වෙබ් ලිපිනය:

Saturday, October 9, 2021

මහ බැංකුව ඩොලර් ප්‍රශ්නය විසඳලාද?


පසුගිය ජූලි අවසානය වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 දක්වාත්, ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,364.6ක් දක්වාත් පහත වැටුනා. ඩොලරයක මිල මහ බැංකු පාලනයෙන් ගිලිහී පාලනයක් නැතිව ඉහළ යන්න පටන් ගත්තා. 

මහ බැංකුවේ සංචිත අඩියටම වගේ හිඳී තියෙද්දීත් ඩොලරයක මිල රුපියල් 200 ආසන්නයේ තියා ගැනීම සඳහා අගෝස්තු මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 175ක පමණ සංචිත විකුණා දැමීමෙන් පසුවද වාණිජ බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ රුපියල් 225 පමණ මට්ටමකයි. ඒ, ආනයන පාලන හරහා ඩොලර් ඉල්ලුම සීමා කිරීමෙන්ද පසුවයි.

මෙසේ සංචිත විකිණීමෙන් පසුවද ඩොලරයේ මිල පාලනය කර ගත නොහැකි වීම නිසා හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සියලු වාණිජ බැංකු වල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් ලියමින් ඩොලරයේ මිල මහ බැංකුවට හා රජයට අවශ්‍ය මට්ටමේ තියා ගන්නා ලෙස "අවවාද" කිරීමෙන් පසුව තනතුර හැර ගියා. ඩොලරයේ අගය නාමිකව මහ බැංකුවට අවශ්‍ය මට්ටමට වැටුනත් ඒ මිලට බැංකු වල ඩොලර් තිබුණේ නැහැ.

මහ බැංකුවේ අධිපති පුටුව මාරු වුනා. අලුතෙන් පත්ව ආ අධිපතිවරයා විසින් ඉදිරි කාලයේදී ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය ඩොලර් හොයා ගන්නා හැටිද විස්තර කළා. ඉන් පසුව, වෙළඳපොළට ඩොලර් මුදා හරිමින් යම් පමණකින් ඩොලර් ආතතිය අඩු කිරීමටද කටයුතු කළා.

දැන් ඩොලරයේ මිල ප්‍රකාශිත ඉලක්ක මට්ටමේ ස්ථිරව තියා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුව විසින් හොයා ගෙනද?

අගෝස්තු 23 වෙනිදා මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රමාණයක්  ලැබුණා. එයින් ඩොලර් මිලියන 666ක පමණ වටිනාකමක් තිබෙන එස්ඩීආර් ප්‍රමාණයක් මහ බැංකුව විසින් ක්ෂණිකව ඩොලර් වලට හුවමාරු කර ගත්තා. බංග්ලාදේශ බැංකුවෙන්ද ඩොලර් මිලියන 150ක ණයක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා ගෙන තිබුණා. මේ අනුව, ජූලි අවසානයේදී ඩොලර් මිලියන 2,806ක් වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,743දක්වා ඉහළ යා යුතුව තිබුණා. මෙසේ ලැබුණු ඩොලර් නිසා, අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන 176ක පමණ සංචිත ප්‍රමාණයක් වැය කිරීමෙන් පසුවද අගෝස්තු අවසානයේදී ඩොලර් මිලියන 3,550ක් දක්වා සංචිත ඉහළ ගියා.

අධිපති මාරුවෙන් පසුව, සැප්තැම්බර් මාසය තුළ, මේ සංචිත වැඩි වෙලාද? නැත්නම් වෙනසක් වෙලා නැද්ද?

සැප්තැම්බර් අවසානය වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,550 සිට ඩොලර් මිලියන 2,581ක් දක්වා ඩොලර් බිලියනයකින් පමණම පහත වැටී තිබෙනවා. එයින් ද්‍රවශීල සංචිත තිබෙන්නේ ඩොලර් මිලියන 2,006.4ක් පමණයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු මුදල් මහ බැංකුවේ බැරකමක් වුවත්, එම මුදල් නිශ්චිත දිනයකදී ආපසු ගෙවිය යුතු නැති නිසා මේ අයුරින් මහ බැංකුවට සිය වත්කම් ඉක්මවා එම මුදල්ද වියදම් කිරීමට හැකි වී ඇතත්, අදාළ ණය මුදල් පියවන තුරු මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දිගින් දිගටම පොලී ගෙවිය යුතුයි.

මහ බැංකුව සතු විදේශ වත්කම් විශාල ලෙස පහත වැටීමත් සමඟ මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට විදේශ වත්කම් ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය අගෝස්තු අවසානය වන විටද ඩොලර් මිලියන 420කට ආසන්නව තිබී ඇති බව නිල සංඛ්‍යාලේඛණ පෙන්වනවා. මෙය මෙසේ විය යුතු බව අප කලින්ම සටහන් කළා. සැප්තැම්බර් අවසානය වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියන 1.4ක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකි බව අපේ ඇස්තමේන්තුවයි.

නහය ළඟටම ණය වූ පසු කොහොමටත් වෙන කරන්නම දෙයක් නැති නිසා රෑට කන්න තිබෙන සල්ලි වලින් රේස් දාන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට මේ ක්‍රමයෙන් ගොඩ යන්න පුළුවන් වුනත් බොහෝ විට වෙන්නේ එහි අනෙක් පැත්තයි. අධිපති කබ්රාල්ගේම උදාහරණයකට අනුව ඇතැම් රෝගීන් සුවපත් කිරීම පිණිස වෛද්‍යවරුන් විසින් සැත් පිහියකින් සිරුර කපනවා. එහෙත්, සැත්කම කිරීමෙන් පසුව නැවත එම කැපුම මසා දමා රෝගියා සුවපත් කරනවා.

රෝගියාගේ බඩ කපන කොටසනම් දැන් කරලා. ඉතිරිව තිබෙන්නේ සැත්කම අවසන් කර මහන කොටසයි!

42 comments:

  1. කොහොම කොහොම හරි රටට හොදක් වෙනවා නං ඒක තමයි වටිනාම දෙය.

    ReplyDelete
  2. කබයගෙ කතාවෙ සන්චිටහ බිලියන් 5ක් තියෙනව කිව්වෙ බොරුද?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රසන්ටේෂන් එක සර්ච් කරලා එහි 28වන ස්ලයිඩ් එක බලන්න. පිළිතුර හමු වෙයි.

      Delete
    2. 28කියන්නෙ foreign investment ගැනනෙ.
      Cse එකේ ආයෝජන ඔක්කොම අයින්කරගෙන තියෙනව 2021 වෙනකොට.

      Delete
    3. ඉස්සරහට ආපහු රිකවර් වෙයි කියල හිත්ල ඒවත් බිලියන 3ක් විතර ඇඩ් කරලද රිසර්ව්ස් බිලිය්ද්න් 5 එන්නෙ?

      Delete
    4. සමාවෙන්න වැරදීමක්. 28 නෙමෙයි 29.

      https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/presentation_20211001_the_six_month_road_map_for_ensuring_macroeconomic_and_financial_system_stability_e.pdf

      එහි සංචිත ප්‍රස්ථාරය අනුව බිලියන 5ක් නැති බව ඉතාම පැහැදිලියි. මම හිතන්නේ බිලියන 5 කියා කියන්නේ අගෝස්තු අවසානයේ වූ බිලියන 3.5ට චීන විණිමය හුවමාරු ගිවිසුමේ බිලියන 1.5 එකතු කරලා. එම 3.5 තමයි දැන් 2.5 වී තිබෙන්නේ.

      Delete
    5. හපොයි. චීනෙන් ඒත් එන්නෙ යුආන් නේද?
      චීන ඉම්පෝට්ට්ස් වලට ඒව පාවිච්චි කරන්න පුලුවන්.

      Centra bank holdings of govt securities කියන්නෙ සල්ලි අක්චු ගහපුවද?

      Delete
    6. Gross official reserves සහ total reserves වල වෙනස මොකක්ද? Totl reserves බිලියන් 6කට වඩා තියෙනව.

      Delete
    7. //Centra bank holdings of govt securities කියන්නෙ සල්ලි අක්චු ගහපුවද?//

      මේ ගැන මම වාර ගණනාවක් පැහැදිලි කර තිබෙනවා. මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නා විට සල්ලි අච්චු ගැහීමක් සිදු වෙනවා. එහෙත්, ඇතැම් විට වෙනත් ගනුදෙනුවක් හරහා මේ ආකාරයෙන් අච්චු ගසා එළියට දමන සල්ලි ක්ෂණිකව අනෙක් පැත්තෙන් ආපසු ගැනීමක්ද සිදු වෙනවා. විදේශ සංචිත විකිණීම හා රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම යන දෙකම එක විට කළ විට සිදු වන්නේ එවැන්නක්. මෙහිදී රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම සඳහා වැය කෙරෙන්නේ ඩොලර් විකුණා ලබාගත් රුපියල් නිසා ශුද්ධ වශයෙන් අලුත් සල්ලි එළියට යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් වලින් හැම විටම සල්ලි අච්චු ගැසීමක් නිරූපනය වෙන්නේ නැහැ. එම ප්‍රමාණයෙන් සංචිත විකුණා ලබාගත් රුපියල් ප්‍රමාණය අඩු විය යුතුයි.

      Delete
    8. //Gross official reserves සහ total reserves වල වෙනස මොකක්ද? Totl reserves බිලියන් 6කට වඩා තියෙනව.//

      පළමුවැන්න මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය. දෙවැන්න එම ප්‍රමාණය හා මහ බැංකුවෙන් පිටත රටේ වෙනත් කවර හෝ තැනක තිබිය යුතු විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවක්.

      Delete
    9. ඇයි සන්චිත ගැන කියද්දි gor එක ගැන සලකල කතා කරන්නෙ? රටේ සමස්ත සන්චිත ප්‍රමානය නෙමෙයිද බලන්න ඕන? ප්

      Delete
    10. අදාළ වන තැන් වලදී එයත් බලනවා. නිල සංචිත ප්‍රමාණය හරියටම දන්නා දෙයක්. ඒ වගේම එය තිබෙන තැනත් නිශ්චිත තැනක්. තියා ගන්නෙම හදිසියකට ගන්න. වෙනත් විදේශ විණිමය ප්‍රමාණ තිබෙන්නේ තැන් තැන් වල ටික ටික. ඒ ප්‍රමාණය හරියටම දන්නෙත් නැහැ. ඇස්තමේන්තුවක් පමණයි. ඒ වගේම, ඕනෑ වෙලාවට ගන්න පුළුවන් නිශ්චිත තැනක නැහැ.

      Delete
  3. Tools ටිකත් ඇතුලේ ම දාලා මහල දොස්තර රට යයි ද?

    ReplyDelete
  4. මුට්ටි ගඟේ පාකරලා
    පැණි බෝතලයක් බීලා
    ඩොලර් ප්‍රශ්නෙටත් විසඳුම
    හොයාගන්න බලමු ඉතින්
    එතකොට ලෝකය කියාවි
    හොඳටම කරෙ උඹල තමයි

    ReplyDelete
  5. බුචර්ලා කපති - සන්නාලියො මසතී
    පැත්තක ඉඳන් සන්නාසියො උගන්වතී
    මරුට බිලි වුණත් වෙන්නේ ලෙඩා වෙතී
    මරණ කොතෙක් වූවත් දඬු බෑය කතී

    ReplyDelete
  6. ඉකුත් 7 වැනි දින පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් කළ ප්‍රකාශය විකෘති කර මාධ්‍ය වාර්තා කර ඇති බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

    ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින්.

    කැබිනට්ටුව හමුවේ කළ ප්‍රකාශය

    එහිදී ජනපතිවරයා හා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අදහස් දැක්වීමෙන් අනතුරුව වීරවංශ අමාත්‍යවරයාද අදහස් දක්වා තිබෙනවා.

    සිය අදහස් දැක්වීමේදී ඉදිරියට ආණ්ඩුවත් සමග එකා මෙන් සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දෙමින් ඔහු කතා කළ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    ඉතා කෙටියෙන් කිව්වොත් කැරලිකාර අමාත්‍යවරයකු ලෙස මෙතෙක් හැසුරුණු වීරවංශ මහතා එම ප්‍රතිරූපයෙන් මිදී රාජපක්ෂවරු සමඟ සහ සහයෝගයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා තිබෙන බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    මුහුණු පොත සටහන

    එහෙත් වීරවංශ අමාත්‍යවරයා සිය මුහුණු පොතේ තබා ඇති සටහනින් මාධ්‍ය වාර්තා කළේ එම කරුණු වැරදි බවයි පෙන්වා දෙන්නේ.

    බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ "බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා" බව තමන් එහිදී සදහන් කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    රටට වැදගත් තීන්දු ගන්නා කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනැවිත් සම්මත කරගැනීම වෙනුවට ඒ හැදෑරීමට ප්‍රමාණවත් කාලයක් අමාත්‍යවරුන්ට ලබා දිය යුතු බව තමන් සඳහන් කළ බවත් ඔහු සඳහන් කරනවා.

    ජනපති සක්‍රීයව දේශපාලනයට

    ජනපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ඉතා වැදගත් බව තමා එහිදී පෙන්වා දුන් බව සදහන් කරලා අමාත්‍යවරයා ඒ තුළින් බොහෝ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට හැකි බවද පෙන්වා දුන් බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

    මෙම තොරතුරු ඉදිරිපත් එහෙත් තමා සම්බන්ධයෙන් යන වැරදි ප්‍රචාරය නිවැරදි කිරීමට බවයි වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

    ඉන් කැබිනට් මණ්ඩල සාමූහික වගකීමට හානියක් නොවුණු ඇති බව සිය විශ්වාසය බවත් අමාත්‍යවරයා සිය මුහුණු පොත සටහනේ සඳහන් කර තිබෙනවා.

    ReplyDelete
  7. //නහය ළඟටම ණය වූ පසු කොහොමටත් වෙන කරන්නම දෙයක් නැති නිසා රෑට කන්න තිබෙන සල්ලි වලින් රේස් දාන මිනිස්සු ඉන්නවා//This is going to be true. Media says govt to offer a prime land in colombo for investment for Oman in lieu of oil bills, a large loan is to be taken from a firm called concept global with a hefty sum as a broker fee to a unknown middleman( divulged by an MP today). As per my view as long as the SL have assets that can be sold, some how govt will drag the economy.
    Even no one should not surprise if govt make an u turn and sign the MCC with US.

    ReplyDelete
    Replies
    1. //Even no one should not surprise if govt make an u turn and sign the MCC with US.//

      Too late now. US already cancelled the offer.

      Delete
  8. යම් නිශ්චිත් මොහොතක මහබැන්කුවෙ තියෙන සන්චිත් ප්‍රමානය හියා ගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මෙය මහ බැංකුවේ ගිණුම් වලින් තමයි බලා ගන්න වෙන්නේ. අපි වගේ කෙනෙකුටනම් මහ බැංකුව විසින් සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ කරන අවස්ථාවන් දෙස බලා ඉන්න වෙනවා.

      Delete
  9. තව ප්‍රශ්නයක් තියෙනව. Sdr ලේසියෙන් ඩොලර් වලට මාරු කරන්න පුකුවන්ද?
    SDR විකුනන්න පුකුවන් වෙනත් සාමාජික රටවල් ගන්න කැමතිනම් විතර්‍රයි නේද? ඔවුන් ගන්න අකමැති වෙන්න හේතුවක් තියෙනවද?පොලිය අඩුයි වගේ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්ෂණිකවම මෙන් ලැබුණු SDR ඩොලර් වලට මාරු කර තිබීමෙන් පෙනෙන්නේ මෙය එතරම් අපහසු දෙයක් නොවන බවයි.

      Delete
  10. ඉකොනොමැට්ටා, අතිශය බරපතල ලෙස ආර්ථිකය කඩා වැටී බංකොලොත් වී ඇති රටක් ලෙස මේ වන විට දැඩි ලෙස මුළු ලොවම පිළිගෙන ඇති ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඉතාමත් සීමිත ගණනක් වූ ඩොලර් මිලියන 2,581 පමණක් බවත්, එනමුත් මේ වසර තුළ දී පමණක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු ණය ලෙස ඩොලර් මිලියන 7,247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන අයුරු මෙතනින් බලන්න පුලුවන්;

    https://m.facebook.com/headlinenewslk/videos/572955437089403/

    මේ වගේම මෙහි දී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉතාමත් වටිනා කාරණයක් හෙළි කළ අතර ඔහු පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ මෙම ණය ගෙවීම සදහා Concept Globle නමින් සැක සහිත ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවයි.

    මෙහිදී වඩාත් සැක සහිත කාරණයක් තමයි එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රී එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නා.

    නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළා.

    මේ ගැන ඔබ සිතන්නේ කොහොමද? මෙය කළු මුදල් විශුද්ධිය වගේ දෙයක් හෝ වෙනත් අතිශය දූෂිත ගණුදෙනුවක් ලෙස නේද පේන්නේ? ලොකු සැකයක් තියෙනවා මේ ගැන. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මුල කොටස හරි. දෙවන කොටස ගැන හරියකට කරුණු නොදැන යමක් කිව නොහැකියි.

      Delete
  11. ඉකොනොමැට්ටා,

    ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි තබා ඇති මේ සටහන ගැන ඔබගේ අදහස් මොනවා ද? මේ හා සමාන ලංකාවේ සමාජවාදී භාවිතාව සහ නලීන් ද සිල්වා ප්‍රමුඛ සිංහල ජාතික සමාජවාදීන් ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳ පොළ ක්‍රමය වෙත කෙමෙන් කෙමෙන් රූපාන්තරණය වීම ගැන ඔබ මීට වසරකට පමණ පෙර දීර්ඝ වශයෙන් පෝස්ට් කීපයක් පුරා සාකච්ඡා කළ නිසා මෙය වැදගත් යැයි සිතමි.

    //“උපන්ගෙයි සමාජවාදය" හා "යොහානි ආචරණය“

    (අනාගත දේශපාලන දැක්මක් සදහා සටහනක්)

    ගුණදාස අමරසේකර කීවේ සිංහලයා “උපන්ගෙයි සමාජවාදී“ බවයි. මෙහි යම් ඇත්තක් තිබේ. 13වන ශතවර්ෂයෙන් පසුව විකාශය වූ “සිංහල“ සමාජය මූළික වශයෙන්ම “ගංගොඩ“ නමින් හැදින්වුනු, ඥාතිත්වය මත පදනම්ව සංවිධානය වූ, භූගෝලීය වශයෙන් හුදෙකලා වූ, කුඩා ගැමිගොවි (Peasant) ඒකක විශාල ප්‍රමාණයකින් සමන්විත වූ සමාජයකි. මේ තත්වය වෙනස් වූයේ 1930 ගණන්වල සිට සිදුවූ අති දැවැන්ත ජනගහන වර්ධනය නිසාය. අමරසේකර “සමාජවාදී“ නමින් හදුන්වන්නේ මේ ගැමිගොවි සමාජවල පැවති ඥාතිත්වය මත පදනම් වූ සාමූහික ජීවිතයයි.

    දැන් ධනවාදී බවට පත් කිරීමට උත්සාහ කරන්නේ මේ ගැමිගොවි සමාජයයි. කලක් අමරසේකරගේ සගයා වූ නලින් ද සිල්වා ද මෙම ධනවාදීකරණය වෙනුවෙන් පෙනී සිටින බව පෙනේ.

    දින කීපයකට පෙර අයිලන්ඩ් පුවත් පතේ පළ වූ ලිපියක් මගින් ප්‍රකාශ කෙරුණේ දැන් ලෝක ප්‍රසිද්ධ යොහානි ගේ මැණිකේ මගේ හිතේ“ ගීතයෙන් ඉන්දියාව වාසි ලබන අතර ලංකාව ඉන් වාසි ලැබීමට අසමත් වී ඇති බවයි. මෙය ඇත්තකි. ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු වීමටත් පෙර ශක්තිමත් ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්ඡනයක් හා ධනවාදී ආර්ථික ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයක් වර්ධනය විය. ලංකාව තුළ තත්වය එසේ නොවේ. ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය මුල්කාලයේ පාලනය කලේද ඉන්දියාවෙන් සංක්‍රමණය වූ නාට්ටුකොට්ටු චෙට්ටියාර් වරුය. අනගාරික ධර්මපාලට මේ තත්වය ගැන හොද ඉවක් තිබුණද ඒ පිළිබද වැදගත් යමක් කිරීමට ඔහු සමත් වූයේ නැත.
    ලංකාවේ නවීන යැයි කිව හැකි පසුව වාණිජකරණය වූ සෑම දෙයක්ම බිහි වුනේ ඉන්දියාව (සංගීතය, සිනමාව වැනි) හෝ බටහිර (ක්‍රීඩා සහ වෙනත් බොහෝ දේ) සාධක මැදිහත් වීමෙනි.
    මේ නිසා “යොහානි“ වැනි සංසිද්ධීන් වලින් ඵල ලැබීමට ලංකාවට නොහැකිය. මෙය ක්‍රිකට් වලටත් අදාළය. 1990ගණන්වල අගභාගයේ ලෝකයේ හොදම සහ වාණිජ වශයෙන් ආකර්ශණීයම ක්‍රිකට් කණ්ඩායම සිටියේ ලංකාවටයි. නමුත් එය සාර්ථක ලෙස වාණිජ කරණය කිරීමට ලංකාව සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ක්‍රීඩකයින්, ක්‍රිකට් පරිපාලකයින් හා දේශපාලකයින් තාවකාලිකව සල්ලි ටිකක් හම්බ කරගැනීමයි. ඉන්දියාව සාර්ථක ලෙස ක්‍රිකට් වාණිජකරණය කරමින් අයිපීඑල් නම් දැවැන්ත ධන නිධානය බිහිකළේය.

    මේ තත්වය වෙනස් කිරීමට ගෝඨාට හා චම්පිකට පමණක් නොව නාමල් රාජපක්ෂටත් හැකි වේ යැයි නොසිතමි. කළ හැක්කේ බිහිවන ධනවාදී ලෝක පද්ධතියක (එම්මෑනුවෙල් වොලර්ස්ටීන්ගේ අර්ථයෙන්) පරිවාර ප්‍රදේශයක් වීම පමණි.
    මෙහි දේශපාලන නිගමනය වන්නේ ලංකාව ධනවාදී කිරීමට උත්සාහ කිරීම කළ නොහැකි බැවින් කිරීමට උත්සාහ නොකළ යුතු දෙයක්ය යන්නයි.//

    මූලාශ්‍රය:

    https://www.facebook.com/100000285106001/posts/4804723082880481/

    ReplyDelete
    Replies
    1. කෙසේ නමුත් මම හිතන්නේ මෙය වෙනස් කළ යුතු බවත් එය හැකි බවත්ය. මේ සඳහා ලංකාවේ ඉඳන් ලංකාවට කෙළවෙනකම් යටි හිතින් කෙළ හලමින් සමාජ ජාල වල වැලපෙන උන්ට ලංකාවෙන් පිට වී කැමති රටවල් වලට සංක්‍රමණය වීමට සියලුම පහසුකම් ලබා දෙමින් හැකි තරම් ඉඩ දිය යුතු අතර ලංකාවේ ආයෝජන කරමින් ලංකාවේ සිටිමින් ලංකාව දියුණු කිරීමට කැමති බටහිර රටවල්වල අය, චීනය ඉන්දියාව සහ මියන්මාර්, කාම්බෝජය වැනි වෙනත් ආසියානු, අප්‍රිකානු ජාතීන් ආදී රටවල දක්ෂ අයට ලංකාවේ පුරවැසි භාවය ලබාදී ඔවුන් දිරිමත් කළ යුතුයි. චීනයේ ඇති දැඩි රාජ්‍ය පීඩනය සහ ඉන්දියාවට සහ අනිත් ආසියානු රටවලට වඩා මනස්කාන්ත පිරිසිදු පරිසරයක් ඇති බව අපිට මේ සඳහා මාකටින් කිරීමට ප්‍රයෝජනවත් වේවි. ලංකාවේ දැනටමත් ලංකාවට බොහෝ කැමති විදේශිකයන් රැසක් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ මධ්‍යම පළාතේද නිවාස දේපළ කුලියට ගෙන ජීවත් වන අතර සමහරු රිටයමන්ට් එකට ලංකාව තෝරාගෙන තිබෙනවා. මේ වගේම ලංකාවේ ෂැංග්රි ලා වැනි ලක්ෂරි හෝටල්වලට පැමිණෙන යුරෝපීය සහ ආසියානු රටවල ඉතාමත්ම ධනවත් සහ අතිශය නිර්මාණශීලී ව්‍යවසායයන් ලංකාවේ නව ව්‍යාපාර කටයුතුවලට සහභාගිවී තියෙනවා. මම දන්නා තරමින් දකුණේ හම්බන්තොට ෂැංග්රිලා හෝටලයේ සුළු රැකියාවක් කළ තරුණයෙක් මෙසේ ලංකාවේ සංචාරයක පැමිණි ස්කැන්ඩිනේවියානු රටවල ධනවත් තරුණ ව්‍යාවසායකයෙක් සමග මිතුරු වී කුරුඳු තෙල්, කටු අනෝදා කොළ සහ මුරුංගා සාරය රට යැවීමේ ව්‍යාපාර ආරම්භ කර ඉක්මනින් ඉතාමත් විශාල ධනවතෙක් වුණ අතර තවත් කීපදෙනෙක්ම මේ වගේ සංචාරක ව්‍යාපාරය හරහා යුරෝපීය දක්ෂ මාකටින් වෘත්තීයවේදීන් සමග මිතුරු වී බොහෝ අලුත් වෙනස් ව්‍යාපාර වල ආයෝජනය කර ඉක්මනින් ධනවත් වී තියෙනවා. මම හිතන්නේ තවමත් අපට ඔප්ෂන් සහ ඔපොචුනිටීස් තියෙනවා කියලා. නමුත් ලංකාවේ ළිංමැඩියන්ගේ අදහස් වෙනස් කිරීමට ලංකාවේ සාපේක්ෂව දේශපාලන වශයෙන් වඩාත් ස්ථායී වන රාජපක්ෂ පවුලේ කල්ලියටවත් හැකිවෙයිද?

      Delete
    2. //ලංකාවේ ආයෝජන කරමින් ලංකාවේ සිටිමින් ලංකාව දියුණු කිරීමට කැමති බටහිර රටවල්වල අය, චීනය ඉන්දියාව සහ මියන්මාර්, කාම්බෝජය වැනි වෙනත් ආසියානු, අප්‍රිකානු ජාතීන් ආදී රටවල දක්ෂ අයට ලංකාවේ පුරවැසි භාවය ලබාදී ඔවුන් දිරිමත් කළ යුතුයි.//

      කළ හැකිනම් ඉතාම සාධනීය, ඵලදායී වැඩක්.

      Delete
  12. මේ යන විදිහට ගියොත් 2022 ජුලි ISB settlement එක default වෙන්න ලොකු සම්බවිතාවක් තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. ඩිෆෝල්ට් වෙන්නෙ නෑ බන්.

      Delete
  13. ඉකොනො,

    ලංකාවේ ආණ්ඩුව විසින් බ්ලොක්චේන් තාක්ෂණය තුළින් ක‍්‍රිප්ටොකරන්සි මයිනින් සදහා ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ලංකාවේ විපක්ශ කණ්ඩායම් මේ ගැන පවසන්නේ "Cryptocurrency කියන්නේ පරිගණක ප්‍රෝග්‍රෑම් දුවවලා එක එකා පරිගණක දත්ත ගබඩා ලෙස හදන ව්‍යාජ මුදල්. මෙ වන විට 6,500 ක් ව්‍යජ මුදල් වර්ග තියෙනව​. තව ඕනම කෙනෙකුට හදන්න හෝ දන්න කෙනෙකුට කියා හදවන්න පුලුවන්. පොඩි කොල්ලො විහිලුවට පවා හදන ඒවා විකුණන්න තියෙනව​, මේවා ගන්න රටක ඇත්ත මුදල් දෙනවා කියන්නේ මෙ වගේ කුඩා රටක් නන් නත්තාර වෙන්න පුලුවන් දෙයක්, රටට ඩොලර් එන Paypal පහසුකම දෙන්නෙ නැතුව මේ විකාර ගේන" බවයි.

    මේ හරහා අධික ලෙස විදුලිය වැයවන ක්‍රිප්ටෝ මයිනින් උපාංග භාවිතයෙන් ලංකාවේ බරපතල විදුලි අර්බුදයක් ඇතිවිය හැකිද?

    මෙය සමග ඇමරිකන් නිව් ෆෝට්‍රස් විදුලි බලාගාර ගණුදෙනුව සමග ඇති සම්බන්ධයක් ගැන කෙරෙන චෝදනා සත්‍ය ඒවා විය හැකිද?

    මේ ගැන කෙටියෙන් මෙම ප්‍රවෘත්තියේ තිබෙනවා;

    https://www.sinhala.srilankamirror.com/news/31193-2021-10-09-01-06-56

    ReplyDelete
  14. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාටලී චම්පික රණවක විසින් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන විස්තර සහිතව නිකුත් කර ඇති නිල නිවේදනයක් මෙහි දැක්වෙයි.

    "මහ බැංකුව ගිණිගනිද්දී මායා බෝංචි වැලේ රජදැක්ම තිරගත වේ.

    මහා පොළොවට දැනෙන්නට පටන් ගෙන ඇති තාක්ෂණික කරුණු:-

    1. ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇත.

    2. නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇත.

    3. දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතී.

    4. බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරයි.

    5. ඉහත කී තාක්ෂණික කරුණු දැන් සාමාන්‍ය ජනතාවට ද මහපොළොවේ දැනෙමින් ඇත.

    රාජපක්ෂ පුරාජේරු කතා මඟින් සැඟවූ විදේශ මුදල් හිඟය – නැතහොත් ගෙවුම් ශේෂ අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය ක්‍රමයෙන් රට ගිලගනිමින් සිටිති.

    ඖෂධ, පොහොර හා රසායනික, ගෑස්, තෙල්, ගල්අඟුරු වැනි දෑ වල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමේ අපහසුවකින් බැංකු පද්ධතියත් ආණ්ඩුවත් පෙළෙමින් ඇත. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් රෝගීන් පීඩාවට පත්කර ඇති ඖෂධ හිඟය, පොහොර නැතිවීම නිසා රත්වී ඇති වැවිලි බිම හා ගොවිබිම පෙන්වා දෙන්නේ මේ අර්බුදයයි. වාර්තා ගත ලෙස අධික ලෙස ඉහළ යන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් සහ වෙනත් සියලුම විදේශ තානාපති කාර්යාල ඉදිරිපස ඇති කි.මී. ගණන් දිගු පෝලිම් වලින් කියවෙන පණිවිඩය වන්නේ අපේ මව්බිම යන්න හිතෙන රටක් වී ඇති බවයි. කෙටියෙන්ම කිව හොත් ලංකාව සමාජ අසහනයක එළිපත්තේ හිඳියි. මෙවැනි අවස්ථාවල පවත්නා ආණ්ඩු වල ඉරණම තීරණය වූ ආකාරය පිලිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඇති තරම් ඇත.

    ජැක් ගේ මායා බෝංචි වැල නොහොත් මහබැංකුවේ සයමසක ආර්ථික මාර්ග සිතියම

    රටේ මූල්‍ය හා ආර්ථික කළමණාකාරීත්වයේ මර්මස්ථානයක් වන මහ බැංකුව බුන්බත් වීමට ඉතාමත්ම ආසන්නව පවතින අතර පක්ෂ දේශපාලනයේ මැදිහත්වීම විසින් ගිනිගන්නා මහ බැංකුව, යථාර්ථය සැඟවීමට මායා බෝංචි වැලක් අහසේ මවා පෙන්වා දෙන ‘සයමසක මාර්ග සිතියමක්’ ඉදිරි පත් කොට ඇත. අර්බුදයක් පවතින බව පිළිගෙන එයට යථාවාදී විසඳුමක් ඉදිරිපත් කරනු වෙනුවට ‘රත්තරන් බිජු දමනා කිකිළියන් ගෙනඒමේ සැලසුම්’ ඔක්තෝම්බර් මස පළ වැනි දින ගෙන එන ලද මෙම යෝජනාවලියේ ඇතුලත්ය. එමෙන්ම ඉන්නා කිකිළියන් මරා දැමීමේ යෝජනාද මෙහි අඩංගු වේ.

    මාස 06 ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 09 කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04 කට සරිලන ආනයන භාණ්ඩ ගෙන ඒමට හැකි සංචිත ගොඩනැගීමටද මේ සැලසුම යෝජනා කරයි.

    පසුගිය 2019 දෙසැම්බර් 01 දා ධනපතියන්ට බදු සහන ලබාදී රාජ්‍ය ආදායම පහළ දමාගෙන ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත ආයතන වලට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අවධානමට ලක්වී ඇති රටක් බවට නම්කිරීමට අවස්ථාව ලබාදී, ලංකාවට ආධාරදීමට වෙස්සන්තර වර්ගයේ විදේශ රටවල් හා ආයතන ඇති බව විශ්වාස කිරීමට මහබැංකුව ක්‍රියාකිරීමම පුදුමයක් මෙන්ම විහිළුවකි. සුරඟන කතා කරලියේ ජැක්ගේ භූමිකාවට පණ දීමකි.

    Tbc

    ReplyDelete
    Replies
    1. අනෙක් අතින් තමන්ම අධික ලෙස සල්ලි අච්චු ගසා ඇතිකළ උද්ධමනය පාලනයට හා ආර්ථික ස්ථායී කරණයට පොලී අනුපාත ඉහළ දමනා අතරේ, 6% ක ආර්ථික වර්ධනයක් ඇතිවේයැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේදැයි මහ බැංකුව තෝරාදිය යුතුය. බලයෙන් පවත්වාගෙන යන ‘නිල’ විනිමය අනුපාතය හා ඉවක් බවක් නැතිව සිදුකරනා සල්ලි අච්චුගැසීම නිසා ඇතිවන උද්ධමනය විසින් ඉදිරි වසර කීපය තුළ ආර්ථික වර්ධනය තවත් අඩුවීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරනු ඇත.

      ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහබැංකුවේ සයමසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්‍රවලට අයුතු චෝදනා එල්ලකර ඇති අතර, අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත්කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් ලබාදීමට යෝජනා කර ඇත. බලහත්කාරී ලෙස කෘතිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩුකර ඇති මහබැංකුව, ඉන් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත්කරගැනීමට මාන බැලීම අසාධාරණයක් පමණක් නොව තරඟකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරකි. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයායෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසාය.

      මායා බෝංචි වැලේ තවත් අංගයක් වන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව, තරඟකාරී ප්‍රසම්පාදනයකින් තොරව, ජාතික උපායමාර්ගික අවශ්‍යතා ගැන තැකීමකින් තොරව වටිනා රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාවලියයි. දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි-සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් ඇමරිකානු කොල්ලකාරී සමාගමකට පැවරීම, ඛනිජ තෙල් පිරිපහදු, තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම, වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැගිලි බඳු රාජ්‍ය දේපළ කොල්ලකමින් විදේශීය සමාගම් වලට විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය. මේ නිසාම අද වරාය, තෙල් හා විදුලිබල ක්ෂේත්‍රවල සාධාරණත්වය සඳහා වූ දැඩි බලසම්පන්න වෘත්තීය සමිති අරගලයක් ද ඇතිවී තිබේ.

      මේවා සඳහා නීතිය පසෙකලා මැදිහත්වන මුදල් අමාත්‍යාංශ ලේකම් හා එහි උසස් නිලධාරීන්ද නාගරික සංවර්ධනය භාර නිලධාරීන් ද, සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද දැනගත යුත්තේ ඔවුනට දිනෙක මේවාට වග උත්තර බැඳීමට සිදුවන බවය. මේවායින් හරිහම්බ කරගන්නා දේශපාලන නායකයින් නම් මායා බෝංචි වැලේ එල්ලී ඇතැම් විට සිය දිව්‍යලෝක වැනි මාතෘ භූමීන්ට සැපැත්වීමට ඉඩ ඇත්තේය.

      ප්‍රශ්නය කෝවිඩ්ද?

      තවත් පැහැදිලිව හඳුනා ගත යුතු කරුණක් වන්නේ අද රටේ පවත්නා අර්බුදය කොවිඩ් නිසා ඇති වුවක් නොවන බවය. අර්බුදය කොවිඩ් නිසා නම් ලෝකයේ අනිත් රට වලද කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, පොහොර හිඟයන් ඇති විය යුතුය. විදේශ තානාපති කාර්යාල ඉදිරිපස දිගු පෝලිම් ඇති විය යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම කරගත් රටවල් බංකොලොත් විය යුතුය.

      එය එසේ සිදු නොවී ශ්‍රී ලංකාව පමණක් ගොඩ ගත හැකි මට්ටමෙන් ඔබ්බට යමින් තිබෙනුයේ දැනට රට පාලනය කරන නිසි වෘත්තීය සහ අධ්‍යාපනික සුදුසුකම් නොමැති නූගත් පාලකයන්ගේ අදුරදර්ශී තීරණයි. ඒහා සමඟම වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ බුබුළු ආර්ථික ප්‍රතිපත්තියයි.

      විවිධ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්, හිටපු ජ්‍යෙෂ්ඨ මහබැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අවදානම් හැඟවූ වාර අනන්තය. අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් පවත්නා බුබුළු අර්ථ ක්‍රමයේ හිස් බව පෙන්වා දුන් අතර 2016 වසරේදී ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2023 ව වසර වනවිට පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවට අනතුරු හැඟවීමක් හා පුරෝකථනයක් කරන ලදී. බදු සහන පැකේජය නිසා රාජ්‍ය මුල්‍ය බංකොලොත් වීමේ අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2020 ජනවාරි මාසයේ සිටම පටන් ගත්තෙමු.

      Tbc

      Delete
    2. නමුත් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වන ක්‍රම සියල්ලම අඩංගු අපේ ප්‍රයෝගික වැඩ පිළිවෙළක්...

      අපි ප්‍රශ්නය පමණක් ඉදිරිපත් කොට නිහඬ නොවෙමු. විසඳුම්ද ඉදිරිපත් කරමු. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ වහා පියවර ගත යුතු බවයි. මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්ය වනුයේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමයි.

      2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත.

      රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. ප්‍රයෝගික රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය.
      එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට සින්න වීමට පාර කැපීමත්ය.

      රට සහ නීතිය පවුලේ හා හිතවතුන් කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකන පාලකයන් අවසන්කොට යහපාලනය (ආණ්ඩුව නොවේ) රටේ ස්ථාපිත කල යුතුව ඇත. අනීතික අශිෂ්ට සමාජයක් දැක ඇති ජනතාවට නීතියේ ආධිපත්‍ය පිලිබඳ බලාපොරොත්තුවක්, විශ්වාසයක් ගොඩ නැගිය යුතුව ඇත. දැනට දේශපාලකයාගේ දුරකථන ඇමතුමට වැඩකරන රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක යාන්ත්‍රනයන් වන ආකාරයෙන් බල ගැන්විය යුතුය. පොල් තෙල් වලින්, සීනි වලින් පමණක් නොව කොවිඩ් නිරෝධයනයෙන්, සැනිටයිසර් බෝතලයෙන් තම මඩිය තර කර ගත් ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද අත්‍යවශ්‍ය වේ.

      මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක් නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත.

      සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. මෙවැනි අර්බුදකාරී අවස්ථා වල වහා පියවර නොගැනීම ‘රට සුන්බුන් ගොඩක් බවට පත් කිරීමේ මාර්ගයක්’ බව ප්‍රධාන ධාරාවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

      එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි.

      –PCR media unit

      Delete
  15. හදිසි කාර්යයක් ලෙස අඩු වශයෙන් ඩොලර් 10,000ක්වත් ලංකාවේ බැංකු ගිණුමක තැන්පත් කරන්නැයි විදේශගත ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටීමට බැරිද?

    ReplyDelete
  16. ඉකොනොමැට්ටා ලංකාවේ ණය ගැන මේ කියන දේවල් ඇත්තද?

    https://fb.watch/8qpXb1iVvr/

    මේ කියන්නේ ගාමිණී විජේසිංහ හිටපු විගනකාදිපති කිව්වා කියලා ලංකාවෙ ආණ්ඩුව පසුගිය කාලයේ ගත්තු ණය රුපියල් trillion 11යි නිර්මාණය කල වත්කම වල අගය trillion 1.8 කියල.. මේ ගැන වියත් මග කට්ටිය කියුවේ මේ ගැන හරියටම කියන්න නම් හොඳින් ඇනලයිස් කරන්න අවශ්‍ය බවත්, කෙටියෙන් කිව්වොත් එක පැත්තකින් ලංකාවෙ රජයේ වියදමින් 10 % පමණ Capital Expenditure වන බවත්, තවත් 5 - 7% පමණ රජයේ විවිධ ආකාරයේ ආයෝජන විය හැකි බවත් ඒ නිසා වත්කම් ලෙස ඉතුරු වෙන්නේ ඒවා පමණක් බවත් 80 - 85% පමණ වන පුනරාවර්තන වියදම් සඳහා ගෙන ඇති ණය වලින් වත්කම් ඉතුරු නොවන අතර එය ගෙවී අවසන් වන බවයි. එමෙන්ම මීට ඩොලර් රුපියල් සාපේක්ෂ වශයෙන් අව ප්රමාණය වීම නිසා ණය වැඩිවීමත් මෙහිදී බලපෑමක් ඇති බව.

    නමුත් මෙතනදි අපි කාවද විශ්වාස කරන්න ඔනෙ.. වියත්මග ද හිටපු විගණකාධිපති ද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද? මීට කලින් පෝස්ට් එකක මේ ගැන පැහැදිලි කිරීමක් කර තිබෙනවා නම් එහි ලින්ක් එකක් දාන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔය මිනිත්තු තුනේ කතාව ගැන ලිපියක් ලියන්න හිතා ගෙන හිටියත් තවම වෙලාවක් ලැබුණේ නැහැ. මෙහි වියත්මග කියනවායැයි ඔබ කියන දෙයත්, අකුදි මතු කරන කරුණත් යන දෙකේම යම් ගත යුත්තක් තිබෙනවා.

      ණය වැඩි වූ පමණින් වත්කම් වැඩි වෙන්නේ නැහැ. මේ ට්‍රිලියන 11 හා අදාළ කාලය කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ. රාජපක්ෂ දශකය තුළ ට්‍රිලියන 5.34කින් හා යහපාලන දශක බාගය තුළ ට්‍රිලියන 5.55 කින් සිදු වූ ණය වැඩි වීම ආසන්න වශයෙන් ට්‍රිලියන 11ක් පමණ වන නිසා අපි එම කාලය සලකමු. මේ ආකාරයෙන් ණය වැඩි වුනේ කොහොමද කියා පහත ලිපියේ තිබෙනවා.

      යහපාලන ණය හා රාජපක්ෂ ණය
      https://economatta.blogspot.com/2021/10/blog-post_9.html

      යහපාලන දශක බාගය තුළ ණය වල වටිනාකම වෙනස් වීම හා පොලී වියදම් අඩු කළ පසු වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ලෙස ඉතිරි වන්නේ රුපියල් බිලියන 371ක් පමණයි. රාජපක්ෂ දශකය තුළ එම කොටස රුපියල් බිලියන 966ක් පමණයි. එවිට එකතුව රුපියල් බිලියන 1,337ක් පමණයි. ගාමිණී විජේසිංහගේ ඇස්තමේන්තු අනුව බැලුවොත් අදාළ වසර 15ක කාලය තුළ ට්‍රිලියන 1.3ක් ණය ගනිද්දී ට්‍රිලියන 1.8ක වත්කම් හැදී තිබෙනවා. මෙය ආයෝජනය සඳහා ප්‍රමාණවත් ප්‍රතිලාභයක් නෙමෙයි. 2019 වන විට අඩු වශයෙන් ට්‍රිලියන 3.0ක පමණවත් වත්කම් හැදී තිබිය යුතුයි. ලංකාවේ ප්‍රශ්නය ණය ආයෝජන වලින් ණය පොලී ගෙවීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිලාභ නොලැබීමයි.

      Delete
  17. ලන්කා ISB පිටරටක ඉන්න කෙනෙක් මිලදී ගන්න ක්‍රමයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. සුරැකුම්පත් තැරැව්කරුවන් හරහා මිල දී ගත හැකි විය යුතුයි. මම හරියටම දන්නේ නැහැ. පහසුවෙන් මිල දී ගත හැකි ක්‍රමයක් තිබේනම් මම වුනත් මේ යම් ප්‍රමාණයක් මිල දී ගන්නවා.

      Delete
    2. මාත් ඒකයි හිතුවෙ. ගන්න හොඳ වෙලාව

      Delete
    3. Check in here:
      https://www.cbsl.gov.lk/en/faq/government-debt-securities

      Delete
    4. it says nothing. we are talking about secondary market here.

      Delete
    5. In addition, this is about domestic debt securities, not about ISBs.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...