වෙබ් ලිපිනය:

Tuesday, October 20, 2020

ලීවරය අදින අත


කලින් විස්තර කරපු ට්‍රොලි ප්‍රශ්නය නිකම්ම නිකම් විහිළු කතාවක් නෙමෙයි. මිනිස්සු හිතන පතන ආකාරය හා මිනිස්සුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගැනීම සඳහා ප්‍රායෝගිකව යොදා ගන්නා ප්‍රශ්නයක්. 

මේ ප්‍රශ්නය හරහා පරීක්ෂා කෙරෙන මූලික කරුණ වන්නේ හොඳ නරක කියන දේවල් තීරණය වන්නේ කොහොමද කියන එකයි. ප්‍රශ්නයට මිනිස්සු ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනෙන්නේ මිනිසුන්ගේ තේරීම් හොඳ නරක කියා නිශ්චිත ලෙස ඉරකින් වෙන් කිරීම ඉතා අසීරු කාර්යයක් බවයි. වෙනත් අයුරකින් කිවුවොත් හොඳ නරක කියා නිරපේක්ෂ දේවල් නැති බවයි.

උපයෝගීතාවාදීන්ගේ තර්කය වන්නේ අවසන් ප්‍රතිඵලය විසින් කිසියම් කාර්යයක හොඳ නරක තීරණය කරනවා කියන එකයි. උදාහරණයක් ලෙස ලීවරය ඇද සයිඩ් ට්‍රැක් එකේ සිටින පුද්ගලයාට මැරෙන්න අරින එකත්, මහත මිනිහා පාලමෙන් පහළට තල්ලු කරන එකත් දෙකම සමානයි. අවස්ථා දෙකේදීම වෙන්නේ ජීවිත පහක් බේරීමේ අරමුණින් එක් ජීවිතයක් බිලි දීමයි. එහෙමනම්, එකක් නිවැරදි වෙන්නේත්, අනිත් එක වැරදි වෙන්නේත් කොහොමද?

එහෙත්, බොහෝ සාමාන්‍ය මිනිසුන් හිතන්නේ උපයෝගීතාවාදීන් ලෙස නෙමෙයි. බොහෝ දෙනෙකුට අවසන් ප්‍රතිඵලය වගේම එම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගයද වැදගත්. බොහෝ දෙනෙකුට සාපේක්ෂව හොඳ නරක තීරණය වෙන්නේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මත මිස අවසන් ප්‍රතිඵලය මත නෙමෙයි. 

මෙහිදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය කියන එකෙන් අදහස් වෙන්නේ චේතනාව නෙමෙයි. ලීවරය අදින පුද්ගලයා එය කරන්නේ ජීවිත පහක් බේරාගැනීමේ අරමුණින් මිස සයිඩ් ට්‍රැක් එකේ ඉන්න පුද්ගලයාව මරණයට පත් කිරීමේ අරමුණින් නෙමෙයි. එහෙත්, එය දැන දැනමයි. පාලම උඩින් මහත මිනිහාව තල්ලු කරන කෙනෙක් කරන්නේත් ඒ දෙයමයි. ඒ නිසා අවස්ථා දෙකේදීම චේතනාව සමානයි කියා කෙනෙකුට තර්ක කළ හැකියි. මෙහි අවුල හොඳ නරක පිළිබඳ අදහස හැම විටම තර්කයට ගෝචර නොවීමයි.

සාධාරණ වශයෙන් ගත්තොත් සමාජවාදය උපයෝගීතාවාදයක්. ඒ අනුව, නිවැරදි ක්‍රියාමාර්ගය තීරණය වන්නේ අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය මතයි. සෛද්ධාන්තිකව මේ අවසන් ප්‍රතිඵලයේ හොඳ නරක තීරණය වන්නේ සමාජවාදීන්ගේ මූලික විශ්වාස මතයි. ප්‍රායෝගිකව එය එසේ නොවිය හැකි වීම වෙනම කරුණක්.

සමාජවාදය අනුව, සියලුම මිනිස්සු සමානයි. සියලුම මිනිස්සු සමාන නිසා හැම මිනිහෙකුගේම ජීවිත වල වටිනාකම් සමානයි. මිනිස් ජීවිත පහක වටිනාකම එක මිනිස් ජීවිතයක වටිනාකම මෙන් පස් ගුණයක්. ඒ අනුව, මිනිස් ජීවිත පහක් බේරා ගැනීම සඳහා එක මිනිස් ජීවිතයක් බිලි දීම නිවැරදියි. එසේ කිරීමෙන් ශුද්ධ වශයෙන් මිනිස් ජීවිත හතරක් බේරෙනවා. එසේ නොකිරීම වැරදියි. එය වගකීම පැහැර හැර මිනිස් ජීවිත හතරක් නිකරුණේ විනාශ වෙන්න ඉඩ හැරීමක්.

සාමාන්‍ය මිනිස්සු හිතන ආකාරය අනුව සියලුම මිනිස්සු සමාන නැහැ. ඒ නිසා, මිනිස් ජීවිත වල වටිනාකම් සමාන නැහැ. තමන්ගේ ජීවිතය වඩා වටිනවා. තමන්ගේ පවුලේ සමීප අයගේ ජීවිත වඩා වටිනවා. ලීවරය ඇදීමෙන් විනාශ වෙන්නේ තමන්ගේ දරුවෙකුගේ ජීවිතයනම් කෙනෙක් එය කරන්නේ කලාතුරකින් කෙනෙක්. එවැනි දේ කරන අය නැතැයි මා කියන්නේ නැහැ. එහෙත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි.

කෙසේ වුවත්, උපයෝගීතාවාදය සමාජවාදීන්ට පමණක් සීමා වූ අදහසක් නෙමෙයි. පොදුවේ ආර්ථික විද්‍යාවේදී සමාජ සැලසුම්කරුවෙකු විසින් බොහෝ විට තීරණ ගන්නේ උපයෝගීතාවාදය මත පදනම්වයි. ප්‍රධාන මාර්ගයේ සිටින පස්දෙනා වගේම අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාත් නාඳුනන, අහඹු පුද්ගලයින්නම් ලීවරය ළඟ සිටින සමාජ සැලසුම්කරුවෙකුට ඔවුන්ගේ ජීවිත වල වටිනාකම් සමාන සේ සලකන්න වෙනවා. ජීවිත පහක් බේරා ගැනීම සඳහා එක් ජීවිතයක් විනාශ වෙන්න ඉඩ අරින්න වෙනවා. එසේ නොකිරීම වැරැද්දක්.

එසේනම්, ධනවාදී රටක සමාජ සැලසුම්කරුවෙකු විසින් පාලම උඩ සිටින මහත මිනිහා දුම්රිය මාර්ගයට තල්ලු කළ යුතුද? උපයෝගීතාවාදී පදනමකින් බැලුවොත් එසේ කළ යුතුයි. එහෙත්, අවම වශයෙන් ඇමරිකාව වැනි රටක මිනිස්සු (සමීක්ෂණ දත්ත අනුව) එවැන්නක් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා, බටහිර රටක එවැන්නක් වෙන්නේ නැහැ. මිනිස්සු බහුතරයක් විසින් අනුමත කරන නිසා, එහෙමත් නැත්නම් ජනමතය එතරම් වැදගත් නැති නිසා, සමාජවාදී රටක එවැන්නක් වෙන්න පුළුවන්. උපයෝගීතා පදනමකින්, තර්කානුකූලව එය වැරදියි කියා කියන්න බැහැ.  

මහත මිනිහාව පාලමෙන් පහළට තල්ලු කිරීම බටහිර රටක වැඩි දෙනෙකු අනුමත නොකරන්නේ පෞද්ගලික නිදහස හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්ප මත පදනම්වයි. පොදු යහපත තකා වුවත්, මහත මිනිහාගේ කැමැත්ත නොවිමසා ඔහුව පාලමෙන් පහළට තල්ලු කිරීමේ අයිතියක් වෙනත් අයෙකුට නැහැ. එය ඔහුගේ ජීවත් වීමේ අයිතිය නැති කිරීමක්. දුම්රිය මාර්ගයේ සිටින පස්දෙනාගේ ජීවිත විනාශ වීම ඔහුගේ වැරැද්දකින් සිදුවන දෙයක් නෙමෙයි. ඒ නිසා, ඒ ගැන මහත මිනිහාට කරන්න දෙයක් නැහැ. තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම ඒ අයගේ වැඩක්. 

එහෙමනම් ලීවරය අදින අවස්ථාවේදී අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාගේ ජීවත් වීමේ අයිතිය අහිමි කෙරෙන්නේ නැද්ද? තර්කානුකූලව බැලුවොත් එසේ වෙනවා. නමුත්, ඇමරිකාවේ බොහෝ දෙනෙක් ඒ ක්‍රියාමාර්ගය අනුමත කරනවා. පැත්තක තිබෙන ලීවරයක් ඇදීම මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කිරීම වැනි "අපරාධයක්" නෙමෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දුම්රියේ ගමන් පථය වෙනස් වෙනවා. ඒ ගැන සැලකිලිමත්ව සිට දුම්රිය මාර්ගයෙන් ඉවත් වෙන එක ඔහුගේ වැඩක්.

මෙහි තිබෙන්නේ පෞද්ගලික නිදහස කියන සංකල්පයේ සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. මෙය ලකුණු කළ හැකි නිශ්චිත වාස්තවික බෙදුම් ඉරක් නැහැ. සමාජ සම්මතයට ඉඩ දෙන රටක ඒ ඉර අඳින්න වෙන්නේ සමාජ සම්මතය මත පදනම්වයි. මිනිසුන්ගේ රුචි අරුචිකම් මත පදනම්වයි. ට්‍රොලි ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර පිළිබඳ දත්ත වැනි දේ ඒ සඳහා උදවු වෙනවා.

සැබෑ ලෝකයේ සමාජ සැලසුම්කරුවෙකු මුහුණ දෙන බොහෝ ප්‍රශ්න ට්‍රොලි ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. බටහිර රටකදී වුවත්, සමාජවාදී රටකදී වුවත් සැබෑ ප්‍රශ්නයක පරාමිතීන් ට්‍රොලි ප්‍රශ්නයේදී තරම් නිශ්චිත නැහැ. ප්‍රධාන මාර්ගයේ හෝ අතුරු මාර්ගයේ සිටින පුද්ගලයින් ගණන බොහෝ විට හරියටම දන්නේ නැහැ. ඒ වගේම, ඒ පුද්ගලයින්ට මාර්ගයෙන් ඉවත් වීමටද යම් හැකියාවක් තිබෙනවා. මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කිරීමෙන් පසුවත් ට්‍රොලිය නොනැවතී ඉදිරියට යන්න පුළුවන්. මෙවැනි අවිනිශ්චිතතා රාශියක් එක්ක තීරණ ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

මහජන මතය යටපත් නොකරන පසුබිමකදී, බොහෝ පරාමිතීන් අවිනිශ්චිතව තිබියදී, ලීවරය අතේ තිබෙන පුද්ගලයා විසින් මොන තීරණය ගත්තත් කිසියම් පිරිසකගේ විවේචනයට ලක් වෙන්න සිදු වෙනවා. අපි හිතමු ලීවරය ඇද්දා කියලා. අර සයිඩ් ට්‍රැක් එකේ ඉඳලා මැරුණු පුද්ගලයා අයින්ස්ටයින් වගේ "වටිනා" පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔය වගේ කෙනෙක් අහම්බෙන් රේල්පාරක ඉන්න බැරිකමක් නැහැනේ. රේල්පාරේ සූස්තියක් අදින ජනප්‍රිය කලාකාරයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරයක කැඳවුම්කරුවෙක් හරි ජනමාධ්‍යවේදියෙක් හරි වෙන්නත් පුළුවන්.

ලීවරය ඇදලා අතුරු මාර්ගයේ හිටපු "වැදගත්" පුද්ගලයෙක් මිය ගියොත් මිනිස්සු වැඩිපුර කතා කරන්නේ ඒ මරණය ගැන මිසක් අර බේරිච්ච ජීවිත ගැන නෙමෙයි. ගොඩක් වෙලාවට ලීවරය ඇදපු නිසා ජීවිත බේරාගත් අය ඒ බව නොදන්නවා වෙන්නත් පුළුවන්. ඇයි ඒ පාරේ ට්‍රොලියක් ආවේ නැහැනේ. ඔවුන් පරිසිද්ධික තත්ත්වය මිස ප්‍රතිපරිසිද්ධික තත්ත්වය දකින්නේ නැහැ. 

සමහර විට අර වැදගත් පුද්ගලයාගේ මරණය ගැන විරෝධය දක්වන අය අතර ලීවර ක්‍රියාකරු විසින් ලීවරය ඇදපු නිසාම පණ බේරාගත් අයගෙන් කොටසක් වුනත් ඉන්න බැරිකමක් නැහැ. "ලීවරය ඇදලා අහිංසක මනුස්සයෙක්ව මරපු එක වැරදියි. ඒක කළේ අපිව බේරගන්න කියලා කියන්නේ කොහොමද? ට්‍රොලිය අපේ පැත්තෙන් ආවානම් අපි කොහොමත් පාරෙන් අයින් වෙනවා." කියලා පස්සේ ඒ අයට කියන්න පුළුවන්කම තිබෙනවා.

අනෙක් අතට ලීවරය ඇද්දේ නැත්නම් ඒත් කිසියම් පිරිසකගේ චෝදනා වලට ලක් වෙන්න වෙනවා. මේ තරම් ජීවිත විනාශයක් වුනේ නිසි වෙලාවට නිසි තීරණ නොගත් නිසා කියලා කොමිසමකට යන්න වෙන්න වුනත් පුළුවන්. ඒ වගේ වෙලාවක අර සයිඩ් ට්‍රැක් එකේ හිටපු මනුස්සයා ලීවරය ක්‍රියාත්මක නොකළ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්න ඉදිරිපත් වීම පිළිබඳ කිසිම සහතිකයක් නැහැ.

විවේචන වලට පාත්‍ර නොවී සමාජ සැලසුම්කරුවෙකු වෙන්න බැහැ. හැමෝටම සතුටු විය හැකි විසඳුම් නැහැ. හැබැයි එහෙම වුනා කියලා විවේචන වලක්වන එක හොඳ දෙයක් නෙමෙයි. සාධාරණ වශයෙන් ගත්තොත් විවේචන සාධනීයයි. විවේචකයින් නැති තැනකදී කෙනෙකුට සමාජ සැලසුම්කරණයේ නාමයෙන් ලීවරය ඇදලා උපාය මාර්ගික ලෙස කෙනෙක්ව විනාශ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමන්ට දිරවන්නේ නැති කලාකාරයෙක් රේල්පාරේ සූස්තියක් අදින වෙලාවට ලීවරය ඇදලා ට්‍රොලිය ඒ පැත්තට හරවන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කළේ ප්‍රධාන මාර්ගයේ හිටපු පස් දෙනෙක්ව බේරාගන්න කියලා කියන්න පුළුවන්. ඕනෑනම් වොයිස්කට් දෙන්න පස් දෙනෙක්ව කොහෙන් හරි හොයාගන්න වුනත් අමාරු නැහැනේ.


11 comments:

  1. අර නැගෙනහිර පළාතේ ඉස්සර ඇති වෙච්ච සුළි කුණා‍ටුවෙන් අවතැන් වෙච්ච මිනිස්සු බලන්න ඒ කාලේ රාජ්‍ය නිලධාරියෙක් යැව්වා. වතුර ගලලා ගම් යටවෙලා ඒ පැති වලට යන්න නේවි එකේ බෝට්‍ටුවලට විදිහක් නෑ. ඒ පාර නිලධාරියා ඔරු තෙප්පම් වගයක් හොයා ගත්තත් ඒ මිනිස්සු සල්ලි එපා අරක්කු අරන් දුන්නොත් යනවා කිව්වා. මිනිස්සු බේර ගන්න අර ඔරු තෙප්පම් හිමියන්ට අරක්කු අරන් දීලා ඒවයින් අවතැන් වෙච්ච මිනිස්සු ඔක්කොම ගෙන්න ගත්තා. අවුරුද්දකින් පස්සේ විගණක වරු ඇවිල්ලා අර මනුස්සයා ගෙදර යැව්වා රජයේ මුදලින් මත් පැන් මිලදී ගත්තා කියලා. ඒ හින්දා ඔතනදිත් තමන්ට ලීවරය අදින්න කියලා නැත්නම් මැරෙන එකෙක් මැරිච්චදෙන් කියලා මිනිහෙක් හිටියොත් පුදුම වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙම ප්‍රතිචාරය දැමීමෙන් අදහස් කළේ කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ. ඇතැම් විට විගණනය වැඩ කරන්න බාධාවක් කියා ඔබ අදහස් කළා වෙන්න පුළුවන්. ඔබේ ප්‍රතිචාරය දැම්මේ කවර අරමුණකින් වුවත්, මෙහි විස්තර කර තිබෙන තත්ත්වයේ කිසියම් අවුලක් තිබෙනවා කියා ඔබ හිතනවානම් ඒ අවුලට හේතු පිළිබඳ මගේ අදහස කියන්නම්.

      දැන් මේ නිලධාරියාට සාපේක්ෂව අවතැන් වූවන් බේරාගැනීමට සාපේක්ෂව රජයේ මුදල් මත්පැන් වෙනුවෙන් වැය කිරීමේ වැරැද්දක් නැහැ. එහෙත්, විගණනයේදී ඔහු අමාරුවේ වැටෙන්නේ ඔහුට රජයේ මුදල් මත්පැන් වෙනුවෙන් වැය කිරීමේ බලයක් නැති නිසා.

      පළමුව, අවතැන් වූවන් බේරාගැනීමට සාපේක්ෂව රජයේ මුදල් මත්පැන් වෙනුවෙන් වැය කිරීමේ වැරැද්දක් නැහැ කියන එක මේ නිලධාරියාගේ පෞද්ගලික මතය. එය ඇතැම් විට ඔබේ හෝ මගේ පෞද්ගලික මතය වෙන්නත් පුළුවන්. එහෙත්, මේ අවස්ථාවේදී එම නිලධාරියා කටයුතු කරන්නේ රජයේ නියෝජිතයෙක් විදිහටයි. ඒ කියන්නේ පොදු ජනතාවගේ නියෝජිතයෙක් විදිහට. නීතිය අනුව රජයේ මුදල් මත්පැන් වෙනුවෙන් වැය කළ නොහැකිනම් එයින් අදහස් වෙන්නේ මේ නියෝජිතයාගේ ස්වාමියා (එනම් පොදු ජනතාව) හිතන විදිහට රජයේ මුදල් මත්පැන් වෙනුවෙන් වැය නොකළ යුතු බවයි. මුදල් වල හිමිකරු වන පොදු ජනතාව හිතන්නේ ඒ විදිහටනම්, පොදු ජනතාවගේ නියෝජිතයෙකුට තමන්ගේ අභිමතය පරිදි හොඳ නරක තීරණය කිරීමේ හැකියාවක් නැහැ. කතාව එච්චරයි.

      යම් හෙයකින් මත්පැන් නීතිය වැරදිනම්, එයින් පොදුජන මතය නිරූපණය වෙන්නේ නැත්නම්, මුලින්ම කළ යුත්තේ අදාළ නීතිය හෝ චක්‍රලේඛය වෙනස් කිරීමයි. එසේ නැතිව නීති කැඩීම නෙමෙයි.

      මා දැන් සේවය කරන ආයතනයේදී කරන කටයුතු වලදීත් අපේ ප්‍රාන්ත නීතිය අනුව හරියටම මේ නිශ්චිත ප්‍රශ්නයට මුහුණ දෙනවා. කිසියම් කටයුත්තක් සඳහා ආරාධනා කරනු ලැබූ අමුත්තෙක් රාත්‍රී කෑම සඳහා රැගෙන ගිය පසු මත්පැන් සඳහා ගෙවන මුදල් ප්‍රතිපූරණය කර ගැනීමේ හැකියාවක් අපට නැහැ. ඒ නිසා, එසේ අමුත්තෙකු කෑමට රැගෙන යන මා හෝ වෙනත් අයෙකු විසින් කරන්නේ මත්පැන් බිල වෙනම දමාගෙන අතින් ගෙවන එකයි.

      ඒ වගේම මගේ පියා බොහෝ වර මෙවැනි ගංවතුර වැනි ආපදා අවස්ථා වලදී ඉතා සක්‍රිය ලෙස මැදිහත් වූ අයෙක්. ඔහු හැම විටම වගේ කළේ රජයෙන් ලබා ගත හැකි දේවල් නීතියට අනුව ලබාගත හැකි ප්‍රමාණයට පමණක් ලබා ගනිමින් එසේ ලබා ගත නොහැකි දේ වෙනත් අයුරකින් (පෞද්ගලික දානපතියෙකු හා කතා කර) ලබා ගැනීමයි. තමන්ට දැරිය හැකි වියදමක්නම් අතින් දැරීමයි. ඒ හැර ඔහු කිසි විටෙකත් රජයේ මුදල් අවභාවිතා කළේ නැහැ.

      දෙවනුව, යම් හෙයකින් මේ අවස්ථාවේදී මේ වැඩේ ඔය විදිහට නොකරම බැරි වුනානම්, රැවුලයි කැඳයි දෙකම බේරාගෙන වැඩේ පහසුවෙන් කරන්න තිබුණා. ඔය ඔරු තෙප්පම් හිමියෙකුගේ කෙනෙකුට කතාව පැහැදිලි කරලා "මම සල්ලි දෙන්නම්. ඔයා අරක්කු අරගෙන කට්ටියට දෙන්න" කිවුවනම් වැඩේ ඉවරයි.

      තෙවනුව, ඔය වගේ වෙලාවක නිලධාරියෙකුට තමන්ගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට යම් ඉඩක් තිබිය යුතුයි කියා මා හිතනවා. චක්‍රලේඛ කැඩීමක් නෙමෙයි. චක්‍රලේඛ වලම එවැනි ප්‍රතිපාදන තිබිය යුතුයි. ඇමරිකාවේ වගේම යුරෝපයේත් නිලධාරියෙකුට තමන්ගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට නිදහසක් තිබෙනවා. "ලෙඩා මැරුණත් බඩ සුද්දයි" චක්‍රලේඛ ක්‍රමය ඉංග්‍රීසින් විසින් ආසියාවට හා අප්‍රිකාවට හඳුන්වා දුන් ක්‍රමයක්. මේ පැරණි ඉංග්‍රීසි ක්‍රමය මේ වෙද්දී එක්සත් රාජධානියේත් එළෙසම නැහැ.

      Delete
    2. විගණනය වැඩ කරන්න බාධාවක් කියන එක නෙවෙයි මම මෙතන කියන්නේ. විගණනය කෙසේ වෙතත් ඇතැම් විගණක වරු වැඩ කරන ආකාරයේ ගැටළුවක් තිබෙනවා, ඒක වෙනමම කතා කළ යුතු කරුණක්. ඔය මම දාලා තියෙන කතාව හින්දා තමයි අදටත් ස්වාභාවික විපත් වලදී දේශපාලකයො පවා ඇවිල්ලා චක්‍රලේක බලන්න එපා සහන දෙද්දි කියන කතාවට එන්නේ. මොකද ඔය සිද්ධියෙන් පස්සේ ගොඩාක් රජයේ සේවකයො චක්‍රලේකයට සීමා වුනා ඔය වගේ හදිසි තත්ත්වයන්හිදි පවා. අනෙක ඉකොනො කියලා තියෙන ඔරු තෙප්පම් හිමියට සල්ලි දීලා එයාට සල්ලි වලින් අරක්කු ගන්න කියන දේ තමයි අද කරන්න වෙන්නෙ. ඒත් ඒ දැන් අපි මේ සිද්ධිය දන්න නිසා. ඒ වෙලාවේ ඒ වගේ ප්‍රශ්නයකට ඒ නිලධාරියා මුහුණ දෙන්නේ මුල්ම වතාවට තනියම හා ක්ෂණික තීරණයක් ගත යුතු තත්ත්වයක. ජංගම දුරකථන නෑ ඒ කාලේ මේ වගේ. ඒ කියන්නේ අර ඇමරිකානු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩ නඟපු කියන චිත්‍රපටයේ ගුවන් නියමුවාගේ තත්ත්වයට සමාන දෙයක් තමයි වෙන්නේ. ඉතින් මම කියන්න හදන්නේ මේ සිද්ධිය, චක්‍රලේකයේ කියලා නැත්නම් බෑ කියන තත්ත්වයට පත් වෙන්න හේතුවක් හා ඔය ලීවරය අදින්න එහෙම කියලා නැත්නම් මොකටද කරන්නේ කියලා කෙනෙක් කියනවා නම් ඒක වෙන්නේ ඔන්න ඔය වගේ සිදුවීම් නිසා කියන එක.

      Delete
  2. ටොපික් අදාලම නැති ප්‍රශ්නයක් තිනවා අහන ,

    ආර්තික විද්යාඥයන්‍යෙක් ලෙස ඔබ actuary කෙනෙක් ගේ වැදගත් කමක් දකිනව, ඇමරිකාවේ වගේ actuary කෙනෙක්ට ජොබ් මාකට් එකේ ඩිමාඩ් එක්ක් තිනවා ද ලංකවත් සමග සන්සන්දනය කරනකොට ?

    ReplyDelete
    Replies
    1. ආයුගණක රැකියාවට ඇමරිකාවේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම එම ඉල්ලුම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යනවා. 2019 වසරේදී ඇමරිකාවේ මෙම රැකියාව කළ ප්‍රමාණය 27,700ක්. මෙයට සාපේක්ෂව ආර්ථික විද්‍යාඥ රැකියාව කළ ප්‍රමාණය 20,500ක්. ඉදිරි වසර 10 තුළ මෙම රැකියා ඉල්ලුම 18%කින් වැඩිවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. එය එම කාලය තුළ පොදුවේ රැකියා ඉල්ලුම ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන 4% වේගයට වඩා ගොඩක් වැඩි වේගයක්.

      Delete
    2. බොහොම ස්තූති ප්‍රතිචාර දැක්වීම පිලිබදව. මේවැනී රැකියා ප්‍රසිද්ධ වර්ගයේ එව්වා නොවන නිසා බොහෝ දෙනා දන්නේ නැත. ලබන සතියේ අප අඅධ්‍යනය අංශයෙන් online event එකක් සංවිධාන කරල දැනුම් දුන්නා , මේ සම්බන්ධයෙන් නොදන්න නිසා ඔබෙන් බොහොම ස්තූති ප්‍රතිචාර දැක්වීම පිලිබදව. මේවැනී රැකියා ප්‍රසිද්ධ වර්ගයේ එව්වා නොවන නිසා බොහෝ දෙනා දන්නේ නැත. ලබන සතියේ actuary සම්බන්ධයෙන් online event එකක් සංවිධානය කරල තියෙන නිසාත්, යන නොයන දෙගඩියවත් නිසා ඔබෙන් අහන්න හිතුනේ,, කෙසේ හෝ ප්‍රතිචාර දැක්වීමට බොහොම ස්තූති .

      Delete
    3. ඔබ ශිෂ්‍යයෙක් ලෙස ආයුගණක විද්‍යාව හැදෑරීම ගැන සලකා බලමින් ඉන්නවානම් සහ ඒ ගැන උනන්දුවක් දක්වනවානම් මට කියන්න තියෙන්නේ බය නැතුව අත ගහන්න කියන එකයි. කවර හෝ රටක රජය වෙළඳපොළෙන් ක්‍රමයෙන් ඉවත් වී නිදහස් වෙළඳාමට ඉඩ දෙන තරමට හැම පාර්ශ්වයකම වගේ අවදානම් ඉහළ යාමක්ද සිදු වෙනවා. මොකද රජය මුල් වී ලබා දෙන ආරක්ෂණය නැති වන නිසා. එසේ ඉහළ යන මේ අවදානම නැති කෙරෙන්නේ විවිධ මාදිලි වල රක්ෂණ හරහා. ඒ නිසා, රටක වෙළඳාම නිදහස් කෙරෙන තරමට රක්ෂණ සඳහා ඉල්ලුම ඉහළ යනවා. රක්ෂණ සඳහා ඉල්ලුම ඉහළ යන තරමට ආයුගණක විශ්ලේෂකයින් සඳහා ඉල්ලුමද ඉහළ යනවා. ඉල්ලුම හා ඉල්ලුම වර්ධනය වීමට අමතරව ඇමරිකාවේ මේ රැකියාව කරන අයට ලැබෙන සාමාන්‍ය වැටුපද ඉතා ඉහළයි. දැනට දශක කිහිපයකට පෙර ලංකාවේ මේ රැකියාව කළ අය සිටියේ අතළොස්සක් පමණයි. ඔවුන්ට ඉතා ඉහළ වැටුප් ලැබුණා. ආයුගණක රැකියාවට දැන් ලංකාවේ පවතින ඉල්ලුම්/සැපයුම් තත්ත්වය ගැන මට කිසිම අදහසක් නැහැ. ඔබේ අධ්‍යනාංශය විසින් සංවිධානය කරන වැඩමුළුවේදී මේ හා අදාළ තොරතුරු සපයයි කියා හිතනවා. ඒ නිසා, ඔබ මේ ගැන උනන්දුනම් අනිවාර්යයෙන් සහභාගී වෙන්න කියා මම යෝජනා කරනවා. වැඩිපුර තොරතුරු, විශේෂයෙන්ම ලංකාවේ වෙළඳපොළ පිළිබඳව ප්‍රශ්න කර දැන ගන්න. පොදු වශයෙන් ගත්තොත් ලංකාවේ දැනට පවතින ආර්ථික-දේශපාලන තත්ත්වය අනුව ආණ්ඩුව එක පැත්තකින් ජාතිකවාදී හා ආරක්ෂණවාදී නැඹුරුවක් පෙන්වන අතර අනෙක් පැත්තෙන් රටේ ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීමේ දැඩි උවමනාවකින් සිටිනවා. ඔය ඉලක්ක දෙකම එකවර ළඟා කර ගැනීමට ඉවහල් වන සීමිත කේෂේත්‍ර අතර රක්ෂණ ක්ෂේත්‍රය උඩින්ම තියෙනවා. ඒ නිසා, ආණ්ඩුවේ දැනට තිබෙන දේශපාලන නැඹුරුව අනුව බැලුවොත් සහ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය කරන අයට හරියට මීටර් වුනොත් රක්ෂණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්න යම් විභවයක් තිබෙනවා. එහෙම වුනොත් අනිවාර්යයයෙන්ම ලංකාවේ ආයුගණක රැකියා ඉල්ලුම ඉහළ යයි.

      Delete
  3. දැන් අපි ජීවත්වන ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටට මොකක්ද වෙලා තියෙන්නේ?

    ReplyDelete
  4. අන්තෝනියෝ,

    ධනවාදය විසින් මානව සමාජයේ සියලු සීමා මායිම් ගලවමින්, වෙනස් කරමින් යන මේ ගමනේදී සිංහල බෞද්ධ සම්ප්‍රදාය යනු තව එක ඉනි වැටක් විතරයි. 2025 වෙනකොට ඔය ඉනිවැට තිබුණ තැන තියෙන්නේ ඉතිහාස පොත්වල විතරයි.

    ඉකොනෝගේ මේ බ්ලොග්ගෙක ශුද්ධ ගණිතය වාගේ objective . ඔහු මෙය ලියන්නේ අරුණි ශපිරෝ වාගේ subjective  විදියට නොවේ. ඒකයි මේ බ්ලොග්ගෙක ඉතාම වැදගත්.

    ලෙනින් කිව්වා ඔබට සතුරා පරාජය කරන්නට ඕනේ නම් ඔබ වැඩියෙන් හැදෑරිය යුත්තේ ඔබේ කඳවුරේ සාහිත්‍ය නොව, සතුරු කඳවුරේ සාහිත්‍ය බව. ඒ වාගේම  Peeky Blinders ටෙලි මාලාවේදී එක් episode එකකදී Thomas Shelby OBE කොමියුනිස්ට් වෘත්තීය සමිති නියෝජිතවරියකට කියනවා "...you can do more harm to them  if you go more inside them.."  කියලා.(Shelby, ෆැසිස්ට්වවාදී සමුළුවක් අමතන්නේ ඇයිදැයි ඇය අසන පැනය⁣ට)

    ඒක නිසා ධනවාදයට එරෙහි වීමට සැලසුම් කිරීමට නම් ශුද්ධ ධනවාදය හදාරන්න. ඒ සඳහා මේ බොජුන්හලට නිතර එන්න. ඔබ ඉතා වැදගත්.

    මීට
    ග්‍රාම්ස්චී

    CP-C

    ReplyDelete
    Replies
    1. සබ්ජෙක්ටිව්, ඔබ්ජෙක්ටිව් කතාවට නම් ලිංගභේදයත් බලපානවා.

      ගැහැණු සංයුක්තව හිතන්න නැඹුරුයි.
      පිරිමි වියුක්ත චින්තනයට වඩා නැඹුරුයි.
      ඔය ලක්ෂණය මත අපිට නවකතාවක් දිහා බලලා ඒක ලිව්වේ ගැහැණියක්ද පිඑිමියෙක්ද කියලා අනුමාන කරන්න පුළුවන්.

      නමුත් සිංහල පිරිමියෙක්ට බටහිර පිරිමියෙක් තරම් වියුක්ත චින්තනයක් නෑ.

      ඒ නිසා ආචාර්ය රංග ඩයස්ට කවදාවත් බටහිර විද්‍යාවට වියුක්ත ප්‍රවාදයක් එක්කරන්න බෑ බෑ බෑ... මයි.
      (නලීන් ද සිල්වා පල්ලා)

      Delete
    2. CP-C,

      ඔබ මේ බ්ලොග් එක ඔබේ සතුරු කඳවුරේ සාහිත්‍යයේ කොටසක් ලෙස හඳුනාගෙන වගේ! :)

      මටනම් එවැනි සතුරු කඳවුරු හා මිතුරු කඳවුරු නැහැ. මම පෞද්ගලිකව හැම වෙලාවේම මගේ දැනුම හා ප්‍රයෝජනය සඳහා වඩා නිවැරදි දෙය හොයනවා. එහිදී මා හොයා ගන්නා දේවල් අවශ්‍ය කෙනෙකුගේ ප්‍රයෝජනය පිණිස මෙහි බෙදා ගන්නවා. එපමණයි.

      සම්භාව්‍ය මාක්ස්වාදය තව දුරටත් වලංගු නැති බව ලංකාවේ හා ලෝකයේ තමන් සමාජවාදීන් හෝ වාමාංශිකයින් සේ හඳුන්වා ගන්නා හෝ පෙනී සිටින බොහෝ දෙනෙක්ද එකඟ වී ඇති කරුණක් බව ඔබ දන්නවා කියා මා හිතනවා. මම නම් සඳහන් කරන්න යන්නේ නැහැ. ඇතැම් විට ඔබ වුවත් ඉන්නේ මේ ගොඩේ වෙන්න පුළුවන්. මම ලියන ඇතැම් දේ මේ අයත් පෙන්වා දී හෝ පිළිගෙන තිබෙනවා.

      හැටේ දශකයේ සමාජවාදයේ තවදුරටත් එල්ලී සිටීම ආගමික අන්තවාදයකින් වෙනස් දෙයක් නෙමෙයි. ඔවුන්ගේ විකාර වෙනුවෙන් මා කාලය යොදවන්නේ නැතත් "ප්‍රොතෙස්තන්ත සමාජවාදීන්" ලියන දේවල් මා කැමැත්තෙන් කියවනවා. ඒ වගේම ඔවුන් සමඟ එකඟ වන බොහෝ තැන්ද තිබෙනවා. ඔබ කියන ටෙලි නාට්‍ය මාලාව නරඹා නැතත්, "...you can do more harm to them if you go more inside them.." කියන එක ප්‍රොතෙස්තන්ත සමාජවාදීන්ගේ අළුත් අදහසක්. සම්ප්‍රදායික උපාය මාර්ගය තවදුරටත් වලංගු නැති බව ඉතා පැහැදිලිව අවබෝධ කරගැනීමෙන් පසුව ඔවුන් මේ ඇතුළතින් ක්‍රියාත්මක වී ධනවාදය විනාශ කිරීම කියන විකල්පය කරා තල්ලු වී තිබෙනවා. ඒ ප්‍රොතෙස්තන්ත සමාජවාදී පොදු කුලකය ඇතුලෙ විවිධ ගුරුකුල පෙනෙන්නට තිබෙනවා. ඔබ ඒ එක් නිශ්චිත ගුරුකුලයකට අයත් කෙනෙක්ද නැද්ද කියා මට පැහැදිලි නැහැ.

      මේ ප්‍රොතෙස්තන්ත සමාජවාදීන් එක්ක මට තිබෙන පෞද්ගලික ප්‍රශ්නය ඔවුන් ධනවාදයට එරෙහි වීමට සැලසුම් කරන්නේ ඇයි කියන එකට පැහැදිලි පිළිතුරක් නැතිකමයි. ඒ මූලික කාරණයේදී මේ සියළුම කණ්ඩායම් ආගමිකයි. විද්‍යාව එක්ක ආගම ප්‍රතික්ෂේප වෙද්දී ඔවුන් ඒ ප්‍රතික්ෂේප වන කොටස් අත ඇරියත් ආගමේ මූලික විශ්වාස අත අරින්නේ නැහැ. ඒ ගැටලුව තිබුණත් ධනවාදය ඇතුළේ සිට ධනවාදයට හානි කිරීම කියන අදහස පිළිබඳව මට අවුලක් නැහැ.

      ධනවාදය කියන්නේ මාක්ස්වාදය වැනි වෙනස් නොවන ආගමික අදහසක් නෙමෙයි. ධනවාදය කියා කියන්නේම වෙනස්වන, පරිණාමය වන දෙයක්. ධනවාදය දියුණුවීම කියන්නේම මේ පරිණාමයයි. ධනවාදය ස්වභාවිකවම එක්තරා ආකාරයකින් විනාශකාරීයි. ධනවාදය ඇතුළේ හැම වෙලාවකම අකාර්යක්ෂම දේ විනාශ කරගෙන වඩා කාර්යක්ෂම දෙය උඩට එනවා. මේ ක්‍රියාවලිය නැවතුණොත් ධනවාදයත් ආගමික වෙනවා.

      මේ අර්ථයෙන්, මට සාපේක්ෂව, ප්‍රොතෙස්තන්ත සමාජවාදීන්ගේ ඇතුළෙන් ධනවාදය විනාශ කිරීම කියන අදහස සාධනීයයි. මොකද ධනවාදයට ඉදිරියට යාම සඳහා එය ඇතුළෙන් වෙනස් කරන අදහස් නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා. මේ අදහස් අතර ගැටුමෙන් ඉතිරි වන්නේ වඩා කාර්යක්ෂම අදහස්. ඒ අදහස් ගේන්නේ ප්‍රොතෙස්තන්ත සමාජවාදීන් විසින්නම් ඔවුන්ගේ අදහස් ධනවාදය තුළට අන්තර්ග්‍රහණය වී ධනවාදය තවත් ශක්තිමත් වෙයි. ඒ අදහස් අකාර්යක්ෂමනම් ධනවාදය ඇතුළේ කාලයත් එක්ක ඒ අදහස් වලට පැවැත්මක් නැති වෙලා යයි. ඔය දෙකෙන් කොයි එක වුනත් ධනවාදය විනාශ වෙන්නේ නැහැ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...