වෙබ් ලිපිනය:

Monday, May 4, 2020

මඩ සෝදාගෙන ගොඩ එන ඇමරිකාවේ වී ගොවිතැන

ඇමරිකානුවන්ගේ ප්‍රධාන ආහාරය බත් නෙමෙයි. ලාංකිකයෙක් වසරකට හාල් කිලෝග්‍රෑම් සීයක් විතර පරිභෝජනය කරද්දී ඇමරිකානුවෙකුගේ වාර්ෂික හාල් පරිභෝජනය කිලෝග්‍රෑම් දහයක පමණ ප්‍රමාණයක්. ඇමරිකාව අනාදිමත් කාලයක සිට වී ගොවිතැන් කළ රටකුත් නෙමෙයි. දාහත්වන සියවසේ අග භාගයේදී මැඩගස්කරයෙන් ඇමරිකාවට මුලින්ම වී හඳුන්වා දී ඇති සේ සැලකෙන නමුත් හරියකට වී වගාවක් පටන් අරන් තියෙන්නේ පසුගිය සියවසේ මුල් කාලයේදී.

වී ගොවිතැන හා අදාළ, ශත වර්ෂ ගණනාවක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ සම්ප්‍රදායික දැනුමක් ඇමරිකානුවන්ට නැහැ. ඇමරිකාවේ වී ගොවිතැන ඉතා අසීරුවෙන් සීහුම් නැහැසුම් ක්‍රමයට පටන් ගත් කටයුත්තක්. හැබැයි ඇමරිකාව මේ වෙද්දී සාර්ථක ලෙස වී ගොවිතැන් කර, වී හා සහල් අපනයනයෙන් වාර්ෂිකව විශාල අපනයන ආදායමක්ද උපයනවා.


වී ගොවිතැන සඳහා සුදුසු කාලගුණයක් හා සුදුසු පසක් අවශ්‍ය බව මෙය කියවන අයට අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි. ඒ තත්ත්වයන් තියෙන්නේ ඇමරිකාවේ සීමිත තැන් කිහිපයක පමණයි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවිතැන ආකන්සා, කැලිෆෝනියා, ටෙක්සස්, ලුවිසියනා, මිසුරී හා මිසිසිපි ප්‍රාන්ත වලට අයත් වී වගා කලාප හතරකට සීමා වී තිබෙනවා. ඒ ආකන්සා තණබිම්, කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය, ටෙක්සස් ප්‍රාන්තයේ හා ලුවිසියානා ප්‍රාන්තයේ නිරිතදිග කොටස් ඇතුළත් ගල්ෆ් වෙරළ තීරය සහ මිසූරි, මිසිසිපි, ආකන්සා, ලුවිසියනා ප්‍රාන්ත හරහා දිවෙන මිසිසිපි ගඟ දෙපස බිම් තීරුව යන කලාප හතරයි. මේ එක් එක් කලාපයේ අදාළ කාලගුණයට හා පසට උචිත වෙනස් වී වර්ග වගා කෙරෙනවා.


පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ ඉඩම් අක්කර 2,472,000ක වී වගා කර තිබෙනවා. සංසන්දනාත්මකව බලනවානම් 2018/19 මහ කන්නයේදී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහේම වී වගා කර ඇති ඉඩම් අක්කර ගණන 1,789,000ක්. ලංකාව 2018 කන්න දෙකේදීම වී මෙට්‍රික් ටොන් 3,930,000ක් නිපදවද්දී, ඇමරිකාව එම වසරේදී වී මෙට්‍රික් ටොන් 7,107,000ක් නිපදවා තිබෙනවා. ඇමරිකාව ඉඩම් හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 8,460ක් පමණ ලබා ගනිද්දී, 2018 යල හා මහ කන්න වලදී ලංකාවේ අස්වැන්න පිළිවෙලින් ඉඩම් හෙක්ටයාරයකට වී කිලෝග්‍රෑම් 4,683ක් හා 4,302ක් පමණයි. කාලයක් තිස්සේ පරීක්ෂණයට ලක් වූ සම්ප්‍රදායික දැනුමක් හා පළපුරුද්දක් තිබූ පමණින් හොඳම ප්‍රතිඵල ලබා ගන්න බැහැ.

ලංකාවේ නිපදවන වී ප්‍රමාණය ලංකාවේ පරිභෝජනය සඳහාවත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා, ලංකාවට යම් ප්‍රමාණයක් හෝ සහල් ආනයනය කරන්න සිදු වෙනවා. ඇමරිකාවේ සහල් පරිභෝජනය ලංකාවේ තරමට වඩා අඩු නැතත් නිෂ්පාදන ඵලදායීතාවය ඉතා ඉහළ නිසා ඇමරිකාව වී සහ සහල් අපනයනය කර විශාල ආදායමක් උපයනවා. 2019දී ලංකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 2,850,000 ක් වෙද්දී ඇමරිකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,224,000ක්. ඇමරිකාව විසින් අපනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,143,000ක්.

ඇමරිකාව මේ වන විට සහල් අපනයනය අතින් ලෝකයේ පස්වන හෝ හයවන රටයි. ඇමරිකාවේ නිපදවන සහල් මිල දී ගන්නා රටවල් අතර කැනඩාව, මෙක්සිකෝව, දකුණු ඇමරිකානු රටවල්, මැද පෙරදිග රටවල් මෙන්ම චීනය, ජපානය හා දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල්ද සිටිනවා. ඇමරිකාව මේ ආකාරයට විශාල ලෙස සහල් අපනයනය කළත් ඇමරිකාවේ දේශීය වී ගොවිතැන රැක ගැනීම සඳහා රටට සහල් ආනයනය කිරීම තහනම් කර නැහැ. පසුගිය වසරේදී ඇමරිකාව විසින් ආනයනය කර තිබෙන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,032,000ක්.

ඇමරිකාවේ දේශීය වී ගොවියා ඇමරිකාවට විවිධ රටවලින් නිදහසේ එන ආනයනික සහල් සමඟ තරඟ කළ යුතුයි. අප බොහෝ විට මිල දී ගන්නේ ලංකාවෙන් එන සහල් වර්ගයි. ලංකාවෙන් එන හාල් ඇමරිකාවේ හදන හාල් වලට වඩා මිල අධිකයි. එහෙත්, අපේ රුචිකත්වය තිබෙන්නේ ලංකාවේ හදන හාල් වර්ග වලට නිසා අප විසින් කැමැත්තෙන්ම මේ වැඩි මිල ගෙවනවා.


ඇමරිකාවේ මිනිස් ශ්‍රමය ලංකාවට සාපේක්ෂව ගොඩක් මිල අධික බව රහසක් නෙමෙයිනේ. ඒ කියන්නේ වී ගොවිතැන සඳහා යොදා ගන්නා ශ්‍රමිකයින්ට ලංකාවේ හැටියට ලොකු වැටුපක් ගෙවන්න වෙනවා. එහෙම වෙලත් ඇමරිකාවේ වී ගොවියා විශාල ලාබයක් ලබන්නේත් ලංකාවේ වී ගොවියා හැමදාම දුප්පතෙකුව සිටින්නේත් ඇයි? ඇමරිකාව සහල් අපනයනය කරද්දී ලංකාවට සහල් ආනයනය කරන්න වෙලා තියෙන්නේ ඇයි? ඇමරිකාවේ වී ගොවියෙකුට ශ්‍රමය ඉතා ලාබ චීනය, ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල නිපදවා ඇමරිකාවට එවන හාල් වල මිලට අඩුවෙන් හාල් විකුණා සැලකිය යුතු ලාබයක් ලබන්න හැකි වී තිබෙන්නේ කොහොමද? පොහොර සහනාධාර, වී සඳහා සහතික මිල, නොමිලේ වතුර ඇතුළු සහන පැකේජයක් රජයෙන් ලැබෙද්දී ලංකාවේ වී ගොවියාට පිටරටින් එන හාල් එක්ක තරඟ කරන්න බැරි ඇයි?

වෙනත් බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන හා අදාළවත් ඔය වගේම ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්.

18 comments:

  1. 'අප බොහෝ විට මිල දී ගන්නේ ලංකාවෙන් එන සහල් වර්ගයි.'

    අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.

    -ලාල් කාන්ත

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකේ වරද කුමක්ද?
      ඔරුමත්තුනාඩුවට සංක්‍රමණය වුන යුරෝපීයයන් රතු ඉන්දියන් කාරයෝ වුනේ නෑ නේද?
      අපිත් එහෙම කලාම නරකද?

      Delete
    2. අදාළ පැරණි ලිපි දෙකක්.

      "මානුෂික සබඳතා" චුට්ටක් වැඩි වුනොත්...
      http://economatta.blogspot.com/2019/03/blog-post.html

      සැන්ඩි එපා!
      http://economatta.blogspot.com/2018/12/blog-post_31.html

      Delete
    3. මහත්තයා ඇමරිකාවේදීත් සිල් එහෙම ගන්නවද හතර පෝයට. ඇමරිකාවට ගියත් පොල් සම්බෝලයි බතුයි කකා, ලංකාවේ නාට්ටි ටික බලමින්, ලංකාවේ පත්තර, ටීවී වැඩසටහන් බලමින් ලංකාව දිහා හොටේ දික් කරන් ඉන්නේ ඇයි? ඇමරිකාවේ සමාජයෙන් මහත්ත්යලව රිජෙක්ට් කරලා තියෙනවා වත්ද? ඒ නිසා ඇතිවන හිස් කම වහගන්න සවිඥානිකව ලංකාව දිහා බලාගෙන ඇමරිකාවේ මෙහෙමය් කියමින් සිටිනවා ද? ඇමරිකාවේ ගොවි මහත්තෙක් වෙලා හරි ඇමරිකාවේ ඉපදුනා නං හොදයි කියලා හිතෙනවා ඇති නේද මහත්තයට ලංකාවේ ඉපදිලා ඔහෙට සංක්‍රමණය වෙලා දෙවැනි පන්තියේ පුරවැසියෙක් වෙනවට වඩා?

      Delete
    4. මොනව කරන්නද, ඇනෝ? ලංකාවේ ජනාධිපතිකම වගේ තනතුරකට කෙනෙක් හොයන වෙලාවකවත් මඩ හෝදාගෙන ගොඩ එන්න චාන්ස් එකක් එයි නේද?

      Delete
    5. කොහොමද මහත්තයා මේ මඩ සෝදා නොගෙනම ඇමරිකාවේ ඉඳන් ගෙනත් දාගත්ත ගොයියා? ඇමරිකන් සිරිත් විරිත් අනුව ලංකාවේ දේශපාලනය කරන අන්ත දූෂිත අසික්කිත කාලකණ්ණි රාජපක්ෂ සහෝදර (චෞර) ව්‍යාපාරික සංස්ථාවේ වැඩ? කිසිම ලකුණක් නොතබා ප්‍රකෝටි ගණනින් මුදල්, රත්තරන්, දේපළ, ඉඩම්, බඩු භාණ්ඩ, වාහන, ෆයිල් වගේ දේවල් අතුරුදහන් කිරීමට උපන් හපන්නු. ලෝක පුජිත මැජික් ශිල්පීන්ටවත් කරන්න බැරි දේවල් මැදමුලන කම්බ හොර කල්ලියේ කට්ටිය කරලා පෙන්නලා තිබෙනවා. දෙන්න උස්හඬින් අත්පොළසන් නාදයක්. ලෝකයේම සම්පත් සොරාකන මංකොල්ලකාරී ඇමරිකන් පුරවැසියන් දෙන්නෙක් තමයි මැදමුලන ගංකබර පොල් රැවුලෙක් පෙන්නලා ථැරිදාර පුන්නක්කු සැමන් ටින් ගොන් බයියන් කියන අමු මැටි මීහරක් රැල ෆෝම් කරමින් උඩින් දාගෙන යටින් ගේම දෙන්නේ. ඒ වගේම ඔය මහත්මයාත් මංකොල්ල කෑම් වලට අතිශය දක්ෂ කෙනෙක් විදියට හිතන්න පුළුවන්. මම හරි නේද? ඇමරිකන් මංකොල්ලකරුවන් සාධාරණීකරණය කිරීමට දරන විසුළු උත්සාහ ඒ මතය තහවුරු කරන්න සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැකියි නේද?

      Delete
    6. //මහත්මයාත් මංකොල්ල කෑම් වලට අතිශය දක්ෂ කෙනෙක් විදියට හිතන්න පුළුවන්. මම හරි නේද?//

      අනේ එහෙම දක්ෂකමක් නෑ, ඇනෝ. 88/89 කාලේවත් මංකොල්ල කන්න, කප්පම් ගන්න පුහුණු වුනේ නෑනේ.

      Delete
    7. ඒ කාලේ භිෂන සමයේ කරපු මංකොල්ලකෑම් මොනාද කියලා හිතෙන්නේ මහත්තයා සුදුකරපටි කාරයෝ මේ කාලේ දෙන මහබැංකු ගේම්, මිග් යානා ගේම් වගේ එව්වා බලද්දී. මහත්තයාත් තුවක්කු අරං මංකොල්ල කන්න නොගියට සුදුකරපටි හොරකම් වලට නං ඔස්තාර් කෙනෙක් වෙන්න ඇති.

      Delete
    8. //ඒ කාලේ භිෂන සමයේ කරපු මංකොල්ලකෑම් මොනාද කියලා හිතෙන්නේ//
      //මහත්තයාත් තුවක්කු අරං මංකොල්ල කන්න නොගියට//

      ඇනෝ ඒ කාලේ තුවක්කු අරං මංකොල්ල කාපු අයගේ තුවක්කු බට පිහ දාල දුන්න කෙනෙක් වෙනුවෙන් දැන් වැඩ කරන කෙනෙක්ද? මංකොල්ල කාපු අයනම් බොහොම ටික දෙනයිනේ ඉතුරු වුනේ නේද? පවු. ඒ ගොඩක් අයත් දැන් ඔබ සිටිනවා වගේම රැවටීමක සිටි මිනිස්සු. සමහර අය වඩා පහසුවෙන් හොරකම් කරන කොට ඇතිවන වෘත්තීය ඊර්ෂ්‍යාව ගැන මට හිතා ගන්න පුළුවන්. ඒ කාලේ භීෂණ සමයේ කරපු මංකොල්ලකෑම් මොනාද කියලා හිතෙන කොට ගොඩක් දුක ඇති තමයි. එහෙම බැලුවහම සුදු කරපටි හොරකම් කරන හැටි ඉගෙන ගන්න ඔබේ දැන් තිබෙන උනන්දුව සාධාරණයි. ඔය ගැන ටියුෂන් ගන්න වෙන්නේ ඔය ගොල්ලන්ගේම ගොඩේ අයගෙන් තමයි. හැබැයි ඔය විදිහට හොරකමින්, කප්පන් වලින්ම ගොඩ යන්න පහසු ක්‍රම හොය හොය නොඉඳ ප්‍රයෝජනවත් වැඩක් කරන හැටි හිතන්න පුළුවන්නම් ඔබටත් රටටත් යහපතක් වෙයි.

      Delete
  2. 'ලංකාවේ වී ගොවියා හැමදාම දුප්පතෙකුව සිටින්නේත් ඇයි? ඇමරිකාවේ ගොවියා පෝසත් ඇයි?'

    ඒ ඉතිං එක එක්කෙනාගේ කුසල් අකුසල් අනුව තමයි මහත්තයා. කර්ම ශක්තිය අනුව සැප සම්පත් ලැබීම නොලැබීම සිදු වන්නේ. ඒක අපි කාටවත් වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    ReplyDelete
  3. මම දන්න විදියට ලන්කාවෙත් මහා පරිමාන වශයෙන් ඉඩම් , යන්ත්‍ර සුත්‍ර , තාක්ශනය බාවිතා කරන (විශාල ප්‍රාග්ධනයක් ආයෝජන කරන) අය සැළැකිය යුතු ආදායම් ලබනවා. ඇමරිකාවෙ තරම් නොවුනත් එක හොන්ද ආදායම් තත්වයක්.
    නමුත් අපිට ආරන්චි වෙන්නෙම ගොවියන්ගේ දුක් අදෝනා. එක හේතුවක් මේ ඔක්කොටම රජයෙන් අදාර උපකාර කරන්න කියලා ඕන කියලා හිතන් ඉන්න එක. ඒ වගේම තව ගොඩක් කාරනා තියෙනවා (ඔබගේ කලින් පෝස්ටුවේ උත්තර ගොඩක් ඒවට තියෙනවා මම හිතන්නෙ)

    ReplyDelete
    Replies
    1. මහේෂ්, ඔබ හරිම තැනට ඇවිත් තිබෙනවා.

      Delete
  4. ඔහේ වී ගොවියෝ කුඹුරුවරඩ නැති කාලෙට මොනවද කරන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට එම ඉඩම් වල වෙන දෙයක් වවනවා.

      Delete
  5. How to Grow Rice in the Great California Desert!

    https://www.youtube.com/watch?v=5qZ8i4wVjZQ

    Rice Farming;

    https://www.youtube.com/watch?time_continue=303&v=pBaceeLuGIU&feature=emb_logo

    ReplyDelete
  6. නැගෙනහිර ආසියනු රටවල් අක්කරයකට ගන්න වි අස්වැන්නෙන් අපි ගන්නේ හරියටම භාගයයි.ඒ කියන්නේ අපිට අවශ්‍ය වි නිපදවා ගැනිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක භූමි ප්‍රමාණයක් අපි භාවිතා කරනවා.මේ අස්වැන්න අඩුකම තමයි ගොවියා දුප්පත් විමට හේතුව.අපි විශාල ජලය ප්‍රමාණයක් අපතේ යවනවා.අපි තාමත් ජලය ගෙනියන්නේ පරාක්‍රමභාහු රජතුමා ජලය ගෙනියපු විදිහටමයි.වී කිලෝ එකකට යන වියදම ගණන් බලද්දී කවදාවත් ජලයට යන වියදම එකතු කරන්නේ නැ.වී පැළයකට කොතරම් ජලය අවශ්‍යද කියලා බලලා උවමනා ජලය ප්‍රමාණය විතරක් කුඹුරට ගන්න විදිහක් අපේ රටේ නෑ.අපි තාමත් ඉන්නේ රජකාලේ වි ගොවිතැන් කරපු විදිහටමයි.මේ මම දන්න ගැටළු කිපයක් විතරයි.

    ReplyDelete
  7. මට වී ගොවිතැන ගැන තියෙන්නේ ඉතාම පුංචි අත්දැකීම් ටිකක්. බදුල්ලේදී අපේ අම්මාගේ තාත්තා (බදුල්ලේ සීයා) කුඹුරු කරද්දී කයියක් තියෙන වෙලාවට ගිහින් ඇඹුල කාලා ආවා. බලන්ගොඩ දියවින්නේ මැණික් ගරන්නට ගිහින් ඉන්දදී ගොයම් කැපුවා දවස් දෙකක්, ජොලියට. ඒක නැවතුනේ දෙවෙනි දවසෙ දෑකැත්තට අතත් කපාගෙන.
    එහෙම වුනත් බින්තැන්නේ ජාන ඇඟේ තියෙන නිසාදෝ, ලංකාවේ වී ගොවිතැන දියුණු වෙනවාට හරිම ආසයි. මුහුණු පොතෙන් දැක්කා උගත් තරුණ පෙළක් කුඹුරු වැඩට බැහැලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, පුරන් කුඹුරු තියේ නම් එයාලට අස්වද්දන්න දෙන්නය කියලත් ඉල්ලා තිබෙනවා. ඒ වගේ රජකම දෙන්න වුනත් සුදුසු උපාධිධාරී; පෙරටුගාමී උගතුන් නිසා ලංකාවේ වී වගාව දියුණු වේවි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  8. අපෙ ්පැත්තේ ලොකු මෝල් කාරොය් ලොකු මැසින් දාලා හානවා..ඒ කට්ටියගේම ලොකු මැසින් වලින් තමයි ගොයන් කැපිල්ල වෙන්නෙත්.. අක්කර සීයකට වැඩිය ඒ ගොල්ල අස්සද්දනවා.. ඒ කට්ටියගේ වැඩට යන අයට හොදට සලකනව. එක අතකින් එහෙම වැඩකට යනෝ ලාබයි. තනියෙන් ගොවිතැන් කරන්න ණය වෙනෝට වැඩිය.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...