වෙබ් ලිපිනය:

Sunday, February 6, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දෙවන කොටස)

මෙම දෙවන ලිපි මාලාවේ පළමු කොටස අවසානයේදී අපි කතා කළේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම හා එය වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ ආකාරයයි. මේ කොටසින් අපි මේ ගැන අපි තව දුරටත් පැහැදිලි කර ගනිමු.

ශුද්ධ විදේශ බැරකම් යනු විදේශ වත්කම් හා විදේශ බැරකම් අතර වෙනසයි. විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ එම බැරකම් වෙනුවෙන් දිගින් දිගටම වාර්ෂිකව විදේශ විණිමය වැය කිරීමට සිදු වීමයි. ඉතා අඩු පොලියකට විදේශ ණය ලබාගත හැකි ඇමරිකාව වැනි රටක විදේශ වත්කම් විදේශ බැරකම් වලට වඩා අඩු වුවත් තම විදේශ වත්කම් වලින් විදේශ බැරකම් වල මුළු වියදමම පියවා ගත හැකියි. හැබැයි එසේ කරන්න ඇමරිකාවට වුවද හැකි වී තිබෙන්නේ අඩු පොලී අනුපාතික වලට ණය ගැනීමේ හැකියාව මත මෙන්ම සැලකිය යුතු විදේශ වත්කම් ප්‍රමාණයක් තිබීමද හේතුවෙනුයි.

ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ඉතා වැඩි වීම විශාල ප්‍රශ්නයක්. ඊටත් වඩා ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ විදේශ බැරකම් වල අනුපාතයක් ලෙස විදේශ වත්කම් ඉතා පහළ මට්ටමක තිබීමයි. ශුද්ධ විදේශ බැරකම් බොහෝ වැඩි වෙනත් ඇතැම් රටවලට මෙවැනි ප්‍රශ්නයක් නැහැ.

පහත වගුවෙහි පෙන්වා ඇති පරිදි ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයක් තිබෙන රටවල් හයකම විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් වලින් 70% ඉක්මවනවා. අසල්වැසි ඉන්දියාව ගත්තත් දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්. ණය අර්බුදයක සිර වී සිටින රටක් සේ හඳුනා ගැනෙන ග්‍රීසිය සතුව පවා ඔවුන්ගේ විදේශ බැරකම් ප්‍රමාණයෙන් 47% ක විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, ලංකාව සතුව තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය රටේ විදේශ බැරකම් වලින් 13%ක් පමණයි!


අතේ රුපියල් 70ක් තිබෙන කෙනෙකුට හිර නොවී රුපියල් 100ක රෝලක් ගහගන්න පුළුවන්. එහෙත්, අතේ රුපියල් 13ක් තියාගෙන රුපියල් 100ක රෝලක් ගහන කෙනෙක් කොයි වෙලාවක හෝ හිරවෙනවා. හිරවෙන්නේ කොයි වෙලාවෙද කියන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. වසංගතය නිසා සංචාරකයින් පැමිණීම අඩු වෙද්දී ලංකාවට වුනෙත් මේකයි.

යම් ස්ථාවර මට්ටමක තිබුණු ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය 2007 පමණ සිට වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. එහෙත්, 2010න් පසුව විදේශ වත්කම් ඉහළ ගියේ නැහැ. මෙය පහත රූප සටහනෙහි පැහැදිලිව දැකගත හැකියි.



විදේශ බැරකම් ඉහළ යද්දී ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රතිලාභද ඉහළ යනවා. එහෙත්, විදේශ වත්කම්ද ඉහළ නොයන්නේනම් එම වත්කම් වලින් ලැබෙන ආදායම් ඉහළ යන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම මේ හිඟය පියවීම සඳහා අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය උපයා ගත හැකි වෙනත් ක්‍රමයක් නැත්නම් ඒ වෙනුවෙන් තවත් විදේශ ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ වසරේදී අවශ්‍ය වන අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය තවත් ඉහළ යනවා. දිගුකාලීන සැලසුමක් ඇතිව විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ක්‍රමයෙන් අඩු කර නොගෙන මේ විදේශ ණය උගුලෙන් ගැලවෙන්න බැරුවා වගේම උගුල යම් මොහොතක ගැස්සෙන එකත් වලක්වන්න බැහැ.


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 අවසානයේදී) සමස්ත ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 42,914ක්. 2019 අවසාන වෙද්දී එම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 54,812ක්. මේ අනුව එම වසර පහ තුළ විදේශ ණය වැඩි වීම ඩොලර් මිලියන 11,897ක්. එම වසර පහ තුළ ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවා ඇති ප්‍රතිලාභ මුදල ඩොලර් මිලියන 11,834ක්. මේ අනුව, විදේශ ණය ඉහළ යාමෙන් 99.5%ක්ම පරණ ණය වල පොලියයි. එසේ නැත්නම් පැරණි ආයෝජන වෙනුවෙන් ගෙවූ ප්‍රතිලාභයි. විදේශ බැරකම් ඩොලර් මිලියන 11,897කින් ඉහළ ගියත් ණය ලෙස ඇත්තටම රටට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 63ක් පමණයි. 

මෙම කාලය තුළ ලංකාවේ විදේශ වත්කම් වල ආදායම් ලෙස ඩොලර් මිලියන 814ක් උපයා ඇති නමුත් සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 518කින් පමණයි. එහි ඩොලර් මිලියන 296ක අඩුවක් තිබෙනවා. මේ ගණනද ඇතුළුව රටට ශුද්ධ විදේශ බැරකම් ලෙස 2014-2019 කාලය තුළ පැමිණ තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 359ක් පමණයි. සංචිත ඉහළ යාම අඩු කළ විට අදාළ කාලය තුළ ශුද්ධ විදේශ බැරකම් ඉහළ යාම ඩොලර් මිලියන 11,389ක්. ඒ අනුව, 2014-2019 අතර කාලය තුළ ඉහළ ගිය ශුද්ධ විදේශ බැරකම් වලින් 97%කටම හේතු වී තිබෙන්නේ පරණ ණයට වලට පොලී එකතු වීමයි. 

මේ කරුණ පැහැදිලි කළ යුත්තේ පසුගිය ආණ්ඩු වල ක්‍රියාකාරකම් වල හොඳ නරක සංසන්දනය කිරීම සඳහාම නෙමෙයි. ලංකාවේ වත්මන් තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීම සඳහා. ඉදිරි වසර වල ලංකාව එක ඩොලරයක හෝ විදේශ ණය අලුතින් නොගත්තත් තිබෙන ණය වල පොලිය ලෙස වාර්ෂිකව ඩොලර් බිලියන 2 ඉක්මවන මුදලක් එකතු වෙනවා. ඉන් පසුව, ඒ පොලියටද පොලිය එකතු වී වැල් පොලී වෙනවා. ඉදිරි සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක මුඛ්‍ය ඉලක්කය විය යුත්තේ කෙසේ හෝ මේ චක්‍රයෙන් ගැලවීමයි.

මෙහිදී අප කතා කරන්නේ රටේ සමස්ත විදේශ ණය ගැනයි. රජයේ විදේශ ණය එයින් කොටසක් පමණයි. 2010 වන තුරු රටේ විදේශ ණය වලින් විශාල ප්‍රමාණයක් රජයේ විදේශ ණය වුවත්, 2010දී ආරම්භ කළ පොන්සි ක්‍රීඩාව හරහා රජය විසින් සෘජුව විදේශ ණය ලබා නොගෙන වක්‍ර ලෙස විදේශ ණය ලබා ගන්නා ක්‍රමයක් ආරම්භ වුනා. ඒ නිසා, රාජ්‍ය ණය අතර තිබෙන විදේශ ණය ප්‍රමාණය දෙස බැලූ විට රට සිරවී සිටින විදේශ ණය උගුලේ බරපතලකම පැහැදිලිව පෙනෙන්නේ නැහැ. විදේශ ණය ගැන කතා කරන හැම දෙනෙකුම මෙන් රාජ්‍ය ණය ගැන කතා කළත්, විනිමය අනුපාතය පාලනය කරමින් ආරම්භ කර පවත්වා ගෙන යන පොන්සි ක්‍රීඩාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති තරම්. පහත රූප සටහන දෙස බැලූ විට මේ පොන්සි ක්‍රීඩාවේ ආරම්භය පැහැදිලිව හඳුනා ගත හැකියි.



18 comments:

  1. හොඳ සාරාංශයක් මේ පෝස්ට් එක.

    කලින් පෝස්ට් එකේ ඉකොන් අදහස් කලේ ශ්‍රී ලන්කන් රුපී එක hard currency එකක් කිරීම (හෝ ඒ කිට්ටුවට යෑම) ගැනද.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් කිවුවොත් ඒ දිශාවට යාම ගැන. අපි hard currency කියන වචනය භාවිතා කළත් මෙහි තිබෙන්නේ binary වෙනසක් නෙමෙයි. යෙන් එකට හෝ ඕස්ට්‍රේලියානු ඩොලරයට වඩා ඇමරිකානු ඩොලරයට පිළිගැනීම වැඩියි. ඒ වගේම, ලංකාවේ රුපියලට වඩා ඉන්දියානු රුපියලට තිබෙන පිළිගැනීම වැඩියි. අද ලංකාවේ රුපියලට වඩා 2006දී ලංකාවේ රුපියලට තිබුණු පිළිගැනීම වැඩියි. අදටත් ලංකාවේ රුපියලට සුළු හෝ පිළිගැනීමක් තිබෙනවා. එය අඩු කරගන්නවා වෙනුවට වැඩි කරගන්න එකයි කර ගත යුත්තේ. දැන් කරන ඇතැම් වැඩ වලින් වෙන්නේ තිබෙන සුළු පිළිගැනීමත් නැති වෙන එකයි.

      Delete
  2. ඈ ඉකොනො, දැන් ඔහේ කිව්වා වගේ ජනවාරි මාසේ ලංකාව බංකොලොත් උනාද? ඈ මනුස්සයෝ, තමුන් ඉපදුනු, පිනට ඉගෙන ගත්තු රටට ඔහොම ගරහන්න එපා. දුෂ්කර පවුලක ඉපදිලා, කෝටා එකෙන් පේරා ගිහින්, දැන් වෙන රටකට ගියා කියලා ඊට වඩා දෙයක් නැහැ කියලා හිතන් ඉන්නේ. අඩුම ගානේ තමුන්ට, තමාගේ ඇත්ත නමින් වත් පෙනී ඉදලා මේ කියලා තියෙන දේවල් කියන්න ශක්තියක් තියෙනවද? නැහැනේ.

    මහේෂ්
    mahesh.walatara@gmail.com

    ReplyDelete
  3. ඉකොන්,

    ඔබ ඉතාමත්ම මැනවින් පෙන්වා දෙන පරිද්දෙන්ම ලංකාවේ වත්මන් දූෂිත අමන ආණ්‌ඩුව හැකි ඉක්මනින්ම පළවා හැර ජනතාවාදී මනා ආර්ථික කළමනාකරණයක් ඇති බහුතර ජනතාවගේ සුබසාධනය පෙරටුකොට ගත් නව රජයක් පත් කිරීමට අවශ්‍ය පියවර ගන්න ඕන. ඒත් මෙතැනදි විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න කළ ඉතාමත්ම වැදගත් ප්‍රකාශය මතු කරන්න මම කැමතියි.

    ඒ අනුව “ජනාධිපති කවුදැයි පොර අල්ලනවාට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂවල සාමූහිකව වට මේස සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍යයි. ඊළඟ ජනාධිපතිවරයා රාජිතද, සජිත්ද, පාඨලීද, අනුරද වෙන මොකාද කියන එක ජනතාවට වැඩක් නැති බව මේ සියලු දෙනා තේරුම් ගත යුතුයි. අපි හැමෝම බෙදී වෙන්වී වෙනමම පොර අල්ලන එක වෙනුවට දුර්දාන්ත කාඩපක්ෂ ආණ්ඩුව පලවා හැර ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක් අස්ථානයක සිට සාකච්ඡා ආරම්භ කළ යුතුමයි"

    මෙන්න මේ මූලිකම කරුණ මම ඔබ ඇතුළු පාඨක ජනතාව සියලුම දෙනාට දැඩිව අවධාරණය කරනවා. නමුත් ඉතාමත්ම අවාසනාවන්ත කතාව නම් දැනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා එහි පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 43 වැනි සේනාංකය අතර මතුවී ඇති අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් සමගි ජන බලවේගය දෙකඩ වන ලකුණු පහළ වී තිබීමයි. මෙය ඉතාමත්ම භයානක අවාසනාවන්ත තත්ත්වයක්.

    පහුගිය මාස දෙක තුනක කාලය තුල සමගි ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාකච්ඡාවලදී අවස්ථා කිහිපයකදීම 43 වැනි සේනාංකය විසුරුවා හැර සමගි ජන බලවේගයේ ප්‍රවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස නායකයා ලෙස චම්පික රණවකගෙන් ඉල්ලීම් කරත් ඔහු ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන එක විශාල ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. උදාහරණ විදිහට මෑතදී පැවැත්වුණ 43 වැනි සේනාංකයේ පළමු ජාතික සමුළුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ට සහභාගී නොවන ලෙස සජිත් ප්‍රේමදාස උපදෙස් ලබාදීම නිසා මෙම තත්ත්වය තවත් වර්ධනය වී තිබෙන අතර 43 වැනි සේනාංකය ඉදිරියේදී වෙනම ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හා බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමටත් තීරණය කොට ඇත්තේ සමගි ජන බලවේගයෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වීමට බව දැන ගන්නට ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මාධ්‍ය වලට පැවසුවා. මෙහෙම කරද්දී කොහොමද ආණ්‌ඩුවට එරෙහිව හොඳම මොරාල් එකකින් දැඩි කැම්පේන් එකක් කරන්නේ? ඔබම කියන්න බලන්න?

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවිධ කාරණා පිළිබඳව කලකිරී සිටින මන්ත්‍රිවරුන් යම් පිරිසක් 43 වැනි සේනාංකයේ ඉදිරි දේශපාලන කටයුතුවලට සහභාගි වීම සඳහා චම්පික රණවක සමග සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවත් මාධ්‍ය වාර්තා මෙන්ම ලංකාවේ මිතුරන්ගෙන් කටකතා අහන්න ලැබෙනවා, ඔබටත් ආරංචි ඇති. මේ ප්‍රශ්නයට ඉක්මනින්ම පිළිතුරු සොයන්නට අවශ්‍යයි. මේ කණ්ඩායම් නැවත එකතු කරන්න මංගල සමරවීර වැනි කෘතහස්ත පුද්ගලයකුගේ දායකත්වය ඉතා දැඩිව අවශ්‍යයි. නමුත් රාජිත සේනාරත්නට මේකට නායකත්වය දෙන්න හැකි වුණොත් හොඳයි නමුත් තාම ඔහුගේ එළැඹීම මදි.

      අනික ජවිපය ජාතික ජන බලවේගය ආණ්‌ඩුවේ විමල් වීරවංශ, ගම්මන්පිල සහ මෛත්‍රීපාල සිරිසේනගේ නිදහස් පක්ෂය සමග වෙනම ගමනක් යන්න උත්සාහ කරන අතර ප්‍රායෝගික තත්ත්වය ඔවුන්ට තේරෙන්නේ නැද්ද? සමාජවාදය ඒක හදපු රටෙත් දැන් නැහැ. සමාජවාදීයි කියාගන්නා චීනය, රුසියාව, උතුරු කොරියාව සහ කියුබාව ඇත්තෙන්ම ඒකාධිපතියි වගේ තමයි. මිනිස්සුන්ට මේ රටවල නිදහසේ කථාකරන්න බැහැ. සමාජවාදයට අප රටේ මිනිස්සු කැමතිත් නැහැ. ඒ නිසා මෙම පක්ෂය හැමදාම අසාර්ථකයි කියලා වටහාගෙන ඔවුන්ද එක පෙරමුණකට පැමිණිය යුතුයි. ඔය සමාජ ජාල වල ඊළඟ පාර නම් අපි ජවිපෙට කියන උන් ගැන හොයල බැලුවොත් උන්ගෙන් 90% ගිය සැරෙත් කඩේ ගිහින් තියෙන්නෙ ජවිපෙට තමයි. ගිය පාරත් මැතිවරණෙට කලින් FB එකේ සමාජ ජාල වල NPP එකට 75%ක් වගේ හිටියා, ඒත් ඡන්දෙදි 3 %. ඊළඟ සැරේ වැඩිම උනොත් 5%ක් ඒවි. ඒත් තියෙන 3%ත් නැති වෙන්න ඉඩ තියෙනවා මේ වගේ එක්සත්ව ආවේ නැත්නම්. උතුරේ ටී එන් එකත් පිරිහිලා. බදියුදීන් ගේ පක්ෂය කඩලා කෝටි ගණනක මුදල් දොළපිදේනි දීලා ඒකේ සෙට් එකම පොහොට්ටු හොර රැලට එකතු කරගෙන. මේ ප්‍රශ්නයට මුහුණ දීමට ඔබට හොඳ වැඩ පිළිවෙලක් යෝජනා කරන්න පුළුවන්ද? ඔබගේ සැලසුම මොන වගේද මේ සම්බන්ධව? රනිල් පොදු අපේක්ෂකයා කිරීමට මේ කිසිම කෙනෙකු කැමතිම නෑ. කරූ ජයසූරිය වයසයි. සජිත්ට අනිවාර්යයෙන්ම ජනපති නැත්නම් අවම අගමැතිකම වත් දෙන්න ඕන කියල ඔහු හිතන්නේ. මේක compromise කරන්න ක්‍රමයක් යෝජනා කරන්න කවුරුවත්ම නැද්ද?

      Delete
  4. එකොන් මේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි රටවල් අතර චීනය රුසියාව ඉන්දියාව ඉන්නව. යුකේ, ජර්මනි වල ඊට වඩා ගොඩක් අඩුයි. නමුත් යූකේ සහ ජර්මනි වල මිනිසුන්ගේ ජිවන තත්වය සහ ආර්ථිකය අර රටවලට වඩා හොඳයි. ඔවුනේ මේ විදේශ සංචිත වැඩි පුර තියාගන්නේ මොන ආර්ථික අරමුණින්ද (මිනිසුන්ගේ ජිවන තත්වයන් උසස් නොකර)?

    ReplyDelete
    Replies
    1. පළමුව, අජිත් දාලා තියෙන ලින්ක් එකේ තියෙන්නේ නිල සංචිත. මම මේ ලිපියේ කතා කළේ සමස්ත විදේශ වත්කම් ගැන. නිල සංචිත සමස්ත විදේශ වත්කම් වලින් එක් කොටසක් පමණයි. කොහොම වුනත්, අජිත් අසා තිබෙන ප්‍රශ්නය අදාළ වෙන්නෙත් නිල සංචිත වලට නිසා ලින්ක් එකේ තිබෙන දත්ත ප්‍රශ්නයට ගැලපෙනවා. සරලව කිවුවොත් ඇතැම් රටවල් විශාල නිල විදේශ සංචිත ප්‍රමාණයක් තියා ගෙන ඉන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න. අනෙක් පැත්තෙන් නිල විදේශ සංචිත එකතු වීම විණිමය අනුපාතය පාලනය කිරීමේ ප්‍රතිඵලයක් කියා කියන්නත් පුළුවන්. චක්‍රීය සම්බන්ධයක් තියෙන්නේ.

      එක්සත් රාජධානිය සහ ජර්මනිය (චීනය හා රුසියාව මෙන්) විණිමය අනුපාතය පාලනය කරන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් ලෙස පවුම හා යුරෝව වැටෙනවානම් වැටෙන්න අරිනවා. (මේ මුදල් ඒකක විශාල ලෙස වැටෙන එකක් නැහැ කියන විශ්වාසයත් මෙතැන තියෙනවා). ඉහළ යනවානම් ඉහළ යන්න දෙනවා. ඒ නිසා, විශාල නිල සංචිත ප්‍රමාණයක් පවත්වා ගන්න අවශ්‍ය නැහැ. (එංගලන්තය සතුව විශාල සංචිත ප්‍රමාණයක් තිබුනනම් සොරෝස් කළ දේ කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු ගත්තේ සංචිත එතරම් නොතිබුණු එකේ වාසියයි).

      චීනය මෑතක් වන තුරුම ආර්ථිකය වර්ධනය කර ගත්තේ ඇමරිකාවේ (හා අනෙකුත් බටහිර රටවල) එල්ලිලා. තවමත් මෙහි වැඩි වෙනසක් නැහැ. එහිදී එම රටවලට අඩුවට බඩු අපනයනය කිරීම සඳහා චීනය විසින් හිතාමතාම යුවානයේ අගය පහළින් තියා ගත්තා. එවිට, ආනයන මිල වැඩි නිසා චීන මිනිස්සු ආනයනික බඩු මිල දී ගන්නේ නැහැ. ඩොලර් ඉතිරි වී සංචිත ඉහළ යනවා. ඒක චීනයේ ආර්ථික ප්‍රතිපත්තිය.

      සෝවියට් දේශය වැටුණාට පසුව රූබලය විශාල ලෙස අවප්‍රමාණය වුනා. ප්‍රමාණවත් සංචිත තිබුනනම් එය වලක්වා ගත හැකිව තිබුණා. එවැන්නක් නැවත සිදු වනවා බලන්න රුසියාවට අවශ්‍ය නැතුව ඇති. ඒ වගේම, රුසියාව චීනය මෙන් නොව අපනයන විවිධාංගීකරණය කර නොගත් රටක්. වැඩිපුර අපනයනය කරන්නේ ඉන්ධන. ඉන්ධන මිල ඉහළ යද්දී සංචිත එකතු වෙනවා.

      ඉන්දියාවේ සංචිත වැඩි වුනත්, චීනයේ හා රුසියාවේ මෙන් නොව, විදේශ බැරකම් ඊට වඩා වැඩියි. ඒ නිසා, හිරවෙන එක වලක්වා ගන්න ප්‍රමාණවත් සංචිත තියා ගන්න වෙනවා. නැත්නම් ලංකාවට සිදු වූ දෙය වැනි දෙයක් වෙන්න පුළුවන්.

      චීනයේ (හෝ රුසියාවේ) සංචිත වලින් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩි කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් ඒකේ අනෙක් පැත්ත වෙන්න වුවත් පුළුවන්. ලංකාව කරනවා වගේ සංචිත වියදම් කරලා වෙනත් රටවලින් විශාල ලෙස ආනයන කරලා කෙටිකාලීනව මිනිස්සුන්ගේ පරිභෝජනය වැඩි කරන්නනම් පුළුවන්. එහෙත්, එයින් වෙන්නේ ඒ රටවල දේශීය කර්මාන්ත වැටෙන එකයි. අන්තිමට දිගුකාලීනව මිනිස්සු හිටපු තැනිනුත් පහළට වැටිලා. සෝවියට් දේශය බිඳ වැටුණු අළුත රුසියාවේ වුනෙත් ටිකක් ඒ වගේ වැඩක්.

      Delete
    2. හොඳයි , ස්තූතියි. දැන් එකොන් සමස්ත විදේශ වත්කම් ගැන - ඒක ඔය රටවල අඩුයි. විදේශ සංචිත වැඩි වුනාට. ඒ කියන්නේ ඔවුන් ආයෝජන නොකරන් නිසාද? එහෙම නම් චීනයේ විදේශ වත්කම් හුඟක් වැඩි වෙන්න ඕනේ නේද?

      Delete
    3. ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මෙය ඓතිහාසික කරුණක්. චීනය ඓතිහාසිකව වෙන රටවල් සමඟ වෙළඳාම් කළා මිසක් රටවල් අල්ල ගන්න හෝ වෙන රටවල ආයෝජනය කරන්න ගියේ නැහැ. එය සිදු වන්නේ මෑතක සිටයි. රුසියාව වුනත් වෙන රටවල ආයෝජනය කළා කියා මම හිතන්නේ නැහැ. නමුත් බටහිර රටවල් (විශේෂයෙන්ම පෞද්ගලික අංශය) කලක සිටම වෙන රටවල ආයෝජන කරනවා. ශුද්ධ විදේශ වත්කම් අනුව චීනය, රුසියාව උඩින් හිටියත් ශුද්ධ විදේශ වත්කම් අඩු (ඇතැම් විට බැරකම් වලටත් වඩා අඩු) යුරෝපීය රටවල් ගණනාවකටම තවමත් චීනය වැනි රටවලට වඩා සමස්ත විදේශ වත්කම් තිබෙනවා. උදාහරණ විදිහට එක්සත් රාජධානිය, ජර්මනිය හා නෙදර්ලන්තය. මෙතැන දේශපාලන ආකෘතියේ වෙනසෙහි බලපෑමත් තිබෙනවා. පෞද්ගලික අංශය අතේ සල්ලි තියෙද්දී හැම විටම ඒ සල්ලි වැඩි ප්‍රතිලාභ එන තැන් වල ආයෝජනය කරනවා. රාජ්‍ය අංශය සතුව සල්ලි තියෙද්දී එක පැත්තකින් අවදානම ගන්න තිබෙන බය නිසා සල්ලි අතේ තියාගෙන ඉන්නවා (ඉතා අඩු පොලියකට ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරනවා). අනෙක් පැත්තෙන් දේශපාලනික හේතු මත ඵලදායී නොවන ආයෝජන කිරීමද සිදු වෙනවා.

      Delete
    4. හොඳයි. සාධාරණ පිළිතුරක්. මම ප්‍රශ්නය ඇසුවේ ශ්‍රී ලංකාව, අප්‍රිකානු රටවල් සිහියේ තබාගෙන. චීන රජයේ ණය දීම මම සලකන්නේ ඔවුන්ගේ ආයෝජන විධිහට. ලංකාවේ වරයා හෝ පොර්ට් සිටි එක මම දකින්නේ ඔවුන්ගේ විදේශ වත්කමක් ලෙස? (රට සමග කොන්ත්‍රාත්තුව කෙසේ වෙතත්) මෙය නිවැරදිද?

      Delete
    5. //චීන රජයේ ණය දීම මම සලකන්නේ ඔවුන්ගේ ආයෝජන විධිහට. ලංකාවේ වරයා හෝ පොර්ට් සිටි එක මම දකින්නේ ඔවුන්ගේ විදේශ වත්කමක් ලෙස? (රට සමග කොන්ත්‍රාත්තුව කෙසේ වෙතත්) මෙය නිවැරදිද?//

      ඔව්, මේවා චීනයේ විදේශ වත්කම්. එසේ වුවත්, චීනයේ විදේශ වත්කම් වලින් විශාල කොටසක් තවමත් තියෙන්නේ ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් වල. සමස්තයක් ලෙස චීනයේ විදේශ ආයෝජන වලින් ලැබෙන මුදලට වඩා චීනයේ තිබෙන වෙනත් අයගේ (බටහිර රටවල) විදේශ ආයෝජන නිසා චීනයෙන් එළියට යන මුදල වැඩියි.

      Delete
    6. @ Ajith,

      කවුරු මොනවා කියූවත් මනුස්සයෙක්ට ජීවත් වෙන්න හොදම රට නම් තමුන්ගේ රට. එතරම් වැඩි සමාජ ආශ්‍රයක් නැති ගෙටම වෙලා දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන සමාජ ජාල වල විතරක් සමාජශීලී කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ පිට රට යන්න, හැබැයි මැදපෙරදිග සහ දකුණු කොරියාව වගේ ලංකාවේ අය ගොඩක් ඉන්නවා නම් මේක අදාල නෑ ඒත් කෙනෙක් රට යන්න කැමති කෙනෙක් නම් ඔය හැම රට ගැනම හොයලා බලන්න ඕන යන්න කලින්, කාගෙන්වත් අහනවට වඩා රට රටවල් ගැන විස්තර තමුන්ම හොයලා බලන්න.. හැමෝම කියන්නේ තමුන්ට සාපේක්ශව.. ඒ නිසා අනිත් අයගේ අදහස් ගැන බලන්න ඒත් කවදාවත්
      ඒ මත ඉදගෙන වැඩ කරන්න එපා, ඔබ අමාරුවේ වැටෙන එක විතරයි වෙන්නේ.

      ඒ වගේම යුරෝපීය රටවල් වලින් ග්‍රීන්ලන්තය කියන්නේ ඩෙන්මාර්කයේ කොටසක් විදිහට පාලනය වෙන්නේ, Finland ගැන කිව්වොත් යුරෝපයේ තියන ආරක්ෂිතම රටවල් 4න් එකක්..(අනෙක් තුන Slovakia, Poland, Ireland). ලංකාවේ තරුණ තරුණියන් යුරෝපයට යනවා නම් ෆින්ලන්ඩ් හොඳටම හොදයි. තමන්ගෙ පාඩුවේ ලස්සනට ජීවත් වෙන්න පුලුවන්. සමාජ නිදහස සමානාත්මතාවය වගේ දේවල් සෑහෙන දුරට තියෙනව. සාමාන්‍යයෙන් සීතල කියන එක ප්‍රශ්නයක් වෙනවා අඩුයි ගොඩක් අයට. ඒක කාලෙත් එක්ක ඉබේටම හුරු වෙන දෙයක්. සංවර්ධිත රටක ජීවත් වෙද්දි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. Student visa තමයි දැනට Finland යන්න ලේසිම ක්‍රමේ PR දාන්න. අනිත් ලොකුම දේ Finland තාම තියෙන්නෙ skill migration නෙවෙයි. ඒක ලොකුම + point එකක්. ඔයා study කරන්න යන ෆීල්ඩ් එකේම වෙන්න ඕනෙ නැ PR දාන්න. Finnish උත් ඉගෙන ගන්න අමාරු නෑ Duolingo වගේ ඇප් තියෙනවා මෙහෙ ඉදන්ම මුල් ටික අල්ලගෙන යන්න පුලුවන්. කොහොමත් අනිත් යුරෝපීය රටවල් වගේ වාත නොවී Scandavian රටවල් ටිකේ සාපේක්ෂව කරදරයක් නැතුව ලස්සනට ජීවත් වෙන්න පුලුවන් තාම. ඒ අතින් Finland, Norway, Denmark, Sweden ෂේප්.

      ඒ නිසා Finland කියන්නේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක්. ජුනි අගෝස්තු වෙනකොට මෙහෙ රෑ 11 වෙනකං ඉර පායනවා.

      ඇමරිකානු මහාද්වීපයේ රටවල් වලින් මම රෙකමන්ඩ් කරන්නේ කැනඩාව විතරයි, කැනඩාව ගොඩක් සාමකාමී නිදහස් රටක්. රටේ භූමිය විශාල නිසා ගොඩක් නිදහස්.

      ඒ වගේම ඔයා සීතල රටක සීතල දේශගුණයට අකමැති නම් Australia වගේ උෂ්ණාධික රටක් හොඳ යි. ඒකෙනුත් සීතලට කැමති නැත්නම් Western Australia වගේ ඇවිත් කාලයක් වැඩ කරලා ගානක් හොයා ගන්න පුලුවන්. ඔස්ට්‍රේලියාවට ආවම ඉක්මනට settle වෙන්න පුලුවන්, හැබැයි සල්ලි තියනවන්ම් retire වෙන්න හොදම රට ලන්කාව.
      මේහේ මන් දන්න ගොඩාක් අය ලන්කාවට යන්න හිතන් ඉන්නේ තමන්ගේ සැදෑ කාලය ගෙවන්න. ඒ වගේ දිගු කාලීන සැලසුමක් හදා ගන්න ඕන.

      Delete
    7. ෆින්ලන්තය ගැන කතාව ඇත්ත . මගේ නෑදදෑ ළමයෙකුත් ඉන්නවා. මට නම තව පිටරටකට යන්න අදහසක් නැහැ.

      Delete
  5. @ Ajith,

    ලංකාවේ වර්තමාන දූෂිත ඒකාධිපති පවුල් පාලක කාඩපක්ෂ ආණ්ඩුව බැසිල් නමැති කම්බා සොරාගේ සැලසුම් පරීදි ග්‍රාමසේවක වසම් 14,000 ක වැඩ ලක්ෂයක් ආරම්භ කර ඇත. අය වැය අනුව මෙවර ප්‍රාග්ධන වියදම ගිය වසරට (2021) වඩා දෙගුණයකි. ආසන්නයෙන් බිලියන 1000 කි ! එය පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම හා එයට වැඩ ලක්ෂය ද ඇතුළත්ව ඇත. ඒ අතරේ මහා මාර්ග ඇමතිවරයා එක දිගට විවිධ වෙනස්කම් කරමින්, කැබිනට් පත්‍රිකා දමමින් අධිවේගී මාර්ග පද්ධතිය තව තවත් දිගු කිරීමට යෝජනා කරමින් ඇත. ඒ අනුව කුරුණෑගල, දඹුල්ල අධිවේගී මාර්ගයට බලාපොරොත්තු වූ එංගලන්න (රවුටන්) අරමුදල් නොලැබීම නිසා එය ගලේවෙලට සීමා කර, චීන පෞද්ගලික සමාගම් හවුලකට පවරා ඇත. කෙසේ වෙතත් රඹුක්කන-ගලගෙදර අධිවේගී මාර්ගය සඳහා ඉදිරිපත් වූ චීන සමාගම ඉවතලා එය දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ඇත. මේ දේශප්‍රේමී තීරණයට හේතුව අදාල සමාගම (MCC) කඩවත-මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ උපකොන්ත්‍රාත්තු ඇමතිවරයාට රුචි අයුරින් වෙනස් නොකිරීම නිසා බව ඉතාමත් පැහැදිලියි.

    ලංකාවේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිතුමාට (WA විජේවර්ධන මහතා) අනුව (Colombo Telegraph) මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 කට ආසන්න හිඟයකි. මහ බැංකුවේ ගණුදෙනු කල හැකි විදේශ සංචිත ප්‍රමාණයද පවතින්නේ ඇ.ඩො.මි. 500 ආසන්නයේය. මහ බැංකුවද ඇතුළුව, සියලුම බැංකු පද්ධති ගත්කල මෙය ඩොලර් බිලියන 4.5 කට ආසන්න හිඟයකි. එනම්, සෘණ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයකි. මහ බැංකුවේ දත්ත පද්ධතියට අනුව 2022 පෙබරවාරි 03 දාට මහ බැංකුවේ රුපියල් හිඟය, රුපියල් බිලියන 579 කි ! මහ බැංකුවට අමතරව රාජ්‍ය බැංකු හා පුද්ගලික බැංකු වෙතින් ආණ්ඩුව හා ආණ්ඩුවේ ආයතන ලබාගෙන ඇති ණය හා ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 5,000 කට ආසන්නය. මෙය රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු දේශීය වශයෙන් ලබාදී ඇති ණය වලින් 52%කි.

    මේ වගේම ලංකාවේ මහබැංකුව ඇතුළු රටේ බැංකු පද්ධතියට ඩොලරුත් නැත. රුපියලුත් නැත. ඒ අතරේ රටේ වාර්ෂික ආදායම මෙන් දෙගුණයකටත් අධික ප්‍රමාණයකින් ආණ්ඩුව බැංකු පද්ධතියට ණය වී ඇත.

    මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ අධිවේගී මාර්ග සඳහා ආණ්ඩුව තවත් බිලියන සිය ගණන් මුදල් සපයා ගන්නේ කෙසේද?

    මීට එක්තරා පුද්ගලික ණයවර සමාගමක් යොදාගැනීමට ද, එකී සමාගමට රජය සතු ‘සෙලෙන්දිවා’ දේපොළ ඇපයට තැබීමේ උත්සාහයක් ද වාර්තා වී ඇත. එනම් විදේශ අමාත්‍යාංශය, ගුවන් හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ලංකා බැංකු හා මහජන බැංකු මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක් ද ආණ්ඩුව සිදු කිරීමට යන්නේ ? අධිවේගී මාර්ග වියදමෙන් 1/3 ක් පමණ විදේශ වලින් ආනයනය කරනා, ඩොලර් වලින් ගෙවිය යුතු බිල් වන අතර ඒවාට කිසිදු බදු මුදලක් අය කරන්නේද නැත.

    කෙසේ වෙතත් අධිවේගී මාර්ග රටේ සංවර්ධනයට අවශ්‍ය බව රජය සහ ඇතැම් පිරිස් විශ්වාස කරත් අද රට හා ආණ්ඩුව වැටී ඇත්තේ අධිවේගී මාර්ග තැනීම කිසිම අයුරකින් ප්‍රමුඛතාවයක් කොට සලකන තත්ත්වයක නොවෙයි නේද?

    ReplyDelete
  6. ලංකාවේ මේ දවස් වලත් පැනඩෝල්, පැරසිටමෝල්, ඇමොක්සලීන්, ඇන්ටිජන් කිට් ඇතුළු ඖෂධ 80 ක පමණ හිගයක් පවතී. දැවි තෙල් ඩීසල් තෙල් නැති නිසා තෙල් වලින් වැඩ කරන විදුලි බලාගාර වැසී ඇත. ලෝක වෙළඳ පොළේ ඩොලර් 74 සීට ඩොලර් 93 දක්වා බොර තෙල් බැරලයක් මිල ගණන් වැඩි වෙලා නිසා බව කියමින් ආනයනික තෙල් මිල සිතු සේ ඉහළ දමනා අතර විදුලිය කපා හැරේ. රටේ ආනයනික කිරිපිටි ඇත්තේ නැත. ගොවියාට ආනයනික පොහොර නැත. බඩුමිල සිය ඉතිහාසයේ වාර්තාගත ලෙස වැඩිවීම (25%) ජනවාරියේ වාර්තා කළේය. අධිවේගී මාර්ග හැරුණු කොට රටේ අනෙක් ඉදිකිරීම් සඳහා ආනයනික සිමෙන්ති හෝ යකඩ නැත. එන්න එන්නම ඩොලර් හා රුපියල් අර්බුදය උග්‍රවෙත්දී, ජනතාවට තෙල් හිඟනම් බයිසිකල් වලින් යන්නයැයි උපදෙස් දී අධිවේගී මාර්ගවලට තව තවත් රට ණය කරන්නේ ඇයි ? මේ කොමිස් සඳහා කරන සංවර්ධනයක් ද ? එසේ නම් මේ කොල්ලය නතර කරන්නේ කවදාද ?

    ලංකාවේ විපක්ෂ හිතවාදී ජනතාව, නිදහස් දා සිදුකළ කෝටි සිය ගණනක් වැය වූ ගිනි අවි සැණකෙලියට ජාතික කොඩි ඔසවන්නේ නැතිව අහිංසක විරෝධයක් පළ කළේය. එය සිදුවූයේ සුදුසු දිනයක් නම් නොවේ. නමුත් ජනතාව වැඩ ලක්ෂය හරහා ගමේ පොඩි හොරු ලක්ෂයක් තැනීමේ හා අධිවේගී මාර්ග හරහා මෙගා හොරු තැනීමේ ක්‍රියාවලියට ඉක්මනින්ම රතු කොඩිය එසවිය යුතුව ඇත. රට පුරා රතු කොඩි ඔසවා රටේම පාලනය සඳහා රතු පාට පාලනයක් ගෙන ආ යුතුය යන්නයි ලංකාවේ බහුතර ජනතාව අතර ජනප්‍රිය මතය. මෙය ඉතාමත් ඉක්මනින් සිදු වන තරමට රටට හොඳයි.

    ReplyDelete
  7. අජිත් ධර්ම,

    ඔබ එංගලන්තයේ පුරවැසියෙක් හැටියට ඕස්ට්‍රේලියාව කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය ඇතුළු අනෙකුත් අවශේෂ රාජ්‍ය ගණනාවක් යන සියලු රටවලට අග රැජිණ වූ අති උතුම් ශ්‍රීමතී මහා දෙවන එලිසබෙත් මහ රැජිණගේ කිරුළ චාල්ස් කුමරුන්ට ලබා දීම පිළිබඳව අපට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    මම රොයිටර් පුවත් සේවය වාර්තා කළ නිව්ස් එකේ දැකපු හැටියට බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු රාජ්‍ය ගණනාවක් සඳහා මීළඟ අග රජු ලෙසින් ගෞරවණීය චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ අභිෂේක මෞලි මංගල්‍යය මහා උත්සවයේදී කෝන්වෝල් වල කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි අනර්ඝතම මිණි කිරුළ වූ මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න පරිත්‍යාගයක් විදිහට ලබා දිමට දෙවැනි එලිසබත් මහා රාජිණිය සූදානමින් සිටින බවද වාර්තා කරලා තියෙනවා. මේක සත්‍ය කතාවක් ද?

    එම වාර්තා වල සඳහන් ආකාරයට ලොව කිසිදු අයුරකින් මිල කළ නොහැකි අති විශාල දැවැන්ත වටිනාකමක් සහිත මෙම ඔටුන්නට කලකට පෙර බ්‍රිතාන්‍ය ඉන්දියාවේදී හමුවී ඇති අති විශාල මිල කළ නොහැකි කොහිනූර් දියමන්තියක් ඔබ්බවා ඇත. ඊට අමතරව තවත් දියමන්ති 2,868 ක්, තව සිලෝන් කොලනියෙන් හමු වී ඇති අති විශාල මහත් සේ වටිනා කියන බ්ලූ සෆයර් නිල් මැණික් 17, එමරල්ඩ් මරකත මැණික් 11, සිලෝන් කොළණියේ මැනාර් නම් පළාතේ හමුවූ අතිශය මිල අධික ඉස්තරම්ම වර්ගයේ මුතු ඇට 269 ක් සහ තවත් ඉතාමත් දුර්ලභ වටිනාකමක් ඇති මැණික් ගල් 4 කින් ඔටුන්න අලංකාර වී ඇති අතර මේ ගැන වැඩි තොරතුරු පැහැදිලි කළ හැකි ද?

    එමෙන්ම ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් වල අග රාජිණිය වන දෙවැනි එලිසබත් මහ රැජිණගේ ඔටුන්න පැළඳීමට ලැබීම තමන්ට ඉතාමත් ගෞරාවයක් බව කැමිලා ආදිපාදවරිය පැවැසු බවත් මීට අමතරව එම වාර්තාව මගින් වැඩිදුරටත් සඳහන් කළා.

    එම වාර්තා වල සඳහන් පරිදි මෙම මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ඔටුන්න 1937 දී හයවෙනි ජෝර්ජ් මහා රාජෝත්තමයාණන් වහන්සේගේ ඔටුණු පැළඳවීමේ මෞලි මංගල්‍යය අභිෂේක උත්සවයට විශේෂයෙන්ම නිර්මාණය කළ එකක් වූ බවත් මෙම මිල කළ නොහැකි අවුරුදු 85 ක් පැරණි රාජකීය ඔටුන්නේ නව හිමිකාරිය වීමට කැමිලා ආදිපදවරිය මහත් ඕනෑකමක් සහ දැඩි උනන්දුවක් ඇති විදියට විශාල බලාපොරොත්තුවක් සහිතව සිටින බව තමයි වාර්තා කරලා තියෙන්නේ මේක ඇත්ත ද දන්නේ නැහැ.

    සාමාන්‍යයෙන් මහ රැජිණගේ උපන් දිනය ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ එංගලන්තයේ පොදු නිවාඩු දවසක් වන නිසා මේ කියන මෞලි මංගල්‍යය අභිෂේක මහෝත්සවය වෙනුවෙන් එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාව කැනඩාවේ සහ වෙනත් කොලණි වලට දවස් කීයක් විතර නිවාඩු ලැබේවිද කියලා කියන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මම රාජාණ්ඩුවාදියෙක් නොවෙමි.

      Delete
  8. ඇනෝ ල තමා ඉනෙන් මොනවහරි කරන්න මේ ප්‍රශ්නෙට ඉතින්.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...