවලින්. ජය!

      CP-C




      Delete
    4. දිරිමත් කිරීම පිළිබඳව ස්තුතියි! විවේචනාත්මක ප්‍රතිචාර දක්වන අයටත් මම ස්තුතිවන්ත වෙනවා. මම ලියන දේවල් සමඟ හැමෝම එකඟ විය යුතු නැහැ.

      Delete
  7. ධනවාදය නිසා අසභ්‍ය වචන කියන අමනයන් බිහිවෙන ආකාරය සහ රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රණකාරී බලවේග විසින් ඒවා අමන ලෙස නඩත්තු කරන්න වියදම් කරන හැටි මෙන්න;

    //සමාජජාලාවල අසභ්‍ය වචන ලියන තරුණයින් හරහා දැනෙන්නේ ධනවාදයේ දුර්ගන්ධයයි.. ධනවාදය නිර්මාණය කරන්නේ එවැනි අය පමණයි...//

    මේ ගැන පැහැදිලි කිරීමක් මේ;

    https://www.facebook.com/574466252642666/posts/2939047446184523/

    මේ වගේ ධනවාදයේ අනිටු විපාක ගැන ලියන්නට ඔබට බැරි ඇයි?

    ReplyDelete
  8. ලංකාවේ කන රතු හාල් හෙම වෙන රටවල වවන් නැහ නේද? සහල් කියලා පොදු නමකින ්හැදින්නුවත් එක එක රටවල සහල් ජාති වෙනස්. මම හිතන්නේ තිරිගු වලට ඔහම පස්නයක් නැහැ. අමරිකාවේ හාල් ඉන්දියාවේ මිනිස්සු කන් නැතුව ඇති. ඉන්දියාවේ හැදෙන හාල් වල ස්වභාවිකවම අස්වැන්න ඩු ඇති.. ලංකාවෙත් සම්බා බාස්මති හාල් වල මිල වැඩියි අස්වැන්න අඩුයි.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...