වෙබ් ලිපිනය:

Friday, December 10, 2021

රෙගියුලේටර ප්‍රශ්නය


ලංකාවේ ගෑස් සිලින්ඩර වලට සම්බන්ධ කර තිබෙන උපාංග පිපිරෙන්න පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නය මේ වෙද්දී විසඳිලා වගේ. ගෑස් සිලින්ඩර වල පීඩනය වැඩි කිරීම මේ ප්‍රශ්නයට හේතුව බවයි කියැවුනේ. සමහර විට පීඩනය වැඩි කළත් පුපුරන්නේ නැති තරමට ප්‍රමිතියක් ගෑස් සිලින්ඩර වල තියෙන්න ඇති. එහෙත්, ගෘහස්ථ පාරිභෝගිකයෙක් සැලකුවාම ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හා ඒ දෙක සම්බන්ධ කෙරෙන උපාංග සියල්ලම එකම පද්ධතියක කොටස්. මේ වගේ පද්ධතියක එක තැනක් බිඳ වැටෙනවා කියා කියන්නේ පද්ධතියම බිඳ වැටීමක්. 

කවර හෝ පද්ධතියක් බිඳ වැටෙද්දී බොහෝ විට මුලින්ම බිඳ වැටෙන්නේ එහි දුර්වලම තැනින්. පහත් තැනින් යයි ගලා ජලේ!

ගණන් හිලවු පැත්තකින් තියලා කතා කළොත්, ගෑස් සිලින්ඩරයක ගෑස් අසුරා තිබෙන්නේ විශාල පීඩනයක් යටතේ. ඒ වගේ පීඩනයක් යටතේ තියෙන දෙයක් එකවර නිදහස් වුනොත් කෙළවර වෙන්නේ විශාල විනාශයකින්. සිලින්ඩරයේ ගෑස් පාවිච්චියට ගැනීමේදී වෙන්නේත් මේ විදිහට විශාල පීඩනයක් යටතේ ගබඩා කර තිබෙන ගෑස් නිදහස් වෙන එක. හැබැයි ඒ වැඩේ වෙන්නේ පාලනයක් යටතේ. 

මේ විදිහට පාලනයක් යටතේ නිදහස් කර ගන්නා ගෑස් දහනය කරලා අපිට විවිධ දේවල් කර ගන්න පුළුවන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ කෑම උයන එක. කෑම ඉවිල්ල ගින්දර පාලනය කරමින් කරන කලාවක්. ගෑස් වලින් උයද්දී ගින්දර පාලනය කරන්නේ ගෑස් සැපයුම පාලනය කරලා. ගෑස් හරියට පාලනය කරගන්න බැරි වුනොත් ගින්දරත් හරියට පාලනය කර ගන්න බැහැ. රෙගියුලේටරයෙන් කරන්නේ සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් සැපයුම පාලනය කරන එක.

ඇමරිකාවේනම් ගෙවල් වල පාවිච්චියට කඩෙන් ගෑස් ගේන්න අවශ්‍ය නැහැ. ගෑස් සැපයුම් නල ගෙවල් වලට සම්බන්ධ කරලයි තියෙන්නේ. ප්‍රධාන ගෑස් නලයක් දිගේ එන ගෑස් රෙගියුලේටරයක් මගින් පීඩනය අඩු කරලා ගෙවල් වලට සපයනවා. ඒ නිසා, ගෙදර ගෑස් ඉවර වෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ එවැනි යටිතල පහසුකම් නැති නිසා සිලින්ඩරේ ගෑස් ඉවර වෙද්දී කඩෙන් අළුත් ගෑස් සිලින්ඩරයක් ගේන්න වෙනවා. සමහර වෙලාවට ගෑස් ඉවර වෙලා කියලා දැන ගන්න ලැබෙන්නේ හොද්දක් බතක් බාගෙට ඉදී තියෙද්දී ලිප නිවුනාමයි. 

ලංකාවේ පාවිච්චි කරන ආකාරයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් ටිකෙන් ටික ප්‍රයෝජනයට ගනිද්දී සිලින්ඩරයේ පීඩනයත් ටික ටික අඩු වෙනවා මිසක් පීඩනය වැඩි වෙන්නේ නැහැ. මොකද සිලින්ඩරයෙන් ඒකේ තියෙන ගෑස් ඉවත් වෙනවා මිසක් ඇමරිකාවේ වගේ සිලින්ඩරේට ගෑස් එන මාර්ගයක් නැහැනේ. සර්වත්‍ර වායු නියමය අනුව ගෑස් සිලින්ඩරේ පරිමාව වෙනස් වෙන්නෙත් නැත්නම්, උෂ්ණත්වය වෙනස් වෙන්නෙත් නැත්නම්, සිලින්ඩරයේ තිබෙන ගෑස් අණු ගණන අඩු වෙද්දී පීඩනය අඩු විය යුතුයි. 

හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී ගේ ලුසැක්ගේ නියමය අනුව පීඩනය වැඩි වෙනවා. ඒ නිසා, සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් නිසා එතුළ පීඩනය අඩු වුනත්, ඒ ගෑස් සිලින්ඩරය ආසන්නයේ දහනය කරද්දී යම් හෙයකින් සිලින්ඩරය ඇතුළේ ගෑස් වල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගිහින් ඒ හේතුව නිසා පීඩනය ඉහළ යාමේ බලපෑම වඩා වැඩිනම් සිලින්ඩරයෙන් ගෑස් මුදා හරිද්දී වුවත් ඇතුළේ පීඩනය ඉහළ යන්න පුළුවන්. පීඩනය ඔරොත්තු නොදෙන මට්ටමකට ආවොත් සිලින්ඩරේ පුපුරන්න වුනත් පුළුවන්.

ගෑස් සිලින්ඩර් ගැනත්, ඔය කියපු නියම ගැනත් මම වැඩිපුර දන්නේ නැහැ. ඒ නිසා, ඕවා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවානම් ජනාධිපති නියමය වගේ එකක් කියලා හිතන්නකෝ. ඒකනම් කවුරුත් වගේ දන්නවනේ. "සෑම ගැසට්ටුවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ගැසට්ටුවක් ඇත!".

ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙත් ටිකක් විතර ඔය ගෑස් සිලින්ඩරේ වගේ. ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වුනාම සිලින්ඩරේ ඇතුළේ පීඩනයක් ඇති වෙනවා. නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය කියන්නේ ඒ පීඩනය වැඩි වෙන්න නොදී මුදා හරින ස්වභාවික යාන්ත්‍රනය. සිලින්ඩරේ ඇතුළේ ලොකු පීඩනයක් හැදෙන්නේ නැත්නම් රෙගියුලේටරයක් අවශ්‍ය වන්නේ නැහැ. සිලින්ඩරේ විශාල වන තරමට යම් නිශ්චිත ගෑස් ප්‍රමාණයක් එහි ගබඩා කර ගැනීමේදී අඩු පීඩනයක් පවත්වා ගත හැකියි. බොයිල්ගේ නියමය!

ලංකාවේ ගෑස් සිලින්ඩර වලට පුරවා තියෙන්නේ ප්‍රොපේන් හා බියුටේන් මිශ්‍රණයක්නේ. මුලින් තිබී ඇත්තේ බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක මිශ්‍රණයක්. උපාංග පුපුරන්න පටන් අරන් තියෙන්නේ ඔය අනුපාතය 50:50 ලෙස වෙනස් කළාට පස්සේ. දැන් නැවතත් 70:30 අනුපාතයට යා යුතුයි කියලා රජය නියෝග කර තිබෙනවා. 

ප්‍රොපේන් හා බියුටේන් දෙවර්ගයම හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින්. ප්‍රොපේන් අණුවක කාබන් පරමාණු 3ක් හා හයිඩ්‍රජන් පරමාණු 8ක් තිබෙනවා. බියුටේන් අණුවක කාබන් පරමාණු 4ක් හා හයිඩ්‍රජන් පරමාණු 10ක් තිබෙනවා. ඒ කියන්නේ බියුටේන් අණුවක් ප්‍රොපේන් අණුවකට වඩා බරයි. ඒ නිසා, බරෙන් සමාන ප්‍රොපේන් හා බියුටේන් ප්‍රමාණ ගත්තොත් ප්‍රොපේන් වල අණු ගණන වැඩියි. සර්වත්‍ර වායු නියමය අනුව, පරිමාව හා උෂ්ණත්වය සමානනම් පීඩනය තීරණය වන්නේ අණු ගණන මත කියලා කලින් කිවුවනේ. ඒ නිසා, වායු මිශ්‍රණයක බියුටේන් අඩු කරලා ප්‍රොපේන් වැඩි කරද්දී පීඩනය වැඩි වෙනවා. උපාංග පිපිරිලා තියන්නේ ඔය හේතුව නිසා.

අයවැය පරතරය නිසා ඇති වෙන පීඩනයත් ඔය ගෑස් සිලින්ඩරයක් ඇතුළේ හැදෙන පීඩනය වගේ තමයි. හැබැයි මේ සිලින්ඩරේට ඇමරිකාවේදී වගේ කෙළින්ම ගෑස් එනවා. කඩේ ගිහින් ගෑස් පුරවන්න අවශ්‍ය නැහැ. ගෑස් එන්නේ ගෑස් පාවිච්චියට ගන්න තරමටනම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය නියතව තියෙනවා මිස අඩු වැඩි වෙන්නේ නැහැ. නමුත් ගෑස් සිලින්ඩරේට එන වේගයෙන්ම පිට වෙන්නේ නැත්නම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම ඉහළ යනවා. ඒකේ අනෙක් පැත්ත වුනොත් පීඩනය අඩු වෙනවා. 

ඔය විදිහටම රාජ්‍ය වියදම් වැඩි වෙද්දී අයවැය මත පීඩනය වැඩි වෙනවා. ආදායම් ඉහළ යද්දී පීඩනය අඩු වෙනවා. අයවැය හිඟය ඉහළ යන තරමට "සිලින්ඩරේ ඇතුළේ" පීඩනය වැඩි වෙනවා. පීඩනය හැදෙන්නේ වායු වර්ග දෙකක් නිසා. "දේශීය ණය" සහ "විදේශීය ණය". ඔය දෙකෙන් දේශීය ණය බියුටේන් වගේ. විදේශීය ණය ප්‍රොපේන් වගේ. විදේශීය ණය නිසා ඇති වන පීඩනය වඩා වැඩියි. හැබැයි ඔය දෙකෙන් කොයි එකෙන් වුනත් පීඩනය වැඩි වෙනවා.

වියදම් තරමට ආදායම් ඉහළ නොයද්දී අයවැය මත ඇති වන පීඩනය අඩු කර ගන්න කරන එක දෙයක් වන්නේ සල්ලි අච්චු ගැසීමයි. සල්ලි අච්චු ගහලා තාවකාලිකව අයවැය මත වන පීඩනය අඩු කර ගන්න පුළුවන්. සිලින්ඩරේ ගෑස් වේගයෙන් එළියට යද්දී ලිප වඩා හොඳින් දැල්වෙනවා. කෑම හොඳින් ඉදෙනවා. මේක තමයි ආර්ථික වර්ධනය.

හැබැයි මේ විදිහට සල්ලි අච්චු ගහලා අයවැය පීඩනය අඩු කරගෙන ආර්ථිකය වර්ධනය කළ හැක්කේ එක සීමාවක් දක්වා පමණයි. ගෑස් සිලින්ඩරයේ පීඩනය අඩු කරන්න වැඩියෙන් ලිපට ගෑස් එවලා ලිපේ ගින්දර වැඩි වුනොත් බත රොස් වෙනවා. කාමරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක තමයි උද්ධමනය කියන්නේ.

සිලින්ඩරයේ ගෑස් අඩු වෙද්දී ඒ තුළ පීඩනය අඩු වෙන්නේ කාමරයේ උෂ්ණත්වය නියතව තිබුණොත්නේ. හැබැයි ලිපේ දැල්ලේ සැර වැඩි වෙලා කාමරයේ උෂ්ණත්වය ඉහළ ගිහින් සිලින්ඩරයේ ගෑස් වල උෂ්ණත්වයත් ඉහළ ගියොත් සිලින්ඩරයේ ගෑස් පරිමාව අඩු වෙද්දී වුනත් පීඩනය ඉහළ යන්න පුළුවන්. එතකොට ගෑස් සිලින්ඩරය පුපුරන එක වලක්වා ගන්න තව තවත් වැඩි වැඩියෙන් ගෑස් නිදහස් කරන්න වෙනවා. ඒ ගෑස් ලිපේ දැවෙද්දී උෂ්ණත්වය තව තවත් ඉහළ යාම නිසා පීඩනය වැඩි වීමේ විෂම චක්‍රයක් හැදුනොත් මොකද වෙන්නේ? 

ඔය වගේ වෙලාවක මුලින්ම කළ යුත්තේ සිලින්ඩරයට ගෑස් එන සැපයුම සීමා කරන එකයි. ඒ කියන්නේ අයවැය හිඟය. සිලින්ඩරේට ගෑස් එන එක සීමා නොකර සිලින්ඩරෙන් පිට වෙන ගෑස් සැපයුම සීමා කළාම මොකද වෙන්නේ? 

කාමරේ රත් වෙන එක අඩු වෙන නිසා පීඩනය පොඩ්ඩක් අඩු වුනත් පිටවෙන තරමට වඩා වැඩියෙන් දිගින් දිගටම සිලින්ඩරයට ගෑස් එන නිසා සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම වැඩි වෙන එකයි වෙන්නේ. ඔය පීඩනය නිදහස් වෙන්නේ කොයි වෙලාවක හෝ ගෑස් සිලින්ඩරේ පිපිරුවාමයි. දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරමින් මිල පාලනය හා විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කරන්න ගියාම ඇති වෙන්නේ ඔය වගේ තත්ත්වයක්.

සිලින්ඩරය පුපුරන එක වලක්වන්නනම් කොයි වෙලාවක හරි වෑල් ඇරලා ගෑස් නිදහස් කරන්නම වෙනවා. එහෙම කරන්න වෙන වෙලාවට කාමරයේ උෂ්ණත්වය ලොකුවටම වැඩි වෙනවා. කාට කාටත් උෂ්ණත්වය දැනෙන්න ගන්නවා. හැබැයි ඔය වැඩේ පරක්කු කිරීමෙන් වෙන්නේ  වෑල් ඇරලා ගෑස් නිදහස් කිරීමෙන් පස්සෙත් සිලින්ඩරය ඇතුළේ පීඩනය අඩු වෙනවා වෙනුවට වැඩි වෙන තත්වයක් දක්වා තත්ත්වය ඔඩු දුවන එක. මිල පාලනය හා විණිමය පාලනය නිසා දැන් ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඔය වගේ!

19 comments:

  1. ඉකොනොමැට්ටා මේ පෝස්ට් එක තුල ගෑස් හා සම්බන්ධ විද්‍යාත්මක කරුණුත් සමග කවලම් කර ඇති සම්භාව්‍ය ආර්ථික විද්‍යාව සම්බන්ධ මූලධර්ම වර්තමානයේ යල් පැනගොස් තිබේ. ඉකොනොමැට්ටා මෙහි සදහන් ආර්ථික විභවයන්ද දැන් කාලය ඉකුත් වෙමින් තිබේ. ඇඩම් ස්මිත් ගේ ආර්ථික විද්‍යා මූලධර්ම වලට අනුව නිෂ්පාදන සදහා අවශ්‍ය මූලික සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය නිශ්පාදනවලට අද අවශ්‍ය නොවේ. කොටින්ම භූමිය නොමැතිව අභ්‍යාවකාශ චන්ද්‍රිකාවක් මගින් දත්ත භාවිතා කර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදිය හැකිය. මිනිස් ශ්‍රමය වෙනුවට රොබෝ ශ්‍රමය යොදාගැනීම, ප්‍රාග්ධනය වෙනුවට අන්තර්ජාලය, වර්චුවල් විද්‍යුත් කරන්සි හෝ කොටස් වෙළදපල (මහබැංකු මූල්‍ය වංචාව) ව්‍යවසාය වෙනුවට අන්තර්ජාලය පිරික්සීම ආදිය අද වලංගු සාධක වේ. යාන්ත්‍රික යුගයෙන් ඩිජිටල් යුගයට පිවිසීමේදී ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වන "හිගකම"ද අවලංගු වෙමින් ඇත. මෙහි අඩංගු සියළු කරුණු සාධනය වන්නේ "පාරිභෝජන වාදය" මූලික කරගෙනයි. නිදහස් වෙළඳපොළ ධනවාදය හැකි තරම් පරිභෝජනය කිරීමට පාරිභෝගිකයන් පොළබවයි. ඉල්ලුම සැපයුම න්‍යාය තවදුරත් වලංගු නොවේ. ඔබ වෙළදපලට යන්නේ ඔබට අවශ්‍ය දේ මිළදී ගැනීමට නොව අන්තර්ජාලයෙන් හෝ රූපවාහිනියෙන් ඔබ හෝ ඔබේ දරුවන් හෝ භාර්‍යාව පොළබොවන ලද භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සදහාය. පෙළබවීමේ තාක්ෂණය දැන් එතරම්ම දියුණුව මානවයාට තමාට තමාම අහිමි කර ඇත. අධික පාරිභෝජනවාදයට ගොදුරුව අද මධ්‍යම ප්‍රතිපදාව බණකට වත් දෙසනවා ඇහෙන්නේ නැත්තේ පැවිද්දන්ද එහි කරවටක් ගිලී ඇති බැවිනි.

    ReplyDelete
    Replies
    1. //ඇඩම් ස්මිත් ගේ ආර්ථික විද්‍යා මූලධර්ම වලට අනුව නිෂ්පාදන සදහා අවශ්‍ය මූලික සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය නිශ්පාදනවලට අද අවශ්‍ය නොවේ.//

      භූමියනම් තවදුරටත් ඒ තරම් වැදගත් සාධකයක් නෙමෙයි. ඒක මම නොයෙක් වර කියා තියෙනවනේ. ප්‍රාග්ධනය හෝ ශ්‍රමය නැතිව නිෂ්පාදනය කරනවා කිවුවේ දෙවි කෙනෙක්ට යාඥා කළාම මවලා දෙනවා වගේ දෙයක් ගැනද? ඒත් ඉතිං යාඥා කරන්නත් යම් ශ්‍රමයක් යනවනේ. ස්වයංජාත වී වුනත් කොටලා හාල් කරලා උයන්න කෙනෙක් අවශ්‍ය වෙනවනේ. රොබෝලා යොදාගන්නත් ප්‍රාග්ධනයක් යනවා.

      Delete
  2. ඉකොනොමැට්ටා,

    මම හිතන්නේ වඩාත්ම භෞතික රසායනික කරුණු කාරණා හා සම්බන්ධ මේ එල් පී ගෑස් ලීක් එක වගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න නම් බහුතරයක් දෙනා විද්‍යාත්මක දැනුම හා STEM විෂයයන් සඳහා ඉතා හොඳ දැනුමක් ලබා ගැනීමට අවශ්‍යයි.

    ආසියානු සංවර්ධන බැංකු වෙබ් අඩවියේ තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන කරපු සමීක්ෂණයකදි STEM විෂයයන් වන විද්‍යාව (Science), තාක්ෂණය (Technology), ඉංජිනේරු විද්‍යාව (Engineering) සහ ගණිතය (Mathematics)යන STEM විෂයයන් හැදෑරීම විචාරශීලී පුද්ගලයන් නිර්මාණය කරන්නට, විද්‍යා සාක්ෂරතාවය ඉහළ නංවන්නට සහ මීළඟ පරම්පරාවේ නව නිර්මාණකරුවන් බිහිකරන්නට හේතු වෙන බවත් එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවට අනුව STEM විෂයයන්ට අදාල රැකියා වාර්ෂිකව 24%කින් ඉහළ යද්දි අනෙකුත් විෂයයන්ට අදාල රැකියා ඉහළ යන්නෙ 4%කින් බවත්. ඒ වගේම STEM විෂයයන් හැදෑරූවන් අනෙකුත් ක්ෂෙත්‍රවල රැකියාවලදීත් වැඩි දක්ෂකම් පෙන්වන බවත් අනාගත ලෝක රැකියා වෙළඳපල එම විෂයයන් හදෑරෑවන්ට වඩා නැඹුරු වේවි කියලයි විශ්ලේෂකයන් කියන්නෙ.

    ලංකාවේ සිසුන් වැඩි පිරිසක් STEM විෂයයන්ට යොමු කරවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල මහාචාර්යවරයා කියන්නේ විශේෂයෙන් පහසුකම් අඩු ගම්බද දුප්පත් දරුවන්ව. ගණිතය සහ විද්‍යාව මැනැවින් ඉගැන්නුවොත් දරුවන් ඒ විෂයයන්ට පෙම් බඳීවි. එහෙම නූනොත් ඒවා අමාරු විෂයයන් විදිහට අත් හරීවි. එවිට ඔවුනට අත හැරෙන්නේ ලෝක රැකියා වෙළඳපලට ප්‍රවිශ්ඨ වීමේ අවස්ථාවයි. නමුත් ලංකාවේ මේකට තියන බාධකය හොඳින් තේරුම් ගන්න පුළුවන් විදියට ඉගැන්විය හැකි දක්ෂ ගුරුවරුන්ගේ හිඟය.

    කෙසේ හෝ කොරෝනා කාලෙදි ලංකාවේ අධ්‍යාපනය ගැන අධ්‍යයනයක් කල ආසියානු සංවර්ධන බැංකුව දුටුවේ කොරෝනා නිසා තාවකාලික පිළියමක් ලෙස යොදා ගත් ඔන්ලයින් අධ්‍යාපනය ගුරුවරු හිඟයට හොඳ පිලියමක් කියලයි. ලංකාවේ රජය ඔන්ලයින් අධ්‍යාපනයට ඇති තාක්ෂණික බාධා ඉවත් කලොත් ගම්බද දුප්පත් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය මගින් ඔවුනට අහිමි කර ඇති සම අධ්‍යාපන අවස්ථා තහවුරු කල හැකි බවයි බැංකුව කියන්නෙ.

    කෙසේ වෙතත් ගෑස් වගේ ආනයනය කරන ලද භාණ්ඩ මිල ඉහළ යාම ගැන කිව්වොත් ලංකාවෙ රජය පහුගිය කාලෙ නිතරම මුදල් අච්චු ගැසීමේදී නිරායාසයෙන් ඩොලර් අඩුවීමත් මෙතරම් ආනයන තහනම් කර තිබියදීත් වසර තුනක් තුළ වාර්තා ගත වූ වැඩිම ආනයන 2021 සැප්තැම්බර් මාසයෙන් වාර්තා වීමට ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම එක හේතුවක් විය හැකි වුවත් ආනයන තහනම් කර තිබීමෙන් එම අගය ඉහළ යන්නේ මුදල් අච්චු ගැසීම නිසා නේද? මේ අච්චු ගැසීමෙන් එම මුදල් නැවත ලංකාවට අත්‍යවශ්‍ය ආනයන වලට නැවත නැවත වියදම් වීමෙන් සහ කළුකඩ ක්‍රමයට වියදම් වීම නිසා ආනයන ඉහළ යාමට මුදල් ධාරිතාව ඉක්මවා මුද්‍රණය කිරීම ප්‍රධානම හේතුවක් විය හැකි බව පේනවා මට නම් මේක ඇත්ත ද දන්නේ නැහැ හැබැයි.

    ReplyDelete
    Replies
    1. //ආනයන ඉහළ යාමට මුදල් ධාරිතාව ඉක්මවා මුද්‍රණය කිරීම ප්‍රධානම හේතුවක් විය හැකි බව පේනවා//

      මුදල් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා මුද්‍රණය කළ විට රුපියල අවප්‍රමාණය වෙනවා. එය සිදු වන්නට ඉඩ නොදුන් විට ආනයන ඉහළ යනවා.

      Delete
  3. ඉකොනෝ මහත්තයා ගෑස් පටවන් යන ලොරියක පිටිපස්සේ උජාරුවට නැගලා යන සුළු සේවකයෙක්ද?

    ReplyDelete
  4. පුදුම හිතෙන දේකුත් ඇත බලන කොට
    පුපුරයි පීඩනේ ඉහළට නගින විට
    කොච්චර පීඩනේ ආවත් මෙහෙ අයට
    පිපිරීමක් නොවෙන පාටයි කල්පෙකට

    ReplyDelete
  5. ගෑස් කේස් එක තාවකාලිකව යටපත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා නමුත් ඕක හරියන්නේ නැහැ ඕක අනිවාර්යයෙන්ම ආයෙත් පත්තු වෙනවා.

    මේ වගේම පොහොර සහනාධාරය කප්පාදු කිරීම නිසාත් ලෝක වෙළඳ පොළේ අධික ලෙස පොහොර මිල ගණන් වැඩි වීම නිසා ආනයනික යූරියා, පොස්ෆේට් පොහොර වගේ දේවල් ඉතාමත්ම මිල අධික වීමත් සමග පොහොර අර්බුදය විසඳිය නොහැකි ලෙස ඔඩු දුවල තියෙන්නේ.මේ ඊයේ තත්ත්වය;

    https://youtu.be/AscRpBZdiAg

    රට පුරාම භාණ්ඩ හිඟය, අධික උද්ධමනය සහ ජීවන වියදම් ඉහළ යෑමත් ආදායම් අහිමි වීමත් නිසා ඇතිවූ උග්‍ර ප්‍රශ්න සමගම මේ වන විට දැඩි ලෙස ආර්ථිකය කඩා වැටී බංකොලොත් වී නන්නත්තාර වී අනාථ වූ ලංකාවේ ඖෂධ වර්ග, ඉන්ධන, විදුලි බලාගාර වලට අවශ්‍ය ගල් අගුරු ආදිය ගෙන්වීම සම්පූර්ණයෙන්ම ඇණ හිට රට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති පසුබිමක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1,500 ට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වෙන කිසිම තෝරාගැනීමක් නැති නිසා රජය අකමැත්තෙන් උනත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට සිදුවීම නිසා එම තීරණය නිල වශයෙන් ගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් දෙසැම්බර් 13 වන හෙට කැබිනට් මණ්ඩලය විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව අද මාධ්‍ය වාර්තා වල මම දැක්කා.

    ඒ අනුව මෙම විශේෂ ආර්ථික අර්බුදය පිළිබඳ වූ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට තීරණය වී ඇත.

    කෙසේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් වී ඇති අතර වාසුදේව, විමල් වීරවංශ සහ සමසමාජ කොමියුනිස්ට් ආදී ආණ්ඩුවේ වාමාංශික පක්ෂ වල නියෝජිතයන් මේ ගැන අදහස් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මගින් විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවයි. එමගින් පහුගිය කාලේ යහපාලන රජය ජනතාවට එපා වූ ආකාරයටම මෙම රජයටත් හොඳ පාඩමක් ඉගෙන ගෙන අනිවාර්යයෙන්ම ගෙදර යාමට සිදු වන බව නිසැක බවට ඔවුන් කැට තබා ඔප්පු වන බවට පැහැදිලි කර තිබුණා.

    නමුත් අනෙක් බහුතර පිරිස වන පොදුජන පෙරමුණේ සහ වියත් මග කල්ලියේ වැඩි පිරිසක් පෙන්වා දෙන්නේ ඩොලර් හිඟයට විසඳුමක් ලෙස වඩාත් විශ්වාසනීය භාවයෙන් යුතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බව සහ ඒ හරහා අවශ්‍ය කඩිනම් වැඩ පිළිවෙළක් දෙපාර්ශ්වයේ එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි පේන්නේ. විශේෂයෙන්ම ගම්මන්පිල මේ ගැන පෙන්වා දෙන්නේ දැන් අපි IMF ගියොත් දෙපයින් නැගී සිට සාකච්ඡා කර කොන්දේසි වලට යටත් විය හැකි බවත් තව ටික දවසකින් අපට බඩගාගෙන ගිහින් කොන්දේසි විරහිතව යටත් වී හිඟා කෑමට සිදුවන නිසා ඊට පෙර දැන්ම අනිවාර්යයෙන්ම යා යුතු බව. ධම්මික පෙරේරා වැනි අය කියනවා IMF එක යක්ෂයෙක් ලෙස නොව අපට සාකච්ඡා කර සහය ලබාගත හැකි ඔප්ෂන් එකක් ලෙස ඒ දිහා බලන ලෙස.

    මෙම අදහස් සලකා බැලු ජනපති පවසන්නේ මේ ගැන හෙට කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර දෙකින් එකක් ගැන තමන් තීරණයක් ගන්න බවයි. ජනපති හමුවේ එහි ගුණ දොස් පැහැදිලි කිරීමට මෙම කැබිනට් හමුව සඳහා මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවා තිබේ.

    කෙසේ නමුත් මේ වනවිට ලංකාවේ දැනට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් වශයෙන් වියදම් කිරීමට හැකියාව ඇත්තේ ඩොලර් මිලියන 1,100 ක් පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ සති දෙකක පමණ ආනයන වියදම් වෙනුවෙන් පමණක් බව මාධ්‍ය පවසයි.

    කෙසේ වෙතත් මෙම තීරණය ගැන පැහැදිලි කිරීමක් කරමින් ඇමති විදුර වික්‍රමනායක පැවසුවේ ආණ්ඩුව මෙම IMF යන ගමන පිළිබඳව අවංකවම කණගාටුවක් ඇති ව තිබෙන බවත් මේ යන විදියට IMF කොන්දේසි වලට යටත් වී වෙනසක් ඇති කිරීම සමග ඉතාමත් බරපතල විදිහට ඉක්මනටම ආණ්ඩුවට ගෙදර යාමට සිදු වී අලුත් පිරිසකට බලය ලැබෙන බව ඉතාමත් පැහැදිලි බවයි. මමත් හිතන්නේ බොහෝ දුරට මෛත්‍රිපාල සිරිසේන සහ තවත් මැති ඇමතිවරු 60 - 70 අතර පිරිසක් ඉදිරියේ ගන්න ජනප්‍රිය නොවන තීරණ සමග විපක්ෂයට යාමත් සමඟ ඇතිවන තත්ත්වය නිසා අලුත් ඇමති මණ්ඩලයක් පත් කර ගන්න පුළුවන් වෙයි සමගි ජන බලවේගයේ නායකත්වය යටතේ. ලබන අවුරුද්දේ මැද විතර වෙනසක් දකින්න පුළුවන් වෙයි. ඊළඟ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැනි බුද්ධිමත් කෙනෙක් පත් වුණොත් බොහෝ දුරට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  6. කොහොමෙන් කොහොම හරි පිපුරුන එකත් ආණ්ඩුවට හොදයිද මන්දා
    භූමිතෙල් ලිප්, ද ර ලිප්, වලට හුරු උනානෙ මිනිස්සු :D

    ReplyDelete
  7. ඔය ගෑස් ගැන කතා වෙන තැන්වල දී රජයට මේ ගැන දොස් පැවරීම වැරදි කියා සමහරු තර්ක කරනකොට රජය තමයි ලොකුම රෙගියුලේටරය, රජයක් තියෙන්නේ නිෂ්පාදනයට හෝ බෙදා හැරීමට නොව නියාමනය කිරීම සඳහාය කියා මා පැවසූවත් බොහෝ දෙනෙකුට එහි නිවැරදි තේරුම වැටහුනේ නැහැ.

    රජය කෙතරම් අසමත් ද කියනවා නම් මෙපමණ අන්තරායදායක තත්ත්වයක් තිබියදීත් කමිටුවක් පත් කිරීම වැනි ඇල්වතුර වැඩ හැර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කිසිදු කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

    දැන් ඔය ගෑස් කාන්දුවක් තිබෙන බව දැන ගැනීමට (අර බූමිතෙල් වලට පාටක් යොදනවා වගේ) ගෑස් වලට ගඳක් ඇති වායුවක් එකතු කරනවා කියනවා නේ එය එකතු කිරීම නවතා ඇති බව දැන් හෙළිදරව් වෙලා තිබෙනවා මෙය දැඩි සාපරාධි ක්‍රියාවක්. නමුත් ආණ්ඩුවෙන් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තවමත් දැනගන්නට ලැබී නැහැ.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ පහත දැක්වෙන වීඩියෝ එක ගැන?

    මම හිතන්නේ මේක ලංකාවෙ තත්ත්වයටත් අදාළ බවයි. මෙහි සඳහන් වන කාරණා ගැන විමසා එම ප්‍රධාන ප්‍රශ්න වන රට ගෝලීය ආර්ථිකයට විවෘත කර තරගකාරීත්වය ඇති කිරීම සහ රජයේ පැත්තෙන් මැදිහත් වීම හැකි තරම් අඩු කර නිදහස් වෙළද පොළට ඉඩ දීලා ලංකාවෙ ආර්ථිකය නිදහස් කළ යුතුයි. බැසිල් කියනවා රජයේ රස්සා දීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව. නමුත් මම හිතන්නේ මීටත් වඩා ඉදිරියට ගොස් රජයේ ආයතන හැකි තරම් පෞද්ගලීකරණය කර අනවශ්‍ය සේවකයන් වන්දි ගෙවා ඉවත් කර ඔවුන් පුද්ගලික ආයතන වල රැකියා වලට යොමු කිරීමට පෞද්ගලික අංශය සමග සාකච්ඡා කොට කටයුතු කළ යුතු බවත් ඊට පසු රජයේ වියදම උපරිම ලෙස අඩු කර බදු අය කිරීම කෙමෙන් කෙමෙන් වැඩි කළ යුතු බවයි. මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?

    https://youtu.be/mWQdZoq3iN4

    Do you agree with this explanation about Indian economy?

    Seems like this address the areas of concern which makes Indian economy ineffective, these changes required by the next generation of India to move forward �� Same things applied to SL as well in my opinion ��

    ReplyDelete
  9. තව ඉස්සරහට මොනව පුපුරන්න ගනීද දන්නෙ නෑ.. සර්' නම් උයාපිහා ගන්නටව ඇත්තේ දරලිපේ වෙන්ට ඇති

    ReplyDelete
  10. 1.සදුදා imf යනව ද නැද්ද කියල කැබිනට් එකේ සකච්චාවක් යනවලු, දැන් imf ගියත් නැතත් කොහොමත් ලබන මසේ වෙනකොට ලංකාව බංකොලොත් වෙනවා නේද ණය ගෙවා ගන්න බැරුව !?

    2.මේ වෙලාවේ ඒ සදහා සාමාන්‍ය මනුස්සයෙක් යම් තරමකින් වත් සුදානම් වෙනවා නම් එය කොහොමද සිදු වෙන්න අවශ්‍ය කියල ඔබට කියන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට තාවකාලිකව ආණ්ඩුව ඉන්දියාව සමග swap එකක් දාගෙන IMF වැඩසටහනකට දිගු කාලීනව enter වෙන බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා බංකොලොත් වීමේ අවදානම අඩු වන බව මට හිතෙනවා, හැබැයි ඒ ගැන හරියටම සඳුදා උදේ නැත්නම් දවල් වෙනකොට දැන ගැනීමට පුළුවන් වෙයි.

      IMF යනවා කියන්නේ රුපියල float කරන එකෙන් ඩොලර් එක ඉහළ යනවා ඒ නිසා ක්ෂණිකවම හැම දෙයක්ම ගණන් වැඩි වෙනවා. ලංකාවේ අත්‍යවශ්‍ය දේවල් හැම එකක්ම පාන් කිරිපිටි පරිප්පු කඩල සීනි අල ළූණු, තෙල්ජාති බෙහෙත් පාන් පිටි ආශ්‍රිත සියලුම කෑම වර්ග වගේ හැම දෙයක්ම මිල ගණන් වැඩි වීම, ඉන්ධන මිල ගණන් ඉහළ යාම, බස් දුම්රිය ත්‍රී වීල් ගාස්තු හැම දෙයක්ම වැඩි වෙනවා. 80 ක් විතර එදිනෙදා ජීවිතයේ නිතර අවශ්‍ය භාණ්ඩ ආනයනය කරන නිසා ඒ හැම දෙයක්ම මිල ගණන් වැඩි වීම සමග දේශීය නිෂ්පාදිත වන හාල් පොල් එළවලු වර්ග කොස් දෙල් පවා ඒවාට සමගාමීව ඉහළ නැංවීම කරන නිසා ජීවන වියදම් අහස උසට යනවා. විදුලි ජල බිල වගේ වියදම් හැම එකක්ම 20% - 50% ක් විතර වැඩි කරයි තෙල් මිල තව 40% ක් විතර වැඩි වීම සමග.

      ඊළඟට IMF වැඩසටහන මගින් බදු අය කිරීම නිසා හැම දෙයක්ම ටෙලිපෝන් කාඩ් ගාස්තු වල සිට, වැටුප් සහ විශ්‍රාම වැටුප, ආදායම් වියදම් හැම දේකටම බැංකු පොළියට පවා බදු ගහන එකෙන් රට දාල යන්න හිතෙන තරමට රට එපා වේවී. ආනයන ආවත් ඒ හැම දෙයක්ම අස්ප ගණන් වැඩි වෙලා නිසා ගන්න වෙන එකක් නෑ ලේසියෙන්.

      මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න සාමාන්‍ය කෙනෙක්ට කරන්න පුළුවන් ආනයනික විදුලි උපකරණ, උදාහරණයක් විදියට ගෙදරට අවශ්‍ය ටීවී ෆ්‍රීජ් mixer grinder වගේ දේවල් ටිකක් මිලදී ගැනීම වගේ පොඩි දෙයක්.

      මුදල් බැංකු ගිණුම් වල තියෙන කෙනෙක් විදියට නම් මුදල් කෑෂ් තබා නෙගෙන හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඉඩම් වාහන වැනි දේවල් සහ හැකි නම් ඩොලර් පවුම් යුරෝ වැනි විදේශ මුදලක් හෝ RFC අකවුන්ට් එකක් ආරම්භ කිරීම සුදුසු බව පේනවා මට නම්.

      කෙසේ වෙතත් ඔබ ළඟ රුපියල් ලක්ෂ 25 කට වඩා තියෙනවා නම් මැදපෙරදිග කලාපයේ හෝ ඒ හා සමාන ආදායම් ඇති වෙනත් රටක රැකියාවක් සොයා ගෙන ටික කලක් විදේශ රැකියාවක නිරත වී පසුව මේ තත්ත්වය පාලනය වූ පසු නැවත වතාවක් ලංකාවට එන්න පුළුවන්. මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද?

      Delete
  11. නොදන්න දෙයක් තීයෙනවා අහන්න, සවුදිය වගේ රටක වැඩ කරන කෙනෙක්ට ලංකාවට සල්ලී එවන්නේ නැතුව ඒ රටේම බැංකුවක තම නමින් ගිණුමක් විවුර්ත කර තැම්පතු පවත්වා ගෙන යා හැකිද කියල කියන්න දන්නව ද? ඉදිරියේ දී එම ප්‍රේශන ලංකවාට එව්වොත් නියම් රුපියල් ප්‍රමාණය නොලැබෙන්න තියෙන ඉඩ වැඩී නේද ?
    පත්තරේ තිබ්බා මුර්දුකාංග ඉංජිනේරුවෙක්ට ඩොලරයට බැංකුව දීල තියෙන්නේ එකසිය අනුගානට කියල

    ReplyDelete
    Replies
    1. ඔව්, මගේ පුද්ගලික අත්දැකීම අනුවනම් එහෙම පුළුවන්. මම 2007 සෞදි රැකියාවක් කලා මගේ පඩිය වැටුනේ සෞදි බැංකු ගිණුමකට.

      Delete
  12. ඉකොනොමැට්ටා

    මේ කෙටි වීඩියෝ එකේ ලංකාවෙ ආනයන පාලනය නිසා වාහන ක්ෂේත්‍රයේ ඇති වී තියෙන විනාශය ගැන පැහැදිලි කරන දේවල් පිළිබඳව ඔබ මොකද හිතන්නේ?

    https://youtu.be/SPAArv9B__8

    මෙහි යම් කිසි සත්‍යතාවක් තියෙන බව පේනවා නේද?

    ReplyDelete
  13. මෙතෙක් ලන්කාවෙ වැඩිම ප්‍රාතමික අයවැය හිඟය ආවෙ 2019දිද?

    ReplyDelete
  14. අවුරුදු දෙකකට පස්සෙ ඔබට මේ ගැන මොකද හිතෙන්නෙ?
    //
    යහපාලන ආණ්ඩුව ක්රෑෂ් ලෑන්ඩින් එකක් වැලැක්වුවත් එතැනින් එහාට ලොකු මැජික් එකක් කරලා නැහැ. ඒ නිසා, පොඩි කුෂන් එකක් තිබුණත් අලුත් ආණ්ඩුවට හිතේ හැටියට පිස්සු කෙළින්න පුළුවන් කමක් නැහැ. එහෙම පිස්සු කෙළියි කියා මම හිතන්නෙත් නැහැ.//

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...