කලින් ලිපිය බොහෝ දෙනෙක් කැමති ආකාරයේ ලිපියක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, ඒ ආකෘතියෙන්ම තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. එසේ නොකර, මාක්ස්වාදයේ භාවිතය පිළිබඳ ප්‍රශ්න තිබුණත් න්‍යායාත්මකව නිවැරදියි කියා හිතන අයට එම මතවාදය දරන අයද භක්තිවාදීන් පිරිසක් පමණක්ය කියන කාරණය පැහැදිලි කරන්න අසීරුයි. වැඩිකල් නොගොස් ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙන්නට නියමිත මතවාදී රික්තකය ඇතුළේ අඳුරේ අතපත ගාන්නට සිදුවන විශාල පිරිස අතරින් කිහිප දෙනෙක් හෝ පස්සේ දවසක හරි මේවා කියවයිනේ.
කලින් ලිපියෙන් අපි කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හඳුනා ගත්තනේ. එය එම ශ්‍රිතයේ මූලික මට්ටමේ ඉදිරිපත් කිරීමක්. එහි සීමාවන් තිබෙනවා. දැනට අපි මෙය ඕනෑවට වඩා සංකීර්ණ කර නොගෙන සිටිමු. මෙහිදී අපි කළේ ශ්‍රමය හා ප්‍රාග්ධනය කිසියම් ඵලදායී නිෂ්පාදිතයක් බවට පත් වීමේ ක්‍රියාවලිය ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කරන එකයි.
K,L ➞ Y
Y = F(K,L) = AKαLß
මෙහි Y කියන්නේ නිෂ්පාදිතය. K කියන්නේ යෙදවූ ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය. L කියන්නේ යෙදවූ ශ්‍රම බලකායේ ප්‍රමාණය. α කියන්නේ 0 හා 1 අතර නියතයක්. මෙතෙක් කතාව සමඟ මාක්ස්වාදියෙකුට වුවත් එකඟ වෙන්න අමාරු වෙන්න හේතුවක් නැහැ. ධනවාදය හා මාක්ස්වාදය තීරණාත්මක ලෙස වෙනස් වෙන්නේ ඔය නිෂ්පාදිතය සාධාරණ ලෙස බෙදිය යුත්තේ කොහොමද කියන කාරණය සම්බන්ධවයි. මම දැනට මාක්ස්වාදී අදහස පැත්තකින් තියලා ධනවාදී අදහස පැහැදිලි කරන්නම්.
අපි පෙර ලිපියෙන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණක ගැනත් කතා කළානේ. මම මෙහි නැවත උපුටා දක්වන්නම්.
∂Y/∂K = αAKα-1L1-α = αAKαL1-α /K = αY/K
∂Y/∂L = (1-α)AKαL-α = (1-α)AKαL1-α /L = (1-α)Y/L
මේ එක් එක් පාර්ශ්වික අවකල සංගුණකයෙන් අදහස් වෙන්නේ කුමක්ද?
∂Y/∂K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.
∂Y/∂L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.
සාධාරණ ලෙස ලාභ බෙදී යා යුතු ආකාරය පිළිබඳව ධනවාදී අදහස කුමක්ද? මෙහි අප ලාභ කියන එකෙන් අදහස් කරන්නේ අතිරික්තය කියන එකයි. එහෙමත් නැත්නම් නිෂ්පාදනයේදී එකතු වූ අගය. එයත් ධනවාදීන්ට හා මාක්ස්වාදීන්ට එකඟ විය හැකි අදහසක්.
ධනවාදියෙකු හිතන විදිහට සාධාරණ බෙදීමක් යනු ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වැටුප් ලෙස ශ්‍රමිකයන්ටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ලාභාංශ හෝ පොලී ලෙස ප්‍රාග්ධනයේ හිමිකරුවන්ටත් හිමි විය යුතු බවයි. ඒ ඇයි?
ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය යනු තනිකරම ශ්‍රමිකයා විසින් ලබා දුන් ශ්‍රම දායකත්වය නිසා වැඩි වූ නිෂ්පාදිතය. ශ්‍රමිකයා විසින් එම අමතර ශ්‍රම දායකත්වය ලබා නුදුන්නානම්, නිෂ්පාදිතය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, එම වැඩි වූ නිෂ්පාදිතයේ සාධාරණ අයිතිය තිබෙන්නේ ශ්‍රමිකයාටයි.
ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය යනු තනිකරම ප්‍රාග්ධන හිමියා විසින් ලබා දුන් ප්‍රාග්ධන දායකත්වය නිසා වැඩි වූ නිෂ්පාදිතය. ප්‍රාග්ධන හිමියා විසින් එම අමතර ප්‍රාග්ධන දායකත්වය ලබා නුදුන්නානම්, නිෂ්පාදිතය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, එම වැඩි වූ නිෂ්පාදිතයේ සාධාරණ අයිතිය තිබෙන්නේ ප්‍රාග්ධන හිමියාටයි.
ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට මෙසේ ලියන්න පුළුවන්.
w = ∂Y/∂L = (1-α)AKαL-α = (1-α)AKαL1-α /L = (1-α)Y/L
r = ∂Y/∂K = αAKα-1L1-α = αAKαL1-α /K = αY/K
ශ්‍රම ඒකක L ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙන නිසා වැටුප් ලෙස wL මුදලක් වැය වෙනවා. ප්‍රාග්ධන ඒකක K ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙන නිසා ලාභාංශ හෝ පොලී අනුපාතික ලෙස rK මුදලක් වැය වෙනවා. සමස්තයක් ලෙස නිෂ්පාදන සාධක වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් කරන්න වෙනවද?
wL = (1-α)Y/L. L = (1-α)Y
rK = αY/K. K = αY
wL + rK = (1-α)Y + αY = Y
අන්තිමේදී මුළු අතිරික්තයම ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ විදිහට බෙදී ගිහින්. ඒ නිසා, ශ්‍රමිකයා හා ප්‍රාග්ධන හිමිකරු විසින් තමතමන්ගේ දායකත්වය වෙනුවෙන් ලැබිය යුතු නියම ප්‍රතිලාභ ලබා ගත්තට පස්සේ තවත් ගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.
හැබැයි මේ විදිහට අතිරික්තය බෙදී යාමෙන් පසු ශ්‍රමිකයාට ලැබෙන මුදල ශ්‍රමිකයාගේ පවුල නඩත්තු කරන්න හෝ හිතේ හැටියට විනෝද වෙන්න ප්‍රමාණවත් මුදලක් වන බවට මෙහි කිසිදු සහතිකයක් නැහැ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවක තමන්ට ලැබුණු වැටුප ගැන ශ්‍රමිකයා සතුටු නොවෙන්න පුළුවන්. නමුත්, ශ්‍රමිකයාට ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් දෙන්න සිදු වුනොත්, ප්‍රාග්ධන හිමියාට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යනවා.
සමාජවාදීන් බොහෝ වෙලාවට කරන්නේ හැම විටම ශ්‍රමිකයාගේ පැත්ත ගන්න එකයි. ප්‍රාග්ධන හිමියාට හෙට්ටු කිරීමේ බලය වැඩිනම් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ විදිහට ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ශ්‍රමිකයන්ගේ පැත්තෙන් ගන්නා සාමූහික ක්‍රියාමාර්ගයකින් ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලබා ගන්න පුළුවන් වගේම එය සාධාරණයි.
එහෙත්, ශ්‍රමිකයාට පවුල නඩත්තු කරන්න ප්‍රමාණවත් වැටුපක් නොලැබීම වැනි කාරණා මත ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ලබා ගන්න තිබෙන අයිතිය වැළැක්වීමේ සාධාරණත්වයක් නැහැ වගේම ඒ මට්ටමට ගොස් ප්‍රාග්ධන හිමියා පීඩාවට පත් කිරීමෙන් වෙන්නේ රත්තරන් බිත්තර දාන හංස ධේනුවගේ බඩ පැලීම වැනි දෙයක්.
තරඟකාරී නිදහස් වෙළඳපොලක මේ හෙට්ටු කිරීමේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබෙනවානම් වෙනත් තැනක සේවයට ගොස් එය ලබාගත හැකියි. ඒ වගේම, ප්‍රාග්ධන හිමියාට ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය නොලැබෙනවානම් තමන්ගේ ප්‍රාග්ධනය වෙනත් තැනක ආයෝජනය කළ හැකියි. ඒ නිසා, සමතුලිතතාවය නැති වෙන්නේ නැහැ.
Y = AKαLß
ReplyDeleteමේ සූත්‍රයේ දැක්වෙන ආකාරයේ සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවද?
නැතිනම්
Y = AKαLß + BK+CL+D
වැනි වෙනත් සම්බන්ධ තියෙන්න බැරිද?
මෙහි α නියතයක් වියයුතුද? එයත් Kසහ L හි ශ්‍රිතයකනම්.
අනිත් අතට α අගය ලබාගන්නේ කෙසේද? බටහිර භෞතික විද්‍යාෙවේ නම් ඉලෙක්ට්‍රෝනයක ආරෝපනය වැනි දෙයක් සෙවීමට පරික්ෂණ කල හැකියි ඒ සෑම ඉලෙක්ට්‍රෝනයක්ම සර්ව සමයි කියා උපකල්පනය කිරීමෙන්.
නම්ත් මෙතනදී Y,K,L අගයයන් ඒ විදියට ගන්න බෑ.
අවසාන වශයෙන් α අගය >1 හෝ < 0 වුනොත් මොකද වෙන්නේ?
හොඳ ප්‍රශ්න ටිකක්! පළමුව, මෙහි ලියා ඇති දේ සැලකිල්ලෙන් කියවීම පිළිබඳව ස්තුතියි!
Delete//මේ සූත්‍රයේ දැක්වෙන ආකාරයේ සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවද?//
මෙය තීරණය වෙන්නේ "සම්බන්ධයක් තියෙනවා" කියන එකෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද කියන එක මතයි. ඉර වටා පෘථිවිය චලනය වන ආකාරය ගණිත සමීකරණයකින් පැහැදිලි කළ හැකි ආකාරයෙන්ම නිෂ්පාදන සාධක හා නිෂ්පාදිතය අතර සම්බන්ධය මේ ආකාරයේ ආකෘතියකින් පැහැදිලි කළ හැකියි. වෙනත් ඕනෑම ආකෘතියක් වගේම මෙයත් ආකෘතියක් පමණයි. ආකෘතියකින් කරන්නේ පවතින හෝ අපට නිරීක්ෂණය වන ලෝකය සරලව තේරුම් ගැනීම පහසු කරන එක. ඔප්පු කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ මේ ආකෘතිය නිරීක්ෂණ සමඟ ගැලපෙනවද කියන එකනම් පිළිතුර ඔව්. හැම විටම ගැලපෙනවද කියන එකනම් පිළිතුර නැහැ.
//නැතිනම් Y = AKαLß + BK+CL+D වැනි වෙනත් සම්බන්ධ තියෙන්න බැරිද?//
පැහැදිලිවම පුළුවන්. නමුත්, වෙනත් ඕනෑම ආකාරයේ සම්බන්ධයක් වෙන්න බැහැ. නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකාරයේ සම්බන්ධයක් විය යුතුයි.
//මෙහි α නියතයක් වියයුතුද? එයත් Kසහ L හි ශ්‍රිතයකනම්.//
මෙය මට කතා කරන්න අවශ්‍යව තිබෙන දෙයක්. α නියතයක් නෙමෙයි. එයත් Kසහ L වැනිම විචල්‍යයක්. එහෙත්, Kසහ L මෙන් අපට α පහසුවෙන් වෙනස් කරන්න බැහැ. එය වෙනස් වෙන්නේ නිෂ්පාදන තාක්ෂනය දියුණු වීමට සමගාමීව. කාලයත් සමඟ α වෙනස් වෙනවා. එහෙත්, Kසහ L වලට සාපේක්ෂව කෙටිකාලීනව α නියතයක් සේ සලකන්න පුළුවන්. ඉර එක තැන තිබෙන සේ සලකා ඉර වටේ ග්‍රහයන් චලනය වන ආකාරය ආකෘතිගත කරනවා වගේ වැඩක්. මෙහිදී ඉරත් චලනය වනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. α යනු Kසහ L වල ශ්‍රිතයක් වෙන්න බැරිද? දිගුකාලීනව එසේ වෙන්න පුළුවන්. නමුත්, ∂α/∂K සහ ∂α/∂L ශුන්‍යයට ආසන්නයි. කෙටි කාලයක් තුළදී ශුන්‍ය ලෙස සැලකිය හැකියි. පොළොවේ ස්කන්ධය ඉරේ චලිතයට බලපානවා කියන එක නොසලකා හරිනවා වගේ දෙයක්.
//අනිත් අතට α අගය ලබාගන්නේ කෙසේද? බටහිර භෞතික විද්‍යාෙවේ නම් ඉලෙක්ට්‍රෝනයක ආරෝපනය වැනි දෙයක් සෙවීමට පරික්ෂණ කල හැකියි ඒ සෑම ඉලෙක්ට්‍රෝනයක්ම සර්ව සමයි කියා උපකල්පනය කිරීමෙන්.
නම්ත් මෙතනදී Y,K,L අගයයන් ඒ විදියට ගන්න බෑ.//
හරියටම මෙය කරන විදිහ නොවුනත් අදහසක් ලබා ගැනීම සඳහා පැහැදිලි කිරීමක් කරන්නම්. කිසියම් රටක Y,K,L අගයයන් අපට මැනිය හැකියි. වසර ගණනාවක් සඳහා එම දත්ත තිබෙනවා. ඒ නිසා, ඉහත සම්බන්ධය උපයෝගී කරගෙන පහසුවෙන්ම α අගය හොයාගන්න පුළුවන්. කිසියම් රටක් සඳහා මෙම අගය සාමාන්‍යයෙන් 0.3-0.35 පරාසයේ අගයක්. කර්මාන්ත හෝ සමාගම් මට්ටමට ගියොත් අදාළ නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව මේ අගය විශාල ලෙස විචලනය විය හැකියි. ඔබ කියනවා වගේම රටේ සියළුම කර්මාන්ත භාවිතා කරන්නේ සර්වසම නිෂ්පාදන තාක්ෂණයක් කියන කිසිසේත්ම නිවැරදි නැති උපකල්පනය මෙහි තිබෙනවා කියන්නත් පුළුවන්. නමුත්, එම උපකල්පනය නිවැරදි නොවුනා කියා ආකෘතිය බිඳ වැටෙන්නේ නැහැ. අපට රටේ සමස්ත තත්ත්වය දෙස ආකෘතිය හරහා වියුක්තව බලන්න පුළුවන්. සමස්තය සඳහා නිවැරදි සේ පෙනෙන ආකෘතිය සෑම තනි සමාගමක් සඳහාම වෙන වෙනම නොයොදන තාක් මේ උපකල්පනය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
//අවසාන වශයෙන් α අගය >1 හෝ < 0 වුනොත් මොකද වෙන්නේ?//
මෙයින් කියැවෙන්නේ නිෂ්පාදන සාධක වැඩි වෙද්දී නිෂ්පාදිතය පහළ බසිනවා කියන එකයි. ධනවාදී ක්‍රමයක් යටතේනම් ඒ මට්ටමට එන්න කලින් නිෂ්පාදන සාධක නිෂ්පාදනය සඳහා යොදා ගැනීම නවතිනවා.
උදාහරණයක් විදිහට α>0 කියන එකෙන් අදහස් වෙන්නේ ß<0 කියන එකයි. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවකට තවත් සේවකයින් බඳවා ගත්තොත් නිෂ්පාදිතය සුළුවෙන් හෝ ඉහළ යනවා වෙනුවට තිබෙන නිෂ්පාදිතයත් යම් තරමකින් හෝ අඩු වෙනවා කියන එකයි. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය සෘණ අගයක්නම්, ලාබ වෙනුවෙන් කටයුතු කරන කිසිම සමාගමක් වැටුප් ගෙවා තවත් සේවකයෝ බඳවා ගන්නේ නැහැ. රජය එසේ කරන අවස්ථා තිබෙනවා. ප්‍රතිඵලය පැහැදිලියිනේ.
ඒ වගේම α<0 කියන එකෙන් අදහස් වෙන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය සෘණ අගයක් බවයි. සෘණ පොලී අනුපාතිකයකට මුදල් ආයෝජනය කිරීම දුලබ දෙයක්. පොලී ගෙවා ප්‍රාග්ධනය ලබා ගෙන තිබෙන නිෂ්පාදිතයත් අඩු කර ගන්න ලාබ වෙනුවෙන් කටයුතු කරන කිසිම සමාගමක් කැමති වෙන්නේ නැහැ. රජයයන් විසින්නම් සමහර වෙලාවට එවැනි දේ කරනවා.
මම මේක තේරුම් ගැනීමට ඩේටා දාල තියන ශ්‍රිතයක් හෙව්ව. මේ ලිපිය හමු වුනා. එහි අග වගුවක් දක්වා තිබෙනවා නිෂ්පාදනය සහ වියදම අතර. https://mbounthavong.com/blog/2019/2/19/cobb-douglas-production-function-and-total-costs
DeleteThis comment has been removed by the author.
Deleteදැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එකොන්, මේක මේ පැහැදිලි කිරීමකට අහන්නේ (දන්නවා කියල පෙන්වන්න නෙමෙයි) දැන් ඔය උඩ ලින්ක් එකේ නිෂ්පාදනය වැඩි වෙනව එක්කම වියදම එක වැඩි වෙන බව පෙන්වනවා.. දැන් මේ දෙවෙනි ලින්ක් එකේ තුන්වෙනි ප්‍රශ්නය බලන්න. වැටුප , ප්‍රඩක්ටිවිටි එක සමග වැඩි එනවා කියනව තරඟකාරී වෙළඳපල එක හා ලාභ ලැබීමේ උපරිමය නිසා කියල. .ඔය ශ්‍රිතයෙන්ම තමා ඒක ඔප්පු කරලා තියෙන්නේ. නමුත් පළමුවෙනි ලින්ක් එකේ වියදම වැඩි වෙනවා කියනවා නිෂ්පාදනය වැඩි වෙනකොට. එනිසා පඩි වැඩිවෙන්න විධිහක් නැහැ නේද?
Deleteදෙවන ප්‍රශ්නය: දැන් එතකොට පඩි වැඩි කරන්න නම් ධනවාදී හෙවත් ව්‍යාපාර අයිතිකරු ගේ හොඳ හිත නේද වැදගත් වෙන්නේ? (සහ ඔහුට තමන්ගේ අවශ්‍යම සේවකයන් රඳවා ගැනීමට අවශ්‍ය නිසා ) තනි පුද්ගල අයිතිය නේ තියෙන්නේ. එනිසා ශ්‍රිතයකට වඩා ඇත්තට වෙන්නේ ප්‍රාග්ධනය හිමිකරු මත පඩි වැඩිවීම රඳා පවතින එක නේද? එතකොට මම වගේ කෙනෙකුට තර්ක කරන්න බැරිද ඔය අනුව සාමුහික අයිතියකදී පඩි වැඩිවෙන බව. (තනි පුද්ගලයෙකු මත රඳා නොපවතින නිසා) -Link: Please see the 3rd question: http://morris.marginalq.com/OTM732_files/chapter%202%20homework%20answers.pdf
පළමු ලින්ක් එකේ තියෙන්නේ හරි අවබෝධයක් නැති වල්මත් වූ අයෙකුගේ තේරුමක් නැති විකාර වැඩක්. හැබැයි තේරුමක් නැති වැඩකට වුනත් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. අජිත්ට අවශ්‍ය ඉගෙන ගන්න නිසා එහි තිබෙන දේ මත බර තියන්න එපා. අජිත් හිතන විදිහ හෝ ලියපු දෙයක් නොවන නිසා වැරදි පෙන්වන්න හෝ කරලා තිබෙන වැඩේම තේරුමක් නැති වැඩක් කියා පෙන්වන්න මම කාලය යොදවන්නේ නැහැ.
Deleteකෙටියෙන් කිවුවත් එහිම උඩින් ලියා තිබෙන විදිහට කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ alpha + beta = 1. නමුත් පසුව එය නොසලකා හැර "If alpha = 2, then.." කියා ගණන් හදා පෙන්වනවා. එවිට තනිකරම වැරදි අදහසක් එන්නේ. "a 10% increase in labor (L) will result in a 20% increase in output (Y)" කියන ප්‍රතිඵලය එන්නේ alpha = 2 වීම මත. මෙහිදී පෙනෙන්නේ ශ්‍රමය වැඩි කරන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් නිෂ්පාදිතය වැඩිවන බවකුයි. නමුත්, alpha < 1 නිසා කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ශ්‍රමය වැඩි කරන අනුපාතයට වඩා අඩු අනුපාතයකිනුයි නිෂ්පාදිතය වැඩි වෙන්නේ.
ඉන් පසුව ඔහු alpha සහ beta ඇස්තමේන්තු කරනවා. මෙය කළ යුත්තේ කිසියම් රටක ඇත්ත දත්ත යොදාගෙන (දෙවන ලින්ක් එකේ වගේ). නමුත්, ඔහු ඇස්තමේන්තු කර තිබෙන්නේ ඔහුම simulate කළ දත්ත යොදාගෙන. ඔහුගේ දත්ත අනුව alpha = 0.1747 හා beta = -1.4310 අගයන් ලැබී තිබෙනවා. මෙය තනිකරම වැරදියි. කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ මේ අගයයන් 0-1 අතර තිබිය යුතුයි. ඒ නිසා, ඔය ප්‍රස්ථාරය ගැන කතා කරන්න මහන්සි වෙන එකේ කිසිම තේරුමක් නැහැ. එය නිකම්ම ප්‍රස්ථාරයක් පමණයි.
දෙවන ලින්ක් එකේ තිබෙන දේවල් වලනම් පෙනෙන්න වැරැද්දක් නැහැ. මම හිතන්නේ එය අජිත්ට මෙය හදාරන්න හොඳ මූලාශ්‍රයක් කියලා.
පළමු ලින්ක් එකේ තිබෙන දේවල් වල එතරම් තේරුමක් නැතත් අජිත් අහලා තිබෙන ප්‍රශ්න වල තේරුමක් තිබෙනවා.
//දැන් ඔය උඩ ලින්ක් එකේ නිෂ්පාදනය වැඩි වෙනව එක්කම වියදම එක වැඩි වෙන බව පෙන්වනවා.. දැන් මේ දෙවෙනි ලින්ක් එකේ තුන්වෙනි ප්‍රශ්නය බලන්න. වැටුප , ප්‍රඩක්ටිවිටි එක සමග වැඩි එනවා කියනව තරඟකාරී වෙළඳපල එක හා ලාභ ලැබීමේ උපරිමය නිසා කියල. .ඔය ශ්‍රිතයෙන්ම තමා ඒක ඔප්පු කරලා තියෙන්නේ. නමුත් පළමුවෙනි ලින්ක් එකේ වියදම වැඩි වෙනවා කියනවා නිෂ්පාදනය වැඩි වෙනකොට. එනිසා පඩි වැඩිවෙන්න විධිහක් නැහැ නේද?//
ආකෘතියක් යොදා ගන්නේ යම් නිශ්චිත කාරණයකට. ආකෘතියකින් එය යොදා ගන්නා මූලික දේ මිසක් අනෙක් හැම දෙයක්ම පැහැදිලි කරන්න බැහැ.
මගේ ලිපියේ පෙන්වා ඇති ආකාරයට වගේම ඉහත දෙවන ලින්ක් එකේද ඇති පරිදි:
w = (1-α)Y/L
කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ ඵලදායීතාවය නිරූපනය වෙන්නේ A වලින්. A වැඩි වන විට Y වැඩි වන නිසා w ද වැඩි වෙනවා.
වියදම වැඩි වීම හා වැටුප් වැඩි වීම අතර සෘජු සම්බන්ධයක් නැහැ. වියදම වැඩි වුනත් ආදායමද වැඩි වෙනවානම් ලාබ වැඩි වී වැටුප් වැඩි වෙන්න පුළුවන්. වියදම අඩු වුනත් ආදායමද අඩු වෙනවානම් වැටුප් වැඩි නොවෙන්න පුළුවන්.
තරඟකාරී වෙළඳපොලක සමාගමක ලාභ ශුන්‍යයි. ඒ කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවුවට පස්සේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. alpha < 1 නිසා වැඩි වැඩියෙන් සේවකයින් බඳවා ගනිද්දී නිෂ්පාදනය වැඩි වන්නේ එන්න එන්නම අඩුවෙන්. නමුත් ගෙවිය යුතු වැටුප් අඩු වන්නේ නැහැ. ඒ නිසා, එක මට්ටමකදී තව දුරටත් සේවකයින් බඳවා ගෙන ලාබ වැඩි කරගන්න බැරි වෙනවා. එතනින් එහාට නිෂ්පාදනය වැඩි කරන්න බැහැ. කළොත් පාඩු වෙනවා. මේ මට්ටමේදී ගෙවන වැටුප තමයි ගෙවිය හැකි උපරිමම වැටුප. ඒ නිසා, නිෂ්පාදන තාක්ෂනය වෙනස් වුනේ නැත්නම් එතනින් එහාට වැටුප් වැඩි වෙන්නේ නැහැ. නමුත්, ඵලදායීතාවය වැඩි වී නිෂ්පාදන තාක්ෂනය වෙනස් වූ විට වැටුප් වැඩි වෙනවා.
//දෙවන ප්‍රශ්නය: දැන් එතකොට පඩි වැඩි කරන්න නම් ධනවාදී හෙවත් ව්‍යාපාර අයිතිකරු ගේ හොඳ හිත නේද වැදගත් වෙන්නේ? (සහ ඔහුට තමන්ගේ අවශ්‍යම සේවකයන් රඳවා ගැනීමට අවශ්‍ය නිසා ) තනි පුද්ගල අයිතිය නේ තියෙන්නේ. එනිසා ශ්‍රිතයකට වඩා ඇත්තට වෙන්නේ ප්‍රාග්ධනය හිමිකරු මත පඩි වැඩිවීම රඳා පවතින එක නේද? එතකොට මම වගේ කෙනෙකුට තර්ක කරන්න බැරිද ඔය අනුව සාමුහික අයිතියකදී පඩි වැඩිවෙන බව. (තනි පුද්ගලයෙකු මත රඳා නොපවතින නිසා)//
Deleteමෙහිදී සමාගමක් කියන්නේ වියුක්ත අදහසක්. එයට අයිතිකරුවෙක් කියා කෙනෙක් ගාවගන්න අවශ්‍ය නැහැ. සමාගමට ශ්‍රමය සපයන හා ප්‍රාග්ධනය සපයන විශාල පිරිසක් ඉන්නවා. අවශ්‍යනම් ප්‍රාග්ධනය සපයන අයට අයිතිකරුවන් කියා කියන්න පුළුවන්. මම ඩොලර් පණහක් ගෙවා කොටසක් මිල දී ගත්තොත් මම අයිතිකරුවෙක්. කොටස් හිමියන්ට වැටුප් තීරණය කරන්න බැහැ. හොඳ හිත මත වැටුප් ගෙවන්න ගියොත් එය සුබසාධන ව්‍යාපෘතියක් මිසක් සමාගමක් වෙන්නේ නැහැ. සමාගමේ පාලකයින් එහෙම කරන්න ගියොත් කොටස් හිමියෝ වහාම කොටස් ඉවත් කර ගන්නවා. සමාගම බංකොලොත් වෙනවා. වැටුප් අඩුවෙන් ගෙවන්නත් බැහැ, එහෙම කළොත් සේවකයෝ අස්වෙලා යනවා. තරඟකාරී ධනවාදී වෙළඳපොලක වැටුප් කියා කියන්නේ හරියටම ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය. එය අඩු හෝ වැඩි වෙන්න විදිහක් නැහැ. ඔය දෙකෙන් කොයි එක කරන්න ගියත් සමාගම බංකොලොත් වෙනවා. මොකද ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ගෙවුවට පස්සේ ඉතිරි වන දෙයක් නැති නිසා වැඩියෙන් ගෙවුවොත් අනිවාර්යයෙන්ම සෘණ පැත්තට යනවා.
සමාගමක අයිතිය තනි පුද්ගලයෙක්ට තියෙනවද වැඩි පිරිසකට තියෙනවද කියන එකේ කිසිම වෙනසක් නැහැ. අයිතිය කී දෙනෙකුට තිබුණත් ශ්‍රමිකයන්ට වගේම ප්‍රාග්ධනය සපයන අයටත් ලැබෙන්නේ හරියටම එකම ප්‍රතිලාභය. තනි අයිතිය තිබෙන කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ අතින් පාඩු කරගෙන වැඩි වැටුප් ගෙවන්න පුළුවන්. එය සුබසාධන කටයුත්තක්. සාමූහික අයිතිය යටතේ තිබෙන සමාගමකටනම් කොහොමටවත් එය කරන්න බැහැ. කවුරු හෝ විරුද්ධ වෙනවා.
පළමු ලින්ක් එකේ කරුණු වල වැරදි තිබුණත් බොහෝ කර්මාන්ත හා අදාළව නිෂ්පාදනය හා පිරිවැය අතර සම්බන්ධය ඔය වගේ එකක් තමයි. ඔය ප්‍රස්ථාරයේම උඩට බෑවුම් වූ සරල රේඛාවක් අඳින්න. එය තමයි නිෂ්පාදනය වැඩි වෙද්දී ආදායම වෙනස් වන ආකාරය. මෙහි බෑවුම මිලට සමානයි. දැන් ඔය ප්‍රස්ථාරයේ තිබෙන වක්‍රය සරල රේඛාව කපන්නේ එකම තැනකින් පමණයි. ඒ මට්ට්ටම දක්වා ආදායම වියදමට වඩා වැඩි නිසා ලාබ තියෙනවා. එතනින් එහාට නිෂ්පාදනය වැඩි කළොත් විකුනන්න වෙන්නේ පාඩුවට. නමුත්, ඒ මට්ටම දක්වා කිසියම් හෝ ලාබයක් තියෙනවා. ඒ නිසා ඒ මට්ටම දක්වා නිෂ්පාදනය වැඩි වී හරියටම එම මට්ටමේදී නවතිනවා. මේ අනුව තමයි එක නිෂ්පාදන ඒකකයක (කම්හලක) ප්‍රමාණය තීරණය වෙන්නේ. හැබැයි ඒ වගේ නිෂ්පාදන ඒකක ඕනෑ තරම් ගණනක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක කම්හලක ප්‍රසස්ථ සේවකයින් ප්‍රමාණය 500ක් වෙන්න පුළුවන්. නමුත් 500 බැගින් සේවය කරන කම්හල් ඕනෑ තරම් හදන්න පුළුවන්. කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ constant return to scale කියන්නේ ඒක. මෙහි පළමු ලින්ක් එකේ වක්‍රය අවශ්‍ය වන්නේ එම එක් කම්හලක ප්‍රමාණය ගැන කතා කරන්න.
Deleteහොඳයි එකොන් බොහොම ස්තුතියි.Roots of Brazilian Relative Economic Backwardness කියන පොතක බ්‍රසිලියන් එකොනොමි එකෙන් උපමා අරන් කතා කරනවා මම දැක්ක. එතැනදී ඔබ කියූ පරිදි 0 සහ 1 සීමාව අතර තම ඇල්ෆා තියෙන්නේ.
Deleteලුකස් පැරඩොක්ස් එක පොඩ්ඩක් පැහැදිලි කරනවද වෙලාවක් තිබෙනවානම්
මේක ටිකක් වැදගත් දෙයක්. වත්මන් ලෝක දේශපාලනයට වගේම අනාගතය මොන වගේ වෙයිද කියන එක ගැන හිතන්නත් මෙය වැදගත්. උදාහරණයක් විදිහට අජිත් විශ්වාස කරන විදිහට ධනවාදය දියුණු වෙලා කොමියුනිස්ට් සමාජයක් වගේ එකක් හැදුනොත් (ඇත්තටම කියනවානම් මෙවැන්නක් වෙයි කියන එක ගැන මගේත් යම් තරමක විශ්වාසයක් තිබෙනවා) ඒක මොන වගේ එකක් වෙයිද කියන එක. මේ වගේ එකක් හැදුනොත් එය මාක්ස් විසින් පරිකල්පනය කරපු ආකාරයේ classless society එකක් වෙන්න වගේම fully hierarchal society එකක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ලෝකය පුරා මතුවන ජාතිකවාදී ප්‍රවේශ, සෝවියට් ක්‍රමයට සාපේක්ෂව චීන ක්‍රමයේ සාර්ථකත්වය වගේ දේවල් එක්ක. හැබැයි ඒ ගැන කතා කරන්න කලින් කතා කළ යුතු අතරමැදි දේවල් ටිකක් තිබෙනවා. ඒ නිසා, ටිකක් පසුවට තියමු. Lucas Paradox එකට වඩා වැදගත්වන්නේ එය Paradox එකක් වන්නේ කොහොමද කියන එකයි. මේ ගැන ඉදිරියේදී ලියන්නම්.
Deleteස්තුතියි, //උදාහරණයක් විදිහට අජිත් විශ්වාස කරන විදිහට ධනවාදය දියුණු වෙලා කොමියුනිස්ට් සමාජයක් වගේ එකක් හැදුනොත් (ඇත්තටම කියනවානම් මෙවැන්නක් වෙයි කියන එක ගැන මගේත් යම් තරමක විශ්වාසයක් තිබෙනවා)//ඒක විශ්වාසයකටත් වඩා මාක්ස් , එංගල්ස් පරිණාමවාදය, භෞතිකවාදය ඔක්කොම එකතු කරලා ඊට පස්සේ ඒක ආර්තිකයට සහ සමාජ ප්‍රගමනයට ආදේශ කලහම , තාර්කිකව හිතල බැලුවහම ධනවාදයත් එන්න එහෙම පරිණාමය වෙන්න ඕනේ මිසක් මගින් කැඩෙන්න විධිහක් නැහැ. සාමූහික අයිතිය එන එක වලක්වන්න බැරි බවයි මගේ අදහස. තර්කානුකූලව එතනට එන්න ඕනේ බව ඔබ ඉහත දෙවන කොමෙන්ටුවේ ලියා ඇති දෙයිනුත් පැහැදිලි වෙනවා.
Deleteමාක්ස්/ලෙනින් පැරිස් කොමියුන් එක දැකල අදහස වෙනස් කරපු එක වැරදි බව පෙනෙනවා.පැරිස් කොමියුන් එක පරා ද වුනත් දිනන්න පුළුවන් කියන අදහස ගෙනාවේ ලෙනින්. 1905 දී ට්‍රයි කරල 1917 කළා . මම ඒ ගැන ලිපියක් ලියනවා. ඇත්ත පැහැදිලි කරලා. ලෙනින් තමන්ට වැරදුන කියල්ල පස්සේතේරුම් ගත්ත නිසානේ ස්ටාලින් ලෙනින්ව නිවාස අඩස්සියට දැම්මේ. දියුණු ධනවාදය නරක නැහැනේ. ඒක දැන් තියන ඕන ක්‍රමයකට වඩා ප්‍රගතිශීලි එකක්. ඒක හුඟක් පැහැදිලියි තර්කානුකුලව බැලුවොත්. කියුබාව වෙනස් වෙන්න ඕනේ කියල මම ලිවේත් ඒකයි . රවුල් කස්ත්‍රෝ දැන් මගේ යාලුව වගේ (මගේ ලිපියේ ඉන්න ඔස්වල්දෝ ) අයට ටෙනරිෆ් ඇවිත් වැඩ කරන්න දීල තියෙන්නෙත් ඒකයි . ඒ නිදහස දීම අනිවාර්යයි. දුප්පත්ව ගඟක් අයිනට වෙලා මාළු බාගෙන සින්දුවක් කියාගෙන සරලව ඉන්න අය කියුබාවේ ඉන්නව. ඒ අය සිස්ටම් එකට සපෝට්. දැන් අඩු වේගන යනවා. මොකද ඒක බලෙන් කරන්න බැහැ නේ. ඒක චොයිස් එකක්. මට ඕනේ නම් මම එහෙම ලංකාවේ ගිහින් පැල්පතක ගොවිතැනක් කරගෙන සරලව ඉන්නව. මට ඕනෙනම් විතරයි. දේශපාලන ව්‍යාපාරයක් ඒක බලෙන් කරන්න ආවොත් පරදිනවා. එතනදී ආපට එකඟ වෙන් පුළුවන් නේද? මම ඕක එක්තරා වාමාංශික පක්ෂයක නායකයෙකුට කීව මගේ නිවසේදී. එයා පිළිගත්තේ නැහැ. මිනිසුන්ට කියා දෙන්න ඕනේ සරලව ජිවත් වෙන්න කියන එකයි එයා කීවේ මට මතක විධිහට.
//ඒක විශ්වාසයකටත් වඩා මාක්ස් , එංගල්ස් පරිණාමවාදය, භෞතිකවාදය ඔක්කොම එකතු කරලා ඊට පස්සේ ඒක ආර්තිකයට සහ සමාජ ප්‍රගමනයට ආදේශ කලහම , තාර්කිකව හිතල බැලුවහම ධනවාදයත් එන්න එහෙම පරිණාමය වෙන්න ඕනේ මිසක් මගින් කැඩෙන්න විධිහක් නැහැ. සාමූහික අයිතිය එන එක වලක්වන්න බැරි බවයි මගේ අදහස.//
Deleteමාක්ස් කියපු ආකාරයෙන් සමාජ පරිණාමය වෙන්නනම් ඉඩක් නැහැ. ඒ විදිහට වෙන්නනම් මාක්ස් සූරාකෑම ලෙස වැරදියට විග්‍රහ කරපු දෙය දිගින් දිගටම සිදු වෙලා ප්‍රාග්ධනය තිබෙන අය හා නැති අය විදිහට සමාජය වැඩි වැඩියෙන් බෙදෙන්න ඕනෑ. වෙනසක් වෙන්නේ එය එක් අන්තයකට ගියාට පස්සේ. නමුත් කිසිම බටහිර රටක එහෙම වෙලා නැහැ. ආදායම් විෂමතා තිබුණත් පහළ ස්ථර වල තත්ත්වය දිගින් දිගටම වඩා හොඳ වෙලා තිබෙනවා. මාක්ස් විසින් කළේ ඒ දවස් වල පෙනෙන්නට තිබුණු ලෝකය නිරීක්ෂනය කරලා එය ඉදිරියට යා හැකි ක්‍රමය පුරෝකථනය කරපු එක. එය ඒ දවස් වල දැන සිටි දේවල් අනුව නරක ප්‍රවාදයක් නොවුවත් මේ වෙද්දී ආපසු හැරී බැලුවොත් වැරදි බව ඉතා පැහැදිලිවම පෙනෙනවා. ඒ වගේම මාක්ස්ට අවුරුදු සීයකට කලින් හිටපු ඇඩම් ස්මිත් මාක්ස්ට වඩා නිවැරදිව සිදු විය හැකි දේ ප්‍රවාදගත කළ බව දැන් ආපසු හැරී බැලූ විට පැහැදිලියි. මාක්ස්ව ඉතිහාසයේ තිබිය යුතු තැන තියන එකේ වැරැද්දක් නැහැ. නමුත්, දැනුම විශාල ලෙස දියුණු වී තියෙද්දී අවුරුදු එකසිය පණහකට පස්සේත් මාක්ස් පස්සේම යන එක ආගමිකයි. ධනවාදය කියා කියන්නේ කොහොමටත් සාමූහික ක්‍රමයක්. ලංකාව වගේ රටවල නැතත් ඇමරිකාවේ බොහෝ දේවල් තිබෙන්නේ සාමූහික අයිතියක් යටතේ. නමුත් එය මාක්ස් කියපු විදිහේ සාමූහිකත්වයක් නෙමෙයි. පෞද්ගලික අයිතිය තිබෙන, ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අයිතිකරුවන්ට ලැබෙන සාමූහිකත්වයක්. (ටිකක් දුරට අජිත්ගේ අර්ථදැක්වීමේ තිබෙන සමූහ ගොවිපොල ක්‍රමය වගේ- අජිත් විස්තර කරන දෙය ලෙනින්ගේ හෝ පොදුවේ සෝවියට් දේශයේ ක්‍රමය නෙමෙයි) ධනවාදය දියුණු වෙද්දී සමාජ සාධාරණත්වය ඇති වන්නේ වෙනසක් නැතිව ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධනය හිමි කර ගන්නට හා සාමූහිකව ආයෝජනය කර ප්‍රතිලාභ ගන්නට ඉඩ ලැබීමෙන් මිසක් පෞද්ගලික ප්‍රාග්ධනය අහෝසි වීමෙන් නෙමෙයි. ඒ නිසා, කොමියුනිස්ට් සමාජයක තිබෙන බව උපකල්පනය කරන දියුණු ලක්ෂණ ධනවාදය ඇතුළේ ඇති වෙනවා මිසක් එය මාක්ස් කියපු විදිහේ කොමියුනිස්ට් සමාජයක් වෙන්න විදිහක් නැහැ. ඔය සරලව ජීවත් වන්න ඉගැන්වීමේ කතාවනම් අඩු වශයෙන් මාක්ස්වාදී කතාවක් හෝ නොවන බව මගේ අදහසයි. මාක්ස්වාදය අනුවම බැලුවත් මිනිස්සු අනිවාර්යයෙන්ම සරලව ජීවත් විය යුතුයි කියා එකක් නැහැ. ඒක සමාජවාදයේ (රාජ්‍යමූලික මධ්‍යගත නිෂ්පාදන ආකෘතියේ) අඩුපාඩු වහගන්න හදාගත්ත තර්කයක්. බෞද්ධ පසුබිම නිසා මේ කතාව ලංකාවට ආකර්ශනීය වී තිබෙනවා. අනිත් එක ධනවාදය තිබුණා කියලා සරලව ජීවත් වෙන්න කිසිම බාධාවක් නැහැ. ඇමරිකාවේ මට හමුවන බොහෝ මිනිස්සු ලංකාවට සාපේක්ෂව වුවත් සරල මිනිස්සු.
මම මේ අදහසම ටිකක් අඩුවෙන් මේ ලිපියේ ලියල තියනවා 2014 දී. මාක්ස්ට වැරදුනු තැනක්ද
Delete//මාක්ස්ව ඉතිහාසයේ තිබිය යුතු තැන තියන එකේ වැරැද්දක් නැහැ// ඔව් මාත් කියන්නේ ඒකයි. මාක්ස්ට අපහස කරනවට මම කැමැති නැහැ. ඔහු ඇඩම් ස්මිත් වගේම කාලය ශ්‍රමය වැය කරලා කිසියම් දැනුම් සම්භාරයක් ගෙනාව. ඔය මමත්, ඔබත් කියන සාමුහික අයිතිය ඇති ව්‍යාපාර හා ගොවිපල ඉතාමත්ම කුඩා කාලයක් රුසියාවේ 1918-1920 අතරේ පැවතුනා.ලේනින්ම අයින් කළා පස්සේ. ස්ටාලින් ඉවර කරලම දැම්ම.
//ධනවාදය දියුණු වෙද්දී සමාජ සාධාරණත්වය ඇති වන්නේ වෙනසක් නැතිව ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධනය හිමි කර ගන්නට හා සාමූහිකව ආයෝජනය කර ප්‍රතිලාභ ගන්නට ඉඩ ලැබීමෙන් මිසක් පෞද්ගලික ප්‍රාග්ධනය අහෝසි වීමෙන් නෙමෙයි.// ඔව් ඒක තමාම මම පැමිණි නිගමනයත්.
// ඒ නිසා, කොමියුනිස්ට් සමාජයක තිබෙන බව උපකල්පනය කරන දියුණු ලක්ෂණ ධනවාදය ඇතුළේ ඇති වෙනවා මිසක් // හරියට හරි එකම තමයි මාත් කියන්නේ. මම මනෝරාජික සමාජවාදය නැතිනම් utopian socialism කියල අදහස් කරන්නේ ඒක
//එය මාක්ස් කියපු විදිහේ කොමියුනිස්ට් සමාජයක් වෙන්න විදිහක් නැහැ// මාක්ස් ඒ ගැන අදහසක් පල කලේ පන්ති අරගලය මත පදනම්ව. නමුත් අපි වෙනස් වන්නේ මම තවම කොමියුනිස්ට් සමාජයක් ධනවාදයේ සීග්‍ර දියුණුව සහ සාමූහික ප්‍රාග්ධනය හා ලාභය බෙදීයාම හමුවේ ඇති වන බවත් රාජ්‍ය බලපෑම අඩුවන බවත් සිතීම. රාජ්‍යය පුරවැසියාගේ ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය වැනි දේ කිරීමට පමණක් නාමිකව ඉතිරිව තිබීමක්.
//ඇමරිකාවේ මට හමුවන බොහෝ මිනිස්සු ලංකාවට සාපේක්ෂව වුවත් සරල මිනිස්සු.// එංගලන්තෙත් එහමයි,
මේක කියවල තියෙනවද? වික්‍රමබාහු කරුණාරත්න වගේ මාක්ස්වාදය සෑහෙන තරමට හදාරා තිබෙන ට්‍රොට්ස්කිවාදියෙක් දැන් හිතන විදිහ. (මම එකඟ නොවන දේවල් මෙහි තිබෙනවා.)
Deletehttps://haraya.today/yankee-democracy-and-pol-pot-communism/
ඒකනේ මෑන් නැග්ගේ රනිල් ගේ වේදිකාවට , පොල්පොට් කලී මූලික සමජකරමයෙන් පටන් ගන්න. අර මං කිව්වා වගේ පරිණාමවාදය දිහාවත් බලල එහෙම නැත්නම් මාක්ස් ව ටිකක් හරි හරියට කියෙව්වා නම් ඕක වෙන්නේ නැහැ හුඟක් වෙලාවට . ජවිපෙ විජේවීර ගෙනිච්චේ එක්තර විධිහකපොල්පොට් වාදයක් හා ජාතික සමාජවාදී මිශ්‍රණයක්. ඔය දෙකටම මම කැමති නැහැ
Delete//මාක්ස් ගේ සමහර අනාවැකි හා දේශපාලන ආර්ථික විද්‍යාවේ නියමයන් නුත් එහෙමයි. ඒ ඒ තත්ත්ව වලට අනුරූපව ඒවා හරි වුනාට තත්ත්ව වෙනස් වුනොත් ඒවා හරි යන්නේ නැහැ.//
Deleteමෙය උපුටා ගත්තේ අජිත් ලින්ක් එක දමා තිබෙන ලිපිය පහළ අජිත්ගේ ප්‍රතිචාරයකින්. මෙහි "හරි" කියන එක පිළිබඳ මගේ අර්ථකථනය පවතින තත්ත්වයන් යටතේ පවතින තත්ත්වය විස්තර කළ හැකියි කියන එක. මාක්ස්වාදයේ, ආර්ථික විද්‍යාවේ හෝ භෞතික විද්‍යාවේ ඕනෑම න්‍යායකට අදාළව. එහෙම නැතුව වෙනස් විය නොහැකි පරම සත්‍යයන් විදිහට මේ න්‍යායයන් කිසිවක් මම සලකන්නේ නැහැ.
පවතින තත්ත්වයන් යටතේ පවතින තත්ත්වය විස්තර කළ හැකි න්‍යායයන් ගණනාවක් තියෙන්න පුළුවන්. අපිට ඒවායින් සමහර ඒවා පැහැදිලිවම වැරදියි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එසේ කළ හැක්කේ පවතින තත්ත්වයන් යටතේ වුවත් පවතින තත්ත්වය හොඳින් විස්තර කළ නොහැකිනම්. නමුත්, මේ පරීක්ෂණය අසමත් නොවන න්‍යායයන් එකකට වඩා ඉතුරු වෙන්න පුළුවන්. මාක්ස්වාදය කාලයක් ප්‍රතික්ෂේප නොවී පැවතුනේ ඒ විදිහට. අනෙක් පැත්තෙන් ඇඩම් ස්මිත් වගේ අයගේ වෙළඳපොළ තරඟය පිළිබඳ අදහසත් ප්‍රතික්ෂේප නොවී දිගටම පැවතුනා.
මාක්ස් හා ඇඩම් ස්මිත් දෙන්නාම විසඳුම් හෙවුවේ එකම ප්‍රශ්නයකට. වෙනස් වුනේ විසඳුම. මාක්ස් වගේම ඇඩම් ස්මිත් බැලුවේත් ඔය අජිත් විස්තර කරන පතල් කම්කරුවෝ වගේ සමාජයේ පහළ ස්ථර වල සිටින අයගේ දුක්ඛිත තත්ත්වය ගැනයි.
ඒ කාලයේ අද ආර්ථික විද්‍යාඥයින් පිළිගන්නා වටිනාකම් පිළිබඳ න්‍යායයන් දියුණු වී තිබුණේ නැහැ. ප්‍රාග්ධනයේ එන ශ්‍රමය මත පදනම් වූ වටිනාකම් පිළිබඳ මතය මාක්ස්ගේ කාලයේ පැවති පොදු දැනුමයි. ඒ අදහස ජාතීන්ගේ ධනයේ ඒ විදිහටම තියෙනවා. මාක්ස් මේ අදහස් ගත්තේ ඇඩම් ස්මිත් ඇතුළු තවත් අයගෙන්. ඒක ඉතිං කොහොමත් දැනුම ඉදිරියට යන සාමාන්‍ය ක්‍රමයනේ. මාක්ස් සූරාකෑම ලෙස අර්ථදැක්වූ සංකල්පය අනුව පැහැදිලි කළ හැකි තත්ත්වයක් ඒ කාලයේ ඇත්තටම තිබුණා. එවැනි තත්ත්වයන් දැනට වුනත් තිබෙනවා. නමුත්, මේ සූරාකෑම කියන එක තියෙන තත්ත්වයක් පැහැදිලි කළ හැකි එක් ප්‍රවාදයක් පමණයි. එය වෙනත් ප්‍රවාද වලිනුත් පැහැදිලි කළ හැකියි.
පවතින තත්ත්වයන් යටතේ පවතින තත්ත්වය විස්තර කළ හැකි න්‍යායයන් ගණනාවක් තියෙන කොට ඒවායින් වඩා හොඳ එක අපට තෝරා ගන්න වෙන්නේ පවතින තත්ත්වයන් වෙනස් වීමෙන් පසුවයි. අජිත්ගේ ඔය ලිපියේම ලියා තිබෙන විදිහට පවතින තත්ත්වයන් වෙනස් වීමේදී මාක්ස්වාදයේ මුල් බිඳ වැටී තිබෙනවා. ඒ ප්‍රවාදය අනුව පුරෝකථනය කළ හැකි වූ ආකාරයට සමාජ ප්‍රගමනය සිදු වී නැහැ. ඒ නිසා, ඓතිහාසික සන්දර්භය හැදෑරීමේ අරමුණින් මිසක් තව දුරටත් එය කරේ තියාගෙන යන එකේ තේරුමක් නැහැ. නිවුටන්ගේ නියම තවමත් අරන් යන්න පුළුවන් වන්නේ ඒ නියම වැඩ කරන තැන් තවමත් තිබෙන නිසා. ඒවා බිඳ වැටෙන්නේ පෘථිවියෙන් ඉවතට යන කොට. පෘථිවිය මත සිදුවන කිසියම් සරල සංසිද්ධියක් හා අදාළව කාලයත් සමඟ නිවුටන් නියම අවලංගු වී යන්නේ නැහැ. නමුත්, මාක්ස්වාදය යොදා ගත හැකි තරමේ සමාජ දැන් ලෝකයේ කොහේවත් නැහැ. දුප්පත්ම රටක වුනත් ඔය අජිත්ගේ ලිපියේ පතල් කම්කරුවන්ගේ තත්ත්වය වගේ තත්ත්වයක් නැහැ. ඒ නිසා මාක්ස්වාදයට එහි ඓතිහාසික භූමිකාව හැර මේ වෙද්දී අලුත් භූමිකාවක් නැහැ.
අනෙක් අතට ඇඩම් ස්මිත් යෝජනා කළ වෙළඳපොළ තරඟය මාක්ස් හිතපු විදිහේ ඛේදාන්ත තත්ත්වයකින් අවසන් වෙලා නැහැ. වෙළඳපොළ තරඟය නිසා මිනිස්සුන්ගේ ජීවිත එන්න එන්නම යහපත් වී තිබෙනවා. ඇඩම් ස්මිත් දැන සිටි, මාක්ස්වාදයේද පදනම වූ වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය දැන් කවුරුවත් පිළිගන්නේ නැහැ. නමුත්, වටිනාකම් පිළිබඳ අලුත් න්‍යායයන් එක්කත් වෙළඳපොල තරඟය පිළිබඳ ඇඩම් ස්මිත් යෝජනා කළ අදහස් වැඩ කරනවා. හැබැයි මේකත් තවත් න්‍යායක් පමණයි. පරම සත්‍යයක් නෙමෙයි. වෙළඳපොල තරඟය වැඩ නොකරන බව පෙනෙන හැම විටකම ධනවාදය තුළ ප්‍රශ්නයට හේතු හඳුනා ගැනීමක් සිදු වෙනවා. විසඳුම් යෝජනා වෙනවා. ඒ එක්ක ධනවාදය අලුත් වෙනවා. එසේ වෙන්නේ වෙළඳපොල තරඟය පිළිබඳ අදහස එලෙසම තිබියදී. මේ වැඩේ මෙතෙක් සාර්ථක වී තිබෙනවා. කාබන් බදු ආදිය එන්නේ ඒ විදිහට.
නිෂ්පාදන තාක්ෂනය දියුණු වෙද්දී සූරාකෑම කියන සංකල්පයේ වලංගු භාවය නැති වී ගොස් ඇතත් වෙළඳපොල තරඟය දියුණු වෙද්දී, නිෂ්පාදන තාක්ෂනය දියුණු වෙද්දී අලුත් ප්‍රශ්නයක් ඇති වෙමින් තිබෙනවා. එය මාක්ස්වාදයට විසඳුම් දිය නොහැකි සූරාකෑමට වඩා භයානක ප්‍රශ්නයක්. අනාගත අභියෝගය වන්නේ මේ අලුත් ප්‍රශ්නයට විසඳුම් හොයන එකයි. එය අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නය. 1800දී තිබුණු ප්‍රශ්නය ශ්‍රමයට ප්‍රාග්ධනය සමඟ හෙට්ටු කිරීමට නොහැකි වීමේ ප්‍රශ්නය. සූරාකෑම කියා කිවුවත් නැතත් මේ ප්‍රශ්නය තිබුණා. දැනටත් මේ ප්‍රශ්නය සැලකිය යුතු තරමකින් තිබෙනවා. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී රටවල. හැබැයි මේ තත්ත්වය යටතේත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ශ්‍රමය නැතුවම බැහැ. ඒ නිසා, කම්කරුවන්ට (හෝ පොදුවේ ශ්‍රමය සපයන්නට) සංවිධානය වී හෙට්ටු කිරීමේ බලය වැඩි කරගන්න පුළුවන් වුනා. පොදුවේ සමාජවාදී ප්‍රවේශය වුනේ ඕකයි. මිනී මරණ, මංකොල්ල කන එක සාධාරණ නැතත් මේ විදිහට සාමූහිකව හෙට්ටු කිරීම වැරදි දෙයක් නෙමෙයි.
Deleteනමුත්, දැන් මතු වෙමින් තිබෙන අනාගත ප්‍රශ්නය වන අනදාලත්වය හමුවේ වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ශ්‍රමය අනවශ්‍ය වීම. මේ නිසා, සංවිධානය වී හෙට්ටු කිරීමේ සමාජවාදී ප්‍රවේශය තවදුරටත් ඵලදායී වෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශ වීමේ හැකියාවක් නැති අය කිසිම හෙට්ටු කිරීමේ බලයක් නැති පහළ පංතියක් බවට පත් වීමේ අවදානම තිබෙනවා. මේක කොමියුනිස්ට් සමාජයක අනෙක් පැත්ත. මේ ප්‍රශ්නයට තවමත් හරියකට දේශපාලන විසඳුම් ඉදිරිපත් වී නැහැ. සමාජවාදී දේශපාලන පක්ෂ ඉන්නේ ගවු ගණනක් පස්සෙන්. ප්‍රශ්නය ගැන හිතමින් UBI වැනි විසඳුම් හොයන්නේ සමාජවාදීන්ගේ වෛරයට නිබඳ පාත්‍ර වන නමුත් ශ්‍රමය සූරාකෑමක් කිසිසේත්ම නොකර ධනවත් වී සිටින ඇමරිකානු ධනපතියෝ.
අනදාලත්ව තත්ත්වයක් යටතේ "හිතන්න බැරි" මිනිස්සු සත්තුන්ගේ මට්ටමට වැටෙනවා. ඒ අයට ජීවත් වෙන්න වෙන්නේ "හිතන්න පුළුවන්" මිනිස්සුන්ගේ අනුකම්පාව මත. ඒ මිනිස්සුන්ගේ ජීවිත දුක්ඛිත වෙන එකක් නැහැ. ඇමරිකාවේ හෝ එංගලන්තයේ ගෙවල් වල හදන බල්ලන්ගේ ජීවිත වගේ සැපවත් වෙයි. ලෝකය ඉදිරියට යන්නේ ජාතික රාජ්‍ය සීමා කඩාගෙනනම් මේ වැඩේ කොමියුනිස්ට් සමාජයක් වගේ එකකින් ඉවර වෙයි. හිතන්න අවශ්‍ය අය තමන්ගේ සතුට සඳහා වැඩ කරයි. "හැකි තරමට සමාජයට" ලබා දෙයි. ඒ වගේම නොවැලැක්විය හැකි ලෙස දේශපාලන බලය ඒ අයගේ අතේ තියෙයි. හිතන්න අවශ්‍ය නැති අය කාලා බීලා සැපේ ඉඳියි. "අවශ්‍ය පමණ සමාජයෙන්" ලබා ගනියි. ඒ නිසා දේශපාලන බලය තමන්ගේ අතේ නැතිවීම ගැන ඒ අය වදවෙන එකක් නැහැ. හිතන්න පුළුවන් මිනිස්සු ඒ අයට අවශ්‍ය දේවල් ලබා දෙයි. තමන්ගේ සුරතල් බල්ලන්ව සතුටින් තියනවා වගේ.
හැබැයි දැන් වෙන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට වේගයෙන් පරිණාමය වෙන්න උදවු වන ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, විද්‍යාව වගේ දේවල් රටවල් ඇතුළේ "හිතන්න කැමති නැති" මිනිස්සු විසින්ද ප්‍රතික්ෂේප කළත්, බොහෝ විට මේ දේවල් ප්‍රතික්ෂේප වන්නේ රටවල් විදිහටයි. ඇමරිකානුවෙක් තමන්ගේ ගෙදර බල්ලට හැම විටම හොඳම දේ දුන්නත්, ලංකාවේ පාරක ඉඳන් බුරන වල් බල්ලෙක්ට ඒ දේවල් දෙන්න මහන්සි වෙන එකක් නැහැ. ඒ නිසා, රටවල් වල මිනිස්සු අතර පරතරයක් හැදෙනවාට වඩා වේගයෙන් රටවල් අතර විශාල තාප්ප හැදී තැන් තැන් වල වෙන වෙනම දිව්‍ය ලෝක හා අපායවල් හැදෙන්නත් පුළුවන්. අපායවල් වල ජීවිත ගොඩක් දුක්ඛිත වෙයි. ඔය දෙකෙන් කොයි එක වෙයිද කියන එක බලන්න අපි සමහර විට ජීවත් වෙන එකක් නැහැ.
//මෙය උපුටා ගත්තේ අජිත් ලින්ක් එක දමා තිබෙන ලිපිය පහළ අජිත්ගේ ප්‍රතිචාරයකින්. මෙහි "හරි" කියන එක පිළිබඳ මගේ අර්ථකථනය පවතින තත්ත්වයන් යටතේ පවතින තත්ත්වය විස්තර කළ හැකියි කියන එක. මාක්ස්වාදයේ, ආර්ථික විද්‍යාවේ හෝ භෞතික විද්‍යාවේ ඕනෑම න්‍යායකට අදාළව. එහෙම නැතුව වෙනස් විය නොහැකි පරම සත්‍යයන් විදිහට මේ න්‍යායයන් කිසිවක් මම සලකන්නේ නැහැ.// ඔව් මම ඒකට එකඟයි.
Deleteසමස්තයක් වශයෙන් ගත්තම ඔබේ ප්‍රතිචාර දෙකටම වගේ එකඟයි. සමාජවාදී පක්ෂ හිර වෙලා ඉන්නේ පරන ආකෘතිය මත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වලින් මෙර්කල් ඇතුළු අයගේ කිසියම් පක්ෂ වල කිසයම් සාධනීය තත්වයක් පේන්න තියනවා. ඒකයි මම කියන්නේ උත්තරය එන්න ඕනෙත් දියුණු ධනවාදයෙන් වගේම "ඔඅබකියන් හිතන්න පුළුවන්" මිනිසුන් ගෙන් කියල. දැන් ඔය නිර්ධන පන්තියට පන්ති විඥානය පිලිබඳ දැනුම අරන් යන්නනේ සමාජවාදී පක්ෂ ඉන්නව කියන්නේ ඒ කියන්නෙත් හිතන්න පුළුවන් අය. ඇත්තම කියනවනම් ඔබ ඔය "හිතන්න පුළුවන් " කියන කට්ටිය තමා ලෝකයේ ඔය තත්වය මුදවා ගන්න අය වෙන්නේ, ඒක කොහොමද කරන්නේ, වෙන්නේ කියන එක ගැන මට තවම අදහසක් නැහැ. මං හිතන්නේ මාක්ස් ලෙනින්වාදය, ස්ටලින්වාදය ඉගෙන ගත්තට මම ඒවල වහලෙක් නොවුනේ ඒක නිසා වෙන්න ඇති.
ලංකාවේ රජයෙන් ගත්ත විදේශ ණයක් හරියටම ඒ දිනේට ගෙවන්න තරම් සල්ලී නැත්නම් ,රජයට මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්න වෙන්නේ ?
ReplyDeleteපොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද
ණයක් දෙන ඕනෑම කෙනෙක් ණය දෙන්නේ ණය ආපසු නොලැබීමේ අවදානමක් තිබෙන බව දැනගෙන. රජයයන් විසින් වෙලාවට ණය නොගෙවූ අවස්ථා වගේම ණය නොගෙවාම හිටපු අවස්ථාත් තියෙනවා. ණය ආපසු ගෙවන්නේ නැත්නම් බලෙන් ගන්න බැහැ. ණය දුන් ඕනෑම කෙනෙක් ණය මුළුමනින්ම නොලැබී යනවාට වඩා පහු වෙලා හෝ කොටස් වශයෙන් හෝ ආපසු ගන්න කැමති වෙනවා. තනි පුද්ගලයෙක් වුනත් එහෙමනේ. ලංකාවේ රජයෙන් ගත්ත විදේශ ණයක් හරියටම ඒ දිනේට ගෙවන්න බැරිනම් බොහෝ විට මුලින්ම සිදු විය හැක්කේ පසු දිනයක ණය ගෙවීමේ එකඟතාවයකට දෙපාර්ශ්වය පැමිණෙන එකයි. මේ වගේ දෙයකින් වෙන්නේ නැවත ණය ලබා ගැනීම දැනටත් වඩා වඩා අසීරු වීමයි. රටේ ආර්ථික තත්ත්වයට එය බලපාන්න පුළුවන්. ණය ගෙවන්න රටේ දේපොළ විකුණන්න වෙන්න පුළුවන්. අලුතෙන් ණය ලබා ගැනීමේදී රටේ බොහෝ දෙනෙක් කැමති නැති කොන්දේසි වලට යටත් වෙන්න සිදු වෙන්න පුළුවන්.
Deleteබාගයක් කියවද්දී නින්ද ගියා. පට්ට බෝරින් කම්මැලි ලිපියක්. හොදට නින්ද ගිහිං ඇහැරුන පාර මේ කොමෙන්ට් එකක් දැම්මේ. මරු බ්ලොග් එක නින්ද යන්නේ නැති වෙලේට කියවන්න.
ReplyDeleteබාගයක් කියවනකල්ම නින්ද ගියේ නැති එකත් ලොකු දෙයක්, ඇනෝ!
DeleteEconomatta,
ReplyDeleteIs this news true? It seeks to be ridicules to say that SL is among top ten countries as Sri Lanka is a failed state compared to other countries right? Please advise.
See below Covid-19 response; Countries' Covid-19 response rankings, evaluated by the Lowy Institute and based on the availability of data across six indicators.
Full details: http://u.afp.com/Uihg
I am not sure what the definition of a “failed state” is. Whether Sri Lanka has topped the list or not, this type of rankings serve no practical purpose. Even if they do, the criteria that has been used to prepare this specific index is very simple and anyone can easily do such an exercise using a spreadsheet in less than half an hour. The results of an index like this depend on the indicators you use and the counties you pick. The rankings are based on 98 countries out of 220+ and many countries will reach the top if added even based on their criteria.
DeleteI think that Sri Lanka has managed the crisis well compared most countries. However, this ranking does not provide any scientific evidence to say so. A Low number of Covid cases do not necessarily mean that the policies to manage the pandemic have been effective, unless you control for various other factors. Also, the approaches to manage the pandemic varied substantially across countries based on their political ideologies and social preferences. For example, if you use a criteria like the vaccination rate Israel should reach the top.