වෙබ් ලිපිනය:

Sunday, August 23, 2020

දොළොස්වෙනි මරණය

කිහිප දෙනෙක්ම ප්‍රතිචාර ලෙස විවිධ ප්‍රශ්න අසා තිබෙනවා. ඇතැම් අය ප්‍රශ්න අසා විද්‍යුත් ලිපි එවා තිබෙනවා. ඊට අමතරවත් කතා කළානම් හොඳ මාතෘකා ගණනාවක් තිබෙනවා. නමුත්, මේ දවස් වල බ්ලොග් එක වෙනුවෙන් වැය කිරීම සඳහා කාලයක් හොයා ගන්නම බැරි තරම්. විවේකයක් ලැබෙන විට මේ දේවල් ගැන අපි කතා කරමු.

ලංකාවේ දොළොස්වන කෝවිඩ් මරණය වාර්තා වී තිබෙනවා. ඇය පිළිකා රෝගියෙකුව සිට ඇති බවද වාර්තා වෙනවා. මේ ආකාරයෙන් වෙනත් රෝග වලින් පීඩා විඳිමින් සිටින අයෙකු කෝවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය පසුව එම මරණය ඇත්තටම කෝවිඩ් මරණයක්ද කියන එක කතාබහට ලක් වෙනවා.

මෙය සරල ප්‍රශ්නයක් නෙමෙයි. හේතු ගණනාවක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය නිසා ඇති වන සංසිද්ධියක් තනි හේතුවකට ඌණනය කරන්න ගියාම ඇති වන සංකල්පීය ප්‍රශ්නයක්. මිනිහෙක් මැරුණේ ඇයි කියන එකට හැම වෙලාවකම නිශ්චිත තනි හේතුවක් දෙන්න පුලුවන්ද? බීමතින් රිය පදවා සිදුවන අනතුරකින් කෙනෙක් මිය ගියාම එය රිය අනතුරක් නිසා සිදු වූ මරණයක්ද නැත්නම් මත්පැන් නිසා සිදු වූ මරණයක්ද? එය මත්පැන් නිසා සිදු වූ මරණයක් කියා කිව හැකිනම්, එම අනතුරෙන්ම මිය ගිය මත්පැන් පානය නොකරන අයෙකුගේ මරණයට හේතුව කුමක්ද?

කිසියම් සංසිද්ධිකයට හේතුකාරක වූ තනි කරුණක් ගැන විද්‍යාත්මක පදනමකින් කතා කරද්දී බොහෝ විට එය කරන්නේ කවර හෝ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයකට සාපේක්ෂවයි. උදාහරණයක් ලෙස කෝවිඩ් ආසාදනය වීමෙන් පසුව මිය ගිය පිළිකා රෝගියෙකු කෝවිඩ් ආසාදනය නොවූවද අදාළ කාලය තුළ පිළිකා රෝගයෙන් මිය යා හැකිව තිබුණේනම් එය කෝවිඩ් හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස හඳුන්වනවාට වඩා පිළිකා මරණයක් සේ හැඳින්වීම නිවැරදියි. ඒ වගේම, පිළිකාව නොතිබුණත් කෝවිඩ් නිසා මිය යා හැකිව තිබුණේනම් එය කෝවිඩ් මරණයක් කියා කියන්න පුළුවන්.

මේ වගේ සංකල්පීය රාමුවක් යොදා ගත්තත් ප්‍රශ්නය එයින්ම විසඳෙන්නේ නැහැ. පිළිකා රෝගියෙකු කෝවිඩ් ආසාදනය වී සිටි තත්ත්වය යටතේ මිය ගිය බව අපට නිරීක්ෂණය කළ හැකි වුවත්, කෝවිඩ් ආසාදනය වී නොසිටි තත්ත්වයක් යටතේ ඇය මිය යා හැකිව තිබුණාද නැත්නම් තව දුරටත් ජීවත්ව සිටිය හැකිව තිබුණාද යන්න අපට නිශ්චිතව දැන ගත හැකි ක්‍රමයක් නැහැ. එය ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙමෙයි. සංකල්පීය ලෙසම කළ නොහැකි දෙයක්.

මේ ආකාරයෙන්ම කෝවිඩ් ආසාදනය වී සිටි පිළිකා රෝගියෙකු පිළිකාවක් වැළඳී නොසිටි තත්ත්වයක් යටතේ මිය යා හැකිව තිබුණාද නැත්නම් තව දුරටත් ජීවත්ව සිටිය හැකිව තිබුණාද යන්නත් අපට නිශ්චිතව දැන ගත හැකි ක්‍රමයක් නැහැ. මෙවැනි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් පිළිබඳව සරල උපකල්පන කිරීම නිවැරදි නැහැ. ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් පිළිබඳව නිගමන වලට පැමිණිය යුත්තේ පිළිගත හැකි ආකෘතිමය හා විශ්ලේෂණ රාමුවක් තුළ පමණයි. එසේ කළ පමණින්ද එවැන්නක් සර්ව සම්පූර්ණ වන්නේ නැහැ.

කිසිසේත්ම කළ හැකි නොවූවත් යම් ආකාරයකින් ඉහත කී ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් දෙක අපට නිරීක්ෂණය කිරීමට හැකි වුනා කියා අපි හිතමු. එවිට අප දකින්නේ මෙවැනි දෙයක් වෙන්න පුළුවන්.

- කෝවිඩ් ආසාදනය වුවත් පිළිකා රෝගියෙකු නොවූවානම් ඇය මිය යන්නේ නැහැ.

- පිළිකා රෝගියෙකු වුවත් කෝවිඩ් ආසාදනය නොවූවානම් ඇය මිය යන්නේ නැහැ.

දැන් අප‍ට මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසුවත් මරණයට තනි හේතුවක් හොයා ගන්න බැහැ. මරණය සිදු වී තිබෙන්නේ පිළිකාවේ හා කෝවිඩ් ආසාදනයේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. සැබෑ ලෝකයේ මරණයක් කියා කියන්නේ මෙවැනි සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක්. ඒ නිසා, කිසියම් මරණයකට හේතුව කියා කියන්නේ අවසාන වශයෙන් ජීවත් වන අයගේ එකඟතාවයක් හෝ සම්මතයක් පමණයි. එවැනි එකඟතා රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වගේම, කාලයෙන් කාලයටත් වෙනස් වෙන්න පුළුවන්.

කෝවිඩ් ආසාදනය වූ අයෙකු මිය ගිය විට එය බොහෝ විට වාර්තා කෙරෙන්නේ කෝවිඩ් හේතුවෙන් සිදු වූ මරණයක් ලෙසයි. ඇතැම් අවස්ථා වලදී මෙවැනි වර්ග කිරීම් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. මේ මරණ සියල්ල කෝවිඩ් මරණ නොවන බව කෙනෙකුට තර්ක කළ හැකියි. හැබැයි ඒ වගේම මෙහි අනෙක් පැත්තක්ද තිබෙනවා. කෝවිඩ් වසංගතයේ අතුරු පලයක් ලෙස කෝවිඩ් ආසාදනය නොවී වෙනත් හේතුවකින් මියයන අයගේ මරණ උදාහරණයි. රෝහල් පහසුකම් කෝවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීම නිසා අවශ්‍ය ප්‍රතිකාර නොලැබීමෙන් සිදු වන කෝවිඩ් ආසාදිතයින් නොවන අයගේ මරණ වල සිට රට වසා දැමීම නිසා රැකියාව අහිමි වී සිය දිවි නසා ගන්නා අයෙකුගේ මරණයක් දක්වා විවිධ කාණ්ඩ වල මරණ මේ ගොඩට දමන්න පුළුවන්.

කෝවිඩ් හේතුවෙන් ඉහළ ගිය මරණ ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකි එක් ආකාරයක් වන්නේ පසුගිය කාලයේ කිසියම් රටක සිදු වූ මරණ ප්‍රමාණය වෙනත් "සාමාන්‍ය" වසරක සිදුවන මරණ ප්‍රමාණය සමඟ සංසන්දනය කිරීමයි. ලංකාව වැනි කෝවිඩ් විශාල ලෙස ව්‍යාප්ත නොවූ රටක් හා අදාළව මෙවැනි ඇස්තමේන්තුවක් නිවැරදිව කළ නොහැකි වුවත්, ඇමරිකාව වැනි රටක් හා අදාළව ඇස්තමේන්තු වරද අවම මට්ටමක තබා ගනිමින් එවැනි ගණනය කිරීමක් කළ හැකියි.

යේල් සරසවියේ ඩැනියෙල් වේන්බර්ගර් ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් 2020 මාර්තු 1 සිට මැයි අවසානය දක්වා වූ තෙමසක කාලය සඳහා එවැනි ඇස්තමේන්තුවක් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇති පරිදි එම කාලය තුළ ඇමරිකාවේ සිදුව ඇති මරණ ප්‍රමාණය වෙනත් වසරක එම කාලය තුළ ඇමරිකාවේ සිදුවන මරණ ප්‍රමාණයට වඩා 122,000 කින් වැඩියි. එහෙත්, එම කාලය තුළ වාර්තා වී තිබෙන කෝවිඩ් මරණ ප්‍රමාණය 95,235ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සැබෑ කෝවිඩ් මරණ ප්‍රමාණය වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 28%කින් වැඩිද?

මේ වන විට ඇමරිකාවේ කෝවිඩ් මරණ ප්‍රමාණය 180,182ක්. ඇමරිකාව වගේම ලෝකයේ වෙනත් බොහෝ රටවල් හා අදාළව බැලුවත් තවමත් කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෝවිඩ් සමඟ ගණුදෙනු කිරීමට සමාජය පුරුදු වීමකුයි සිදු වී තිබෙන්නේ.

16 comments:

  1. එංගලන්තයේ කෝවිඩ් මරණ දමද්දී වෙන ලෙඩකින් මැරුණත් කෝවිඩ් හදිලනම් කෝවිඩ් ගනටමයි දැම්මේ. එනිසා මරණ 100 වගේ වාර්තා වුනා. මිනිස්සු කලබල වෙනවා කියල දන ගත්තම ලංකාවේ, වියට්නාමයේ, චීනයේ සහ තවත් රටවල් කිහිපයක ක්‍රමයට ගියා. ඒ කියන්නේ කෝවිඩ් හැදුනත් වෙන ලෙඩක් තිබ්බ නම් ඒක අසාධ්‍ය වෙලා නම් මැරුණේ කෝවිඩ් ගොඩට දාන්නේ නැහැ. මිරකියුලස්ලි එංගලන්තයේ හෙවත් බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව අඩුවුණා. මිනිස්සු මැරෙනවා. නමුත් කොවිඩ් වලින් මැරෙන්න 5 ක් හයක් වගේ. ඕක මම ලංකාවේ අයට කිවම පිලි ගත්තේ නැහැ. දැන් මැතිවරණ ඉවර නිසා තව දෙතුන් දෙනක් කෝවිඩ් වලින් නැතිවෙයි. එපමණයි.

    ReplyDelete
    Replies
    1. ane ayye lankawe api UK enna VISA hadala deepan nikam boruwata pada katha nodama .. umbala thamayi kankawata .. niyama covid ,,,na na na eeta wada bayanaka
      yai

      Delete
    2. අජිත් මේ කියල තියෙන්නෙ නූතන බිබිලෙ කියන ආකරයේ ටොන් පචයක්. ලංකාවේ කොවිඩ් සඳහා වන PCR පොසිටිවෙ උනු සෑම අයෙක්ම මරනයට පත් උනොත් කොර්විඩ් මරනයක් ලෙස තමා ගනන් කලේ. නූතන බිබිලෙ බලාපොරොතු වුනු විදිහට දහස් ගනනක් මැරුනෙ නැති නිසා එයාගෙ ගෝලයන්ට ටිකක් හිතට අමාරු බවක් තමා තියෙන්නේ. අනෙක් අතට ලොකුවට පාරම් බාපු එන්ගලන්තෙ එහෙම බල්ල මර්ක් එකටම වැටුන නිසා පොර ටෝක් දෙන්ඩත් බැහැ

      කොහොම නමුත් මෙන්න මේ අවස්තා 2 ගැන හිතුවොත් වර්ගීකරනයට basis එක තේරුම් ගන්ඩ පුලුවන්.

      1. කොරෝනා රෝගියෙක් රෝහලට රැගෙන යනවිට රිය අනතුරක් සිදුවී රිය අනතුර නිසා නිසා මිය යනව. කොරෝනා නොහැදුනේ නම් ඔහු රෝහලට නොගෙන යන නිසා රිය අන්තුරක් සිදු නොවේ ඒනිසා එය කොරොනා මරනයක් ලෙස ගනන් ගන්නවාද ?
      2. දරුනු හදවත් රෝගයක් ඇතත් පවතින තත්වයෙන් ජීවිතයට තර්ජනයක් නැතැයි වෛද්‍ය නිර්දෙශය ඇති අයෙක්ට Appendicitis වැනි සාමාන්‍යයෙන් කිසිම මරනීය තර්ජනයක් නැති රෝගයකට සම්පූර්නයෙන් සිහි නැති කර ශල්‍ය කර්මයකට භාජනය කරනව. (Appendicitis සඳහා දැන් එවැනි සිහිනැති කිරීමක් එන්ග්ලන්තයේ හෝ ඇමෙරිකාවේ අවශ්‍ය නැහැ වගෙ පඬි කතා ඕන නැහ. ලංකාවෙත් ඕනෙ නැහැ. මේක උදාහරනයක් විතරයි ). ශල්‍ය කරමයෙන් පසුව ඔහුට හදවත් රෝගය නිසා සිහිය එන්නැතුවම මිය යනව. Appendicitis නොහැදුනේ නම් සිහි නැති කිරීමක් අවශ්‍ය නැති නිසාත් හදවත් රෝගය තිබුනත් එය මරනීය නොවන බවට වෛද්ය මතය නිසාත් මෙය Appendicitis මරනයක්ද ? Appendicitis කිසිම මරනීය තර්ජනයක් නැති රෝගයක් නිසාත් ශල්‍ය කර්මයේදී Appendicitis නිසා කිසිම සන්කූලතාවයක් ඇති නොවුනු නිසාත් මෙය හදවත් රෝගය නිසා සිදුවුන මරන ගනනට දැමිය යුතුද ?

      Delete
    3. රන්සකු මම ශ්‍රී ලකාවේ කොවිඩ් 19 සම්බන්ධ ප්‍රතිපත්තිය විවේචනය කර නැහැ. ෆැක්ට් එකක් පිලිබඳ ප්‍රශ්නයක් තමයි අහල තියෙන්නේ. බොරුවට එංගලන්තයට හොඳ කියනවා කියල කහඹිලියා ගැවිලා වගේ දඟලන්න අවශ්‍ය නැහැ. මගේ කෝවිඩ් 19 ගැන ලිපි සියල්ල කියෙව්වොත් තේරෙයි මම ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති හා බොරිස් ජොන්සන් ගේ වැඩට විරුද්ධව ලියා ඇති බවත් ලංකාවේ ක්‍රියා මාර්ග ගැන ප්‍රසංශා කර ඇති බවත් . මේ ලිපි කියවන්න.
      (ඉකොන් මේ ලින්ක් දමනවාට විරුද්ද නොවේ කියා හිතනවා)

      //ශ්‍රී ලංකාවේ රජයේත් , සෞඛ්‍ය සේවාවන්ගේ ත් ජනතාව විසින් covid-19 සම්බන්ධ නීති රීති පිලි පැදීමත් නිසා මේ අගය අඩුවී ඇති බව පැහැදිලිවම පෙනේ. //

      ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් COVID -19 තත්වය - 2



      ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා පැතිරීම, දක්ෂිණාංශික හා වාමාංශික අන්තවාදය


      මේ ඉංග්‍රීසි ලිපිය කෙනෙක් කියවල එක විවේචනය කළා ලන්ඩනයේ LBC රේඩියෝවේ .
      මේ ඒක .


      Survival of the fittest or the Rule of the Jungle

      බ්‍රසිල් ජනාධිපති , ට්‍රම්ප් හා ජොන්සන් එයුජෙනික්ස් ක්‍රමයට මිනිසුන් මැරෙන්න හරිනවා කියා මම චෝදනා කළා. ඉකොන් සහ මගේ අදහස් එතැනදී ගැටෙනවා. නැතිනම් මෙතන සංවාදයක් යන්නේ නැහැනේ. මම අදත් බොරිස් මේ තත්වය මඩලපු ආකාරය වැරදි බවයි හිතන්නේ. ලංකාවේ කල විධිහ තමා හරි. නමුත් ඒ ක්‍රමය මෙහෙ කරන්න ටිකක් අමාරුයි. මිනිස්සු විරුද්ධ නිසා. නමුත් දැන් මෙහත් ලංකාව අනුගමනය කරනවා කියන එකයි මම කියන්න හැදුවේ. කොටින්ම ලංකාවේ වගේ රෝගින් හොයාගෙන යනවා දැන්. ලෙස්ටර් වගේ රෝගය දරුණු තැන් ලංකාවේ කළා වගේ ලොක් ඩවුන් කරනවා.

      Delete
    4. ඇනෝ ගේ ප්‍රතිචාරයට කොටස් දෙකකින් පිළිතුරු දෙන්නම්. ඔය උඩ ලිපි සහ මගේ මේ ලිපියත් බලන්න.

      කොරෝනා වසංගතයට කළ යුත්තේ කුමක්ද? කුමක්ද ලෙනින්
      මම කොහොමත් ජොන්සන් ට විරුද්ධයි. මේ රටේ පක්ෂ දෙකක් තියනවා. කම්කරු සහ කොන්සවටිව් , ඒකෙත් මේ ආණ්ඩුව වඩා දක්ෂිනාංශික එකක් . මේ ගොල්ලෝ මිනිස්සු මැරෙන්න ඇරිය . ඒක මම පිලිගන්නවා. ඊයේ මැරුණේ එක්කෙනයි. (අගෝස්තු 30)
      ඒ මොකද දැන් එකපාරට අඩුවුණේ. ඔවුන් ලංකාවේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්නේ මෙතන විතරක් නෙමේ. දැන් රෝගින් ගේ ගෙවල් වලට හොයාගෙන යනවා. නගර වෙන් කරලා හමුදාව දාල ලොක් ඩවුන් කරනවා.
      මම ඔය ගැන ජවිපෙ සහ පෙසප යහළුවන්ට කිවම ඔවුන් කීවෙත් ඔය කතාවමයි . රෝහල් වල ඔවුන්ගේ වෘත්තීය සංගම් හෙම තියෙන නිසාත් ලංකාවේ වගේ රටක මරණ සඟවන්න බැහැ කියල. ඒ අදහස මම පිලිගන්නවා. ලංකාව කොවිඩ් 19 වසංගතය හොදින් පාලනය කළ බවත් පිලි ගන්නවා.
      එසේනම් මම ඉහත දේ ලිවේ ඇයි ?

      Delete
    5. එසේනම් මම ඉහත දේ ලිවේ ඇයි ?
      ඒ මේ නිසා:
      අප්‍රේල් මාසයේ කළුතර පැත්තේ ගමක පාරක ගිය පුද්ගලයක් උණ හැදී වෙව්ල වෙව්ලා සිට හදිසි අනතුරු ඒකකය එද්දී මිය ගියා. පත්තරේ දවසක් ගියා. ඊට පස්සෙමොනවා වුනාද දන්නේ නැහැ.
      මැයි මාසයේ කෙනෙක් මියගොස් ගෙදර වත්තේ පහල වලලද්දී පොලිසියට අසුවුනා. (ගම්මු කියල පස්සේ ගෙනත් පරීක්ෂණයක් කලාලු. මොකද වුනේ දන්නේ නැහැ. කවුද කීවේ කියල ලියන්න බැහැ. ඔවුන්ගේ රස්සා නැති වෙයි.)
      මගේ ඥාති කාන්තාවක් චන්දෙට සුමාන දෙකකට කලින් මිය ගියා . හුස්ම ගැනීමේ අපහසුතා තිබ්බ. දින කිහිපයක් කෑවේ බිවේ නැහැ. වෙන ලෙඩක් තිබ්බේ නැහැ. මිය ගියේ ඉරිදා උදේ. හවස මරණ සහතිකය ලැබී සඳුදා ආදාහනය කළා. ගමේ අය හිටියේ නැහැ. හාමුදුරුවන් සහ ඥාතියා ගේ හිතවත් කිහිප දෙනක් විතරයි හිටියේ ආදහනයට. මම ඇහුවට මුකුත් කීවේ නැහැ. මරණ සහතිකය පැය කිහිපයකින් ලැබීම වාර්තාවක් ලංකාවේ හැටියට. එකපැත්තකින් මානුෂිකව තේරුම් ගන්න පුළුවන් ඔහු සහ බිරිඳ කරන රැකියා වල හැටියට දවස් 14 නිරෝධායනය වෙලා කන්න දෙන්නේ කවුද ?
      අංක දෙක ගැන මෙහම් ප්‍රශ්නයක් අහන්නම්:
      මම ඔය රාජිත හිටපු ඇමතිව මම දන්නේ සම්මාන උළෙල දවසේ විතරයි. ඊට කලින් දන්නෙත් නැහැ. ඊට පස්සේ දන්නෙත් නැහැ පෞද්ගලිකව. ඒකට සම්මාන දෙන්න ආව නිසා විනාඩි 5 සම්මානය දෙනකන් වේදිකාවේ හිටියේ. ඒ කලෙත් සුමිත් කලන්සිරි මාරු වුන නිසා වේදිකාවේ ඉන්නේ නැතිව.හේ හේ. අනික එයාව ගේනවට මම එය දැනගත් දවසේ සිටන් විරුද්ද වුනා. (දින දෙකකට කලින් ලංකාව ආවට පස්සේ දන්නේ. මම දුවට සාමාන්‍ය පෙළ ගණිතය හා භෞතික විද්‍යාව උගන්වන්න බ්ලොග් කරණයෙන් හා සම්මාන උලෙලෙන් අයින් වුනත් නැවත එයට පැමිණියේ නැති වීමට එක හේතුවකුත් ඕක. මට කියන්නේ නැතිව අහංකාර ලෙස ලංකානිව්ස්වෙබ් අධිකාරිය ක්‍රියා කළා එතැනදී) දැන් එහෙම හිටි විනාඩි 10 ට මම එයාගේ ගෝලයෙක් වෙනවා නම් මහින්ද රාජපක්ෂ හා රාජිත අතර සම්බන්ධය කොහොමද? අවුරුදු ගනනාවක් දෙන්න එකිනෙකා දන්නවා. එකම ආණ්ඩුවේ හිටියේ. රාජිත මහින්දගේ ආණ්ඩුවේත් හිටිය. දෙපැත්තටම සේවය කළා හෝ කෑව . එතකොට ගෝලයා කවුද මහින්ද අගමැති තුමාද?

      Delete
    6. "පරීක්ෂණයක් කලාලු. මොකද වුනේ දන්නේ නැහැ" යන්නෙන් අදහස් වන්නෙ ඔබ නොදන්න බව මිසක් සෞක්ය බලදාරින් නොදන්න බව හෝ මිය ගිය අයට කොරෝනා තියන බවක් යයි හිතන කෙනා පට්ට මෝඩයෙක් නේද ?

      ඉතින් ඔය කියන තුන් දෙනාගෙන් එක් අයෙකුට හෝ කොරෝනා තිබුනේ යයි සිතමු. එසේ නම් ඔහු කොරෝන පොකුරක එක් පුරුකක් පමනයි නේද ? එතකොට පහුගිය මාස 3 තුල එම පොකුරෙන් අඩුම වශයෙන් තව එක් කෙනෙක් වත් අසු විය යුතුයි නේද ?

      ලංකාවේ තියෙන හොඳම පාසලට ගිහින් එක උත්සාහයෙන් උසස් පෙල වැඩ 3ක් වත් සමත් වෙන්ඩ බරි මට්ටමේ අයෙක්ට තමුන්ගේ ඥාතියා මිය යාමට හේතුව තේරුම ගැනීමට බැරි වීම අරුමයක් නෙවෙයි. උගත් දොස්තරලා එය කොරොනා නෙවෙයි යයි තීරනය කිරීම නිවැරදි බව අද වෙනකන් එම පොකුරෙන් වෙන රෝගියෙක් මතු නොවීමෙන්ම ඔප්පු වෙනව නේද ? මොලේ චුට්ටක් විතර තිබ්බ නම් ඕක තේරුම් ගන්ඩ අපහසු නැහැ

      නූතන බිබිලේ ගෙන් මස් කටු කෑ හැටි ගැන කරුනු ඉදිරිපත් කර ඉකොගේ බ්ලොග් එකේ ජරා කිරීම සාදාරන නොවන නිසා ඔබේ දෙවෙනි ප්‍රශනයට පිලිතුරු දීමෙන් වැලකෙමි

      Delete
    7. මෙතන යන්නේ මඩ ගැහිල්ලක් පමණක් නිස වෙන දෙයක් නොවෙන නිසාත් මඩ ගැහිල්ල ගහන එකා කවුද කියා තේරුණා නිසාත් වෙන දෙයක් නොකියමි. ලංකාවේ හොඳම පාසලේ 1983 උසස් පෙලට තිබුනේ වැඩ හතරක් යයි නොදන්නා උසස් පෙළ නොකළ නොව වැස්සකට හෝ උසස් පෙලට නොගිය එකෙකු සමග කතා කිරීමද තේරුමක් නැති දෙයකි. ඔය තිදෙනාගේ එක අයෙකුට තිබුනා හෝ නැතා මෙතන ප්‍රශ්න කලේ කොරෝනා හැදී නොහැදී මරණ ආදාහන කල බවකි. එංගලන්තයේ දැන් සිදුවන්නේද එයයි. ඒ කියන්නේ නිවෙස් වල මරණ මුලින් පරික්ෂා කලද දැන් කරන්නේ නැත.

      Delete
    8. අපේ නිවෙස් වලට නිවෙස් හතරකට එහායින් මරියා නමැති ඉතාලියානු කාන්තාවක (අවුරුදු 80 පමණ) මිය ගිය අතර අපට මරණයට සහභාගී වීමට ඉඩ ලැබුනේ නැත. ඇය පිළිකා රෝගියෙකු වුවද අවසන් සතියෙත් අප සමග කතා කළ තැනැත්තියකි. තමන්ම කඩ වලට යාම , පල්ලි යෑම ඉවීම් පිහිම් කල තනියෙන් සිටි තැනැත්තියකි. එංගලන්තයේ මරණයක් වුනු විට භූමදාන දිනයක් ගැනීමට සති 4-5 ගියත් ඔවුන්ගේ පවුලට දින තුනකින් එය ලැබුණු අතර මරණ දිනයේදී පවුලේ අය විතරක් සහභාගී වුනි. එය කොවිඩ් නිසා යයි සිටිය හැක. නමුත් මරණයට කොවිඩ් පරීක්ෂණයක සිදු කළා නම් විය නොහැකිය. අගේ නිවසට එහා සිටින හෙදියද ඒ බව කීවාය. ඒ කියන්නේ එංගලන්තයේ මුලදී නිවෙස් වල මරණ පරික්ෂා කලද දැන් පික්ෂ කරන්නේ නැත.
      රාජිත ගෙන ජරාව කා බව සාධක සහිතව නම ගම සමග චෝදනාව කරන මෙන් ඉල්ලමි. ඔබලාගේ ආණ්ඩුවක් නිසා භය වීමට දෙයක්ද නැත. ඒ අනුව අපි කටයුතු කරමු. එයට හේතුව රැකියාව අතහැර පිරට ගිය මහත්මිය හා ජමනියේ මහතෙකු මවේට සාක්ෂි ලෙස කැඳවිය හැකි බැවිනි. රාජිත නමැති දෙෂප්ලකය සමග මගේ කිසිදා කිසිදු සම්බන්ධයක් (නෙලුම් යාය සම්මාන උළෙලේ වේදිකාවේ හැර) තිබී නැත. හැකිනම් තැන තැන මතලන්ගේ බ්ලොගයේ ආදී යේ වසුරු නොදැ මගේ බ්ලොගයේ සාක්ෂි සහිතව දන්වන මෙන් ඉල්ලමි. එවිඅට් මට වඩාත් නිසි ලෙස පිළිතුරු දිය හැකිය.

      Delete
  2. Does it matter? I mean reporting COVID numbers for news? Numbers are valuable for authorities to take actions.

    Only SL has a political value for COVID numbers, rumors like numbers are much higher and shut-down is imminent after election etc. COVID numbers in SL depend on what colour you support.

    UK/AUS admitted they initially did not include numbers from nursing homes. US said they did not initially report deaths outside hospitals, most people said or well, who cares. (Wijebahu)

    ReplyDelete
  3. ඕක මේ සිද්ධියෙදිනම් පරික්ෂා කරන්න ලේසියි මම හිතන්නෙ. සාමාන්‍ය‍යෙන් පිළිකා රෝගියෙක් මැරෙන් කාලය ගැන වෛද්‍යවරුන්ට යම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් නේද? එහෙම බැලුවම මේ රෝගියා පිළිකාවෙන් මැරෙන්න නියමිතව හිටියේ මේ අවුරුද්දෙ අන්තිමටනම්, නමුත් කෝවිඩ් හැදුන නිසා ඇයගේ මරණය ඉක්මන් වුනා. එහෙනම් ඒක කෝවිඩ් මරණයක් කියලා සළකන එක හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
  4. oya hospitawla anduwta wiriudda ekekwath na kiyalada api upa kalpanaya karnna oni

    ReplyDelete
  5. චමල් වගේ නිදි කිරන්න
    බාගෙට ඇලවෙලා ඉන්න
    අලි පාටිය මෙහෙයවන්න
    කරූ එනවලු බාරගන්න

    බහින විට පඩිපෙළ මැතිසබේ
    අගමැති තුමානෝ
    එල්ලිලා කාගෙද කරේ

    නගින හැටි මැවිලා පෙනේ
    කරූ මැතිඳුන්ද එලෙසිනේ

    අසූව සපුරන කල කරූ
    එළඹෙන සැප්තැම්බරේ
    ගයමු අපි ගීතයක්
    ලැබුන සතුටට රටට
    නව යොවුන් නායකයෝ

    ReplyDelete
  6. ජාතියක් වශයෙන්ම අපි හේතු රහිතවත් බොරු ඇදබාන බොරු කාරයොයි කියල රොබට් නොක්ස් උන්නැහේ ඒ කාලෙම කියලා තියෙන්නේ. ජීව විද්‍යාත්මකව ඒ ජාන වෙනස් වෙන්න තවම කල් මදිනේ.

    ReplyDelete
    Replies
    1. තිස්ස ජනනායකගේ කතා විස්වාස කරන්න එපා

      Delete
    2. ඔව් ඔව් ඌ දෙමලට බනින්නෙ නැහැ නේ

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...