වෙබ් ලිපිනය:

Thursday, February 13, 2020

ලෙඩක් ලෙඩක් වෙන්නේ කොහොමද?


මේ වන විට නව කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන හැට දහස ඉක්මවලා. නව කොරෝනා වෛරසය කිවුවත් දැන් මේ වෛරසය ටිකෙන් ටික පරණ වේගෙන යනවා. නමක් නැති කාලේ තාවකාලිකව භාවිතා කළ නව කොරෝනා වෛරසය කියන භාවිතය හැමදාටම ගැලපෙන එකක් නෙමෙයි. ඒ ගැන සලකා බලමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වෙද්දී නව කොරෝනා වෛරසයට ස්ථිර නමක් ලබා දී තිබෙනවා.

කුරුළු උණ, මී උණ, පිස්සු බලු රෝගය වගේ සත්තුන්ගේ නම් වලින් හඳුන්වන ලෙඩ තිබෙනවා. පිස්සු බලු රෝගය කියා කිවුවහම ගොඩක් අය තේරුම් ගන්නේ බල්ලන්ගෙන් බෝවෙන ලෙඩක් විදිහටයි. ලංකාවේනම් ඔය ලෙඩේ බෝවෙන්නේ බල්ලන්ගෙන් තමයි. නමුත්, හරක්, පූසෝ, වවුල්ලු වගේ වෙනත් සතුන්ගෙනුත් පිස්සු බලු රෝගය බෝවෙන්න පුළුවන්. ඇමරිකාවේනම් මේ ලෙඩේ බල්ලෙක්ගෙන් බෝවෙන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා, මේ ලෙඩේ පිස්සු බලු රෝගය ලෙස හැඳින්වීමේ අවුලක් තියෙනවා. සත්තුන්ගේ නම් වලින් නම් කර තිබෙන වෙනත් ලෙඩ වලටත් ඔය ප්‍රශ්නයම තිබෙනවා.

සත්තුන්ගේ නම් වලින් වගේම කිසියම් ස්ථානයක හෝ ජනවර්ගයක නමින් නම් කර තිබෙන ලෙඩ තිබෙනවා. මීට කලින් ව්‍යාප්ත වුනු මර්ස් වෛරසය එලෙස නම් කෙරුණේ එය මැද පෙරදිග කලාපය ආශ්‍රිතව පැතිරුණු නිසයි. එහෙත්, වරක් එක ප්‍රදේශයක් හෝ එක ජනවර්ගයක් ආශ්‍රිතව පැතිරුණු ලෙඩක් පසුව වෙනත් ප්‍රදේශයක් හෝ ජනවර්ගයක් ආශ්‍රිතව පැතිරෙන්න පුළුවන්. ඒ නිසා, මේ ආකාරයට නාමකරණය කිරීමේත් අවුලක් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය බෞතීස්ම කරලා තියෙන්නේ කෝවිඩ්-19 ලෙසයි. එහි සතෙකුගේ, ප්‍රදේශයක හෝ ජනවර්ගයක නමක් නැහැ.

මේ වන විට කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 60,406 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 1,369 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනය ඇතුළත ආසාදිතයින් ගණන 15,407 කිනුත්, මරණ ගණන 253 කිනුත් ඉහළ යාමත් සමගයි. එකවරම කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය මේ තරම් වැඩි වුනේ කොහොමද?

කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය දවසක් ඇතුළත මේ තරමටම වැඩි වුනේ රෝගියෙකුව කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගන්නා සම්මතය චීනය විසින් වෙනස් කිරීම නිසයි. මෙතෙක් කලක් චීනය විසින් කිසියම් රෝගියෙකු කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස නම් කළේ සිරුරේ වෛරසය තිබෙන බව  විද්‍යාගාර පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමෙන් පසුවයි. එහෙත්, රෝගීන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යද්දී තිබෙන සීමිත පහසුකම් යටතේ මේ වැඩේ කාර්යක්ෂමව කිරීම අසීරු වී තිබෙනවා. වෛරසය හඳුනා ගැනීම ප්‍රමාද වූ විට ප්‍රතිකාර ලබා දීමද ප්‍රමාද වෙනවා.

සිරුරේ වෛරසය තිබෙන බව විද්‍යාගාර පරීක්ෂණයකින් තහවුරු කර ගෙන නැතත්, රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයෙකු විසින් සායනික ලෙස හඳුනා ගෙන ඇති අයත් කෝවිඩ්-19 ආසාදිතයන් සේ ගණන් ගැනීමට මේ වන විට චීනය තීරණය කර තිබෙනවා. ඒ වගේම, එසේ හඳුනා ගැනීමෙන් පසුව මිය යන අයගේ මරණද මින් අනතුරුව කෝවිඩ්-19 මරණ ලෙස සැලකෙනවා. මරණ ගණන හා රෝගීන් ගණන මෙලෙස එක වරම ඉහළ ගියේ රෝගයේ අර්ථ දැක්වීම වෙනස් වූ නිසයි.

රෝගයක් කියන්නේ සම්මතයක්. එහෙම නැතුව නිරපේක්ෂව පවතින දෙයක් නෙමෙයි. වෛද්‍යවරයෙක් රෝගයක් තිබෙන බව හඳුනා ගන්නවා හෝ තහවුරු කරනවා කියා කීවත් එය කරන්නේ ඔහු හෝ ඇය දන්නා කිසියම් සම්මතයක් අනුවයි. සම්මතය වෙනස් වූ විට රෝගයත් වෙනස් වෙනවා. කෝවිඩ්-19 හඳුනා ගැනීමේදී චීනය විසින් දැන් කර තිබෙන වෙනස සතියකට කලින් කළානම් ආසාදිතයින් ගණන හා මරණ ගණන මීටත් පෙරම හා මීටත් වඩා වැඩි වෙනවා.

සමහර වෙලාවට සම්මතය වෙනස් වූ විට නිරෝගී පුද්ගලයින් ලෙඩුන් වෙනවා. ලෙඩුන් නිරෝගී පුද්ගලයින් වෙනවා. ලෙඩක් අර්ථදැක්වීම වගේම ලෙඩෙක් අර්ථදැක්වීමත් සම්මතය මත තීරණය වන දෙයක්. අපි කුඩා කාලයේ දැන සිටි සුලබ ලෙඩ රෝග වුණේ උණ, හෙම්බිරිස්සාව, කැස්ස, බඩේ කැක්කුම, හිසරදය, කණ කැක්කුම වගේ දේවල්. ඒ දවස් වල ගෙදර උණ කටු තිබුණේ නැහැ. අම්මලා පිටි අල්ල නළලට තියලා උණ බලනවා. උණ මැන්නේ සෙල්සියස් වලින්වත් ෆැරන්හයිට් වලින්වත් නෙමෙයි. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ දේවල් ගැන අහල තිබුණේනම් නිර්ධන පාන්තිකයින්ට නොහැදෙන ධනපති පන්තියේ ලෙඩ විදිහටයි.

පස්සේ ඉගෙන ගත්ත විදිහට උණ, හෙම්බිරිස්සාව, කැස්ස, බඩේ කැක්කුම, හිසරදය, කණ කැක්කුම වගේ දේවල් රෝග ලක්ෂණ මිසක් ලෙඩ නෙමෙයි. මේ එක් එක් රෝග ලක්ෂණ තිබෙන ලෙඩ විශාල ගාණක් තිබිය හැකි බවත් පස්සේ දැන ගත්තා. ඒ වුනත් දැනටත් වෛද්‍යවරයෙක් ළඟට එන රෝගියෙක්ගෙන් ඇහුවොත් කියන්නේ ඔය පරණ ලෙඩ වලින් එකක්. රෝග ලක්ෂණ අහලා ලෙඩේ තීරණය කරන්නෙත්, බෙහෙත් නියම කරන්නෙත් වෛද්‍යවරයා විසින්. ඇමරිකාවේ වුනත් ඔය වැඩේ වෙන්නේ ඔය විදිහටම තමයි.

අන්තිමට තමන්ට සනීපද කියන එක රෝගියා විසින් තීරණය කරන්නේ රෝග ලක්ෂණ දිහා බලලයි. ගොඩක් වෙලාවට වෛද්‍යවරයා කරන්නෙත් ඒකමයි. හැබැයි එහෙම නොවන වෙලාවලුත් තියෙනවා. සමහර ලෙඩ සනීප වුනු බව හරියටම තහවුරු කරන්න වෛද්‍යවරයා වෙත නැවත එන්න කියනවා. එහෙම කිවුවට තමන්ට සනීපයි වගේ තේරුණාම සමහර අය වෛද්‍යවරයා වෙත නැවත යන්නේ නැහැ. ඒක තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

කෝවිඩ්-19ට බෙහෙත් නැහැ. එහෙම කියලා ලෙඩ්ඩුන්ට මැරෙන්න දෙන්න බැරි නිසා අත් හදා බැලීමේ පදනමකින් ඇතැම් බෙහෙත් වර්ග ලබා දෙනවා. එච්අයිවී ආසාදිතයින්ට ලබා දෙන ප්‍රතිශක්තිය වැඩි කිරීමේ බෙහෙත් මේ විදිහට ලබා දෙන එක් බෙහෙත් කාණ්ඩයක්. ඒ අතරම, චීනය තමන්ගේ සම්ප්‍රදායික බෙහෙතුත් රෝගීන්ට ලබා දෙනවා. මේ බෙහෙත් වලින් මීට පෙර සාර්ස් වෛරසයත් යම් තරමකින් පාලනය වී තිබෙනවා.

බෙහෙතක් සොයා ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. එය පටන් ගන්නේ රෝගයේ අර්ථදැක්වීමේ සිටයි. රෝගය පාලනය කළ හැකි ක්‍රම ගැන හිතන්න පුළුවන් වෙන්නේ රෝගය කුමක්ද කියන එක පැහැදිලිනම් පමණයි. රෝගයක් සුව වුනා කියන එකත් අර්ථ දැක්වීමක්. රෝගයක් වැළඳී තිබෙන බව එකම විදිහට අර්ථ දක්වා තියෙද්දී රෝගය සුව වී තිබීම වෙනස් ආකාර වලට අර්ථ දැක්විය හැකි අවස්ථාත් තියෙන්න පුළුවන්. රෝගයට හේතුව හඳුනාගත් නිශ්චිත වෛරසයක්නම් බොහෝ විට ඉලක්කය වන්නේ වෛරසයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමයි. එයත් කළ හැකි විවිධ ආකාර තිබෙනවා. වෛරසයක් පාලනය වී තිබේද කියන එකත් සම්මතයක්.

චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය අනුව දැන් පැතිරෙමින් තිබෙන්නේ ගිණියම් රෝගයක්. කෝවිඩ්-19 නොවන වෙනත් ගිණියම් රෝගත් තිබෙනවා වගේම අදාළ වෛරසය ශරීරගත වූ ඇතැමුන්ට ගිණියම් රෝගයක් නැති වෙන්නත් පුළුවන්. ගිණියම් රෝගයකට අවශ්‍ය වෙන්නේ සිරුර සිසිල් කරන ප්‍රතිකාරයක්. එවිට රෝගය සුව වීමේ සම්මතය සිරුර ප්‍රමාණවත් තරමින් සිසිල් වීම වැනි දෙයක් විය හැකියි. එය පරීක්ෂා කර තහවුරු කරගැනීම එම වෛද්‍ය ක්‍රමයේ සම්මතයක්.

සංඛ්‍යාලේඛණ මත තීරණ ගැනීමේදී මුහුණු දෙන්න වෙන විශාලතම අභියෝගයක් වන්නේ සම්මත වරින් වර වෙනස් වීමයි. කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම පිළිබඳ සම්මතය චීනය විසින් වෙනස් නොකළානම් එම රෝගය නිසා මේ වන විට මිය ගොස් තිබෙන අයගෙන් කිසියම් පිරිසක් මිය යාමට හේතුව ලෙස සැලකිය හැකිව තිබුණේ වෙනත් කරුණක්.

මරණ වලට හේතු විතරක් නෙමෙයි මැරෙනවා කියන එකමත් සම්මතයක්. එක සම්මතයක් අනුව මිය ගිය කෙනෙක් වෙනත් සම්මතයක් අනුව ජීවත් වන කෙනෙක් විය හැකියි.

7 comments:

  1. 'මරණ වලට හේතු විතරක් නෙමෙයි මැරෙනවා කියන එකමත් සම්මතයක්. එක සම්මතයක් අනුව මිය ගිය කෙනෙක් වෙනත් සම්මතයක් අනුව ජීවත් වන කෙනෙක් විය හැකියි.'

    එහෙම බලද්දිත් ඉකොනෝ මහත්තයත් මැරුණ කෙනෙක් තමයි එකාතකට. අපි වගේ සොහොන්පල්ලෝ මේකට ඇවිත් ගියාට මේ බ්ලොග් එකට එන,කියවන කොමෙන්ට් දාන වෙනින් ජීවියෙක් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. මැරුණට පස්සෙත් ඇනෝ වගේ සොහොන්පල් පාඨකයෝ ඉන්නවා කියන එක කොච්චරනම් දෙයක්ද?

      Delete
  2. Covid කියන එකේ තේරුම ?

    ReplyDelete
    Replies
    1. CO-rona VI-rus D-isease. සිම්පල් ප්ලෑන් එකක්!

      Delete
    2. මුල ටිකනම් මම අනුමාන කළා. මට ප්‍රශ්ණයක් වුනේ "D" අකුර.. මම හිතුවේ මේක සින්ඩ්‍රෝම් එකක් කියලා නම් කරයි කියලා...

      Delete
  3. ලෙඩක් ලෙඩක් වෙන හැටි කොච්චර හිතට වැදුනද කිව්වොත් මාත් ලෙඩෙක්ය කියලා මතක් වෙච්චි එකත් ලෙඩක් වුණා.

    ReplyDelete
    Replies
    1. කවර සම්මතයක් අනුව හෝ ලෙඩෙක් නොවන කෙනෙක් හොයන්න අමාරුයි!

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...