වෙබ් ලිපිනය:

Thursday, February 11, 2016

වසර බිලියන 1.3ක අතීතයට සවන් දෙමු!

මා පෙර ලිපියේ සටහන් කළ පරිදිම ඊළඟ ලිපිය ලියා පැය විසි හතරකින් පසු ස්වයංක්‍රීයව පළවෙන්නට ඉඩ හැර තිබුණේය. එහෙත්, අනාගතය නිශ්චිත නැත. මගේ වත්මන් විෂය ක්ෂේත්‍රයට දුරස්ථ විෂයකට අදාළ කරුණක් වුවත්, මීට ටික වේලාවකට පෙර සිදු වූ අසිරිමත් සිදුවීමක් ගැන කෙටියෙන් හෝ සටහනක් දැමීමට ඉඩක් ගැනීමට ඒ ලිපිය පසුපසට තල්ලු කර හැරීම නොකර සිටිය නොහැකි දෙයකි.

දිනය: 2016 පෙබරවාරි 11
වේලාව: පෙරවරු 10:35
ස්ථානය: ජාතික පුවත් සමාජය, හෝල්මන් ලෝන්ග්, 13වන මහල, 529 වයඹ 14 වන වීදිය, වොෂින්ටන් ඩීසී.
ශ්‍රී ලංකා වේලාව: පස්වරු 9:05
කථක: ෆ්‍රැන්සිස් කෝර්ඩෝවා (ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ)

"නෝනාවරුනි මහත්වරුනි, අපි ගුරුත්ව තරංග නිරීක්ෂනය කළා!!! අපි එය කළා!!!!!!!!!!!! "

වසර බිලියන 1.3කට පෙර, පෘථිවිය මත බහුසෛලික ජීවීන් ව්‍යාප්ත වීම යාන්තම් ඇරඹුණු අළුත, කළු කුහර දෙකක් එකිනෙක වෙත ආකර්ෂණය වී එක් කළු කුහරයක් බවට පත් විය. මෙයින් එක් කළු කුහරයක් සූර්යයා මෙන් 36 ගුණයක්ද අනෙක සූර්යයා මෙන් 29 ගුණයක්ද විශාල විය. එකිනෙක වෙත ආකර්ෂණය වූ මේ කළු කුහර දෙක ඔවුනොවුන් වටා ආලෝකයේ වේගයෙන් අඩක පමණ වේගයෙන් භ්‍රමණය වෙමින් වේගයෙන් ලං විය. අවසානයේදී මේ කළු කුහර දෙක
කිලෝමීටර 210ක පමණ කුඩා ඉඩකඩක් තුළ, සූර්යයා මෙන් 62 ගුණයක ස්කන්ධයක් සහිත තනි කළු කුහරයක් බවට පත් වුනේ සූර්යයා මෙන් තෙගුණයක ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කරමිනි. මේ සිදුවීම නිසා ඇති වූ ගුරුත්ව තරංග වසර බිලියන 1.3කට පසු, පසුගිය සැප්තැම්බර් 14 දින ග්‍රිනිච් වේලාවෙන් උදේ 09:50:45ට පෘථිවිය වෙත ලඟා විය.

ඇල්බට් අයින්ස්ටයින් විසින් ගුරුත්ව තරංග පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ වසර සියයකට පෙර 1916දීය. එදාමෙදාතුර න්‍යායාත්මක පදනම මත ගුරුත්ව තරංග වල පැවැත්ම භෞතික විද්‍යාඥයින් විසින් විශ්වාස කළත්, කිසිවෙකු ගුරුත්ව තරංග නිරීක්ෂණය කර නොතිබුණේය. 




පසුගිය සැප්තැම්බර් 14 වන දින ඇමරිකාවේ ලුසියානාහි වේලාවෙන් අළුයම 02:50ට ලුසියානා ප්‍රාන්තයේ ලිවින්ස්ටන්හි පිහිටි විද්‍යාගාරයක සිට අභ්යාවකාශය නිරීක්ෂනය කරමින් සිටි විද්‍යාඥයින් පිරිසකට සංඛ්‍යාතය 35ක් වූ 'අමුතු' සංඥාවකට සවන් දීමට හැකි විය. තත්පර 0.25ක පමණ කාලයකට පසු මේ ශබ්දයේ සංඛ්‍යාතය 250 පමණ දක්වා ක්‍රමයෙන් වැඩි වී නෑසී ගියේය.

මේ වන විට වොෂින්ටන් ප්‍රාන්තයේ වේලාව අළුයම 04:50 විය. තත්පර 0.007කට පසුව මේ සංඥාව සැතපුම් දෙදහසක් පමණ දුරින් වොෂින්ටන් ප්‍රාන්තයේ හැන්කොක්හි සිට අභ්යාවකාශය නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥ කණ්ඩායමකටද අසන්නට හැකි විය. ලිවින්ස්ටන් සිට හැන්කොක් දක්වා මේ දැනුණේ වසර බිලියන 1.3කට පෙර එකට ගැටුණු කළු කුහර දෙකේ කම්පනයයි.

මෙවැනි නිරීක්ෂණ හා අදාළව වැරදීම් සිදු වීමට ඕනෑ තරම් ඉඩ ඇති නිසා නිරවද්‍යතාවය හරියටම තහවුරු කරගන්නා තෙක් වැඩිපුර කෑගහන්නට මේ විද්‍යාඥ කණ්ඩායම් හදිස්සි වුනේ නැත. මාස හතරකට පසු දැන් ඔවුන් මේ ශබ්දය වසර බිලියන 1.3කට පෙර කළු කුහර ගැටීම නිසා
ඇතිවුණු ගුරුත්ව තරංග හේතුවෙන් ඇති වූ හඬක් බව තහවුරු කරගෙන තිබේ. වැරදීමක් ඇති වීමට ඇති සම්භාවිතාව 203 000 කට එකක් පමණි.

මේ ඇරී ඇත්තේ විශ්වය දෙස බැලිය හැකි අළුත්ම අළුත් කවුළුවකි. මෙහි වටිනාකම තවම හරියටම හිතාගන්නත් නොහැකිය.

පහතින් ඇත්තේ වසර බිලියන 1.3ක අතීතයක් ඇති ඒ හඬයි.



(Image: www.iflscience.com)

45 comments:

  1. මේ විදියට 2600 වසරක් පසු පසට ගොස් බුදුන් වහන් සේ ගේ දේශනා අසන්න හැකි නේද ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... එවැන්නක් නොවෙයි නේද??

      ඒ ශබ්දය අප වෙත එන්නට එතරම් වසර ගණනාවක් ගතවුයේ ඒවා එතරම්ම දුරින් පිහිටි නිසා නේද? දැන් අපට දිස්වෙන තරු, මිට අවුරුදු සිය ගානකට කලින් මියගොස් තිබුණු ඒවා විය හැකියි. ආලෝකයේ වේගය අනුව අපට තාමත් ඒ එලිය පැමිණෙමින් පවතිනවා

      Delete
    2. ආලෝක වර්ෂ 2600 කට එහා සිටින අයෙකුට බුදුන් වහන්සේ නිරීක්ෂනය කරන්න පුළුවන් නේද

      Delete
    3. පිට පොට පටලා ගැනීමකි.. සිව්වැනි මානය.. ආලෝක වර්ෂ 2600, නිකං අවුරුදු 2600 කට සමාන වන ආකාරයක් මට නොපෙනෙනේ..

      Delete
    4. බුදුන්ගේ දේශනා අසන්නනම් පෘථිවියේ අතීතයට යෑමට සිදුවෙනවා නේද? ඒක ඉකෝන් මෙතන පැහැදිලි කරන සිද්ධියට සමපාත කලොත්, කොහේ හරි වෙන ලෝකෙක ඇට්ටර සෙට් එකක් කියන්න පුළුවන් අපි පෘථිවියේ සිටි බුදුන්ගේ හඬ නිරීක්ෂනය කළා වගේ දෙයක්. මම හිතන්නේ සිව්වැනි මානය කියන්නෙත් ඔය concept එක වෙන්න ඕනේ. ඒත් දේශා කියනවා වගේ ආලෝක වර්ෂ 2600, නිකං අවුරුදු 2600 කට සමාන කිරීම වැරදියි.

      Delete
    5. //ආලෝක වර්ෂ 2600 කට එහා සිටින අයෙකුට බුදුන් වහන්සේ නිරීක්ෂනය කරන්න පුළුවන් නේද// නිරීක්ෂණය කල හැකි සංඥාවක් ලැබෙනවා නම් අවුරුදු 2600, අලෝක වර්ෂ 2600ක දුරට සමපාත කිරීමේ වැරැද්ද මොකද්ද?

      Delete
    6. //ආලෝක වර්ෂ 2600, නිකං අවුරුදු 2600 කට සමාන වන ආකාරයක් මට නොපෙනෙනේ// අලෝක වර්ෂ / නිකං අවුරුදු?? :D අලෝක වර්ෂ වලින් මනින්නෙ කාලය නෙමේ.

      Delete
    7. ඒක නේන්නං අනේ කියන්නේ..

      Delete
    8. //මේ විදියට 2600 වසරක් පසු පසට ගොස් බුදුන් වහන් සේ ගේ දේශනා අසන්න හැකි නේද ?//
      2600 වසරක් පසුපසට හා හැක්කේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මෙවැනි අදහස් ඉදිරිපත් වීමට එක් හේතුවක් වන්නේ විශ්වයේ ඇති තොරතුරු විනාශ වන්නේ නැතැයි යන සිද්ධාන්තය. මේ අනුව ශබ්ද තරංගයක් ක්‍රමයෙන් ශක්තිය අඩු වුනත් එය සෛද්ධාන්තිකව අසීමිත කාලයක් පවතිනවා. ඒ නිසා, ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගොස් මේ ශබ්ද තරංගය අල්ලාගෙන ආපසු හරවා එවිය හැකි විය යුතුයි. එහෙත්, ප්‍රායෝගිකව (වායු ගෝලය තුළ සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ) තත්පර 0.006ක පමණ කාලයක් ඇතුළත ශබ්ද තරංගයක ඇති ශක්තිය 1/40 පමණ මට්ටමටත් තත්පර 0.012 පමණ කාලයක් ඇතුළත 1/160 මට්ටම දක්වාත් ආදී වශයෙන් අඩුවෙනවා. ඒ නිසා, වසර ගණනක් පැරණි ශබ්දයක් වුවත් නැවත ඇසිය හැකි වීමේ ඉඩකඩ නොගිණිය හැකි තරම් අවමයි. ශබ්ද තරංග ගමන් කරන මාධ්යය වෙනස් වූ විට ශක්තිය වඩාත් වේගයෙන් අඩු විය හැකියි.

      Delete
    9. //දැන් අපට දිස්වෙන තරු, මිට අවුරුදු සිය ගානකට කලින් මියගොස් තිබුණු ඒවා විය හැකියි.//
      ඔව්, උපේක්ෂා. අප දකින සමහර තරු මෙයට වසර බිලියන ගණනකට පෙර මිය ගිය ඒවා. අප දකින ඉර දැනට මිනිත්තු අටකුත් තත්පර 19කට පෙර තිබුණු ඉර. අප දකින හඳ මෙයට තත්පර 1.3කට පෙර තිබුණු හඳ. ඔබ ඉදිරියේ ඇති ඔබ දකින පරිගණකය දැන් එහි ඇත්තටම තියෙන පරිගණකය නෙමෙයි. අප මේ දැන් දකින වර්තමාන ලෝකය අපේ මොළය විසින් හදන 'අතීතයේ' පිළිබිඹුවක්. අතීතය සහ අනාගතය ලෙස අප හිතන දේවල් මේ පිළිබිඹුවට සාපේක්ෂව පවතින දේවල් මිස නිරපේක්ෂ දේවල් නෙමෙයි.

      Delete
    10. //ආලෝක වර්ෂ 2600 කට එහා සිටින අයෙකුට බුදුන් වහන්සේ නිරීක්ෂනය කරන්න පුළුවන් නේද//
      අපි හිතමු යම් කිසි විදිහකින් එසේ කළ හැකියි කියා. ඔහු එසේ නිරීක්ෂණය කළාද යන්න මට නිරීක්ෂණය කළ හැකි වන්නේ (දැනගන්න ලැබෙන්නේ) තවත් වසර 2600කට පසුවයි.

      Delete
    11. //ආලෝක වර්ෂ 2600, නිකං අවුරුදු 2600 කට සමාන වන ආකාරයක් මට නොපෙනෙනේ//
      දේශා, ආලෝක වර්ෂ කියන්නේ දුර මනින මිනුමක් බවට ඔබ කියන කරුණ නිවැරදියි. එයින් අදහස් වන්නේ ආලෝකයට වසරක කාලයක් තුල ගමන් කළ හැකි දුර. අපට යමක් නිරීක්ෂණය කළ හැකි ඉක්මන්ම අවස්ථාව ඒ වස්තුවේ සිට අපේ ඇස් වලට ආලෝකය පැමිණීමට ගතවන කාලයයි. මේ නිසා, ආලෝක වර්ෂ 2600ක් ඈතින් ඇති දෙයක් අපට නිරීක්ෂණය කිරීමට වසර 2600ක් යනවා (අඩුම වශයෙන්). මේ නිසා සිවුවනමානය කියන දෙයත් නිවැරදියි.

      Delete
  2. මට නම් මේක අහලා හිනා ගියා..... ඔය වගේ සද්ද හක් ගෙඩියක් කනේ තියා ගත්තාමත් එනවා...

    ReplyDelete
    Replies
    1. මේ ශබ්දයේ කිසිම විශේෂත්වයක් නැහැ තමයි, මාතා. ඇත්තටම එය ගුරුත්ව තරංගයක් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය තුළ ඇති වූ ශබ්දයක් පමණයි. විශේෂත්වය තියෙන්නේ ඒ ශබ්දයට මුල් වූ පසුබිම් කතාවේ.

      Delete
    2. ඇත්තට ඉතිං කවුද දන්නේ ඔච්චර ඈත ඔහොම දෙයක් වුණාමද කියලා. :) වසර බිලියන 1.3කට කලින් කලු කුහර දෙකක් හැප්පුණා කියලා මොනවද තියෙන සාක්කි?

      Delete
    3. රන්දිල් නෝනා මේ පැත්තේ ඇවිත් කමෙන්ට් එකක් දාපු එකම පිළිගත හැකි සාක්කියක් නෙමෙයිද?

      Delete
  3. ඉකෝ කිව්වත් වගේ අසිරිමත් නිරික්ෂණයක්. ඒත් කිමි 210 ක කලු කුහරයක් හැදුනා කියන එක හරිද??

    ඔය තරංග සම්බන්ධව මුලින්ම නිරික්ෂණය කරපු අයෙක් හිටියා. එ් 1900 වගේ ගණං වල.. ඔහු ප්‍රසිද්ධියේ කිව්වා තමා පිටසක්වල ග්‍රහයෙකුගේ තරංග නිරික්ෂණය කරපු බව. ඒත් කාලයත් එක්ක ඒ තරංග සංඛාතය ඇති උනේ ජුපිටර්ගේ ලෝ චනදායා එය පසු කර යාමේදි නිකුත් වු තරංග බවට තහවුරු උනා. ඒක නිසා මේක ප්‍රත්‍යක්ෂ වීමට කාලය මදි බවයි මගේ හැගීම.

    ඔබට දුරස් උනත් මේ විඹය ගැන ඉකෝගේ විශාල උනන්දුවක් ඇති බව පේනවා. මේ ගැන උනන්දු වන අජිත් වගේ අයියලට සතුටු හිතෙන්නත් අපි වගේ උන්ට කොයිල් වෙන්නත් මේ වගේ කතා ලියන්න කියා ආරාධනා කරනවා.. දිගටම.. ජය

    ReplyDelete
    Replies
    1. //ඒත් කිමි 210 ක කලු කුහරයක් හැදුනා කියන එක හරිද?//

      ආසන්නව කිමී 150 පමණ ප්‍රමාණයේ ස්කන්ධ දෙකක් එකිනෙක ගැටී කිමී 210ක තනි ස්කන්ධයක් සැදුනු බව තමයි අයින්ස්ටයින්ගේ සමීකරණ ඇසුරින් සිදුකළ පරිගණක සිමියුලේෂන් මඟින් පෙනීගොස් ඇත්තේ. සුර්යයා මෙන් 60 ගුණයක් තරම් විශාල ස්කන්ධයක් මෙතරම් කුඩා ඉඩක 'පැක්' වී තිබීම මතයි ඒවා කළු කුහර ලෙස හඳුනාගන්නේ.

      //ඒක නිසා මේක ප්‍රත්‍යක්ෂ වීමට කාලය මදි බවයි මගේ හැගීම.//
      එවැනි අවදානමක් නැත්තේම නැහැ තමයි. කෙසේ වුවත්, මෙය අහම්බයක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේ ලෝකයේ රටවල් ගණනාවක විද්‍යාඥයින් සිය ගණනකගේ මහන්සියේ සහ විශාල ආයෝජනයක ප්‍රතිඵලයක්. මෙහි නිරවද්‍යතාවය තහවුරු කරගැනීමට සැලකිය යුතු උත්සාහයක් දරා තිබෙනවා. ඔවුන් ගණනය කර ඇති පරිදි වැරදීමක් වීමේ සම්භාවිතාව 1/203,000ක් පමණයි.

      ඇත්තටම කියනවානම් කියවීමේ රුචිය වෙනුවෙන් මා මෙහි ලියා ඇති පරිදි (සහ වෙනත් මාධ්‍ය වලද ලියවී ඇති පරිදි) අමුතු සද්දයක් ඇසීම වැනි සරල ක්‍රියාවලියක් නෙමෙයි මෙය. මෙය නිරීක්ෂණය කළ LIGO ව්‍යාපෘතියට මගේ මිතුරෙකුත් සම්බන්ධ වී හිටියා. මේ නිරීක්ෂණයන් බොහෝ දුරට පරිගණක ඇසුරෙන් කරන දත්ත විශ්ලේෂණ.

      //ඔබට දුරස් උනත් මේ විඹය ගැන ඉකෝගේ විශාල උනන්දුවක් ඇති බව පේනවා. මේ ගැන උනන්දු වන අජිත් වගේ අයියලට සතුටු හිතෙන්නත් අපි වගේ උන්ට කොයිල් වෙන්නත් මේ වගේ කතා ලියන්න කියා ආරාධනා කරනවා//
      උනන්දුවක්නම් තියෙනවා තමයි. ඒත් මම අජිත් මෙන් භෞතික විද්‍යාව වැඩිදුර ඉගෙනගත් කෙනෙක් නෙමෙයි. සරල දෙයක් කියවා තේරුම් ගැනීමේදී වුනත් න්‍යායයන් විධිමත් ලෙස හදාරා ඇති කෙනෙක් තේරුම් ගන්නා ආකාරය සහ වෙනත් කෙනෙක් තේරුම් ගන්නා ආකාරය වෙනස්. මොනව හරි ලියන කොට ලියන දේවල් වලට වඩා වැඩිපුර දෙයක් දැනගෙන ඕනැනේ ලියන්න. මේවා අමාරුවෙන් යාන්තමට තේරුම් ගත්තත් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවහම සමහර කරුණු නිවැරදිව පැහැදිලි කරන්න තරමට මට දැනුමක් නැහැ.

      Delete
  4. වැදගත් ලිපියක්.

    ReplyDelete
  5. වැදගත් තොරතුරක්.

    ReplyDelete
  6. අපට අතීතය දෙස බැලිය හැකි බවද ඒ කියන්නෙ.අතීතය හා අනාගතය එකම රේඛාවක තිබෙනවා වගෙයි නේද
    කිසියම් සැලසුමකට අනුව සිදුවීම් සිදුවෙනව කියන මතයත් තර්කානුකූලයි වගෙ.
    වැදගත් තොරතුරක්. හරි ආසයි මේ වගෙ ගවේශනාත්මක දේවල් කියවන්න

    ReplyDelete
    Replies
    1. //අතීතය හා අනාගතය එකම රේඛාවක තිබෙනවා වගෙයි නේද// ටිකක් සංකීර්ණ දෙයක්. කාලය කියා අපි හිතන දෙයත් සමඟ ඇතිවන ගැටළු.

      Delete
  7. මේ ඔස්සේ ගුරුත්වය තව තවත් අධ්‍යයනය කරළා, ඇන්ටි ග්‍රැවිටි හදාගන්න පුළුවන් වෙයි නේද කවද හරි?

    ReplyDelete
    Replies
    1. someone held a demo on anti gravity using magnets. I cannot remember where

      Delete
    2. නිවැරදි පැහැදිලි කිරීමක් කරන්න තරම් මට දැනුම මදි.

      Delete
  8. ඔය සාපේක්ෂතාවාදයේ පාවිච්චි කරන අවකාශකාලය කියන සංකල්පය නියතිවාදයක්ද? ඒ කියන්නේ අනාගතේ වෙනදේ මේ වන විටත් අවකාශකාලය තුල සටහන් වෙලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔවු ජගත් එසේ විය යුතුයි. එසේම එය නියතිවාදයක්.

      Delete
    2. මෙයටත් මට ඔව් හෝ නැහැ ලෙස නිශ්චිත පිළිතුරක් දෙන්න අමාරුයි.

      Delete
  9. මට අවංකවම හිතුන දේනම් මේ පුංචි සද්දේ වෙනුවෙන් වියදම් කරපු සල්ලි වලින් බඩගින්නේ ඉන්න පොඩිඋන් කී දෙනෙක්ට කන්න දෙන්න පුළුවන්කම තිබුණද කියල.

    econ to gravity, not bad eh :)

    ReplyDelete
    Replies
    1. ඔය ජේසුස් වහන්සේ වේසා ගෑනි බේරන්න කියපු කතාව.
      ජේසුට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාව, බුදු හාමුදුරුවන්ට තියෙන්නේ ලිබටේරියන් හැදියාව. ජේසුගේ හැදියාව නරකයි, බුදු හාමුදුරුවන්ගේ හැදියාව හොඳයි. :D

      Delete
    2. දැනට මෙය කියවන්න.

      http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_16.html

      Delete
    3. "අත්තානං උපමං කත්වා" කියන එකේ තියෙන්නේ ලිබටේරියන් අදහසක් නේද?

      Delete

  10. අතිත සිදුවීම් දැකීම අතීතයට සවන්දීම...
    මේ සමහර කරුනු ආගම් දර්ශන වල සදහන්ව තිබෙනවා.
    සමාන බවක් ?

    ReplyDelete
    Replies
    1. මේවා සහශ්‍ර ගණනක් තිස්සෙම මිනිස්සු විසඳුම් හෙවූ ප්‍රශ්න.

      Delete
  11. මං මේ ලියන්න හිතන් කොට එකොනමැට්ට ලියලනේ. නියමයි. මේ ගුරුත්වාකර්ශන තරංග ගැන කියන කොට බුදුන් වහන්සේ ගේ දේශනා අහන්න පුලුවන්ද කියල හිතෙන්නේ ඇයි? මේකන් පස්සේ ග්රවිටෝන් එක හොයා ගතහොත් එදාට දේවවාදී ආගම් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කම නම් තියනවා තව දුරටත්.

    ReplyDelete
    Replies
    1. ඔබට පුලුවන්නම් විස්තරාත්මක ලිපියක් ලියන්න. මට මේ විෂය ගැන විධිමත් දැනුමක් නැහැ. මෙය මඟ හැර යා නොහැකි දෙයක් නිසා නොලියා ඉන්න හිතුනේ නැහැ.

      Delete
  12. බොහොම ස්තූතියි ඉකෝන්...ඉතාම චිත්තාකර්ෂණීය තොරතුරු රැසක්. ඒ වගේම වීඩියෝ දෙකත් හරිම වටිනවා. ඒ ආශ්‍රිත අනික් වීඩියෝත් එහෙමයි.

    මේ දවස්වල මම කියවනව The Neutrino Hunters කියල පොතක්. කර්තෘ ආචාර්ය රේ ජයවර්ධන. කැනඩාවෙ යෝක් විශ්ව විද්‍යාලයෙ සේවය කරන්නෙ. ඇන්ටාක්ටිකාවෙ කිලෝමීටර් දෙකහමාරකට යටින් ඉදිකරපු නියුට්‍රිනෝ නීරික්ෂණාගාරයක් ගැන බොහොම අපූරු තොරතුරු රැසක් ඒ පොතේ තියනව. විද්‍යාවේ මේ නව සොයාගැනීම් සහ ජයග්‍රහණ ගැන කියවනකොට හිතට නැඟෙන්නෙ පුදුම චමත්කාරජනක හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. රේ ජයවර්ධන ගැනනම් දන්නවා, රවී. පොත කියවලා නැහැ.

      Delete
  13. දිබ්බ චක්ඛු, දිබ්බ සෝත, කියලා බුදුදහමේ කියවෙන්නේ මානසික ශක්තිය වර්ධනය කරගැනීම තුළින් අතීතය දැකීම ඇසීම නේද? එය අනාගතයටත් වලංගුයි.

    මෙවැනි සොයාගැනීම් පිළිබඳව විවාදාත්මක තත්වයන් ඇතිවෙනවා. මේ ලිපියේ කමෙන්ට්ස් තුළ පවා ඒ බව තිබෙනවා.

    ඒ ආකාරයට විශ්වය ගැන හොයනවාට වඩා තමන් ගැන සොයා අවබෝධ කරගැනීම වඩාත් වැදගත් බව බුදුහාමුදුරුවෝ දේශනා කළේ, ලොකු තේරුමක් ඇතුව බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //තමන් ගැන සොයා අවබෝධ කරගැනීම වඩාත් වැදගත් බව// ඒකෙනම් ලොකු තේරුමක් තියෙනවා තමයි. 'අප දන්නා' විශ්වයම තියෙන්නේ අප තුළමයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...