වෙබ් ලිපිනය:

Saturday, February 26, 2022

අච්චු ගහපු සල්ලි මා ළඟයි!


උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?

ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?

ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.

පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.

ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා. 

විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්. 

පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි. 

පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.

බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ. 

28 comments:

  1. වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා

    (අජන්ත කුමාර අගලකඩ)

    ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

    ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

    රාජ්‍ය බැංකු දෙකෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් ණය ලබා දුනහොත් ,බැංකු දෙක කඩා වැටීම වළක්වා ගැනීම අසීරු වන බැවින්,එම බැංකු දෙකෙන් සංස්ථාවට ණය දීම වහාම නවත්වන්නැයි ද මහ බැංකුව යෝජනා කර ඇත.

    ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි පනස් හය දාහක් පමණ (ඇමරිකානු ඩොලර් මිලියන 2800 ක්) වන බව වාර්තා වේ.

    මේ තත්වය හමුවේ සංස්ථාවට තවදුරටත් ණය ලබාදුනහොත් බැංකු දෙක කඩා වැටී ආර්ථිකය බරපතල අර්බුදයකට ඇද වැටීමට ඉඩ ඇති බැවින්, වහාම විකල්ප ක්‍රියාමාර්ග වලට යායුතු බවට ද මහබැංකුව යෝජනා කර තිබේ .

    තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමට ද මහ බැංකුව රජයට යෝජනා කර ඇත .

    සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ . ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ . ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර ,නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබේ .

    පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර ,පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත . මේ අතර ,ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වේ .

    ReplyDelete
  2. (සුජිත් හේවාජුලිගේ )

    තම පාලනය යටතේ ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි නොකරන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී අද පැවසීය .

    රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් තමා බැහැරට නොයන බවද හෙතෙම සඳහන් කළේය.

    ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ පැවැති මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ උත්සවයේදීය.

    පෙර රජයන් ගත් ණය අද පොළී සමග ගෙවීමට සිදුව ඇති බවත් මේ ගැටලු තම පාලන සමයේදී ඇතිවූ ඒවා නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ‍ය.

    රට අමාරු තත්වයක පවතින අවස්ථාවක අසාධාරණ වැඩ වර්ජන වලට යෑම සුදුසු නැති බව පැවසූ රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී විපක්ෂය ඇතුළු සියලු පාර්ශවයන් රජය සමඟ එකතුවී සහයෝගය දැක්විය යුතු බවද සඳහන් කළේය.

    වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය එය බව ඔහු වැඩිදුරටත් කීවේය.

    ReplyDelete
    Replies
    1. //පෙර රජයන් ගත් ණය අද පොළී සමග ගෙවීමට සිදුව ඇති බවත් මේ ගැටලු තම පාලන සමයේදී ඇතිවූ ඒවා නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ‍ය.//

      බොරුවක්ම නෙමෙයි. මේ ආණ්ඩුව ගන්න ණය පොලී සමඟ ගෙවන්න වෙන්නේත්, මේ ආණ්ඩුව විසින් ඇති කරන ගැටළු විසඳන්න වෙන්නේත් ඉදිරි ආණ්ඩු වලට.

      Delete
  3. 'මේ ආණ්ඩුව විසින් ඇති කරන ගැටළු විසඳන්න වෙන්නේත් ඉදිරි ආණ්ඩු වලට.'
    .
    මේ ආණ්ඩුව ඇති කරපු ගැටළු මොනවාද?

    ReplyDelete
    Replies
    1. පරණ ලිපි කියවන්න. එහෙම නැත්නම්, "මේ ගැටලු තම පාලන සමයේදී ඇතිවූ ඒවා නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ‍ය" යන ප්‍රකාශයෙහි ජනාධිපතිවරයා විසින් ගැටළු ලෙස අදහස් කරන්නේයැයි ඔබ සිතන දේවල් ලැයිස්තුවක් හදාගෙන ඒ ඔස්සේ විමසා බලන්න. මේ ලිපියෙන් කතා කර තිබෙන්නේත් මේ ආණ්ඩුව විසින් ඇති කළ ඉදිරි ආණ්ඩු වලට ඉතිරි වන එක් ගැටලුවක් ගැනයි.

      Delete
  4. පෙබරවාරි 23 වෙනි දින පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙදී දින 182 සහ 364 කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබුණු ලංසු වලින් ඉතාමත් කුඩා ප්‍රමාණයක් (ආසන්න වශයෙන් පිළිවෙළින් 1% හා 0.13%) පමණයි මහ බැංකුව විසින් බාරගෙන තිබුනේ. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. රුපියල් ණය නැවත ගෙවීම පිළිබඳවත් ආයෝජකයන්ට සැකයක් ඇති වෙලාද?

      Delete
    2. ඉදිරිපත් කළ දින 91 භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා විකුණලත් තියෙනවා නේද? දින 182 හා හා දින 364 බිල්පත් මිල දී නොගෙන ඒ වෙනුවට දින 91 බිල්පත් මිල දී ගෙන තිබෙනවා. මෙය අසාමාන්‍ය දෙයක් නෙමෙයි. උද්ධමනය ඉතා වේගයෙන් ඉහළ යන අවස්ථාවක පොලී අනුපාතිකද ඉතා ඉක්මණින් ඉහළ යාමට නියමිත බව සාමාන්‍ය දැනුමක් (no-brainer). ඒ වගේ අවස්ථාවක භාණ්ඩාගාර බිල්පත් වල කෙටි අන්තයට ඉල්ලුම වැඩි වෙනවා. දිගු අන්තයට ඉල්ලුම අඩු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දිගු අන්තයේදී අපේක්ෂිත පොලී අනුපාතික ඉහළ යනවා. වෙළඳපොළ හැඟීම් (market sentiment) මෙසේ වුවත් ඉතා ඉක්මණින් පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුවට අදහසක් නැතිව ඇති. ඒ නිසා, ඉහළ පොලියක් ගෙවා දින 182 හා හා දින 364 බිල්පත් මිල දී නොගෙන ඒ වෙනුවට දින 91 බිල්පත් මිල දී ගත්තා වෙන්න පුළුවන්.

      Delete
  5. M2b=f(M0) වගේ ශ්‍රිතයක් රදා පවතින අනෙකුත් parameters මොනවද?

    ReplyDelete
    Replies
    1. විශාල ප්‍රමාණයක් තිබෙනවා. මහ බැංකුවට පාලනය කළ හැකි වැදගත්ම ඒවා වන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය හා ප්‍රතිපත්ති පොලී අනුපාතික.

      Delete
  6. විදෙස් ශ්‍රමිකයින් ට මාසයට $100 බැගින් බැංකුවක තැන්පත් කිරිමේ කොන්දේසිය මත Rs. 2.5mn ණයක් ලබා දිමේ වැඩ පිළිවෙලක් ගැන කතාවක් යනවා. මෙයින් ඇතිවිය හැකි ආර්ථිකමය බලපෑම් මොන වගේ ද

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රවෘත්තිය මමත් දැක්කා. එහෙත් මෙය කරන්න යන ආකාරය පැහැදිලි නැහැ. ණය ලබා ගැනීම සඳහා ණය ලබා ගැනීමට පෙර මාසයට $100 බැගින් කොපමණ කාලයක් බැංකුවක මුදල් තැන්පත් කළ යුතුද? ණය ලබා ගැනීමෙන් පසුව තවත් කොපමණ කාලයක් බැංකුවෙහි මුදල් තැන්පත් කළ යුතුද? ණය ලබා ගැනීමෙන් පසුව දිගටම ඩොලර් නොඑවුවොත් මොකද වෙන්නේ? මේ වගේ කරුණු පැහැදිලි නැතුව අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි.

      Delete
    2. කොහොම කලත් ඉකොන් මමනම් හිතන්නේ නෑ සැලකියයුතු පිරිසක් ඇදගන්න ලැබෙයි කියලා. විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසකට බැංකු වලට සහ ආණ්ඩුවට තියෙන විස්වාසය පළුදු වෙලා ඉවරයි.

      Delete
  7. මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?

    //It is not clear how much of the offered bills are with the central bank. If the central bank rolls over its holding, no new money is printed to trigger forex shortages.

    The central bank has in the past sold down bills from its permanent portfolio and took them back into its balance sheet to re-inject the money through the standing lending facility.//

    උපුටා ගත්තේ මෙතැනින්
    https://economynext.com/sri-lanka-fails-to-sell-all-offered-treasuries-3-month-yield-up-90789/

    ReplyDelete
    Replies
    1. //It is not clear how much of the offered bills are with the central bank. If the central bank rolls over its holding, no new money is printed to trigger forex shortages.//

      වෙළඳපොළට ඉදිරිපත් කළ බිලියන 80න් විකිණුවේ බිලියන 64.6ක් පමණක් නිසා ඉතිරි බිලියන 15.4ක බිල්පත් මහ බැංකුව විසින් මිල දී ගත්තද කියලා හරියටම දන්නේ නැහැ කියන එක වෙන්න ඇති පළමු වාක්‍යයෙන් අදහස් කර තිබෙන්නේ. දෙවන වාක්‍යයනම් එයට සම්බන්ධයක් නැති සාමාන්‍ය කරුණක්. මහ බැංකුව සතු බිල්පත් කල් පිරෙද්දී එම මුදලින්ම නැවත බිල්පත් මිල දී ගත්තොත් සල්ලි අච්චු ගැසීමක් සිදු නොවන බව.

      //The central bank has in the past sold down bills from its permanent portfolio and took them back into its balance sheet to re-inject the money through the standing lending facility.//

      පසුගිය කාලයේ මහ බැංකුව විසින් මහා බැංකුව සතු වූ බිල්පත් විකිණීම හරහා එකතු කරගත් රුපියල් දෛනික පදනම මත නැවත එළියට දමනවා කියන එක. පහත ලිපියේ මම විස්තර කළේ මේ කරුණ.

      සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගහන හැටි...
      http://economatta.blogspot.com/2022/01/blog-post_22.html

      Delete
    2. පිළිතුර ට ස්තූතියි ඉකොනෝ! මහ බැංකුවටත් මුදල් මවන්න පුළුවන් ද?

      Delete
    3. //මහ බැංකුවටත් මුදල් මවන්න පුළුවන් ද?

      සල්ලි අච්චු ගැසීම කියා කියන්නෙම නැති මුදල් අලුතෙන් හදා එළියට දමන එකනේ. ඔබ අහන්නේ බැංකු පද්ධතිය හරහා සිදුවන මුදල් මැවීම කියන නිශ්චිත දෙය ගැනනම්, මේ මුදල් මැවීම මහ බැංකුව හා වාණිජ බැංකු ඇතුළත් සමස්ත බැංකු පද්ධතිය විසින් එකතුව කරන දෙයක්. උදාහරණයක් ලෙස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේදී මහ බැංකුව විසින් අලුතෙන් මුදල් අච්චු නොගසා මුදල් මැවීම වේගවත් කරනවා. මෙහිදී මුදල් ගුණකය ඉහළ යාම නිසා සංචිත මුදල් අඩු වෙද්දී වුවත් මුදල් සැපයුම ඉහළ යන්න පුළුවන්. 2020දී වුනෙත් මෙවැන්නක්.

      Delete
    4. සංචිත මුදල් අඩු කරන්නේ කොහොමද? සංසරණය ට එකතු කරාට පස්සේ අයින් කරන එක කරන්නේ කොහොමද?

      Delete
    5. ක්‍රම ගණනාවක් තිබෙනවා. මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන පොතක් විකුණද්දී වුවත් කීයකින් හරි සංචිත මුදල් අඩු වෙනවා. නිල සංචිත විකුණන විට විශාල ලෙස සංචිත මුදල් අඩු වෙනවා. මහ බැංකුව විසින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන විට ලැබෙන සල්ලි වලින් නැවතත් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගත්තොත් සංචිත මුදල් අඩු වෙනවා. සරලව, මහ බැංකුව සතු කවර හෝ දෙයක් විකුණද්දී සංචිත මුදල් අඩු වෙනවා. මොකද සංසරණයට දමපු සල්ලි වලින් යම් කොටසක් නැවත මහ බැංකුවටම එන නිසා.

      Delete
  8. පෙනෙන මානෙ නැත සුබ පෙරමඟ ලකුණු
    දහසක් ගහයි වගෙ ගොරවාලා අකුණු
    Negative දේය ඇත්තේ හැම දෙස පිරුණු
    ලෝකය තැනක් වෙන්නද යන්නේ මැරුණු?

    ReplyDelete
    Replies
    1. "ලෝකය තැනක් වෙන්න ද යන්නේ මැරුණු?"

      මම හිතන්නේ එහෙම වෙන එකක් නෑ මොකද ඇමරිකානු එක්සත් ජනපදයේ ආණ්ඩුවට වඩා ඉතා ධනවත් බලවත් පෞද්ගලික අංශයේ විශාල බහු ජාතික සමාගම් සහ ව්‍යවසායකයන් වන ටයිකූන්ලා ඉතා බලවත්. ආණ්ඩුවට කළ හැකි දේවල් ඉතාම සීමිතයි මේ පුද්ගලික අංශයේ ආයෝජකයන්ට එරෙහිව කටයුතු කළොත් එය ආණ්ඩුවේ විනාශයයි. මේක ඩොනල්ඩ් ට්රම්ප් ගේ ට්‍රේඩ් වෝ එකේදී පැහැදිලිව පෙනුණු කරුණක්. ධනවත් බලවත් ඇමරිකානු තෙල් සමාගම්, ආයුධ නිශ්පාදන සමාගම්, තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාර, ඇමරිකානු මිලිටරි කටයුතු වල පෞද්ගලික අංශයේ කොන්තරාත් සමාගම් හිමි දේශපාලකයන්ගේ ආදී විවිධ පාර්ශ්ව වල අවශ්‍යතා මත පදනම්ව ඇමරිකානු ආණ්ඩු විසින් ලොව පුරා හැකි සෑම රටකම මිලිටරි ඔපරේෂන් නැත්නම් ආණ්ඩු වෙනස් කිරීමේ මෙහෙයුම් කරමින් එම රටවල් විනාශ කරන එක තමයි කරන්නේ ඒත් ඇමරිකානු වෙනත් ව්‍යාපාර වල ආයෝජනය කර ඇති අයගේ බලපෑම් මත හැම රටකම ඒක කරන්න බෑ, උදාහරණයක් විදියට සටකපට ඩෙං ක්ෂාඕ පිං 1978 සීට ඇමරිකානු ආයෝජන විශාල වශයෙන් ගෙන්වා ගත් නිසා චීනය වගේ රටවල් වලට සම්බාධක පැනවීම හරිම අමාරුයි. ඔය උතුරු කොරියාව ඉරානය සෝමාලියා වගේ ඇමරිකානු ආයෝජන නැති රටවල් වලට නම් අබ සරණයි. ලංකාවත් 1960 ගණන් වල ඇමරිකානු බ්‍රිතාන්‍ය ආයෝජන එලෙව්වත් 1980 ගණන් වල සිට ඇමරිකානු ආයෝජන ටිකක් විතර මෙහේ තියෙන හින්දා ඇමරිකන් ආක්‍රමණයක් කිරීමට අමාරුයි අනෙක් පැත්තෙන් ඉන්දියාව කොහොම වත් ඉඩ දෙන්නේ නෑ කලාපීය බලවතා නිසා.

      කෙසේ වෙතත් රුසියාව විසින් එක්සත් ජනපදයේ දැනට පාලනය හොබවන අවුරුදු අසූවක් විතර වෙන පණ නැති පෙන්දෙක් වන සිහිවිකල බයිඩන් නමැති කාලකණ්ණි අපත දේශපාලුවා ප්‍රමුඛ නේටෝ මෝඩ රැල නිරුවත් කරමින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පස්සේ පේන විදියට නම් මේ ආක්‍රමණයේ අවසන් අරමුණ යුක්‍රේනයේ වර්තමාන පාලනය හිමි ලංකාවේ නන්දසේන ගොයියාටත් වඩා පොල් බූරුවෙක් වෙන සිරිසේනගේ ටයිප් එකේ අතිශය විහිලු සහගත, අමනෝඥ විකට තකතීරු පාලකයා ඉවත් කර රුසියාවට හිතැති කොටින්ම රුසියානු රූකඩ පාලකයෙක් පත් කර ගැනීමයි.

      රුසියානු පැත්තෙන් බැලුවොත් භූමියේ වාසිය අතින් රුසියානු ජාතික ආරක්ෂාවට සහ පුටින්ගේ දේශපාලන පැවැත්මට අතිශය වැදගත් සිය අසල්වැසි සරුසාර සම්පත් බහුලව පවතින රටක් මෙන්ම අතීතයේ සිය මහා සෝවියට් සංගමයේ කොටසක් වූ යුක්‍රේනය වත්මන් දෙකයි පණහේ මුග්ධ තකතීරු මන්ද බුද්ධික කාලකන්නි පාලකයා හරහා නේටොවේ බළල් අතක් වීම රුසියාව නොඉවසීම සාධාරණයි කියලා කියන්න බැරිත් නෑ, එය රුසියාවේ ආරක්ෂාවට සහ පුටින්ගේ දේශපාලනික කටයුතු වලට ඇමරිකානු බලපෑම් එල්ල කරන තර්ජනයක් හින්දා.

      ඔය කරුණු කෙසේ වෙතත් රුසියාව යුක්‍රේනයේ සිදු කරන මෙහෙයුම් බටහිර රටවල පක්ෂග්‍රාහී ජඩ මාධ්‍ය මත පදනම්ව විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන රටවල් වලින් හඳුන්වන්නේ "ආක්‍රමණයක්" (Invasion) ලෙස.

      හැබැයි මීට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට මින්පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ලිබියාවේ සහ ඉරාකයේත් මෙවැනි මෙහෙයුම් දියත් කළ විට තමන්ට පක්ෂපාතී නොවෙන පාලකයන් පෙරලා දැමීමට ඒ රටවල් ආක්‍රමණය කර එරට ජනපතිවරු අතිශය හිරිකිත අශිෂ්ඨ තිරශ්චීන ලෙස මහමග ඝාතනය කර තමන්ට සිතැති රූකඩ ටිකක් මගින් මෙහෙයවෙන ගොබ්බ ආණ්ඩු පිහිටවූ බව මතකයි නේද?

      Delete
    2. මේ ගැන තවදුරටත් විස්තර කරනවානම් ඔය ලිබියාව සහ ඉරාකය කිසිසේත්ම එක්සත් ජනපදයට දේශපාලනිකව, ඓතිහාසිකව, භූ ගෝලියව කිසිදු සබඳකමක් නොතිබූ රාජ්‍යයන්.

      එක්සත් ජනපදය එම රාජ්‍යයන් ආක්‍රමණය කළේ හුදෙක්ම ඒ රටවල ඛණිජ තෙල් සංචිත සූරා කෑම සඳහා බව හැමෝම හොඳින් දන්නා කරුණක් නමුත් එම ආක්‍රමණය බටහිර මාධ්‍ය හැඳින්වූයේ "ඒ රටවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ විමුක්තිය ලබා දෙන සටනක්" (Liberation) ලෙසින් මොකද කාලකන්නි අමන පාලනයක් සහිත රටක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසය පුරාවටම සිය බලය යෙදවූයේ එලෙසමයි.

      මේ තකතීරු වැඩේ ඔවුන් එය සිරියාවේත් සිදු කිරීමට උත්සාහ කළත් වාසනාවකට මෙන් රුසියාවේ මැදිහත් වීමෙන් එය ව්‍යවර්ථ වුණා.

      ඒ වගේම ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆි ඉතා මැනවින් පෙන්වා දුන් පරිදි ඔවුන් ඉතා සටකපට ලෙස 9/11 සිදුවීම දඩමීමා කරගනිමින් ඉරාකයට සමගාමීව ඇෆ්ගනිස්ථානය ද විනාශ කිරීමට කටයුතු කළ නමුත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඩොලර් බිලියන ගණනක් නාස්ති කරමින් මෑතකදී ඇෆ්ගණිස්ථානයේදීත් පරාජයට පත් විය. ඒ සඳහා චීනයේ මැදිහත්වීම බලපෑ ප්‍රධානතම හේතුව බව ඉතාමත් පැහැදිලියි. ඒ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ මේ රටවල් විනාශ කරන අමන කඳවුරට වඩා සවිමත් චීන - රුසියා කවුන්ටර් බල කඳවුර බිහි වීම ගෝලීය සාමයට සැබැවින්ම යහපතක් බව පේනවා. එතකොට මේ කඳවුරු දෙකේ ඔප්ෂන් දෙකම උපක්‍රමශීලීව මෙහෙයවමින් ලංකාව වගේ ලෝකයේ වෙනත් රටවල් වලට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පුළුවන් වෙයි. හැබැයි ඇමරිකන් එක්සත් ජනපදය තව දශකයක් ඇතුලත වගේ බිඳ වැටීම සමග ඉන්දියාව බොහෝ දුරට මේ තත්ත්වය මත එම කඳවුරේ නායකත්වය ගැනීම වෙනුවට රුසියාවේ මැදිහත්වීම මත ඉන්දීය- චීන සහයෝගීතාවක් ගොඩ නැගුණොත් එය සම්පූර්ණයෙන්ම වෙනස් ගෝලීය දේශපාලනික කඳවුරක් බිහි කරන්නට ඉඩ තියෙනවා සෑහෙන්න දුරට එහෙම නේද?

      Delete
    3. එහෙමයි

      Delete
    4. @ 9/11

      යුද්ධයේ වේදනාක‍ාරීබව තම තමන්ටම පෞද්ගලිකව දැනෙනවා නම් ඔය බලවත් රටවල තීන්දු තීරණ ගැනීම කරන සහ යුද්ධයට උඩ ගෙඩි දෙමින් ගෙවල් වල සිට පොරටෝක් දෙන කිසිම යුදකාමියෙකු යුද්ධ කරන්නේ නෑ. රටක් යුධ බලයෙන් ශක්තිමත් වනවිට හැමවිටම බලන්නේ හොඳින් බැරිනම් නරකින් යුද්ධකර හෝ තම අරමුණු කරා ගමන් කිරීමයි. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් රුසියාව සමග කෙලින්ම යුද්ධයකට නොයන්නේ රුසියාව සමග යුද්ධයකට යාම බඩු හම්බ වෙන දරුණුම මෝඩකමක් බව ඔවුන් හොඳින් දන්නා නිසයි. ඒ වෙනුවට ඵලරහිත සම්බාධක දමා ඇමෙරිකා එක්සත් ජනපදය වගේ කපටි පාලකයන් සහිත තක්කඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවල් ඇඟ බේරාගන්න බලනවා. ඒවායින් රුසියාව නම් වට්ටන්න බැහැ. ඒත් යුද්ධයේ විපාක විඳින්නේ යුක්රේන් ජනතාව වීම කණගාටුවට කරුණක්.

      මේ වගේම ලෝක මූල්‍ය ශ්‍රේණිගත කිරීම් වල හැටියට වත්කම් අනුව ලොව විශාලතම බැංකුව වන චීනයේ කර්මාන්ත සහ වාණිජ බැංකුව ICBC සහ චීනයේ මූල්‍ය හා වෙළඳාම සඳහා විශාලතම වාණිජ බැංකුව වන Bank of China ඩොලර් වලට ප්‍රවේශය අහිමි කරමින් රුසියානු භාණ්ඩ මිලදී ගැනීම සඳහා මූල්‍යකරණයට මොස්කව් සඳහා ආධාරකයක් ලෙස සැලකිය හැකි අතරම මෙම රුසියානු යුක්රේන ගැටුම පුපුරා යාමේ සිට, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ අනෙකුත් මිත්‍ර රටවල් බොරුවට ගේම් එකක් විදියට රුසියානු ආර්ථිකයේ තෝරාගත් යම් යම් එතරම් බලපෑමක් නැති අංශවලට සම්බාධක පැනවීම, යම් නිලධාරීන් අසාදු ලේඛනගත කිරීම සහ රුසියාවට සහ ඉන් පිටත ගුවන් සේවා නවතා දමමින් යම් නාඩගම් පාමින් ඇඟ බේරා ගන්නා අතරේ මෑත වසරවලදී, චීනය රුසියානු භාණ්ඩ මිලදී ගැනීම් වැඩි කර ඇති අතර රුසියානු තෙල් හා ගෑස් වලින් 30% කට ආසන්න ප්‍රමාණයක් දැනට ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය විසින් පරිභෝජනය කරයි.

      තව කරුණක් වන්නේ මෑතකදී ශීත ඍතු ඔලිම්පික් උළෙලට ආ රුසියානු ජනපති ව්ලාදීමීර් ප්යූතීන්ගේ නවතම සංචාරයේදී බීජිං පරිපාලනය එහි මූල්‍ය අංශය හරහා රුසියානු ගෑස් සැපයීමේ සහයෝගීතාව ඉහළ නැංවීමට  එකඟ වීමත් සමග සිකුරාදා යූ එන් එකේ නිශේධ බලය හිමි රුසියාව සිය නිශේධ බලයෙන් ඉවත් කරන ලද යූක්රේනයට යැවූ හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස බල කරමින් වූ යෝජනාවට සමගාමීව යුක්රේනයට එරෙහි රුසියාවේ “ආක්‍රමණ” හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාවකින් චීනය සහ චීන හිතවාදී රටවල් රුසියානු හිතවාදී රටවල් සමග වැළකී සිටියේ රුසියානු යුක්රේන යුද ගැටුම දිග් ගැස්සීම තුළ යුක්‍රේන ජනාධිපතිට ජනතාවට පහසුකම්, ඖෂධ, ආහාර ලබා දීම අසීරු වෙන එක සමග ඉන් දැනටමත් දැඩි ලෙස ජනතාවගේ පිළිකුලට බඳුන් වී ඇති යුක්රේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේන ජනතාවගේ වෛරය යුක්‍රේන ආණ්ඩුවට එල්ල වෙන්නේ. ඒ අතර නමට යම් යම් බොරු බයිලා ටිකක් කළත් සැබෑ වශයෙන් රුසියාවට සම්බාධක දැමීමට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඉංදියාව, චීනය කටයුතු නොකරන බවත් ලෝකයට තේරුම් යාවි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තේ රුසියාවට නොයවා හිටියොත් ලංකාවේ වතු ජනතාවට මුදල් එන්නේ කොහොමද? යුක්‍රේන ගැටුම ඇදී යාමෙන් එංගලන්තය සහ ඇමරිකානු එක්සත් ජනපදයට තව දුරටත් ලෝක නායකත්වය දරා සිටීමට නොහැකි වෙනවා, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු NATO එකට අවශ්‍ය වුණේ රුසියාවට පක්ෂව චීනයත් මෙයට ඈඳා ගැනීමයි. ඔවුන්ට රුසියාවට වඩා චීනය අභියෝගයක්. ඒත් චීනය මේ වෙලාවේ අහක යන යුද්ධයකට පැටලිලා තමන්ට හානියක් කර ගනින තරම් මෝඩ මානසිකත්වයක නෑ, චීනයට ඇවැසි සියලුම ආකාරයෙන් ලෝක බලවතා වීම යි. එය අනිවාරයෙන් උපරිම තව අවුරුදු 10 - 12 පමණ ඇතුලත සිදුවනවා අනිවාර්යයි. බොහෝ විට දශකයක් ඇතුලත (වසර හත අටක් ඇතුළත) එය සිදු වෙයි. එය නතර කළ නොහැකි නමුත් යුක්‍රේන රුසියා ගැටුමෙ දී චීනය ඡන්දය පාවිච්චි නොකළේ චීනය බලන්නේ දෙපැත්තෙම වාසිය දිනා ගැනීමට, චීනයේ දේශපාලන තීරණ ගැනීම ඉතාම සබුද්ධික බව මේ සම්බන්ධයෙන් චීනයේ හැසිරීමෙන් පෙනී ගියේ, ඒ වගේම මට චීනය සමග පෞද්ගලික තරහක් තියෙන්නේ බෞද්ධ රාජ්‍යයන් ආක්‍රමණය කොට තකතීරු යල් පැන ගිය මාක්ස්වාදී දඬුකඳේ ගහන එක නිසා, එහෙම දේවල් කරන්නේ නැත්නම් මම පෞද්ගලිකව චීනයට අකැමති නෑ.

      Delete
    5. China is Russia’s biggest export and important partner, and also operates a legitimate SWIFT alternative. China’s international payments system is called CIPS – an acronym for Cross-Border Interbank Payments System.

      Delete
  9. ඉකොනෝමැට්ටාගේ කුම්මැහිකමට වඩා ලොකුයි කියනවනේ නෙටෝවේ සහය දීම යුක්රේනියට.

    ReplyDelete
    Replies
    1. @ 9.04 am

      අන්න උබලගෙ සූර වීර පුරං (පෙත්) අප්පුත් රුසියානු රූකඩ රාජ්‍යක්වන බෙලාරුස් වලදි සාමසාකච්චා කරන්න අන්තිමේ කැමති වෙලාලු නේද උගේ අහවල් ලබ්බේ ඊගෝ එක බිමින් තියලා?

      කලින් ඔය රිලවා පෝලන්තයෙ ඇරෙන්න වෙන කොහෙවත් සාකච්චා තියන්න බෑම කිව්වනෙ.. ගොන් හිවලා අහිංසක මිනිස්සු පවුල් පිටින් මිය යාම වලක්වා ගන්න මේ තීරණෙ මුලින්ම ගත්තා නම් අහවරනෙ. නොදකින් මූසලයා.

      ඔය යුක්‍රේන් ජනාධිපති ඇමරිකන් පිටපතට නටන නූල් රූකඩ විකට නළු සෙලෙන්ස්කි මන් අහගෙන ඊයේ මාද්‍ය සාකච්චාවක් තියලා දැනට යුක්‍රේනයෙන් යම් යම් හේතු මත වෙනත් රටවල් වලට ගිහින් ඉන්න යුක්‍රේන් ජනතාවගෙන් මෙන්න මෙහෙම ඉල්ලනවා

      "මගේ ආදරණීය සදාදරණීය ජනතාවනි නැවත මව්බිමට එන්න !! මේ ඔබේ සහය රටට අවශ්‍ය මොහොතයි .. නැවත යුක්‍රේනයට පැමිණ රට වෙනුවෙන් සටන් කරන්න "

      මේක අහගෙන හිටපු මට උබලාගෙන් අවංකවම පොඩි ප්‍රශ්නෙකට උත්තර අහන්න හිතුනා.. නිකම් බොරු බයිලා එපා, අපි අපිට අවංක වෙමු අවංක වෙලා හදවතින්ම උත්තර දෙමු

      මේකයි මගෙ ප්‍රශ්නෙ..

      ඔන්න හිතපන් උබ මාසෙක ටුවර් එහෙකට ඇමරිකා එක්සත් ජනපදයට හරි යුරෝපෙට හරි කොහෙ හරි මලදාන රටකට ගිහින් ඉන්නවා. ඔය අතරේ ඉන්දියාවෙ මෝදී කාරයට පොඩි චූන් එකක් ගිහින් මෑන් තීරණෙ කරනවා උපරිම යුධ ශක්තිය යොදවලා ලංකාවට ඇටෑක් කරන්න

      මේ වෙලාවෙ රටේ ජනාධිපති තමයි නන්දසේන ගෝටා භය ලොක්කා..

      ඔන්න මෑනුත් සෙලෙන්ස්කි ජෝකර් ගොන් හිවලා වගේ ඉදිරියට ඇවිත් ගේම නම් ගේම ඩෝ කියලා මෝදිගෙන් ගේම ඉල්ලනවා.

      ඒ හාල්පාරුවා නේටෝ එකෙන් උපකාර ගන්නවා වගේ ඒ වගේම අපේ නන්දි මෑන්ස් උදව් ගන්නෙ චීනෙන් සහ රුසියාවෙන්. චීනෙන් ලංකාවට අවි ආයුධ එවනවා ගෝටා නාකියා අර පිස්සු යුක්රේන රිලවා වගේ ඒවා සිවිල් ජනතාවට බෙදලා දීලා ඉන්දියන් මිලිටරියත් එක්ක යුද්ධ කරපන් කියලා රටේ උන්ට කියනවා. ගෝටා ලොක්කත් යුනිෆෝම් එකත් ඇදන් පදක්කම් ටිකත් හැට්ට කට්ටකින් ගහගෙන මරදාන සති පොල ඉස්සරහා යුධ ටැංකියක් උඩට නැගලා අර යුක්රේන විකට නලු බට්ටා වගේ ජාත්‍යන්තර මාද්දිය අමතනවා..

      ඒ අස්සෙ මෑන් මෙහෙම ඉල්ලීමකුත් කරනවා..

      පපුවට තඩි බා ගනිමින්, "අපේ මවු බිමට කෙළවිලා ඇති මේ අවස්ථාවේ ලංකාවෙන් පිටතට ගොස් සිටින උදාර වීරෝදාර ශ්‍රී ලාම්කිකයිනි, මේ ඔබේ සහාය මව්බිමට අති අවස්සම වේලාවයි. කරුණාකර මව් බිමට පැමිණ රට වෙනුවෙන් යුද වදින්න. දිවි පුදන්න මේ රට බේරාගැනීමට ඔබට ලැබෙන අවසන් අවස්ථාව ‍යි" කියලා

      මේ වෙලාවෙ බ්‍රසීලේ මුදූ වෙරලක පොල් කටු මාලෙකුත් දාන් සුද්ධියෙක් එක්ක ආලිංගන ඩාන්ස් එකක් දාන් හැපි එන්ඩින් එක පතාගෙන ඉන්න උබට නන්දසේන ලොක්කාගෙ මේ පපු කැවුත්ත උණු කරන් යන වචන සෙට් එක ඇහෙනවා

      ශ්‍රී ලාංකිකයෙක් හැටියට උබ මොකක්ද කරන්නෙ?

      1) නැවත ලංකාවට පැමිණ ඉන්දියන් ආමි එකෙන් ගේම ඉල්ලලා ඉල්ලං පුපේ ටිම්කිරි ගාගන්නවද?

      2) එහෙම නැත්නම් යුක්රේන හිවල් හාමිට වඩා ටිකක් විතර මොළේ තියෙනව වුණත් අපේ ලොක්කගෙත් තරම දන්න නිසා ඉන්න මකබාවක ඔන්න ඔහෙ ඉතුරු ටික දොහත් ඉදලා වෙන දෙයක් බලන් ඉන්නවද?

      මට අවංකවම කියනවද ෆ්‍රෙන්ඩ්ස් ! අපි අපිට අවංක වෙමු! ලැජ්ජවෙන්නෙපා!!

      Delete
  10. ලංකාවේ සන්ඩේ ටයිම්ස් සන්ඩේ ඔබ්සවර් ඩේලි නිවුස් ඩේලි මිරර් වගේ ගොඩක් මාධ්‍ය වාර්තා කරලා තියෙන විදියට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් හමු වී නිල වශයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව, මේක ඇත්ත ද දන්නේ නැහැ නේද?

    ඒ වගේම කියන විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අයි බී ආර් ඩී (ලෝක) බැංකුව ලබන අප්‍රේල් මාසයේ දී ඔවුන්ගේ වාර්ෂික සැසිවාර පැවැත්වීමට නියමිත අතර ඒ අතර කාලේ දී ලංකාවේ මුදල් ඇමති බැසිල් එම ආයතනවල නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ලංකාවේ ආර්ථික විශේෂඥයින් බොහෝ දෙනෙක් විස්වාස කරන්නේ, ඒත් මෙය ඉතා අවදානම් සහගත තත්වයක් නේද?

    ඒ වගේම ලංකාවේ මාධ්‍ය සහ ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසන ආකාරයට ලංකාවේ මුදල් අමාත්‍යවරයා මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් සමඟ නිල නොවන මට්ටමින් සාකච්ඡා රහසිගතව සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් සිටි බවත් ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔවුන්ගෙන් ලබාගත හැකි සහාය සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් සහ මාධ්‍ය වාර්තා වලින් පේනවා.

    කෙසේ නමුත් මේ දවස් වල ලංකාවේ මාධ්‍ය සහ ආර්ථික දේශපාලනික චින්තකයන් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික විශේෂඥ පිරිසක් දැනටමත් ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් වැඩසටහනක් සකසමින් සිටින බවත් ඒ තුළින් රටේ විදේශ විනිමය ස්ථාවර කරමින් සීමාකාරී පියවර මඟින් ආර්ථික යථා තත්ත්වයට ගෙන ඒමටත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් ලංකාවේ ආණ්ඩුවට අණ කරමින් නියම කරනු ඇති බවත්, දැනට ලංකාවේ අන්ත අසරණ විදියට අනාථ වෙලා ඉන්න ගොබ්බ ආණ්ඩුව බොහෝ දුරට ඊට සම්පූර්ණයෙන්ම එකඟතාව පළ කරමින් එම නියෝගයන් කොන්දේසි විරහිතව අනුගමනය කරමින් ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බවත් බොහෝ ආර්ථික විශේෂඥ ඥානයක් සහිත අය පවසන බව වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන් ජවිපෙ ජාතික ජන බලවේගයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වරුන් සහ එම පක්ෂයේ පිරිස මීට දැඩි විරෝධය සහ විවේචන එල්ල කරනවා, නමුත් සමගි ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ පිරිස තරමක නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නමුත් ඉදිරියට එම කොන්දේසි ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව විසින් තීරණය කර පසු ඊට එරෙහිව දැඩි විරෝධය සහ බාධා එල්ල කරමින් උපරිම වශයෙන් ආණ්ඩුවට එරෙහිව සටන් කරලා දැඩි විරෝධයක් මතු කරන්නට සැලසුම් සහගතව වැඩ පිළිවෙළක් මේ දවස් වල සැලසුම් කරන බව නිල නොවන ආරංචි මාර්ග වලින් ඇතැම් මාධ්‍ය වාර්තා වල මම දැක්කා, කෙසේ හෝ මේ දේවල් වලින් ලංකාවේ ආර්ථිකය තවත් බරපතල ලෙස අවුලක් සහිතව දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙයි කියලා හිතෙනවා නේද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...