වෙබ් ලිපිනය:

Saturday, October 16, 2021

යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

පසුගිය රාජපක්ෂ දශකය ලංකාවේ ආර්ථිකය අනෙක් කාලවල් වලට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ කාලයක්. එය ඉතා පැහැදිලි කරුණක්. යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය වර්ධනය වුනේ ඊට සාපේක්ෂව අඩු වේගයකින්. එයත් ඉතා පැහැදිලි කරුණක්. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදීත් ආර්ථිකය වර්ධනය වුනා මිසක් සංකෝචනය වුනේ නැහැ. නිදහසින් පසුව ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනේ 2020 හා 2001 වසර දෙකේදී පමණයි. අනෙක් හැම වසරකදීම ආර්ථිකය වර්ධනය වුනා. 

සමහර අය හිතාමතාම ජනගත කරලා තිබෙන විදිහට යහපාලන ආණ්ඩුව කාලයේදී ආර්ථිකය තිබී ඇත්තේ එක තැනයි. 

"මගේ කාලයේදී ඩොලර් බිලියන 20ක ආර්ථිකය ඩොලර් බිලියන 80ක් වුනා. අවුරුදු පහකට පස්සේ බලන කොටත් ආර්ථිකය ඩොලර් බිලියන 80මයි." 

ඔය වගේ කතා අපිට නිතර ඇහෙනවා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව සියඹලා ගෙනල්ලාම නැද්ද?

දැන් මෙතැන තිබෙන "ට්‍රික් එක" වන්නේ මේ ගණන් ඩොලර් වලින් කියන එකයි. ලංකාව මේ වන තුරුත් ඇමරිකාවේ ප්‍රාන්තයක් හෝ නිල වශයෙන් ඩොලර්කරණය කළ රටක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු තවමත් ගනුදෙනු කරන්නේ රුපියල් වලින්. විදේශගත ශ්‍රමිකයන් වැනි යම් පිරිසක් හැරුණු විට අනෙක් බොහෝ ශ්‍රමිකයන් ආදායම් උපයන්නේ රුපියල් වලින්. කඩේකට ගිහින් බඩු ගන්නේ රුපියල් වලින්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේත් රුපියල් වලින්.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී රුපියල් බිලියන 14,973ක්. ඩොලර් වලින්නම් බිලියන 80.7ක්. යහපාලන ආණ්ඩුව බලයට එන විටත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ ඔය මට්ටමේමද?

මේ ආකාරයේ සංසන්දනයක් කරන්න යද්දී මතු වන මූලිකම ප්‍රශ්නය සංසන්දනය කළ යුතු මුදල් ඒකකය කුමක්ද කියන එකයි. සංසන්දනය රුපියල් වලින් කළත්, ඩොලර් වලින් කළත් එහි වැරැද්දක් තිබෙනවා. මේ මුදල් ඒකක වල අගය උද්ධමනය නිසා බාල්දු වෙද්දී ආර්ථික වර්ධනයක් නැතත් දළ දේශීය නිෂ්පාදිතය නිකම්ම වැඩි වන නිසා සැබෑ ආර්ථික වර්ධනය බලාගන්න බැහැ. 2020 රුපියලක් 2015 රුපියලකට හෝ 2005 රුපියලකට සමාන නැහැ. එය කාට වුවත් සහසුද්දෙන්ම පැහැදිලි විය යුතු දෙයක්. මේ කතාවම ඩොලර් වලටත් අදාළයි. මොකද ඇමරිකාවේ මහ බැංකුවත් සල්ලි අච්චු ගහන වැඩේ කරනවා. ඩොලර් එකත් බාල්දු වෙනවා. 

හරි සංසන්දනයක් කරන්නනම් 2015 රුපියල්, 2005 රුපියල් ආදිය 2020 රුපියල් වලට හැරවිය යුතුයි. එසේ නැත්නම් 2020 ඩොලර් වලට හැරවිය යුතුයි. එක් එක් කාලයේදී ඇත්තටම ආර්ථිකය වර්ධනය වූ ප්‍රමාණය හොයා ගත හැක්කේ එවිටයි. පහත පළමු වගුවේ තිබෙන්නේ තෝරා ගත් වසර වලදී  2020 රුපියල් වලින් හා 2020 ඩොලර් වලින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයයි. දෙවන වගුවේ තිබෙන්නේ එක් එක් කාල වකවානු වලදී ලංකාවේ වත්මන් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූ කොටසයි.




27 comments:

  1. මේ අන්තිම වගුවනම් මිස්ලීඩින්ග් නේද?

    ReplyDelete
    Replies
    1. පසුව එන ආණ්ඩුවල දායකත්වය වැඩි කරල පෙන්නනවනෙ.

      Delete
    2. ඔබ කියන්න හදන දෙය තේරෙනවා. වර්ධන වේගය නියතව තිබුණත් අනිවාර්යයෙන්ම දදේනි රුපියල් අගයට මෑත වසර වලදී ලැබෙන දායකත්වය වැඩියි. මට පෙන්වන්න අවශ්‍ය කරුණු කිහිපයක්ද මෙයටම අදාළයි. පළමුව, ආර්ථිකයේ ප්‍රමාණය සංකෝචනය නොවන තාක් ආර්ථිකය කවර හෝ ප්‍රතිශතයකින් වර්ධනය වෙද්දී ඒ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා මිසක් පහළ යන්නේ නැහැ. දෙවනුව, ආර්ථිකයක් විශාල වන තරමට නිශ්චිත ප්‍රතිශතයකින් ආර්ථිකය වර්ධනය වීමේ ප්‍රතිලාභයද එන්න එන්නම විශාල වෙනවා. ඒ වගේම, කඩා වැටීමක හානියද ඉහළ යනවා. ඒ නිසා, ආර්ථිකය කඩා වැටීමේ අවදානම අරගෙන හැකි ප්‍රමාණය ඉක්මවා ආර්ථිකය පුම්බන්න උත්සාහ නොකර ස්ථාවරත්වය පවත්වා ගනිමින් ශක්‍ය මට්ටමකින් ආර්ථිකයට වර්ධනය වීමට ඉඩ හැරීමයි කළ යුත්තේ. තෙවනුව, ආර්ථිකයක් ප්‍රසාරණය වන තරමට වැඩි ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා ලබා දිය යුතු දායකත්වයද එන්න එන්නම වැඩි වෙන නිසා ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම එන්න එන්නම අසීරු වෙනවා. මේ කරුණ වඩා වැදගත් වන්නේ ඇමරිකාව හා චීනය වැනි වෙනස් ආර්ථික මට්ටම් වල සිටින රටවල් සංසන්දනය කරද්දී. ලංකාවටද අදාළයි.

      Delete
    3. මම අහන්න හිටපු ඊලඟ ප්‍රශ්නෙටත් එක්කම උත්තරේ දීල තියෙනව. මරාගෙ දශකයෙ පොඩ්ඩක් වැඩි ආර්තික වර්දනයක් ලැබුනත් රට ඊට වඩා අර්බුදයකට ඇදල දාපු නිසා ඒක ඔය කියන තරම් වටිනවද කියල මට අහන්න ඕන උනේ.
      වෙනත් ප්‍රශ්නයක් අහන්නම්.
      ආරිතික වර්දනය වෙනතරමට ජීවන තත්වය උසස් වෙනවවද වෙනත් රටවල් වැඩි වේගයකින් වර්දනය උනොත්? එවිට ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනව නේද ආර්තිකය වර්දනය උනය්හ්?

      Delete
    4. හැබැයි මේ වගුවේ පෙන්වන සංඛ්‍යා වල කිසිදු වැරැද්දක් නැහැ. 1950දී ලංකාවේ දදේනි අද ප්‍රමාණයෙන් 5%ක් පමණයි. ඒ කියන්නේ පසුගිය වසර 70 තුළ ලංකාවේ වසරකට නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය 20 ගුණයකින් වැඩි වී තිබෙනවා කියන එකයි. මෙහි කිසිදු ආකාරයක අතිශයෝක්තියක් නැහැ. එයට එක් හේතුවක් වන්නේ ජනගහණය වැඩිවීම හේතුවෙන් ශ්‍රම බලකාය ඉහළ යාමයි. මෙහිදී ඉහළ ගිය රටේ ආදායම වැඩි පිරිසක් අතර බෙදී ගොස් ඇති නිසා, ඒ අනුපාතයෙන්ම රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් නැහැ. එය සැලකිල්ලට ගැනීමෙන් පසුව ඒක පුද්ගල ආදායම දෙස බැලුවත් 1950-2019 අතර 7.17 ගුණයක වැඩි වීමක් තිබෙනවා. 2020 වෙද්දී මෙය 6.87 ගුණයක් දක්වා අඩු වී තිබුනත් එය තාවකාලික පසුබෑමක් සේ සැලකිය හැකියි. වෙනත් විදිහකින් කිවුවොත් ලාංකිකයෙකුට මේ වන විට 1950දී මෙන් පස් ගුණයක භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමේ හැකියාවක් තිබෙනවා. (මෙය කලින් ප්‍රතිචාරයටම දමන පිළිතුරක්. අලුත් ප්‍රතිචාරය දැක්කේ දැන්.)

      Delete
    5. //ආරිතික වර්දනය වෙනතරමට ජීවන තත්වය උසස් වෙනවවද වෙනත් රටවල් වැඩි වේගයකින් වර්දනය උනොත්? එවිට ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනව නේද ආර්තිකය වර්දනය උනය්හ්?//

      වෙනත් රටවල් වල ආර්ථික වර්ධන වේගය අඩු වුනත්, වැඩි වුනත් ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන එකයි. නමුත්, වෙනත් රටවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඊට වඩා වැඩියෙන් ඉහළ ගියොත් සාපේක්ෂව ලංකාව පස්සට යන්න පුළුවන්. වඩා වැදගත් වන්නේ අපේ කෑම පිඟානේ තිබෙන දේ මොනවාද කියන එක මිසක් අල්ලපු ගෙදර මනුස්සයා කන්නේ මොනවාද කියන එක නෙමෙයිනේ. අල්ලපු ගෙදර මනුස්සයා මොනවා කෑවත්, නොකා හාමතේ හිටියත්, එයින් අපට වෙන හොඳක් හෝ නරකක් නැහැ. එකම දේ අල්ලපු ගෙදර මනුස්සයා දිහා බලාගෙන අපට පාඩම් ඉගෙන ගත හැකියි. සාර්ථක වී ඇති බව පෙනෙන දේවල් කරන්න සහ අසාර්ථක වී ඇති බව පෙනෙන දේවල් නොකරන්න. එහෙත් අවසන් ඉලක්කය විය යුත්තේ තමන්ගේ බත් පිඟාන කොපමණ ලොකුද කියන එක මිසක් එය අල්ලපු ගෙදර බත් පිඟානට වඩා ලොකුද පොඩිද කියන එක නෙමෙයි. (යම් සන්දර්භ වල එයද වැදගත් තමයි).

      //එවිට ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනව නේද ආර්තිකය වර්දනය උනය්හ්?//
      ආර්ථිකය වර්ධනය වීම කියන එකෙන් අදහස් වන්නේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වීම. 1950 සිට 20 ගුණයකින් ආර්ථිකය වර්ධනය වී තිබෙනවා කියා කියන්නේ ලාංකිකයෙකුගේ මිල දී ගැනීමේ හැකියාව එපමණකින් වැඩි වී ඇති බවයි. මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන්නේ අනෙක් රටවලට වඩා ආර්ථිකය අඩුවෙන් වර්ධනය වීම නිසා නෙමෙයි. අනෙක් රටවලට වඩා වැඩියෙන් සල්ලි අච්චු ගැසීම නිසා.

      Delete
    6. වෙන රටවල් වඩා වැඩි වේගයකින් වර්දනය උනොත් ඒ රටෙන් ගේන ආනයන ඹ්හාන්ඩ මිලට ගැනීමෙ හැකියාව අඩු වෙනව නේද? හරියට ජපානය වගේ.

      Delete
    7. //වෙන රටවල් වඩා වැඩි වේගයකින් වර්දනය උනොත් ඒ රටෙන් ගේන ආනයන ඹ්හාන්ඩ මිලට ගැනීමෙ හැකියාව අඩු වෙනව නේද? හරියට ජපානය වගේ.//

      නැහැ. කලින් කිවුවා වගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන්නේ අනෙක් රටවලට වඩා ආර්ථිකය අඩුවෙන් වර්ධනය වීම නිසා නෙමෙයි. අනෙක් රටවලට වඩා වැඩියෙන් සල්ලි අච්චු ගැසීම නිසා.

      ඇස් පනා පිට පේන ප්‍රායෝගික උදාහරණයක් විදිහට චීනය ගන්න. චීනය අනෙක් බොහෝ රටවල් වලට වඩා වැඩි වේගයකින් පසුගිය කාලයේ වර්ධනය වී තිබෙනවා. එහෙත්, ලංකාව ඇතුළු හැම රටක්ම වගේ චීන බඩු ආනයනය කරන එක වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ නේද?

      ලංකාවම ගත්තත් ආර්ථික වර්ධනය ඉහළින් තිබුණු පසුගිය රාජපක්ෂ දශකයේ ආනයන අපනයන පරතරය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ නේද?

      Delete
    8. මට මේකට තියෙන හොඳම උදාහරනය ජපානෙ නිසා මේක කිව්වෙ. ජපානෙ උද්දමනය පහුගිය අවුරුදු 25ක් තිස්සෙම බින්දුවට කිට්ටුයි මහිතෙ. ආර්තිකෙත් දශම ගානකින් වගේ ත්මයි වර්දනේ වෙන්නෙ. පඩිත් වැඩි වෙන්නෙ නෑ. හැබැයි ආනයනික භාන්ඩ වල මිල ඉහල යනව

      Delete
    9. හොඳ case study එකක්. මම මෑතකදී ජපන් ආර්ථිකය ගැන එතරම් සොයා බලා නැහැ. මෙය ක්ෂණිකව පළ කරන අදහසක්. ඔබ කියනවා වගේම පසුගිය වසර 25 තුළ ජපානයේ සාමාන්‍ය උද්ධමනය 0% ආසන්නයේනේ. ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය 2% පමණ. ඒ කියන්නේ ක්‍රය ශක්ති සාම්‍යය පවතින්නනම් වසරකට 2%කින් යෙන් එක (ඩොලරයට සාපේක්ෂව) අධිප්‍රමාණය විය යුතුයි. එහෙත්, යෙන් එක ඔය කාලය තුළ යම් තරමකින් හෝ අවප්‍රමාණය වෙලා මිසක් අධිප්‍රමාණය වෙලා නැහැ. මම හිතන විදිහට මෙය ජපානය සැලසුම් සහගතව කරන වැඩක්. ඩොලර් සංචිත මිල දී ගනිමින් යෙන් එක පහළින් තියා ගන්න පුළුවන්. දැනට ලෝකයේ වැඩිම ඩොලර් සංචිත තිබෙන රට ජපානයයි. එහි ප්‍රතිඵලය කුමක්ද? දේශීය භාණ්ඩ මිල එසේම තිබුණත් ආනයනික භාණ්ඩ වසරකට 2%කින් පමණ ගණන් යනවා. ජපානයට මෙසේ කරන්න සිදු වී තිබෙන්නේ අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා. ජපානයේ උද්ධමනය 0% වුනත් තවමත් ජපානයේ මිල මට්ටම් චීනය, කොරියාව වැනි රටකට වඩා ගොඩක් වැඩියි (මම හිතන විදිහට). ඒ නිසා, අපනයන වෙළඳපොළේදී චීන, කොරියන් වගේ නිෂ්පාදන එක්ක තරඟ කරන්න අමාරුයි. කාලයකින් ජපානයේ නවෝත්පාදන කියා ලොකුවට දෙයක් වෙලාත් නැහැ. (කාර්යක්ෂමතාවය ඉහළ ගිහින් නැහැ. ඇත්තටම ජපනා දැනටම ගොඩක් කාර්යක්ෂම නිසා දැන් ඉන්න තැනින් ඉහළට යන්න අමාරුයි) ඒ නිසා, විණිමය අනුපාතය අධිප්‍රමාණය වුනොත් දැනට තිබෙන අපනයන වෙළඳපොළත් අහිමි වී ආර්ථිකය හැකිලෙනවා. මේක අපනයන මුල් කරගත් ආර්ථික ක්‍රමයක් හරහා වේගයෙන් වර්ධනය වන ආර්ථිකයකට යම් මොහොතක මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. චීනයටත් ඔය වැඩේම වෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මේ වන විටද එම අනාගත ප්‍රශ්නය හඳුනාගෙන එයට මුහුණ දීම සඳහා සැලසුම් හදමින් සිටිනවා. මේ වගේ අදියරකට පැමිණි විට අපනයන මුල් කරගත් ආර්ථිකයෙන් දේශීය පරිභෝජනය මුල් කරගත් ආර්ථිකයකට මාරු වෙන්න වෙනවා. මුල් කාලයේ හොඳ උපාය මාර්ගයක් වූ සකසුරුවම් ජපනා, අත දිගහැර වියදම් කරන ජපනෙක් බවට පරිවර්තය කරන්න වෙනවා. ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම මේ වැඩේට උදවුවක්.

      Delete
    10. //යෙන් එක පහළින් තියා ගන්න පුළුවන්.//

      මෙයින් අදහස් කළේ යෙන් එකේ වටිනාකම පහළින් තියා ගැනීම, එහෙමත් නැත්නම් ඩොලරයක යෙන් මිල ඉහළින් තබා ගැනීම.

      Delete
    11. ඉකොනොමැට්ටා EconomattaOctober 16, 2021 at 11:21 AM

      //වෙනත් විදිහකින් කිවුවොත් ලාංකිකයෙකුට මේ වන විට 1950දී මෙන් පස් ගුණයක භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමේ හැකියාවක් තිබෙනවා.//

      හත් ගුණයක සේ නිවැරදි විය යුතුයි.

      Delete
    12. //කාලයකින් ජපානයේ නවෝත්පාදන කියා ලොකුවට දෙයක් වෙලාත් නැහැ. //
      හැබැයි ඉනොවේශන් ඉන්ඩෙක්ස් වල ජපානය මුල් රටවල් දහය වගේ අතර ඉන්නව නේද? එහෙමනම් එහෙම වෙන්නෙ කොහොමද?

      //(කාර්යක්ෂමතාවය ඉහළ ගිහින් නැහැ. ඇත්තටම ජපනා දැනටම ගොඩක් කාර්යක්ෂම නිසා දැන් ඉන්න තැනින් ඉහළට යන්න අමාරුයි) //
      ජපන්නුත් සමග වැඩ කරන වෙනරටවල උන්ගෙනම් අදහස වෙනස්. බොහොම අකාර්‍යක්ශම ජාතියක් බව තමයි කියන්නෙ.
      උදාහරනයක් විදියට විනාඩි 15 මීටින්ග් එක පැයක් වගේ ගතකරනව.
      පුරුද්දක් විදියට ඕවර්ටයිම් කරනව
      තව උදාහරනයක් දෙනවනම් හිතන්නකො කස්ටමර් කෙනෙක් බඩු අරගෙන සුපර්මාර්කට් එකෙන් එලියට යනව කියල. ඔහුට ආචාර කරන්න වෙනම මිනිස්සු දාල තියෙනව. මේව අකාර්‍යක්ශමතාවයන් නෙමෙයිද?

      ජපන් කතාව අමතක කලොත්, ඔබේ අදහස ආර්තිකය වර්දනය වෙනගමන් උද්දමනය 0 තියාගන්න පුලුවන්නම් භාන්ඩ වල මිල ඉහල යන්නෙ නෑ කියන එකද? එහෙමනම් රටවල් ආර්තික වර්දනයේ උත්තේජකයක් විදියට උද්දමය ැැතිකිරීමටවෙහෙසෙන්නෙ ඇයි? (අබෙනොමික්ස්)

      Delete
    13. 1. නවෝත්පාදන දර්ශකය ගැන මම විශාල හැදෑරීමක් කර නැහැ. මේ මට කිව හැකි දේ. පළමුව, මේ නවෝත්පාදන දර්ශකය වගේ මිනුම් පරිපූර්ණ මිනුම් නෙමෙයි. අදාළ ක්‍රමවේදයේ ගැටළු ගණනාවක් පහසුවෙන් පෙන්වා දිය හැකියි. එසේ වුවත්, නවෝත්පාදන බිහි කිරීමේ හැකියාව පිළිබඳ ආසන්න මිනුමක් සේ (proxy measure) මෙය අපි සලකමු. 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ජපානය සිටින්නේ 13 වන තැන. ඇතැම් විට මීට පෙර උඩින් හිටියා විය හැකියි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය වැනි කාර්යක්ෂමතාවය මත පදනම්ව සිය ආර්ථිකයන් වර්ධනය කර ගන්නා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සිටින්නේ ජපානයට උඩින්. අනෙක් පැත්තෙන් කොරියාව, සිංගප්පූරුව, චීනය වැනි අපනයන තරඟකාරීත්වය මත පදනම්ව ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින් ජපානයට පසුව මෑතකදී උඩට ආ රටවල් ඉන්නේත් ජපානයට ඉහළින්. ඒ කියන්නේ තමන්ගේ ආර්ථිකය තනිවම වර්ධනය කර ගැනීමේ හැකියාව අතින් ජපානය ඉන්නේ බටහිර රටවලට පිටුපසින්. අපනයන තරඟකාරිත්වය මත පදනම්ව බටහිර රටවල් මත එල්ලී ඉදිරියට යාමත් චීනය, කොරියාව වැනි රටවල් නිසා මේ වන විට අසීරු වී තිබෙනවා.

      2. ජපානය සම්බන්ධව ඔබට තිබෙන අත්දැකීම් මට නැහැ. මම කාර්යක්ෂමතාවය දකින්නේ සමස්ත ආර්ථිකය දෙස බලමින් ඒක පුද්ගල ආදායම මත පදනම්ව. රටක ඒක පුද්ගල ආදායම වැඩියි කියන්නේ ඒක පුද්ගල ආදායම අඩු රටකට වඩා කාර්යක්ෂමයි කියන එක. මෙය වෙනස් වන්නේ තෙල් වැනි ස්වභාවික සම්පත් ඇති රටවල් හා අදාළව පමණයි.

      3. උද්ධමනය කියන්නේ භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ මිනුමක්. උද්ධමනය 0% විය හැක්කේ සමස්තයක් ලෙස භාණ්ඩ මිල ඉහළ නොයන්නේනම් පමණයි.

      4. සාමාන්‍ය මූලධර්මයක් ලෙස රටක් උද්ධමනය පාලනය කරන නමුත් 0% මට්ටමට වැටෙන්න දෙන්නේ නැහැ. බොහෝ විට ඉලක්ක කරන්නේ 2% වැනි මට්ටමක්. එයට හේතුව අවධමනය ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑමයි. උද්ධමනය හරියටම අවශ්‍ය මට්ටමේ නොවෙනස්ව තියා ගන්න බැරි නිසා 0% ඉලක්ක කළහොත් එය ඇතැම් වසර වල සෘණ අගයක් වීම (අවධමනය) නොවැලැක්විය හැකියි. 2% ඉලක්ක කළහොත් අඩු වුනත් බොහෝ විට සෘණ පැත්තට යන්නේ නැහැ.

      Delete
  2. ලංකාවේ මේ දිනවල ආර්ථිකය බංකොලොත් වීම සමග ඇතිවූ අධි උද්ධමන අර්බුදය පිළිබඳ සමගි ජන බලවේගයේ විශේෂ උපදේශක මණ්ඩලයේ සිටින සාමාජික සහ ලංකාවේ ප්‍රධාන පේළේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ආචාර්ය රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක කොටසක් පහතින්,

    //කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 දා එනම් ඊයේ දිනයේ පමණක් තවත් රුපියල් කෝටි දෙදහසක් පමණ, හරියටම කියන්නේ නම්, රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1,963 ක් අච්චු ගසා ඇත. ආණ්ඩුවේ කුප්‍රකට දූෂණ චෝදනා බහුලව ඇති ඊනියා ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමන බයිලා පැවසුව ද, රටේ බඩු මිල රොකට් වේගයෙන් වැඩි වීමට මෙම අධික ලෙස මුදල් අච්චු ගැසීම හේතුවී ඇත.

    2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල රු. ලක්ෂ 138,76,800 ක් (රු. 1,387,680,000,000) කි. 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා වසර 70 ක් පුරා අච්චු ගසා තිබූ මුළු මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල පමණක් අච්චු ගසා ඇතැයි කීවොත් ඔබ පුදුම වනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 ක් පමණි.

    දූෂිත චෝදනා බහුලව ඇති දේශපාලනික වශයෙන් පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා තම පත්වීමෙන් පසුව මසකට අඩු කාලයකින් පමණක් මේ දක්වා අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 17,80,400 කි.

    පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව විශාල වශයෙන් බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත දිළිඳු ජනතාවට සීනි, පාන් පිටි, හාල්, කිරිපිටි, ගෑස් හා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත දැවැන්ත ලෙස අධික බදු බර පටවා ඇත.

    ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු කඩ මුදල් ජාවාරම ඉතාමත් බරපතල විදිහට දීප ව්‍යාප්ත වී පුළුල් වී ඇත.

    පසුගිය 2005-14 රාජපක්ෂ ආණ්ඩුව සමයේ අධික ලෙස ගත් විදේශ ණය මහා කන්දෙන් 2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.//

    මේ කරුණු හැම දෙයක්ම හරි නේද? ඒ නිසා මේ මුදල ගෙවීමට නොහැකිව ලංකාවේ ආර්ථිකය නිසැක වශයෙන් කඩා බිඳ වැටීම දැනට පවතින බව පේනවා නේද? මේ වන විට ලංකාවේ රුපියල් වලින් ඇති බැංකු ගිණුම් වලින් අප කළ යුත්තේ කුමක්ද? ඒ මුදලින් ඉඩම් සහ වෙනත් නිශ්චල දේපල හා ඩොලර් RFC වැනි ගිණුම් ආරම්භ කිරීමෙන් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද? ලංකාවේ මිනිස්සු ඔක්කොම වගේ හරිම බයෙන් ඉන්නේ මේ දවස් වල බැංකු ගිණුම් වල මුදල් එක රැයින් ශුන්‍ය වී යන්න පුළුවන් හින්දා, එය එකපාරටම ක්ෂණිකව වෙයිද නැත්නම් ටික ටික අධි උද්ධමනයක් ඇවත් බඩු මිල මිලියන ගණනින් ඉහළ මට්ටමකට යමින් මාසයක් දෙකක් ඇතුලත වගේ මුදල් සම්පූර්ණයෙන්ම වගේ බලරහිත තත්ත්වයක් ඇති වෙයි ද?

    ReplyDelete
    Replies
    1. සල්ලි අච්චු ගැසීම සම්බන්ධව ඉහත උපුටනයේ තිබෙන සංඛ්‍යාලේඛණ නිවැරදි නැහැ. ඇතැම් අය මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ඉහළ යාම සල්ලි අච්චු ගැසීමක් සේ සලකන නමුත් එය වැරදියි. සල්ලි අච්චු ගැසීම ලෙස අදහස් කෙරෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ඉහළ යාමයි. භාණ්ඩාගාර බිල්පත් එහි එක් කොටසක් පමණයි.

      ඊයේ එනම් 2021 ඔක්තෝබර් 15 දින වන විට මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,409.5ක්. 2020 ජනවාරි මුල මෙම ප්‍රමාණය රුපියල් බිලියන 75.0ක්. ඒ අනුව, මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2020 වසර ආරම්භයේ සිට රුපියල් බිලියන 1,334.5කින් ඉහළ ගොස් තිබෙනවා. මේ සඳහා අලුතින් අච්චු ගැසූ සල්ලිද යොදවා ඇතත්, එසේ වැය කළ රුපියල් වලින් විශාල කොටසක් මහ බැංකුව සතු වූ ඩොලර් සංචිත රජයට විකුණා ලබා ගත් රුපියල් නිසා අලුතින් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණය මීට වඩා අඩුයි.

      පෙරේදා එනම් 2021 ඔක්තෝබර් 14 දින වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,284.1ක්. 2020 ජනවාරි මුලදී මේ ප්‍රමාණය 945.4ක්. මේ අනුව, මෙම වසර ආරම්භයේ සිට වැඩි වීම රුපියල් බිලියන 338.7ක්. 2020 වසර මුල වූ සංචිත මුදල් ප්‍රමාණය මේ වෙද්දී 35.8%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉහළ ප්‍රමාණයක සල්ලි අච්චු ගැසීමක් වුවත්, ඉහත උපුටනයේ සඳහන් වැඩි වීමට වඩා ගොඩක් අඩුයි.

      //ලංකාවේ මිනිස්සු ඔක්කොම වගේ හරිම බයෙන් ඉන්නේ මේ දවස් වල බැංකු ගිණුම් වල මුදල් එක රැයින් ශුන්‍ය වී යන්න පුළුවන් හින්දා, එය එකපාරටම ක්ෂණිකව වෙයිද නැත්නම් ටික ටික අධි උද්ධමනයක් ඇවත් බඩු මිල මිලියන ගණනින් ඉහළ මට්ටමකට යමින් මාසයක් දෙකක් ඇතුලත වගේ මුදල් සම්පූර්ණයෙන්ම වගේ බලරහිත තත්ත්වයක් ඇති වෙයි ද?//

      මේ වන විට අච්චු ගසා තිබෙන මුදල් ප්‍රමාණය අනුවනම් නරකම තත්ත්වයක් යටතේ වුවත් උද්ධමනය 20% වැනි මට්ටමකට වඩා වැඩි විය නොහැකියි. එයද පාලනය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් විවිධ ක්‍රියාමාර්ග ගනු ඇති බව නිසැකයි. එහෙත්, ප්‍රශ්නය තිබෙන්නේ තව තවත් සල්ලි අච්චු ගහන්න සිදු වන උගුලක මහ බැංකුව හා රජය සිර වී සිටීමයි. යම් හෙයකින් සැලකිය යුතු ඩොලර් ණයක් ඉතා ඉක්මණින් ලබා ගත නොහැකි වුවහොත් විශාල ලෙස තව තවත් සල්ලි අච්චු ගහන්න සිදු වීම හා උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට යාම සිදු විය හැකියි. ඒ හැර, මේ මොහොතේ "බැංකු ගිණුම් වල මුදල් එක රැයින් ශුන්‍ය වී යාම" වැනි ක්ෂණික අවදානමක් නැහැ.

      Delete
  3. මම හිතන්නේ නූතන රාජපක්ෂ කල්ලියේ දූෂිත චෞර රෙජීමය මේ වන විටත් ලංකාවේ සැබෑ තත්ත්වය සත්‍ය ප්‍රමාණයට වඩා වැඩි කොට පෙන්වීම හරහා දැන් නම් රට ඉවරයි කියලා ජන මනසට කාවද්දලා රට ගොඩ දාගන්න නම් තිත්ත බේත් දෙන්න වෙනවා කියලා, අපි මේ නොකරම බැරි කමට කරන්නේ වගේ බයිල කියලා ජනතා කැමැත්ත බලෙන්ම ලබා ගෙන බහුතරයේ විරෝධය නොතකා භයානක වූ ප්‍රතිසංස්කරණ වලට යන්න නම් මීට වඩා දරුණු කඩාවැටීමක් අවශ්‍ය වෙනවා. බොහෝ දුරට ඉතාමත් සටකපට කල්ලියක් වන රාජ පක්ෂ චෞරයන්ගේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක වෙන්න පුළුවන්. (උදා: ගම්මන්පිල පහුගිය දවස් වල අභියෝග කලේ ලංකාවේ ඕන එකෙක් ඉන්නවා නම් තෙල් මිල අඩු කරලා පෙන්නන්න, නැත්නම් ඒ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න, කාටවත් එහෙම ක්‍රමයක් නැති නිසා තෙල් මිල අනිවාර්යයෙන්ම ඉහළ නැංවීම කළ යුතුයි කියලා. මේකට කවුරුත් උත්තර නොදී මග ඇරියේ ඇයි?) ඒ නිසා විපක්ෂ කණ්ඩායම් මේ තත්ත්වයට පොහොර යෙදීම ගැන හිතන්නේ මීට රාජපක්ෂ කල්ලියේ ඥාති සහෝදරයෙක් වන රනිල්ගේද සහය යටින් ඇති බව. අනෙක් අතට ඔය අයි එම් එෆ් එකට යන්න ප්‍රමාද කරන්නේත් ඒකයි, හොඳටම කෙළ වෙලා වගේ ගියාම අයි එම් එෆ් එකට ගිහින් එයාලගේ අනිවාර්යයෙන්ම කළ යුතු කොන්දේසි කියලා ඉතාමත්ම ජුගුප්සාජනක තීන්දු තීරණ අරන් තව තවත් අධික ලෙස බදු වැඩි කිරීමෙන්, රජයේ සේවකයන් කප්පාදු කිරීම, රජයේ ආයතන වසා දමා වියදම් අඩු කිරීම සහ බදු පිට බදු ගසා ජනතාවට රට එපා කරවයි රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීරලා පහුගිය කාලේ පුරාම කළා වගේ. ඊට පස්සෙ රාජපක්ෂ කල්ලිය ඇපත් නැතුව කුජීත ලෙස කිච වෙලා පරදින කොට නාකි මරා විශ්‍රාම යයි. ගෝරා බැරා ඇමරිකා පැනල ෂේප් වෙයි. නාමල් විතරක් හම්බන්තොටින් එයි. එතකොට 2024 රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ රූකඩ පාලකයෙක් මීට විකල්පය කියලා ගෙනත් ආයේත් ඒ වගේ ජඩ මහජන විරෝධී පාලනයක් ගෙන යාවි, ඊට පස්සේ 2029 යළි උපදින දියසෙන් විදියට ආයේත් නාමල් බෞතීස්ම කරන එක මරාගේ දිගු කාලීන සැලසුම විය යුතුයි. රනිල්ට අන්තිම කාලේ රටේ පාලකයා ලෙස ඉන්න සහ ඔහුගෙන් පසු ඔහුගේ ඥාති පුත් රුවනක් රටේ පාලකයා වීම මම හිතන්නේ ඔහුටත් ඉතා වැදගත් වේවි. මෙතනදී එජාපයේ පාලනය ඊළඟ පරපුර වෙනුවෙන් රුවන් විජේවර්ධන හෝ එම පවුල්වල ඊළඟ පරපුරේ අලුත් තරුණ තරුණියන් අතර හොඳ කෙනෙක්ට ලැබුණොත් නම් හොඳයි හැබැයි.

    ReplyDelete
  4. ආයෙත් ඇවිත් ඊළඟට වැටෙන comments ටිකත් ක්යවන්නම ඕනි!

    ReplyDelete
    Replies
    1. මෙ මොන අන්ඩරදෙමලයක් ද?.... තෙරුනෙ නෑ නෙද මෙලො දෙයක්.
      හා හා කමක් නැ බොමු සීතල වතුර ටිකක්

      Delete
  5. ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ ක්ලිප් එකේ ලංකාවේ විදේශ විනිමය අර්බුදය ගැන කෙටියෙන් කියනව;

    https://m.facebook.com/story.php?story_fbid=398588695190579&id=106097527773032

    හැබැයි මේ ගැන අනෙක් පැත්තෙන් පාලන බලතල ඇති පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරා මීට පිළිතුරු ලෙස පැවසූයේ ඒ වෙලාවෙ සිද්දවුණේ රුපියල පාවෙන්න ඉඩහැර සැබෑ අගයට එන්න ඉඩහැරීමක් බව, ඒ කතාව ගැන මොකද හිතන්නේ? එනම් සිරිමා පාලනය කළ ඒ දක්වා කෘත්‍රිමව පාලනය කර තිබුණු ඩොලරයේ අගය සැබෑ අගයට පැමිණීමක් බවයි.

    කොහොම උනත් මේ වැඩසටහන තිබුණු දවසට වඩා හොඳට අද මේ ප්‍රශ්නය ගැන වැටහෙන්න පුළුවන්. මොකද ඩොලර් එකේ අගය රු. 203 ලෙස සඳහන්වුණත් ඒ ගාණට ඩොලර් නෑ. රජය විසින් නැවතත් 1970 දශකයේ වගේ පනවපු ඒක බොරු මිලක්. මේ කෘත්‍රිම මිල නිසා ලංකාවට එන්න තියෙන ඩොලර් එන්නෙත් නෑ කියලා ආණ්ඩුවේම කට්ටිය කියනවා.

    හෙට මේ රටේ ආණ්ඩුව මේ ක්‍රමය වෙනස් කළොත් නැත්නම් ආණ්ඩුව වෙනස්වෙලා අලුතෙන් පත්වෙන නායකය මේ අර්බුදය විසඳන්න රුපියල පාවෙන්න ඉඩහැරියොත් රුපියල නවතින්නෙ රු. 250ක 275ක විතර අගයක. එතකොට මෙන්න මූ ආවම එක දවසින් ඩොලරය රුපියල් 50කින් 75කින් වැඩිවුණා කියලා දැඩි විරෝධය සහ බාධා එල්ල කරනවා විපක්ෂ කණ්ඩායම්.

    ඒ වගේම මේ කතාව ඇත්ත ද?

    https://m.facebook.com/story.php?story_fbid=345198570529592&id=106097527773032

    1988-89 කාලයේ ලංකාවේ හිටපු අති විශාල ප්‍රමාණයක් වුණ අති දක්ෂ නිර්මාණශීලී බුද්ධිමත් මනා අවබෝධයක් තියෙන හොඳ කළමනාකරණ හැකියාවක් තිබුණු සරසවි ශිෂ්‍ය නායකයන්, සමාජ ක්‍රියාකාරීන්, අති දක්ෂ සුහුඹුල් කලාකරුවන්, රැඩිකල් තරුණ තරුණියන් රාශියක් එවකට පැවති රාජ්‍ය මර්දනය නිසා විශාල වශයෙන් ඝාතනය වී රොඩු බොඩු වැනි මෝඩයන් පිරිසක් පමණක් ඉතිරි වීම නිසා ලංකාවේ රාජපක්ෂ වැනි දූෂිත ඒකාධිපති මුග්ධයන්ගේ තකතීරු පවුල් පාලනය ඇති වී තිබෙන බව පැහැදිලිව පේනවා නේද? එම පිරිස සිටියානම් ලංකාව මීට වඩා ගොඩාක් ලස්සනයි. මෙහි ඉතා මැනවින් විස්තර කරපු විදියට බහුතරයේ මතය ක්‍රියාවට නැංවීම නිසා වෙන්නේ මෝඩයන් විහින් රට විනාශ කරන එක, ඒ නිසා බුද්ධිමත් මිනිසුන් සීමිත පිරිසක් රටේ පාලනය සහ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය සඳහා මධ්‍යගත කරන දක්ෂ ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් නේද? මේ සඳහා කියුබාව හෝ චීනය වැනි රටවල ඇති පාලන තන්ත්‍රය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට?

    ReplyDelete
    Replies
    1. ජවිපෙ කැරලි අවස්ථා දෙකේදී වුනත් කෙසේ හෝ පණ බේරා ගත්තේ ඒ කාණ්ඩය ඇතුළේ සිටි ටිකක් හරි ස්මාර්ට් කට්ටිය වෙන්නත් පුළුවන් නේද? එසේ නැතිව ඔය වගේ කැරලි වලදී නොමැරී ඉතිරි වෙන්නේ රොඩු බොඩු ටිකනම් අන්තිමට කියුබාව හා චීනය පාලනය කරන්න ඉතිරි වුනෙත් රොඩු බොඩු ටිකද? හදිසියේවත් ජවිපෙ කැරැල්ලක් හරහා බලය ගත්තානම් රට පාලනය කරන්න වෙන්නේ ඉතිරි වූ රොඩු බොඩු ටිකටද?

      Delete
  6. ඉකෝන් මොකද හිතන්නේ මේ කියන කතාව ඇත්ත ද?

    https://m.youtube.com/watch?v=-ILMOWlhII0&feature=youtu.be

    සාමාන්‍යයෙන් මම දන්න විදිහට නම් රසායනිකයි කාබනිකයි එකට කරන්න බෑ. කාබනික පොහොර සක්‍රිය වෙන්නේ ක්ෂුද්‍ර ජීවීන් මගින්. සාමාන්‍ය විදියට රසායනික පොහොර දාපු ගමන් ක්ෂුද්‍ර ජීවීන් මැරෙනවා. එතකොට කාබනික පොහොර අක්‍රිය වෙනවා. යූරියා වගේ දේවල් වුණත් පසේ සංයුතියට බලපෑම් කර ගොඩක් පාංශු ජීවීන් හා ආශ්‍රිත වෙනත් සතුන් විනාශ කරන එක දකින්න පුළුවන්. ඒ නිසා එකක් තෝරාගන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. රසායනික පොහොරයි කෘමි නාසකයි දෙක පටලවාගෙන!

      Delete
  7. ඉකොනො,

    ඕස්ට්‍රේලියාවේ දශක ගණනාවක් තිස්සේ වාහන නිෂ්පාදනය කළ වාහන සමාගම්වලට විශාල වශයෙන් ඔස්ට්‍රේලියානු ආණ්ඩුවේ සහනාධාර දී තිබෙනවා. එහෙම තමයි ඔවුන් වාහන නිෂ්පාදනය කර තිබෙන්නේ. ඒ කියන්නේ එහි දුප්පත් පොහොසත් සියලු වැසියන් ගෙවන බදු මුදලින් තමයි එම සමාගම් පවත්වාගෙන ගොස් තිබෙන්නේ. විදෙස් සමාගම් ලාභ උපයා තිබෙන්නේ ඔස්ට්‍රේලියානු මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්... ලොකු වාහන අඩු මිලට ගන්න කොට ඒ වෙනුවෙන් ඔවුන් සැබවින්ම විශාල වන්දියක් ගෙවා අවසන්...

    නමුත් ඉතාමත් ජාතිවාදී අදහස් බහුලව ඇති රටක් ලෙස ඕස්ට්‍රේලියානුවන් තුළ දේශීය නිශ්පාදන ගැන ලොකු හැඟීමක් තිබුනත් පසුකාලීනව ජපානයේ සහ යුරෝපයේ නිශ්පාදිත වාහන වලට වැඩි ඉල්ලුමක් ඇතිවුනා. ඔස්ට්‍රේලියානු ආර්ථික ජාතිවාදී සංවිධාන වල බලපෑම මත කලින් සිදුවූයේ ඇමරිකාවෙන් ආනයනය කල වාහනවලම ඕස්ට්‍රේලියාවට ගැලපෙන සුලු වෙනස් කම් කරමින් සහ ඕස්ට්‍රේලියාවේ ටොයෝටා ford ආදී කර්මාන්තශාලා ඇති කරමින් ඕස්ට්‍රේලියානු තත්වයන්ට ගැලපෙන වාහන නිශ්පාදනය කිරීමයි. එහෙත් ඕස්ට්‍රේලියානු රටේ පවතින ශ්‍රමය මිළ අධික වීම සහ දැඩි ජනප්‍රියවාදී කම්කරු නීතිරීති, අධික ලෙස සුභසාධන වියදම් නිසා සෑහෙන ඉහළ ශ්‍රමික මිළ සමග තරඟකිරීමට අපහසු තත්වයක් වාහන නිශ්පාදනයට ඇතිකලා. ඔවුන් දැන් සිදුකරන්නේ අඩු ශ්‍රම වියදමක් ඇති රටවලට ඒ නිශ්පාදන ආයතන යැවීම පමණයි.

    මූලාශ්‍රය:

    https://www.roadandtrack.com/car-culture/travel/a33490605/0052-0056-how-australias-auto-industry-fell-apart-september-2020/

    මූලාශ්‍රය:

    https://www.autocar.co.uk/car-news/industry/end-car-production-australia-what-went-wrong

    මූලාශ්‍රය:

    https://www.nytimes.com/2017/10/20/world/australia/holden-automaker-factory-closes.html

    මේක තමයි අසාර්ථක වෙනවා කියන්නේ... කයිය ගැහුවට ඒ මිලට වාහන මිලදී ගන්න බැහැ... ආණ්ඩුවෙන් සහනාධාර දීලත් ෆේල්... ලංකාවෙන් ඔසී ගිහින් එහේ ඉඳන් ලංකාව වගේ ෆේල් රටක් හදන්න ඕන විදිහ කියල බුකියේ පොර ටෝක්ස් නහුතෙට ඉෂූ කරන ලංකාවෙන් එහේ ගිය 'සුපිරි මොළ' ටිකට වත් බේරගන්න බැරි වුණා... ඒක තමයි අවුල තියෙන්නෙ. ඇත්තටම ඔසී වල ඉන්න ලංකාවෙ බොහෝ පුහුණු ශ්‍රමිකයන්ට මේනිසා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් අහිමි වුණා. ඒත් ඇමරිකන් කාර් සමාගම් චීනයෙන් කොටස් විශාල වශයෙන් ආනයනය කරමින් සාර්ථකව තවමත් කරගෙන යනවා නේද? යූකේ බ්‍රෑන්ඩ් දෙක නම් (ජැගුවර් ලෑන්ඩ් රෝවර්) යන්තං ගොඩ ගියා රතන් ටාටාට පිං සිද්ධ වෙන්න. ටෙස්ලා එකේ අනාගතේ කොහොම වේවිද?

    ReplyDelete
  8. මේ වන විට ලංකාවෙ ආණ්ඩුව ඉතාමත්ම භයානක විදියට රටේ ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය මෙන්ම ස්වාධීනත්වය දැඩි ලෙස අනතුරේ හෙලන කෙලවරපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ඇමරිකානු ආණ්ඩුව සහ පුද්ගලික ආයතන සමග ගිවිසුම් කිහිපයකට හොර රහසේ එළැඹී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වලට අනාවරණය කළා. එකී ගිවිසුම් සියල්ල පිළිබද සම්පූර්ණ විස්තර වහා රටට හෙළි කරන ලෙස ජවිපෙ ජාතික බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහෝදරයා ඉල්ලා සිටි අතර තොරතුරු දැනගැනීමේ පණත යටතේ අපට මේ ගැන තොරතුරු ලංකාවෙ ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ නොහැකි ද? එසේ නම් ඒ කෙසේ ද කුමන ආයතනයකින් ද කියලා කියන්න පුළුවන් ද?

    ජවිපෙ මේ ගැන අනාවරණය කළ ආකාරයට බලාගාරය සඳහා ගෑස් සපයන නළ පද්ධතිය, පාවෙන ගබඩා පද්ධතිය වසර 50කට අධික කාලයකට ගෑස් සැපයීමේ මුළු අයිතිය පවරා ඇමෙරිකානු සමාගමකට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඇති බවත් අනුර සහෝදරයා සදහන් කළා.

    මේ ගැන මුදල් අමාත්‍යංශ ලේකම් හා අදාළ සමාගමේ කළමනාකරුවන් අතර විවිධ වර්ගයේ සාකච්ඡා සිදු කර ඇති බවත් එහි අරමුණ වී තිබෙන්නේ තව තවත් ලංකාවෙ ජාතික සම්පත් හා ව්‍යාපෘති ඇමරිකානු සමාගම් වෙත පැවරීම බව ද ඔහු හෙළිදරව් කළා.

    මෙහෙම ලංකාවෙ ජාතික සම්පත් ඇමරිකානු සමාගම් වෙත රහසේ පවරා දීමට ආණ්ඩුවේ තීරණ වල භයානක තත්වය ගැන පැහැදිලි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැහැදිලි කළේ මෙම බලාගාරය ඇමරිකාවට ලබාදීමෙන් ඇමරිකාවට එකදිගටම තමන්ගේම වන නෞකා පාවෙන ඉන්ධන ගබඩා වල මුවාවෙන් ශ්‍රී ලංකාවට බටහිර වෙරළේ නවත්වා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

    මේ හරහා දකුණු ආසියානු කලාපයේ පයගසා ගැනීමට ඇමරිකාවට අවස්ථාවක් හිමිවී ඇති බවද මෙය ලංකාවේ ස්වෛරීභාවය ඉතාමත් අවදානම් සහිත ලෙස උල්ලංඝනය වන කාරණයක් බව නලින්ද සහෝදරයා පැහැදිලි කළා. මෙම බලාගාර ගිවිසුම අවලංගු කර විදුලි බල මණ්ඩලය මගින් මේක ක්‍රියාත්මක කිරීමට පුළුවන් නේද? නිකරුනේ අනවශ්‍ය ප්‍රශ්න හදා ගන්නේ මේ හරහා ආණ්ඩුවේ ලොක්කන්ට විශාල වශයෙන් කොමිස් මුදල් ලබා ගැනීමට හැකි නිසා විය යුතු බව තමයි ගොඩක් දේශපාලන නිරීක්ෂකයන් සහ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති පවා පවසන්නේ.

    ReplyDelete
    Replies
    1. //එකී ගිවිසුම් සියල්ල පිළිබද සම්පූර්ණ විස්තර වහා රටට හෙළි කරන ලෙස ජවිපෙ ජාතික බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහෝදරයා ඉල්ලා සිටි අතර තොරතුරු දැනගැනීමේ පණත යටතේ අපට මේ ගැන තොරතුරු ලංකාවෙ ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ නොහැකි ද? එසේ නම් ඒ කෙසේ ද කුමන ආයතනයකින් ද කියලා කියන්න පුළුවන් ද?//

      ඉල්ලීමක් කළ යුත්තේ කවර ආයතනයකින්ද කියා මම ස්ථිරවම දන්නේ නැහැ. විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයෙන් හා මුදල් අමාත්‍යාංශ්‍යයෙන් යන දෙතැනින්ම ඉල්ලා සිටියොත් එක තැනකින් හෝ පිළිතුරක් ලැබෙන්න පුළුවන්. රජය සතු කොටස් විකිණීමක් සිදු වන නිසා මුදල් අමාත්‍යාංශ්‍යයද මෙයට සම්බන්ධ විය යුතුයි. අනුර කුමාර වැනි අයෙකුට ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ හැකියි. මොන විදිහකින් හෝ ගිවිසුම හොයා ගෙන ප්‍රසිද්ධ කළහොත් හෝ අපට පෞද්ගලිකව ලැබෙන්න සැලස්වුවහොත් අපටද මේ පිළිබඳ අපගේ පෞද්ගලික අදහස් පළ කළ හැකියි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...