වෙබ් ලිපිනය:

Saturday, May 30, 2020

ආච්චිට හාල් ගරන්න වී මෝලක්!


ලංකාවේ පැවති ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඇත්තටම ලෝකයේ හැම රටකම වගේ යම් කාලයකදී තිබෙන්න ඇත්තේ ඔය ආකෘතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වවපු බෝග විතරයි වෙනස් වෙන්න ඇත්තේ. ලංකාවේ මේ ආකෘතියට ආසන්නව තිබුණු ගම් මට මතක ඇති කාලයේත් තිබුණා.

මේ වගේ ගමක සාමාන්‍ය ගෙදරක බොහෝ විට කොස් ගහක්, පොල් ගස් කිහිපයක්, කෙසෙල් පඳුරු කිහිපයක් එහෙමත් තිබුණා. ඒවාට අමුතුවෙන් සාත්තුවක් කෙරුණේ නැහැ.

දැන් අපි කලින් ලිපිය අවසානයේදී අහපු ප්‍රශ්නයට එමු.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සංස්කෘතික හෝ දේශපාලන හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරු හෝ එවැනි හේතු ඉදිරිපත් කළොත් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, මෙය මෙසේ වෙන්න පැහැදිලි ආර්ථික හේතු තිබෙනවා. ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ වැවුණු වී රටට ආනයනය කරන වටපිටාවක් හැදෙන්නත්, එවැනිම කෘෂිකාර්මික බෝගයක් වූ පොල් ප්‍රධාන අපනයන බෝගයක් වෙන්නත් ආර්ථික සාධක බලපෑවා.

හාල් සඳහා රට ඇතුළේ විශාල ඉල්ලුමක් තිබුණා. එහෙත් අර මුලින් කී ස්වයංපෝෂිත ඒකක ඇතුළේ පිටට දිය හැකි වී අතිරික්තයක් නිෂ්පාදනය වුනේ නැහැ. කන්නයක් අවසානයේ වී අස්වැන්න වී බිස්සට හෝ අටුවට ගියා. ඉන් පසුව ටිකෙන් ටික අඩු වුනා. වී බිස්ස හිස් වේ ගෙන එන කොට මිනිස්සු කොස් දෙල් බතල වලට බැහැලා වී ටික පරිස්සම් කර ගත්තා. එක දිගට අස්වනු හොඳ වූ විට වී බිහි, අටු කොටු පිරුණා. එක දිගට අස්වනු පාළු වෙන කොට වී බිහි හිස් වෙලා වෙන මොනවා හෝ දෙයක් හොයා ගෙන කන්න වුනා. නැත්නම් බඩගින්නේ ඉන්න වුනා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී පිටට වී විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඔය තත්ත්වයේ තිබුණු ලංකාවේ වී ගොවිතැන ගොඩ දමන්නනම් පසුකාලීනව කළා වගේ වියලි කලාපය සංවර්ධනය කර මිනිස්සු පදිංචි කරවීම වගේ සංකීර්ණ වෙනසක් ක‍රන්න වෙනවා. නමුත්, ඒ වෙනුවෙන් මුදල් හා කාලය වැය කරනවාට වඩා පහසුවෙන් හා අඩු වියදමකින් කලාපයේ වෙනත් රටකින් සහල් ආනයනය කරන්න පුළුවන්කම තිබුණු නිසා ඉංග්‍රීසින්ට එවැනි වැඩකට අතගහන්න අවශ්‍ය වුනේ නැහැ. වී ගොවිතැන සඳහා ලංකාවට වඩා වාසිදායක තත්ත්වයන් කලාපයේ වෙනත් රටවල තිබුණා.

ඉංග්‍රීසීන් විසින් වැඩේ අත ඇරියේ සොයා බැලීමක් නොකර නෙමෙයි. ඔවුන් මී හරකුන් ආනයනය දක්වා විවිධ දේවල් අත් හදා බලා තිබෙනවා. නමුත්, ඒ වැඩෙන් මී හරකුන්ට වූ තරම්වත් යහපතක් වී ගොවීන්ට වුනාද කියන එක සැකයි. ආනයනය කරපු සමහර මී හරක්නම් කැලේට හරි පැනගත්තා.

ඇත්තටම ලන්දේසි කාලයේදී පවා ලංකාවේ වී ගොවිතැන ගොඩදාන්න උත්සාහ කර තිබෙනවා. පැරණි වී අමුණු ප්‍රතිසංස්කරණය, ඉන්දියාවෙන් ශ්‍රමිකයින් රැගෙන ඒම, වී වැපිරීම වෙනුවට පැල හිටවීම හඳුන්වා දීම වගේ බොහෝ දේ කරමින් ඒ කාලයේදීත් උත්සාහ කර ඇති බවට වාර්තා ඇතත් වැඩේ සාර්ථක වී නැහැ. බෙංගාලය, සුමාත්‍රා වාගේ පැති වල එකට විස්සක හෝ තිහක අස්වැන්නක් ලැබෙද්දී ලංකාවේ වී අස්වැන්න එකට හයකට හෝ දොළහකට වඩා වැඩි වී නැහැ.

එක පැත්තකින් මෙයට සමාජය සංවිධානය වී තිබුණු ආකාරයත් සැලකිය යුතු තරමකින් බලපානවා. ගණුදෙනුවක පාර්ශ්ව දෙකම මිනිසුන් වශයෙන් සමාන සේ නොසැලකේනම් ගනුදෙනු සිදු වුවත් ඒවා නිදහස් ගනුදෙනු නෙමෙයි. එක පාර්ශ්වයකට මිල තීරණය කිරීමේ බලය වැඩියි. ඒ වගේම, වැඩියෙන් ප්‍රාග්ධනය රැස් කළා කියලා සමාජ ධුරාවලියේ ඉහළට යන්න පුලුවන් කමක් නැත්නම් තමන් දැනට ඉන්න තත්ත්වය පවත්වාගත හැකි යමක් ලැබීම ප්‍රමාණවත්. ඊට වඩා මහන්සි වී ප්‍රාග්ධනය එක්රැස් කරගත්තා කියලා කොහොමටත් උඩට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, පැල හිටවන්න මහන්සි නොවී වී ටික ඉහලා දාලා ගෙදර ඇවිත් බුලත් විටක් හපලා නිදාගන්න එක සැපයි.

වී ගොවිතැනේදී ලංකාව සතු නොවූ සාපේක්ෂ වාසිදායක තත්ත්වය පොල් වගාවේදී තිබුණා. ඒ වගේම පොල් සඳහා බාහිර ඉල්ලුමක්ද තිබුණා. ඒ නිසා, පොල් ලංකාවේ අපනයන බෝගයක් බවට පත් වුනා. කොස් දෙල් කෙහෙල් වගේ දේවල් වී හා පොල් මෙන් කල් තබාගත හැකි නොවූ නිසා ඒවා ආනයන හෝ අපනයන බවට පත් වුනේ නැහැ. මේ දේවල් වලට හාල් පොල් වලට වගේ විදේශ ඉල්ලුමක් තිබුණෙත් නැහැ.

ලංකාවේ පැරණි ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයෙන් වාණිජකරණය වෙද්දී පැරණි සමාජ ධුරාවලිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් අලුත් ඉඩම් හිමි ධනවතුන් බිහි වෙන්න පටන් ගත්තා. මේ ධනවතුන් බොහෝ විට බිහි වුනේත් පොල් වගාව ආශ්‍රිතව මිසක් වී වගාව ආශ්‍රිතව නෙමෙයි.

ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ සහල් ඉල්ලුමෙන් විශාල කොටසක් ආනයනය කරන්න සිදු වී තිබුණා. එහෙත්, තේ, රබර්, පොල් අපනයනය කර ලැබූ විදේශ විණිමය ප්‍රමාණවත් වූ නිසා මේ වැඩේ අවුලක් තිබුණේ නැහැ. නිදහස ලැබී ටික කාලයක් යද්දී ලංකාවේ අපනයන වල මිල එසේම තිබියදී ආනයන මිල ඉහළ යාම නිසා ගෙවුම් ශේෂ හිඟයක් ඇති වී එම හිඟය ටිකෙන් ටික උග්‍ර වෙන්න පටන් ගත්තා. රජය මගින් ලබා දුන් සහල් සලාකයේ බරපැන ඉහළ යාම නිසා ආනයනික සහල් මිල ඉහළ යාම ගෙවුම් ශේෂ හිඟයට අමතරව රජයේ අයවැය හිඟයද ඉහළ යවන්න හේතු වුනා.

ලංකාව මේ වගේ ප්‍රශ්නයක පැටලුනේ නිදහස ලැබෙද්දී උරුම වූ තේ, පොල්, රබර් ආර්ථිකයේ දිගටම හිර වී සිටි නිසයි. නිදහස ලැබූ අලුතම අපනයන විවිධාංගීකරණය හා කාර්මීකරණය ගැන බරපතල ලෙස හිතුවානම් අපනයන වියදම් ඉහළ යද්දී ආනයන වියදම්ද සමාන්තරව ඉහළ යා හැකිව තිබුණා. ඉංග්‍රීසීන් දිගටම රට පාලනය කළානම් ඔවුන් බොහෝ විට කල් තියාම මේ වැඩේ කරනවා. නමුත්, නිදහස් ලංකාව ඊට වඩා බර තැබුවේ ආනයන ආදේශනය වෙතයි.

වී ගොවිතැන නගා සිටුවීම කෙරෙහි නිදහස් ලංකාවේ හැම ආණ්ඩුවකින් වගේම විශේෂ අවධානයක් යොමු වුනා. ආර්ථික සාධක  වලට වඩා චිත්තවේගීය සාධක එයට මුල් වුනා. අජිත් පැරකුම්ගේ වචන වලින් කියනවානම් ලංකාවේ බලයේ සිටි හා නොසිටි දේශපාලන පක්ෂ විසින් වී ගොවිතැන නැංවීමේ ලේබලය ගහගෙන දිගින් දිගටම කළේ ලාංකිකයාගේ මානසික කිරිපල්ල අතගාන එකයි.

වී ගොවිතැන වෙත විශාල ලෙස සම්පත් යෙදවීමේ වාසිය ලබමින් රටේ වී වවන බිම් ප්‍රමාණය වගේම අක්කරයකින් ලැබිය හැකි වී ප්‍රමාණයත් වසරින් වසර ඉහළ ගියා. එයට සමාන්තරව රටේ සහල් ආනයන අවශ්‍යතාවය ටිකෙන් ටික පහත වැටුණා. මහවැලි ගොවි බිම් වල වී අස්වනු රටේ සමස්ත වී නිෂ්පාදිතයට එකතු වීමෙන් පසුව 1982 පමණ වන විට ලංකාව රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගත හැකි තත්ත්වයකට පත් වුනා.

මේ කාලය වෙද්දීත් ලංකාවේ මා පෙර කතා කර ඇති ස්වයංපෝෂිත ගම් තිබුණා. විශේෂයෙන්ම තෙත් කලාපයේ වී ගොවිතැන සිදු කෙරුණේ වාණිජ පදනමකින් නෙමෙයි. දැනට වුවත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ.

හැත්තෑව දශකයේදී මට සමීප ඇසුරක් තිබුණු බොහෝ නිවෙස් වල තමන්ගේම කුඹුරකින් ලබා ගත් වී සංචිත තිබුණා. මේ වී සහල් කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ගෙදරින්මයි. ලොකු හැළියක වී තැම්බීමෙන් පසුව මිදුලේ මාගල් එළා අව්වේ වී වේලුවා. වැස්ස එනකොට හනිකට වී ගෙට ගන්න ඕනෑ. ආනන්ද සමරකෝන් විසින් ලියපු ජනප්‍රිය ගීයකත් කියන්නේ ඔය කතාවනේ.

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ..//
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ...

ඔය විදිහට තම්බා වේලා ගන්නා වී සමහර වෙලාවට ගෙදර වංගෙඩියේ කොටලා, කුල්ලෙන් පොලලා හාල් කර ගත්තා. හුණු සාලුත් එකතු වෙනවා. කිරිබත් එහෙම හදාගන්න වී තම්බන්නේ නැතුව කැකුලෙන් කෙටුවා. හැබැයි ඔය කාලේ වෙද්දී ගොඩක් ගම් වලට ආසන්න කඩ මණ්ඩියක වී මෝලකුත් තිබුණා. ගෙදර තම්බා වේලා ගන්නා වී මෝලේ ගන්නත් පුළුවන්කම තිබුණා. සමහර වෙලාවට මෝලේ ගාස්තුව වී හෝ හාල් වලින්ම ගෙවන්නත් පුළුවන්කම තිබුණා. මමත් ඕනෑ තරම් වී ගෝනි ඔලුවේ තියාගෙන වී මෝල් වලට ගෙනිහින් හාල් කරගෙන ඇවිත් තියෙනවා.

හැත්තෑ ගණන් වලදී බොහෝ විට ගෙදර වී ඉවර වෙන කොට කඩෙන් මිල දී ගත්තේ රට හාල්. පස්සේ පස්සේ කඩවලට වියලි කලාපයෙන් හාල් එන්න පටන් ගත්තා. මේ හාල් වල අප්‍රසන්න ගඳක් තිබුණා. එයට හේතුව වී තිබුණේ තම්බන්නේ නැතිව ටැංකියක දමා වී පල් කරන එක කියලා ඒ දවස් වල අහලා තිබුනත් එහෙම එකක් දැක්කේ වසර ගණනකට පසුවයි. මම හිතන විදිහට වියලි කලාපයේ වුනත් මුල් කාලයේදී මෝලකින් වී කොටාගන්න ඇත්තේ ගෙදර පරිභෝජනය සඳහා වෙන්න ඇති.

ඔය පොඩි වී මෝල් වලින් මුල් කාලයේ කළේ යැපුම් කෘෂිකර්මයේ නිරතව සිටි මිනිසුන්ගේ වංගෙඩියට හා මෝල්ගහට ආදේශකයක් වෙමින් වී කොටන රාජකාරිය කරන එක පමණයි. වී කෙටීම සඳහා ගාස්තුව විදිහට එකතු කරගත් හාල් ඔය වගේ මෝලකින් මිල දී ගන්නත් පුළුවන්කම තිබුණා. ඊට අමතරව මේ වගේ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගෙන පසුව විකිණීමක් කළේ නැහැ.


ගෙදර වී වලින් කොටා ගත් හාල් වුනත්, කඩේ හාල් වුනත් ඔය හාල් ලිපේ තියන්න කලින් මුලින්ම වී අහුලන්න ඕනෑ. ඊට පස්සේ ගරන්න ඕනෑ. නෑඹිලියක් උපයෝගී කර ගනිමින් හාල් ගරන එකත් පුහුණුවක් අවශ්‍ය කලාවක්. පුහුණුව නැති කෙනෙක් හාල් ගැරුවොත් කාලා හමාරයි. ඒ නිසා, තමන්ට හරියට හාල් ගරන්න බැරිනම් ආච්චිට හාල් ගරන්න කියන්න වෙනවා.

මම හිතන විදිහට අරලිය ආකෘතියේ පෞද්ගලික වී මෝල් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ අනූව දශකය එළැඹෙන්න ආසන්නවයි. කඩෙන් ගෙනාපු හාල් වතුර දමා කෙළින්ම ලිපේ තියන එක ඒ කාලයේ හැටියට සුවිශේෂී අත්දැකීමක්. අරලිය ආකෘතිය දක්වා පරිණාමය වුනේ කලින් යුගයේ ගම් වල තිබුණු කුඩා පරිමාණයේ වී මෝල් වුවත් මේ අලුත් ආකෘතියේ වී මෝල් වලින් ඉටු කරපු ආර්ථික කාර්යය අර පරණ වී මෝල් වලින් කරපු දෙයම නෙමෙයි. පරණ වී මෝල් වලින් කළේ වංගෙඩියේ දමා මෝල්ගහෙන් වී කොටන එකට විකල්පයක් සැපයීමයි. එහෙත්, මේ අලුත් ආකෘතියේ වී මෝලක ආර්ථික කාර්ය භාරය වී කෙටීමට සීමා වී නැහැ.

මේ අලුත් ආකෘතියේ වී මෝලකින් වී-සහල් සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. ඔය කටයුතු හතරෙන් සම්ප්‍රදායික වී මෝල් හිමියෙකු විසින් කළේ තෙවන කටයුත්ත පමණයි. ඒ නිසා, අරලිය ව්‍යාපාරය වගේ ව්‍යාපාර වී මෝල් ලෙස හඳුන්වන එකේම වැරැද්දක් තිබෙනවා. වී මෝල් හිමියාගේ ලාබ පාඩු හෝ ඒකාධිකාර ගැන කතා කරන්න කලින් පළමුව මේ වෙනස නිවැරදිව විග්‍රහ කරගෙන තේරුම් ගත යුතුයි.

ලංකාවේ වී ගොවිතැන කියන්නේ කාලයක් තිස්සේ විවිධ රාජ්‍ය මැදිහත්වීම් හරහා හොඳටම පටලවා තිබෙන නූල් බෝලයක්. ගොඩක්ම පැටලුනු නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට පැටලුම් අරිනවා කියා ඇත්තටම හිතාගෙන වැඩේට බහින කෙනෙක් වුනත් වැඩේ ඉවර කරන්නේ නූල් ටික තවත් පටලවලා. ඒ නිසා, මොනවා හෝ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න කළින් මුලින්ම කළ යුත්තේ මේ පැටලුම් ලිහලා විසඳුම් සෙවිය යුතු සැබෑ ප්‍රශ්න මතු කර ගන්න එකයි. මේ වගේ සංකීර්ණ අවුලක් ක්ෂණිකව ලිහන්න බැහැ. අපි අවශ්‍ය තැනට හෙමිහිට යමු. දැනට අපි මේ කරුණු මතක තියා ගනිමු.

- ලංකා ඉතිහාසයේ කවරදාකවත් අද තරම් සමස්ත වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ.

- බොහෝ විට ඒක පුද්ගල පදනමකින් වුවත් අද තරම් වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ. අතරින් පතර එවැනි වකවානු තිබුණා වෙන්න පුළුවන්.

- නිදහසින් පසු දිගින් දිගටම ලංකාවේ ආණ්ඩු විසින් වී ගොවිතැනට විශේෂ සැලකිලි දක්වමින් සම්පත් යෙදෙවීම නිසා සමස්තයක් ලෙස රටට වූ යහපත හෝ අයහපත කවරක් වුවත්, වී ගොවිතැනේ සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙනවා.

අතීතයේ කළ දේවල් නිසා සිදු වූ පාඩු ආපසු හැරවිය නොහැකි ගිලුණු පිරිවැය නිසා දැන් කළ යුත්තේ මත්තල ගුවන් තොටුපොළ පර්යන්තය වී වේලන්න ගත්තා වගේ වැඩ නොකර අනාගතය දෙස බලා කළ යුතු හොඳම දේ කිරීමයි.


නිදහසෙන් පසු ලංකාවේ වී වගාව වෙනුවෙන් යොදා ගැනෙන බිම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩියෙන් වැඩි වී තිබෙනවා. ඒ තත්ත්වය නැවත ආපසු හරවන්න උත්සාහ කළ යුතු නැතත්, මේ බිම් ප්‍රමාණය තවත් වැඩි කරන්නට යාම කාර්යක්ෂම නැහැ. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවාගන්න ඔය ඉඩම් ටික ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. වී වගාව සඳහා තව තවත් ඉඩම් වෙන් කිරීම කාර්යක්ෂම නොවන බව වඩා විස්තරාත්මකව පැහැදිලි කළ හැකි කරුණක්.


නිදහස ලැබූ තැන් පටන් අද දක්වාම රටේ බොහෝ දෙනෙක් විවාදයකින් තොරව එකඟ වී ඇති කරුණක් වන්නේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. මෙය ලංකාවේ සමාජවාදී සැලසුම් වලද ප්‍රමුඛ ඉලක්කයක් වුනා.

ලංකාවේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩු බව ඇත්ත. එහෙත්, ඉතිහාසයේ කවර කලෙකවත් ඉඩම් අක්කරයකින් නොගත් තරමේ විශාල අස්වැන්නක් දැන් ලංකාවේ වී ගොවියා විසින් ලබා ගන්නවා. නිදහසෙන් පසු ලංකාවේ වී ගොවිතැනේ ඵලදාව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය තවත් ඉහළ දමා ගැනීමට උත්සාහ කළ යුතු බව පිළිබඳව විවාදයක් නැහැ. හැබැයි ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුළේම නිපදවා ගැනීම ඉලක්කයක්නම් ඒ සඳහා දැන් ලැබෙන අස්වැන්න හොඳටම ඇති.


එහෙමනම් සැබෑ ප්‍රශ්නය කුමක්ද? ආණ්ඩුව විසින් හෝ බොහෝ දේශපානඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැති, ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් විසින් ව්‍යවසායික ඉවෙන් හෝ වෙනත් ක්‍රමයකින් හඳුනාගෙන මිලක් අය කරමින් විසඳුම් දී ඇති ලංකාවේ වී-හාල් සැපයුම් දාමයේ ප්‍රශ්න ගැන අපි ඉදිරියේදී කතා කරමු.


2 comments:

  1. අපනයන භෝගයක් හැටියට හෝ දේශීය ඉල්ලුම සපුරා ලීමට වී වගාව දියුණු කිරීම ඉංග්‍රීසින්ට (හෝ ඔවුන්ගේ පූර්වගාමීන්ට) නොහැකි වීමට ආගමික/ සංස්කෘතික හා සමාජයික හේතු, ආර්ථික හේතු තරමටම වැදගත් කියලයි මට හිතෙන්නේ. වෙනත් වගාවන් හා සලකා බැලීමේදී වී ගොවිතැන ආර්ථික බෝගයක් ලෙස නොව "බුද්ධ බෝගයක්" ලෙස සැලකීම මා දන්නා 60 දශකයේ අග, 70 මුල වැනි කාල වලදීත් පැවතුනා. එයින් වසර හාර පන්සීයකට පෙර කාලය වන විදේශ ආක්‍රමණ යුගය සැලකු විට, එය ඊටත් වඩා විශාල බලපෑමක් කරන්න ඇති. මුදලට වී විකිණීම බොහොම පහත් ක්‍රියාවක් ලෙස එකලත් (මහා පරිමාන කුඹුරු හිමියන් ගැන නම් මම දන්නේ නැහැ, නමුත් සාමාන්‍ය ප්‍රමාණයේ කුඹුරු හිමියෙකු එසේ කිරීම අවඥාවට ලක් වෙන දෙයක්) සැලකුණා. ඔබ කලින් ලිපියකත් ලියා තිබූ ආකාරයට භාණ්ඩ හෝ සේවා හුවමාරු ආර්ථිකයක මූල්‍ය ඒකකය ලෙස සැලකුණ වී භෝගය, එකල ලංකාවේ තිබු සිංහල බෞද්ධ සමාජයේ 'ඇති හැකි' බව පෙන්වන මිනුම්දණ්ඩක් ලෙස මිස ආදායමක් ලබා ගන්නා ආදායම් මාර්ගයක් ලෙස සැලකුවේ නැහැ. මේ සම්ප්‍රදාය වෙනස් කරන්න ඉංග්‍රීසීන් උත්සාහ කළා නම්, ගොවි මහතුන්ට පළමුව මීට විරුද්ධ වන්නේ සංඝයා වහන්සේලා විය හැකි බවත් මට හිතෙනවා.

    ReplyDelete
  2. Europeans do not eat rice in large extent. Thus, there was no sufficient demand for rice in those countries. As result, they (Invaders) did not need to promote rice cultivation here. They promoted primary commodities which used as raw materials in their industries. There were numerous political and economic objective under this transition. However, current problem related to rice is marketing problem because we have sufficient production to fulfill the demand. According to my understanding and research experience in SL agriculture and rural sector indicated that government should have a systematic plan to control the rice market. They must have good storage facilities, marketing strategies, and knowledgeable and active officials to handle the situation. Then, the government can continue with their pricing policy and they can control the monopoly in the rice market. If the government want to achieve food self-sufficiency (We do not need to focus rice export If we can produce food for this country it save lot of foreign exchange), they should take firm actions on these marketing issues. They can promote so many institutions including farmers organizations, farm cooperative to eliminate monopolistic nature of the rice market

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...