Saturday, May 30, 2020
මරණ බය හමුවේ අහිතකර පුරුදු
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ සිදුවන මරණ වලින් 10%කට හේතුව දුම් පානයයි. ලංකාවේ දුම් පානය බොහෝ දුරට පිරිමින්ගේ පුරුද්දක්. ලංකාවේ පිරිමින් අතර දුම් පානය 2005දී වූ 40.5% මට්ටමේ සිට ක්‍රමයෙන් පහත වැටෙමෙන් ඇතත් 2018 වන විටත් පිරිමින්ගෙන් 28.4%ක් දුම්පානයෙන් ඈත්ව සිටියේ නැහැ.
ලංකාවේ දුම් පානය කරන්නන්ගෙන් 91%ක් සිගරැට් උරන්නන්. ඉතිරි ප්‍රමාණයෙන් වැඩි පිරිසක් බීඩි උරන්නන්. ලංකාවේ සිගරැට් වෙළඳපොළ බොහෝ දුරට ලංකා දුම්කොල සමාගමේ ඒකාධිකාරයක්. 2019 වසරේදී දුම්කොළ සමාගමේ පිරිවැටුම රුපියල් බිලියන 141.3ක්. එම මුදලින් රුපියල් බිලියන 120.4ක් ලබා ගෙන තිබෙන්නේ රජය විසිනුයි. බදු ගෙවීමෙන් පසුව සමාගමේ ලාබය රුපියල් බිලියන 17.3ක්. එම ලාබය බොහෝ දුරට රටෙන් පිටට යන මුදලක්. ලංකා දුම්කොළ සමාගමේ කොටස් වලින් 92.5%ක්ම අයිති බීඒටී හා පිලිප් මොරිස් බහුජාතික සමාගම් වලටයි. ඉතිරි කොටස් වලින්ද සැලකිය යුතු අයිතියක් විදේශිකයන් හෝ විදේශික සමාගම් සතුයි.
රජය විසින් හා දුම්කොල සමාගමේ කොටස් හිමිකරුවන් විසින් ලබා ගෙන ඇති ආදායම් මුළු පිරිවැටුමෙන් අඩු කළ විට විකිණූ සිගරැට් වල පිරිවැය සොයාගැනීම අමාරු නැහැ. සේවක පඩි නඩි, දුම්කොළ ඇතුළු අමුද්‍රව්‍ය වල වියදම හා විදුලි බිල ඇතුළු අනෙකුත් වියදම් සඳහා වැයවන මුළු පිරිවැය වන්නේ රුපියල් බිලියන 3.7ක පමණ මුදලක් පමණයි. දුම්කොළ සමාගමේ ඒකාධිකාරයේ උදවුවෙන් දුම්කොළ සමාගම හා රජය විසින් එකතු කර ගන්නා මුදල දුම්වැටි නිපදවීමට යන නිෂ්පාදන වියදමට සාපේක්ෂව හතළිස් ගුණයකට ආසන්න විශාල මුදලක්.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෑතකාලීන අධ්‍යයනයකට අනුව ලංකාවේ දුම්පානයේ අවාසිය වසරකට රුපියල් බිලියන 213.8ක්. මේ මුදලින් රුපියල් බිලියන 15.3ක් දුම්වැටි භාවිතය ආශ්‍රිත රෝග වෙනුවෙන් වැය වන මුදල්. ඉතිරි රුපියල් බිලියන 198.5 දුම්වැටි නිසා සිදුවන අකල් මරණ හා රෝග නිසාත්, ඵලදායීතාවය අඩු වීම නිසාත් රටේ නිෂ්පාදිතය පහළ යාමේ අවාසියයි.
අවාසියේ වැඩි කොටස වන රුපියල් බිලියන 179.3ක් දුම්වැටි ආශ්‍රිත රෝග නිසා වයස 70ට පෙර මිය යන අයගේ අඩු වූ ජීවිත කාලයන්හි වටිනාකමයි. මේ අවාසිය අදාළ අයගේ පවුල් වලට සිදුවන අවාසියක්. දුම්වැටි භාවිතය ආශ්‍රිත රෝග වෙනුවෙන් වැය වන මුදලෙන් රජයට වැය වන මුදල රුපියල් බිලියන 8.3ක් පමණයි. ඉතිරියෙන් රුපියල් බිලියන 5.9ක් රෝගීන්ගේ අතින් යන වියදම්. රුපියල් බිලියන 1.1ක් රක්ෂණ ගිවිසුම් හරහා පියවෙන වියදම්.
දුම්පානය නිසා සමස්තයක් ලෙස රටට විශාල පාඩුවක් වුනත්, රජයට සිදුවන්නේ විශාල වාසියක්. දුම්කොළ සමාගම විසින් කරන ප්‍රධාන කාර්යය දුම්වැටි නිපදවා විකිණීම නොව, කොමිස් මුදලක් ලබමින් රජයට ආදායම් එකතු කර දීම බව කිවුවොත් එය වඩා නිවැරදියි. දුම්වැටි අලෙවිය හරහා රජය විසින් උපයන බිලියන 120.4ක මුදල දුම්වැටි ආශ්‍රිත රෝග වෙනුවෙන් රජය වැය කරන රුපියල් බිලියන 8.3 මෙන් පහළොස් ගුණයකට ආසන්නයි.
කොරෝනා තර්ජනය දුම්පානය කරන්නන්ට වඩා අහිතකර ලෙස බලපෑමත්, කොරෝනා තර්ජනය හමුවේ රජය විසින් ගත් විවිධ ක්‍රියාමාර්ගත් නිසා 2020 පළමු කාර්තුව තුළ දුම්කොළ සමාගමේ අලෙවි ආදායම 13%කින් පහත වැටී තිබෙනවා. දෙවන කාර්තුව තුළ කොරෝනා බලපෑම මීට වඩා වැඩි විය යුතුයි.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් මැයි 1-10 අතර ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් සිදු කර ඇති සමීක්ෂණයකට අනුව, දුම්පානය කරන්නන්ගෙන් 20%ක් කෝවිඩ් තර්ජනය හමුවේ දුම්පානය අතහැර තිබෙනවා. තවත් 68%ක් දුම් පානය සීමා කර තිබෙනවා. ඔවුන්ගෙන් 51%ක්ම පවසා ඇත්තේ කෝවිඩ් තර්ජනය අවසන් වීමෙන් පසුවද මේ තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට අදිටන් කරගෙන සිටින බවයි.
තෙවසරකට පෙර දුම්වැටි විරෝධී දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට සම්මානයක් ලබා දෙමින් එහි ක්‍රියාකාරකම් අගය කළා. එහෙත් එම වසර තුළද ලංකාවේ දුම්වැටි අලෙවිය, ඒ හරහා රජය ඉපැයූ බදු ආදායම මෙන්ම දුම්කොල සමාගමේ ලාබද පෙර වසරට වඩා ඉහළ ගියා. කාලයක් තිස්සේ රජයට කළ නොහැකි වූ හෝ කරන්නට අවශ්‍ය නොවූ කාර්යයයක් කොරෝනා වෛරසය විසින් සිදු කර තිබෙනවා.
හෙට (මැයි 31) මේ වසරේ ලෝක දුම්වැටි විරෝධී දිනයයි.
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
'දුම්පානය නිසා සමස්තයක් ලෙස රටට විශාල පාඩුවක් වුනත්, රජයට සිදුවන්නේ විශාල වාසියක්. '
ReplyDeleteඉකොනෝ,
දුම්පානය නිසා රටට වන හානිය නිසා අන්තිමේදී රජයටම නේද පාඩු වෙන්නේ. එහෙම නැතිව මේක කාරණා දෙකක් වන්නේ කොහොමද? පැහැදිලි මදි.
මෙය ඉතා වැදගත් කරුණක්. රට හා රටේ රජය කියන්නේ ඉතා දුරස්ථ කාරණා දෙකක්. රජයයන් විසින් මෙය දිගින් දිගටම පටලවමින් එහි වාසිය ගන්නවා. ගොඩක් අය රටට හොඳක් කරනවා කියා හිතමින් ඇත්තටම කරන්නේ රජයට වාසි සලසන එකයි. රටේ ආදායම හා රජයේ ආදායම කියන්නේ කරුණු දෙයක්. රටේ ණය හා රජයේ ණය කියන්නේ කරුණු දෙයක්. අනිත් දේවල්ද ඔය විදිහයි.
Deleteඅපි ණය කියන කරුණ ගත්තොත් රජය විසින් රටේ ජීවත් වන පුද්ගලයෙකුට හෝ සමාගමකට භාණ්ඩාගාර බැඳුම්කරයක් විකුණන විට රජයේ ණය ඉහළ යනවා. එහෙත්, මේ ගණුදෙනුව රට ඇතුළෙම සිදුවන දෙයක් නිසා රටේ ණය ඉහළ යන්නේ නැහැ. ගෙදර ඇතුළේ පුතා අම්මගෙන් ණයක් ගත්තා වගේ වැඩක්.
අනෙක් අතට රජයට අයත් නැති රටේ පෞද්ගලික සමාගමක් විසින් විදේශ ණයක් ලබා ගත්තොත් රටේ ණය ඉහළ යනවා. නමුත්, රජයේ ණය ඉහළ යන්නේ නැහැ.
රජය විසින් විදේශ ණය ලබාගත් විට රජයේ ණය වගේම රටේ ණයත් ඉහළ යනවා. එය ඉහත තත්ත්වයන් දෙකටම වඩා වෙනස්, බරපතල තත්ත්වයක් වන්නේ ඒ නිසයි. රජයේ ණය වැඩි වූ විට අයවැය හිඟය වැඩි වෙනවා. රටේ ණය වැඩි වූ විට ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇති වෙනවා. රජයේ විදේශ ණය වැඩි වූ විට ඔය දෙකම වෙනවා.
ආදායම් දෙස බැලුවත් මේ දෙක කරුණු දෙකක්. වී ගොවියෙකු විසින් ඩඩ්ලි සිරිසේනට වී විකුණන විට එය වී ගොවියාගේ ආදායමක් වෙනවා. ඒ වගේම එය රටේ ආදායමක්ද වෙනවා. මෝල් හිමියෙකු ඒ වී ටික හාල් කර විකුණා ලබන ලාබය මෝල් හිමියාගේ මෙන්ම රටේද ආදායමක් වෙනවා. එහෙත්, මේ රටේ ආදායම් රජයේ ආදායම් වෙන්නේ නැහැ.
දැන් අර වී ගොවියා හෝ මෝල් හිමියා තමන්ගේ අතේ ඇති මුදල් වැය කර භාණ්ඩ මිල දී ගන්නා විට ගෙවන වැට් බදු හෝ වෙනත් කවර හෝ බදු රජයේ ආදායමක් වෙනවා. එහෙත්, එය රටේ ආදායමක් නෙමෙයි. වී ගොවියා හෝ මෝල් හිමියා විසින් ඉපැයූ රටේ ආදායමෙන් රජය විසින් ලබා ගන්නා කොටසක්.
කෝවිඩ් හැදී පවුලේ රැකියා කරන වයසක අයෙක් මිය ගියොත් ඒ පවුල හොඳටම අමාරුවේ වැටෙනවා. පවුලේ අයට තිබුණු අනාගත ආදායම් ඉපැයීමේ මාර්ගය අහිමි වෙනවා. එය එම පවුලට වන පාඩුවක්. ඒ වගේම රටටත් වන පාඩුවක්. මෙහිදී රජයට වන පාඩුව එම මිය ගිය පුද්ගලයාගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් රජයට වැය කරන්න සිදුවන මුදලයි.
දුම්පානය නිසා කෙනෙක් මිය ගියත් එහි පාඩුව මූලික වශයෙන්ම තියෙන්නේ ගෙදර අයටයි. එය රටේ පාඩුවක්. රජයට වන පාඩුව ප්‍රධාන වශයෙන්ම අසනීප වී රෝහල්ගත වූ විට යන වියදමයි. නමුත්, රජය දුම්වැටි වලින් බදු ලෙස අය කර ගන්නා මුදල ඊට වඩා විශාල ගුණයකින් වැඩි නිසා මෙය රජයට වාසියි.
ආර්ථික විද්‍යාව පැත්තෙන් මේ ප්‍රශ්නය විග්‍රහ කිරීම ඉතාම වැදගත් දෙයක්. නමුත් ලංකාවේ දුම්කළ නිෂ්පාදනය සඳහා යෙදී ඉන්න ගොවීන් ඒ නිසා හොඳ ආදායම් මාර්ගයක් ලබා ගන්නවා නේද? මම පෞද්ගලිකව දන්නවා දුම්කොළ සමාගම විසින් ගොවීන්ට සියලුම ආධාර සපයා දී ඔවුන්ගේ අස්වැන්න කලට වෙලාවට සහතික මිලකට ලබා ගන්නා බව. වෙන කිසිම භෝගයකට එවැනි මැදිහත්වීමක් පෞද්ගලික මට්ටමෙන් නැතිබව ස්ථිරයි. දුම්කොළ ගොවිතැනින් මිනිස්සු ගලවා ගැනීම සඳහා ඒ සඳහා හොඳ ආදේශික බෝගයක් (cashcrop) හඳුන්වා දී, ඔවුන්ට සහතික මිලකට අස්වැන්න ලබා ගැනීමට ාන්ත්‍රණයක් ඇති කළොත් ඔවුන් දුම්කොළ වගාව නවත්වයි.
ReplyDelete1980දී ලංකාවේ හෙක්ටයාර 15,692ක දුම්කොළ වවා තිබෙනවා. 2018 වන විට එම ඉඩම් ප්‍රමාණය 1,338 දක්වා අඩු වී තිබෙනවා. 1980දී දුම්කොළ ටොන් 18,602ක් නිපදවා තිබුණත් 2018දී නිෂ්පාදනය ටොන් 5,903ක් පමණයි. නිෂ්පාදනය අඩු වීමට හේතුව ඉල්ලුම අඩු වීමයි. ඉල්ලුම අඩු වන විට අනුරූපී ලෙස සැපයුම අඩු වෙනවා. එහිදී සාපේක්ෂව අකාර්යක්ෂම ගොවීන් හැලී ගිහින් වඩාත්ම කාර්යක්ෂම ගොවීන් ඉතිරි වෙනවා. ඒ වගේම, දුම්කොළ වගාව තුළ ඉතිරි වන්නේ ඒ වැඩේට වඩාත්ම සුදුසු ඉඩම්. මේ හේතු දෙකම නිසා, ඉඩම් අක්කරයකින් නිපදවිය හැකි දුම්කොල ප්‍රමාණය ඉහළ යනවා. 1980දී ඉඩම් හෙක්ටයාරයකින් නිපදවා ඇති දුම්කොළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 1185ක්. 2004 වන විටත් හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 1262ක්. එහෙත්, 2017දී හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 4830ක්. මෙයින් අදහස් වෙන්නේ දුම්කොළ වවන ගොවියෙකුගේ ආදායම පසුගිය වසර 15ක පමණ කාලය තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.
Delete2019 මැයි UNDP වාර්තාවේ සඳහන් පරිදි ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ දුම්කොළ වගාවේ නිරත පවුල් ගණන 300ක් පමණයි. ("The Ministry of Agriculture estimate that fewer than 300 families currently cultivate tobacco in Sri Lanka." ) එහෙත් දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව අනුව දුම්කොළ ගොවීන් ප්‍රමාණය 20,000කට අධිකයි. මම හිතන විදිහට නිවැරදි ගණන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුවට වඩා කිට්ටු අතරමැදි ගණනක්.
දුම්කොළ කිලෝවක මිල රුපියල් 500-600 අතර හා නිෂ්පාදන වියදම (විචල්‍ය පිරිවැය) රුපියල් 50-100 අතර ලෙස සැලකුවොත්, දුම්කොළ වගාවෙන් ඉඩම් හෙක්ටයාරයකින් රුපියල් මිලියන 2-2.5 අතර ආදායමක් උපයන්න පුළුවන්. වගා කරන ඉඩම් හෙක්ටයාර 1,338 පවුල් 300ක් අතර සමානව බෙදුවොත් එක පවුලකට හෙක්ටයාර 3.5ක් වැටෙනවා. ඒ කියන්නේ පවුලකට රුපියල් මිලියන 7-9 අතර ආදායමක්. ඒ කියන්නේ ලංකාවේ දුම්කොළ ගොවීන් විශාල ධනවතුන්. ගණන් හිලවු නිවැරදිනම් මේ පවුල් 300ක පිරිසට වෙන වගාවක් කරලා ඔය ආදායම උපයන්න අමාරුයි.
දුම්කොළ සමාගම කියන ගොවීන් 20,000 පවුල් 10,000ක් ලෙස සැලකුවොත් එක පවුලකට හෙක්ටයාර 0.13ක් වැටෙනවා. එහෙම බැලුවොත් එක පවුලක වාර්ෂික ආදායම රුපියල් 250.000-300,000 අතර. මෙය ගොවි පවුලක සාමාන්‍ය ආදායම. එහෙමනම්, දුම්කොළම වවන්න විශේෂ හේතුවක් නැහැ. දුම්කොළ වෙනුවට වෙනත් බෝගයක් වවන එක සරල කරුණක්. වෙන දෙයක් වැවුවත් ඔය ආදායම පහසුවෙන්ම ගන්න පුළුවන්.
සැබෑ තත්ත්වය ඔය දෙකෙන් කුමක්ද කියන එක මම දන්නේ නැහැ. කොයි එක වුනත් රටේ දුම්වැටි භාවිතය අඩුවී දුම්කොළ සඳහා ඉල්ලුම ටිකෙන් ටික පහළ යන කොට ඔය දුම්කොළ ගොවීන්ට වෙනත් වගාවකට මාරු වෙන්න සිදු වෙනවා.
මම රජය මැදිහත් වී බලහත්කාරයෙන් ලංකාවේ දුම්කොළ වගාව නැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. 1980දී ලංකාවේ හෙක්ටයාර 15,692ක දුම්කොළ වැවූ ගොවීන්ගෙන් 91.5%ක්ම මේ වන විටත් වෙනත් වගා වෙත යොමු වී තිබෙනවා. එය නිදහස් වෙළඳපොල යාන්ත්‍රනය තුළ හෙමිහිට සිදු වුනු දෙයක්. ඉතිරි හෙක්ටයාර 1,338 එම වසරේ වී වගාව සඳහා යොදා ගත් හෙක්ටයාර 132,726,000 හා එළවළු වවන්න යොදාගත් හෙක්ටයාර 102,002,000 ආදිය හා සැලකූ විට ඉතාම කුඩා ඉඩම් ප්‍රමාණයක්. දුම්වැටි සඳහා ඉල්ලුම අඩු වෙන කොට ඔය ඉතිරි ගොවීන් ටිකත් වෙන වගාවකට මාරු වෙයි. ඒකට ආණ්ඩුවේ උපදෙස් අවශ්‍ය වෙන එකක් නැහැ.
දුම්කොළ වගාව තහනම් කළා කියලා දුම්වැටි හැදෙන එක හෝ දුම්වැටි භාවිතය අඩු වෙන්නේ නැහැ. එය සිදු වෙන්නේ අනෙක් පැත්තටයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව දුම්කොළ වැවීම දුෂ්ක්‍රියාවක්, අවශ්තාවක් ලද සැම විටම කෘෂි නිළධාරීන් විසින් පවත්වනු ලබන පැයකට නොඅඩු ධර්ම දේශනාවේ දුම්කොළ වගාවේ අනිටු විපාක මතුකර දැන්වීමත් අනිවාර්ය අංගයක්. ඒනිසා මාසයක් පාසා කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාර නිළධාරී තැන හෙවත් ගොයිනියාමක විසින් වාර්තා කරන දුම්කොළ වගා බිම් ප්‍රමාණයේ ක්‍රමික අඩුවීමක් නොවී නම් එය නම්බුවට කැළලක්, තවම ලංකාවේ දුම්කොල වගා බිම් ප්‍රමාණය ඝෘන අගයක් දක්වා වර්ධනය නොවීම නම් පුදුමයට කරුණක්.
ReplyDeleteදෙගොල්ලොම මොත්තේනේ ඇණේ,සමාගමට ඉන්දියාවෙන් දුම්කොළ ගෙන්වන එක ලාබයි මෙහේ හදනවට වඩා රජයට වංගුවක් ගහන්නවා අපි මෙහේ වගා කරලා ගොවියට සපෝර්ට් එක දෙනවා කියලා.රජයත් ආ ඇත්තද කීලා දෙනවා බදු ගන්නවා හිටු කියලා.
Deleteඉකෝ,පුලුවනිද දල ගණනය කිරීමක් කරන්න බදු නැතුව සිගරට් එකක්,අරක්කු බෝතලයක්,කීයක් වෙයිද කියලා.
/දුම්කොළ සමාගම විසින් කරන ප්‍රධාන කාර්යය දුම්වැටි නිපදවා විකිණීම නොව, කොමිස් මුදලක් ලබමින් රජයට ආදායම් එකතු කර දීම බව කිවුවොත් එය වඩා නිවැරදියි.//
ReplyDeleteරජය කියන සංකල්පයම කියන තරම් යහපත් සංකල්පයක් නොවන බවට මේ සාධනීය ප්‍රකාශය හොඳ උදාහරණයක්. රජය යනු තවත් සූරාකෑමේ උපකරණයක් විතරයි.
ධනවාදය( තරමක් දුරට) මෙන්ම මාක්ස්-ලෙනින්වාදය සහ අරාජිකවාදය/Anarchism රජය යන සංකල්පයටම මූලධාර්මික ලෙසටම තදබල ලෙස විරුද්ධත්වයක් දක්වන්නේ රජය යනු ජනතා විරෝධී ආයතනයක් වීම නිසායි. අධ්‍යයනයකින් පසුව මට පෙනී යන්නේ නිරපේක්ෂක නිදහස් වෙළඳාම නිසා රජයක කාර්යය හීන වන බවත්, ඒ නිසාම රජයක භූමිකාව ශුන්‍යයට ආසන්න වන බවයි. නමුත්, පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක රජයක් නැත. ඒ නිසා ආණ්ඩූන් ද නැත. මේ පරමාර්ථය සඳහා මේ පිරිස් සටන් කරන්නේ විවිධ මාවත් වලින්. අභිමතාර්තයන් එකම වුනාට, සටන් කරන්නේ වෙනම වුනාට , සමහරවිට ලැබෙන ප්‍රතිඵලත් විවිධ වෙනවා.
2. දුම් පානය යනු අයහපත් සෞඛ්‍ය පුරුද්දක් මෙන්ම සමාජ සෞඛ්‍යයටත් වින කරන පුරුද්දක්. නමුත්, පුද්ගලයන් දුම්පානය කරන ආකාරය නිරීක්ෂණය කරන්නට වටිනා චර්යාත්මක දෙයක් බවයි මගේ හැඟීම. මගේ නිරීක්ෂණය නම් සිගරට්ටුවක් ලස්සනට උරන්නේ පිරිමින්ට වඩා ගැහැණු. කොච්චර ලස්සනට ඉරුවත්, මම නම් මේක බලන පිරිමින්ට දෙන නිර්දේශයක් (අවවාදයක් නොවේ) තමයි, සිගරට් බොන ගැහැණුන් සිප ගන්න එපා හෝ සීමා කරන්න කියලා. ගැහැණුන්ටත් පිරිමින් අරබයා කියන්නේ ඒකමයි.
වර්ජිනියා දුම්කොලවලින් හදලා, සල්ෆියුරික් ඇසිඩ්වල ගිල්වලා ( Once upon a time in Hollywood , by Quentin Tarantino) වෙිලා ගන්න සිගරට්ටුවක් උරන තරම් ලස්සනත් නැහැ, වින්දනයකුත් නැහැ. e සිගරට්ටුවක් vaping කරන එකට සසඳන විට. If smoking is having sex in real , then vaping is dreaming of having it.
ඉන් මා අදහස් කලේ ආර්ථික විද්‍යාවේ එන ආදේශක භාන්ඩ සංකල්පය සෑම භාන්ඩයකටම අදාලද කියන එක මෙය තදින් සහ steadily ප්‍රශ්න කරනවා නේද කියන එකයි.
3. මගේ සීමිත නිරීක්ෂණයට අනුව තමන් දුම්පානය කරන බවට සෘජුවම signify කලේ චර්චිල් සහ කැස්ත්‍රෝ. ඊට අමතරව කැනඩාවෙි අගමැති Trudeau jr 2017 වසරේදී කැනඩාව තුල මරිහුවානා නීතිගත කරන්න සෑහෙන්න ධනාත්මක වැඩක් කලා. ඒ වාගේම සුචරිතවාදේ පැත්තකින් තියලා තමන් ගංජා ගැහුව බවට පිලි ගත්තා. (ලංකාවේ පාර්ලිමේන්තුව තුල කොකේන් ගහන මන්ත්‍රීවරු ඉන්න බව රන්ජන් හඬපටවල තිබුනා. හැබැයි කවුද කියලා කිවුවේ නැහැ)
හවානා සුරුට්ටු JRJ පාවිච්චි කලා කිව්වාට JRJ සිගරට් බොන රූපයක් හෝ හොයා ගන්න පුලුවන්ද ජයවර්ධන කටුගෙදර වුනත්? නමුත් බණ්ඩාරනායක මහතා පයිප්පයක් උරන ආකාරය දැක්වෙන රූප තිබෙනවා.
මම කියන්නේ අපට විදේශීය ආදායම් ලබන්න world class brand එකක් බවට- හරියටම Ceylon Tea වාගේ- අපේ අරක්කු පත් කල යුතුයි කියලා. සිගරටි ක්‍රමයෙන් අත්හල යුතුයි. සිගරට් බොන්නම ඕනේ නම් තමන්ට ගෙදර ගංජා පැල 4 වගා කරගෙන එය පාවිච්චි කල හැකියි නේද? හැබැයි විකුණන්න හෝ මිලදී ගන්න තහනම් කරලා, කැනඩාවේ වාගේ.
නිදහස් වෙලඳපොලේ අදිසි හස්තය භාණ්ඩ මිල මෙන්ම හැදියාවත් පාලනය කරනවා.
CP-C
//නිදහස් වෙලඳපොලේ අදිසි හස්තය භාණ්ඩ මිල මෙන්ම හැදියාවත් පාලනය කරනවා.
Deleteසම්පූර්ණ ඇත්ත මොනවා නැතත් හරදියාවනම් තියෙන්න ඔ්නෑ.
1. මාක්ස්-ලෙනින්වාදීන් හැම විටම වාගේ කටයුතු කර තිබෙන්නේත් දැනට කටයුතු කරන්නේත් රජයයන් තව තවත් විශාල කරන්නයි. මෙයින් වෙනස් තැනක සිටිනවානම් ඒ එකවරව ලෝක කොමියුනිස්ට් ක්‍රමයක් හදන්න බලාගෙන ඉන්න අයයි. එවැනි අයට කවදාවත් රටක දේශපාලනයට ගිණිය හැකි බලපෑමක් කිරීමට ප්‍රමාණවත් තරම් පිරිස් බලයක් තිබී ඇතැයි මම හිතන්නේ නැහැ.
Delete2. ආර්ථික විද්‍යාවේ එන ආදේශක භාන්ඩ සංකල්පයෙන් කියන්නේම මෙවැනි දෙයක් තමයි. ආදේශකයක් පරිපූර්ණ ආදේශකයක් (perfect substitute) වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. සාමාන්‍යයෙන් දැකිය හැක්කේ අසම්පූර්ණ ආදේශක (imperfect substitute). දුම්වැටියක් උරන කෙනෙක් එයින් ලබන වින්දනය හේතු ගණනාවක් මත තීරණය වෙනවා. දුම්වැටියේ ඇති නිකටීන් එක් සාධකයක් පමණයි. ඒ නිසා, නිකටීන් ලබාදෙන වෙනත් දෙයක් දුම්වැටි වලට පරිපූර්ණ ආදේශකයක් වෙන්නේ නැහැ. එහෙත්, අසම්පූර්ණ ආදේශකයක් වෙනවා. යමෙක් බීර වීදුරුවක් බොන්නේ ප්‍රධාන වශයෙන් එහි තිබෙන ඇල්කොහොල් නිසා වුවත් එය එකම හේතුව නෙමෙයි. ඒ නිසා, වෙනත් ඇල්කොහොල් පානයක් බීර වලට ආදේශකයක් වුවත් පරිපූර්ණ ආදේශකයක් නෙමෙයි. ඇල්කොහොල් නැති බීර වෙළඳපොළේ තිබෙන්නේ එය ඇල්කොහොල් රුචිය හැර වෙනත් හේතු මත බීර බොන අයට ආදේශකයක් වන නිසයි.
3. මිනිස්සුන්ගේ පිටතට පෙන්වන ප්‍රතිරූපය සහ සැබෑ ප්‍රතිරූපය අතර වෙනසක් තිබෙනවා. එය සංස්කෘතිය මත හා වෙනත් හේතු මත වෙනස් වෙනවා. සමහර අය කිසියම් වාසියක් බලාගෙන නැති ප්‍රතිරූපයක් අමාරුවෙන් නඩත්තු කරනවා.
// world class brand එකක් බවට- හරියටම Ceylon Tea වාගේ- අපේ අරක්කු පත් කල යුතුයි කියලා
DeleteCpC කරන්න පුළුවන් නං හොඳ වැඩක්.හැබැයි රජෝ දැන් තීන පොල් රා පොල් ගහක් ඇහැට දැකපු නැති ඒවා වීමේ සම්භාවිතාව බොහෝම වැඩියි.
ගලුත් එසේමැයි පිටරටින් ඇල්කොහොල් ගෙන්නලා එසන්ස් දාලා පරණ කොරවන්නේ.ඉතින් කෝමෙයි කොරන්නේ අවංකව.