වෙබ් ලිපිනය:

Saturday, October 2, 2021

කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?


අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් වීමෙන් පසුව ඉතා ඉක්මණින් "වැඩ පටන් ගත්තා". කබ්රාල් කියන්නේ මහන්සි වී වැඩ කරන, වයසින් තරුණයකු නොවූවත් ජවසම්පන්න හා කාර්ය ශූර පුද්ගලයෙක්. ඒ වගේම ඉතාම දක්ෂ සන්නිවේදකයෙක්. අභියෝග හමුවේ පැන නොයා මුහුණ දීමට ඔහුගේ මේ දක්ෂ සන්නිවේදන හැකියාව ඔහුට උදවු වෙනවා. ඔහු දක්ෂ ලෙස සන්නිවේදනය කරන හැම දෙයක්ම ඇත්ත නොවූවත්, ඔහුගේ බොරු ඇත්ත මත පදනම්ව සැලසුම්සහගතව හදන බොරු නිසා ඒවා බොරු බව එක වර පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එකම බොරුව දිගින් දිගටම නැවත නැවත කීම හරහා එය ඇත්තක් කිරීම කබ්රාල්ගේ උපාය මාර්ග වලම කොටසක්. 

ඇතැම් කරුණු හා අදාළව මහ බැංකු අධිපතිවරයෙකු විසින් මෙසේ ක්‍රියා කිරීමේ වැරැද්දකුත් නැහැ. මහ බැංකු අධිපතිවරයෙකු ශුභවාදී විය යුතුයි. මහ බැංකු අධිපතිවරයා අශුභවාදී වුවහොත් එය ඉතා ඉක්මණින් විනාශයකින් කෙළවර විය හැකියි. එහෙත් මහ බැංකු අධිපතිවරයෙකුගේ ප්‍රකාශ පිළිබඳ විශ්වාසනීයත්වය රටක ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි යහපත් ලෙස බලපාන්නේ අදාළ පුද්ගලයාට අපක්ෂපාතී පුද්ගලයෙකු ලෙස රටේ (හා රටෙන් පිටත) පිළිගැනීමක් ඇති විටයි. ඉතා පැහැදිලිවම කබ්රාල් අපක්ෂපාතී පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම, ඔහුගේ ප්‍රකාශ වලට, ඒවා ඇත්ත වන අවස්ථා වලදී පවා, රටේ පුළුල් පිළිගැනීමක් නැහැ. එවැනි පිළිගැනීමක් ඇත්නම් ඒ ඔහු නියෝජනය කරන දේශපාලන කඳවුර තුළද එක් කොටසක් අතර පමණයි.

ලියන්න ගොඩක් දේවල් තිබුණත් අප කාර්ය බහුලව සිටින නිසා ඒ තරම්ම කාලයක් මිඩංගු කළ නොහැකියි. ඒ නිසා, කෙළින්ම මාතෘකාවට යමු.

කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් වන විට රටේ ආර්ථිකය මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී තිබුනා කියා කිව හැකියි. එහෙත්, ප්‍රශ්නය ඇති වන විටම, එය ඔඩු දුවන්නට පෙර, කබ්රාල් මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. එවැනි අවස්ථාවක මහ බැංකු අධිපති සේ පත් වන අයෙකු විසින් කළ යුතුම දෙය ඔහු ක්ෂණිකව කළා. ඒ ඉතා කෙටි කලකින්, එනම් ඔක්තෝබර් පළමුවෙනිදා වෙද්දී, රටේ ස්ථායීත්වය ඇති කිරීම සඳහා සය-මාසික මාර්ග සිතියමක් ඉදිරිපත් කරන බවට පොරොන්දුවක් දීමයි. මේ වෙද්දී මේ පොරොන්දුව ඉටු කර තිබෙනවා.

කබ්රාල්ගේ මාර්ග සිතියම නැති දෙයක් නැති අච්චාරුවක්. මේ විදිහට කිව යුතු දෙය වෙනත් අනවශ්‍ය දේවල් විශාල ප්‍රමාණයක් සමඟ එකට පටලවා අසන්නන් අවුලට පත් කිරීම කබ්රාල්ගේ සාමාන්‍ය සන්නිවේදන උපක්‍රමයයි. මහ බැංකු අධිපති ලෙස මේ වෙලාවේ ඔහු කරන ප්‍රකාශයක වැදගත් කොටස මහ බැංකුව විසින් විදේශ විණිමය අර්බුදයට මුහුණ දීම පිණිස කෙටිකාලීනව කරන්න යන්නේ කුමක්ද කියන එකයි. 

කබ්රාල්ගේ මාස හයේ මාර්ග සිතියම කුමක්ද? 

ඉතා කෙටියෙන් කිවුවොත්, කබ්රාල් විසින් කරන්න යන්නේ ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඩොලර් කෙසේ හෝ හොයා ගැනීමයි. වැල් වටාරම් ඉවත් කර මාර්ග සිතියමේ අදාළ කරුණු පමණක් ගත්තොත්, විණිමය අනුපාතය මේ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ඩොලර් හොයා ගන්න යන්නේ කොහොමද? 

- රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස කෙටිකාලීනව ඩොලර් බිලියනයක් (ඉදිරි මාස තුන ඇතුළත මිලියන 500ක්) ලබා ගැනීම.

- රාජ්‍ය දේපොළ විකිණීමෙන් ඩොලර් බිලියනයක් ලබා ගැනීම. 

- බදු සමා පනතේ උදවුවෙන් ඩොලර් මිලියන 100ක් හොයා ගැනීම.

- කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීම 

- රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් ඩොලර් බිලියන 1.8ක් (මාසයකට ඩොලර් මිලියන 300 බැගින්) රටට ගෙන්වා ගැනීම.

- ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.

- ඩොලර් මිලියන 300ක පමණ සංවර්ධන බැඳුම්කර විදේශිකයන්ට විකිණීම. 

- බැංකු/ මූල්‍ය ආයතන විසින් ඩොලර් බිලියන 1.5ක විදේශ ණය ලබා ගැනීම.

දැන් මේ ටික එකතු කළොත් සාරාංශයක් ලෙස ඩොලර් හොයා ගන්න යන්නේ ඩොලර් බිලියන 4.3ක ණය ලබා ගැනීම, ඩොලර් බිලියන 1.1ක විදේශ ආයෝජන ගෙන්වා ගැනීම හා ආපසු නොයන ඩොලර් බිලියන 2.8ක් රට තුළට ගෙන්වා ගැනීම ලෙසයි. එකතුව ඩොලර් බිලියන 8.2ක් පමණ වෙනවා. 

ඉදිරි මාස හයක කාලය තුළ ඔය විදිහට ඩොලර් බිලියන 8.2ක් හොයා ගන්න පුලුවන්නම් එම කාලය තුළ ගෙවිය යුතු ණය ගෙවා, අපනයන වෙනුවෙන්ද අවශ්‍ය පමණ ඩොලර් වැය කර, සංචිතද නැවත ඉහළ නංවා ගන්න පුළුවන්. එවැනි ඩොලර් ප්‍රමාණයක් ලැබේනම් ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න බැරිකමක් නැහැ.

මේ ඇස්තමේන්තු කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. එහෙත් ඉලක්ක සේ සැලකුවොත් නරක නැහැ. දැන් අපට තියෙන්නේ ඉදිරි මාස හය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය දෙස බලා ඉන්නයි.

60 comments:

  1. බලාගෙන ඉන්නට දෙයක් නැති තරම්. අද කියන දේ මාස හයකට පස්සේ කෙරිලාද කියලා හොයන්නේ කවුද? කවුරු හරි ඇහුවත් උත්තර දෙයිද? එහෙමනේ වැඩ සිදු වෙන්නේ.....

    ReplyDelete
  2. ඔබගෙ ලිපිවල ඔබව අප කියලා හඥුන්වාගන්නෙ ඇයි? මේ බ්ලොග් එක කරන්නෙ කණ්ඩායමක් එකතු වෙලාද?

    ReplyDelete
    Replies
    1. මෙය ලේඛන ශෛලිය. එවැනි කණ්ඩායමක් නැහැ.

      Delete
    2. මමත් එයම කරන නිසා මේ ගැන සිතුවා. මටනම් එය වැඩිහිටියන්ගේ ආභාෂයෙන් එන්නක්.
      මම යන්න යෙදිය හැකි සෑම තැනකම ඒ වෙනුවට 'අප' යනුවෙන් කියන්නේ නෑ. මා සිතන්නේ එය කථන බස යම් දුරකට ලේඛනයේදී යොදා ගැනෙන විට ඉබේ සිදු වන දෙයක්.

      Delete
    3. මම එතරම් ගැඹුරට සිංහල භාෂාව හදාරා නැහැ. කතා කතු කියනවාක් මෙන් මෙය ඉබේටම ලියැවෙන ආකාරයයි. මෙම ව්‍යවහාරය විශේෂයෙන්ම පැරණි පරම්පරාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර දැකිය හැකිව තිබුණු එකක්. එහිදී තමන් තනි පුද්ගලයෙකු නොව සංඝ සාමූහිකයේ එක් සාමාජිකයෙකුය යන අදහසින් බහු වචනය යෙදෙනවා විය හැකියි. නිතර "මම" යන්න යොදද්දී දැනෙන කිසියම් ආකාරයක අවිනීතකම "අප" කියා යොදද්දී දැනෙන්නේ නැහැ. මට මෙම ආභාෂය ලැබීමට සම්බන්ධයක් නැතත්, තනි පර්යේෂකයෙකු විසින් ලියන ඉංග්‍රීසි පර්යේෂණ පත්‍රිකා වලද "I" නොකියා "we" කියා ලියන එක දුලබ නැති දෙයක්.

      Delete
    4. අපේ මමත්වය වැඩි වීමටත් හේතුවක් ලෙසයි මම නං 'මම' යෙදුමට පුරුදුවීම දකින්නේ. විශේෂයෙන්ම ආත්මාර්ථකාමී බව වැඩිවීමටත් ඔහොම හිතීම බලපාන්නේ නැතිද?

      Delete
    5. මේක බොහොම සාමාන්‍ය දෙයක්.. අපි එදිනෙදා කාර්‍යාලීය E-mail ගනු දෙනු වලදීත් I වෙනුවට භාවිතා කරන්නෙ We.

      ඕක සාමාන්‍ය භාවිතයෙත් තියනවා. "අනේ අපිනම් ඔය නරක වැඩ කරලා නෑ". "අපි නම් තෙමෙයි වැස්සට (සුදු ඇඳගෙන කළු ඇවිදින්)". "අපිටනම් කවත් ඔහොම කියාදෙන්න ඉඳලා නෑ"

      අපෙ අම්මා ඉස්සර ඔහොම කියලා ඊට පස්සෙ කියනවා "අපි කිව්වොත් ගොඩක්, මට" කියලා එක නිවැරදිත් කරණවා.. :D

      Delete
  3. මේ ඉලක්ක වලින් realistic කියලා කියන්න පුළුවන් ඒවා මොනවාද? අනික් එක ඩොලර් එක 200 මට්ටමේ තියා ගන්නවා කියන්නේ අපි ආයිත් ප්‍රශ්නයේ මුලට එනවා කියන එක නෙමෙයි ද

    ReplyDelete
    Replies
    1. - රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස යම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට උත්සාහ කිරීම.

      - රාජ්‍ය දේපොළ විකිණීමෙන් යම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම.

      - කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා යම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට උත්සාහ කිරීම.

      - ඉලක්කගත ප්‍රමාණය තරම්ම නොවූවත්, රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් රටට ගෙන්වා ගැනීම.

      Delete
  4. ඔය කබරයා වගේ දූෂිත දේශපාලකයන් මහබැංකු අධිපති තනතුර වැනි තනතුරු වලට පත්වීමෙන් වෙන්නේ ප්‍රශ්න තවත් බරපතල කිරීමයි.

    නමුත් ලංකාවේ මේ සියලු ආර්ථික දේශපාලනික ප්‍රශ්න ඉතාමත් පහසුවෙන් විසඳන්න පුළුවන්, ඒ ගැන ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන විශිෂ්ටම විග්‍රහයයි මේ. ලංකාවේ ඩොලර් බිලියන තිස් තුනක් විතර විදේශ ණය ඉතාමත් ඉක්මනින් වසරක් ඇතුළත මේ ක්‍රමය හරහා ලේසියෙන්ම සියලු ණය ගෙවා විසඳන්න පුළුවන්;

    https://www.facebook.com/anurakumara/videos/676827959963176/

    මේ කෙටි වීඩියෝ එක බලන්න. මම අභියෝග කරනවා ඕනම කෙනෙක්ට පුළුවන් නම් මේ වැඩපිළිවෙලට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් කියන්න කියලා. මේක තමයි හොඳම සහ එකම ක්‍රමය...

    ReplyDelete
    Replies
    1. අනේ දැන්වත් ඔය ලිං කටින් ගොඩ එන්න. ඔය කියන රටවල් එක්ක ගෙවන්න තියෙන ණය වලට සාකච්ඡා කරන එක මොන ආණ්ඩුවත් කරනවා. අනිත් එක රටවල්වලට ගියාම වැඩියෙන් ඩොලර් එවන්න කියන එක ඔය හැම ඇමතිම, අගමැති , ජනාධිපති ඇතුලුව කරනවා. අනුරගේ කතාව විශිෂ්ඨ දැක්මක් නම් ඕක අලුත් දැක්මක් නෙමෙයි.

      Delete
  5. බලන් ඉන්නවා කබ්‍රාල් මොනවද කරන්නෙ කියලා.. නිවාඩ් කබ්‍රාල් කුසුම්සිරි කබ්‍රාල් වුනොත් ඉතින් වැඩේ හබක්...

    ReplyDelete
  6. ඉකොනො,

    ඔබ ඇමරිකානු එක්සත් ජනපදයේ සිටින නිසා නිව් ෆෝට්රස් සමාගම ගැන හොඳින් විස්තර එහෙම දන්නවා ඇති. මට ඒ ගැන තොරතුරු සොයන්නට අමාරු වුණා.

    මේ කතාවේ ඇත්තක් තියෙනවා ද?

    https://www.facebook.com/MawathaSL/videos/404791221038997/

    මේ කියන දේවල් කළොත් ලංකාවට මේ බරපතළ මූල්‍ය අර්බුදකාරී තත්ත්වයක් සහ විශාල වශයෙන් පාඩු සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවා පවසන්නේ. ලංකාවට ඩොලර් බිලියන හයකට වඩා පාඩු විය හැකි බව. මෙහි සැබෑ තත්ත්වය කුමක් ද?

    ReplyDelete
    Replies
    1. තව විස්තර මේකෙන් ඔබටත් බලා ගැනීමට පුළුවන් වෙයි.

      https://economynext.com/sri-lankas-could-lose-billions-through-unsolicited-new-fortress-energy-deal-cebeu-86396/

      ඇත්තටම මේ ගැන ඔබ කිසිම අයුරකින් පැහැදිලි කිරීමක් කරන්න පැකිලෙන්නේ ඇයි?

      Delete
    2. //මට ඒ ගැන තොරතුරු සොයන්නට අමාරු වුණා.//

      https://www.newfortressenergy.com/stories/New-Fortress-Energy-finalizes-contract-with-government-of-Sri-Lanka

      https://seekingalpha.com/article/4458003-new-fortress-energy-nfe-stock-pumping-up-balance-sheet-concern

      Delete
    3. නිව් ෆොරස්ට් කියන්නේ ඇමෙරිකාවේ ශේල් ගෑස් කණින කම්පැණි එකක්. ලෝක තෙල් මට්ටම ඉහල යද්දි එයට උත්තරයක් ලෙස ඇමෙරිකානු රජය විකල්ප බලශක්ති ප්‍රභව සදහා පර්යේශණ සදහා දිරිමත් කලා. එහි ප්‍රතිපලයක් ලෙස ඇමෙරිකානු ශේල් ගෑස් තාක්ශණය දියුණු වී දැන් එය ඇමෙරිකාවේ අවශ්‍යතාවය ඉක්මවා ගොස් අපනයනය කල හැකි මට්ටමට ඇවිත් තියෙනවා. මෙහිදී නිව් ෆොරස්ට් ආයතනය ආසියාව , අප්‍රිකාව ආදී තරමක් ප්‍රශ්ණකාරී රටවලට ශේල් ගෑස් අපනයනය කිරිමේ ඉදිරියෙන් සිටිනවා.

      මේ තෙල් සහ ශේල් ගෑස් ගැන ඉකොන් මීට කලින් හොදින් පැහැදිලි කරපු ලිපි තියෙනවා

      Delete
    4. ලෝක දේශපාලනය හා තෙල්
      https://economatta.blogspot.com/2020/01/blog-post_10.html

      බටහිර සංවර්ධනය හා තෙල්
      https://economatta.blogspot.com/2018/12/blog-post_24.html

      තෙල් මිල හා සංරක්ෂණවාදය
      https://economatta.blogspot.com/2018/12/blog-post_27.html

      ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...
      https://economatta.blogspot.com/2018/12/blog-post_11.html

      තෙලේ බලේ දැලේ වෙලේ?
      https://economatta.blogspot.com/2018/12/blog-post_8.html

      නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...
      https://economatta.blogspot.com/2016/03/blog-post_30.html

      ඉරාන තෙල් සහ ඉරාන ඩොලර්
      https://economatta.blogspot.com/2016/01/blog-post_14.html

      ඇමරිකාවේ බොරතෙල් අපනයන තහනම ඉවතට!
      https://economatta.blogspot.com/2015/12/blog-post_21.html

      සල්ලි එක්ක තෙල්!
      https://economatta.blogspot.com/2020/04/blog-post_21.html

      Delete
    5. ඉකොනොමැට්ටා මම හිතන්නේ ප්‍රශ්නය ශේල් ඔයිල් හෝ ලෝක තෙල් මිල නෙවෙයි, මෙන්න මේවායි. මේවාට පිළිතුරු මොනවාද?

      01. ලංකාවේ ආණ්ඩුව යුගදනවි බලාගාරය ඇමරිකන් ෆෝට්‍රෙස් සමාගමට දීම දූෂිත ගණුදෙනුවක් බව පැවසේ. මේක ඇත්තද?

      02. මේ ගණුදෙනුව හරහා ලංකාවට වන පාඩුව කොපමණද? මෙයින් ඩොලර් බිලියන් හයක් පමණ ඉදිරි කාලයේ රජයට පාඩු වන බව ඇත්තද?

      03. මේ හරහා ෆෝට්‍රෙස් සමාගමට හෝ ඇමරිකන් එක්සත් ජනපදයට ලංකාව අල්ලේ නැටවීමට අවස්ථාවක් ලැබෙයිද?

      04. මෙම වීඩියෝ එකේ කියන දේවල් අනුව ලංකාවට විශාල පාඩුවක් වෙයිද? ආණ්ඩුව මේක කළොත් ඩොල්ර මිලියන් 700 ක විතර profit ආණ්ඩුවට ලැබෙයි ද?

      https://www.facebook.com/MawathaSL/videos/404791221038997/

      සංවාදය අත්‍යවශ්‍යය. මෙහිදී අදාළ පාර්ශ්වයන් සංවාද කිරීමේ අරමුණ ද හඳුනාගත යුතුය. මේ පිළිබඳව ප‍්‍රශ්න කරන බොහෝ දෙනෙකු ප‍්‍රතිපත්තියක් ලෙසම, ඒකීය ශ‍්‍රී ලංකාව පවා නොපිළිගන්නා පිරිස්ය. එසේ තිබියදී ඔවුන් පවසන්නේ ෆොට‍්‍රස් සමාගම සමග ගිවිසුම් ගතවීම හේතුවෙන් රටේ ස්වෛරීභාවය නිමා වන බවය. ඒ නිසා සංවාදයේ යෙදෙන්නාගේ අරමුණ හෝ එහි දේශපාලනික යටි අරමුණු නොව ප්‍රස්තූත කාර්යයේ සැබෑ වාණිජමය බලපෑම පමණි මට දැනගැනීමට අවශ්‍ය.

      රට කොටස් වලට බෙදා උදේ සවස විදුලි කප්පාදුව සිදු කරන විට, පාලකයන් කිසිවක් නොකරන බව කියන පිරිසම, හොඳ තත්ත්වයේ විසඳුමක් ගෙන එන විට, විරෝධාකල්පයක නැගී, ඒ සියල්ල පාගා දමන ආකාරය සඳහා හොඳම උදාහරණය, දැන් ‘තිරගත වන යුග දනවී ඇමරිකාවට’ නාටකයයි. සියල්ලට පෙර බලශක්තියෙන් අප සිටිනා ස්ථානය දෙස බැලිය යුතුය. ඇමරිකන් විරෝධය යන ‘මැක්කා ධජයේ’ සැමදාම නගිනවා වෙනුවට, සංඛ්‍යාලේඛන සහ විශ්ලේෂණ අනුව හැසිරීමේ කාලය දැන් එළඹ තිබේ. රටේ පවතින විදුලිය ඉල්ලූම වාර්ෂිකව 5%කට ආසන්න ප‍්‍රමාණයකින් ඉහළ යන බව ප‍්‍රසිද්ධ දත්තයකි. එසේ වුවත් ඒ ඉහළ යන පරිමාණය අනුව විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේද යන ගැටලූව සඳහා අපට පූර්ණ පිළිතුරක් නැත.

      ලංකා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව 2025 වන විට ගිගාවොට් පැය 22500ක විදුලි ජනනයක් සිදුකළ යුතු බවට පුරෝකථනය සිදු කර තිබේ. එය හුදු ඉලක්කයක් නොව සපුරා ගත නොහැකි වුවහොත් දේශය කළුවර වන තත්ත්වයකි. 2013 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලි බල පද්ධතියට ප‍්‍රධාන බලාගාරයක් එක්ව නැති පරිසරයක මෙවැනි ඉලක්කයන් සාධනය කර ගන්නේ කෙසේද…? කුමන අන්දමේ විසඳුමක් මෙවැනි කාර්යයකදී ඉදිරිපත් කළත් විරෝධයක් මිස ඒ සඳහා විකල්පයක් කිසිවෙකු කියන්නේ නැත. ඒ නිසා ඔබ මීට යෝජනා කරන විසඳුම මොකක්ද?

      Delete
    6. යුගදනවි ගනුදෙනුව පිළිබඳව මම හදාරා නැහැ. හරියට නොදන්නා දෙයක් ගැන මට අදහස් පළ කළ නොහැකියි. මේ ගැන හැදෑරීම සඳහා යෙදිය හැකි අමතර කාලයක්ද මේ වෙලාවේ නැහැ. ඒ වගේම මේ හා අදාළ ගිවිසුම් ආදිය තිබෙන තැන් ගැනද මා දන්නේ නැහැ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඉකොනෝමැට්ටා කිව්වා නේද ගිය මාසේ ලංකාවේ ආර්ථිකය බංකොලොත් වෙලා යනවයි කියලා. එහෙම දෙයක් උනාද?

    ReplyDelete
    Replies
    1. ගිය මාසේ රට වහල තිබුණ නිසා යන්තම් බේරුණා. මේ මාසේ නැත්නම් උපරිමය ලබන මාසේ අන්තිම වගේ වෙනකොට අනිවාර්යයෙන්ම ලංකාව බංකොලොත් වෙන බව 100% ක් නෙවෙයි 1,000 - 1,500% බුදු ෂුවර්.

      ලෝකයේ ප්‍රධානම ආර්ථික ශ්‍රේණිගත කරන සමාගම් තුනක්ම ලංකාවේ ආර්ථිකය ස්ථාවර නෑ කියනවා. මීට කලින් 2016 පෙබරවාරි 29 දා ෆිච් ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ආර්ථිකය BB ස්ථාවර සිට B+ අවදානම් දක්වා පහත දැමූ අතර 2020 අග වෙනකොට මේක CCC දක්වා පහත වැටුණා.

      උදාහරණයක් විදියට ග්‍රීක ආර්ථිකය කඩා වැටෙන විට ග්‍රීසියට ලැබුණු ෆිච් ශ්‍රේණිගත කිරීමත් B+ අවදානම්. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේ අවදානම ඊටත් වඩා භයානක විදියට වැඩියි. ඒ කියන්නේ අනිවාර්යෙන් ලංකාවෙ ආර්ථිකය කඩා වැටී රුපියලේ අගය බින්දුවට වැටී සියලුදෙනා ක්ෂණිකව මුකුත් නැති හිඟන්නෝ බවට පත්වෙනවා අනිවාර්යයෙන්ම.

      කබරාලය මොන බයිල ගැහුවත් ග්‍රීක ආර්ථික කඩා වැටීමෙන් අත් පුළුස්සා ගත් ආයෝජකයෝ දැන් ලංකාවේ බැඳුම්කර වල ආයෝජනය කරාවි ද?

      කිසිම රටක ආණ්ඩුවක් වත් අඩුම ගණනේ ලංකාවට අඩු පොලියට ණය ලබා දේවි ද? මේ අශුභවාදි ආර්ථික පසුබිම හේතුවෙන් තමයි සෘජු ආයෝජකයින් ලංකාවට එන්නේ නැත්තේ. කොටස් වෙළඳපොල ආයෝජකයින් ලංකාවෙන් අකුල ගෙන යන්නේ.

      මීට කලින් 2016 මාර්තු 10 තවත් ප්‍රමුඛ පෙලේ ශ්‍රේණිගත කරන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් ලංකාවේ ආර්ථිකය B+ ස්ථාවර සිට අවදානම් මට්ටමට පහත දමා තිබුණා. ඊට පස්සේ ඒකත් අරවගේම 2020 අග CCC දක්වා වැටෙනවා. ඒ වගේම 2016 ජූනි මාසයේ දී මූඩිස් විසින් ලංකාවේ ආර්ථිකය B1 ස්ථාවර මට්ටමේ සිට සෘණ නැතිනම් අවදානම් මට්ටමට පහත දමා තිබුණා. දැන් ඒක තවත් තදට පහළට වැටිලා තියෙන්නේ.

      ෆිච්, ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් සහ මූඩිස් යන ආයතන තුනම ලංකාවේ ශ්‍රේණිය පහත දැමීමට හේතුත් කියා තිබුණා. 2016 විතර වෙනකොට ලංකාවේ ආර්ථික වර්ධනය කඩා වැටීම, රාජ්‍ය මූල්‍ය හිඟය ඉහළ යෑම, ගෙවුම් ශේෂ හිඟය භයානක අඩියකට වැටීම, ආණ්ඩුව පාලනයකින් තොරව ණය ගැනීම, ණය පොලී අධික ලෙස ඉහළ යෑම සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණය පිලිබඳ ආණ්ඩු කෙරෙහි තැබූ බලාපොරොත්තු සුන් වීම තමයි හේතු විධියට දක්වලා තිබෙන්නේ, දැන් අවුරුදු හතක් විතර තිස්සේ ලංකාවෙ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙනවා. ඒක සක්කරයාටවත් නවත්තන්න කවදාවත්ම බෑ.

      Delete
    2. රාජපක්ෂ පවුලේ කළු සල්ලි ජාවාරම් කරුවන් විසින් මෙහෙයවූ ජාවාරම් ආර්ථිකය වෙනුවට 2014 දී ලංකාවේ ජනතාව අලුත් නායකත්වයක් සොයා ගියා. 2015 ජනවාරි 8 වෙනස තුළින් එසේ ලංකාවේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළේත්, රනිල් වික්‍රමසිංහ අගමැති කළේත්, ඒ දෙන්නා මාාාාර මොළ දෙකක් හෝ සුපිරි වැඩකාරයන් දෙදෙනෙකු වන නිසා නො වේ. සරළව ම කියනවා නම්, මේ දෙන්නා වනාහි ගස් නැති රටෙන් ජනයා සොයා ගත් තුත්තිරි ගස් දෙකක් පමණි.

      අරටුව ඇති ගස් ලෙස නව ජීවයක් ලබන්නට බහුතර ජනයා ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා, එහෙත් කූඩැල්ලන් මෙට්ටයේ තබන්නට බැරි බව ඔවුන් විසින් ම ඔප්පු කර හමාර ය. ඉන් පසුව රාජපක්ෂ කල්ලිය නැවතත් බලය ඩැහැගෙන තිබෙන අතර දැන් සිදු වන්නේ එය නැවත නැවත ඔප්පු කිරීම පමණි. මීට විසඳුමක් නොමැත.

      Delete
    3. //ඉකොනෝමැට්ටා කිව්වා නේද ගිය මාසේ ලංකාවේ ආර්ථිකය බංකොලොත් වෙලා යනවයි කියලා. එහෙම දෙයක් උනාද?//

      කියපු එක හරියටම පෙන්වන්න. එවිට පිළිතුරු දෙන්නම්.

      Delete
    4. "කොයිදෝ යන්නේ මසකට පස්සේ."

      හෙඩිමෙන් අගෝස්තු මස දාපු ලිපියම බලන්නකෝ. ඉකොනෝගේ ආර්ථික විද්‍යා පුරෝකථන වලින් අපිට ගන්න තියෙන දේ තමයි, ඊට හාත් පසින්ම විරුද්ධ දේ තමයි මෙ මහපොළොවේ වෙන්නෙයි කියන එක.

      වැඩිය ඕනි නැහැ, ජන්දෙට කලින් දාපු පොස්ට්ම බැලුවම ඒක තේරෙනවා.

      Delete
    5. ඔය ලිපියේ තිබෙන වැරදි කරුණු මොනවාද?

      මා අනාවැකි කියන්නෙකු නෙමෙයි. අනාවැකි අවශ්‍යනම් විශ්ව ඥානය තිබෙන මෑණි කෙනෙකු හෝ වෙනත් එවැනි අයෙකු වෙත යන්න. ලිපියේ තිබෙන අනාගතය හා සම්බන්ධ වූ මගේ පෞද්ගලික අදහස්.

      "දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව බොහෝ විට අවම වශයෙන් සති හයක කාලයක් දක්වා රට වසා දැමීම දිග්ගැහෙන්න පුළුවන්."

      එය එසේම සිදු වුනා. රට වසා දැමීම හරියටම සති හයක් දක්වා දික් වුනා. කෙසේ වුවත්, ආණ්ඩුව මේ රට වසා දැමීම පෙර වසරේ මෙන් දැඩිව ක්‍රියාත්මක කළේ නැහැ. අපනයන නිෂ්පාදන බාධාවක් නැතිව සිදු වුනා. කඩවල ඉදිරි දොරවල් වසා තිබුණත් පසුපස දොරෙන් ගනුදෙනු සිදු වුනා. දැඩි ලෙස රට වසා දැමීම බලාත්මක නොකර මෙසේ කිරීම හොඳ දෙයක් කියා මම හිතනවා. ඒ නිසා හානිය අඩු වුනා.

      "සති හයකට රට වැහුවා කියලා ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් නැති වෙන්නේ නැහැ."

      දැන් ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් නැද්ද?

      "රට විවෘත කිරීමෙන් පසුව කෝවිඩ් නැවතත් පැතිරෙන්න පටන් ගන්නවා."

      ඔබට අවශ්‍යනම් මීට හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වන තුරු බලා ඉන්න!

      "දැනට පෙනෙන්නට තියෙන්නේ එතරම්ම කලක් නොගොස් රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදු විය හැකි බවයි."

      ඩොලරයේ මිල "තග දමා" පාලනය කර ඇති නිසා පිටතට නොපෙනුණත් මූලික ප්‍රශ්නය එසේම තිබෙනවා. විණිමය අනුපාතය දිගටම 203 මට්ටමේ තියා ගැනීම විශාල අභියෝගයක්.

      "පවතින තත්ත්වය තුළ එක පැත්තකින් බොහෝ දෙනෙකුගේ ආදායම් අහිමි වෙද්දී අනෙක් පැත්තෙන් බඩු මිල විශාල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකියි."

      මේ දෙකම යම් තරමකින් දැනටමත් සිදු වී තිබෙනවා. කී දෙනෙකුගේ ආදායම් අහිමි වෙලාද කියලා හොයා බලන්න. පසුගිය දෙමස තුළ ආහාර උද්ධමනය පැවතුනේ 10% මට්ටමට ඉහළින් (11.5% හා 10.0%). ඒ ඇතැම් ආහාර වර්ග මිල දී ගන්න නැති තත්ත්වයක් යටතේ.

      "ඉදිරි මාසය ගොඩක් දේවල් වෙනස් වෙන මාසයක්."

      ධුර කාලය අවසන් වීමට පෙර මහ බැංකු අධිපති මාරු කිරීම, නැවත සහල් ආනයනය කිරීමට පටන් ගැනීම ඇතුළු කීයක් දේවල් වෙනස් වුනාද? වෙළඳපොළට තහංචි දැමිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගනිමින් ඉන්නවා.

      Delete
    6. ඉකොනෝ අනාවැකි කියනවා කියලා මම කොහෙද කියලා තියෙන්නේ? එහෙම කිව්වා නං පෙන්වන්න.

      Delete
  9. ඉකොනො,

    මේක ඉතාමත් වැදගත් සාකච්ජාවක්, මොකද හිතන්නේ ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සාකච්ඡාව තුළ මතු කරන කාරණා ගැන?

    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2889830617946923/

    මම හිතන්නේ ඔහු පවසන ආකාරයට තමයි රජයේ තීරණ ගැනීම කළ යුතු මේ වෙලාවේ... ��

    ReplyDelete
  10. ලංකාවේ මහබැංකු අධිපති තනතුරට නීති විරෝධී ලෙස දේශපාලන පත්වීමක් ලබා දී ඇති කබරරාල කබ්බා නමැත්තා විසින් ඔක්තෝබර් පළවෙනි දා මීළඟ මාස හය සඳහා ඉදිරිපත් කළ ආර්ථික දැක්මෙන් ඉලක්ක කළ යුතුව තිබුණේ කෙටි කාල‍ීනව ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වුවත් එයට අදාළ නොවන සියළුම කරුණු එයට ඇතුළත් කර තිබෙන නිසා මෙම ඉදිරි දැක්ම විකාර වූ මහත් අච්චාරුවක් වී ඇති බව ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ ලෝකයේම ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන අවධාරණය කරයි.

    දැනට නීති විරෝධී ලෙස අධිපති වී සිටින මහ බැංකු අධිපති කබරරාල විසින් ඉදිරිපත් කර තිබෙන මෙම මාස හයේ ආර්ථික දැක්ම නමැති විගඩම හරියට අර දුටුගැමුණු කුමාරයා උණුබත් කෑ කතාවට සමාන යැයි ආචාර්ය විජේවර්ධන දැඩි හාස්‍යයට සහ විවේචනයට ලක් කළා.

    ‘මෙතනදී ඇත්තටම කබ්රාල් කියන මේ යෝදයා කරල තියෙන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කන්න ගියා වගේ වැඩක්. ඔක්කොම දේවල් අරගෙන එකට පටලගෙන විසඳන්න ගියහම අර අත්‍යවශ්‍ය දේ මග හැරිලා යනවා. ඒක තමයි අපි දකින ලොකුම අභියෝගය’

    මේ ගැන සම්පූර්ණ විස්තර මේ වීඩියෝ එකේ බලන්න පුළුවන්.

    https://youtu.be/UMG_EMa9SKA

    ඇත්තටම කබරයා මොකක්ද මේ නටන්න හදන නාඩගම? ලංකාව ඉවරටම ඉවරයි, දැන්මම ලංකාවේ ඉන්න පුළු පුළුවන් අය බෝට්ටුවේ හරි රට පනින්න උත්සාහ කරන්න.

    ReplyDelete
  11. ඉහත video වේ Dr. WAW කියන විදිහට ISB ලංකාණ්ඩුවට buy back කරන්න බාධාවක් තියනවාද?
    සමහර විට ඇත්ත ආයෝජකයන් ගෙන් 60 අරගෙන මහ බැංකුවට 90 විකුනන්න කට්ටියක් බලාගෙන ඉන්නවද දන්නේ නෑ?

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන දේවල් වල හැටියට ඒකත් වෙන්න බැරිකමක් නැහැ!

      Delete
    2. මමත් මේ ඉන්ටර්විව් එක බැලුව.
      මේ කියන්නෙ කල් නොපිරුනු බැඥුම්කර සෙකන්ඩරි මාර්කට් එකෙන් මහ බැන්කුවට බයි බැක් කිරීම තහනම් කියලද?
      වෙනත් කෙනෙක් ගත්තත් මහ බැන්කුවට විකුනන්න බෑ නේද එහෙමනම් කල් ප්පිරෙන්න පෙර?

      Delete
    3. //මේ කියන්නෙ කල් නොපිරුනු බැඳුම්කර සෙකන්ඩරි මාර්කට් එකෙන් මහ බැන්කුවට බයි බැක් කිරීම තහනම් කියලද?//

      පළමුව, ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ රජය විසින්. මහ බැංකුව විසින් නෙමෙයි. WAW මෙහි කියන්නේ මෙම ස්වෛරිත්ව බැඳුම්කර කල් පිරීමට පෙර රජයටම ආපසු මිල දී ගත නොහැකි බවයි. අදාළ කොන්දේසි පිලිබඳව මා හදාරා නැහැ. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ හා ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ කටයුතු වලට සම්බන්ධව සිටි අයෙකු වූ, WAW මෙහි කරන ප්‍රකාශය නිවැරදියි කියා මම හිතනවා.

      රජයට අවශ්‍යනම් රාජ්‍ය බැංකුවක් හෝ වෙනත් ආයතනයක් හරහා මෙම කල් නොපිරුනු බැඳුම්කර මිල දී ගත හැකි නිසා මෙය එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් කරුණ වන්නේ එසේ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියන එකයි. අපි හිතමු ලංකා බැංකුව හරහා මෙසේ මිල දී ගත්තා කියලා.

      ඩොලර් 100ක මුහුණත අගයක් දැන් විකිණෙන්නේ ඩොලර් 60ට නම් බැඳුම්කර යම් ප්‍රමාණයක් මිල දී ගනිද්දී මේ මිල ඩොලර් 90 පමණ දක්වා ඉහළ යා හැකියි (උදාහරණයක් ලෙස). එහිදී නැවත ඩොලර් 90 බැගින් මෙම බැඳුම්කර විකිණුවොත් ඩොලර් 30ක ලාබයක් ලංකා බැංකුවට ලැබෙනවා. එහෙත්, එසේ විකුණන්න යද්දී නැවතත් ඩොලර් 60 දක්වා මිල අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව අහම්බයෙන් සිදු වුනොත් මිසක් මේ විදිහට සැලකිය යුතු වාසියක් ලබන්න බැහැ. බැඳුම්කර මිල දී ගැනීමේදී හා විකිණීමේදී මිල විචලනය වන ආකාරය අනුව වාසියක් වෙන්න හෝ පාඩුවක් වෙන්න පුළුවන්.

      අපි හිතමු ඩොලර් 60ට මිල දී ගන්නා බැඳුම්කර කල් පිරෙන තුරු තියා ගත්තා කියලා. එහිදී ලංකා බැංකුවට යම් ලාබයක් ලැබෙනවා. කල් පිරීමේදී රජයට කොහොමටත් ඩොලර් 100ක් ගෙවන්න වෙනවා. එහි වෙනසක් නැහැ. එහෙත් එක්තරා වාසියක් තිබෙනවා. ලංකා බැංකුව විසින් ඩොලර් 100ක මුහුණත අගය සහිත බැඳුම්කරය මිල දී ගනිද්දී එළියට යන්නේ ඩොලර් 60ක් පමණයි. කල් පිරීමේදී රජය විසින් ගෙවන ඩොලර් 100 රට ඇතුළේ ඉතිරි වෙනවා. බැඳුම්කරයේ අයිතිකරු විදේශිකයෙක් වුනානම් ඩොලර් 100ම රටෙන් එළියට යනවා. එයට සාපේක්ෂව මෙහිදී ඩොලර් 40ක් රට ඇතුලෙ ඉතිරි වෙනවා. එම ඩොලර් ප්‍රමාණය රජයට මහ බැංකුව හරහා මිල දී ගත හැකියි. රජයට සම්බන්ධයක් නැති වෙනත් දේශීය ගැණුම්කරුවෙකු විසින් මේ වැඩේ කළත් මේ වාසිය තිබෙනවා. මෙවැන්නකින් රජයේ අයවැය පරතරය වෙනස් වෙන්නේ නැතත් රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට යම් සාධනීය බලපෑමක් විය හැකියි.

      Delete
  12. ඉකෝන්,

    මාතෘකාව වන ලංකාවේ ආර්ථිකයේ කබ්රාල් භූමිකාව හෝ ආර්ථික විද්‍යාව හා සම්බන්ධ නොවන වෙනත් මාතෘකාවක් ගැන ඔබෙන් ඇසීමට තිබෙනවා. ඒ අධ්‍යාපනය සම්බන්ධවයි.

    ඔබ ආචාර්ය නලීන් හෙවත් ඩොක්ටර් අනාථ නාථ විසින් ලියා ඇති මේ ලිපිය දුටුවාද?

    http://www1.kalaya.org/2021/10/blog-post_3.html?m=1

    ඔබට මේ ගැන වෙනත් පෝස්ට් එකක් හරහා ඇමරිකානු එක්සත් ජනපදයේ අධ්‍යාපන තත්ත්වය ආදිය ඇසුරින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ වෙනස් කළ යුතු අංග සහ අංශ පිළිබඳව යම් යෝජනා ඉදිරිපත් කිරීමට පුළුවන් වේවි ද?

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා ප්‍රශ්නය පැහැදිලිව හඳුනා ගෙන තිබෙනවා. ප්‍රශ්නයට මූල හේතුව තිබෙන්නේ අධ්‍යාපන ක්‍රමයෙන් පිටත. අධ්‍යාපන ක්‍රමයේ ඔය හඳුනා ගෙන තිබෙන ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ඒ නිසා. ඉඩක් ලැබුණු විටක ලිපියක් ලියන්නම්.

      Delete
    2. නලින් ද සිල්ව ප්‍රශ්න අහන්න කියනව මෙන්න.

      Delete
    3. බොහොම ස්තුතියි. විවේක වෙලාවක මේ ගැන පෝස්ට් එකක් දාන්න. අධ්‍යාපනය කියන්නේ මේ ආර්ථික බිඳ වැටීමේ මාතෘකාව අවසන් වීමත් සමගම කතා කරන්න හොඳ මාතෘකාවක්. බොහෝ දුරට තව ටික දවසකින් නැවතත් ලංකාවේ ගුරු වර්ජනයක් ආරම්භ කරයි වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලමින්, ජෝසප් ස්ටාලින් සහ ජවිපෙ මහින්ද ජයසිංහ දැනටමත් අවශ්‍ය සංවිධාන කටයුතු වල නියැලී සිටිනවා. ඉදිරියේදී රට විවෘත කිරීමත් සමග ප්‍රවාහන සේවා අඩපණ කිරීමට ගැමුණු විජේරත්න ඇතුළු පිරිස සමග බස් වර්ජනයක් ආරම්භ කරන සැලැස්මක් තියෙනවා, තාම ෂුවර් නෑ බලමු. හැබැයි ඒකෙන් පස්සේ ඒක ඉවර වෙනවත් එක්කම ඊළඟ ගුරු වර්ජනය Phase 2 සහ ඊළඟට ජාතික සේවක සංගමයේ නායකත්වය සහ මෙහෙයවීමෙන් ජවිපෙ/ පෙරටුගාමී වෘත්තීය සමිතිවල සහයෝගයත් ලබාගෙන විදුලි බල, ජල සම්පාදනය, වරාය සහ වෙනත් රජයේ ආයතන වල විශාල වශයෙන් වර්ජන ආරම්භ කිරීම සමගම ඒ ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්.

      Delete
  13. රටට අවශ්‍ය වන්නේ සුභවාදී මහ බැංකු අධිපති වරයෙක්ද යථාර්තවාදී අධිපති වරයෙක්ද? ගිලෙන්න යන නැවට නැගලා කුඹගහ හරි කඩාගෙන ගිහින් ගානක් හොයාගන්න ආපු එකෙක්.

    ReplyDelete
    Replies
    1. මහ බැංකු අධිපති අශුභවාදී විය යුතු නැහැ. එහෙත් යථාර්ථවාදී විය යුතුයි. ඒ වගේම, රටේ තිබෙන හැම ප්‍රශ්නයක් ගැනම හොයා බලනු වෙනුවට තමන්ගේ රාජකාරිය පිළිබඳව සම්පූර්ණ අවධානය යොමු කළ යුතුයි. (මම පෞද්ගලිකව කබ්රාල් හොරෙක් කියන පූර්ව නිගමනයේ නැහැ.)

      Delete
    2. කබ්රාල් හොරෙක් නෙවෙයි? මොකක්? යකෝ කබරරාල කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වී ඇති ලොකුම නීල හොරා බව ඉතාමත් පැහැදිලියි.

      දැනට වසර 220කට පමණ පෙර ඇරැඹි ශ්‍රී ලංකාවේ රාජ්‍ය විගණනයට (රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල ගිණුම් පරීක්‍ෂාව) මුල් කාලයේදී මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහය අත්පොත් වුවත් පසුකාලීනව විගණන විෂය පථය පුළුල් වුවේය.

      එම අත්පොත්වල ඇති විධිවිධාන පරිදි කටයුතු කෙරී ඇත්ද? නැත්ද? යන්න පිළිබඳ ස්වාධීන පරීක්‍ෂණයක් (විගණනය) පවත්වා වාර්තාව එවකට මහජන මන්ත්‍රී මණ්ඩලයට (මහජනයාට) ඉදිරිපත් කිරීම විගණකාධිපතිවරයාට පැවරුණු අධිකාරි බලයද විය.

      සියල්ල නීතිරීතිවලට කෙරී ඇතත් ඉන් මුදල් යොදවන්නන්ට (මහජනයාට) ප්‍රයෝජනයක් නැත්නම් කාරිය කිම.

      මුදල් යෙදවුමක අරපිරිමැස්ම සහ ඵලදායිත්වය සැලකිල්ලට ගැනුණු “ඵලදායිත්ව” විගණනයට එමගින් දොරටුව විවර විණි.

      මාළු කිලෝවක් මිලට ගැනීමේදී මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය සහ ප්‍රසම්පාදන උපදේශ සංග්‍රහයේ වගන්ති සියල්ල එපරිද්දෙන්ම ඉටුකර ඇතත් මාළු ටික ප්‍රයෝජනයට ගත නොහැකි සේ නරක්වී ඇත්නම් කවර පලයක්ද?

      විගණනය ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තැබිණි. “මුදලට අගය” විගණන ක්‍රමය අනතුරුව ක්‍රියාත්මත විය. එහෙත් දූෂණය වංචාව අහස උසට නැග මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකෑම නිසා ඒ හොරු කවුරුන්ද ඔවුනට දියයුතු දඬුවම් කවරේද? යන කරුණු පවා තීරණය කෙරෙන විගණන ක්‍රමයක් රටට අවශ්‍ය විය. ජාත්‍යන්තරයේ රටවල් කීපයක ක්‍රියාත්මක කෙරෙන ඔන්න ඔය ක්‍රමය “වෝහාරික විගණනය” ලෙසින් හඳුන්වනු ලැබේ.

      වෝහාරික යන පදය හා සමගාමීව යෙදෙන ඊළඟ පදය වශයෙන් අපට බොහෝ දුරට හුරුව පවත්නේ “වෛද්‍ය පරීක්‍ෂණය” යන්නය.

      ඝාතනයක් සම්බන්ධව ඉදිරිපත් කෙරෙන වෝහාරික මරණ පරීෂණ වාර්තාවක් අධිකරණය එකහෙළාම පිළිගන්නවා මිස කිසිසේත්ම අභියෝගයට ලක් කෙරන්නේ ද නැත. මන්ද? වෝහාරික පරීක්‍ෂණයක නියැලෙන්නේ ඒ විෂය පිළිබඳ මහාචාර්ය මට්ටමේ විශේෂඥ දැනුම් ඇති ප්‍රාඥයින් බැවිනි.

      වෝහාරික විගණනය ද ඒ හා සමාන බලසම්පන්න මෙහෙයුමකි. එය අවිවාදාත්මකය. අභියෝග කළ නොහැක්කකි.

      ඔය ටික පැවැසුවේ වෝහාරික විගණයක් යන්නෙහි අරුත සුළු වශයෙන් හෝ තේරුම් ගැනීමේ පහසුව සඳහාය.

      (වෝහාරික විගණන සිද්ධාන්තය පාදක කරගත් (අධිභාර පැනවීමේ -විගණන ක්‍රමවේදය අපේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සුළු වශයෙන් පළාත් පාලන සහ විශ්වවිද්‍යාල අරභයා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් කරනු වටී)

      TBC

      Delete
    3. මේ වෝහාරික විගණනය පිළිබඳ පෘථුල වශයෙන් පළමුවෙන්ම සමාජගත වූයේ යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා එල්ල වූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය නිසාය.

      විවෘත ටෙන්ඩර් කැඳවීම වෙනුවට “සංවෘත” අවස්ථාවලට ඉඩදීම නීත්‍යානුකූල වුවද, රහස්‍ය තොරතුරු හුවමාරුවෙන් (දීම සහ ගැනීම) අයුතු වාණිජමය වාසියක් ලබාගැනීම බරපතල අපරාධයක් බව එමගින් පැහැදිලි කෙරිණි.

      2015 පෙබරවාරි 27 දින සිදුවූ බව කියන "බැඳුම්කර සිද්ධිය ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ දවල් සිදුවූ බැංකු කොල්ලය" බව එවකට විපක්‍ෂය වූ වත්මන් (දූෂිත රාජපක්ෂ) ආණ්ඩුව මහත් සේ විලාප දුන්නේය.

      එම බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබූ කොමිසමේ නිර්දේශය මත මහ බැංකු වංචාව පිළිබඳව වෝහාරික විගණනයක් ආරම්භ කෙරිණි. යුරෝපීය ආයතනයක් වන බී.ඩී.ඕ. ආයතනයේ ඉන්දියානු ශාඛාව එම කාර්යභාරය ඉතා මැනවින් ඉටු කෙළේය. බී.ඩී.ඕ. ආයතනය විශාලත්වයෙන් ලෝකයේ පස්වැනි තැන හිමි විගණන ආයතනයයි. මේ කාර්ය සමාගමේ විගණන ගාස්තුව රුපියල් කෝටි අනූවකි. (900,000,000)

      රුපියල් මිලියන නවසියයක රජයේ වියදමින් ඉන්දීයාවේ සිටින දක්ෂතම විගණන ක්ෂේත්‍රයේ විශේෂඥ ඥානයක් සහිත ගණකාධිකාරී වෘත්තීයවේදීන් විසින් ඉතාමත්ම ගැඹුරින් සහ සැලකිල්ලෙන් අධ්‍යයනය කර එම වාර්තාවේ දැක්වෙන හරය මෙසේ සංක්‍ෂේපයෙන් කිව හැකිය.

      “පරපෙචුවල් ටේ‍රෂරීස්” ආයතනය රජයට අලාභයක් සිදුවන අන්දමට අයථා ලෙස ලාභ උපයාගෙන තිබේ. වෙන්දේසියේ ස්වරූපය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෙනස් කර තිබේ.”

      මේ කරුණ තවත් සරලව කියන්නේ නම් “අඩු මිලට ගත් බැඳුම්කර සේවක අර්ථසාධක අරමුදලට විකුණා ඇත. බැඳුම්කර මිලදීගැනීමට අවශ්‍ය ධනයද රාජ්‍ය බංකුවලින්ම ලබාගෙන තිබේ” යන්නයි.

      (පර්පෙචුවල් ටේ‍රෂරීස් ආයතනයේ අධ්‍යක්‍ෂවරියක වශයෙන් ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ නමැත්තිය කටයුතු කළ බවත් ඇය එවකට මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් නමැත්තාගේ නැගණිය බවත් හැමෝම ඉතාමත්ම හොඳින් දන්නා කරුණක්.)

      බැඳුම්කර ගනුදෙනුවෙන් මහජනයාට සිදුවූ පාඩුව (වංචාව) රුපියල් කෝටි එක්දහස් දෙසීයක් (12,000,000,000) බවට කරුණු අනාවරණ විය.

      එහෙත් වෝහාරින විගණනය පෙන්වා දෙන අන්දමට මේ වංචාව 2015-2016 යන දෙවර්ෂය අතර කාලයේ පමණක් සිදුවූ “හුදකලා” සිදුවීමක් නොව ඊටත් වඩා බෙහෙවින් බරපතල ලෙස රාජපක්ෂ කල්ලියේ පරිපාලනය යටතේ කාලයක් තිස්සේ සිදුවූ බරපතල ලෙස වංචනික ක්‍රියාවලියකි.

      TBC

      Delete
    4. බැඳුම්කර හොරුන් සමග සිටිය නොහැකි බව පවසමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මහබැංකුවේ දවුල්ගල මහත්මිය ඇතුළු විශාල පිරිසක් වෙත එම ඉන්දියන් සමාගම ඉදිරිපත් කළ එම සුවිශේෂී වාර්තාවට අනුව 2002 ජනවාරි සිට 2015 පෙබරවාරි අවසානය දක්වාම බැඳුම්කර වංචාව ඉතාමත්ම බරපතල විදිහට ක්‍රියාත්මක කෙරී තිබේ.

      රාජපක්ෂ කල්ලියේ වංචනික ඉපැයීමේ ආරම්භය 2006 සහ 2014 සමයේ දී බව විගණන වාර්තාවේ සඳහන්. ඒ කාලය තුළ සිදුවී ඇති වංචාව රුපියල් බිලියන දහයයි දශම හතරයි හතක් හෙවත් රුපියල් කෝටි එක් දහස් හතළිස් හතකි (10,470,000,000).

      (මේ සිද්ධිය පාරාවළල්ලක් වූ බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැකිළුණා, එපමණක් නොව එවකට විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂද නීතිපතිවරයාත් සමග විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යුතු බවම කීහ. එහෙත් කතානායක කරු ජයසූරිය මහතා ඒ කිසිවක් නොසලකා බලෙන්ම මේ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රශස්ත ලෙස කටයුතු කළා)

      එමතුද නොව පර්පෙචුවල් ටේ‍රෂරීස් ආයතනයේ ඇලෝසියස්ලාටත් වඩා තවත් ආයතන කීපයක් (එන්ට්‍රස්ට් ඇතුළු) මේ අන්දමින් බරපතල විදිහට මහජන මුදල් වංචාකර ඇතැයි වාර්තාවේ තිබිණි.

      ළබැඳියන්ගේ ගැටුම් ගැන සඳහන් වාර්තාවේ 2015-2016 අතර සමයේ වංචනින ඉපැයූ ධනයෙන් කොටසක් ලබාගත් ඇතැම් බාහිර පිරිස ගැනද අනාවරණය කර ඇත.

      විගණන වාර්තාවෙන් පැවසෙන අන්දමට 1998 සිට බැඳුම්කර නිකුත් කෙරී තිබේ. එහෙත් 2004 වනතුරු ඒ පිළිබඳ ප්‍රමාණවත් ලේඛණගත කිරීමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ තිබී නැති තරම්ය. ඒ සමයේ මීටත් වඩා අති විශාල ප්‍රමාණයේ ගනුදෙනුද සිදුවී ඇත.

      2008 පමණ කාලයේ සිට බැඳුම්කර ක්‍රියාවලිය දැවැන්ත මුල්‍ය ක්‍රියාවලියක් වී ඇත. සේවක අර්ථසාධක අරමුදල් ආරංචි පවසන අන්දමට තම ආයතනයට ප්‍රාථමික ගැණුම්කරුවකු ලෙස තරග කිරීමට පවා ඉඩ ලැබී නැත.

      එහෙත් 2011-2013 සමයේදී කිසිදු ප්‍රමිතියකින් හෝ විධිමත් ක්‍රියාවලියකින් තොරව දූෂිත පුද්ගලයන්ට අයත් සමාගම් ප්‍රාථමික ආයෝජකයන් ලෙස ලියාපදිංචි කර ඇති බවද වාර්තාවේ සඳහන්ය.

      2012 ඔක්තෝබර් සිට 2015 පෙබරවාරි අවසානය දක්වා කාලය තුළ යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් තොරව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අනුමත කරනු ලදුව රුපියල් බිලියන හැත්තෑ හතයි දශම හයයි තුනක් හෙවත් කෝටි හත් දහස් හැටතුනක් (77,630,000,000) වටිනා ඍජු බැඳුම්කර තිස් තුනක් නිකුත් කර තිබේ.

      එමගින් සිදුවී ඇති හානිය රුපියල් බිලියන අටසිය හැත්තෑඑකයි දශම එකයි බින්ඳුවක් හෙවත් රුපියල් අසූහත් කෝටි දසලක්‍ෂ දස දහසක් (871,010,000) බව ඉන්දියානු සමාගමේ විගණන වාර්තාවෙන් ඉතාමත්ම විස්තරාත්මක ලෙස සියලුම ආකාරයේ සාක්ෂි සහිතව අවශ්‍ය පරිදි පැහැදිලි කර ඇත.

      TBC

      Delete
    5. (බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණනය පැවැත්වීමට පෙර කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රී ඩිව් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති ගිණුම් කාරකසභා අවස්ථාවකදී මේ කරුණු අනාවරණ වීම නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මහ බැංකුව කැඳවුවත් ඒ අවස්ථාවේදී රාජපක්ෂ බලපෑම් මත ආණ්ඩුව විසුරුවා හැරීම නිසා සිද්ධිය එතැනින්ම යටපත් වූ බව ගිණුම් ආරංචි කියයි. මේ පාර්ලිමේන්තුවේ ගිණුම් කරකසභාවේ සාකච්ඡා වූ කරුණුය)

      එවකට විරුද්ධ පක්‍ෂයේ සිටි වත්මන් ආණ්ඩුව බැඳුම්කර වංචාව යහපාලන ආණ්ඩුව සමයේ පමණක් සිදුවූවක් බවටම ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ කාල සීමාවේදී ජන හදට කිඳා බැස්සුවේය.

      ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර දැරූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ නම මතුවී ඒන්නේ මෙන්න මේ වෝහාරික විගණන අවස්ථාවේදීය.

      මන්ද ඇය ඒ වෝහාරික විගණන පරීක්‍ෂණවලට මහත් සේ කැපවී අවංකවම රාජකාරි වශයෙන් සහය දැක්වූ හෙයිනි. අදාළ විස්තර වාර්තා ආදිය ඇය සන්තකයේ (භාරයේ) තිබූ බැවිණි.

      මුදල් මණ්ඩලයේ ලේකම් වනාහි මහා භාරදූර කාර්යයක් ඉටුකරන්නෙකි.

      මුදල් මණ්ඩලය කැඳවනු ලැබීම රාජකාරියකි. භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කෙරෙන මුදල් සැපයෙන්නේ එමගිනි. රටේ සංසරණයට අවශ්‍ය මුදල් සැපයෙන්නේ ඉන් ගැනෙන තීරණ මතය. සෑම මාසයකම අවසාන සති දෙක තුළ (වැටුප් ගෙවීම) මුදල් සංසරණය විවිධ වේ. ඉහළ මට්ටමකට පත්වේ. ඒ ලිපි කටයුතු කිරීම, තීරණ සටහන් තැබීම සියල්ලෙහි වගකීම දැරිය යුතුය. ලේඛණ ආරක්‍ෂණය පරම වගකීමය.

      සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ අරමුදල් විශාල ප්‍රමාණයක් ග්‍රීසියේ කොටස් වෙළෙඳ පොලේ යෙදවූ බව කියන සිද්ධියේ තොරතුරු විස්තර ඇතුළත් ලිපිගොනු ආදිය තිබී ඇත්තේ ද කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ ආරක්‍ෂාව යටතේය.

      විගණන ආරංචි පවසන අන්දමට ග්‍රීසියේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය රුපියල් කෝටි විසිඑක් දාහකි (21,000) එසේ මුදල් යොදවන විට එහි කොටස් වෙළෙඳ පොළ හොඳටම වැටී තිබූ අවස්ථාවකි.

      එමගින් සිදුවූයේ අපේ ආයෝජනය පවා අපට ආපසු ගත නොහැකි වීමය.

      ඒ නිසා අපට අපේ මුදලුත් නැත. ලැබුණු ප්‍රතිලාභයකුත් නැත. ඒ කෝටි 21,000 නිකම්ම නිකම් මකර කටකට වීසි කළා වගේ දුන්න එකක් බව මහ බැංකුවේ බහුතර නිලධාරීන්ගේ අදහසයි.

      මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල ගැන වාර්තාව ලොව විශාලම විගණන ආයතන හතරෙන් එකක් වන කේ.පී.එම්.ජී. ආයතනයෙන් නිකුත් කර ඇත.

      එපමණක් නොව කුප්‍රකට සූදුවක් වූ හෙජිං ගනුදෙනුවට සම්බන්ධ සියලු තොරතුරුවල විස්තර ආරක්‍ෂාකෙරී ඇත්තේද මුදල් මණ්ඩල ලේකම්වරිය භාරයේ තිබීමෙනි. ඒ ඉන්ධන මිලදීගැනීම සම්බන්ධයෙනි.

      ගිණුම් ආරංචි පවසන අන්දමට ලංකාවේ ආණ්ඩුව තෙල් බැරලයකට $ එකසිය දහයක් (110) වන ස්ථාවර මිලකට තෙල් ලබාගැනීමට ගිවිසුම්ගතව තිබේ. එහෙත් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක වටිනාකම $ අසූව දක්වා පහත වැටුණද අපට ගිවිසුම ප්‍රකාර $ 110 බැගින්ම ගෙවීමට සිදුවිය.

      දැරිය නොහැකි වූ මේ මහා පරිමාණ වංචාවේ බර රුපියල් කෝටි දහස් ගණනාවකි. මෙපමණක් නොවේ. ඔය කියන කාල සිමාවේදී කෙරුණු අප රට සතුව තිබූ (ශ්‍රී ලංකාව) රන් (රත්‍රන්) තොග විකිණීම ගැනද වෙනම මෙවැනි වෝහාරික විගණනයක් කළ යුතුය. (ඒවා වෙනමම සාකච්ඡා කළ යුතු කරුණුය).

      ඒ සමයේ (2006 සිට 2014) දක්වා මහබැංකු අධිපතිවරයා වශයෙන් වර්තමාන මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් නමැති දූෂිතයාම රාජකාරි කර ඇති බවද වාර්තාවේ සඳහන්.

      මූල්‍ය මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ සේවා කාලය වසර තිහකට (30) ආසන්න බව මහබැංකු ආරංචිවලින් පැවසිණි.

      TBC

      Delete
    6. මේ වගේම ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ භයානකම හොරා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන කබ්රාල් නමැත්තා ගැන කෙටියෙන් කියනවනම් ඔන්න ඔහොමයි. “තප්පරයට සැතපුම් එක්ලක්‍ෂ අසූහය දහසක (1,86,000) ආලෝකයේ වේගය කිසියම් කෙනකුට අභිභවා යා හැකි නම් ඔහු වයසට නොයන්ණේය” යන මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ ප්‍රකාශය මට නොතේරුණද එහි බැරෑරුම් දෙයක් ඇති බව නම් සැබැවි.

      “පහුගිය 2020 වසරේ සීනි බදු අඩුකිරීමෙන් කිසිදු වංචාවක් සිදුවී නැති බව” වර්තමාන මහබැංකු අධිපති නිවාඩ් කබරාල් නමැත්තා විළි ලැජ්ජා නැතුව පසුගිය දිනවල මුදල් රාජ්‍ය ඇමැතිව සිටියදී පසුගිය මාර්තු (2021.03.23) වැනිදා පාර්ලිමේන්තුවේ දී කීවේ රෙදි ඇඳගෙන ද යන්න අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.

      එසේම කබ්රාල් “රට වසා ඇති නිසා මුදල් සංසරණය අඩු නිසා මෙවන් මුදල් අච්චුගැසීමෙන් උද්ධමනයක් ඇති නොවන බවද” මීට ටික දිනකට පෙර කීවේය.

      මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි. අඩු වශයෙන් ඉකොනොමැට්ටාට මේ රටබයිලා පැහැදිලි කරන්න පුළුවන් ද දැන්? කට උත්තර නැති වුණා නේද ඉකොනොමැට්ටා?

      Delete
    7. ඔබට මෙහි ලියා ඇති කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු බවට ඔබම කරන ප්‍රකාශය අවංක ප්‍රකාශයක් සේ භාර ගන්නම්. අවශ්‍යනම් මේ දේවල් මට පැහැදිලි කරන්න පුළුවන්. ඇතැම් දේවල් පෙර ලිපි වල පැහැදිලි කරලත් තිබෙනවා. එහෙත් "කට උත්තර නැති වුණා නේද ඉකොනොමැට්ටා?" යැයි ඇසීමෙන් පෙනෙන්නේ මෙම ප්‍රතිචාරය දමා තිබෙන්නේ ඔබට එවැනි පැහැදිලි කිරීමක් අවශ්‍ය බැවින් නොවන බවයි. එවැනි පැහැදිලි කිරීම් වෙනුවෙන් වචන නාස්ති කිරීම මගේ ප්‍රමුඛතාවයක්ද නොවන නිසා ඔබට හෝ මට වැඩක් නැති දෙයක් වෙනුවෙන් මම කාලය නාස්ති කරන්නේ නැහැ.

      Delete
    8. //එසේම කබ්රාල් “රට වසා ඇති නිසා මුදල් සංසරණය අඩු නිසා මෙවන් මුදල් අච්චුගැසීමෙන් උද්ධමනයක් ඇති නොවන බවද” මීට ටික දිනකට පෙර කීවේය.//

      මේ ප්‍රකාශය සම්බන්ධව වෙනත් අයටද ප්‍රශ්න තිබෙන නිසා මේ ගැන පමණක් යමක් කියන්නම්. මෙය නිවැරදි ප්‍රකාශයක්. මුදල් සැපයුම වැඩි වීම උද්ධමනයට හේතු වන්නේ එම වැඩි වූ මුදල් නිසා භාණ්ඩ වලට ඉල්ලුම ඉහළ යාම නිසයි. එසේ භාණ්ඩ ඉල්ලුම ඉහළ යන්නේ මිනිස්සු එම මුදල් වියදම් කරන්න පටන් ගෙන මුදල් සංසරණය වෙන්න පටන් ගනිද්දී. ඒ නිසා, මුදල් සැපයුම ඉහළ යාම හා උද්ධමනය ඇති වීම අතර මාස 18-36 පමණ දක්වා වන කාල පරතරයක් තිබෙනවා. මේ වෙලාවේ මුදල් සැපයුම වැඩි වී තිබෙන තරමට උද්ධමනය වැඩි වී නැත්තේ කෝවිඩ් හමුවේ මිනිස්සු ගෙවල් වලට වී සිටින නිසා. රට සාමාන්‍ය තත්ත්වයට පැමිණි වහාම භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ ගොස් උද්ධමනය විශාල ලෙස වැඩි වීමේ අවදානම තිබෙනවා. ANC මේ බව පිළිගන්නවා. ඔහු කියන්නේ එවැන්නක් සිදු වීමට පෙර එළියට දැමූ මුදල් නැවත මහ බැංකුව වෙත ඇද ගන්නා බවයි. ඔහු එසේ කරයිද නැද්ද යන්න ඔහුගේ (හා පොදුවේ මහ බැංකුවේ) කාර්ය සාධනය පිළිබඳ ප්‍රශ්නයක්. මෙය කළ හැකි දෙයක්. වඩා බැරෑරුම් ප්‍රශ්නයක් වන විදේශ අංශයේ ප්‍රශ්නය විසඳා ගතහොත් මේ ප්‍රශ්නය විසඳා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. එහෙත්, ඩොලර් ප්‍රශ්නය විසඳා නොගත්තොත් මේ ප්‍රශ්නයද ඉතිරි වෙනවා.

      Delete
    9. ඉකොන්,

      මම ඉහත ඇනෝ නෙවෙයි, මට ප්‍රශ්නයක් තියෙනවා, මේ කියන ෆොරෙන්සික් ඇනලයිස් එකෙන් රුපියල් මිලියන නම සීයක් ගාස්තු අරන් විශාල පරීක්ෂණයක් කරලා හොයාගෙන තියෙන්නේ බැඳුම්කර සිද්ධියේ විශාල වංචාවක් සිදු වූ බව ලු. මේක ඇත්තද?

      ඔබ කලින් ලිපි සීරීස් එකක් හරහා පැවසුවේ මෙය වංචාවක්ම නොව කෙටියෙන් කිව්වොත් එය වෙළඳපොලේ ස්වභාවය අනුව සාමන්‍ය සිද්ධියක් බව මට තේරෙන හැටියට. (මමත් හිතන්නේ එහෙමයි මොකද මෙහි යම් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් වගේ දෙයක් හැර ලොකු වංචාවක් විය නොහැකි බවයි.). මීට අමතරව කබ්‍රාල් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර මේ වාර්තාව විවේචනය කළා.

      කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයත් මේ වාර්තාව පිළි ගන්න බවක් පේනවා. ජපුර කළමණාකරණ/ ගණකාධිකාරී උපාධියක් ඇති සුනිල් හඳුන්නෙත්ති සහ ජවිපෙ නායක අනුර කුමාර වැනි අයත් පුන පුනා කියන්නේ මෙහි විශාල හොරකමක් වී ඇති බවත් රාජපක්ෂ හොරමුල සහ වික්‍රමසිංහ රොයල් කොලීජි ගජ මිතුරු හොර කල්ලි උඩින් හතුරු යටින් මිතුරු ලෙස එකට එක්වී වංචා කරන බවයි. ඊට අමතරව වීරවංස ගම්මන්පිල වැනි කටහැකරන්ගේ ද කතා නිසා දැන් මෙය දැඩිව සමාජගත වී වෙනස් කළ නොහැකි තරමට සමාජ සම්මතයක් වී අවසන්.

      ඇත්තටම මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද? මෙහි සැබෑ තත්වය ගැන කෙටියෙන් වත් පැහැදිලි කළ හැකි නම් ලොකු දෙයක්.

      Delete
    10. බැඳුම්කර පාඩුව
      http://economatta.blogspot.com/2020/02/blog-post_22.html

      බැඳුම්කර දේශපාලනය
      http://economatta.blogspot.com/2020/01/blog-post_26.html

      Delete
  14. කියෙව්වා. ලියන්න තරම් දෙයක් ඔළුවට එන්නේ නැහැ. කබ්රාල් , කබ්රාල්, කබ්රාල්

    ReplyDelete
  15. ඉකොනොමැට්ටා/ Ajith Dhrma,

    මේක දැක්කාද?

    https://www.themorning.lk/sri-lankas-oil-supply-issue-government-to-secure-3-6-b-from-oman/

    මේකෙ හැටියට ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය සමග එකඟතාවකට ඇවිත් තියෙනවා කියලා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයෙත් මාධ්‍ය වලට කිව්වා.

    මංගොංපිල කියන විදියට මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද කියනවා, මේක ඇත්තද? මම නම් හිතන්නේ මේක තවත් උගුලක් විය හැකි බවයි. ඒ අනුව පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලදී ගන්න මාසේකට ඩොලර් මිලියන 300 ගණනෑඅ ලංකාවට නිදහස් කිරීමට ඕමානි රජය සමග වූ එකඟතාව බවයි කියන්නේ, මේකෙන් ලංකාව තවත් ණය උගුලක හිර වෙයිද?

    මේ ගැන ජවිපෙ සහ සමගි ජන බලවේගයේ අය පවසන්නේ මෙවන් අදහස්;

    /// ණය ගත්තත් කමක් නෑ ගන්නවලකෝ ණයක් හරිහමන් රටකින්.

    අනේ ඉතිං තනි හිංගල බෞජ්ජ ආණ්ඩුවට වෙච්ච දේට මක්කොරන්නද?
    අන්තිමේදි තම්බින්ගේ කකුල් ලෙවකනවා, දැන් ඉතින් ලංකාවේ අන්තවාදී තම්බින්ට අත තියන්න ගියොත් හොම්බ තලා ගන්න තමයි අපට වෙන්නේ.

    උන් කියන කියන පදේට නට නට තමයි ඉන්න වෙන්නේ. නැත්නම් තෙල් ගහල ඉවරයි.

    මදැයි ඉඳලා ඉඳලා පුන්නක්කු තොග පිටින් ගිලින උන්මාද ගොන් බයියො කියන 69 ලක්ෂයක් මීහරක් තනි සිංහල ආණ්ඩුවක් පත් කළා. එකේ හුලනුත් දැන් හෝස් ගහල බැහැල ගියා. හපොයි හරිම හිනා අපේ රටේ ගව සම්පත ගැන.

    ගොම්මන් පිලයා වැඩක් කලොත් ඔහොම්මම තමයි. සිංහලයාගේ බලය දුර්වල කරලා තමයි නවතින්නේ.//

    මේ වගේ කතා වල ඇත්තක් නැත්තෙමත් නෑ නේද විශේෂයෙන් ගෝලීය අන්තවාදී බලවේග වල ගොදුරක් බවට ලංකාව පත්විය හැකියි මැද පෙරදිග රටවලින් ණය ගන්න යන එකෙන්. ඒ වෙනුවට අයි.එම්.එෆ්. ගියානම් මේ ප්‍රශ්න මුකුත්ම නැහැ නේද? දැන් වත් ආණ්ඩුව අයි එම් එෆ් යන්න හිතනවනම් මීට වඩා හොඳ නැද්ද? ආණ්ඩුවේම හිතවතුන් වන ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරික ප්‍රජාවත් මේ ගැන ධනාත්මක අදහසක ඉන්න බව පේනවා.

    @ අජිත් බ්‍රිතාන්‍යයේ තෙල් අර්බුදය විසඳිලාද දැන්? මම හිතන්නේ ඒකත් ඩ්‍රයිවර්ලාගේ කේස් එකකට වඩා මැදපෙරදිග රටවල බලපෑමක් නිසා වීමට ඉඩ ඇති කරුණක් විය හැකි බවයි.

    ReplyDelete
    Replies
    1. //@ අජිත් බ්‍රිතාන්‍යයේ තෙල් අර්බුදය විසඳිලාද දැන්? මම හිතන්නේ ඒකත් ඩ්‍රයිවර්ලාගේ කේස් එකකට වඩා මැදපෙරදිග රටවල බලපෑමක් නිසා වීමට ඉඩ ඇති කරුණක් විය හැකි බවයි.//ඩ්‍රයිවර් කේස් එක තියනවා. ඒක හරි. මිනිස්සු පෙට්රෝල් ගබඩා කර ගන්න එකත් ප්‍රශ්නයක්. මම ෆේස්බුක් එකේ අද වීඩියෝ එකක් දැම්ම. මලු වලට පෙට්රෝල් දාගන්නවා. මැද පෙරදිග තෙල් indirect පාවිච්චි කරන්නේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ය . ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැහැ. BP එක සහ ඇමෙරිකාව මුල ඉඳන් ම බ්‍රෙක්සිට් එකට විරුද්ධයි. අනික මාකට්, නව ලිබරල් ආර්ථිකයක් වශයෙන් බොරිස් ජොන්සන් මේ ප්‍රශ්නෙට රජය මැදිහත් නොකිරීම හරි. නමුත් දැන් ඔන්න හමුදා රියදුරන් ඇතැම් තැන්වල දාලලු

      Delete
  16. Pandora Papers, අපේ ලංකාවේ කව්රුවත් මේකේ නැත්ද?
    https://www.youtube.com/watch?v=Q7XaIHfGh0c

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ලංකාවේ ජනපති නන්දසේනගේ කසින් සිස් ලංකාවේ නිරූපමා රාජ පක්ස ගැන, ඇගේ සැමියා වන තිරු කුමාර් නටේසන් සමග ව්‍යාපාර කරලා හම්බ කරපු ඩොලර් මිලියන 18ක් විතර අති විශාල මුදලක් හන්ගපු එකක් ගැන විස්තරයක් කියලා අද සමාජ ජාල වල පේජ් කීපයකම දාල තිබුණා

      https://projects.icij.org/investigations/pandora-papers/power-players/en/player/nirupama-rajapaksa

      //Nirupama Rajapaksa and Nadesan together controlled a shell company they used to buy luxury apartments in London and Sydney, and to make investments, according to leaked files. Nadesan set up other shell companies and trusts in secrecy jurisdictions, and he used them to obtain lucrative consulting contracts from foreign companies doing business with the Sri Lankan government and to buy artwork.

      In 2018, one of the companies, Pacific Commodities, transferred 31 paintings and other South Asian art pieces to the Geneva Freeport, an ultra-secure warehouse where assets are not subject to taxes or duties.

      In confidential emails to Asiaciti Trust, a Singapore-based offshore services provider, a longtime adviser of Nadesan’s put his overall wealth, as of 2011, at more than $160 million. ICIJ couldn’t independently verify the figure.

      Asiaciti Trust managed some of Nadesan’s offshore companies and trusts, with assets valued at about $18 million, according to an ICIJ analysis. The firm listed him as a politically connected individual because of his wife’s political position. Asiaciti kept the family as clients even after Nadesan was charged with embezzlement in 2016.

      Rajapaksa and Nadesan declined to answer ICIJ’s questions about their trusts and companies.//

      තව කට්ටිය ගැන මේකේ තියෙනවා

      https://www.icij.org/investigations/pandora-papers/power-players/?player=nirupama-rajapaksa

      ජනාධිපති කොමිසමක් දාන්න ඕනෙ පිටරට සල්ලි හන්ගලා තියෙන ශ්‍රීලාන්කිකයෝන්ගේ වත්කම් හොයන්න. සමහර මිනිස්සු ඔය කියන ගනන් හන්ගලා නැතුව ඇති. සමහර මිනිස්සු නීත්යානුකූල ව්යාපාර කරලා සල්ලි රට හන්ගලා ඇති. හොරුත් ඇති ඔය අතරේ. ඒ හැමෝගෙම සල්ලි හොයලා රජාඅසන්තක කිරීමට ශක්තිමත් දැඩි නීති ගෙන ආ යුතුයි.

      හැම එකටම ජනාධිපති කොමිසම් දාන රටේ මේකට අනිවාර්යෙන් ජනාධිපති කොමිසමක් දාන්න්න කියලා බල කරන්න ඕනෙ. තව ඉකොනොමැට්ටා වගේ අයත් ඇමරිකාවේ, පැනමා, බර්මියුඩා, සීශෙල්ස් වගේ රටවල හන්ගලා තියෙන ඩොලර් මිලියන ගණන් හොයලා ඒවාත් සේරම සම්පූර්ණයෙන්ම රාජසන්තක කරන්න ඕනේ, එහෙම හරියට උත්සාහ කළොත් ලංකාවේ විදෙස් විනිමය අර්බුදය ලේසියෙන්ම විසඳන්න පුළුවන්. මේකට රන්ජන් රාමනායක සහ ජවිපෙ වගේ ජනතාවාදී දේශපාලන නායකන් මේ රටේ නායකත්වයට පත්කර ගත යුතුයි.

      Delete
  17. ඉකොනොමැට්ටා,

    මේවාට පිළිතුරු මොනවාද?

    01. ලංකාවේ ආණ්ඩුව යුගදනවි බලාගාරය ඇමරිකන් ෆෝට්‍රෙස් සමාගමට දීම දූෂිත ගණුදෙනුවක් බව පැවසේ. මේක ඇත්තද?

    02. මේ ගණුදෙනුව හරහා ලංකාවට වන පාඩුව කොපමණද? මෙයින් ඩොලර් බිලියන් හයක් පමණ ඉදිරි කාලයේ රජයට පාඩු වන බව ඇත්තද?

    https://economynext.com/sri-lankas-could-lose-billions-through-unsolicited-new-fortress-energy-deal-cebeu-86396/

    03. මේ හරහා ෆෝට්‍රෙස් සමාගමට හෝ ඇමරිකන් එක්සත් ජනපදයට ලංකාව අල්ලේ නැටවීමට අවස්ථාවක් ලැබෙයිද?

    04. සිරස ටී වී ආයතනය පෙන්වා දෙන ආකාරයට මෙම වීඩියෝ එකේ කියන දේවල් අනුව ලංකාවට විශාල පාඩුවක් වෙයිද? ආණ්ඩුව මේක කළොත් ඩොල්ර මිලියන් 750 ක විතර ලාභයක් (profit) ආණ්ඩුවට ලැබෙයි ද?

    https://www.facebook.com/MawathaSL/videos/404791221038997/

    කෙළින්ම ගෑස් ආනයන කර කලොම්බො ඩොක්යාඩ් සමාගමට කියලා මේ නල පද්ධතිය රජයේ මුදලින් ඩොලර් මිලියන 50 කින් කරලා රජයේ මුදලින් ඩොලර් මිලියන 100 - 150 කින් විදුලි ජනක පද්ධතිය සහ පවර් ස්ටේශන් ටික ෆේස් බයි ෆේස් හයි කරලා ලංවිම හරි ලෙකෝ එක හරි යටතේ මේක ඔපරේට් කළොත්?

    ReplyDelete
    Replies
    1. යුගදනවි ගනුදෙනුව පිළිබඳව මම හදාරා නැහැ. හරියට නොදන්නා දෙයක් ගැන මට අදහස් පළ කළ නොහැකියි. මේ ගැන හැදෑරීම සඳහා යෙදිය හැකි අමතර කාලයක්ද මේ වෙලාවේ නැහැ. ඒ වගේම මේ හා අදාළ ගිවිසුම් ආදිය තිබෙන තැන් ගැනද මා දන්නේ නැහැ.

      Delete
  18. දැන්නම් එපා වෙනව හැබැයි දාපු කමෙන්ට් එකක රිප්ල්‍යි එක හොයාගන්න එකත්.මොකෝ මේ කුලී බයිසන්ල මැස්සො වගේ මේක වටේ කැරකෙන්නෙ

    ReplyDelete
  19. ඉකොනො,

    ලංකාවේ මාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා වූ කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා අයි බී ආර් ඩී (ලෝක) බැංකුව මගින් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක ණයක් අනුමත කර ඇති බව කියනවා.

    https://www.dailymirror.lk/business-news/Loans-US-500mn-to-upgrade-transport-connectivity/273-221719

    මේ නිසා ලංකාවේ විදේශ ණය තවත් උග්‍ර වෙයිද? මේ ලෝක බැංකුවේ ණය වල පොළී අනුපාතික සාමාන්‍යයෙන් මොන වගේ ද? ඉස්සර යුද්ධය තිබුන කාලයේ ලංකාව අඩු ආදායම් ලාභී රටක් නිසා ඉතාමත් සහන පොළියට ණය ලැබුණු නමුත් දැන් මැදි ආදායම් තත්ත්වය නිසා පොළී වැඩියි ද?

    ඒ වගේම මම හිතන්නේ මාර්ග පද්ධතියට වඩා දුම්රිය පද්ධතිය electrification කරලා රේල් කාගෝ වැඩි කරන්න පුළුවන් නම් ඒක මීට වැඩිය වඩාත් ලාභදායී ප්‍රවාහන කර්මාන්තයක් විය හැකි බව.

    රජය මේ ගැන කියන්නේ රජයේ කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන සැලැස්ම ලෝක බැංකුවේ ඇගයීමට ලක්වී ඇති බවත් ඒ ව්‍යාපෘතිය මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වීම හේතුවෙන් ගම් හා නගර සම්බන්ධ කරමින් ආරක්ෂිතව හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මාර්ග සංවර්ධනය කිරීමට ලෝක බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ලංකාවට ලබා දීමට තීන්දු කර ඇති බවයි. මේක ඇත්ත ද දන්නේ නෑ.

    ලංකාවේ රට පුරා ගම් හා නගර සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව මඟින් මෙම මුදල ලංකා රජය වෙත අනුමත කර දුන් බවත් මෙම ව්‍යාපෘතියෙන් සමස්ත දිවයින ආවරණය වන පරිදි මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට යෝජිතයි.

    මීට අමතරව රට පුරා ග්‍රාමීය වශයෙන් කෘෂිකාර්මික භෝග එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සහ බෝග ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ද මෙම ව්‍යාපෘතිය මඟින් ඉදි කරන බව කියනවා. හැබැයි මෙය සාර්ථක වෙයි ද දන්නේ නැහැ.

    ReplyDelete
  20. ඉකොනොමැට්ටාගේ හොඳ පෝස්ට් එකක් සහ ඇතැම් ඇනෝවරු අසා තිබෙන ප්‍රශ්නත් ඉස්තරම්, විශේෂයෙන්ම මේ දවස්වල ලංකාවේ දැවෙන ප්‍රශ්න විදිහට කෙළවරපිටිය බලාගාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය ගැන සැලකිය හැකියි. මේ ගැන ඉකොනොමැට්ටාගේ පැහැදිලි කිරීමක් තිබේනම් ඉතා වටිනවා. අනෙත් වැදගත්ම ප්‍රශ්නය ලෙස බැඳුම්කර සම්බන්ධයෙන් වූ වෝහාරික විගණන්ය, මේ ගැන ලංකාවේ ආණ්ඩුව විශාල මුදලක් වියදම් කොට ඉන්දීය සමාගමඉක්න් වාඅර්තාවක් ලබාගෙන තියෙනවා, මේ වෝහාරික විගණන වාර්තාව ගැන පැහැදිලි කරමින් ඉකොනොමැට්ටා කඉල්න් පෝස්ට් එකක් දැම්ම බවක් මතක නැහැ. දැම්ම නම් ඒකෙ ලින්ක් එක දෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්න වලට උත්තර ඉක්මණින් ලබා දිය හැකිනම් හොඳයි. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර පාඩුව
      http://economatta.blogspot.com/2020/02/blog-post_22.html

      බැඳුම්කර දේශපාලනය
      http://economatta.blogspot.com/2020/01/blog-post_26.html

      Delete
    2. බොහොම ස්තූතියි. දීර්ඝ පිලිතුරුවලට හා ඒ සදහා ගත කල කාලයටත් ස්තූතියි. හොද පැහැදිලි කිරීම් ලැබී තියෙනවා. බොහොම ස්තූතියි. යුගදනවි එක සහ ලෝක බැංකු ආධාර යටතේ මාර්ග සංවර්ධනය තුළින් විදේශ ණය බර වැඩිවීම ගැනත් පැහැදිලි කිරීම් කරන්න පුළුවන් නම් වටිනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...