Sunday, August 26, 2018
හැත්තෑ හතේ කඩා වැටීම හා විදේශ ණය උගුලේ පැටලීම
නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර ඇති වෙනස වගේම තිබෙන සම්බන්ධය ගැනත් පසුගිය ලිපියෙන් පැහැදිලි කළා. 1977-88 කාලයට සාපේක්ෂව 1970-77 කාලයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වර්ධන වේගය සැලකිය යුතු තරම් ඉහළින් තිබුණු බවත්, එයට ප්‍රධාන වශයෙන්ම දායක වුණේ 1970-77 කාලයේ රුපියල අවප්‍රමාණය වුනේ අඩු වේගයකින් වීම බවත් ඒ එක්කම පෙන්වා දෙනු ලැබුවා. කොහොම වුනත්, මොන විදිහකින් හරි 1970-77 කාලයේදී රුපියල අවප්‍රමාණය වුනේ අඩු වේගයකිනුයි.
රුපියල සාපේක්ෂව ශක්තිමත්ව තිබුණා කියන්නේ නරක දෙයක් නෙමෙයි. එවිට විදේශ නිෂ්පාදන රුපියල් වලින් අඩු මිලක් ගෙවා ආනයනය කර ලංකාවේ වැසියන්ගේ පරිභෝජන හා ආයෝජන වියදම් දැරීමේ හැකියාව (මිල දී ගැනීමේ හැකියාව) වැඩි කළ හැකියි. මෙයින් රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගයට වුවත් කිසියම් තල්ලුවක් ලැබෙන්න පුළුවන්. නමුත්, ඒ රුපියල ආර්ථික විද්‍යා මූලිකාංග අනුව ඇත්තටම ශක්තිමත්ව තිබුණානම්.
එසේ නැතුව විණිමය අනුපාතිකය නියම මට්ටමේ නොතියා රුපියල ශක්තිමත්ව තිබෙනවා කියන මායාව ඇතුලෙ හැංගිලා ඉඳීමෙන් ඒ වාසිය ලැබෙන්නේ නැහැ. එවිට රුපියල් වලින් බැලුවහම විදේශ නිෂ්පාදන මිල අඩුයි. නමුත්, ඒවා මිල දී ගන්න අවශ්‍ය කරන ඩොලර් රට ඇතුලෙ නැහැ. ඒ කියන්නේ පහළින් තිබෙන විණිමය අනුපාතිකය බොරුවක්. එය ඒ මට්ටමේ තියාගන්න පුළුවන් වෙන්නේ නීති මඟින් ආනයන සීමා කිරීමෙන් පමණයි.
මේ ආනයන සීමා ඉවත් කළොත්, නිදහස් විණිමය අනුපාතික ක්‍රමයක් යටතේනම් ,එක වරම රුපියල විශාල ලෙස අවප්‍රමාණය වෙනවා. පාලිත විණිමය අනුපාතික ක්‍රමයක් යටතේනම්, එක වරම රුපියල විශාල ලෙස අවප්‍රමාණය කරන්න වෙනවා.
සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේ ඩොලරයේ අගය අඩු මට්ටමක තබා ගෙන හිටියේ ආනයන දැඩි සේ සීමා කිරීම ඇතුළු උපක්‍රම මඟිනුයි. එහි ප්‍රතිඵල ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ මේ ආනයන සීමා ඉවත් කිරීමට සමාන්තරව විණිමය අනුපාතිකය එක වරම නිවැරදි වුණා. ඒ එක්කම මෙහි කතා කරන නාමික ද.දේ.නි. ඩොලර් අගය එකවරම විශාල කඩාවැටීමකට ලක්වුනා. හැබැයි 1977දී මූර්ත ද.දේ.නි. වෙනස් වීම දෙස බැලුවොත් එය ඉහළ ගියා මිස අඩු වුණේ නැහැ. පහත සංඛ්‍යාලේඛණ වලින් මෙය පැහැදිලි වෙයි.
මූර්ත ද.දේ.නි. (2010 රුපියල් බිලියන)
1970: 1004.9
1977: 1299.1
1978: 1372.6
1988: 2141.1
නාමික ද.දේ.නි. ඩොලර් අගය (ඩොලර් මිලියන)
1970: 2296.5
1977: 4104.5
1978: 2733.2
1988: 6978.4
මේ අනුව පෙනෙන පරිදි 1970-77 කාලය තුළ ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය මිලියන 1808.0කින් ඉහළ ගියත් ඒ එය විණිමය අනුපාතිකය පහළින් තිබීම නිසා පෙනෙන්නට තිබුණු තත්ත්වයක් පමණයි. 1977දී විණිමය අනුපාතිකය නිවැරදි වූ වහාම ඒ ඩොලර් මිලියන 1808.0 න් 1371.3ක්ම එක පාරටම නැති වෙලා ගියා. වෙනත් අයුරකින් කිවුවොත් 1970-77 වසර හත තුළ ඩොලර් මිලියන 1808.0කින් ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය ඉහළ ගියත් 1970-78 වසර අටම සැලකූ විට මේ වැඩිවීම ඩොලර් මිලියන 436.7ක් පමණයි.
ඒ වගේම, 1977-88 කාලයේ ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය වැඩි වුණේ 2879.9කින් පමණක් වුවත් 1970-77 කාලයේ පැවති පාලිත විණිමය අනුපාතිකය 1977දී නිවැරදි වීම නිසා සිදු වූ ඩොලර් මිලියන 1371.3ක අඩුව නොවේනම් මේ වැඩි වීම මීට වඩා ගොඩක් වැඩියි. 1978-88 අතර වූ වසර දහයක කාලය තුළ ඩොලර් මිලියන 4245.2කින් නාමික ද.දේ.නි. ඩොලර් අගය ඉහළ ගියා.
හැත්තෑ හතේදී සිදු වූ මේ විශාල කඩා වැටීම 1970-77 කාලයේ සිදුවූ අහිතකර ගොඩනැගීමක ප්‍රතිඵලයක්. එහි බලපෑම 1977-88 කාලයට දමා 1970-77 හා 1977-88 කාල පරිච්ඡේද සංසන්දනය කිරීම නිවැරදි නැහැ.
මෙහි ලියා ඇති පරිදි 1970-77 කාලයේදී පැවතුණු විණිමය අනුපාතිකය නියම එකට වඩා අඩු එකක්. මෙය ඒ කාලයේ ලංකාවට මුහුණ දෙන්න වුනු ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධාන හේතුවක් කියා කියන්න පුළුවන්. විදේශ වෙළඳාම බාධාවකින් තොරව සිදු වෙනවනම්, විණිමය අනුපාතිකය රජයෙන් පාලනය කරන්නේ නැත්නම් රටකට ගෙවුම් ශේෂ අර්බුද එන්න විදිහක් නැහැ.
ලංකාව කියන්නේ සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ විදේශ වෙළඳාමේ නිරතව සිටින රටක්. මුල්ම කාලයේ ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වුනේ අලි ඇත්තු හා මුතු කියා හිතන්න සාධක තිබෙනවා. කුරුඳු අපනයනය පටන් ගැනුණේ පසුකාලීනවයි. මේ අලි ඇත්තු හා මුතු ආදිය විකුණලා ලංකාව රන් කාසි ඉපැයූවා. අපනයන සඳහා වියදම් කළේ ඒ විදිහට උපයාගත් රන් කාසියි. ඒ නිසා ස්වභාවිකවම ආනයන වියදම් හා අපනයන ආදායම් ගැලපුනා. යුරෝපීයයන්ගේ කාලවල් වලදීත් ලංකාවට දිගුකාලීනව ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
සමඟි පෙරමුණු ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මුහුණ දුන්නේ ආනයන සීමා කිරීම මඟිනුයි. එයින් රටේ මිනිස්සු විශාල පීඩාවකට පත් වෙලා සමඟි පෙරමුණු ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව ගොඩ නැඟුණු විරෝධය හැත්තෑ හතේ මැතිවරණයේදී පුපුරා ගියත් මේ ආනයන සීමා මඟින් සමඟි පෙරමුණු ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නය සෑහෙන තරමකින් විසඳා ගත්තා. 1970-77 අතර කාලයේත් ලංකාවේ විදේශ ණය ඉහළ ගියත් ඒ ඩොලර් මිලියන 436.9කින් පමණයි. එයිනුත් ඩොලර් මිලියන 236.1ක්ම නිල සංචිත වලට එකතු වුනා. වෙනත් විදිහකින් කිවුවොත් සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වුනේ අපනයන මඟින් ලැබෙන ඩොලර් පමණක් වියදම් කර පිටරටට ණය නොවී සිටීමයි.
ජයවර්ධන ආණ්ඩුව ලංකාවේ විණිමය අනුපාතිකයේ තිබුණු අක්‍රමිකතාවය නිවැරදි කළා. නමුත්, ඒ එක්කම විශාල ලෙස විදේශ ණය ගැනීමත් පටන් ගත්තා. 1977 අවසානයේදී ඩොලර් මිලියන 856.1ක් වූ ලංකාවේ විදේශ ණය කන්දරාව 1988 වන විට ඩොලර් මිලියන 4,908.9 දක්වා ඉහළ ගියා. ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 1976 අවසානයේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය සමාන වුනේ 16.4%කටයි. මේ ප්‍රමාණය 1977 අන්තිමේදී 29.1% දක්වාත්, 1988 වෙද්දී 56.6% දක්වාත්, 1989 අවසානය වෙද්දී 62.0% ලෙසත් වේගයෙන් ඉහළ ගියා. 1977-88 අතර කාලයේ ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4052.8කින් ඉහළ යද්දී නිල සංචිත තිබුණේ තිබුණු තැනමයි.
විදේශ ණය අරගෙන ඒවා නිල සංචිත සේ රඳවා නොගෙන වියදම් කිරීමෙන් අපනයන ආදායමට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වැය කරන්න පුළුවන්. එහි ප්‍රතිඵලය වන්නේ සෘණ වෙළඳ ශේෂයක්. අප කලින් ලිපියේ විස්තර කළ පරිදි,
ද.දේ.නි. = දේශීය වියදම් වල මුළු එකතුව + වෙළඳ ශේෂය.
මේ අනුව වෙළඳ ශේෂය සෘණ අගයක් ගන්නවා කියන්නේ දේශීය වියදම් වල එකතුව රටේ ද.දේ.නි.ට වඩා වැඩියි කියන එකයි. මෙහි දේශීය වියදම් කියා කියන්නේ රජය හා පෞද්ගලික අංශය (ගෘහස්ථ ඒකක හා සමාගම්) විසින් සිදු කරන සියලු පරිභෝජන හා ආයෝජන වියදම්.
ජේආර්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවේ රජය හා මිනිස්සු විසින් රටේ ද.දේ.නි. ඉක්මවා වියදම් කරන ක්‍රමයක් ඇති වුණා. අඩුව පිරවුනේ විදේශ ණය වලිනුයි. 1970-77 කාලයේදී මෙන් ආනයන සීමා නොතිබුණත් විදේශ ණය හරහා ගලා ආ ඩොලර් හේතුවෙන් රුපියල ඕනෑවට වඩා ශක්තිමත් වීම ලංකාවේ අපනයන තරඟකාරිත්වයට බලපෑවා. මුලින් ලොකු ප්‍රශ්නයක් නොවූවත් පසුව මෙසේ ගත් ණය වාරික හා පොලී ගොඩ ගැහෙන්න පටන් ගනිද්දී තමයි ප්‍රශ්නයේ බර දැනෙන්න පටන් ගත්තේ.
අන්තිමට වුනේ ගෙවන්න තිබෙන ණය වාරික හා පොලී අලුත් ණය වලින් පියවමින් එදිනෙදා ආර්ථිකය කළමනාකරණය කරගන්නා තැනකට රට පත් වීමයි.
Labels:
ආර්ථික වර්ධනය,
ආර්ථික විද්‍යාව,
ජේආර් ජයවර්ධන,
දේශපාලනය,
රාජ්‍ය ණය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
නිල සංචිත වල වැදගත්කම මොකද්ද? රටේ ජංගම ගිණුම කියන්නේ නිල සංචිත වලටද?
ReplyDeleteමෙය වෙනම විස්තරාත්මකව පැහැදිලි කරන්නම්, ඇනෝ.
Deleteඉකොනොමැට්ටා, මං හුස්ම ගත්තෙ මේ පොළවෙ හැදිච්ච ගහ කොල දහ දුකක් විදලා හදලා දුන්න ඔක්සිජන් ටික. මං කෑවෙ බිව්වෙ මේ පොළවෙ හැදිච්ච හාල් අල කොල දලු ටික. මං වැඩි අවුරුදු ගානක් ඉගෙන ගත්තෙ මේ රටේ මහජනතාවගෙ බදු සල්ලි වලින්.. ඇත්ත.. එහෙනම් මට යුතුකමක්තියෙනව නේද මේ රට වෙනුවෙන් දෙයක් කරන්න...? ඉතින් ඇය් මං මෙහෙන් යන්නම දගලන්නෙ?
ReplyDeleteඉකොනොමැට්ටා අපි මේ රටේ පට්ට සාමාන්‍ය මිනිස්සු. අපේ අම්ම තාත්තගෙ උනන්දුවයි අපේ උවමනාවයි මහන්සියයි වාසනාවයි නිසා අද මාසිකව වේතනයක් ලබන සුරක්ෂිත සේවයක් කරන එක ඇත්ත.
හැබැයි මේ අපි ... (පින්තුරය බලන්න)
මේ රටේදි අපි නොවිදිනා දුක් විදලා රසසාවට එන්නෙ. ඒ ඇවිත් හම්බ කරලා අන්තිමට Rs. 62,500 ඉක්මවනව නම් payee tax ගෙවන්නෝන. දුරකතන දීමනාව ඇතුලෙ දුරකතන බිලේ බදු ගෙවද්දි ඒක ආයෙත් වැටුපට එකතු කරල බදු පිට බදු ගෙවන්නෝන. මනුස්සයක්ට කතා කරන්න බදු ගෙවන්නෝන. එහෙම ගෙවලා කාලා බීලා ඒවටත් බදු ගෙවලා ලිසින් ඉන්ශුවරන්ස් ඇතුලෙ ත් බදු ගෙවලා වාහනයක් ගෙන්නද්දිත්ගෙවලා අත්පත් කරගැනිමට සුදුස්සෙක් විමටත් බදු ගෙවලා පාක් කරද්දිත් ගෙවන්නොන.
ඒ ඔක්කෝමත් ගෙවන්න පුලුවන් එහෙම එහෙම ගෙවලා වයසට ගියාමවත් වැඩිහිටි සුබසාදනයක් තියෙනවද.?
අපි ඉතිරි කලත් බදු. ආයෝජනකලත් බදු.
ජිවත් උනත් බදු. මගෙ රටේ මනුස්සයෙක් බයයි කසාදයක් නොබැද ඉන්න, දරුවෙක් නැති අම්ම කෙනෙක් සදාකල් ලතැවෙනවා. වයසට ගිහා ම කවුද අපිව බලා ගන්නෙ කියල.
මිනිස්සුන්ගෙ හිත් පීඩනයෙන් පිරිලා. කීයෙන් කී දෙනෙක්ටද පුලුවන් මුලික ජීවන තත්වය ඉක්මවල යන්න? නමුත් පාර්ලිමේන්තුවට පත් වෙන්න කෝටි ගනන් වැයකරන දේශපාලකයන් පත් වුනාට පසසෙ පාර්ලිමේන්තු යනවටත් ගෙවනවා.
මේක රටේ වරද නෙමෙයි. කවුරු නීති නිර්මානය කලත් ඒවා අනුමත වෙන්නෙ ව්‍යවස්තාදායකයින් නම් ඒ වෙනුවෙන් නම් මේ ගෙවිම් මහජන මුදලින් කරන්නෙ ඇයි පුංචි පුරවැසියා තැලෙන්නෙ පෙලෙන්නෙ?
මේරටේ Threewheel එකක් හයර් කරන මනුස්සයෙක්ට උදේට ඉන්ධන පුරවා ගන්න. පලමු හයර් එකේ මුදල් ඕන වෙනවා නම් ඒක ඛේදවාචයක්.
එහෙව් රටක පීඩනයෙන් පෙලි පෙලි විධායක තනතුරක් දරනවාට වැඩියෙන් සුබ සාදනයක් ඇති අඩු පිඩනයක් ඇති තැනක තාවකාලික පුරවැසියෙක් වෙන්න මං කැමතියි.
ඔබගේ අදහස් වලින් ලංකාවේ සැලකිය යුතු පිරිසකගේ අදහස් නියෝජනය වෙනවා කියා මම හිතනවා.
Delete