වෙබ් ලිපිනය:

Wednesday, March 18, 2020

ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!


මේ වන විට කොරෝනා මරණ ප්‍රමාණය නව දහසකට ආසන්න වී තිබෙනවා. වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත් චීනයේත්, ඉන් පසුව එය වේගයෙන් පැතිරුණු දකුණු කොරියාවේත් තත්ත්වය මේ වන විට පාලනය වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. දැනට වේගයෙන්ම වෛරසය ව්‍යාප්ත වෙන්නේ පළමුව බටහිර රටවල හා දෙවනුව මැද පෙරදිග කලාපයේ වුවත් සංවර්ධනය වෙමින් පවතින රටවලද වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබෙනවා.

වෛරසය පැතිරීම පාලනය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍ය ඒකක මට්ටමින් සිදුවෙමින් පවතිනවා. මෙහිදී එක් එක් රටවල ආණ්ඩු විසින් ගන්නා විවිධ ක්‍රියාමාර්ග සමඟ එකඟ වන අය මෙන්ම එකඟ නොවන අයද සිටිනවා. පැහැදිලි බෙදුම් ඉරක් නැතත්, මේ රාජ්‍ය ක්‍රියාමාර්ග පුළුල් වශයෙන් චීන ක්‍රමය හා බ්‍රිතාන්‍ය ක්‍රමය ලෙස වෙන් කරන්න පුළුවන්. ඇමරිකාව විසින් අනුගමනය කරමින් සිටින ක්‍රමය බොහෝ දුරට බ්‍රිතාන්‍ය ක්‍රමයට ආසන්නයි.

චීනය විසින් කොරෝනා වෛරස් තර්ජනය හමුවේ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන එල්ල වුනා. බොහෝ විට මෙවැනි විවේචන කළේ බටහිර රටවල ජීවත් වූ පිරිස් විසිනුයි. බටහිර රටවල ජීවත් වූ චීන සම්භවයක් ඇති පිරිස්ද මෙසේ විවේචන කළ අය අතර කැපී පෙනුනා. මේ විවේචන වල ඉලක්කය වුනේ කොරෝනා හානිය වැළැක්වීමේ උත්සාහය තුළ චීන රජය විසින් ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වුනු වෙනත් විවිධ හානි බව පුළුල් ලෙස අර්ථ දැක්විය හැකියි.

චීන ක්‍රමයට විවේචන එල්ල වූ අයුරින්ම මේ වන විට බ්‍රිතාන්‍ය ක්‍රමයටද විවේචන එල්ල වෙනවා. එහිදී බොහෝ විට පැවසෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගනිමින් රෝගය පැතිරෙන්නට ඉඩ හැර ඇති බවයි. ඇමරිකාව විසින් අනුගමනය කරන්නේද බ්‍රිතාන්‍ය ක්‍රමයම වුවත් ඇමරිකාවේදී මේ ක්‍රමය බ්‍රිතාන්‍යයේදී තරම් විවේචනයට ලක් වන බවක් පෙනෙන්නේ නැහැ.

කොවිඩ්-19 ලෝකයට අලුත් අත්දැකීමක්. මේ වසංගතය ගැන දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩියි. ඒ නිසා, කවර ආණ්ඩුවකට වුවත් ක්‍රියා කරන්න වෙන්නේ උපකල්පන මතයි. උපකල්පන පදනම් වන්නේ නිරීක්ෂණ මතයි. අලුත් නිරීක්ෂණ එකතු වන විට පැරණි උපකල්පන වඩා නිවැරදි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මේ අනුව බැලුවොත්, මේ මොහොතේ බටහිර රටවල් සිටින්නේ වෛරසය පැතිරීම ආරම්භ වූ අවස්ථාවේ චීනය සිටියාට වඩා වාසිදායක තැනකයි. චීනයේ වයිරසය පැතිරුණු ආකාරය පිළිබඳ තොරතුරු මත බටහිර රටවලට වඩා දැනුමැති තීරණ වලට එළැඹෙන්න පුළුවන්.

බ්‍රිතාන්‍යය මෙන්ම ඇමරිකාවද විසින් වෛරස් තර්ජනයට මුහුණ දීමට සූදානම් වන්නේ වෛරසය පැතිරිය හැකි ආකාරය ගැනත්, එය වැළැක්වීමට හෝ සීමා කිරීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ග වලින් ලැබෙන්නට ඉඩ ඇති වාසි හා අවාසි ගැනත් කිසියම් අධ්‍යයනයක් කිරීමෙන් පසුවයි. මේ අධ්‍යයන අතරින් එක් පුළුල් අධ්‍යයනයක් වන්නේ ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ මහාචාර්ය නීල් ෆර්ගසන් ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයින් 31 දෙනෙකු විසින් සිදු කර තිබෙන අධ්‍යයනයයි. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ආණ්ඩු මේ වාර්තාවට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.

නීල් ෆර්ගසන් වාර්තාව අනුව තවමත් අප දකින්නේ අයිස් කන්දක ශිඛරය පමණයි. අයිස් කන්ද පෙනෙන විට අප අතරින් ඇතැමෙක් ජීවත්ව නොසිටින්න පුළුවන්. කෙතරම් බියජනක වුවත් දැනට පෙනෙන්නට තිබෙන ඇත්ත එයයි. ආණ්ඩු වලට මැදිහත් වී තත්ත්වය යම් තරමකින් පාලනය කිරීමේ හැකියාවක් ඇතත්, කළ හැකි සියල්ල කිරීමෙන් පසුවත් විශාල හානියක් සිදුවන බව පැහැදිලියි.

නීල් ෆර්ගසන් වාර්තාවට අනුව කිසිවක් නොකර සිටියොත් කෝවිඩ්-19 වසංගතය අවසන් වන විට ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේද ජනගහණයෙන් 81% කට වෛරසය වැළඳෙන අතර ඇමරිකානුවන් මිලියන 2.2ක් වෛරසය හේතුවෙන් මිය යාමට නියමිතයි. වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් 510,000ක් මිය යාමට නියමිතයි. ජූනි මාසයේ අවසානය දක්වාම දිනකට මියයන ප්‍රමාණය දවසෙන් දවසම ඉහළ යන බවයි වාර්තාව අනුව පැවසෙන්නේ. මේ අනුව, දිනකට වෛරසය හේතුවෙන් මිය යන ඇමරිකානුවන් ගණන අඩු වෙන්න පටන් ගන්නේ දිනකට 55,000 ඉක්මවීමෙන් පසුවයි. සාපේක්ෂව වැඩි ජනගහණ ඝනත්වයක් ඇති බ්‍රිතානයේ මරණ ගණන ජූනි මාසය මුලදී උපරිම මට්ටමට එනවා. එය දිනකට 15,000ක පමණ මරණ ප්‍රමාණයක්.

චීනය විසින් ගත් ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් තත්ත්වය පාලනය කළ හැකි වුවත්, වාර්තාව පිළියෙළ කළ වසංගත රෝග විශේෂඥයින්ගේ විශ්ලේෂණ අනුව, එම දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කළ පසුව නැවතත් වසංගතය පෙර මෙන් පැතිරී ඉහත මරණ සිදු වීම නොවැලැක්විය හැකියි. චීනය සම්බන්ධව ඔවුන්ගේ අදහස වන්නේද නැවත දෙවන වටයකින් වසංගතය චීනයේ හිස එසැවිය හැකි බවයි.

මේ වසංගතයේ කෙළවරක් දැකිය හැක්කේ දෙයාකාරයකින් පමණයි. පළමු ක්‍රමය වන්නේ රෝගය පැතිරීම නිසා ජනගහණයේ බොහෝ දෙනකු වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිකරණය ඇති වූ පසු වෛරසය පැතිරීම නැවතීමයි. මෙහිදී ඉහත සඳහන් මරණ ගණන සිදුවීම වැළැක්වීම අසීරුයි. දෙවන ක්‍රමය වන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතක් වැඩි දියුණු කරන තුරු වෛරසය පැතිරීම පාලනය කරමින් දැඩි පාලනයක් පවත්වා ගැනීමයි. මේ කාලය මාස දහඅටක් තරම් දිගු කාලයක්. එහිදී මරණ ප්‍රමාණය අඩු වන නමුත් සිදු වන වෙනත් හානි ඉතා විශාලයි.

දැනට ඇමරිකාව විසින් සිදු කර තිබෙන පාසැල් හා සරසවි වසා දැමීම ගත්තොත් ඒ හේතුවෙන් මරණ ප්‍රමාණය අඩු වීමට නියමිත 2%කින් පමණයි. චීනය මෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් හෝ සූදානමක් ඇමරිකාවේ හෝ වෙනත් කිසිදු බටහිර රටක පෙනෙන්නට නැහැ. ප්‍රායෝගිකව ඇමරිකාවට චීනය ගත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක්ද නැහැ. ආසාදිතයින් ගණන අනුව මෙතෙක් අටවැනි තැන සිටි ඇමරිකාව මේ වන විට දකුණු කොරියාව පසුකර හත් වන තැනට පැමිණ තිබෙනවා. දැනට වේගයෙන්ම වයිරසය පැතිරෙන රටක් වන ඇමරිකාව මේ ලැයිස්තුවේ තවතවත් ඉහළට යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

අපට ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!

17 comments:

  1. මම ඔබේ අදහසට එකඟ නැහැ ඇත්තටම. මගේ බ්ලොග් පොස්ට් එකේ මේ බව මුලින්ම ලිව්වා. (ඉංග්‍රීසි එකේ) එහිදී එල් බි සි රේඩියෝවෙන් ඒ ගැන විවේචනයක් කළා. නමුත් දැන් බ්‍රිතාන්‍ය දවස් හතරක සිට මේ ක්‍රමය අත හැරල් තිබෙන්න.
    https://kolambagamaya.blogspot.com/2020/03/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. //මම ඔබේ අදහසට එකඟ නැහැ ඇත්තටම.//
      මම අජිත්ගේ ලිපි කියෙවුවා. ඇත්තටම මට මේ ගැන දැඩි මතයක් නැහැ. මෙහි තියෙන්නේ සිදු විය හැකි දේ. අජිත් නීල් ෆර්ගසන් වාර්තාව කියවා ඇති කියා හිතනවා. මෙය මමත් ටිකක් විතර දන්නා විෂයයක්. වාර්තාව පිළියෙළ කර තිබෙන්නේ විෂය ප්‍රවීණයන්. මට තේරෙන විදිහට එය හැම පැත්තම සලකා බලා (සම්මත ආකෘතියක සිමියුලේෂන් එකක් මත) කර තිබෙන විශ්ලේෂණයක්. කැමති වුවත් අකැමැති වුවත් මෙය වෙන්න වඩාත්ම ඉඩකඩ තිබෙන දෙයයි. එකම දෙය අලුත් තොරතුරු මත විශ්ලේෂණය වෙනස් වෙන්න පුළුවන්.

      Delete
    2. //නමුත් දැන් බ්‍රිතාන්‍ය දවස් හතරක සිට මේ ක්‍රමය අත හැරල් තිබෙන්න.//
      මම හිතන්නේ අජිත් කියන්න හදන්නේ දැන් රජය යම් මැදිහත්වීමක් කරනවා කියන එක වෙන්න ඇති. ඇමරිකාවෙත් එවැන්නක් සිදු වෙනවා. නමුත්, ඒ කරන දේවල් වලින් අඩු කරගත හැක්කේ හානියෙන් යම් කොටසක් විතරයි. මේ වෙද්දී ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු හැම බටහිර රටකම වගේ තත්ත්වය චීනයේ මුලින් තිබුණු තත්ත්වයට වඩා දරුණුයි. ඇතැම් යුරෝපීය රටවල ගොඩක් දරුණුයි. ඉතාලිය වගේ රටවල immunity හැදෙන නිසා ප්‍රශ්නය වඩා කලින් විසඳෙයි. ඒ වෙද්දී සෑහෙන පිරිසක් මැරිලා තියෙයි. ඇමරිකාවේ වුනත් තත්ත්වය වෙනස් කරන එක අසීරුයි.

      Delete
    3. එකොන් ෆර්ගියුසන් වාර්තාව පස්සෙනේ ආවේ. මගේ ලිපිය ලියුවේ 14 වනදා , අදහස පල කලේ ෆේස්බුක් එකේ ඊටත් කලින්. ඒ කියන්නේ ජොන්සන් ලා (බ්‍රිතාන්‍ය රජය) මේ අදහස් ගේන කොටම. ෆර්ගියුසන් වාර්තාවේ ක්‍රම දෙකකට මර්දනය කිරීමක් ගැන කියන්නේ. ඒකට මගේ විරුද්ධත්වයක් නැහැ . නමුත් බ්‍රිතාන්‍ය රජය හැදුවේ සම්පුර්ණයෙන්ම herd immunity එකට ඉඩ දෙන්න . ඒක එතිකලි සහ මොරලි අන්තිම වැරදියි, මගේ අදහසේ සංක්ෂිප්තය එයයි. අපි අනිත් රටවල් වලට මානව දයාව , මානව හිමිකම් ගැන කතා කරන ගමන් තමන්ගේ ම මිනිස්සු මැරෙන්න අරින එක එතිකලි වැරදියි

      Delete
    4. //එකොන් ෆර්ගියුසන් වාර්තාව පස්සෙනේ ආවේ.//
      මෙය ප්‍රසිද්ධ වී තිබෙන්නේ මෑතකදී වුවත් එහි ඇති තොරතුරු අදාළ අයගේ අතට පත් වී ගොඩක් කල්. මම පෞද්ගලිකව දන්නා හැම දෙයක්ම මෙහි ලියන්න බැහැ. සාමාන්‍යයෙන් රෝග පැතිරීම් සිමියුලේට් කරන මෘදුකාංග යොදාගෙන විවිධ අය විසින් ස්වාධීනව කර තිබෙන අධ්‍යයන ගණනාවකින්ම පෙන්වන්නේ ආසන්නව සමාන ප්‍රතිඵල. මේ සිමියුලේෂන් කළේ ඇමරිකාවේ වෛරසය පැතිරෙන්න කලින්. දැන් ලැබෙන සැබෑ සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන්නේ පුරෝකථන නිවැරදි බවයි. (එය දිගටම එසේ නොවෙන්න පුළුවන්)

      Delete
    5. //නමුත් බ්‍රිතාන්‍ය රජය හැදුවේ සම්පුර්ණයෙන්ම herd immunity එකට ඉඩ දෙන්න .//
      හේතු කිහිපයක් නිසා මෙවැන්නක් හොඳම විසඳුම නොවන බව මගේත් පෞද්ගලික අදහසයි. පළමුව මේ හා අදාළ නොදන්නා දේවල් ගොඩක් තිබෙන නිසා ආකෘති වලින් පෙන්වන දේ නිවැරදි නොවෙන්න යම් ඉඩක් තිබෙනවා. ඊටත් වඩා දෙවන කරුණ පිළිකාවක් හැදිලා අනිවාර්යයෙන් මැරෙන්න නියමිතව ගෙදර එවන ලෙඩ්ඩු වෙනුවෙන් තේරුමක් නැති බව දැන දැනත් මිනිස්සු බොහෝ දේවල් කරනවා. අන්තිමට තේරුමක් නැති ප්‍රතිකර්ම වෙනුවෙන් ගෙවල් දොරවලුත් උගස් තියලා ලෙඩාත් මැරෙනවා. නමුත්, ලෙඩාට නිකම්ම මැරෙන්න දුන්නේ නැහැ කියා පස්සේ වුනත් කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ගන්නා ඇතැම් ක්‍රියාමාර්ගත් ඒ වගේ. පවතින වාතාවරණය අනුව එහි ලොකු වැරැද්දක් නැහැ. නමුත්, එහෙම නොහිතා පෙනෙන්නට තිබෙන කරුණු මත objectively හිතන අයත් ඉන්නවා. බ්‍රිතාන්‍ය රජය මුලින් හිතන්න ඇත්තේ එහෙමයි.

      Delete
    6. //අපි අනිත් රටවල් වලට මානව දයාව , මානව හිමිකම් ගැන කතා කරන ගමන් තමන්ගේ ම මිනිස්සු මැරෙන්න අරින එක එතිකලි වැරදියි//
      මිනිස්සු මැරෙන එක කොයි තරම් වැලකුනාද කියන එක තීරණය කරන්න අවසානය තෙක් බලා ඉන්න වෙනවා. දැන් ගන්නා ක්‍රියාමාර්ග නිසා රෝගය පැතිරීම මන්දගාමී කළ හැකි වුවත් ආසාදිතයින් ගණන හෝ අසාධ්‍ය වන ප්‍රමාණය අඩු නොවෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. වඩා වේගයෙන් රෝගය පැතිරීමේදී ප්‍රතිකාර නැතිකමින් මැරෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙයි. දැන් කරන දේවල් වල ඉලක්කය එයයි. බ්‍රිතාන්‍ය රජය හිතාමතා මිනිස්සු මැරෙන්න සැලසුම් කළා කියා මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඔවුන් උත්සාහ කළේත් ඔවුන්ගේ උපකල්පන මත පදනම්ව හානිය අවම කරන්නයි.

      Delete
    7. //බ්‍රිතාන්‍ය රජය හිතාමතා මිනිස්සු මැරෙන්න සැලසුම් කළා කියා මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඔවුන් උත්සාහ කළේත් ඔවුන්ගේ උපකල්පන මත පදනම්ව හානිය අවම කරන්නයි.//ඔව් එහෙම වෙන්න පුළුවන්. මම එහෙම හිතන්නෙත් නැහැ. නමුත් ඔවුන් දැන් නිරෝධායන ක්‍රියාමාර්ග වලට පෙළඹිලා නිසා වුලක් නැහැ. :)

      Delete
  2. එයට හේතුව චීනයෙන් එලි දක්වන වාර්තා වල තරුණ උදවියට පෙනහළු වල දීර්ඝ කාලින ලෙස බලපාන විධිහට් හානි වීම , දෙවන සතරෙන් එකක් තිබීම අදී දේවල්. අනිස herd immunity එක බ්‍රිතාන්ය්ය්යයේ අවසන්

    ReplyDelete
    Replies
    1. //එයට හේතුව චීනයෙන් එලි දක්වන වාර්තා වල තරුණ උදවියට පෙනහළු වල දීර්ඝ කාලින ලෙස බලපාන විධිහට් හානි වීම , දෙවන සතරෙන් එකක් තිබීම අදී දේවල්.//
      මේ දේවල් සම්බන්ධව ඔබ නිවැරදි වෙන්න පුළුවන්. නමුත්, ප්‍රශ්නය පැහැදිලි විකල්පයක් නැති වීමයි. herd immunity එක වෙන විකල්පයක් නැති තත්ත්වයක් යටතේ අපේක්ෂා කළ හැකි අවසන් බලාපොරොත්තුවක් මිසක් තේරීමක් නෙමෙයි. මේ වෛරසය පැතිරීමේ පරාමිතීන් අනුව වෙන මොනවා කළත් බොහෝ විට අන්තිමට ගොඩ යන්න වෙන්නේ herd immunity එක හරහා.

      Delete
    2. නැහැ ඒකට එකඟ වෙන්න බැරි හේතුව මම සිංහල ලිපියෙත් ලියල තියනව. ඔබට මතක ඇති පැපොල, කම්මුල් ගාය , වසූරිය වගේ ඒවා herd immunity යටතේ ප්‍රතිශක්තිය හදන්න පුළුවන් ළමයි හරහා. ඊළඟ පරම්පරාව බේරෙනවා. නමුත් වැඩිහිටියන්ට වැළඳුනොත් මාරාන්තිකයි සමහර වෙලාවට.
      මෙතනත් එකමයි වෙන්නේ. මැරෙන්නේ කවුද? දියවැඩියාව තියෙන අය , හෘද රෝගීන්, පිළිකා රෝගීන් , මහලු අය වෙනත් රෝග තියන අය , 45-65 නිරෝගී කට්ටියට හැදුනොත් පෙනහළු දුබල වෙලා පසු කලෙක බලපානවා. චීනය දරුණු ක්‍රියා මාර්ග අරන් මැඩ පැවැත්වූවේ ඒකයි. මම මේක ඩිසයිනර් වෛරසයක් ද කියල උපහාසයට ලිව්වෙත් ඒකයි . ඇමෙරිකාවේ නිදහස සෞඛ්‍ය සේවයක් නැති නිසා එහෙම ප්‍රශ්නයක් නැති වුනත්:
      දියවැඩියාවට, පිළිකාවට , හෘද රෝග ආදියට දෙන ඖෂධ මිලියන් ගානක් වටිනවා මාසෙකට. ඒ මුදල් සියල්ල ඉතිරි වෙනවා රජයට. මහලු අයට පෙන්ෂන් දෙන එක (ඔවුන් ජිවිත කාලයම වැඩ කරලා උනත) ප්‍රශ්නයක් ජර්මනියට වගේම බ්‍රිතාන්‍යයට , වැඩ කරන සංඛ්‍යාව අඩුවීම. එතනත් ඉතුරුයි. ඉතින් මේක නිකන් දුබලයා නැති කරලා නිරෝගින් බේරා ගන්න හදන එක වගේ වැඩක් මුකුත් නොකලොත්. අනික herd immunity එක හරියටම වැඩ කරයි කියල ගැරන්ටියක් නැහැ. මොකද ප්‍රභේද දෙකක් දැනටම තියන නිසා.
      අවසානයට , මම මුල් ලිපිය ලිව්වේ චීන වෛද්‍යවරු සමග වෛද්‍යවරු දෙදෙනක් හරහා කෙලින්ම කතා කරන්න අහම්බෙන් ලැබුණු චාන්ස් එකක් නිසා. ඔවුන් කිව විධිහට චීනය මුලදී ගොඩක් හැංගුව. පස්සේ එලිය ආවේ සාමාන්ය් මිනිස්සු මැරෙන්න ගත්තම, ඔවුන් තම්ම මුලින්ම ඔය මැරෙන කට්ටිය ගැන කීවේ. දැන් කොහොමත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලෝක ඩවුන් එකකට යනවා ලන්ඩනයේ . මේ සිකුරාද පාසල් වහනව. ඒ ගොල්ලෝ දන්නා herd immunity විකුණන්න දැන් අමාරුයි කියල.

      Delete
  3. they were talking about this post:
    https://quantumchecks.blogspot.com/2020/03/survival-of-fittest-or-rule-of-jungle.html

    ReplyDelete
  4. අපට නම් තවත් එක වාසියක් තියෙනවා, සහමුලින්ම කොරෝනා සුව කල හැකි හෙළ ඔසු. ඊයේ දැක්කා ඒක හදන්න මහා පරිමාණයෙන් බෙහෙත් ද්‍රව්‍ය ඉල්ලලා තියෙනවා.....

    ReplyDelete
  5. //ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේද ජනගහණයෙන් 81% කට වෛරසය වැළඳෙන අතර ඇමරිකානුවන් මිලියන 2.2ක් වෛරසය හේතුවෙන් මිය යාමට නියමිතයි. මෙය ලංකාවේ සමස්ත ජනගහණය ඉක්මවන මරණ සංඛ්‍යාවක්//
    ~10% of SL population.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, යසස්! ඒ වාක්‍යය ඉවත් කළා.

      Delete
  6. I think it's too early to do a comparison. The death toll in Germany has more than doubled during the last few hours after this article has been published. However, I do agree that better care would decrease the death toll. The harsh reality is that the ability of most of these countries including the US, UK and Germany to provide so-called better care will reach their limits at some point and after that point the death toll may explode as in Italy. The challenge is delaying that.

    ReplyDelete
  7. ලින්ක් එකට ස්තූතියි , බිරින්දෑ ගේ ඊමේල් එකට යැව්වා. ජර්මනියේ තත්වය ගැනත් අවදානමෙන් අපි ඉන්නේ. මොකද අනිත් නෑදෑයො භාගේ එහෙ නිසා.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...