වෙබ් ලිපිනය:

Tuesday, October 12, 2021

මහ බැංකුව නැවතත් රෝදය සොයා ගනී!

 


මහ බැංකුව විසින් තවත් වරක් රෝදය අලුතෙන් හොයා ගෙන තිබෙනවා. ලංකාවේ ආර්ථික හා මූල්‍ය කේෂේත්‍ර වල පමණක් නොව සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී විවිධ කේෂේත්‍ර වල ප්‍රශ්න වලට විසඳුම් සොයන්නන් විසින් නැවත නැවතත් රෝදය අලුතෙන් සොයා ගනිමින් සිටිනවා. අත්දැකීම් අඩුකම නිසා වෙන්න ඇති!

අධිපති කබ්රාල් බලයට පත් වීමෙන් පසුව සයමසක මාර්ග සිතියමක් ඉදිරිපත් කරද්දී සඳහන් කළ එක් කරුණක් වුනේ ලංකාවේ රජය විසින් නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර අඩු මිලට ආපසු මිල දී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මේ වන විට මහ බැංකුව විසින් "අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා" මෙය පිළිබඳව සොයා බලා තිබෙනවා. ඔය වැඩේට කොයි තරම් වියදමක් ගියාද කියලානම් කියා නැහැ. 

මෙසේ මහන්සි වී, වියදම් දරා, සොයා බැලීමෙන් පසුව 2022 ජනවාරි මස පරිණත වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සමස්ත වටිනාකමෙන් අවම වශයෙන් සියයට 5ක ප්‍රමාණයක් හෝ ප්‍රකාශ කළ වට්ටම් සහිත මිල ගණන් යටතේ විකිණීමට නැති බවත්, මෙම තත්ත්වය යටතේ ආපසු මිලට ගැනීමේ ක්‍රියාවලියක් මඟින් රජයට සැලකිය යුතු මට්ටමක මිල හෝ පොලී ප්‍රතිලාභයක් නොලැබෙන බවත් "අලුතෙන්" හොයා ගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවේ අයනු ආයනු දන්නා කෙනෙක් වුවත් ඔය ටික දන්නවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ආර්ථික විද්‍යාවේ හෝඩිය කියා කිව හැකියි. මහ බැංකුවේ ඉන්න විශාල පිරිසක් ආර්ථික විද්‍යාවේ අයනු ආයනු වලට වඩා බොහෝ දේ දන්නා අයයි. එහෙත්, ඉල්ලුම් සැපයුම් වක්‍ර හැදෙන ආකාරය ගැන නිසි අවබෝධයක් නැති හෝ විශ්වාසයක් නැති අයත් මහ බැංකුවේ සිටින බව මේ විදිහට රෝදය අලුතෙන් සොයා ගන්න මහන්සි වීමෙන් පෙනී යනවා.

පාඨකයෙකු විසින් "කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?" ලිපියට දැමූ ප්‍රතිචාරයකට අප ලබා දුන් පිළිතුරෙහි කොටසක් පහත තිබෙනවා.

"ඩොලර් 100ක මුහුණත අගයක් දැන් විකිණෙන්නේ ඩොලර් 60ට නම් බැඳුම්කර යම් ප්‍රමාණයක් මිල දී ගනිද්දී මේ මිල ඩොලර් 90 පමණ දක්වා ඉහළ යා හැකියි (උදාහරණයක් ලෙස). එහිදී නැවත ඩොලර් 90 බැගින් මෙම බැඳුම්කර විකිණුවොත් ඩොලර් 30ක ලාබයක් ලංකා බැංකුවට ලැබෙනවා. එහෙත්, එසේ විකුණන්න යද්දී නැවතත් ඩොලර් 60 දක්වා මිල අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව අහම්බයෙන් සිදු වුනොත් මිසක් මේ විදිහට සැලකිය යුතු වාසියක් ලබන්න බැහැ."

නිදහස් වෙළඳපොලක මිල කියා කියන්නේ ආන්තික සැපයුම්කරු විසින් විකුණන්න කැමති මිල (marginal seller's valuation) මිසක් සැපයුම්කරුවෙකු විකුණන්න කැමති සාමාන්‍ය මිල (average seller's valuation) නෙමෙයි. ඕක තේරුම් ගන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් තෑග්ග ගන්න අවශ්‍ය නැහැ. 

ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ වෙත පැමිණියහොත් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් දැන් ඩොලර් 60කට විකිණෙනවා කියා කියන එකෙන් අදහස් වෙන්නේ ඩොලර් 100ක මුහුණත අගයක් ඩොලර් 60කට විකුණන්න කැමැති එක් ආන්තික සැපයුම්කරුවෙක් සිටින බව මිසක් හැම කෙනෙක්ම ඒ මිලට විකුණන්න සූදානම්ව සිටින බව නෙමෙයි. මේ ආන්තික සැපයුම්කරුවා හැරුණු විට අනෙක් හැම කෙනෙක්ම තමන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ඊට වඩා මිලක් අපේක්ෂා කරන අයයි. මෙය ආර්ථික විද්‍යාවේ ඉතාම මූලික මට්ටමේ හා වැදගත්ම  මූලධර්මයක්.

ඒ වගේම අනෙක් පැත්තෙන් මෙයින් කියැවෙන්නේ කිසිදු ගැනුම්කරුවෙකු විසින් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් සඳහා ඩොලර් 60 ඉක්මවන මිලක් ගෙවන්න සූදානම් නැති බවයි. ඩොලර් 60 කියා කියන්නේ ගැනුම්කරුවෙකු විසින් මේ වෙලාවේ ගෙවන්න කැමති උපරිම මිල. ඒ මිල වුවත් ගෙවන්න කැමැත්තෙන් ඉන්නේ එකම එක ආන්තික ගැණුම්කරුවෙකු පමණයි. ඉතිරි ගැණුම්කරුවන් සියලු දෙනාම ගෙවන්නට කැමතිව සිටින්නේ මීට වඩා අඩු මිලක්. 

මහ බැංකුව විසින් කළ යුත්තේ ගේමක් ගසා වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කරන ආකාරය ගැන හිතන්න මහන්සි නොවී මිල සංඥාව නිවැරදිව ග්‍රහණය කර ගැනීමයි. මිල සංඥාව මගින් පෙන්නුම් කරන්නේ ලංකාව අලුතෙන් නිකුත් කරන ඩොලර් 100ක බැඳුම්කරයක් මේ වෙලාවේ ඩොලර් 60කට විකුණන්නත් අමාරු බවයි. ඒ තත්ත්වය වෙනස් කරන්නම් එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගෙන අදාළ ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතුයි. එහෙම නැතුව ටින්කරින් කරලා සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. 

මහ බැංකුව විසින් කවුරු හෝ නියෝජිතයෙකු හරහා ඩොලර් 60 බැගින් ඩොලර් 100ක මුහුණත අගයක් මිල දී ගත් වහාම ඩොලර් 60ට බැඳුම්කර විකුණන්න කැමති විකුණුම්කරුවන් වෙළඳපොළේ නැතිව යනවා. එවිට ඉතිරිවන ආන්තික විකිණුම්කරුවා අවම වශයෙන් ඩොලර් 65ක් වැනි මිලක් බලාපොරොත්තු වෙනවා. ඒ මිලට විකිණෙන බැඳුම්කර ටිකත් මිල දී ගත්තොත් ද්වීතියික වෙළදපොළ මිල ඩොලර් 70ට නගිනවා. ඔය විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගන්නා තරමට මිලද ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. නමුත්, ඔය වැඩෙන් සිදු වන වාසියක් තියෙනවද?

මේ විදිහට අලුතෙන් හදපු කෘතීම ගැනුම්කරුවා බැඳුම්කර වලට වැඩි මිලක් ගෙවුවත් අනෙකුත් බාහිර ගැණුම්කරුවන් විසින් ගෙවන්න කැමති උපරිම මිල වෙනස් වෙන්නේ නැහැ. එම මිල ඩොලර් 60ක් හෝ ඊට අඩු මිලක්. ඒ නිසා මේ විදිහට ඩොලර් 60, 65, 70 හෝ 90 වැනි මිලකට මිල දී ගත් බැඳුම්කර නැවත විකුණනවානම් විකුණන්න වෙන්නේ ඩොලර් 60කට හෝ අඩු මිලකටයි. මිල කියන්නේ ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී වෙනස් වෙන දෙයක් මිසක් නොවෙනස් වන ස්ථිර දෙයක් නෙමෙයි. 

වත්මන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ සිට විගණකාධිපති දක්වා බොහෝ අය "බැඳුම්කර මගඩියේ" පාඩුව ගණන් හැදුවේත් ඔය ක්‍රමයටයි. ඒ කියන්නේ, ඩොලර් බිලියනයක් විකිණිය හැකිව තිබුණු මිලටම ඩොලර් බිලියන 10ක් හෝ ඊට වැඩි ඕනෑම බැඳුම්කර ප්‍රමාණයක් විකිණිය හැකිව තිබුණේයැයි උපකල්පනය කරලා. එහෙම කරන්න බැරි බව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ මූලික අදහසක් තිබෙන කෙනෙක් වුවත් දන්නවා. විකුණන බැඳුම්කර ප්‍රමාණය ඉහළ යද්දී ගෙවිය යුතු පොලී අනුපාතිකයත් ඉහළ යනවා. මිල එක තැන තියාගෙන සැපයුම අසීමිත ලෙස වැඩි කරන්න බැහැ. 

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සෘජු නිකුතු ක්‍රමය පදනම් වී තිබුණේ ඔය විදිහට මිල එසේම තිබියදී බැඳුම්කර ඕනෑ තරම් විකිණිය හැකියි කියන වැරදි උපකල්පනය මතයි. මහ බැංකුවට බලපෑම් කළ හැකි සේවක අර්ථසාධක අරමුදලට හෝ රාජ්‍ය බැංකුවකට ඔය විදිහට තමන්ට අවශ්‍ය මිලකට බැඳුම්කර විකිණිය හැකිව තිබුණත් නිදහස් වෙළඳපොළක එවැන්නක් කළ නොහැකියි. වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදා පෙන්වා දෙන්නේ මෙසේ කළ නොහැකි වූ අවස්ථා වලදී සිදු වූ "පාඩුවයි".

මේ වැරැද්ද මහ බැංකුවේ පමණක් සිදුවන හෝ ලංකාවේ පමණක් සිදු වන වැරැද්දක් නෙමෙයි. ලෝකයේ ලොකුම ධනපතියන්ගේ වත්කම් දුප්පත් රටවල ජාතික ආදායම් සමඟ සසඳන ඇතැම් අයත් මේ වැරැද්දම කරනවා. මේ මොහොත වන විට ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 203.5ක්. ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 189.5ක්. සමහර "දාර්ශනිකයෝ" යෝජනා කරන විදිහට මේ අයගේ වත්කම් වලින් කොටසක් ලෝකයේ දුප්පත් මිනිස්සු අතර බෙදා දෙන්න බැරිද?

මේ වෙද්දී ටෙස්ලා කොටසක මිල ඩොලර් 800ක් පමණ වෙනවා. ඇමසන් කොටසක මිල ඩොලර් 3,246ක්. ඊලෝන් මස්ක්, ජෙෆ් බෙසෝස් වගේ ධනවතුන්ගේ වත්කම් කියා කියන්නේ ඔවුන් සතු මෙවැනි කොටස් හිමිකම්. 

ටෙස්ලා සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය බිලියනයක්. එහෙත් එම කොටස් වලින් වෙළඳපොළේ හුවමාරු කළ හැක්කේ කොටස් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එයින් පසුගිය තෙමස තුළ වෙළඳපොළේ ඇත්තටම හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 18ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 1.8%ක් පමණයි. 

ඇමසන් සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය මිලියන 510ක් පමණ වෙනවා. එයින් කොටස් මිලියන 455ක් පමණ වෙළඳපොළේ හුවමාරු කළ හැකි කොටස් වුවත් පසුගිය තෙමස තුළ ඇත්තටම වෙළඳපොළේ හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 3ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 0.6%ක් පමණ.

වෙනත් ඕනෑම මූල්‍ය වත්කමක් සැලකුවත් දැකිය හැක්කේ ඔය වගේ තත්ත්වයක්. අදාළ වත්කම හිමි අයගෙන් විශාල පිරිසක් එය වෙළඳපොළේ විකුණන්නේ නැහැ. වෙළඳපොළ මිල තීරණය කරන්නේ ඉතා සීමිත ආන්තික සැපයුම්කරුවන් හා මිල දී ගන්නන් පිරිසක් විසින්. ඊලෝන් මස්ක් හෝ ජෙෆ් බෙසෝස් විසින් ඔවුන්ගේ වත්කම් වලින් 1%ක් දුප්පත් මිනිසුන් අතර බෙදා හැරියොත් ඔවුන් මේ කොටස් හිමිකම් මුදල් කරන්න යද්දී ක්ෂණිකවම මේ කොටස් වල මිල කඩා වැටෙනවා. ඊලෝන් මස්ක්ගේ හා ජෙෆ් බෙසෝස්ගේ වත්කම්ද විශාල ලෙස පහත වැටෙනවා. ඔවුන්ගේ වත්කම් වලින් 10%ක් පමණ මේ විදිහට බෙදා හැරියොත් කොටස් මිල හොඳටම පහත වැටී ඔවුන් තව දුරටත් ලොකු ධනවතුන් නොවිය හැකියි. ජනහිතකාමය වෙනුවෙන් පෙනී සිටින බිල් ගේට්ස් හා මාක් සකර්බර්ග් වැනි එය එක වරකට තමන්ගේ වත්කම් වලින් ඉතා කුඩා කොටසක් පමණක් නිදහස් කරන්නේ මේ හේතුව නිසයි.

මේ කතාව අදාළ වන්නේ මූල්‍ය වත්කම් වලට පමණක් නෙමෙයි. ලංකාවේ නිවාස වෙළඳපොළ සලකන්න. ලංකාවේ බොහෝ දෙනෙක් තමන් දුක් මහන්සියෙන් හදාගන්නා හෝ උරුමයෙන් ලැබුණු නිවස ලේසියකට විකුණන්නේ නැහැ. එහෙත් එසේ කරන සුළු පිරිසක් ඉන්නවා. වෙළඳපොළේ නොවිකිණෙන නිවාස හා ඉඩම් විශාල ප්‍රමාණයක මිල තීරණය කරන්නේ එම සුළු පිරිසයි. මෙය නිදහස් වෙළඳපොලක මූලික ස්වභාවයයි. වෙනත් ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකටද මේ කරුණ අදාළයි.

මේ හේතුව නිසාම විණිමය අනුපාතය කෘතිමව පාලනය කරමින් ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ හෝ විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඩොලරයක මිල තීරණය කරනවානම් රටට එන ඩොලර් සැපයුම වැඩි කළ නොහැකියි. ඩොලර් සැපයුම වැඩි කරන්න අවශ්‍යනම් මිල එක තැන තියා ගෙන එය කළ නොහැකියි.

24 comments:

  1. මටත් ඕක සැහෙනකාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක් ඇත්තටම අද විකිනෙන් කොටසක මිල්ට සියලුම කොටස් වටිනාකම් තීරණය කරල මගේ වත්කම මෙච්චරයි කියන එක හරිද..

    ReplyDelete
    Replies
    1. මෙය කොටස් වලට පමණක් නෙමෙයි වෙනත් ඕනෑම වත්කමකට අදාළ දෙයක්. ක්‍රමයේ පැහැදිලි ප්‍රශ්න තිබුණත් වත්කම් වල වටිනාකම් නිරූපනය කළ හැකි වඩා හොඳ ක්‍රමය කුමක්ද? වත්කම් කියන්නේ මොනවාද කියන එක හරියට තේරුම් ගැනීමයි කළ යුත්තේ. වටිනාකම් කියන දේවල් තනිකරම අපි හදාගන්න දේවල්.

      Delete
  2. ඕව සරල වගේ පෙනුනට ලන්කාවෙ මිනිස්සුන්ගෙ සරල ඔලුගෙඩි වලට මහා බරපතල සන්කල්ප.

    ReplyDelete
  3. කණ කැස්බෑවා විය සිදුරෙන් ආහස දකින්නා වාගේ කලාතුරකින් හරි අපේ බලධාරියෙක් මේ posts කියෙව්වොත් ඉකොනෝටත් ලංකාවට එන්න කියයි, උපදේශක රස්සාවක් දීලා. එනවද ඉකොනෝ?

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ රැකියා ගණනාවක් කරලා තියෙනවා, නිදි. ඒ හැම රැකියාවක් කරද්දීම මට ලැබුණු අවස්ථාව ප්‍රසාරණය කරගෙන, වැඩ කළ යුතු හා වැඩ කළ හැකි වපසරිය පුළුල් කර ගෙන, සාමාන්‍යයෙන් සේවකයෙකු වැඩ කළ යුතු කාලය අතිශයින්ම ඉක්මවා විශාල කාලයක් වැය කර, සැලකිය යුතු වැඩ කොටසක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් කිසි විටක කිසිදු අමතර වරප්‍රසාදයක් ලබා ගෙන නැහැ. අමතර වරප්‍රසාද කිසිවක් කොහොමටත් බලාපොරොත්තු වී නැතත්, වැඩ කළ ආයතන හැම එකක්ම වගේ අඩු වශයෙන් මට ලැබිය යුතු වැටුප් හා වරප්‍රසාද පවා හරියට නොගෙවා වංචා කරන එකයි සිදු වුනේ. එවැනි කැප වීමක් කළා කියලා රටට හෝ සමාජයට සිදු වූ ලොකු යහපතකුත් නැහැ. ලංකාවේ හිටියානම් මම තවමත් අද සිටින තැනට සාපේක්ෂව නිකමෙක්. මම පැත්තක සිටිද්දී මා කරන දේවල් වලින් වෙන අය පිම්බෙන එක පමණක් සිදු වෙයි. රටට හෝ වැඩක් වෙනවානම් එයින් ප්‍රශ්නයක් නැහැ. නමුත් එවැන්නක් වෙන්නෙත් නැහැ. ඇමරිකාවේදී මගේ වටිනාකම මට ලැබෙනවා. ලංකාවට සාපේක්ෂව නෙමෙයි. ඇමරිකාවට සාපේක්ෂව. ඒ සඳහා ඉල්ලීම් කරන්න, රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. වෙළඳපොළ යාන්ත්‍රනය තුළ අවශ්‍ය දෙය සිදු වෙනවා. ඒ වගේම වටිනාකම ලැබෙනවා කියා කියන්නේ සල්ලිමත් නෙමෙයි. මම කිසිසේත්ම ලංකාවට ණය නැහැ. ලංකාවේ සමාජයෙන් මට ලැබුණු දෙයට වඩා කිහිප ගුණයක් මම ලංකාවේ සමාජයට ආපසු ලබා දී තිබෙනවා. එහෙත් ඇමරිකාවේ සමාජයෙන් මා ලබාගත් දේවල් වලට මම තවමත් සාධාරණයක් ඉටු කර නැහැ කියා හිතෙනවා. ඒ නිසා, දැන්ම ඇමරිකාවෙන් වෙනත් රටකට යාම පිළිබඳව මට තිබෙන්නේ වරදකාරී හැඟීමක්. ඇමරිකාවෙන් යනවානම් ඒ සඳහා තිබෙන එකම තේරීම ලංකාවද නෙමෙයි. ලංකාවට වඩා උදවු අවශ්‍ය මිනිසුන් සිටින රටවල්ද ලෝකයේ තිබෙනවා. මට හෝ වෙනත් තනි පුද්ගලයෙකුට රටක් තනියම ගොඩදාන්න බැහැ. සමාජයක් විදිහට සාමූහිකව පරිණාමය වෙනවා මිස දියසේනලා ඇවිත් රටවල් ගොඩ දාන්නේ නැහැ. අවසන් දියසේන පරීක්ෂණයත් අසමත් වීමෙන් පෙන්වන්නේ අදාළ පුද්ගලයා අසමත් බව නෙමෙයි. තනි පුද්ගලයෙකු විසින් රටක් ගොඩ දමනු බලා සිටින ක්‍රමය අසමත් බවයි. මම ලංකාවේ සිටියානම් සිටිය හැකි වූ ආකාරයෙන් පැත්තකට වී වැඩි සද්දයක් නැතුව වැඩ කරගෙන සිටින මට වඩා ගොඩක් දක්ෂ අය ඕනෑ තරම් ලංකාවේ ඇති. පිටින් උපදේශකයෝ හොයනවා වෙනුවට එවැන්නන්ට ඉක්මණින් උඩට මතු විය හැකි ක්‍රමයක් සඳහා දායක වෙන එකයි කළ යුත්තේ.

      Delete
    2. ඉකොනොමැට්ටා EconomattaOctober 13, 2021 at 1:42 PM

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මෙතන ඉකොනොමැට්ටා සහෝදරයා කියන කතාව සමග එකඟයි. නමුත් මේකේ තවත් පැත්තක් තියෙනවා නේද? උදාහරණයක් විදියට ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා නගරේ පාසලෙන් උසස්පෙළ සමත්වෙලා ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන අග්නිදිග ආසියාවේ රටක පශ්චාත් උපාධි කරලා ඕස්ට්‍රේලියාවේ දැනට ආණ්ඩුවේ රැකියාවක් කරපු එකෙක් කියනවා ලංකාවේ අධ්‍යාපනය අවුල්ලු... උන් අන්තිම ටික පිටරටක ඉගෙන ගත්තා විතරයි උන්ට අමතක වෙනවා අවුරුදු පහේ ඉඳලා උන් සියල්ල උගත් ලංකාවේ අධ්‍යාපනය. උන් හිතන්නේ උන් තමයි තනියම ඔක්කොම කරගත්තේ කියලා. උන්ට මතක නැහැ උන්ට ඔය රටේ විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් දෙන්න සුදුසුකම් ටික ලැබුණේ උන්ගේ උපන් රටේ අධ්‍යාපනයෙන් කියා. එහෙව් උන් පිටරට ඉඳගෙන ලංකාවේ අධ්‍යාපනයට ගරහමින් බනිනවා. ඒක පාච්චල් කරනවා. ඒකට හිනා වෙනවා. පින්ලන්තෙ අධ්‍යාපනය ගැන කවි ලියනවා. මේවා කරන්නේ හුදෙක් ඊගෝ එක වැඩි කරගන්න සහ තම පුද්ගලික ආත්ම වර්ණනා වෙනුවෙන් නිසා ඒ අය බොහෝ දෙනා අතර දැඩි උපහාසයට සහ හාස්‍යට ලක් වී තිබෙනවා.

      ඉතින් මේවා දැක්කම ලංකාවේ ඉන්න සමහරු කියන විදිහට "ඇත්තටම අපේ අධ්‍යාපනයේ වරදක් තියෙනවා. ඒ තමයි අර උඩ කියපු උන් වගේ අධම අමන වල් පාහරයන් පිරිසක් හදපු එක. ඕකුන් ඔය රටවලම බින්න බහින එකමයි හොඳ. උන්ගෙන් ලංකාවට කිසිම වැදගත් වටින දෙයක් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ" කියලා තමයි ලංකාවේ බහුතරයක් දෙනා හිතන්නේ. නමුත් ඉකොනෝමැට්ටා වගේ අය මීට එරෙහිව යමින් ලංකාවේ අඩුපාඩු සාක්ෂි සහිතව විද්‍යාත්මක අයුරින් පැහැදිලි කරන්නේ අවංකවම ලංකාව තිබෙන තැනින් ඉහළට ගැනීමට ජනයා පෙළඹවීම වෙනුවෙන් ඉතාමත් සද් භාවයෙන් බව අපේ වැටහීමයි. ඒ නිසා ඔබට මේ සංසිද්ධිය ගැන විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

      Delete
    4. ආර්ථිකය අමතක කරලා අධ්‍යාපනය ගැන සාකච්ඡා කළොත් ඔය හැම රටකම අධ්‍යාපන ගැටළු තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සුද්දෝ නහයෙන් අඬනවා උන්ගේ අධ්‍යාපන සිස්ටම් එක අවුල් කියලා. මෙහෙන් යන උන්ට සුදු හම නිසා මැජික්. උන්ට වැඩ කරවගන්න තමයි වෙන රටවල උගත් එවුන්ව ඔය ශිෂ්‍යත්ව දීලා skilled migration කියලා ඇදලා ගන්නේ. උගත් උන් ටික විතරක් අරගෙන උන්ම කියනවා උන්ගේ රටේ උගත්තු ඉන්නවා කියලා. ඉතින් යකොව් ඒක තමන්ම හදාගත්ත එකක්නේ... Self fulfilling statement එකක්. තර්කන වරදක්. උන්ට එහේ දෙන්න බැරි අධ්‍යාපනයක් අපි මෙහෙ දෙනවා. ඒ නිසයි උන් අපේ උගත් උන් ටික ඇදලා ගන්නේ. ඒ සරල යථාර්ථය තේරුම් ගන්න බැරි උන් ලංකාවේ අධ්‍යාපනයට බනිනවා. ඒ රටේ මහා ජාතිය ලංකාවේ අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්නවා. කමක් නැහැ. ඕනෑම අයෙකුට තමන් කැමති රටක පදිංචි වෙන්න නිදහස තියෙනවා. නමුත් උන්ව එතනට ගෙනාව ලංකාවේ අධ්‍යාපනය පාච්චල් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. උන් මහා ලොකු වැඩකාරයෝ නම් උන්ට තියෙන්න එපැයි ප්‍රායෝගික විසඳුම්!

      අවුල තියෙන්නෙ ඔය උඩ කියපු විදිහට සමත් වෙන්නේ හරිම ටික දෙනයි. ඒ ප්‍රශ්නය ඔය විදිහට සමත් වෙච්ච නැති එක්කෙනෙක් කිව්වම ඌට ඔය වාගේ හරි ගිය උන්ව පෙන්නලා "අරූට පුළුවන් නං උඹටත් පුළුවන් වෙන්න ඕනේ - එහෙම බැරිනං ඒ උඹේ බැරිකම" (*) කියලා ඌව කපලා දානවා

      හරි ගිය (**) එකා කිව්වම සාමාන්‍යයෙන් ටිකක් හරි පිළිගැනීමක් තියෙනවා...

      (*) මේකත් අධ්‍යාපනය ක්‍රමයේ තියෙන ගැටළුවක්

      (**) “හරි යනවා” කියන්නෙ පශ්චාත් උපාධි ගන්න එකම නෙවෙයි, හැබැයි එහෙමත් ආකල්ප තියෙනවා. එහෙම හිතන එකම තමයි ගැටලුව. උන් හිතනවා උන්ට හරි ගිහිල්ලා කියලා. උන්ගේ සෝබන බොරු කතා අහලා ලංකාවේ සමහරු හිතනවා ඒ උන්ට හරි ගිහිල්ලා තමන්ට වැරදිලා නන්නත්තාර ජීවිතයක දුක් විඳිනවා කියලා. නමුත් හැමෝම ඔය බොරු කතා විශ්වාස කරන්නේ නැහැනේ. මගේත් උත්සාහය ඔය මිත්‍යා මත මේ සමාජයෙන් කඩන එකයි.

      Delete
  4. ස්වෛරිත්ව බැඳුම්කර අඩු මිලට ආපසු මිල දී ගැනීම සඳහා මුදල් වියදම් කර කෙලවුනාම දැන් කියනව ඒව විකුනන්න කැමති නැතිලු ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය ගැන ලෝකයට විශ්වාසයිලු. මේ ලිපිය කියෙවුවම තමයි විස්වාසයේ තරම තෙරෙන්න‍ෙ
    ස්තුතියි ඉකොන්

    ReplyDelete
    Replies
    1. ආර්තිකය ගැන කෙසේ වෙතත් මේ කරන වැඩ වලින් අඩු රිස්ක් එකකින් විශාල ලාබයක් ගන්න පුලුවන් බව විශ්වාසයි. ලන්කාවෙ රජය තමයි ලොකුම පාඩු ලබන්න දැනට තියෙන තත්වය අනුව.

      Delete
  5. ඉකොනොමැට්ටා,

    මම අන්තර්ජාලයේ සහ විදෙස් නිව්ස් චැනල් වල දැක්කා ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය මේවනවිට ප්‍රකාශයට පත් කර අවසන් බවත්, 2021 සඳහා ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනකු අතරේ බෙදී ගොස් ඇති බවත්, මේක ඇත්තද?

    ඒ අනුව ඔවුන් තිදෙනාම ඇමෙරිකානුවන් වන අතර ඩේවිඩ් කාර්ඩ්, ජෝෂුවා ඩී. ඇන්ග්‍රිස්ට් සහ ග්වීදෝ ඩබ්ලිව්. ඉම්බෙන්ස් වන නමුත් ත්‍යාග මුදලෙන් වැඩි කොටසක් (Approx. 50%) හිමිවන්නේ ඩේවිඩ් කාර්ඩ්ට බවයි සඳහන් වෙන්නේ.

    එහි සඳන් පරිදි මිනිමම් වේජ් (අවම වැටුප), මයිග්‍රේශන් (ආගමන) හා අධ්‍යාපනය මගින් ශ්‍රම වෙළෙඳපොළ මත වන බලපෑම් පිළිබඳ පුරෝගාමී පර්යේෂණ සහ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කළ නොහැකි එවැනි අධ්‍යයනයන්ගෙන් නිගමනවලට එළඹීමට විද්‍යාත්මක රාමුවක් සැකසීම (නැචුරල් එක්ස්පෙරිමන්ට්ස් වගේ කතාවක්) වෙනුවෙන් මෙම ආර්ථික විශේෂඥයන් තිදෙනාට ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුවේ සඳහන්. මේගැන විස්තරාත්මක පෝස්ට් එකක් ඉඩ ලැබෙන පරිද්දෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නේද?

    https://www.nobelprize.org/prizes/economic-sciences/2021/press-release/

    කෙසේ නමුත් මෑතදී කොරෝනා වසංගතය මැද්දේ රටවල් 123ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටී ඇති අතර ඇතැම් රටවල විදෙස් සංචිත වැඩි වුණාට ඒ රටවල විරැකියාව බෙහෙවින් වැඩිවෙලා. තවත් සාධක පහළ ගිහින්. ඒ නිසා ආර්ථික වර්ධනය සහ ඉදිරි ගමන සලකා බලද්දී තුළනය වන මාර්ගයකට අවධානය යොමු කළ යුතුයි. ලංකාවේත් ආර්ථිකය යම් යම් තැන්වල දී දුර්වල වුවත් සමස්තයක් ලෙස ඉදිරියට ගොස් අලුත් මාවතකට යොමුවන පදනම සකසාගත යුතුයි. සාමාන්‍යයෙන් මේ වගේ පීඩනයකට ලක්වූ ආර්ථිකයක් ලිහිල් වූ විට ඉක්මනින් ගොඩනැංවීමට පුළුවන්, සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු පසුබිම ලංකාවේ තිබෙනවා. එය පාවිච්චි නොවීම තිබෙන ප්‍රශ්නයයි. සංචාරකයන් පැමිණෙන විට තිබෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක එක උදාහරණයක් පමණයි. මේවායින් පිබිදීමක් ඇති වේවි. දැනටමත් බොහෝ දෙනෙක් ලංකාව සමග කටයුතු කිරීමට එකඟ වී සිටිනවා. මේ සියල්ල දෙස බලා මේ පුරෝකථනය කර තිබෙනවා. ඒක සිහිනයක් නෙමෙයි. වගකීමකින් එතැනට යන්න ඕන. මේක නිකම් වෙන්නේ නැහැ. වැඩ කරන්න අවශ්‍යයි. කැපවීමෙන් වැඩ කරන්න සූදානම් නම් සියයට 6.5ක වර්ධනයක් ගැනීම බැරි දෙයක් නෙවෙයි නමුත් ඒ වෙනුවෙන් මනා සැලසුමක් සහ එය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මොවුන් ගැන ලිපියක් ලියන්න හිතා හිටියත් ඉඩක් ලැබුණේ නැහැ. තිදෙනාම ආර්ථිකමිතිය පිළිබඳ විශේෂඥයින්. විශේෂයෙන්ම ඇන්ග්‍රිස්ට් සහ ඉම්බෙන්ස්. මේ වන විට මෙම ස්වභාවික පරීක්ෂණ ක්‍රමය ආර්ථික විද්‍යාවේ ඉතාම ප්‍රචලිතයි.

      Delete
  6. ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.

    පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණයක් වාර්තා කර ඇත.

    විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ.

    ReplyDelete
    Replies
    1. මම ඔය ගැන කලින් ලිපියේ ලිව්වනේ ඇනෝ.

      මහ බැංකුව ඩොලර් ප්‍රශ්නය විසඳලාද?
      http://economatta.blogspot.com/2021/10/blog-post_9.html

      ඕක වෙන බවනම් කියලා ගොඩක් කල්!

      Delete
    2. "මහ බැංකුව සතු විදේශ වත්කම් විශාල ලෙස පහත වැටීමත් සමඟ මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට විදේශ වත්කම් ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය අගෝස්තු අවසානය වන විටද ඩොලර් මිලියන 420කට ආසන්නව තිබී ඇති බව නිල සංඛ්‍යාලේඛණ පෙන්වනවා. මෙය මෙසේ විය යුතු බව අප කලින්ම සටහන් කළා. සැප්තැම්බර් අවසානය වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියන 1.4ක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකි බව අපේ ඇස්තමේන්තුවයි."

      Delete
    3. "මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය අගෝස්තු අවසානය වන විටද ඩොලර් මිලියන 420කට ආසන්නව තිබී ඇති බව නිල සංඛ්‍යාලේඛණ පෙන්වනවා"
      Can I know whether this number has been derived by you or whether its published by CBSL?

      Delete
    4. CBSL published the rupee value and I converted to dollars @200 which comes to US$ 419.5 Mn.

      Delete
  7. ලංකාවේ පහුගිය කාලේ වෝහාරික විගණනයෙන් හෙළි කළ දූෂිත මහබැංකු බැදුම්කර ගනුදෙනුවේදී එහි අදාල සමාගමේ එක අධ්‍යක්ෂකවරියක් වන්නේ නවාඩ් කබ්රාල්ගේ සහෝදරියකි. ඇයට අයත් විවිධ සමාගම් රාශියක් විසින් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරය දරන සමයේ රුපියල් කෝටි විසිහත් දහසක බැදුම්කර ගනුදෙනු මහා බැංකුව සිදු කොට තිබිණි. ඒවා ගැන සොයා බැලිය යුතු හා ලංකවේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට කල නොහැකි තරම් සංකීර්ණ මුදල් ගනු දෙනුය. තාක්ෂණිකව ගත හොත නිවාඩ් කබ්රාල් දැන් සිටිය යුත්තේ සිර ගෙදරය. මන්ද රටේ සංවේදී මුල්‍ය රහස සමග සිදු කලයුතු මහබැංකු බැදුම්කර ගනුදෙනු වලට තම එක කුස උපන් සහොදරිය සමග සම්බන්ද වීමය. මෙය ඉතාම අශිලාචාර ලැබැදියාව පිළිබඳ ගැටලුවකි.

    එසේම කබ්රාල්ගේ සමයේදී රටේ ආර්ථිකයට විශාල හානියක් කල සිදු වීමක් වන්නේ ග්‍රීක බැදුම්කර ගනු දෙනුවයි. එනම් ග්‍රීසිය බංකොලොත් බව ප්‍රකාශ කිරීමට මිනිත්තු කීපයකට පෙර රුපියල් කොටි විසි දහසකට වඩා වැඩි මුදලක් ලංකාවේ මහා බැංකුව විසින් ග්‍රීක බැදුම් කර මත ආයෝජනය කළේය. සැබවින්ම ඊට පැයකට පමණ පසු ග්‍රීසිය නිල වශයෙන්ම බංකොලොත් බව ප්‍රකාශයට පත් කල අතර ලංකාවට එම අතිවිශාල මුදල් සම්භාරයෙන් මුළු මුදල් ප්‍රමාණයම අහිමි විය. රාජපක්ෂ වරුන්ට හෝ ලංකාවේ බහුතරයක් සාමාන්‍ය ජනතාවට ආර්ථික කටයුතු ගැන මූලිකව දැනුමක් තිබේ නම් නිවාඩ් කබරල් ට අද එම ගනුදෙනුව නිසාම පමණක් සිර ගෙදර හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇත. අපි අද මුහුණ දෙන බොහෝ ආර්ථික ගැටළු ඒවායේ ප්‍රතිපලය. ඉන් පසුවද කබ්රාල් තවත් බොහෝ කාලයක් ලංකාවේ මහා බැංකුවේ අධිපති දුරය දැරිය. ලංකාව යනු සුදු කරපටි හොරුන් ආර්ථිකය ගැන තීන්දු ගන්නා රටක් බව ලෝකයම දැන ගත්තේ එදාය. එහිදී එම ගනුදෙනුවේ රටේ මුදල් අයතා ලෙස යොදවා ඔහුන් ඉපයූ මුදල කොතෙක්දැයි සෙවිය යුතුය.

    අනෙක් විශාලතම ගනුදෙනුව වන්නේ හෙජින් තෙල් ගනු දෙනුවයි. එහිදී රටට සිදු වූ පාඩුව ඩොලර් බිලියනයකට ආසන්නය තවමත් ලංකාවේ රජය එම මුදල් ලෝකයේ මුල්‍ය ආයතන ගනනාවකට ගෙවමින් පවතී. ලංකාවට චීනයෙන් අධික පොලියට ණය ගැනීමට සිදු වුයේ හෙජින් ගනු දෙනුවෙන් ලෝකයේ මුල්‍ය ආයතන සමග ඇති කර ගත ගැටළු නිසාවෙ. එම ගනුදෙනුවද නිවාඩ් කබ්රාල්ට තම ජිවිත කාලයම සිර ගෙදරක ගත කිරීමට ප්‍රමාණවත්ය. රජපක්ෂ වරු එදා ආර්ථිකය පාලනය කිරීමට බර දී තිබුනේ කැසිනෝ වැනි සූදු කාරයෙකුට බවට ඇති හොදම සාක්ෂිය හෙජින් ගනු දෙනුවයි.

    මේ පිලිබඳව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඩුවම් කිරීමට යහපාලන රජය කටයුතු නොකිරීම අරුමයකි. එදා කබ්රාල්ලා විසින් පාලනය කරන ලද දූෂිත ගණුදෙනු සහිත විනාශකාරී ආර්ථිකය විසින් රටට කරන ලද හානියේ ප්‍රතිපල පසුව යහපාලන රජයටත් අද මෙම ආණ්ඩුව යටතේ රටේ ජනතාවත් විදිමින් තිබේ. මිනිසුන් සිල්ලර කඩයෙන් අද මිලදී ගන්න හාල් ටිකට සිනි ටිකට කිරි පැකට්ටුවට හෙජින් ගනුදෙනුවේ පාඩුව එකතු වී තිබේ. පාමසියෙන් ගන්නා පැනඩෝල් පෙත්තට පවා ග්‍රීක ගනුදෙනුවේ පාඩුව, වංචාව එකතු වී තිබේ. රටේ අද පවතින මෙකි නොකී සමාජ ආර්ථික ගැටළු වලට එදා කබ්රාල් ලගේ සූදු වගකිව යුතු වේ.

    එවන් අය මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට පැමිණ ආර්ථිකය ගැන ප්‍රකාශ දීම ලංකාවේ තුල ඔවුන් නැවත බලයට පත් වීමත් කබරයා මේ කාලේ සහ අනාගතයේ දී ක්‍රියාත්මක කරන රෝඩ් මැප් දූෂිත ගනුදෙනු වැනි නාස්තිකාරී ආර්ථික වැඩ පිළිවෙල හා දූෂිතයන් පිලිබඳ කදිම සාක්ෂිකයකි.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා, ලංකාවට අවශ්‍ය තරමට විදේශ විනිමය සංචිත නැතහොත් විදේශ මුදල් නැතිකම නුතනයේ ලංකාව මුහුණ දී සිටින ඉතාමත්ම බරපතලම ආර්ථික අර්බුදය ලෙස හැදින්විය හැකි අතර මේ පිළිබඳව දැනට මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය ඔටෝමේටඩ් තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසු ලිපියක් පහත දැක්වෙනවා, මා සිතන පරිදි ආර්ථික විද්‍යාව ගැන නොදන්නා මෙවැනි ටෙක්නිකල් පොතේ උගතුන් ආර්ථිකමය කාරණා ගැන සාකච්ඡා කිරීම විසුළු සහගත දෙයක්, නමුත් මේ ගැන ඔබේ අදහ්ස් මොනවාද?

    //මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර වසර කීපයකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයකු වන ඒ මහතා, 2004 සිට 2007 දක්වා කාලයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙක් ද වෙයි. මේ ඒ මහතාගේ හඬයි.

    “ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම ආදායම් මාර්ග තුනකි. ඒ, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අපනයන ආදායමයි.

    විදේශ රැකියා කරන අයගෙන් ලැබුණ විදෙස් මුදල් ප්‍රමාණය දැන් පෙර පරිදි නොලැබෙයි. එයට හේතු දෙකකි. එකක් කොරෝනා නිසා විදෙස්වල රැකියා කළ යම් පිරිසකට රැකියා අහිමිව ඔවුන් යළි ලංකාවට පැමිණීමය. අනෙක් කාරණය ලංකාව ඇතුළේ පවතින අවිනිශ්චිතතාවය. එය නම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමය. විදෙස් මුදල් ඒකකවල වටිනාකම නිතර ඉහළ යාමය. ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 206ක් බව මහ බැංකුව කීව ද නිල නොවන වෙළෙඳපොළෙහි එහි වටිනාකම රුපියල් 230 ද ඉක්මවා පවතී. පවතින මෙම අවිනිශ්චිතතාව නිසා ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ යුරෝපයේ රටවල මෙන්ම මැදපෙරදිග සහ කොරියාවේ පවා දැනටත් රැකියා කරන ලාංකිකයන් අත්‍යවශ්‍යම කරුණකට හැර ලංකාවට මුදල් එවන්නේ නැති තරම්ය. ඔවුන් එසේ කරන්නේ සමපේක්ෂණය (තම විදෙස් මුදල්වලට අදට වඩා වැඩි රුපියල් ගණනක් හෙට ලබාගත හැකිය යන විශ්වාසය) නිසයි. මේ නිසා මෙම ගණන යම් කිසි වෙළඳපොළ තුළිත අගයක ස්ථාවර කළ යුතුයි, හොඳම දේ නිදහසේ නිසි මිළ ලබාදිය යුතු වන ලෙස ඩොලරය නිදහස් කිරීමයි. මෙහිදී රටේ ඉතාමත්ම දිළිඳු ජන්යා ආනයන මිල ඉහළ යාමෙන් වන පීඩා පාලනය කිරීමට රජය හැකිපමණ නිර්මාණශීලී විසඳුම් සොයාගත යුතුයි. හොඳම දේ ජනප්‍රිය මතය වන හැමෝටම සහන නොදී ඒවා ලැබිය යුතු අත්‍යවශ්‍යම අයට පමණක් සහනාධාර ලබා දිමයි.///

    ReplyDelete
    Replies
    1. ///ලංකාවට විදෙස් මුදල් ලැබුණු දෙවැනි ප්‍රධානතම මාර්ගය සංචාරක කර්මාන්තයයි.

      2019 අප්‍රේල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් වැටීම ආරම්භ වූ සංචාරක කර්මාන්තය තවත් බරපතල ලෙස ඇදවැටුණේ කොරෝනා වසංගතය හේතුවෙනි. අවසන් වරට සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලැබුණේ 2018 වසරේදීය. ඒ වසරේදී ඉන් ලැබුණු ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5කි.

      ඒ වසරේදී පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ 23කි. 2020 දී පැමිණි සංචාරකයන් පිරිස 5,07,311කි. 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලයේ කිසිම සංචාරකයකු ලංකාවට පැමිණ නැත. 2020 දෙසැම්බරයේදී පමණක් 393 දෙනෙක් පැමිණියහ. ඒ 393 දෙනාත් සමග එනම්, 2020 දෙසැම්බරයේ සිට 2021 ජුලි දක්වා කාලයේදී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 19,337ක් තරම් සුළුය. සංචාරක කර්මාන්තය වැටී තිබෙන තැන ඉන් පැහැදිලිය. එන්නත්කරණයෙන් ලංකාව ලබා තිබෙන සාර්ථකත්වයත්, යුරෝපයට එළැඹෙන සීත සමයත් නිසා සංචාරක කර්මාන්තය යළි පණ ගසා නැගිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවත් 2018 මට්ටමට යාමට තවත් අවුරුදු දෙක තුනක් යනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

      ලංකාවට විදෙස් විනිමය ලැබෙන අනෙක් මාර්ගය අපනයන කර්මාන්තයයි.

      සියවස් ගණනක සිට ලංකාව අපනයන කර්මාන්තයේ යෙදී සිටියත්, ඒ ක්ෂේත්‍රයෙන් ලබා සිටින ප්‍රගතියක් නැති තරම්ය. රජයේ සංඛ්‍යා ලේඛනවලින්ම ඒ බව අනාවරණය වෙයි. භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2017 දී ලංකාව ලබා තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 19,084කි. 2018 දී එය 20,264කි. 2019 දී ඒ සංඛ්‍යාව ඇමෙරිකන් ඩොලර් මිලියන 19,414කි. මා ඒ සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංඛ්‍යා දත්තය. ඒ දත්තවලින් අනාවරණය වන්නේ, ලංකාවේ අපනයන ආදායමෙහි වර්ධනයක් නැති බවය. නැතහොත් ලංකාවේ අපනයන එක තැනක පල්වන බවය.

      පවතින ඇත්ත තත්ත්වය එය නම්, ලංකාව විදෙස් විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ගවලට යොමු විය යුතුමය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය එයට හොඳ මාර්ගයකි.

      එහෙත්, ලංකාව ඉන් නිසි ප්‍රයෝජන ලබාගෙන නැති බව අවංකව පිළිගත යුතුය. රට ඇතුළේ තිබෙන ඇතැම් සමාගම් විදෙස් රටවලට එවැනි සේවා සැපැයුව ද ලංකාවේ ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණ සේවා සපයා ගන්නේ විදෙස් රටවලිනි. එමගින් වන්නේ රටේ තිබෙන විදෙස් විනිමය සංචිත ටිකත් හිස් වීමය. ඒ ප්‍රතිපත්ති නිවැරැදි විය යුතුය.///

      Delete
    2. ///මා සිතන පරිදි ලංකාවට විදෙස් විනිමය උපයාගත හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව පමණක් නොව ලංකාව පිහිටි කලාපයේ තිබෙන නේපාලය ද විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් ආදායම් උපයයි.

      මා සේවය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල අතරින් හිමි කරගෙන සිටින්නේ තෙවැනි තැනය. එහි පළමු තැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට හිමි වී තිබෙන අතර, දෙවැනි තැන හිමි කරගෙන සිටින්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. 2020 ලෝක වාර්තාව අනුව ඉම්පීරියල් විශ්වවිද්‍යාලයට සමස්ත ලෝකයෙන්ම හිමි වී තිබෙන්නේ අට වැනි ස්ථානයයි. 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයෙහි සිටි සිසුන් සංඛ්‍යාව 18,264කි. ඒ සිසුන් අතරින් සියයට 60.5ක් මහා බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමයේ රටවල සිසුහුය. ඉතිරි සියයට 39.5ම වෙනත් රටවලින් පැමිණි සිසුහුය. 2020 දී ඉම්පීරියල්හි සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 42.7ක් පශ්චාත් උපාධි හදාරණ සිසුහු වෙති. මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා රටවල ළමයින්ගෙන් එක හා සමාන මුදලක් අය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය වෙනත් රටවල සිසුන්ගෙන් එමෙන් තුන් ගුණයක් අය කරයි.

      ඒ අනුව, 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1,367කි. 2019 දී ලංකාවේ ආණ්ඩුව මුළු රටේම අධ්‍යාපන ක්ෂේත්‍රයට වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1,695කි. ඒ දෙකෙහි පරතරය ඩොලර් මිලියන 328කි.

      විදෙස් රටවල සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් මහා බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලය පමණක් එතරම් විශාල මුදලක් උපයන්නේ නම්, මහා බ්‍රිතාන්‍යයේ සියලුම විශ්වවිද්‍යාල කොපමණ මුදලක් උපයනු ඇති ද? එහෙත් ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් තම වියදමෙන් සියයට 25ක්වත් උපයා ගන්නේ ද?

      එහෙයින්, අධ්‍යාපන ක්‍රමය සහ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති නූතන ලෝකයට ගැළපෙන ලෙස සංශෝධනය කර අධ්‍යාපනයෙන් ඩොලර් ඉපයීමට ලංකාව වහා යොමු විය යුතුය.///

      Delete
    3. ///ලංකාවේ පාලන තන්ත්‍රයෙහි පවතින දුර්වලතා කෙරෙහි ද අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.

      1948ට පෙර අවුරුදු 200ක් පමණ ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. එනම්, ලංකාව පාලනය කළේ මහා බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසුව එරටට යුරෝපා වෙළෙඳපොළෙහි ප්‍රශ්න ඇති විය. කොරෝනා වසංගතයෙන් ද ප්‍රශ්න ඇති විය.

      මොන ප්‍රශ්න ඇති වුණත් මහා බ්‍රිතාන්‍යයේ පාලන තන්ත්‍රය හැරෙන්නේ රටේ ආර්ථිකය පෝෂණය කරන වාණිජ ප්‍රජාව දෙසටය. රජය සිටින්නේ ඔවුන් සමගය. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ වාණිජ ප්‍රජාවගේ අදහස් විමසීමෙනි.

      රටේ පුරවැසි සැමට ආණ්ඩුව පෙන්වන්නේ මොන ප්‍රශ්න තිබුණත් ඕනෑම අර්බුදයක් තමන්ට ජයගත හැකි බවය. ආණ්ඩුවත්, වෙළෙඳ ප්‍රජාවත්, ජනතාවත් එක්ව රට ගොඩගත යුතු බව ආණ්ඩුව නිතර ප්‍රදර්ශනය කරයි. කවර පක්ෂයක් බලයට පැමිණියත් කවරකු අගමැති වුවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එයයි.

      ඇති වී තිබෙන්නේ රටේ ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නම්, ආණ්ඩුව කතා කරන්නේ රටට ආදායම් උපයා දෙන අය සමග මිස වෙනත් අය සමග නොවේ. ලංකාව හිතන්නේ විදේශ මිනිමය හිඟකම නිසා විදෙස් විනිමය රටින් පිටට යන ආනයන නැවැත්වීමටය. එසේ කරමින් අපනයන වැඩි කරන්නට සැරසෙයි.

      ඇතැම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පිටරටවලින් අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙයි. එහෙත්, ආනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම් ආනයනික අමුද්‍රව්‍ය හා උපාංග මත පදනම් වන අපනයන දිරිගන්වන්නේ කොහොම ද? එවැනි අවස්ථාවල බ්‍රිතාන්‍ය රජය කතා කරන්නේ අපනයනකරුවන් සමගය. ඔවුන්ගේ අදහස් විමසීමෙන් තොරව ඒ පිළිබඳව තීන්දු නොගනියි.

      විශ්වවිද්‍යාලවල ආදායමෙහි ප්‍රශ්නයක් තිබේ නම්, ඒ ගැන සාකච්ඡා කරන්නේ විශ්වවිද්‍යාල සමගය. අනෙක බ්‍රිතාන්‍යයේ ආදායම් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල විවිධාකාරයෙන් දායක වෙයි. සිසුන් සංඛ්‍යාව ඉහළ තබාගෙන උපයන ආදායම ඉහළ නැංවීම එක් ක්‍රමයකි. විශ්වවිද්‍යාලවලට වැඩි ආදායමක් ලැබෙන්නේ විදෙස් සිසුන්ගෙනි.

      මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා සංගමයේ රටවල් සිසුවකුගෙන් අවුරුද්දකට පවුම් 900ක් අය කරන අතර, වෙනත් රටවල සිසුන්ගෙන් අවුරුද්දකට පවුම් 24,000ක් අය කරයි. වෙනදා විදෙස් සිසුන් සංඛ්‍යාව සියයට 30ක් පමණ වුවත්, මෙවර එය සියයට 39ක් පමණ දක්වා ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කළේය. අපේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ පමණක් රටවල් 131ක සිසුවෝ ඉගෙන ගනිති. විශ්වවිද්‍යාල පරිපාලනය රටට ආදායම් ඉපයීමට කැපවන්නේ එලෙසිනි.

      ආර්ථිකයේ මර්මස්ථාන මොනවා ද කියා සොයා බලා ඒ තැන්වලට හා පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ රජයෙනි. රජය ක්‍රීඩා නොකරයි. රජය කරන්නේ ක්‍රීඩා කරන අයට පහසුකම් සැලසීමය. අධ්‍යාපනය ලැබීමට බ්‍රිතාන්‍යයට එන සිසුන්ට අදාළ වීසා කොන්දේසි පවා අපේ නිර්දේශ මත රජයෙන් වෙනස් කර දෙයි. කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නම් තණතිල්ල (Pitch) සකසා දිය යුත්තේ පන්දු යවන්නා කියන ලෙසටය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කරන්නේ ද එලෙසිනි. ඒ නිසා පන්දු යවන්නා විකට් ගනියි. අනෙක, යම් වැඩක් සාර්ථක වුවහොත් එහි ගෞරවය දෙන්නේ එය කළ පුද්ගලයාට මිස වෙන අයකුට නොවේ. එහෙත් ලංකාවේ එසේ නොවෙයි. සාර්ථක වුවහොත් එහි ගෞරවය ආණ්ඩුව ලබාගන්නා අතර, අසාර්ථක වුවහොත් එහි වගකීම ජනතාව මත පටවයි.///

      Delete
    4. ///රටක ප්‍රශ්න තිබෙන අවස්ථාවක සිය හැකියාවට අනුව පුද්ගලයන්ට මුදල් හා බලය ලැබෙන ක්‍රමය (මෙරිටොක්‍රසි Meritocracy) ඉතා වැදගත්ය. ඉන් අදහස් කෙරෙන්නේ කුසලතා හා දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ප්‍රමුඛතාව පිරිනැමිය යුතු බවය. හේතුව, අර්බුදවලින් ගොඩ ඒමට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන් මිස පාලක පක්ශයේ වන්දිභට්ටයන් හෝ වහලුන් ලෙස ක්‍රියා කරන අවස්ථාවාදී පුද්ගලයන් නොවේ. කුසලතා සහ දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ලංකාවේ සැලකිලි අඩුය. අර්බුදවලින් ගොඩ ඒමට නොහැකිව රට අගාධයටම යන්නේ එහෙයිනි. දක්ෂතා හා කුසලතා පිරි මිනිසුන් දිරිගන්වන ක්‍රමවේදයක් (මොරල් බූස්ට් Moral Boost) රටේ පවතින්නේ නම්, අර්බුද විසඳීම මහා බරපතළ ප්‍රශ්න වන්නේ නැත.

      ලංකාවේ අද පවතින තත්ත්වය මත රටට ආදායම් උපයා දෙන මිනිසුන් සිටිය යුත්තේ පාලන තන්ත්‍රයේ ඉහළ (කrවන් Crown) තනතුරුවලය. හේතුව, ආදායම් උපයන ක්‍රමත්, ඒ සඳහා තිබෙන අවස්ථා සේම බාධකත් මැනවින් දන්නේ ඔවුන් නිසාය. යටත් විජිත යුගයේ රටවල් ආක්‍රමණය කළේ අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහාය. එහෙත්, නූතන යුගයේ ඒ අවශ්‍යතා සපුරා ගන්නේ ගනුදෙනු මගිනි. දෙපාර්ශ්වයටම ජයග්‍රහණ අත්වෙන වෙළෙඳ ගිවිසුම් මගිනි. පාලන තන්ත්‍රයේ මුදුණේ (කrව්න් Crown) සිටින පුද්ගලයන් ඒවා නොදන්නේ නම්, රට වළටම වැටෙනවා මිස ගොඩට ඒමට නොහැකි වෙයි. අනෙක් කාරණය, රටේ දියුණුව සඳහා රටෙහි සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව ඉහළ නැංවිය යුතුය. පහළ සිටින අයට දිරිගැන්වීම් දී ඔවුන් ඉහළට ගැනීම බ්‍රිතාන්‍ය ක්‍රමයයි. ඒ සඳහා නව ව්‍යාපාර බිහි කිරීමට විශ්වවිද්‍යාලවලට විවිධ දීමනා හා සහන ද ලැබෙයි.

      බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාව/ යුරෝපය තුළ අලුත් නිෂ්පාදන හා සමාගම් බිහිවන්නේ විශ්වවිද්‍යාලවලින් කරන පර්යේෂණවල ප්‍රතිඵල ලෙසය. ඉන්ටෙල්, ගූගල්, ෆේස්බුක් වැනි සමාගම් සියල්ල විශ්වවිද්‍යාල පර්යේෂණවල ප්‍රතිඵලය. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් එවැනි සැලකිය යුතු මෙහෙවරක් නොවෙයි. මා උගත් සහ කලක් ඉගැන්වූ මොරටුව විශ්වවිද්‍යාලයෙන් එවැනි සාර්ථක පර්යේෂණ හා පුද්ගලයන් බිහි වුවත්, ඒවාට සහ ඔවුනට අත දී ඉදිරියට ගන්නා ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක නොවෙයි.

      ලංකාවේ විශ්වවිද්‍යාල රටේ කර්මාන්ත සමග ඍජුව බද්ධ කළ යුතු බව මගේ අත්දැකීමයි. උපකුලපතිවරුන්ට ඉලක්ක දිය යුතුය. ඒ ඉලක්ක සපුරන්න බැරි අය නෙරපා දැමිය යුතුය. එසේම ඉලක්ක සපුරන අය දිරිගැන්විය යුතුය. අගය කිරීමෙන්, දීමනා දීමෙන් දිරිගැන්විය හැකිය. ලංකාව දක්ෂයන් හා කුසලතා පිරි මිනිසුන් ඕනෑ තරම් සිටින රටකි. ප්‍රශ්නය, ඔවුනට නිසි තැන හිමි නොවීමය. ලංකාවේ ආණ්ඩුව කරන බරපතළම වරද ව්‍යාපාර කිරීමය. වෙළෙඳ ව්‍යාපාර කිරීම භාර දිය යුත්තේ පෞද්ගලික අංශයටය. මහා බ්‍රිතාන්‍ය ආණ්ඩු මීට අවුරුදු 200කට පෙරත් ව්‍යාපාර කළේ නැත.

      අවුරුදු 200කට ඉහතදී ලංකාව ඇතුළු රටවල් යටත් කරගත්තේ පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම් විසිනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කළේ, ඒ සමාගමෙන් යටත් කරගන්නා රටවල පාලනය භාර ගෙන ඒ සමාගම්වලට සහ ඒ රටවල ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමය.

      ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ පහසුකම් සලසන්නකු (ෆැසිලිටේටර් Facilitator) ලෙසමය. විවේචන තිබුණත්, මහා බ්‍රිතාන්‍යය ලංකාව පාලනය කළේ එලෙසිනි.

      1942/43 මුදල් වර්ෂයේ ලංකාවේ අය රුපියල් විසි කෝටි හය ලක්ෂ හත්සිය හතළිස් හතකි (20,00,06,747). වැය රුපියල් දහඅට කෝටි පනස් ලක්ෂ හය දහස් පන්සිය හයකි (18,50,06,506). ඒ අනුව, අපි බනින දොස් කියන සුද්දන්ගේ පාලන කාලයේ වෙනත් දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්න කෙසේ වෙතත් ආර්ථිකය ගත් විට ලංකාවේ තිබුණේ අය වැය අතිරික්තයකි. එහෙත්, දැන් ණය ගෙවීමටත් විදෙස් රටවලින් ණය ගනී. ආණ්ඩුව මගින්ම ව්‍යාපාර කිරීම එයට මූලිකම හේතුවක් බව මගේ තක්සේරුවයි.”/////

      මේ සාකච්ඡාව ගැන හිතන්නේ මොකක්ද? මෙහි ඇති වැරදි ආර්ථික සංකල්ප ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද මේවා (අධ්‍යාපනය විකුණන උපාධි කඩ වැනි සංකල්ප) සමාජගතවීම එතරම් හොඳ දෙයක් නොවෙයි නේද?

      Delete
  9. ලංකාව ඉතාමත් බරපතල අධි උද්ධමන තත්වයයක පාමුල බව ඩබ්. ඒ විජේවර්ධන ඇතුළු ආර්ථික විශේෂඥයෝ මාධ්‍ය වලට වාර්තා කළේ ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්දිත උද්ධමනය (Repressed Inflation) විවෘත උද්ධමනයක් (Open Inflation) බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් පවසමින්. CBSL ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පවසන්නේ පවතින ඉතාමත් බරපතල අධි උද්ධමනකාරී ආර්ථික පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින් මහ බැංකුව තව දුරටත් මුදල් අච්චු ගැසීම කර ගෙන ගියහොත් එය අධි උද්ධමනයක් (Hyperinflation) බවට පත් වීම නොවැලැක්විය හැකි බවයි. එසේම විනිමය අනුපාතය පිළිබඳව ද එය එසේම ආදාළ වන බව ආචාර්ය විජේවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

    “අද ලංකාවේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ එමගි න් ඇතිවිය හැකි උද්ධමනකාරී බලවේගය අපට හඳුන්වන්න පුළුවන් මර්ධිත උද්ධමනයක් (Repressed Inflation) ඉවත් කළ පසු පැන නැගුනු තත්ත්වයක් හැටියට. මෙතෙක් කල් රජය ක්‍රියාත්මක කළේ උපරිම සිල්ලර මිලක් නියම කරලා, ගැසට් මගින් ඒ උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ මර්ධනය කිරීමට තමයි කටයුතු කරලා තිබුණේ. නමුත් එම කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින නිසා.”

    “මේ නිසා මේ ගැසට් ඉවත්කර ගත් පසුව (ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ වැඩිදියුණු වෙලා තිබෙන ප්‍රෙෂර් එක සේෆ්ටි වෑල්ව් එක හරහා එලියට පනිනවා වගේ) අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙනවා. මෙහිදී ඇතිවෙන උද්ධමනකාරී බලවේගය අපට එකවරක් ඇතිවන මිල වැඩිවීමකට සීමා කරගන්න පුළුවන්, මහ බැංකුව නැවත වරක් මුදල් නෝට්ටු මුද්‍රණය කරලා, මේ උද්ධමනයට තව බලයක් සැපයූවේ නැත්නම්. නමුත් මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇතිවෙච්ච මිල වැඩිවීමට බලයක් සැපයූවහොත් ඇත්තවශයෙන්ම සිදුවන්නේ එකවරක් පමණක් වැඩිවුණු මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් (Hyperinflation) බවට පාත්‍ර වෙන්න පුළුවන්.”

    “අපේ විනිමය අනුපාතිකයත් අද තියෙන්නේ මෙන්ම මේ තත්ත්වයේ. විනිමය අනුපාතිකයේ වටිනාකම මහ බැංකුව විසින් රු. 203කට නියම කරලා තියෙන එක අපිට හඳුන්වන්න පුළුවන් MRP (Maximum Retail Price) එකක් නියම කරපු එකක් හැටියට. නමුත් ඒ ප්‍රමාණයට වෙළෙඳපොළේ ඩොලර් ලැබෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක දී මේ MRP එක ඉවත් කරපු ගමන්ම විනිමය අනුපාතිකයත් මේ වගේම උඩට පැනලා මහා භයානක විදියට විනිමය අනුපාතිකය ශ්‍රී ලංකාවේ අඩුවෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මහබැංකුව සහ රජය කටයුතු කළොත් වඩා සුදුසුයි.”

    එමෙන්ම දැනට ලංකාවේ ආර්ථිකය ඉතාමත්ම භයානක ලෙස අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙනුවෙන් එහි සභාපති ආචර්ය ලක්ෂ්මන් සිල්වා පෙන්වා දෙන්නේ මේ ලංකාවේ ඇති බරපතල ආර්ථික අර්බුදය නිසාම ඒ හේතුවෙන් ලංකාවේ බැංකු පද්ධතිය කිසිදා නොසිතූ විරූ ඉතාමත්ම බරපතළ අවදානමකට පත්ව ඇති බවයි. දැනට ලංකාවේ රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද චමුදිත සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මේ බරපතල ආර්ථික ව්‍යසනය හෙළිදරව් වී තෙබෙන බවයි පැවසෙන්නේ. මේක ඇත්තද?

    (Link-https://www.youtube.com/embed/ZQ9ed0_BuIc?rel=0)

    ලංකාවේ ආනයනය, අපනයනය දෙකම ක්‍රියාත්මක විය යුතුය. අඩු ගානේ අපනයනයට බහාලුකමක් ගන්න පුළුවන් වෙන්නෙත් ආනයනයක් ආවොත් තමයි.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...