වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණු ලංකාව ඉංග්‍රීසීන් විසින් ලෝකයට සම්බන්ධ කළා. එහෙත්, අඩු වශයෙන් ආරම්භයේදී, මේ ආකාරයෙන් ලෝකයට සම්බන්ධ කළේ ලංකාව මිස ලාංකිකයින් නෙමෙයි. ලාංකිකයින්, විශේෂයෙන්ම උඩරට පළාත් වල ජීවත් වූ සිංහලයින්, තවදුරටත් ලෝකය සමඟ ලොකු සම්බන්ධයක් නොමැතිව පරණ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකය ඇතුළේම ජීවත් වුනා. මේ ආර්ථිකය 88/89 කාලය දක්වාම ලංකාවේ බොහෝ ගම් වල තිබුණා. එහෙත්, අනූව දශකයේ මැද භාගය වෙද්දී එවැනි ස්වයංපෝෂිත ආර්ථිකයක් ඉතිරිව තිබුණේ මීමුරේ වැනි ගම් සුළු ප්‍රමාණයක පමණයි. අසූව දශකය ලංකාවේ ධනවාදයේ එක් අදියරක් සම්පූර්ණ කළ කාලයක්.
ඉංග්‍රීසි පාලන කාලය තුළ ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කළ ප්‍රධානම කණ්ඩායම යුරෝපයෙන් සංක්‍රමණය වූ වැවිලිකරුවන්. ඊට අමතරව ඉන්දීය උපමහාද්වීපයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ ජාත්‍යන්තර (කලාපීය) වෙළඳාමෙහි නිරත වූ ව්‍යවසායකයින්ද මේ කටයුත්තට දායක වුනා. ලංකාවේ ධනවාදය දියුණු කළේ මේ සංක්‍රමණිකයන් විසින්. ඔවුන් පාරම්පරික ලාංකිකයින් නෙමෙයි. පාරම්පරික ලාංකිකයින් ඔවුන්ව අනුගමනය කරමින් ලෝකය සමඟ සම්බන්ධ වුනේ ඉතා සෙමෙන්.
මට මතක තිබෙන කාලයේ මා දන්නා මගේ ඥාතීන්, මිතුරන් ජීවත් වූ ඇතැම් ගම් බොහෝ දුරට ස්වයංපෝෂිත ගම්. එවැනි ගමක ජීවත් වූ අයෙකුට ගමෙන් පිට සිදුවන දෙයක ලොකු බලපෑමක් තිබුණේ නැහැ. යම් හෙයකින් මෙවැනි ගමක් හා බාහිර ලෝකය අතර සම්බන්ධය බිඳී ගිය මොහොතක මෙවැනි ගමක වැසියන්ට ලොකු අපහසුතාවයන්ට මුහුණ දෙන්න වුනේ නැහැ. ඇත්තටම 88/89 සමයේ එසේ සිදු වූ කාල වකවානු තිබුණා. එහෙත් බාහිර උදවු නැතිව ගම් වල මිනිස්සු කොහොම හරි ජීවත් වුනා.
මම හිතන විදිහට මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වෙන්න පටන් ගත්තේ ඇඟලුම් කර්මාන්තය රට පුරා පැතිරීම හා ගම් වල තරුණයන් උතුරේ යුද්ධය සමඟ සම්බන්ධ වීම සමඟයි. මේ සමඟම, කලින් අතේ සල්ලි නොගැවසුණු, ඇඟ වෙහෙසා මොනවා හෝ වවාගෙන කෑ, තරුණ තරුණියන් අතේ සල්ලි ගැවසෙන්න පටන් ගත්තා. ගමේ ආර්ථිකය තීරණාත්මක ලෙස වෙනස් වුනා. අද ලංකාවේ ගමක් බාහිර ලෝකයෙන් හුදෙකලා වුනොත් ඒ ගමේ වැසියන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඇමරිකාවේ වගේම ලංකාවේ ගමක වුවත්, වෙළඳපොළ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයේම කොටසක්. වෙළඳපොළ හරහා ලංකාවම එකිනෙකා හා සම්බන්ධ වෙලා. ලංකාව වගේම ලාංකිකයින්ද ලෝකය සමඟද සම්බන්ධ වෙලා.
මතුපිටින් බැලුවොත් ඉංග්‍රීසි ආණ්ඩුව හැදෙන්නට පෙර රට පාලනය කළ රජෙකුට විශාල බලයක් තිබුණා. සිරිත් විරිත් වලට ගරු කරමින් වුවත් තමන්ගේ අභිමතය පරිදි වැසියෙකුගේ හිස ගසා දැමීමට හෝ වෙනත් ආකාරයක කුරිරු වධබන්ධයකට ලක් කිරීමට රජුට හැකි වුනා. තමන්ට මනාප කාන්තාවක් අන්තඃපුරයට ගෙන්වා ගත හැකි වුනා. එහෙත්, ප්‍රායෝගිකව පර්යන්ත ගමක ජන ජීවිතයට හෝ ග්‍රාමීය ආර්ථිකයට රජුගෙන් බලපැමක් සිදු නොවුණු තරම්. ඉඩම් අයිතිය රජු සතු වුවත් ගැමියෙකුට කැලය කොටා ගිණි ලා හේනක් හදාගන්න එය බාධාවක් වුනේ නැහැ. අනූව දශකය පමණ දක්වාම මේ ක්රමයේ නෂ්ඨාවශේෂ ලංකාවේ දැකිය හැකිව තිබුණා. මා අයත්වන්නේ එම නෂ්ඨාවශේෂ ඇසින් දුටු අවසන් පරම්පරාවට විය යුතුයි.
අද වන විට ලංකාවම වෙළඳපොළට සම්බන්ධයි. ගනුදෙනු හැමදාමත් සිදු වුනත්, ගනුදෙනු සඳහා මහා පරිමාණයෙන් මුදල් භාවිතා කිරීම හා මුදල් භාවිතයෙන් තොර ජීවිතයක් ගැන සිතිය නොහැකි මට්ටමකට රටම පත් වීම සාපේක්ෂව අලුත් දෙයක්. අනූව දශකයේ සම්පූර්ණ වූයේ මේ පරිවර්තනයයි. ජාතික රාජ්‍ය ආකෘතිය තුළ ධනවාදය මේ අදියරට පැමිණීමත් සමඟ රජය සතු මුදලේ අගය පාලනය කිරීමේ හැකියාව හේතුවෙන් මුළු රටම රජයේ ග්‍රහණයට නතු වීමද නොවැලැක්විය හැකියි. එම තත්ත්වය තුළ රජය හමුවේ වැසියා විශාල අසරණ භාවයකට පත් වෙනවා. රජය කරන වරදකින් පීඩාවට පත් වන වැසියෙකුට පුද්ගලයෙකු ලෙස තනිව කළ හැකි දෙයක් නැතිව යනවා.
නිදහස ලබද්දී ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වගේම, රජය කටයුතු කළේ විනයකට යටත්වයි. දැන් වගේම ඒ කාලයේත් රජයට වියදම් තිබුණා. මේ වියදම් පියවා ගැනීම සඳහා රජය ආදායම් එකතු කළා. බොහෝ විට එය කළේ විනිවිද භාවයක් ඇතුවයි. සල්ලි අච්චු ගසමින් ඇහැට නොපෙනෙන "උද්ධමන බදු" එකතු කළේ නැහැ.
ඉහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ පසුගිය වසර දෙසීයක කාලය තුළ ලංකාවේ රාජ්‍ය ආදායම් හා වියදම්. වියදම ආදායම ඉක්මවූ අවුරුදු රතු පාටින්ද, ආදායම වියදම ඉක්මවූ අවුරුදු කොළ පාටින්ද පෙන්වා තිබෙනවා. ස්ථම්භයේ උස වියදම් හා ආදායම් අතර අනුපාතයයි.
ලංකාවට නිදහස ලැබෙන තුරු බොහෝ වසර වලදී රජයේ වියදම් ආදායම නොඉක්මවූ බව මේ ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව පෙනෙනවා. එයින් අදහස් වන්නේ අයවැය අතිරික්තයක් පැවති බවයි. ඉංග්‍රීසි ආණ්ඩුව මෙසේ එකතු වූ අතිරික්තය ඉතිරි කරමින් ආයෝජනය කළා. ඒ ආයෝජන වලින්ද ආදායම් ලැබුණා. කවර හෝ හේතුවක් නිසා කිසියම් වසරක් තුළ රජයේ ආදායම වියදමට වඩා අඩු වී අයවැය හිඟයක් ඇති වූ විට මෙසේ කලින් ඉතිරි කරගත් අරමුදල් ප්‍රයෝජනයට ගත හැකි වුනා.
විදේශ අංශයේ පැවතියේද මෙවැනිම තත්ත්වයක්. අපනයන වෙනුවෙන් වැය කළේ ආනයනය කර ඉපැයූ විදේශ විණිමයයි. ඉතිරිය විදේශ සංචිත සේ එකතු වුනා. ආනයන වෙනුවෙන් අපනයන ආදායම් ඉක්මවා වියදම් කරන්නට සිදු වූ වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී ලංකාවේ භාවිතා වූ සල්ලි කියන්නේත් ආනයන භාණ්ඩයක්. අපනයන වල හිලවුවට ඉන්දියාවෙන් කාසි ආනයනය කළා. ඒ හැර සල්ලි අච්චු ගසමින් වියදම් කළේ නැහැ. ඒ නිසා, විශාල කාලයක් අපහසුවකින් තොරව විණිමය අනුපාතය ස්ථිරව පවත්වා ගන්න පුළුවන් වුනා.
නිදහසින් පසු මේ තත්ත්වය වෙනස් වුනා. ප්‍රස්තාරය දෙස බැලූ විට වෙනස ඉතා පැහැදිලිව පෙනෙනවා. කේන්සියානු ප්‍රතිපත්ති අනුගමනය කළ එජාප ආණ්ඩු වගේම ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ වාමාංශික ආණ්ඩු විසින්ද එක සේ ආදායම් ඉක්මවා වියදම් කළා. ප්‍රස්ථාරයේ රතු තීරු මිස කොළ තීරු දකින්නට නැත්තේ ඒ නිසා.
දිගින් දිගටම අයවැය හිඟයන් මිස අතිරික්ත නැති වූ විට ටික කලකින් ඉතිරි කරගත් දේ අවසන් වෙනවා. එයින් ලැබුණු පොලී ආදායම්ද අහිමි වෙනවා. ඉන් පසු ණය ගන්න සිදු වෙනවා. ඒ ණය වෙනුවෙන් ගෙවන්න සිදුවන පොලී මුදල් වැය ශීර්ෂයට එකතු වෙනවා. අයවැය හිඟය තවත් ඉහළ යනවා. එය පියවන්න වැඩියෙන් ණය ගන්න වෙනවා. විෂම චක්‍රයක් හැදෙනවා.
රාජ්‍ය අංශයේ මෙවැනි විෂම චක්‍රයක් හැදෙද්දී විදේශ අංශයේද එවැනිම විෂම චක්‍රයක් හැදුනා. එයට හේතු වූයේ 1950දී මහ බැංකුව පිහිටුවීමෙන් පසුව රජයේ අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීමේ විකල්පය කරාද යොමුවීම හේතුවෙන්. රජය විසින් අච්චු ගසා වියදම් කරන සල්ලි ආර්ථිකයට එකතු වෙන්නේ පෙර මෙන් සල්ලි ආනයනය කරන විට සිදු වන ආකාරයෙන් නෙමෙයි. සල්ලි ආනයනය කිරීමට භාණ්ඩ අපනයනය කළ යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වැඩි වෙන්නේ නිෂ්පාදනය වැඩි වුනොත් පමණයි. සල්ලි අච්චු ගැසීමේදී එවැනි සීමාවක් නැහැ.
රජය විසින් අච්චු ගහන සල්ලි මිනිස්සුන්ගේ අතට ගිය විට භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එහිදී ආනයන ඉහළ යනවා. එහෙත් එයට අනුරූපව අපනයන ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. සල්ලි ආනයනය කළ කාලයේ මෙවැනි ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයක් ඇති වීමේ ඉඩක් තිබුණේ නැහැ.
අපනයන ආදායම් ඉක්මවා ආනයන වියදම් ඉහළ ගිය විට එකතු කරගෙන තිබෙන සංචිත අඩු වෙනවා. මෙය දිගින් දිගටම සිදු වන විට සංචිත දිගින් දිගටම අඩු වෙනවා.
ඉහත කරුණට අමතරව නිදහසින් පසු ලංකාවේ විදේශ සංචිත පිරිහෙන්න තවත් කරුණක් බලපෑවා. නිදහසට පෙර වසරින් වසර ලංකාවට විදේශික ව්‍යවසායකයන් පැමිණුනා. ඔවුන් පැමිණුනේ ප්‍රාග්ධනයද අරගෙනයි. නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා මේ අයුරින් රටට විදේශිකයින් පැමිණීම අඩුවුනා පමණක් නොව රටේ සිටි විදේශිකයින් හා සංක්‍රමණිකයන්ගෙන් පැවත ආ අය රටින් පිටව යාමද වුනා. එසේ ගියේ ඔවුන් සතු වූ ප්රාග්ධනය මෙන්ම ව්‍යවසායකත්වයද අරගෙනයි.
නිදහසින් පසු රටේ සිටි විදේශිකයන්ගේ දේපොළ රජය සතු කර ගනිමින් රටේ සිටි ආයෝජකයින්ට රටින් පිටව යාමට සැලසූ ලංකාවට දශක කිහිපයක් යද්දී ආයෝජකයින් රටට ගෙන්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබීමත්, විදේශ විණිමය හොයන්නට රටේ දේපොළ විදේශිකයන්ට විකුණන්නට වී තිබීමත් දෛවයේ සරදමක්.
රජයක් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරමින් හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුනා වගේ වැඩක්. හිඟය පාලනය කරන්න අවශ්‍ය වුවත් එය කරන එක පහසු වැඩක් නෙමෙයි. අයවැය හිඟය පියවන්න විදේශ ණය ගැනීමෙන් ආනයන අපනයන පරතරය හමුවේ සංචිත පහළ යාමේ අමතර ප්‍රශ්නයද තාවකාලිකව විසඳා ගත හැකි වුවත් එයින් සිදු වන්නේ දිගුකාලීන ගෙවුම් ශේෂ උගුලකද හිර වීමයි.
නිදහස ලබන විට විශාල විදේශ සංචිත ප්‍රමාණයක් රටේ ඉතිරිව තිබුණත් දිගින් දිගටම අපනයන ආදායම් ඉක්මවා ආනයන වෙනුවෙන් වියදම් කිරීම නිසා 1964 වන විට ලංකාවේ විදේශ සංචිත රටේ විදේශ ණය ප්‍රමාණයට වඩා අඩු මට්ටමකට වැටුණා. මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. එහෙත්, ඇත්තටම, එනම් ශුද්ධ පදනමකින්, ලංකාව සතුව විදේශ සංචිත තිබුණේ 1963 වන තුරු පමණයි. නිදහස ලබා වසර පහළොවක් ඇතුළත ලංකාවේ බලයේ සිටි ආණ්ඩු රටේ විදේශ සංචිත ටික ඉවර කළා. එතැන් සිට අද දක්වාම අප කතා කරන්නේ ණයට ගත් සංචිත ගැන මිසක් උපයාගත් සංචිත ගැන නෙමෙයි.
ප්‍රමාණවත් සංචිත තිබෙන තුරු ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තබා ගත හැකි වුවත් සංචිත අවසන් වීමෙන් පසුව එය කළ හැකි වූයේ නැහැ. ඒ නිසා, රුපියල අවප්‍රමාණය කරන්න සිදු වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ගන්න සිදු වුනා. හැටේ දශකයේ මැද සිට දිගින් දිගටම මේ වැඩේ කරන්න සිදු වුනා.
සමගි පෙරමුණු රජය දැඩි ලෙස ආනයන පාලනය කළේත්, හැත්තෑ හතේදී ජේආර් බලයට පත් වීමෙන් පසුව රුපියල විශාල ලෙස අවප්‍රමාණය කළේත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. මේ පිළියම් වලින් තාවකාලිකව ගෙවුම් ශේෂ ප්රශ්නය විසඳුනත් දිගින් දිගටම නැවත නැවතත් ප්රශ්නය මතු වුනා. ඒ රෝගයට මිස රෝග නිධානයට පිළියම් නොකෙරුණු නිසයි. රෝග නිධානය වූ අයවැය හිඟය පවතින තුරු ගෙවුම් ශේෂ ප්‍රශ්න වරින් වර මතු වීම නොවැලැක්විය හැකියි.
මතු සම්බන්ධයි.