වෙබ් ලිපිනය:

Friday, October 15, 2021

රුපියල බලු නොවටීයැයි මහ බැංකුවම හිතනවද?


මහ බැංකුව පැත්තෙන් තවත් "පෙට්ටියෙන් පිට" යෝජනාවක් ඉදිරිපත් වෙලා. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඩොලර් වලින් බදු ගෙවන්න සූදානම් අයට වාහන ආනයනය කළ හැකියි. වැදගත්ම කරුණ මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ මහ බැංකුව පැත්තෙන් වීමයි. යම් හෙයකින් මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය රුපියල අත හැර ලංකාවේ ගනුදෙනු සඳහා ඇමරිකන් ඩොලර් යොදා ගැනීම (dollarization) කරා තබන මූලික පියවරක්. 

කිසියම් රටක් තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න පටන් ගැනීම ඩොලර්කරණය (dollarization) ලෙස හැඳින්වෙනවා. ඇතැම් රටවල් නිල වශයෙන්ම තමන්ගේ මුදල් ඒකකය අතහැර විදේශ මුදල් රට තුළ භාවිතා කරන්න පටන් ගන්නවා. සිම්බාබ්වේ රාජ්‍යය මෑතකදී එසේ කළ රටක්. මෙය හැඳින්වෙන්නේ නිල ඩොලර්කරණය (de jure dollarization) ලෙසයි. රටක් එවැනි තීරණයක් ගන්නේ තමන්ගේ මුදල් ඒකකයේ කිසිම වටිනාකමක් නැති වී වෙන කරන්නම දෙයක් නැති වූ විටයි. එහෙම වෙන්නේ අසීමිත ලෙස සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ මිනිස්සු රටේ ජාතික මුදල් ඒකකය අත හැර දමන තැනට වැටුණු විටයි.

රටක් නිල ඩොලර්කරණය තෝරා ගැනීම නිතර සිදු වන දෙයක් නොවුනත් අවිධිමත්, නිල නොවන ඩොලර්කරණය (de facto dollarization) ඊට වඩා ප්‍රචලිතයි. මෙහිදී නිල වශයෙන් ගනුදෙනු සිදු විය යුත්තේ රටේ ජාතික මුදල් ඒකකයෙන් වුනත්, රට ඇතුළේ සිටින ඇතැම් කණ්ඩායම් විසින් හෝ ඇතැම් ප්‍රදේශ වල නොනිල ලෙස විදේශ ව්‍යවහාර මුදලින් ගනුදෙනු සිදු වෙනවා. මෙය බොහෝ විට සිදු වන්නේ සංචාරක කලාප වල. 

උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික මුදල් ඒකකය බලු නොවටින තැනට වැටුණු විට, නිල වශයෙන් රජය හෝ මහ බැංකුව විසින් ඩොලර්කරණය විදේශ විණිමය ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන්න කලින්ම, සමස්තයක් ලෙස රටේ මිනිස්සු තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. රටක් නිල වශයෙන්ම ඩොලර්කරණය තෝරා ගන්නේ ඒ වගේ අඩියටකට වැටුණාට පසුවයි. 

මිනිස්සු කිසියම් දෙයක් මුදල් ලෙස භාර ගන්නේ ඒ පිළිබඳ විශ්වාසය මත පදනම්ව. මෙහිදී විශ්වාසය කියා කියන්නේ වෙනත් අයත් අදාළ දෙය මුදල් සේ භාර ගනු ඇතැයි යන විශ්වාසය. මෙහිදී රන්, රිදී, ධාන්‍ය වැනි දෙයක් පිළිබඳ ඒ විශ්වාසය ඇති වන්නේ එම ද්‍රව්‍ය වල තිබෙන නෛසර්ගික වටිනාකම නිසා. ආඥාප්ති ව්‍යවහාර මුදල්, එහෙමත් නැත්නම් ෆියට් මුදල් වලට එවැනි නෛසර්ගික වටිනාකමක් නැහැ. මිනිසුන්ගේ විශ්වාසය නැත්නම් ඒවා නිකම්ම නිකම් කොළ කෑලි පමණයි. ඒ නිසා, ආඥාප්ති ව්‍යවහාර මුදලක් මිනිසුන් අතර ප්‍රචලිත කරන එක පහසු වැඩක් නෙමෙයි.

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි එක ක්‍රමයක් වන්නේ වටිනාකමක් තිබෙන යම් දෙයක් ආශ්‍රයෙන් එවැනි මුදල් ඒකකයකට කෘතීම වටිනාකමක් ආරෝපණය කිරීමයි. මහ බැංකු වල පවත්වා ගන්නා රන් ඇතුළු සංචිත වලින් කරන්නේ අදාළ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් ඒකකයට මේ ආකාරයෙන් වටිනාකමක් ආරෝපණය කරන එකයි. රන් සම්මතයකදී මෙන් නිකුත් කළ මුදල් වල වටිනාකමට රත්තරන් මහ බැංකුවේ නැතත්, යම් රන් ප්‍රමාණයක් මහ බැංකුවේ තිබෙන නිසා විශ්වාසය මතම ලැබෙන වටිනාකමට අමතරව පොඩි හරි නෛසර්ගික වටිනාකමක් මේ සල්ලි කොළ වල තියෙනවා. 

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි තවත් ක්‍රමයක් වන්නේ රාජ්‍යාධිකාරය හරහා වටිනාකමක් කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. රජයකට මිනිසුන්ගෙන් බදු අය කිරීමට හා එම බදු නොගෙවන අයට දඬුවම් කිරීමට ඒකාධිකාරී හෝ ඊට ආසන්න බලයක් තිබෙනවා. (කප්පම්කාරයෝ වගේ අයත් ඔය වැඩේ කරනවා තමයි!) මේ ඒකාධිකාරී බලය යොදාගෙන රජයකට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැති කඩදාසි කෑල්ලකට වටිනාකමක් දිය හැකියි. ආරම්භයේදී ගොඩක් මුදල් ඒකක ප්‍රචලිත කර තිබෙන්නේ ඔය ක්‍රමයටයි.

ඉතිහාසයට ගියොත් රජයක් බදු අය කර තිබෙන්නේ එක්කෝ සෘජු ශ්‍රමය විදිහට. රාජකාරි ක්‍රමයේදී වගේ. නැත්නම් රන්, ධාන්‍ය වැනි දෙයකින්. ඔහොම තියෙද්දී එක පාරටම බදු ගෙවිය යුතු මුදල් ඒකකය ලෙස මොකක් හරි එකක් රජය විසින් දැනුම් දුන්නට පස්සේ රටේ මිනිස්සුන්ට කොහෙන් හරි ඒ දේ හොයා ගන්න වෙනවා. ඒ එක්කම ඒ මොකක් හරි දෙයට, නෛසර්ගික වටිනාකමක් තිබුණත් නැතත්, ආරෝපිත වටිනාකමක් ලැබෙනවා. අදාළ මුදල් ඒකකය රටේ ප්‍රචලිත වෙනවා.

මේ විදිහට රටේ ප්‍රචලිත වෙන්නේ නෛසර්ගික වටිනාකමක් නැති දෙයක් වූ විට රජයට ඒ දේ වැඩි වැඩියෙන් සපයලා වක්‍ර ලෙසත් බද්දක් අය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ෆියට් මුදල් එහෙමත් නැත්නම් ආඥාප්ති ව්‍යවහාර මුදල් කියා කියන්නේ ඔය වගේ දෙයකටයි. හැබැයි ඔය වටිනාකම එන ක්‍රමයේ පාදමේ තියෙන්නේ රජයට බදු ගෙවිය යුත්තේ අදාළ මුදලින් වීමයි. නෛසර්ගික වටිනාකමක් නැති බව කවුරුත් දන්නා මේ සල්ලි වෙන කාටවත්ම එපා කිවුවත්, අඩු ගණනේ රජයට බදු ගෙවන්න හෝ ගන්න පුළුවන් නිසා සල්ලි බලු නොවටිනා ගානට වැටෙන්නේ නැහැ. 

දැන් මහ බැංකුව විසින් (හෝ එහි අධිපතිවරයා විසින්) ඉදිරිපත් කරන යෝජනාව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලංකාවට වාහන ආනයනය කරන කෙනෙකුට ඩොලර් වලින් බදු ගෙවන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ මහ බැංකුවේ සල්ලි අඩු ගණනේ ලංකාවේ රජය විසින්වත් පිළිගන්නේ නැහැ කියන එකයි. 

කොහොමටත් මේ වෙද්දී මහ බැංකුවේ විදේශ ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින්. අගෝස්තු අන්තිම වෙද්දී මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත ප්‍රමාණයෙන් මහ බැංකුවේම විදේශ වගකීම් පියවන්නත් ඩොලර් මිලියන 400ක් මදි. සැප්තැම්බර් අවසාන වෙද්දී අනිවාර්යයෙන්ම මේ හිඟය තවත් විශාල ලෙස වැඩි වී තිබිය යුතුයි. එහෙම තියෙද්දී මහ බැංකුවට මෙතෙක් කාලයක් කළා වගේ රුපියල් වලට නෛසර්ගික වටිනාකමක් ආරෝපණය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. රුපියල එල්ලිලා තියෙන්නේ තනිකරම මිනිස්සු රුපියල් භාර ගැනීම මත පමණයි. එහෙම තියෙද්දේ තමයි බදු විදිහට රුපියල් භාර ගැනීම ලංකාවේ රජය විසින්ම අත හරින්න යන්නේ.

මෙය අවිධිමත් ඩොලර්කරණයක් ලොකුවට වෙන්නත් කලින්ම, නිල ඩොලර්කරණය ස්වේච්ඡාවෙන් තෝරා ගැනීමකට ආසන්න දෙයක්. 

ඩොලර්කරණය නරක දෙයක්ම නෙමෙයි. ලංකාවේ මුදල් ඒකකය ඩොලර් බවට පත් වෙනවා කියා කියන්නේ ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට සීමා වෙනවා කියන එක. ඇමරිකාව උද්ධමනය 2% මට්ටමේ පාලනය කර ගන්නා රටක්. බොහෝ රටවල් නිල ඩොලර්කරණය තෝරා ගන්නේ උද්ධමනය පාලනය කරන්න වෙන ක්‍රමයක් පේන්න නැති වූ විට. මෙහි තිබෙන අවාසිය වන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වී, සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවීමේ හැකියාව නැතිව යාමයි. හරියටම කිවුවොත් සල්ලි අච්චු ගැසීමේ ලාබය ඩොලර් අච්චු ගහන ඇමරිකාවට ලැබෙන එකයි.

දැන් මේ වැඩෙන් ලංකාවේ රජයට ලැබෙන වාසියක් ඇත්තෙම නැද්ද? වාසියක් නැත්තේ නැහැ. දැන් වාහන ආනයන නවත්වා ඇති නිසා රජයට අහිමි වන ආනයන බදු නැවතත් රජයට ලැබෙන්න පටන් ගන්නවා. ඒ හරහා රජයේ අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සල්ලි අච්චු ගහන එක සීමා කරන්න පුළුවන්. එය රජයට වගේම රටටත් හොඳයි. 

හැබැයි මේ වැඩේ කළා කියලා අමුතුවෙන් රටට ඩොලර් එන්නේනම් නැහැ. වාහනයක් ආනයනය කරන කෙනෙක්ට ඒ වෙනුවෙන් ගෙවන්න වගේම රජයට බදු ගෙවන්නත් ඩොලර් හොයා ගන්න වෙන්නේ කොහොමටත් රටට එන ඩොලර් ටිකෙන්ම තමයි. අපනයනකරුවන් විසින් රටට නොගෙනවිත් තියාගෙන එන්න ඩොලර් ටිකක් වාහන විදිහට රටට එන්නනම්  පුළුවන්. 

උදාහරණයක් විදිහට කවුරු හෝ ආනයනකරුවෙක් ඩොලරයකට රුපියල් 250ක් බලාගෙන ඩොලර් රටින් එළියේ තියාගෙන ඉන්නවා කියා හිතමු. දැන් මේ සල්ලි ඩොලර් විදිහට ගෙනාවොත් ලැබෙන්නේ ඩොලරයකට රුපියල් 200ක් පමණයි. ඔය ඩොලර් වලින් රජයට බදුද ගෙවා වාහනයක් ආනයනය කළොත් වාහනය විකුණන මිලෙන් වක්‍ර ලෙස ඩොලරයකට රුපියල් 250ක් හොයා ගන්න පුළුවන්. මේ වෙලාවේ රටේ වාහන මිල ඉහළ ගොස් තිබෙන තත්ත්වයත් එක්ක වැඩි මිලකට වාහනයක් විකුණන එක අමාරු වැඩක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ නැවත වාහන ආනයනය කරන්න ඉඩ දුන්නොත් රටින් පිටත ඩොලර් තියාගෙන ඉන්න අයට වක්‍ර ලෙස ඩොලරයක "නියම මිල" ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. 

17 comments:

  1. කාම්බෝජයේ ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලර් භාවිතා කරනවා. ඔවුන්ගේ මුදල් වලට අමතරව. ටෙලර් වලින් පවා ඩොලර් ගන්න පුළුවන්. අපිත් ඒ තත්වයටම එයිද?

    ReplyDelete
    Replies
    1. කාම්බෝජය මම ඒ තරම් නොදන්නා රටක්. ලංකාව ඔබ කියන කාම්බෝජයේ තත්ත්වයට යන එක ආණ්ඩුවේ අපේක්ෂාව කියා මම හිතන්නේ නැහැ.

      Delete
    2. මාලදිවයිනේත් ඔය විදිහටම ඩොලර් වලින් ගනුදෙනු කරන්න පුළුවන්.තියෙන පොඩි කඩයක්ට උනත් ඩොලර් වලින් ගෙවලා බඩු ගන්න පුළුවන්. ඕනෙම කෙනෙකුට ඩොලර් වලින් බැංකු ගිණුමක් පවත්වාගෙන යන්නත් පුළුවන්.ඩොලර් වලින් මුදල් ගන්න වගේම තැන්පත් කරන්න පුළුවන් ATM යන්ත්‍රත් තියෙනවා.

      Delete
    3. සංචාරක කර්මාන්තය මත විශාල ලෙස යැපෙන කුඩා දූපත් රාජ්‍ය බොහොමයක ඔය තත්ත්වය දැකිය හැකියි.

      Delete
  2. ආණ්ඩුව මේකෙන් බලාපොරොත්තුවෙන්නෙ එක්ස්පොර්ට් කරන අයගෙ ඩොලර් මේ හරහා ලන්කාවට එයි කියලද? වාහන ආනයනයනය කරන්නෙ වෙනම කාණ්ඩයක් නිසා මේකබ්වෙන හැටි පැහැදිලි කරන්න පුකුවන්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන අරමුණ අහිමි වූ රජයේ බදු ආදායම නැවත උපයා ගැනීම. එහෙත්, මෙහිදී ආනයන ඉහළ යන නිසා විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වෙනවා. ඩොලර් වලින්ම බදු ගෙවන්න සිදු වූ විට වාහන ගන්න අවශ්‍ය අය කොහොම හරි ඩොලර් උපයයි කියන එක මෙය යෝජනා කරන අය හිතනවා ඇති.

      Delete
    2. මම දන්නා තරමින් ලංකාවේ ඕනෙම කෙනෙකුට ඩොලර් වලින් ගිණුමක් පවත්වාගෙන යා නොහැකියි. NRFC ගිනුමකට උනත් ලංකාව තුලදී මුදල් තැන්පත් කරන්න ගිණුම් හිමියාම පුද්ගලිකව බැංකුවට යායුතුයි. ඒ වගේම මම දන්නා තරමින් ලංකාවට පැමිණ මාස 6 යනතුරු පමණයි එසේ මුදල් තැන්පත් කල හැක්කෙත්. ඊට පසු මුදල් තැන්පත් කල නොහැකියි. මුදල් ආපසු ලබා ගන්නා විටත් එය ලබාදෙන්නේ රුපියල් වලින්.ඩොලර් වලින් ලබාගත හැක්කේ විදේශ ගතවන අවස්ථාවක ගුවන් ටිකටපත හා විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් පමණයි. මට ඇති ප්‍රශ්නය

      1. මෙවැනි තත්වයක් තුල බදු ගෙවීමට නීත්‍යනුකුලව ඩොලර් එන මාර්ගය කුමක්ද?
      2. ඕනෙම ලාංකික පුරවැසියෙකුට ඩොලර් වලින් ගිණුමක් පවත්වාගෙන යාමට හා අවශ්‍ය අවස්ථාවක ඩොලර් වලින්ම ආපසු ගැනීමේ හැකියාව ලබා දුන්නා නම් වැඩි ඩොලර් ප්‍රමාණයක් බැංකු පද්දතිය තුලට ලැබෙනවා නේද? නමුත් එසේ බැංකු නොකිරීමට විශේෂ හේතුවක් තිබෙනවද?

      Delete
    3. අපි විදේශ රටක සිට ලංකාවට මුදල් එවන විට වෙනත් මාර්ග භාවිත කරන්නේ බැංකු ලබාදෙන මුදල අඩු නිසා.නමුත් බැංකු ඩොලර් වලින්ම ආපසු ලබා ගැනීමේ පහසුකම ලබා දුන්න නම් එම මුදල් බැංකු හරහා ලංකාවට එවීම වැඩි වෙනවා. එවිට ලංකාවේදී ඩොලර් ලෙසම ආපසු ලබාගෙන තමන් කැමති තැනකින් රුපියල් වලට මාරු කරගත හැකියි. එමගින් ලංකාවට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ආදායමේ සැලකියයුතු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකියි.

      Delete
    4. jeewanthaOctober 17, 2021 at 12:47 AM
      1. ඒක තමයි ප්‍රශ්නය. මේ යෝජනාව ක්‍රියාත්මක කළා කියලා අමුතුවෙන් ඩොලර් එන්න ක්‍රමයක් නැහැ. මම අන්තිමට කියපු ආකාරයෙන් අපනයනකරුවන් විසින් දැනට එළියේ තියාගෙන එන්න ඩොලර් ගෙනාවොත් තමයි.
      2. මෙවැන්නක් කිරීම සඳහා මහ බැංකුව අවසර දිය යුතුයි. දැනට එවැනි අවසරයක් නැහැ. නීත්‍යානුකූල ක්‍රමයකින් රටට ඩොලර් ගේන කෙනෙකුට දැනටත් මේ පහසුකම තිබෙනවා කියන එක මහ බැංකුවේ ස්ථාවරය විය හැකියි. ඒ අනුව, ඕනෑම කෙනෙකුට ඉඩ දුන් විට එම ඉඩ අලුතින් ලැබෙන්නේ නීත්‍යානුකූල නොවන ක්‍රමයකින් රටට ඩොලර් ගේන අයට පමණයි. එසේ නැත්නම්, කොහොමටත් රටට එන ඩොලර් රුපියල් ගෙවා මිල දී ගන්න වෙනවා.

      Delete
  3. //උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික මුදල් ඒකකය බලු නොවටින තැනට වැටුණු විට, නිල වශයෙන් රජය හෝ මහ බැංකුව විසින් ඩොලර්කරණය විදේශ විණිමය ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන්න කලින්ම, සමස්තයක් ලෙස රටේ මිනිස්සු තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගන්නවා.//

    රටක පාලකයන් බලු නොවටින තැනකට වැටුණු විට ඒ පුරවැසියන් ඔවුන්ව අත් හරින්නේ නැත්තේ ඇයිද මන්දා.... එතැනදී තමන්ම විකල්ප හොයාගන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. රජය ගැන නොහිතා තම තමන්ට හැකි විකල්ප හොයා ගන්න එක තමයි කළ යුත්තේ.

      Delete
    2. ඉකොනොමැට්ටා,

      පොලිටික්ස් වලදි නම් විකල්ප ඉතින් මවල තමයි හොයාගන්න වෙන්නේ, මොකද විකල්ප කියලා ඉදිරිපත් වෙන අය ඉන්න හාල්පාරුවන්ටත් හපන් නේ? මේක හරියට ඔලිම්පික් යන ලංකාවේ ටීම් එක වගේ. රටේ ඉන්න හොඳම කියල හිතෙන එවුන් තෝරල යැවුවත් ඒ එකෙකුටවත් මෙලෝ මෙඩල් එකක් ගන්න හැකියාවක් නෑ, ලබා උපන් හැටියටනේ බඹා වැනෙන්නේ. (උණ පුරුකේ බලු වලිගේ දාලා තිබ්බත් නෑ ඇදේ ඇරෙන්නේ). පරණ වාමාංශිකයෝ කියපු 'බල්ලො මරල හරි සල්ලි හොයන' ආර්ථිකයක් පිළිබඳ චෝදනාව දැන් යථාවක් වෙලා නේද?

      මිනිස්සු නිර්මාණශීලීව හොඳට හිතල මතල අලුත් විසඳුම් හොයාගන්න ඕනෙ ආර්ථික කාරණාවලදි වත්, පුද්ගලිකව පාට් ටයිම් විවිධ තොරතුරු තාක්ෂ්ණ සේවා වැඩ, ඩේට එන්ට්‍රි, එතකොට ලංකාවෙ තියෙන පිට රටවල මාකට් කරන්න පුළුවන් විවිධ හර්බ්ස් වගේ විවිධ දේවල් ඊ බේ වගේ ඒවයේ ඩිරෙක්ට් ශිප් කරල භාණ්ඩ විකුණල වගේ එක එක ජල්තර වලින් ඩොලර් ටිකක් හොයා ගන්න ඕන, වෙන විසඳුමක් නෑ, ලංකාවේ දැන් පේයොනියර් හෙමත් ඇක්ටිව් නේද?

      Delete
  4. 2015 වසරෙ මහින්ද රාජපක්ස මහතා පැරදුනේ නැත්නම් අපේ gdp per capita එක කීයක් වගේ තියෙයිද.
    2005 සිට 2014 දක්වා අපේ රටේ gdp growth එක වැඩි වුනේ ඇයි

    ReplyDelete
    Replies
    1. දිවීම හා බැරි මරගාතේ දිවීම
      http://economatta.blogspot.com/2021/10/blog-post_15.html

      යුද්ධය නිමවීමෙන් පසු ලංකාවේ ආර්ථිකය
      conomatta.blogspot.com/2018/10/blog-post_23.html

      Delete
    2. //2015 වසරෙ මහින්ද රාජපක්ස මහතා පැරදුනේ නැත්නම් අපේ gdp per capita එක කීයක් වගේ තියෙයිද.//
      එසේ වී කලින් ක්‍රමයට දිගටම ගියානම් 2017-19 පමණ වෙද්දී දැන් මුහුණ දෙන ආර්ථික අර්බුදය කලින්ම ඇවිත් ආර්ථිකය කඩා වැටෙනවා. කොහොමටත්, ආණ්ඩුව වෙනස් වෙන්න පෙර, 2013 සිටම ආර්ථික වර්ධනය අඩු වෙමිනුයි තිබුණේ. බොහෝ විට ප්‍රශ්නය දරුණු වෙන්න කලින් ආණ්ඩුව විසින් යම් ප්‍රතිසංස්කරණ කිරීමෙන් එවැනි විනාශයක් වැළකෙනවා. නැත්නම් 2020දී ආණ්ඩුව මාරු වී අලුතෙන් පත් වන ආණ්ඩුවකට මහජන කැමැත්ත ඇතුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න ඉඩ ලැබෙනවා.

      Delete
    3. ජනතා කැමැත්ත ඇතිව ප්‍රතිසංස්කරණ වලට යන්න මීට වඩා දරුණු කඩාවැටීමක් අවශ්‍ය වෙනවා. සමහර විට ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක වෙන්න පුළුවන්.

      Delete
  5. ඇත්තටම ඉකොනො මැදපෙරදිග රටක සේවය කරන මගේ පාසල් මිතුරෙක් මගෙන් ඇහුවා මම ජනපති නම් මේ විදේශ විනිමය (ඩොලර්) අර්බුදයට මොකද කරන්නේ කියලා. මම කියුවේ "හොඳ ප්‍රශ්නයක්, ඒත් මම ජනපති වුණත් වෙන අයෙක් ජනපති වුණත් විශ්වකර්ම විසඳුම් නැහැ. අපට ප්‍රයෝගිකව කළ හැකි දේ මම කරනවා කියලා."

    ඔහු: "හැබෑටම මොනවාද ඒ?"

    අපට විදේශ විනිමය ලැබෙන්නේ ක්‍රම තුනකින්.

    1) ලංකාවේ සම්පත් සහ නිෂ්පාදන අපනයන කිරීමෙන්

    2) විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීමෙන්

    3) සංචාරකයන් ලංකාවට පැමිණ වියදම් කිරීමෙන්.

    මම යෝජනා කරන විසඳුම්:

    1) ලබන වසර "අපනයන වර්ෂය" ලෙස නම් කර හැකි සෑම අයෙකුම හැකිතරම් භාණ්ඩ හා සේවා යන දෙකම අපනයනය කිරීමට සැලසීම. Micro freelancers වැනි සේවා සඳහා අවශ්‍ය පිළිගැනීම සහ සියලුම සහාය දැක්වීම. මේ සඳහා දැනට ඇති විවිධ නීතිමය බාධා වසරකට අත්හිටවීම. අපනයන ප්‍රවර්ධන මණ්ඩලයට වැඩ කරන්න පුළුවන් නූතන තාක්ෂණය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ගැන ඉතා මැනවින් දන්නා දෙස් විදෙස් ලාංකීය ක්‍රියාකාරීන් කණ්ඩායමක් පත්කිරීම. (මම මේ කියන කණ්ඩායමට අනිවාර්යෙන්ම ගන්න එක්කෙනෙක් තමයි ඉකොනොමැට්ටා.) මෙය කිරීමේදී 20% පමණ අකටයුතුකම් විය හැකියි. නමුත් මේ අර්බුද අවස්ථාවේ එම අවදානම ගත යුතුය (Risk acceptance). කුඩා ප්‍රමාණ ඇති අයගෙන් එකතු කර විශාල ප්‍රමාණ හදා අපනයනය කිරීමට අතරමැදියන්ට අවසර දීම (Aggregation). මෙයින් යම් විදේශ විනිමය ආදායමක් ඉදිරි වසරේ ලබා ගත හැකිය. කිසිම තේරුමක් නැති බොරුවට කාලය කා දමන අවසර අනුමැති දීමේ පටිපාටි වසරකට නවතා දැමිය යුතුය.

    2) හැකි සෑම අයෙකුටම විදෙස් රැකියා සඳහා යාමට උනන්දු කරවීම. වසර දෙකකට විදෙස් රටක සේවය කිරීමට සියලු රජයේ සේවකයන් නිදහස් කිරීම. එම සේවයට වරප්‍රසාද දීම. උදාහරණයක් ලෙස වෛද්‍යවරුන්ට පිටරට සේවය කිරීමෙන් සිය රාජ්‍ය සේවා කාලය අඩු වීමේ ප්‍රතිපත්තිය වසර දෙකකට ඉවත් කිරීම. රැකියා සඳහා යන අයට හැකි තරම් වරප්‍රසාද දීම. විශ්‍රාම වැටුප් ආදිය එලෙසම තියෙන බවට වග බලා ගත යුතුය. (මෙහි මීළඟ පියවර ලෙස මේ ආකාරයටම රජයේ සේවකයන්ට දේශීය පුද්ගලික අංශයේ වැටුප් රහිත රැකියා කර නැවත වතාවක් රජයේ සේවයට පැමිණිය හැකි බවට සහ විශ්‍රාම වැටුප්/ අර්ථසාධක වැනි දේ එලෙසම ආරක්ෂාව සැලසීම.)

    3) විදේශ විනිමය අනුපාත පාලනය නොකිරීම. මෙමගින් විදෙස්ගත ශ්‍රමිකයන් අනීතික ක්‍රමයට මුදල් එවීම වැලැක්විය හැකිය. වෙනත් හේතු නිසා එසේ කිරීමට නොහැකි නම් අඩුම තරමින් ඔවුන්ට ලංකාවේ බැංකු හරහා මුදල් එවීම දිරිමත් කිරීමට අනාගතයේ ප්‍රතිලාභ ලැබෙන බැඳුම්කර වැනි අලුත් මූල්‍ය මෙවලම් ඉදිරිපත් කිරිම.

    4) සංචාරකයන් ගෙන්වා ගැනීම.

    5) අන්තර්ජාලය හරහා සේවා සපයා විදෙස් විනිමය උපයන freelancer ලාට හැකි තරම් පහසුකම් සැපයීම. ඔවුන්ගේ ප්‍රේරණ සඳහා අනාගතයේ ප්‍රතිලාභ ලැබිය හැකි මූල්‍ය මෙවලම් හඳුන්වාදීම.


    මම කරන්නේ ඔය දේවල් හැකි තරමට optimize කරන එක. දැන් මේ ආකාරයට හෝ වෙනත් ක්‍රමයකින් හෝ උපයා ගන්නා විදේශ විනිමය අරපරිස්සමින් වියදම් කළ යුතුය. දෙකයි පණහේ මෝඩ මන්ත්‍රිලාට වාහන ගෙන්වීම, කකූල් දෙකේ වහු පැටවුන්ට ලාබෙට පිටිකිරි ගෙන්වීම, ටික් ටොක් නංගීලා මල්ලිලට අයිෆෝන් ගෙන්වීම වැනි අධිපරිභෝජනවාදී කාමසුඛල්ලිකානු විලම්බීත වැඩ වලට අමාරුවෙන් උපයාගන්නා විනිමය මේ මොහොතේ වියදම් නොකර රටේ ආහාර නිෂ්පාදනය සහ අනෙකුත් මූලික අවශ්‍යතා හැකි තරම් දියුණු කිරීමට පමණක් එම විනිමය වියදම් කළ යුතුය. ලංකාවට දරාගත නොහැකි ජනප්‍රිය තීරණ සහ වෙනත් පඩශෝ වල වියදම් සඳහා ණය ගෙවීමට විදෙස්ගත ශ්‍රමිකයන් මහන්සි වී හම්බ කරන මුදල් නාස්ති නොකළ යුතුය."

    මේ මා මගේ මිතුරාට දුන් පිළිතුරයි. මම ජනපති නම් කරන්නේ මේවාය. අලුතෙන් හිතන්න පුළුවන් දක්ෂ මිනිසුන් එකතු කරගෙන මේවා ඉක්මණින් සැලසුම් කර ජනතාව දැනුවත් කර ඒවායේ දුර්වලතා විසඳා ඒවා ක්‍රියාත්මක කරමි. මේ සියල්ල මම විසින්ම සිතූ ඒවා නොවේ. තවත් අයත් මේවා සිතා ඇත. මෙයට වඩා හොඳ යෝජනාද තිබිය හැකිය. වසර දෙකක් පමණ අපට මෙම අර්බුදයට මුහුණ දී එකමුතුව එය ජයගත හැකිය. මගේ අදහස මේ සියල්ල මහපොලව මත ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි යෝජනා බවත් ඉහල පුටුවල ඇස් ඉක්මනින් මේ ගැන යොමුවිය යුතුමය. නැතිනම් තවත් ප්‍රමාදවී කිසිදු පලක් නැත.

    - රංගනාථ ගිනිගේ

    ප.ලි. මේ ගැන මුදල් ඇමැතිට මේ යෝජනා ඉදිරිපත් කළ පසුව ඒවා ඉතා හොඳ බව පිළිගනිමින් ස්තුති කළා. ඒවා ක්‍රියාත්මක කරන්න ඉතින් මොළය සහ කය වෙහෙසා වැඩ කරන්න ඕන.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...