වෙබ් ලිපිනය:

Friday, February 25, 2022

වසංගත කළුවර හා ඉන්දියාවේ සංචිත


ලංකාවට ආර්ථික අර්බුදයක් එයි කියලා ගොඩක් අය බලාගෙන හිටියත් තවමත් එහෙම දෙයක් වෙලා නැහැ. ආණ්ඩුව මොන විදිහට හරි ආර්ථිකය කළමනාකරණය කර ගන්නවා. දවසේ පැය දහ අටකටත් වැඩි කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව ලංකාවේ ගෙවල් වලට විදුලි බලය ලැබෙනවා. සමහර අයනම් ලයිට් තියෙන පැය ගණන ගැන කතා නොකර අශුභවාදී ලෙස ලයිට් නැති පැය ගාණ ගැන කතා කරනවා. ඇමරිකාවේ වුනත් ගෙවල් වලට විදුලි බලය සපයන්නේ වැඩිම වුනොත් දවසකට පැය විසිහතරයි. අවුරුද්දකට එක දවසක් විතරක් පැය විසි පහක්ම විදුලි බලය සපයනවා. එහෙම බැලුවහම පැය දහ අටක් විදුලි බලය ලැබෙනවා කියන්නේ නරක තත්ත්වයක් නෙමෙයි.

ආර්ථික අර්බුදයක් නැතත් කෝවිඩ් නිසා ලංකාවට පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. කෝවිඩ් ප්‍රශ්නයනම් දැන් ඉවර වේගෙන යනවා. සමහර විට ඉදිරි කාලයේදී ලංකාවට රුසියානු-යුක්‍රේන ප්‍රශ්නය නිසා යම් යම් ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ දුර දිග නොගියොත් වෙන මොකක් හරි අලුත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආර්ථික අර්බුදයක්නම් එන එකක් නැහැ.

ලංකාව සතුව තවමත් ඩොලර් 2,360.6ක නිල සංචිත තිබෙනවා. තවමත් කිවුවත් ඔය ප්‍රමාණය තිබුණේ ජනවාරි අන්තිමට. තවම ඔය ඩොලර් ටික තිබෙනවා කියා අපි හිතමු. වෙන දෙයක් නොකළොත්, ඔය ඩොලර් ටිකෙන් මාස හයක පමණ කාලයක් ලංකාවට අවශ්‍ය තෙල් මිල දී ගන්න පුළුවන්. ඒකම මදිද? 

කෝවිඩ් කාලයේ ලංකාවේ නිල සංචිත විශාල ලෙස අඩු වුනත්, කලාපයේ අනෙක් රටවල් වල වුනේ එහි අනෙක් පැත්ත. 2019 අවසාන වන විට ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 450ක පමණ නිල සංචිත ප්‍රමාණයක්. මේ වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 630ක් පමණ දක්වා ඉහළ ගිහින්. 

ඉන්දියාවත් කලකට පෙර විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් රටක්. 1991 වසරේදී ඉන්දියාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.8 දක්වා පහත වැටුණා. ඒ වෙද්දී ඉන්දියාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.8ක්. ඒ කියන්නේ, විදේශ සංචිත ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයෙන් 7% මට්ටම දක්වා පහත වැටී තිබුණා. දැන් ලංකාවේ තත්ත්වය තරම්ම නරක තත්ත්වයක් නොවුනත් ඊට කිට්ටු තත්ත්වයක්. මේ වන විට ලංකාව සතු නිල සංචිත ප්‍රමාණය රටේ විදේශ ණය වලින් 5%කටත් වඩා අඩුයි. 

ඉන්දියාව සමාජවාදය අත හැරියේ ඔය කාලයේදී. එතැන් පටන් ඉන්දියාව දිගු ගමනක් ඇවිත් තිබෙනවා. පසුගිය වසරේ ජූනි අවසාන වෙද්දී ඉන්දියාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 571.3ක්. දදේනියෙන් 20.2%ක්. මේ මුළු රටේම විදේශ ණය. රටින් පිට ජීවත්වන ඉන්දියානුවන්ගේ බැංකු තැන්පතු ආදියත් ඔය ගොඩේ තිබෙනවා. ඉන්දියානු රජයේ විදේශ ණය ප්‍රමාණයනම් ඩොලර් බිලියන 106.9ක් පමණයි. ඒ කියන්නේ දදේනියෙන් 3.8%ක් පමණයි. කොහොම වුනත් වැදගත් කරුණ මේ වෙද්දී ඉන්දියාව සතුව මුළු රටේම විදේශ ණය ප්‍රමාණයටත් වඩා වැඩි නිල සංචිත ප්‍රමාණයක් තිබෙනවා. 

කාලයක සිටම ඉන්දියානු සංචිත බැංකුව විසින් ඉන්දියාවට ගලා එන ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගනිමින් ඉන්දියානු රුපියල ශක්තිමත් වෙන්න නොදී දුර්වල මට්ටමක පවත්වා ගන්නවා. 2019 ආරම්භ වන විටද ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 396ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි. අවුරුදු දෙකහමාරක් ගොස් 2021 මැද වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 600 පන්නලා. ඒ කියන්නේ වසංගත කාලය ඇතුළත ඉන්දියානු සංචිත බැංකුව විසින් ඩොලර් බිලියන 200කටත් වඩා මිල දී අරගෙන. 

පසුගිය වසර අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉන්දියාවට දැනුම් දුන්නේ මේ ආකාරයෙන් සංචිත මිල දී ගැනීම සීමා කළ යුතු බවයි. ඊට පෙර ඇමරිකාව පැත්තෙන්ද මේ පිළිබඳව විවේචන එල්ල වී තිබුණා. නව ලිබරල් ප්‍රතිපත්ති ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ආර්ථික ප්‍රතිපත්ති අනුව ඉන්දියාව මෙවැනි මැදිහත් වීමක් නොකළ යුතුයි. එහෙත්, මෑතකදී ආර්ථික ප්‍රාතිහාර්ය පෑ චීනය හා සිංගප්පූරුව වැනි රටවල් විසින් අනුගමනය කළේද මේ ක්‍රමයයි. 

සංචිත එකතු කරමින් විණිමය අනුපාතය දුර්වල කර තබා ගැනීම එසේ කරන රටට වාසිදායක වුවත් ගනුදෙනු කරන අනෙකුත් රටවලට අවාසිදායකයි. චීනය හා ඇමරිකාව අතර හොඳ හිත පළුදු වීමටද මේ කරුණ හේතු වුනා. සිංගප්පූරුව වැනි කුඩා ආර්ථිකයක් මේ ක්‍රමය අනුගමනය කරද්දී ඇමරිකාව වැනි රටකට එහි පාඩුව නොදැනෙන නමුත් චීනය හෝ ඉන්දියාව වැනි විශාල ආර්ථිකයක් ඇති රටක් මෙවැන්නක් කරද්දී ඇමරිකාවට වුවත් පාඩුව දැනෙනවා.

චීනයට කාලයක් තිස්සේ ලංකාව වැනි රටවල ආයෝජනය කිරීමට "උණක්" හැදෙන්න හේතුව මේ විදිහට ඩොලර් සංචිත විශාල ලෙස ගොඩ ගැහීමයි. මේ වෙද්දී ඉන්දියාවටත් ඒ ප්‍රශ්නයම ඇති වී තිබෙනවා. අපනයන තරඟකාරිත්වය පවත්වා ගන්නනම් ඉන්දියානු රුපියල අධිප්‍රමාණය වීම පාලනය කර ගත යුතුයි. එය කිරීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් ඉවත් කරද්දී සංචිත ගොඩ ගැහෙනවා. එසේ එකතු වන ඩොලර් වලට මොනවා හෝ කළ යුතුයි. මේ කරුණ මේ වෙලාවේ ලංකාවේ වාසියට (හෝ අවාසියට) හේතු වී තිබෙනවා.

භූ දේශපාලනය පැත්තකින්ම තිබ්බත්, මේ වෙලාවේ ලංකාවට ණයට ඩොලර් ටිකක් දෙන එකේ ආර්ථික වාසිම වුවත්, ගණනාවක් ඉන්දියාවට තිබෙනවා. ඉන්දියාවට ගොඩ යන්න, චීනය කළා වගේ, ඉන්දියානු රුපියලේ අගය පහළින් තියා ගන්න ඕනෑ (ඩොලරයක මිල ඉහළින් තියා ගන්න ඕනෑ). හැබැයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අවුල් නොකර ඔය වැඩේ කරන්නත් ඕනෑ. මේක කරන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරම ඒ ඩොලර් ණය ලෙස හෝ ආයෝජන ලෙස වෙන රටකට දෙන එක. එවිට රටේ විදේශ වත්කම් ඉහළ යන නමුත් නිල සංචිත ඉහළ යන්නේ නැහැ. ඉන්දියානු රුපියල ශක්තිමත් වෙන එකත් වලකිනවා.

ඊට අමතරව මේ වැඩේ ලාබයි. සංචිත ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා දැනෙන තරමේ පොලියක් ලැබෙන්නේ නැහැ. ලංකාව වගේ රටක ආයෝජනය කරලා ඊට වඩා ලොකු පොලියක් ගන්න පුළුවන්. එයින් ලැබෙන දේශපාලන වාසි අමතර බෝනස් එකක්!

කොහොම වුනත්, ඉන්දියන් කාරයෙක් රුපියලක් වුනත් වියදම් කරන්න කලින් කොයි තරම් හිතනවද කියන එක කවුරුත් වගේ දන්නවනේ. කොහොමටත් ලැබෙන වාසි වලට තවත් වාසි එකතු කර ගන්න පුළුවන්නම් නොකරන්නේ කවුද? ඉන්දියාවෙන්ම ආනයන කිරීමේ කොන්දේසිය මත ණය දුන්නහම එක ගලෙන්ම තවත් කුරුල්ලෙක්!

ඔය ලයිට් කැපිල්ල වැඩි කාලයක් තියෙන එකක් නැහැ. ආණ්ඩුව ප්‍රශ්නය විසඳයි. පෝර සහනාධාරෙත් නවත්තලා, හාලුත් අන්තිමට පිටරටින් ගෙනල්ලා, කාබනික උන්මාදයත් නවත්තන එක ඕනෑ ගොනෙකුට කළ හැකිව තිබුණු දෙයක්ද? මාස කීපයක් ලයිට් නැතුව ඉඳලා එපා වුනාට පස්සේ ආයේ ලයිට් එනවානම් ඒ එන්නේ තූත්තුකුඩියෙන් වුනත් මොකද? මොන විදිහකින් හරි රටට අවශ්‍ය විදුලි බලය ලැබුණට පස්සෙවත් එළකිරි වගේ ලංකාවේ "ටියුබ් ලයිට්" ටික පත්තු වෙනවානම් එච්චරයි!

28 comments:

  1. rajapaksha sanchitha gantha liyahankoo ban

    ReplyDelete
  2. // සිංගප්පූරුව වැනි කුඩා ආර්ථිකයක් මේ ක්‍රමය අනුගමනය කරද්දී ඇමරිකාව වැනි රටකට එහි පාඩුව නොදැනෙන නමුත් චීනය හෝ ඉන්දියාව වැනි විශාල ආර්ථිකයක් ඇති රටක් මෙවැන්නක් කරද්දී ඇමරිකාවට වුවත් පාඩුව දැනෙනවා.//


    ඇත්තටම මේ ඉන්දියාවත් චීනයත් කරන වැඩෙන් ඇමරිකාවට වෙන පාඩුව, ඇමරිකන් භාණ්ඩ ඉන්දියාව හා චීනයේ මිල අධික වෙලා, ඉන්දියන් හා චීන භාණ්ඩ ඇමරිකාවේ ලාභ දායක වෙන එකද

    ReplyDelete
    Replies
    1. කෙටි පිළිතුර, ඔව්. නමුත්, මෙහි දිගුකාලීන හා වක්‍ර අවාසි ගණනාවක් තිබෙනවා. දේශපාලනික ලෙස ගත්තොත් මෙහිදී නව ලිබරල් ආකෘතියට අභියෝග කිරීමක් කෙරෙනවා. විණිමය අනුපාතය පාලනය කිරීම කියන්නේ රාජ්‍ය මැදිහත් වීමක්. විණිමය අනුපාතයක දෙපැත්තක් තියෙනවා. රුපියල දුර්වල වීම කියා කියන්නේ ඩොලරය ශක්තිමත් වීමක්ද වෙනවා. ලංකාවේ රුපියල කීය වුනත් එය ඇමරිකානු ඩොලරයේ අගයට ලොකු බලපෑමක් කරන්නේ නැහැ. එහෙත් ඩොලරයේ සාපේක්ෂ මිල තීරණය වන්නේ අනෙක් මුදල් ඒකක වලට සාපේක්ෂව. ඒ වගේම ගෙවුම් ශේෂ හිඟයක් තිබෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් ප්‍රාග්ධනය ඇමරිකාවට ගලා ඒමක්ද වෙනවා කියන එකයි. ඇමරිකාව සතුව ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබුණු කාලයේ ඇමරිකන් ප්‍රාග්ධනය ලෝකයට ගලා ගියා. ඇමරිකන් සමාගම් ලෝකය පුරා වත්කම් හිමි කරගත්තා. ගෙවුම් ශේෂ හිඟයක් දිගටම නඩත්තු වෙද්දී මෙහි අනෙක් පැත්ත වෙනවා. ඒ කියන්නේ ඇමරිකානු වත්කම් වල අයිතිය විදේශිකයන්ට යනවා. ඇමරිකාවට මෙහි දිගුකාලීන අවාසියක් තිබෙනවා.

      Delete
  3. Topic එකට අදාල නැති දෙයක ඔබේ අදහස දැනගැනීමට අසමි.
    Bayesian inference , prior distribution මත posterior distribution එක තීරණය වන නිසා, අපගේ prior එක මත සියල්ල රදා පවතී , එමේන්ම point estimate ලෙස ගන්නා අගයක posterior distribution එකක් සෙවීම නිශ්පල කාර්‍යක් නෙවේ ද? මෙය යම් පරීක්ෂණයක් යොදා ගතහොත් ලැනෙන ප්‍රතිඵල සමහර වේලාවට කිසිම ගැලපීමක නැහ නේද??


    Bayesian inference සම්බන්ද මෙම ගැටලුව පිලිබදව ඔබගේ අදහස දැක්විය හැකිඅ ඉකෝන් ( මෙය දකින ඕනෑම පුද්ගලයකුගේ ද අදහස්/ විවේචන ඉතා කැමෙත්තෙන් බාර ගනිමි)

    ReplyDelete
    Replies
    1. ඔව් සහ නැහැ. prior එක මත සියල්ල රඳා පවතින නමුත් prior එක මත පමණක් සියල්ල රඳා පවතින්නේ නැහැ. යොදාගන්නා ආකෘතිය අනුව posterior distribution එක වෙනස් වෙනවා.

      Delete
  4. 'ලංකාව සතුව තවමත් ඩොලර් 2,360.6ක නිල සංචිත තිබෙනවා. '

    මේ ගාන හරිද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව ජනවාරි අවසානයේදී නිල සංචිත ප්‍රමාණය මෙයයි.

      Delete
    2. මම හිතන්නේ මේ අතර චීනෙන් ලැබුණු සංචිත නොවන සන්චිතත් තියෙනවා. ඇත්ත ප්‍රමාණය මෙයට අඩුයි.

      Delete
    3. Can you please post a link to the records at the Central bank containing this info?

      Delete
    4. https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators

      Delete
  5. මේ බඩු භාන්ඩ නැති ප්‍රශ්නය විසඳෙයි කිව්වට විසඳන්න පුලුවන් පාටක් නෑ නේද? ඔබ හිතන්නෙ ඉන්දියාව දිගටම ලන්කාවට ණය දෙයි කියලද

    ReplyDelete
    Replies
    1. මෙය ආර්ථික කරුණු මත පමණක් තීරණය වන දෙයක් නොවන නිසා හරියටම පුරෝකථනය කරන්න ටිකක් අමාරුයි. කරුණක් ලෙස ගත්තොත්, ඉන්දියාව සතුව මේ වෙලාවේ ඉන්දියාවට හදිසියේ අවශ්‍ය නොවන ඩොලර් බිලියන දෙතුන් සීයක් තිබෙනවා. එයින් ඩොලර් බිලියන පහක් හයක් ලංකාවට දුන්නා කියලා ඉන්දියාවට දැනෙන්නේවත් නැහැ. ඩොලර් බිලියන පහ හයකින් ලංකාවට සෑහෙන කාලයක් ඇද ගන්න පුළුවන්. ඒ වගේම, ලංකාවට ඩොලර් නැති වුනොත් ඉන්දියාවෙන් ලංකාවට කරන ආනයන සීමා වෙනවා. ණය දුන්නොත් මේ ආනයන දිගටම සිදු වෙනවා. පසුව පොලියත් එක්ක සල්ලි ලැබෙනවා. ගමේ කඩේ මුදලාලි පොතට බඩු දෙනවා වගේ වැඩක් වෙන්නේ. ඉන්දියාව පැත්තෙන් තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ණය ආපසු නොලැබීමේ අවදානම. දිගුකාලීන ණය නොදී කෙටිකාලීන ණය දෙමින් ණය අළුත් කරන්නේ ඒ නිසා. බොහෝ විට දිගුකාලීනව ඩොලර් දුන්නොත් දෙනු ඇත්තේ මොනවා හෝ ආයෝජන විදිහට. ලංකාව පැත්තෙන් ප්‍රශ්නය වන්නේ මේ විදිහට දෙන ඩොලර් අවසාන වශයෙන් නැවත ඉන්දියාවටම යන එකයි. ඒ නිසා, ඉන්දියාවෙන් ණය ගැනීමත් ඉන්දියානු ආනයන සීමා කිරීමත් දෙකම එක වර කරන්න බැහැ. ණය ගන්නවානම් ඒ ණය වලින් ඉන්දියාවෙන් බඩු ගන්නත් වෙනවා.

      Delete
    2. උදාහරණයක් විදිහට ලයිට් කැපිල්ලෙන් මිනිස්සු හෙම්බත් වුනාට පස්සේ විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජනයක් ලෙස ඉන්දියාවෙන් ඩොලර් සැලකිය යුතු ප්‍රමාණයක් එන්න පුළුවන්. කාලයක් එක දිගට ලයිට් කැපුවොත් ග්‍රිඩ් එක ඉන්දියාවට සම්බන්ධ කළත් මිනිස්සු කට වහගෙන ඉඳියි.

      Delete
    3. පහුගිය කාලෙ දුන්නු ණයත් දුන්නෙ ඉන්දියන් රුපියල් වලින් නේද?

      Delete
    4. ඔබ කියන්න හදන කරුණ මට පැහැදිලියි. ඔය තර්කයේ ඇත්තක් තිබුණත් සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. දැන් පහුගිය කාලයේ ඇතැම් අය SDR හා රන් සංචිත ගැනත් ඔය කතාවම කිවුවනේ. මේවා ඩොලර් තරම් ද්‍රවශීල නැතත් විශාල අපහසුවක් නැතිව ඩොලර් කළ හැකියි. යුවාන් වලට වුනත් මේ කතාව අදාළයි. විණිමය හුවමාරු ගිවිසුම් යටතේ ගත් ඉන්දියන් රුපියල් හැර අනෙකුත් ඉන්දියන් ණය සංචිත වලට ඇතුළත්ව තියෙන්න විදිහක් නැහැ.

      Delete
    5. මට දැන ගන්න ඕන උනේ ඉන්දියන් රුපියල් වලින් ණය දුන්නනම් ඒක මේ ලිපියේ කියන තර්කය එක්ක පෑහෙන්නෙ කොහොමද කියල.
      INR usd වලට මාරු කරන්න පුලුවන් ඉන්ඩ්ඩ්ද්දදියාවෙ මාකට් එකට ඒ රුපියල් විකුනල කියලද ඔබ කියන්නෙ? එහෙම කරල ඒ ඩොලර් සන්චිත වලට ඇඩ් කිරීම හෝ වෙන රටවල ආනයන සඳහා වියදම් කෙරුවොත් ඉන්දියාවට ඇති ලාබයක් නෑ නේද ?( ඉන්දියාවෙ භාන්ඩ ලන්කාවට ආනයනය කිරීම හරහා ලැබෙන)

      Delete
    6. ඉන්දියාව කොන්දේසි සහිතව ඩොලර් වලින් ණය දුන්නත්, ඉන්දියානු රුපියල් වලින් ණය දුන්නත් ඔය දෙකේ විශාල වෙනසක් නැහැ.

      පළමුව අපි ණය පැත්තකින් තියා තත්ත්වය විමසා බලමු.

      ඉන්දියානු වෙළඳපොළට ඩොලර් එනවා. ඒ නිසා, ඉන්දියානු රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඉන්දියාවේ අපනයන වල තරඟකාරිත්වය අඩු වෙනවා. මෙය වලක්වා ගැනීම සඳහා ඉන්දියාවේ සංචිත බැංකුව විසින් ඩොලර් මිල දී ගන්නවා. නමුත්, IMF එක හා ඇමරිකාව වැඩේට කැමති නැති නිසා මේ විදිහට ඩොලර් මිල දී ගන්න එක සීමා කරන්න වෙනවා. එවිට, ඉන්දියානු රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඉන්දියාවේ අපනයන වල තරඟකාරිත්වය අඩු වෙනවා.

      ලංකාවට කොන්දේසි යටතේ ඩොලර් වලින් ණය දුන් විට වෙන්නේ කුමක්ද? එම ඩොලර් වලින් ලංකාව ඉන්දියාවෙන් ආනයන කරනවා. ඒ නිසා, ඉන්දියාවෙන් යන ඩොලර් නැවත ඉන්දියාවට එනවා. වෙනත් විදිහකින් කිවුවොත් ඉන්දියාවෙන් ලංකාවට බඩු යන නමුත් කොයි පැත්තකටවත් මුදල් යන්නේ නැහැ. නමුත්, ලංකාවට ඉන්දියාව විසින් ණය නොදී, ලංකාව වෙන කොහෙන් හෝ ඩොලර් හොයාගෙන ඉන්දියාවෙන් ආනයනය කළේනම්, එම ආනයන වෙනුවෙන් ඉන්දියාවට එන්න තිබුණු ඩොලර් ටික දැන් එන්නේ නැහැ.

      ඉන්දියානු රුපියල් වලින් ණය දුන්නත් වෙන්නේ ඔය ටිකමයි. ආනයන කරද්දී එම ඉන්දියානු රුපියල් නැවත ඉන්දියාවට එනවා. ඒ කියන්නේ කලින් වගේම ඉන්දියාවෙන් ලංකාවට බඩු යන නමුත් කොයි පැත්තකටවත් මුදල් යන්නේ නැහැ. ලංකාවට ඉන්දියාව විසින් ණය නොදී, ලංකාව වෙන කොහෙන් හෝ ඩොලර් හොයාගෙන ඉන්දියාවෙන් ආනයනය කළේනම්, එම ආනයන වෙනුවෙන් ඉන්දියාවට එන්න තිබුණු ඩොලර් ටික ඉන්දියාවට එන එක නවතිනවා.

      අවස්ථා දෙකේදීම ඉන්දියාවේ සංචිත බැංකුවට ඩොලර් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බඩු රටින් ගියත්, රටට ඩොලර් එන්නේ නැති නිසා. ඒ නිසාම, ඉන්දියාවේ අපනයන වල තරඟකාරිත්වය අඩු වෙන්නෙත් නැහැ. අපනයන වෙනුවෙන් ඉන්දියාවට ලැබිය යුතු ඩොලර් ටික ඉන්දියාවේ වත්කමක් ලෙස ලංකාවේ ඉතිරි වෙනවා. ඒ වෙනුවෙන් ලංකාව ගෙවිය යුතු පොලියද ඒ වත්කමට එකතු වෙනවා. කවදා හෝ ඉන්දියාවට අවශ්‍ය වූ දවසක මේ ඩොලර් ටික නැවත ඉන්දියාවට ගෙන්න ගන්න පුළුවන්. ඉන්දියාව ඉල්ලූ විටක ලංකාවට කොහෙන් හෝ ඩොලර් හොයලා ඉන්දියාවට ගෙවන්න වෙනවා.

      ඩොලර් වලින් නැතුව ඉන්දියානු රුපියල් වලින් ණය ගත්තා කියමු. එවිට කවදා හෝ ණය ගෙවන දවසක ලංකාවට ණය ගෙවන්න වෙන්නේ ඉන්දියානු රුපියල් වලින්. නමුත් ලංකාව ඉන්දියානු රුපියල් උපයන්නේ නැති නිසා ඉන්දියානු රුපියල් ඉන්දියාවෙන්ම මිල දී ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් විකුණන්න වෙනවා. ලංකාවට ඒ ඩොලර් ටික කොහෙන් හෝ හොයා ගන්න වෙනවා. ලංකාව ඉන්දියානු රුපියල් වලින් ණය ගෙවුවත් එම ඉන්දියානු රුපියල් මිල දී ගන්නා අවස්ථාවේදී ඉන්දියාවට ඩොලර් එනවා.

      ඔය දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් වෙන්නේ ඉන්දියාව ඇතුළේ ඩොලර් සංචිත වැඩි කර නොගෙන, එම ඩොලර් ලංකාවේ තියා ගෙන, එකම අවසන් ප්‍රතිඵලය (එනම් අපනයන තරඟකාරිත්වය වැඩි කර ගැනීම) ලබා ගැනීමයි.

      Delete
    7. තේරුන. හැබැයි මේකෑල්ල පැහැදිලිමදි වගෙ ලියල තියෙනව. කීප වරක් කියෙව්වම තේරුන.
      //
      ලංකාවට කොන්දේසි යටතේ ඩොලර් වලින් ණය දුන් විට වෙන්නේ කුමක්ද? එම ඩොලර් වලින් ලංකාව ඉන්දියාවෙන් ආනයන කරනවා. ඒ නිසා, ඉන්දියාවෙන් යන ඩොලර් නැවත ඉන්දියාවට එනවා. වෙනත් විදිහකින් කිවුවොත් ඉන්දියාවෙන් ලංකාවට බඩු යන නමුත් කොයි පැත්තකටවත් මුදල් යන්නේ නැහැ. නමුත්, ලංකාවට ඉන්දියාව විසින් ණය නොදී, ලංකාව වෙන කොහෙන් හෝ ඩොලර් හොයාගෙන ඉන්දියාවෙන් ආනයනය කළේනම්, එම ආනයන වෙනුවෙන් ඉන්දියාවට එන්න තිබුණු ඩොලර් ටික දැන් එන්නේ නැහැ//

      Delete
    8. ඒ කෑල්ල තමයි වැදගත්ම හා එකවර නොපෙනෙන දෙය.

      Delete
    9. ඔව්. වාක්‍යය හොඳට ගලපල පුලුවන්නම් ලිපියටම එකතු කරන්න මේ කොටස.

      Delete
    10. මේ කරුණ සහ එයටම සම්බන්ධ තවත් පුළුල් කරුණු ගණනාවක් ඉදිරි කාලයේදී විස්තරාත්මක ලෙස කතා කළ යුතුයි. (ආර්ථික අර්බුදය ලිපි මාලාවේ තෙවැනි කොටසින් විසඳුම් ගැන කතා කරන විට). මෙය ඔබ මේ ප්‍රශ්නය කලින්ම අහපු නිසා ලබා දුන් තාවකාලික පිළිතුරක්. තර්කානුකූල අදහසක් ලෙස පමණක් ලබා දුන් මේ පිළිතුර ඔබට පැහැදිලි නමුත් හැම දෙනෙකුම මෙවැනි පිළිතුරකින් සෑහීමකට පත් නොවන නිසාත්, මේ කරුණ සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වඩා පැහැදිලි ලෙස පෙන්විය හැකි නිසාත් දැනට ලිපිය එලෙසම තියමු.

      Delete
  6. මැතක මම කියවූවා 'why nations fail' කියන පොත. කණගාටුවකට එකේ සදහන් වුනු බොහොමයක් දේවල් ලංකාවට අදාලයි.

    'why nations fail', Economatta ට බොහොම interesting read එකක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය පොතේ අජේමෝලු හා රොබින්සන් විසින් ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික විද්‍යාවේදී දැනට බටහිර ප්‍රධාන ධාරාව තුළ පිළිගැනෙන සම්මත අදහස්. මම පෞද්ගලිකව හිතන විදිහට මෙහි මූලික ප්‍රවාදය වැරදි නැතත් සම්පූර්ණ නැහැ.

      Delete
  7. දවසෙන් කාලකට විදුලිය නැතිවාට
    මක් වෙනවාද, පණ යනවද ඒ ටිකට
    පොදු ජනයාව උත්පත්තිය ලැබු පවට
    කරුමය විඳිමු අපි උන්ටම දීල රට!

    ReplyDelete
  8. අපිට බැරිද ලංකා රුපියල් ණයට දෙන්න වෙන රටවල් වලට.( අපේ භාණ්ඩ මිලට ගන්නා රටවල් වලට වගේ. )

    එතකොට ඒ සල්ලි ආයේ ලංකාවට එනවනේ.

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්! ලංකාවට ලෝකයේ අනෙක් රටවල් එක්ක හරි හරියට ඔලුව උස්සා සිටිය හැකි තැනකට යාමට ඉවහල් වන දිගුකාලීන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක ඉලක්කය විය යුත්තේ වසර තිහ හතළිහකින් හෝ ඔබ කියන තැනට යන එකයි. එවැනි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නේ කාටද? එවැනි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?

      Delete
    2. 'එවැනි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නේ කාටද? එවැනි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?'

      බැසිල් රාජපක්ෂ මැතිතුමා

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...