Tuesday, April 14, 2020
කොරෝනා හඳුනා ගැනීම
කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 වලට එරෙහි අරගලය තුළ ලංකාව ඇතුළේ වගේම ලෝක මට්ටමේදීත් කොරෝනා හඳුනා ගැනීමේ සංකල්පීය ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මේක වෙනත් ඕනෑම සංකල්පයකට අදාළ පොදු ප්‍රශ්නයක්. මේ වෙලාවේ කොරෝනා හා අදාළව මේ ප්‍රශ්නය ගැන කතා කළාම ප්‍රශ්නය පැහැදිලි කරන්න ලේසියි. ඒ වගේම කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ ගැන කතා කරන්නනම් මුලින්ම මේ සංකල්පීය ප්‍රශ්නය තේරුම් අරගෙන ඉන්න වෙනවා.
කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 කියන්නේ මොකක්ද? කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 රෝගියෙක් කියන්නේ කවුද?
ගොඩක් අය දන්නා විදිහට කොරෝනා කියන්නේ ලෙඩක්. ලෙඩක් කියන්නේ මොකක්ද කියන එකත් අපට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ තරම් දුරට නොගිහින් අපි දැනට කොරෝනා වලින් නවතිමු. ලේඛකයාගේ පහසුවට මේ ලිපියේ කොරෝනා කියා කෙටියෙන් හඳුන්වන කෝවිඩ්-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන මේ රෝගය කුමක්ද?
රෝගයක් අර්ථ දැක්වෙන්නේ කිසියම් දැනුම් පද්ධතියක්, සංස්කෘතියක් ඇතුළේ. සිංහල ක්‍රමයට මේ ලෙඩේ දෙය්යන්නේ ලෙඩක් කියා හඳුන්වන බව ඇතැම් අය කියනවානේ. ඒ කතාවට මම එකඟ නැහැ. කොරෝනා හෝ කෝවිඩ්-19 කියන ලෙඩේ තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දැන් බටහිර දැනුම් පද්ධතිය ලෙස හඳුන්වන දැනුම් පද්ධතිය තුළයි. ඒ ලෙඩේ වෙනත් දැනුම් පද්ධතියක නැහැ. තියෙනවානම් තියෙන්නේ හරියටම ඒ ලෙඩේම නොවන වෙනත් ලෙඩක්.
කොහොම වුනත් මේ කතාව වෙනත් දැනුම් පද්ධති පිළිබඳ කතාවකුත් නෙමෙයි. මේ සාකච්ඡාව සඳහා ඒ තරම් දුර යන්න අවශ්‍ය නැහැ. මා සාකච්ඡාව ගෙන යන්නේ තනිකරම බටහිර දැනුම් පද්ධතිය තුළ සිටයි.
මේ අවුරුද්ද පටන් ගන්නා තුරුම කෝවිඩ්-19 කියා ලෙඩක් තිබුණේ නැහැ. මම මෙයින් අදහස් කරන්නේ කෝවිඩ්-19 කියා කියන නම ගැන නෙමෙයි. වෙනත් නමකින් හෝ මීට පෙර මේ ලෙඩේ තිබුණේ නැහැ. කලින් නොතිබුණු ලෙඩක් මේ විදිහට හදිසියේ හැදෙන්න ගත්තේ කොහොමද? මේ කතා කරන්නේ ලෙඩේ ආවේ සර්පයින්ගෙන්, වවුලන්ගෙන්, විද්‍යාගාරයකින් හෝ උල්කාපතයකින්ද කියන එකත් නෙමෙයි. ඒ මොන ආකාරයකින් හෝ ලෝකයට අලුත් ලෙඩක් ඇති වීම පිළිබඳ සංකල්පීය ප්‍රශ්නයක්.
චීනයේදී මුලින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ සාර්ස් වැනි ශ්වසන පද්ධතිය ආසාදනය කරන මාරාන්තික රෝගයක් පැතිරෙන බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව හා වසංගත විද්‍යාව තුළ ඒ වන විට සාර්ස් ලෙස හැඳින්වුණු වෛරස් රෝගයක් පිළිබඳ දැනුමක් තිබුණා. සාර්ස් රෝගය 2002දී චීනයේ සිට පැතිරුණු වෛරස් රෝගයක්. 2004 සිට ලෝකයේ සාර්ස් රෝගීන් සිටියේ නැහැ. ඉන් පසුව මැද පෙරදිග කේන්ද්‍රීයව මර්ස් නම් වූ රෝගයක්ද පැතිරුණා. සාර්ස් වලට වගේම මර්ස් වලටද හේතු වුනේ කොරෝනා වර්ගයේ වෛරසයක්. මේ රෝගය හඳුනා ගැනෙන්න පෙර කොරෝනා වර්ගයේ වෛරස පිළිබඳ දැනුමක් තිබුණා.
පසුව කෝවිඩ්-19 සඳහා හේතු වන වෛරසය හොයා ගත්තා. එයත් කොරෝනා වෛරසයක්. කෝවිඩ්-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනෙන්නේ මෙම වෛරසය ශරීරගත වී ඇති අයයි. අදාළ වෛරසය නම් කර තිබෙන්නේ SARS-CoV-2 ලෙසයි. පහසුවට කොරෝනා වෛරසය යන පොදු නම මා යොදන්නේ මේ විශේෂිත වෛරසයටයි.
මේ වන විට නව කොරෝනා වෛරසයේ ජෙනෝමය මුළුමනින්ම හඳුනාගෙන තිබෙනවා. ඕනෑම ජීවියෙකුගේ භෞතික සැකැස්ම පිළිබඳ තොරතුරු ජෙනෝමය තුළ සටහන්ව තිබෙනවා. වෛරසයක් ජීවියෙකු ලෙස සැලකෙන්නේ නැතත් ජීවීන් සතු ඇතැම් ලක්ෂණ වෛරස් වලටත් තියෙනවා. ජීවය කියන එකත් තවත් සංකල්පයක්.
ජෙනෝමයක් හැදී තිබෙන්නේ භෂ්ම යුගල ලෙස හඳුන්වන මූලික ඒකක වලින්. ජෙනෝමයක තිබෙන භෂ්ම යුගල ගණන වැඩි වන තරමට ජීවයක සංකීර්ණතාව ඉහළ යනවා. මිනිස් ජෙනෝමයක භෂ්ම යුගල බිලියන තුනකටත් වඩා තිබෙනවා. එහෙත්, SARS-CoV-2 වෛරසයක තිබෙන්නේ භෂ්ම යුගල තිස් දහසක පමණ ප්‍රමාණයක් පමණයි.
මිනිස් ජෙනෝමයක තිබෙන බිලියන තුනකට අධික භෂ්ම යුගල වලින් 99%කටත් වඩා ප්‍රමාණයක් සියලුම මිනිසුන්ට පොදුයි. මිනිසුන් එකිනෙකා අතර තිබෙන සියලුම වෙනස්කම් වලට හේතු වෙන්නේ ඉතිරි 1%කට අඩු භෂ්ම යුගල වල ඇති විවිධත්වයයි. ඒ නිසා, මිනිස් ජෙනෝමයේ තිබෙන පොදු "මිනිස් ගුණ" හඳුනාගැනීම අපහසු නැහැ.
කොහොම වුනත්, මේ පොදු මිනිස් ගුණ කියා කියන්නේ ජෙනෝමයේ ඉතිරි 99%ම නෙමෙයි. එයින් විශාල කොටසක් වෙනත් ජීවීන්ටත් පොදුයි. උදාහරණයක් විදිහට මිනිසුන්ගේ හා චිම්පන්සීන්ගේ ජෙනෝම වල භෂ්ම යුගල වලින් 96%ක්ම සමානයි.
කෝවිඩ්-19 හදන SARS-CoV-2 වෛරස සියල්ලම එකිනෙකට සමාන නොවුනත්, එම වෛරස SARS-CoV-2 වෛරස ලෙස හඳුනාගත හැකි පොදු ලක්ෂණ තිබෙනවා. ඒ වගේම, සාර්ස් හා මර්ස් රෝග වලට හේතු වූ කොරෝනා වෛරස වලට හා මේ වෛරසයට පොදු වෙනත් ලක්ෂණද තිබෙනවා. කෝවිඩ්-19 ආසාදිතයින් හඳුනා ගන්නා පීසීආර් පරීක්ෂණ පදනම් වෙන්නේ SARS-CoV-2 වෛරස වල ජෙනෝමයේ දැකිය හැකි පොදු ලක්ෂණ මතයි.
කෝවිඩ්-19 රෝගය වගේම SARS-CoV-2 වෛරසයද හඳුනා ගැනුණේ ඉතා මෑතකදී. ඒ නිසා, ඒ වන විට රෝගියෙකු SARS-CoV-2 ආසාදිතයෙකුදැයි හඳුනාගත හැකි පරීක්ෂණ කිසිවක් තිබුණේ නැහැ. එහෙම තියෙන්න විදිහක් නැහැනේ. පරීක්ෂණ ක්‍රමවේදයක් හදන්නනම් මුලින්ම SARS-CoV-2 ජෙනෝමය හඳුනාගත යුතුයි. ඉන් පසු, එම ජෙනෝමයේ සියළුම SARS-CoV-2 වෛරස වලට පොදු එහෙත් SARS-CoV-2 වෛරස වලට පමණක් අනන්‍ය කොටස් හඳුනා ගත යුතුයි.
මේ වන විට අවම වශයෙන් ලෝකයේ රටවල් හත අටක සමාගම් ගණනාවක් විසින් පීසීආර් පරීක්ෂණ ගණනාවක් වැඩි දියුණු කර තිබෙනවා. මේ පරීක්ෂණ සියල්ලම වගේ එකිනෙකින් වෙනස්. එසේ වෙනස් වන්නේ SARS-CoV-2 වෛරසය හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා හඳුනා ගැනීමේ ලක්ෂණය හෝ ලක්ෂණ මතයි. ඒ අනුව, මේ පරීක්ෂණ වල නිරවද්‍යතාවයද එකිනෙකින් වෙනස් වෙනවා. මේ කතා කරන්නේ පීසීආර් කුලකයට අයත් පරීක්ෂණ ගැන පමණයි. වෙනත් මූලධර්ම මත පදනම් වූ පරීක්ෂණ අපි දැනට පැත්තකින් තියමු. ඒවා කොහොමටත් වෙනස්.
කිසිම වෛද්‍ය පරීක්ෂණයක් 100%ක් නිවැරදි නැහැ. ඕනෑම පරීක්ෂණයකින් රෝගියෙකු සේ හඳුනා ගැනෙන අයගෙන් යම් කොටසක් ඇත්තටම රෝගීන් නෙමෙයි. ඒ වගේම රෝගීන් නොවන සේ හඳුනා ගැනෙන අයගෙන් කොටසක් ඇත්තටම රෝගීන්. පරීක්ෂණයකින් සැබෑ රෝගීන් නිවැරදිව හඳුනා ගැනෙන ප්‍රතිශතය එම පරීක්ෂණයේ සංවේදීතාව ලෙසත්, රෝගීන් නොවන්නන් එසේ නොවන සේ හඳුනා ගැනෙන ප්‍රතිශතය එම පරීක්ෂණයේ නිශ්චිතතාව ලෙසත් හැඳින්වෙනවා.
ඕනෑම වෛද්‍ය පරීක්ෂණයක සංවේදීතාව හා නිශ්චිතතාව 100%ට වඩා අඩුයි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ හා පොදු වශයෙන් බටහිර විද්‍යාවේ අවම දැනුමක් මිස බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් නෙමෙයි. ඒ නිසා, කිසියම් වෛද්‍ය පරීක්ෂණයකදී ව්‍යාජ ආසාදිතයින් හා ව්‍යාජ නිර්-ආසාදිතයින් කිසියම් ප්‍රමාණයක් හඳුනා ගැනෙනවා. මේ ව්‍යාජ ආසාදිත හා ව්‍යාජ නිර්-ආසාදිත ප්‍රතිශත අඩු හා සංවේදීතාව හා නිශ්චිතතාව වැඩි වෛද්‍ය පරීක්ෂණයක් හොඳ වෛද්‍ය පරීක්ෂණයක්.
චීනයේ වුහාන්හි මේ අලුත් රෝගය පැතිරෙන්න පටන් ගත් අලුතම ඒ වන විට තිබුණු දැනුම මත පදනම්ව මෙය කොරෝනා වර්ගයේ වෛරසයක් හේතුවෙන් බෝවන රෝගයක් බව සැක කෙරුණා. එවැනි සැකයක් ඇති වූ පසු ඊළඟ ඉදිරි පියවර වන්නේ එවැනි වෛරසයක් ඇති බව තහවුරු කර ගැනීම හා එම වෛරසය නිවැරදිව හඳුනා ගැනීමයි. කෙටි කලකින් වෛරසයක ජෙනෝමය මුළුමනින්ම හඳුනාගත හැකි තාක්ෂණයක් අප සතුව තිබෙනවා.
චීනය විසින් ඉතා ඉක්මණින් අලුත් වෛරසයේ ජෙනෝම කේත හොයාගෙන අනෙකුත් රටවල් සමඟ එම දැනුම බෙදාගත්තා. මීට පෙර සාර්ස් රෝගය පැතිරෙද්දී චීනය එසේ කර තිබුණේ නැහැ. ජෙනෝම කේත දැනගත් විට මුලින්ම වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂා වැඩි දියුණු කරන්නත්, ඉන් පසුව ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩි දියුණු කරන්නත් අවස්ථාව සැලසෙනවා.
දැන් මෙහිදී අප වෛරසය හඳුනා ගැනීම කියා කියන්නේ කුමක්ද? මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වනවා වගේම වෛරස්ද එකිනෙකින් වෙනස්. වෛරසයක් හඳුනා ගැනීම කියා කියන්නේ මේ රෝගය බෝ කරන වෛරස් සියල්ලටම තිබෙන පොදු ලක්ෂණ හඳුනා ගැනීමයි. ඒ අතරම, මේ රෝගය බෝකරන වෛරස් අනෙක් වෛරස් වර්ග වලින් අනන්‍යව හඳුනා ගැනීමටත් හැකි විය යුතුයි.
වෛරසය හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා නියැදි ප්‍රමාණය වැඩි වූ තරමට ඉහත කාර්යය වඩා නිවැරදිව කළ හැකියි. එහෙත්, මේ වගේ වෙලාවක වැඩේ කල් දමන්නත් බැහැ. කොහොම හරි චීනයෙන් එකතු කරගත් නියැදි මත පදනම්ව මුලින්ම වෛරසය හඳුනා ගනු ලැබුණා. ඒ නියැදි වලින් හමු වූ වෛරස 99.98%ක් පමණම එකිනෙකට සමානයි. ඒ වගේම 79%ක් පමණ සාර්ස් රෝගයට හේතු වූ වෛරසයට සමානයි.
අලුත් වෛරසයේ ජෙනෝමය පිළිබඳ තොරතුරු අතට ලැබීමෙන් පසුව ලෝකයේ විවිධ රටවල් විසින් එහි විවිධ කොටස් ඉලක්ක කර ගනිමින් වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාවන් වැඩි දියුණු කරන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් වැඩි දියුණු කළ පරීක්ෂාවේදී මෙහි තැන් (සලකුණු) තුනක් හඳුනා ගැනීම ඉලක්ක කළා. එයින් පළමු සලකුණු දෙකෙන් SARS-CoV-2 වෛරසය අනන්‍ය ලෙසත්, තෙවන සලකුණෙන් සාර්ස්, මර්ස් වෛරසද ඇතුළත් වෛරස් කුලකයත් හඳුනා ගැනුණු අතර නියැදිය මිනිස් සිරුරකින් ලබාගත් බව තහවුරු කර ගැනීමේ සිවු වන පරීක්ෂාවක්ද සිදු කෙරුණා.
පරීක්ෂාව සඳහා උපයෝගී කර ගන්නේ සැක සහිත පුද්ගලයින්ගේ නාසයෙන් හා උගුරෙන් ලබාගත් නියැදි දෙකක්. පළමුව මේ නියැදි දෙක මිශ්‍ර කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පහසුව සඳහා පෝෂණ මාධ්‍යයක් තුළ වෛරසය වර්ධනය වෙන්නට හරිනවා. ඉන් පසුව, පෙර කී සලකුණු තුන පරීක්ෂා කර බලනවා. අදාළ සලකුණු තුනෙන් එකක්වත් හඳුනා ගැනුනේ නැත්නම් සහ හතර වන පරීක්ෂණයෙන් මෙය සැබෑ නියැදියක් බව තහවුරු වී ඇත්නම් රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු කරනවා. මුල් සලකුණු දෙකෙන් අඩු වශයෙන් එකක් හඳුනා ගත හැකිනම් රෝගියා කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනෙනවා. මුල් සලකුණු දෙකෙන් එකක්වත් හඳුනා ගත නොහැකි වුවත් තෙවන සලකුණ හමු වූයේනම් කෝවිඩ්-19 ආසාදිතයෙකු වීමේ ඉඩක් ඇති (presumptive positive) පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනෙනවා.
අපි හිතමු මේ පරීක්ෂණය හෝ මෙවැනි වෙනත් පරීක්ෂණයක කෝවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමේ මූලධර්මය හරියටම හරි කියා. එසේ වුවත්, රෝගියාගේ නාසයෙන් හා උගුරෙන් නියැදි එකතු කර ගන්නා අවස්ථාවේදී පසුව වර්ධනය කර ගත හැකි තරම් ප්‍රමාණවත් වෛරස් ප්‍රමාණයක් "අහු විය" යුතුයි. වෛරසය ශරීරගත වූ මුල්ම දවස් වල වගේම වෛරසය පෙනහළු දක්වා ගමන් කිරීමෙන් පසුවත් නාසයෙන් හා උගුරෙන් එකතු කර ගන්නා නියැදි වලින් ප්‍රමාණවත් තරම් වෛරස් හමු නොවෙන්න පුළුවන්. මේ හේතුවත් වෛරසය හඳුනා ගන්නා ක්‍රමවේදයේම තිබෙන වෙනත් අඩුපාඩුත් නිසා කිසියම් පීසීආර් පරීක්ෂාවක සංවේදීතාව අඩු වෙන්න පුළුවන්.
පොදුවේ කිසියම් පරීක්ෂාවක සංවේදීතාව ඉහළ දමන්න උත්සාහ කරන විට එහි නිශ්චිතතාව අඩු වීම සාමාන්‍ය තත්ත්වයයි. නිශ්චිතතාව වැඩි කරන විට සංවේදීතාව අඩු වෙනවා. ඒ නිසා, මේ දෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගත යුතුයි. කෝවිඩ්-19 ආසාදිතයෙකු නොවන අයෙකු ආසාදිතයෙකු සේ හඳුනා ගැනීමේ හානියට සාපේක්ෂව කෝවිඩ්-19 ආසාදිතයෙකු ආසාදිතයෙකු නොවන සේ හඳුනා ගැනීමේ හානිය අඩුද වැඩිද? එය තීරණය වන්නේ පවතින සංදර්භය තුළයි.
සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂාවක් සඳහා අනුමැතිය ලබා දෙන්නේ එහි නිශ්චිතතාව හා සංවේදීතාව ඇතුළු තාක්ෂණික කරුණු පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව පමණයි. පවතින තත්ත්වය යටතේ එවැනි පුළුල් අධ්‍යයනයක් සඳහා ඉඩක් ලැබී නැහැ. චීනය වගේම ඇමරිකාව විසින්ද මුලින්ම වැඩි දියුණු කළ පරීක්ෂා වල විශාල ප්‍රශ්න තිබුණා. ඇතැම් පරීක්ෂා වල සංවේදීතාව තිබුණේ 60-70% මට්ටමේ. දැන් වුනත්, කිසියම් පීසීආර් පරීක්ෂාවකින් සැබෑ ආසාදිතයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හඳුනා ගැනෙන්නේ නැහැ. මේ ප්‍රතිශතය හරියටම දන්නේ නැහැ. ඒ වගේම, එම ප්‍රතිශතය එහෙමත් නැත්නම් පරීක්ෂාවක සංවේදීතාව, විවිධ රටවල සමාගම් රැසකින් හදා තිබෙන හැම පීසීආර් පරීක්ෂාවකටම පොදු නැහැ.
පීසීආර් පරීක්ෂාවකින් සැබෑ ආසාදිතයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හඳුනා ගැනෙන්නේ නැතිවා වගේම එසේ හඳුනා ගැනෙන යම් ප්‍රතිශතයක් සැබෑ ආසාදිතයින්ගෙන් නොවන්නත් පුළුවන්. මේ ප්‍රතිශතය කුඩා එකක් වෙන්න පුළුවන්. එහෙත්, අපි හරියටම දන්නේ නැහැ.
මේ අවිනිශ්චිතතා සියල්ල මධ්‍යයේ අපි කෝවිඩ්-19 රෝගියෙකු ලෙස කෙනෙක්ව නම් කරන්නේ පීසීආර් පරීක්ෂාවක ප්‍රතිඵලය මතයි. ඒ, මේ සියලු සීමාවන් මැද වුවත් එසේ කිරීම නොකිරීමට වඩා ප්‍රතිඵලදායක නිසයි. පරීක්ෂා කිරීම් අඩු කළ යුතු බවක් හෝ පරීක්ෂා කිරීම තේරුමක් නැති බවක් මේ ලිපියෙන් කිසිසේත්ම අදහස් කෙරෙන්නේ නැහැ. එහෙත්, මේ පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වී අපට දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ ඇසුරින් බරපතල නිගමන වලට පැමිණෙන්න කලින් මේ දේවල්ද දැන සිටිය යුතුයි.
(Image: https://www.flickr.com/photos/niaid/albums/72157712914621487/with/49531042877)
Labels:
රෝග,
වසංගත,
වසංගතවේදය,
විද්‍යාත්මක ක්‍රමය,
සංඛ්‍යාලේඛණ
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ලංකාවේ කොවිඩ් රෝගියෙකු රෝහලින් සුව වී යෑමට ප්‍රථම පිට පිට කරන පීසීආර් පරිකශණ දෙකකින් සමත් විය යුතුයි
ReplyDeleteයුතුයි
එම නිසා පීසීආර් පරීක්ශනය සම්භම්දව ඇති ඇකියුරසි හා සෙන්සිවිටි එක සම්බන්ධ රිස්ක් එක බොහෝ දුරට මග හැරෙනවා...
ලංකාවේ මිලිටරි ඒකාධිපති ආණ්න්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, මාර්තු 31වනදා විශාල වශයෙන් රෝගීන් හඳුනාගැනුනු පසුවත් මේ ක්‍රමවේදයම යෝජනා කර ඇත. එහෙත් හෙද සහ රසායනාගාර වෘත්තීය වේදීන් පවසන්නේ පෙබරවාරි මාසයේ මුල සිටම තම සංගමය ආන්ඩුවට ලිපි යොමුකරමින් මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කල නමුත් ඉන් පලක් නොවුනු බවයි.
ReplyDeleteලංකාවේ මිලිටරි ආණ්න්ඩුව මෙම විද්‍යාත්මක ක්‍රමවේදයන් මගහරිමින් සිටින්නේ පුලුල් පරීක්ෂන සඳහා වියදම් කපා හරිමිනි. වසංගත තත්වය මැද රටේ ආර්ථිකය ඇනහිටීමෙන් තියුනුම අර්බුදයක් වෙත කිඳාබසින ආන්ඩුවට ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා සුරක්ෂිත කරදීම තරම් කම්කරු-පීඩිත මහජනතාවන්ගේ ජීවිත නොවටී.
ලංකාවේ මිලිටරි ආණ්න්ඩුව මිලිටරියේ පාලනය යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන පිලිබඳ ව්‍යාජව පුම්බන ලද මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියත් ඒවා තුල මෙම විද්‍යාත්මක පරීක්ෂන ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බව හෙලිදරව් වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කර මාර්තු 24 වැනිදා පිටවූ අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුට රෝගය ආසාදනය වී ඇතැයි අප්‍රේල් 05 වැනිදා අනාවරනය වීමත් සමඟය.
ඉතා අමානුෂික ලෙස ඒ සිදුවීමෙන් පසු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා උත්ප්‍රාසාත්මක ලෙස කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිට පැමිනි අයට නිවෙස් තුලට වී තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසයි. තවදුරටත් ආන්ඩුවේ වැඩපිලිවෙලෙහි පල්ල අරිමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ නිරෝධායන කඳවුරුවල සිටි පුද්ගලයන් නිවෙස්වලට යැවීමේදී රසායනාගාර මට්ටමේ වෛද්‍ය පරීක්ෂනයකට ලක් නොකරන බවයි.
දැනට ලංකාවේ තියෙන මේ බරපතල වසංගතය මර්දනය කිරීම සඳහා තිරනාත්මකම පියවරය වන්නේ පරීක්ෂන පුලුල් කිරීම බව අවිවාදිතය. ඒ සඳහා දැවන්ත මුදල් සම්භාරයක් වෙන් කල යුතුය. එහෙත් එවැන්නක් ක්‍රියාවට දැමීම සඳහා සැබෑ සමාජ අවශ්‍යතාවයන් සපුරාලන පරිදි සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කලයුතු වෙයි. එය වත්මන් මිලිටරි ඒකාබද්ධ ධනවාදී සමාජ ක්‍රමය උඩු යටිකුරු කර විප්ලවීය වෙනස්කම් හරහා කම්කරු පන්තිය අතට දේශපාලන බලය අත්පත්කර ගැනීම සමඟ පමණක් කළ හැකි බව ඉතා පැහැදිලිය.
ඉකොනෝමැට්ටා කියන මොට්ටයෝ,
ReplyDeleteකොරෝනා කියන්නේ ලෙඩක් නෙමේ මෝඩයෝ. කොරෝනා කියන්නේ වයිසරය. කොවිඩ් 19 තමයි ලෙඩේ. මේ මොට්ටයා ඒකවත් දන්නේ නැතිව තමයි කොරෝනා හඳුනා ගැනීම ගැන මෙච්චර කල් ලොරි ටෝක් දීලා තියෙන්නේ. අනේ මෙහෙමත් ගොන් තඩියෙක්.
@ AnonymousApril 14, 2020 at 11:54 AM
DeleteAne umba wage moda muusalayek!!!
ඇනො මහතානනි, ඔබ ලිපියේ ඇති යම් කරුනකට එදිරිව ප්‍රතිචාරයක් දක්වන්නේනම් එම කොටස උපුටා දක්වා සංයමයකින් ඔබේ මතය ඉදිරිපත් කරන්නේ නම් ඉකොනොමැට්ටාට වගේම මෙය කියවන අනිත් සිහි බුද්ධිය ඇති අයටත් පලදායී සංවාදයක් ගොඩ නැගීමට හැකිවනු ඇති. එහෙම නැතිව බඩ බුරුල් වූ බල්ලෙක් උඩු බුරුලන්නාක් මෙන් හැසිරීමෙන් වෙන සෙතක් නැත.
Delete//කොරෝනා වෛරසය ආසාදිත වූ බවට ඊයේ සහ පෙරේදා දින දෙකේදී සොයාගත් සියලු පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.// අද කියවුණු පුවතක් අපේ තත්ත්වය පෙන්වන්නේ මෙහෙමයි!
ReplyDeletehttps://www.lankahotnews.net/2020/04/news-for-sri-lanka_14.html
ලංකාවේ කොළඹ නගරයේ වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන පවතින තත්ත්වය සමහන් වූ පසු යලි විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කරලා.
ReplyDeleteඒ කියන්නේ සේවකයන් යලි සේවයට වාර්තා කිරීමේ දි මෙම පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඔවුන්ට රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව දිය යුතු බවයි.
ලංකාවේ ආර්ථිකයේ පාලනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ කම්හල් විශාල පුමාණයක් ඇති බවත් ඒවායේ සේවයේ නිරත පිරිස් විවිධ පුදේශවලින් පැමිණෙන බවත් මේ කියන වයිරසය ශරීර ගත වූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බවත් එම කමිටුව කියලා තියෙන්නේ.