වෙබ් ලිපිනය:

Sunday, April 19, 2020

බටහිර අසරණ වීම


පසුගිය කාලයේ ඇතැම් අය නිතර කියූ කතාවක් වුනේ කෝවිඩ්-19 හමුවේ බටහිර අසරණ වී ඇති බවයි. සමහර අය දැකපු විදිහට බටහිර රටවල් අසරණ වෙලා. සමහර අය දැකපු විදිහට බටහිර විද්‍යාව අසරණ වෙලා. සමහර අය දැකපු විදිහට බටහිර ආර්ථික ක්‍රමය බිඳ වැටිලා. තවත් සමහර අයට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අසාර්ථක බව පැහැදිලි වෙලා. ඔය උප කුලක වලින් එකක සිටි ගොඩක් අය තවත් උප කුලක එකක හෝ කිහිපයකත් ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා.

බටහිර රටවල් ගැන, විශේෂයෙන්ම ඇමරිකාව ගැන, ලිපි කිහිපයකින්ම කතා කරලා තිබෙන නිසා බටහිර විද්‍යාව කියන කරුණට එමු. මෙහිදී බටහිර විද්‍යාව කියා කියන්නේ ලංකාවේ මේ වන විට බොහෝ දෙනෙක් එම යෙදුම යොදන අර්ථයෙන්. මේ කණ්ඩායම විසින් අවධාරණය කරන ප්‍රධාන කරුණක් වන්නේ බටහිර විද්‍යාව නොවන වෙනත් දැනුම් පද්ධති තිබෙන බවයි. මේ කරුණ හා අදාළව මගේ ප්‍රතිවිරෝධයක් නැහැ.

බටහිර විද්‍යාව කියා කියන්නේ තනි දැනුම් පද්ධතියක් හෝ නොවෙනස් වන දැනුම් පද්ධතියක් නෙමෙයි. ඒ වගේම පැහැදිලි ඉරක් ඇඳ වෙනත් දැනුම් පද්ධති වලින් නිශ්චිත ලෙස වෙන් කළ හැකි දැනුම් පද්ධතියකුත් නෙමෙයි. එසේ වුවත්, වෙනත් දැනුම් පද්ධති වල ඇති ඇතැම් සංකල්ප ප්‍රායෝගිකව බටහිර විද්‍යාව සමඟ ගලපන්න බැහැ. උදාහරණයක් විදිහට කිසියම් නොපෙනෙන දෙවි කෙනෙකු හරහා දැනුම ලබා ගැනීම බටහිර විද්‍යාවේ විධික්‍රමයක් නෙමෙයි. එය වෙනත් දැනුම් පද්ධති වල විධික්‍රමයක්.

අසරණ වීම කියන වචනයේ තේරුම ගත්තොත් එය වඩා ගැලපෙන්නේ දෙවි කෙනෙකු හරහා දැනුම ලබා ගැනීම මූලික විධික්‍රමය සේ සලකන දැනුම් පද්ධතියකටයි. දැනුමේ සම්භවය මේ දෙවියා නිසා දෙවියා පිටු පෑවොත්, දෙවියාව සම්බන්ධ කරගන්න බැරි වුනොත්, එහෙමත් නැත්නම් දෙවියාත් අසරණ වෙලානම් දැනුම් පද්ධතිය පහසුවෙන්ම බිඳ වැටෙනවා.

බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කිරීම කියන කරුණේදී මේ අසරණ වීම මේ ආකාරයෙන් සිදු වෙන්න ඉඩක් නැහැ. එහෙත්, වෙනත් අය නිර්මාණය කරන බටහිර විද්‍යා දැනුම තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්න බලාගෙන ඉන්න අය හා සම්බන්ධව මේ යෙදුමේ යම් තේරුමක් තිබෙනවා. දැනුම අලුතින් නිර්මාණය කරන අයට ඒ වැඩේ කරගන්න බැරි වුනොත්, එහෙමත් නැත්නම් ඒ අය සතු දැනුම වෙනත් අය වෙත සම්ප්‍රේෂණය නොවුනොත් ධුරාවලියේ පහළ ඉන්න අය අසරණ වෙන්න පුළුවන්. ඒ අතින් බැලුවොත්නම් දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න බලා ඉන්න අයගේ ප්‍රශ්නයම මෙහිත් තිබෙනවා.

බටහිර විද්‍යාවත් වෙනත් දැනුම් පද්ධති වගේම යම් මූලික විශ්වාස මත පදනම් වූ එකක් තමයි. ඒ නිසා, ඒ කරුණ මත පදනම්ව බටහිර විද්‍යාව වෙනත් දැනුම් පද්ධති වලින් වෙන් කරන්න බැහැ. ඒ වගේම, විධික්‍රමයක් ලෙස දෙවියන්ගෙන් දැනුම ලබා ගත හැකි බව කවුරු හෝ කියනවානම් එය නිශ්චිත ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවකුත් අපට නැහැ. එහෙමනම් මේ හැම දැනුම් පද්ධතියකටම සමාන තැනක් හිමි විය යුතුද?

බටහිර විද්‍යාවට තිබෙන විවේචනයක් වන්නේ එය අනෙකුත් දැනුම් පද්ධති අතර ආධිපත්‍යයක් උසුලන බවයි. මේ පිළිබඳවත් මගේ කිසිදු ප්‍රතිවිරෝධයක් නැහැ. එහෙත්, මේ කතාව කියන බොහෝ දෙනෙක් සමඟ මා එකඟ නොවන තැනක් තිබෙනවා. ඒ බටහිර විද්‍යාව ආධිපත්‍යයක් උසුලන්නේ ඇයි කියන තැනේදී. මම දකින විදිහටනම් මෙය ස්වභාවිකව සිදුව ඇති දෙයක්. බටහිර විද්‍යාවේ අඩුපාඩු කොයි තරම් තිබුණත් වෙනත් කිසිදු දැනුම් පද්ධතියක් බටහිර විද්‍යාව සමඟ තරඟ කළ හැකි මට්ටමක නැහැ.

සමහර අයට සමහර විට දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න පුළුවන් කමක් ඇති. එහෙත්, එක්කෝ ඒ අයට සන්නිවේදන සීමාවන් තිබෙනවා. එහෙම නැත්නම් ඔය දැනුම ලබා දෙන දෙවියන්ටත් ඒ තරම් ලොකු දැනුමක් නැහැ. සෛද්ධාන්තිකව දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ හැකියාවක් තිබෙන්න පුළුවන් වුනත්, ඒ විදිහට ලබා ගන්නා දැනුමක් බටහිර විද්‍යාව වෙනුවට යොදා ගත හැකි ප්‍රායෝගික විකල්පයක් සේ සලකන්න කිසිදු හේතුවක් පෙනෙන්නේ නැහැ. වෙනත් සියලු සම්ප්‍රදායික දැනුම් පද්ධති වලටත් මෙය අදාළයි.

දැන් අපි කෝවිඩ්-19 කියන නිශ්චිත කරුණට එමු. කෝවිඩ්-19 කියා කියන්නේම බටහිර දැනුම් පද්ධතිය තුළ හැදුනු සංකල්පයක්. වෙනත් දැනුම් පද්ධතියක් තුළ කෝවිඩ්-19 ගැන කතා කරනවානම් එය අනිවාර්යයෙන්ම එය බටහිර දැනුම් පද්ධතියේ කර උඩ යාමක් (piggybacking).

දැනට වසර 250කට පෙර බටහිර රටවල මේ රෝගය මේ ආකාරයටම පැතිරුණානම් මෙය වෛරස් රෝගයක් ලෙස හඳුනා ගැනෙන්නේ නැහැ. එසේනම්, බොහෝ දෙනෙකු විසින් නිරීක්ෂණය කළ හැකිව තිබුණේ හුස්ම ගැනීම අසීරු වී බොහෝ දෙනෙකු මිය යන බවයි. එයට හේතුව දෙවි කෙනෙකු කෝප වීම කියා හිතා ප්‍රතිකාර ලෙස විවිධ පුද පූජා පැවැත්වීමත් සුලබව සිදු විය හැකිව තිබුණා.

බටහිර විද්‍යාව තුළ මුලින් රෝග පතුරුවන විෂබීජ පිළිබඳ දැනුමත්, පසුව වයිරස් පිළිබඳ දැනුමත්, ඊටත් පසුව සාර්ස් වෛරසය පිළිබඳ දැනුමත් වැඩි දියුණු වුණා. කෝවිඩ්-19 නම් වූ රෝගයක් හඳුනා ගැනෙන්නේ මේ දැනුම මත පදනම්වයි. මෙහිදී අදාළ රෝගය පතුරුවන නිශ්චිත වෛරසයක් හඳුනා ගැනෙනවා. නිශ්චිත කියා කීවත් රෝගය පතුරුවන වෛරස සියල්ලම එකිනෙකට හරියටම සමාන නැහැ. නිශ්චිත කියා කියන්නේ මේ වෛරස වල දැකිය හැකි පොදු ගුණ කාණ්ඩයකටයි.

කෝවිඩ්-19 පතුරුවන SARS-CoV2 ලෙස හඳුන්වන වෛරසය කියන්නේ බටහිර විද්‍යාවේ අර්ථදැක්වීමක්. එය මීට පෙර සාර්ස් රෝගයට හේතු වූ SARS-CoV වෛරසයට සැහෙන තරමකින් සමානයි. ඒ නිසා, SARS-CoV2 වෛරසය අර්ථදක්වා තිබෙන්නේ එම වෛරස වලට පොදු, එහෙත් SARS-CoV වැනි වෙනත් වෛරස වල දැකිය නොහැකි පොදු ගුණ ආශ්‍රයෙනුයි. කෝවිඩ්-19 ආසාදිතයෙක් කියා කියන්නේ මේ SARS-CoV2 වෛරසය ශරීරගත වූ අයෙක්. එහෙත්, SARS-CoV2 වෛරසය ශරීරගත වූ ඇතැම් අයට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවෙන්න පුළුවන්. කෝවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුන්වන කුලකයට එවැනි අයත් ඇතුළත්.

බටහිර විද්‍යාවේ කෝවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනෙන්නේ මේ අර්ථදැක්වීම මත පදනම්වයි. ඒ අනුව, මේ වන විට බොහෝ දෙනෙක් දන්නා පීසීආර් පරීක්ෂණයකින් කරන්නේ කිසියම් පුද්ගලයෙකුගේ උගුරෙන් හා/හෝ නාසයෙන් ලබාගන්නා ජීව ද්‍රව්‍ය සාම්පලයක SARS-CoV2 වෛරස යම් අවම ප්‍රමාණයක් තිබේදැයි හඳුනාගත හැකිද කියා පරීක්ෂා කිරීමයි. එම පරීක්ෂණයකින් කෝවිඩ්-19 ආසාදිතයෙකු යම් නිරවද්‍යතාවයක් සහිතව හඳුනාගත හැකියි. එහෙත්, පරීක්ෂණ ප්‍රතිඵල හැම විටම නිවැරදි නැහැ.

මේ විදිහට පීසීආර් පරීක්ෂණයකින් රෝගීන් හඳුනා ගැනීමේ අරමුණ කුමක්ද? රෝගියෙකු හඳුනා ගත්තා කියා කළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් නැහැ. එහෙත්, පීසීආර් පරීක්ෂණයකින් හඳුනා ගැනෙන ඇතැම් රෝගීන් මිය යාමට ඇති ඉඩකඩ අඩු කර ගන්න පුළුවන්. ඔවුන්ට ඇති විය හැකි අනෙකුත් සංකූලතා අඩු කර ගන්නත් පුළුවන්.

කෝවිඩ්-19 ආසාදිතයෙකු සුව වන්නේ සිරුරේ හැදෙන ස්වභාවික ප්‍රතිශක්තියෙන්. වෛරසය ශරීරගත වූ ඇතැම් අය සුව වන තුරුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ප්‍රතිදේහ පරීක්ෂාවකින් මෙවැනි අය හඳුනාගත හැකියි. කැලිෆෝර්නියාවේ සිදු කර තිබෙන එක් පරීක්ෂණයකට අනුව හඳුනාගත් සෑම කෝවිඩ්-19 ආසාදිතයෙකුටම හඳුනා නොගත් 50-85 අතර ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රතිඵලය විවාදිත එකක් වුවත් එවැනි සෑහෙන පිරිසක් සිටින්නට ඉඩ තිබෙනවා.

කෝවිඩ්-19 මර්දනය සඳහා බටහිර විද්‍යාවේ ක්‍රමවේදය වන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට තිබෙන ඉඩකඩ අඩු කිරීමයි. ලංකාව, චීනය, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, අයිස්ලන්තය, දකුණු කොරියාව වැනි ලෝකයේ විවිධ රටවල් වෛරසය සම්ප්‍රේෂණය වීම පාලනය කිරීමට එකම උපක්‍රම භාවිතා නොකළත් මේ හැම රටක්ම විශ්වාසය තබා තිබෙන්නේ බටහිර දැනුම මතයි. SARS-CoV2 වෛරසය ශරීරයට ඇතුළු වීම නිසා කෝවිඩ්-19 රෝගය ඇති වන බවත්, SARS-CoV2 වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන බවත්, SARS-CoV2 වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම පාලනය කිරීම මගින් රෝගය පාලනය කළ හැකි බවත් මේ හැම රටක්ම විශ්වාස කරනවා. ඒ වගේම පීසීආර් පරීක්ෂණ මගින් වෛරසය ආසාදනය වී තිබෙන බොහෝ දෙනෙකු හඳුනාගත හැකි බවත් විශ්වාස කරනවා. මේ සියල්ල සිදු වන්නේ බටහිර විද්‍යාවේ දැනුම් පද්ධතිය තුළයි.

කෝවිඩ්-19 කියා කියන්නේ වෙනත් විකල්ප දැනුම් පද්ධති වලට එම දැනුම් පද්ධති වලින් කළ හැකි දේ පෙන්වීමට මගඟු අවස්ථාවක්. එය කරන අයෙක් තමන් කොයි තරම් දුරකට බටහිර විද්‍යාවෙන් ස්වායත්තද කියන එක පැහැදිලිව කිව යුතුයි. බටහිර විද්‍යාවේ දැනුමක් වෙනත් දැනුම් පද්ධතියක යොදා ගැනීමේ වරදක් නැහැ. එහෙත්, බටහිර විද්‍යාව සමඟ එකට යන්නේත් වෙන්ව යන්නේත් කොයි තැන් වලදීද කියා කිව යුතුයි.

පළමු ප්‍රශ්නය වන්නේ යොදා ගන්නා කවර හෝ දැනුම් පද්ධතිය විසින් කෝවිඩ්-19 නම් වූ SARS-CoV2 වෛරසය හරහා බෝවෙන ලෙඩක් තිබෙන බව පිළිගන්නේද යන්නයි. එසේ නැත්නම් ඔවුන් මේ රෝගය අර්ථ දක්වන ආකාරය පැහැදිලිව සඳහන් කළ යුතුයි. දෙවන ප්‍රශ්නය කෝවිඩ්-19 නම් වූ SARS-CoV2 වෛරසය හරහා පැතිරෙන රෝගය හෝ වෙනත් හේතුවක් නිසා හැදෙන වෙනත් රෝගය හඳුනාගන්නා නිර්ණායකය කුමක්ද කියන එකයි. ප්‍රතිකාර ප්‍රශ්නය තෙවන ප්‍රශ්නයයි.

තවමත් දිනපතා ලංකාවෙන් කෝවිඩ්-19 රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගැනෙනවා. එසේ හඳුනා ගැනෙන්නේ පීසීආර් පරීක්ෂණ වලින්. මේ පරීක්ෂණ 100%ක් නිවැරදි නැහැ.

දැන් ලංකාවේ බොහෝ රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්. කිසියම් අයෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන්නේ බුද්ධි අංශ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කරන පරීක්ෂාවන් හරහා. මේ පරීක්ෂාවන් සෑහෙන තරම් නිවැරදියි. කෝවිඩ්-19 ආසාදිතයින් විය හැකි බොහෝ දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වෙන්නේ ඒ නිසයි.

මේ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අය අතරින් සැබෑ කෝවිඩ්-19 ආසාදිතයින්, එසේ නැත්නම් වෙනත් අයුරකින් අර්ථ දක්වන ආසාදිතයින්, කලින් හඳුනාගත හැකි විකල්ප දැනුමක් තියෙනවද? අදාළ පුද්ගලයින්ගේ නාඩි පරීක්ෂා කර, කේන්ද්‍ර පරීක්ෂා කර හෝ කිසියම් දෙවි කෙනෙකුගෙන් විමසා මෙය කළ හැකිද?

කරන්න තියෙන්නේ ඉතා සරල දෙයක්. නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අඩු වශයෙන් 1000ක පමණ පිරිසකගේ කවර හෝ දෙයක් පරීක්ෂා කර ඔවුන් ආසාදිතයින් හා නිර්-ආසාදිතයින් ලෙස වර්ග කිරීමයි. ප්‍රතිඵල 100%ක් නිවැරදි විය යුතු නැහැ. යම් තරමක සාර්ථකත්වයකින් හෝ මෙය කළ හැකිනම් සාමාන්‍ය පුද්ගලයින් අතර සිටින ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා එම ක්‍රමය යොදාගත හැකියිනේ.

දැන් ලංකාවේ පවතින වාතාවරණය තුළ ඔය වගේ වැඩක් කරන්න ඉදිරිපත් වෙන කෙනෙකුට අවස්ථාවක් නොලැබෙන්න හේතුවක් නැහැ.

13 comments:

  1. බටහිර දැනුම සහ පෙරදිග දැනුම අතර තියන තරඟය ගැන කියවුනාම මට පරණ සිද්ධියක් මතක් උනා. 1971 හෝ 72 පමණ කාලයේ මට රූමැටික් ෆිවර් හැදුනා. LRH එකේ සුමාන දෙකතුනක් ඉඳලා සනීප උනාට හැම මාසෙකම ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනෑ. ඒක ගැහුවාම සුමානයක් කකුල රිදෙනවා. අඩුම තරමින් එක දිනක් හෝ පාසැල් යාමත් වලකිනවා. මේ ප්‍රශ්න නිසා මේ ඉන්ජෙක්ෂන් එක නොගහා සිංහල වෙද කමක් කරන්න මගේ දෙමව්පියෝ උත්සාහ කළා. ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සිංහල වෙද මහතෙකුගේ පුතෙකු වූ මගේ තාත්තා, මාව කොල්ලුපිටියේ පණ්ඩිත විලියම් අල්විස් වෙද මහතා ලඟට අරගෙන ගියා. එතුමන් කසාය, කල්ක, චූරණ ආදී බෙහෙත් ජාති ගොඩක් ලියා දී ඒවායේ බෙහෙත් සීට්ටු තාත්තාගේ අතට දෙනගමන් ""නොවරදවාම ඉන්ජෙක්ෂන් එකත් ගහගන්න"" කිව්වා .

    ReplyDelete
  2. ඉකොන් පෘතුගාලය 70-80 මත්කුඩු වලින් අතිශය පීඩා විදපු රටක්. නමුත් ඔවුන් මෑත කාලීනව ප්‍රතිපත්ති වෙනස් කළා. එක, හොද (අරක්කු, විස්කි) සහ නරක (ගංජා, හෙරොයින්) මත්ද්‍රව්‍ය කියා දෙකොටසක් නැත. මත්ද්‍රව්‍ය සියල්ල ඇබ්බැහි වීම ඇතිකරය්, මත්ද්‍රව්‍ය සමග අහිතකර හෝ පාලිත සබදතාවක් තිබිය හැක. දෙක, අහිතකර සබදතා මගින් පුද්ගලයාගේ සවුක්ය මෙන්ම ඔහුගේ පවුල් සහ සමාජ සබදතා විනාසකර දමය්. තුන, මත්ද්‍රව්‍ය සහමුලින් අතුගා දැමීම කල නොහැක්කකි.

    එහි මත්ද්‍රව්‍ය භාවිතය සහ ලග තබාගැනීමට දෙන දඩුවම ප්‍රතිකාර සහ පුන්රුත්තාපනයය් . රජයෙන් පාලිත ක්‍රමයට මෙතඩෝන් නමැති ඔසුව ලබාදෙන මද්‍යස්ථාන ඇති කර තිබේ. මෙය විසෙන් විස නසන ප්‍රතිකාර ක්‍රමයක්. ඔවුන් කුඩු කාරයා යන වචනය පවා පාවිච්චිය නතර කොට ඇත. ඒ වෙනුවට ඇබ්බැහි වුවන්ට සානුකම්පිතව නිතිය හමුවේ සලකන තත්වයක් ඇතිකර තිබේ. මේ ගැන දන්නවා ද?

    ReplyDelete
  3. ජුනි 2 ට පෙර අලුත් පාර්ලිමේන්තු මංත්‍රී වරුන් පත් කරල අලුතින් පාර්ලිමේන්තුව රැස් කලේ නැත්නම්

    1. රටේ ව්‍යාවස්ථා අර්බුධයක් එනවා..
    2. නැත්නම් පැරණි පාර්ලිමේන්තුව කැඳව්වොත් ඒ තිබුණු පාර්ලිමේන්තුවේ පැරණි සංයෝගයෙන් බහුතර සහයෝගයක් ජනාධිපතිවරයාට සහ දැන් පවතින ආණ්ඩුවට ලැබෙන්න නැති වීමෙන් මුදල් පනත් ආදිය අනුමත කරගැනීමේදී ගැටළු එනවා... ඒ පාර්ලිමේන්තුව කැඳව්වොත් විසුරුවන්නත් බැහැ . වසංගතය මඩින්නත් බැහැ.

    මග හිටියොත් තෝ නහී ගෙදර ගියොත් අඹු නහී වගේ තත්වයකට රටේ බහුතර ජනතාවකගේ චන්දයෙන් පත් වු ජනාධිපතිවරයා සහ දැනට පවතින රජය පත් වෙනවා...

    ඒ අතර වසංගතය නිසා සෞඛ්‍ය තත්වය තවම හිතන තරම්ම පාලනයක් වෙලා 100% ක් ආරක්‍ෂිත තත්වයක නැහැ.

    මේක තමයි ඇත්ත ... වන්දිබට්ට මාධ්‍ය මුදලාලි ලා ගේ චක්ගොලයෝ බොරු තක්කඩි ගොබ්බ ප්‍රස්තාර හදල ජනතාව ගොනාට අන්දන්න අවශ්‍ය නැහැ... ඇත්තම කිව්වනම් මේ රටේ බහුතරය තවම පක්ෂ බේදයක් නැතුව මේ ජනාධිපතිවරයාට සහ හමුදාපති වරයා සහ සෞඛ්‍ය අංශ වලට මේ වෙලාවේ උදව් කරනවා....

    1. එක්කෝ සෞඛ්‍ය අවධානමත් අරන් මේ අතරේම චන්දෙ තියන්න යන්න වෙනවා.. එහෙම අවදානම් දෙයක් කරන්න නම් ඇත්තම කියල එකට ජනතාව ගේ මනස නිවැරදිව ක්‍රමානුකුලව සුදානම් කරන්න ඕනේ. අපේ රටට පුළුවන් විදියකට ආරක්ෂිතව චන්දයක් තියන්න ක්‍රමවේදයක් හදන්න වෙනවා.

    2. නැත්නම් පරණ පාර්ලිමේන්තුව කැඳවල රට අස්ථාවර
    දේශපාලන අච්චාරුවක් කරගන්න වෙනවා.

    3. නැත්නම් ව්‍යවස්ථාවේ මොනවා හරි ක්‍රමවේදයකින් චන්දය දින නියමයක් නොමැතිව කල් දාගන්න පුලුවන්ද කියල බලන්න වෙනවා.

    4. එහෙමත් නැත්නම් ගෝටාභය රාජපක්ෂට අපහු හමුදා නිලඇඳුම ඇඳලා රටේ හමුදාපති වශයෙන් පත් වෙලා හමුදා පාලනයක් ගෙන්න වෙනවා..

    5. එහෙමත් නැත්නම් ශවේන්ද්‍ර සිල්වාව විශ්වාස කරලා එයා ලව්වා හමුදා පාලනයකට යන්න වෙනවා

    ජනතාවට ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවොත් හොඳ නැද්ද?

    Nalaka Karunakalage

    ReplyDelete
  4. කෝවිඩ් 19 යනු මිනිස් සංහතියට හෝ ලංකාවෙ ජනයාට මුහුණ දීමට සිදුවූ පළමු වසංගත රෝගය නොවේ. මීට පෙර වසංගත රෝගවලට ලෝකවාසී ජනයා සහ ලංකාවාසී ජනයා මුහුණ දුන් ක්‍රමවේදය/ වේද මොනවද? එය/ ඒවා සාර්ථක ද අසාර්ථක ද? ඒ ගැන තාක්ෂණික විගණනයක් කළ යුතු බව පැහැදිලියි.

    ReplyDelete
  5. ඔය කෙහෙල් මල් 'බටහිර පෙරදිග' කතන්දර තියෙන්නේ තව ටික කාලයයි මොකද ඔය කියන මහ ලොකු 'බටහිර රටවල්' අභිබවා ආසියාව සහ පස්සේ අප්‍රිකානු රටවල් ඉදිරියේදී ආර්ථික සංවර්ධනය සමග වඩා බලවත් වෙමින් පවතින නිසා. හැබැයි ඉතින් අර John Hopkins Bloomberg Medical school එකේ පර්යේෂකයන් විසින් රට රටවල්වල කෝවිඩ් 19 රෝගයේ ව්‍යාප්තියට BCG එන්නත් දීම අනිවාර්ය වීම බලපානවද කියා පරීක්ෂා කරල කරපු පර්යේෂණයේ පර්යේෂණ පත්‍රිකාව අනුව (ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මියත් මේකෙ එක කතුවරයෙක්, එයා මං දන්න තරමින් ඩෙංගු රෝගය ගැන ලංකාවෙ ඉන්න ඉහළම වෛද්‍ය පර්යේෂකයා. ඒ වගේම එයා කෝවිඩ් 19 ගැන ලංකාවෙ ටෙස්ට් කරන කණ්ඩායමකුත් මෙහෙයවනවා දන්න තරමින්).

    ‍ඉතින් ඒ වාර්තාවට අනුව රට රටවල් වල අනෙකුත් variables සියල්ල සලකලා ඒවයෙ බලපෑම සංඛ්‍යානයෙන් සම තත්වයේ ලා සැලකූ විට BCG එන්නත දෙන රටවල රෝගයෙන් මරණයට පත්වීමේ ප්‍රවණතාව ආසන්න වශයෙන් හය ගුණයකින් අඩුයි එන්නත නොදෙන රටවලට වඩා. ලංකාවත් BCG එන්නත අනිවාර්ය රටක්.

    තව විදිහකට භූගෝලීයව ආසන්නයේ ඇති පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ කෝවිඩ් 19 නිසා වූ මරණ සැලකිය යුතු පමණ වෙනස් වීමත් වැදගත් කරුණක්. පෘතුගාලයේ BCG එන්නත අනිවාර්යයි. ස්පාඤ්ඤයේ නැහැ. ඒ වගේම මෙතෙක් රෝගය නිසා විශාල ලෙස මරණ වාර්තා වූ එක රටකවත් BCG එන්නත අනිවාර්ය නැහැ. පෘතුගාලය අනෙක් රටවලට වඩා ඉක්මනින් ආර්ථිකයේ සහ ජන සංරචනයේ සීමා ඉවත් කරන්න යනවා කියා වාර්තා උනා.

    ලංකාවෙ දේශපාලකයන් අතරින් හෝ මේ සම්බන්ධ වෙනත් රාජ්‍ය නිලධාරීන් අතරින් මේ කාරණය ගැන ප්‍රසිද්ධියේ යමක් ප්‍රකාශ කරනු දැක්කෙ චම්පික රණවක මන්ත්‍රීවරයා විතරයි. ඒ ගැන ඔහුට ස්තුතිවන්ත විය යුතුයි. තව අය කතා කරාද දන්නෑ. මං දැක්කෙ ඔහු විතරයි.

    ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වරක් ප්‍රකාශ කරා රෝගීන් විශාල ප්‍රමාණයක් දැනටම ඉන්නවා කියල දැනට හදුනා නොගත්. එසේ සිටිනවා කියා උපකල්පනය කරත් මරණ විශාල වශයෙන් වාර්තා නොවීමට මේ සාධකය බලපෑ හැකිද?

    ReplyDelete
  6. ලංකාවේ විවිධ ඔසු, කෙම් ක්‍රම වැනි දේ මඟින් කොරෝනා මර්දනය කල් හැකිය කියන සමතුන් ගැන මාත් දැක්කා. ඒත් ඒ කිසිම කෙනෙකුගේ දේවල් අත්හදාබලන්න තියා අදහසක් කතාබහට බඳුන් කළ බවක්වත් දැක්කේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ආයුර්වේද කොමසාරිස් ම කියනවා බෙහෙතක් හදලා තියෙන්නෙ අත්හදා බලන්න අවස්තාවක් තාම දීලා නෑ කියලා. ඉතින් කවර කතාද. Ytube එකේ ඒ වීඩියෝ එක තියෙනවා. ඒ මිනිස්සුව පොල් මුඩු ගානට දාලා තියෙන්නෙ.

      Delete
  7. බටහිර විද්‍යාවට මනසින් පමණක් ලබාගන්නා ප්‍රත්‍යක්‍ෂ නොමැති බැවින් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් විස්තර කිරීමට පට්ටපල් බොරු කතන්දර ගෙතීමට සිදු වී ඇත. ගැලීලියෝ ද නිවුටන් ද අයින්ස්ටයින් ද කළේ පට්ටපල් බොරු ගෙතීම ය. ඔවුන්ට වෙනත් විකල්පයක් නොවූයේ ඔවුන් ආධ්‍යාත්මික දියුණුවක් අත්කර ගත් සෘෂිවරුන් (දකින්නන්) නොවූ බැවිනි.
    ( උපුටා ගැනීම http://www1.kalaya.org/search/label/බටහිර%20විද්%E2%80%8Dයා)

    නාථ දෙවි කතාව පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් වන්නේ කෙසේදැය් කියා නොකියන්නේ නම් නලින් සිල්වා කරන්නෙත් ගැලීලියෝ ද නිවුටන් ද අයින්ස්ටයින් ද කළ අන්දමේ පට්ටපල් බොරු ගෙතීම ය.

    ReplyDelete
  8. ලංකාවේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී කැරැල්ල දිගටම ඇදෙද්දි (සමහර විට ගොඩක් අය ඒ කාලෙ හිතන්නැති ඒක ඉක්මනට මැඩ පවත්වන්න පුළුවන් වෙයි කියල) ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කිව්ව 'යුද්දෙත් එක්ක ජීවත් වෙන්න' කියල. මං හිතන්නෙ ඒක සෑහෙන්න වටින කතාවක්. වෙන විකල්පයක් නැති නිසාම අවුරුදු 30කට ආසන්න කාලයක් ලංකාවෙ මිනිස්සු යුද්දෙත් එක්ක 'ජීවත් උනා'. අන්තිමට ඒ කැරැල්ල මර්ධනය කරන්න හැකි උනේත් එහෙම ජීවත් වෙච්ච නිසා.

    ඇදිරි නීතිය ලිහිල් කිරීමත් එක්ක නොකියා කියවෙන දේ තමයි 'කොරෝනත් එක්ක ජීවත් වෙන්න' කියන එක ආණ්ඩුවේ පාර්ශවයෙන්. මං හිතන්නෙ ඒක තමා වඩාත්ම නිවරදි සහ ප්‍රායෝගික ස්ථාවරය මේ සම්බන්ධයෙන් ඡන්දයක් තිබ්බත් නැතත්. අද ඒ ස්ථාවරයට බොහෝ දෙනා ඇවිල්ල තියෙන බව පෙනී යාම සතුටට කරුණක්. මොකද ඔක්කොටම කලින් ජීවත් වෙන්න ඕන නිසා.

    එහෙම නැතිව කොරෝනාවට මුහුණ දෙන්නත් බැරි වෙනවා. ඇත්තටම කොරෝනාවට මුහුණ දෙන්නෙත් ජීවත් වෙන්න ඕන නිසානෙ. කෝරෝනාවට මුහුණ දීම ජීවත් වීම සදහා මිස ජීවත් වෙන්නෙ කොරෝනාවට මුහුණ දීම සදහා නොවිය යුතුයි.

    ජේආර් ජනාධිපතිතුමාගෙ උපදේශය මං හිතන්නෙ රටේ ලෝකෙ ප්‍රශ්නවලට විතරක් නොව පුද්ගලික ජීවිතයේ අර්බුදවලට මුහුණ දීමෙදිත් වැදගත් විය හැකියි. එහෙම නේද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  9. ඇත්තටම ඉකොනොමැට්ටෝ කොරෝනා 2019 හරි ඊට කලින් හරි එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන කාලයේ ආවා නම් ප්‍රවෘත්ති සිරස්තල කොහොම වෙන්නත් පුළුවන් ද කියල කියන්නකෝ...

    මේ මට හිතෙන හැටි....

    - කොරෝනා මර්ධනයට ඇමරිකානු වෛද්‍යවරුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

    - ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූ රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි.

    - ඉතාලිය ඇමරිකාව වගේ රටවලත් මැරෙන එකේ අපි කොහොමද පාලනය කරන්නෙ සෞඛ්‍ය සේවා ඇමති රාජිත අසයි

    - බය නැතුව ළමයි පාසැල් යවන්න.මැරුණොත් පවුලකට ලක්ෂයක් දෙනවා - ඇමති අකිල කියයි

    -නිරෝධායනය කරන්නවත් ආමිකාරයෝ ගාවගන්නෙ නෑ. රජය කිසිම බලපෑමක් කරන්නේ නෑ, කැමති අය නිරෝධායනය වෙයි.- මංගල සමරවීර

    - ඇමති රවුෆ් හකීම්ගේ ඉල්ලීම අනූව කෝරෝනා නිසා මියගිය රෝගීන්ගේ සිරුරු සියල්ලම භූමදානයට අවසර.

    - වෛද්‍යවරුන් වැඩවර්ජනයක.මේ ඔක්කොම කුමන්ත්‍රණකාරී රාජපක්ෂ රෙජිමේ වැඩ බව අගමැති රනිල් කියයි.

    - ඇදිරි නීතිය දාන්න තාම තීරණයක් නෑ. මුලින්ම ෆේස්බුක් බ්ලොක් කරනවා හිටං - ජනපති සිරිසේන

    - කොරෝනා ගෙනාවෙ නාමල්. තාත්තයි මායි ඒක ඇස් දෙකටම දැක්කා - චතුර සේනාරත්න

    -කන්න නැත්තං දුක් වෙන්න එපා. කොස් කොළ ක්‍රෝටන් කොළ වගේ දේවල් කාල ජීවත් වෙන්න පුළුවන් - කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් (කෘෂිකර්ම ඇමති වෙනුවට)

    -කොරෝනා ව්‍යාප්තිය නතර කිරීමට නොහැකිවූයේ රජයේ වරදින් නොවන බවට වාර්තාවක් සැකසීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවක්.

    - ආගමික වතාවත් වලට පමණක් මුල්තැන, මාස්ක් අනිවාර්ය නෑ - යහපාලන රජය කියයි

    -ඉපදෙන කවුරුත් මැරෙනවා ඕවා ඔහොම තමයි - ලක්ෂ්මන් කිරිඇල්ල

    -කොරෝනා කියලා වැඩට නොගියට කරන්න දෙයක් නෑ බදු ගෙවීම් අඛණ්ඩව සිදු කරන්න ඕන. - මුදල් ඇමති මංගල සමරවීර

    - හමුදා නිලධාරීන්ට යාපනේ ජනතාවගේ නිදහසට බලපෑම් කරන්න අයිතියක් නෑ. ඒක විශාල වරදක් - ඇමති මංගල සමරවීර කියයි

    කොවිඩ් වෙනයි කොරෝනා වෙනයි - සුවපති අමාත්‍ය රාජිත කියයි

    මම දන්නවා නම් ඇදිරි නීතිය දාන්න දෙන්නේ නෑ .ඒක මම දැක්කෙත් අද පත්තරෙන් - ජනපති සිරිසේන

    මැති ඇමතිවරුන්ට විෂබීජහරණ මෝටර් රථ ගෙන්වීමට රුපියල් බිලියන 20 වෙන් කිරීමට කැබිනට් අනුමැතිය. විමධ්‍යගත අරමුදල් වලින් ලක්ෂ 50 ක් කොරෝනා මර්දනයට

    නිරෝධායන මධ්‍යස්ථාන කියලා දෙයක් ඇමරිකාවෙත් නෑ. අපරාදෙ සල්ලි. කල්පනා කරලා බලන්න - අනුර කුමාර දිසානායක

    ලංකාවට උදව් කරන්නැයි රනිල් වික්‍රමසිංහගෙන් ආයාචනයක්

    අපේ තාත්තා මට කිව්වා අමුතු උණක් එනවා පරිස්සම් වෙන්න කියලා - ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු

    උතුරු නැගෙනහිරට ඇදිරි නීතිය දැම්මොත් සහජීවනයට බාධාවක් - රවී කරුණානායක

    මේ ගැන ඉකොනොමැට්ටාට හිතෙන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. :D :D :D

      හපොයි දෙයියනේ උන් ටික හිටියා නම් අපි මෙලහකට මැරිලා, මැරිච්ච තැන්වල දාර සයිස් මාර ගසුත් ඇවිල්ලා.

      මේක බලලා හිනාවුනාට දැන් අපි හරිම භයංකාර මාරකයකින් බේරිලා තියෙන්නෙ කියලා දැනෙන කොට නම් ඉතින් පුදුම විදියට හිතට සැනසිල්ලයි. (Y)

      Delete
  10. කලින් ඉකෝන් දිගටම තෙල් වෙළදපොල ගැනකථා කලා නේ...දැන් කොවිඩ් තත්වයත් එක්ක තෙල් වෙලදපොලේ වර්තමානය හා අනාගතය ගැන ලිපියක් ලියන්න අදහසක් නැද්ද...පොඩි යෝජනාවක්

    ReplyDelete
    Replies
    1. තෙල් ගැන ලිපියක් ලිවුව විතරයි!

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...