වෙබ් ලිපිනය:

Sunday, October 17, 2021

ලංකාව ගැන අයිඑම්එෆ් එක හිතන දේ


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරි කාලය පිළිබඳ ඔවුන්ගේ පුරෝකථන ඇතුළත් අර්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාව පදනම් වන්නේ 2021 සැප්තැම්බර් 27 දින දක්වා ඔවුන් වෙත වාර්තා වී තිබුණු සංඛ්‍යාලේඛණ මතයි.

අදාළ වාර්තාව අනුව 2020 වසරේදී 3.1%කින් හැකිළුණු ලෝක ආර්ථිකය මේ වසරේදී 5.9%කින්ද, 2023 වසරේදී 4.9%කින්ද වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබෙනවා. 2020 වසරේදී 3.4%කින් හැකිළුණු ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය මේ වසරේදී 6.0%කින්ද, 2023 වසරේදී 5.2%කින්ද වර්ධනය වීමට නියමිතයි. 2020දී 6.3%කින් හැකිළුණු යුරෝ කලාපය මේ වසරේදී 5.0%කින් හා ඉදිරි වසරේදී 4.3%කින්ද,  9.9%කින් හැකිළුණු එක්සත් රාජධානිය මේ වසරේදී 6.8%කින් හා ඉදිරි වසරේදී 5.0%කින්ද ප්‍රසාරණය වීමට නියමිතයි. 

සංකෝචනය නොවුනත්, 2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථිකය 2021 හා 2021 වසර වලදී 8.0% හා 5.6% අනුපාත වලින් ඉහළ යද්දී, 7.3%කින් හැකිළුණු ඉන්දියාවේ ආර්ථිකය 9.5% හා 8.5% අනුපාත වලින් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනවා. 

ලංකාවේ ආර්ථිකය 2020 වසරේදී 3.6%කින් හැකිළුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මේ වසරේදී ආර්ථිකය 3.6%කින් වර්ධනය වී නැවත ලංකාව 2019 සිටි තැනට පැමිණෙනවා. ඉන් පසු 2022 වසරේදී 3.3%කින් ප්‍රසාරණය වෙනවා. මේ අනුව, 2020-2022 තෙවසර තුළ අපේක්ෂිත සාමාන්‍ය වර්ධන වේගය 1.1%ක්. ඉතා අඩු වර්ධන වේගයක් වුවත්, කලාපයේ අනෙකුත් රටවල් පිළිබඳ පුරෝකථන සමඟ සැසඳූ විට මෙය අසාමාන්‍ය නරක තත්ත්වයක් නෙමෙයි.

පසුගිය වසරේ, මේ වසරේ හා ඉදිරි වසරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය චීනයේ 5.3%ක්, ඉන්දියාවේ 3.6%ක් හා බංගලි දේශයේ 4.9%ක් වුවත්, නේපාලයේ 1.4%ක්, මැලේසියාවේ 1.3%ක්, තායිලන්තයේ -0.2%ක් හා මාල දිවයිනේ 0.0%ක් පමණයි. මියන්මාරයේ එය -4.9%ක්.

ආර්ථික වර්ධනය අඩාල වුවත් ඉදිරි තෙවසර තුළ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර නැහැ. අදාළ පුරෝකථන අනුව 2021 හා 2022 වසර වල ලංකාවේ උද්ධමනය 6.0 හා 6.5 මට්ටම් වල පැවතීමට නියමිතයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන හැම විටම නිවැරදි නැහැ. එහෙත්, මේ පුරෝකථන තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳව සිතන ආකාරය පිළිබිඹු වෙනවා. ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගැනීම පිණිස, ආර්ථික වර්ධන ඉලක්ක පසෙක ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රජය හා මහ බැංකුව යොමු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවක් මේ පුරෝකථන තුළින් ගම්‍ය වෙනවා.

Saturday, October 16, 2021

යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

පසුගිය රාජපක්ෂ දශකය ලංකාවේ ආර්ථිකය අනෙක් කාලවල් වලට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ කාලයක්. එය ඉතා පැහැදිලි කරුණක්. යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය වර්ධනය වුනේ ඊට සාපේක්ෂව අඩු වේගයකින්. එයත් ඉතා පැහැදිලි කරුණක්. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදීත් ආර්ථිකය වර්ධනය වුනා මිසක් සංකෝචනය වුනේ නැහැ. නිදහසින් පසුව ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනේ 2020 හා 2001 වසර දෙකේදී පමණයි. අනෙක් හැම වසරකදීම ආර්ථිකය වර්ධනය වුනා. 

සමහර අය හිතාමතාම ජනගත කරලා තිබෙන විදිහට යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය තිබී ඇත්තේ එක තැනයි. 

"මගේ කාලයේදී ඩොලර් බිලියන 20ක ආර්ථිකය ඩොලර් බිලියන 80ක් වුනා. අවුරුදු පහකට පස්සේ බලන කොටත් ආර්ථිකය ඩොලර් බිලියන 80මයි." 

ඔය වගේ කතා අපිට නිතර ඇහෙනවා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

දැන් මෙතැන තිබෙන "ට්‍රික් එක" වන්නේ මේ ගණන් ඩොලර් වලින් කියන එකයි. ලංකාව මේ වන තුරුත් ඇමරිකාවේ ප්‍රාන්තයක් හෝ නිල වශයෙන් ඩොලර්කරණය කළ රටක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු තවමත් ගනුදෙනු කරන්නේ රුපියල් වලින්. විදේශගත ශ්‍රමිකයන් වැනි යම් පිරිසක් හැරුණු විට අනෙක් බොහෝ ශ්‍රමිකයන් ආදායම් උපයන්නේ රුපියල් වලින්. කඩේකට ගිහින් බඩු ගන්නේ රුපියල් වලින්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේත් රුපියල් වලින්.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී රුපියල් බිලියන 14,973ක්. ඩොලර් වලින්නම් බිලියන 80.7ක්. යහපාලන ආණ්ඩුව බලයට එන විටත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ ඔය මට්ටමේමද?

මේ ආකාරයේ සංසන්දනයක් කරන්න යද්දී මතු වන මූලිකම ප්‍රශ්නය සංසන්දනය කළ යුතු මුදල් ඒකකය කුමක්ද කියන එකයි. සංසන්දනය රුපියල් වලින් කළත්, ඩොලර් වලින් කළත් එහි වැරැද්දක් තිබෙනවා. මේ මුදල් ඒකක වල අගය උද්ධමනය නිසා බාල්දු වෙද්දී ආර්ථික වර්ධනයක් නැතත් දළ දේශීය නිෂ්පාදිතය නිකම්ම වැඩි වන නිසා සැබෑ ආර්ථික වර්ධනය බලාගන්න බැහැ. 2020 රුපියලක් 2015 රුපියලකට හෝ 2005 රුපියලකට සමාන නැහැ. එය කාට වුවත් සහසුද්දෙන්ම පැහැදිලි විය යුතු දෙයක්. මේ කතාවම ඩොලර් වලටත් අදාළයි. මොකද ඇමරිකාවේ මහ බැංකුවත් සල්ලි අච්චු ගහන වැඩේ කරනවා. ඩොලර් එකත් බාල්දු වෙනවා. 

හරි සංසන්දනයක් කරන්නනම් 2015 රුපියල්, 2005 රුපියල් ආදිය 2020 රුපියල් වලට හැරවිය යුතුයි. එසේ නැත්නම් 2020 ඩොලර් වලට හැරවිය යුතුයි. එක් එක් කාලයේදී ඇත්තටම ආර්ථිකය වර්ධනය වූ ප්‍රමාණය හොයා ගත හැක්කේ එවිටයි. පහත පළමු වගුවේ තිබෙන්නේ තෝරා ගත් වසර වලදී  2020 රුපියල් වලින් හා 2020 ඩොලර් වලින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයයි. දෙවන වගුවේ තිබෙන්නේ එක් එක් කාල වකවානු වලදී ලංකාවේ වත්මන් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූ කොටසයි.




Friday, October 15, 2021

රුපියල බලු නොවටීයැයි මහ බැංකුවම හිතනවද?


මහ බැංකුව පැත්තෙන් තවත් "පෙට්ටියෙන් පිට" යෝජනාවක් ඉදිරිපත් වෙලා. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඩොලර් වලින් බදු ගෙවන්න සූදානම් අයට වාහන ආනයනය කළ හැකියි. වැදගත්ම කරුණ මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ මහ බැංකුව පැත්තෙන් වීමයි. යම් හෙයකින් මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය රුපියල අත හැර ලංකාවේ ගනුදෙනු සඳහා ඇමරිකන් ඩොලර් යොදා ගැනීම (dollarization) කරා තබන මූලික පියවරක්. 

කිසියම් රටක් තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න පටන් ගැනීම ඩොලර්කරණය (dollarization) ලෙස හැඳින්වෙනවා. ඇතැම් රටවල් නිල වශයෙන්ම තමන්ගේ මුදල් ඒකකය අතහැර විදේශ මුදල් රට තුළ භාවිතා කරන්න පටන් ගන්නවා. සිම්බාබ්වේ රාජ්‍යය මෑතකදී එසේ කළ රටක්. මෙය හැඳින්වෙන්නේ නිල ඩොලර්කරණය (de jure dollarization) ලෙසයි. රටක් එවැනි තීරණයක් ගන්නේ තමන්ගේ මුදල් ඒකකයේ කිසිම වටිනාකමක් නැති වී වෙන කරන්නම දෙයක් නැති වූ විටයි. එහෙම වෙන්නේ අසීමිත ලෙස සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ මිනිස්සු රටේ ජාතික මුදල් ඒකකය අත හැර දමන තැනට වැටුණු විටයි.

රටක් නිල ඩොලර්කරණය තෝරා ගැනීම නිතර සිදු වන දෙයක් නොවුනත් අවිධිමත්, නිල නොවන ඩොලර්කරණය (de facto dollarization) ඊට වඩා ප්‍රචලිතයි. මෙහිදී නිල වශයෙන් ගනුදෙනු සිදු විය යුත්තේ රටේ ජාතික මුදල් ඒකකයෙන් වුනත්, රට ඇතුළේ සිටින ඇතැම් කණ්ඩායම් විසින් හෝ ඇතැම් ප්‍රදේශ වල නොනිල ලෙස විදේශ ව්‍යවහාර මුදලින් ගනුදෙනු සිදු වෙනවා. මෙය බොහෝ විට සිදු වන්නේ සංචාරක කලාප වල. 

උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික මුදල් ඒකකය බලු නොවටින තැනට වැටුණු විට, නිල වශයෙන් රජය හෝ මහ බැංකුව විසින් ඩොලර්කරණය විදේශ විණිමය ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන්න කලින්ම, සමස්තයක් ලෙස රටේ මිනිස්සු තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. රටක් නිල වශයෙන්ම ඩොලර්කරණය තෝරා ගන්නේ ඒ වගේ අඩියටකට වැටුණාට පසුවයි. 

මිනිස්සු කිසියම් දෙයක් මුදල් ලෙස භාර ගන්නේ ඒ පිළිබඳ විශ්වාසය මත පදනම්ව. මෙහිදී විශ්වාසය කියා කියන්නේ වෙනත් අයත් අදාළ දෙය මුදල් සේ භාර ගනු ඇතැයි යන විශ්වාසය. මෙහිදී රන්, රිදී, ධාන්‍ය වැනි දෙයක් පිළිබඳ ඒ විශ්වාසය ඇති වන්නේ එම ද්‍රව්‍ය වල තිබෙන නෛසර්ගික වටිනාකම නිසා. ආඥාප්ති ව්‍යවහාර මුදල්, එහෙමත් නැත්නම් ෆියට් මුදල් වලට එවැනි නෛසර්ගික වටිනාකමක් නැහැ. මිනිසුන්ගේ විශ්වාසය නැත්නම් ඒවා නිකම්ම නිකම් කොළ කෑලි පමණයි. ඒ නිසා, ආඥාප්ති ව්‍යවහාර මුදලක් මිනිසුන් අතර ප්‍රචලිත කරන එක පහසු වැඩක් නෙමෙයි.

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි එක ක්‍රමයක් වන්නේ වටිනාකමක් තිබෙන යම් දෙයක් ආශ්‍රයෙන් එවැනි මුදල් ඒකකයකට කෘතීම වටිනාකමක් ආරෝපණය කිරීමයි. මහ බැංකු වල පවත්වා ගන්නා රන් ඇතුළු සංචිත වලින් කරන්නේ අදාළ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් ඒකකයට මේ ආකාරයෙන් වටිනාකමක් ආරෝපණය කරන එකයි. රන් සම්මතයකදී මෙන් නිකුත් කළ මුදල් වල වටිනාකමට රත්තරන් මහ බැංකුවේ නැතත්, යම් රන් ප්‍රමාණයක් මහ බැංකුවේ තිබෙන නිසා විශ්වාසය මතම ලැබෙන වටිනාකමට අමතරව පොඩි හරි නෛසර්ගික වටිනාකමක් මේ සල්ලි කොළ වල තියෙනවා. 

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි තවත් ක්‍රමයක් වන්නේ රාජ්‍යාධිකාරය හරහා වටිනාකමක් කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. රජයකට මිනිසුන්ගෙන් බදු අය කිරීමට හා එම බදු නොගෙවන අයට දඬුවම් කිරීමට ඒකාධිකාරී හෝ ඊට ආසන්න බලයක් තිබෙනවා. (කප්පම්කාරයෝ වගේ අයත් ඔය වැඩේ කරනවා තමයි!) මේ ඒකාධිකාරී බලය යොදාගෙන රජයකට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැති කඩදාසි කෑල්ලකට වටිනාකමක් දිය හැකියි. ආරම්භයේදී ගොඩක් මුදල් ඒකක ප්‍රචලිත කර තිබෙන්නේ ඔය ක්‍රමයටයි.

ඉතිහාසයට ගියොත් රජයක් බදු අය කර තිබෙන්නේ එක්කෝ සෘජු ශ්‍රමය විදිහට. රාජකාරි ක්‍රමයේදී වගේ. නැත්නම් රන්, ධාන්‍ය වැනි දෙයකින්. ඔහොම තියෙද්දී එක පාරටම බදු ගෙවිය යුතු මුදල් ඒකකය ලෙස මොකක් හරි එකක් රජය විසින් දැනුම් දුන්නට පස්සේ රටේ මිනිස්සුන්ට කොහෙන් හරි ඒ දේ හොයා ගන්න වෙනවා. ඒ එක්කම ඒ මොකක් හරි දෙයට, නෛසර්ගික වටිනාකමක් තිබුණත් නැතත්, ආරෝපිත වටිනාකමක් ලැබෙනවා. අදාළ මුදල් ඒකකය රටේ ප්‍රචලිත වෙනවා.

මේ විදිහට රටේ ප්‍රචලිත වෙන්නේ නෛසර්ගික වටිනාකමක් නැති දෙයක් වූ විට රජයට ඒ දේ වැඩි වැඩියෙන් සපයලා වක්‍ර ලෙසත් බද්දක් අය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ෆියට් මුදල් එහෙමත් නැත්නම් ආඥාප්ති ව්‍යවහාර මුදල් කියා කියන්නේ ඔය වගේ දෙයකටයි. හැබැයි ඔය වටිනාකම එන ක්‍රමයේ පාදමේ තියෙන්නේ රජයට බදු ගෙවිය යුත්තේ අදාළ මුදලින් වීමයි. නෛසර්ගික වටිනාකමක් නැති බව කවුරුත් දන්නා මේ සල්ලි වෙන කාටවත්ම එපා කිවුවත්, අඩු ගණනේ රජයට බදු ගෙවන්න හෝ ගන්න පුළුවන් නිසා සල්ලි බලු නොවටිනා ගානට වැටෙන්නේ නැහැ. 

දැන් මහ බැංකුව විසින් (හෝ එහි අධිපතිවරයා විසින්) ඉදිරිපත් කරන යෝජනාව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලංකාවට වාහන ආනයනය කරන කෙනෙකුට ඩොලර් වලින් බදු ගෙවන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ මහ බැංකුවේ සල්ලි අඩු ගණනේ ලංකාවේ රජය විසින්වත් පිළිගන්නේ නැහැ කියන එකයි. 

කොහොමටත් මේ වෙද්දී මහ බැංකුවේ විදේශ ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින්. අගෝස්තු අන්තිම වෙද්දී මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත ප්‍රමාණයෙන් මහ බැංකුවේම විදේශ වගකීම් පියවන්නත් ඩොලර් මිලියන 400ක් මදි. සැප්තැම්බර් අවසාන වෙද්දී අනිවාර්යයෙන්ම මේ හිඟය තවත් විශාල ලෙස වැඩි වී තිබිය යුතුයි. එහෙම තියෙද්දී මහ බැංකුවට මෙතෙක් කාලයක් කළා වගේ රුපියල් වලට නෛසර්ගික වටිනාකමක් ආරෝපණය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. රුපියල එල්ලිලා තියෙන්නේ තනිකරම මිනිස්සු රුපියල් භාර ගැනීම මත පමණයි. එහෙම තියෙද්දේ තමයි බදු විදිහට රුපියල් භාර ගැනීම ලංකාවේ රජය විසින්ම අත හරින්න යන්නේ.

මෙය අවිධිමත් ඩොලර්කරණයක් ලොකුවට වෙන්නත් කලින්ම, නිල ඩොලර්කරණය ස්වේච්ඡාවෙන් තෝරා ගැනීමකට ආසන්න දෙයක්. 

ඩොලර්කරණය නරක දෙයක්ම නෙමෙයි. ලංකාවේ මුදල් ඒකකය ඩොලර් බවට පත් වෙනවා කියා කියන්නේ ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට සීමා වෙනවා කියන එක. ඇමරිකාව උද්ධමනය 2% මට්ටමේ පාලනය කර ගන්නා රටක්. බොහෝ රටවල් නිල ඩොලර්කරණය තෝරා ගන්නේ උද්ධමනය පාලනය කරන්න වෙන ක්‍රමයක් පේන්න නැති වූ විට. මෙහි තිබෙන අවාසිය වන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වී, සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවීමේ හැකියාව නැතිව යාමයි. හරියටම කිවුවොත් සල්ලි අච්චු ගැසීමේ ලාබය ඩොලර් අච්චු ගහන ඇමරිකාවට ලැබෙන එකයි.

දැන් මේ වැඩෙන් ලංකාවේ රජයට ලැබෙන වාසියක් ඇත්තෙම නැද්ද? වාසියක් නැත්තේ නැහැ. දැන් වාහන ආනයන නවත්වා ඇති නිසා රජයට අහිමි වන ආනයන බදු නැවතත් රජයට ලැබෙන්න පටන් ගන්නවා. ඒ හරහා රජයේ අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සල්ලි අච්චු ගහන එක සීමා කරන්න පුළුවන්. එය රජයට වගේම රටටත් හොඳයි. 

හැබැයි මේ වැඩේ කළා කියලා අමුතුවෙන් රටට ඩොලර් එන්නේනම් නැහැ. වාහනයක් ආනයනය කරන කෙනෙක්ට ඒ වෙනුවෙන් ගෙවන්න වගේම රජයට බදු ගෙවන්නත් ඩොලර් හොයා ගන්න වෙන්නේ කොහොමටත් රටට එන ඩොලර් ටිකෙන්ම තමයි. අපනයනකරුවන් විසින් රටට නොගෙනවිත් තියාගෙන එන්න ඩොලර් ටිකක් වාහන විදිහට රටට එන්නනම්  පුළුවන්. 

උදාහරණයක් විදිහට කවුරු හෝ ආනයනකරුවෙක් ඩොලරයකට රුපියල් 250ක් බලාගෙන ඩොලර් රටින් එළියේ තියාගෙන ඉන්නවා කියා හිතමු. දැන් මේ සල්ලි ඩොලර් විදිහට ගෙනාවොත් ලැබෙන්නේ ඩොලරයකට රුපියල් 200ක් පමණයි. ඔය ඩොලර් වලින් රජයට බදුද ගෙවා වාහනයක් ආනයනය කළොත් වාහනය විකුණන මිලෙන් වක්‍ර ලෙස ඩොලරයකට රුපියල් 250ක් හොයා ගන්න පුළුවන්. මේ වෙලාවේ රටේ වාහන මිල ඉහළ ගොස් තිබෙන තත්ත්වයත් එක්ක වැඩි මිලකට වාහනයක් විකුණන එක අමාරු වැඩක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ නැවත වාහන ආනයනය කරන්න ඉඩ දුන්නොත් රටින් පිටත ඩොලර් තියාගෙන ඉන්න අයට වක්‍ර ලෙස ඩොලරයක "නියම මිල" ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. 

Thursday, October 14, 2021

කොමිස් ගෙවා ගන්න යන ණය


තෙල් සංස්ථාව විසින් 7%ක කොමිස් මුදලක් ගෙවා ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් ගන්න යන බව වාර්තා වී තිබෙනවා. උදය ගම්මන්පිල විසින් මේ කතාව සනාථ කරලා. ඔහුට අනුව මේ ණය ගන්න යන්නේ තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් බිලියන 3.6ක ණය වලින් කොටසක් පියවන්නයි. රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන තිබෙන ණය සඳහා ගෙවිය යුතු පොලිය 5.5%ක් බැවින් මේ ගන්න යන ණය අරගෙන එම ණය පියවීම ලාබ බවයි ගම්මන්පිල කියන්නේ. 

"ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව A ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා."

"මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. .. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා."

ඔය ණය මුදල ලැබෙයිද කියන එක ගැන උදය ගම්මන්පිලටවත් විශ්වාසයක් නැහැ කියා කියනවා. අදාළ සමාගම පිළිබඳවත් ඇතැම් අය ප්‍රශ්න මතු කර තිබෙනවා. මම මෙය ලියන්නේ ඒ කරුණු සාකච්ඡා කරන්න නෙමෙයි. මූල්‍යකරණ විෂය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් සරල විෂය කරුණක් පැහැදිලි කරන්න. 

සියයට 3ක පොලී අනුපාතිකයක් ගෙවන්න පොරොන්දු වී ගන්න ණය මුදලකින් ගන්න කොටම 7%ක් කපා ගත් පසු පොලී අනුපාතිකය ගම්මන්පිල කියන 3.23%ද?

මේ පොලිය කෙසේවත් 3.23% විය නොහැකියි. අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි විය යුතුයි. ගණන තීරණය වෙන්නේ ණය මුදලේ අනෙකුත් කොන්දේසි මත. ඒ සඳහා අදාළ ණය මුදල පියවිය යුතු ආකාරය පිළිබඳව විස්තර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට මේ ණය වසරකට පසුව පියවනවානම් 7% කොමිස් මුදල නිසා 3% පොලී අනුපාතිකය 10.75%ක් දක්වා වැඩි වෙනවා. වැඩි කාලයකින් පියවනවානම් ඒ තරම්ම වැඩි වෙන්නේ නැහැ.

මාධ්‍ය වාර්තා වල තිබෙන විදිහට ණය මුදල වසර 12කින් පියවිය යුතුයි. මුල් වසර දෙක සමා කාලයක් ලෙස සඳහන්ව තිබෙනවා. ඒ අනුව මේ ණය මුදල හා පොලිය වසර දෙකකට පසුව පටන් ගෙන වසර 10ක කාලයක් තුළ සමාන වාරික වලින් ගෙවන්නේයැයි අපි උපකල්පනය කරමු. ඒ අනුව, මුලින්ම කළ යුත්තේ වාරික මුදල හොයා ගැනීමයි. මේ වාරික මුදල වසරකට ඩොලර් මිලියන 310.92 ක්. එම වාරිකය ගෙවද්දී වසර 12ක් තුළ ණය මුදල ගෙවා අවසන් වෙන්නේ පහත ආකාරයටයි.


දැන් මේ ණය මුදල ලබා ගනිද්දීම 7%ක කොමිස් මුදලක් ගෙවනවා කියා කියන්නේ අතට ලැබෙන්නේම ඩොලර් මිලියන 2,325ක් පමණයි. නමුත්, වාරික ඉහත ආකාරයටම ගෙවිය යුතුයි. මේ අනුව, ඵලදායී පොලී අනුපාතිකය වෙන්නේ අදාළ වාරික ගෙවීම් වල වර්තමාන අගය ඩොලර් මිලියන 2,325කට සමාන කරන පොලී අනුපාතිකයයි. ගණන් හදා බැලූ විට මේ පොලී අනුපාතිකය 4.041%ක් වෙනවා. අදාළ ගණනය කිරීම් පහත තිබෙනවා. 


තෙල් සංස්ථාව සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් සේ සැලකුවොත් 4.04%ක පොලියට ණයක් අරගෙන 5.5%ක ණයක් පියවීම ලාබදායක වැඩක් බව පැහැදිලියි. එහෙත්, මෙහි තිබෙන එක් අවුලක් වන්නේ දැන් රාජ්‍ය බැංකු වල ණය පියවන්න යනවා වගේ හදිසියේවත් මේ ණය මුදල කලින් පියවන්න ගියොත් විශාල අලාබයක් වීමයි. උදාහරණයක් විදිහට වසරකට පසුව කොහෙන් හෝ සල්ලි ලැබී, එහෙමත් නැත්නම් වඩාත් අඩු පොලියකට ණය ලැබී, මේ ණය මුදල පියවන්න ගියොත් පොලිය 10.8%ක් පමණ වෙනවා. 

මේ විදිහට කලින් ණය පියවීම මූල්‍යකරණයේදී සිදුවන සාමාන්‍ය හා දුලබ නැති දෙයක් වුවත්, තෙල් සංස්ථාව හා අදාළව මෙය කීයටවත් නොවන දෙයක්නම් අපට මේ සාධකය නොසලකා හැරිය හැකියි. ඒ කියන්නේ කොහොමටත් ඔය ණය වසර 12කට පෙර ආපසු ගෙවන එක හිතන්නවත් බැහැ කියන උපකල්පනය මත වැඩේ අනිවාර්යයෙන්ම වාසියි. 

තවත් ප්‍රශ්නයක් වන්නේ තෙල් සංස්ථාව කියන්නේ  සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් නොවීම. එය ලංකාවේ රජයේම කොටසක්. එතකොට 5.5% පොලියට ණය අරගෙන තිබෙන්නේත් රජයේම තවත් කොටසකින්. ඒ කියන්නේ, මේ 5.5% ඩොලර් වලින් ලැබෙන රජයේම ආදායමක්. මේ පොලී ආදායම රට ඇතුළෙම ඉතිරි වෙනවා. අඩු පොලියට ගන්න ණය සඳහා ගෙවිය යුතු පොලිය රටින් පිටතට යනවා. ඒ අනුව සමස්තයක් ලෙස රජය කියන තනි ඒකකය ගත්තොත් වෙන්නේ රාජ්‍ය බැංකු වල 5.5%ක ඩොලර් පොලී ආදායම අහිමි වී 4.1%ක පොලියක් වසර දහයක් පුරා ඇමරිකානු සමාගමකට ලැබෙන එකයි. 

මේ විදිහට පොලී විදිහට ගෙවන්න වන මුදල ඩොලර් මිලියන 610.92 ක්. කොමිෂන් මුදල ඩොලර් මිලියන 175ක්. ඒ කියන්නේ මේ ගනුදෙනුව නිසා අතට ලැබෙන මුදල වන ඩොලර් මිලියන 2,325ට අමතරව තවත් ඩොලර් මිලියන 775.92ක් රටින් එළියට යනවා කියන එකයි.

එවැනි පාඩුවක් වුනත් මේ වෙලාවේ ලංකාවේ රජය වැටී සිටින තැන අනුව කොහොමටත් කොහෙන් හෝ විදේශ ණය නොගෙනම බැරි නිසාත්, 4.1%ක පොලියකට ඩොලර් හොයා ගන්න එක ලේසි වැඩක් නොවන නිසාත් මෙය නරක ගනුදෙනුවක් නෙමෙයි. මේ වෙලාවේ ඩොලර් බිලියන 2.5ක් හොයා ගන්නවා කියන්නේ සෑහෙන්න වටිනා දෙයක්. අනිත් එක වසර දෙකක් යන තුරු ණය ගෙවන්නත් අවශ්‍ය නැහැ. ණය ගෙවන එක ඊළඟ ආණ්ඩුවේ හා ඊටත් පසු බලයට පත් වන ආණ්ඩු වල වැඩක්!

Tuesday, October 12, 2021

මහ බැංකුව නැවතත් රෝදය සොයා ගනී!

 


මහ බැංකුව විසින් තවත් වරක් රෝදය අලුතෙන් හොයා ගෙන තිබෙනවා. ලංකාවේ ආර්ථික හා මූල්‍ය කේෂේත්‍ර වල පමණක් නොව සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී විවිධ කේෂේත්‍ර වල ප්‍රශ්න වලට විසඳුම් සොයන්නන් විසින් නැවත නැවතත් රෝදය අලුතෙන් සොයා ගනිමින් සිටිනවා. අත්දැකීම් අඩුකම නිසා වෙන්න ඇති!

අධිපති කබ්රාල් බලයට පත් වීමෙන් පසුව සයමසක මාර්ග සිතියමක් ඉදිරිපත් කරද්දී සඳහන් කළ එක් කරුණක් වුනේ ලංකාවේ රජය විසින් නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර අඩු මිලට ආපසු මිල දී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මේ වන විට මහ බැංකුව විසින් "අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා" මෙය පිළිබඳව සොයා බලා තිබෙනවා. ඔය වැඩේට කොයි තරම් වියදමක් ගියාද කියලානම් කියා නැහැ. 

මෙසේ මහන්සි වී, වියදම් දරා, සොයා බැලීමෙන් පසුව 2022 ජනවාරි මස පරිණත වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සමස්ත වටිනාකමෙන් අවම වශයෙන් සියයට 5ක ප්‍රමාණයක් හෝ ප්‍රකාශ කළ වට්ටම් සහිත මිල ගණන් යටතේ විකිණීමට නැති බවත්, මෙම තත්ත්වය යටතේ ආපසු මිලට ගැනීමේ ක්‍රියාවලියක් මඟින් රජයට සැලකිය යුතු මට්ටමක මිල හෝ පොලී ප්‍රතිලාභයක් නොලැබෙන බවත් "අලුතෙන්" හොයා ගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවේ අයනු ආයනු දන්නා කෙනෙක් වුවත් ඔය ටික දන්නවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ආර්ථික විද්‍යාවේ හෝඩිය කියා කිව හැකියි. මහ බැංකුවේ ඉන්න විශාල පිරිසක් ආර්ථික විද්‍යාවේ අයනු ආයනු වලට වඩා බොහෝ දේ දන්නා අයයි. එහෙත්, ඉල්ලුම් සැපයුම් වක්‍ර හැදෙන ආකාරය ගැන නිසි අවබෝධයක් නැති හෝ විශ්වාසයක් නැති අයත් මහ බැංකුවේ සිටින බව මේ විදිහට රෝදය අලුතෙන් සොයා ගන්න මහන්සි වීමෙන් පෙනී යනවා.

පාඨකයෙකු විසින් "කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?" ලිපියට දැමූ ප්‍රතිචාරයකට අප ලබා දුන් පිළිතුරෙහි කොටසක් පහත තිබෙනවා.

"ඩොලර් 100ක මුහුණත අගයක් දැන් විකිණෙන්නේ ඩොලර් 60ට නම් බැඳුම්කර යම් ප්‍රමාණයක් මිල දී ගනිද්දී මේ මිල ඩොලර් 90 පමණ දක්වා ඉහළ යා හැකියි (උදාහරණයක් ලෙස). එහිදී නැවත ඩොලර් 90 බැගින් මෙම බැඳුම්කර විකිණුවොත් ඩොලර් 30ක ලාබයක් ලංකා බැංකුවට ලැබෙනවා. එහෙත්, එසේ විකුණන්න යද්දී නැවතත් ඩොලර් 60 දක්වා මිල අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව අහම්බයෙන් සිදු වුනොත් මිසක් මේ විදිහට සැලකිය යුතු වාසියක් ලබන්න බැහැ."

නිදහස් වෙළඳපොලක මිල කියා කියන්නේ ආන්තික සැපයුම්කරු විසින් විකුණන්න කැමති මිල (marginal seller's valuation) මිසක් සැපයුම්කරුවෙකු විකුණන්න කැමති සාමාන්‍ය මිල (average seller's valuation) නෙමෙයි. ඕක තේරුම් ගන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් තෑග්ග ගන්න අවශ්‍ය නැහැ. 

ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ වෙත පැමිණියහොත් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් දැන් ඩොලර් 60කට විකිණෙනවා කියා කියන එකෙන් අදහස් වෙන්නේ ඩොලර් 100ක මුහුණත අගයක් ඩොලර් 60කට විකුණන්න කැමැති එක් ආන්තික සැපයුම්කරුවෙක් සිටින බව මිසක් හැම කෙනෙක්ම ඒ මිලට විකුණන්න සූදානම්ව සිටින බව නෙමෙයි. මේ ආන්තික සැපයුම්කරුවා හැරුණු විට අනෙක් හැම කෙනෙක්ම තමන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ඊට වඩා මිලක් අපේක්ෂා කරන අයයි. මෙය ආර්ථික විද්‍යාවේ ඉතාම මූලික මට්ටමේ හා වැදගත්ම  මූලධර්මයක්.

ඒ වගේම අනෙක් පැත්තෙන් මෙයින් කියැවෙන්නේ කිසිදු ගැනුම්කරුවෙකු විසින් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් සඳහා ඩොලර් 60 ඉක්මවන මිලක් ගෙවන්න සූදානම් නැති බවයි. ඩොලර් 60 කියා කියන්නේ ගැනුම්කරුවෙකු විසින් මේ වෙලාවේ ගෙවන්න කැමති උපරිම මිල. ඒ මිල වුවත් ගෙවන්න කැමැත්තෙන් ඉන්නේ එකම එක ආන්තික ගැණුම්කරුවෙකු පමණයි. ඉතිරි ගැණුම්කරුවන් සියලු දෙනාම ගෙවන්නට කැමතිව සිටින්නේ මීට වඩා අඩු මිලක්. 

මහ බැංකුව විසින් කළ යුත්තේ ගේමක් ගසා වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කරන ආකාරය ගැන හිතන්න මහන්සි නොවී මිල සංඥාව නිවැරදිව ග්‍රහණය කර ගැනීමයි. මිල සංඥාව මගින් පෙන්නුම් කරන්නේ ලංකාව අලුතෙන් නිකුත් කරන ඩොලර් 100ක බැඳුම්කරයක් මේ වෙලාවේ ඩොලර් 60කට විකුණන්නත් අමාරු බවයි. ඒ තත්ත්වය වෙනස් කරන්නම් එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගෙන අදාළ ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතුයි. එහෙම නැතුව ටින්කරින් කරලා සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. 

මහ බැංකුව විසින් කවුරු හෝ නියෝජිතයෙකු හරහා ඩොලර් 60 බැගින් ඩොලර් 100ක මුහුණත අගයක් මිල දී ගත් වහාම ඩොලර් 60ට බැඳුම්කර විකුණන්න කැමති විකුණුම්කරුවන් වෙළඳපොළේ නැතිව යනවා. එවිට ඉතිරිවන ආන්තික විකිණුම්කරුවා අවම වශයෙන් ඩොලර් 65ක් වැනි මිලක් බලාපොරොත්තු වෙනවා. ඒ මිලට විකිණෙන බැඳුම්කර ටිකත් මිල දී ගත්තොත් ද්වීතියික වෙළදපොළ මිල ඩොලර් 70ට නගිනවා. ඔය විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගන්නා තරමට මිලද ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. නමුත්, ඔය වැඩෙන් සිදු වන වාසියක් තියෙනවද?

මේ විදිහට අලුතෙන් හදපු කෘතීම ගැනුම්කරුවා බැඳුම්කර වලට වැඩි මිලක් ගෙවුවත් අනෙකුත් බාහිර ගැණුම්කරුවන් විසින් ගෙවන්න කැමති උපරිම මිල වෙනස් වෙන්නේ නැහැ. එම මිල ඩොලර් 60ක් හෝ ඊට අඩු මිලක්. ඒ නිසා මේ විදිහට ඩොලර් 60, 65, 70 හෝ 90 වැනි මිලකට මිල දී ගත් බැඳුම්කර නැවත විකුණනවානම් විකුණන්න වෙන්නේ ඩොලර් 60කට හෝ අඩු මිලකටයි. මිල කියන්නේ ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී වෙනස් වෙන දෙයක් මිසක් නොවෙනස් වන ස්ථිර දෙයක් නෙමෙයි. 

වත්මන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ සිට විගණකාධිපති දක්වා බොහෝ අය "බැඳුම්කර මගඩියේ" පාඩුව ගණන් හැදුවේත් ඔය ක්‍රමයටයි. ඒ කියන්නේ, ඩොලර් බිලියනයක් විකිණිය හැකිව තිබුණු මිලටම ඩොලර් බිලියන 10ක් හෝ ඊට වැඩි ඕනෑම බැඳුම්කර ප්‍රමාණයක් විකිණිය හැකිව තිබුණේයැයි උපකල්පනය කරලා. එහෙම කරන්න බැරි බව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ මූලික අදහසක් තිබෙන කෙනෙක් වුවත් දන්නවා. විකුණන බැඳුම්කර ප්‍රමාණය ඉහළ යද්දී ගෙවිය යුතු පොලී අනුපාතිකයත් ඉහළ යනවා. මිල එක තැන තියාගෙන සැපයුම අසීමිත ලෙස වැඩි කරන්න බැහැ. 

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සෘජු නිකුතු ක්‍රමය පදනම් වී තිබුණේ ඔය විදිහට මිල එසේම තිබියදී බැඳුම්කර ඕනෑ තරම් විකිණිය හැකියි කියන වැරදි උපකල්පනය මතයි. මහ බැංකුවට බලපෑම් කළ හැකි සේවක අර්ථසාධක අරමුදලට හෝ රාජ්‍ය බැංකුවකට ඔය විදිහට තමන්ට අවශ්‍ය මිලකට බැඳුම්කර විකිණිය හැකිව තිබුණත් නිදහස් වෙළඳපොළක එවැන්නක් කළ නොහැකියි. වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදා පෙන්වා දෙන්නේ මෙසේ කළ නොහැකි වූ අවස්ථා වලදී සිදු වූ "පාඩුවයි".

මේ වැරැද්ද මහ බැංකුවේ පමණක් සිදුවන හෝ ලංකාවේ පමණක් සිදු වන වැරැද්දක් නෙමෙයි. ලෝකයේ ලොකුම ධනපතියන්ගේ වත්කම් දුප්පත් රටවල ජාතික ආදායම් සමඟ සසඳන ඇතැම් අයත් මේ වැරැද්දම කරනවා. මේ මොහොත වන විට ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 203.5ක්. ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 189.5ක්. සමහර "දාර්ශනිකයෝ" යෝජනා කරන විදිහට මේ අයගේ වත්කම් වලින් කොටසක් ලෝකයේ දුප්පත් මිනිස්සු අතර බෙදා දෙන්න බැරිද?

මේ වෙද්දී ටෙස්ලා කොටසක මිල ඩොලර් 800ක් පමණ වෙනවා. ඇමසන් කොටසක මිල ඩොලර් 3,246ක්. ඊලෝන් මස්ක්, ජෙෆ් බෙසෝස් වගේ ධනවතුන්ගේ වත්කම් කියා කියන්නේ ඔවුන් සතු මෙවැනි කොටස් හිමිකම්. 

ටෙස්ලා සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය බිලියනයක්. එහෙත් එම කොටස් වලින් වෙළඳපොළේ හුවමාරු කළ හැක්කේ කොටස් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එයින් පසුගිය තෙමස තුළ වෙළඳපොළේ ඇත්තටම හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 18ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 1.8%ක් පමණයි. 

ඇමසන් සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය මිලියන 510ක් පමණ වෙනවා. එයින් කොටස් මිලියන 455ක් පමණ වෙළඳපොළේ හුවමාරු කළ හැකි කොටස් වුවත් පසුගිය තෙමස තුළ ඇත්තටම වෙළඳපොළේ හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 3ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 0.6%ක් පමණ.

වෙනත් ඕනෑම මූල්‍ය වත්කමක් සැලකුවත් දැකිය හැක්කේ ඔය වගේ තත්ත්වයක්. අදාළ වත්කම හිමි අයගෙන් විශාල පිරිසක් එය වෙළඳපොළේ විකුණන්නේ නැහැ. වෙළඳපොළ මිල තීරණය කරන්නේ ඉතා සීමිත ආන්තික සැපයුම්කරුවන් හා මිල දී ගන්නන් පිරිසක් විසින්. ඊලෝන් මස්ක් හෝ ජෙෆ් බෙසෝස් විසින් ඔවුන්ගේ වත්කම් වලින් 1%ක් දුප්පත් මිනිසුන් අතර බෙදා හැරියොත් ඔවුන් මේ කොටස් හිමිකම් මුදල් කරන්න යද්දී ක්ෂණිකවම මේ කොටස් වල මිල කඩා වැටෙනවා. ඊලෝන් මස්ක්ගේ හා ජෙෆ් බෙසෝස්ගේ වත්කම්ද විශාල ලෙස පහත වැටෙනවා. ඔවුන්ගේ වත්කම් වලින් 10%ක් පමණ මේ විදිහට බෙදා හැරියොත් කොටස් මිල හොඳටම පහත වැටී ඔවුන් තව දුරටත් ලොකු ධනවතුන් නොවිය හැකියි. ජනහිතකාමය වෙනුවෙන් පෙනී සිටින බිල් ගේට්ස් හා මාක් සකර්බර්ග් වැනි එය එක වරකට තමන්ගේ වත්කම් වලින් ඉතා කුඩා කොටසක් පමණක් නිදහස් කරන්නේ මේ හේතුව නිසයි.

මේ කතාව අදාළ වන්නේ මූල්‍ය වත්කම් වලට පමණක් නෙමෙයි. ලංකාවේ නිවාස වෙළඳපොළ සලකන්න. ලංකාවේ බොහෝ දෙනෙක් තමන් දුක් මහන්සියෙන් හදාගන්නා හෝ උරුමයෙන් ලැබුණු නිවස ලේසියකට විකුණන්නේ නැහැ. එහෙත් එසේ කරන සුළු පිරිසක් ඉන්නවා. වෙළඳපොළේ නොවිකිණෙන නිවාස හා ඉඩම් විශාල ප්‍රමාණයක මිල තීරණය කරන්නේ එම සුළු පිරිසයි. මෙය නිදහස් වෙළඳපොලක මූලික ස්වභාවයයි. වෙනත් ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකටද මේ කරුණ අදාළයි.

මේ හේතුව නිසාම විණිමය අනුපාතය කෘතිමව පාලනය කරමින් ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ හෝ විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඩොලරයක මිල තීරණය කරනවානම් රටට එන ඩොලර් සැපයුම වැඩි කළ නොහැකියි. ඩොලර් සැපයුම වැඩි කරන්න අවශ්‍යනම් මිල එක තැන තියා ගෙන එය කළ නොහැකියි.

Saturday, October 9, 2021

මහ බැංකුව ඩොලර් ප්‍රශ්නය විසඳලාද?


පසුගිය ජූලි අවසානය වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 දක්වාත්, ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,364.6ක් දක්වාත් පහත වැටුනා. ඩොලරයක මිල මහ බැංකු පාලනයෙන් ගිලිහී පාලනයක් නැතිව ඉහළ යන්න පටන් ගත්තා. 

මහ බැංකුවේ සංචිත අඩියටම වගේ හිඳී තියෙද්දීත් ඩොලරයක මිල රුපියල් 200 ආසන්නයේ තියා ගැනීම සඳහා අගෝස්තු මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 175ක පමණ සංචිත විකුණා දැමීමෙන් පසුවද වාණිජ බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ රුපියල් 225 පමණ මට්ටමකයි. ඒ, ආනයන පාලන හරහා ඩොලර් ඉල්ලුම සීමා කිරීමෙන්ද පසුවයි.

මෙසේ සංචිත විකිණීමෙන් පසුවද ඩොලරයේ මිල පාලනය කර ගත නොහැකි වීම නිසා හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සියලු වාණිජ බැංකු වල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් ලියමින් ඩොලරයේ මිල මහ බැංකුවට හා රජයට අවශ්‍ය මට්ටමේ තියා ගන්නා ලෙස "අවවාද" කිරීමෙන් පසුව තනතුර හැර ගියා. ඩොලරයේ අගය නාමිකව මහ බැංකුවට අවශ්‍ය මට්ටමට වැටුනත් ඒ මිලට බැංකු වල ඩොලර් තිබුණේ නැහැ.

මහ බැංකුවේ අධිපති පුටුව මාරු වුනා. අලුතෙන් පත්ව ආ අධිපතිවරයා විසින් ඉදිරි කාලයේදී ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය ඩොලර් හොයා ගන්නා හැටිද විස්තර කළා. ඉන් පසුව, වෙළඳපොළට ඩොලර් මුදා හරිමින් යම් පමණකින් ඩොලර් ආතතිය අඩු කිරීමටද කටයුතු කළා.

දැන් ඩොලරයේ මිල ප්‍රකාශිත ඉලක්ක මට්ටමේ ස්ථිරව තියා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුව විසින් හොයා ගෙනද?

අගෝස්තු 23 වෙනිදා මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රමාණයක්  ලැබුණා. එයින් ඩොලර් මිලියන 666ක පමණ වටිනාකමක් තිබෙන එස්ඩීආර් ප්‍රමාණයක් මහ බැංකුව විසින් ක්ෂණිකව ඩොලර් වලට හුවමාරු කර ගත්තා. බංග්ලාදේශ බැංකුවෙන්ද ඩොලර් මිලියන 150ක ණයක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා ගෙන තිබුණා. මේ අනුව, ජූලි අවසානයේදී ඩොලර් මිලියන 2,806ක් වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,743දක්වා ඉහළ යා යුතුව තිබුණා. මෙසේ ලැබුණු ඩොලර් නිසා, අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන 176ක පමණ සංචිත ප්‍රමාණයක් වැය කිරීමෙන් පසුවද අගෝස්තු අවසානයේදී ඩොලර් මිලියන 3,550ක් දක්වා සංචිත ඉහළ ගියා.

අධිපති මාරුවෙන් පසුව, සැප්තැම්බර් මාසය තුළ, මේ සංචිත වැඩි වෙලාද? නැත්නම් වෙනසක් වෙලා නැද්ද?

සැප්තැම්බර් අවසානය වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,550 සිට ඩොලර් මිලියන 2,581ක් දක්වා ඩොලර් බිලියනයකින් පමණම පහත වැටී තිබෙනවා. එයින් ද්‍රවශීල සංචිත තිබෙන්නේ ඩොලර් මිලියන 2,006.4ක් පමණයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු මුදල් මහ බැංකුවේ බැරකමක් වුවත්, එම මුදල් නිශ්චිත දිනයකදී ආපසු ගෙවිය යුතු නැති නිසා මේ අයුරින් මහ බැංකුවට සිය වත්කම් ඉක්මවා එම මුදල්ද වියදම් කිරීමට හැකි වී ඇතත්, අදාළ ණය මුදල් පියවන තුරු මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දිගින් දිගටම පොලී ගෙවිය යුතුයි.

මහ බැංකුව සතු විදේශ වත්කම් විශාල ලෙස පහත වැටීමත් සමඟ මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට විදේශ වත්කම් ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය අගෝස්තු අවසානය වන විටද ඩොලර් මිලියන 420කට ආසන්නව තිබී ඇති බව නිල සංඛ්‍යාලේඛණ පෙන්වනවා. මෙය මෙසේ විය යුතු බව අප කලින්ම සටහන් කළා. සැප්තැම්බර් අවසානය වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියන 1.4ක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකි බව අපේ ඇස්තමේන්තුවයි.

නහය ළඟටම ණය වූ පසු කොහොමටත් වෙන කරන්නම දෙයක් නැති නිසා රෑට කන්න තිබෙන සල්ලි වලින් රේස් දාන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට මේ ක්‍රමයෙන් ගොඩ යන්න පුළුවන් වුනත් බොහෝ විට වෙන්නේ එහි අනෙක් පැත්තයි. අධිපති කබ්රාල්ගේම උදාහරණයකට අනුව ඇතැම් රෝගීන් සුවපත් කිරීම පිණිස වෛද්‍යවරුන් විසින් සැත් පිහියකින් සිරුර කපනවා. එහෙත්, සැත්කම කිරීමෙන් පසුව නැවත එම කැපුම මසා දමා රෝගියා සුවපත් කරනවා.

රෝගියාගේ බඩ කපන කොටසනම් දැන් කරලා. ඉතිරිව තිබෙන්නේ සැත්කම අවසන් කර මහන කොටසයි!

Friday, October 8, 2021

ග්‍රීන්කාඩ් පෝලිම


පසුගිය දින වල සමාජ මාධ්‍ය වල වාර්තා කරනු ලැබ තිබුණු පරිදි ලංකාවේ ගමන් බලපත්‍ර කාර්යාලය අසල දිගු පෝලිමක් හැදිලා. ගමන් බලපත් ලබා ගැනීම සඳහා වන පෝලිම විවිධ හේතු නිසා දිගු විය හැකියි. විදේශගත වන්නට අවශ්‍ය අයගේ ගමන් බලපත් ඉල්ලුම ඉහළ යාම එක හේතුවක්. ගමන් බලපත් නිකුත් කිරීම සඳහා යොදවා ඇති නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හෝ ඔවුන් ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම නොවීම තවත් හේතු දෙකක්. 

දැන ගන්නට ලැබුණු විදිහට එකවරම ලංකාවේ "පාස්පෝට් පෝලිම" මේ තරම් දිගු වී තිබෙන්නේ ඇමරිකානු ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව එළැඹීමත් සමඟයි. මේ අවස්ථාව පසුගිය බදාදා (2021 ඔක්තෝබර් 6) විවෘත වුනා. වාසනාව මත පදනම්ව ඇමරිකාවට සංක්‍රමණය වීමට කැමති අයට 2021 නොවැම්බර් 9 දක්වා වන කාලය තුළ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළ හැකියි. ලොතරැයිය ජයග්‍රහණය කරන අයට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව 2022 ඔක්තෝබර් 1 දින සිට 2023 සැප්තැම්බර් 30 දක්වා වන වසරක කාලය තුළ ඇමරිකාවට සංක්‍රමණය විය හැකියි. 

ග්‍රීන්කාඩ් යන්නෙන් පොදුවේ අදහස් වන්නේ ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා හිමිවන වීසා බලපත්‍රයයි. මෙය කුඩා කාඩ් පතක්. ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගත් අයෙකුට වසර පහකට පසුව (ඇතැම් කාණ්ඩ යටතේ ලබාගත් අයට වසර තුනකට පසුව) ඇමරිකානු පුරවැසි භාවය ලබා ගත හැකියි. ස්ථිර පදිංචිය හිමි අයටද ඇමරිකානු පුරවැසියන්ට හිමි වන වරප්‍රසාද හා අයිතිවාසිකම් වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. 

ඇමරිකාව කියා කියන්නේ ලෝකයේ වැඩිම සංක්‍රමණිකයින් පිරිසක් සිටින රටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2019 වසරේදී ලෝකය පුරා විසිරී සිටි සංක්‍රමණික ජනගහණය 271,642,105ක්. එම ප්‍රමාණයෙන් 18.6%ක්ම, එනම් 50,661,149ක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකාවේ ජනගහණයෙන් 15.4%ක් සංක්‍රමණිකයින්. ඇමරිකාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවෙන් ලෝකයේ හැම රටක්ම නියෝජනය වෙනවා.

ඇමරිකාවේ සංක්‍රමණිකයන්ගෙන් වැඩිම පිරිසක් මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වූ අයයි. ඊළඟට වැඩිපුරම සිටින්නේ පිලිවෙලින් චීනයෙන්, ඉන්දියාවෙන් හා පිලිපීනයෙන් පැමිණි අයයි. ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ප්‍රමාණය 57,135ක් පමණයි. මෙම ප්‍රමාණය ඇමරිකාවේ සංක්‍රමණික ජනගහනයෙන් 0.11%ක් තරම් සුළු ප්‍රතිශතයක්. සමස්ත ශ්‍රී ලාංකික සංක්‍රමණික ජනගහනය වන 1,775,768න් වුවද 3.22%ක ප්‍රතිශතයක් පමණයි. ලංකාවේ ජනගහනය ලෝක ජනගහනයෙන් 0.27%ක් පමණ බව සැලකූ විට, ඇමරිකානු සංක්‍රමණික ජනගහනය තුළ ලංකාව නියෝජනය වන්නේ අඩුවෙන්.

ආසන්න වශයෙන් වසරකට මිලියනයක පමණ පිරිසක් ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලැබෙන ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබා ගන්නවා. ඒ සඳහා, ක්‍රම ගණනාවක් තිබෙනවා. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ඒ අතරින් එක් ක්‍රමයක් පමණයි. 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත්‍රය ලබාගත් මිලියනයකට අධික පිරිස එම බලපත්‍රය ලබා ගත්තේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 505,765

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 204,139

රැකියාව මත පදනම්ව - 139,458

සරණාගතයින් - 106,911

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 43,463

වෙනත් ක්‍රම වලින් - 32,029

එකතුව - 1,031,765


ඉහත කී ග්‍රීන්කාඩ්ලාභීන් අතරින් ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 1,689ක් පමණයි. ඔවුන් ග්‍රීන්කාඩ් බලපත් ලබා ගෙන තිබෙන්නේ පහත ක්‍රම වලිනුයි.

ඇමරිකානුවන්ගේ ළඟම ඥාතීන් (සහකරු හෝ සහකාරිය හා දරුවන්) - 531

අවශේෂ ඥාතීන් (දෙමවුපියන් හා සොහොයුරු සොහොයුරියන්)  - 185

රැකියාව මත පදනම්ව - 466

ලොතරැයිය ජයග්‍රහණය කිරීමෙන් - 370

සරණාගතයින් - 125

වෙනත් ක්‍රම වලින් - 12

එකතුව - 1,689


ලොතරැයිය හරහා ග්‍රීන්කාඩ් බලපත් ලබා ගන්නා ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.2%ක් පමණක් වුවත්, 2019 වසරේදී ඇමරිකානු ග්‍රීන්කාඩ් බලපත් ලබා ගත් ශ්‍රී ලාංකිකයින් අතරින් 21.9%ක්ම එය ලබාගෙන තිබෙන්නේ ලොතරැයිය හරහා. ඒ වගේම, මෙම ප්‍රමාණය නිකුත් කර තිබෙන මුළු ග්‍රීන්කාඩ් බලපත් ප්‍රමාණයෙන් 0.85%ක් තරම් ඉහළ ප්‍රතිශතයක්. ශ්‍රී ලාංකිකයින්ට ග්‍රීන්කාඩ් ලොතරැයි තරඟයේදී විශේෂ වාසි ගණනාවක් තිබීම එයට හේතුවක්. 

Reference:

United Nations, Department of Economic and Social Affairs. Population Division (2019). International Migrant Stock 2019 (United Nations database, POP/DB/MIG/Stock/Rev.2019).

Saturday, October 2, 2021

කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?


අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් වීමෙන් පසුව ඉතා ඉක්මණින් "වැඩ පටන් ගත්තා". කබ්රාල් කියන්නේ මහන්සි වී වැඩ කරන, වයසින් තරුණයකු නොවූවත් ජවසම්පන්න හා කාර්ය ශූර පුද්ගලයෙක්. ඒ වගේම ඉතාම දක්ෂ සන්නිවේදකයෙක්. අභියෝග හමුවේ පැන නොයා මුහුණ දීමට ඔහුගේ මේ දක්ෂ සන්නිවේදන හැකියාව ඔහුට උදවු වෙනවා. ඔහු දක්ෂ ලෙස සන්නිවේදනය කරන හැම දෙයක්ම ඇත්ත නොවූවත්, ඔහුගේ බොරු ඇත්ත මත පදනම්ව සැලසුම්සහගතව හදන බොරු නිසා ඒවා බොරු බව එක වර පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එකම බොරුව දිගින් දිගටම නැවත නැවත කීම හරහා එය ඇත්තක් කිරීම කබ්රාල්ගේ උපාය මාර්ග වලම කොටසක්. 

ඇතැම් කරුණු හා අදාළව මහ බැංකු අධිපතිවරයෙකු විසින් මෙසේ ක්‍රියා කිරීමේ වැරැද්දකුත් නැහැ. මහ බැංකු අධිපතිවරයෙකු ශුභවාදී විය යුතුයි. මහ බැංකු අධිපතිවරයා අශුභවාදී වුවහොත් එය ඉතා ඉක්මණින් විනාශයකින් කෙළවර විය හැකියි. එහෙත් මහ බැංකු අධිපතිවරයෙකුගේ ප්‍රකාශ පිළිබඳ විශ්වාසනීයත්වය රටක ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි යහපත් ලෙස බලපාන්නේ අදාළ පුද්ගලයාට අපක්ෂපාතී පුද්ගලයෙකු ලෙස රටේ (හා රටෙන් පිටත) පිළිගැනීමක් ඇති විටයි. ඉතා පැහැදිලිවම කබ්රාල් අපක්ෂපාතී පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම, ඔහුගේ ප්‍රකාශ වලට, ඒවා ඇත්ත වන අවස්ථා වලදී පවා, රටේ පුළුල් පිළිගැනීමක් නැහැ. එවැනි පිළිගැනීමක් ඇත්නම් ඒ ඔහු නියෝජනය කරන දේශපාලන කඳවුර තුළද එක් කොටසක් අතර පමණයි.

ලියන්න ගොඩක් දේවල් තිබුණත් අප කාර්ය බහුලව සිටින නිසා ඒ තරම්ම කාලයක් මිඩංගු කළ නොහැකියි. ඒ නිසා, කෙළින්ම මාතෘකාවට යමු.

කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් වන විට රටේ ආර්ථිකය මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී තිබුනා කියා කිව හැකියි. එහෙත්, ප්‍රශ්නය ඇති වන විටම, එය ඔඩු දුවන්නට පෙර, කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. එවැනි අවස්ථාවක මහ බැංකු අධිපති සේ පත් වන අයෙකු විසින් කළ යුතුම දෙය ඔහු ක්ෂණිකව කළා. ඒ ඉතා කෙටි කලකින්, එනම් ඔක්තෝබර් පළමුවෙනිදා වෙද්දී, රටේ ස්ථායීත්වය ඇති කිරීම සඳහා සය-මාසික මාර්ග සිතියමක් ඉදිරිපත් කරන බවට පොරොන්දුවක් දීමයි. මේ වෙද්දී මේ පොරොන්දුව ඉටු කර තිබෙනවා.

කබ්රාල්ගේ මාර්ග සිතියම නැති දෙයක් නැති අච්චාරුවක්. මේ විදිහට කිව යුතු දෙය වෙනත් අනවශ්‍ය දේවල් විශාල ප්‍රමාණයක් සමඟ එකට පටලවා අසන්නන් අවුලට පත් කිරීම කබ්රාල්ගේ සාමාන්‍ය සන්නිවේදන උපක්‍රමයයි. මහ බැංකු අධිපති ලෙස මේ වෙලාවේ ඔහු කරන ප්‍රකාශයක වැදගත් කොටස මහ බැංකුව විසින් විදේශ විණිමය අර්බුදයට මුහුණ දීම පිණිස කෙටිකාලීනව කරන්න යන්නේ කුමක්ද කියන එකයි. 

කබ්රාල්ගේ මාස හයේ මාර්ග සිතියම කුමක්ද? 

ඉතා කෙටියෙන් කිවුවොත්, කබ්රාල් විසින් කරන්න යන්නේ ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඩොලර් කෙසේ හෝ හොයා ගැනීමයි. වැල් වටාරම් ඉවත් කර මාර්ග සිතියමේ අදාළ කරුණු පමණක් ගත්තොත්, විණිමය අනුපාතය මේ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ඩොලර් හොයා ගන්න යන්නේ කොහොමද? 

- රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස කෙටිකාලීනව ඩොලර් බිලියනයක් (ඉදිරි මාස තුන ඇතුළත මිලියන 500ක්) ලබා ගැනීම.

- රාජ්‍ය දේපොළ විකිණීමෙන් ඩොලර් බිලියනයක් ලබා ගැනීම. 

- බදු සමා පනතේ උදවුවෙන් ඩොලර් මිලියන 100ක් හොයා ගැනීම.

- කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීම 

- රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් ඩොලර් බිලියන 1.8ක් (මාසයකට ඩොලර් මිලියන 300 බැගින්) රටට ගෙන්වා ගැනීම.

- ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.

- ඩොලර් මිලියන 300ක පමණ සංවර්ධන බැඳුම්කර විදේශිකයන්ට විකිණීම. 

- බැංකු/ මූල්‍ය ආයතන විසින් ඩොලර් බිලියන 1.5ක විදේශ ණය ලබා ගැනීම.

දැන් මේ ටික එකතු කළොත් සාරාංශයක් ලෙස ඩොලර් හොයා ගන්න යන්නේ ඩොලර් බිලියන 4.3ක ණය ලබා ගැනීම, ඩොලර් බිලියන 1.1ක විදේශ ආයෝජන ගෙන්වා ගැනීම හා ආපසු නොයන ඩොලර් බිලියන 2.8ක් රට තුළට ගෙන්වා ගැනීම ලෙසයි. එකතුව ඩොලර් බිලියන 8.2ක් පමණ වෙනවා. 

ඉදිරි මාස හයක කාලය තුළ ඔය විදිහට ඩොලර් බිලියන 8.2ක් හොයා ගන්න පුලුවන්නම් එම කාලය තුළ ගෙවිය යුතු ණය ගෙවා, අපනයන වෙනුවෙන්ද අවශ්‍ය පමණ ඩොලර් වැය කර, සංචිතද නැවත ඉහළ නංවා ගන්න පුළුවන්. එවැනි ඩොලර් ප්‍රමාණයක් ලැබේනම් ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න බැරිකමක් නැහැ.

මේ ඇස්තමේන්තු කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. එහෙත් ඉලක්ක සේ සැලකුවොත් නරක නැහැ. දැන් අපට තියෙන්නේ ඉදිරි මාස හය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය දෙස බලා ඉන්නයි.

Saturday, September 25, 2021

යහපාලන ණය හා රාජපක්ෂ ණය


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,487ක් පමණයි. යහපාලන ආණ්ඩුවේ පාලන කාලය අවසන් වෙද්දී (2019 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,032ක් වෙලා. ඒ කියන්නේ රුපියල් බිලියන 5,545කින් වැඩි වෙලා. 

ඉහත සංඛ්‍යා ගැන ටිකක් වැඩිපුර කතා වෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට සම්බන්ධ අය මේ ණය වැඩි වීම උලුප්පා පෙන්වනවා. අද මහ බැංකු අධිපති කබ්රාල් සහභාගී වූ සාකච්ඡාවකදීත් ඔහු මේ ණය වැඩි වීම ගැන කතා කළා. සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන වැඩි අවබෝධයක් නැති, පක්ෂයක් බදා ගෙන නැති අයට පවා මේ සංඛ්‍යාලේඛණ ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ තරම් ණය අරගෙන යහපාලන ආණ්ඩුව කළේ මොනවද? ඇරත් ඔය තරම් බදු වැඩි කිරීමෙනුත් පසුව?

යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි ඇතැම් දේශපාලනඥයින්ට අනුව එම ආණ්ඩුව ණය අරගෙන තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවන්න. එහෙම ණය ගෙවුවානම් ණය අඩු නොවී වැඩි වුනේ කොහොමද?

රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ විට අඩුව පියවන්න සිදු වන්නේ ණය වලින්. ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එකයි. 1955 වසරෙන් පසුව මේ තත්ත්වයේ යම් වෙනසක් ඇති වුනේ 2017 හා 2018 දෙවසර තුළ පමණයි. එම දෙවසර තුළ ණය පොලී වියදම් හැරුණු විට රජයේ අනෙකුත් වියදම් ආදායමට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් වුනා. මෙය හැඳින්වෙන්නේ ප්‍රාථමික අයවැය පරතරය ලෙසයි. මේ දෙවසර තුළ ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත්, 1955න් පසුව අනෙකුත් සෑම වසරකදීම ලංකාවේ දැකිය හැකි වුනේ ප්‍රාථමික අයවැය හිඟයක්.

යහපාලන ආණ්ඩු කාලය ගත්තත් 2017 හා 2018 දෙවසර තුළ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත් 2015දී හා 2019දී ඊට වඩා විශාල ප්‍රාථමික අයවැය හිඟයක් පැවති නිසා යහපාලන ආණ්ඩුවද සමස්තයක් ලෙස ලංකාවේ ණය මල්ල ලොකු කිරීමට මිස කුඩා කිරීමට දායක වුනේ නැහැ. අදාළ කාලය තුළ සමස්තයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා රුපියල් බිලියන 371ක් වියදම් කළා.

යහපාලන ආණ්ඩුව අවුරුදු හතරටම ආදායම ඉක්මවා වියදම් කළේ රුපියල් බිලියන 371ක් පමණක්නම් රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,545කින් වැඩි වුනේ කොහොමද?

ප්‍රාථමික අයවැය හිඟය හැරුණු විට මේ වැඩි වීමට හේතු දෙකක් තිබෙනවා. එකක් පරණ ණය වල පොලිය එකතු වීම. දෙවැන්න පරණ ණය වල වෙළඳපොළ අගය වෙනස් වීම. මෙසේ වෙළඳපොළ අගය වෙනස් වීමට බොහෝ දුරට හේතු වන්නේ විණිමය අනුපාතය වෙනස් වීමයි. එහෙත් එය එකම හේතුව නෙමෙයි.

උදාහරණයක් විදිහට 2015 වසර තුළ පමණක් රුපියල් බිලියන 7,487 සිට රුපියල් බිලියන 8,599 දක්වා රුපියල් බිලියන 1,112කින් රාජ්‍ය ණය ඉහළ ගියා. එහෙත් එම වසරේ රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 320ක් පමණයි. (මෙයත් විශාල මුදලක්.) ඉතිරි මුදල වැඩි වුනේ රුපියල් බිලියන 510ක පොලී එකතු වීමෙන් හා රුපියල් බිලියන 283කින් ණය වල අගය වෙනස් වීමෙන්.

යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 අතර සිදු වූ රුපියල් බිලියන 5,545ක ණය වැඩි වීමෙන් රුපියල් බිලියන 3,610ක්ම පොලී එකතු වීම්. තවත් රුපියල් බිලියන 1,564ක් ණය වල අගය වෙනස් වීම්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ඇත්තටම ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන 371ක් පමණක් වුවත් තවත් රුපියල් බිලියන 5,174කින් ණය ඉහළ ගොස් තිබෙන්නේ පරණ ණය වලට පොලී එකතු වීමෙන් හා අගය වෙනස් වීමෙන්. මෙයින් යහපාලන ආණ්ඩුව කාලයේම ගත් ණය වල පොලිය එකතු වීම හා අගය වෙනස් වීම රුපියල් බිලියන 167ක් පමණයි. ඉතිරි කොටස තනිකරම පරණ ණය. 


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 12,494

මුළු ණය - රුපියල් බිලියන 13,032


මේ පරණ ණය රාජපක්ෂ ණයද?

රාජපක්ෂ දශකය තුළ රුපියල් බිලියන 2,144 සිට (2004 වසර අවසානයේදී) රුපියල් බිලියන 7,487 දක්වා (2014 වසර අවසානයේදී) රුපියල් බිලියන 5,343කින් රාජ්‍ය ණය ඉහළ ගියා. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදී වගේම රාජපක්ෂ දශකය තුළත් ඔය තරමින් ණය ඉහළ ගියේ ආදායම ඉක්මවා වියදම් කළ නිසාම නෙමෙයි. එම කොටස රුපියල් බිලියන 966ක් පමණයි. රුපියල් බිලියන 3,094ක්ම ණය පොලී. තවත් රුපියල් බිලියන 1,440ක් ණය වල අගය වෙනස් වීමේ ප්‍රතිඵල. ඒ අතර රාජපක්ෂ ණය වලම පොලිය හා අගය වෙනස් වීමේ ප්‍රතිඵලද තිබුණත් වැඩි කොටස පරණ ණය. 

මේ අනුව, 2019 අවසානය වන විට වාර්තා වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් රාජපක්ෂ ණය ප්‍රමාණය කොපමණද?


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

රාජපක්ෂ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 2,449

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 10,046

මුළු ණය - රුපියල් බිලියන 13,032


ඔය විදිහට ගණන් හදාගෙන ආපස්සට ගියොත් ලංකාවේ රාජ්‍ය ණය කියා කියන්නේ නිදහසින් පසු හැම ආණ්ඩුවක් විසින්ම ආදායම ඉක්මවා වියදම් කිරීමේ ප්‍රතිඵලයක් මිසක් එක ආණ්ඩුවක වරදකින් සිදු වූ දෙයක් නෙමෙයි. මේ ණය උගුලෙන් ගැලවෙන්නනම් අයවැය හිඟය අඩු කර ගැනීම මිස වෙනත් විකල්පයක් නැහැ. 

Sunday, September 19, 2021

ප්‍රයිවෙට් බස් ප්‍රයිවෙට්ද?


හැත්තෑ හතේදී ලංකාව තුළ සෝවියට් ක්‍රමයේ සමාජවාදය වෙනුවට චීන ක්‍රමයේ සමාජවාදයක් ආදේශ වීම ගොඩක් අය හඳුන්වන්නේ ලංකාවට විවෘත ආර්ථිකයක් පැමිණීමක් ලෙසයි. පරණ ක්‍රමයට සාපේක්ෂව ආර්ථිකය යම් තරමකින් බාහිර ලෝකයට විවෘත වූ නිසා මේ යෙදුමේ විශාල වැරැද්දක් නැහැ. එහෙත්, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය බාහිරට විවෘත වුනේ ඊට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව පමණයි.

හැත්තෑ හතේ ආ පැකේජ් එක ඇතුළේ එතෙක් රජය විසින් තනිවම කළ ඇතැම් ආර්ථික ක්‍රියාකාරකම් රජයට අවශ්‍ය ආකාරයට කරමින් පෞද්ගලිකව ලාබ ලැබීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ රජය විසින් තෝරාගත් පිරිසකට ලැබුණා. සෝවියට් දේශය බිඳ වැටුනට පස්සේ චීනය අනුගමනය කළ ක්‍රමයත් මෙයයි. මේ ක්‍රමය පෙර ක්‍රමයට සාපේක්ෂව ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් කළා.

සෝවියට් සමාජවාදය තුළ නිෂ්පාදනය හා බෙදා හැරීම තනිකරම වාගේ රාජ්‍ය ඒකාධිකාරයක්ව පැවතුනා. හැම දෙයක්ම තීරණය වුනේ රජයේ පස් අවුරුදු සැලසුම් ඇතුළේ. සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේත් මේ ක්‍රමයයි. 

සෝවියට් සමාජවාදය, එහෙමත් නැත්නම් "නියම" සමාජවාදය, ඇතුළේ එයට වැඩිකල් යාමට නොහැකි වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන් ගණනාවක් තිබුණා. ප්‍රධානම ප්‍රශ්නය වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට කිසිසේත්ම වෙළඳපොළ තරමට කාර්යක්ෂම වීමට නොහැකි වීමයි. අනුන්ගේ සම්පත් පාලනය කළ "මහජන සේවකයින්ට" තමන්ගේ ව්‍යාපාරයක් කරන අයෙකු මෙන් ලාබ උපයන්නට අවශ්‍ය නොවූ නිසාත්, තරඟයක් නොතිබුණු නිසාත්, න්‍යායාත්මකව සිදු විය හැකි පරිදිම රාජ්‍ය ව්‍යවසායයන් විසින් දිගින් දිගටම අකාර්යක්ෂමතාවය නඩත්තු කළා. ක්‍රමය තුළ සිදු විය යුතු පරිදිම හොරකම්, වංචා සිදු වුනා. ඒවා වළක්වන්නත් වියදමක් දරන්න සිදු වුනා. 

සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ ලංකාව ඇතුළු සෝවියට් පන්නයේ සමාජවාදය ක්‍රියාත්මක වූ හැම රටකටම වගේ වෙළඳපොල ආර්ථිකයක් තිබුණු අනෙකුත්  රටවල් වල කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ නොහැකි වූ නිසා රටවල් සංවෘතව තියා ගන්න සිදු වුනා. කාර්යක්ෂම විය හැකිව තිබුණේ තවත් සමාජවාදී රටක් සමඟම කරන ගනුදෙනු වලදී පමණයි. ඒ නිසා, සෝවියට් සමාජවාදය බොහෝ විට ක්‍රියාත්මක වුනේ එක්කෝ සංවෘත ජාතික සමාජවාදී රාමුවක් ඇතුළේ. නැත්නම් මේ ගොඩේ සිටි ලොකු අයියා වූ සෝවියට් දේශයේ සෙවණ යටතේ පරිවාර රාජ්‍යයක් විදිහට. ඒ හැර වෙනත් ස්වාධීන පැවැත්මක් සෝවියට් සමාජවාදය අනුගමනය කළ කිසිදු රටකට තිබුණේ නැහැ.

අන්තිමේදී සෝවියට් දේශය බිඳ වැටුනා. ඒ එක්කම ලෝක මට්ටමෙන් සෝවියට් පන්නයේ සමාජවාදයද බිඳ වැටුණා. 

චීන සමාජවාදය වෙත මාරු වීම තුළ සමාජවාදී ක්‍රමයට තව දුරටත් නොමැරී ජීවත් වීමේ හැකියාව ලැබුණා. මෙහිදී මේ රටවල් සමාජවාදී නොවන ලෝකයට විවෘත වුනා වගේම රජයේ පාලනය යටතේ වෙළඳපොළට යම් ඉඩක් විවෘත වුනා. රට ඇතුළේ යම් පිරිසකට ලාබ උපයන්න අවස්ථාව ලැබුණා. 

ආර්ථික වශයෙන් දියුණු රටකට තවත් දියුණු වෙන්න ව්‍යවසායකත්වය අවශ්‍යයි. ව්‍යවසායකත්වය ඉස්මතු වෙන්නේ සියල්ලන්ටම සමාන අවස්ථා ලැබෙන, තරඟය තුළ වඩා කාර්යක්ෂම ව්‍යවසායකයා ඉතිරි වන ක්‍රමයක් තුළයි. එහෙත්, ආර්ථික වශයෙන් නොදියුණු රටකට පහසුවෙන් දියුණු රටක් දිහා බලාගෙන දියුණු වෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් තරම් ලෝකයට විවෘත වීම පමණයි. ව්‍යවසායකත්වය බිහි කරන ධනවාදී ලෝකයක් බාහිරින් පවතින තුරු, චීන සමාජවාදයට සෝවියට් සමාජවාදය මෙන් කඩා නොවැටී පවතින්න පුළුවන්. ධනවාදී රටක කිට්ටුවට එන තුරු වේගයෙන් වර්ධනය වෙන්නත් පුළුවන්. 

කාර්යක්ෂම ධනවාදයක් පැවතිය හැක්කේ සියල්ලන්ටම සමාන අවස්ථා හිමි වේනම් පමණයි. ඒ සඳහා දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් එක රැයින් ගොඩ නැගෙන්නේ නැහැ. එය කාලයක් තිස්සේ සිදුවන පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. වැඩවසම් ක්‍රමයක හෝ සෝවියට් පන්නයේ සමාජවාදයක හිර වී සිටින රටකට එක පාරටම ධනවාදයක් කරා මාරු වෙන්න බැහැ. චීන සමාජවාදය එවැනි රටකට හොඳ අතරමැදි පියවරක්. හැත්තෑ හතේදී ලංකාව තැබුවේ මේ අතරමැදි පියවරයි. ධනවාදය මීට වඩා බොහෝ දුරින් තිබෙන දෙයක්. ළඟා කරගත යුතු ඉලක්කයක්.

බොහෝ දෙනෙක් "විවෘත ආර්ථිකය" ලෙස වැරදියට හඳුන්වන ජේආර්ගේ චීන සමාජවාදී ක්‍රමය තුළ ලංකාවේ ප්‍රයිවෙට් බස් පාරට ආවා. ලංකාවේ ඊනියා විවෘත ආර්ථිකයේ වැරදි දකින්න කැමති බොහෝ දෙනෙක් මේ ප්‍රයිවෙට් බස් උදාහරණයකට ගන්නවා. දැන්නම් ලංකාවේ ප්‍රයිවෙට් බස් ඒ තරම්ම නරක නැහැ. නමුත්, කොන්ද නමාගෙන යා යුතු පාන් බාග වෑන් වල සාඩින් පැක් කරන්නාක් මෙන් මිනිස්සු පැක් කළ කාලයක් තිබුණා. හැත්තෑ ගණන් වල අග හෝ අසූ ගණන් වල මුල සිත්තර පත්තරයක් හොයා ගෙන මැද පිටුවේ පහළ කැමිලස්ගේ ගජමෑන් කොටස් බලන්න.

කලක් යද්දී පාන් බාග තහනම් වුනා. හැබැයි පොල් පටවනවාක් සේ සෙනඟ පැටවීම, මහ පාරේ පදික ජීවිත හා මගී ජීවිත නොසලකමින් සිදු වූ මිනීමරු තරඟය, මගියා "කෑල්ලක්" වීම නැවතුනේ නැහැ. ඉතා පැහැදිලිවම ලංකාවේ ප්‍රයිවෙට් බස් ආකෘතිය හොඳ ආකෘතියක් නෙමෙයි. එහෙම වුනේ ඇයි? වැරැද්ද වෙළඳපොළ තරඟයේද? එහෙම නැත්නම් වෙළඳපොළ තරඟයක් නැතිකමේද? ලංකාවේ ප්‍රයිවෙට් බස් ඇත්තටම ප්‍රයිවෙට්ද?

ප්‍රයිවෙට් බස් කියා කියන්නේ ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප අතරින් එක් විකල්පයක් පමණයි. ප්‍රවාහනය සඳහා තිබෙන විකල්ප පෞද්ගලික ප්‍රවාහනය හා පොදු ප්‍රවාහනය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. පෞද්ගලික ප්‍රවාහනය සේ සැලකෙන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් තමන්ගේ වාහනයකින් තමන්ට අවශ්‍ය තැනකට යාමයි. එසේ නැත්නම් පවුලේ අයෙකු හෝ වෙනත් අයෙකු තමන්ට අවශ්‍ය තැනකට ප්‍රවාහනය කිරීමයි. මෙහිදී මගියෙකුගෙන් අදාළ ගමන වෙනුවෙන් මුදල් අය කිරීමක් සිදු වන්නේ නැහැ.

මෙයින් වෙනස්ව පොදු ප්‍රවාහනයේදී කිසියම් මුදලක් අය කර වෙනත් අයෙකුව අවශ්‍ය තැනකට ප්‍රවාහනය කෙරෙනවා. බොහෝ විට සේවය සපයන්නා සහ මගියා එකිනෙකා හඳුනන අය නෙමෙයි. ඒ වගේම, එක වර එකිනෙකා නොහඳුනන පුද්ගලයින් ගණනාවක් ප්‍රවාහනය කෙරෙන්න පුළුවන්. මෙවැනි ගනුදෙනුවක් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්.

පෞද්ගලික ප්‍රවාහනයේදී වුවත් වාහන ගමන් කරන්නේ පෞද්ගලික පාරවල් වල නෙමෙයි. පාරවල් බොහෝ විට පොදු පාරවල්. ඒ නිසා, පෞද්ගලික ප්‍රවාහනය වුවත් පුද්ගලයින් ගණනාවක් සම්බන්ධ වන සංකීර්ණ ගනුදෙනුවක්. මේ හේතුව නිසා ප්‍රවාහනය යනු යම් ආකාරයක සමාජයීය එකඟතාවයන් අවශ්‍ය වන සංකීර්ණ ගනුදෙනුවක්. එය දෙදෙනෙකු අතර සිදු වන සරල ගනුදෙනුවක් නෙමෙයි. මෙවැනි ගනුදෙනුවක් හා අදාළ සමාජයීය එකඟතාවයන් තුළ තෙවන පාර්ශ්වයන්ට හානි සිදු නොවන බවට සහතිකයක් තිබිය යුතුයි. නියාමනය හරහා රජය මැදිහත්වීමක් කරන්නේනම් එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ එකිනෙකාගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව ඇති වන සමාජයීය සම්මුතියක් බලාත්මක කිරීමයි.

පෞද්ගලික හෝ රජයේ බස් සේවාවකින් කෙරෙන්නේ කිසියම් කාලයක් තුළ කිසියම් ස්ථාන දෙයක් අතර ගමන් කරන්නට අවශ්‍ය පිරිසකට එකවර එම අවස්ථාව ලබා දීමයි. මේ වෙනුවෙන් පිරිවැයක් දරන්නට සිදු වනවා. එම පිරිවැය මගීන්ගෙන් අය කෙරෙනවා. 

ලංකාවේ බස් සේවා කර්මාන්තය ඓන්ද්‍රීය ලෙස ගොඩ නැගුනු එකක්. 1940 පමණ වන තුරු කිසිදු නියාමනයක් සිදු වී නැහැ. සේවා සපයන සමාගම් විසින් පාරවල් "අයිති කර ගැනීමක්" සිදුව ඇති බව පේනවා. එක් එක් ප්‍රදේශ වල බස් සේවා සැපයීමේ ඒකාධිකාරය විවිධ පුද්ගලයින් සතුව තිබී ඇති බව පේනවා. කිසියම් ප්‍රදේශයක එක් සමාගමකට වඩා බස් සේවා සපයන්න ඉදිරිපත් වූ අවස්ථා වල ගැටුම් ඇති වී තිබෙනවා. බස් පෞද්ගලික වුවත් පාරවල් පෞද්ගලික නොවූ නිසා රජයට මෙම කර්මාන්තය පහසුවෙන් නියාමනය කළ හැකිව තිබුණා. 1940-1958 අතර කාලයේ එවැනි නියාමනයන් සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සේවාවන්ගේ ගුණාත්මක භාවයද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, රාත්‍රී කාලයේදී හෝ දුෂ්කර පාරවල් වල සේවා සැපයීමක් එතරම් දුරට සිදු වී නැහැ.

බස් ජනසතුව සිදු වුනේ ඔය වගේ පසුබිමක. බස් ජනසතු කරද්දී බස් සමාගම් 73ක් පමණ ලංකාව පුරා ක්‍රියාත්මකව තිබෙනවා. මේවා බස් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු තරමක් විශාල දේශීය සමාගම්. එකවරම මේ කර්මාන්තය බිඳ දමා බස් සේවා සැපයීමේ ඒකාධිකාරය රජය සතු කර ගන්නවා.

සමාගම් 73ක් විසින් වෙන වෙනම සැපයූ සේවාවන් ඒකාබද්ධ කිරීමේ යම් වාසිද තිබෙනවා. මධ්‍යගත සැලසුම් ක්‍රමය සමස්තයක් ලෙස අකාර්යක්ෂම වුවත්, එහි සාධනීය අංග තිබෙනවා. රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වලද වැඩි වශයෙන් බස් සේවා සපයන්නට හැකි වීම එවැනි එක් වාසියක්. එහෙත්, මේ සේවාවන් මධ්‍යගත පාලනයක් නැතිව වුවද සැපයිය හැකිව තිබුණා. කළ යුතුව තිබුණේ යම් කොන්දේසි යටතේ යම් ප්‍රදේශයක පාරවල් වල බස් සේවා සැපයීමේ අවස්ථාව වෙන්දේසි කිරීමයි. එසේ වෙන්දේසි කර සමාගම් එකක් හෝ කිහිපයක් තෝරා ගැනීමයි.  රාත්‍රී කාලයේදී හා දුෂ්කර පාරවල් වල සේවාවන් සැපයීම වඩා වාසිදායක තත්ත්වයන් යටතේ සේවා සැපයීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා අනිවාර්ය කොන්දේසියක් කළානම් ප්‍රශ්නය ඉවරයි. 

ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භයේදී වේගයෙන් ව්‍යාප්ත වුවත් පාලකයින්ට සෘජු ලාබ නොලැබෙන තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සිදුවන පරිදි කාලයත් සමඟ අකාර්යක්ෂමතාවය ඉහවහ යනවා. ලංගම දිගින් දිගටම පාඩු ලබමින් මහජන මුදලින් නඩත්තු වෙනවා. අද වන විට කවුරුත් කතා කරන ලංකාවේ දැවැන්ත රාජ්‍ය ණය මල්ල තුළ ලංගම පාඩු වෙනුවෙන් රජය ගත් ණය හා එම ණය වල පොලිය කොපමණක්ද යන්න ගණන් හදා බැලිය යුතු දෙයක්. 

වැඩි කලක් නොගොස් ලංගම අකාර්යක්ෂමතාවයේ සංකේතයක් බවට පත් වෙනවා. දේශපාලන හෙන්චයියන්ගෙන් ලංගම පිරෙනවා. ඔවුන් කරන දෙයක් නැහැ. ලංගමින් පඩි ලබමින් කරන්නේ දේශපාලනය. යම් අවස්ථාවක එක බසයකට සේවක ප්‍රමාණය 17ක් හෝ වැඩි ගණනක් දක්වා ඉහළ ගොස් තිබුණු බව මට මතකයි. සමගි පෙරමුණු රජය කාලයේ මැයි පෙලපාලි වලට සෙනග අදින්නට ලංගම බස් විශාල සේ යොදාගත් බව මගේ මතකයේ ඇති දෙයක්. හැත්තේ හතේදී ලංගම බස් වල නිල් පාට පටිය කොළ පාට වූ පසුද මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වුනේ නැහැ. ඇතැම් බස් වල ගමනාන්ත වුනේ ඩිපෝ පරීක්ෂකගේ නිවෙස. එසේ නැත්නම් ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ හිතවතෙකුගේ නිවස. ඇතැම් විට බස් කාල සටහන් හැදුනේද ඇතැම් අයගේ පෞද්ගලික අවශ්‍යතා සමග ගැලපෙන පරිදියි. මේවා මම හොදින්ම දන්නා, මට හොඳින්ම මතක දේවල්.

පනස් අටේ බස් ජනසතුව හරහා ඊබට් සිල්වා සමාගම වැනි දේශීය සමාගම් ගණනාවක් මරා දමනු ලැබෙනවා. නැගී ගෙන එන දේශීය කර්මාන්තයක් උපන් ගෙයිම මරා දැමෙනවා. මේ කර්මාන්තය අවශ්‍ය පරිදි නියාමනය කර දියුණු වෙන්නට ඉඩ ඇරියානම් රජයේ බදු ආදායම්ද ඉහළ යා හැකිව තිබුණත් ඒ වෙනුවට වෙන්නේ සුදු අලියෙකුට පණ දීමයි. සමස්ත වියදමෙන් 40%ක් පමණ දක්වා ණයෙන් සුබසාධනය වන තැනට වැටෙන ලංගමට මුලින් තිබුණු බස් ටිකම කැඩෙන විට හද හදා දුවවනවා හෝ එම වර්ග වලම බස් අලුතින් ධාවනයට එකතු කරනවා මිස ගුණාත්මක භාවයෙන් ඉහළ හොඳ බස් ධාවනයට එකතු කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හැත්තෑ හත වෙනකොට ලංගම මැරිලා. 

හැත්තෑ හතෙන් පසුව, හැත්තෑ අටේදී, පෞද්ගලික බස් ධාවනයට නැවත ඉඩ සැලසෙනවා. ඒ වෙද්දී බස් ජනසතුව සිදු වී යාන්තම් අවුරුදු විස්සයි. ඒ අවුරුදු විස්ස වසර පහෙන් පහට එජාප-ශ්‍රීලනිප තට්ටුමාරුව සිදු වූ කාලයක්. හැත්තෑ හතෙන් පසුව අනූ තුන පමණ වන තුරු ශ්‍රීලනිපය සෝවියට් සමාජවාදය අත හැර තිබුණේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ පනස් අටට පෙර බස් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කළ සමාගම් වලට සිදු වූ දෙය දැක තිබුණු විශාල ආයෝජකයින් තමන්ගේ අත පුච්චා ගන්න හදිස්සි නොවන බව අමුතු දෙයක් නෙමෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ වුවත් හැත්තෑ අටේදී මුලින්ම පාරට බස් දැම්මේ ලොකු බස් විශාල ප්‍රමාණයක් පාරට දමන්න තරම් සල්ලි තිබුණු අයයි. උදාහරණයක් විදිහට රත්නපුර පැත්තේ මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් මුලින්ම මේ බස් වැඩේට අත ගැහුවා. ඒ බස් ලංගම බස් වලට වඩා අලුත්, සුවපහසු, ලොකු බස්. ලංකාව පුරා නගර වලට මේ බස් දිවුවා. ගාස්තුව තිබුණේ ලංගම ගාස්තුවට වඩා ටිකක් ඉහළින්. මම ජීවත්ව සිටි තැන සිට ලඟම නගරයට යන්න ලංගම බස් ගාස්තුව ශත 20ක් වුවත් පෞද්ගලික බස් එකක ශත 25ක් අය කළා. බස් සේවකයෝ මගීන්ට හොඳින් සැලකුවා. කෙටුවේ නැහැ වගේම රේස් ගියේත් නැහැ. අත දැම්මොත් බස් එක නැවැත්තුවා. ලංගම බස් වගේ අත දමද්දී මගීන් නොසලකා ගහගෙන ගියේ නැහැ. ලංගම බස් නම් සෙනග නැතත් සමහර වෙලාවට එහෙම කළා. මේ පෞද්ගලික බස් වල බොහෝ විට සීට් තිබුණා. හිටගෙන යන්න වුනේ නැහැ. පෞද්ගලික බස් පිළිබඳ මගේ මුල්ම පෞද්ගලික අත්දැකීම් ඉතා ප්‍රසන්න අත්දැකීම්. 

හැබැයි මේ තත්ත්වය වැඩි කාලයක් තිබුණේ නැහැ. 1979 අවසාන වන විට ලංකාවේ පෞද්ගලික බස් අයිතිකරුවන් ප්‍රමාණය 3,800 ඉක්මවලා. මේ ගොඩක් අය එක් බසයක් පමණක් තිබුණු අය. සමහර විට රියදුරු හෝ කොන්දොස්තර වුනේ අයිතිකරුමයි. ඉතා ඉක්මනින් මේ තත්ත්වය වෙනස් වෙලා බස් අයිතිකරුවන් හා මෙහෙයවන්නන් කණ්ඩායම් දෙකක් වුනා. වඩා වැදගත් කරුණ අර මුලින්ම පාරට බස් විශාල ප්‍රමාණයක් දමපු සමාගම් එකින් එක කර්මාන්තයෙන් ඉවත් වුනා. ඒ එක්කම සේවයේ ගුණාත්මක භාවය විශාල ලෙස පිරිහුණා.

දැන් බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වැඩේ වුනේ තරඟය නිසා බවයි. එහෙත් එය එහෙමද? 

පෞද්ගලික බස් වලට අවසර දී ඉතා කෙටි කලකින් හෝ ආරම්භයේදීම රජය මගින් මිල නියාමනය කරනු ලැබුවා. මේ මිල නියාමනය අදටත් එසේම තිබෙනවා. ඒ කියන්නේ බස් ප්‍රයිවෙට් වුනත් බස් ගාස්තුව තීරණය කරන්නේ රජයයි.

නිදහස් වෙළඳපොළක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. පහසුවට අපි ඉල්ලුම ස්ථිර, අනම්‍ය ඉල්ලුමක් සේ සලකමු. දැන් බස් සේවා සපයන්නන්ට එකිනෙකා සමඟ තරඟ කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් අඩු මිලකට සේවාවන් සැපයීම. අනෙක වැඩි ගුණාත්මක සේවයක් සැපයීම. හැබැයි අඩු මිලකට සේවාවන් සැපයීමේ දී සේවයේ ගුණාත්මක භාවයද අඩු වෙනවා. ඒ නිසා, ගුණාත්මක සේවයක් සැපයිය හැක්කේ වැඩි මිලක් අය කරන්නට ඉඩක් ලැබේනම් පමණයි. 

පෞද්ගලික බස් වලට අවසර දීමෙන් පසු මිල පාලනය නොකළේනම් විවිධ සැපයුම්කරුවන් විසින් විවිධ පැකේජ් ඉදිරිපත් කරනවා. ඇතැම් අය වැඩි මිලක් අය කර ගුණාත්මක සේවයක් සපයයි. ඇතැම් අය ගුණාත්මක භාවය අඩු කර අඩු මිලකට සේවය සපයයි. තෝරා ගැනීම එක් එක් පාරිභෝගිකයා සතු වෙයි. 

රජය මිල පාලනය කිරීම නිසා මේ වැඩේ මේ විදිහට සිදු වුනේ නැහැ. මිල තීරණය කර තිබුණේ ලංගම මිල මත පදනම්වයි. ඒ මිලට ලංගමට ගුණාත්මක සේවයක් සපයන්න හැකි වී තිබුණේ නැහැ. සපයපු අඩු ගුණාත්මක සේවය යටතේ වුවත් ලාබ ලබන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. 

පෞද්ගලික බස් හිමියන්ට ලංගම වගේ පාඩුවට බස් දුවවන්න බැහැ. ඔවුන්ව බදු සල්ලි වලින් හෝ උද්ධමන බද්දෙන් සුබසාධනය වෙන්නේ නැහැ. යාන්තමින් හෝ ලාබ ලබන්නනම් ඔවුන්ට ගුණාත්මක භාවය පහළ දමනවා මිස වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ වැඩේ ඒ විදිහටම සිදු වුනා. සේවය ගුණාත්මක බවින් අඩු වුනත් තරඟය හමුවේ වඩා කාර්යක්ෂම සේවා සපයන්නන් පමණක් ඉතිරි වීම නිසා ඔවුන් කෙසේ හෝ ලාබ ලැබුවා. එවැනිම ගුණාත්මක බවින් අඩු සේවයක් සැපයු ලංගම අකාර්යක්ෂමතාවය නඩත්තු කරමින් දිගින් දිගටම පාඩු ලැබුවා.

ඇත්තටම කියනවානම් මේ පෞද්ගලික බස් හිමියන්ද ලාබ ලැබුවේ නැහැ. ඔවුන් ලාබ සේ දැක්කේ තමන්ගේ ශ්‍රමයේ වියදම නොසැලකීමෙන් පසු සිදු වූ ඉතිරියයි. නමුත්, බස් ගණනාවක් අයිතිව සිටි අයට බස් ධාවනය කළ හැකි වූයේ රියදුරු හා කොන්දොස්තරවරුන් ලෙස වෙනත් අයව සේවයේ යෙදවීමෙන්. ඔවුන්ට වැටුප් ගෙවීමට සිදු වීමත්, ඔවුන් හොරකම් කිරීම වැළැක්වීම අසීරු වීමත් නිසා, විශාල බස් සමාගම් වලට තනි බස් අයිතිකරුවන් සමඟ තරඟ කරන්න බැරි වුනා. ඔවුන් වෙළඳපොළෙන් ඉවත්ව ගියා. තනි බස් අයිතිකරුවන් පමණක් ඉතිරි වුනා.

කොහොම වුනත් හැත්තෑ හතේ සිට අද දක්වාම කැමති කෙනෙකුට ප්‍රයිවෙට් බස් එකක් පාරට දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ අයිතිය හිමි වුනේ ආණ්ඩුව කැමති අයට පමණයි. රූට් පර්මිට් ලැබුණේ ආණ්ඩුවේ හෙන්චයියන්ටයි. මේ හේතුව නිසා ඉතිරි වූ තනි බස් අයිතිකරුවන් අතර ඉතිරි වුණෙත් ආණ්ඩුවට හිතවත් අය මිසක් වඩා කාර්යක්ෂම අය නෙමෙයි. ඒ කියන්නේ චීන සමාජවාදය මිසක් කිසිසේත්ම නිදහස් වෙළඳපොළක් හෝ ධනවාදයක් මෙතැන තිබුණේ නැහැ. 

මුලදී රූට් පර්මිට් ලැබුණේ දැන් බාර් පර්මිට් ලැබෙන විදිහට දේශපාලනඥයින් හරහා. දැන් වුනත් මේ වැඩේ මේ විදිහට නොවෙනවා කියා කියන්න බැහැ. රූට් පර්මිට් එකක් ගන්න දේශපාලනඥයකු වෙත යා යුතුයි. අත යටින් ගාණක් දෙන්න ඕනෑ වගේම දිගටම මැතිවරණ වලදී පෝස්ටර් මුද්‍රණය කර දීම වැනි උදවු කරන්නත් වෙනවා. මේ සියල්ල අය කර ගන්න වෙන්නේ ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් වුවත් එය රජයෙන් තීරණය කර අවසානයි. ඒ නිසා, ලාබ ලබන්න තිබෙන එකම ක්‍රමය ගුණාත්මක භාවය අඩු කිරීම. බොහෝ බටහිර රටවල මෙන් රාත්‍රී හෝ සති අන්ත සේවා සැපයුවා කියා වැඩි මිලක් අය කරන්න ඉඩ නොලැබුණු නිසා එවැනි සේවාවන් සපයන්න කිසිවකු නැඹුරු වුනේ නැහැ. 

ඕනෑම කෙනෙකුට රූට් පර්මිට් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා රූට් පර්මිට් ලබා ගත හැකි වූ අයට බස් පාරට නොදමාම රූට් පර්මිට් එක වෙනත් අයෙකුට දීමෙන් පමණක් ආදායමක් උපයන්න අවස්ථාවක් ලැබුණා. අවදානමක් හෝ මහන්සියක් නැතිව මාසෙ අන්තිමට අතට අවශ්‍ය ගාණ එනවානම් බස් දුවවන්න මහන්සි වෙන්නේ මොන මගුලකටද? 

දැන් පාරට බස් එකක් දමා ලාබ හොයන්න කැමති කෙනෙකුට මුදලක් ගෙවා වෙනත් අයෙකු සතු රූට් පර්මිට් එක පාවිච්චි කිරීමේ විකල්පය තිබෙනවා. මෙය තනිකරම අමතර වියදමක් වගේම නිදහස් වෙළඳපොළක් නැති කමේ, ලංකාවේ සමාජවාදී ක්‍රමයේ, ප්‍රතිඵලයක්. මේ වියදමත් ආවරණය කරගත යුතු වුවත් ප්‍රවේශ පත්‍ර මිල වැඩි කරන්න බැහැ. ආදායම් වැඩි කර ගත හැකි ක්‍රමය හැකි තරම් සෙනග පැටවීම හා සෙනග සිටින වෙලාවට වැඩි ටර්න් ගණනක් දුවන එකයි.

මේ තනි අයිතිකරුවෝ බොහෝ දෙනෙක් බස් අරන් තියෙන්නේ ලීස් කරලා. එක පැත්තකින් එහෙම වෙන්නත් ඕනෑනේ. අතේ සල්ලි දමලා කලින් පාර වගේ ජනසතුවක් වුනොත් කාට කියන්නද? ඔය ජනසතු කිරීම් වල ඔය ආකාරයේ දිගුකාලීන අවාසි තිබෙනවා. ජනසතු කිරීමේ ඉතිහාසයක් තිබෙන රටක මිනිස්සු තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න බයයි. ලීස් කරලා ගත්තහම අවුලක් නැහැ. අනෙක් අතට බස් එක තමන්ගේම නොවන නිසා බස් එක පරිස්සම් කරන්න මහන්සි වෙන්නත් අවශ්‍ය නැහැ. මාස්පතා ලීසිං එක ගෙවන්න ආදායමක් ලැබෙනවානම් එච්චරයි. තව තෙල් වියදම්, සේවක පඩිනඩි ගෙවන්නත්  අවශ්‍යයි.

මේ ක්‍රමයත් වැඩිකල් පැවතුණේ නැහැ. මොකද සැමන් වගේ පැක් කරපු බස් පට් පට් ගාලා ටර්න් ගහද්දී කොන්දොස්තර මාටියා ගහන එක අල්ලන්න බස් අයිතිකාරයාට පහසු නැහැ. අන්තිමට බස් අයිතිකාරයා අතින් කාලා හරක් බලනවා. බස් එක දවසේ කුලියට කොන්දොස්තරටම දෙන වත්මන් ක්‍රමය පරිණාමය වුනේ ඔය විදිහටයි. දැන් ලීසිං සමාගමට, රූට් පර්මිට් අයිතිකාරයාට හා බස් එකේ අයිතිකාරයට නිශ්චිත ගාණක් ලැබෙනවා. කොන්දොස්තර මොන විදිහට හරි ඔය වියදම් හෙවුවට පස්සේ තමයි ඔහුට ලාබයක් ලැබෙන්නේ. ඩ්‍රයිවර්ගේ ගාණත් දෙන්න ඕනෑ. ගුණාත්මක භාවය පවත්වාගෙන ඔය ඔක්කොම කරන්න බැහැ.

ලීසිං පොලී ගිණි ගණන් බව කවුරුත් දන්නවනේ. ඒ ඇයි? අවදානමක් නැතිව රජයට ණය දී (භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන) වැඩි පොලියක් ලබන්න පුළුවන්කම තියෙද්දී වැඩි අවදානමක් දරාගෙන ඊට වඩා අඩු පොලියකට වෙන අයට ණය දෙන්න බැහැනේ. අවදානමට සරිලන පොලියක් අය කරන්න වෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලිය වැඩි ඇයි? අයවැය හිඟය! කොයි පාරෙන් ගියත් මුල තියෙන්නේ විශාල රජයක් නඩත්තු කිරීමේ ප්‍රශ්නය. අනෙක් පැත්තෙන් බස් එකේ මිලෙන් වැඩි කොටසක් රජය අය කරන බදු. තෙල් මිලේ වුනත් එහෙමයි.

කාගෙනුත් බැනුම් අහන්නේ බස් එකේ කොන්දොස්තර කොලුවා තමයි. නමුත් මේ කොන්දොස්තර කොලුවා කරන්නේ කුමක්ද? දවස පුරා මාර කට්ටක් කා, මගීන් හැකි තරම් පීඩාවට පත් කර උපයන සල්ලි රජයට හා ආණ්ඩුවේ ගජමිතුරන්ට ලබා දෙන එකයි. ඕක ධනවාදයක්ද? ඕක තමයි චීන සමාජවාදය.

ප්‍රයිවෙට් බස් නමට ප්‍රයිවෙට් තමයි. හැබැයි නමට විතරයි. ලංකාවේ ප්‍රයිවෙට් බස් පාලනය කරන්නෙත් රජයම තමයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...