වෙබ් ලිපිනය:

Friday, February 26, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1



රටවල් දෙකක් අතර ඇති කර ගන්නා වෙළද ගිවිසුමකින් ඒ එක් එක් රටේ විවිධ අංශ වලට සිදුවන බලපෑම හැදෑරීම සංකීර්ණ, කාලය ගත වන වැඩකි. එට්කා ගිවිසුමට පක්ෂ වීමට, විරුද්ධ වීමට හෝ මධ්‍යස්ථව අදහස් දැක්වීමට සදාචාරාත්මක වගකීමක් ඇති ආර්ථික විද්‍යාඥයින් ඕනෑ තරම් සිටින පසුබිමක, විනෝදාංශයක් වශයෙන් කරන කටයුත්තක් වෙනුවෙන් එවැනි ලොකු කාලයක් යෙදවීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් මට නැත. එහෙත්, එට්කා ගිවිසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂයයෙහි උනන්දුවක් ඇති වී ඇති මේ වෙලාවේ, ඒ හා අදාළ මූලික විෂය කරුණු කිහිපයක් කතා කිරීමනම් එතරම් මහන්සියක් විය යුතු කටයුත්තක් නොවේ.

රටවල් දෙකක් අතර වෙළඳාම නිදහස් කිරීම හොඳද නරකද යන්න සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවක් නොවේ. එය තරමක හෝ ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකුට "කුකුළාගේ කරමල රතුද නැත්නම් සුදුද?" ආකාරයේ, පිළිතුර පිළිබඳ අවිනිශ්චිතතාව අඩු, ප්‍රශ්නයකි. ආර්ථික විද්‍යාඥයෙකු මෙවැනි කරුණක් අරභයා විමසන ප්‍රශ්න වන්නේ "කුකුළාගේ කරමල සුදුවීමට ඇති ඉඩකඩ මොනවාද?" හෝ "කුකුළාගේ කරමල සුදුවුනේ ඇයි?" වැනි ප්‍රශ්නයි.

ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ මූලික සංකල්ප දෙකක් වන්නේ 'පරිපූර්ණ වාසිය (absolute  advantage)' සහ 'තුලනාත්මක වාසිය (comparative advantage)' යන තත්ත්වයන්ය. මේ ලිපියේ අරමුණ මේ සංකල්ප දෙකෙන් පළමුවැන්න පැහැදිලි කිරීමයි. 


දැන් අපි අපේ පළමු සරල ආකෘතියට යමු.

ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව,
අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ. 

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි.
ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.


තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. මෙහිදී, කිසිවෙකුට අවාසියක් වී නැත.

දෙවන සංකල්පය වන තුලනාත්මක වාසිය පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: lexleader.net)

23 comments:

  1. ඊළඟ ලිපිය බලාපොරොත්තුවෙන්

    ReplyDelete
  2. හරි නේ ... දොස්තර කෙනෙක්ම කිව්වා... උන්ට ගනං බෑ කියලා....

    ReplyDelete
    Replies
    1. ඒ වුනට දොස්තරලා ඉස්සරහ රිශෙප්ෂන් එකේ හරි ෆාමසියේ හරි තියන අය ගණන් දන්නවා.

      Delete
  3. වටිනා ආර්ථික විද්‍යා ලිපි............

    ReplyDelete
    Replies
    1. වටිනාකම් පිලිබඳ ආර්ථික විද්‍යා ලිපි.

      Delete
  4. ඉකොනෝ,
    හොද ලිපියක්, මේ පැහැදිලි කිරීම ඉතා වටිනවා. දැන් අපි ප්‍රායෝගික තත්වය දෙස බලමු,
    ඔබේ උපකල්පනය මත
    //
    අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ
    ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ.
    //
    දැන් අපි බලමු සිරිලන්කාව ඉන්දියාවත් සමග ගනුදෙනුවේදී අපට (සිරි ලංකාවට ) මොන භාණ්ඩයද සාපේක්ෂ වාසියක් තියෙන්නේ.
    මේක තමයි වටිනාම ප්‍රශ්නය.
    රජය රටේ වේගවත් සන්වර්දනයකට යන්න මෙය කරනවානම් මුලින්ම කලයුත්තේ අපට (ශ්‍රී ලංකාවට ) සාපේක්ෂ වාසිය ඇති භාණ්ඩ හා සේවා ලැයිස්තුවක් පිලියල කිරීමයි, එහෙම කරලා එම අංශ සදහා ඉන්දියානු වෙළදපොල විවුර්ත කර ගැනීමයි.

    එහෙම නොකර ඉන්දියාවට පමණක් සාපේක්ෂ වාසිය ඇති භාණ්ඩ සහ සේවා වලට රට විවුර්ත කරනවා කියන්නේ
    01. දේශීය නිෂ්පාදකයන් විනාශ වීම
    02. මුලින් දේශීය පාරිබෝගිකයාට වාසියක් ලැබීමත් ඉන්පසු දිගින් දිගටම විදේශ විනිමය රටින් බැහැර වීම නිසා සහ අපනයන ආදායම පිරිහීමත් ආනයන වියදම ඉහල යාමත් නිසා රට තුල භාණ්ඩ සහ සේවා වල මිල ඉතා විශාල ලෙස වැඩි වීමයි.
    අවසාන ලෙස රටේ පාරිබෝගිකයන්ටත් නිස්පාදකයන්ටත් විශාල හානියක් තමයි වෙන්නේ.
    මම කියන්නේ මේ ගිවිසුම අත්සන් කල යුතු නැති බව නෙමෙයි වරදවා තේරුම් ගන්න එපා.
    මා කියන්නේ අප ඉන්දියාවට අපනයනය කිසිමට යන භාණ්ඩ සහ සේවා ගැන සහ ඉන්දියාවෙන් ආනයනය කිරීමට යන භාණ්ඩ සහ සේවා ගැන අදාළ අංශ වල නියුතු පුද්ගලයන් වුර්තිකයන් ආචාර්ය මහාචාර්ය වරු , මහජනයා සහ රජය අතර සාකච්චා ආරම්බ නොකර රටේ අගමැතිවරයා කවුරු අකමැති වුනත් මම මෙය අත්සන් කරනවා වැනි අමු මෝඩ අදහස් පළකිරීමෙන් අපට බලාපොරොත්තු වියහැකි දියුණුව කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. මහජනයා එක්ක හැම දේම සකච්චා කර කර කරන රට මොකක්ද මෙයා... අපි නම් දන්නේ කැබිනට් මන්ඩලයෙන් අනුමත කරන දේ ආන්ඩුව ක්‍රියාත්මක කරනවා කියලා විතරයි... ඒ ඇරෙන්න ව්‍යවස්ථා වෙනසකට නම් ජනමත විචාරනයක් අවශ්‍යයි කියලා නම් තියෙනවා.

      මහින්ද ගෝල්ෆේස් එක ගාව මහ මුහුදෙන් කොටසක් සින්නක්කර චීඅට ලියලා දෙන්නේ ජනතාව එක්ක සාකඡ්චා කරලා වෙන්න ඇති..

      Delete
    2. මාතා,
      මහජනයා කෙසේවෙතත් අදාළ අංශයේ විද්වතුන් හැමවිටම සාකච්චා කිරීම සිදු කරනවා, ප්‍රශ්නය එකවත් සිදු වී නෑ, හර්ෂ අමතිතුමාම කියන විදියට දැනට ඉදිරිපත් වෙලා තියන ගිවිසුම නිවැරදි එක නොවන බවයි සදහන් කලේ.
      දැනට සිදුවෙන දෙය හැරියට මුට්ටිය දමමින් බලන්නේ රටේ මිනිසුන්ට වැඩිම වාසි ලැබීමට වඩා මිනිසුන් කීපදෙනෙකුට වාසි සලසා ගැනීමයි. රටේ මිනිසුන් දැනුවත් වෙලා පීඩනය යෙදුවොත් ජනතාව ලෙස වැඩිම ප්‍රතිලාභ ලබාගත හැකියි.

      Delete
    3. ///මහින්ද ගෝල්ෆේස් එක ගාව මහ මුහුදෙන් කොටසක් සින්නක්කර චීඅට ලියලා දෙන්නේ ජනතාව එක්ක සාකඡ්චා කරලා වෙන්න ඇති..///
      ඒ විදිහටම කරගෙන යන්න නම් මේ වැඩබැරි දාසලා ටික ගේන්න ඕනේ නැහැනේ...
      ඊට වඩා හොඳ ක්‍රමයක් ගේන්නනේ මිනිස්සු මෙයාලව ගෙනාව කියන්නේ...

      මහින්ද ගෝල්ෆේස් එක ගාව මුහුදෙන් කොටසක් දෙන්න හදපු එක වැරදියි කියමුකෝ, දැන් රනිල් දෙන්න හදන එක හරිද මාතලන්...
      වැරදිනම් දෙකම වැරදි වෙන්න ඕනේ, නැත්නම් දෙකම හරි වෙන්නේ ඕනේ,

      දැන් වෙන්න යන්නේ අවුරුද්දකට අධික ඩිලේ එකට කලින් දෙන්න පොරොන්දු උනාටත් වඩා වැඩි ගානක් චීනට දෙන්න වෙන එකයි...
      නැත්නම් ඉතින් ඩිලේ ක්ලෙම් ගෙවන්න වෙන්නේ රනිල්ගේ අහවල් එක උකස් තියලද...

      Delete
    4. @ ලංකා සිතිවිලි
      මෙහෙමයි මචෝ වෘතිකයින් ඔක්කෝම එක්ක සාකඡ්චා කරන්නේ නම් නෑ.. ඒ ඒ අමාත්‍යංශවල ඒ ඒ විශයන් සම්බන්ධ විශේෂඥ වෘතිකයින් නම් ඉන්නවා. මම හිතන්නේ නම් මේ ආන්ඩුව ඔවුන්ගේ සේවය නොඅඩුව ලබා ගන්නවා. ඒ අමාත්‍යංශයේ මේ වෙනුවෙන් ඉන්න පිරිස රටේ පිලිගැනීමක් තියෙන විද්වතුන්.

      @ ළොකු පුතා
      අන්ධයෝ අලියා ගැන කතා කරනවා වගේ තම්යි මේ ගැන විරුද්ධව අදහස් දක්වන සියල්ලන්ම මට නම් පේන්නේ..

      Delete
    5. මාතා මචෝ ,
      උබට සමහර විට දෙරණේ අලුත් ප්ර්ලිමෙන්තුව මිස්වෙන්න ඇති නැත්නම් වෙලාව ඇත්නම් මේක බලන්න https://www.youtube.com/watch?v=QJPLZyZetyU
      මෙකේ රජයේ ප්ර්ශවයේ අසෝක අබේගුනවර්දන ඉංජිනේරු මහතා අපුරු දෙයක් කියනවා, ඔහු කියනවා මේ ගිවිසුමට මුලික හේතුව ආර්ථික හේතුවක් නෙමෙයි දේසපාලන හේතුවක් නිසාබව, මෙය විවුර්තව ඔහු පිලිගන්නවා.
      මේ උබ ඔය කියන // අමාත්‍යංශවල ඒ ඒ විශයන් සම්බන්ධ විශේෂඥ වෘතිකයින් නම් ඉන්නවා. //
      ඇති විශේස්හන්ය පුද්ගලයෙක් තමයි ඇත්ත කතාව මේ පිළිබද කිසිම සැලසුමක් නැතිවයි මේ ගිවිසුම ගහන්න යන්නේ එක මම කියන්නේ ඇතුලේ වෙන දේ දන්නා නිසා, එහෙම උනත් රටේ බුද්ධිමතුන් දක්ෂලෙස නිසි එකතුකිරිම කලොත් අපට මේ ගිවිසුමෙන් ලැබියහැකි ප්‍රතිලාබ විශාලයි, මෙතන වැඩ කෑල්ල තියෙන්නේ අතිදක්ෂ මිනිසුන් අතේ, පටන් ගැනීමක් ලෙස මුදල් ඇමතිකම හර්ෂ සිල්වාට දීල කරන්න පුළුවන් එහෙම නැතිව, අලිබබා නැතිවුනාට හොරු හතළිහම මේ ආණ්ඩුවේ ඉන්නවා

      Delete
    6. ඔය එකෙක්වත් මෙළෝ හසරක් දන්නේ නෑ... පට්ට පල් බොරු කියන්නේ... සැකිල්ලක් කියන්නේ අවසන් ගිවිසුම නෙමෙයි නේ... අපි ගිවිසුම ආවම කතා කරමු.. මූද හත් ගව්වක් දුර තියාගෙන අමුඩ ගහගෙන ජුන්ඩා තම්බ ගන්න මම නම් කැමති නෑ... මගේ පෝස්ට් එක මේ එට්කා ගැන නෙමේ කියලා උඹට තේරෙනවා ඇති නේ...

      Delete
    7. //මගේ පෝස්ට් එක මේ එට්කා ගැන නෙමේ කියලා උඹට තේරෙනවා ඇති නේ// මම කලින් පෝස්ට් එකෙන් මතු කළ අදහසත් මාතගේ ලිපියේ තියෙන දෙයමයි. ගිවිසුම එක කරුණක්. ගිවිසුම හා අදාළ කටයුතු සිදුවන ආකාරය නිසා සිදුවීමට ඉඩ ඇති දේශපාලනික වෙනස්කම් වල බලපෑම එහි ආර්ථික වැදගත්කමට වඩා රටට බලපෑමක් කළ හැකියි.

      Delete
  5. ඊළඟ කොටස ඉක්මනට දාන්න...

    ReplyDelete
  6. මෙම තර්කය ජාත්‍යන්තර වෙලඳාමේ වාසි පෙන්වා දීමට අදාල වුවත් එට්කා ගිවිසුමට අදාල නැති බව මගේ හැඟීමයි. මෙම තර්කයට අදාල වෙලඳාම් දැනුත් ඉන්දියාව සහ ලංකාව අතර සිදුවෙනවා. අදාල වන්නේ මෙම ගිවිසුම හරහා ඉන්දියාවට අපනයනයට විදේශ සමාගම් ලංකාවේ ආයෝජනය කරවීමත්, ලංකාව සමඟ වෙලඳ ගිවිසුම් ඇති එහෙත් ඉන්දියාවට අපනයනය කල නොහැකි රටවලට අපනයනය සඳහා ඉන්දියානු සමාගම් ලංකාවේ ආයෝජනයය කරවා ගැනීමත් කියන එකයි.මෙවැනි ගිවිසුම් අවශ්‍යවන්නේ ලංකාවේ දේශීය වෙලඳපොළ කුඩා නිසා. එමනිසා මේකට අදාල තර්කය දේශපාලන හේතු මත පැනවී ඇති බදු නොවන බාධක නිසා ලෝක වෙලඳපොලේ ඇතිවී ඇති ඉඩ ප්‍රස්ථාවලින් ප්‍රයෝජ්න ගැනීම. මීට අමතරව ඉන්දියාවේ සහ ආසන්න රටවල ආහාර වෙලඳපොල ට ලංකාවේ නිශ්පාදිත ආහාර යැවීමට.

    ReplyDelete
    Replies
    1. //එට්කා ගිවිසුමට අදාල නැති බව මගේ හැඟීමයි.// මම එට්කා ගිවිසුම හදාරලා නෑ, ඉයන්. මෙහි ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ මූලික කරුණු පමණයි. එට්කා ගිවිසුමේ පරමාර්ථ ඔබ සඳහන් කරන දේවල්නම් ඒ ගැන විශ්ලේෂණයක් කිරීම මම හිතුවටත් වඩා සංකීර්ණයි.

      Delete
    2. //එට්කා ගිවිසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂයයෙහි උනන්දුවක් ඇති වී ඇති මේ වෙලාවේ, ඒ හා අදාළ මූලික විෂය කරුණු කිහිපයක් කතා කිරීමනම්//
      මම මෙතන 'ඒ හා අදාළ' කීමෙන් අදහස් කළේ ජාත්‍යන්තර වෙළඳාම විෂය හා අදාළ කියන එක.

      Delete
  7. ඉන්දියන් බඩු සහ චීන බඩු සම්පූර්ණයෙන් වර්ජනය කරලා ආපහු ජපන් හෝ දකුණු කොරියානු බඩු ගන්න ගියෝත් අපිට පාඩුද?

    ReplyDelete
    Replies
    1. මෙයට තියෙන්නේ ඉතාම සරල පිළිතුරක්, විචාරක. අපට තියෙන විකල්ප වැඩි වූ තරමට වඩා වාසිදායක තේරීමක් කිරීමට ඉඩකඩ වැඩියි. මිලදී ගැනීමේදී වගේම විකිණීමේදීත් එය එසේයි. මෙහිදී ඉන්දියාවද, චීනයද, ජපානයද, කොරියාවද කියන එක එතරම් වැදගත් නැහැ. වර්ජනයක් කියන්නෙම අපි විසින් අපේ විකල්ප සීමා කරගැනීමක්.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...