වෙබ් ලිපිනය:

Tuesday, December 14, 2021

ඉන්දියානු සහන පැකේජය ප්‍රශ්නයට විසඳුමක්ද?


ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත දැඩි අන්තරායකාරී මට්ටමකට පහත වැටී තිබේ. එසේ වුවද, පෙර ලිපියෙන් විස්තර කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේදී පියවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට මහ බැංකුවේ තිබෙන සංචිත ප්‍රමාණවත් බැවින් ජනවාරි අවසානය දක්වා ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානමක් නැත. එහෙත්, ජූලි මාසයේදී පියවිය යුතු ඇමරිකන් ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට තිබෙන සංචිත ප්‍රමාණවත් නොවන බැවින්, කිසියම් ආකාරයකින් සැලකිය යුතු විදේශ ණය මුදලක් ලබා නොගතහොත්, ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වනු ඇත.

මාධ්‍ය වාර්තා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට මේ වන තුරුද ආණ්ඩුව තීරණයක් ගෙන නැති අතර, ශ්‍රී ලංකා රජය ණය පැහැර හැරීමේ අවදානමෙන් බේරා ගැනීමට ඉන්දීය රජය සූදානම්ව සිටී. මේ ඉන්දීය සහන පැකේජය හරහා සිදු වනු ඇත්තේ කුමක්ද? 

ආහාර හා ඖෂධ අර්බුදයට සහනයක් කියා කියන විටම මතක් වන්නේ පූමාලයි මෙහෙයුම වුවත්, සිවිල් යුද්ධයෙන් පසු බොහෝ දුරට අමතක කරනු ලැබ ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය හා යෝජිත ඉන්දියානු විසඳුම් නැවත කාඩ් කුට්ටමේ උඩට පැමිණීම ඇතුළු ආර්ථික නොවන කරුණු අපි දැනට නොසලකා හරිමු. ඉන්දියාවෙන් ලැබෙන ඊනියා සහන වලින් කොටසක්, මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදිම කටයුතු සිදු වුවහොත්, ආයෝජන ලෙස ලැබෙනු ඇත. ඉතිරි කොටස වාණිජ ණය ලෙසත්, මුදල් හුවමාරු ගිවිසුම් යටතේත් ලැබෙනු ඇත. 

ඉන්දීය ආයෝජන වලින් ලංකාවේ ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබෙනු ඇති නමුත් මේ ආයෝජන ක්ෂණිකව හෝ දිගුකාලීනව ලංකාවේ ගෙවුම් ශේෂ හිඟයට පිළියමක් නොවනු ඇත. එමෙන්ම, මෙකී ආයෝජන වහාම සිදු වේයැයි සිතිය නොහැකිය. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට ක්ෂණික පිළියමක් විය හැක්කේ අදාළ ආයෝජන සිදු කිරීමේ ආරම්භක පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය සතු කවර හෝ භෞතික සම්පතක් ඉන්දීය සමාගමකට විකිණීමෙන් ක්ෂණිකව ලැබෙන මුදලක් පමණි. එවැනි විකිණීම් කොපමණ සිදු වනු ඇත්ද, ඒ හරහා කොපමණ මුදලක් ලැබේද යන්න ඉදිරි මාස කිහිපය හෝ වසර තුළ දැන ගන්නට ලැබෙනු ඇත. ඒ හැර, ආයෝජන සේ පැමිණෙන වෙනත් මුදලක් වේනම්, ඒ මුදල් නැවත ඉන්දියාවටම යනු ඇත. ලංකාවට පැමිණෙනු ඇත්තේ එම මුදල් වල වටිනාකමට සරිලන ආයෝජන භාණ්ඩයි.

වාණිජ ණය හේතුවෙන්ද ලංකාවට සෘජුව විදේශ විණිමය ගලා නොඑනු ඇත. මේ ණය මුදල් වලින් කළ හැක්කේ ඉන්දියාවෙන් ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය කිරීමයි. වෙනත් අයුරකින් කිවහොත්, ඉන්දියාව කරන්නේ පසුව මුදල් අය කර ගැනීමේ පදනම මත ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයීමයි. පාලනය කර තිබෙන විනිමය අනුපාතය යටතේ මෙසේ ඉන්දියාවෙන් ලැබෙන ආහාර, ඖෂධ හා ඉන්ධන ලාංකිකයින් විසින් සතුටින් පරිභෝජනය කරනු ඇති අතර ඒ වෙනුවෙන් පොලියද සමඟ මුදල් ගෙවීම අනාගතයට ඉතිරි වනු ඇත. බොහෝ විට මේ අනාගතය එතරම් දුරු අනාගතයක් විය නොහැකි අතර වැඩිම වුනොත් වසර කිහිපයක් වනු ඇත.

මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලැබෙන්නේ ඉන්දියානු රුපියල්ද එසේ නැත්නම් ඩොලර්ද යන්න නිශ්චිතව සඳහන් වී නැත. බොහෝ විට මෙසේ ලැබෙන්නේ ඉන්දියානු රුපියල් විය හැකිය. ඒ අනුව, එම මුදල් යොදා ගත හැකි වනු ඇත්තේද ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවීමට පමණි. අවසාන වශයෙන් මේ ඉන්දීය සහන පැකේජය හරහා ලැබෙන එක් සතයක් හෝ මුදල් ලෙස ලංකාවට නොලැබීමට ඉඩ තිබේ. 

චීනය විසින් මීට කලින්ම මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලංකාවට ඩොලර් බිලියන 1.5කට පමණ සමාන යුවාන් ප්‍රමාණයක් ලබා දී ඇතත්, ඒ මුදල්ද මුදල් ලෙස ලංකාවට නොලැබෙන ණය පහසුකමක් පමණි. අදාළ මුදල් ප්‍රයෝජනයට ගත හැක්කේ චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා චීන ණය ගෙවීමට පමණි. දැන් ඉන්දියාව විසින් ලබා දී තිබෙන්නේද එවැනිම විකල්පයකි.

කෙසේ වුවද, මෙයින් අදහස් වන්නේ මේ සහන පැකේජ වලින් ලංකාවට ප්‍රයෝජනයක් නැති බව නොවේ. 

සංක්ෂිප්ත කිවහොත්, ලංකාවට වෙළඳ ගිණුම හරහා ඩොලර් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙනි. ඉන්දියාව හා චීනය විසින් පසුගිය කාලය තුළම කළේ අපනයන හරහා එසේ ලංකාවට බටහිර රටවලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය එකතු කර ගැනීමයි. චීන මුදල් හුවමාරු ගිවිසුම හා යෝජිත ඉන්දීය සහන පැකේජය නිසා තාවකාලිකව ඉන්දියාව හා චීනය විසින් ලංකාවට බටහිරින් ලැබෙන ඩොලර් එකතු කර ගැනීම නවතිනු ඇත. එහිදී බටහිර රටවලින් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස මැද පෙරදිගින් ලැබෙන ඩොලර් වලින් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ ණය ආපසු ගෙවීම සඳහා රට තුළ ඉතිරි වනු ඇත. මෙය ප්‍රශ්නයට තාවකාලික විසඳුමකි. 

සියල්ල මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි සිදු වුවහොත්, මේ හරහා ජූලි මාසයේ ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ ප්‍රශ්නය විසඳෙනු ඇති අතර, ඇතැම් විට ලබන වසර අවසානය දක්වාම ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කර ගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත්, එපමණකින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

ආකෘතිමය ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් පවතින තාක් එම ශේෂය විදේශ ණය වලින් පියවන්නට සිදු වන නිසා මේ අයුරින් වරකට ලැබෙන සහන පැකේජයකින් සිදු වන්නේ තාවකාලිකව ප්‍රශ්නය කල් දමාගෙන හුස්මක් ගන්නට ඉඩක් ලැබීම පමණි. යම් ආකාරයකින් ඉදිරි වසර කළමණාකරනය කර ගත්තද, එතැනින් ඔබ්බට ඉදිරියට යන්නටනම් කොහෙන් හෝ දිගින් දිගටම මේ ආකාරයේ සහන පැකේජ ලැබිය යුතුය. එහෙත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් නැතුවාක් මෙන්ම ඉතා ඉක්මණින් මෙසේ අලුතෙන් ලබා ගන්නා ණයද ගෙවා දමන්නට සිදු වනු ඇත. එතරම් ඉක්මණින් මැතිවරණයක් නොපැමිණෙන බැවින් ප්‍රශ්නය තවදුරටත් මේ ආණ්ඩුවේම ප්‍රශ්නයක්ව පවතිනු ඇත.

ඉහත සන්දර්භය තුළ, ඉන්දීය සහන පැකේජය ලැබුණේ වුවද, එයින් පවතින තත්ත්වය බරපතල ලෙස වෙනස් නොවනු ඇත. මේ අලුත් තත්ත්වය යටතේ වුවද, මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට සිදුවීම ආසන්න අනිවාර්යතාවයකි.

27 comments:

  1. කොහෙවත් සඳහනක් දැක්කේ නැති සිල්ලර දෙයක් කියන්න හිතුනා.
    මීට අවුරුද්දකට කලින් ශ්‍රී ලංකාවේ තිප්පිලි ග්රෑම් 100ක් රුපියල් 300/-යි. දැන් 600/-යි.
    පෙරුම්කායම් කැටයක් රුපියල් දහයට තිබුනේ. දැන් තිහයි!

    ReplyDelete
    Replies
    1. මේවා කෝවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා කිසියම් ආකාරයකින් යොදා ගැනෙනවද?

      Delete
  2. ඔබගේ අත්දැකීම අනුව මේවගේ දරුණු FX අර්බුදයකට ලක්වී IMF නොගොස් නැවත recover වුනු රටවල් ලෝකයේ තිබෙනවද? 1997 Asian currency අර්බුදයේදී එම රටවල් domestic solution එකකින්ද ආර්ථිකය රැක ගත්තේ?

    ReplyDelete
    Replies
    1. එවැනි අවස්ථා තිබෙනවා. ආසියානු ආර්ථික අර්බුදය හමුවේ තායිලන්තය, දකුණු කොරියාව හා ඉන්දුනීසියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියත් මැලේසියාව ගියේ නැහැ. මැලේසියාව ආර්ථිකය රැක ගත්තේ "දේශීය විසඳුමකින්" කියා කිව හැකියි. ඒ වගේම, ඒ විසඳුම අරමුදලේ විසඳුමට සාපේක්ෂව සාර්ථක විසඳුමක් වූ බව පොදු පිළිගැනීමයි. විදේශ අංශයේ අර්බුදයක් ඇති විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවනවා මෙන්ම ඇතැම් විට එය කළ යුතු හොඳම දෙය නොවන්නටද පුළුවන්. එහෙත්, මේ ප්‍රවේශය වලංගු වන්නේ වඩා හොඳ විසඳුමක් ඇත්නම් පමණයි. ආසියානු අර්බුදයට හා ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු වල වෙනස්කම් සැලකූ විට ලංකාවේ පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "පොතේගුරු" විසඳුම හා ගැලපෙන තත්ත්වයන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියත් නොගියත් ලංකාවට කරන්න වෙන්නේ අරමුදල විසින් යෝජනා කිරීමට ඉඩ තිබෙන ආකාරයේ දේවල්.

      Delete
    2. ඒ වුණාට ඉකොනොමැට්ටා ලංකාව මේ දක්වා 16 වතාවක් අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් වලට ගිහින් තියෙනවා නේද? ඒකෙන් ඇත්තටම ලංකාවෙ ආර්ථිකයට වැඩක් වෙලා තියෙනවා ද කියලා ගැටළුවක් තියෙනවා.

      හැබැයි ලංකාවේ මහාචාර්ය අතුකෝරාළ වගේ මහාචාර්යවරුන් අයි එම් එෆ් ගිය කාලවල ලංකාවේ ආර්ථිකය අනෙක් කාලවලට වඩා චුට්ටක් වර්ධනය වෙලා තියෙනවා කියල පර්යේශණ වාර්තා පවා හදලා නිකුත් කරලා, හැබැයි කවුරුවත් ඒවා ගැන පොසිටිව් විදියට බලන්නේ නෑ මොකද මම හිතන්නේ ඒවාත් අර කබ්‍රාල්ගේ මහ බැංකු වාර්තා වගේ වෙන්න ඇති.

      ගෝලීය වශෙයෙන් ගත්තම කෙසේවත් අයි එම් එෆ් ප්‍රෝග්‍රෑම් එකකට ගිය පළමු රට ලංකාව නොවේ. ඇත්තටම ලංකාවත් යුද්ධය කාලෙ මේ වගේම 2009 ආර්ථික අර්බුදය සමගම ලංකාව බරපතළ විදේශ මුදල් හිඟයකට මුහුණ දී නන්නත්තාර වුණ වෙලාවේ රට පාලනය කරපු මැදමුලනේ නාකි මයිනාත් (මහින්දත්) යූ.එන්. පී. එකෙන් පැනපු රනිල්ගේ ආර්ථික ප්‍රති පත්ති විස්වාස කරපු කබරයගේ උපදෙස් පිට ඒ කාලෙත් ඒ වගේ IMF program එකකට ගියා මතකයි නේද? මේ තාක් ඉතිහාසයේ ලංකාවේ විශාලතම IMF program එක තමයි ඒක, එවකට පැවති රජයේ හිටපු මිලින්ද මොරගොඩලා පොර ටෝක් නහුතෙට ඉශූ කළත් දැං ඒකෙන් හොදක් උනාද? ඩොලර් බිලියන 2.5 ක් වූ ලංකාවේ 2009 - 2012 අයි එම් එෆ් වැඩපිළිවෙළින් වුණේ රු. 106 ට තිබ්බ ඩොලර් එක 2012 වෙද්දී රු. 124 ක් විතර වැඩිවෙලා හැම දේම ගිණි ගණන් ගිහින් 2013 /14 පමණ වෙද්දී ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා ගිහින් පිරිහෙච්ච එක. ඒ කාලේ බ්ලොග් බැලුවත් තේරේවි අධික ලෙස ආනයන වල මිල වැඩි වීම සහ බදු අය කිරීම නිසා ඒක වෙච්ච බව.

      2015 ආණ්ඩුව වෙනස් වීම සමග 2015 ජනවාරි මුල්ම අයවැය මගින් ආනයන කල පෙට්රල් රු. 150 සිට 117 දක්වා අඩුකර ආනයනික තිරිඟු පිටි, පරිප්පු ටින් මාලු ආදී ආනයන භාණ්ඩ වල අධික ආනයන බදු අඩු කරලා මිල අඩු කර ඒවා ප්‍රවර්ධනය කිරීම නිසා දේශීය නිෂ්පාදිත සහ ග්‍රාමීය කෘෂි ආර්ථිකය බිඳ වැටීම සමග නාගරික පළාත් වල එය ජනප්‍රිය වුණාට ගම්බද පළාත් වල කෘෂි ආර්ථිකය බිඳ වැටීම සමග ග්‍රාමීය ජනයා අපේක්ෂා භංගත්වයට පත්වූ අතර ඊට ප්‍රතිචාර ලෙස 2018 මංගල සමරවීර ඇතුළු පිරිස විදේශ ණය වලින් ආරම්භ කරපු ගම්පෙරළිය Vision 2025 වැඩසටහනත් නොසිතූ පරිදි ෆේල් වෙලා ගියා. 2015 රජයේ සේවකයන්ට වැටුප් අධික ලෙස වැඩි කිරීමෙන් 2017 විතර වෙද්දි ආපහු බදු අධික ලෙස වැඩි කිරීමෙන් පෞද්ගලික අංශයේ විශාල ප්‍රමාණයේ පීඩනයක් ඇති වුණා. ව්‍යාපාර කරගෙන යන්න බැරිව වැහිලා ගියා. පෞද්ගලික අංශයේ රැකියා විරහිත වී රැකියා ලක්ෂයක් පමණ අඩු වූ බව පැවසුණා.

      ඒ වගේම 2015 වෙද්දි රනිල්ගේ වාසනාව නිසා 2014 දෙසැම්බර් වල පටන් අරන් 2018 විතර වෙනකම් ලෝක තෙල් මිල ගෑස් මිල සහ ඒ ආශ්‍රිත අනෙක් නිශ්පාදනවල ගෝලීය මිල ගණන් ඉතාමත් විශාල ලෙස පහළ ගිය එකෙන් තාවකාලිකව බඩුමිල පහළින් තියා ගත්තත් 2018 විතර වෙද්දි වැඩේ ගැස්සිලා ඒ පිරමිඩ් එකටත් කෙළවෙලා ගියා. ඇත්තටම අයි එම් එෆ් ගැන මාතෘකාවට ආයෙත් ආවොත් යුක්රේනය, ග්‍රීසිය, පෝලන්තය ඉන්දුනීසියාව ආදියත් මෑත කාලයෙ එකකට අය් එම් එෆ් බේලවුට් එකකට ගියපු රටවල්. ඒව දැං ගොඩද? ඉන්දුනීසියාව ඩොලර් බිලියන 43 ක පැකේජ් එකකට ගියා, පකිස්තාන් මාසයක ඇතුලත ඩොලර් බිලියන් 6 ක පැකේජ් එකකට ගිගින් ඓතිහාසික ලෙස පකිස්ථාන් රුපියල අවප්‍රමාණය කරගෙන දැනටමත් චොර වෙලා ඉන්නවා.

      ලෝකයේම වඩාත් සුපර්හිට් එකක් වූ අයි එම් එෆ් වැඩසටහන කරපු ග්‍රීසිය අන්තිමට අයි එම් එෆ් එකෙන් ගත්තු ණය ටික පවා ණයත් ගෙවන එක කරන්න බෑ කිව්ව. ඒක පහු ගිය කාලේ පුරාම මහ ලොකු කේස් එකක් විදියට පත්තු වෙලා හෙනම කචල් එකක් උනා නේද? චෝදනාව උනේ අයි එම් එෆ් එක ගෝලීය ධනවත් බලවත් පෞද්ගලික බැංකුවලට අතිශය වාසි සහගත වෙන වෙන විදියට IMF වැඩසටහනේ කොන්දේසි ග්‍රීසිය තව තවත් හිර කරා කියන එකයි.

      ඇත්තටම අයි එම් එෆ් බේලවුට් (IMF Bailout) එකකට ගිහිල්ල 'ගොඩ ගිය' බංකොලොත් වෙන්න ඕන්න මෙන්න තිබ්බ රටවල් වලට උදාහරණයක් දෙන්න පුළුවන්ද? ඍජුවම IMF ආධාර උපකාර වලින් පමණක් සංවර්ධිත රටක් හැටියට ගොඩ ගිය අඩු ආදායම්/ පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටවල් මොනවද? මට නම් එහෙම කිසිම රටක් පේන්නේ නෑ.

      නමුත් ලංකාවටත් දැන් ඉතින් කිසිම විකල්පයක් නැති නිසා ආයේ IMF වැඩසටහන් ක්‍රියාත්මක කරලා තවත් ගොඩ යා නොහැකි විෂම චක්‍රයක හිරවෙන ගතියක් තියෙනවා නේද?

      Delete
    3. //ඇත්තටම අයි එම් එෆ් බේලවුට් (IMF Bailout) එකකට ගිහිල්ල 'ගොඩ ගිය' බංකොලොත් වෙන්න ඕන්න මෙන්න තිබ්බ රටවල් වලට උදාහරණයක් දෙන්න පුළුවන්ද?//

      //ඒ වුණාට ඉකොනොමැට්ටා ලංකාව මේ දක්වා 16 වතාවක් අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් වලට ගිහින් තියෙනවා නේද? ඒකෙන් ඇත්තටම ලංකාවෙ ආර්ථිකයට වැඩක් වෙලා තියෙනවා ද කියලා ගැටළුවක් තියෙනවා.//

      පිළිතුර ඔබේ ප්‍රතිචාරය තුළම තිබෙනවා. ලංකාවම ගත්තත් 16 වතාවක් බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තිබී ගොඩ ගිහින් තියෙනවා. ඒ එක වරක්වත් රුපියල පාලනයකින් තොරව කඩා වැටුනේ නැහැ.

      Delete
    4. ලංකාවේ ආර්ථිකය මේ මුහුණ දී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ වැඩසටහනක් අනුගමනය කිරීම සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ලංකාවේ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෝ සියලු දෙනාම පාහේ ආණ්ඩුවට උපදෙස් දී ඇත. මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය ප්‍රේමචන්ද අතුකෝරාළ, මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, ආචාර්ය සරත් රාජපතිරණ සහ ආචාර්ය ඩබිලිව්.ඒ. විජේවර්ධන යන IMF සහ ඒ හා සමාන බටහිර රටවල ආධාර වැඩසටහන් වල උපදේශක තනතුරු දරන ආර්ථික විද්වත්හු ඒ අතර වෙති. අඩුම පිරිවැයක් ඇති වඩාත් වැඩි ප්‍රතිලාභයක් ඇති විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම යැයි බොහෝ ආර්ථික විද්වත්හු සහ මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නමුත් ආණ්ඩුවේ උපදේශකයන් සිතන්නේ එහි අනෙක් පැත්තෙන්, ඒ උනාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීම වේදනාව අඩු වඩාත් වාසිදායකම විසඳුම බව කොළඹ ආර්ථික සමුළුව අමතමින් මහ බැංකුවේ හිටපු අධිපති කුමාරස්වාමි පැවැසීය. විදේශ මූල්‍ය දැනට තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමටත් ණය නැවත ව්‍යුහගත කිරීමටත් (Restructure) ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සලකා බැලිය යුතු බව ඔහුගේ අදහසයි.

      මේ සඳහා ඉන්දීය ආයෝජන පැකේජ් එකක් ගන්නවා නම් ඉන්දීය රජයේ මූල්‍ය වගවීම (Accountability) සහ ප්‍රඥාව (Wisdom නුවණක්කාර බව) මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යා යුතු යැයි කොන්දේසියක් පැනවීමේ ඉඩක් තියෙනවා. මොකද ඉන්දියාවේ අදාළ ආධාර පැකේජය ලබාගැනීමට නම්, කොන්දේසියක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු වේවි ඉදිරියට, ඒ වගේම තමයි මුදල් හුවමාරු ගිවිසුමටත් (currency swap) එය අදාළ වේවි. එමෙන්ම ලංකාව තුළ කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් ද කොන්දේසි ඉදිරිපත් වනු ඇති අතර ඒවා සම්බන්ධයෙන් තවමත් එකඟතාව පළ වී නැති නිසා ඉස්සරහටබලන්න ඕන.

      මේ වෙලාවේ ලංකාවට අවශ්‍යයෙන්ම කළ යුතු දේ ලංකාවේ දුර්වල විදේශ මුල්‍ය (බාහිර මූල්‍ය) ත්ත්වය මඟ හරවා ගැනීමට නම් ඉන්දියාවෙන් ප්‍රමාණවත් මූල්‍ය සහාය ලබාගත යුතු නිසා ඉන්දියාවෙන් ලබාගන්නා මූල්‍ය සහායෙන් දැනට පවතින ආහාර, ඖෂධ, පෙට්‍රෝලියම්, ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවසන් කළ හැකි වේවි.

      එහෙම උනොත් ලංකාව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරුවක් (currency swap) සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයන සඳහා ණය පහසුකමක් (credit Line) ඉල්ලා තියෙන හින්දා රට දැනට මුහුණ දී තිබෙන දුර්වල විදේශ මූල්‍ය තත්ත්වයෙන් සහ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනාදියේ හිඟය අවසන් කිරීමට එම මුදල් ප්‍රමාණවත් වේවි.

      Delete
    5. නමුත් මේ මුදල් හුවමාරු ගිවිසුමෙන් (currency Swap) ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරු පහසුකම මීට කලකට පෙර ඉල්ලපු එකක් ඒත් එය සිදුවන බවක් පෙනෙන්නට නොතිබුණේ ඇතැම් විට ඉන්දියාව ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියපු හින්දා වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන් ලබාගන්නා ණය ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇප ණය පැකේජෙයක් (IMF Bailout Package) ලබාගැනීමට එකඟතාව පළ කරන්න කියලා ඉන්දියාව ලංකාවට අවධාරණය කරයි අනිවාර්යයෙන්ම. ලංකාවේ විදේශ මුල්‍ය Foreign Exchange මේ වන විට ඉතා අවදානම් සහගත ලෙස අඩු වෙලා නිසා මේ මොහොත්තේ දී අපට ද ඉන්දියාව කියා සිටින ඕනෑම කොන්දේසියකට එකඟ වීමට සිදු වේවි. උපායමාර්ගික කර්මාන්ත සහ සේවාවල කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් අපට එකඟතාව පළ කිරීමට සිදුවනු ඇති වුණත් මේක උපකාරි නමුත් ප්‍රමාණවත් නැහැ. ඇත්තටම ඉන්දියාවෙන් මේ ලැබෙන ආධාරය කෙටි කාලීන සහනයක් නිසා රටේ විදේශ මූල්‍යයේ තිබෙන මූලධාර්මික දුර්වලතාව විසදෙන්නේ නැති නිසා අප, විදේශ මූල්‍යයේ තිබෙන දුර්වලතාව විසඳා ගැනීමටත් ඉදිරි මාස 12ක කාලයේදී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් විතර විදේශ ණය නැවත ගෙවීමේ වගකීම් ඉටු කිරීමටත් හැකි වන ආකාරයේ ප්‍රමාණවත් සහ ප්‍රායෝගික විසදුමක් සෙවිය යුතුමයි.

      IMF has utterly failed to achieve the objective of eliminating exchange controls and trade restrictions. It has not succeeded to restrictions on foreign trade of member countries. In the present era, even the most developed countries like USA and UK are adopting protective policies in the field of trade.


      https://www.aljazeera.com/economy/2021/10/26/world-bank-turns-down-imf-bosss-appeal-to-defend-herself-report


      https://www.telegraph.co.uk/business/2016/07/28/imf-admits-disastrous-love-affair-with-euro-apologises-for-the-i/


      https://www.wsj.com/articles/BL-SNB-209


      https://www.theguardian.com/business/2013/jun/05/imf-underestimated-damage-austerity-would-do-to-greece


      https://www.ft.com/content/c5dddd48-d414-11e2-a464-00144feab7de


      https://www.aljazeera.com/program/the-bottom-line/2021/9/30/whats-behind-the-world-bank-scandal-of-country-rankings

      කෙසේ වෙතත් ලබන 2022 වසරේදී ලංකාවේ ණය හා ණය වාරික ගෙවීමට ඩොලර් බිලියන 5ක් පමණ අවශ්‍යය. කොපමණ ආනයන සීමා දැම්මත් ලංකාවේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10කි. දළ වශයෙන් මේ අනුව අපට ලබන අවුරුද්දේදී ඩොලර් බිලියන 14ක් අවශ්‍ය වේ. ඩොලර් බිලියන 14ක් අපට ලැබෙන්නේ කෙසේ ද? කබරයා ගේ රෝඩ් මැප් හෝම්ග්‍රෝන් සැලසුමේ මේ ගැන සඳහන් විය යුතු නමුත් මට නම් එහෙම මගුලක් හොයාගන්න බැරි වුණා. තව ටිකක් මේ ගැන විස්තර කරන්න පුළුවන්ද?

      Delete
  3. https://www.news19.lk/50-lands-in-main-cities-to-foreign-investors/

    මේ තියෙන news එක අනුවනම් විදේශ මුදල් ගැටලුව කෙටිකාලීනව විසිදිලා වගෙයි මට පෙනේනේ. සමහර විට 2024 වෙනකම්ම අදින්න පුළුවන් වෙයි.

    ReplyDelete
  4. ළඟදී කොළඹ තිබුණ ආර්ථික සමුළුවේ දී මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දුන් පරිදි ප්‍රමාණවත් විදේශ මූල්‍ය මඟින් සහනයක් ලබාදෙන්නේ ගෙවුම් ශේෂයේ දැනට ඇති හිඟයට පමණක් නොවේ. ඉදිරී වසර දහයක් පුරාවට කාලයේදී හැම වසරේම වාර්ෂිකව ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන පහකට වඩා වැඩි ණය ගෙවීමට ද පහසුවක් සලසා ගන්න ක්‍රමයක් අවශ්‍යයි.

    මේ නිසා විදේශ මුල්‍යයේ තිබෙන අභියෝගයට පිළියම සෙවීම සඳහා දැනට මධ්‍යකාලීන විසඳුමක් අවශ්‍ය බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කළා, ඒ සඳහා රටටම වේදනාකාරී නොවන විසඳුමක් නොමැති බව ද ඔහුගේ අදහස, මේකට අපිට ක්‍රමයක් හොයාගන්න වෙනවා, හැබැයි අපට වේදනාව පුළුවන් තරමට අඩු ක්‍රමයක් හොයාගන්න වෙනවා.

    මේ නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ගෙවුම් ශේෂයට සහයෝගය දක්වා ගන්න ලෝක බැංකුව IBRD, ඉන්ටර්-ඇමෙරිකන් ඩිවලොප්මන්ට් බෑන්ක් (IDB), ආසියානු සංවර්ධන බැංකුව ADB හෝ ද්විපාර්ශ්වය ප්‍රදාන Donation එකකින් හෝ දෙකකින් ඍජු මූල්‍ය හෝ අයවැය සහාය ලබාගැනීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය ශ්‍රී ලංකාවේ ණය විශ්වාසී බව (Credit confidence/ credit ratings ණය දීමට සුදුසු/ ණය ලබාගැනීමට සුදුසු) අගය ඉහළ දමාවි, එමඟින් ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳපොළට වඩා පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබෙයි කියල හිතනවා.

    ReplyDelete
  5. ළඟදී කොළඹ තිබුණ ආර්ථික සමුළුවේ දී මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දුන් පරිදි ප්‍රමාණවත් විදේශ මූල්‍ය මඟින් සහනයක් ලබාදෙන්නේ ගෙවුම් ශේෂයේ දැනට ඇති හිඟයට පමණක් නොවේ. ඉදිරී වසර දහයක් පුරාවට කාලයේදී හැම වසරේම වාර්ෂිකව ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන පහකට වඩා වැඩි ණය ගෙවීමට ද පහසුවක් සලසා ගන්න ක්‍රමයක් අවශ්‍යයි.

    මේ නිසා විදේශ මුල්‍යයේ තිබෙන අභියෝගයට පිළියම සෙවීම සඳහා දැනට මධ්‍යකාලීන විසඳුමක් අවශ්‍ය බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කළා, ඒ සඳහා රටටම වේදනාකාරී නොවන විසඳුමක් නොමැති බව ද ඔහුගේ අදහස, මේකට අපිට ක්‍රමයක් හොයාගන්න වෙනවා, හැබැයි අපට වේදනාව පුළුවන් තරමට අඩු ක්‍රමයක් හොයාගන්න වෙනවා.

    මේ නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ගෙවුම් ශේෂයට සහයෝගය දක්වා ගන්න ලෝක බැංකුව IBRD, ඉන්ටර්-ඇමෙරිකන් ඩිවලොප්මන්ට් බෑන්ක් (IDB), ආසියානු සංවර්ධන බැංකුව ADB හෝ ද්විපාර්ශ්වය ප්‍රදාන Donation එකකින් හෝ දෙකකින් ඍජු මූල්‍ය හෝ අයවැය සහාය ලබාගැනීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය ශ්‍රී ලංකාවේ ණය විශ්වාසී බව (Credit confidence/ credit ratings ණය දීමට සුදුසු/ ණය ලබාගැනීමට සුදුසු) අගය ඉහළ දමාවි, එමඟින් ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳපොළට වඩා පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබෙයි කියල හිතනවා.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා,

    ලංකාවේ දූෂිත අකාර්යක්ෂම දේශපාලන තත්වය යටතේ සිදු වූ ක්‍රියාදාමය දෙස බැලීමේදී 77න් පසු ලංකාවේ ආර්ථිකය විකාශනය වී ඇති ආකාරය විමසද්දී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ලංකාවෙ සමස්ත ඉපැයීම්වලටත් වඩා පරිභෝජනය ඉහළ යාමය. කාලයක් තිස්සේ ලංකාවේ සිව් දෙනකුගෙන් යුතු පවුලක් සාමාන්‍යයෙන් මාසිකව රුපි. 55,000.00 ක භාණ්ඩ හා සේවා පරිභෝජනය කරති. 2022 දී මෙය රුපියල් හැටදහසක් යැයි උපකල්පනය කළහොත් වසරකට වැය වන මුදල රුපියල් හත්ලක්ෂ විසි දහසකි. මෙය ඩොලර්වලින් බැලුවොත් ලංකාවේ පවුලක වාර්ෂික පරිභෝජන මට්ටම ඩොලර් 3,600කි. ලංකාවේ පවතින පවුල් ලක්ෂ 60න් එය වැඩි කළ විට ආසන්න වශයෙන් ලංකාවේ වාර්ෂික පරිභෝජන මට්ටම බැලිය හැකිය. එය ඩොලර් බිලියන 20ක් යැයි උපකල්පනය කරමු.

    නමුත් අනික් පැත්තෙන් ලංකාවේ මුළු ජාතික නිෂ්පාදනය ඇසුරෙන් මේ ගණන් හැදීම් කළ විට ලැබෙන්නේ වෙනත් පිළිතුරකි. ලංකාවේ මුළු ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 80කි. එයින් ආයෝජන සඳහා සියයට 25%ක් (US$ 20B) වැය වේ. එනම් ඉතිරි ඩොලර් බිලියන 60 වැය වන්නේ පරිභෝජනයට බවය. එවිට ඉහත අප ගණන් හදා බැලූ විට පැමිණි පිළිතුර වූ ඩොලර් බිලියන 20 හා මේ සැබෑ පිළිතුර වූ ඩොලර් බිලියන 60 අතර ඇත්තේ විශාල පරතරයකි. මේ සා විශාල පරිභෝජනයක් කරන්නෝ කවරහු ද? මේ නම් සාමාන්‍ය මිනිස්සු නම් විය නොහැකිය. ඔවුහු නම් මේ සමාජයේ දේශපාලන හා ආර්ථික බලය ඇතුළුව වෙනත් ආකාරයේ බල ව්‍යුහ ගොනු කරගෙන ජීවත් වන පිරිසකි. මේ නිසා සැබැවින්ම ලංකාවේ ආර්ථික අර්බුදයේ පතුළේ ඇති එක් ප්‍රධාන කතාවක් වන්නේ මෙකී සීමිත පිරිසේ/ මිලියනක දෙකක පමණ පිරිසේ අසීමිත අධිපරිභෝජනවාදී ජීවන විලාසයයි.

    මූලික වශයෙන්ම ඉතිහාසයට ගිය විට මේ ආර්ථික කණ්ඩායම මුලදී යැපුණේ ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රදාන ආර්ථික මාදිලියෙනි. එනම් UK, EU, කැනඩා, ජපානය ආදී රටවලින් ව්‍යාපෘති සඳහා ලැබුණු මූල්‍යාධාර මත 80 දශකයේ අධික ලෙස විදෙස් ණය මගින් කෘත්‍රිමව බුබුලක් මෙන් නැංවූ ලංකාවේ පිම්බුණු ආර්ථිකය ජේ.ආර්. ජයවර්ධන විසින් සකස් කරනු ලැබුවේ ද මේ ප්‍රදාන (ඩොනේශන්ස්) ආර්ථික මාදිලියෙනි. 1980න් පසුව ක්‍රමානුකූලව අප ගමන් කළේ ප්‍රදාන ආර්ථිකයෙන් විතැන්ව ණය (ඩෙබ්ට්) ආර්ථිකයටය.

    මෙහෙම ගිහින් දැන් සිදුව තිබෙන්නේ ප්‍රදානවල (Donations/ Grants) අඩු වීමක් සමග ඒ ගමන යන්නට මුදල් මදි වීමය. මේ වැරැද්ද නිවැරැදි කිරීමට නම් ලංකාවේ ආර්ථිකය විදේශ ණය හෝ ප්‍රදාන මත නොරඳන පරිදි අපේ සැබෑ ආදායම මත පදනම්වූ අරටුවකින් යුතුව ශක්තිමත් කළ යුතුය. ඊළඟට එම සැබෑ ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කර එමගින් සමස්ත රටේ පරිභෝජනය ආදායමට සමගාමීව වැඩි කර ගැනීමේ ගැටළුවක් නැත.

    මේ නිසා එය කිසියම් ආකාරයකට ජාතික සැලැස්මක් සහිත අරටු බැහැපු ස්ථාවර ආර්ථික මාදිලියක් විය යුතුය. එසේ නැතිව නම් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ලොතරැයියක් ඇදීම වැනි අපූරු වැඩකිනි. නිදසුනකට ආණ්ඩුවේ ලොකු අපේක්ෂාවක් වන වරාය නගරයට බලාපොරොත්තු වන ආයෝජන පැමිණීම දැක්විය හැකිය. එය එසේ වුවහොත් ඩොලර් බිලියන 25ක පමණ ආයෝජන පැමිණි යුතුය. හදිසියේවත් එයින් අඩක් ලැබුණොත් ආර්ථිකයට යම් සහනයක් ලැබිය හැකිය. නොඑසේ නම් මේ ආර්ථික ගොඩගැනීමට නම් අප ණය නැවත නොගෙවිය යුතුය. නිශ්චිත කලක් යනතුරු නැවත නොගෙවන බවට ඒකපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික එකඟතාවලට පැමිණිය යුතුය. මන්දයත් 2025 පමණ වනතුරු සෑම වසරකදීම ඩොලර් බිලියන 4.5 - 5 ක් පමණ ණය ගෙවීමට අපට අවශ්‍යය. එවැනි මුදලක් ගෙවීමට නම් අපේ විදේශ ප්‍රේෂණ විශාල වශයෙන් ඉහළ ගොස් ආනයන අපනයන පරතරය අඩු කරගත යුතුය. නිශ්චිත ප්‍රතිපත්ති මත පදනම් වූ ජාතික ආර්ථිකයකින් මිස මේ තත්ත්වයට විසඳුම් ඇතැයි මම සිතන්නේ නැත. එහෙත් ආණ්ඩුකරණය සිදුවන ආකාරය අනුව නම් එවැනි වටහා ගැනීමක පාලකයන් සිටින බව පෙනෙන්නේ ද නැත.

    ලංකාව වෙළෙඳ ආර්ථිකයකින් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු යැයි මුදල් ඇමැතිවරයාම කියතත් ඔහු කියන ඒ ගමන යෑම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති 2022 අයවැය ලේඛනයේ හෝ ආණ්ඩුවේ වැඩපිළිවෙළින් පෙන්නුම් කරන්නේ නැති එක විහිළුවක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ වන විට ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ත්‍රිමූර්තිය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන ආර්ථික තීරණ ගන්නා තුන්හුලස් ත්‍රිත්වය විශ්වාස කරන්නේ මූල්‍ය අරමුදලට නොගොස් ගෙදර හදාගන්නා හෝම්ග්‍රොව්න් විසඳුමක් වඩාත් සුදුසු බවයි. 2022 අයවැය විවාදයේ අවසන් කතාවේදී ලබන වසරේ ගෙවිය යුතු ණය මුළුමනින්ම ගෙවීමට තමා පොරොන්දු වන්නේ යැයි ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වේ එම විශ්වාසයෙනි. එහෙත් කිසිවකු හෝ මේ ගෙදර හදාගන්නා සැලසුම කුමක්දැයි ඇසුවොත් එය පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ලොවෙත් නැහැ නේද?

      හැබැයි මේකෙදි ලබන වසරේදීත් වාහන ආනයනය නොකිරීමේ තීරණය මේ පිළිවෙත ගැන එක් සලකුණකි. රාජ්‍ය සේවයට අලුතින් බඳවා නොගැනීමේ තීරණයෙන් ලොකු විදේශ විනිමයක් ඉතිරි වන්නේ නැතත් රජයේ දේශීය වියදම් ඉතුරු කිරීම මගින් විදෙස් ණය සීමා විය හැකි බව අපට ඉලක්කම් ඇසුරෙන් තේරුම්ගත හැකිය.

      මොන මගුලක් කළත් ලංකාවේලබන වසරේදී ණය හා ණය වාරික ගෙවීමට ඩොලර් බිලියන 5ක් වත් අවශ්‍යයි, ඒ වගේම ආණ්ඩුව කොපමණ ආනයන සීමා දැම්මත් ලංකාවේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10 කට වඩා අනිවාර්යයෙන්ම අඩු නොවේ, එබැවින් දළ වශයෙන් මේ අනුව අපට ලබන අවුරුද්දේදී ඩොලර් බිලියන 14ක් අවශ්‍ය වන අතරම මේ ඩොලර් බිලියන 14ක් අපට ලැබෙන්නේ කෙසේ ද? ආණ්ඩුවේ හෝම්ග්‍රෝන් සැලසුමේ මේ ගැන සඳහන් විය යුතුය.

      මීට නිදසුනකට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ක ආදායමක් උපද්දවා ගන්න සැලසුම් කළා කියා සිතමු. එවිට තවත් ඩොලර් බිලියන 9ක් ඕන, විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් ලැබේයැයි සිතමු. එය මේ වසරේදී ඩොලර් බිලියන 3 දක්වා පහළ වැටිණි. එය ඩොලර් බිලියන තුනක මට්ටමේ හෝ තිබුණේ විදේශ රැකියාවලින් ඉවත් වී පැමිණෙන අය රැගෙන ආ මුදල් නිසා. ඉතින් මේ විදේශ ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තය නගාසිටුවීම යන උපකල්පනයේ සිටියොත් ඉලක්කම් අනුව මේ ප්‍රශ්නය විසඳාගත හැකි යැයි සිතිය හැකිය.

      මීට සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස මේ හෝම්ග්‍රෝන් සැලසුමට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි යෝජනා කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජයවර්ධන, මහාචාර්ය සිරිමල් අබේරත්න වැනි විද්වතුන් සහ ඇඩ්වකාටා, වෙරිටේ, පාත්ෆයින්ඩර් වැනි මූල්‍ය උපදේශක සංවිධාන වලින්. ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ලංකාවට ඩොලර් බිලියන 2.8ක් ලැබේ. ඒ කොටස් තුනකට හෝ හතරකටය. මේ ඩොලර් බිලියන 2.8 ලැබුණා යැයි කියා ලංකාවේ ආර්ථිකයේ එහෙමට ලොකු දෙයක් වන්නේ නැත. එහෙත් ඔවුන් කියන පරිදි පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා යම් කිසි සුළු ඉඩක් නිර්මාණය වේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රදානය කිරීම සමග ණය ලබාගැනීමේ ශ්‍රේණියේ අප දැනට සිටින සී3 නමැති අන්තිම නරක තත්ත්වයෙන් ඉහළ තැනකට යන බව ඔවුහු කියති.

      දැන් අපි අයි එම් එෆ් ගිහින් එම සංවිධානයේ සබඳතා යොදාගෙන ඇමරිකන් රජයේද සහය ඇතුව රේටින් ආයතන වලින් අගය ඉහළ නංවා ගත්තා කියා හිතමු, ලෝක ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එසේ නමුත් මේ ශ්‍රේණිගත කිරීම් කිසිම විදිහකින් යථාර්ථයක් යැයි එයින් කියවෙන්නේ නැත. එය එසේ නම් ඇමෙරිකානු මූල්‍ය අරමුදලේදී ඉහළම ශ්‍රේණිවල සිටි සමාගම් කඩාවැටෙන්නට විදියක් නැත. එය වෙනම කතා කළ යුතු කරුණකි. කොටිම ග්‍රීසියේ ආයෝජන කල කබරරාලයා උනත් නිවැරැදිය (මොකද රේටින් අනුව කබරයා ග්‍රීසියේ ආයෝජනය කරන විට ග්‍රීසිය ලංකාවට වඩා ගොඩක් උඩින් බී බී ප්ලස් රේටින් එකක තිබුණා, නමුත් අයි එම් එෆ් ණය තිබිලත් කරන් වැටුනා නේ, අන්න ඒ වගේ)

      මේ ගැන අප වැනි නිදහස් චින්තකයන් ත්දින් ප්‍රශ්න කරද්දී මේ ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලුවන් කියන්නේ මෙසේ ශ්‍රේණිගත කිරීම් ඉහළ ගිය විට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් තව තවත් ණය ගැනීමේ හැකියාව වර්ධනය වන බවයි. තව ත්වත් අයි එස් බී සහ බොන්ඩ්ස් ආයෝජන ලෙස ලැබෙන බවයි, මෙතනදී මේ යෝජනාවේ ඇති වැරැද්ද නම් ඔවුන් මේ ණය අර්බුදය විසඳන්නට යන්නේ තවත් ණය ගොනු කරගැනීම හරහා වීමය. සැබැවින්ම පහුගිය කාලේ විදේශ විනිමය සංචිත ඉහළ තිබුණේ යැයි පැවැති ආණ්ඩු පම්පෝරි ගැසුවේ ද මේ ක්‍රමයට ගත් ණයවලිනි. උදාහරණ ලෙස මහින්ද 2014 වෙද්ඩී ඩොලර් බිලියන 8.2 ක් සංචිත තියන් හිටියේ බිලියන 5 ක් වූ අයි එස් බී ද සමග. 2019 අග යහපාලන රජය ඩොලර් බිලියන් 7.2 ක් සංචිත තියා ගත්තේ බිලියන් 12 කට වඩා අයි එස් බී බොන්ඩ් ණය අරගෙන.

      Delete
    2. මේ නිසා ලංකාවේ මේ සෝ කෝල්ඩ් සියළුම ආර්තික උස්තාඩ් ජලාහුටමලා කළේ ශක්තිමත් පදනමකින් ආර්ථිකය නගාසිටුවා ඒ හරහා විදේශ විනිමය වර්ධනය කිරීම වෙනුවට පැවැති සෑම ආණ්ඩුවක්ම යටතේ මෙසේ ණය හරහා සංචිතය පිරවීමයි. එය කවදා හෝ පුපුරා යා යුතු බුබුලකි.

      හැබැයි කළු වළාවේ රිදී රේඛාවක් මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමේදී මම හොඳ දෙයක් ද දකිමි. ඒ, අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැත්තෙනි. මොකද ලංකාවේ දේශපාලකයෝ යනු කිසිසේත්ම විනයගත කළ හැකි පිරිසක් නොවෙති. ඉතින් මූල්‍ය අරමුදලෙන් ණය දීමේදී පනවන එක් කොන්දේසියක් වන්නේ නාස්තිකාර වියදම් කප්පාදු කිරීමයි. එය යහපත් පෙළඹවීමකි.

      මීට නිදසුනකට වත්මන් කෝප් සභාපති ආචාර්ය චරිත හේරත් පවසන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවාව සම්බන්ධයෙන් කරන විවේචනය දැක්විය හැකිය. කිසිදු දිනෙක ගුවන් ටිකට්පතක් දැක නැති මිනිස්සු පවා මේ ගුවන් සේවාව පවත්වාගෙන යෑම වෙනුවෙන් බදු ගෙවති. එහෙත් අවසන එය ක්‍රියාත්මක වන්නේ පාඩු පිට පාඩු ලබමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගතහොත් අනිවාර්යයෙන්ම මෙවැනි දේ සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට සිදුවනු ඇත. එය හොඳ තත්ත්වයකි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ විගසම වෙනස් කළ බදු ප්‍රතිපත්තිය ආපසු හරවන්නට සිදුවනු ඇත. මට අනුව නම් එයත් හොඳ දෙයකි. එමෙන්ම පොලී ප්‍රතිශත ද ඉහළ දමන්නට ඉඩ තිබේ. මෙවැනි කොන්දේසි ආර්ථිකයකට නරක නැත.

      දැනට ලංකාවේ ආර්ථිකයේ තීන්දු ගැනීමේ රටාව අනුව මා දකින එක් නිරීක්ෂණයක් වන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර හා අජිත් නිවාඩ් කබ්රාල් යන තිදෙනාට අමතරව මිලින්ද මොරගොඩ මත ද රඳා පවතින බවයි.

      මේ නිසා යම්කිසි ආකාරයකින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යෑමට ද සෑහෙන ඉඩක් තිබේ. මා කියන්නේ එයින් ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන බවයි. විදේශ විනිමය ප්‍රශ්නය සාකච්ඡාවට ගත්තත් මෙම ක්‍රමයේදී උත්තර ලැබෙන්නේ එහි මතුපිට තලයෙනි. එසේත් නැතිව පෙර කී ත්‍රිමූර්තිය යෝජනා කරන පරිදි ඉන්දියාවෙන් ඕමානයෙන්, බංගලිදේශයෙන්, චීනයෙන් මුදල් ටිකක් ඉල්ලාගෙන පැලැස්තර දැමීම නොවේ, එහෙත් අයි එම් එෆ් ගිහින් එදා වේල ගොඩ දාගෙන ආයේ ටික කලකින්ම ඊට වඩා අමාරුවක වැටෙන බයිල ගහන මේ ආර්ථික විද්‍යාඥයෝද ලංකාවේ ආර්ථිකයේ මූලික පීලිපැනීම් ගැන කතා​ නොකරති. මේ ගැන හරවත් සංවාදයක් ඇරඹීමට ඔබට පුළුවන්ද?

      Delete
  7. IMF යෑම ගැන රජය මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලබා දී නැත යන්නෙන් අදහස් කෙරෙනුයේ එමගින් පැනවෙන කොන්දේසි දේශපාලනික වශයෙන් ජනප්‍රිය ඒවා නොවන බවය. නමුත් රටක අනවශ්‍ය වියදම් සීමා කිරීම ඔවුන් යෝජනා කරන්නේනම් එය කිසිසේත් අයහපත් යෝජනාවක් නෙවේ. ඉතා අකාර්යක්ෂම රාජ්‍ය සේවය වෙනුවට සහ එය රජයක දේශපාලන අභිලාෂයන් ඉටුකරන සේවකයින් බඳවා ගන්නා ස්ථානයක් නම් එරට ගමනාන්තය මෙය බව කීමට IMF අවශ්‍ය නැත. ඩොලරයේ අගය පා වීමට හැරීම වෙළදපල ක්‍රමයේ මූලික න්‍යායාත්මක සංකල්පය බව කීමට ද IMF අවශ්‍ය නැත. මෙවැනි බොහෝ යහපත් දෑ කිරීම රජයක යුතුකම මිස IMF නිසා කළ යුතු දෑ නෙවේ. ලෙඩේ සුව වීමට නම් තිත්ත බෙහෙත බීමටම සිදුවනවා ඇත. ඩොලරයෙහි අගය නිසි තැනක ස්ථානගත වීම කෙටි කාලීනව වේදනා කාරී වියහැකි වුවද එකම විසඳුම එය මිස අනෙකක් නෙවේ. IMF නොකිව්වාට එය ජනතාව හමුවේ ප්‍රකාශ කර අර්බුදයට සාමූහිකව මුහුණ දෙනවා මිස උද්දච්ඡ කමින් තවදුරටත් සිටීම බුද්ධි ගෝචර නොවේ. අපනයන කරුවන් හට ලැබෙන ඩොලරයේ වාසිය තවදුරටත් සගවමින් කරන මේ ගනුදෙනුව කිසිසේත් සාධාරන නෙවේ. මන්ද දැනටමත් රජය වක්‍රව ඩොලරයේ අගය රු 210.00 බව පිළිගෙන ඇති බැවිනි. ලෝකය ගොඩනැගුනේ අසීරු සහ වේදනාකාරී වුවද නිවැරදි තීරණ නිසි විටෙක ගත් බැවිනි. අපට නැත්තේද එවැනි පන්නයේ මිනිසුන්ය.

    ReplyDelete
  8. ඉදිරියට ගෙවන්න තියන නය හා ගෙවිය යුතු කාලය කොහෙන්ද හොයා ගන්නෙ

    ReplyDelete
  9. මේ ඉන්දියන් ණය ප්ලෑන් එකේදි රුපියලේ අගයට මොකද වෙන්නෙ? රුපියල ස්තාවරව තියාගන්න ඉන්දියන් ණය යොදාගන්න බැහැ නේද?

    ReplyDelete
    Replies
    1. පුළුවන්. (යම් සීමාවක් දක්වා)

      Delete
    2. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

      Delete
    3. වෙනත් ඕනෑම භාණ්ඩයක වගේම සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට ඩොලරයේ මිලද ඉහළ යනවා. මිල එක තැන තියා ගත හැක්කේ ඉල්ලුම හා සැපයුම සමාන වූ විට පමණයි. දිගින් දිගටම රුපියල් අච්චු ගහන නිසා සාමාන්‍යයෙන් ලංකාව තුළ ඩොලර් ඉල්ලුම සැපයුමට වඩා වැඩියි. ඒ නිසා ඩොලරය ඉහළ යනවා. සංචිත විකිණීමෙන් සැපයුම වැඩි කර ඉල්ලුම හා සැපයුම සමතුලිත කළ හැකියි. ඒ මගින් මිල ස්ථාවරව තබා ගත හැකියි. සංචිත තිබෙන තාක් මෙය කළ හැකියි. සංචිත අවසන් වූ පසු කළ නොහැකියි. ඉන්දියාවෙන් ලබා ගන්නා වාණිජ ණය නිසා යම් කාලයක් දක්වා සල්ලි නොගෙවා ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කළ හැකියි. ඒ නිසා, එම නිසා තාවකාලිකව ඩොලර් ඉල්ලුම පහළ යනවා. ඒ වගේම, මුදල් හුවමාරු ගිවිසුම මගින් ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඉන්දියානු රුපියල් ලැබෙනවා (ඩොලර් නොලැබෙන්නේනම්). එමගින්ද ඩොලර් ඉතිරියක් වෙනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය තාවකාලිකව අඩු වෙන එකයි. ඒ නිසා ඩොලරයේ මිල එක තැන තියා ගැනීමට සංචිත විකිණීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. සංචිත නැතත් යම් සීමාවක් දක්වා ඩොලරයේ මිල පාලනය කරන්න පුළුවන් වෙනවා.

      Delete
  10. ඉකොනොමැට්ටාගේ සමීප හිතවතෙක් වන ඇමරිකානු එක්සත් ජනපදයේ නිව් ෆෝට්රස් සමාගමේ බලශක්ති අංශයේ ප්‍රධානියා වන ජටිල රණසිංහ ගැන හෙළි දරව් වී තියෙනවා නේද?

    මේක බලන්න;

    https://m.facebook.com/story.php?story_fbid=450651866425876&id=100044431986343

    /ජටිල රනසිංහ?

    මෙයා නිව් පෝට්‍ර්ස් එනර්ජි [NFE] සමාගමේ (ඔරිජිනල්)කළමනාකාර අධ්‍යයක්ෂකලු.. !
    ලංකාවේ පොරක් ලු දැන් ඇමරිකන් !
    අපරාදෙ මෙයා ගිවිසුම අත්සන් කරන්න නෑවිත් අර කවුදෝ හාදයෙක් ඇවිත් අත්සන් කලේ.. !
    මෙයා ආවනම් ගිවිසුම අත්සන් කරපු කට්ටිය යි.. සාක්කි කාරයොයි ඔක්කොම "අපේ" කට්ටිය.!
    මෙයා ගිහින් ලු නිව් පෝට්‍රස්ලා LNG පටන් ගත්තෙ !
    කවුරු හරි දන්නවා නම් තව හොයලා බලලා කියන්න ඇයි මෙයා ආවෙ නැත්තෙ කියල !
    ඔට්ටුයි බෑ !/

    මේ හෙළිදරව්ව ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් නේද? රාජපක්ෂ දූෂිත හොර රැල ඩොලර් බිලියන ගණනක් හොරා කාලා මහජනතාවගෙන් මංකොල්ල කෑ ඒ කළු සල්ලි ජාවාරම් කරමින් නිව් ෆෝට්රස් නමින් තව දුරටත් මහජන මුදල් සොරා කෑමට මේක ආරම්භ කර තිබෙනවා කියලා කියන්නේ ඇත්ත නේද? ඇත්තටම මේ යුගදනවි ගණුදෙනුව හරහා ඉකොනොමැට්ටාටත් ගානක් හොයා ගන්න පුළුවන් වෙයි වැඩේට සපෝට් කළොත්? ඒ ගැන හිතන්නේ මොකද?

    ReplyDelete
    Replies
    1. සිව් බෑ ජටිලයන්ගේම incarnation එකක් වගේ

      Delete
  11. ඩොලරය අතාරින එක මේ ප්‍රශ්නෙට කෙටි කාලින විසදුමක් ද?

    ReplyDelete
    Replies
    1. ඩොලරය අත හැරීම කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

      Delete
    2. Float කරන එක වෙන්න ඕන මම හිතන්නෙ

      Delete
    3. විසඳුමක් වීම හෝ නොවීම කෙසේ වුවත් Float කරන එක යම් අවස්ථාවක අනිවාර්යයෙන්ම කරන්න වෙන දෙයක්. සෛද්ධාන්තිකව බැලුවොත් ඩොලරය ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න ඉඩ දුන් විට ඩොලර් ප්‍රශ්නය වහාම විසඳෙනවා. එහෙත්, එය කලින් නොකළ නිසා එක වර ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ යාමෙන් ඇති වන අතුරු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම, ණය ගෙවීම සඳහා වෙළඳපොළෙන් විශාල වශයෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් මිල දී ගැනීමේදී ඩොලරය ඔරොත්තු නොදෙන ඉතා ඉහළ මට්ටමකට යා හැකියි. ඒ නිසා, කිසියම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා ඩොලරය Float කරන අතරම සැලකිය යුතු මුදලක් ණය ලෙස ගන්නත් සිදු වෙනවා.

      Delete
  12. ආර්ථික වර්ධනය ලංකාවෙ 2021 වර්ෂය තුන්වැනි කාර්තුවේ දී සෘණ අගයක් වාර්තා කර තිබෙන බව ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ නිවේදනයක දැක්වෙන්නේ එම කාර්තුවේ දී ලංකාවෙ ආර්ථික වර්ධන වේගය -1.5 ක් ලෙසයි. එම සම්පූර්ණ නිවේදනය මේකෙන් බලන්න පුලුවන්.

    http://www.statistics.gov.lk/NationalAccounts/StaticalInformation/GDP

    ඇත්තටම ඉකොන් ඔබ පහුගිය කාලේ කියපු කතාව ඇත්ත තමයි, ඒ නිසා රට ලොක් ඩවුන් කරපු ගමන් ආර්ථිකය ඍණ වෙනවා. ඒක දන්න කට්ටිය වෙන්න පුළුවන් මුලින්ම උද්ඝෝෂණ සන්විධානය කරලා ලෙඩ්ඩු ගාන වැඩි කරගන්නේ. ඊට පස්සෙ උන්ම ආණ්ඩුවට පීඩනය එල්ල කරනවා රට ලොක් ඩවුන් කරන්න කියලා. ලංකාවේ දොස්තර ගොමා සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ගේ ආරක්ෂාව තකා සහ තමන්ගේ පහසුව පිණිස රටම බය කරලා කට්ටිය රට වැස්සුව. "ආර්ථිකේ කන්නද ඕයි ජිවිතනේ වැදගත්." එහෙම කියලා දැන් ඒ සේරම දේවල් අමතක කරලා කෑ ගහනව ආර්ථිකේ නැතුව ජිවිතේ මොකටද කියල. මෙහෙමත් ජිවිත...

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...